විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


50 Weapons That changed Warfare

නමැති කෘතිය ඇසුරෙනි

  මේ ලිපියේ පළමුවැනි කොටසේදී,  මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අද ද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් කළා. අද හයවැනි අවියෙන් පටන්ගන්නවා. 

6. අශ්ව රථය – The Chariot

 20100901_9a52484a246e3f421ff6mjU0ifpwz24Q    සංග්‍රාම භූමියේදී ඉතා වැදගත් වන සාධකයක් වන්නේ ක්ෂණිකව එහා මෙහා ගමන් කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම සතුරා හඹාගොස් පහරදීමේදී වේගය ප්‍රබල සාධකයක්. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළ සොයාගැනීමක් ලෙස යුද්ධ අශ්ව රථය හඳුන්වන්න පුළුවන්. අශ්ව රථය, ප්‍රථම වරට, මහා පරිමාණයෙන් යොදාගනු ලැබුවේ, නයිල් නිම්න ශිෂ්ටාචාරයේදීයි. ඇසිරියන් අශ්ව රථ ලෝකය හෙල්ලූ අවධියක් තිබුණා.

7. සෑදල පා පටිය – The Stirrup

 7 Stirrup   අපේ රටේ අශ්වයන් භාවිතය තිබෙන්නේ, ගණන් ගත නොහැකි තරම් පහළ මට්ටමක නිසා, අශ්වයන් පිට යාම ගැන, අපට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්. මමත්, ආසාවට අශ්වයන්ගේ පිටේ ගිහින් තිබෙන්නේ, දෙවරක් පමණයි, පොලීසියේ යාලුවෙකුට පින්සිද්ද වෙන්න. අශ්වයන් හීලෑ කරගැනීම, මිනිසා විසින් කර තිබෙන්නේ, ක්‍රිස්තු පූර්ව 4000 ටත් එහාදී බව, ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත්, සෑදල පා පටියට, එතරම් දිග ඉතිහාසයක් නැහැ. සාමාන්‍යයෙන් සැළකෙන්නේ එය නිපදවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 700 දී පමණ කියායි.

   මොකක්ද මේ සෑදල පා පටියෙන් ඇති ප්‍රයෝජනය. ඇත්තටම එය තේරුම්ගන්න නම්, අශ්වයන් පිට යාම ගැන මූලික අවබෝධයක් තිබෙන්නේ ඕනේ. ඔබෙන් බහුතරයකට ඒ අවබෝධය තිබෙනවා රූපවාහිනියේ සහ සිනමාවෙන් දැකීමෙන්. අශ්වයකු පිට නිකම්ම වාඩිවී ගමන් කිරීම අමාරුයි. බිම වැටෙන්නේ ඇති ඉඩකඩ බොහොමයි. අශ්වයාටත් එය අපහසුවක්. ඒ නිසයි සෑදලයක් පාවිච්චි කරන්නේ. ඔබ දැක ඇති, අශ්වයාගේ පිටට නගින්නේ සහ බහින්නේත්, අශ්වයා පිට යනවිට දෙපා රඳවා තබාගන්නේත්, සෑදලයට සවි කළ සම් පටියක ඇති, ලෝහ හෝ සමෙන් සැකසූ කාදුවකට හෙවත් රාමුවකට, කකුල තැබීමෙන් බව. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Stirrup යනුවෙන්. සිංහල තනි වචනයක් නම් මට ලැබුණේ නැහැ. ඉතින් මොකක්ද මෙය යුද්ධයට ඇති සම්බන්ධය. යුද පිටියේදී, වේගයෙන් අසුපිට යන්නට නම්, සමබරතාව අතිශයින් වැදගත්. එහිදී මේ උපකරණයෙන් විශාල සේවයක් ඉටුවෙනවා. අශ්වයාගේ සම්පූර්ණ ජවය යොදා, වේගයෙන් සහ පහසුවෙන් ගමන් කිරීමට හැකිවෙනවා. 

8. ගිනිවිජ්ජුම්බරය – Greek Fire

8 Greek Fire    මේ අවිය ගැන තිබෙන විස්තරය කියවුවාම, මගේ හිතට එකවරම ආව වචනය තමයි, ‘ගිනිවිජ්ජුම්බරය’ කියන එක. අපි එදිනෙදා කතාබහේදී කියනවානේ ‘හපෝ එතන එකම ගිනිවිජ්ජුම්බරයක්’ කියලා. ඒ කියන්නේ මහා පරිමාණ සටනක් කියන එකයි. ටිකකට හිතන්න, අපේ ගෙදර වහලේ උඩට, කිසියම් යාන්ත්‍රික උපක්‍රමයකින්, මහා ගිනිබෝල එවනවා කියලා. ඉතින් එතකොටත් ඇතිවෙන්නේ ගිනි විජ්ජුම්බරයක් නේද. සතුරු කඳවුරු, සතුරු බලකොටු, වෙත, යාන්ත්‍රික උපක්‍රමයක් මගින්, දැල්වෙන ගින්නක් සහිත, බැරල් වැනි භාජන විදීමට සකසාගත් උපකරණයකට තමයි, Greek Fire කියන්නේ. රෝම අධිරාජ්‍යය පැවති අවධියේදී මේ අවිය පාවිච්චි කොට තිබෙනවා බහුල වශයෙන්. 


9. යාන්ත්‍රික කාලතුවක්කුව – Mechanical Artillery

 9 Mechanical Artillery    කාලතුවක්කු ගැන දැනට සෑහෙන කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා. ඔබෙන් බොහෝදෙනෙක් කියා තිබුනා ඒ ලිපි මාලාවෙන් කාලතුවක්කු ගැන හොඳ දැනුමක් ලැබුණු බව. ඒ ලිපි මාලාව ආරම්භයේදීත් මම ඔබට කියාදුන්නා මේ යාන්ත්‍රික කාලතුවක්කු ගැන. අමතක නම් මෙතනින් බලන්න. යාන්ත්‍රික කාලතුවක්කුවක විශේෂත්වය වන්නේ එය කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් හෝ එවැනි ගිනි බලයක් යොදා නොගැනීමයි. ඉතා බර අධික ලෝහ බෝල, ගල්, වැනි දෑ යාන්ත්‍රික උපක්‍රමයකින් ඈතට විදීම තමයි මේ යාන්ත්‍රික කාලතුවක්කු වලින් සිදුකෙරුණේ. Trebuchet ට්‍රෙබුශේ යනු එවැනි එක යාන්ත්‍රික කාලතුවක්කුවක් හැඳින්වූ නම. මේවාත් ග්‍රීක – රෝම අධිරාජ්‍ය සමයේදී භාවිත කළ අවි ලෙස සැලකෙන අතර එමගින් සංග්‍රාමයට නව ජවයක් ලැබුණා. 

10. වෙඩි බෙහෙත් – Gunpowder

10 Gunpowder     වෙඩි බෙහෙත් සහ යුද්ධය අතර තියන සම්බන්ධය, හරියට අර අමුඩය සහ පස්ස පැත්ත අතර තියන සම්බන්ධය වගේ නේද? ඇත්තටම සංග්‍රාමය කියන ක්‍රියාකාරකමේ අර්ථය පරිපූර්ණ වූයේ, වෙඩි බෙහෙත් නිසා බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 12 වැනි සියවසේ දී කහ මුහුදේ සිට රුසියාවේ ස්ටෙප් තණබිම් දක්වා සිය ආධිපත්‍යය පැතිරවූ කුබ්ලයි ඛාන් අධිරාජයා සංග්‍රාමික කටයුතු සඳහා මහා පරිමාණයෙන් වෙඩි බෙහෙත් යොදා පුපුරන ද්‍රව්‍ය සෑදූ බව ප්‍රකටව පවතිනවා. අද වනවිට යුද්ධයේ තීරණාත්මක සාධකයක් වන ගිනි බලයේ ආරම්භය, එළෙස සිදුවී තිබෙනවා. 


11. පිපිරවීම් – Mines

     සාම්ප්‍රදායික යුද්ධ ක්‍රමයේදී – Conventional Warfare  ලෝකයේ ඕනෑම හමුදාවක් ගත්තම, සටන් භූමියට මුලින්ම පිවිසෙන රෙජිමේන්තුව මොකක්ද? මොකක් කියලද හිතන්නේ? කාලතුවක්කු? කමාන්ඩෝ? පාබල? විශේෂ බලකාය? අම්මපා කාන්තා බලකායද දන්නෙත් නෑ………………..? ඔය කවුරුවත් නෙවෙයි ‘ඉංජිනේරු බලකාය’ Engineers Regiment’ තමයි මුලින්ම යුද පිටියට යන්නේ. හිතන්නවත් බැහැ නේද? මොකද එයාලා කරන්නේ? එක වාක්‍යයකින් කියන්නද? ලෝකය පුරාම, ඉංජිනේරු රෙජිමේන්තුවේ භූමිකාව සහ කාර්ය භාරය – (Role and Task) හඳුන්වන්නේ මෙහෙමයි.

  ‘තමන්ගේ (මිතුරු) හමුදාවේ ඉදිරි ගමනට අවශ්‍ය, සියළුම ආකාරයේ සැකසුම් හා පහසුකම් සළසා දෙන අතර, සතුරාගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා අවශ්‍ය, සෑම උපක්‍රමික පියවරක්ම ගැනීම’ 

 ad36ec59-32e2-4306-ba58-1ea50b580b8f  කොහොමද ඒක කරන්නේ. අපි හිතමු, අපිට ගමන් කරන්න තිබෙන මාර්ගයේ ගඟක් තියනවා කියලා. ඉංජිනේරු බලකාය තමයි, වහාම එතන පාළමක් (Bailey Bridge) ඉදිකරන්නේ. අපේ ඉදිරි ගමනට බාධක වශයෙන් තිබෙන, ලොකු ගල් පර්වත, මහා ගස්, පුපුරවලා, පාර හදලා දෙන්නේ ඉංජිනේරු රෙජිමේන්තුව. මෙන්න මේ පිපිරුම් විශේෂඥ දැණුම, විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. අපිට පසු බහින්න වුනොත්, සතුරාට අර අපි හදපු පාළමෙන් මෙගොඩ වෙන්න බැරිවෙන්න, ඒක පුපුරවලා දානවා. මහ ගස් ගල් පාරට වට්ටවලා, පාර අවහිර වෙන විදිහට පිපිරවීම් සිදුකරනවා. මේ විදිහටම පිපිරුම් උපක්‍රම මගින් යුද වාහන පුපුරවා දැමීම විතරක් නෙවෙයි, බිම් බෝම්බ සහ මර උගුල් (Booby traps) ඇටවීමත්, ඉංජිනේරු රෙජිමේන්තුව කරනවා. සතුරු කඳවුරු වටා ඉදිකර ඇති, තාප්ප, වැටවල්, බිම්වෙඩි, පුපුරවා දමන්නත් ඉංජිනේරුවෝ හරිම හපන්නු. ඉතින්, මේ පිපිරවීම් ගැන දැණුම වර්ධනය වීම, සංග්‍රාමය නව මගකට ගන්නට සමත් වුණා. 

12. වැට කඩුළු බිඳින්නා – The Siege Gun

12 Siege Guns    ආරක්ෂාව සඳහා වැට කඩුළු බැඳ ගැනීම, මානව ශිෂ්ඨාචාරයේ ඈත අතීතයේ පටන් කරන දෙයක්. ඈත අතීතයේ තිබුණු ගමක, ගෙවල් සාදා තිබුණෙත්, කවයක හැඩයට පිහිටන්නයි. එයින්, නිකම්ම ගම බලකොටුවක් බවට පත්වෙනවා. මුලදී මෙහෙම කළේ වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. නමුත් පසු කාලයේදී, සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉතා ඝනකමට ඉදිකළ, උස් තාප්ප, කොටු පවුරු, ඉදිකෙරෙන්නට වුණා. එවැනි බලකොටුවකට පහර දීම එතරම් පහසු ක්‍රියාවක් වුනේ නැහැ. අහලා තියනවා නේද, විජිතපුර බලකොටුවේ දොරටුව බිඳින්නට ගිය, කණ්ඩුල ඇතාගේ පිට ට, කොටු පවුර උඩ ඉඳලා, සතුරෝ උණු ලෝ දිය වක්කරා කියලා. කොටු පවුරකට ඉනිමං තියලා නැගලා සටන් කිරීමත්, මුලදී සිදුවුණා. නමුත් එයින් වූ ජීවිත හානිය වැඩියි. තුවක්කු පිලිබඳ දැනුම දියුණුවත්ම, මිනිසා, කොටු පවුරු බිඳීම සඳහා විශේෂ කාලතුවක්කුවක් නිපදවනු ලැබුවා. එයින් මහා විශාල උණ්ඩයක් කෙටි දුරකට රැගෙන යනවා. එයින් මහ කොටු පවුරු බිඳින්නට හැකිවුණා. බලකොටු තනාගෙන යුද්ධ කළ, මධ්‍යකාලීන යුගයේදී, මේ තුවක්කුව සංග්‍රාමයට විශාල බලපෑමක් එල්ල කළා. 

13. ජල තරණයෙන් දිග් විජය – The Frigate

     
13 Frigate     සංග්‍රාමික කාර්ය භාරය උදෙසා, ජල තරණය වැදගත්වන බව, මිනිසා අවබෝධ කරගත්තේ, 15 වැනි සියවසේදී පමණ සිටයි. ඊට පෙර, ජල තරණය, ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණත්, මහා සේනාංක, ජල යාත්‍රා මගින්, අවශ්‍ය ස්ථාන වලට ප්‍රවාහනය කර, ආක්‍රමණශීලී ක්‍රියා කළහැකි බව මිනිසා අවබෝධ කරගත්තේ 15 – 16 සියවස් වලදීයි. 16 සහ 17 යන සියවස් වලදී ජර්මානු සම්භවයක් සහිත යුරෝපීය ගෝත්‍ර සහ තුර්කි, ඊජිප්තු,  සහ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික මැද පෙරදිග රටවල් අතර, ඉන්දියානු සාගරයේ වෙළඳ බලය වෙනුවෙන් එදිරිවාදිකම් තිබුණා. එහිදී, සොල්දාදුවන් 15000 ක් රැගත් ෆ්‍රිගේට් යාත්‍රා 200 ක් ඉන්දියන් සාගරයේ සූදානම්ව සිටියා, යුරෝපීයයන් සමග, ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා. ෆ්‍රිගේට් යාත්‍රාවල, සුළු පරිමාණ කාලතුවක්කුද සවිකර තිබුණා. ෆ්‍රිගේට් යන නම එම යාත්‍රා වලට ලැබුණේත් ඒවා යුද්ධ නව වර්ගයක් නිසයි. ඒ නිසා, මෙවැනි නැව් කණ්ඩායමක්, පාවෙන හමුදාවකට සමානයි. ඒ අනුව,  ෆ්‍රිගේට් යාත්‍රාව, සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළා.

14. ජංගම කාලතුවක්කුව – Mobile Artillery

SS-Karstwehr-Bataillons, Artillerie-Ausbildung    කාලතුවක්කුව අදටත් සංග්‍රාමයේ තීරණාත්මක අවියක්. කාලතුවක්කුව නිපදවූ මුල් යුගයේදී, එය ස්ථිරව සවි කරන තුවක්කුවක් ලෙසයි තිබුණේ. ඒ කියන්නේ, යුදබිමට ගෙනගොස් ස්ථිරව සවි නොකර එය ක්‍රියාකරවන්නට බැහැ. එමෙන්ම එහි අවාසි රැසක් තිබුනා. ඉක්මණින් එහා මෙහා කළ නොහැකිවීම, පහසුවෙන් සතුරන් අතට පත්වන්නට ඉඩ තිබීම, භූමියේ තිබියදී අළුත්වැඩියා කළ නොහැකිවීම, ආදී ප්‍රශ්න තමයි තිබුණේ. නමුත්, කාලතුවක්කුව රාමුවකට සවි කර, එම රාමුවට රෝද දෙකක් සවිකර, අශ්වයන් මගින් ඇදගෙන යාමට සකස් කරගත් පසු, කාලතුවක්කු වෙඩි බලය, වඩාත් ප්‍රබල ලෙස, සංග්‍රාම භූමිය පුරා පතුරවන්නට හැකියාව ලැබුණා. මේ නිසා, ජංගම කාලතුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කළා.

15. අතපත්තුව – The Matchlock

15 Matchlock     අතපත්තුව කිව්ව ගමන්, වැරදියට එහෙම තේරුම්ගන්න එපා, මාවන් අතපත්තුට, අතපත්තුව කියලා බැන්නා කියලා එහෙම. අපේ රටට ගිනි අවි පිලිබඳ සතුටුදායක දැණුමක්, මතක තියාගන්න, හොඳ දැණුමක් නෙවේ සතුටුදායක දැණුමක්, ලැබුනේ මහනුවර යුගයේදී. ඒ කාලේ, තුවක්කුව කියන වචනය අපේ වාග් මාලාවට එක්වෙලා තිබුනේ නැහැ. අතේ තියාගෙන, ගින්දරෙන් පත්තු කරලා, වෙඩි තියන = ගිනි පිඹින (තුවක්කු බටෙන් එළියට, පිම්බා වගේ ගින්දර පිටවීම) නිසා තමයි, මේවා අතපත්තු කියලා නම්කරන්නට, පැරණි සිංහලයා පෙළඹී තිබෙන්නේ. තුවක්කුව යන සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන මෙය, 15 වැනි සියවසේදී කරන ලද නිර්මාණයක්. ගිනි අවියක් ලෙස එකල තිබුණු අනෙක් අවි අබිභවා ගිය නිසා, මෙය සංග්‍රාමය වෙනස් කල අවියක් බවට පත්වෙනවා. මේ අවියට ඉදිරියෙන් සහ පසුපසින් Breach loading and Muzzle loading වෙඩි බෙහෙත් යොදා, සේවා නූලකට Service Code ගිනි තැබීමෙන් ලබාගත් ගිනි බලයෙන් තමයි තුවක්කුව පත්තුවුනේ. පහත දැක්වෙන වීඩියෝවෙන් තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පැහැදිළි වෙනවා.

space 2

16. ගිනි ගලෙන් ගිනි පිඹීම – The Flintlock

16 Flintlock     Flintstone කියන්නේ ගිනි ගල කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ගිනිගලක් යම්කිසි තද/රළු මතුපිටක ඇතිල්ලුනාම ගිනි පුපුරු පිටවෙන බවත් ඔබ දන්නවනේ. අර සමහර ගෑස් ලිප් පත්තු කරන්න තියෙන්නේ, පොඩි පිස්තෝලයක් වගේ උපකරණයක්, අන්න ඒක ඇතුළේත් තියෙන්නේ ගිනි ගලක්. මීට ඉහතින් දැක්වූ මැච්ලොක් Matchlock තුවක්කුවේ, ක්‍රියාකාරිත්වයේ යම් යම් අඩුපාඩු මෙන්ම, භයානක තත්වයක්ද තිබුණා. ඒ තමයි එම අවියෙන් වෙඩි තැබීම සඳහා පාවිච්චි කරන කළු වෙඩිබෙහෙත් Black Powder ඉතා සුළු අත්වැරදීමකින් පවා පහසුවෙන් ගිනිගෙන පුපුරා යාමට ඉඩ තිබීම. ඇත්තටම එවැනි අනතුරු රාශියක් සිදුවුණා. (අහලා තියනවද ‘කළු කුඩු බස්නේ දෙනවා’ කියලා කතාවක්. බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු අපේ සමාජයේ පැතිරී තිබුණු, වෙඩි බෙහෙත් කොටා වෙඩි තබන තුවක්කු වලට යෙදුවේ මේ කළු වෙඩිබෙහෙත්. ඉතින් එකල ගැමියන් කළු කුඩු බස්නේ දෙනවා යන්නෙන් අදහස් කළේ වෙඩි තබා මරා දමනවා යන්නයි) මේ අනතුරුදායක තත්වයෙන් තොරව වෙඩි තැබිය හැකි තුවක්කුවක් ලෙස ෆ්ලින්ට්ලොක් – Flintlock තුවක්කුව හඳුන්වන්න පුළුවන්. 15 වැනි සියවසේ ග භාගයේදී නිපදවන ලද මේ නව ගිනි අවිය යුද බිමේ විප්ලවයක් කරන්නට සමත් වුණා. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පහත වීඩියෝ දෙකෙන් බලන්න. 

space 2

17. ඇදලා අරන් ඇනලා ඇදීම – The Bayonet

  17 Bayonet     මේ ලිපි මාලාවේ මුලදීම සඳහන් කලාක් මෙන්, අතීතයේදී යුද බිමේ සතුරා මුණ ගැසුනේ, මුහුණට මුහුණ ලා සටන් කරන තරම් සමීපව සිටයි. තුවක්කු මගින් සටන් කිරීමේදිත්, අදටත් යුද බිමේදී සතුරා මුහුණට මුහුණ හමුවන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වලදී වෙඩි තැබීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එක්කෝ සතුරා අපේ ඇඟට කඩා පනිනවා. නැත්නම් අපිට සිදුවෙනවා සතුරාගේ ඇඟට කඩා පැන ඔහු මෙල්ල කරන්නට. නැතහොත් මරා දමන්නට. මේ සඳහා සුදුසු වන්නේ පිහියක් වැනි, අනිනන්නට සුදුසු ආයුධයක්. අන්න ඒ අඩුව පුරවන්නට නිපදවූ අවියක් ලෙස බයිනෙත්තුව – Bayonet ඉතා වැදගත් තැනක් ගන්නවා. අදනම් බයිනෙත්තු සටන් නැත්තටම නැති තරම්. ඊට වඩා ‘දියුණු ක්‍රම’ තිබෙන නිසා. නමුත් තුවක්කු බටයට සවිකරගෙන හෝ ගලවා අතට ගෙන පාවිච්චි කළහැකි බයිනෙත්තු අදත් තියනවා. ඉස්සර නම්, නිළ ඇඳුමේ බඳපටියේ සවිකළ කොපුවක ඇති බයිනෙත්තුව, ඇදලා අරන් ඇනීම තමයි සිදුකළේ.  නමුත් පසුකාලීන බයිනෙත්තුව, තුවක්කුවේ බටයේ කෙළවරට සවිකර ගැනීමට හැකියි. එවිට, හෙල්ලකින් අනිනවාක් මෙන් අනින්නට පුළුවන්. හමුදා මූලික පුහුණුවේදී, සොල්දාදුවන්ට, බයිනෙත්තු සටන් උගන්වනවා. දෙවැනි ලෝක යුද සමයේදී, බයිනෙත්තුව ඉතා බහුලව පාවිච්චියට ගැණුනා. බයිනෙත්තුව සංග්‍රාමයට දැඩි වෙනසක් එක්කල අවියක්.

18. දමාගසන මරණය – The Hand Grenade

 18 Hand Granade      ‘චීන පටස්’ කියන වචනය අහලා තියනවද? අපි කුඩා ළමුන් කාලේ (1950 දශකයේ අග සහ 1960 දශකයේ මුල)  සිංහල අවුරුදු කාලෙට පත්තු කරන වෙඩි වර්ගයක් තමයි, චීන පටස් කියන්නේ. මේ වෙඩි සකස්කර තිබෙන්නේ, මනෝසීල නමැති වෙඩිබෙහෙත් වර්ගය, කංහැන්දක් පමණ ප්‍රමාණයක්, එකක් ඝන සෙන්ටි මීටරයකටත් වඩා අඩු, කුඩා තිරුවානා ගල් තුනකට මැදිකර තබා, ටිෂූ කඩදාසි වලින් ඔතා, කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝලයක් සෑදීමෙන්. මෙය, පොළොවේ හෝ බිත්තියක් වැනි තද මතුපිටකට දමා ගැසුවොත්, රතිඤ්ඤයක් පුපුරන තරම් හඬකින් පුපුරා යනවා. ඇඟට වැදුනොත් සුළු තුවාල වෙන්නත්, ඇසකට වැදුනොත් ඇස අන්ධ වෙන්නත් පුළුවන්. කිසියම් කුටීරයක් container තුළ වෙඩි බෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර, නිශ්චිත් ඉතා සුළු වෙලාවක් තුළ පුපුරායාමට සකස්කර ඇති අත්බෝම්බය Hand Grenade මිනිසා විසින් නිපදවන ලද භයානක අවියක් ලෙස හඳුන්වන්නට පුළුවන්,සතුරා වෙත රහසින් ළංවී, සතුරු බංකර්, අවි/පතරොම්/වෙඩි බෙහෙත් ගබඩා, වැදගත් පුද්ගලයන්, වෙත ක්ෂණිකව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සඳහා, අත්බෝම්බය මහත් පිටුවහලක් වෙනවා. අත්බෝම්බය ගැන මා මීට පෙර ඔබට කියාදුන්නා මතකද? ඉතින් අත්බෝම්බය එදත් අදත් සංග්‍රාමයේ වැදගත් සාධකයක්.


19. අහසින් පාත්වන මාරයා – Explosive Shells

19 Explosive Shells      අත්බෝම්බයකට වඩා විශාල බෝම්බ සෑදිය හැකි බවත්, ඒවා කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, ගුවනින් හෙලන බෝම්බ, ආදී විවිධ වේශයෙන් පාවිච්චි කළහැකි බවත්, මිනිසා සොයාගත්තේ, 19 වැනි සියවසේ මුල්භාගයෙදීයි. අද එය කොපමණ දියුණුවී පවතින්නේද යන්න, මම මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. ඝන ආවරණයක් තුළ, විවිධ පුපුරන ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ, ඇටවුමක් සකසා, එය තම අභිමතය පරිදි පුපුරා යාමට සැලැස්වීමේ ක්‍රියාවලිය, ලෝක යුද ඉතිහාසයට එක්වූ නවතම සංකල්පයක් මෙන්ම, අද දක්වාම යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. මෙය දිනෙන් දිනම වැඩි දියුණු කරමින් පවතින අවි ප්‍රබෙදයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. න්‍යෂ්ටික බෝම්බ සහ විද්‍යුත් බෝම්බ මෙහි අග්‍ර ඵලයයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. 


20. කාර්යක්‍ෂම සේවකයා – Minie Rifle

     මේ තුවක්කුවේ නම උච්ඡාරණය කරන්නේ ‘මිනියේන්’ යනුවෙන්. එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයක්. මේ තුවක්කුවට ඒ නම ලැබී තිබෙන්නේ, 19 වැනි සියවසේ මැද භාගයේදී, මේ තුවක්කුව නිපදවූ, ප්‍රංශ ජාතික හමුදා කපිතන් මිනියේන්  සිහිවීම පිණිසයි. මේ තුවක්කුවේ විශේෂත්වය කුමක්ද? මුල් කාලයේදී ලෝකයේ බහුලව භාවිතවූ තුවක්කු වර්ගය තිබුනා ‘මස්කට් – Musket’ යනුවෙන් හැඳින්වෙන. (අර ස්වීට් හවුස් වලින් ගෙනල්ලා කන Muscat නෙවෙයි ඈ) මේ තුවක්කුවේ විශේෂත්වය වන්නේ එතෙක් කල් පාවිච්චි කළ මූනිස්සම් වෙනුවට ඊයම් වලින් සැකසු තනි උණ්ඩයක් මේ මගින් වෙඩි තැබීමට හැකිවීමයි. එවැනි උණ්ඩයකින් සතුරන්ට අත්වුයේ භයානක ඉරණමක් වන අතර විනාඩියකට වෙඩි තැබිය හැකි වාර ගණනද මැච්ලොක් සහ ෆ්ලින්ට්ලොක් තුවක්කු වලට වඩා වැඩි වුනා. නිරවද්‍යතාවද ඉහළ මට්ටමක පැවතුනා. ලෝක සංග්‍රාම වලදී කැපී පෙනෙන වැදගත් අවියක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. මීට සමාන අවියකින් වෙඩි තියන හැටි පහත දැක්වෙන වීඩියෝවෙන් බලන්න.

මේ වනවිට අපි අවි 20ක් පිළිබඳව සාකච්ඡා කර අවසන්. මීළඟ කොටසේදී තවත් අවි වර්ග ගැන සලකා බලමු.

ඡායාරූප ලබාගත් මූලාශ්‍ර

my-signature-for-blog[1]      2014 ජනවාරි මස 31 දින 1356 පැය

Advertisements

Comments on: "සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two)" (21)

  1. ඉතාම වටිනවා ! මේ පරිනාමයේ විස්තර මේ දක්වා සිංහල පමණක් දන්නා අයට කියවන්නට ලැබී ඇති තැනක් නොදන්නෙමි.

  2. 1.//අශ්වයන් පිට යාම ගැන, අපට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්// අපේ රටේදි අලි ඇත්තු යොදාගත්තු බවනෙ සඳහන් වෙන්නෙ. අලි ඇත්තු පවුරු බිඳීම් වගේම සේනාවක් බියට පත්කිරීමට සුදුසු බව හිතෙනවා. ඒත් ද්වන්ධව සටනකට සුදුසුද? එහෙම ඇහුවෙ එළාර දුටුගැමුණු යුද්ධය මතක් වෙච්ච නිසා.

    2.//‘ඉංජිනේරු බලකාය’ Engineers Regiment’ තමයි මුලින්ම යුද පිටියට යන්නේ.// එතකොට ආරක්ෂාව දෙන්නෙ කවුද?

    3.අතපත්තුව දැක්කාම නම් හිනාත් යනවා. ඔච්චර දේවල් කරනකොට එකෙක් ළඟට ගිහින් තඩි පොලකින් පතබෑවානම් හරි. නැත්නම් ලෝඩ් කර කර දෙන්න වෙනම සෙට් එකක් ඉන්න ඕනෙ.

    4.// අදනම් බයිනෙත්තු සටන් නැත්තටම නැති තරම්.// ඇත්තටම වර්තමාන හමුදා බයිනෙත්තු සවිකරගෙන යන්නෙ නැද්ද?

    5.// ‘චීන පටස්’ කියන වචනය අහලා තියනවද?// චීනපටස් අරන් සීයා කෙනෙක් කොළඹ ගියහැටි මතක් උනා.

      1. අලි ඇතුන් ගෙන් වැඩ ගත්ත කාලෙට පස්සේ අශ්වයන්ගෙන් වැඩගත්ත කාලෙකුත් තිබුනා. ඒ කාලේදී අද ඉන්නවාට වඩා වැඩි අශ්වයන් ගණනක් ලංකාවේ හිටියා. විශේෂයෙන් අරාබි වෙළෙන්දන් සමග සබඳතා වැඩිවී තිබුණ කාලයේ (කෝට්ටේ/සීතාවක රාජධානි සමයේ) අශ්වයන් බහුලව යොදා ගැනුණා. මම කියන්නේ ඉන් මෑත කාලය ගැනයි.
      2. තමන්ගේ ආරක්ෂාව සපයාගතයුත්තේ තමන්මයි. අවශ්‍යනම් ආධාරක භටපිරිස් ඉල්ලන්න පුළුවන්.

      3. අත්පත්තුව හදපු කාලේ හිටිය මිනිස්සු ඒකට කොච්චර බයවෙන්න ඇද්ද. ඒකෙන් ගස් ගල් වුනත් කුඩුකරන්න පුළුවන් කියන හැඟීමනේ එන්නේ. අද අපි හිතන විදිහට හිතන්න එදා සාමාන්‍ය මිනිසාට අත්දැකීම් තිබුණේ නැහැ.

      4. අද හමුදා තුවක්කුවේ බයිනෙත්තුව පාවිච්චි කරන්නේ සම්මාන ආචාර මුරයක් Guard of honour / Guard turnout පිරිනැමීමේදී එය ලබන්නාට කරන ගෞරවයක් වශයෙන් තුවක්කුවට බයිනෙත්තුව සවි කිරීමෙන්.

      5. ඉතිං මොකද ඒ සීයාගේ ‘චීන පටස්’ වලට වුනේ.

        2014/01/22 දින හවස 4.30 – 5.00 අතර මට ඇමතුමක් දීම සහ ඊට පිළිතුරු දුන්නම වාහනයක හඬක් ඇසීමටත්, ඇමතුම විසන්ධි කොට මම ඇමතු විට පිළිතුරු නොදී සිටීමටත් නිදහසට කරුණු විමසන්න කැමතියි.

  3. මේවා එක්ක බලනකොට දැං තාක්ෂණය කොච්චර දියුනුද? දවසගානේ නව නිර්මාණ බිහිවෙන්වා… ඒත් මොකටද? තවත් එකෙකුට වින කටින්න නේද?

    • එදා හිටිය මිනිසා පොළොවෙන් ගල් කැටයක් අරන් තව මිනිහෙකුට දමා ගැහුවෙත් හොඳක් කරන්න නෙවෙයිනේ. එහෙම දමා ගැසීම තමයි මිසයිලයේ ප්‍රාථමික අවධිය.

  4. නිර්නාමික said:

    විචාරක තුමාට බොහොම ස්තුතියි දැනුම බෙදා දෙනවට…..!

  5. විචාරක තුමාට බොහෝම ස්තුතියි දැනුම බෙදාදෙනවට………..

  6. මට මේ තුවක්කු ගැන කියද්දී, පුංචි සිදුවීමක් මතක් උනා, අදාළ නැද්ද මන්ද..
    අපේ 5 වසරේ ප්‍රශ්න පත්‍රයක, වැදි භාෂාවෙන් තිබුණු වචන වල සිංහල තේරුම් අසා තිබුණ..
    එක වචනයක් තමයි “ගිනි බටය”
    මුද්‍රණ දෝෂයක් නිසා, “ගිනි බටය” සඳහන් වුනේ “ගිනි බටයා” ලෙස.
    ඉතින් ප්‍රශ්නේ වැරදියට තේරුම් ගනිපු අපේ යාලුවෙක් උත්තරයට ලියල තිබුනේ “පොලිස් කාරයා” කියල. ඒ වෙලාවේ ගුරුතුමී ඒ උත්තරයට හිනා උනත්, දැන් කල්පනා කරද්දී වරදකුත් නැහැ වගේ..
    “ගිනි බටයක් දරා සිටින භටයා” –> “ගිනි බටයා” වෙන්න බැරිද 🙂

  7. ලිපි පෙල දැන් නැගලා යනවා…හොද හොද යන්තර ඉදිරියට තියේවි වගේ…අර ටෝපීඩෝ කියන දිය යටින් යන මාරයා මේවට අදාළ නැද්ද…..දෙවන ලෝක යුද්ධය වෙලේ ටෝපීඩෝ සෑහෙන මෙහෙවරක් කලා නේද ?

    • ඔව් සිරා, මේ ලිපි පෙළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබුනා. ටෝර්පිඩෝ ගැන ඉදිරියේදී කියනවා. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  8. මම කිව්වේ මගේ බ්ලොග් රෝලේ ඔයාගේ පොස්ට් අප්ඩේට් වෙන්නේ නෑ කියලා. මොකක්ද කරන්නේ මේකට දන්නා කෙනෙක් කියා දෙනවද?

    • මගේ බ්ලොගර් බ්ලොග් රෝලේ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය අප්ඩේට් වෙන්නේ පැය 24 කට පස්සේ. ඒ වගේම සමහර සින්ඩිකේටර් වල මගේ බ්ලොගර් අඩවිය අප්ඩේට් වෙන්න ඊටත් වඩා කල් යනවා. ඒ ඇයි කියලා මමත් දන්නේ නැහැ.

  9. ඉතාම රසවත්ව තේරුම් ගන්න පුළුවන් වෙනවිදියට ලියල තියෙනවා

  10. http://thatunathipitu.blogspot.co.uk/2014/01/blog-post.html

    විචාරක….මේ බ්ලොග් එකේ මේ පෝස්ට් එක කියෙව්වාද?

    • බොහොම ස්තුතියි අරු, හොඳ ලිපියක්. හොඳ අඩවියක්. වෛද්‍ය ජයතුංගගේ මේ පොත ගැන විස්තර මටත් ලැබුනා. මමත් ලිපියක් ලියන්නයි හිතා හිටියේ. මම මේ අඩවිය වෛද්‍ය ජයතුංගගේ අවධානයට ලක් කරන්නම්.

  11. ලිපිය කියවාගෙන යද්දි මේ තොරතුරු කලින් කියවා තිබුණත් අදත් නැවුම් ප්‍රෙබා්ධයකින් කියවන්න හැකිවුනා. උග්ගල් අලුත්නුවර දේවාලයේ නැකැත් දැන්වීමට දල්වන තුවක්කුව හඳුන්වන්නේත් කාලතුවක්කුව ලෙසයි. එය තෙපා තුවක්කුවක් කොඩිතුවක්කුව කියලාත් අතැමි විට හඳුන්වනවා. ඔය ඔබ පෙන්වන ජංගම කාලතුවක්කුවට වඩා ස්වල්පයක් කුඩායි.එය ඔබතුමාගේ නිරීක්ෂණයට වටිනා සම්පතක් බව මෙවර දකිද්දී තදින්ම සිහිවුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: