විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


ඇමරිකානු ජාතික ග්‍රන්ථ කර්තෘ

විලියම් වියර් – William Weir

විසින් රචිත

50 Weapons That Changed Warfare

නමැති කෘතිය ඇසුරෙනි.

9781564147561_p0_v1_s260x420   යුද්ධයට කැමති කවුද කියලා ඇහුවොත්, බහුතරයකගේ පිළිතුර වන්නේ, කැමති නැහැ කියන එකයි. නමුත් අපි කැමති වුනත් නැතිවුනත්, යුද්ධ ඇතිවෙන එක තනි තනිව වලක්වන්න බැහැ. අපි ඇත්තටම අපේ මනස ජයගත්දාට තමයි, යුද්ධය මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් වෙන්නේ. යුද්ධ ඇතිකරන්නෙත්, ඉදිරියට ගෙනයන්නෙත්, සාමදානය ඇතිකරන්නෙත්, රාජ්‍ය පාලකයෝ. සොල්දාදුවා කරන්නේ තමන් පාලනය වන හමුදා නීතිරීති අනුව කටයුතු කිරීම පමණයි. සොල්දාදුවා තරම් සාමයට කැමති වෙනත් පුද්ගලයකු මෙලොව නැති තරම්. එයට හේතුව යුද්ධය කොතරම් කුරිරුද යන්න සොල්දාදුවා තරම් හොඳින් වටහාගත් කෙනෙකු නැතිවීමයි. යුද්ධයට මිනිස්සු අකමැති වුනත්, යුද්ධ කතා අහන්න නම බහුතර කැමැත්තක් තියනවා. ඒ තමයි මිනිස් ස්වභාවය. රටේ එදිනෙදා සිදුවන අධම, කුරිරු, භයානක අපරාධ සමහර ජඩ මාධ්‍ය විසින් නාට්‍යානුසාරයෙන් රඟදක්වමින් ඉදිරිපත් කරන රූපවාහිනී පුවත් දෙස තලු මරමින් කට ඇරගෙන බලා ඉන්න පිරිසකුත් අපේ රටේ ඉන්නවා.

  ලෝක ඉතිහාසය ගැන කතාකරනකොට ‘යුද්ධ’ යන වචනය නැතුව කතාකරන්න පුලුවන්ද? බැහැනේ. ඉතින් මම හිතුවා, එක එක අවි වර්ග ගැන, ඔබ සමග බොහෝවිට කරන කතාවලට වඩා වෙනස් අකාරයකින්, යුද අවි පිළිබඳව කතාකරන්න. ඊයේ පෙරේදා මගේ අඩවියේ අදහස් දැක්වීමක් කළ, අපූර්වී ඔමායා කියලා තිබුණා, ‘අනේ ඊළඟට වෙඩි තියන එකක් ගැන ලියන්න’ කියලා. මම ඇහුවා, හිරමනේට අළු දාලා වෙඩි තියන හැටි ලියන්නද කියලා. ‘හිරමනේට අළු දාලා වෙඩි තියනවා’ කියන කතාව අහලා තියනවද? අපි කුඩා කාලයෙනම්, ඒ කතාව සමාජයේ නිතර භාවිතයේ තිබුණා. අර, බංකුවක වගේ වාඩිවී පොල්ගාන හිරමණය, අපේ කුස්සියෙන් සමුගැනීමත් සමග……….

  (කතා මැද කතා. වෙලාවකට කුස්සියේ තනියම නහින නිසා, මම ඊයේ පෙරේදා අපේ උන්දැගෙන් ඇහුවා, විදුලි හිරමනයක් අරන් දෙන්නද කියලා. ‘ඒ සල්ලි ටික මට දෙන්ඩකෝ, මට වෙන අවශ්‍ය දෙයක් ගන්ඩ’ කියලා උත්තර දුන්නා. හෙහ් හෙහ්…..ඇත්තම කතාව මේකයි. මේස හිරමනෙන් වුනත් පොල්ගාන එක මට මහා අප්පිරියා වැඩක් අප්පා. මගේ කම්මැලිකමටයි ගන්න හැදුවේ. කොහෙද, පුදනකොටම කාපි යකා 😀 )

  ඉතින් ඔච්චර කෙන්ති ගන්ඩ එපා අනේ. චූර්ණිකා නැතුව කොහොමද මේ වගේ මහා බාරදූර ලිපියක් ලියන්නේ. එතකොට හිරමනේට අළුදාන කතාව එපාද? හරි ඔන්න ඔහොම පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්ඩකෝ. මෙන්න මේකයි ඒ කතාවේ තේරුම. හිරමනේ කියන්නේ තුවක්කුවක් හෝ වෙනත් ගිනි අවියක් නෙවෙයිනේ. අළු කියන්නේ ඉවතලන දෙයක් මිස වෙඩි බෙහෙත් නෙවෙයිනේ. හිරමණේට අළුදාලා වෙඩි තියනවා කියන්නේ කිසිදු ඵලයක් නොලැබෙන උත්සාහයක නිරතවෙනවා කියන එකයි. දැන් තේරුණාද?  

  බලන්න අපේ හැලප තුමා කොච්චර ලස්සනට චූර්ණිකා ලියනවද කියලා. මමනම් හරිම ආසයි එතුමාගේ චූර්ණිකා වලට. මේ දස්වලනම් එතුමා තවමත් තම මවගේ වියෝව ගැන වේදනාවෙන් ඇති. හොඳයි ඔන්න බහිනවා කතාවට.

  අවි 50ක් ගැන එකපාරට ලියන්න බැහැනේ. ඒ නිසා දෙකට තුනට කඩනවා හොඳේ? මොකක්ද කඩන්නේ කියලද අහන්නේ? ඇයි අනේ ලිපිය මිසක් වෙන අහවල් කෙංගෙඩියද?

  මගේ හිතට බොහොම තදින් ඇල්ලුවා මේ පොතේ පිළිගැන්වීම. කර්තෘ වරයා ඔහුගේ දියණිය වෙත මේ පොත පිළිගන්වා තිබෙන්නේ මෙහෙමයි. 

For Emma.

may she grow up to a

world in which warfare is

only history.

මේ මගේ පරිවර්තනය 

එමා වෙත.

සංග්‍රාමය යනු

ඉතිහාසයෙහි තිබුණු දෙයක් පමණක්

වන ලෝකයක් වෙත

හැදී වැඩෙන්නට

ඇයට හැකිවේවා!

  මා කලින් කීවාක් මෙන් සංග්‍රාමය රසවත් දෙයක් නොවෙයි. කතුවරයාද ඒ බව මනාව පසක් කරගෙන තිබෙන බව, ඔහුගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිළි වෙනවා.  යුද්ධය නමැති මහා විනාශකාරී ක්‍රියාදාමය නවත්වා ගැනීමට, මිනිසා තවමත් අපොහොසත්ව සිටින්නේ, ප්‍රධාන වශයෙන්, බල තන්හාව නිසා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයන් අතර පවා, සටන් තිබුණු බව, ඔවුන් පරිහරණය කළ ඉතා නොදියුණු රළු ආයුධ, පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් හමුවීම නිසා පැහැදිළිවනවා. ද්වන්ද්ව සටන්, යුද්ධයේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. දෙපිලක් අතර සිදුවන සටනකදී, තමා විසින් තෝරාගත් ප්‍රතිමල්ලවයකු සමග, ආයුධ සහිතව හෝ රහිතව සටන් කිරීමයි එහිදී සිදුවුණේ. නමුත්, ඈත සිට තම සතුරාට පහරදෙන්නට හැකිවන්නේ කෙසේද යන්න සිතා බැලූ මිනිසා, ඒ සංකල්පනාව ඔස්සේ විවිධ නිපැයුම් කළා. හොඳයි, දැන් අපි මේ අවි එකින් එක ගැන කරුණු සොයා බලමු.

1. හෙල්ල – Spear  

1 Spear  දුර සිටින සතුරාට පහරදීම සඳහා, ගලක් වැනි යමකින් දමා ගැසීම, ඉතා නොදියුණු ප්‍රාථමික primitive ක්‍රියාවක්. මිනිසා, තම චින්තන ශක්තිය මෙහෙයවා, දුර සිටින සතුරාට පහරදීම සඳහා නිපදවාගත්, මුල්ම ආයුධයක් ලෙස සැලකෙන්නේ හෙල්ලයි. දමා ගැසීමේ ආයුධයක් ලෙස, හෙල්ල, ඉක්මනින්ම ජනප්‍රිය වුණා. හෙල්ල, යුද්ධය කෙරෙහි විශාල බලපෑමක් කරන්නට සමත්වුණා. යුද්ධයට සුදුසු හෙල්ලෙහි, මුල් නිපැයුම් කරුවන් ලෙස සැළකෙන්නේ, අප්‍රිකානු මහාද්වීපයේ සිටින විවිධ ගෝත්‍රික ජනතාවයි.

  2. දුන්න සහ ඊතලය- Bow and Arrow

 2 Bow & Arrow  වඩාත් නිවැරැදිව, වඩාත් දුරක පිහිටි ඉලක්කයකට පහරදීම සඳහා, පැරණි මිනිසා නිපදවාගත් සාර්ථක අවියක් ලෙස, දුන්න සහ ඊතලයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. මුල් කාලයේදී, හුදෙක්, දඩයම් කිරීම සඳහා පාවිච්චි කළ ආයුධයක් වූ දුන්න සහ ඊතලය, මධ්‍යකාලීන යුගයේදී, සංග්‍රාමික කටයුතු සඳහා වැඩිදියුණු කරගැනීමත් සමග, වර්තමාන යුද භූමියේදී, සෙබළකු තම පෞද්ගලික අවියෙන් පහර දෙන ආකාරයට, ආසන්නයේ සිටින සතුරාට පහර දීමටත්, එසේම වර්තමානයේදී ස්නයිපර් තුවක්කු කරුවකු පහර දෙන ආකාරයට, තරමක් දුරින් ඇති ඉලක්කයකට සැඟවී සිට පහරදීමට යොදාගත හැකි අවියක් ලෙසත්, දුන්න සහ ඊතලය අතිශයින් වැදගත් වුණා. යුරෝපීය ඉතිහාසයේ සුප්‍රසිද්ධ සංග්‍රාමයක් වන, එංගලන්තයේ III වන එඩ්වඩ් රජු විසින්, 14 වැනි සියවසේදී, ප්‍රංශය ආක්‍රමණය කළ හමුදාවේ, දුනුවායන් 3000 ක් පමණ සිටි බව කියවෙන අතර, එම ආක්‍රමණයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකළ, IV වැනි පිලිප් රජුගේ හමුදාවේ, දුනුවායන් 8000 ක් පමණ සිටි බව කියවෙනවා. පෘතුගීසි, ලන්දේසි, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ, සිංහල හමුදා වල, සැළකියයුතු පිරිසක් දුනුවායන් සිටි බවත් අප අමතක කළයුතු නැහැ. 16 වැනි ශතවර්ෂයේ දී, යුරෝපයේ නිපදවා තිබුණු, රාත්තල් 70 පමණ (කි.ග්‍රෑම් 31) බර, අඩි 5 යි අඟල් 8 ක් (මීටර් 1.76) උස, දුන්නකින්, යාර 245 (මීටර් 224) ක් ඈතට, ඊතලයක් විදීමට හැකියාව තිබුණා. 

3. අසිපත – The Sword

3 Sword   ආදී කාලීන මිනිසා, තම සතුරාට මුහුණට මුහුණ දී සටන් කළේ, ඉමහත් චිත්ත ධෛර්යයකින් යුක්තවයි. මුලින්ම බාහු බලයද, ඉන්පසු ගල්, පොලු මුගුරු, මෙන්ම, විශාල සතුගේ ඇටකටු වලින් සාදාගත් කැපෙන සුළු සහ ඇණෙන සුළු අවි වලින්ද, ආදී කාලීන මිනිසා සටන් කළා. කෙසේ වෙතත්, ආයුධ නිපදවීමේ මහා විප්ලවයක් සිදුවුනේ, ලෝහ පිළිබඳව මිනිසාගේ දැණුම පුළුල්වීමත් සමගයි. මුල් කාලයේ සිටම අසිපත යනු රාජ්‍ය නායක භාවයේ, අධිපති භාවයේ, පාලක පන්තියට අයත් භාවයේ සංකේතය වුනා. එමෙන්ම කඩු ශිල්පයෙහි කෙළ පැමිණි අයවළුන්, යුධයේ දක්ෂයන් හා යුද උපක්‍රම විශේෂඥයන් Strategists ලෙස සැළකුණ අතර, සෑම විටම විශේෂ ගෞරවයට පාත්‍ර වුණා. මධ්‍යකාලීන යුගයේ සිටම, එක් එක් අවිය පිලිබඳ විශේෂ දක්ෂතා ඇතියවුන් විශේෂ නම්වලින් හැඳින්වුණා.

  දුනු ශිල්පයෙහි දක්ෂයා ‘ධනුර්ධර/ධනුද්ධර’ = Archer  ලෙස හැඳින්වුණා. 

ac2-archer

හෙල්ලෙන් සටන් කිරීමෙහි දක්ෂයා හැඳින්වුණේ Spearman  වශයෙන් 

414px-Assyrian_spearman_·_HHWI469.svg

කෙටේරියක මෙන් තලයක් සහිත, දිග මිටකින් යුත් හෙල්ලක් සහිතව සිටින ‘හෙල්ල සටන් කරුවන්’ හැඳින්වුණේ හැල්බඩියර් -Halberdier යනුවෙන් 

empire_halberdier

එමෙන්ම, තුවක්කු හරඹයෙදී, විශ්මිත සහ අතිශයින් නිවැරදි ඉලක්ක ගන්නා පුද්ගලයා, හඳුන්වන්නේ ‘ප්‍රගුණ වෙඩිකරු – Marksman‘  යනුවෙන්.

american-marksman-granger

කඩුව තරම්, මිනිස් ඉතිහාසයේ ඇතිවූ සංග්‍රාම වලදී පාවිච්චි කළ වෙනත් අවියක් නැති තරම්. ජපානය, චීනය, ඉරානය, ඉරාකය, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, නොර්වේ, වැනි රටවල් ගණනාවක ඉතිහාසයට මෙන්ම, මුස්ලිම් සහ හින්දු සංස්කෘතීන්ටත්, කඩුව දැඩි ලෙස බැඳී පවතිනවා. 

4. ගැලී යාත්‍රාව – The Galley 

4 Galley   ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ, වික්ටර් හියුගෝ විසින් රචිත, Le Miserable නවකතාව හෝ, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ශූරීන් විසින් කළ, එහි සිංහල පරිවර්තනය වූ ‘මනුතාපය’ නවකතාව, ඔබ අතරින් සෑහෙන පිරිසක් කියවා ඇති. එම නවකතාවේ ප්‍රධාන චරිතය වන, ‘ජනවර්ජන’ ගැලී වහලකුව සිටි බව කියවෙනවා මතකද? අන්න ඒ ගැලී යාත්‍රාව ගැනයි මේ කියන්නේ. ගැලී යාත්‍රාවක් යනු, හමුදා භට පිරිසක් රැගෙන සාගරයේ හෝ වෙනත් ජල තලාවක් තරණයේ යෙදෙන යාත්‍රාවක්.  හබල් ගෑමෙන් ජල තරණය කරන මේ යාත්‍රාවක හබල් කරුවන් ලෙස බොහෝවිට යොදාගත්තේ, වහලුන් හෝ සිරකරුවන්. ඔවුන්ගේ දෙපයේම වළලුකර ප්‍රදේශයෙන්, දම්වැල් සහ ඉබි යතුරු දමා යාත්‍රාවට බැඳ දමා තිබුණා. කසයකින් තලමින් ඔවුන්ගෙන් වැඩගන්නට එක් සෙබළකු යොදවා තිබුණා. (බෙන්හර් Benher චිත්‍රපටියේ එවැනි ජවනිකාවක් තිබෙනවා වගේ මතකයි)  මේ යාත්‍රා විශේෂය හමුදා භටපිරිස් ඉක්මනින් තැනින් තැන ගෙනයන්නට මහත් රුකුළක් වුනා. ගැලී යාත්‍රා යොදාගනිමින්, තුර්කි සුල්තාන් වරයකු විසින්, 1569 දී, ඉතාලියේ වෙනිස් වරායට එල්ල කළ ප්‍රහාරයෙන්, වරායේ තිබුණු නැව්, වෙඩි බෙහෙත් සහ අවි ගබඩා, යුද අවි කම්හල් ඇතුළු, සියල්ල විනාශ වුණා. 

5. ශාරීරික සන්නාහය – Body Armour 

Ancient Roman clothing    සතුරා සමග සටන් කිරීමේදී සිය ශරීරය ආරක්ෂා කරගැනීම, එදත් අදත්, සොල්දාදුවකුට මහත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීම සඳහා මධ්‍යකාලීන යුගයේදී සොයාගත් විශ්මිත් නිපැයුම වූයේ සන්නාහයයි. නමුත් මෙම සන්නාහය ඉතා අධික බරකින් යුක්තවූ අතර එය පැළඳ සිටින පුද්ගලයාගේ චලනයන්ට බාධා පැමිණවීමක්ද සිදුවුණා. ඒ කාලයේදී යොදාගත් අවි බොහොමයක්, කොටන, කපන, අණින, අවි නිසා, මෙවැනි සන්නාහයක් තිබීම අතිශයින් වැදගත් වුණා. පසු කාලීනව, මෙවැනි සන්නාහ, යුද බිමට යන අශ්වයින්ට පවා ගැලපෙන ලෙස සකසනු ලැබුවා.

5 Body Armour

බරින් වැඩි සන්නාහ වෙනුවට, තරමක් බරින් අඩු සන්නාහ නිපදවන්නට පසුකාලීනව හැකියාව ලැබුනා. එකට අමුණා, රෙද්දක් මෙන් වියන ලද ආකාරයට, ලෝහ වළලු රාශියක් ඇමිණීමෙන් සකසන ලද මේ සන්නාහය, හඳුන්වන ලද්දේ, ‘චේන්මේල් – Chainmail‘ යනුවෙන්. 

5a Chainmail

  සන්නාහය සටන් බිමේදී සොල්දාදුවන්ගේ ජීවිතය රැක ගැනීමට මහත් රුකුළක් වුණා. එය සංග්‍රාම කාර්යයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.

  මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. ඊළඟ කොටස් වලදී මීටවඩා අවි ප්‍රමාණයක් ඔබ වෙත ගෙන එන බව සඳහන් කරන්නට කැමතියි. 

ඡායාරූප මූලාශ්‍ර 

my-signature-for-blog[1]2014 ජනවාරි මස 26 දින 2357 පැය

Advertisements

Comments on: "සංග්‍රාමයේ පියසටහන් (පළමුවැනි කොටස) – Milestones of Warfare (Part One)" (37)

  1. “අපි ඇත්තටම අපේ මනස ජයගත්දාට තමයි, යුද්ධය මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් වෙන්නේ.” මනස ජය ගැනීමට කළයුතු සංග්‍රාමය සඳහා පෙරුම් පිරිය යුතුය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ ඊටත් වඩා පෙරුම් දම් පිරිය යුතුය. බෞද්ධ සාහිත්‍යය විසින් අවධාරණය කරන්නේ එම සංග්‍රාමයේ ඇති බැරෑරුම් කම නේද ? ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් මා සිටි තැනක කෙනෙකු නැගූ පැනයකට පිළිතුරු දුන්නේ සෝවාන් සකෘදාගාමි වැනි ඵල ලෙහෙසියෙන් ළඟා කර ගත හැකි මාර්ග ගැන කතා කරන අය තමන්ට මුණ ගැසී ඇති මුත් ඒ බොහෝ දෙනකුම මුලාවට ගොස් තිබූ බවත්ය. පවතින ලෝකය දිහා ඇස් හැර බලන්න. එය වෙනස් කිරීමට ඉතාකුඩා පියවර තබමින් ඉතා හෙමින් එහෙත් නොනැවතී යන ගමනකට සූදානම්වන්න. පළමුවෙන් මෛත්‍රෙය වඩන්න. මුළු රටම එක්ව මෛත්‍රෙ බලය විහිදුවීමට හැකිනම් බොහොම ප්‍රයෝජනවත් වේවි. යුද්ධය නවතීවි. යුද්ධය නැති කළ හැක්කේ මෛත්‍රෙය නමැති බලවත් ආයුධයෙන් විය හැකියි. මේ එදා මහ සමිඳුන් අපට පෙන්වාදුන් බලවත් ආයුධයයි.
    ඔබේ ලිපියේ තේමාවට වෙනස් අන්තර්ගතයක් කරා මා යොමු වුනේ ඉහත උපුටනයේ අවධාරණය කළ අදහස සමග ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් වෙතින් පළ වූ අදහසක් නිසා ඇති වූ සිතිවිල්ල නිසයි. කල්පනා කරන්නට බොහෝ දෑ මේ රසවත් ලිපිය තුළින් ඔබ ඉිදිරිපත් කර තිබෙනවා.

    • ඔබ අදහස් දක්වා තිබෙන්නේ මේ ලිපියට පටහැනිව නොවේ. මේ ලිපියේ සඳහන් අවි ආයුධ දකින කෙනෙකුට, මිනිසා මෙසේ හැසිරෙන්නේ ඇයිද යන සිතුවිල්ල ඔස්සේ සිතුවොත්, අනිත්‍යය මෙනෙහි වෙනවා.

      • කිසියම් වැකියක් දුටුවාම ගොඩාක් අදහස් ඇති වෙන්නෙ ඒ වැකිය කලාකෘතියක් නිසාය කියා මා අසා තියනවා. මේ වැකිය ඔස්සේ බොහෝ දෙිවල් ඔස්සේ මගේ සිතිවිලි දිවගියා. ඇත්තෙන්ම ඔබ ලියන දෑ තුළ අපූර්වත්වය කැටිවෙන්නේ ඔබ ලේඛකයෙක් කලාකරුවෙක් නිසා.

  2. නිර්නාමික said:

    ඔය චේන් මේල් අපේ යුධ හමුදාවේත් රෙජිමේන්තුවක් අදටත් පාවිච්චි කරනවා කියල ඔබතුමාගේම ලිපියක කියවල තියෙනවා.

    • ඔව් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය තමයි පාවිච්චි කරන්නේ. නමුත් එය උරහිසේ පළඳින පටියක් වැනි හැඩයකට තිබෙන්නේ.

  3. මේ ලිපිය කියවා මම ලොකු දැනුමක් ලබාගත්තා විචාරක තුමා. බොහොම ස්තුතියි.

  4. ආගම හන්දා ඇතිවෙච්ච යුද්ධම බර ගානක් තියෙනවා මානව ඉතීහාසේ, නැද්ද?

    • ඒවා ප්‍රසිද්ධ වන්නේ කුරුස යුද්ධ ලෙස. අදත් ලෝකයේ පවතින සමහර යුද්ධ වල යටින් තියෙන්නේ ජාතිය හෝ ආගම.

      • සමහර පින්තූර බලනකොට රෝබිහුඩ්. ට්‍රෝජන් වගේ ෆිල්ම් මතක් වුනා. .

      • මගේ කොමෙන්ටු දාන්න පුළුවන් කාට හරි රිප්ලයි විදිහට විතරයි , කෙලිමනා කොමෙන්ට් කරන්න බෑනේ මෙකට මොකද ඒ.. ඔන්න මට මල පැනගනයි එන්නේ

        මේ බලන්න මම මේක සංස්කරණය කරනවා කෙලිමනා නෙවෙයි කෙලින්ම කියලානේ ඔයාට කියන්න ඕනේ. නමුත් මෙයට වෙනත් කෙනෙකුට පිළිතුරු දීමේ පහසුවත් බ්ලොක් වෙලා. අනෙක් අයගේ කමෙන්ට්වලට එහෙම වෙලා නැහැ. හේතුව හිතගාන්න අමාරුයි.

        විචාරක

        • සිංහලෙන් ලියන බ්ලොග් බොහොමයකටම මේ දවස්වල එක එක ලෙඩ. ඊයේ පෙරේදා තිබුනා මේ අඩවියේ කමෙන්ට්ස් ඉබේම බ්ලොක් කරලා. අමාරුවෙන් හදාගත්තා. දැන් ආයෙත් ලෙඩක් වගේ. මම බලන්නම්.

  5. නිර්නාමික said:

    Nice work

  6. ආ දැන් හරි විචාරක….හාහ් මට තේරුනා හොරෙ. අපිවගේ යුධ ශිල්ප ක්‍රමවල මනා ප්‍රාගුන්යයක් සහිත, සතුරු කඳවුරු හරහා ඇස පියාගෙන වුව පියමන් කල යුධ වීවවර්යන්ගේ නිර්දය විවේචන එල්ලවෙන්වාට බියෙන් විචාරක තෙමේ මාගේ කොමෙන්ටු බ්ලොක් කර තිබිණ ,ඉදින් මාගේ සහජ දක්ෂතාවය නිසා ඒ බ්ලොකය අඳුනා ගැනීමට මට හැකිවූ නිසා නිහඬවම පරාජය බාරගත් විචාරක තෙමේ නැවට මා සඳහා කොමෙන්ටු විවර කර ඇත. ඊට කෘත ගුණ සැලකීමක් ලෙස මං තොපගේ ලිපියේ කිසිදු අඩුපාඩුවක් පෙන්වා නොදෙමිය. 😀

    • පිස්සු කෙලින්ද එපා යකෝ. මම මේ ඔලුව ගිනි අරගෙන හොයනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. උඹ මගේ ගිනිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදනවා. 😀 😀

  7. හොඳ ලිපියක් . ආරම්භය ඉතාමත් කදිමයි.ඉදිරියේදී තවත් වැදගත් විස්තර දන ගැනීමට පුල පුලා බලා සිටිනවා.

  8. ඉවාන්ට ජොලියකුත් ගිහින් තියන්නේ. 😀

    මටත් මේ සමහර පින්තූර දැක්කම බලපු පැරණි චිත්‍රපටි තමයි සිහියට ආවේ.. දුනු හා තුවක්කු දෙකම භාවිතා වුනු කාලයේ, ඊතල වල ගිනි අවුලුවල ඒවායින් වෙඩි බෙහෙත් ගබඩා වලට විදිනවා ලු නේද.. එතකොට බූමරංගය කියන්නෙත් ගෝත්‍රිකයින් භාවිතා කල පැරණි අවියක් ද.. තව අංගම් වලදී පාවිච්චි කළා කියන තල බර ගානක් තියන කඩුව…? ඒක ඇත්තටම තිබුණු එකක් ද..

    ඊළඟ ලිපි වල මේ විස්තර එනවා නම් එතකොට කියෙව්වත් කමක් නෑ විචාරක තුමා..

    • මේ අවි 50 ට බූමරංගය ඇතුලත් නැහැ. මම හිතන්නේ එයට හේතුව වන්නේ ඒ ආයුධය ඕස්ට්‍රේලියානු ඇබොරෝජීන් වර්ගයාට පමණක් සීමා වීමයි. අංගම් සටන් වල තිබුන කඩු ගැන විස්තර මගේ ළඟ නැහැ.

  9. මෙච්චර ලස්සනට මේ ආයුධ වලින් යුද්ධ කරලා වීරයෝ වෙන්න තිබුණ අවස්ථාව තමයි තුවක්කු බෝම්බ නිපදවලා බාල්දු කලේ.. 😀

  10. යුද්දයට එරෙහි වියයුතු ආගමික නායකයින් සංග්‍රාම අවතීර්ණවෙන මේ යුගයෙන් ඉදිරියට යුද්ද වලින් තොර ලෝකයක් කොහෙ හොයන්නද ?

  11. කාලෙකට පස්සෙ නැගල යන ලිපියක් ලියල තියෙන්නෙ.මම හිතනව නැගල යන ලිපි පෙලක ආරම්භය තමයි මේ සනිටුහන් කරල තියෙන්නෙ.දිගටම ලියන්න .ඔබට ජය.

    • මේ පොත සෑහෙන්න වැදගත් එකක් බව පෙනීගියා. ඒ නිසා තමයි ටිකක් මහන්සිවෙලා මේ ලිපි පෙළ ලියන්න හිතුනේ.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  12. නියමයි ..ආස හිතෙනවා ,යුද්ධයට කැමති නැති වුණත් මේ වගේ දේවල් වලට කැමති

  13. නියමයි නියමයි…… මමනම් කැමතිම Archery (මොකෝ ඉතිං අපිට ගිනි අවි තහනං නෙව 😀 ) ඊතලේකින් විදින එක මම දන්න විදිහටනම් ස්නයිපර් වෙඩිල්ලකටත් වඩා සාර්ථකයි(සමහර අවස්ථා වලට) මොකද කොච්චර සයිලන්සර් දැම්මත් සනයිපරේකින් පිටවෙන සද්දෙ තරම්වත් සද්දයක් දුන්නකින් පිටවෙන ඊයක නෑනේ. හැබැයි දුර ගැනනම් වැඩිය හිතන්න බෑ, ඒ තර්ම්ම නැතත් මේ වෙනකොට දියුනු කරපු දුනු තියනවා ආසන්න වශයෙන් මීටර් 500 විදින්න පුලුවන්….
    (දැන්නං ප්‍රදර්ශන සහ තරඟ වලට විතරයි)
    මේ ගැනත් විස්තරාත්මක විචාරයක් දෙන්න හැකිනම් හුඟාක් වටිනවා

    • ස්තුතියි අදහස් දැක්වීම ගැන සහන්. මගේ හිතේ තියන දේවල් ඔයාට දැනෙන්නේ කොහොමද? 😀 දුන්න ගැන වෙනම ලිපියක් ලියන්නයි හිතාගෙන ඉන්නේ.

      • හිත් වල තියන ඒවා කියන්න පුලුවන් මට 😀
        ලියන්න ලියන්න ඉක්මනට…. (ඔය ඉතිං මේවා දකිනකොට පාඩං පැත්තක දාලා ආපහු බලොග් එක ලියන්න හිතෙනවනෙ 😀 )

  14. බොහොම වටිනා ලිපි මාලාවක ආරම්භය බව පැහැදිලියි…කලබලයක් නෑ…නිවී සැනසිල්ලෙ සියලුම කරුණු සිංහලට පෙරලලා අපට දෙන්න. ඉස්සරහට මල්ටි බැරල් එහෙමත් එයි නේද ?

  15. නිර්නාමික said:

    අසමි දකිමි සොයමි

    පෙරට යා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: