විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අහලා තියනවා නේද බැරි සිල් නොගන් අබරෝ කියන කතාව. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගෙන, පුරුදු පුහුණු කරලා තියන, ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ. අබරා සිල් ගන්න ගිහින් අර හාමුදුරුවෝ කියන කියන එකම කියන්න ගිහින් වෙච්චි දේ දන්නවනේ. අපි හැමදෙනාටම පුළුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. නමුත් ඉතින් මොනවා කරන්නද? කරුමෙට ගාත් අටයි, මෝඩකමට බෙහෙත් නැහැ, කියන කියමන් මටම කියාගන්න වැඩක් මේ දැන් පැය දෙකකට කලින් සිද්දවුනා.

  කතන්දරේ මෙන්න මේකයි. හෙට උදේ කොළඹ රටේ රවුමක් යන්න තියනවා. අද දවසම අතිශයින් කාර්ය බහුලවයි හිටියේ. හවස හතට විතර මතක් වුනා කාර් කට්ට ටිකක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා. කරුමයක් පලදෙන්න තියනවානම් ඉතින් ඒක පලදෙනවාමනේ. කාර් කට්ටේ ඉස්සරහ වම්පැත්තේ රෝදේ සද්දයක් තියනවා වගේ කියලා සැකයක් තිබුණා. හනේ අම්මපා වාහන තුනක්, රියැදුරන් තිදෙනෙක් තියාගෙන හිටිය මම, අද තනියම ජැක් ගහනවා. (කාර් එකට, කාර් එකට, නැත්නම් වෙන අහවල් කෙන්ගෙඩියකටද ජැක් ගහන්නේ. මොනවා අහනවද මන්දා. මොකද අද එව්වා හිතුවට කොරන්ඩ පුලුවනැයි) ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ.

  ඔන්න ඉතිං ජැක් ගහලා බඩ තඩිය අමාරුවෙන් පාලනය කරගෙන කාරෙක යටට රිංගුවා, අර සැර එළිය තියන ටෝච් එකත් ඇන්න. ම්හු…….සැක කටයුතු කිසිවක් නැහැ. අපේ උන්දැගෙන් ඇහුවා කාර් එක නියුට්‍රල් කරන්න දන්නවද කියලා. මොන විකාරද අනේ මම ඔව්වා දන්නේ නෑ කියලා උත්තර ලැබුණා. අම්මපා අල්ලපු ගෙදර නෝනට කතා කරානම් නියුට්‍රල් කරවාගන්න තිබුණා. නැද්ද මං අහන්නේ? එකත් අමතක උනානේ. මම කිව්වා  කිව්වා ගියර් පොල්ල ටිකක් ඉස්සරහට පස්සට කරන්න (කාරෙකේ, කාරෙකේ, ආයෙත් අනං මනං ඇහුවොත් ඔන්න කතාව නවත්තනවා ඈ) එතකොට බුරුල් ගතියක් දැනෙයි එහෙමම තියන්න කියලා. ඔන්න මාගේ පියඹ ලෝක වාර්තාවක් තබමින්, ජීවිතයේ පළමුවැනි වතාවට, කාරයක් නියුට්‍රල් කළා.

  රෝදේ කරකවන්න පොඩ්ඩක් කියලා කිව්වා මම. හරි තදයි කැරකෙන්නේ නෑ කියලා උත්තර ලැබුනා. හුටා…… බ්‍රේක් බයින්ඩ් වෙලා ඇති. බ්රේක් පෑඩ් ගැලවෙලා ඩිස්ක් එකත් එක්ක හිරවෙලාද දන්නේ නෑ. ඔහොම හිතමින් මම කාරෙක යටින් එළියට ආවා. රෝදේ අල්ලලා කරකවන්න බැලුවා මොන විකාරද නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්. හෑ………….බලනකොට ලොක්කි කාරෙක නියුට්‍රල් කරලා නැහැනේ. පොල්ල (යකෝ දැන් දෙතුන් සැරයක් කිව්වා නේද කාරෙකේ කියලා) නිකම් හොල්ලලා විතරයි. මට ආව කේන්තියට කාරෙක නියුට්‍රල් කරා, දඩස් ගාලා ගියර් පොල්ලට එකක් ගහලා. කැරකුවා එක පාරටම රෝදේ. මගේ අත ලිස්සලා ගියා ඇලෝයි වීල් එක අස්සට. ඩ්‍රම් එකයි වීල් එකයි අතරට අත හිරවුණා. මෙන්න ප්‍රතිඵලේ.

photo0098

  ඉස්පිරිතාලේ ගියේ නැහැ. ප්‍රථමාධාර සහ බෙහෙත් අපේ ගෙදරම තියනවා. අපේ උන්දැ දුන්න විලාපෙට මගේ යාලුවෙක් දුවගෙන ආවා. මම කිව්වා පොඩ්ඩක් අත වැදුනා අනේ ඔය කාරෙකේ රෝදේ ගලවලා චෙක් කරලා දෙන්න කියලා. රෝදේ කිසිම ලෙඩක් නැහැ. මගේ මනස්ගාතයක් තමයි අර සද්දේ. මේ පින්තූරය ගත්තේ අපේ උන්දැගේ විලාප අස්සේ. හොඳ වෙලාවට මට මේ ඇඟිල්ල පාවිච්චි නොකර ටයිප් කරන්න පුලුවන්. මෙව්වත් තුවාලද අපිට වෙලා තියන තුවාලවල හැටියට. 

හැබැයි බැරි සිල් නොගන් අබරෝ 

my-signature-for-blog[1]2014 ජනවාරි මස 10 දින 2158 පැය

Advertisements

Comments on: "බැරි සිල් නොගන් අබරෝ කිව්වලු" (30)

  1. පත්තර මල්ලි said:

    කෝකටත් යන වාහනේ චෙක් කරන් යන එක හොඳයි විචාරක තුමා.කාලෙකට කලින් මම රෙන්ට් එකට ගත්ත CR 42 වරගයේ වාහනයක ඉස්සරහ වම් රෝදයේ ඔවැනි ආද්දයක් ආව්.මම ඒ ගැන වැඩි තැකීමක් කරේ නෑ රේසර් එකක් ගිහින් ඇති කියලා.දුර ගමනක් යන්නපාන්දර පිටත් වෙලා කිමී කීපයකදී එකවරම රෝදය ගැලවී විසිවුනා.. ඒත් සමඟම බ්‍රේක් අහන් නැතුව ගියා.. බලද්දී සිදුවී තිබුනේ මෙයයි.

    ඔවුන් අලංකාරය සඳහාවාහනේ රෝදය එලියට පැන්නීමට ඇලෝවීල් එකත් හබ් එකත් අතරට වොෂර් යොදලා !! එවිට රෝදයේ නට් කාලයකදි බුරුල් වෙලා

    සංසාරේ .. දන්නව වැඩි උනාමත් ඔහොම නොවැ !!
    බැහැල බ්ලන් නැතුව ලෙඩ හොයන්න ගිහින්..!!
    ඒක ඔබතුමා නොකර චෙක් කරං යන්නඇඟිල්ල වගෙ නෙවේ තව පොඩ්ඩෙන් පත්තර මල්ලියෙක් නෑ !

  2. නිර්නාමික said:

    හිතුවට කොරන්න පුළුවනැයි කියලා අතෑරලා දාන්නෙ නැතුව ඔය පොල්ල එහාට මෙහාට කරලා දාන්න පොඩියක් උගන්නලා ගන්න විචාරක තුමා..කාරෙකෙ කාරෙකෙ..නැත්නම් ආයි ! (මාළුවන්ට පීනන්න ටියුෂන් දෙන්ඩ ඕනියෑ ?! )
    ඇඟිල්ල තලා ගත්ත එකෙන් දැන් කොළඹ එන්නෙ නැතෙයි.. ආවොත් එන්න කොළඹ 07 පැත්තෙ මම අද ඔෆිස් ඉන්නවා හරහමාර විතර වෙනකන්… ඔය වඩෙයක් කාලා ප්ලේන්ටියක් බීලා යන්ද පුළුවන්..

    • ඉස්සෙල්ලා ලොරියකින් පුරුදුකොරලා ඊළඟට කාරෙක දෙමු නේද? 😀

      අපරාදේ කලින් දන්නවනම් එන්න තිබුණා. පාන්දර 4 ට ගෙදරින් ඇවිත් අවශ්‍ය වැඩටික කරගෙන ගෙදර ආවේ දැන් ටිකකට කලින්. වාහනේ එලවපු නිසා ඇඟිල්ල ටිකක් රිදෙනවා.

  3. අපොයි මාළු ?.

  4. නිර්නාමික said:

    ටිකක් සැළකිලිමත් වෙන්න ඔවැනි කාර්යන් හි නියලීමේදී ,මොකද නියපොත්ත වගේ නොවේ අස්ථි පිපුරුමක් සිදුවුවානම්.
    ඉක්මන් සුව පතනවා ඔබට …….

    • ඔව්. මටත් පස්සේ හිතුණා මෝඩ වැඩක් කලේ කියලා. ගෙදර වෙන පිරිමි කවුරුවත් නැහැ. හදිස්සියකදී මාව උස්සන්නවත් අපේ ගෙදර කාටවත් බැහැ.

      බොහොම ස්තුතියි සුවය පැතීම ගැන.

  5. ක්සැන්ඩර් said:

    අයියෝ විචාරකතුමා වයසට කොරන වැඩද අප්පා මේ? 😀 (මොන වයසක් ද නේද?) ඇත්තමයි ඕක සර්විස් එකකට දැම්මනං නරකද? අර ඉස්සර වගේ වැඩකෑලි දාන්න හදල මොකක්හරි ඔයිට වඩා දෙයක් වුනා.. කාටද කියන්නේ?

    • මොකද ක්සැන්ඩර් සද්දයක්වත් නැත්තේ. කොහොමද දුක සැප? බොරු කම්මැලිකම අතෑරලා ලියන්නකෝ මොනවහරි.

      මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ. එකයි මේ අනතුර කරගත්තේ. හැබැයි ඇඟිල්ලත් බැඳගෙන වාහනේ එලවගෙන කොළඹ ගිහින් ආවා.

  6. ගමනක් යන්න කලින් වාහනය පරික්ෂා කරන එක හොඳයි ඒත්, ගොඩක් පරිස්සම් වෙන්න විචාරක තුමා. අනතුරු සිදු වෙන්නේ කලින් දන්වලා නෙවෙයි නේ.

  7. //// මෙව්වත් තුවාලද අපිට වෙලා තියන තුවාලවල හැටියට. ////
    අන්න නියම කතාව විචාරක තුමෝ. තුවාල නං තුවාල. හෙහ් හෙහ්.

  8. හම්…ඔය කරගෙන තියෙන්නේ…හදිසි වුනාම අර මොකේද අත දාන්නත් බෑලුනේ…ඉක්මනින් සුව වේවා..

    • තවම ටිකක් රිදෙනවා. දකුණු අත නිසා මොකවත් කරගන්ඩ බැරුව මයිනා වගේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා හොඳ වෙනතුරු 😀 ස්තුතියි සුවය පැතීම ගැන.

  9. අනේ මංදා මේකට මොනවා කියන්නද කියලා…..
    (මෙව්වත් තුවාලද අපිට වෙලා තියන තුවාලවල හැටියට? හා හා කට…… නාවික හමුදාවෙ සහෝදරයෙක් යුද්ද කාලේ මුහුදේ කරනං ගහලා සුනාමි දවසෙත් බේරිලා, ඒ ගැන පම්පෝරි ගහලා රාජාංගනේ පැත්තේ ඇලක වැටිලා මලා)

    • ඔව් සහන්, කයිය ගැසීම ශරීර සෞඛ්‍යයට ගුණ නැත. කොරන්ඩ පුළුවන් මොනවද බැරි මොනවද කියලා කලින් හිතා බැලීම ශරීර සෞඛ්‍යයට හොඳය.

  10. මදෑ ඔයින් ගියා.කිව්වත් වගේ ඔය බැරි වැඩ නොකර ඉන්ඩේපයි.

    හැබයි ඉතිබ් වැඩ කරල නිකන් ඉන්නකොටත් ඔය නැති වැඩ හදාගෙන ඇන ගන්න හිතෙනව තමා බොල.හෙහ් හෙය් හේ

  11. ජැක් ගහන්න කලින් අඩ තියල, හෑන්ඩ් බ්‍රෙක් ඇදල, නියුට්‍රල් කරල වැඩේ කරන විදිය අපේ හෙන්‍රිගෙන් ඇහුවනං කියයි.

    වයසට යනකොට තියෙන්න ඕන අලුත්ම කාර් එකක්. මොකද ආරක්ෂාවට සහ පහසුවට.

  12. “පුරුදු පුහුණු කරලා තියන, ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ”
    ඔය බණේ gospel විදිහටම ගත්තොත් අලුත් දෙයක් කරන්න බෑරි වෙයි නේ. ඊලග පාර හරියට ඇගිල්ල ගහන්න මේ පාර තලාගන්න වෙනවා සමහර වෙලාවලදි (හෑබෑයි තැලිල හරි ඉතුරු වුනේ නෑත්නම් ඊලග පාර වෙන ඇඟිල්ලක් risk කරන්න වෙනවා)

  13. අපේ ගෙදර දරමැස්ස හදන්න ගිහිල්ලා ඒකෙ ටකරං වහලෙත් එක්ක මම බිම පතබැවුන දවසෙ අපේ අම්මත් විලාපයක් දුන්නා….වෙද ඉස්කෝලෙ දෝනිට කියලා මැහුම් 10 විතර දාමු….

    • අර කියමනක් තියනවනේ සිරෝ කෝච්චියට හැප්පෙන්ඩ තියනවනං එකා ගෙදර හිටියත් කෝච්චියට හැප්පෙනවා කියලා. මෙව්වත් ඒ වගේ තමයි.

      දෝණි ගෙදර ඇවිත් හිටිය නිසා එයා තමයි බෙහෙත් දැම්මේ. කියන්න අමතක වුනා ඔන්න කෙල්ල වෙද ඉස්කෝලෙන් පාස් වෙලා. ඊයේ පෙරේදා තමා ‘පොර්තිපලේ’ ලැබුනේ.

  14. ගමනක් යන්න ඉස්සරවෙලා වාහනේ පරික්ෂා කරන දෙය හොඳ දෙයක්.ඒ උනත් තරහ ගත්ත එක නම් වැරදියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: