විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 Judge_With_His_Gavel_clipart_imageඅපේ රටේ නීතිය වල් වැදිලා, අධිකරණය පක්ෂපාතියි, පොලීසිය සාධාරණ නැහැ කියන චෝදනා, නිතර අහන්න ලැබෙන බව අපි කවුරුත් දන්නවා. පසුගිය අවුරුදු 25 – 30 පමණ කාලය තුළ, ඉහත කී ආකාරයේ චෝදනා වැඩිවීමක් මිස අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. බලයට පත්වන සෑම රජයකින්ම, මහජනතාව බලාපොරොත්තුවන සාධාරණත්වය ඉටු නොවුන බවයි මහජනතාවගේ මතය වන්නේ. ඒ නිසයි කාලීනව පවත්වන (සාධාරණ) මැතිවරණ වලදී ආණ්ඩු බලය ගිලිහී යන්නේ.

  නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලීසිය ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවත් නොරහසක්. නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය කොතරම් සූදානම් වුවත් දේශපාලන අධිකාරියේ දඬු අඬුව විසින්, පොලීසිය, හෙලවෙන්නට නොදී දැඩි ග්‍රහණයකට ලක්කරගෙන තිබීම, මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක්ම යටතේ දක්නට ලැබෙන, කාලකණ්නි ස්වභාවයක්. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම ආදිය, ඈත දිව්‍යලෝකයක තිබෙනවායැයි කියන, රසවත් ආහාරයක් ලෙසයි, අද අපේ රටේ මහජනතාව තේරුම්ගෙන තිබෙන්නේ. ඒවා ආත්ම ගණනාවක් පින්කර ලබාගතයුතු දිව්‍යලෝක සැප විනා, මේ ආත්මයේදී ලබාගත නොහැකි දේ ලෙසයි පෙනීයන්නේ. පොලිස් නිළධාරියකුට නිදහසේ තම හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දුන්නොත් බොහොම ජ්‍යොෂ්ට පොලිස් නිළධාරීන් පවා කියයි, තමන් දේශපාලන අධිකාරියේ හස්තයට අසුවී සිටින නිසා නීතිය හරිහැටි ක්‍රියාත්මක කරවන්නට නොහැකි බව.

  ජනතාව දැඩි ජීවන අරගලයක යෙදී සිටින නිසා, තම මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන, සාධාරණ අරගලයකට එක්නොවන්නේ, අපි හැඩගැසී තිබෙන (අපේ මනසට කාවද්දා තිබෙන) පසුගාමී ආකල්ප සහ, විවෘත ආර්ථිකය මගින් ඇතිකරන ලද, ධන තණ්හාව නිසා බවයි, මටනම් හිතෙන්නේ. කවුරුන් හෝ පාලකයකු, අපේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය නොමිළේ ලබාදීම අත්හිටවූවත්, ජනතාව වීදි බසියි කියා මමනම් හිතන්නේ නැහැ. එමෙන්ම නුදුරේදී ඇත්තටම එය සිදුවූවත්, මමනම් පුදුම වන්නේ නැහැ. 

  නීතිය ක්‍රියාත්මකවීම ගැන නිතර අහන දකින කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට මම කැමතියි. මා ඔබෙන් ඉල්ලාසිටින්නේ මේ ගැන ඔබේ අදහස් දැක්වීමට මෙය විවෘත වේදිකාවක් කරගන්න ලෙසයි.  

අයිතිවාසිකම් වෙනුවෙන් ඇයි අපි ඉදිරිපත් නොවෙන්නේ?

  •   බස් එකේදී ටිකට් එකක්/ඉතුරු සල්ලි නොදීම ගැන කොන්දොස්තරගෙන් විමසන්නේ අපෙන් කීයෙන් කී දෙනාද? ඒ පිරිස අඩු නිසා නේද කොන්දොස්තරලා ගහගන්න එන්නේ. එක බස් එකක යන දෙන්නෙක් තුන්දෙනෙක් හරියට කතාකළොත් ඒ අයිතිය දිනාගන්න බැරිද?
  • බස් එක ඇතුළට/කෝච්චිය ඇතුළට ඇවිත්, අපේ කරේ නැගලා කරන, වෙළඳාම සහ සිඟාකෑම, නවත්වන්න ඕනෙද නැද්ද? ‘මග නැගුම’, ‘මග නැසුම’, ‘ගම නැගුම’, ‘ගම කෑම’, වැනි මොන බෝඩ් එක එල්ලගෙන ආවත්, අමාරුවෙන්, දාඩිය දාගෙන, තෙරපිලා, ගොඩවෙලා ඉන්න කෝච්චියේ, අපේ රෙද්ද අස්සෙන් රිංගලා වෙළඳාම් කරන්න එන්නේ, හරියට ‘අනේ අපේ රෙද්ද අස්සට එන්නකෝ’ කියලා අපි කිව්වා වගේ. ඒ මදිවට යන්තම් හරි ඇඟේ හැප්පුනොත්, අපිටම ගහන්නත් එනවා.  
  • අපි කවුරුත් ඉස්පිරිතාලෙට යන්නේ, ලක්ෂ ගණන් වියදම් කරලා, පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න වත්කමක් නැති නිසා. එහෙම බෙහෙත් ගන්න ඇඳුනුම් කමක් තියෙන්න ඕනේ ඇයි? එහෙම නොතිබුනොත් රස්තියාදුවෙන්න හෝ නිසි ප්‍රතිකාර නොලැබෙන්න, ඇඳක් නොලැබෙන්න ඉඩ තියෙන්නේ ඇයි? දොස්තර මහත්තයා ලියලා දුන්න බෙහෙත්ටික ගන්න, අපි  අමාරුවෙන් පෝළිමේ  හිටගෙන ඉඳිද්දී, කාර්ය මණ්ඩලයේ අයට කියලා, වෙනම බෙහෙත් කවුන්ටරයක් හදලා තියෙන්නේ ඇයි?
  • පොලීසියට පැමිණිල්ලක් කරලා එහි පිටපතක් ගන්න යතුරු ලියන කඩදාසි හෝ ඡායා පිටපත් කඩදාසි, රාළහාමිට බුලත් විටක්/තේ එකක්, සමහරවිට ඊටත් වැඩි දේවල් දෙන්න සිදුවෙලා තියෙන්නේ ඇයි? ඒ ගැන ප්‍රශ්න කළොත් ගුටිකන්න සිදුවෙන්නේ ඇයි?
  • ඉස්කෝලේ පළමුවැනි වසරට ළමයෙක් දාගන්න එක, මේ තරම් දරුණු යුද්ධයක් වෙලා තියෙන්නේ ඇයි? ඒ වෙනුවෙන් අපි කොච්චර හොර බොරු වංචා කරනවද? පව් කන්දරාවක් කරලා, අර ළමයා ලවා බොරු කියවලා, පව් කරවලා, පව් කාරයෙක් හැටියට තමයි ඉස්කෝලෙට දාගන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ නැද්ද?
  • ඇත්තටම සියළුම සුදුසුකම් සපුරා තිබියදීත්, රැකියාවක් ගන්න, යන්තම් අටවත් පාස් නැති, දේශපාලන අම්බරුවන්ගෙන් වරම් ගන්න සිදුවෙලා තියෙන්නේ ඇයි? දැනට දශක කීපයක් තිස්සේ (මට මතක හැටියට 1970 දශකයේ සිට තමයි මේ තත්වය ඇතිවුනේ. 1968 වර්ෂයේදී මගේ අයියා කිසිදු දේශපාලුවකු පසුපස නොගොස් සුදුසුකම් අනුව පමණක් රජයේ රැකියාවක් ලබාගත්තා)  මගේ පියා විදුහල්පති කෙනෙක් වුනේ එකම දෙස්පාලුවෙකුටවත් ගොට්ට අල්ලන්නේ නැතුව 1960 ගණන් වලදී.

  මේ ලැයිස්තුව තව කොපමණ දිගට ලියන්න පුළුවන්ද කියන එක ඔබ හොඳින්ම දන්නවා. එහෙනම් ඔබම මේගැන ඔබේ අදහස් ලියන්න. ඊළඟට අපි තවත් පැත්තක් බලමු.

මේ නීති හරියට ක්‍රියාත්මක කළොත් ඔබ එකඟද?

  • නියම තැනින් පාර හරහා පනින්නේ නැති/පාරේ අපද්‍රව්‍ය හෝ කැළිකසල දමන/මුත්‍රා කරන හෝ මළපහ කරණ/පදික වේදිකාව අවහිරවනසේ වාහන, ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් නවත්වා තබන, දැන්වීම් පුවරු තබන, කඩවල් හදන/ අයට අනිවාර්යයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක වියුතුයි. 
  • පෞද්ගලික බස්රථ මෙන්ම ලංගම බස්රථ පාර බදු අරගෙන ධාවනය කිරීම, අධික වේගය, අධික හඬ නංවන හෝන්  පාවිච්චි කිරීම, නීති විරෝධී ලෙස, ප්‍රධාන ලාම්පු ක්‍ෂණිකාලෝක කර, ඉස්සර කිරීමට/පාර ඉඩ ගැනීමට උත්සාහ කිරීම, අනික් රියදුරන් බයකර ඉස්සර කිරීම, කොන්දොස්තර වරයා අනෙක් රියදුරන්ට තම වම් අත දමා සංඥා කිරීම, වැනි කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කළයුතුයි.
  • පුෂ් බයිසිකලයක් වුවද (අනේ මේකට ෆුට් බයිසිකලේ/පුට් බයිසිකලේ/පුටාර්/අරවා මෙව්වා කියන්න එපා හොඳේ. මේ බලන්න නිවැරදි නම හැබැයි ඒ නමත් හොඳ ඉංග්‍රීසි නෙවෙයි.)  ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කර (රු 10 ක් හොඳටම ඇති) බලපත්‍රයක් ලබාගත යුතුයි. (ඉස්සර මේවා කළේ නගර සභාව හෝ ගම් සභාව විසින්) එමෙන්ම බයිසිකලයක සීනුව, රාත්‍රී කාලයේදී දැල්වෙන විදුලි පහන්, පසුපස මඩ ආවරණයේ තිබියයුතු රතු පැහැති ආලෝක පරාවර්තකය, (reflector) අනිවාර්ය කළයුතුය. බයිසිකලයක ගමන්කළ හැකිවන්නේ එක් පුද්ගලයකුට පමණි. (ටැන්ඩම් බයිසිකල් හැර. ටැන්ඩම් බයිසිකලයක ලයිසම රු 25 ක් කළයුතුයි. බඩු ගෙනයන ලොකු බක්කිය සහිත බයිසිකලයක ලයිසම රු 50 ක් කළයුතුයි) එමෙන්ම විශාල පෙට්ටි, බඩු පුරවන ලද ගෝණි වැනි, බයිසිකලයට සහ එහි සමබරතාවයට දැරිය නොහැකි, අධික බර පටවාගෙන යාම තහනම් කළයුතු අතර, බයිසිකලය පාලනය කරගැනීමට අපහසු වන පරිදි, එහි හැඬලයේ, ගමන් මලු, වෙනත් පාර්සල් ආදිය එල්ලාගෙන යාම තහනම් කළයුතුය.

saw-overloaded-bike-004

පින්තූරය ගත්තේ මෙතනින්

  මෝටර් බයිසිකලයක නමැති වාහනය නිපදවා තිබෙන්නේ, එක් අයකුට හෝ දෙදෙනෙකුට ගමන් කිරීම සඳහාය. ලෝකයේ කිසිදු දියුණු රටක, සම්මතයට පටහැනි ලෙස, මෝටර් බයිසිකලයක මිනිසුන් හෝ බඩු බාහිරාදිය පටවාගෙන යාමට එරෙහිව දැඩි නීති පනවා තිබෙන්නේ, මිනිස් ජීවිත රැකගැනීමට විනා ‘දුප්පත් මිනිස්සු ඕනේ විදිහකට ගියාවේ’ කියන අමනොඥ සිතුවිල්ලෙන් නොවේ. එහෙනම්, ‘දුප්පත් මිනිස්සු ඕනේ විදිහකට ගිහින් ඕනේ විදිහකට මැරුණාවේ’ යනුවෙන් ඒ අදහස වෙනස් කළයුතුය. ඒ නිසා පහත දැක්වෙන නීති වහාම ක්‍රියාත්මක කළයුතුය.

  මෝටර් බයිසිකලයක ගමන් කළහැකි වන්නේ දෙදෙනෙකුට පමණි. එසේ කළහැකි වන්නේද එම මෝටර් බයිසිකලය දෙදෙනෙකුට යාම සඳහා නිපදවා ඇති එකක් නම් පමණි. මෝටර් බයිසිකලයක වුවද විශාල පෙට්ටි, ගෝණි, හැඬලයේ එල්ලන ලද ගමන් මළු, ආදිය ගෙනයාමට ඉඩ නොලැබෙන අතර, පදින්නා සහ පසුපස අසුනේ වාඩිවී යන්නා අතර ගමන් මළු හෝ එවැනි කිසිදු දෙයක් තබාගෙන යාමට අවසර නොලැබේ. නිෂ්පාදකයා විසින් සවිකර ඇති, ගමන් බඩු පෙට්ටි සහ ලගේජ් කැරියර් වල පමණක්, බයිසිකලය හැසිරවීමට අපහසු බව, රථවාහන පොලිස් නිලධාරියකු විසින් නිරීක්ෂණය නොකෙරෙන ආකාරයේ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයා හැකිය. වාහන පේළි අතරින් හිතු හිතු ආකාරයට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරමින් රිංගාගෙන යන මෝටර් බයිසිකල් කරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළයුතුය.

  මඩකළපුවට යාපනයට වෙනම මෝටර් බයිසිකල් නීති දුන්නේ කවුද? පසුපස ආසනයේ හරහට වාඩිවී යන්නට අවසර දුන්නේ කවුද? මුස්ලිම් අයට (විශේෂයෙන් ඒ ප්‍රදේශවල මුස්ලිම් කාන්තාවන්ට)  හෙල්මට් දැමීම අනවශ්‍ය බවට අවසරයක් දුන්නේ කවුද? වහාම, ඒ පළාත්වලටත්, දිවයිනේ අනෙක් පලාත්වල ඇති නීතියම ක්‍රියාත්මක කළයුතුය. (මෝටර් බයිසිකල් සම්බන්ධ දැනට ක්‍රියාත්මක නීති මෙහි සඳහන් නොකෙරේ)

03-overloaded-171112

overloaded MC 1

Overloaded MC 2

පින්තූර ගත්තේ මෙතනින්

  ත්‍රිරෝද රථ ලෝකයේ දියුණු රටවල පාවිච්චි නොකෙරේ. පාවිච්චි කිරීමට අවසරද නැත. හේතුව එය මගී ප්‍රවාහනය සඳහා ආරක්‍ෂිත වාහනයක් ලෙස ලෝකයේ රටවල් විශාල ගණනක් නොපිළිගන්නා බැවිනි. අපේ රටේ ත්‍රිරෝද රථ පදවන ආකාරය නිසා ඇතිවන ගැටළු සම්බන්ධයෙන්, අද කොයි තරම් දේවල් සාකච්ඡාවට භාජනය වෙනවාද? ත්‍රිරෝද රථ නිසා අපේ රටේ වාර්ෂිකව සිදුවන මාරක අනතරු ගණන ඉහළ යනවා මිස පහළයාමක් නැහැනේද? නමුත් සම්මත නීති පවා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? තමන්ට වැටෙන මනාප ඡන්දය වෙනුවෙන්, ඕනෑම දහජරා වැඩක් ඉවසන, අනුමත කරන, ජරා දේශපාලුවන් නිසා නේද එවැනි තත්වයක් උදාවී තිබෙන්නේ? එදා යුද්ධයෙන් මිනිසුන් මැරුණා වගේ, අද වැඩිපුරම මිනිසුන් මැරෙන්නේ වාහන අනතුරු නිසා නේද? බොහොමයක් ත්‍රිරෝද රථ පදවන්නන්ද වමෙන් හා දකුණෙන් ඉස්සර කරමින් රිංගාගෙන යාම, ඉතා නොසැළකිල්ලෙන් අතුරු පාරවල සිට ප්‍රධාන පාරට පිවිසීම,  වැරදි ආකාරයට නැවත්වීම සහ නවත්වා තැබීම (stop & parking) අනවශ්‍ය වාහන තදබදයක් ඇතිකිරීමට හේතුවෙනවා. ඒ නිසා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. නීතිය වල් වැදුනොත්, හෙට අනිද්දා වනවිට, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල, මේ පහළ පින්තුරයේ තිබෙන දර්ශනය දකින්න ලැබෙයි.  

Tri Show 1

එමෙන්ම එහි තවත් ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය මෙන්න මේ වගේ වෙන්නත් බැරිකමක් නැහැ.

Tri Show 2

දඹුල්ලේ/වැලිමඩ/යාපනයේ එළවලු ගොවීන්ට, පෞද්ගලික සුළු පරිමාන තේ ඉඩම් හිමියන්ට, පොල් වගාකරුවන්ට, ගැලපෙන විශාල ත්‍රිරෝද රථ තිබෙනවා. නමුත් ඒවා මෙහෙ ගෙනාවොත් නිසි පිළිවෙත අනුව භාවිත කරයිද යන්න ගැටළුවක්. අපේ රට වැනි දුප්පත් රටවලින්, ත්‍රිරෝද රථය දැන්ම ඉවත් කළ නොහැකි බව, මමත් පිළිගන්නවා. නමුත් ඒ තත්වය, ත්‍රිරෝද රථ හිතුමනාපයට පාවිච්චි කිරීම සඳහා නිදහසක් දීම ලෙස, වරදවා නොගතයුතුයි.

Tri Show 3

  පාසල් සිසුන් හා රැකියා සඳහා යන අය වෙනුවෙන් දුම්රිය ගණනාවක් යෙදුවත් තදබදය අඩුවන බවක් පෙනෙන්නට නැහැ. සමහර කාර්යාල සේවිකාවන්ට දුම්රියට ගොඩවීමට අවස්ථාව අහිමිවන්නේ, දුම්රියේ දොරටු වල එල්ලී සිටින අය නිසා දොරටු සම්පූර්ණයෙන් අවහිරවී තිබෙන නිසයි. සමහරෙක් දොරටුව අසල ඉන්නේ ඇතුලේ රස්නය හා තදබදයට අකමැති නිසා. ඉක්මනින් බැහැගන්න පහසු නිසා.  ඔවුන්ද එසේ එල්ලී සිටින්නේ, ආසාවට නොවෙයි. පිටතින් එල්ලීමට නොහැකි වනලෙස, ස්වයංක්‍රීයව ඇරෙන/වැසෙන දොරටු සහිත දුම්රිය යෙදවීමට ඔබ එකඟද?

Overloaded Train

රෝද දෙකේ ට්‍රැක්ටර් ගැනත්, මේ ලිපියේදී කථාකළයුතු වෙනවා. ඒවා අද බහුළව පාවිච්චි කරන නිසා.

image0118

 

පින්තූරය ගත්තේ මෙතනින්

රෝද දෙකේ අත් ට්‍රැක්ටර් (අපි පුංචි කාලේ තිබුණ පීඩන භූමිතෙල් ලාම්පු වල, එක නිෂ්පාදන නමක් වුනේ, ‘පෙට්‍රොමැක්ස් – Petromax’  යන්නය. ඒ නිසා ඒ ආකාරයට ක්‍රියාකරන සියළුම ලාම්පු, ඒ නමින්ම හැඳින්වුණා. එකම හැඩය තිබුන නිසා, තවත් ලාම්පු වර්ගයක් හැඳින්වුණේ ‘ඇලඩින් ලාම්පු’ කියලා. නමුත් නියම ඇලඩින් ලාම්පු බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්. ඒ වගේ මුලින්ම වෙළඳපොළට පැමිණි රෝද දෙකේ අත් ට්‍රැක්ටර් ‘ලෑන්ඩ් මාස්ටර් Land Master’ නමැති වෙළඳ නාමයෙන් තිබුණ නිසා, අදටත් අපේ බොහොමයක් දෙනා, රෝද දෙකේ ට්‍රැක්ටරය හඳුන්වන්නේ ලෑන්ඩ්  මාස්ටර් නමින්මයි)  ප්‍රධාන පාරවල්වල ධාවනය කිරීම වහාම තහනම් කළයුතුය. එමෙන්ම එහි ට්‍රේලරයේ, මිනිසුන් ප්‍රවාහනය සහ රියදුරු අසුනේ දෙපස, වෙනත් කිසිදු මගියකු ගෙනයාමට දැනට ඇති තහනම, ඉතා දැඩිව ක්‍රියාත්මක කළයුතුය. (වෙසක්, පොසොන්, දවස්වල සහ  වෙනත් ප්‍රධාන පෙළේ ආගමික උත්සව දිනවල, මේ ට්‍රැක්ටර් ට්‍රේලර් වල ඕනෑ තරම් මිනිසුන් පටවාගෙන යාමට තහනමක් නැත යනුවෙන් වැරදි ආකල්පයක් අපේ සමාජයේ මුල්බැසගෙන ඇත. ඒ අදහස වැරදි බව අවබෝධ කර දියයුතුයි) මේ ට්‍රැක්ටර්, ට්‍රේලරය සහිතව, රාත්‍රී කාලයේ, ගම්බද පාරක වුවද ධාවනය කරන්නේනම්, ට්‍රේලරයේ පසුපස විශාල, රතු පැහැති, ආලෝක පරාවර්තක දෙකක් සහ ‘ටේල් ලයිට් tail light’ දෙකක් අනිවාර්යයෙන් තිබියයුතු අතර, කිසිදු හේතුවක් නිසාවත්, ට්‍රේලරයේ ටේල් බෝඩ් tail board එකෙන්, එම ලාම්පු රාත්‍රී කාලයේදී ආවරණය නොවියයුතුය.

untitled

පින්තූරය ගත්තේ මෙතනින්

අපරාධ නීතිය ගැන නම් මීට වඩා දීර්ඝව කතාකරන්න ඕනේ. නමුත් කෙටි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නම්.

  • 1. අපේ රටේ, වහාම ක්‍රියාත්මක වන පරිදි, මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයැයි ඔබ සිතනවාද?
  • 2. ස්ත්‍රී දූෂණය, කිසිදු සැකයකින් තොරව ඔප්පු වුනොත්, මරණ දඬුවම දියයුතුයැයි ඔබ සිතනවාද?
  • 3. දූෂණයට ලක්වූ කාන්තාවකට, ඒ බව, අධිකරණය ඉදිරියේ, සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට හැකිනම්, මවට ජීවිත හානිය නොවන තත්වයක ඇති දරුගැබක්, පිළිගත් වෛද්‍ය වරයකු ලවා, ගබ්සා කරගැනීමට, ඒ මවට අයිතියක් දියයුතුයැයි ඔබ සිතනවාද? 

පහත දැක්වෙන මත විමසුම වෙතත් ඔබේ අවධානය යොමු කරවනවා. ඒ මත විමසුමටත් දායක වන ලෙස ඉල්ලනවා. මෙවැනි මත විමසුමක්, මා ඉදිරිපත් කරන්නේ, මේ බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වරටයි. ඒ නිසා කිසියම් තාක්ෂණික දෝෂ ඇතිවීමට ඉඩ තිබෙනබව ද සඳහන් කරනවා.

my-signature-for-blog[1]2013 ඔක්තෝබර් මස 06 වැනි දින 2144 පැය

Comments on: "අනේ මන්දා මේ නීති ඕනෙද එපාද? – The Law and Order" (87)

  1. මත විමසුමක් සමග හොද විස්තරාත්මක ලිපියක්.
    මම නම් හිතන්නෙ එක එක මොලේ කළදක් නැති දේසපාලුවන්ට වෙනස් කල නොහැකි ලෙසට සෑම දෙයකටම ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කිරීමට සැලසුවොත් ඔබ කියා ඇති දේවල් ඉතාමත් හොදට ක්‍රියාත්මක කළහැකි බවයි.

    • මත විමසුමටනම් බැස්සේ ටිකක් චකිතයකින් කෙන්ජි. මොකද මීට කලින් කර නැති තාක්ෂණික හරඹයක්.

      මොලේ ඇති එවුනුත් දේශපාලනේට ගිහිල්ලා බලය රැකගන්න කරන ගොන්කම් වලට මොකද කරන්නේ කියන දුක තමයි තියෙන්නේ. අපෙ සමහර දෙස්පලුවෝ සාප කරන, බටහිර රටවල තිබෙන සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය අපට හැමදාම හීනයක් වෙයිද?

  2. සෝදාගෙන යමින් තිබෙන ආකල්ප රටාවන් පුනරුත්ථාපනය සඳහා අර්ථවත් වැඩ පිළවෙලක අවශ්‍යතාව තදින් දැනෙන දෙයක් නේද ? ආරම්භ කළයුතුව ඇත්තේ මූලික අධ්‍යාපන අවස්ථාවේ සිටය.දැනුම් කුසලතා ආකල්ප වෙනුවට ආකල්ප කුසලතා දැනුම වැනි අනුපිළිවෙලක් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ දිස්වීම මග හැරී ගිය බවක් පාසල්තුළ පෙනෙනවා. දක්නට ලැබෙන ප්‍රවනතාවය වෙනස් මගකට යොමු කිරීම පිණිස ඇති දීර්ඝකාලීන විසඳුම එය නොදැයි ඔබේ අගනා ලිපිය කියවන විට මට හැ‍ෙඟෙනවා.

    • ඔව් ගුණසිංහ මහතාණෙනි, අධ්‍යාපනය තරම් සමාජය සුවපත් කරන ඔසුවක් තවත් නැහැ. නමුත් අවාසනාවකට මෙන් අද තිබෙන්නේ විෂයය කරුණු පමණක් උගන්වන අධ්‍යාපනයක් විනා සදාචාරය, සමානාත්මතාව, අන්‍යොන්‍ය අවබෝධය, වර්ධනය කරන අධ්‍යාපනයක් නොවේ. ඇත්තටම මේ සියලු ප්‍රශ්න වලට විසඳුම තිබෙන්නේ අධ්‍යාපනය තුල වුවත් එය ක්‍රියාත්මක වන්නේ එක්තරා යාන්ත්‍රික ස්වරූපයකිනුයි.

  3. විචාරක මං හිතන්නේ මේ අදාළ නීති බොහොමයක් දැනටමත් අපගේ නීතිපද්ධතියේ තිබෙන අතර සිදු නොවන්නේ මේ නීති ක්‍රියාත්මක නොවීමයි. ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීමේදී එල්ලවන බලපෑම බොහෝසෙයින් වැඩිවී තිබෙනවා.
    මේ සඳහා මූලික පියවර විය යුතු වන්නේ
    1. පොලිසියට බඳවා ගැනීමේදී ඉහල අධ්‍යාපන සුදුසුකම් සපුරාලිය තු බවට නීති සකස් කිරීම
    2. පොලිස් නිලධාරීන් ඉහල වැටුප් තලයක පිහිටුවීම
    3. ස්වාධීන පොලිස් කොමිසම ඇති කිරීම .

    පොලිසියට දේශපාලන බලපෑම් එල්ල වීම නවතවාලිය නොහැකිනම් මේ නීති කිසිදා ක්‍රියාත්මක නොවනු ඇත.

    • ඔව් බොහොමයක් නීති පවතිනවා නමට විතරක්. ක්‍රියාත්මකවීමක් නැහැ.

      පොලිස් කොස්තාපල් වරයකු වුනත් බඳවාගන්නේ අවම සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵල වලින්. නමුත් අද ඉන්න බොහොමයක් අය උසස්පෙළ වැඩ තුනක් සමත්. ඊට සාපේක්ෂව හමුදා සෙබළුන් බහුතරයකට තිබෙන්නේ ඊට අඩු අධ්‍යාපන සුදුසුකම්. ඒ වගේම පොලිස් නිලධාරීන්ට ලැබෙන වැටුප්, බටා, ආදිය බැලුවම උපාධිධාරී රජයේ සේවකයකුට වඩා වැඩියි.

      මමත් කියන්නේ මේ ද්ශපාලන පිළිකාව පොලීසියෙන් ඉවත් නොකලොත් ඉවරයි. ඔබ දන්නවාද අද ලංකාවේ සෑම පොලීසියකම පොලිස් ස්ථානාධිපති වීමටනම් රජය විසින් ඒ පළාතේ නම්කර තිබෙන දේශපාලන බලවතාගේ පෞද්ගලික නිර්දේශය ලබාතිබිය යුතුයි.

  4. මේකට අදහස් දක්වන්න තව පෝස්ට් එකක් ලියන්න වෙනවා. ඒ නිසා කෙටියෙන් දැනට නීතිය ක්‍රියාත්මක වෙන හැටි ගැන කිසි සතුටක් නෑ කියලා කියන්නම්.
    විරුද්ධ නොවෙන්නේ ජීවිතාව නිසා කියලා කියන්න පුලුවන්.
    අර නීති ක්‍රියාත්මක කිරීමට කැමතියි, සමහරවිට යම් සංශෝධන සහිතව.
    ඔන්න ඡන්දේ දෙන්නයි යන්නේ.

    • ඇත්තටම මෙවැනි කරුණු පිළිබඳව කෙටියෙන් අදහස් දක්වන්න අමාරුයි. නැවත වෙලාවක් ලැබුනොත් තව දුරටත් අදහස් දක්වන්න. ස්තුතියි කෙටියෙන් හෝ ප්‍රතිචාරයක් දැක්වීම ගැන.

  5. Web.පුරවැසියා said:

    // සෞඛ්‍ය සේවය නොමිළේ ලබාදීම අත්හිටවූවත්, ජනතාව වීදි බසියි කියා මමනම් හිතන්නේ නැහැ. //
    ඒ කාලේ මට මතකයි බේත් ගන්න සත 25 ක් රජයට ගෙවන්න ඔනා. ඕකට කොපමන කතා තිබුනද ? මේක රු 25-50 කලත් දැන් කවුරුත් කතා කරන එකක් නෑ.

    • ඔබ තුමා ලංකාවේ ඉන්න කෙනෙක් නම් බලන්න පෞද්ගලික රෝහල්වල ඉන්න සෙනග. මේ ඔක්කොම පෝසත් මිනිස්සුද? ඒ මිනිස්සු ගේදොර උගස් කරලම නෙවෙයි ඒ රෝහල් වලට සල්ලි වියදම් කරන්නේ. මිනිස්සු දැන් ඉස්සරට වැඩිය මුදල් කළමනාකරණය දන්නවා. සත 25 මුද්දරේ අද රු 50ක් කලොත් විරුද්ද පක්ෂ ඔක්කොම රෙද්ද කරේ තියාගෙන පාරට බහියි. නමුත් හිතලා බලන්න දිනපතා සිගරට්/බීඩි/මත්පැන්/බොන්න, රටකජු/කඩල/බුලත්විට/කන්න, රේස් දාන්න, සල්ලි වියදම් කරන්නන්ගෙන් බහුතරය අඩු ආදායම් ලාභීන්.

  6. සංවාදයට ලක්කර ඇති දේවල් සමඟ යම් පමණකට එකඟයි. එකඟ නොවන තැනුත් තියනව. උදාහරණයක් විදියට බයිසිකල් වල ගමන් කල හැක්කේ එක් පුද්ගලයෙක් පමණි, හෝ මෝටර්සයිකල් වල භාණ්ඩ ගෙනයා නොහැක….. වගේ නීති ලංකාව වගේ රටවලට එතරම් ගැලපෙන්නෙ නෑ. නොගැලපීමටත් වඩා නීති පැනවීම තුලින් අපහසුතාවයට පත්වන පිරිස වැඩියි. ඒ වගේම මහන්සියකින් තොරව කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියනව. තැන තැන කැලිකසල දැමීම වගේ දේවල් නොකර ඉන්න බැරි දේවල් හෝ නොකලා කියල අපහසුතාවයට පත්වෙන දේවල් නොවේ. ඒවගේ වැරදි වලට දඬුවම් කලාට කමක් නෑ. මේ වගේ කාරණා ගනනාවක් තියනව.
    ඒ වගේම තියන දැනට තියන නීතිරීති ක්‍රියාත්මක නොවීම තමයි ලොකුම අවුල. නීතිය කියන දේ සදාකාලිකවම එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕන. කාලෙන් කාලෙට වෙනස් වෙන්න බෑ. දැන් බලන්න එක කාලයක් බුලත් හපල ප්‍රසිද්ධ ස්ථානවල කෙලගැසීමටත් දඩ ගැහුව. දැන් වගක් නෑ.

    මේ දේවල් එකසැරේට නිවැරදි කරන්න බෑ. ඒ වගේම ස්වාධීන කොමිෂන් පිහිටෙව්ව උනත් මිනිස්සුම හිතල බලල යහපැවැත්ම හදාගන්නකල් හරියන්නෙ නෑ.

    • සංවාදයේ මට අවශ්‍ය වැදගත් තැනකට ඕන ඇවිත් ඉන්නවා රාජ්. අපි දුප්පත් රටක්. අපි යතුරු පැදියක් ගන්නේ කොච්චර අමාරුවෙන්ද. එකෙන් තමයි සමහරවිට ළමයා මගදී ලැබුනත් බඩදරු අම්මව පවා රැගෙන යන්නේ. නමුත් මේ විදිහර යන්න ඉඩදීමේ කෙලවර කොතනද? අපි පෝසත් වෙනතුරු ඉම්මු කියලා කියනවානම් කවදද එහෙම වෙන්නේ. අපේ සීයලාගේ කාලයට වඩා අපි පොහොසත් නැද්ද? මම එක උදාහරණයක් කියන්නම්. ඉස්සර තිබුන හාල්පොත බණ්ඩාරනායක මැතිනිය විසින් නැති කළා. එන්.එම්.පෙරේරා නමැති මහා ආර්ථික විශේෂඥයා (ඔය දැන් ඉන්න ‘බකරාල්’ වගේ නෙවේ) තමයි ඒ උපදේශය දුන්නේ. රටපුරා විරෝධතා ආවා මිනිස්සු හාමතේ මැරෙයි කියලා. කවුරුවත් හාමතේ බරුනේ නැහැ. ඇත්ත තත්වය තමයි මිනිසුන්ට වත්කම (විශාල බහුතරයකට) තිබුනා හාල්පොත් නැතත් ජීවත් වෙන්නට. අපි එක අවුරුද්දක් ඔය නීති හරියට ක්‍රියාත්මක කලොත් මිනිස්සු එකට අනුවර්තනය වෙනවා. ඊට විරුද්ධව ජනතාව පොළඹවන්න කොටි ගණන් වියදම් කරලා පෙළ ගැහෙන්නේ යතුරු පැදි/ත්‍රිරෝද රථ ගෙන්වන සමාගම්.

      මම කියන ඔක්කොම දේවල් එකවර කරන්න ගියොත් ඉවරයි. මේවා ප්‍රමුඛත්ව පියවර වශයෙන් එකින් එක තමයි කලයුත්තේ. නීති පැනවීම වගේම පවත්වාගෙන යාමත් අභියෝගයක්. දේශපාලන බාධාකිරීම් නැත්නම් පොලීසියෙ ශක්තිය හොඳටම ප්‍රමාණවත් නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන්න.

      • //ඊට විරුද්ධව ජනතාව පොළඹවන්න කොටි ගණන් වියදම් කරලා පෙළ ගැහෙන්නේ යතුරු පැදි/ත්‍රිරෝද රථ ගෙන්වන සමාගම්.
        මේක නම් සහතික ඇත්ත විචාරක.අර micro කාර් එක ලංකාවේ හදන්න පටන් ගන්නකොට ඒකට පෙරලපු බාල්දි.අන්තිමට වාහන පාරේ දුවන්න ලියාපදිංචිය නොදී ඉන්න බැලුවා micro එකට ආරක්ෂාව පිලිබඳ ජාත්‍යන්තර සහතිකයක් නැහැ කියලා. හරියට යතුරු පැදි ත්‍රිරෝද ඊට වඩා හොඳයි වගේ.

        • 1970 – 77 සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ලංකාවේ ලැම්බ්‍රෙටා නමින් ස්කූටර් හැදුවා, මැස්ඩා කාර් හැදුවා, උපාලි ෆියට් කාර් හැදුවා, යුනික් රේඩියෝ හැදුවා, තවත් එවැනි කර්මාන්ත දියුණුවේගන ආවා. ඒ ඔක්කොටම අකුල් හෙලුවා. ඒ තත්වය දියුණු කලානම් අද අපේම වාහනවලින් තමයි අපි යන්නේ.

  7. මීට වඩා හොඳ නැත්ද නෝනා එක්ක අග්ගලා හදලා හවසට තේ බිවිවානම්.
    වැඩක් අැති දෙයක් තථා කරන්න මහත්තයෝ ඔබේ වටිනා කාලය කා ගන්නේ නැතිව.
    ඔබ බ්ලොග් ලෝකේ ලිපි කියව්වා නම් ඔය නිති කැඩිලි , විශේෂයෙන්ම රථ වාහන වලට අදාල නීතී කඩලා පොරවල් වගේ ඒ ගැන ලියනවා.පොලිස් කාරයින්ව හාස්‍යයට ලක්කරනවා.
    ඔබ දැක්කාද මීට පෙර W3 ලියන පැරා මහාමාර්ග අයිනේ මුත්‍රා කිරිම වැරදියි කියලා ලියුවහාම බොහෝ දෙනෙක කලේ ඔහුව හාස්‍යයට ගැනිමයි.
    දුමිරියේ ගොස් ඇතිනේ. හෙන පොෂ් බඩු රටකජු කාල පොත්ත දාන්නේ බිම. කාල බීල ඉටි කොල විසිකරන්නේ රේල් පාරට.
    අළුත්ගම පොලීසිය ඉස්කෝලේ ඇරෙන වෙලාවට නිලධාරින් දාලා වාහන පාලනය කලා සමන්ත වෙද සිංහ ස්ථානාධිපත් කාලේ.
    කහ ඉර උඩ ඉන්න නිලධාරියා වාහන වලට යන්න දීලා තියෙන වෙලාවේ වාහන අස්සෙන් රිංගලා මිාරුවෙන්නේ කවුද අළුත්ගම විද්‍යලේම උගන්වන තරුණ ගුරුවරියන්.
    මම විදේශ රටකදි ලබපු අත් දැකීමක් කියන්නම්.
    අපි සුදු ඉර උඩින් පාර පැන්නා. හැබැයි වාහනත් නැහැ මාරු වෙන්න කොල පාට සංඥාවත් නැහැ.මාරු අනහම අනෙක පැත්තේ හිටපු මහත්මයෙක් ඇහුවා බොහෙමෙ කාරුනිකව ඇයි නිසි සංඥාව නැතිවෙලාවේ පාර මාරු උනේ කියලා. අපි කියුව වාහන නැහැනේ.
    ඔහුගේ පිළිතුර උනේ. ඒක ඇත්ත නමුත් කුඩා දරැවන්ට ආදර්හයක් වන්න කියා.මට පොලව පලා ගෙන යන්න හිතුනා.

    • හඃ හඃ හා………..නියම අදහස උදාර. මමත් අග්ගලා කන්න හරිම ආසයි.

      මම අර පරණ චීන කතාවක ඉන්න මහල්ලා වගේ හිතලා තමා ලියන්නේ. එක පැරණි චීන ගමක මහා කන්දක් තිබුනලු. ඒ කන්ද නැගලා බැහැලා ඒ ගමට යන එන එක හරිම වදයක්. ඒ ගමේ හිටිය මහලු මිනිහෙක් උදැල්ලක් අරන් කන්ද කපන්න පටන්ගත්තළු. ඔක්කොම හිනාවුනාලු අනේ මෝඩයෝ උඹට පුලුවන්ද උඹේ ජීවිත කාලේදී ඔය කන්ද කපලා ඉවර කරන්න කියලා. මිනිහා ඒකට උත්තර නොදී දිගටම කන්ද කැපුවලු. අන්තිමට තව තව අය එකතුවුනාලු. කතාව අවසාන වෙන්නේ ගමම එකතුවෙලා කන්ද කපා පාරක් හැදීමෙන්. මම ඒ වගේ හිතලා සමහර ලිපි ලියන්නේ.

      ඔබේ අදහස් දැක්වීමේ ඉතිරි කොටසේ ප්‍රශනය සහ විසඳුම ඉතා පැහැදිලිව තිබෙනවා. අර දුම්රියේ යන අවලම් අයටත් පාර පාවිච්චි කරන අවලම් අයටත් අර ඔබට විදේශයකදී උපදෙස් දුන් තැනැත්තා කල දේම කරමු.

      • මෙහෙම මහල්ලෝ තවම ඉන්නවා 🙂
        පත්තරක දැක්කා ගමම හිනා වෙද්දී තනියෙන් වැවක් බැන්ද ගොවි මහත්මයෙක් ගැන.දැන් මුළු ගමම පාවිච්චි කරන්නේ ඒ වැව.දැන් ඔහු හදවතින් හිනා වෙනවා.
        ඒත් මේ සිරි ලංකාවේ තමා.

  8. විශ්ව රංගනාත් said:

    රථවාහන සඳහා ගහන බදු අඩු කරානම් ඔය ත්‍රීවීල් සහ අත් ට්‍රැක්ටර ගන්න මිනිසුන්ට කාර් සහ ට්‍රැක්ටර ගන්න පුළුවන් එහෙම කරොත් මාර්ගවල ඇති අනාරක්ෂිත බව අඩු වෙනවා.

    //ස්ත්‍රී දූෂණය, කිසිදු සැකයකින් තොරව ඔප්පු වුනොත්, මරණ දඬුවම දියයුතුයැයි ඔබ සිතනවාද?// ඔවු

    //දූෂණයට ලක්වූ කාන්තාවකට, ඒ බව, අධිකරණය ඉදිරියේ, සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට හැකිනම්, මවට ජීවිත හානිය නොවන තත්වයක ඇති දරුගැබක්, පිළිගත් වෛද්‍ය වරයකු ලවා, ගබ්සා කරගැනීමට, ඒ මවට අයිතියක් දියයුතුයැයි ඔබ සිතනවාද? //
    දූෂණයට ලක්වූ කාන්තාවකට එම සිදුවීම වූ දින ම පිළිසිඳ ගැනීමක් වලකන ඔෂද ලබාදෙන්න පුළුවන් එමගින් ගැබ්ගැනීම් වැළක්විය හැක(මේ ගැන පොලීසිය දැනුවත් කරන්න පුළුවන්.) අනෙක දුෂණයක් වූ පමණින් දරුවෙක් මැරීමට අවසර දෙන්න පුලුවන්ද. එවැනි දරුවෙක් හැදීම පිලිබඳ ගැටළුවක් ඇත්නම් දරුවා බිහිවූ පසු ළමයින් නොමැති යුවලකට නීතියනුකුලව භාර දිය හැකියි නේ.

    ත්‍රීවීල් සහ යතුරුපැදි පදවන්නන්ට බනින්න එපා ටයි දමාගෙන හරක් වගේ රිය පදවන කාර් පදවන්නොත් ඉන්නවා. ඒ වගේම ත්‍රීවීල් පදවන මහත්මයොත් ඉන්නවා. මෙතන දුප්පත් පොහොසත්, කාර්, ත්‍රීවීල් ගැටළුවක් නැහැ තියෙන්නේ රියදුරන්ගේ විනය ගැටළුවක්. දැන් පාරේ විනයක් සහිතව යන්න අමාරුයි. මමත් බොහෝ විට පාරේ යන්නේ යකෙක් වගේ.

    • බදු අඩුකිරීම හොඳ යෝජනාවක්. අපේ රටේ තරම් අමුඩ කෙටියටත් බදු ගහන රටක් වෙන කොහෙවත් නැතුව ඇති. බදු සහනය (duty free) ගොවීන්ට දෙනවානම් කොපමණ සේවයක්ද?

      මෙහෙම හිතන්න යම්කිසි කාන්තාවක් දකින්නවත් අකමැති මිනිහෙක් ඇයව දූෂණය කරනවා. ඇය කිසිසේත් කැමති නැහැ ඔහුට දාව දරුවකු ලබන්න. දැන් අර මව ඒ වෙනුවෙන් ජීවිත කාලය පුරා විඳවනවද වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් තම මානසික වාදයෙන් මිදෙනවාද? ඇත්තටම මෙය පුළුල්ව සාකච්ඡා කලයුතුයි.

      මම ත්‍රිරෝද රථ සහ යතුරු පැදි විශේෂ කලේ අනෙක් අය නොකරන බරපතල වැරද්දක් ඔවුන්ගෙන් බහුතරයක් කරන නිසා. ඒ තමා වාහන පේලි අතරින් රිංගා යාම. එය හරිම භයානකයි. අපොයි ලොකු මහත්තුරු සමහරක් හරක් වගේ තමා පදවන්නේ.

      යකෙක් වගේ යන්න එපා. අපේම ආවේග විසින් අපිව අනතුරකට ඇද දමන්න පුළුවන්.

  9. වැඩක් නෑ කතා කරාට, ඔව්වා වෙනස් වෙන්නේ නෑ,

    • අපි උත්සාහ කරන්න ඕනේ වෙනස් කරන්න. අපේ අනාගත පරපුර වෙනුවෙන්වත් හිතලා.

    • නිකන් වෙනස් වෙන්නෑ තමා, වෙනස් කරන්න ඕනා. අඩුම ගානෙ උත්සහා කරන්න ඕනා. තමන් හැකිතාක් විනයානුකූල වෙන්න ඕනා. එතකොට වෙනවා. මම කාලෙකට පස්සෙ ලංකාවෙ වාහන එලවන්නෙ.. සැළකිය යුතු ධනාත්මක වෙනසක් තියන බවක් පේනවා. උදාහරණයක් හැටියට දැන් ඉස්සරහා බ්ලොක් එකක් තියනවානම් රෝන්ග් සයිඩ් දාගෙන ඉස්සරහට යන ඒවා එහෙම දකින්න අඩුයි. ඉස්සර බ්ලොක් එකක් තිබුනොත් වටෙන්ම ඉස්සරහට යන්න ගිහින් දෙපැත්තම බ්ලොක් කරලා රජ නෑමක් නානවා.. හෝන් ගැහීමත් ඉස්සරට වැඩියි අඩුයි වගේ…

      පුළුවන් තරම් හැකි හැම මාධ්‍යකින්ම ඕවා ගැන ජනතාව දැනුවත් කරන්න ඕනා. මේ වගේ ලිපි ලියන එකත් ලොකු සේවයක් කරණවා. අඩුම ගානෙ එකෙක් හරි හැදුනොත් ඒක ලොකු ජයග්‍රහණයක්..

      • තවමත් ඒ මීහරක් ක්‍රමයට වාහන පැදවීම තියනවා. පෙරේදා මම කුරුණෑගල නගරයේදී කෑගැහුවා වැලි ලොරි කාරයෙකුට ‘ඒයි මීහරකා’ කියලා. නාවින්න වටරවුමේ කැරකී යන අතරෙත් ඉස්සර කරන්න හදනවා.

        වාහන වැරදි වලදී, දඩ නොගහා, එක සතියක්, උදේ 8 සිට සවස 4 දක්වා රිය පැදවීමේ උපදෙස් පන්තියකට (ඇත්තටම මෙහිදී වාහන නඩත්තුවත් කියලාදෙන්න පුළුවන්. හුඟ දෙනෙක් තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න නමුත් මොකවත් නොදන්නා driving techniques කියලා දෙන්නත් පුළුවන්. සතියක වැටුප කැපෙන ක්‍රමයට හැදුවානම් කවුරුවත් වැරදි කරන එකක් නැහැ. තමන්ගේ වාහනයෙන් හයර් යන මිනිහෙකුට වුනත් සතියක ආදායම නැතිවීම හොඳට වදිනවා) සහභාගිවීම අනිවාර්ය කරනවානම් හොඳයි.

        අපි මෙවැනි සාකච්ඡා හැකිතරම් ඉදිරියට ගෙනයාමත් වැදගත්.

  10. බයික් වලටත් වැඩිය ත්‍රීවීල් ගැනනං කතාකරල වැඩක් නෑ. වැඩිහරියක් මාර්ග නීති කියන්නෙ මොනවද කියලවත් දැන්නැති උදවිය තමයි ඒව එලවන්නෙ.

    • ඒ වැරදිකරුවන්ට ලබාදියයුත්තේ සමාජ අධ්‍යාපනය සහ නීතිය රැකීමේ අගය ගැන දැනුමයි. වැරදි කරන්නන් අල්ලා සතියක පමණ පාඨමාලාවකට යොමුකරන්න පුළුවන්නම් හොඳ ප්‍රතිඵල ලැබෙයි.

  11. මරණ දඬුවම සම්බන්දයෙන් මතය ප්‍රකාශ කළේ නෑ.මොකද මරණ දඬුවම ඕනේ කියලා මම හිතුවත් පවතින තත්ත්වය යටතේ නියම අපරාධකාරයෝ නීතිය ඉස්සරහට එනවද කියන ප්‍රශ්නේ තියෙනවා නේද?
    මරණ දඬුවම ගෙනාවොත් ඒකෙනුත් අහිංසකයො ටිකක් විතරක් මැරිලා යන්ඩ ඉඩ තියෙනවා.

  12. සමහර රටවලට සාපේක්ෂ අපේ රටේ අයගේ ස්වයං විනය හොදයි. නමුත් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු යයි අපි පවසනවා. නමුත් අපට කවුරු හරි නීතිය ක්‍රියාත්මක කරවන්න ආවොත් අපිට ඒක වැරිදි වගේ පේනවා.

    ඔබතුමා ඉදිරිපත් කල එක් යොජනාවක පුංචි ප්‍රායෝගික ගැටළුවක් තිබෙනවා. අර අත් ට්‍රැක්ටර් ප්‍රධාන පාරේ ධාවනය කරවන්න බෑ කියන එක. හිතන්න කෙනෙකුට අවශ්‍ය වෙනවා ප්‍රධාන පාරෙන් අනිත් පැත්තේ මීටර් පන්සීයක් දුරින් තියෙන අතුරු පාරට යන්න. නමුත් ප්‍රධාන පාර හරහා නොයා යන්න බෑ. අවස්ථාව දීලත් බා එතකොට කිතුල් ගහට ගිය මිනිහා වගේ යනවා.

    • ඔබ සමග එකඟ වෙනවා. මේ තරම් හයිවේ (බුරුල් වේ? :D) හදන අපිට කිලෝමීටර් දෙක තුනකට එකක් ඔය අත් ට්‍රැක්ටර් වලට ප්‍රධාන පාර හරහා යන්න තැන් හදලාදෙන්න පුළුවන් වෙයි. සමහරවිට පාර උඩින් හෝ යටින්.

    • අමිත් කුමාර් ගනේගොඩ said:

      අත් ට්‍රැක්ටර් අයත් වෙන්නේ ඉඩම් වාහන වලට නේද??
      මට මතක හැටියට ඉඩම් වාහන ප්‍රධාන පාරේ ධාවනය තහනම්…

  13. අමිත් කුමාර් ගනේගොඩ said:

    සර් එතකොට පාර මැදින් වාහනේ තියන් මල් කඩ කඩ ලව් කර කර බඩගාන උන්දැලාට මොකද කරන්නේ.
    උන් නිසා තමා පාර ඕනෙ නැති විදියට තදබද.

    • අමිත් කුමාර් ගනේගොඩ said:

      තව දෙයක් කියන්න ඕනේ. ඔය එළි ගහගෙන ඉස්සර කරන්න වෙන්නේ නෑ හැම වාහනේකටම එකම වේග සීමාවක් තිබ්බා නම්. ප්‍රධාන පාරක වේගයේ අවම සීමවකුත් තයෙන්න ඕනේ. ගාළුපාරේ අනිත් වාහන 70ට යද්දි 50ක උපරිමේ යන්න ඕනේ ලොරි හයිවේ එකේ කිසිම අවුලක් නැතිව 100ට යනවා මං දැකලා තියෙනවා .

    • මගේ යාලුවෙක් ඉන්නවා දැනට සෑහෙන වාර ගණනක් දඩ කාලා තියනවා ෆෝන් එක කනේ ගහගෙන වාහනය එලවලා. ඒත් ඒ යකාට තවමත් ලැජ්ජා නැහැ. සිම් එක ගලවලා ආපහු දීලා, ෆෝන් එක රාජසන්තක කරන ක්‍රමයක් හැදුවනම් හොඳයි.

  14. ෂික් විතරක් මේ විචාරක කියන හාදයා මොනවා කියවනවද මං දන්නේ නැහැ. මේකා CIA කාරයෙක්, රාජ්‍ය විරෝධියෙක්, කඩාකප්පල් කාරයෙක්. මේ තරම් හොඳට නිතිය තියෙන් රටේ මේවගේ බොරු ලියන්නේ රජය අස්ථාවර කරන්න.

    • අම්මපා පහුගිය දවස්වල වයඹ ඡන්දෙට ඇවිත් තිබුණු හොර නොම්මර සහ ගරාජ් නොම්මර ගහගත්තු, කෝටි ගණන් වටිනා වාහන කන්දරාවට එක ආර්.පී.ජී. එකක් ගහගන්න බැරිවීම ගැන දුකයි. වයඹ ඡන්දේ නීති කඩකිරීම් ගැන ලියන්න ජාතක පොතක් තමා ලියන්න වෙන්නේ. 😀

  15. පදික වෙදිකාව අවහිර කරලා මමත් කෑවනෙ දඩයක් පෙරේදා. ඒ වුනාට ඒවා එහෙම වෙන්න ඕනා. අනිවාර්යයෙන් දැඩි දඩුවම් දෙන්න ඕනා, එතකොට හැදෙනවා. දැන් ඒ පදික වේදිකාව ෆුල් ක්ලියර්. මිනිස්සුන්ට පාරෙ යන්න ඕනා නෑ. මමනම් එකඟයි, දැඩි දන්ඩුවම් නැතුව සමාජයක් නිනයානුකූල කරන්න අමාරුයි.. අඩුම ගානෙ ආරම්භයේදීවත් අත්‍යව්ශ්‍යයි.. විශේෂයෙන් අපේ වගේ ආකල්ප තියන රටවල් වලට.

    • දඬුවම් වලින්ම හැඩගස්වන්න වෙන්නේ නූගත් මිනිස්සු කියන එකනේ සාමාන්‍ය පිළිගැනීම. බලන්නකෝ ප්‍රධාන නගරවල ලොකු මහත්තුරු ලොකු වාහන වලින් කරන තුට්ටු දෙකේ වැඩ.

  16. සමීර නාදුගල said:

    මේවා ගැන කතා කරනකොට ඇගේ ලේ කෝප වෙනවා විතරයි …

  17. නීති පැවතිය යුතුය. එමෙන්ම නීති පිලිපැදිය යුතුය. නමුත් නොවන්නේ …..නීතියක් ඇති බව ජහමනයාට ඒත්තු නොවෙන ලෙස පවතින නීතිය භීතියක් ලෙස භාවිතා වීමය. නීතිවේදීන් මුලටම වග කිව යුතුය. විධායකය ඇතුළු සමස්ථ පාලකයින්ම මෙයට වගකිව යුතුය. නීතිය නීතියක් වන්නේ සදාචාරයට මුල් තැන් දෙන සමාජයක පමණි. මම හරිද දන්නේ නැහැ විචාරක . මම ලෝකය දකින්නේ පේන ඇස් දෙකින් විතරයි.

    • ඔබ හරි. අපිට නීති උගන්නන්නේ සිල්පද වලටත් වඩා මහා භයානක විදිහට. නමුත් ඒ නීතිවල වටිනාකම ගැන මෙලෝ අවබෝධයක් බහුතරයකට නැහැ. ඇත්තටම සදාචාර අධ්‍යාපනය තමයි වැඩිදියුණු කලයුත්තේ. නමුත් සදාචාරය බලාපොරොත්තුවන්නේ පහල සිට ඉහළටයි. ඇත්තටම වියයුත්තේ ඉහල සිට පහළටයි. කාට කියම්ද?

  18. එකෙන්ම වැදගත් විචාරක කියන නමට ගැලපෙන්න ලියපු ලිපියක්. ඔය මෝටර් බයිසිකල් වලට ත්‍රීවීල් වලට නම් දැඩිව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ මෙහෙ පුෂ් බයිසිකල් වල යන්න පුළුවන් එක්කෙනාටයි එකත් රිෆ්ලෙක්ට් වෙන ජැකට් එකක් දාගෙන අර පොලිසියේ ය එහෙම දාගෙන ඉන්නේ අන්න ඒ වගේ ලංකාවේ ඔයවගේ දේවල් ක්‍රියාත්මක වෙන්න තව අවුරුදු 200ක්වත් යාවි

    • අනේ මන්දා කෝරලේ මහත්තයෝ. එක දෙස්පාලුවෙක් මේවා ගැන හිතන්නේ නැහැනේ. උන්ව දක්කාගෙන යන්න පොලිස් නියාමක රථ තියනවනේ. අවුරුදු 200ක්. බුදු අම්මේ…….. තව පරම්පරා දෙකකටත් ටිකක් එහා.

  19. හැමදාම හැමතැනම ‘කතාවෙන’ මාතෘකා… නමුත් එන්ට එන්ටම තවත් වල පල්ලට යනවා මිසක් හැදෙන්නෙ නෑ. විවෘත ආර්ථිකේටම බැනල හරියන්නෙ නෑ..එහෙම නං විවෘත ආර්ථික තියෙන රටවල් හම එකක්ම අපේ වගේ වෙන්ට එපායැ. මේක සමාජයේම ප්‍රශ්ණයක්. අපි හරි කමතියි ‘නීති කඩන්ට’. හෙල්මට් එක තිබුනත් අතේ ද්හගෙන යන අය ඕන තරං ඉන්නේ? හෙල්මට් නැතුව බයික් එකේ ගිහින් වීරයෝ වගේ කයිය ගහන අය ඕන තරං ඉන්නේ…

    • අපේ රටේ මේ හෝද හෝද මඩේ දාන ක්‍රමය ආවේ අද ඊයේ ඉඳලා නෙවෙයි. කිසිම දේශපාලන පක්ෂයක් ලැස්ති නෑ කලින් හිටිය රජය පටන්ගත්ත කොච්චර හොඳ වැඩක් වුනත්, තමන්ගේ කාලේදී අවසන් කරන්න. එක කඩාකප්පල් කරන්නමයි බලන්නේ. තමන් හදන නීති විතරයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා හිතන්නේ. අපේ ආකල්ප වෙනස්කිරීමේ මහා විප්ලවයක් කලයුතුයි. එහෙම නැත්නම් දෙකයි පනහේ වරදට වුනත් ලක්ෂ දහයේ දඩ නියම කලයුතුයි. ලී ක්වාන් යු සිංගප්පූරුව හැදුවේ එහෙමයි.

  20. අයිතිවාසිකම් වෙනුවෙන් ඇයි අපි ඉදිරිපත් නොවෙන්නේ

    1. මම නම් සාමාන්‍යයෙන් ඉතුරු රුපියල කොන්දොස්තරගෙන් ඉල්ලනවාමයි දුන්නෙ නැත්නම්. ඒත් ගොඩක් වෙලාවට මම හරිගානටම සල්ලි දෙනවා. (ගාන 23 උනාට 22යි දෙන්නෙ :)) එතකොට ඉතින් ප්‍රශ්න නෑනෙ. හැබැයි ටිකට් නම් ඉල්ලලාම නෑ.
    මට හිතෙන තව දෙයක් තමයි මිනිස්සු කොහොමද රටේ ආණ්ඩු පෙරලන්නෙ බස් එකේ කොන්දොස්තරගෙ ආණ්ඩුවවත් පෙරලගන්න බැරුව.

    2.මම නම් හිඟන්නන්ට සල්ලි දෙන්නෙම නෑ. උන්ගෙ හතරවරිගෙම ලෙඩින් දුකෙන්නෙ. ඒ මදිවට කටින් නොඉල්ලා කොළ බෙදන උනුත් ඉන්නවනෙ. මම යන බස්වලදි නම් මුණගැහෙනවා අඩුයි. හැබැයි කොළඹ පැත්තෙ බස් වලට කුඩුකාරයොත් නැගලා බලෙන් සල්ලි ගන්න හදන්නෙ.

    3.ඉස්පිරිතාලෙ විතරක් නෙමෙයි රජයේ කොතනත් එකයි. ඊයෙපෙරෙදා කච්චේරියට ගිය වෙලෙත් මට එපාවෙලා හිටියෙ. කට්ටියක් පැය ගණන් පෝලිමේ ලතවෙනකොට සමහරු ශෝක් එකට වැඩේ කරගෙනත් යනවා.

    4. ගිහින් නැත.

    5.කරලා නැත.

    6.රස්සා වලට සුදුසුකම් නැති එවුන් ගොට්ට අල්ලලා ඇවිත් තමයි ඔක්කොටම කෙළවිලා තියෙන්නෙ. ඔය ලියුම් වලට ජොබ් දීම ජේ. ආර්. සමයේ ඇතිවූ දෙයක්ද? නැත්නම් සිරිමා සමයේද?

    මේ නීති හරියට ක්‍රියාත්මක කළොත් ඔබ එකඟද?

    1. ඔවුන්ට දේශපාලන හයියක් නැත්නම් 😀

    2. පෞද්ගලික බස් රථ රේස් යන එක වලක්වන්නනෙ කාලයක් දීලා ඒ කාලයට කලින් යන්න ඕන කතාවක් ආවෙ. ඒත් ඒකත් යන්නෙ නොපිටට. මුලින්ම පුළුවන් තරම් බඩගානවා. පස්සෙ ඇරලා යනවා අන්තිම ටික. ලොකුම ප්‍රශ්නෙ තමයි ළඟට සෙනඟ නොගැනීම. ඇත්තටම මෙතනින් එහාට නගින්න කියලා කියන්න කොන්දොස්තරට අයිතියක් තියෙනවද?
    පාරෙ කෙටිම දුරක් දුවන බස් එකෙත් ගමනාන්තෙට විතරක් මිනිස්සු ගන්නකොට මිනිස්සු ඊට මෙහා හෝල්ට් එකටවත් යන්නෙ මොකේද?

    3. එකඟ නෑ. ඇයි බයිසිකලයක් එක් කෙනෙක් විතරක් යන්න කියන්නෙ? එතකොට ඩබල් දාල යන්න බෑනෙ. 😦 අනික අද කාලෙ බයිසිකල් පදින්නෙ බයිසිකලයෙන් රස්සාව කරන්නෙ ඉන්න දුප්පත්ම මිනිහා. ඒ මිනිහගෙ බඩට ගහන එක හරිද? මමත් බයිසිකල් පදිනවා.

    “සමහර කාර්යාල සේවිකාවන්ට දුම්රියට ගොඩවීමට අවස්ථාව අහිමිවන්නේ, දුම්රියේ දොරටු වල එල්ලී සිටින අය නිසා දොරටු සම්පූර්ණයෙන් අවහිරවී තිබෙන නිසයි.” ඇයි අනික් මඟීන්ට හිරිහැර කරන කෝච්චිවල යන කණ්ඩායම්. උන්ටත් ගහලා පන්නන්න ඕනෙ. සීට් ගලවලා අනික් පැත්තට හයි කරන්න ඕනෙ.

    Land Master කියද්දිත් හිනා යනවා. අපේ යාලුවෙක් මෑතක් වෙනකන්ම හිතන් ඉඳලා තියෙන්නෙ ලෑන්ඩ් මාස්ටර් කියන්නෙ ලෑන්ඩ් රෝවර් වගේ එකක් කියලනෙ. 😀

    අපරාධ නීතිය

    1. පිළිගත් නමගිය අපරාධකරුවන්ට මරණ දඬුවම දීම එක හෙලාම අනුමත කරනවා. කෙලින්ම හැමෝම මැරණ දඬුවම් දියයුතුයි කියන්න අමාරු සමහර සිද්ධීන් වල යුක්තිගරුක භාවය නීතියට පිටින් යන නිසයි.

    2. ඔව්

    3. අමාරු ප්‍රශ්නයක්. එක පැත්තක කාන්තාව. අනික් පැත්තෙ මේ මොකුත්ම නොදත් දරුවෙක්.

    • ඔබ සම්පූර්ණ ලිපියම හොඳින් අධ්‍යයනය කර අදහස් දැක්වීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සෑහෙන්න වෙහෙසකුත් අරන් තියනවා අදහස් දක්වන්න.

      මිනිස්සු බුද්ධිමත්ව සංවිධානය වූ තරමට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න පුළුවන්.

      ඊයේ පෙරේදා කච්චේරියට ගියා? එහෙනම් හොරෙන්නම වැඩේ කරා ඈ. හරි හරි ඔහොම යන්කො.

      ලියුම් වලට රැකියා දීම මට මතක හැටියට නම් 1970 – 77 රජය සමයේ තමයි එලියට ආවේ. ඒ කාලේ රෙස්ට් හවුස්වල ගෑණු අයට පත්වීම් දීමට ප්‍රසිද්ධ ඇමතියෝ හිටියා. එයින් කුප්‍රකටම එක්කෙනෙක්ගේ පුතා සහ මුණුබුරෝ අද දේශපාලනයේ ඉන්නවා. පෞද්ගලික බස් හරි පාරේ යවන්න පුළුවන්. දේශපාලන ඇඟිලි ගැහිලි නැත්නම්.

      මම කියන්නේ නැහැ එක පාරටම ඔන්න හෙට උදේ ඉඳලා මෝටර් සයිකලයක යන්න පුළුවන් දෙන්නටයි කියලා නීතිය ගෙනෙන්න කියලා. අවුරුද්දක් විතර කල්දීලා තමයි පටන්ගන්න ඕනේ. පලවෙනි හයමාසේ පත්‍රිකාවක් බෙදනවා තව අවුරුද්දකින් නීතිය එනවා කියලා. ඊළඟ තුන්මාසේ වාචිකව දැනුවත් කරනවා පොලීසිය මගින්. ඊළඟ තුමාසේදී කියනවා තව මාස තුනයි තියෙන්නේ නීතියට අනුව කටයුතු කරන්න සූදානම් වෙන්න කියලා.

      දිනපතා කාර්යාල දුම්රියේ කොටස් අයිති කරගෙන යන අය පාලනය කරන්න පුළුවන් බොහොම පහසුවෙන්. දුම්රිය ආරක්ෂක සේවය මගින්.

      ලෑන්ඩ් මාස්ටර් කතාව වගේ මට මතක්වෙනවා මෙහෙම කතාවක්. ඉස්සර හිටියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොකු නිලධාරියෙක් හෝ රාජ්‍ය නායකයෙක් ‘සයිරස් වෑන්ස්’ කියලා. ඒ කාලේ ප්‍රේමදාස රජය තිබුනේ. දවසක් කැබිනට් රැස්වීමේදී ප්‍රේමදාස ජනාධිපති තුමා කිව්වලු ලබන මාසේ සයිරස් වෑන්ස් ලංකාවට එනවා කියලා. එතකොට එක ඇමති කෙනෙක් කිව්වලු ඔන්න සර් මට ඒ ජාතියේ වෑන් දෙක තුනක් ඕනේ කියලා.

      අපරාධ නීතියේ තුන්වැනි ප්‍රශ්නය ඇත්තෙන්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කලයුතුයි.

      නැවත වතාවක් බොහොම ස්තුතියි.

  21. මැලේසියාවෙ මෝටර් සයිකල් යන වේගෙ දැක්කා නම් ඇගේ මයිල් කෙලින් වෙනවා..සමහරු යන ගමන් ඉස්සරහ උස්සගෙනත් යනවා…මෙහෙ බහුතරයක් තියෙන්නෙ ලොකු බයිසිකල් නෙමෙයි 100 cc වගේ ඒවා..ඒ උනාට පුදුම වේගයක් නොවැ තියෙන්නෙ…

    ගැරේජ් නම්බර් ගහගෙන පොඩි උන්ට සත්තම දාන Land Rover වලට රජතුමාගෙ ආරක්ෂක අංශයේ වාහන වලට, හයිෆයි වාහන වලට ලංකාවෙ සම්මත මාර්ග නීති අදාළ නෑ නේද ? උන්ටත් දඩුවම් දෙමුද ?

  22. නීති ගැනනම් කියල වැඩක් නෑ.. ගොඩක් නීති තිබුනට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ.. ලොකුම ප්‍රශ්නේ නීති ක්‍රියාත්මක කරන්නෙත් මිනිස්සු ම වීම.

    • නීති හදන්නෙත් අපි, කඩන්නේත් අපි, කඩන අයට දඬුවම් දෙන්නෙත් අපි, නොදැක්කා වගේ ඇහැ කන පියාගෙන ඉන්නෙත් අපි, අපිට විතරක් අසාධාරණයක් වුනොත් කෑ ගහන්නෙත් අපි. ඔය ඔක්කොම ය එක තලයකට ගන්න එක තමයි විසඳුම.

  23. දෙලොවටම නැති විකාර නොලියා දන්න ආයුධයක් ගැන ලියුවනං නරකද , අපරාදේ මහත්තයෝ මෙව්වා පෙන්නල දුන්නට අහන්ඩ එකෙක් නැ

  24. චන්ද දෙකම පාවිච්චි කලා… දෙවනි එක ගැන තර්කයක් නෑනේ.. පළවෙනි එක ගැන මම ඉන්න මතය නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම ප්‍රමාණවත් කියන එකයි… අවශ්‍යවෙන්නේ ස්ත්‍රීදූෂකයෙක් හෝ මිනීමරුවෙක් සමාජයට හානිකර හින්දා අයින් කරලා තියන එකනේ…

    නීති ගැන කියද්දී මතක් වුනේ මේ දැන් ටිකකට කලින් අන්තර්ජාලෙදිම කියවපු කතාවක්… 🙂 නීති කියන ඒවා කොච්චර සංකීරණද කියලා මේ කතාවෙන් වැටහෙනවා…

    http://cmgm.stanford.edu/~lkozar/suicide.html

    • හරිම අපූරු කතාවක්. මම හිතන්නේ මෙය සිංහලට පරිවර්තනය කර ඔබේ කමෙන්ට් එකට ඇතුලත් කළානම් හරිම වටිනවා.

      නූගත් (විභාග පාස්වුන නෙවේ ලෝක ධර්මය නොදත්) මිනිස්සු අපරාධ වලින් වළක්වාගන්න තමයි දණ්ඩනය පාදක කරගෙන තියෙන්නේ. අපි නැවත සිතා බැලියයුතුයි දණ්ඩනය වෙනුවට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව. ජීවිතාන්තය දක්වා ඔහු සමාජයෙන් ඉවත් කර තැබීමත් මැරුවා හා සමානයි මොකද සමහර රටවල අපේ වගේ ‘ජනාධිපති සමාව’ කියලා දෙයක් නැහැ.

  25. කෙටියෙන්ම කියන්නම්..කවුරුහරි කෙනෙක් වංචාව දූෂනය නැති කරලා නීතිය රජ කරවනවා කීවොත් සීයට අනූපහක් මිනිස්සු එකතුවෙලා අර මිනිහාව පරද්දනවා. ඔන්න ඔතන තමයි දැන් අපේ රට තියෙන්නේ. මිනිස්සුන්ට අර වංචාව කරන්න පගාව ගහන්න දෙන්න නීති කඩන්න වල්බූරු නිදහස ඕනෑ.

    • සහතික ඇත්ත. ඡන්දේ ඉල්ලන කෙනෙක් කිව්වොත් රටේ වලංගු නීති සියල්ලම අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා, 20% ක් විතර තමයි ඒ මිනිහට ඡන්දය දෙන්නේ.

  26. නීති තියෙන්ට ඕනි ඒවා ක්‍රියාත්මක වෙන තැනක. ඔන්න මගේ අදහස. ස්ත්‍රී දූෂකයින්ට නම් මරණ දණ්ඩනය කමක් නෑ. 🙂

  27. විචාරක, නිකන් බොරු වැඩ කරන්න එපා. බලන්න කොච්චර හොඳට නීතිය ක්රියාත්මකද කියලා මේ සබැඳීයාවෙන් http://www.gossiplankanews.com/2013/10/akuressa-victims-unfortunate-fate.html#more

  28. ලිපිය සහ ප්‍රතිචාර සියල්ල කියෙව්වා… රට ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කියලා හිතෙනවා…

    ලිපියට සහ ප්‍රතිචාර දක්වූ සියලු දෙනාට ආචාරය….

    ( අනිත් අය බොහෝ දේ කියා ඇති නිසා වැඩි දුරට කියන්න යන්නේ නැහැ )

  29. මුලින්ම කියන්න ඕන බොහොම වටින ලිපියක්.අපේ රටේ මේ යන ක්‍රමවේදය වෙනස් කරන්නනම් නීතිවිතරක් මදි.ආකල්පත් වෙනස් කරන්න ඕන.ආකල්ප වෙනස් කරන්නනම් පොඩිකාලෙ ඉඳලම ඒදේට පුරුදුකරන්න ඕන.මොකද ගහක් අපිට ඕන විදියට නවල හදන්න ඕන පැලේ කාලෙදිමයි.ලොකු වුනාට පස්සෙ ඕන ඕන අතට නවන්න බෑ.අද විභාග පාස්කරවන අධ්‍යාපනයක් මිසක් සමාජයට හොඳ පුරවැසියෙක් බිහිකරවන ක්‍රමවේදයක් නෑ.ඉතින් අපේ රට කොහොම හදන්නද.කරුමෙක මහත කියන්නෙ රට හදන්න කියල අපිට කියන්න වෙලාතියෙන්නෙ අටේ පන්තියට වත් ගියපු නැති දේසපාලුවොන්ට නේ.

  30. නිර්නාමික said:

    මිනිස්සුන්ව නීති වලින් හිර කරනවට වඩා හොඳම ක්‍රමය නම් මොල ටික හදන එක.(ලංකාවෙනම් අනේ මන්ද……)

    මිනිහෙක් මනුෂ්‍යය ඝාතනයක් කරාම ඒ පුද්ගලයාගේ ජීවිතය නැති කරනවාද නැද්ද කියල තීරණයක් ගන්න අපිට තියෙන අයිතිය හා සදාචාරය මොකක්ද කියල මට ගැටළුවක් නැතුවාම නෙමෙයි.(හරියට පව් පල දීම තීරණය කරන්න ස්වභාව ධර්මය අපිට භාර් දීල වගේ )

    ඒත් බොහෝදුරට සමාජ සාධාරණත්වය හා රටක විනය ගොඩනඟන්න ඔබ තුමා ඉහත කියපු කරුණු වලට අදාලව මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි කියන තැන මමත් ඉන්නවා.

    කුඩු විකිණීමත් එයට අදාළ විය යුතුයි.

    ඒ අගේම ලංකාවේ මිනිස්සුන්ව නීති හරහා යහ මාර්ගයට බොහෝ දුරට ගන්න පුලුවන්.
    seat belt දැමීම,කොළඹ අවට කහ ඉර හරහා මාරු නොවීම වගේ දේවල් නීති ගෙන ඒම නිසා ගොඩක් දුරට පාලනය උනා.

    පාර පුරා බුලත් කෙල ගැසීම, chewing gum දැමීම වහාම නතර කල යුතු දේවල්.(මමත් විට කනවා).ඒව රුපියල් 500ක දඩයක් ගැසීම වගේ නීතියකින් කරන්න පුලුවන් සරල දේවල්.

    දේශපාලනඥයෝ ගැනනම් කතා නොකර ඉමු.
    (අපි වගේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝ ඉන්නකම් උන්ට එහෙම සෙල්ලම් දාන්න පුලුවන්ද …???
    :P)

    • ඔබේ මේ වටිනා අදහස් ඉහලින්ම අගය කරනවා.

      සෑම සත්වයකුම දණ්ඩනයට බියවෙත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවානේ. අතීතයෙ සිටම දණ්ඩනය මගින් මිනිසා ශික්ෂණය කිරීම පවත්වාගෙන එනවා. ‘බ්‍රහ්ම දණ්ඩය’ වුනත් දඬුවමක්නේ 😀

      මිනිහෙක් මරපු මිනිහාව මරා දැමීමෙන් මියගිය කෙනාට හෝ ඔහුගේ පවුලේ අයට කිසිම සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. නමුත් තවමත් මරණ දඬුවම ලෝකයේ ක්‍රියාත්මක වෙනවා.

      කුඩු සඳහා දැනටමත් මරණ දඬුවම ක්‍රියාත්මකයි නේද? ප්‍රශ්නේ තියෙන්නේ කුඩ්ඩෝ පාර්ලිමේන්තුවේත් ඉන්න එකයි.

      විටකෑම, සිගරට් කොට දැමීම, චුවින් ගම් තැන තැන ඇලවීම වගේ දේවල් සිංගප්පූරුවේ නැවැත්තුවෙත් විශාල දඩ අයකර ගැනීම මගින්. අපිත් එහෙම කලයුතුයි. මමත් මාස දෙක තුනකට වරක් හුණු සහ දුම්කල නැතුව විට කනවා.

      දැන් ඉන්න ඡන්ද දායකයන්ගේ මොලය ආරක්ෂා කරගැනීම සඳහා පස්ස පැත්ත ආවරණය වන හෙල්මට් වර්ගයක් (පුකමට්? 😀 😀 ) නොමිලේ සාදාදීමට යෝජනා කරනවා. 😀

  31. අයිතිවාසිකම් වෙනුවෙන් ඇයි ඉදිරිපත් නොවෙන්නේ ?
    1.කොන්දා ඇර ගැනීමට ආවොත් වලියට බැසීමට සිදුවේ.ජාතකය ඇමතීමට සිදුවේ.ලේ රත්වේ. ආන් අරූ, ඕකා නහර කාරයා ඇඟට කපන් යමන් වැනි සුන්දර අත්දැකීම් පසු කාලයේ නොමිලේ ලබා ගත හැක.යන්නේ තනියෙන් නම් නියමිත ගාන ගෙවා ෂේප් එකේ යාම යහපත්ය.
    2.බස් තුල සිඟා කෑම,වෙළදාම නැවැත්විය යුතුයි.එළියේ ඉදං ඕනි මගුලක්.( අර කවුද බ්ලොග් කාරයෙක් නම් ඔය බෙදා ගෙනයන කොලය විසි කරලා දානවා.වෙලාවක කොරලා බලන්න ඕනි )
    3.කාර්ය මණ්ඩලය ඉක්මණට සුවය ලබා ජනතාවගේ සුව සෙත වැඩි දියුණු කරන්නනේ 🙂
    4.අත්දැකීමක් නොමැත.අපරාද කරුවන් ඇල්ලීමට තුන් සරණය ප්‍රැක්ටිස් කොර හරියන්නේ නැත. හැකි සෑම විටකම ගුටි අල්ලා පුරුදු විය යුතුවීම විය හැක.
    5.අනාගතේ කවුන්සිලේට යන්න පොඩි කාලේ ඉඳන්ම හදන්න ඕනි පොඩි එකාව.ඒකා ලොකු වෙලා මහ එවුන් දෙන්නව ගෙදරින් එලෙව්වත් කමක් නැහැ.
    6.පවතින ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඔවුන් දනී සහ “මට පාඩුවක් නොවේනම් ලෝකෙට හෙන ගැහුවත් මම කටපියාගෙන ඉන්නෙමි මොකටද නිකන් ටින්කිරි ගා ගන්නේ” යන ජාතික ප්‍රතිපත්තිය නිසා.

    //මේ නීති හරියට
    සංශෝදන සහිතව එකඟයි.

    // අපරාධ නීතිය
    1.නැත.ජීවිතාන්තය දක්වා සිර දඬුවම ප්‍රමාණවත් බරපතල වැඩ සහිතව.මෙලොව කිසිවෙකු අපරාදකාරයකුව නුපදී යන දහම විස්වාස කරමි.(ලංකාවේ නම් JP පට්ටමකුත් දුන්නා හිරෙන් නිදහස් කොරලා ගෝනවල සුනිල්ට)
    2.නැත.වරදට සුදුසු දඬුවමක් දිය යුතුය.නිත්‍යානුකුලව ලිංගික සේවාවන් ලබා දෙන ආයතන තිබේනම් අසහනය තරමක් හෝ පාලනය වේ යැයි බටහිර දෙස බැලු විට සිතේ.
    3.ඔව්.මේ ලංකාවනේ පසු කාලීනව ඒ ළමයාට ජීවිතේ එපා වෙන්න වැඩේ සැට් කොරන්න අපේ අය බෝම දස්සයි.

    • 1. අනුන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් අය අපේ සමාජයේ මේ තරම් හිග ඇයි? අපේ ආත්මාර්ථකාමිත්වය නැතිවූ දවසට තමයි හරියන්නේ.

      2. මම කරන්නේ ඒ කොලය එනකොටම නිදාගන්නවා. ඔඩොක්කුවෙන් තිබ්බොත් බිම වැටෙන්න අරිනවා. (මම බස් එකක ගියොත් එක වලියක්වත් දාගන්නවා. ‘වලිසිංහ’ :D)

      3. අනේද කියන්නේ.

      4, 5, 6, බින්දුවෙන් පටන්ගතයුතුයි කියන හැඟීම අපේ සමාජයට දැනුන දවසක තමයි හරියන්නේ.

      අපරාධ නීතිය

      1. මිනිහෙක් මරුවා කියලා තව මිනිහෙක් මරලා පලක් නැහැ. හැබැයි අපේ රටේ භයානක මිනීමරුවන්ට අමු අමුවේ තම බිරිඳ මරපු නිලමේට ජනාධිපති සමාව ලැබුනානේ. ඉතින් අපේ රටේ ඉන්න එවුන් බයවෙනවා මුලින්ම එකෙක් දෙන්නෙක් මැරුවනම්.

      2. ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම දක්වා වුවත් දඬුවම් කලහැකිය කියා සඳහනක්වත් කර තිබෙනවානම් ටිකක් අඩුවෙයි. දැනටත් සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන ලිංගික ව්‍යාපාරය ගැන අපේ ‘බොබසේ’ කට්ටිය නොදන්නවා නොවේ.

      3. අන්න ඒ වැඩ කරන එවුන් හම්බවෙන්න තමයි සුදු වෑන් යවන්න ඕනේ.

      • //අමු අමුවේ තම බිරිඳ මරපු නිලමේට ජනාධිපති සමාව ලැබුනානේ
        මේක සුට්ටක් විස්තර කලොත් නොඅසා ඇති කතාවකි

        • රත්නපුර සමන් දේවාලේ බස්නායක නිළමේව සිටි ඇන්ටන් තෙන්නකෝන් යන අය, සිය බිරිඳට (ගන්කන්ද ද කොහෙද ඇගේ නම) වෙඩිතබා මරුවා. වරද ඔප්පුවී මරණ දඬුවම ලැබුණා. නමුත් මෑත කාලයේදී ජනාධිපති සමාව ලැබුණා. ඔන්න ඔහොමයි ඔව්වගේ හැටි.

  32. විචාරක මහත්මයා, ඔක්ෙකාටම ඒකගයි. ඒකක් අැර. අර ෙරා්හල් වල කාර්ය මණ්ඩලයට ෙවනම කවුන්ටරෙය් කතාව. ඒක ඉතිං හැම අායතනයකම වගේ තිෙයන ලක්ෂණයක්. ෙමාකද, කාර්ය මණ්ඩලයත් අර ෙපා්ලිෙම්ම තිබ්ෙබාත් ඔවුන් අායතනය තමන්ෙග්ය කියන හැගීෙමන් අෑත්ෙවනවා. ඒය තමන්ෙග් තැනක් කියන ඒක දැෙනන්නත් ෙස්වක තෘප්තිමත් භාවෙය් මගක් හැටියටත් තමා ඔය ක්රමය පිළිගත් මානව සම්පත් කළමණාකාර න්‍යායයන් තුලත් අැතුලත් ෙවන්ෙන. ඔය ෙකාටස අයිතිෙවන්ෙන සමාජිය තත්ත්වය කියන ෙකාටසට මගෙ හිෙත්. හැබැයි මම නම් ෙරා්හල් ෙස්වකෙයක් ෙනෙමයි.

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න