විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  50 weapons that changed Warfare

නමැති කෘතිය ඇසුරෙනි

     

     සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව පිළිබඳව ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පෙනීයන්නේ, සංග්‍රාමය නමැති විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන, සෑහෙන පිරිසක් සිටින බවයි. ලිපි මාලාවේ පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස කෙරෙහිත් සෑහෙන පාඨක අවධානයක් ලැබී තිබුණා. මෙවැනි ලිපි වලින්, ඓතිහාසික තොරතුරු ඔබවෙත ගෙන ඒමක් විනා, යුද අවි පිළිබඳව පුරසාරම් කීමක් කරන්නට, බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ දැණුමට යමක් එක්කිරීමයි මගේ පරමාර්ථය. හොඳයි, අපි මේ වනවිට, මේ පෘථිවි තලය මත මෙතෙක් පැවති, සියළු සංග්‍රාමයන්ගේ මුහුණුවර වෙනස් කෙරීම කෙරෙහි, තීරණාත්මක බලපෑම් එල්ල කල අවි 20 ක් පිළිබඳව සාකච්ඡා කොට අවසන්. අද 21 වැනි අවියේ සිට 35 වැනි අවිය දක්වා සාකච්ඡා කරන්නටයි, මා බලාපොරොත්තුවන්නේ. ලිපිය දික්වීම වළක්වාගැනීම සඳහා, කෙටි හැඳින්වීම් පමණයි ඉදිරිපත් කරන්නේ. 

21. වාෂ්ප බලයෙන් යුද්ධයට පිවිසීම

Steam Powered Warships

 USS_Cherokee_1864     අද කාලයේ නැව් සහ බෝට්ටු මෙන්ම නොයෙක් ආකාරයේ අනෙකුත් ජල යාත්‍රා ධාවනය කිරීම සඳහා බහුළවම යොදාගන්නේ ඉන්ධන බලයෙන් ක්‍රියා කරන එන්ජින් බව ඔබ දන්නවා. පරමාණු බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් පවා අද පාවිච්චි කරනවා. වාෂ්ප බලයෙන් යාන්ත්‍රික ශක්තිය උපදවාගත හැකිබව මුලින්ම සොයාගත්තේ ස්පාඤ්ඤ ජාතික ජෙරනිමෝ ඩි අයන්ස් විසින් ක්‍රි.ව. 1606 දී. ඉන්පසු, ක්‍රි.ව. 1679 දී, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් සේවරි විසින්, වාෂ්ප බල යන්ත්‍රයක් සාදා, යාන්ත්‍රික ශක්තිය උපදවාගත්තා. නමුත්, පිස්ටනයක් සහිත වාෂ්ප බල යන්ත්‍රයක් මුලින්ම සාදන ලද්දේ, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් නිව්කොමන් විසින් 1712 දී. මේ සියල්ලටම වඩා කාර්යක්ෂම, වාහනයකට හෝ ජල යාත්‍රාවකට සවි කළහැකි වාෂ්ප එන්ජිමක් Steam Engine මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ, බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් වොට් වෙතයි. ඔහු එම නිපැයුම කළේ ක්‍රි.ව. 1781 දීයි. තවත් වැඩිදියුණු කළ වාෂ්ප එන්ජින් සහිත නැව් මගින්, යුදහමුදා භටපිරිස් ප්‍රවාහනයට අවකාශ ලැබීම, සංග්‍රාමික කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇතිකළා. එමගින් සමහර රටවල සංග්‍රාමික ශක්තිය වේගයෙන් වර්ධනය වුනා.

22. යකඩයෝ පීනති ගිලෙති

The Armoured Battleships

 Uss_nevada     ඉබ්බාට වගේ හයිය කටුවක් අපිටත් තිබුනානම් හදිස්සියකදී ආරක්ෂාවීම සඳහා ඇතුළට රිංගන්නවත් තිබුණා. කොහෙද දෙයියෝ එකත් දීලා තියෙන්නේ ඉබ්බටනේ. 😀 ඇත්තටම මිනිසා බොහොමයක් නව නිපැයුම් සඳහා අදහස් ලබාගන්නේ ස්වභාවධර්මය ඇසුරෙන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. වෙඩි ප්‍රහාරයකින්, ටෝර්පිඩෝ බෝම්බ සහ මුහුදු බෝම්බ (පසුව සාකච්ඡා කරනවා) ආදියෙන් හානියක් නොවී ගමන්කළ හැකි යාත්‍රා තිබේනම්, මුහුදේ සංග්‍රාමික බලය තහවුරු කරගැනීම පහසු බව මිනිසාට පෙනීගියා. ඒ ඔස්සේ කරන ලද අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් තමයි සන්නාහය සහිත යුද නැව් Armoured Battleships මෙවැනි යුද නැව් නිපදවීම පිළිබඳව උනන්දුවක් මෙන්ම ප්‍රබල තරගකාරී බවක් ඇතිවුනේ 19 වැනි සියවසේදීයි. එම තරගයෙන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබන්නට ඇමරිකා එක්සත් ජනපදයට සහ ජපානයට හැකිවුණා. 

Battleship_Satsuma_diagrams_Brasseys_1923

23. ටෝර්පිඩෝ අපිට එපා – Naval Mines

 Turtle_submarine_1776     ගොඩබිමේදී මෙන්ම දිය යටදීත්, පිපිරවීම් මගින් සතුරාට පහරදීම කෙරෙහි, මිනිසාගේ උනන්දුව වැඩිවන්නට පටන්ගත්තේ, විවිධ පිපිරුම් උපකරණ සෑදීමේ දැනුම වර්ධනය වීමත් සමගයි. 18 වැනි සියවසේදී සහ 19 වැනි සියවසේ මුල් භාගයේදී, ජලය යට යොදන සියලුම වෙඩි වර්ග හැඳින්වුණේ, ‘ටෝර්පිඩෝ’ යන නමින්. මුල්කාලයේදී මේ වෙඩි, ප්‍රධාන වරායයන් අසළ මුහුදේ පාවෙන්නට සකසා තිබුණු අතර, වෙඩිල්ල වෙත ගොඩබිම සිට සවිකර තිබුණු වයරයකින්, විදුලිය සපයා, පිපිරවීමට සකසා තිබුනා. නමුත් ඒවා ආරක්ෂාව අතින් එතරම් සාර්ථක වුනේ නැහැ. අනික් අතට, ඒ කාලයේදී තිබුණු දියුණුම තාක්ෂණය තමයි ඒ. වතුර මතුපිට පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටීමෙන් පුපුරණ, වතුර මතුපිටට තරමක් පහළින් පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටී පුපුරණ,  සහ වතුරේ පාවෙමින් තිබී  වෙඩිල්ලට සවිකර තිබෙන කාන්දම් කැබලි වලින්, යකඩ නැව් බඳවෙත ඇදීගොස් ගැටී පුපුරණ, ආදී වශයෙන් ප්‍රධාන වෙඩි වර්ග තුනක් තිබුණා.  කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස, විවිධ යන්ත්‍රසූත්‍ර නිපදවීම සීඝ්‍රයෙන් වර්ධනය වන්නට පටන්ගත්තා. තමන්ගේ සිතෙහි පහළවන නව සංකල්පනා ඔස්සේ, විවිධ නව නිපැයුම් කරන්නට මිනිසා සමත්වුණා. එවැනි එක්තරා අත්හදාබැලීමක් තුලින් නිපැයුණු, අරුම පුදුම යන්ත්‍රයක් ලෙස, ඇමරිකානු ජාතික ඩේවිඩ් බුෂ්නල් ගේ ‘කැස්බෑවා’ (අනේ අර සුදු එකා නෙවෙයි හොඳේ :D) නමැති යන්ත්‍රයට, සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. ක්‍රි.ව. 1776 දී නිපදවන ලද මෙම තනි පුද්ගල සබ්මැරීනය මගින්, දිය යට වෙඩි යෙදවීමේ විප්ලවයක් කරන්නට සමත්වුණා.

24. කොට කොටා ඉන්නේ නෑ කෙළින්ම වැඩ

The Breach Loading Rifle

Karbin_m-1894_-_6,5x55mm_-_Armémuseum      තුවක්කුව හෙවත් අතපත්තුව නිපදවාගත් මුල් කාලයේ එයට වෙඩි බෙහෙත් සහ මූනිස්සම් කොටලා තමයි වෙඩි තැබුවේ. ඒ කියන්නේ, තුවක්කු බටයේ අගින් තුවක්කු කටෙන් ඇතුලට වෙඩි බෙහෙත් සහ මූනිස්සම්, කුඩා රෙදි කැබලි ආදිය දමා, ලී කූරකින් කොටා, තුවක්කුවේ පසුපසින් ගින්දර ලබාදීමෙන් (ගිනි තැබීමෙන් හෝ ගිනි ගලකින් ගින්දර උපදවා ගැනීමෙන් හෝ  ප්‍රයිමරයක් මගින්. පසුගිය ලිපියේ එවැනි තුවක්කු විස්තර කර තිබෙනවා) තමයි තුවක්කුව පත්තු කළේ. එවැනි තුවක්කු අපේ රටේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී හැඳින්වුණේ ‘කොටන තුවක්කු’ කියලයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Muzzle Loader කියලා. මෙන්න බලන්න හොර දඩයක්කාරයෝ අදත් ඒ වගේ තුවක්කු පාවිච්චි කරන හැටි. 

  මේ වීඩියෝ එකෙන් පේනවනේ එක වෙඩිල්ලක් තියන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් මිනිසාට අවශ්‍ය වුනා මීට වඩා පහසුවෙන් සහ වේගයෙන් (ඉක්මනින් වැඩි වාර ගණනක්) වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න. එහි ප්‍රතිඵලයක් ලෙස තුවක්කු බටයේ පසුපස කෙළවරෙන් උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න මිනිසාට හැකිවුණා. ඒ තුවක්කු සාමාන්‍ය ව්‍යවහාරයේදී පතරොම් තුවක්කු කියලයි හැඳින්වෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ Breach Loader කියලා. 19 වැනි සියවසේ මුල් භාගයේදී මිනිසාට හැකිවුණා එවැනි තුවක්කුවක් නිපදවාගන්නට. තුවක්කු ගැන මම ඉස්සර කියලා දීලා තියන පාඩම් මතකද? මෙන්න බලන්න 1873 දී නිපදවන ලද ඒ වර්ගයේ තුවක්කුවක්. මේ තුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කරන්නට සමත්වුණා.

space 2

25. පුංචි කට පුංචා  The Revolver

25a      කටපුංචා කියන්නේ කාටද කියලා මම මීට පෙර ඔබට කියා දී තිබෙන නිසා ආයෙත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ අඩවිය ආරම්භ කිරීමෙන් පසු අද දක්වාම වැඩිම පාඨක පිරිසක් කියවූ, එසේම තවමත් වැඩිපුරම කියවන ලිපිය තමයි, රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස කියන ලිපිය. ඉතින් ඒ නිසා, මෙතැනදී මම රිවෝල්වරය ගැනත් කියන්නේ බොහොම කෙටියෙන්. ළඟ ඉන්න සතුරෙකුට ක්ෂණිකව වෙඩි තැබීමේ අවශ්‍යතාව සංග්‍රාම භූමියේදී නිතර ඇතිවන අවස්ථාවක්. එමෙන්ම, කෙටි දුරක සිට කෙරෙන සටන් වලදී, ක්‍ෂණිකව, පහසුවෙන් හසුරවා ගතහැකි, සැහැල්ලු අවියක් තිබීම, ආත්මාරක්‍ෂාව කෙරෙහි තදින්ම බලපානවා. ඒ අවශ්‍යතා සියල්ල පිරිමැසු අවියක් වන රිවෝල්වරය, සංග්‍රාම භූමියේ වෙනසක් ඇතිකළ අවියක්. රිවෝල්වරය වැනි අවියක් නිපදවීම සඳහා මුලින්ම උත්සාහ ගෙන තිබෙන්නේ, 16 වැනි සියවසේ මැද භාගයේදීයි. එහෙත් ඒවා ප්‍රදර්ශනාත්මක නිපැයුම් පමණයි. මුල්වරට සාර්ථකව රිවෝල්වරයක් නිපදවා තිබෙන්නේ ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ ඇන්ටෝනියෝ බ්‍රොකු විසින් ක්‍රි.ව. 1833 දී. කෙසේ වෙතත්, වඩාත් කාර්යක්‍ෂම, වඩාත් නිවැරැදි තාක්ෂණයෙන් යුත් රිවෝල්වරය ලෙස සැළකෙන්නේ, ක්‍රි.ව. 1835 දී, ඇමරිකානු ජාතික සැමුවෙල් කෝල්ට් විසින් නිපදවන ලද රිවොල්වරයයි. කෝල්ට් යන වෙළඳ නාමයෙන් අදත් රිවෝල්වර් සහ පිස්තෝල නිපදවනවා. 

26. මාරක දියබරියා

The Modern Torpedo

Torpedo      සංග්‍රාමයකදී නාවික බලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බව, මම මේ ලිපි මාලාවේදී මීට පෙරත් සඳහන් කළා. තමන්ගේ සාගර කලාපය සතුරු ආක්‍රමණ වලින් ගලවාගන්නට නොහැකි වුනොත්, සතුරා ඒ රට අල්ලන එක වළක්වාගත නොහැකි වෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, යන ජාතීන්, අපේ රට යටත් කරගත්තේ, ඔවුන්ගේ නාවික බලය ඉක්මවා යන්නට අපට ශක්තියක් නොතිබුන නිසා. ගොඩබිමේදී මෙන්ම මුහුදේදීත්, සතුරු හමුදා සමග සටන් කරන්නට, හොඳ නාවික හමුදාවක් අවශ්‍යයි. අද තිබෙන යුද නැවක්, මහා යුද බලකොටුවක් වගේ, පිරිස් බලයෙන් මෙන්ම නවීන අධිතාක්ෂණික අවි ආයුධ වලින් සන්නද්ධයි. නාවික සටන් ඉහළ තලයකට පැමිණියේ, දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදීයි. මතකයි නේද නිර්භීත සතුරාගේ කතාව. තමන්ගේ නැවේ සිට, සතුරු නැවක් අසළට නොයා, දුර සිට පහරදීමට සුදුසු, එමෙන්ම රහසිගතව එල්ල කළහැකි අවියක් නිපදවීමේ අවශ්‍යතාව නිසා, නිපැයුණු අවියක් ලෙස, ටෝර්පිඩෝව Torpedo හඳුන්වන්න පුළුවන්. මෙය සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත, ජලය මතුපිටින් හෝ ජල මට්ටමට තරමක් පහළින්, ඉලක්කයවෙත ගමන් කරන බෝම්බයක්. එසේ ගමන් කිරීම සඳහා, වෙනමම යාන්ත්‍රණයක්, මේ බෝම්බයට සවිකර තිබෙනවා. අතීතයේදී මෙය, එක නිශ්චිත දිශාවකට, සරල රේඛාවක් වැනි ගමන් මාර්ගයක ඇදීගියා. එසේ ඇදීගොස්, නැව් බඳෙහි හැපීමෙන්, මහා පිපුරුමක් ඇතිකරන්නට මේ බෝම්බය සමත්. සමහර විට, හැපෙන්නේ නැතිව, ඉලක්කය අසළටම ගොස් පිපිරීමෙන්, මහා විනාශයක් කරන්න පුළුවන්. නමුත් අද, දුරස්ථ පාලක ක්‍රම වලින්, ගමන් මග වෙනස් කළහැකි ආකාරයට, සකසා තිබෙනවා. වර්තමාන ටෝර්පිඩෝවේ නිර්මාතෘ ලෙස සැළකෙන්නේ, බ්‍රිතාන්‍ය ජාතික රොබට් වයිට්හෙඩ්. මෙන්න මේ සජීවීකරණයෙන් බලන්න, කොහොමද කියලා, සබ්මැරීනයක සිට එවන ටෝර්පිඩෝ නැවක වැදිලා පුපුරා කරන විනාශය.

 space 2

27. හති නැති ගිනි පිඹින්නා

The Machine Gun

Vickers_IWW      සංග්‍රාමයකදී ජයග්‍රහණය තීරණය වන තවත් වැදගත් සාධකයක් තමයි වෙඩි බලය. ඒ විතරක් නෙවෙයි වෙඩිබලය උපරිමයෙන්, මහා පරිමාණයෙන්, නොකඩවා පවත්වාගැනීම. (Heavy fire power, Volume of fire, Sustainable fire) ඉතින් මේ සඳහා තම අවි බලය නොකඩවා පවත්වාගෙන යන්නට ඕනේ. වැඩි දියුණු කරන්නට ඕනේ. අන්න ඒ අවශ්‍යතාව සපුරාගන්නට මිනිසා නිපදවාගත් ප්‍රබල අවියක් තමයි මැෂින් තුවක්කුව. සාමාන්‍ය තුවක්කුවකින් වරකට එක වෙඩිල්ලක් පමණක් තියන්න පුළුවන් බව මම ඉහත පෙන්වාදී ඇති තුවක්කු වලින්, ඔබට පෙනෙනවා ඇති. නමුත් යුද්ධයේ දරුණු බව වර්ධනය වනවිට, ඒ තුවක්කු ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසයි මැෂින් තුවක්කු ඕනෙවුනේ. මැෂින් තුවක්කුවකට එකවර පතරොම් රාශියක් යොදවන්නට හැකි අතර, ඒ පතරොම් ඉවර වෙනතුරු, නොකඩවා ස්වයංක්‍රීයව වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා සතුරාට ඔලුව උස්සන්න නොදී වෙඩි වරුසා වස්සවන්නත් පුළුවන්. එවිට සතුරාට යුදබිමේ ආවරණයයකටවී හෙලවෙන්නේ නැතුව ඉන්න සිදුවෙනවා. (pin down) සාර්ථකව මුල් වරට මැෂින් තුවක්කුවක් නිපදවා තිබෙන්නේ 19 වැනි සියවසේ මැද භාගයේදීයි. මෙන්න මුල් කාලයේ මැෂින් තුවක්කුවක වැඩ.

මෙන්න අද කාලයේ මැෂින් තුවක්කු කීපයක වැඩ

space 2

28. හෙණ හඬ නගන්නා

The Filed Artillery

10139097a      විශාල සතුරු බලඇණි, සතුරු බලකොටු වැනි ඉලක්ක වලට පහරදීමේදී, ඉතා අඩු ප්‍රහාර ප්‍රමාණයකින්, වැඩි විනාශයක් කළහැකිනම්, සටනේ වාසිය තමන්ට නතු කරගන්න පුළුවන් වෙනවා. එමෙන්ම, ඉතා දුර සිට එල්ල කරන ප්‍රබල ප්‍රහාර මගින්, සතුරා අපවෙත ඒම කල්තබා වලක්වාගන්නටත් පුළුවන්. එවැනි අවස්ථාවන් සඳහා සුදුසුම අවියක් තමයි කාලතුවක්කුව. දැන් මම මෙතැනදී කාලතුවක්කුව ගැන දිග විස්තරයක් කියන්න ගියොත්, මම විහිළු කාරයෙක් වෙනවා. මොකද මම මීට පෙර, කාලතුවක්කු ගැන ‘අ’ යන්නේ සිට ‘අඃ’ යන්න දක්වා කියලා දීලා තියනවා. 😀 මතක නැත්නම් මෙන්න මේ පාරදිගේ ගොස් බලනු. මෙහිදී, ඉක්මණින් එහා මෙහා ගෙන යාහැකි, එතරම් දිග බටයක් නැති, වෙඩි තැබීමේදී ඉහල කෝණයක් ගතහැකි කාලතුවක්කු, යුද බිමේදී විශාල සේවයක් ඉටුකරනවා. ඒවා හඳුන්වන්නේ හොවිට්සර් Howitzer යනුවෙන්.


29. දිය යට මරුවා The Submarine

Plongeur      මා කලින් සඳහන් කලාක් මෙන්, සංග්‍රාමයකදී, සාගරයේ ආධිපත්‍යය අතිශයින් වැදගත් වෙනවා. සාගරය මතුපිට පමණක් සටන් කිරීමෙන් නොනැවතුණු මිනිසා, දිය යටින් ගොස් සටන් කිරීම සඳහා, යාත්‍රා සකස් කරන්නට පෙළඹුණා. එහි ප්‍රතිඵලය තමයි සබ්මැරීනය. සබ්මැරීනයේ ඉතිහාසය 18 වැනි සියවස තරම් ඈතට දිවයනවා. මුල්ම අත්හදා බැලීම් කර තිබෙන්නේ ක්‍රි.ව. 1726 දී පමණ. කෙසේ වෙතත් සංග්‍රාමික කටයුතු සඳහා සුදුසු සබ්මැරීනයක් මුලින්ම නිපදවා තිබෙන්නේ ප්‍රංශයේදී. ක්‍රි.ව. 1863 දී. අද ලෝකයේ බලවත් රටවල් සතුව, පරමාණු බලයෙන් ක්‍රියාකරණ, අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් ICBM (පසුව සාකච්ඡා කරනවා) එල්ල කළහැකි සබ්මැරීන තිබෙන අතර, ඒවා සෑමවිටම ලෝකයේ මූලෝපාය වශයෙන් strategically වැදගත් ස්ථානවල රඳවා තබනවා. සබ්මැරීනය සාගරයේ යුද බලය පිලිබඳ තීරණාත්මක සාධකයක් වන අතර එය සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කිරීමට හේතුවුණා. සබ්මැරීනයක සිට මිසයිලයක් විදින හැටි පහත වීඩියෝවෙන් බලන්න.

space 2

30. කළු කුඩු වෙනුවට සුදු කුඩු

Smokeless Powder & High Explosives

DSC00177      ඔබට මතකද, පැරණි බටහිර චිත්‍රපටි වල පෙන්වන යුද සටන් ජවනිකා වලදී, තුවක්කු වලින් සුදුපාට විශාල දුමක් පිටවන බව. ඇත්තෙන්ම, පැරණි තුවක්කු සඳහා යොදාගත් වෙඩිබෙහෙත් වලින්, එලෙස අධික දුමක් පිටවුණා. අද අපි පාවිච්චි කරන, සමහර රතිඥ්ඥා, අහස් වෙඩි, ආදියෙන්ද අධික දුමක් පිටවෙනවා. එයට හේතුව, ඒවා දෙවැනි පන්තියේ වෙඩිබෙහෙත් වලින් නිපදවා තිබීමයි. මෙහිදී දෙවැනි පන්තිය කියන්නේ, බාල වෙඩිබෙහෙත් කියන එක නෙවෙයි. දුම නගින වෙඩිබෙහෙත් කියන එකයි. යුදපිටියේදී, තමන්ගේ තුවක්කුවෙන් අධික දුමක් පිටවෙන්නේ නම්, සතුරාට එය හොඳින් නිරීක්ෂණය වෙනවා. එවිට, පහසුවෙන් අප වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන්න, සතුරාට අවස්ථාව ලැබෙනවා. මේ නිසා, දුම නොනගින වෙඩිබෙහෙත් සකස් කරන්න මිනිසා උනන්දු වුනා. 19 වැනි සියවසේ අග භාගය වනවිට, එවැනි වෙඩි බෙහෙත් නිපදවන්නට මිනිසා සමත්වුණා. බැලිස්ටයිට්, නයිට්‍රොග්ලිසරින්, ඩයිනමයිට්, ටී එන් ටී, වැනි පුපුරන ද්‍රව්‍ය ඒ අතරින් කැපී පෙනෙනවා. පැරණි කළු වෙඩිබෙහෙත් වෙනුවට, මේ නව නිෂ්පාදන යොදාගැනීමෙන් වාසි කීපයක් අත්වුණා. වඩාත් කාර්යක්‍ෂම පතරොම් නිපදවීම සහ අධික පිපුරුම් බලයක් සහිත බෝම්බ නිපදවීමට හැකිවීම, ඒ අතරින් කැපී පෙනෙනවා. මේ නව සොයාගැනීම සංග්‍රාමය නව මගකට ගැනීමට සමත්වුණා.

31. අහස ගුගුරවමින් පොළොව හොල්ලන්නා

Super Siege Guns

 austr-siege-gun     යුද කටයුතු සඳහා නවීන අවි නිපදවීමේ තරගය, කවදාවත් නවතීයයි  සිතන්නට අපහසුයි. එකිනෙකා අබිභවා යමින්, වඩාත් ප්‍රබල අවි නිපදවීම කෙරෙහි, මිනිසා තුළ ඇති භයානක අභිලාශය, අනාගත ලෝකය විනාශය කරා ගෙනයන බවනම්, පැහැදිළිව පෙනෙනවා. දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී තිබුණු, එවැනි එක් අවි තරගයක් තමයි, අති ප්‍රබල කාලතුවක්කු නිපදවීම. ඉතා ඈත ඉලක්ක වෙත පහර දියහැකි කාලතුවක්කු නිපදවා, තම රටේම සිට, සතුරු රටකට පහර දීමට හැකියාව ලබාගෙන, යුද්ධය තම රටට ඒම වළක්වා ගැනීමටත්, සුපිරි යුද බලයක් තමන් සතුකර ගැනීමටත්, දරන ලද උත්සාහය නිසා, විවිධ සුපිරි කාලතුවක්කු නිපදවුණා. මේ තුවක්කු බලයෙන්, සතුරා විශ්මයටත් භීතියටත් පත්කර, ඔහුගේ සංග්‍රාමික කටයුතු සම්පූර්ණයෙන් නවත්වාලීමයි, මෙහි අරමුණ වන්නේ. එවැනි ලෝකප්‍රසිද්ධ කාලතුවක්කු කීපයක් නිපදවන්නට, ජර්මානු ආඥාදායක හිට්ලර් සමත්වුණා. කෙසේ වෙතත්, ලෝකයේ රටවල් ගණනාවක්, එවැනි සුපිරි කාලතුවක්කු නිපදවා තිබෙනවා. විශේෂයෙන් දෙවැනි ලෝක යුද සමයේදී නිපදවුණ, එවැනි කාලතුවක්කු රැසක විස්තර මෙතනින් බලන්න පුළුවන්.  එවැනි සුපිරි කාලතුවක්කු කීපයක පින්තූර මෙතනින් බලන්න පුළුවන්

32. ගුවන් කරණම් The Air Plane

Republic P-47 Thunderbolt       ගොඩබිමත් මුහුදත් සංග්‍රාමික කටයුතු සඳහා නතු කරගත මිනිසා, ඊළඟට තම අවධානය යොමුකළේ, ගුවන ජයගන්නටයි. ඉතා කෙටි කාලයකින්, ඉතා දිග දුරක් ගෙවා, සතුරාට පහරදී, බරපතළ හානි කරන්නට, ගුවනින් ගමන් කළයුතු බව අවබෝධ කරගත් මිනිසා, ඒ සඳහා තම තාක්ෂණික දැණුම උපරිමයෙන් යොදවා, ගුවන් යානය නමැති නිපැයුම තම ප්‍රයෝජනයට එක්කර ගත්තා. තම රටවල් වෙනුවෙන් ගුවන් කළාප ප්‍රකාශයට පත්කර, එම ගුවන් කළාපය තම යුද ගුවන් යානා මගින් ආරක්ෂා කිරීම, පළමුවැනි ලෝක සංග්‍රාමය අවධියේදීත්, යම් තරමකින් පවත්වාගෙන ගොස් තිබෙනවා. අදනම්, අනුන්ගේ ගුවන් කලාපයක් අහළින් පහළින් ගියත් බඩු හම්බවෙනවා. 

   හඃ……….. ‘කේර මලියක්’ වුණානේ අපේ පැත්තේ. එක ගෙදරක නෝනා කෙනෙක්, තම ගෙදර උඩ තට්ටුවේ, හෝදා වනා තිබුණු ‘එක්තරා ඇඳුමක්’ සුළං බලයෙන් පියාඹලා, අසල්වැසි නිවසක ගුවන් කළාපය ආක්‍රමණය කරලා, ඒ ගෙදර මහත්තයා මිදුලේ ඉන්නකොට, දෙපාමුලට ලෑන්ඩ් කරලා. එයා, ‘මේ මොකක්ද බොල’ කියලා ඇහිඳිනකොටම, එයාගේ නෝනා එතනට ඇවිත්. මහා හුටප්පරයක් වෙන්න ගිහින්, මහත්තයා නූලෙන් බේරිලා. මහත්තයාගේ නෝනා, ඒ ඇඳුම ගෙනත්, ඇඳුම අයිති නෝනාගේ ගෙදර ගේට්ටුවේ අමුණලා ගිහින්. පාරේ යන අය, මේ ඇඳුම් ප්‍රදර්ශණය බලමින්, හිනාවෙවී යනකොට තමයි, ඇඳුම අයිති නෝනා එය දැක තිබෙන්නේ. (දෙගොල්ලෝ කාලයක ඉඳලා තරහයි) එදා හවස, හොඳ පද සහිත විවෘත නාට්‍යයක් ප්‍රදර්ශණය කෙරුණා. මෙව්වා ඉතින් නූගත්කමේ ප්‍රතිඵල. 

  යුද කටයුතු සඳහා මුලින්ම ගුවන් යානා යොදාගෙන තියෙන්නේ 1911 තරම් ඈත අතීතයේදී. මුල් කාලයේදී ගුවන් යානා යොදාගත්තේ, ඔත්තු බැලීමට සහ කාලතුවක්කු වෙඩි, නියමිත ඉලක්කයට පතිත වෙනවාද යන්න සොයාබැලීමටයි. ප්‍රහාරක ගුවන් යානා ප්‍රථම වරට පාවිච්චි කර තිබෙන්නේ, 1917 දී ජර්මනිය විසින්. නමුත් ඒ ගුවන් යානා වලට හැකිවුණේ, ගුවනේ සිට පොළොවට පහරදීමට පමණයි. තවත් ගුවන් යානයක් සමග සටන් කරන්න හැකියාව තිබුනේ නැහැ. ගුවන් යානා හාරක නෞකා නිපදවීමත් සමග, ගුවන් බලය වඩාත් ප්‍රබලව ව්‍යාප්ත කරන්නට හැකියාව ලැබුණා. මේ අනුව ගුවන් යානය සංග්‍රාමයේ තීරණාත්මක සාධයක් බවට පත්වුණා.


33. වැටකොටු බැඳීම The Barbed Wire 

      තම තමන්ට අයිති ඉඩකඩම් වැටකොටු තාප්ප ගහලා ආරක්ෂා කරගන්න එක මිනිසාගේ හිතට එන්න ඇත්තේ මමත්වය, තන්හාව, උත්සන්න වීමත් සමග වෙන්න ඇති. ආදී මානවයා නම් ඒ විදිහට ක්‍රියාකරන්න නැතුව ඇති. අදනම් ඉතින් ඉඩමක් ගත්ත ගමන් අපි කරන්නේ, කටුකම්බි වැටක් ගහලා ඉඩම ආරක්‍ෂා කරගන්න එකනේ. අද කාලේ එහෙම නොකර බැහැ. සමහ අයගේ වැටවල් ඇවිදිනවා. මම පදිංචි පුංචි ජනාවාසයේ පොදු ක්‍රීඩාංගණය තුන් පැත්තකින් ඇලකට මායිම් වෙලා තියෙන්නේ. තව එක පැත්තක තියෙන්නේ පෞද්ගලික ඉඩම් දෙකක්. ඒ ඉඩම් දෙකේම වැටවල් ක්‍රීඩාංගණය පැත්තට ඇවිදින බව අපට පෙනීගියා. ඒ නිසා අපට සිදුවුණා වහාම නිසි පියවර ගන්න. ලෝකේ හැටි ඔහොම තමයි.

  කටු කම්බිය සංග්‍රාම භූමියට ආවෙත් එය සොයාගත් මුල් අවධියෙදීමයි.  කටුකම්බියේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජාතික ලූෂන් බී ස්මිත්. ක්‍රි.ව. 1867 දී ඔහු නිපදවූ කටුකම්බියට පේටන්ට් බලපත්‍රයක්ද හිමිවුණා. එතැන් සිට කටුකම්බි විවිධ මෝස්‌තර වලින් නිපදවන්නටත් නව වෙනස්වීම් අනුව අලුත් පේටන්ට් බලපත්‍ර ලබාගන්නටත් නව නිපැයුම් කරුවන්ට හැකිවුණා. යුද්ධයේදී කටුකම්බි වලින් විවිධ ප්‍රයෝජන ගන්නවා. කඳවුරක් වටා නිකම් තනි කටුකම්බි වැටක් ඉදිකිරීම කිසිම තේරුමක් නැති වැඩක්. එකිනෙන අතර අඩි හත අටක පරතරයක් තබා අවම වශයෙන් කම්බි වැටවල් දෙකක්වත් ඉදිකරන්න ඕනේ. double fence system ඒ කම්බි වැටවල් දෙක මැද බෝම්බ වලළනවා. ඉතින් පළමුවැනි වට කපාගෙන ආවොත් බඩු හම්බ වෙනවා. සමහරවිට වැටවල් තුන හතරක් හදනවා. multi fence තවත් ක්‍රමයක් තමයි රාත්‍රියේදී බඩගාගෙන එන සතුරන්ගේ පැටලෙන්න, පොළොවේ සිට අඩියක් එකහමාරක් පමණ උසින් දැලක් වගේ හිටින්න කටුකම්බි සවිකිරීම.  lower entanglement wire කම්බියේ පැටලිලා ලෙහාගන්න දඟලනකොට බඩු හම්බවෙනවා. ඔබ දැක ඇති, හමුදා කඳවුරු වටා, සර්පිලාකාර හැඩයකට දමා තිබෙන විශේෂ කටුකම්බි වර්ගයක්. මේවා හඳුන්වන්නේ කොන්සර්ටිනා වයර් Concertina Wire යනුවෙන්. මේවාගේ තිබෙන්නේ, සාමාන්‍ය කටුකම්බි වල තියන කටු නෙවෙයි. පුංචි පිහියා තල වගේ තියුණු, වහාම පැටලෙන, කැපෙන, තුඩු විශේෂයක්. ඒවා සවිකරන ක්‍රම තිබෙනවා. එක කම්බි රෝලක් දිගහැරියයුතු උපරිම දුරක් තිබෙනවා. ඊට වඩා ඇද්දොත් වැඩක් නැහැ. පහත දැක්වෙන පින්තූර වලින් එවැනි කම්බි වැටවල් පෙන්වනවා.

No one is getting in here

BOPBarbedtape

   ඔබ දන්නවාද ලෝකය පුරා බොහෝ දෙනෙකු විනෝදාංශයක් වශයෙන් විවිධ හැඩයේ කටුකම්බි එකතු කරන බව. හරියට මුද්දර එකතු කරනවා වගේ. ඒ සඳහා ජාත්‍යන්තර සංගම් හදාගෙන එක එක රටවල කටුකම්බි වර්ග හුවමාරු කරගන්නවා. (අපිනම් ඉතින් කටුකම්බි පාවිච්චි කරන්නේ …….පෙරන්නනේ) මේ බලන්න එවැනි කටුකම්බි එකතුවක්.

1969-03-24-barbed-wire2-300x236

34. සුළඟේ  දැවටුණු මරණය Poison Gas

frenchgasmasks      යුද්ධය කියන්නේ අවම වශයෙන් දෙපිලක්වත් බෙදී එකිනෙකා මරාගන්න එකනේ. එතැනදී සාධාරණත්වය අසාධාරණත්වය විවිධ අර්ථකථන වලට ලක්වෙනවා. ගෝරිය ඇදපු දරුණු මිනීමරුවා අන්තිමට මානව හිමිකම් ගැන කතා කරනවා. එතකොට තමයි දෙකොනින් හිනායන්නේ. සංග්‍රාමික කටයුතු වලදී විවිධ විෂ වායුවර්ග යොදාගැනීම අතීතයේදීත් සිදුවී තිබෙනවා. ඔබ අසන්නට දකින්නට ඇති මෑතකදී සිරියාවේ රජයට එරෙහිව සටන් වදින පිරිසට සිරියානු රජයේ හමුදා විසින් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට ඔප්පුවුණ හැටි. රසායනික අවි ගැන මම දැනට ටික කලකට ඉහතදී ඔබට කියාදුන්නා. විවිධ විෂ වායු වර්ග බඳුන් වල containers අසුරා සුළං හමන දිශාව ආධාර කරගනිමින් කාලතුවක්කු, මෝටාර්, ගුවන්යානා, මගින් සතුරාවෙත ඒවා මුදාහැර සතුරා මරණයට පත්කිරීම හෝ අඩපන කරගැනීම තමයි මෙහිදී කෙරෙන්නේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට යුද හමුදාවක් විසින් විෂ වායු ප්‍රහාරයක් එල්ල කිරීම වශයෙන් සැළකෙන්නේ 1915 අප්‍රේල් මස 22 වනි දින ප්‍රංශ හමුදාව විසින් ප්‍රංශය ආක්‍රමණය කල බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව එල්ල කළ ප්‍රහාරයයි. මෙය ලෝක සංග්‍රාම භූමිකාවේ තීරණාත්මක පියවරක් වුණා. 

35. යුදපිටියේ බම්බු ගැසීම

The Trench Mortar

trench-mortar      සාම්ප්‍රදායික යුද ක්‍රමයේදීත් Conventional Warfare ප්‍රති විප්ලවවාදී/ප්‍රති ත්‍රස්තවාදී සංග්‍රාමයේදීත්, Counter Revolutionary Warfare/Counter Terrorism Warfare බොහොවිට යුද භූමියේදී යුද අගල් Trench හදාගන්නට වෙනවා. යුද අගලක් යනු යුද බිමේ කපන විශාල කාණුවක්. මෙහි සමහරවිට සොල්දාදුවකුට පහසුවෙන් ඇවිද යන්න තරම් ගැඹුරක් තිබෙනවා. දෙපැත්තේ ඉවුරු දෙක එපමණ උස නිසා. තවත් සමහර විටකදී බඩගාගෙන තමයි යන්න වෙන්නේ. එයට හේතුව දෙපස ඉවුරු එතරම් උස නොවීම. යුද අගලට බැහැලා, ‘පුට්ට නැකේ’ ගහගෙන, බකං නිලාගෙන, බඩ උලාගෙන, ඉන්න බැහැ.  එතකොට සතුරා ළඟටම ඇවිත්, බඩු අපේ අතටම දීලා යයි. ඒ නිසා යුද අගලේ සිට සටන් කරන්න ඕනේ. යුද අගලෙන් උඩට ඔලුව ඉස්සීම බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඈත ඉඳලා බලාඉන්න සතුරා, අපි ඔලුව උස්සනකොටම වැඩේ දෙන්න පුළුවන්. මේ නිසා, යුද අගලේ ඉන්න ගමන් පාවිච්චි කළහැකි ආයුධ අවශ්‍ය වෙනවා. අන්න ඒ අවශ්‍යතාව සපුරා ගන්න තමයි, මෝටාර් එක Mortar  නමැති අවිය නිපදවාගත්තේ. එමගින් සතුරා අධෛර්යයට පත්කරන්නටත්, අපේ ජීවිත බෙරාගන්නටත්, හැකිවෙනවා. මේ නිසා මෝටාරය සංග්‍රාමයේ වැදගත් අවියක් ලෙස සැලකෙනවා. මේ බලන්න යුද අගලක සිට මෝටාරයක් පාවිච්චි කරන හැටි.

හොඳයි, අපි මෙතෙකින් අද ලිපියේ අවසානය දකිනවා. ඊළඟ කොටසේදී ඉතිරි අවි 15 ගැන කතාකරමු.

සියලුම ඡායාරූප විකිපීඩියා විශ්වකෝෂයෙනි

my-signature-for-blog[1]     2014 පෙබරවාරි මස 07 වැනි දින 1552 පැය.

Advertisements

Comments on: "සංග්‍රාමයේ පියසටහන් (තුන්වැනි කොටස) Milestones of Warfare (Part Three)" (29)

  1. අවි පිළිබඳ පවසන පුරසාරමක් සේ සිතමින් මේ ලිපි කියවන කිසිවකු උරණ වෙතැයි නොසිතමි. මා සොයා දැනුත් වරින්වර එන සිසු දරුවන් මේ ලිපි කියවීමෙන් ලබන වින්දනය දකිමි. ඔවුන්ගේ සිත්වල යුධ විරෝධී ආකල්ප ජනනයට හා කම්පනයෙන් යුතුව මානව දයාව කෙරේද නැඹුරුවන ආකාරයේ ආකල්ප ඇතිවන ලක්ෂණ පෙන්වන බව අත්දකිමින් සිටින්නෙමි. “මිනිස්සු තමන්වම මරාගන්න මොනතරම් කැපවෙලා නිපදවීම් කරනවාද සර්, බුදු දහමත් මෛත්‍රෙය හා දයාගුණ මහිමයත් ඇති කරන්න තවම බැරිවෙලා. අපට කරන්න පුළුවන් මොනවද ?” මේ එක් සිසුවකු නැගූ පැනයක් ! තරුණ පෙළට ඇතැමුන් දෙස් දෙවොල් තබන්නෙ ඇයි කියල මට ඒ වෙලාවේ හිතුන. පුතා ඔයාල ඒ ගැන පර්යේෂණයක් කරල ආකල්ප වර්ධනය කරන්‍නෙ කොහොම ද කියල සොයන්න ඒ මට දියහැකි වූ පිළිතුර. මේ වගේ සිතිවිලි නම් ඇතිවෙන්නෙ ලිපි පෙළ ලියන එක ඔබ කරගන්නා මහා පිනක් නොවේද ?

    • මම අද තමයි දැනගත්තේ ඔබ මගේ ලිපි සිසු දරුවන්ට පෙන්වන බව. ඇත්තටම මේ ලිපි කියවා ඔබේ සිසුන් තුළ ඇතිවූ හැඟීම් අතිශයින් වටිනවා. ඔවුන් ඒ සඳහා උනන්දු කරන ඔබත් මහඟු සේවයක් කරනවා. මට මතක් වුනා සුනිල් එදිරිසිංහයන්ගේ ‘මිනිසා සුවඳයි මල සේ’ ගීතය. බොහොම ස්තුතියි ඔබට.

      • සාපෙළ උසස් පෙළ හා උපාධි අපේක්ෂක පමණක් නොව පහළ පන්තිවල සිසුන් පවා ලෙන්ගතුව මා විමසනවා හමුවෙනවා. මගේ පාළුව නැතිවෙන්නේ ඒ අය නිසා. ලොකු අය වුනත් මගේ පුතා දුව පවා ලියන්නැත්නම් ඇයි තාත්තෙ ලියන් නැත්තෙයි අහනවා. පිපෙන්න දඟලන මල්වගේ මේ තරුණ පෙල මගේ සිත පුබුදු කරනවා. ඔබට මේ විෂය ගැන ලියන්නැයි දිගටම ඉල්ලුවේ ඒ නිසා

      • ඔබ කියාදුන් කෝඩ්ස් මට ගොඩක් ප්‍රයෝජනයි. තරමක අවිවේකයෙන් මේ දින ගෙවෙන නිසා මා විමසිය යුතු ගැටළු කල් දමමින් සිටිනවා.

  2. what will be the next step?
    i think biological weapons are a natural (And horrible) next step ..

  3. youtube එකේ WW II in HD බැලුවා , පැය 10 බැලුව series එකම .අපේ යුද්දය ගැන මට හිතුනේ පුළුවන් නම් සර් එහෙම දෙයක් කරන්න.නැත්නම් අපේ අනාගත පරපුර ඔබලාගේ කැපකිරීම් සුළු කොට ගනීවි.
    මිනිස්සු කැපකිරීම් කලේ USA අයවිතරක් නෙමෙයිනේ .

    • ලෝකයේ බොහොමයක් රටවල් තමන්ගේ යුද වාර්තා චිත්‍රපටි සකසා අන්තර්ජාලයට එකතුකරනවා. අවාසනාවකට වගේ අපේ රටේ එහෙම යුද වාර්තා චිත්‍රපටි හදලා නැහැ. අපිට වාසිවෙන විදිහට දේශපාලන අරමුණු අනුව සැකසූ වාර්තා පමණයි තියෙන්නේ. නමුත් මා දන්නවා සියලු සිදුවීම් සහිත වාර්තා තිබෙන බව. සාධාරණව හිතන අයට විතරයි කවදා හෝ එවැනි වාර්තා චිත්‍රපටියක් හදන්න පුළුවන් වෙන්නේ. (හෙට අනිද්දා වෙනකොට ඒවා විනාශ නොවී තිබුනොත්)

  4. අපිට අපේ රටේ ආයුධ හදාගන්ඩ බැරි මොකද විචාරකතුමනි?

    • අපේ රටේ ආයුධ හැදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. හොඳ ලෝහ වර්ග, විද්‍යුත් පරිපථ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය, ආදිය. ඒ නිසා ඒ සියල්ල පිටරටින් ගෙන්වන්න වෙනවා. අපි අමුද්‍රව්‍ය ගන්න යන්නේ ආයුධ සෑදීමට බව දැනගත්තම එයට විවිධ බාධක, වාරණ, එල්ල වෙනවා. ඒ විදිහට අපි තුවක්කු 100ක් ලංකාවේදී හදන්න වැයවන මුදලෙන් සමහරවිට තුවක්කු 200ක් පිටරටින් ගන්න පුළුවන්. ඒ නිසයි අපි මෙහෙ ආයුධ හදන්නේ නැත්තේ.

    • ඔව් ඇත්තටම අපිට තුවක්කු හදන්න උත්සහ කරණ එක පලක් නැති දෙයක් වෙයි. ඒත් රටක් හැටියට ඊට වඩා සංකීර්ණ යුධායුද ( මහාපරිමාණයෙන් භාවිත නොවෙන, නමුත් බලය වැඩි ) නිෂ්පාදනයට හැකියාවක් නැත්තෙ නෑ. ඒ ව්ගේ දේකට අපිට හිතවත් පකිස්ථානෙ වගේ රටවල උදව් ගන්න පුලුවන්. අවුල තීන්නෙ එහෙම දේ කරාම කොමිස් නැතිවෙන එක තමයි ලොකුම අවුල!

      • හැබැයි අපිට පුළුවන් ආයුධ සඳහා අවශ්‍ය විද්‍යුත් පරිපථ වැනි දෑ අපේ රටේ නිපදවා අවශ්‍ය රටවලට විකුණා විශාල ලාභ ලබන්න. ඒක කැසිනෝ ගේනවට වඩා සාධාරණයි. නමුත් ඔබ කියනවා වගේම කොමිස් නැහැ. ඒ නිසා උනන්දු වෙන්නේ නැහැ.

  5. විචාරක…….මේ ලිපි තුනම මම උනන්දුවෙන් කියෙව්වා…..පළවෙනි ලිපියට මම දාපු කමෙන්ට් එක කොහේ ගිහින්ද දන්නේ නැහැ. දෙවෙනි ලිපියට මම දාපු කමෙන්ට් එක තවමත් අනුමතවීමට නියමිතව තිබෙනවා. ඒ ලින්ක් එක බලන්න ජයතුංග දොස්තර මහතාගේ පොතක් ගැන කියවෙනවා. ස්තූතියි විචාරක.

    • මට හරිම කණගාටුයි අරු කමෙන්ට් පලනොවීම ගැන. කිසිම කමෙන්ට් එකක් මම වාරණය කරන්නේ නැහැ. ඒ වගේමයි මම සෑමවිටම ඔබ මගේ ලිපි පිළිබඳව දක්වන අදහස් ගරු කරනවා.

      මේ දිනවල මගේ බ්ලොග් පෝස්ට් අප්ඩේට් වීම ගැන ප්‍රශ්න තියනවා මට තේරුම්ගන්න බැරි.

      දැන් බලන්න ඔබ කියන ලද කමෙන්ට් එක පළවී ඇද්ද කියා.

  6. මේ සටහන කියවද්දි මට දැනෙන දේ තමයි නව යුධ අවි සොයාගත්ත බහුතරයක් දෙනා ඇමරිකානුවෙක් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්…ඇයි මේ ජාතීන් වලට අයත් අය ඒ කාරියට හපනුන් උනේ….අර පරණ මැෂින් තුවක්කුවකින් වෙඩි තියෙන වීඩියෝවෙ පෙනෙන විදියට ඒ රටවල සාමාන්‍ය ජනතාවට තමන්ගෙ පුද්ගලික එකතුන් විදියට පැරණි අවි එකතු කරනවද ?

    • යුද්ධ කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන අය තමයි ආයුධ නිපදවන්න උනන්දුවෙන්නේ. මා හිටන්නේ ඒ නිසාම තමයි බටහිර ජාතීන් බොහොමයක් යුද අවි නිපදවීමට පුරෝගාමී වී තිබෙන්නේ.

      සමහර රටවල අවසර තියනවා රජයේ ලියාපදිංචි කල පෞද්ගලික අවි එකතුවක් තබාගැනීමට කෞතුක වස්තු ලෙස.

      • රුසියානුවනුත් මේ කාර්යයෙදි ඉස්සරහින් ඉන්නව. ලෝකෙ වඩාත්ම ජනප්‍රියම මැෂින් තුවක්කුව AK 47 රුසියානු නිෂ්පාදනයක්. හේතුව යුද්ධයට තියෙන නැඹුරුව සහ ඔවුන්ගෙ නිර්මාණාත්මක හැකියාව ඉහල වීම. මමනම් න්‍යෂ්ඨික නොවෙන යුද්ධ දකින්නෙ සුභවාදීව. මොකද ලෝකෙ තාක්ෂනය, මේ අන්තර්ජාලය පවා දියුණු කරන්නෙ, කරේ යුද්ධය නිසා.

        එහෙම බැලුවම දකින විනාශය තරමටම නොදකින සේවයක් යුද්ධ නිසා ලෝකෙට වෙනව. ඒක ඇත්තම වෙනම කතා කලයුතු කාරනාවක්.

        • මෙතෙන්දි මම එක දෙයක් මතක් කරන්න ඕනේ ඉන්දික. ඇමරිකන් කාරයා AK 47 (caliber 7.62 x 39) ඉක්මවා යන තුවක්කුවක් නොහද ඉන්නේ බැරිකම නිසා නෙවෙයි. AK 47 (caliber 5.56) න් වෙඩි තියපුවම පහසුවෙන්/ඉක්මනින් මැරෙනවා. ඇමරිකන් M 16 එකෙනුත් මැරෙනවා තමයි නමුත් තුවාලවීම වැඩියි. විඳවීම වැඩියි. අපි සමාජය තුල ආබාධිත සොල්දාදුවන් බහුලව දකිනවානම් මිනිස්සු අලුතෙන් යුද්දයට බැඳෙන්නේ නැහැ. අන්න ඒකත් එක්තරා යුද උපක්‍රමයක්.

          මම කලිනුත් කියලා තියනවා, පොළොවේ තියන ගල් කැටයක් අහුලලා තම සතුරාට දමා ගැසීමට මිනිසා ඉගෙනගත් අවස්ථාව තමයි මිසයිලයේ ප්‍රාථමික අවධිය. යුද්ධය නිසා මිනිස් ජීවිතයේ දියුණුවට හේතුවන නිපැයුම් රාශියක් බිහිවී තිබෙනවා. ඔබ සමග මමත් එකඟ වෙනවා.

  7. විචාරක…..ස්තූතියි. දැන් හරි..ඒ ත්‍රෙඩ් එකේම කමෙන්ට් කරන්න බැරි කමක් තියෙනවා. ගණන් ගන්න එපා.

  8. විචාරක මහත්තයෝ අර ගෑස් උපයෝගිකරන් ගිනි පිඹින උපකරණය ගැනත් විස්තරයක් දෙන්න පුලුවන්ද මම හිතන විදියට බංකර් වල ඉන්න එවුන්ට විරුද්දව තමයි ප්‍රයෝජනයට ගන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ බහුලව භාවිතා වෙලා තියෙනවා.

  9. මේ සැරෙත් ඔබගේ ලිපිය මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වී ඇත්තේ දැන්, මේ නිසා සමහරවිට රසවත් , වැදගත් ලිපි මග හැරෙනවා ,,මේකට තාම විසඳුමක් හොයා ගන්න බැරිවුනා.

    මේකේ barbed wire කෑල්ල කියවනකොට මතක්වුනා ,යුධහමුදා මූලස්ථානයට ltte ප්‍රහරය් එල්ල වූ අවස්ථාවේදී පාර්ලිමෙන්ටුවෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු කතාවක් ,භූමියක ආරක්සාව සපයන විදිහ ගැන තමයි කතාව කරේ, ඇත්තටම මම හිතන්නේ ඉතාම විසේසඥ දැනුමක් ඔහුට තිබෙනවා ..මට හිතෙන හැටියට හොඳේ.

    • මටත් තවම හිතාගන්න බැහැ අප්ඩේට් වීම ප්‍රමාද වෙන්නේ ඇයි කියා. මීට කලින් මේ ප්‍රශ්නෙම තිබුනා අටම්පහුරටත්.

      රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ දැනුමක් තියනවා විවිධ විෂයයන් පිළිබඳව. ඔහු ජාත්‍යන්තරයේ සිට කතාකරන නිසයි සාමාන්‍ය ජනතාවට ඔහුව වටහාගන්නට අමාරු.

  10. බොරු කියන්නෙ මක්කටෙයි, අවි ආයුධ ගැන තියෙන ලිපිනම් පහුගිය දොහේ කියෙව්වෙ නෑ. මොකද ඒවායේ පිංතූර විශේෂයෙන්ම වීඩියෝ බලන්න බැරි හින්දා. හැබැයි “තවත් කථා” ටිකනම් බැලුවා. රණ බළලුව ටයිප් කරලම දැම්මනම් වටිනවා. මොකද මම වගේ ෆෝන් එකෙන් නෙට් යන අයට ඉමේජස් බලන එක අමාරු නිසා. මේ පොස්ට් එක ගැන බලලම කමෙන්ට් එකක් දාන්නම්.

    • මම හිතන්නේ සෑහෙන දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා තමන්ගේ අන්තර්ජාල පැකේජවල දත්ත ප්‍රමාණය සීමාවීම. දුරකථනයෙන් බලන අයට ප්‍රශ්නය තවත් බරපතලයි. රන බලලුව ටයිප් කරන්න කියානම් මගේ අත්දෙක කැඩෙනවා. 😀 සංග්‍රාමයේ පියසටහන් අවසන් කොටස සංස්කරණය වෙමින් පවතිනවා. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      • මං ගාව තියෙන්නේ Nokia-X2 ෆෝන් එකක්.ඉතිං ඩිස්ප්ලේ එකත් පොඩියි. ඕකෙන් නෙට් යනවා කියන්නෙ වෙලාවකට පුෂ්ප විකසිත වෙන වැඩක්. (ස්මාර්ට් ෆෝන් වල වගේ පහසුකම් නැති නිසා) ලොකුම අවුල ඒකයි.

        • මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ ලංකාවේදී ජංගම දුරකතනයකින් අන්තර්ජාලය පරිහරණය කිරීම අනවශ්‍ය ලෙස කාලය ගතවන වැඩක් හැටියටයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: