විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  man-hates-ironing_1මේ බ්ලොග් අඩවිය හා සමගාමීව ‘අසමි දකිමි සොයමි’ නමින්ම, බ්ලොගර් බ්ලොග් අඩවියක්, අත්හදා බැලීමේ මට්ටමෙන් මා සකසා තිබෙනවා. මෙන්න එහි ලිපිනය. http://wicharaka.blogspot.com

ඒ පිලිබඳ ඔබේ අදහස් ඒ අඩවියේදී දක්වනමෙන් ඉල්ලනවා.

දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය අඳින කමිස සහ කලිසම් වලින් බොහොමයක්, නොමැද ඇන්දොත්, අවලස්සන පෙණුමක් එන බවත් රහසක් නෙවෙයි. ‘අනේ ඔන්න ඔහේ ඕනේ එ(පු)කක් කවුරු බලන්නද කවුරු දකින්නද’ කියලා අඳින අයත් ඉන්නවා. නමුත් කාර්යාල සේවයේ යෙදෙන අයට එහෙම ආවට ගියාට ඇඳුම් අඳින්න බැහැනේ. මැදිවිය පසුවූ බොහෝ දෙනෙක් ඇඳුම් ගැන එතරම් සැළකිලිමත් වෙන්නේ නැහැ. නමුත් දිනපතා ටයි එකක් අඳින/අඳින්නේ නැති එහෙත් තම බාහිර පෙනුම රැකියාව කෙරෙහි බලපාන ආකාරයේ රැකියාවක යෙදෙන අයටනම්, වයස කුමක් වුනත් ඇඳුමේ පෙණුම වැදගත් වෙනවා. සමහර වෘත්තීන්හි යෙදීසිටින අය, රැකියා ස්ථානයට ඇඳගෙන එන කලිසම් කමිස දැක්කම ‘අනේ අනිච්චං’ කියවෙන අවස්ථාත් තියනවා. මොකද ඒ අය දුප්පත් අය නෙවෙයි. නොසැළකිල්ල හෝ කම්මැලිකම නිසයි ඔවුන් අපිළිවෙලට ඇඳුම් අඳින්නේ. විශේෂයෙන්ම පිරිමි ගුරුවරුන් බොහොම කල්පනාකාරී වියයුතුයි සිසු දරුවන් ඉදිරියේ අඳින ඇඳුම්වල පෙණුම ගැන. ඇඳුමෙන් මිනිහෙක් මනින්නෑ කියලා කවුරු කොහොම කිව්වත්, යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය කෙරෙහි ඔහුගේ/ඇයගේ ඇඳුමෙන් කිසියම් බලපෑමක් එල්ල වෙනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  මහත්වරුන්ගේ කමිසයක් සහ දිග කලිසමක් කඩිනමින් සහ නිවැරදිව මැදගන්නේ කොහොමද යන්න කියාදෙන මෙන්, මට ඉල්ලීම් ආවේ, දැනට සෑහෙන කලකට ඉහතදී මා ලියන ලද,  සපත්තු පොලිෂ් කිරීම පිළිබඳ ලිපිය සහ ඉන පටියක් පැළඳීම ගැන ලියන ලද ලිපිය පළකිරීමෙන් පසුවයි. නමුත් අද තමයි ඒ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් වුනේ. ප්‍රමාදය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.

  රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහොමයක් ආයතනවල කාර්ය මණ්ඩලයේ ඇඳුම පිළිබඳව විශේෂ උපදෙස් අද කාලයේ ලැබෙනවා. මෙතනදී නෝනලාට නම් එච්චර කරදරයක් නැහැ. සාරි අඳින්න කියලා නියෝග කලත් ඒවා මැදලා අඳින ඇඳුම් වර්ගයක් නොවන නිසා, (වොයිල් වැනි සාරි මදින අයත් ඉන්නවා) ප්‍රශ්නයක් නැහැ. (කලකට ඉහත මා දැන සිටි පාසල් ගුරුවරියක් සිටියා සාරි 600 ක් හිමි. සාමාන්‍යයෙන් අහන්න දකින්න අමාරු දෙයක්. ඇය සතුව දොර තුනේ අල්මාරි තුනක් තිබුණාලු මේ සාරි තබන්න. ඇය කිසිවිටක එක සාරිය දෙවරක් අඳිනු දැක නැති බව ඒ ගුරුමණ්ඩලයේ සිටි ගුරුවරියන් මා සමග කියා තිබෙනවා. (ඒගොල්ලෝ කිව්වනම් ඇත්තම තමයි. මොකද එයාලා එච්චරම හොඳ ‘උනන්දුවීලා’ නේ. :D)

  නෝනලා මෙහෙම කරද්දී, මහත්තයලා තමයි අමාරුවේ වැටෙන්නේ, දිනපතා රාජකාරිය සඳහා අඳින කමිස කලිසම් මදින්න ගියාම. දැන් කාලේ තියන විදුලි ස්ත්‍රික්ක ක්‍රියාත්මක කලාම, විදුලි මීටරය කැරකෙන්නේ විදුලි පංකාවක් වගේ. මීටරයේ වීදුරු ආවරණය නැත්නම් විදුලි පංකාවක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 😀 😀  නෝනලා කෑගහනවා කරන්ට් එක යනවා වැඩියි කියලා. ඒ වගේම තමයි වැඩට යන්න පිටත් වුනාට පස්සේ, ආයේ මතක්වෙනවා ස්ත්‍රික්කය නිවා දැමුවාද නැද්ද කියලා. සංසාරේ එපා වෙන්නේ ඒ වෙලාවට. ඒ වගේමයි දැන් තියන සමහර රෙදි. පොඩ්ඩක් උෂ්ණත්වය වැඩියෙන් තියලා මැද්දොත් රෙද්ද උණුවෙලා ඇකිළිලා යනවා. අද කාලේ හොඳ කමිසයක කලිසමක මිල ඇහුවම අමුඩ ගහගෙන වැඩට යන්න හිතෙනවා. 😀 😀

  Charcoal_ironඅනේ අපේ පුංචි කාලේ ඇඳුම් මැද්දේ පොල්කටු අඟුරු දාන ‘ඉස්තිරික්කෙන්’ ඒ කාලේ අපි ඇඳපු ටොකටලිසම් (හමුදාවේ කොටකලිසම් නැහැ. තියෙන්නේ ටොකටලිසම් :D) එංගලන්තෙන් ගෙනාපු ඉස්තරම් ඩ්‍රිල් රෙද්දෙන් මහපුවා. පොල්කටු අඟුරු ඉස්තිරික්කේ එකසියගානට රත්කරලා මැද්දත් කිසිම පුරස්නයක් නැහැ අගේට මැදෙනවා. ඒ ස්ත්‍රික්කය හදලා තිබුනේ පිත්තලෙන් හෝ චීනච්චට්ටි නමැති මිශ්‍ර ලෝහයෙන්. කිලෝ 2 ක් විතර බරයි. 😀 ඒ කාලේ ලොන්ඩරිවල තිබුන පිත්තල ඉස්තිරික්ක, දැන් කාලේ තියන ත්‍රිරෝද රථයකට වඩා පොඩ්ඩයි පුංචි. 😀 පඳුරු තැලුවා කියලා හිතන්න එපා. මෙව්වා නොකියාම බැරි දේවල්නේ.

Iron

space 2

Ironing Lady

space 2

  හොඳයි දැන් බහිමුකො මාතෘකාවට. හැබෑටම මොකද මේ ඇඳුම් මැදිල්ල මේ තරම් මහා පුරස්නයක් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මහත්වරුනි, තමුන්නාන්සේලාගේ කම්මැලිකොමත් ටිකක් විතර (සමහරවිට හුඟක් විතර) බලපානවා ඔය ඇඳුම් මැදිල්ල මහා අවුලක් වීමට.  හොඳයි ඔන්න අපි පටන්ගන්නයි යන්නේ ඇඳුම් මැදිල්ල. මොනවද සම්පූර්ණ කරගතයුතු ප්‍රධාන කරුණු. ප්‍රධානම කරුණ ඉතිං මදින්න ඇඳුම් තියෙන්නේ එපායැ. ඒ කෙහෙම්මල් නෙවෙයි ඇඳුම් නැත්නම් රෙද්දද මදින්නේ. 😀 අම්මපා රෙද්දත් මදිනවා නේන්නම්. හරි මෙන්න මේකයි රෙදි මැදීම සඳහා ඔබෙන් සමහර අය විවිධ ආකාරයේ මතුපිටවල් පාවිච්චි කරනවා. නමුත් නිර්දේශිත හොඳම ක්‍රමය තමයි රෙදි මැදීමේ මේසයක් Ironing Table පාවිච්චි කිරීම. ගන්නකොට නිකම් ගින්දර වගේ මේසයක් ගන්න ඈ.

Sexy Girl Ironing

  ඉතිං ඔය කොහෙද බලන්නේ. මම කිව්වේ රෙදි මදින මේසය ගැන. හරියන්නෑ වැඩේ. මේ මේසේ අතෑරලා වෙන එකක් බලමු. ඇත්තටම මේ ඉහත රූපයේ තිබෙන ආකාරයේ රෙදි මදින මේස ඉතා අඩුමිලට ගන්න තියනවා. නමුත් එයින් බොහොමයක් කල්පැවතීම අතින් ඉතා දුර්වලයි.  එමෙන්ම රෙදි මදිනවිට මේසය එහා මෙහා පැද්දෙනවානම් එය එතරම් සුදුසු නැහැ. දුර්වල යකඩ පයිප්ප රාමුවක් මත, යන්තම් අටවන ලද ලෑල්ලක් සහිත එවැනි මේස, කිසිදු වැදගැම්මක් නැහැ. මේ පහත තියන පින්තූරයේ තියනවා හොද මේසයක්. නමුත් ඇත්තම කියනවනම් සමහරු කරන්නේ ගෙදර ටයිල් පොලොව මත ඝන රෙද්දක් එලා ඒ මත තබාගෙන ඇඳුම් මැදීමයි. මෙහිදී අධික ලෙස උෂ්ණත්වය අපතේ යනවා. ඔබ සාමාන්‍ය මේසයක් මත තබා ඇඳුම් මදින්නේනම් මෙන්න මේ වැඩේ කර බලන්න. ඔබ දන්නවා නේද, ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි. අන්න ඒ කොලයක් අරගෙන කඩදාසිය පැත්ත යටටත් ඊයම් කොලය පැත්ත උඩටත් සිටින සේ, එය මේසය මත එලා, ඉන්පසු තරමක් ඝන කපු රෙදි දෙකක් ඊයම් කොලය මත  එලා, ඇඳුම් මැදීම කරන්න. එවිට උෂ්ණත්වය අපතේ යාම බොහෝ දුරට අවම වෙනවා. විදුලි බිල අඩුවෙනවා. 

Aris-Wood-Ironing-Board

  ඊළඟට සළකා බලන්න ඕනේ, ඔබ පාවිච්චි කරන ස්ත්‍රික්කය මොනවගේ එකක්ද කියන කරුණ.මම කලින් සඳහන් කළ ආකාරයට, අපි කුඩා කාලයේදී තිබුන ඝන කපු රෙදි බොහොමයක් ඉතා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. නමුත් වර්තමානයේදී කෘතීම කෙඳි මිශ්‍ර ඇඳුම් තමයි බහුලව තිබෙන්නේ. ඒ නිසා ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා. ඔබ බොහෝ දෙනෙක් එය දන්නවා. නැවත මතක් කිරීමක් ලෙස සඳහන් කරන්නම්. අපි බලමු සාමාන්‍යයෙන් සෑම ඇඳුමකම පාහේ තියන ලේබලයක්.

carelabelමේ ලේබලයේ උපදෙස් සියල්ල වචන වලින් විස්තර කර තිබෙනවාට අමතරව සංකේතත් යොදලා තිබෙනවා. නමුත් සමහර ඇඳුම් වල තිබෙන්නේ සංකේත පමණයි. මේ නිසා මා හිතුවා සංකේත පිලිබඳ සවිස්තර සටහනක් ඔබට දෙන්න. පින්තූරය වෙනම ගෙන බලන්න.

gar0800ස්ත්‍රික්කයේ උෂ්ණත්වය පිලිබඳ ඇති සංකේත වලින් කෙරෙන විස්තර ඇතුලත් පින්තූර දෙකක් මීළඟට පෙන්වන්නම්.

consejos-lavado-6_en

space 2

chart

දැන් ඉතින් මේ ටික බලලා හාපෝ…………මේ මොන මගුලක්ද කියලා මේ පහල තියන පින්තූර වගේ වෙන්න එපා  😀  මේවා මහා විශාල සංකීර්ණ තොරතුරු නෙවෙයි. 

steam-dryers-eliminate-ironing-1

16522019-fed-up-housewife-sitting-amongst-her-clean-laundry-piled-on-the-ironing-board-daydreaming

හොඳයි. ඔන්න මෙතැන් සිට මම පින්තූර වලින්ම පියවරෙන් පියවර විස්තර කරනවා කොහොමද කමිසයක් සහ කලිසමක් මදින්නේ කියන එක. අපි මුලින්ම බලමු කොහොමද කමිසයක් මදින්නේ කියන එක. සමහරවිට ඔබ දීර්ඝ කාලයක් පුරුදුවී සිටින වෙනත් ක්‍රම ඇති. නමුත් මම කියන්නේ මම හමුදාවෙන් ඉගෙනගත් ක්‍රමයයි. මටනම් මේ ක්‍රමය හරි පහසුයි. 

1

space 2

2

space 2

3

space 2

4

space 2

5

space 2

6

  කමිස මැදීම පිලිබඳ වීඩියෝ යූ ටියුබ් එකේ තියනවා. නමුත් මම ඒවා මෙතනට නොදාන්නේ ඔබේ කාලය ඉතිරි කරන්නයි.  අපි ඉක්මනින්ම යමු නේද කලිසමක් මැදගන්න. උඩ කෑල්ල මැදලා යට කෑල්ල නොමැද අඳින්න බැහැනේ. එහෙම වුනොත් මෙන්න මෙහෙම කරගන්න තමයි වෙන්නේ. 😀 😀

Head_up_ass_zpsbb559eb7

  කලිසම මැදීමනම් කමිසය මැදීම තරම් සංකීර්ණ නැහැ. නමුත් කලිසමේ ඉදිරිපස තිබෙන ප්ලීට්ස් නිවැරදිව මැදගැනීමට නම් හොඳින් පැතලිව තබා ප්ලීට් එකේ නියමිත දිග පමණක් මැදිය යුතුයි. මෙන්න ඒ පිලිබඳ පින්තූර.

T1

space 2

T2

space 2

T3

space 2

T4

T5

  මීට වඩා විස්තර කලයුතු දේ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මෙතෙකින් අවසන් කරනවා. ප්‍රශ්න අසා තවත් කරුණු තහවුරු කරගන්න පුළුවන් නේ? ලිපිය දිගයි වගේ පෙනුනත් ඇත්තටම වචන 1000 කට ටිකක් වැඩියෙන් තියෙන්නේ.

සියළුම පින්තූර Google Images වෙතිනි

my-signature-for-blog[1]

2013 නොවැම්බර් මස 12 වැනි දින 2336 පැය

Advertisements

Comments on: "ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ – Ironing Your Cloth" (77)

  1. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි පෝස්ට් එකක්. අම්මෝ අර කියපු එක්කෙනාගේ මහත්තයා සාරි කඩ කාරයෙක්ද

    • කල් දම දමා හිටිය ලිපියක්. අන්තිමට ලිව්වා. අර ටීචර්ගේ මහත්තයා මැද පෙරදිගලු වැඩ කරන්නේ.

      • අටම් සහ විචාරක…….මගේ වයිෆ්ට තිබුනා සාරී දෙසීය ගානක්. ඉංදියාවේ ඉන්න කාලේ ඉඳලා එකතු කරගත්ත එව්වා. බොහොමයක් ඉංඩියන් කොට්න් සාරීස්..මේකත් ටයි එකතු කරනවා වගේ එක්තරා කතන්දරයක්…මගේ ගාව තියෙනවා ජොක්කු 40-50ක් විතර. එක එක කතන්දර. ඉස්කෝලේ යනකාලේ 2-3යි තිබුනේ.

        • පොහ්…………….ජොක්කු 50 ක් තියනවානම් අම්මපා අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් වෙන්න ඕනෑ. 😀 මම ඉස්කෝලේ යන කාලේ ඇන්දේ අර වවුලා කියන වර්ගය. අම්මා මහලා දෙන්නේ.

      • ඇත්තටම විචාරක මෙහේ තියෙන්නේ හයේ දහයේ ලාබෙට මල්ටිපැක්ස් නිසා, නිකම්ම එකතුවෙනවා.

  2. ඇදුම් මදින එක නම් ඇත්තටම එපාම කරපු වැඩක්,,ඒත් එක සැරේ සෙට් එකම මැදගෙන තියා ගන්නවා,,,මේ දවස් වල අපිට නම් සීත කාලෙ නිසා,,ඇදුම් මදින රාජකාරිය ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ

  3. මටත් සමහර වෙලාවට එපාම වෙන දෙයක් තමයි මැදිල්ල.. ඒකත් වෙලාවක් නැතිම කොට..

  4. විචාරක තුමා කලිසම් මදින්කොට පුළුවන් තරම් කනපිට හරවලා මැදගන්න …. ඊට පස්සේ යන්තන් හොද පිට ” ෆිනිෂ් ” කරගන්ඩ ඒ කිව්වේ පොඩි නිමාවක් දෙන්න … මොකද හොද කපු වගේ නෙවේ දැන් තියන රෙදි අයන් කරනකොට පිච්චෙන ගතියක් එනවා .. පොඩි දිලිසෙන ගතියක් එනවා ..
    දැන් තියන කලිසම් ප්ලිට්ස් / ක්‍රිස් නැති නිසා මේ ක්‍රමය වඩා හොදයි .. ඇදුම් කාලයක් වැඩිපුර පාවිච්චි කරන්ඩ පුළුවන් .
    කමිස උනත් මුලින්ම කනපිට හරවල මැදගෙන පසුව හොද පැත්ත යන්තම් මැදගත්තනං ඇති …
    කොහොමත් ටි ෂර්ට් ඩෙනිම් අයන් කරන්නනේ නෑ නේ … ඒ නිසා මං වැඩිපුර අදින්නේ ඒවා … හෝදලා රැලි ඇරලා පොඩි වෙන්නේ නැතුව නවලා තිබ්බනං අයන් කරන්ඩ ඕනි නෑ ..
    මාත් පොඩි කලේ අපේ ගෙදර කරන්ට් තිබ්බේ නෑ මුල්ම කාලේ අපි මැද්දේත් පොල් කටු අගුරු දාපු පිත්තල ස්තිරික්කේ … !!
    අපේ අම්මලා නං පොඩි කලේ මදිනවා වෙනුවට හෝදපු ඇදුම් දිග ඇරලා ඇද රෙද්ද යටින් තියනවලු එතකොට පහු වෙනිදා අයන් කළා වගේම ලු …..

    • ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

      වාෂ්ප ස්ත්‍රික්කයකදී අර කලිසම් වලට එන දිලිසීම නැතිවෙනවා. ඒ වගේමයි උෂ්ණත්වය පාලනය කලාමත් ඒ දිලිසීම නැතිව මදගන්න පුළුවන්. කණපිට හරවලා මදින එක හොඳයි. හැබැයි ‘ඩබල් ක්රීස්’ වදින එක වළක්වාගන්න විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි. ඩබල් ක්රීස් වැදුනොත් එක වැඩේ දෙක වෙනවා ආපහු හොඳ පිට මදින්න වෙන නිසා.

      මමත් 5 – 6 වගේ පන්තිවල ඉන්නකොට හෝදපු ඇඳුම් කොට්ටේ යට තියලා උදේට ඇඳගෙන ගිහින් තියනවා.

    • අයන් කරන්න ගොඩ වෙලාවක් යන්නෙ ඇඳුම් හේදුවට පස්සෙ වතුර යන්න තදින් මිරිකන නිසා. එහෙම නැතුව වතුර බේරෙන්න තියෙනවනං ඇඳුං පොඩිවෙනව අඩු නිසා මදින්න ලේසියි.

      • ඇඳුම් මිරිකීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. උපදෙස් ලේබල් වල තියනවා මිරිකන්න එපා කියලා.

      • //විචාරක තුමා කලිසම් මදින්කොට පුළුවන් තරම් කනපිට හරවලා මැදගන්න // ඇඟලුම් කම්හලක වැඩකරන මගේ මිත්‍රයෙකුත් කලිසම් මදින්නේම කනපිට හරවලා. හොඳපිට අයන් කරාම පාට පිච්චෙනවලු.

        //අයන් කරන්න ගොඩ වෙලාවක් යන්නෙ ඇඳුම් හේදුවට පස්සෙ වතුර යන්න තදින් මිරිකන නිසා.// මමත් මිරිකනවා උපරිම. කලිසම් එහෙම පාගගෙන අඹරනවාත් එක්ක වතුර යවන්න.

        //ඇඳුම් මිරිකීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.//
        ඒත් හොඳට වතුර ඉවත්නොවී වේලුනොත් වේලුනාට පස්සෙ ගඳක් එනවා නේද?

        • පාට පිච්චෙන්නේ , දිලිසීම් ඇතිවෙන්නේ, ඒ රෙද්දට නියමිත උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකින් මැදීමෙන්. මමනම් කවදාවත් කණපිට හරවලා මදින්නේ නැහැ. එහෙම නොකලා කියලා අරවගේ ප්‍රශ්න ඇතිවෙලත් නැහැ.

          ඇඳුමක් තදින් මිරිකුවොත්, මැහුම් ඇදවීම, ඉරීම, රෙද්දේ දිග අතට සහ හරස් අතට තිබෙන නූල් වියමනේ වෙනස්වීම් නිසා ඇඳුම විකෘතිවීම ඇතිවෙන්න පුළුවන්. රෙදි සොදනවිට එක වරක් විතරක් අවසාන සේදීම කරලා මදි. පිරිසිදු වතුරෙන් දෙවරක්වත් සෝදන්න ඕනේ. සමහරු කම්මැලි කමට සහ විදුලිය ඉතිරි කරගන්න රෙදි සෝදන යන්ත්‍රයේ වතුර මාරු නොකර සෝදනවා. (අර්ධ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර)

  5. හපෝ.. අයන් කිරිල්ල නං එපාම කරපු වැඩක්… අපේ මහත්තයා හිටපු ගමන් ටී ෂර්ටුත් අයන් කරනවා.. මට විකාරයි ඕක මුලදි… මං ඇඳුං ගනිද්දි මුලින්ම බලන්නෙ අයන් කරන්න ඕනෙ නැති විදියෙ ඇඳුම් තියෙනවද කියල ඉස්සර… අනිත් එක ඉතිං කෝකටත් තෛලෙ වගේ මට ඒ කාලේ තිබ්බෙ කලිසමයි ටී ෂර්ට් දෙකයි ජොබ් එකට යන්න පටන් ගන්නකම්ම … ඊට පස්සෙත් කලිසම් අයන් කරලා දුන්නෙ අපේ මලයා…. හි හි….

    ඔය කඩේ තියෙන අයන් බෝඩි තියෙනවනේ.. මට පේන්න බැරි ජාතියක්… ඕවා පොඩි වැඩි නිසා අපේ අම්ම අයන් කබඩ් එකක්ම හදා ගත්තා ටිකක් ලොකුවට… අපේ මහත්තයත් එයාගේ අක්කා ජොබ් කරන්න පටන් ගත්තම ටිකක් ලොකුවට බෝඩ් එක තියෙන අයන් ‌බෝඩ් එකක් හදලා දීලා තියෙනවා … අර පොඩි බෝඩ් එකේ සාරි එහෙම අයන් කරන්න ගියාම එපා වෙනව…

    අපි දෙන්නට නං අයන් බෝඩ් එකක් නෑ… ‌MDF බෝඩ් වලින් පොඩි ටීපෝ එකක් වගේ එකක් හැදුවා වෙන වැඩකට.. දැං ඒක තමයි අයන් කරන්න පාවිච්චි කරන්නෙ.. ඒකත් අපේ මහත්තයා වැඩට යන්න යුනිෆොම් අයන් කරන්න විතරයි ඉතිං.. අපේ මහත්තයත් කොහෙන් හරි හමුදාවෙ ක්‍රමේ ඉගෙන ගෙන තියෙනව.. එයත් කලිසම් කමිස අයන් කරන්නෙ ඔය ක්‍රමේට…. මට කවදාවත් හරියට ෆ්ලීට් තියන්න බෑ කියලා මං නං මාරු වෙනවා ෂේප් එකේ… හි හි

    • මමත් ටී ෂර්ට් මදින්නෙක් තමයි. පොලට යන්න වුනත් මම ඇඳුම් මැදලා අඳිනකොට අපේ උන්දැ අහනවා පොලේ ඉන්න ගෑණු බලන්නේ නෑ ඔහොම හොඳයි කියලා. 😀

      දැන් කඩවල්වල තියන බොහොමයක් අයන් බෝඩ් ‘බල්ලා මාක්’ 😀 කිසි කමකට නැහැ. අපිම හදාගන්න එක හෝ වඩුමඩුවකට කියලා හදාගන්න එක හොඳයි.

      ස්තුතියි මහන්සියෙන් කළ දීර්ඝ අදහස් දැක්වීම ගැන.

  6. දැන් තියන රෙඩිමේඩ් කපු කලිසම් නං මදින්න ඕන නෑ. ඒක නෙවේ බ්ලොගර් වලට මාරුවෙමුද?

    • දැන් තියන කලිසම් බොහොමයක් පොඩිවෙනවා අඩුයි.

      බ්ලොගර් වලට මාරුවීම සඳහා උත්සාහයක් දරුවා. තාක්ෂණික දෝෂ මතුවීමෙන් එය වැලකුනා. මගේ අත්හදා බැලීමේ අඩවියත් තවම නිසි පරිදි අප්ඩේට් වෙන්නේ නැහැ ඒ ප්‍රශ්න විසඳුන ගමන් බ්ලොගර් වලට එනවා.

  7. අපොයි කියල වැඩක් නෑ ඔය මැදිල්ලනං. මටනං කලිසං මැදිල්ල තමයි එපාම කරන වැඩේ. එතකොට හිතෙනව සරං අඳින එක කොච්චර ලේසිද කියල. 😀

  8. ඔහොම මැදගෙන මැදගෙන ගිහින් අයන් එකේ යට පැත්ත කලු වුනාම පැනඩෝල් පෙත්තකින් කරන්න පුලුවන් දේ ඉන්ද්‍රනාම මේ ලඟදි කියලා තිබුනා මෙතන.
    http://indranama.net/clean-your-iron/

    • හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි හෙන්රි. ලපටි කෙසෙල් කොලයක් මැද්දමත්, ඔය ප්‍රශ්නය විසඳෙනවා.

      හැබැයි ස්ත්‍රික්කයේ කුණු බැඳෙන්නේ නිසි පරිදි වියලී නැති රෙදි, දින දෙක තුනක් අඳින ලද දහඩිය සහ කුණු සහිත රෙදි, අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදෙන රෙදි, මැදීමෙන්.

  9. ලංකාවෙ ඉන්න කාලෙ නම් ගෙදර කාට හරි වැඩේ පවරනවා…එත් ඉතිං දැන් ඒවා ඔට්ටු නෑනෙ…තමන්ගෙ වැඩ තමන්ම කරගත යුතු නිසා මම රැකියාවට යන්න සූදානම් වෙන්න පමණයි උදේ වරුව තියාගෙන ඉන්නෙ…අනිත් හැම දෙයක්ම රාත්‍රියෙම අවසන් කරලා බ්ලොග් දෙකක් තුනකුත් කියවනවා…එදිනෙදා වැඩ එදිනෙදාම අවසන් කලාම කොච්චර පහසුද…සති අග විවේකයෙන් ඉන්න පුලුවන්…හමුදා වල අය තමයි ලස්සනටම ක්‍රීස් එක තියනවා මම දැකලා තියෙන්නෙ…

    • වැඩියෙන්ම ඇඳුම් මදින්නේත්, වැඩියෙන්ම ඇඳුම් මදින්න කම්මැලිත් පිරිමි තමයි. ඒත් ඉතින් කොහොමහරි කරන්නත් එපායැ. බොහොම දෙනෙක් හිතන්නේ නැහැ සිටා තමන්ගේ වැඩ ටික නිසි වෙලාවට නිසි පිළිවෙලට කලාම නිකම්ම විවේකයකුත් ලැබෙනවා කියන එක. හමුදා පුහුණුව තුල ඇඳුම් මදීමත් තියනවා. එය සාමාන්‍ය ජීවිතයටත් ප්‍රයෝජනවත්.

  10. මෙය මටනම් ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් විචාරක තුමා.ඇඳුම් මැදීම පියවරෙන් පියවරට විස්තර කර තියෙන හැටි නිසා බලාගන්න හරිම පහසුයි.හොඳ ඉදිරිපත් කිරීමක්.

  11. 1. අපේ ගෙදරත් තියෙනවා පරණ පොල්කටු අඟුරු ඉස්ත්‍රික්කයක්. ඒකෙ අගේ තේරෙන්නෙ විදුලිය විසන්ධි වෙලා තියෙන වෙලාවක හදිසියේ ඇඳුම් අයන් කරන්න උනාම. ඇත්තම කියනවා නම් විද්‍යුත් එකට වඩා ඒකෙන් ඇඳුම් හොඳට මැදෙනවා. ඒවගේම මැදපු ඇඳුම්වලින් එන පොල්කටු සුවඳටත් මම ආසයි. ඒත් ඉතින් පොල්කටු හොය හොය ඉන්නයි පත්තු කරන්නයි තියෙන කරදරේ හින්දා ඒක පාවිච්චි වෙන්නේම නෑ.

    2.//ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි.// මේ කියන්නෙ අර කොළයක් 10යි කිය කිය ගෙවල් ගානෙ විකුනන්න ගේන තේ කොළ පෙට්ටි කඩදාසි ගැන.

    3. //ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා.// මම් කවදාවත් බලලා නෑ. අයන් එක උපර්ම කරකවලා තියෙන්නෙ හැම තිස්සෙම.

    4. කලිසමක් අයන් කරන උපදෙස් වල ‘සාක්කු තුනම මේ විදිහට මදින්න ‘ කියන එක තේරුනේ නෑනෙ. ඒ මදින්නෙ ඇතුළට තියෙන කෑලිද?

    5. සමහර අය අයන් කරද්දි රෙද්ද උඩට වතුර ඉහිනවා දැකලා තියෙනවා. වාශ්ප අයන් එකෙන් ඒක ඉබේම වෙනවනෙ. වාශ්ප ස්ත්‍රික්කයේත් සාමාන්‍ය ඉස්ත්‍රික්කයකත් වාසි අවාසි කිව්වොත්?

    6. අද උදෙත් අයන් බෝඩ් එකක් ගන්න කතා වුනා. ඒත් වෙළඳපොළේ තියෙන නමට අයන් බෝඩ් ශුවර් නෑනෙ.

    7. මම අහලා තියෙනවා ස්ත්‍රික්කය නිතරම යකඩ තහඩුවක් උඩ මුනින් අතට නමලා තියන්න කියලා. එතකොට සිදුවන තාප හානිය අවමයිලු.

    8. නිතරම අයන් කිරීමෙන් ඇඳුම්වල ආයු කාලයට බලපෑමක් වෙනවද?

    ස්තුතියි ලිපියට. මගේ ක්‍රමේ වෙනස් කරන්නම්කො.

    • 1. අන්න දැක්කා නේද පොල්කටු අඟුරු ඉස්තිරික්කේ අගේ. ඇයි ගෙදර ගාන පොල්වල කටු ඔක්කොම ලිපට දානවද? ටිකක් අල්මාරියේ දාලා අරන් තියන්න හදිසියකට ගන්න. 😀

      2. හරියට හරි ඒවා තමා.

      3. දැනට පුච්චගෙන තියන ඇඳුම් ගණන කීයද?

      4. ඔව් ඔව් කලිසම කණපිට හරවලා සාක්කුවේ තියන අර සුදුපාර රෙදි මල්ල පැතලියට තියලා මදින්න.

      5. සාමාන්‍ය ස්ත්‍රික්කය Dry Iron වියලි සහ සැර උෂ්ණත්වයක් දෙන්නේ. සීත රටවලට වඩාත් යෝග්‍යයි. ඝන රෙදි මැදීමට වඩාත් සුදුසුයි. වාෂ්ප ස්ත්‍රික්කය Steam Iron එකෙන් වාෂ්ප විදින නිසා සිනිඳු රෙදි, රැලි වැටෙන රෙදි, මැදගැනීමට වඩාත් යෝග්‍යයි.

      6. වෙළඳපොලේ 99% ක් ම තියෙන්නේ බාල බඩු. Iron Cupboard කියලා එකක් තියනවා ලීයෙන් හදන. ඒවා හොඳින් තෝරා නියම ලීයෙන් හැදු එකක් ගන්න. MDF ඒවා ගන්න එපා, දිරනවා ඉක්මනටම.

      7. දැන් තියන සමහර විදුලි ස්ත්‍රික්කවල පතුලේ විශේෂ ආලේපයක් ගාලා තියෙන්නේ. එය ලෝහමය ද්‍රව්‍යයක ඇතිල්ලුනොත් සීරෙනවා. නැවත ආලේප කරන්න බැහැ. එතකොට රෙදි ස්ත්‍රික්කයට ඇලෙන්න පටන් ගන්නවා. ස්ත්‍රික්කය කෙලින් upright අතට සිටුවා තබන්න. ස්ත්‍රික්කයේ ඇති ස්වයංක්‍රීය තාප පාලකයෙන් ස්ත්‍රික්කය වරින් වර නිවා දමන නිසා තාප හානිය අඩුයි.

      8. අපොයි ඔව්. ආයු කාලය අඩුවෙනවා.

      ස්තුතියි ප්‍රශ්න වලට. සතුටුයි ආකල්පමය වෙනසක් ඇතිවීම ගැන.

      • පිළිතුරුවලට ස්තුතියි.

        3. එකක්වත් නැත.

        4. ඒක මොකටද අයන් කරන්නෙ? ඒක ඇතුලට යනවනෙ.

        • සාක්කුව ගුලිවෙලා තිබුනොත් කලිසම මදිනකොට එතන හරියට මැදෙන්නේ නැහැ.

          • ///ඒක මොකටද අයන් කරන්නෙ? ඒක ඇතුලට යනවනෙ.///

            මමත් මුලින් මෙහෙම තමයි හිතුවෙ!! ඒත් මං තනියම කලිසං මැදගන්න පටන් ගත්තට පස්සෙ තේරුණා,

            //සාක්කුව ගුලිවෙලා තිබුනොත් කලිසම මදිනකොට එතන හරියට මැදෙන්නේ නැහැ.//

            කියලා. ඒ නිසා, මටත් හැමදාම සාක්කු මැදලා කලිසම මදින්න වුණා!!

  12. විචාරක……බ්ලොග් ලෝකයේ ලිපිවලින් කියවපු රසවත්ම ලිපියක්…කමිස සහ කලිසම් මැදීම සීයට සීයක් නිවැරදිව කියලා තියෙනවා.. මම ඕවා හරියටම දැණගත්තේ බ්‍රිටිශ් ආමි ජෙනරල්ලා ගෙන්. මේක කියවනකොට ඒ කාලේට ගියා. දන්නවානේ ජෙනරල්ලාගේ හැටි.

    මේ ඉන්න පලාතේ කමිසනම් මැදලා වැඩකුත් නැහැ. සීතලට ඊට උඩින් තව දෙකක් වත් අඳින්න වෙන නිසා. කරුමේ තමයි.

    • මා හිතනවා ඔය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් ඔබට එදිනෙදා ජීවිතය වඩාත් කාර්යක්ෂම කරගන්න බොහෝ ආදර්ශ ලැබෙන්න ඇති කියලා.

      හමුදාවට පින්සිද්ද වෙන්න තමයි මමත් මේ ‘මදින කෙළිය’ ඉගෙනගත්තේ 😀

      ස්තුතියි ලිපිය ඇගයීම ගැන. ‘සීතල රටේ…………මීදුම වැටේ’………කියලා සින්දුවක් කියාගෙන ඉන්න. 😀

      • ///////මා හිතනවා ඔය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් ඔබට එදිනෙදා ජීවිතය වඩාත් කාර්යක්ෂම කරගන්න බොහෝ ආදර්ශ ලැබෙන්න ඇති කියලා.///////

        සහතිකෙන්ම ….ජීවිතේ එක් සංධිස්ථානයක් සහ හැරවුමක්.

  13. ඉතාම වැදගත් ලිපයක් විචාරක..මේ මහන්සිය අගය කරනවා හදවතින්ම. මේක ඇවිල්ලා යට ඇඳුමේ ඉඳලා හදලා ගන්න වුනු රටක්..ඒ නිසා මෙවැනි ලිපි ඉතාම වටිනවා.

    බ්ලොගර් වලට පැමිණීම ගැන සුබ පතනවා … එහෙත්

    • අර එහෙත් කිව්වහම මට බයක් ඇතිවුනා. ඇයි මොනවහරි වැරදිලාද මට?

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      • Google සමාගම හිතුන හැටියෙම ඔවුන්ගේ සෙවා අත්හිටුවනවා, මම නම් අනුමත කරන්නෙ නැ එ් නිසා මාරු වීම.
        අනෙක ලිපිනය වෙනස් වෙන එක පාඨකයන්ට කරදරයක්.
        ඔබගේ ලිපි වලට අැති වෙනත් අයගේ සැබැදි අක්‍රිය වීමත් සිදු වෙනව නේ.

  14. ෂර්ට් එකනම් මදිනවා නැත්තන් මාට්ටු වෙන නිසා, කලිසම් නම් ජීවිතේට මදින්නේ නෑ. මටනම් මල පනින වැඩේ ඇඳුම් මදින එක.

  15. විචාරක තුමාගේ මහන්සිය කාලය ගැන නම් පුදුම හිතෙනවා.මෙය කාටත් ප්‍රයෝජනවත් ලිපියක් වනවා නියතයි.
    ඒ වගේම අතර මැද විහිළු කතාත් පට්ට.
    අබ්බෝ….ආයේ නම් තනි ඇහෙන බලද්දී හැංගෙනවා :).

    • ස්තුතියි ඇගයීම ගැන කෙන්ජි. මම හිතන්නේ හයමාසේකට වඩා පරණ ඉල්ලීමක් මම ඉටු කලේ.

      සන්ග්ලාස් දාලා ඇහැක් ගහලා බලන්න එතකොට අරවගේ වෙන්නේ නැහැ. 😀

  16. මාත් අයන් කරන්න නම් කම්මැලියි. හැබැයි සමහරක් වෙලාවට පසුතැවෙන්නත් වෙලා තියනවා එහෙම යන් කරගන්නේ නැතුව ගමනක් ගිහිල්ලා

  17. අපි නම් රැවටෙයි මේ කතාවලට. අහවලා එයාගේ ඇඳුම් මැදගත්තාවේ. ඔය පිරිමි ඇඳුම් මැදලා පුරුදු වෙන්ට නරකයි. 😀

  18. මමත් මේ රෙදි මැදිල්ල ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ. දැන් ඒ බරෙන් නිදහස්. අයන් බෝඩ් එකක් වෙනුවට අපිත් හදලා තියෙනවා ලොකු මේසයක්. යටිං ස්පොන්ජ් දාලා. ඇති තරම් ඉඩ තියෙනවා. එහෙම පළල වැඩි එකකින් ගත වෙන කාලය අවම කර ගන්න පුළුවන්. හෙල්ලෙන්නේ පැද්දේන්නේ නැති නිසා පහසුයි. මම ටේලර් කෙනෙක් සමග එක කාමරයේ ජීවත් වුණ නිසා මැදිල්ල හොඳට ඉගෙන ගත්තා. අර කලිසම මදිද්දී ටේලර් ලාගේ ක්‍රමය තමයි හරි. දෙපැත්තේ මැහුම් දෙක එක තැනකට සමපාත වෙන්න ඕනේ. කලිසමේ එක කකුල හතරට නවලා එකයි මදින්නේ (කකුල් දෙක එක පිට එක නොතබා). අර ඇලෙන වගේ ස්ටිකර් දැන් තියෙනවනේ. ඒවා මතුපිට ලෙන්ක්සුවක් තියලා අයන් කරන්න පුළුවන්. මම මැලේසියාවෙන් ගත්තා තනිකර ස්ටීම් අයන් එකක්. සාරි, සිල්ක් වගේ ඒවා මදින්න හොඳයි. ඇලෙන්නේ නෑ. ඒක විකුනපු කොල්ලා ෂොපින් බෑග් එකකුත් අයන් කරලා පෙන්නුවා. යන් කිරීම වගේම අඳින කං නිසි පිළිවෙලකට තබා ගැනීමත් වැදගත්.

    හොඳ ලිපියක්. ඌන පූර්ණයක් විදියට මේ ටික එකතු කලේ. මමත් ලේබල් හොඳට කියවනවා. ඒ වගේම අයන් එක අඩු වැඩි කර ගන්නවා මදින වෙලාවට. මේවා අයන් කිරීමේ පිලිවෙලකුත් තියෙනවා නේද ? සිල්ක් වලින් පටන් අරං ලිනන් දක්වා.

    • රෙදි මැදිල්ල වගේම තමයි අයන් කියන වචනය ටයිප් කලාම වදින්නේ යන් කියන අකුරු දෙක විතරයි. මම මේ ලිපිය ලියද්දිත් එහෙම වුනා. බලන්න ඔයාගෙත් විශ්ව රංගනාත්ගේත් Black Puma ගේත් කමෙන්ට් වල එහෙම වෙලා තියනවා. මට වෙලාවකට තරහක් මෙන්ම දුකක්ද ඇතිවෙනවා කොච්චර යුනිකෝඩ් වර්ග තිබුනත් අපිට තවම සම්පූර්ණ නිදහස් ක්‍රමයක් නැහැ.

      මේ ලිපිය ඔයා ලිව්වනම් අර ටේලර්ගේ කෑලි ටිකක් එහෙම ලියන්න තිබුනා නේද? මම හිතන්නේ නැහැ ඔයත් ලිපියක් ලිව්වා කියලා වැරද්දක් වෙයි කියලා. ඒ නිසා ලියන්න.

      ඇත්තටම රෙදි මැදීම කලාවක්. අපි බොහෝවිට ඉස්තිරික්කෙන් දඩ බඩ ගාලා රෙදි තලන එකයි කරන්නේ 😀

      පොහ්……….ෂොපින් බෑග් මදින්නත් පුලුවන්නම් ඒක සුපිරිම අයන් එකක් වෙන්න ඕනේ.

      ස්තුතියි ඇගයීම ගැන.

      • කලිසමේ එක කකුල හතරට නවලා එකයි මදින්නේ

        therune na e tika.

      • ///මට වෙලාවකට තරහක් මෙන්ම දුකක්ද ඇතිවෙනවා කොච්චර යුනිකෝඩ් වර්ග තිබුනත් අපිට තවම සම්පූර්ණ නිදහස් ක්‍රමයක් නැහැ.///
        ජනේල අට අැතුළේ ම එන සිංහල යුනිකෝඩ් නං ගැටලුවක් නෑ වගේ!! හැබැයි “IME” වගේ යුනිකෝඩ්-සහායක ස්ථාපනය කලාම නං වැඩේ වණ වෙනවා. අමුවෙං ම කොටන්න ඕනි.

        මං දැනට කොටපු යුනිකෝඩ් වලිං, මට නං හොඳම එක ඒ Language Pack එක විතරයි!!

  19. @හරී,

    //මමත් මිරිකනවා උපරිම. කලිසම් එහෙම පාගගෙන අඹරනවාත් එක්ක වතුර යවන්න.//

    අනේ පව් කලිසම… 🙂

    ඔය විදියට පාගලා මිරිකනකොට තරහා කාරයෙක් ගැන හිතට අරගෙන ඔය වැඩේ කලාම සාර්ථක වෙනවලු. විචාරක ඒ ටික කියලා දීලා නෑ… 😀

  20. බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස මිනිසුන් නොමදින ඇඳුම් වර්ග වලට හුරු වුවොත් කොතරම් විදුලියක් ඉතිරි වේද.
    වොෂින් මැෂින් එකේ මිරිකුණ පසු හැන්ගර් එක්ක දාලා වේලනවා නම් යන් කිරීම බොහෝ පහසුයි. මම ඩෙනිම් සහ කමීස යන් කරන්නේ කණපිට නැවුම් ඇති තැන පසුව හොඳ පිට මදිනවා.

    • නැනෝ තාක්ෂණයෙන් අනාගතයේදී නොමදින මෙන්ම නොසෝදන ඇඳුම් වුනත් එන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඩෙනිම් මදින අය බොහොම අඩුයි. නමුත් සමහ ඩෙනිම් මදිනවානම් ලස්සනයි.

  21. අපේ ගෙදර රෙදි මැදිල්ල ගොඩක් කලේ කරන්නේ මමයි.. කැමැත්තකට නෙවෙයි..
    කාලෙ ඉතිරි කරන්න. ගමනක් යන්න්න ඕනෙ උනාමයි මැදිල්ල මතක් වෙන්නේ. ඔන්න එතකොට හාමිනේ මදින්න ගත්තොත් ගමන වෙලාවට යන්න බෑ. මං මදින්නෙ එයාගෙ එව්වත්.. එතකොට කෙල්ලයි කොල්ලයි ඉස්කෝලෙ අඳින එව්ව්ත් මදින්න එපායැ. තමුන්ට හොඳටම මැදගන්න පුළුවන් කාලෙත් කෙල්ල මං මදින තැනට ගෙනල්ල එයාගෙ එව්ව අතාරින්නෙ..
    “තාත්ති මදිනවනෙ හොඳට”
    කියල බොරු බටර් පාරක් එක්කයි. හාමිනේ එකක් ගෙනල්ල මදින්න හදනකොට මං ගන්නවා. එතකොට එයා බයයි මං ඕක පුච්චයි කියලා. කවදාවත් නූනත් විස්වාස නෑ.

    ” අනේ තදකරල මදින්න එපා. නිකං උඩින් තියල තියල ගන්න.. ඒ ඇති.”
    .එයා කියනවා.
    “මොන පිස්සුවටද දැං උඩින් උඩින් තියල තියල ගන්නේ ? කාට බයේද ?”
    කිව්ව්වම රවල යනවා හිනාව තද කරගෙන..

    • අම්මපා සරත් බලනකොට මෙවුන් ඔක්කොම එකනෙ. අපේ ගෙදරත් වෙන්නේ ඔයටිකමයි.

      අපේ ගෙදර කියන්නේ ‘මේ ඔය මගේ බ්ලවුස් එකේ ඉස්සරහ පැත්ත තද කරලා මදින්න එපා යන්තම් අල්ලන්න’ කියලා. මම කියනවා ‘ඔය වැටකොළු වල දැන් මොනවා අල්ලන්නද’ කියලා. අප්පා මූණ කොරහක් විතර වෙනවා.

  22. මට නම් ඇඳුම් මදිනවා කියන්නෙ මහා එපාම කරපු වැඩක්. මා ගාව තියෙන්නෙත් මදින්න ඕන නැති ඒවා තමයි වැඩිපුර. එත් දහම් පාසලට යනකොට නම් පිළිවෙලට මැදගෙන යනව ඇඳුම හෙන යුද්ධයක් කරලා . 😀

  23. බොහෝම ස්තූත්යි….!!!!
    මමත් කාලයක් තිස්සේ ඔබ තුමාගෙන් ඉල්ල ඉල්ල හිටපු ලිපියක් මේක…….
    තැන්කූකූකූ……………

    1- කමිසයේ පිට පැත්ත මදින්න කලින් ඉස්සරහ පලු දෙක මැද්දට ලොකු අවුලක් නෑ නේද,,,,???
    2- කමිසයේ පිට පැත්ත හා ඉස්සරහ පලු දෙක කනපිට පැත්තෙන් මදින එක ලේසියි….

  24. ඉස්සරනම් ඇඳුම් මැදගත්තා..දන්නම් හාමිනේ මදින්නේ… උන්දෑ සතියකට සැරයක් රෙදි කන්දක් සුටුස් ගාලා ඉවර කරනවා… ඒ උනාට මල පනින වැඩේ තමා කලිසම් වල රේල් පාරවල් මාර්ක් කරන එක… 🙂

    “මැදපුකමිසතුන නැත” කතාව මතක් උනා ඒ අස්සේ 🙂

    • හප්පෝ…………මමනම් අපේ උන්දැට මගේ ඇඳුම් මදින්න දෙන්නේ නැහැ. කලිසම් වල රේල් පාරවල් විතරක් නෙවේ කමිස වල අලුවා කැට, වගේ ඒවත් තියලා මදිනවා 😀

      අනේ පවු. මැදපු කමිස තුනේ උත්තමයා මේ රටේ ජනාධිපති වුනානම් ලෝක බලවතෙක් වෙනවා.

  25. :O බොලේ මේ ලඟක ඉඳන් අලුත් පෝස්ට් මට මේල් උනේ නෑනේ…. මේ විදිහට අප්පච්චිනම් මදිනවා මංනං අහුවෙච්ච තැනිං උලනවා අඳිනවා 😀

  26. […]    අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය. […]

  27. කම්මැලි එවුන්ට තව මීට වඩා ලේසි ක්‍රමේකුත් තියෙනවා!!
    හැඟර් එකක එල්ලලා හුමාලෙ වදින තැනක තියෙන්න අැරියා නම්, අයන් එක ඕනි වෙන්නේ ක්‍රීස් තියන්නයි ෆලීට් තියන්නයි විතරයි!!
    ඔන්න ඔහේ එල්ලලා දාලා, වෙන මොනවා හරි වැඩක් කරගන්න පුළුවන්. මතක් වුණ වෙලාවක අැවිල්ලා අරගෙන ෆ්ලීට්/ක්‍රීස් අයන් කරගන්න විතරයි තියෙන්නෙ. එක පාර රෙදි ගොඩක් ගොඩ දාගන්න පුළුවන් වැඩක්!! (හැබැයි හුමාලෙත් එක්ක සෙල්ලං බෑ. අනික, එහෙම හුමාලෙ වදින තැනකුත් හොයාගන්න එපැයි!!)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: