විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  walking_alone_on_long_road-other-e1343172538576-226x226පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව පවත්වාගෙන යනවා. මා හොඳින් ඉන්නවාදැයි අමතන දුරකථන ඇමතුම් දෙක තුනක්වත්, එක සතියකට ලැබෙනවා. හමුදා කඳවුරුවල තිබෙන උත්සව වලට නිරතුරු ආරාධනා ලැබුනත්, ඒ සියල්ල පිළිනොගන්නේ, සෞඛ්‍ය තත්වය ගැන සිතා බලා. “මට මහළු වයසේ – බැරිය වෙණ ගායනා පෙරසේ” කියන්නේ නිකමටයැ. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී මම හැටවන වියට පාතබන්න සූදානමින් ඉන්නවා, ඒ අල්ලපනල්ලේ මොකුත් අතුරු ආන්තරාවක් සිදු නොවුනොත්.

  2011 දෙසැම්බර් 15 වැනිදා පටන්ගත් මේ වැඩේට, එහෙනම් අවුරුදු දෙකක් ගතවුනා ඈ. අනේ මන්දා, මටනම් හිතෙන්නේ ඊයේ පෙරේදා වගේ. මොනවද ඉතින් නිදාගන්න ගියාම මොකක්හරි කාරණයක් ඔළුවට එනවා. පහුවදා උදේම පොඩි කෙටුම්පතක් ලියනවා. (දැනට අවසන් නොකළ කෙටුම්පත් අටක් තියනවා) ඔන්න ඔහොමයි මේ ලියවිල්ල දිගට දිගට ඇදීයන්නේ. හැබැයි ලියන්න නම් දේවල් තව මහා ගොඩක් ඔළුවේ තියනවා. බලමුකෝ,  ඉඩ ලැබෙන විදිහට ලියමු. මම මොහොතකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි, මගේ පළමුවැනි වර්ෂ පූර්ණ ලිපියට. වෙලාවක් තියනවනම් මෙතනින් ගිහින් බලන්නකෝ. 

  එදා මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. අම්මපා දැන්නම් අබිං කෑවා වගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බැහැ. ඒ වගේම බ්ලොග් නොකියවා ඉන්නත් බැහැ. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපේ චිත්තාවේග පිට නොකර ඉන්නට බැහැ. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.  

  අපේ උන්දැට පෙන්නන්න බැරි වැඩක් තමයි මම කොම්පියුටර් කොටන එක. මෙන්න උදාහරණයක්.

මම පණ කඩාගෙන මගේ සිතුවිලි පරිගණකයේ ලියමින් ඉන්නවා………..

අපේ උන්දැ මගේ ළඟට එනවා………… (මම හරිම අකමැතියි මම බ්ලොග් ලිපි ලියන වෙලාවට කවුරුහරි මට බාධා කරනවානම්. මොකද අර සිතුවිලි සහ හිතෙන් හදාගත් සැළැස්ම අවුල් වෙනවා)

අපේ උන්දැ:- “මොනවද දවල්ට උයන්නේ”…………

මම:- “මොනවද තියෙන්නේ”……….. 

අපේ උන්දැ:- “ඕනේ දෙයක් තියනවා”………

මම:- “එහෙනම් ඔය හැම්, බේකන්, චිකන්, බීෆ්, මට්න්, ඔක්කොම හදන්ඩකෝ”……

අපේ උන්දැ:- “අනේ මේ, විකාර කරන්නේ නැතුව කියනවද මොනවද උයන්නේ කියලා. ඔය මගුල බදාගත්තම ඔයාට මෙලෝ සිහිය නෑ.” …………

මම:- “හරි ඔයා ගිහින් බත් එක උයන්ඩ පටන්ගන්ඩකො මම ටක් ගාලා එනවා”……..(නමුත් එය කවදාවත් වෙන්නේ නැත. මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ, ටිකක් වෙලා ලියා නවත්වා වෙලාව බැලූවිටය. සමහර දිනවර රාත්‍රී එක පසුවී ඇති බව දැක්කාම, වහාම මේ මගුල නිවා දමා, හමුදා පුහුණුවට පින්සිද්ද වෙන්න, ගෙදර කිසිදු ලයිට් එකක් නොදමා, හොර පූසා වගේ, සද්ද නැතුව ගිහින් ඉතා සෙමෙන් ඇඳේ වැතිරෙමි. ඊට පෙර, හඬ නොනැගෙන ලෙස රාත්‍රී විදුලි බුබුල නිවමි. මොන පිස්සුද, අපේ උන්දෑ තප්පරයෙන් ඇහැරී, ‘බලන්ඩ වෙලාව කීයද කියලා. හැබෑටම ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඔයවැඩේට ඇබ්බැහි වෙලා කියලා ඈ’ කියා අසනවිට, මම දෙතොල් තදකර ගනිමි. සතියකට දින දෙකක් හෝ තුනක් විතරයි මම කුස්සියේ වැඩට සහාය වෙන්නේ……..කවදා කාපු ටකරං ද?……. ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ කිව්වලුනේ ….හමුදාවේ අතට පයට සියල්ල තියාගෙන ඉඳලා, පැන්සොන් ගත්තම තමයි රඟේ තේරෙන්නේ)

  සමහර දවස්වල කන්න ගියාම මම ටිකක් අකමැති දේත් තිබේ. “මේ මොනවද” කියා ඇසුවොත්, “ඇයි මම අහනකොට ඔයාමනේ හා කිව්වේ” යන පිළිතුර ලැබෙයි. මම ගොළුවෙමි. බ්ලොග් කෙළිය නිසා, ඇය, “මොනවද උයන්නේ” කියන ප්‍රශ්නය ඇහුවම, බේරෙන්නට මොකක් හෝ කියා ඇතිබව පසක්වන්නේ, කෑම කන විටදී ය. මම රෑට බත් කන්නට අකමැතිය. ඒ හමුදාවේ පුරුද්දය. ඒ වගේම, නූඩ්ල්ස් වගේ දේවල් කන්න මට ‘ආයුධ සැට් එක’ ඕනෑය. එව්වා මේසෙට තියලා නොතිබ්බොත් මම කරන්නේ බුකවාගෙන ඉඳීමය. එවිට ටක් ගාලා එව්වා ලැබේ.

හැබැයි අපේ ඇත්තී අතින් හැදෙන දිව්‍ය භෝජන ගැන ආයේ කියන්ඩ දෙයක් නැතිය. මට තිබෙන්නේ බැට් කිරීම පමණි. රසට උයන්න පිහන්න පුළුවන් බිරිඳක් ලැබීමත්, මිනිහෙකුගේ පූර්ව කුසළ කර්ම පලදීමක් කියලයි මට හිතෙන්නේ. 

hippo2BM_468x312

නමුත් ඇගේ මූණ ටිකක් හරි මදිය. මම කුස්සියට ආවේ නැති නිසාය. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්නා පමණි.

Wife quarrels with her husband in the kitchen

(නාකි ලව් එක නැගලා යන්නේ ඔන්න ඔහොම වෙලාවටය)

portrait-senior-old-couple-lost-love-8816400

  ලොකු දුව ගෙදර එන්නේ සති අන්තයට පමණි. චූටි දුව මාස කීපයකට වරකි. දැන්නම් “වෙද ඉස්කෝලේ” අන්තිම විභාගයත් ඉවර වෙන්න ආසන්නයි. බලමුකෝ ඊට පස්සෙවත් මේ ළමයා ටික දවසකටවත් ගෙදර එයිද කියලා.

  අපේ ගෙදර ඉන්න පූසා සහ බල්ලා (බැල්ලී) පුදුම වාසනාවන්තයෝය. අපි දෙන්නාගේ තනියට ඉන්න උන් දෙන්නා, දැන් පවුලේ සාමාජිකයන් වගේය. උන්ට වෙනම කෑම උයන්න අවශ්‍යයි. “සැබී” අපේ සුරතල් බැල්ලී, කන දේවල් අපේ පූසා “මිෂිකා” කන්නේ නැත. ඉතින් පොළට ගියාම, මාළු කඩේට ගියාම, උන්ට වෙන වෙනම දේවල් ගන්න ඕනෑය. මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය. ඒ වගේ වෙලාවට මම කොම්පියුටරය නිවා නොදමාම කුස්සියට ගොස් ටිකවෙලාවක් හිඳිමි. 

DSC00483aaaDSC00667a

ඇත්තටම උන් දෙන්නාත් කතා නොකරනවා විතරය. උන්ගේ හැඟීම් දැන් අපට හොඳින් දැනේ. මේ කියන්නේ මොකක්ද කියා අපට පහසුවෙන් වැටහේ. සැබීට හොරෙන් අපේ ගෙදර ගේට්ටුවට අත තියන්නටවත් කාටවත් බැරිය. සමහර වෙලාවට ඌ බුරනවිට අපට පුදුම හිතෙන්නේ ඒ මොහොතේම කවුරුන් හෝ අපේ ගේට්ටුව අසල සිට අපට කතාකරනු ඇසීමෙනි.  මිෂිකා ගෙවල් ගානේ රස්තියාදුවේ ගියත්, සැබී කවදාවත් ගෙදරින් එළියට යන්නේ නැත. අපේ දුවලා දෙන්නා ගෙදර ආවාම, උන්ට ඊට වඩා දෙයක් නැත. උන්ට රජ සැළකිලි ලැබෙන්නේ එවිටය. මුන් දෙන්නා දවසපුරා දකින්නට නැත්නම්, අපි දෙන්නාටම පාළුව තවත් තදින් දැනෙනු ඇත. ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම පවුලේ හැම දෙනාම එකට බදාගෙන ජීවත්වෙන්න ලැබෙන්නේ නැත. ජීවිතය කියන්නේ එක්වීම් සහ වෙන්වීම් ගොඩක් නේද? එය අවබෝධ කරනොගත්තොත් පිස්සු හැදෙනවා.

  මම බ්ලොග් ලියන්නට පටන්ගත්තේ, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට බව, මේ අඩවිය කියවන ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා. මුල් කාලයේදී මගේ බ්ලොග් කෙළියට ගුරුහරුකම් දුන්නේ හීනලන්තයේ හරී. සෑහෙන කලක් තිස්සේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට හුරුවී සිටි නිසා, මට එය පහසුයි. බ්ලොගර් මෙන් නොව එහි සියළු දේ තිබෙන්නේද සිංහලෙන්. මේ බලන්න. 

Screenshot_2013-12-9 20.40.34

  වම් පැත්තේ කළුපාට තීරුවේ තිබෙන සුදු අකුරු සහ දකුණු පැත්තේ සුදුපාට තීරුවේ තිබෙන කළු අකුරුද කියවා බලන්න. සියළු සැකසුම් සඳහා උපදෙස් 99%ක් තිබෙන්නේ සිංහලෙන්. එමෙන්ම වර්ඩ්ප්‍රෙස් වලදී ලැබෙන කමෙන්ට්ස්, සංස්කරණය කරන්න පුළුවන්. සමහරවිට අනවශ්‍ය දේ ලියලා තිබුනොත්, ඒ කොටස් ඉවත්කර, කමෙන්ට් එක පළකරන්නට හෝ අකුරු/වචන වැරදියට ටයිප් කර තිබුනොත්, ඒවා පවා නිවැරදිව යළි ටයිප් කර පළකරන්න පුළුවන්. කමෙන්ට්ස් වලට එතනදීම පිළිතුරු ලියන්නට හැකිවීමත් පහසුවක්.  පහත දැක්වෙන්නේ ප්‍රතිචාර පිටුවකින් කොටසක්.

Screenshot_2013-12-9 21.36.13

  ඒ වගේම, බ්ලොගර් පාලකයන්, විසින් කාලීනව පොඩි පොඩි සම්මාන දෙනවා. මේ පහත දක්වන්නේ ලිපි 25, 50, 100, ආදියටත්, පළමුවැනි වර්ෂ පූර්ණයටත්, කියවන්නන් විසින් තරු ලකුණු ලබාදීම පිළිබඳවත්, මගේ අඩවියේ තත්ත්ව තොරතුරු (statistics) පිටුවේ, මාවෙත පිරිනමා ඇති සම්මානයි. තවත් තොරතුරු මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. Untitled 1

  සාමාන්‍යයෙන් මා ලියන ලිපියක් එක දිනකදී 200 ක පමණ පිරිසක් කියවනවා. ඊට වඩා අතිශයින් වැඩි පාඨක පිරිසක් කියවන සිංහල බ්ලොග් අඩවි ඇති බව, මා දන්නවා. නමුත් මට ලැබෙන පාඨක ප්‍රතිචාර ප්‍රමාණය ගැන, මා අතිශයින් තෘප්තිමත් වෙනවා. මා විශ්වාස කරන්නේ, මා ලියන දේවල යම් හරයක් ඇති නිසා, ඒ ප්‍රේක්ෂක අවධානය මේ අඩවිය වෙත යොමුවන බවයි. යුද හමුදාව සහ විවිධ අවි ආයුධ සම්බන්ධ තොරතුරු, මෙතරම් ආකර්ෂණයක් ඇතිකරනු ඇතැයි මා මුලදී සිතුවේ නැහැ. නමුත් මා බලවත් විමතියට පත් කරමින්, සෑහෙන පාඨක පිරිසක් මේ අඩවියට පැමිණෙනවා. මෙතෙක් මා ලියන ලද ලිපි වලින්, අදටත් නොකඩවා වැඩිම පිරිසක් කියවන ලිපිය ලෙස, දත්ත වාර්තාවේ සටහන් වන්නේ,රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස” යනුවෙන්, මා ලියන ලද ලිපියටයි.

Screenshot (3)

  හුදු ජනප්‍රියත්වය ලබාගැනීම උදෙසා, හරසුන්, අසභ්‍ය, අශ්ලීල, දේ ලිවීම, මට තරම් නොවන බව, මා බ්ලොග් ලිවීම අරඹා, ඉතා කෙටි කලකින් වටහාගත්තා. බොහෝ දෙනෙකුට සිතන්නටවත් අපහසු, එවැනි කරුණු කන්දරාවක් මතකයේ ඇතත්, ඒ සියල්ල සදාකාලයටම සඟවන්නට මා තීරණය කළා. ඒවා ලිව්වානම්, අද මගේ අඩවිය දිනකට 200ක් නොව 2000ක් බලනු ඇති. එහෙත් ඒ මට්ටමට වැටෙන්නට මට ඇවැසි නැත. සමහර අඩවිවල, මා දන්නා එවැනි කතාවල, කටින් කට ගොස් ශේෂවූ කොටස්, තමන්ගේ නිර්මාණයක් මෙන් ලියා තිබෙනු දකින මට, අනුකම්පාවක් සමග සිනහ පහළවන්නේ, එහි මුල් කතාව ඒ රචකයා දන්නේනම්, කෙළෙස ලියයිද කියා සිතීමෙනි.  අසභ්‍ය දෑ නොලියා සිටීමේ තීරණය ගන්නට තවත් හේතුවක් වුනේ, මගේ මිත්‍රයකු සමග මේ ගැන සාකච්ඡා කරද්දීය. ‘හොඳයි, කවදාහරි කොහොම හරි, ඔයාගේ දරුවෙක් දැනගත්තොත්, මේවා ලියන්නේ ඔයා කියලා, එදාට ඔයා මොකද කරන්නේ?’ යනුවෙන් ඒ මගේ මිතුරා විමසන ලද පැනය, මට මහත් මගපෙන්වීමක් වුනා. ලියන අය ලියන්න. ඒ ගැන විරුද්ධවීමට හෝ නැවැත්වීමට, බලයක් හෝ අයිතියක්, මට කිසිසේත් නැත්තේමය.  

  ඉතින් මේ විදිහට ලියමින් යන මම, මේ ඊයේ පෙරේදා ලිපි 200ක් ලියා සම්පූර්ණ කළා. වෛද්‍ය ජයතුංග ගේ කාව්‍ය නිර්මාණ ගැන ලියන ලද ලිපියත් සමගයි ලිපි 200 සම්පූර්ණ වුණේ. ඒ සමගම මතක්වුණා, හෙට අනිද්දා ද්විවර්ෂ පූර්ණය එළඹෙනවා නොවේදැයි කියා. ඒ නිසා ඒ නිමිති දෙකම එක්කර මේ ලිපිය ලියන්නට හිතුවා. ‘අවුරුදු දෙකයි පියවර දෙසීයයි’ කිව්වේ ඒ නිසයි. එතකොට ලක්ෂ එකහමාර? ඒ තමයි කාරුණික, ආදරණීය, ඔබ සැමදෙනා. අද මේ මොහොත වනවිට මේ අඩවිය වෙත පැමිණි පාඨක සංඛ්‍යාව 166,250 ක්. ඒ ධනය මා ලැබුවේ, ඔබේ ආදරයෙන්, හා සහයෝගයෙන් බව, ඔබ සැමවෙත, කෘතවේදීව, ශීර්ෂ ප්‍රණාමය පුදකරමින් ප්‍රකාශකර සිටිනවා.

  පාටියක් දාන්න වටිනවා නේද? දැන් මොන පාටිද අනේ මේ නාකි මට. ඔන්න පරණ පාටියක පින්තූරයක්. මේක බලලා හිතෙන් ඒ පාටියට ආපහු ගියාම ඇති. 

img058

  හැමදාම හංගගෙන ඉන්න මගේ මූණ පෙන්නන්නත් හිතුවා. ආය මොකටද හැමදාම හැංගෙන්නේ. ඔන්න එහෙනම් බලාගන්නකෝ ඔය පාටිය තිබුන කාලෙම ගත්ත පින්තූරයක් තමා මේකත්.

img060

  පසුගිය දිනවල මට අපහසුතා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. පළමුවැන්න මම එතරම් ගණන්ගන්නේ නැහැ. ඒ තමයි, විවිධ රටවලින් මේ අඩවිය වෙත පැමිණෙන අමුත්තන්ගේ, රටවලට අයත් ධජය පෙන්වන දර්ශකය, හදිසියේ ක්‍රියාවිරහිත වීම. එහි ඒ වනවිට රටවල් 95 ක ධජ සටහන්ව තිබුණා. එය නැවත ක්‍රියාත්මක කලමුත්, කලින් සටහන් වූ සියල්ල මැකීගොස් තිබුණා. මේ වනවිට නැවතත් රටවල් කීපයකින් අමුත්තන් පැමිණ තිබෙනබව එහි සටහන් වෙනවා.

  දෙවැන්න නම් බරපතළයි. මට වළක්වාගත නොහැකි තාක්ෂණික දෝෂයක් නිසා, මේ අඩවියේ ලිපිවලට ලැබෙන පාඨක ප්‍රතිචාර ලිවීමට ඇති කවුළුව, වැසීගියා. සති තුනක් පමණ පැවති මේ තත්වය, මා තුළ බලවත් සිත්වේදනාවක් ජනිත කළා. ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්නේ ඕනේ’ කියලා කියමනක් තියනවනේ.  ඒ නිසා මම http://www.wordpress.com අඩවියේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවා. අවසානයේ අද තමයි විසඳුම ලැබුණේ. අනාගතයේදී මේ අර්බුදයට යම්කිසි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් රචකයකු මුහුණ දුන්නොත්, මෙන්න විසඳුම. මේ සඳහා මග පෙන්වීමක් කර තිබුණු පොඩ්ඩිටත් ස්තුතිවන්ත වෙනවා. 

  1. Go to the Posts -> All Posts screen in your blog dashboard.
  2. Select the posts you would like to modify or check the box next to “Title” column at the top to select all posts on that page.
  3. Select Edit from the Bulk Actions drop down menu.
  4. Click the Apply button.
  5. Change the options for Comments and Pings to Allow or Do not allow.
  6. Click the Update button.
  7. Repeat with your Pages.

   සෑහෙන කලක සිට මට පාඨකයන් වෙතින් දැනුම්දීම් ලැබුණා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීම ඉතා අපහසු බවත්, සමහරවිට අඩවියට ඇතුළුවීම පවා අපහසු බවත්. බොහෝ දෙනා කිව්වේ, බ්ලොගර් අඩවියක් පටන්ගන්නා ලෙසයි. මේ ගැන සිතමින් දෙගිඩියාවෙන් සිටින කාලයේදී තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් දෙකෙන්ම වැඩ කරන හෙන්රිගේ ඩෙනිම ගැන මගේ අවධානය යොමුවුණේ. කලක් තිස්සේ එය අධ්‍යයනය කිරීමෙන් පසු, ‘බ්ලොගර් ගඟට’ පනිම්දෝ නොපනිම්දෝ කියා සිතමින් සිටිනවිට, මාව ඒ ගඟට තල්ලු කළේ, අටම්පහුරේ අටමාය. ලක්මාල්, පසුගිය මාස දෙකතුන තුළ, බ්ලොගර් කෙළිය ගැන මට දුන් අවවාද සහ උපදෙස් නොවන්නට, මට බ්ලොගර් අඩවියක් පටන්ගන්නට ලැබෙන්නේ නැත. ඇත්තටම මගේ බ්ලොගර් අඩවියේ ඔය තියන වැඩකෑලි ගොඩක් කියලා දුන්නේ ලක්මාල්ය.  

  සමහර දිනවල දුරකතනයෙන් සම්බන්ධවී, පැයගණන් මා ලවා මගේ බ්ලොගර් අඩවියේ වෙනස්කම් කරවමින්, එය ගොඩදාගන්නට අවශ්‍ය සියළු ගුරුහරුකම්, කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව ලබාදුන්, ලක්මාල් කන්දෙවිදානේ ට, මගේ විශේෂ ගෞරවය පුදකරන්නට මෙය අවස්ථාව කරගන්නට කැමතියි.

  මේ වැකිය වර්ඩ්ප්‍රෙස් අඩවිය බලන අයට පමණයි. මා, මෙයට සමගාමී බ්ලොගර් අඩවියක් ආරම්භ කළබව, ඔබෙන් සමහරකු තවමත් දන්නේ නැති නිසා, එහි ලිපිනය මේ සමග දක්වනවා. http://wicharaka.blogspot.com

  පාඨක සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා, මූණු පොතට මෙන්ම Google +, Twitter, Linkedin, වෙත, සම්බන්ධවන ලෙස, සමහර පාඨකයන් ඉල්ලාසිටි නිසා, දැන් ඒ සියල්ල වෙත සම්බන්ධවී සිටිනවා. ඉදිරි කාලයේදී විවිධ මාතෘකා රැසක් ඔබවෙත ගෙන එන්නට, මා සැළසුම්කර තිබෙනවා. හමුදාව සම්බන්ධ වැදගත් ලිපි ඒ කෙටුම්පත් අතර තිබෙනවා. 

  සාමාන්‍යයෙන් මා ලියන ලිපියකට, මාධ්‍ය රූප රාශියක් අවශ්‍ය වෙනවා. වීඩියෝ දර්ශන අවශ්‍ය වෙන අවස්ථාත් බොහොමයි. ඒ නිසා මා ලියන්නේ සෙමින්. ලිපියක මාධ්‍ය රූප සංස්කරණයත් තරමක වෙහෙසකර කාර්යයක්. කෙසේවෙතත්, ඔබේ දැණුමට යමක් එක්කරණ, තවත් දෑ බොහොමයක්, ඔබවෙත ගෙන ඒමේ අභිලාශය පෙරදැරි කරගනිමින්, මෙතෙක් විවිධාකාරයෙන් මට මගපෙන්වූ, සියලු ජ්‍යොෂ්ඨ බ්ලොග් කරුවන් වෙත ප්‍රණාමය පුදකරමින්, පාඨක ඔබ සැමදෙනා වෙත ද, මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරමින්, ලිපිය අවසන් කරනවා. 

my-signature-for-blog[1]

 2013 දෙසැම්බර් මස 14 දින 2149 පැය

Comments on: "අවුරුදු දෙකයි, පියවර දෙසීයයි, ලක්ෂ එකහමාරයි………! Oh! Dear….. Two years have gone eh…….!" (68)

  1. පත්තර මල්ලි said:

    මගෙන් සුභපැතුම් පිලිගන්න මහත්මයා !!

    ඔබේ පෝස්ටු වලින් උගත් කරුනු වලට සේම ඔබ ලබා දුන් පිලිතුරු වලටත් බෙහෙවින්ම ස්තූතියි..
    දිගටම ලියන්න ..
    කමෙන්ටුවක් දැම්මා හෝ නොදැම්මා අපි එනවා බලන්න !!

    • බොහොම ස්තුතියි පත්තර මල්ලි. ඔබේ වචන දහයක් මට කෝටි ගානක් වටිනවා. ඒත් මම දන්නවා නිතර අදහස් නොදැක්වුවත් ඔබවැනි තවත් බොහෝ දෙනා මේ අඩවිය බලන්න පැමිණෙන බව.

  2. Congrats for your secon year and 200 posts. I wish good health for you and hope you write more valuable post. This is one of my favorite site for information and learning.

  3. testing ලිපි කිහිපයක පසු ඔබේ පුරුදු ලිපියක් දකින්නට ලැබීම සතුටක්.දෙවර්ෂ පුරාණයට මෙන්ම පාඨකයන් 200,000 කට ආසන්න පිරිසක් සිටීම ගැනත් මගේ සුභ පැතුම් පිරිනමනවා.මේ ලිපියත් ආධුනිකයන්ට තම ගැටළු වලට පිළියම් පිණිස යමක් කියලා දෙනවා.හැබැයි ලිපියේ අඩුපාඩු 2ක්ම තියෙනවා.ඒක හදා ගත්තොත් නරකද?

    ඔබ ආධුනිකයන්ට ඔවුන්ගේ බ්ලොග්කරණය වෙනුවෙන් අතදෙන බව සඳහන් කරලා නැහැ.
    2.හැටත් වයසකද? මට 67යි.. මේ දවස්වල plan කරන්නේ සිරිපාදේ යන්න.

    සමරසේකර

    • බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. අදහස් දැක්වීම් නැවතුනාට පස්සේ පළමු වරට ආවේ ඔබේ මේ අදහස් දැක්වීම.

      අනේ ආධුනිකයන්ට අතදෙන්න මම පරිනත බ්ලොග් කාරයෙක් නෙවෙයිනේ. ඔබට මීට කලින් කිව්වෙත් අත්දැකීම් පමණයි. අම්මපා හැටත් වයසක්ද නංගි කියලා කියමනකුත් තියනවනේ. 😀

  4. ඉතාම වටිනා අදහස් ගොනුවකි

  5. Dear Sir,

    I don’t remember that how I got your blog link. But it is pleasure. I’m not in my country at the moment & here I can’t find good books to read. But by the grace of you I didn’t feel that further. Your posts are golden. Please try to write a book. Your sinhala knowledge also very good. Also you are very helpful person as I feel.

    All the best.

    May The Triple Gem Bless you.

    Manju from Doha –

  6. මගෙනුත් සුබ පැතුම්. හරවත් වටිනා ලිපි දිගටම ලියන්න. කමෙන්ට්වල තව දෝෂයක් තියෙනවා. කමෙන්ට් එකකට එතනම reply කරන්න දැන් බැහැ නේ.

  7. මටත් ගෙදර තියෙන්නේ විචාරකට තියෙන අත්දැකීම්ම තමයි. පොඩි වෙනසකට තියෙන්නේ හමුදා නීතී බිරින්දෑ විසින් මෙහෙවන එකයි. වයසට යන්න යන්න කාටත් ඔයටික තමයි කියලා හිතාගෙන මගේ සැහැල්ළු වුනා. හොදින් බලා ගන්න එකත් මහ කරදරයක්නේ. ඒ අතරට මුණුපුරෙක් පැන්නා මේ හින්දා ලියවිල්ල 2103 අවුරුද්දේ බින්දුවට බැස්සා.
    ඔබට දීර්ඝායු ! අසමි දකිමි සොයමි ටත් එතකොට දීඍ්ඝායු අත්වෙනවා නේ!

    • ඔබට හද පත්ලෙන්ම ස්තුතියි. ඇත්තටම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම අපි කලයුතුම දෙයක්.

      සුබ පැතුමට බොහොම ස්තුතියි. ඔබ දෙපළටත් දිගායු පතනවා.

  8. සිංහල බ්ලොග් අතරින් ඉතාම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක් තමයි ඔබේ අඩවිය.. විශේෂයෙන්ම වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්නකොට පොඩි හරි ඉසිඹුවක් ලබන්නේ මෙවැනි දේවලින් තමයි.. ලියන්න වටිනා අත්දැකීම් සම්භාරයක් තිබීම,. බස නිසියට හසුරුවන සමත්කම සහ (පොඩ්ඩක් වගේ) කටවාචාලකමත් ඊට හොඳින්ම බලපාන්න ඇති..

    දෙසීයට තුන්සීයක් ආයුබෝවේවා! හැබැයි ආ මග කෙටියි.. යා යුතු මග දුරයි.. 😉

    • ඔබට අපමණ පින් මේ දිරිගැන්වීම සහ ඇගයීම පිළිබඳව. විවේචනාත්මක ඇගයීම් තමයි මා වැඩියෙන්ම අගය කරන්නේ. නැවතත් හද පත්ලෙන්ම ස්තුතියි.

  9. අවුරුදු දෙකක් :O
    මගේ හදපිරි සුබපැතුම් විචාරක අංකල්…….
    ඒ වගේම මේ බලොග් එකෙන් මම හුගක් දේවල් ආසා කරන දේවල් ඉගෙනගත්තා ඒ ගැන හුඟාක් ස්තූතිවන්ත වෙනවා.
    තවත් දීර්ඝ කාලයක් ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • බොහොම ස්තුතියි සහන්. ඔයා පහුගිය අවුරුදු දෙකේම නොකඩවා පැමිණ දැක්වූ අදහස් වගේම මේ සුබපැතුමත් ඉහලින්ම අගය කරනවා. ඔබේ ධෛර්යය ලබාදීමෙන් තමයි මම ඉදිරියට ගමන් කරන්නේ.

  10. “එදා මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. අම්මපා දැන්නම් අබිං කෑවා වගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බැහැ. ” මට මේකෙ අනිත් පැත්ත. ලියන්න හිතෙන්නේම නෑනෙ දැන්. බාගෙටලියපු ලිපි ගොඩක් තියෙනවා. ඉවර කරන්න හිතෙන්නෙ නෑ. 😦

    “මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය.” මටත් පවු හිතුනා

    “පසුගිය දිනවල මට අපහසුතා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. පළමුවැන්න මම එතරම් ගණන්ගන්නේ නැහැ. ඒ තමයි, විවිධ රටවලින් මේ අඩවිය වෙත පැමිණෙන අමුත්තන්ගේ, රටවලට අයත් ධජය පෙන්වන දර්ශකය, හදිසියේ ක්‍රියාවිරහිත වීම. එහි ඒ වනවිට රටවල් 95 ක ධජ සටහන්ව තිබුණා.” ඒක එහෙම තමයි. මම නම් ඔය ගැජට් බැජට් ගලවා දැම්මා..

    මම දිගටම වර්ඩ්ප්‍රෙස් අඩවියට එන්නම්. මෙතන කමෙන්ට් දමන්නට අපහසු වෙන්නේ කොහොමදැයි මම දන්නෙ නෑ. අනික දැන් රිප්ලයි කමෙන්ට් පැත්තෙන් පෙන්වන්නේ නෑ නේද? මම නම් කලින් තිබුන විදිහට කැමතියි.

    අවුරුදු දෙකට සුභපැතුම්! ගෙදර ගැනත් බලන්න හොඳේ 😉

    • මම හිතන්නේ හරී ඔයාට තියන රැකියාවේ කාර්ය බහුලත්වය නිසා තමයි බ්ලොග් ලියන්න අමාරු. ඒ වුනාට නත්තලටවත් මොනවාහරි ලියන්න.

      මමත් දැන් හිතාගෙන ඉන්නේ මීට වඩා ගෙදරට අවධානය යොමුකරන්න.

      තවමත් කමෙන්ට් ප්‍රශ්නය හරියට විසඳිලා නැහැ. දැන් මේ ගහලා තියෙන්නේ පැලැස්තරයක් පමණයි. නියම විසඳුම හොයන්න ඕනේ. අනුමත කල කමෙන්න්ට්ස් සහ ඒවාට මම දෙන පිළිතුරු වැටෙන්නේ වෙන වෙනම.

      ස්තුතියි අදහස් දැක්වීමට, උපදෙස් දීමට සහ සුබ පැතුමට.

  11. යලට මහට වගේ කමෙන්ට් දැම්මත් මම දැන් වසර එකහමාරක් විතර තිස්සේ විචාරකතුමාගේ බ්ලොග් ලිපි කියවනවා. කැම්පස් ඉවරවුණායින් පස්සේ ඉතින් ජොබ් එකක් සෙට් වෙච්චි නිසා දැන් සමහර වෙලාවට ලිපි දෙකතුනක් එකට එකතුවුනහම තමා කියවන්නේ. මම කියවපු ලිපි අතුරින් සපත්තු සම්බන්ධයෙන් පළවුණු ලිපි පෙළ සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණය ගැන ලියවුනු ලිපි පෙළ මගේ ගොඩක්ම සිත් ගිය ලිපි මාලා දෙකක්.

    ඉතින් මේ විදියට අවුරුදු දෙකක කාලයක් තුල ඔබතුමා මේ කරගෙන එන සද්කාරයට මම සුබපතනවා. ඒ වගේම තවත් දිගු කාලයක් මේ විදියට සමාජයට තොරතුරු සහ දැනුම බෙදන්න අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    • විශ්ව විද්‍යාලෙන් පිටවුනු විද්‍යාර්ථියකුට රැකියාවක් ලැබුනා කියලා අහන්න ලබෙමත් කොපමණ සතුටක්ද? හරිම සතුටුයි ඔබ මගේ ලිපි රස විඳින බව අහන්න ලැබීමත්. ඒ වගේම ඔබට බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම සහ ඇගයීම පිළිබඳව.

  12. අවුරුදු දෙකටයි, පියවර දෙසීයටයි සුබ පැතුම්!!!
    මම කැමති මෙතනට. හොඳ හිනා මූනක් දාලා යන්ට පුලුවනිනේ. 😀

    අනේ අරයට තනියම කුස්සියේ කතා කර කර උයන්ට දෙන්ට එපා. උයන වෙලාවට එයාට ලවෙලා ඉඳලා, කෑවට බීවට පස්සේ කොටන්ටකෝ.

    ඔයාගේ ෆොටෝ එක මාර ලස්සණයි. හී හී…දැක්ක හැටියේ හිත වැටෙනවා.

    මටත් ඉන්නවා ඔය වගේ මගේ ලඟින් හෙල්ලෙන්නේ නැති යාලුවෙක්. එයා මට ගොඩාආආආආආආක් ආදරෙයි.

    ඔයා මේ ලියන විදිය ඇත්තටම හිත තුල ඇති කරන්නේ ලොකු භක්තියක්. ඒක කවදාවත් වෙනස් කරන්ට එපා විචාරක.

    • බොහොම ස්තුතියි පොඩ්ඩි. ඔයා කල උදව්වත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා යලිත් කමෙන්ට්ස් ඇක්ටිව් කරගන්න ලැබුනා.

      ඔව් ඔව් මමත් හිතාගත්තා අරයව ආපහු ටිකක් ලඟින් ආශ්‍රය කරන්න 😀

      ඔන්න දැක්කා නේද අපි කොච්චර ෆොටෝජෙනික් ද කියලා. පාටියේ ෆොටෝ එක ගැන නේද කිව්වේ 😀 මොනවා කරන්නද සමහරුන්ට මාව අඳුනගන්න බැරිවෙලා.

      අර ඔයාට ආ………………දරෙන් ලඟින් ඉන්න එක්කෙනාට කියන්න අර මගේ කලින් ලිපියේ තිබුන ‘ට’ යන්නෙන් නමක් දාන්න කෙනෙක් හොයලා දෙන්න කියලා ඉක්මනින්ම 😀

      බොහොම ස්තුතියි ඔයාගේ කරුණාබර වචන ටිකට.

  13. වසර දෙකක් පුරා ලිපි 200 ක් ලිවීමට වෙන්කල කාලයටත් ශ්‍රමයටත් ස්තූතියි…..තවතවත් සාර්ථක ලේඛක අනාගතයකට සුභපැතුම්

  14. හරිම සතුටුයි විචාරක තුමා, ඔබවන් අය තව තවත් බ්ලොග් ලියන්නට අවැසි කාලයකි මේ. ඔබට හදවතින්ම සුබ පතනවා මමත් මේ මොහොතේදී

  15. හදවතින්ම සුභ පැතුම්,,,
    ඔබට ගැලපෙන්නේ හමුදා ලිපිම තමයි.
    දාපු මුල් ලිපිය කියවපු දවසෙම හිතුන බ්ලොග් පොරවල් ලියන වල ලිපිවලට වැඩිය ගොඩක් නොපෙනෙන පැතිකඩක් ඔබතුමාට ලියන්න පුළුවන් බව.
    මම කැමැත්තෙන් හිටියේ ඔබ “ඇනොනිමස් ” විදියට ඉදන් ඇත්ත ටිකක් එළියට දානවා බලන්න. එක අතකට දැන් ක්‍රමයත් හොදයි.
    තව කාරණයක් තියනවා, ඔබත් දැන් සිංහල බොලොග් අවකාශයේ පොරක් 🙂

    • අනේ අම්මේ මම කිසිසේත් පොරක් නොවෙමි. ඊයේ පෙරේදා තමයි මම බ්ලොගර් අඩවියක් පටන්ගත්තේ ‘අටම්පහුර’ ගේ උපදෙස් යටතේ. ඇත්තටම හමුදා ලිපි තමා පාඨකයන් මගෙන් ඉල්ලන්නේ. ඒ නිසා ඉදිරියේදීත් එවැනි දේ ලියන්නම්. ඔබේ සුබ පැතුම මට දෙන්නේ මහා ධෛර්යයක් ශක්තියක්. බොහොම ස්තුතියි ඔබට.

  16. ඔබේ ප්‍රගතිය ගැන හරිම සතුටුයි විචාරක තුමා,තව දුරටත් වැදගත් ලිපි ලියන්නට ශක්තිය ලැබේවා යයි පතමි.

  17. වසර දෙකේ කඩඉම / පියවර දෙසීය / ලක්ෂ එකහමාර…මේ සියලුම ඉලක්කයන් ජය ගත්තාට මගේ උණුසුම් සුභ පැතුම්….මමත් හිට්ස් බලාගෙන ලියන කෙනෙක් නෙමෙයි….ඒ ගැන හිතා එක තත්පරයක් හෝ දුක් වෙන්නට අවශ්‍යත් නැ…කියවන කෙනෙකුට කුමක් හෝ වැදගම්මක් ඇති දෙයක් තමයි අපි වැඩිපුර ලියන්න උත්සාහ ගත යුත්තෙ….

    • හරියටම හරි සිරා. ප්‍රතිචාර හෝ හිට් කවුන්ටරය දිහා බලාගෙන ලිව්වානම් මම මොනතරම් විකාර ලියයිද කියලා හිතුන වාර අනන්තයි. ඇත්තටම මම බොහොම නිහතමානීව සතුටු වෙනවා මම පාඨකයන්ට යමක් දායාද කළා නොවේද යන සිතුවිල්ල මත. බොහොම ස්තුතියි ඔබේ කාරුණික සුබ පැතුමට.

  18. මතකද පළමු “ලිපියෙ” මුල්ම කමෙන්ටුව කාගෙන්ද කියල. වර්ඩ්ප්‍රෙස් නිසා කමෙන්ට් නොකරනව තමයි. ඒත් හැම ලිපියම කිය්වන මුල ඉඳන් එන පාඨකයෙක් හැටියට හරිම සතුටුයි.

    තව දිගු කලක් මේ අළුත් මනාලිත් එක්ක ගෙවන්න සුභ පැතුම්!

    • ඉන්දික මා ඔබව අගය කරන්නේ ඉඳහිට හෝ දමන කමෙන්ට් එකෙන් කියන්න තිබෙන දේ කෙලින්ම කියන නිසයි. ඔබේ පළමුවැනි කමෙන්ට් එක මා මෙතරම් දුර ගෙන එන්න ඇති. බොහොම ස්තුතියි සුබ පැතුමට.

  19. මගේ සුභ පැතුම්

  20. එන්න පරක්කු වෙලා හොඳටම , සමාවෙන්න් විචාරක මහත්තයා. මෙන්න මගේ සැලියුට් එක ජයවේවා, දීර්ඝායුෂ ලැබේවා බ්ලොග් එකට සහ ඔබට

  21. වටිනා අදහස් ගොන්නක්….
    තව තවත් ලියන්නට ශක්තිය ලැබේවා!!! ජයම වේවා !!!

  22. එක සැරයක් වයසක මහාචාර්ය කෙනෙක් හමුවකදි කිව්වා “life begins at 65” කියලා. ඒ විදිහට බලන කොට ජීවිතේ පටන් අරන් තාම අවුරුදු දෙකයිනෙ. අවුරුදු 2ට මේ ඇති.

    අර වීදුරුවක් නේ ඔලුව උඩ තියන් ඉන්නේ?

    • ඇත්තටම ඒ කියමන හරි. මේ කාලේදී ආයෙමත් සමහර දේවල් මුල ඉඳලා පටන්ගන්න වෙනවා අනුන්ගේ යහපත තකා.

      ඔය තියාගෙන ඉන්නේ එක වීදුරුවයිනේ. ඔය අත්දෙක වැලමිටෙන් නවාගෙන තවත් වීදුරු දෙකක් ඒ විදිහට අත්දෙකේ තියාගෙන නටනවා තව ටිකක් වෙලා ගියාම. කවදාවත් වීදුරුවක් බිඳිලා නැහැ.

  23. මේ ප්‍රශ්නය නම් අහන්න හොදත් නෑ කියලා හිතෙනවා ඒත් ඒ පින්තූරයේ ඉන්න අය තාම ඉන්නවද?

  24. 200 ට සුභ පැතුම් විචාරක තුමා ….බ්ලොග් ලියන එක විතරක් නෙවෙ කියවන එකත් අබින් කැම වගෙ තමා ඉතින් …..

  25. බ්ලොගයකින් සමාජයට කලහැකි යහපත පිළිබඳව මනා උදාහරණයක් ඔබගේ අඩවිය.
    ඔබේ ලිපි වලින් මා ඉගෙනගත් දේ බොහෝයි.
    ඔබතුමාට තව තවත් හරවත් ලිපි ලිවීමට ශක්තිය,වේලාව ලැබේවා
    හැටත් වයසක්ද විචාරකතුමනි පප්පා රජවුනේ අවුරුදු 71දී 🙂

    • මගේ සිතෙහි යම් සතුටක් රැඳෙන්නේ කවුරුන් හෝ මේ ලිපි වලින් යමක් ඉගෙනගත්තා කියන හැඟීම ඇතිවීමෙන්. ඔබේ ඇගයීමට සහ සුබ පැතුමට බොහොම ස්තුතියි. එය මා දිරිමත් කරනවා තව දුරටත් ඉදිරියට යාමට.

      හුටා……! පප්පා එහෙනම් එහෙමයි ඈ. බලමුකෝ බලමුකෝ.

  26. විචාරක මහතාට දිග ගමනක් යන්න සුභ පතනවා. ඔබේ බ්ලොගර් අඩවිය ගැන දැනගත්තේ දැනුයි. ස්තූතියි…

  27. යුද හමුදාවේ මේජර් තනතුරේ සිටින 90% සහ ඉන් ඉහල කර්නල්, බ්‍රිගේඩියර් සහ ජෙනරාල් තනතුරු වල සිටින නිලධාරීන් 98% අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූවන් බව හෙලිවේ.

    යුද හමුදාවේ වෛද්‍ය, ඉන්ජිනේරු වැනි බළකායන් වල සේවය කරන වෘත්තික නිලධාරීන් හැරුනු විට අනෙකුත් සියලුම නිලධාරීන් ගේ අධ්‍යාපන මට්ටම අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීහු පවසති.

    Is this true?

    • සම්පූර්ණ අසත්‍යයකි. 1980 දශකයට පෙර බඳවාගත් නිලධාරීන් අතරින් සෑහෙන පිරිසක් අපොස සා.පෙළ සමත් අයයි. අද බ්‍රිගේඩියර් තනතුරේ සහ මේජර් ජෙනරල් තනතුරේ ඉන්න අයගෙන් එක්කෙනෙකු දෙන්නෙකු ඇති අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් අය. ඊට පහල නිලවල සිටින අනෙක් නිලධාරීන් ගෙන් හමුදා විද්‍යාපීඨ වලට බඳවාගත් සියලු දෙනා උසස්පෙළ සමතුන්. හමුදා විද්‍යාපීඨ සහ හමුදා විශ්වවිද්‍යාල පීඨ වලින් පිටවන්නේ උපාධිධාරී නිළධාරීන් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. යුද සමයේදී අපොස සා පෙළ සමත් සෙසු නිලයන් අධිකාරියට පත්කලා. නමුත් ඔවුන් සටන්කාරී භූමිකාවේ මිස පරිපාලන භූමිකාවේ යොදවනවා මා දැක නැහැ.

      පරිපාලන සේවයට හමුදා නිලධාරීන් යොදවනවානම් ඔවුන්ට පරිපාලන පුහුණුවක් දිය යුතුයි. රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්ති සහ මුදල් රෙගුලාසි ගැන ඔවුන්ට අනිවාර්යයෙන් පුහුණුවක් දියයුතුයි. එවැනි නිලධාරියකු සාම්ප්‍රදායික පරිපාලන නිලධාරියකුට වඩා කාර්යක්ෂමයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව නමැති යටත් විජිතය පාලනය කරන්න එව්වෙත් එවැනි පුහුණුවක් සහිත හමුදා නිලධාරීන්.

      මෙහි දක්වන්නේ මගේ පෞද්ගලික දැනුම මිස යුද හමුදාවේ නිල ප්‍රතිපත්තිය නොවන බව සලකන්න.

      • Thanks for the reply

        • මේ වාර්තාව මම මීට පෙර කියෙව්වා. මේ ගැන මගේ අදහස මෙයයි. අපේ තානාපති සේවය සහ ඉහල පරිපාලන සේවය ගැන බොහෝවිට අසන්නට ලැබෙන්නේ සතුටුදායක ආරංචි නොවෙයි. සමහර නිලධාරීන් රජයේ නියෝග පවා නොසලකා හරින බවට වාර්තා වරින්වර පලවෙනවා. මේ සඳහා කලයුත්තේ කුමක්ද? පරිපාලන නිලධාරීන් විවිධ නීතිමය බැඳුම් වලින් පාලනය කිරීම එක ක්‍රමයක්. නමුත් එය සාර්ථක එකම ක්‍රමය නොවෙයි. ඔවුන් තුළ මානුෂික ගුණධර්ම මෙන්ම රටට ඇති ආදරයද ගැබ්ව තිබිය යුතුයි. සෑම හමුදා නිලධාරියකු තුළත් එවැනි ගතිගුණ නැහැ. නමුත් හමුදා නිලධාරීන් පහත දැක්වෙන කරුණු වලදී සාමාන්‍ය රාජ්‍ය සේවකයන් අබිභවා යනවා. 1. නියෝග පිළිපැදීම. 2. අකටයුතුකම් ඉතා අවම වීම. 3. තම කාර්ය මණ්ඩලය මිත්‍රශීලී එහෙත් ස්ථාවර ආකාරයකින් පාලනය කිරීම friendly and firm. 4. ඕනෑම අවස්ථාවක ස්ථාන මාරු කළහැකිවීම. (හමුදා පුහුණුව නිසා ඔවුන් තමන්ගේ වෘත්තීයමය අගය කියමින් මැසිවිලි නගන්නේ නැහැ. හමුදාවේදී නිතර මාරුවීයාම ඔවුන්ට හොඳට හුරුයි) 5. තම රට වෙනුවෙන් අරමුණු ඉටුකරගැනීමෙදී හමුදා ක්‍රමවේදයන් strategies යොදවා එසේ කිරීමට උත්සාහ කිරීම. 6. ජාත්‍යන්තර රහස් තොරතුරු සොයාගැනීම සහ ඒවා විග්‍රහකර අදාලවන අයට පමණක් වාර්තා කිරීමේ හැකියාවක් තිබීම. collection, process, and reporting intelligence on need to know basis මෙයින් මා අදහස් කරන්නේ මේ සඳහා එකම සුදුස්සන් හමුදා නිලධාරීන් පමණකි යන අදහස නොවෙයි. අද ලෝකයේ තිබෙන ජාත්‍යන්තර ප්‍රවණතා ගැන සලකා බැලිය යුතුයි. අපේ රටේ තිබෙන තානාපති කාර්යාලවල සාමාන්‍ය නිලධාරීන් ලෙස සේවය කරන අයගෙන් සෑහෙන පිරිසක් ඔත්තු බැලීම ගැන විශේෂ පුහුණුව ලැබූ හමුදා නිළධාරීන්. අපේ රටේ උසස් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට, ජාත්‍යන්තර සංග්‍රාමික කටයුතු පිලිබඳ පුහුණුවක් සහ ඔත්තු බැලීම ගැන පුහුණුවක් දිය හැකිනම් හොඳයි. හැබැයි ඔවුන් ඒ ගැන ගමේ පොලේදී කයිය නොගහන අය වියයුතුයි.

  28. වෙල් ඩන් මේට්, ජය ශ්‍රී වේවා!

  29. සුභ පැතුම් විචාරක… ලිපි දෙසීයකින් මම ලැබූ දැනුම බොහොමයි… ඒ සේරටම ස්තූතියි…

  30. සුභ පැතුම් සර්…..!!!
    එදා පාසල් ශිෂ්‍යයකු, ශිෂ්‍යභටයකු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු විදිහට බොහෝ උනන්දුවෙන් හොයා බලන්නට මහන්සි ගත්තු, අද හමුදා නිලධරියකු විදිහට අත් විඳිනා බොහෝ කාරණා පිළිබඳ දැණුම අලුත් කරගත්තා සේම සම්ප්‍රදාය බොහෝ ඉහළින් ගරු කරනා හමුදාව තුල වුවද කනි‍ටුවන් නොදන්නා ඉතිහාස කාරණා ‍රැසක් මම මේ තුලින් ඉගෙන ගත්තා. ලිපි අවසානයේ අදහස් පල නොකලාට මම බොහෝ කාලයක් තිස්සේ ඔබ ලිපි ඇසුරේ සිටියා. බොහෝ දේ දැන කියාගත්තා. බොහෝම ස්තුතියි සර්. ඔබට දීර්ගායු වේවා……

  31. තවත් ලිපි දෙසීයක් ලියන්නට සියක් ආයු ලැබෙන්න ප්‍රර්ථනා කරනවා විචාරක මහතා වෙත.. මං ආසම දේ අර සපත්තු මදින විදිය අඳින පළඳින විදිය ගැන තියන ලිපි ටික. ඊට පස්සේ සියලු හමුදා ලිපි.. මගේ පිස්සුව ඒක නේ :D..

    කන බොන විදිය ගැනත් ලිපි ටිකක් දැම්මනං වටිනවා, මොකද අපේ පරපුරේ ඇත්තන් බහුතරය ඔය ආයුධ කට්ටලේ එක්ක කන විදිය දැක්කම දැනෙන්නේ ඒ අය (මමත් ඇතුළුව) හරියාකාරව පුහුණුවක් නොලද බව. ඒ ගැනත් සලකා බලත්වා..

    ජයශ්‍රී.. (අර කෝප්පේ ඔලුවේ තියාගන නටන විදිය නං මරු ඈ..) 😀

    • ඔබට බොහොම පින් මේ දිරිගන්වන සුළු අදහස් දැක්වීමට.

      ඇත්තටම මේ ලිපි සෑහෙන දෙනෙකුගේ අවධානයට ලක්වීම සතුටක්. මෑතකදී ඔය ආයුධ සැට් එක පාවිච්චි කරන විදිහ වගේම මම තවත් හිතාගෙන හිටිය දෙයක් වන ටයි එක දැමීම ගැනත් ලිපි වෙනත් අඩවිවල ලියවෙලා තිබුන නිසයි නිහඬ වුනේ.

      අර නැටුම තවත් නැගලා යනකොට තමා ලස්සන. හැබැයි කවදාවත් වීදුරුවක් කැඩිලා නැහැ.

      • ඔය කට්ටලේ ගැන නිවැරදි පුහුණුව තියන නියම විනය තියන කෙනා කතා නොකර ඉන්න එක හරි නෑ නේද විචාරක මහත්තයෝ??? ලියන්නකෝ ඔබතුමාගේ ලිපියක්. එකම දේ වුනත් දෙන කෙනා අනුව වෙනස් වෙනවා නොවෑ..

Aka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න