විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


    50 weapons that changed Warfare

නමැති කෘතිය ඇසුරෙනි

hurley-moving-forward     සංග්‍රාමයේ පියසටහන් නමැති මේ ලිපි මාලාව, ඔබේ විශේෂ අවධානයට යොමුවූ බව, ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා. ලිපි මාලාවේ පළමුවැනි කොටස, දෙවැනි කොටස මෙන්ම තුන්වැනි කොටසද, ඔබේ අවධානය දිනාගන්නට සමත්වීම සතුටක්. එමන්ම, මා විශ්මයට පත්වන සිදුවීමක් ද, දැනගන්නට ලැබුණා. ඒ තමයි, sugv බ්ලොග් අඩවිය ලියන, MPP ගුණසිංහ මහතා විසින්, මේ ලිපි මාලාව, පාසල් සිසුන් පිරිසකගේ අවධානයට ලක්කර තිබීම. ඇත්තවශයෙන්ම, ලෝක සංග්‍රාමික ඉතිහාසය ගැන හදාරන කෙනෙකුට, මේ ලිපි මාලාවෙන් යම් සේවයක් ඉටුවනු ඇතැයි මා හිතනවා. අපි මේ වනවිට, ලෝක සංග්‍රාම භූමිකාවේ, කැපී පෙනෙන වෙනස්කම් ඇතිකිරීමට සමත්වූ, අවි 35 ක් ගැන සාකච්ඡා කර අවසන්. තවත් ඉතිරිව ඇත්තේ, අවි 15 ක් පමණයි. අද, එම අවි ගැන සාකච්ඡා කරමින්, මේ ලිපිපෙළ අවසන් කරමු. 

36. යුදබිම හොල්ලන යකඩයෝ

Armoured Vehicles

auskegr_big      සංග්‍රාම භූමියේදී කරන්න තියන අමාරුම වැඩේ තමන්ගේ ජීවිතය බේරාගනිමින් සටන් කිරීම කියලා මම ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.(පින්තූරය ගත්තේ මෙතනින්හැබැයි බයගුල්ලන්ට නම් එහෙම සටන් කරන්න පුළුවන්. නමුත් මා අත්දැකීමෙන් දන්නවා යුදබිමේදී ඉස්සරවෙලාම මැරෙන්නේ බයගුල්ලෝ. ඔබට මතක ඇති මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, සොල්දාදුවන්ගේ සහ රණ බිමට යන අශ්වයන්ගේ සිරුර වැසෙන පරිදි සකස්කළ ලෝහමය සන්නාහයන් ගැන. නමුත් ඒ සන්නාහයන් හරිම බරයි. ඒවා ඇඳගෙන ඉන්න හරිම අමාරුයි. සමහර විට ඉක්මනින් එහා මෙහා ඇවිදගන්නත් අමාරුයි. මෙන්න මේ නිසා තමයි, සොල්දාදුවන්ට ඇතුළට රිංගලා යන්න පුළුවන්, වෙඩි නොවදින යකඩ පෙට්ටියක් හදන්න උනන්දු වුණේ. එහි ප්‍රතිඵලය තමයි, සන්නද්ධ රථය. මේ රථය යුදබිමේ මහා විප්ලවයක් ඇතිකළා. මුලින්ම සන්නද්ධ රථයක් (සාමාන්‍ය වාහනයකට යකඩ තහඩු ගහලා) නිපදවා තිබෙන්නේ, 1899 දී, ජර්මන් හමුදාව විසින්. යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ ගැන වෙනම ලිපියක් ඉදිරියේදී දෙන්නම්.  

37. දියඹේ ගුවන් තොට

The Aircraft Carrier

 Flightdeck_of_HMS_Formidable     නියම විදිහට යුද්ධ කරන්න නම ගොඩබිමත්, මුහුදත්, අහසත් ජයගතයුතු බව අවබෝධවීමත් සමගම, මිනිසා, විවිධ ක්‍රම උපයෝගී කරගනිමින්, ඒ සඳහා වෙහෙසුනා. ගෙන යා හැකි ඉන්ධන ප්‍රමාණය සීමිත වීම සහ ඉන්ධන දහනය අධික නිසා, යුද ගුවන් යානයකට ගමන්කලහැකි දුර ප්‍රමාණය සීමිත වීම, එතරම් ඈතට ගියපසු සිදුවන්නේ කුමක්ද කියා දැනගැනීමට, පාලක මධ්‍යස්ථානය සහ ගුවන් නියමුවා අතර අද මෙන් දියුණු පණිවිඩ හුවමාරු ක්‍රම නොතිබීම, හදිසියේ ගොඩබැස්සවීමට සහ ඉන්ධන ලබාගැනීමට තැනක් නැතිවීම, බලවත් මෙන්ම දැවෙන ප්‍රශ්න ලෙස තිබුණා. 18 වැනි සියවසේ අග භාගයේදී, කඹ වලින් නැවකට ගැට ගැසූ වායු බැලූනයකට නැග, ඈත මුහුදේ එන සතුරු යාත්‍රා නිරීක්ෂණය කිරීමේ ක්‍රමයක් තිබුණා. අද කාලයේදී නම් හිනා යන වැඩක් වුනත්, ඒ කාලයේදී මේවා නව සොයාගැනීම්.

Balloon_barge

මේවා හැඳින්වුණේ Balloon Barge හෙවත් බැලූන් සහිත අලියා බෝට්ටු යනුවෙන්.

19 වැනි සියවසේ මැද භාගය වනවිට, ජලය මතුපිට සිට ගුවන්ගතවීමට සහ ජලය මතුපිටට ගොඩබැස්සවීමට හැකි, ‘සී ප්ලේන් – Sea Plane’ නිර්මාණය කෙරුණා. ඒ ආශ්‍රිතව, මෙම ගුවන් යානා නැවකට පටවාගෙන ගොස්, අවශ්‍ය විටකදී, නැවේ ඇති දොඹකරයෙන් මුහුදට බා, ඉන්පසු ගුවන්ගත කිරීම ඇරඹුනා. 

SOC_scoutplane_is_hoisted_on_board,_during_recovery_by_USS_Philadelphia_(CL-41)

     20 වැනි සියවසේ මැද භාගය වනවිට, නැව් තට්ටුව මතුපිට ගුවන් යානා ධාවන පථයක් ඉදිකර, ප්‍රහාරක ගුවන්යානා රැගෙන යන, (ගුවන් යානා හාරක) නැව් ඉදිකරන්නට, මිනිසා සමත්වුණා. මෙය යුද ඉතිහාසයේ මහා විප්ලවයක් වුනා. මෙවැනි නැව් මගින්, අද ලෝකයේ ඕනෑම තැනකට ගොස්, එහිසිට තම ගුවන් බලය යෙදවීමට බලවත් රටවලට හැකිවී තිබෙනවා. පහත දැක්වෙන්නේ, එවැනි නැව් අතර මුල්ම යුගයේ නැවක් වන, ඇමරිකානු නාවික හමුදාවට අයත්, 1942 දී නිමවූ, ‘යූ එස් එස් ඉන්ඩිපෙන්ඩන්ස්’ නමැති නැවයි.

USS_Independence_CVL-22

38. ගිනි යකෙක් හැම සෙබළාටම

Sub machine Gun & Assault Rifle

2010gal0048      හෙල්ලෙන්, කඩුවෙන්, දුන්නෙන්, පටන්ගත්ත යුද්ධය, නව මගකට යොමුවුණේ, ගිනි අවි නිපදවීම නිසා බව, මේ ලිපි මාලාවේ මීට පෙර කොටස් වලදී, ඔබ අවබෝධ කරගන්නට ඇති. මුල් යුගයේ තුවක්කු ගැන, ඔබට දැන් අවබෝධයක් තියනවා. පතරොම් යෙදිය හැකි තුවක්කු නිපදවීමත් සමග, ප්‍රහාරක ශක්තිය දියුණු කරගත්තත්, එක් එක් වෙඩිල්ලක් සඳහා, නැවත නැවත පතරොම් යොදන්නට වීම, මහා යුද්ධ වලදී බලවත් ප්‍රශ්නයක් වුණා. (පින්තූරය ගත්තේ මෙතනින් ) සෑම සොල්දාදුවකුගේම අතට ස්වයංක්‍රීය ගිනි අවියක් දියහැකිනම්, ප්‍රහාරක ශක්තිය අති විශාල මට්ටමකින් වැඩිදියුණු වන බව පෙනීගියා.  එක  දිගට නොකඩවා, පතරොම් රාශියක් වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවීමට, මිනිසා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, තුවක්කු වර්ග දෙකක් නිපදවන්නට, මිනිසා සමත්වුනා. මෙසේ නිපදවන ලද මසින් තුවක්කු අතරින්, පළමුවැනි වර්ගය හැඳින්වෙන්නේ, ‘සබ් මැෂින් තුවක්කුව Sub machine Gun’ ලෙස. දෙවැනි වර්ගය වන්නේ, ‘ප්‍රහාරක රයිෆල් Assault Rifle’.

   සබ් මැෂින් තුවක්කුවක් යන්න එක වාක්‍යයකින් කියනවානම් මෙහෙමයි.

 පිස්තෝලකට යෙදීම සඳහා සකස්කර ඇති උණ්ඩ යොදවා, ස්වයංක්‍රීයව, එක දිගට වෙඩි තැබිය හැකි තුවක්කු, සබ් මැෂින් තුවක්කු ලෙස සැලකෙනවා.

  මෙවැනි තුවක්කු මෝස්‌තර කීපයක් 20 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර එයින් වඩාත් සාර්ථකම නිමැවුම ලෙස සැලකෙන්නේ, ඇමරිකානු ජාතික ජෝන් ටී තොම්සන් විසින් 1918 දී නිපදවන ලද ‘තොම්සන් සබ් මැෂින් තුවක්කුවයි. Thompson Sub Machine Gun’ මෙන්න ඒ තුවක්කුව.

Submachine_gun_M1928_Thompson

     මේ අවිය දුර සිට සටන් කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මීටවඩා දුර ඉලක්ක ලබාගතහැකි අවියක අවශ්‍යතාව තදින්ම දැණුනා. එහි ප්‍රතිඵලයක්  වශයෙන් තමයි ප්‍රහාරක රයිෆලය Assault Rifle බිහිවුනේ. මොකක්ද ප්‍රහාරක රයිෆලයක් කියන්නේ?

    ප්‍රහාරක රයිෆලයක් යනු, සබ් මැෂින් තුවක්කුවකට යොදවනවාට වඩා විශාල රයිෆල් පතරොම් යොදවා, අර්ධ ස්වයංක්‍රීය සහ පූර්ණ ස්වයංක්‍රීය යන ක්‍රම දෙකෙන්ම වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කුවයි.

    ලෝකයේ ප්‍රථම ප්‍රහාරක රයිෆලය ලෙස සැලකෙන්නේ 1942 දී ජර්මනියේ නිපදවන ලද StG 44 නමැති රයිෆලයයි. 

MP44_-_Tyskland_-_8x33mm_Kurz_-_Armémuseum

  නමුත් ලෝකයේ ජනප්‍රියම ප්‍රහාරක රයිෆලය ලෙස සැළකෙන්නේ, 1945 සිට 1949 දක්වා කාලය තුළ, විවිධ අත්හදා බැලීම් තුළින් දියුණු කළ, රුසියාවේ නිෂ්පාදිත AK 47 රයිෆලයයි.

ak

මේ ආකාරයෙන් සබ් මැෂින් තුවක්කුව සහ ප්‍රහාරක රයිෆලය ලෝක සංග්‍රාම මුහුණුවර වෙනස් කරන්නට දායක වූවා.

39. නිර්දය මගමරුවා – Land Mine

Land-mine      යුද්ධයේදී, තම සතුරාගේ ගමන් මග විවිධ බාධක යොදා අවහිර කිරීම, හානි සිදු කිරීම, ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදීම, ඈත අතීතයේ සිටම සිදු කෙරුණා. මුල් කාලයේදී සිදු කෙරුනේ බොරු වලවල් කැපීම, මාරක උගුල් ඇටවීම, (booby traps) බාධක දිය අගල් සැකසීම, ගස් ගල් පෙරලා මග ඇහිරීම, මගින් භට පිරිස් වලට හානිකිරීම ආදියයි. නමුත්, පිපුරුම් ද්‍රව්‍ය පිලිබඳ මිනිසාගේ දැණුම දියුණුවීමේ ප්‍රතිඵලයක් ලෙස නිපදවාගත් බිම් බෝම්බ, Land Mines සංග්‍රාමයේදී, ඉතා තීරණාත්මක ලෙස, සතුරු බලසේනාවන්හි ආගමනය වෙනස් කිරීමට, මහා පරිමාණ බලපෑමක් එල්ල කළා. පසුගිය යුද සමයේදී, බිම් බෝම්බ වලින් ලංකාව තුළ සිදුවූ හානි කොපමණද යන්න, මා ඔබට අමුතුවෙන් විස්තර කලයුතු නැතැයි සිතනවා. සෙබළුන් මෙන්ම, සිවිල් වැසියන් ගමන්ගත් වාහනද, බිම් බෝම්බ වලට හසුවීමෙන් සිදුවූ විනාශය ඔබට මතක ඇති. බිම් බෝම්බ වල ඉතිහාසය ඉතා ඈත අතීතයට දිවයනවා. ක්‍රිස්තු වර්ෂ 1277 දී පවා, චීන අධිරාජයන් විසින්, විවිධ පිපුරුම් ද්‍රව්‍ය යොදවා, විශේෂ බිම් වෙඩි නිපදවා තිබෙනවා. මේ නිසා, බිම් බෝම්බය, ලෝක සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළ අවියක් ලෙස සැළකෙනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)

40. රොකට් බලයෙන් එන මරණය

Rocket Propelling Grenade – RPG

Russland, Luftwaffensoldat mit Panzerabwehrwaffe      සාමාන්‍ය අත්බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කිරීම වගේම, ගුවනින් බෝම්බ දැමීමත්, දියුණු ප්‍රහාරක ක්‍රම ලෙස සැළකෙනවා. එහෙත්, අපට අවශ්‍ය ඉලක්කයට, එතරම් වෙහෙසකින් තොරව, බෝම්බයක් යැවිය හැකිනම්, එයින් ලැබෙන ප්‍රතිඵලය බොහොම ඉහළයි. මිනිසා විසින් මෙතෙක් නිපදවන ලද, මාරක යුද අවි අතරින්, වඩාත් කැපීපෙනෙන අවියක් ලෙස, රොකට් මගින් ඇදීයන බෝම්බ Rocket Propelling Grenade = RPG හඳුන්වන්න පුළුවන්. පුපුරන ද්‍රව්‍ය කිසියම් හැඩයකට නිමවූ ලෝහ ආවරණයක් තුල තැන්පත්කර, එම ලෝහ ආවරණය (කන්ටේනරය) පිපුරුමට භාජනය කිරීමෙන්, නිශ්චිත ඉලක්කයක් විනාශ කිරීමට හැකිබව සොයාගත්තේ, 19 වැනි සියවසේ මැද භාගයේදීයි. එය හැඳින්වුණේ Shape Charge යනුවෙන්. ඒ ක්‍රමයේ වැඩි දියුණු කල අවස්තාව තමයි, රොකට් මගින් ඇදීයන බෝම්බය. මේ අවියෙන්, යුද ටැංකි විනාශ කරන්නට හැකිවීම නිසා, එය යුදබිමේ විප්ලවයක් කළ අවියක් බවට පත්වෙනවා. 

A Libyan National Transitional Council (

space 2


41. සතුරා වනසන ගිනිකෙළි  

Small Rockets

a9480da1d4a8c1a7b14004654140daae     අද කාලයේ අපි උත්සව අවස්ථා වලදී පාවිච්චි කරන අහස්කූරු, මුලින්ම යුද අවියක් ලෙස පාවිච්ච්චි කල දෙයක් බව ඔබ දන්නවාද? 18 වැනි සියවසේ අග භාගයේදී,  සිලින්ඩරාකාර රොකට්ටු සාදා, ඒවා වෙඩි බෙහෙත් බලයෙන් ගුවනින් සෑහෙන දුරක් යවන්න පුළුවන් බව, මිනිසා විසින් සොයා ගැනුනා. (පින්තූරය ගත්තේ මෙතනින්ඒ තත්වය වැඩි දියුණු කර, රොකට්ටුවේ අග පුපුරන ද්‍රව්‍ය හෝ, වැදුන තැන ගිනි අවුලවන සුළු වෙඩි බෙහෙත් සහිත ශීර්ෂයක් war head සකසා යැවීමට තරම්, මිනිසා සමත්වුණා, 19 වැනි සියවසේ මැද භාගය වනවිට. බලාපොරොත්තු රහිතව සතුරා විශ්මයට පත්කරමින් මහා විනාශක් කරන්නට මේ රොකට් වෙඩි සමත්වුණා.

war_rocket

(පින්තූරය ගත්තේ මෙතනින්

42. වන්ෂොට් මාරයා – Recoilless Gun

 M67_recoilless_rifle_01     20 වැනි සියවසේ මුල් භාගය වනවිට අති ප්‍රබල යුද අවි නිපදවීම අතින් මිනිසා ප්‍රශස්ත මට්ටමක සිටියා. යුද ටැංකි, ශක්තිමත් ගොඩනැගිලි, පවුරු, බංකර, ආදිය වැනසීම සඳහා ඝන මතුපිටවල් විනිවිද යා හැකි අවියක් නිපදවීම සඳහා මිනිසා දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් රිකොයිල්ලස් තුවක්කුව (රයිෆලය) නිපදවුනා. Recoilless Rifle = RCLR ඇත්තටම රිකොයිල්ලස් තුවක්කුව කියන්නේ කාලතුවක්කුවක බටය ගලවා අතට ගෙන එයට මහා විශාල පතරොමක් දමා වෙඩි තැබීම කිව්වත් වැරැද්දක් නැහැ. මොකක්ද මේ රිකොයිල්ලස් කියන්නේ? ඔබ දන්නවනේ තුවක්කුවකින් වෙඩි තියනකොට, ඒ තුවක්කුව පස්සට ගැස්සෙනවා කියලා. ඒ නිසා, විශේෂයෙන් කාලතුවක්කු වල සවිකරලා තියනවා, වාහන වල තියනවා වගේ සිලින්ඩරාකාර ෂොක් ඇබ්සෝබර්. එයින් තමයි, වෙඩිල්ලක් තැබුවාට පසු, වේගයෙන් පසුපසට ඇදී එන කාලතුවක්කු බටයේ පීඩනය දරන්නේ. එසේ පසුපසට ගැස්සීමට තමයි කියන්නේ, රිකොයිල් කියලා. එතකොට රිකොයිල්ලස් කියන්නේ මොකක්ද? එහෙම පසුපසට තුවක්කු බටය එන්නේ නැහැ කියන එක. මේ තුවක්කුව ඉතා ප්‍රබල භයානක අවියක්. ලෝක සංග්‍රාම භූමියේ තීරණාත්මක අවියක්. මේ ගැන මම වෙනමම ලිපියක් පසුව ලියන්නම්.

Rcl106lat2

රිකොයිල්ලස් තුවක්කුවකින් වෙඩි තියන හැටි පහත වීඩියෝවෙන් බලන්න. බයිට් යනවට ලෝබ වෙන්න එපා තත්පර 55 යි යන්නේ.

space 2

43. දිවඇස් දිවකන්  

The Radar & Sonar

eyes-and-ears     බෞද්ධ දර්ශනයේ කියවෙන දිබ්බ චක්ඛු, දිබ්බ සෝත, කියන දෙක ඔබ දන්නවා ඇතිනේ. දිබ්බ චක්ඛු කියන්නේ දිවැස්. ඒ කියන්නේ එක ස්ථානයක සිදුවෙන දෙයත් තවත් ස්ථානයක සිට දැකීමේ සුවිශේෂී හැකියාව. එලෙසම එක ස්ථානයකින් නැගෙන හඬක් එතනට ඉතා ඈතින් සිට ශ්‍රවණය කිරීමේ හැකියාව තමයි, දිබ්බ සෝත හෙවත් දිව කන් කිව්වේ.

Radar-hatzerim-1-1

යුද්ධ කරන්නත් දිවැස් සහ දිවකන් තිබුනානම් හොඳයි කියලා මිනිසාට හිතුනේ 20 වැනි සියවසේ මුල භාගයේදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි රේඩාරය නිපදවුණේ. රේඩාරය RADAR = RAdio Detection And Ranging  නිපදවීමේ පුරෝගාමියා වුණේ ජර්මානු ජාතික හෙන්රික් හර්ට්ස් බවත් ඔබ දන්නවා ඇති. රේඩාර් යන්ත්‍රයකින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග, කිසියම් ඝන මතුපිටක (සමහරවිට ඝන වලාකුලක් වියහැකියි) වැදී පරාවර්තනය වීමට ගතවන කාලය විශ්ලේෂණය කිරීම මගින්, ගුවනේ, ගොඩබිමේ හෝ මුහුදේ චලනය වන කිසියම් වස්තුවක, චලනය සිදුවන දිශාව, වේගය, පොළොවට හෝ මුහුදට කොපමණ උසකින් ගමන් කරන්නේද, රේඩාරය පිහිටි ස්ථානයට කොපමණ දුරකින්, මේ මොහොතේ එම වස්තුව තිබෙන්නේද, වැනි තොරතුරු ලබාගත හැකියි. 

RadarScreen

     සෝනාර් – SONAR = SOund Navigation And Ranging ක්‍රමය ප්‍රධාන වශයෙන් යොදාගන්නේ, දියයට කෙරෙන ගවේෂණ, සබ්මැරීන් ගමනාගමනයේදී, අවට පරිසරයේ යන නැව් සහ අනෙකුත් සබ්මැරීන පිළිබඳ තොරතුරු දැනගැනීම, යන කටයුතු සඳහායි. මෙහිදීද කෙරෙන්නේ, සෝනාර් යන්ත්‍රයෙන් දිය යට සෑම අතටම පැතිර යන පරිදි, නිකුත් කරන සූක්ෂ්ම ශබ්ද තරංග පරාවර්තනයවීම විශ්ලේෂණය කොට, දිය යට තිබෙන විවිධ ඝන වස්තු වල විශාලත්වය, ඒවා චලනය වන්නේනම් දිශාව, සෝනාර් යන්ත්‍රය සවිකර ඇති යාත්‍රාවේ සිට එම වස්තුවට ඇති දුර, එම වස්තුවේ චලන වේගය සහ දිශාව, ගමන් කරන්නේ කොපමණ ගැඹුරකින්ද, වැනි තොරතුරු පිළිබඳව රූපයක් CRT හෝ LCD තිරයක් මතට ලබාගැනීමයි. සෝනාර් යන්ත්‍ර නිපදවීමට, වවුලා සතු එවැනි ක්ෂුද්‍ර ශබ්ද තරංග යැවීමේ හැකියාව අධාරවූ බවද කියවෙනවා. 1912 දී සිදුවූ ටයිටනික් ඛේදවාචකයට මසකට පසුව තමයි, බ්‍රිතාන්‍ය ජාතික ලුවී රිචඩ්සන් විසින්, මුල්ම යුගයේ සෝනාර් යන්ත්‍රයක් සඳහා පේටන්ට් අයිතිය ලබා තිබෙන්නේ. එහෙත් ක්‍රි.ව. 1490 දී ලියනාඩෝ ඩා වින්සි විසින්, සෝනාර් යන්ත්‍රයක දළ සැළැස්මක් සකසා තිබෙනවා. 

Motte-Picquet-tugged-sonar

sonar-scope-7392911

සෝනාර් උපකරණය සහ රේඩාර් උපකරණය ලෝක සංග්‍රාම භූමිකාව නව මගකට ගැනීමට හේතුවූ අවි දෙකක් ලෙසයි සැළකෙන්නේ.

44. යුදබිමේ ගිනි මාරයෝ

Thermite, Napalm & Other Incendiaries

6_crop_400x250_bild-417     අපේ පැරැන්නෝ, තමන්ගේ වගාබිම් ජනාවාස ආදිය වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්න රාත්‍රී කාලයේදී මහා ගිනිමැල පත්තු කළා. සංග්‍රාමයේදී, ගිනි ඊතල, සතුරන් වෙතත් සතුරු බලකොටු වෙතත් විද්දා. එමෙන්ම පැරණි හින්දු දේව කථා වල සඳහන් වෙනවා, දෙවිවරු සතුරන් හා තමන් අතර ගිනි වැටවල් මැවූ බව. දැන්නම් ගිනිවැට තියෙන්නේ පරිගණකයේ නේ. මේ සියල්ලෙන් පෙනීයන්නේ, ගින්දර, අවියක් ලෙස භාවිත කිරීම, අනාදිමත් කාලයක සිට මිනිසා විසින් කර ඇති බවයි. (පින්තූරය ගත්තේ මෙතනින්)

 541px-ThermiteReaction     ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව, වර්තමානයේදී, ගිනි ඇවිලෙන බෝම්බ සහ එවැනි යුද අවි තහනම් වුවත්, 20 වැනි සියවසේදී, ඒවා බහුලවම යොදාගැනුණා. මුල් යුගයේ නිපදවන ලද, ක්ෂණිකව ගිනි ඇවිලීමෙන් පසු, අධික උෂ්ණත්වයක් බිහිකිරීමෙන්, ගින්නක් පැතිරවීමේ හැකියාව ඇති, රසායන ද්‍රව්‍ය මිශ්‍රණය හඳුන්වන ලද්දේ, තර්මට්යිට් – Thermite යනුවෙන්.

NAPALM STRIKE      මීට වඩා භයානක විනාශයක් කළ, ගිනි බෝම්බ වර්ගය වුණේ, ඇමරිකා එක්සත් ජනපදය විසින්, 20 වැනි සියවසේ මැද භාගයේදී නිපදවන ලද, නාපාම් – Napalm බෝම්බයයි. එමගින්, අධික උෂ්ණත්වය නිසා ගින්නෙන් සිදුවන හානියට අමතරව, පරිසරයේ තිබෙන ඔක්සිජන් ක්ෂණිකව දහනය කරන නිසා, ඔක්සිජන් ඌනතාවයෙන්ද මිනිසුන් මියයනවා. මේ බෝම්බ වර්ගය, බහුල ලෙස භාවිත කෙරුනේ වියට්නාම් යුද්ධයෙදියි. (පින්තූරය ගත්තේ මෙතනින්)

8b      ගිනිදැල් විදින අවියක් ලෙස, මෑතකදී වඩාත් බහුලව භාවිත කෙරුණේ,  ෆ්ලේම්  ත්‍රෝවර් – Flamethrower නමැති අවියයි. මෙමගින්, මීටර් 100 පමණ සිට 300 පමණ දුරක් දක්වා, ගිනි දැල්ලක් යැවිය හැකි අතර, එහි ඇති, ඇලෙන සුළු, වහා ගිනිඇවිලෙන, රසායනිකය නිසා, මහා විනාශයක් ඇතිකරනවා.  වර්තමානයේදී, මේ අවියත් අමානුෂික අවි ගණයට අයත් වෙනවා. කෙසේ වෙතත්, මේ අවි, ලෝක සංග්‍රාම භූමිය තුළ මහා බලපෑම් එල්ලකළ අවි ලෙස, ඉතිහාසගත වෙනවා.

45. සතුරා වෙත අහසින් පාත්වීම

The Parachute & The Glider

16th_Airborne_Division_1953      සංග්‍රාමයකදී, සතුරා වෙත ළඟාවීම සඳහා භාවිත කළහැකි සියලුම මාර්ග, නොබියව භාවිත කිරීමට සිදුවෙනවා. ගුවනින් සතුරා වෙත ළඟාවියහැකි එක් ක්‍රමයක් වන්නේ, පැරෂූට් මගින් සතුරු භූමියට පැනීමයි. අද මේ ක්‍රමය ඉතා සීමා සහිතව පාවිච්චි කෙරුණත්, දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදී නම් මහා පරිමාණයෙන් සිදු කෙරුණා. පැරෂූටය, අද සීමා සහිතව භාවිත කෙරෙන්නේ, සතුරාට පහරදියහැකි නවීන ආයුධ වන මිසයිල් සහ යුද ගුවන් යානා, අද එදාට වඩා අතිශයින් දියුණු නිසයි. රාත්‍රී කාලයේදී, නිහඬවම, සතුරු භූමිය වෙත භට පිරිස් ඇතුළු කිරීමේ උපක්‍රමයක් ලෙස, පැරෂූට් යොදාගැනීම එදා අතිශයින් සාර්ථක වුණා. (පින්තූරය ගත්තේ මෙතනින්)

 800px-Waco_CG-4A_USAF     අද කාලයේ විනෝදය සඳහා බහුලවම යොදාගන්නා ග්ලයිඩරය, දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදී නම් බහුලවම යොදා ගැනුනේ, සංග්‍රාම භූමියේ සටන් පෙරමුණු ආසන්න ප්‍රදේශ වලට, හදිසි අවි ආයුධ/භාණ්ඩ/ආහාර/භට පිරිස්/ ආදිය සැපයුම් ක්‍රමයක් ලෙසයි. ග්ලයිඩරය කියන්නේ එන්ජිමක් නැති ගුවන් යානයක්. එන්ජිමක් සහිත යානයකින්, මේ යානය, ඇදගෙන යාමේ කඹයක් මගින්, ගුවන් පථය දිගේ වේගයෙන් ඇදගෙන යනවා. එහිදී මේ යානය, සුළං පීඩනයෙන් ගුවනට නගිනවා.  ගුවනට නැගි වහාම, ග්ලයිඩරය පැත්තෙන් අර කඹය ගලවනවා. යානය එහා මෙහා හැරවීමට අවශ්‍ය උපකරණ යානයේ තියනවා. නමුත් මේ යානයක් ක්‍රමයෙන් බිමට පාත්වෙන ආකාරයටයි ගමන් කරන්නේ. එන්ජිමක් නැති නිසා කිසිම බලයක් නැහැ. සංග්‍රාම භූමියේ අවශ්‍ය තැනට හැකිතරම් ආසන්න, විවෘත භූමියකට පහත් කරගැනීම පමණයි කරගත හැක්කේ. එහිදී යානයට/ගෙනයන භාණ්ඩ වලට/නියමුවාට/මගීන්ට/ හානිවෙන්න හොඳටම ඉඩ තිබෙනවා. ඒ නිසා මේ යානා යොදාගත්තේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණයි. එමෙන්ම නැවත පාවිච්චියට ගැනීමට අවශ්‍ය නොවන ලෙස, ලී වැනි දේවලින් තමයි, බොහෝවිට මේ යානා හැදුවේ. මේ යානයෙන් කිසිම ශබ්දයක් නොනැගෙන නිසා, රහසේ යුද භූමියට යන්න විශාල රුකුලක් ලැබුණා. 

46. සෙමෙන් පැමිණ ගොඩබැසීම

The Landing Craft

LC 01 TzMVS 52297      සංග්‍රාම භූමිය වෙත මුහුදෙන්/ගංගාවකින් රැගෙන එන භට පිරිස් බොහෝවිට ඉන්නේ දැඩි අවදානමක. ඔවුන්ට ගුවනින් හෝ මුහුදෙන්ම ප්‍රහාර එල්ලවෙන්න බොහෝවිට ඉඩකඩ තිබෙනවා. ඔවුන්ව ගොඩබිම වෙත රැගෙන එන්නට, නැව් වලින් යලිත් බෝට්ටු වලට මාරු කිරීමත් අවදානම්. එමෙන්ම, නැවක් නවත්වන්න විශාල ජැටියක් අවශ්‍යයි. නමුත් ඒ කිසිවක් නැතිව, කෙළින්ම මුහුදු වෙරලටම පැමිණ, තම යාත්‍රාවේ ඇති භාණ්ඩ/යුද ටැංකි/කාලතුවක්කු/භටපිරිස්/ ගොඩබැස්සවියහැකි යාත්‍රා විශේෂයක් තියනවා. ඒවා හඳුන්වන්නේ, ගොඩ බැසීමේ යාත්‍රා හෙවත් Landing Craft යනුවෙන්. මේ යාත්‍රා වලට, භාණ්ඩ/මගීන්/උපකරණ/ විශාල ප්‍රමාණයක් ගෙනයාහැකියි. මෙහි පතුළ පැතලියට සාදා තිබෙන නිසා, වෙරල අයිනටම එන්න පුළුවන්. එක පැත්තක තිබෙන විශාල දොර ඇරියම, එය පාලමක් මෙන් ක්‍රියාකරනවා. යුද ටැංකි/කාලතුවක්කු/භටපිරිස්/ ගොඩබිමට ගන්නට. හැබැයි මේ යාත්‍රා යන්නේ බොහොම හෙමින්. අපේ නාවික හමුදාවෙත් මේ යාත්‍රා තිබෙනවා. 1991 වර්ෂයේදී මම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා, මේ යාත්‍රාවකින් ආවේ පැය 12 කින්. ‘සනීපයි නේද’ ? 😀 මේ යාත්‍රා ලෝක සංග්‍රාම භූමියේ විප්ලවයක් කළ නිපැයුමක් ලෙස සැළකෙනවා.

LCT Crusader

Royal_Marines,_landing_craft_utility,_26Feb2003

space 2

47. හඹා එන මාරයා  

ICBM & Cruise Missiles

Atlas-B_ICBM      ඈත සිටින සතුරෙකුට පහරදීම සඳහා ආදී මානවයා කළේ, අතට ගතහැකි ගලක් වැනි යමකින් දමා ගැසීමයි. එයින් සිදුකළේ, නිශ්චල ඝන වස්තුවකට චාලක ශක්තිය ලබාදී, එය කිසියම් නිශ්චිත ඉලක්කයක් වෙත යොමුකිරීමයි. ඒ තමයි මිසයිලයේ ආරම්භක ප්‍රාථමික අවස්ථාව. අදනම්, මිසයිල් තාක්ෂණය කියන්නේ, දිනෙන් දින, පැයෙන් පැය, වෙනස්වෙමින්, වඩාත් දියුණු වෙමින්, (භයානක වෙමින්) පවතින මහා තරගයක්. රොකට් වෙඩි යැවීම, තව දුරටත් වැඩි දියුණු කර, න්‍යෂ්ටික හෝ න්‍යෂ්ටික නොවන, එසේ නැතහොත්, භයානක රසායනික හෝ ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය සහිත, පිපුරුම් හිසක් – Warhead කිලෝමීටර් දහස් ගණනක් ඈත, වෙනත් මහාද්වීපයක පිහිටි ඉලක්කයක් වෙත යැවිය හැකි තරම්, අද මිසයිල් තාක්ෂණය දියුණුයි. මහා බරපතළ විනාශයක් කළහැකි,  එවැනි මිසයිල් හඳුන්වන්නේ, අන්තර් මහාද්වීපික බැලස්ටික්  මිසයිල් – InterContinental Ballistic Missile යනුවෙන්. මෙවැනි මිසයිල් පිළිබඳව පුරෝගාමී වී මුල්ම අත්හදා බැලීම් ඉතා රහසිගතව ජර්මනිය විසින් සිදුකෙරුණේ 1940 දශකයේ සිටයි.

800px-Tomahawk_Block_IV_cruise_missile      අන්තර් මාහාද්වීපික මිසයිලයටත් වඩා භයානක, ඉතා නවීන තාක්ෂණයෙන් යුත් අවියක් වන්නේ, කෘස් මිසයිලයයි –  Cruise Missile අන්තර් මහාද්වීපික මිසයිලය පාලනය වන්නේ සාම්ප්‍රදායික රොකට් චාලක ශක්තිය ඇසුරු කරගෙනයි. නමුත්, කෘස් මිසයිලය පාලනය කිරීමට, චන්ද්‍රිකා තාක්ෂණයත් යොදාගන්නා අතර, ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කිරීමට පවා හැකියාවක් තිබීම, මිසයිලයේම ඇති විද්‍යුත් පරිපථ මගින්, ස්වයංක්‍රීයව ගමන් මග නිවැරදි කරගැනීම, ගොඩබිම, මුහුදේ, ගුවනේ, ඇති ඉලක්ක වෙත, අති සියුම් නිරවද්‍යතාවයකින් යුක්තව යොමුකළ හැකිවීම, කෘස් මිසයිලයේ සුවිශේෂතා ලෙස දැක්විය හැකියි. මේ මිසයිල් දෙවර්ගය ලෝක සංග්‍රාමයට නව මුහුණුවරක් ගෙනදුන්නා. 

48. ප්‍රයෝජනවත් (භයානක) බත්කූරා

The Helicopter 

756px-R-4_AC_HNS1_3_300     අපි දන්නවනේ පිහියෙන් පාන් කපන්න එලවකු කපන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන්. කොයි දේ වුනත්, හොඳ පරමාර්ථයකින් හොඳ දෙකට යොදාගන්නතුරු හොඳයි. හැබැයි, ඔය කොයිදේ වුනත්, ඒ වගේම නරකටත් යොදාගන්න පුළුවන්. හෙලිකොප්ටරය කියානේ මිනිසාට කොයිතරම් ප්‍රයෝජනවත් ගුවන් ප්‍රවාහන යානයක්ද කියන එක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හෙලිකොප්ටරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. ඒ කාලයේ චීනයේ තිබුණු ක්‍රීඩා භාණ්ඩයක් වුණේ, කරකවා උඩ යැවිය හැකි, බට පතුරු බමරයක්. එය, හෙලිකොප්ටර් තලය නිපදවීමේ අදහස, මිනිසා තුළ පහළවීමට බලපෑමක් ඇතිකළා. 20 වැනි සියවසේ දී, විවිධ අත්හදා බැලීම් රාශියක් සිදුකෙරුනා. වර්තමානයේදී භාවිතාවෙන හෙලිකොප්ටරයේ නිර්මාතෘ ලෙස සැළකෙන්නේ, 1944 දී හෙලිකොප්ටරය නිපදවූ, රුසියානු ජාතික ඉගෝර් සිකොර්ස්කි. වර්තමාන ලෝකය හොල්ලන ප්‍රහාරක හෙලිකොප්ටර් ගැන ඔබ අහලා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ ඇපාචී හෙලිකොප්ටරය, සහ කෝබ්‍රා හෙලිකොප්ටරය, රුසියාවේ මිල් එම්.අයි. 24 (හින්ද්) හෙලිකොප්ටරය, අද ලෝකයේ කැපී පෙනෙන ප්‍රහාරක හෙලිකොප්ටර් ලෙස හඳුන්වන්න පුළුවන්. 

767px-AH-64D_Apache_Longbow

800px-Ah-1cobra_1

800px-Russian_Air_Force_Mil_Mi-24PN_Dvurekov-6

space 2

49. දැනුමෙන් විනාශය – Nuclear Bomb

800px-Atomic_bombing_of_Japan     මිනිසා තම ඥානය විවිධ පැතිකඩ ඔස්සේ යොමු කරමින් මානව වර්ගයාගේ හිත සුව පිණිස ක්‍රියා කරනවා මෙන්ම, මානව වර්ගයාගේ සහ පෘථිවිය නමැති ග්‍රහලෝකයේ විනාශය කරා යොමු කිරීමද අතිශයින් ශෝචනීයයි. තම සතුරාට පහර දෙන්නට, සමූල ඝාතක අවි Weapon of Mass Destruction නිපදවීමට තම මිනිසා සාහසික වුණේ, ධනය බලය ආදී තන්හා සිතුවිලි නිසයි. සංග්‍රාමය යන වචනය ඇසෙත්ම, ඇඟ කිලිපොලා යන, ලොමු දැහැගැන්වෙන, වචනයක් වන්නේ පරමාණු බෝම්බයයි. ඇමරිකා එක්සත් ජනපදය විසින්, ජපානජේ හිරෝෂිමා සහ නගසාකි යන නගර දෙකට, පිලිවෙලින් 1945 අගෝස්තු 6 සහ 9 යන දෙදින තුළ එල්ල කළ, පරමාණු බෝම්බ ප්‍රහාර සමග, න්‍යෂ්ටික බෝම්බයේ භයානක බව ලෝකය අත්වින්දා. අද වනවිට, එදා ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බයට වඩා, දහස් ගුණයකින් භයානක බෝම්බ නිපදවා ඇති අතර, එයින් මුළු ලෝකයේම මානව වර්ගයාට එල්ලවී ඇති තර්ජනය, වචනයෙන් කිව නොහැකි තරම්. ලෝක සංග්‍රාම භූමිය අලුත්ම අතකට යොමුකළ අවියක් ලෙසයි, න්‍යෂ්ටික බෝම්බය සැළකෙන්නේ. 

50. දියුණුවේ උපරිමය

Future High Technology

      ලෝක සංග්‍රාම භූමිකාව දිනෙන් දින වෙනස්වෙනවා. සෑම බලවත් රටක්ම, නවීන යුද තාක්ෂණය කෙරෙහි, ඉතා දැඩි අවධානයක් යොමුකොට සිටිනවා. ලෝකය පුරාම, ප්‍රසිද්ධියේ මෙන්ම අතිශයින් රහසිගතවද, නොකඩවාම විවිධ මට්ටමේ පර්යේෂණ සිදුකෙරෙමින් පවතින අතර, එයින් කෙබඳු ආකාරයේ නවීන යුද තාක්ෂණයක් බිහිවේද යන්න, කිසිවෙකුටත් නිවැරදිව පුරෝකථනය කළ නොහැකියි. හැබැයි එක දෙයක් නම්, ඉඳුරාම කියන්නට පුළුවන්. තව තවත් ඉදිරියට යන්නට යන්නට, මානුෂිකත්වයනම් අන්තයටම පිරිහෙනු ඇති. ඒ නිසා ලෝක සංග්‍රාම භූමිය වෙනස් කරන 50 වැනි අවිය වන්නේ නවීන යුද තාක්ෂණයයි.

2ms0bww

පින්තූරය ගත්තේ මෙතනින්    

තවත් දීර්ඝ ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මේ දීර්ඝ ලිපි කියවීමෙන් ඔබේ දැණුමට යමක් එක්වුවානම්, ඔබ නව අත්දැකීමක් ලැබුවානම්, ඒ තමයි මගේ පරම සතුට.

ලබාගත් ස්ථානය විශේෂයෙන් සඳහන් කර නැති සියලුම පින්තූර විකිපීඩියා විශ්වකෝෂයෙනි.

my-signature-for-blog[1]     2014 පෙබරවාරි මස 20 දින 0055 පැය.

Advertisements

Comments on: "සංග්‍රාමයේ පියසටහන් (හතරවැනි කොටස) Milestones of Warfare (Part Four)" (25)

  1. සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව විශිශ්ට ලිපි මාලාවක්.තවත් මෙවැනි ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවා යැයි පතමි.ඔබට ජය.

  2. “මිනිසා තම ඥානය විවිධ පැතිකඩ ඔස්සේ යොමු කරමින් මානව වර්ගයාගේ හිත සුව පිණිස ක්‍රියා කරනවා මෙන්ම, මානව වර්ගයාගේ සහ පෘථිවිය නමැති ග්‍රහලෝකයේ විනාශය කරා යොමු කිරීමද අතිශයින් ශෝචනීයයි” මිනිසා මිනිසා ගැනම නැවත නැවතත් සිතා බැලිය යුතුබවමැනවින් අවධාරණය වෙනවා. විශ්වය සෙයා යමින් වෙනත් තැන් සෙවීමට වඩා බඹයක් පමණ ශරීරයක් ඇති තමා තුළම විශ්ව ගවේශනයේ යෙදෙන්න. මුළුමහත් විශ්වයම දැකිය හැකිය. තම අභ්‍යන්තරය තුළ ගවේශනය කිරීමේ වැදගත්කම පෙරදිග දර්ශනය තුළින් අවධාරණය වෙනවා. යන්න ඔබේ ලිපිමාල‍ාවෙන් පාඨකයා ඥාණනය කරනවා. ඔබට නැවතනැවතත් පින් දෙමි

    • මගේ අඩවි දෙකටම ඇවිත් අදහස් දක්වන එකම පාඨකයා ඔබයි. ඔබේ අදහස්වල ඇති පරිනත භාවය මා ඉතා විශාල ලෙස දිරිගැන්වීමට ලක්කරනවා. බොහොම ස්තුතියි ඔබට.

  3. ඒ ඔක්කොමත් හරි 50 (අන්තිම එක) තේරුනේ නෑනේ….
    මේටික ඉවරයි කියන්නේ ඊලඟ ලිපිය Archery නේද 😀

    • පනහෙන් කියන්නේ මිනිසාගේ තාක්ෂණික දැනුමත් එක්තරා ආකාරයක අවියක් කරගෙන අනාගතයේදී අප මෙතෙක් නොසිතු ආකාරයේ අවි හැදෙන්න පුළුවන් කියන එකයි. ඒ දැනුම තුළින් මොනවගේ නිර්මාණ බිහිවෙයිද කියන එක කාටවත් කියන්න බැහැ.

      අනේ සහන් දුනු විදීම නම් දන්නේ නැති දෙයක්. විකිපීඩියාවෙන් තොරතුරු අරන් ලියනවට කැමතිද?

  4. අපොයි අද නේ මං සෑහෙන දවසකින් ආවේ. විශ්ෂ්ඨ ලිපියක් විචාරක තුමා, හරියට පත අට එකට හිඳවා ගත්තා වගේ. අර විනාඩි 10 ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වගේ ලියල තියනවා. මේ වගේ ලිපියක් දැකීමත් සතුටක් බ්ලොග් වල. මේ ටිකේ මං ලංකාවේ. ඒ නිසයි ටිකක් ආපහු මෙහෙට එබෙන්න වෙලාවක් ලැබුනේ. ඔබතුමා හැබැහින් දකින්න ආසයි. ඔබට බොහොම ස්තුතියි මේ වගේ ලිපි පෙළක් පල කරනවාට.

    පොඩි ඇණයක් වෙන්න හදන්නේ.. අර ආයුධ කට්ටලේ එක්ක කන බොන විදිය ගැන ලිපියක් ලියන්න ඔබතුමාට හිතෙන්නෙම නැද්ද? මේ ලඟදි දැක්ක දසුනක් නිසා මට මතක්වුනේ ම ඔබතුමා..

    • ටිකක් මහන්සිවෙලා ලියපු ලිපි මාලාවක්. නමුත් ඒ මහන්සිය අපතේ ගිහින් නැතිබව පෙනෙනවා බොහෝ දෙනෙක් මේ පිලි මාලාව ඇගයීම නිසා. ඔයා ළඟ මගේ දුරකථන අංකය තියනවාද? නැත්නම් wmjgslsr@gmail.com එකට ඊයක් එවන්නකො.

      ආයුධ කට්ටලේ ගැන මෑතකදී වෙනත් අඩවියක ලියලා තිබුන නිසා ටිකක් ප්‍රමාද වෙලා ලියන්නම්.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

    • ක්සැන්ඩර් දැන් මොකද අනිත් තැන් වල දකින්න නැත්තෙ ?

  5. බොහෝදෙනෙක් නොදන්න ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් ව්චාරක තුමා ඉතාමත් රසවත් ලෙස ඉදිරිපත් කරල තියෙනවා…….

    මමත් මගෙ දැනුම අලුත් කර ගත්තා……..

    ඉදිරියටත් මෙවැනි හරවත් ඒ වගේම රසවත් ලිපි ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ලැබේවා……

  6. විචාරක මහත්තයා…… මට මතකයි ලලිත් ඇතුලත්මුදලි මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉන්නකොට බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන රථයක් හැදුවා නේද ? ඒකට මොකද වුනේ

    • ඔව් අපේ හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉතා සාර්ථකව ‘යුනිකෝන්’ නමින්, බෝම්බ වලට ඔරොත්තුදෙන රථයක් හැදුවා. 1987 දී තමයි හැදුවේ. ඒ රථ අදටත් හදනවා. යුද්ධයේදී විශාල සේවයක් ඉටුවුනා ඒ රථ වලින්. මේ තියෙන්නේ පින්තූරේ.

      මෙන්න පින්තූරේ

  7. මම ඉතින් අන්තිම එක මුලින් කියවලා මුල ටික අන්තිමට කියවන්න පටන් ගන්නවා. හරි අදහස කියන්න ඒටික කියවලම එඤ්ඤං..

  8. Armoured Vehicles මං ආසම දෙයක්. වෙලාවකට හිතෙනව මටත් එකක් තිබුන නම් කියල. ඒ ලිපිය කියවන්න ආසාවෙන් බලා ඉන්නෙ මං.

    මිනිස්සු කරන යුද්දෙ මෙහෙම නම් රොබෝවරු යොදා ගෙන කරන යුද්ද ගැන කවර කතා ද.. අපි චිත්‍රපට වල හෙම දකින යුද තාක්ෂණය දේවල් දැනටමත් අමෙරිකාව වගෙ රටවල යම් මට්ටමකින් හෝ ඇති කියල මට හිතෙනව..
    හැමදාම වගෙ මේ වගෙ වටිනා කරුනු එකතු කරල ලිපි ලියනවට ඔබට බොහොම ස්තුතියි..

    • හැකි ඉක්මනින් සන්නද්ධ රථ ගැන ලිපිය ලියන්නම්. තවමත් එළියට නොගත්, ලොකු තුරුම්පු හැටියට පාවිච්චී කළහැකි භයානක අවි, ලෝකයේ බලවත් රටවල් විසින් හංගාගෙන ඉන්නවා.

      ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

  9. මේ ලිපි මාලාවම බොහොම රසවත්…බ්ලොග් අවකාශයට මේ දැනුම බෙදන්නේ ඔබ පමණක් නිසා ඔබතුමාට බෙහෙවින් සතුටු වෙන්න පුලුවන් මේ ව්‍යායාමය පිළිබදව….වෙනසකටත් එක්ක යුධ අවි වලින් තොර වූ දෙයක් ලියන්න. මම හොදටම දන්නවා ඔබට එවැනි කථා බොහොමයක් තිබෙන බව…ජය !

    • ඇත්තටම සිරා සෑහෙන වෙහෙසක් ගෙන ලියන ලද ලිපි මාලාවක්. නමුත් මා සිතුවාට වඩා පාඨක අවධානය ඒ කෙරෙහි යොමුවී තිබීම සතුටක්.

      අවි ආයුධ නැති කථා කීපයක් හෙට අනිද්දම දෙනවා.

      ස්තුතියි ඇගයීම ගැන.

  10. මෙතෙක් අන්තර්ජාලයෙන් කියවන ලද සාර්ථකම ලිපියයි.

  11. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org…ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

  12. ඔබට පුලුවනද අප රටට තියන ගුවන් යානානාශක හැකියාව හා ගුවන් යානා අරක්ශක පද්දැතින් සම්බන්දව ලිපියක් පලකරන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: