විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  20090521_08Aහමුදාවක සංවිධානය කෙබඳුද යන්න පැහැදිලි කරදීම සඳහා මා ඉදිරිපත්කරන, මේ ලිපියේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය ලැබී තිබුණා. මේ එහි දෙවැනි කොටස. මේ කොටසේදී මම ඔබව හමුදාවක සංවිධානයේ තවත් ඉහළම තලයක් දක්වා රැගෙන යනවා. අවබෝධ කරගන්නට අපහසු සියල්ල ප්‍රශ්න අසා විසඳාගන්නා මෙන් විශේෂයෙන් ඉල්ලනවා. හමුදාවක් ශක්තිමත්ව සහ කාර්යක්‍ෂමව ක්‍රියාකරන්නේ මේ සංවිධාන ශක්තියේ ඇති ක්‍රමවත්භාවය සහ ස්ථාවරභාවය නිසාමයි. සමහරු හිතන්නේ (හමුදාව ඇතුළේ ඉන්න සමහරු පවා) හමුදාව වහල් සේවයක් කියා. මහන්සිවී වැඩ කරන්නට සිදුවන රැකියා බොහොමයක්, වහල් සේවයක් ලෙස හඳුන්වන අය, ඕනෑතරම් ඉන්නවා. නමුත් හොඳ ආත්ම ශක්තියක් ඇති තැනැත්තා, ඊනියා වහල් සේවයම, ආත්ම තෘප්තිය ඇති ස්ථානයක් බවට පත්කරගන්නවා කොයි ක්‍ෂේත්‍රයේදීත්.

  ඔබට මතකද මා මේ ලිපියේ පසුගිය කොටස අවසන් කලේ හමුදා බලඇණියක් හෙවත් Battalion එකක් දක්වා යුද හමුදාවක සංවිධානය විස්තර කරදීමෙන්. අද එතැන්සිට ඉදිරියට යමු. බලඇණිය ළඟට ඉහළින් තිබෙන හමුදා සංස්ථාව තමයි බලසේනාව – Brigade බලසේනාවක් සකස්වීමට නම් අවම වශයෙන් බලඇණි තුනක්වත් එක්වන්නට ඕනේ. ඔබ හිතන්න පුළුවන් ‘බලඇණියක් කියන්නේ ලොකු සංවිධානයක්නේ. ඉතින් මොකටද බලසේනා හදන්නේ. බලඇණියකට පුළුවන්නේ යුද්ධ කරන්න’ කියා. එහෙම කරන්න බැහැ. ඔබ හොඳින්ම දන්නවනේ, අතේ එක ඇඟිල්ලකින් ගහන පාරකට වඩා, ඇඟිලි ඔක්කොම එකතු කරලා මිට මොලවලා ගහන පහර, වඩා ශක්තිමත් සහ ප්‍රතිඵලදායී බව. ඒ වගේ තමයි, හමුදාවක සාමූහික සංවිධාන ශක්තිය නිසා තමයි, යුද්ධ දිනන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු කොහොමද පාබල හමුදා බලඇණි වලින් යුත් බලසේනාවක් Infantry Brigade සිතියමක පෙන්වන්නේ කියලා. මේ පහළින් දැක්වෙන්නේ ඒ සංකේතයයි.

Brigade

  මේ සංකේතය තුළ විස්තර ටිකක් තියනවා. කතිරයක් සහිත කොටුවට ඉහලින් තියන පොඩි කතිරය මගින් බ්‍රිගේඩ් එකක් කියලා හඳුන්වන අතර, කොටුව තුළ ඇති ලොකු කතිරය මගින් මෙය පාබල හමුදා බ්‍රිගේඩ් එකක් බව පෙන්වනවා. මතකද පසුගිය ලිපියෙන් මා ඔබට කියාදුන්නා ඛණ්ඩයක් හෙවත් Platoon එකක් ලකුණු කරන හැටි. ඉතින් කොහොමද පාබල හමුදාවේ ඛණ්ඩයක් කියලා සිතියමේ ලකුණු කරන්නේ? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. බලන්න ඒ සංකේතය සමග මා එය පහත පැහැදිලි කර තිබෙනවා.

section

හාපෝ………. මේ කෙහෙම්මල් ඉගෙනගන්නවට වැඩිය හොඳයි කුලියට පොල් කඩන්න ගියානම් කියලා හිතෙනවද? මම බොහෝවිට මගේ ලිපිවල කියන ආකාරයට මේ ගැන උනන්දුවක් නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා.

  අපි කතාකර කර හිටියේ බලසේනාව ගැන නේ. දැන් ඔබ දන්නවා හමුදාවක විවිධ කාර්යයන් සඳහා බලඇණි තිබෙන බව. පාබල, ඉංජිනේරු, වෛද්‍ය, වැනි විවිධ කාර්යයන් සඳහා බලඇණි තිබෙනවා. බ්‍රිගේඩ් හෙවත් බලසේනා සෑදීමෙදීත්, එවැනි විෂයයකට අදාලව සකසන්න පුළුවන්. ඉතින් කොහොමද වෛද්‍ය බලසේනාවක් යුද්ද කරන්නේ? කවුද කිව්වේ වෛද්‍ය බලසේනාවක් තනියම යුද්දෙට යවනවා කියලා? මෙන්න මෙහෙමයි වෙන්නේ. පරිපාලන කටයුතු පහසු කරගැනීම සඳහා තමයි විෂයයන් සහ කාර්යභාරය role and task අනුව බලසේනා හදන්නේ. යුද්දෙට යන්නේ පාබල බලසේනා නේ. ඉතිං ඒ පාබල බලසේනාවට වෛද්‍ය, ඉංජිනේරු, කාලතුවක්කු, යුද ටැංකි, සංඥා, සැපයීම්, හමුදා පොලීසිය, බුද්ධි අංශය, ආදී එකී මෙකී නොකී (ජුකී? :D) ඔක්කොම අනෙකුත් බලකාය වලින් අවශ්‍ය ප්‍රමාණයට කොටස් අමුණනවා. (යා කරනවා) කිලිනොච්චියේ තියන බලසේනාවට කාලතුවක්කු බතරොයි දෙකක් දීලා, (මේ, එකක් කියන්නම්. දැන් අහන්න එපා බතරොයි ගැන. කාලතුවක්කු ගැන කියලා දුන්නා මතක නැද්ද?) මැදවච්චියේ බලසේනාවට එක කාලතුවක්කුවක්වත් නොදී ඉන්න පුළුවන්. හේතුව යුද්දයේ තත්වය theatre of war අනුව තමයි ඒ ඒ බලසේනාවට එක් එක් සහායක හමුදා වලින් මෙපමණ අය/උපකරණ  අවශ්‍යයි කියලා තීරණය කරන්නේ. ඔය පත්තර වලින් යුද්ද කරන උන්නැහේලා ඇවිත්, බලසේනාවක් සංවිධානය කරගන්න, අපි ඒ කාලේ විඳපු දුක දැක්කනම්, අවම පහසුකම් නැතුව අපේ කොල්ලෝ යුද්ද කරපු හැටි දැක්කනම්, තමන්ගේ අමුඩය ගලවලා, ඒකෙන් බෙල්ල හිරකරගෙන මැරෙනවා.

  මේ ලිපි ලිවීමෙන් මා බලාපොරොත්තුවන තවත් දෙයක් තිබෙනවා. හමුදාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන බොහෝදෙනෙක් හිතන්නේ ‘කොල්ලො ටිකක් හමුදාවට බඳවාගෙන, වම දකුණ (වඃ ජඃ) කියලා ගමන් කරන්නයි, වෙඩි තියන්නයි උගන්නලා, ඊට පස්සේ කාලතුවක්කු යුද්ද ටැංකි වලින් ගහලා, ඊළඟට පාබල හමුදා කඩා පැනලා, හතර අතේ වෙඩි තියලා, සතුරන්ව මරණ එක තමයි යුද්ද කරනවා කියන්නේ’ කියලා. අනේ එහෙම දඩි බිඩි ගාලා යුද්ද කරන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉදිරි කාලයේදී, මා ඔබ සමග එක්වී, හමුදා ප්‍රහාරයක් සැලසුම් කරන්න බලාපොරොත්තූ වෙනවා. සූදානම්ව සිටින්න. සමහර අයට නම් බාගයක් කියවද්දී එපාවෙයි.  හැබැයි ඔබ දැනටමත් ‘වීර පෙම්වතෙක්’ නම්, ඒ ලිපිය/ලිපි ඔබට අතිශයින් ප්‍රයෝජනවත් වෙයි.

  බලසේනාවක් යුද්දෙට යන්නේ මා ඉහත සඳහන් කල පරිදි තමන්ගේ ප්‍රධාන පාබල බලඇණි සහ කාලතුවක්කු, යුද ටැංකි, කමාන්ඩෝ/විශේෂ බලකාය, සංඥා, වෛද්‍ය, වැනි වෙනත් අංශ රාශියක් ඔවුන්ට ආවේනික භූමිකාවේ classic role යොදවමින්. ඉතින් මේ ඔක්කොමලා යුද පෙරමුණට ඇදගෙන යන්නේ නැහැනේ. කාලතුවක්කු තියෙන්නේ සමහරවිට බලසේනා මූලස්ථානයටත් වඩා පසුපසින් වෙන්න පුළුවන්. වෛද්‍ය බලකායේ කීප දෙනයි ළඟම ඉන්නේ. යුද පෙරමුණට ටිකක් පසුපසින් තමයි වෛද්‍ය බලකාය ඉන්නේ. තුවාලකරුවන් බාරගෙන, හදිසි ප්‍රතිකාර ලබාදී, ඔවුන්ගේ තුවාල වල ස්වභාවය අනුව වර්ග කර, (ඒ වර්ග කිරීම ගැන වෙනම ලියන්නම් පස්සේ) ගොඩබිමෙන්, අහසින්, මුහුදෙන්, වහාම ඊළඟ ඉහල වෛද්‍ය මධ්‍යස්ථානයට හෝ හමුදා/සිවිල් රෝහලට යැවීම තමයි ඔවුන් කරන්නේ. කමාන්ඩෝ හෝ විශේෂ බලකා කණ්ඩායම් වලට බාරදෙන්නේ ඉතා වැදගත් තීරණාත්මක සහ දඩි සටනකට මුහුණ දෙන්න වෙත තැන්. බලසේනා මූලස්ථානයේ උපක්‍රමික මූලස්ථානයක් යුද භූමියේ තබාගන්නට පුළුවන්. උපක්‍රමික මූලස්ථානය කියන්නේ භූමියේ එක තැනක ස්ථිරව පිහිටුවා නැති, අවශ්‍යතාව අනුව තැනින් තැනට වෙනස් කරන, කියන තේරුමයි. උපක්‍රමික මූලස්ථානයේ තම කාර්ය මණ්ඩලය සමග ඉන්න බලසේනාධිපතිවරයා තමන් යටතේ තිබෙන බලඇණි වලට අණදෙනවා. ඒ ඒ ක්‍රියාන්විත තත්වය අනුව. සාමාන්‍යයෙන් බලසේනාවක ඉන්න සම්පූර්ණ පිරිස 3000 ක් පමණ වෙන්න පුළුවන් අපේ රටේදී. වෙනත රටවල එය 5000 ක් පමණ වෙනවා. බලසේනා මූලස්ථානයක ඉන්න අය කවුද?

  • ප්‍රධානියා බලසේනාධිපති (බ්‍රිගේඩියර් brigadier වරයකු වියයුතුයි)
  • ප්‍රධාන ශාඛාව – General Branch භාර මාණ්ඩලික නිලධාරියා (අපේ හමුදාවේ නම්  ඉන්නේ බලසේනා මේජර්) මේ අංශයෙන් තමයි ක්‍රියාන්විත කටයුතු කෙරෙන්නේ. (යුද්ද කරන්නේ) ප්‍රධාන ශාඛාව යටතේ බුද්ධි නිලධාරියකු, සංඥා නිලධාරියකු, වැනි තවත් මාණ්ඩලික නිලධාරීන් සහ අදාළ අංශ තිබෙනවා.
  • පාලන සහ භාටකාර්ය සම්පාදන ශාඛාව Administration and Quartering Branch  භාර මාණ්ඩලික නිලධාරියා. (අපේ හමුදාවෙ නම් මේජර් පාලන සහ භාටකාර්ය සම්පාදන) මේ අංශයෙන් තමයි සොල්දාදුවන්ගේ අවි සහ පතරොම්, කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, භට පිරිස් සඳහා ප්‍රවාහන පහසුකම්, තුවාල වී රෝහල්ගත අය ගැන කටයුතු කිරීම, වැටුප්, ආදී සියල්ල සකසා දෙන්නේ. මේ අංශය යටතේ උපකරණ පාලක නිලධාරි සහ තවත් දෙවැනි මට්ටමේ පාලන නිලධාරියකු ඉන්නවා අපේ හමුදාවෙ නම්.
  • පාබල රෙජිමේන්තු එකකට හෝ කීපයකට අයත් බලඇණි කීපයක් බලසේනාව යටතේ යුද බිමේ වෙනත් තැන්වල ස්ථානගත කර තිබෙනවා.
  • අවශ්‍යතාව අනුව යුද ටැංකි කණ්ඩායමක් Squadron, කාලතුවක්කු බතරොයියක් Battery, බිම්බෝම්බ සහ මරඋගුල් ඇටවීමේ  මෙන්ම සතුරු බිම්බෝම්බ සහ මර උගුල් ඉවත්කරන ඉංජිනේරු පෙළ කීපයක් Engineer Teams, වාහන, ඉන්ධන, කෑමබීම සැපයීම සඳහා සේවා බලකායට අයත් කණ්ඩායමක් Squadron, (ඉන්ධන සහ වියලි/අමු ආහාර ගබඩා පහසුකම් සහිතව), වෛද්‍ය බලකා නියෝජිතයන් කීපදෙනෙක්, (වෛද්‍යවරුන් නෙවෙයි හෙද පුහුණුව ලත් අය) සතුරු පණිවිඩ හුවමාරු ග්‍රහණය කරගන්න විශේෂ ගුවන්විදුලි උපකරණ සහිත සංඥා සෙබළුන් කීපදෙනෙක්, යුදබිමේ සිටින පාබල බලඇණි සමග හෝ වෙනත් සුදුසු ස්ථානවල රඳවා සිටිනවා/තිබෙනවා. 

  දැන් අපි බලසේනා මූලස්ථානය පසුකරගෙන යමු ඊළඟ ඉහල ආයතනයට. ඒ තමා සේනාංකය  හෙවත් Division. සේනාංකයකට අණදෙන්නේ මේජර් ජෙනරල් වරයකු විසින්. සේනාංකයක් යටතේ බලසේනා කීපයක් (අවම වශයෙන් තුනක් වත්) තිබෙනවා. සේනාංකයකට ඇතුලත් පිරිස 6000 – 8000 පමණ වියහැකියි අපේ රටේදී. වෙනත් රටවල 15000 ක් පමණ වෙනවා. ඔබ දැන් හමුදා සිතියම් ලකුණු කිරීමේ සංකේත පිළිබඳව කිසියම් දැනුමක් ලබාතිබෙන නිසා, අනුමානයෙන් කියන්න පුළුවන් වියයුතුයි පාබල සේනාංකයක් පෙන්වන සංකේතය. මේ පහළින් තිබෙන්නේ එයයි. බලසේනාවට එක කතිරයක් යෙදූ ආකාරයට සේනාංකයට යොදන්නේ කතිර දෙකක්.

Div

  සාමාන්‍යයෙන් සේනාංක මූලස්ථානයක් පිහිටවන්නේ යුද පෙරමුණේ සිට සැලකියයුතු දුරක් පසුපසින්. සතුරු කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වියහැකි සීමාවට වඩා පසුපසින්. සමහරවිට කිලෝමීටර් 40 – 50 වෙන්නත් පුළුවන්. එයට හේතු රාශියක් තිබෙනවා. මෙන්න මේවා තමයි හේතු.

  • ප්‍රධානියා මේජර් ජෙනරල් Major General කෙනෙක් බව දන්නවනේ.
  • යුද පෙරමුණේ අවශ්‍යතා සඳහා හදිසි අවස්ථාවකදී යැවීමට සූදානම්ව සිටින භටපිරිස් සේනාංක මූලස්ථානයේ ඉන්නවා. ඔවුන්ව සතුරු ප්‍රහාර වලින් ඈත්ව තබා ගත යුතුයි. ඒ නිසා සේනාංක මූලස්ථාන යුදබිමෙන් ඈත්ව පිහිටුවිය යුතුයි.
  • සේනාංක මූලස්ථානයක් කියන්නේ බලසේනා කීපයකට (අවම වශයෙන් තුනක්වත්) අණදෙන ඉතා ඉහළ මූලස්ථානයක්.  ඒ නිසා එය සතුරු ප්‍රහාර වලට ලක්නොවන තැනක තබාගැනීම අතිශයින් වැදගත්. ඉතා වැදගත්, රහසිගත, තීරණාත්මක සංග්‍රාමික වැඩපිළිවෙල සංවිධානය කරන මූලස්ථානයක් ලෙස සේනාංක මූලස්තානයක ඇති වැදගත්කම වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.
  • බලසේනා වලට අවශ්‍ය සියලුම ආකාරයේ සැපයුම් සේනාංක මූලස්ථානයේ ගබඩාකර තිබෙනවා. (අවි පතරොම්. කෑම බීම, උපකරණ)  සතුරු ප්‍රහාරයකින් ඒවාට හානියක් වුනොත් යුදබිමේ ඉන්න සෙබලාට තමයි විඳවන්න සිදුවන්නේ.
  • සේනාංක මූලස්ථානයක ක්‍ෂේත්‍ර රෝහලක් තිබෙන්නත් පුළුවන්. ඉතින් එහි ප්‍රතිකාර ලබන සියලුදෙනා, වෛද්‍ය/හෙද කාර්ය මණ්ඩලය, රෝහලේ සියලු සේවා සහ පහසුකම් ආරක්ෂාකාරීව තබාගන්න ඕනේ.
  • සේනාංක මූලස්ථානයේ ඉන්න සේනාංකාධිපති විශාල භූමි ප්‍රදේශයකට අණදෙන ඉතා ඉහල මට්ටමේ නිලධාරියෙක්. එමෙන්ම  ඒ මූලස්ථානයේ සිට සටන් මෙහෙයවන ප්‍රධාන ක්‍රියාන්විත මැදිරිය Operational Room එහි පිහිටවා තිබෙනවා. එය අතිශයින්ම වැදගත් යුද රහස් තිබෙන ස්ථානයක්. හමුදාපති ඇතුළු විවිධ මට්ටමේ ජ්‍යොෂ්ඨ (සමහරවිට ත්‍රිවිධ හමුදාවේම) නිලධාරීන් මෙහි පැමිණ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා පවත්වනවා. ඒ නිසා සේනාංක මූලස්ථානය යුදබිමෙන් ඈත්ව ආරක්ෂිතව තිබිය යුතුයි.

  සේනාංක මූලස්ථානයක තිබෙන වැදගත් සියල්ල පෙනෙන ආකාරයට සිතියමක ලකුණු කිරීම සඳහා එක කොටුවක් (කොඩියක්) මදිවෙනවා. කොඩි ගහක්ම හිටවන්න වෙනවා 😀 සේනාංක මූලස්ථානයක තරම පෙන්වන්න. ඔන්න පහතින් එය රූපයකින් විස්තර කර තිබෙනවා. මෙය තරමක් සංකීර්ණ සංකේතයක්. ඒ සංකේතයේ ඇති උප කොටස් මා විස්තර කර තිබෙනවා ඔබේ අවබෝධය සඳහා.

Div Hq

  ‘හාපෝ……….ආමිඑක නම් එපා’ කියලා හිතෙනවා නේද? මතකතියාගන්න මම මේ පෙන්වලා තියන සංකේත නිකම් විහිළුවක් විතරයි. මීටවඩා අතිශයින් සංකීර්ණ සංකේත තිබෙනවා. පසුව වෙනම ලිපියකින් බලමු. මේ සංකේතය සකස් කිරීමේදී ජ්‍යොෂ්ඨතා අනුපිලිවෙළ සලකා තිබෙන්නේ, රෙජිමේන්තු ජ්‍යොෂ්ඨතාවය මෙන්ම, ඒ ඒ භට පිරිසේ විශාලත්වයද සැලකිල්ලට ගනිමින්. කවුද මේවා සිතියමක ලකුණු කරන්නේ? ඕනෑම හමුදා බලඇණියක/බලසේනාවක/සේනාංකයක/ ක්‍රියාන්විත කටයුතු වලට සම්බන්ධ නිළධාරීන් විසින් තමයි කරන්නේ. (කෝප්‍රල් සහ ඉන් ඉහළ නිළ වලින් තෝරාගත් අයත් සුළු ප්‍රමාණයක් විශේෂයෙන් පුහුණුකර යොදාගන්නවා ඉතා සීමිතව අපේ හමුදාවේ. එයට හේතුව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ප්‍රශ්නය සහ නිළධාරි පුහුණුවේදී මේ පිළිබඳව ඉගෙන ගන්නා ගැඹුරු විෂයය කරුණු ඔවුන් නොදැන සිටීමයි) මේ සිතියම් යුදබිමටත් අරන් යනවා. ඒ සඳහා විශේෂයෙන් සකස්කළ හමුදා සිතියම් තිබෙනවා. වතුරට ඔරොත්තුදෙන ඝන පොලිතීන් කවරයක දාගෙන යන්නේ. සිතියම එළියට ගන්නේ නැතුව බලන්න පුළුවන්. මෙන්න බලන්න අරන්යන හැටි. හැබැයි පුතෝ, මේ සිතියමක් සතුරාට අහුවුනොත් එහෙම, තත්වය බොහොම භයානකයි.

In The Field

පින්තූරය ගත්තේ මෙතනින්

  මේකා බයේ නේද මෙහෙම පස්සට වෙලා යන්නේ? නැහැ නැහැ. මෙයා වැදගත් රාජකාරියක් කරනවා. මේ තමයි මෙතන ඉස්සරහින් යන පිරිසේ කොතැනක හරි ඉන්න ප්‍රධාන නිළධාරියාගේ සංඥාකරු. signalman / runner කියලත් කියනවා. නිළධාරියාට සිතියම බලන්න ඉල්ලුවාම හෝ නිළධාරියාට වෙනත් කා සමග හෝ පණිවිඩ හුවමාරුවක යෙදෙන්න අවශ්‍ය වූ විට පමණයි මෙයාව ඉදිරියට ගෙන්වාගන්නේ. මේ සිතියම ඔබ දැක්කොත් පිස්සු හැදෙනවා මේකේ ලකුණු කරලා තියන සංකේත දැකලා.  අදට මේ ඇති නේද?

  බලන්ඩකෝ වැඩේ. යුද හමුදා මූලස්ථානය තවම ළඟපාතක නැහැ වගේ………. මොනවා කොරන්ඩද. ඔන්න ඔහේ කතා කර කර යන්කො ඉස්සරහට. ඔය කොහෙහරි තිබිලා ඒකත් හම්බවෙන්නේ නැතෑ.

my-signature-for-blog[1]  2013 ඔක්තෝබර් මස 23 වැනි දින 0005 පැය

Advertisements

Comments on: "බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (දෙවැනි කොටස) – Organisation of an Army (Part Two)" (76)

  1. අම්මෝ මේවා කොහොම මතක තියාගන්නද මන්දා?ඊයේ ඉඳන් වැඩකට අත ගහලා ඉන්නේ.දන්නවද මොකක්ද කියලා? බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳන් පෝස්ට් ටික කියවගෙන එනකොට අද බිස්මාර්ක් එකට ආවා විතරයි පින්තූරේ වෙනස් වුනා.ඒකෙන් තමයි දැනගත්තේ අලුත් පෝස්ට් එකක් ආවා කියලා.මරු පෝස්ට් ටිකක් තිබිලා තියෙනවානේ.අර තුවායක් උඩ තියලා තිබුන තුවක්කු නම් විචාරකගේද මන්දා.මේ තොරතුරු අපත් සමග බෙදාහදා ගන්නවාට ස්තූතියි…

    • බොහොම ස්තුතියි අමිල විශේෂයෙන් වෙහෙසවී මුල සිටම මේ අඩවිය කියවීම පිළිබඳව. අනික් බොහෝ විෂයයන්, ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අය මතක තබාගන්නවා වගේ තමයි යුදහමුදාවත්. හැබැයි යුද හමුදා මතකය ගිලිහුනොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.

  2. //මේ තමයි මෙතන ඉස්සරහින් යන පිරිසේ කොතැනක හරි ඉන්න ප්‍රධාන නිළධාරියාගේ සංඥාකරු. signalman / runner//

    එයා ඒ අදාල රෙජිමෙන්තුවේ කෙනෙක්ද , නැත්නම් සංඥ බලකායේ කෙනෙක්ද

  3. මොන මගුලක්ද විචාරක තුමෝ….
    උදේ පාන්දර කොපි එකත් බිබී ඔබේ පිටුව පෙරලුව විතරයි…
    “රට වෙනුවෙන් දත” දැකල ලැප පුරා කෝපි ස්ප්‍රේ…
    හොදම වචන ටික පින්තුරයට ගැලපෙන :):).

  4. අනෙ ඇත්තට විචාරක තුමනි ඔබ කියල තිබෙන ලෙසටම හමුදාව ගැන මම නම් දැනගෙන හිටියෙ නැහැ මෙපමණ විස්තර.
    ඔබ මහන්සියෙන් මේ ලියන ලිපි මාලාව තරුණ පරපුරට ගොඩක් ප්‍රයෝජනවත්.
    අපි නම් ඉතින් වලපයයි,ගොඩපයයි තියන් ඉන්න එව්වො නොවැ :).

    • යුද හමුදාව කියන්නේ බොහෝ දෙනෙක් සිතා සිටිනවාට වඩා බෙහෙවින්ම සංකීර්ණ සහ ගැඹුරු සංවිධානයකින් යුත් ආයතනයක් බව පෙන්වාදීමයි මගේ අරමුණ.

      අන්න අර වලේ තියන පය ගොඩට ගන්න අනේ. ඔන්න ඔහේ ගොඩටම වෙලා ඉම්මු. 😀

  5. නිර්නාමික said:

    ලිපි දෙකම ආසාවෙන් කියෙව්වෙමි…ඔබට ස්තූති මේ දේවල් ගැන දැනුවත් කලාට..

  6. කියවන්න එපා කිව්වට කියවල බුක්මාර්ක් කරගන්නත් උනා නෙව. තැන්කුයි තැන්කුයි නාකි විසේට…

  7. කදිම ලිපියක් විචාරකතුමනි වෙනද වගේම.
    1. දැන් මෙහි සදහන්ව තිබෙනවා නේද සංඥාකරු ගැන. හදිසියෙවත් මේ කෙනාට ප්‍රහාරයක්‌ එල්ල වෙලා අඩපන උනොත් අලි අමාරුවක වැටෙනවා ඇති නේ අනික් අය?

    2. ආ තව එකක්, මම ලිපියක දැක්කා පෙන්ටගනයේ යුධ සැලසුම් ගැන. එකේ තිබ්බා සමහර යුද්ධ වලට ඇමරිකානු භටයන් යවද්දී ඔවුන්ට ලබා දෙන ගිනිඅවිය එතරම් බල සම්පන්න එකක් නොවේ කියා. සතුරු පාර්ශවයේ උදවිය සතුව තිබෙනා ගිනිඅවියෙන් උණ්ඩයක් වැදුණු විට මරණයට පත්වීමට හැකිවීමට ඉඩ ඇතිමුත් ඇමරිකානු භටයන් සතුව තිබෙනා ගිනිඅවියෙන් තබනා උණ්ඩ වදිනා සතුරන් මරණයට පත්වෙන්නේ නැත.

    පෙන්ටගනය මෙවැනි දෙයක් කලේ ඇයි කියා සිතා ගත හැකිද?

    මොකද ඇමරිකානු භටයන්ගේ ගිනිඅවිප්‍රහාරවලට ලක්වන සතුරන් මියයන්නේ නැති අතර අඩපන වෙයි. එවිට ඔවුන්ව නැවත වෛද්‍ය කදවුරු වලට යුද්ධය අතරතුරේම රැගෙන යා යුතුය. එවිට මේ තුවාල කරුවන් සමග තවත් සෙබළුන් යැවිය යුතුය. අනික අබාධිත සෙබළුන් රැකබලා ගැනීමද රජයකට මහත් වියදම් යන දෙයකි.මියයන්නන්ට වඩා අබාධිත උදවිය නිසා පීඩනයකට ලක්වෙන්න සිදුවේ.

    ඔන්න ඔය වගේ දෙයක් මම දැක්කා විචාරකතුමනි. මට දැන් මතක නෑ එක දැක්කේ මොකේද කියලා. අපහු ඒ ලිපිය දැක්කොත් ඔබට එවන්නම්. ඔබත් කැමති වෙයි එය කියවා බලන්න.

    3. අනික විචාරකතුමනි, ගරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තරු 5 ක් සහිත එකම ජෙනරල් කියලා කිව්වා නේද ලංකාවේ. එලෙස තරු ලබා දෙන්නේ කොහොමද? ඒ ගැන ඔබ ලියා ඇති සටහනක් මෙහි නැත්ද?

    • ලිපිය ඇගයීම ගැන ස්තුතියි. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා මම ඒවා අංක කළා. (ඔබ දන්නවනේ වර්ඩ්ප්‍රෙස් වලදී කමෙන්ට්ස් සංස්කරණය කරන්න පුළුවන්)

      1. සංඥාකරුර මැරුනොත් ඒ පුහුණුව ලද වෙනත් අය ඉන්නවා. වහාම ඒ එක්කෙනෙක් ඒ අඩුව පුරවනවා. (මූලික පුහුණුවේදී සහ පසුව කෙරෙන අමතර පුහුණුවේදී බොහොමයක් සොල්දාදුවන්ට සංඥා පුහුණුව ලැබෙනවා)

      2. ඇමරිකානු යුද හමුදාව පාවිච්චි කරන M 16 අවියේ කැලිබරය 5.56 ප්‍රමාණයේ. ඒ පතරොම T 56 කැලිබරය වන, 7.62 x 39 ට වඩා කුඩා එකක්. නමුත් සතුරන් මරන්න එය බාධාවක් නෙවෙයි. ප්‍රශ්නයේ ඊළඟ කොටසෙන් ඔබ ඉතා නිවැරදිව පිළිතුරු පැහැදිලි කර තිබෙනවා. හැබැයි තුවාලකරුවන් සමග සෙබළුන් යුදබිමෙන් යවන්නේ නැහැ. ඒ සඳහා වෙනම අය ඉන්නවා. නිකම්ම ඩෝං ගාල මැරෙනවට වැඩිය කුඩා අවියකින් වෙඩි කළා අවුරුදු කීපයක් විඳවනකොට ඒ පුද්ගලයා දකින කවුරුවත් හමුදාවට බැඳෙන්න හිතන්නෙවත් නැහැ. ඒකත් එක යුද උපක්‍රමයක් ඇමරිකන් කාරයාගේ.

      3. තරු 5 නෙවෙයි තරු 4 යි ජෙනරල් ෆොන්සේකාගේ නිලය අනුව ඔහුට ලැබෙන්නේ. තරු වර්ගකිරීම තියෙන්නේ මෙහෙමයි.

      බ්‍රිගේඩියර් = තරු 1 යි.

      මේජර් ජෙනරල් = තරු 2 යි.

      ලුතිතන් ජෙනරල් = තරු 3 යි.

      ජෙනරල් = තරු 4 යි.

      ඇමරිකානු හමුදාව්නම් ඉන්නවා තරු 5 ජෙනරල් ලා

  8. බොහොම වැදගත් විස්තරයක්. නමුත් මට තියෙන පුරස්නේ තාම රෙජිමේන්තුවක් ගැන කිව්වේ නැති එක සිංහ රෙජිමේන්තුව, ගජබා, ඔය ආදී වශයෙන් තියෙන්නේ මොකක්ද ඩිවිෂන් එකකි සේනාන්කයකයි වෙනස

  9. නිර්නාමික said:

    මම බාගෙට කියවලා යන්න හැදුවත්
    “හැබැයි ඔබ දැනටමත් ’වීර පෙම්වතෙක්’ නම්, ඒ ලිපිය/ලිපි ඔබට අතිශයින් ප්‍රයෝජනවත් වෙයි.”
    මේක දැක්කට පස්සේ ඔක්කොම කියෙව්වා

    • බලාපොරොත්තුවන්න පෙම්වත. ඔබ සිහිනෙන්වත් නොසිතු ජයග්‍රාහී මාවතක් ඔබට විවෘත වනු ඇත.

      එම ලිපිය දීර්ඝ එකක් වන අතර ඉතා පරෙස්සමෙන් යුද රහස් රකිමින් ලියවෙමින් පවතී.

  10. මේකනං එන්න එන්න සංකීර්ණ වෙනව වගේ පේන්නෙ. කොහෙං කෙළවර වෙයිද දන්නෑ.
    වීර පෙම්වත්තු ටිකත් අමාරුවෙ දාන්න වගේ විචාරක මහත්තය හදන්නෙ.

  11. මට ගැටළුවක් තිබෙනවා.යුද්ධ පුවත් අපි අහන කොට නිතරම ලුතිනන් කර්නල් වරු තමා සටන් කරලා තිබෙන්නෙ.ඒකට හේතුව මොකක්ද කර්නල් වරු ගැන කියවුනේම නෑ.

    • ඔබට ඒ ප්‍රවෘත්ති නැවත අහන්න/බලන්න/කියවන්න පුලුවන්නම් එහි සඳහන් වෙනවා අහවල් ලුතිතන් කර්නල් වරයා අණදුන් අහවල් ‘ඒකකය’ කියලා. ඒ කියන්නේ කිසියම් බලඇණියක අණදෙන නිලධාරි වරයෙක් තමයි ඒ ලුතිතන් කර්නල්. කර්නල් ලා බොහෝවිට ඉන්නේ මාණ්ඩලික රාජකාරිවල.

  12. තවත් අපූරු සටහනක්……..රට වෙනුවෙන් දත නම් නියමෙට නියමයි. ඉස්තරම්!!

  13. නිර්නාමික said:

    විචාරක මහත්තයා අර කලින් දවසක සඳහන් කරපු වගේ ස්විට්සර්ලන්ඩ් පිහියක් මම ගත්තෙමි 😀

    Photo035

  14. 1. මට තේරුන් ගන්න බැරිව ගිය පළමුවෙනි දේ තමයි බල සේනාව හැදීම. එතකොට රෙජිමේන්තු කියන්නෙ මොනවද? මට හිතිච්ච විදිහට රෙජිමේන්තු කීපයකින්ම අනුයුක්ත කරපු භටපිරිස් එකතු වෙලා තමයි බල සේනාවක් හැදෙන්නෙ. ඒක එහෙම නම් එතකොට ආපු ප්‍රශ්නයක් තමයි ඒ සෙබළුන් පිළිපැදිය යුත්තේ තමුන්ගෙ රෙජිමේන්තු මූලස්ථානයෙන් ලැබෙන අණද නැතිනම් බල සේනාවෙන් ලැබෙන ඇණද කියන එක.

    2. සේනාංක මූලස්ථානය තියෙන්නෙ හරියටම මෙන්න මෙතන. තේරුනේ නෑනෙ.

    ඉතුරු ප්‍රශ්න පස්සේ..

    • 1. බලසේනාව විතරක් නෙවේ මුළු යුද හමුදාවම හැදිලා තියෙන්නේ එක එක රෙජිමේන්තු වලට අයිති නිලධාරීන් සහ සොල්දාදුවන්ගෙන්. ඒ විස්තරය ඊළඟ කොටසේදී කියන්නම්.

      2. සේනාංක මූලස්ථානය පෙන්වන මේ කොඩි ගහක් වැනි සංකේතයේ යටදී කොක්කක් වගේ ආපහු නැමිලා ගිහින් කෙලවර වන තැන තමයි සිතියමේ (ඇත්තටම භූමියේ) සේනාංක මූලස්ථානය තියෙන්නේ.

      මූලස්ථානය

      • 1. කොඩි වැඩේ තේරුනේ දැන්නෙ. මම හිතුවා ඒ කොඩි වලින් එක එක තැන්වල සේනාව විසිරිලා සිටින හැටි පෙන්වනවා කියලා. හරියට අර ජුලියස් සීසර් චිත්‍රපටිවල පිළිම එහා මෙහා කරනවා වගේ. බලද්දි සේනා මූලස්ථානයේ තියෙන සම්පත්නෙ පෙන්වන්නෙ..

        2. බලසේනාව – Brigade නම් බලසේනාධිපති බ්‍රිගේඩියර් නම් සෑම් බ්‍රිගේඩියර් කෙනෙක්ම බලසේනාධිපතිවරයෙක්ද?

        අද නම් පොඩ්ඩක් සංකීර්ණයි තමයි. මට තාම තේරුනේ නැත්තෙ එක් එක් රෙජිමේන්තු වලින් බලසේනාවකට අනුයුක්ත කලාම ඔවුන්ට අණ් ලැබෙන්නේ කොහොමද කියන එක..

        ස්තුතියි ලිපියට වගේම පළතුරු වලටත්..

        • 1. ඇත්තටම ඔය මම හිතලා ඇඳපු සංකේතයක් නේ. ඇත්තම සංකේත ඔයිටත් වඩා සංකීර්ණයි.

          2. ඔයා මිහිඳු මහරහතන් වහන්සේගේ නෑදෑයෙක්ද? උන්වහන්සේත් දේවානම්පියතිස්ස මහරජතුමාගෙන් ඇහුවනේ, ‘රජතුමනි ඔබතුමාගේ නෑයොත් නොනෑයොත් හැර තවත් අය සිටීද’ කියලා. අන්න ඒ වගේ. බ්‍රිගේඩියර්වරු අවශ්‍යවන තවත් සංවිධාන තියනවා යුද හමුදාව ඇතුළේ. ඒ නිසා බ්‍රිගේඩියර් ඇබෑර්තු මෙන්න මෙපමණ ප්‍රමාණයක් (ඇත්තටම මේජර් සහ ඊට ඉහල නිළ තිබියහැක්කේ මෙපමණයි කියලා නිර්ණායක තිබෙනවා. ඊට වඩා වැඩි ගණනක් උසස්වීම් දුන්නොත්, මහා භාණ්ඩාගාරය කියනවා, ‘එහෙම බැහැ අනුමත ප්‍රමාණය මෙච්චරයි පඩි ගෙවන්න බැහැ’ කියලා) තිබිය හැකි බවට නිර්ණායක තිබෙනවා. එයින් සමහර ඒවා විශාල ප්‍රමුඛත්වයක් දියයුතු ඒවා. ඒ නිසා හැම බ්‍රිගේඩියර්ටම බලසේනාවක් අණදෙන්න ලැබෙන්නේ නැහැ. සටන්කාරී රෙජිමේන්තුවකට අයත් බ්‍රිගේඩියර් වරුන්ට පමණයි බ්‍රිගේඩ් එකක් අණදෙන්න ලැබෙන්නේ. ඒ නිසයි අර ඉතා ඉහල මට්ටමේ පත්වීම් සඳහා බ්‍රිගේඩියර් වරුන් යොදවා, සටන්කාරී රෙජිමේන්තුවලට අයත් කර්නල්ලා කාර්ය නියුක්ත බලසේනාධිපතිවරුන් ලෙස පත්කරන්නේ.

          ඔයා ටික දවසකට මාමා/බාප්පා/ගේ ගෙදර යනවා. එතනදී හැසිරෙන්න වෙන්නේ ඔයාගේ තාත්තා ගෙදරදී කියන විදිහට නෙවෙයි. අර මාමා හෝ බාප්පා කියන විදිහට. ඔයාට කෑමබීම ඉඳුම් හිටුම් දෙන්නේ මාමා. සමහරවිට ඇඳුමක් දෙකක් එහෙමත් ලැබෙන්න ඉඩ තියනවා. ඔයාගේ වියදම් (වැටුප්) දෙන්නේ තාත්තා. හරියටම ඒකම තමයි වෙන්නේ හමුදාවේදීත්.

          මට ස්තුති කලේ මොනවා දුන්නටද කියලා ආයෙත් ඔයාගේ කමෙන්ට් එකේ බලන්න. 😀

      • මටත් තිබුන ගැටලුව මේ පිළිතුරු වලින් ලැබුනා

  15. විචාරක තුමා මේවා අපිට හිනා වෙවී කියා දුන්නට හමුදාවෙ ඉන්න කාලෙ පාඩම් වරද්දපු කොල්ලන්ට එහෙම හිනා වෙවී දඩුවම් දෙන්න ඇති…ඔයා නම් හලිම නලකයි…ඔයා මැදවච්චියට යුද්ධ ටැංකි යවපු එකේ පාමාංකඩ එකක් එවන්න බැරි උනා නේද ?

    • අලිමංකඩට යුද්ද ටැංකි 10 යි. පාමංකඩට මාළු පාන් 10 යි. එහෙම හොඳයි නේද සිරෝ?. 😀

      මෙව්වා කවදාවත් සෙසු නිලයන්ට ගැඹුරින් උගන්වන්නේ නැහැ. නිලධාරීන්ට තමා පශ්චාද් භාගය ඉරාගෙන මේවා පාඩම් කරන්න වෙන්නේ උසස් කිරීමේ පරීක්ෂණ සඳහා.

  16. මේව අපිට වඩා කියවන්න ඕනි යුද්දෙ කාලෙ කොළඹ ඉඳන් යුද්ධ කරන්න ඔනි විදිහ පත්තර වලින් උගන්නපු උදවිය.
    උන් හිතන් ඉන්නෙ අර හින්දි ෆිල්ම් වල සාරුක් කාන් වගේ ෆීල්ඩ් එකට බැහැල කෙලෙගෙන කෙලගෙන
    යනව වගේ වැඩක් කියන්න වෙන්න ඇති.

    1- විචාරකතුමෝ තරු 5 දෙන්නෙ ජනරාල් කියන තනතුරටද නැත්නම් field marshal කියන ගරු තනතුරටද….???

    2-army uniform එකේ දකුණු පැත්තෙ තියෙන විවිධ course කලාම දෙන badge ගැනත් විස්තරයක් දාන්න පුලුවන්ද…???

    3-unit වෙනස් වෙනකොට lanyard එකේ පාට වෙනස් වෙන විදිහ ගැන, ceremonial uniform එකේ පාට වෙනස් වන විදිහ ගැනත් ලිපියක් ලියන්න පුලුවන්ද….???

    (මම දවසක් ඇහුව shirt එකක් trouser එකක් neat එකට මදින විදිහ ගැන තාම ඒ ගැනත් සද්දයක් නම් නෑ නෙව….)

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මේව ගැන අපිව දැනුවත් කරන එකට…….
    🙂

    • හම්මෝ සමහර පත්තර කාරයන්ගේ වාර්තා කියෙව්වම හිතෙනවා ඒගොල්ලෝ ජෙනරල් වරුන්ටත් උපදෙස් දෙන්න තරම් සුදුස්සොද කියලා.

      1. තරු 5 ජෙනරාල්ලා ඉන්නවා ඇමරිකන් හමුදාවේ. තවත් සමහර රටවලත් දැන් ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේත් වරක් හෝ දෙවරක් තරු 5 ජෙනරල් නිලය ප්‍රදානය කර තිබුණා. field martial නිලය ගරු තනතුරක්ම නෙවෙයි. ත්‍රිවිධ හමුදාවේ විශාලත්වය අනුව ඇතිකරන්න පුළුවන් තනතුරක්.

      2 සහ 3 යන ප්‍රශ්න වලට අදාළ ලිපියක් ලියන්න මමත් බොහොම කැමතියි. නමුත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ පින්තූර හොයාගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා මමත් කනගාටුවෙනවා එවැනි ලිපියක් ලියන්න නොලැබීම ගැන.

      ඇඳුම් මදින ලිපිය බාගෙට ලියලා තියෙන්නේ. ඉක්මනින් දෙන්නම්.

  17. “රට වෙනුවෙන් දත”

    පුහ්….
    යකෝ army එකේ හිටපු ලොක්කෙක් කියන කතාවක්ද මේක….???
    (brigadier rank එකෙන් එහා මිසක් මෙහා නෙවි කියලනම් දන්නව)
    අම්මප…..
    😛

  18. ආමි එකේ වැඩ කරන්ට තිබුණු අදහස අත් ඇරියා ඔන්න. මේ ටික ඔක්කොම මතක තියාගන්ට මට බෑ. 😀 😀

  19. http://dushyapa.wordpress.com/

    විචාරක මේ බ්ලොග් එක දැකලා තියෙනවද? බින්දි (නෙලුම්විල ) කොහෙ හරි දාලා තියෙන කමෙන්ටුවකින් දැක්කේ.

  20. විචාරක මහත්තයාගේ මීළඟ සටහනෙන් සිතියම ගැන දැනගෙන මොලේ කාර්පට් කරගැනීමේ බලාපොරොත්තු ඇතිව සිටිමි. තේරුම් ගන්න ටිකක අමාරු වුනාට කුතුහලය නිසාම කියෙව්වා. ස්තුතියි ඔබට.

  21. පත්තර මල්ලි said:

    .

  22. පත්තර මල්ලි said:

    සමාවෙන්න සර් වටින පෝස්ට් එක කියවල අහන මෝඩ ප්‍රශ්නෙට.. ආමි එකේ ඉහල තනතුරු දරන ගොඩක් අය ඇයි මේ ඕවලාකාර හැඩයක් තියන අව්කන්නාඩි පළදින්නේ.. ගොඩක් pilot ලා මම දැකල තියනව ..මම හිතනව එහෙම ලස්සනයි හැබැයි.

    • යුද හමුදාවේ කිසිදු නිළයකුට අව්කණ්නාඩි පැළඳීමට අවසර නැත. එසේ කලහැක්කේ වෛද්‍ය නිර්දේශ මත පමණි. ගුවන් නියමුවන්ට අව්කණ්නාඩි අත්‍යවශ්‍යය. සමහර අවස්ථාවලදී දෙනෙත් අන්ධ වන තරම් දැඩි හිරුරැස් වලට ඔවුන් මුහුණදෙන නිසා. Tear Drop Style නමැති ඒ කන්නාඩි හරිම ලස්සනයි නේද? ලෝකයේ හමුදා ගුවන් නියමුවන්ගෙන් අති මහත් බහුතරය පළඳින්නේ ඒ මොස්තරයම තමයි.

  23. දත් වැටෙන කාලේ, පෙරහැර බලන්න ගිහින් අලි පස්සේ ගිහින් කියලා අනිත් අය හිනාවෙන එක මතක් වුනා අර පින්තූරේ දැකලා.
    ඇත්තෙන්ම මුන්නැහෙත් පෙරහැර ඩියුටි කලාවද්ද?

  24. මේ සැරේ කියවන්න එන්න ටිකක් පහු වුණා. ඔය සංකේත සඳහා සම්මත ඒවා දාන්නේ නැතිව හමුදාවක් සඳහා අනන්‍ය රහස් සංකේත භාවිතා කරනවා නම් සිත්යමක් සතුරන් අතට ගියත් ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ නේද.? එහෙම කරන්නේ නැද්ද?

    • එවැනි රහස් එකක්වත් වැඩිකල් පවතින්නේ නැහැ. කොහොමහරි එලියට එනවා. ලෝකයේ බොහොමයක් ත්‍රස්තවාදී සංවිධානවල එවැනි රහස් සංකේත, පණිවිඩ හුවමාරු කිරීම් ක්‍රම, හෙළිකරගත් අවස්ථා තියනවා.

  25. සමීර නාදුගල said:

    ඇත්තම් ඇත්ත යුධ සිතියමක් ලකුණු කරලා පෙන්නන්න බැරිද විචාරක තුමා .. ලංකාවේ නොවුනත් කමක් නෑ …. එතකොට මිට වඩා ට්කක් පැහැදිලි වෙයි වගේ ..
    විචාරක තුමා චින්නුගේ ක්‍රම මිට වඩා වෙනස්ද ? එහෙම වෙනස් නම් අපේ නිලධාරීන් එවැනි රටවලට පුහුණුවට ගිය විට අදාල පුහුණුව ලබා දෙන්නේ කොමද ?

    • ඉදිරි කාලයේදී මම ලියන්නට බලාපොරොත්තුවන ලිපියක යුද සිතියමක් ඇතුලත්වෙනවා. දැනට ඒ ලිපියේ මූලික සැකිල්ල හදලා තියෙන්නේ.

      චීන හමුදාවේ කටයුතු ගැන කිසිවක් නොදනිමි. අපේ හමුදාවේ නිලධාරීන් චීනයේ උසස් පාඨමාලා සඳහා සහභාගී වෙනවා. එහිදී පදනම් කරගන්නවා ඇත්තේ නේටෝ සංවිධානයේ පොදු පුහුණු සැලසුම් වෙන්න ඇති. (චීනය නේටෝ සංවිධානයට අයත් නැත)

  26. මේ දේවල් බෙදා ගන්නවාට බොහොම ස්තුතියි. දැන් තමයි බොහෝ දෙනෙකුට යුද්ධය සහ හමුදාව මොකක්ද කියලා තේරෙන්නේ.

    • මම හිතන්නේ නැහැ සුදීක හමුදාව නමැති සප්ත මහා සාගරයෙන් බින්දුවක්වත් කියන්න මට ලැබුනා කියලා. නමුත් මම යම් දෙයක් කළා කියන තෘප්තිය තිබෙනවා. බොහොම ස්තුතියි ඔබට.

  27. බොහොම වටිනා පිටුවක් ..මමත් අද තමයි කියවන්න සෙට් උනේ ..අද ඉදන් දිගටම ..බලනවා මේක .ඔබට බොහොම ස්තුතියි ..මේ වගේ වෙනස්ම මාතෘකාවක් ගැන ලිවීම ගැන

    • ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබට කාලවේලාව ඇති පරිදි පැරණි ලිපිත් කියවා අදහස් දක්වනමෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ සමගම මේ අදහස් දැක්වීම ගැන ස්තුතිවන්ත වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: