විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


couple-sharing-secrets-5689251අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම, අපට යම් යම් රහසිගත දේවල් තියනවා, අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට පුළුවන්. නමුත් හැම රහසක්ම හැමදාම හංගගෙන ඉන්නටනම් බැරිවෙනවා කියලයි, මමනම් හිතන්නේ. සංග්‍රාමික කටයුතු වලදී, රහසිගත භාවයට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක් බව මම ඔබට අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය නැහැ. සංග්‍රාමික කටයුතු රහසිගතව කරන්නට නොහැකිවුනොත්, සතුරා අතට අපේ යුද රහස් පත්වීමෙන් ඇතිවන ප්‍රතිඵලය, කොයිතරම් භයානකද කියන එකත්, කියන්න අවශ්‍ය නැහැනේ. යුද්ධ හමුදාවක් විසින්, පණිවිඩ හුවමාරු කටයුතු වලදී, ඉංග්‍රීසි හෝඩියේ අකුරු උච්ඡාරණය කරන විශේෂ ක්‍රමයක් තිබෙන බව, මම මීට පෙර ඔබට කියාදුන්නා මතකද? අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ, ඒ අකුරු උච්ඡාරණ ක්‍රමය භාවිත කරමින්, ආරක්ෂක හමුදා විසින් කරනු ලබන, රහස් පණිවිඩ යවන ක්‍රමයක් පිළිබඳවයි. මේ පණිවිඩ හුවමාරු ක්‍රමය හඳුන්වන්නේ, ‘ස්ලයිඩෙක්ස් Slidex’ යනුවෙන්.  

  chimneyදෙවැනි ලෝක යුද සමයේදී, නිවසක, උණුසුම රැකගැනීම සඳහා දල්වන ගල් අඟුරු උදුනක, චිමිනිය පිරිසිදු කරමින් සිටි පුද්ගලයකුට, දැවීගිය පරෙවියකුගේ සිරුරක් හමුවුනා. ඌ සම්පූර්ණයෙන් දැවී තිබුණේ නැහැ. උගේ කකුලක ගැටගසා තිබුන කඩදාසි කැබැල්ලක, තේරුම් ගත නොහැකි, ඉංග්‍රීසි අකුරු හතරේ වචන සහිත, පණිවිඩයක් ලියා තිබුනා. පහත දක්වා තිබෙන්නේ, ඒ පණිවිඩයයි. ඔබත් කියවා බලන්න, ඔබට මෙය තේරුම් ගතහැකිද කියා.

pigeoncipher

මොකක්ද ස්ලයිඩෙක්ස් – Slidex කියන්නේ?

   බොහොම ඈත අතීතයේ සිටම, මිනිසා, රහස් සංකේත මගින් පණිවිඩ යවන්න, ක්‍රම සහ විධි සොයාගෙන තිබුනා. යුද්ධ කටයුතු වලදී, අතිශයින් රහසිගත තොරතුරු ලියන ලද ලිපි, විශේෂයෙන් පුහුණු කරනලද පරෙවියන්ගේ කකුලක ගැටගසා, නියමිත ස්ථානයකට යැවීමට ක්‍රමයක් සලසා තිබුන බව, ඔබ අතරින් සෑහෙන පිරිසක්, මීට පෙර අහලා ඇති. හොඳයි ඉතින් මේ පරෙවියා මගදී අල්ලගත්තොත්? වෙඩි තියලා/දුන්නකින් විදලා/බිම දාගත්තොත්? වෙන පරෙවියකු මගින් බිමට බස්සවලා (හොඳ පරෙවි ධේනුවක්, උකුළු මුකුළු පෑවම, කොයි පරෙයියද යන ගමන පැත්තක දාලා, පෙම් කෙලින්න නොයන්නේ? :D) ඒ පරෙවියා අල්ලගත්තොත්? අර රහස් පණිවිඩය නිකම්ම සතුරා අතේ. ඉතින් ඒ නිසා, නිකම් සාමාන්‍ය භාෂාවෙන් නෙවෙයි මේ ‘පරෙවි සංදේශ’ 😀 යැව්වේ. යවන අය සහ ලබන අය පමණක් දන්නා, රහසිගත භාෂාවකින් තමයි ලියලා යැව්වේ. ස්ලයිඩෙක්ස් කියන්නෙත්, අන්න ඒ වගේ එක්තරා රහස් භාෂා ක්‍රමයක්.

  මේ පණිවිඩ හුවමාරු ක්‍රමය, අද අභාවයට ගිහින් තිබෙන්නේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ, පරිගණක තාක්ෂණය ඇසුරෙන්, ඊට වඩා අතිශයින්ම දියුණු ආකාරයට, රහස්‍ය පණිවිඩ යැවීමට, දැන් හැකියාව ලැබී තිබීමයි. නමුත් අවශ්‍යනම්, අද වුනත්, මේ ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. සමහරවිට, ලෝකයේ සමහර රටවල, මෙය අදටත් භාවිත කරනවා ඇති. (ශ්‍රී ලංකා යුද හමුදාව 1980 දශකයෙන් පස්සේ, මේ ක්‍රමය අතහැරියා. එයට හේතුව වුනේ, රහස්‍ය පණිවිඩ හුවමාරු පහසුව සහිත, අධිතාක්ෂණික ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර, අපේ යුදහමුදාවට ලැබීම නිසයි. අනේ අප්පොච්චියේ………. මම තරුණ නිලධාරියකු කාලේ. මේ වගේ පණිවිඩ ලිවීම සහ ලැබුන පණිවිඩ පරිවර්තනය කිරීම. encryption and decryption තුන් හාරසිය වතාවක් විතර කරලා ඇති. එපාම වෙන වැඩක්.) මෙය නිවැරදිව ඉගෙනගත්තොත්, ඔබට මෙයින් විනෝදයක් ලබන්නත් පුළුවන්. ඒ තමයි, ඔබේ මිතුරු මිතුරියන් අතරේ, ස්ලයිඩෙක්ස් ක්‍රමයෙන් SMS පණිවිඩ හුවමාරු ක්‍රමයක් හදාගන්න පුළුවන් වීම. හොඳයි, දැන් මම ඔබට ස්ලයිඩෙක්ස් ගැන විස්තර කරන්නම්.

   මෙවැනි පණිවිඩ හුවමාරු ක්‍රම හඳුන්වන්නේ, රහස්‍ය කේතකරණය මගින් පණිවිඩ හුවමාරු කිරීම Encrypted Messaging යනුවෙන්. වර්තමානයේදී, රහස්‍ය කේතකරණය ඉතා දියුණු විද්‍යුත් ක්‍රමෝපායයන් මගින් සිදුකෙරෙනවා. ඒ ගැන පසුව කතාකරමු. ස්ලයිඩෙක්ස් පණිවිඩයක් යැවීමට නම්, ඔබත් මමත් අතරේ, පහත දැක්වෙන ලෙස සබඳතාවක් තිබිය යුතුයි.

  • 1. දුරකථන සම්බන්ධතාවක් හෝ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර සම්බන්ධතාවක්.
  • 2. එකම ආකාරයට සකසන ලද, ස්ලයිඩෙක්ස් කාඩ්පත් දෙකක් අප දෙදෙනා ළඟම තිබිය යුතුයි. (දෙදෙනෙකුට වැඩි ගණනක් සම්බන්ධවන්නේනම් ඒ සැමදෙනා අතරම එකම වර්ගයේ ස්ලයිඩෙක්ස් කාඩ්පත් තිබිය යුතුයි)    

                                                      මොකක්ද ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ?  

  මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒ නිසා මෙය අවබෝධ කරගැනීමට නම්, ඔබේ සම්පූර්ණ අවධානය අවශ්‍යයි. ඔබ මේ ලිපිය උඩින් පල්ලෙන් කියෙව්වොත්, මේ ගැන අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. ඒ නිසා, මේ ලිපිය, හොඳින් විවේක ඇත්නම් පමණක්, කියවන්න. හොඳයි, ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ, බ්‍රිස්ටල් බෝඩ් වැනි ඝන කඩදාසියක මුද්‍රණය කළ, සිරස් තීරු  Columns 12 ක් සහ තිරස් පේළි Rows 17 ක් ඇති රහස්‍ය ලේඛනයක්. හිතන්නකෝ මේක, MS Excel spread sheet එකක් වගේ කියලා. මේ කොලයේ තිබෙන කොටු වල, වචන, අකුරු  සහ ඉලක්කම්, මුද්‍රණය කරලා තියනවා. සමහර වචන, අකුරු සහ ඉලක්කම් කළු පාටයි. සමහර වචන, අකුරු සහ ඉලක්කම් රතු පාටයි. සමහරවිට මේ කඩදාසිය, විනිවිද පෙනෙන ඝන පොලිතීන් ආවරණයක තිබෙන්නේ. එහෙම කරන්නේ, ජලයෙන් හානිවීම වලක්වාගන්නයි. (මේවා පාවිච්චිකළ කාලයේ මම ලැමිනේටින් දැකලා/අහලා තිබුනේ නැහැ) ඒ කඩදාසියට ඉහළින්, තිරස් අතට සහ බලන කෙනාගේ වම් අත පැත්තෙන් සිරස් අතට, එහා මෙහා කළහැකි, කඩදාසි පටි දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘කර්සර්’ කියලා. පරිගණක ගැන ඉගෙනගන්නට පෙර, මම ජීවිතයේ පළමුවැනි වතාවට, කර්සර් කියන වචනය ඉගෙනගත්තේ, මේ ස්ලයිඩෙක්ස් පුහුණුවෙදියි.  මේ පටිවල, අර කාඩ් එකේ තියන කොටු වලට සමාන ප්‍රමාණයේ කොටු සකසා, ඒ හැම කොටුවකම, ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙක බැගින් ලියලා තියනවා. මේ තොරතුරු වඩාත් හොඳින් අවබෝධ කරගන්නට, මම ස්ලයිඩෙක්ස් කාඩ් එකක පින්තූරයක් පහත පෙන්වනවා. 

slidex-a1ඊළඟට බලමු, අර කර්සර් පටි සවිකළාම, කොහොමද පෙනෙන්නේ කියලා.

download

  එකම කාඩ් එකට යොදන කර්සර්, කාලෙන් කාලෙට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මොකටද කර්සර් වෙනස් කරන්නේ? යුද්දයකදී අපි රහස්‍යභාවය රැකගන්න නොකරන දෙයක් නැහැ. ඔබ සමහර අය දැක ඇති, හමුදා සෙබළුන් තමන්ගේ අතේ වර්ණ පටියක් පළඳිනවා. එයින් අදහස් කරන්නේ, සතුරන් සහ අපේ හමුදාව නිවැරදිව හඳුනාගැනීමයි. සතුරා අපේ නිළ ඇඳුමක් ඇඳගෙන ආවත්, වර්ණ පටිය නිසා අපට ඔහුව අල්ලාගන්න පුළුවන් වෙනවා. මේ වර්ණ පටිය, එක දිනක් තුළ වරින් වර මාරුකරනවා. ඒ සඳහා රහස්‍ය වචන තියනවා, අපි හිතමු ‘ගිරවා දකුණේ’ කිව්වොත් ‘රතුපාට පටිය වම් අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. තව ටිකවෙලාවකින් ‘එළුවා ගහේ’ කිව්වොත් ‘නිල්පාට පටිය දකුණු අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. පටි සෙට් එකම සෙබළාගේ මල්ලේ තියනවා. අර රහස් වචන ටික ලියපු කොලයක් තියනවා කණ්ඩායම භාර එක්කෙනා අතේ. ඉතින් මේ ස්ලයිඩෙක්ස් ක්‍රමයේදී,   ඒ ඒ කර්සර් එකටත් අංකයක් ලබාදුන්නම, ‘අහවල් කර්සර් දෙක දාගනින්’ කියලා, රහස්‍ය වචනයකින්, අනික් පැත්තේ ඉන්න මිනිහට කිව්වම හරි. අමතර කර්සර්, ඕනෙතරම් ඔය තියෙන්නේ පහළින්.

Gessler8-CryptoStrips

  ඉතින් මොනවද මේ ස්ලයිඩෙක්ස් කාඩ් එකේ මුද්‍රණය කරලා තියන දේවල්. එදිනෙදා රහස් පණිවිඩ හුවමාරුවේදී, බහුලවම පාවිච්චි කරන වචන මාලාවක් තමයි, මුද්‍රණය කරලා තියෙන්නේ. ඔන්න මම එවැනි ස්ලයිඩෙක්ස් කාඩ් පතක තිබෙන ඉංග්‍රීසි වචන අතරට, සිංහල වචන දැම්මා ඔබේ පහසුව සඳහා. හැබැයි හොඳින් මතක තියාගන්න. ඉතිහාසයේ  කවදාවත්, සිංහල ස්ලයිඩෙක්ස් කාඩ්පත් හදලා නැහැ. ගරු මම තුමා තමයි එහෙම කරපු පළමුවැනි වීර (මෝඩ) යා.

full Card

  මේ කාඩ් එකට, කර්සර් පටි යෙදීම වෙනුවට, මම කරලා තියෙන්නේ කාඩ් එකේ ඉහල සිරස් තීරුව සහ වම් අත පැත්තේ තිරස් තීරුව මකලා, කර්සර් පටිවල තියන අකුරු ඒ තැන්වලට යෙදීමයි. ඒ නිසා ඒ තියෙන්නේ කර්සර් පටි කියලා හිතාගෙන, මෙතැන් සිට ඉදිරියට කටයුතු කරමු. පින්තූරය මත ක්ලික් කරලා, ලොකු කරලා බලන්න. හොඳයි, දැන් අපි ස්ලයිඩෙක්ස් පණිවිඩයක් ලියමුද? බයවෙන්න එපා ‘මෛන් හූන් නා’ (මම ඉන්නවනේ. හැබැයි බැරි වුනොත් එහෙම දාලා දුවනවා :D) හොඳයි, මෙන්න මේකයි පණිවිඩය.

අද රාත්‍රියේ, යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරකට, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකිය. සියලුම කඳවුරු, උපරිම සූදානමෙන් තබන්න. 

  අප්පොච්චිගේ පප්පේ…………… කොහොමැයි මේක ඔය ස්ලයිඩෙක්ස් ද මොන ඩෙක්ස් ද මන්දා කොරන්නේ?…….. වැරි සිම්පල් අනේ. ඉස්සර වෙලාම, තමන්ට යවන්න අවශ්‍ය පණිවිඩය, අමු හිංගලෙන්………හුටා, හිංගලෙන් යවන්න පුළුවන්, මේ මම හදපු කාඩ් එකෙන් විතරනේ. අමු ඉංගිරිසියෙන් තමයි ලියන්න වෙන්නේ. කමක් නෑ, අපි මේ අපේ කාඩ් එක කුඩු කරගන්නේ නැතුව, සිංහලෙන් යවමුකෝ. ඔන්න දැන් අර සිංහල පණිවිඩේ තියනවනේ. මොන බාසාවෙන් ලිව්වත් යවන්නේ මෙහෙමයි.

1. පණිවිඩය ලිවීමේදී, හැකිතරම්, (99% ක්) කාඩ් එකේ තිබෙන වචන වලින් ලියන්න ඕනේ. නමුත්, අපිට කියන්න අවශ්‍ය අර්ථය, විකෘති වෙන්න බැහැ, කාඩ් එකේ වචන යෙදුවා කියලා.  අත්‍යවශ්‍යම තැනකදී, එක වචනයක් හෝ දෙකක්, කෙලින්ම වචන හැටියට කියන්න පුළුවන්. නමුත්, එහෙම නොකර ලියන්න පුළුවන් ආකාරයටයි, බොහෝවිට කාඩ් හදලා තියෙන්නේ.

2. පණිවිඩය කෙටි වූ තරමට, කාර්යය පහසුයි. ඒ නිසා, පණිවිඩය වචන වලින් ලියා, නැවත සලකා බැලිය යුතුයි අර්ථයට හානි නොවන පරිදි, තව කෙටි කළහැකිද කියා.

3. මේ පණිවිඩය යවන්නේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ දුරකථනයකින් බව ඔබ දැන් දන්නවනේ. ඒවා රහස්‍ය පණිවිඩ යවන අධි තාක්ෂණික පණිවිඩ හුවමාරු යන්ත්‍ර හෝ දුරකථන වීමට අවශ්‍ය නැහැ.

4. කාඩ් එකේ තියන සෑම වචනයක්ම තිබෙන්නේ, කොටුවක් ඇතුලෙනේ. ඒ හැම වචනයකටම වම් අත පැත්තෙන් තියන සිරස් කර්සර් පටියේ, අකුරු දෙකක් සහ ඉහල තිරස් කර්සර් පටියේ අකුරු දෙකක් පිහිටනවා. උදා හරණයක් වශයෙන් බලන්න, ‘යුද ටැංකි’ කියන වචනය තිබෙන කොටුවට අයත් වන්නේ, සිරස් කර්සරයේ MN කියන අකුරු දෙක සහ තිරස් කර්සරයේ JU කියන අකුරු දෙකයි. හරියටම, එක්සෙල් වලදී, සෑම සෙල් එකකටම අංකයක් තියනවා වගේ. දැන් අපිට ස්ලයිඩෙක්ස් වලින් යුද ටැංකි කියා ලියන්න අවශ්‍යනම්, අදාළ සෙල් එකේ සිරස් සංකේතය පළමුවත් තිරස් සංකේතය දෙවනුවත් ලියනවා. එය ලියන්නේ, අකුරු හතරම එකට මෙන්න මෙහෙම, MNJU, ඊළඟ වචනය ලියන්නට පෙර, කොමාවක් යොදනවා.  ‘අයියෝ මාමේ දැන් දෙන්නම්කො ඇට්ටි නෙවෙයි ගොබළු ගෙඩිත් හැලෙන්න’. ඔන්න ඕකනේ කියන්නේ බෑණෝ, සිවිඩ්ඩෙන් එලියට එන්නත් කලින්, කොස් ඇටේ පැලවෙන්න හදනවා කියලා. අර චොප්පේ අයියා ඒ කාලේ ඇහුවා වගේ, මම අහන්න කැමතියි, එතකොට අර රතුපාට අකුරු ඉලක්කම් තියෙන්නේ…………………………..ද? කියලා.  😀

5. රතුපාට අකුරු හෝ ඉලක්කම් වලින් කියවෙන දෙයක්, පණිවිඩයට ඇතුලත් කරන්න අවශ්‍යනම්, මුලින්ම, රතුපාටින් තිබෙන SWITCH ON කියන සෙල් එකකට, යොමුවක් දියයුතුයි. එයින් අදහස් කරන්නේ, එතැන් සිට පණිවිඩය කියවෙන්නේ, රතුපාටින් ලියා ඇති දේවල් වලින් පමණයි, කියන එකයි. ආපහු කළු අකුරු වලට එන්න අවශ්‍යනම්,  SWITCH OFF කියන සෙල් එකකට, යොමුවක් දෙන්න ඕනේ. යොමුවක් දෙනවා කියන්නේ, අදාළ සෙල් එකේ, සිරස් තිරස් සංකේත දෙක දීමයි. එය පනිවිඩයේම වචනයක් ලෙස ලියවෙන්නේ. නමුත් කාඩ් එකෙන් පණිවිඩය කියවාගෙන යනකොට තේරෙනවා, මේ කියන්නේ මොකක්ද කියලා. තමුන්නාන්සේලා තවම ආධුනිකයන් නිසා, කළුපාටින් පමණක් ලිවීම කියවීම කළහැකි පණිවිඩයක් තමා, මා ඉහත දී තිබෙන්නේ.

  ඔය මොකද, ඔය මොකද නිදිකිරා වැටෙන්නේ? නැගිටිනවා පුටුවෙන්, එලියට ගිහින් දුවනවා ලෙක්චර් හෝල් එක වටේ රවුම් පහක්. කෝප්‍රල්, බලන්ඩ මෙයා රවුම් පහක් දුවනවද කියලා. හරි, ආයේ කවුරුහරි නිදිකිරා වැටුනොත් දානවා ‘ඊසි පොසිෂන්’ හරිද? මෙවැනි දේශන දවල් කෑමෙන් පස්සේ තිබ්බම නින්ද යනවාමයි සෑහෙන දෙනෙකුට. අප්පොච්චියේ මමත් පුහුණු කාලයේදී කාලා තියනවා ඇතිවෙන්ඩ උපදේශකයන්ගෙන්, නින්ද ගිහිල්ල අහුවෙලා. දන්නවද හමුදාවේ ‘ඊසි පොසිෂන් Easy Position’ හෙවත් පහසු ඉරියව්ව කියන්නේ මොකක්ද කියලා. සපත්තු දෙකේ ඉදිරිපස හෙවත් ‘ටෝ’ එක පුටුව උඩ තබා අත් දෙක බිම තබා දිගාවෙනවා. අත්දෙකේ අල්ල පොළොවේ පිහිටලා තියෙන්නේ ටෝ දෙක පුටුවේ. වෙනත් ආධාරකයක් නැහැ. දැන් හිස ඔසවා දේශකයා දෙස බලාගෙන දේශනයට ඇහුම්කන් දියයුතුයි. මම දෙවරක් ඊසි පොසිෂන් ඉඳලා තියනවා. හරී…………………..සනීපයි. 😀

  හරි, එහෙනම් දැන් ලියමුද පණිවිඩේ? ලෑස්තිද? එහෙනම් හොඳ ළමයා වගේ දුවලා දුවලා දුවලා ගිහින්, ස්ලයිඩෙක්ස් කාඩ් එකයි, හිස් කඩදාසියකුයි, පෑනකුයි, අරන් එන්න. ඔන්න අපි ලියනවා. TYHK, RGPL, RGHK, RGWA, CHCR, CHNG, EWCR, CHHK, CHWA, DGHK,මම කියන්නද එතනින් එහා ටික ඔයා ලියන්න. නැත්නම් මේ අභ්‍යාසය සම්පූර්ණ වෙන්නේ නැහැ. නිවැරදිව ඉතුරු ටික ලියන ළමයාට  හමුදා කඳවුරක් තෑගී දෙනවා. 😀

ඉතින් මේ පණිවිඩේ කොහොමද ගුවන්විදුලියෙන් හෝ දුරකතනයෙන් යවන්නේ?

  ඉස්සරවෙලාම, පණිවිඩය යවන පැත්තේ ඉන්න එක්කෙනා, පණිවිඩය ලබන පැත්තේ ඉන්න එක්කෙනාට කියනවා ‘ස්ලයිඩෙක්ස් මෙසේජ්’ කියලා. ඊළඟට කියනවා ස්ලයිඩෙක්ස් කාඩ් එකේ අංකය. (ආරක්ෂාව සඳහා මේ කාඩ් කාලෙන් කාලෙට වෙනස් කරනවා. සතුරන් අතට එකක් හරි ගියොත් ඒ කාඩ් එක අවලංගු කරනවා. ඒ කාඩ් එකෙන් නැවත කවදාවත් පණිවිඩ යවන්නේ නැහැ. අලුත් එකක් හදනවා. ඒ නැතත් එක කාඩ් එකක් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්නේ නැහැ) ඊළඟට කියනවා, කර්සර් පටි දෙක කුමන කර්සට් පටි දෙකද කියලා. ඒ සඳහා සංකේත වචන තියනවා. එතැන් සිට, අර එක කොමාවකින් වෙන්වී තිබෙන අකුරු හතරක්, එක වරකට කියනවා. අපි ලියලා තියන පණිවිඩයේ පළමුවැනි වචනය කියන්නේ ටැංගෝ යැංකි හොටෙල් කීලෝ  කමා කියලයි. දැන් ආයෙත් අහන්න එපා ඒ මොනවද කියලා. දෙවැනි සැරේටත් කියන්නේ.  මතකයි නේද කියලා දුන්නා.

  ස්ලයිඩෙක්ස් කාඩ් එක, අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්. එය, අනිවාර්යයෙන්ම, වගකිවයුතු (සාමාන්‍යයෙන් කපිතන් හෝ ඊට ඉහල නිලයක) නිලධාරියකුගේ භාරයේ, සේප්පුවක තැන්පත්කර තැබිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පත, එහා මෙගා ගෙනයන්නේ, පහත දැක්වෙන ආකාරයේ ආවරණයක දමාගෙනයි.

full (1)

ලැබුන පණිවිඩයක් පරිවර්තනය කිරීම කලයුත්තේද, නිලධාරියකු පමණයි. පොතක ලියා අත්සන් කර, ඔහුට කාඩ් එක ලබාදෙන්නේ. පරිවර්තනය අවසන් කලපසු, වහාම කාඩ් එක ආපසු භාරදිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පතක්, යුදබිමට රැගෙන යන්නේනම්, විශේෂ ආරක්ෂාවක් යටතේ තබාගත යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ් එකක, ඡායා පිටපත් ගැනීම, සපුරා තහනම්. (සෙසු නිළයන්ට උගන්වන්නේ නැහැ. සංඥා ක්‍රියාකරු දන්නේ, ලියාදුන් පණිවිඩ යැවීම සහ ලැබෙන පණිවිඩ ලියාගැනීම පමණයි) ස්ලයිඩෙක්ස් හා සමාන තවත් පණිවිඩ හුවමාරු ක්‍රම, අතීතයේදී තිබිලා තියනවා ඒවා විස්තර කරන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දික් ගැහෙනවා. ඒ නිසා මෙතනින් ලිපිය අවසන් කරනවා.

මූලාශ්‍ර;

http://cryptologicfoundation.org/content/Educational-Programs/toolchallenge.shtml

http://www.cryptomuseum.com/crypto/slidex/index.htm

http://en.wikipedia.org/wiki/Slidex

http://practicalcryptography.com/cryptanalysis/breaking-machine-ciphers/analysis-ww2-pigeon-cipher/ 

my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 01 දින 1318 පැය

Advertisements

Comments on: "මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System" (48)

  1. TYHK, RGPL, RGHK, RGWA, CHCR, CHNG, EWCR, CHHK, CHWA, DGHK, RGCR ,DGWA ,MNNG, CHPL ,DGCR

    ඔන්න මගේ උත්තරේ ,, මං හරිම ආස මාතෘකාවක් ,, ඒ වගේම මං හොයාගත්ත රහස් භාෂාවකුත් තියෙනවා 🙂

  2. සෑහෙන අමාරු වැඩක් වගේ.දැන් ඔය අකුර අකුර කියන්නෙත් අර කලින් පාඩමේ විදියට නේද?

  3. හම්බෝ තව තුන් හතර පාරක් කියවන්ඩ වෙයි වගේ ….කාඩ් එකක් ලග තිබ්බ නං මිට වඩා තේරුම් ගන්ඩ පුළුවන් සුවර් …

  4. හොඳට තේරුණා වැඩේ. කිසිම උපකරණයක් නැතිව encryption and decryption කරන්න පුළුවන් ක්‍රමයක්. දැන් නම් මේ ක්‍රමයට පණිවිඩ යවනවා නම් සරල පරිගණක වැඩසටහනක් හදාගෙන පහසුවෙන් වැඩ ගන්න පුළුවන්. හැම කාඩ් එකකම තියෙන්නේ එකම වචන සෙට් එකම නම් දැන් භාවිතා කරන ක්‍රම වලට වඩා පහසුවෙන් කඩන්නත් පුළුවන්.

  5. //අපි හිතමු ‘ගිරවා දකුණේ’ කිව්වොත් ‘රතුපාට පටිය වම් අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. තව ටිකවෙලාවකින් ‘එළුවා ගහේ’ කිව්වොත් ‘නිල්පාට පටිය දකුණු අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. පටි සෙට් එකම සෙබළාගේ මල්ලේ තියනවා.
    // ඇහුනෙ නැත්නම්..

    මේකෙන් එන්ක්‍රිප්ශන් ඩික්‍රිප්ශන් කිරීම පණ යන වැඩක්නෙ. අනික හැම වචනයක්ම මේකෙ තියෙන්න ඕනෙ කියන එක ප්‍රායෝගික නෑ.

    Cipher කියන්නෙත් ඔයිටම සමාන දෙයක්නෙ. Cipher ගැන ඉගෙනගද්දි හරිම ආසාවෙන් ඉගෙනගත්තෙ. පණිවිඩේ රහස්‍යභාවය වැඩි කරන්න ක්‍රමයක් හොයාගන්නකොට ඒක කඩන්න ක්‍රමයකුත් එනවා. ආයෙ පිළියම් කරනකොට තව ක්‍රමයක්.

    • ඇහෙන්නේ නැත්තේ කොහොමද පණිවිඩේ රේඩියෝ එකෙන් කියන්නේ ඔපරෙටර්ට. ඒ මිනිහා අනිත් අය ලඟට ගිහිල්ලා කටින් කියන්නේ අර රහස් වචනය නෙවෙයි සුද්ද සිංහලෙන්.

      පුරුදු වුනාම පට පට ගාලා කරන්න පුළුවන්. සයිෆර් ගැන වෙනම ලියන්නම් මෙතන ලියන්න ගියානම් කියවන අය සයිෆර් වෙලා යනවා.

  6. නිර්නාමික said:

    I created my own encription method to communicate with my girlfriend when I was in O/L classes. We haven’t heard of mobile phones on those days and didn’t had land phones as well. massenger was my little sister. It work really fine till got busted beacouse other party was lazy and put plain words here and there in a message one day. Had to pay big bribe to my sister to make sure it is not going to my mother.

  7. ෂා, නියමයි. හරි සෝක්. පැහැදිලිව හොදට තේරුණා. MSYU CUPT GPOT

  8. ඔන්න මං බැනුමක් අහන්න බලාගෙන මේක කියන්නෙ. අර ගිරවා දකුණී එළුවා ගහේ කියනකොට මට බකස් ගාල හින ගියා. මතක් උනේ ඒ කාලෙ “ගොනා කාණුවේ” කියපු එකයි.. ඒකත් ඉතින් රහසක් ප්‍රසිද්ධියේ කියපු ක්‍රමයක්නෙ..

    • මටත් ඒ කාලේ කොල්ලෝ කියලා තියනවා. අරවා අඳින්න කාලේ හරි කියන එක මටත් තේරුනේ ඒ කියමන නිසා. හරිම වටිනා කියමනක්. අපි මේ හමුදාවේ කියන ඒවා හැදෙන්ඩ ඇත්තෙත් ඔව්වා ආශ්‍රයෙන් වෙන්ඩ ඇති.

  9. අද විචාරක තුමා රස සාගරයක් එක්ක කාටත් දැනගන්න වටින කරුණක් විස්තරාත්මක ඉදිරිපත් කරලා.
    මට නම් හිතුනේ ලව් කරන කාලේ තිබුන නම් මරු කියල :).
    ඉස්සර අපි යාලුවෝ එකේ සිට අංක වලට අර මල කඩ ඉහත පදය ඔන්න ඔය වගේ අංක වලට අකුරු යොදා ගෙන කෙටි ලිපි ලිය ලිය විනෝද වුනා.

    • ඇයි දැන් ලව් කරන්න තහංචි දාලද තියෙන්නේ. ඉස්සර අපේ අම්මයි තාත්තයි අපි ඉස්සරහ දෙමලෙන් කතාකරනවා. අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොකක්හරි විකල්ප භාෂාවක් දැනසිටීම හරිම වැදගත්.

  10. ෂර්ලොක් හෝම්ස් ගේ කතා පොත් කියෙව්වට පස්සේ අපිත් කොච්චර නම් කියලා මේ විදියට රහස් භාෂා හැදුවාද? අසා හිතෙන ලිපියක්

  11. මට ඔයාට රහස් පණිවිඩයක් එවන්ට ඕනි. ඒ උණාට මෙතනින් එහා යන්ට විදියක් නෑ. 😦

    TYHK MNCR TYPL….රතු පාටින් තියෙන හන්දා අතිශයින් රහසිගතයි. 😀

  12. ඉතිරි ටික ,RGCR ,DGWA ,MNNG, CHPL ,DGCR ඕකනේ විචාරක උන්නැහේ අපේ මන්තිරි උන්නාන්න්සේ කිව්වේ ඕන මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා

  13. ස්ලයිඩෙක්ස් මතක් කරන්ට එපා..එක කාලයක් තිබුනා 80 මුල..දවසට දෙක තුනක් වරදින්නේ නෑ… හපෝ!

    • මම 80 ගණන්වල ස්ලයිඩෙක්ස් කාපර් කෙනෙක්. වෙන මොකා හිටියත් මට තමයි ඇජ්ජා වැඩේ සෙට් කරන්නේ. හිතෙන් සාප කරමින් වැඩේ කරනවා. හුඟක් ඒවා එන්නෙත් මහ රෑට නේ. duty officer දවසට මම ඉන්නබව දැනගෙනද මන්දා හතරක් පහක් එනවා 😀

  14. අපිත් පොඩි කාලෙ රහස් භාෂාවන් හදාගෙන කතාකලා,විචාරක තුමාගේ දැනුම් සාගරයෙන් දෝතක්.වටිනා පොස්ටුවක්.

  15. ඔබේ පෙම සුරක්ෂිත කරගන්න, ඔබේ අනියම සුරක්ෂිත කර ගන්න…එන්න රැස් වෙන්න….ඉගෙන ගන්න රහස් සංඛේත හෙවත් ස්ලයිඩෙක්ස් මගින් ඇස් ඇම් ඇස් කොටන හැටි කියාදෙන එක් දින වැඩමුලුව….බඩපුරා කන්න දීලත් ටිකැට්ටුව…රුපියල් 1000/-

    මේ ලිපිය පල වුනාට පස්සෙ පැවැත්වෙන්න ඉඩ තියෙන වැඩමුලුවක් ගැන මම කිව්වෙ ….

  16. ඕවා ෂර්ලොක් ‌‌හෝම්ස් පිස්සුව තිබ්බ කාලෙ කළා නෙ… හි හි…. අර නැට්ටුවන්ගෙ අභිරහස වගේ ඒවෑන් තමා ඔය ලෙඩේ හැදුනෙ…

    ඒකට වඩා මට හිත ගියෙ අර ඊසි පොසිෂන් එක ලියල තියෙන විදියට… හරි ෂෝක් ඇති නේ…. හි හි

    • කාට කාටත් ඔය රහස් භාෂා අවශ්‍ය වෙන්නේ ඉතින් තරුණ කාලේ තමා.

      වෙලාවක කාටවත් නොපෙනෙන්න ටිකක් වෙලා ඊසි පොසිෂන් එකේ ඉඳලා බලන්නකෝ.

  17. me lipiya love karana kaale ahuwunaa nam watinaa kama kiyala wadak naha. hik hik hik

  18. නිර්නාමික said:

    අලුත් දෙයක් ඉගෙන ගත්තා, ඉතාම රසවත්.
    ඊසි පොසිෂන් ගැන ඇහුවම නම් බයත් හිතුනා, බුදු අම්මේ…

  19. කාලෙකට පස්සේ ඔන්න බය නැතිව කතාකරන්න පුළුවන් ටොපික් එකක්.. (මගේ ක්ෂේත්‍රය Cryptography).. මේ කියන ස්ලයිඩෙක්ස් ක්‍රමය මුලින්ම භාවිත කළේ බ්‍රිතාන්‍ය හමුදාව විසින්, සීතල යුද්ධ කාලයේ..

    සමහර රහස්‍ය කේතන ක්‍රම තියෙනවා අකුරින් අකුර රහස්‍යකරණය කරන.. සීසර් සයිෆරය වගේ… නමුත් සමහර සයිෆර මගින් යම් වචනයක්ම එහෙම පිටින්ම සඟවනවා.. මේ තියෙන්නේ එහෙම එකක්.. මේකට තමා block cipher / code book කියන්නේ..

    පස්සේ මේ වෙනුවට වෙනත් ක්‍රම ආව නේද? දන්න තරමින් කලවංචිකුඩි වල STF එකෙන් කරපු මෙහෙයුමක දී පළමු වරට රොටර් සයිෆරයක් පාවිච්චි කළා.. (ඊශ්‍රායලයෙන් ගෙනාපු)..

    • ඇයි දෙයියනේ මෙච්චර දේවල් දැනගෙනත් මේවා ගැන මොකුත්ම නොලියන්නේ. මම මේ හුඟක් දේවල් හංගලා ලියලා තියෙන්නේ. මීට වඩා ගැඹුරු කරුණු වලට නොගියේ කියවන අයට නීරස වෙයි කියලා. ඔබ කියන කරුණු ඔක්කොම හරි. ලියන්නකෝ ලිපියක් ඒ ගැන.

      • දන්නා හැමදේම ගැන කතා කරන්ඩ බෑ නේ විචාරක මහත්මයා.. ඔබතුමාට වගේම තමා අපිටත් රකින්න රහස් තියෙනවා.. 😉 සොෆ්ට්වෙයාර් කර්මාන්තය දුවන්නෙම රහස් උඩ නේ.. පාස්වර්ඩ් එකක් රහස්‍යකරණය කිරීමේ පටන් මුළු මහත් පරිගණක ජාලයකම දත්ත සැඟවීම දක්වා දේවල් තියෙනවා ලියනවා නම්..

        කොහොම වුණත් (අවදානමක් ඇරගෙන) වෘත්තීය ජීවිතේ මුහුණ දීපු එකම එක අත්දැකීමක් ලියල දාන්නම්.. වෙන මොකක් වත් නිසා නෙමෙයි මේක දැකල ආසාවේ බැරුවට.. 🙂

    • @තහනම් වචන

      මගේ ක්ෂේත්‍රයම නොවුනත් මමත් Cryptography ගැන ඉගෙන තියෙනවා ක්‍රමලේඛනය හා සම්බන්ද නිසා. අපි නම් block cipher කියලා කියන්නේ යම් දත්ත තොගයක් fixed length block වලට වෙන්කර encrypt කිරීමට. මම දන්න විදියට නම් slidex යනු block cipher එකක් නොවේ.

      • මේ ක්‍රමය යුද කටයුතු වලදී හදිසි කෙටි පණිවිඩ යැවීම සඳහා සාමාන්‍ය ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර හෝ දුරකථන මාර්ග වලින් කරන ලද එතරම් සංකීර්ණ යාන්ත්‍රණයක් නැති ක්‍රමයක්. හදිසියකදී සොල්දාදුවකුට වුනත් භාවිත කළහැකි ආකාරයටයි මෙපමණ සරල කර තිබෙන්නේ. මූලාශ්‍ර ලිපිවල තිබෙනවා මීටවඩා සංකීර්ණ ක්‍රම.

        ඔබේ වටිනා අදහස් ඉහලින්ම අගය කරනවා.

      • විශ්ව, බ්ලොක් සයිෆර වල ආකාර දෙකයි: fixed length සහ variable length. මේ කියන්නේ දෙවෙනි ආකාරය.. ඒ නිසා තමා code book කියන්නෙත්.. 🙂

  20. නිර්නාමික said:

    What a nice encryption system.

  21. අම්මෝ අපිත් ඕවා ඉගෙන ගත්තානේ ඩිගිරියට…ඉන්ටනෙට් ඇන්ඩ් සිස්ටම් සෙකියුරිටි. හැබැයි ආසා හිතෙන සජ්බෙක්ට් එක….පූරුවේ වාසනාවට බී ගෙන නැවතුනා. මම නම් රිසල්ට්ස් එනකම්ම හිතාගෙන හිටියේ නාගෙන නවතින්න වෙයි කියලා. හ්ම්ම්…සීසර් ගොයියත් යුද්ධෙදි ඕව්වා පාවිච්චි කරලා තියෙනවානේ… ඒකටත් මිනිහගේ නම දාගත්තෙ මිනිහමද දන්නෙ නෑ….

    • ‘බී’ගෙන හරි ‘නා’ගෙන හරි වැඩේ ගොඩ දාගත්තනම් කාටද ආඩම්බර. අපි මෙව්වා ඉගෙනගත්තේ ‘හමුදා භාෂාවේ’ හොඳම ‘සමන්වාගැනීම්’ අහගනිමින් 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: