විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  111005084405-motorola-dynatac-martin-cooper-horizontal-galleryමම හීනෙන්වත් නොසිතු විදිහට ආයේ සැරයක් ලියන්න වුනානේ අනේ මගේ පළවෙනි එක ලිපියට තවත් කොටසක්. ‘සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ කියලා පරණ සිංදුවකුත් තියෙන්නේ. 😀  අර මම කලින් ලියපු අනේ මගේ පළවෙනි එක වගේම, මේ ලිපියත් ලියන්න, අහම්බෙන් තමයි  නිමිත්ත පහළ වුනේ. පසුගිය ලිපිය ලියන්න හේතු සාධක වුනේ මගේ පින්තූර ඇල්බම් එකක තිබුන ඡායාරූපයක්නේ. මේ සැරේනම් අදාළ උපකරණයම ලැබුණා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  මගේ ළඟ තිබෙනවා, යුද හමුදාව පාවිච්චි කරන, අත් බෝම්බ අසුරා එවන, ප්ලාස්ටික් කන්ටේනර් 10 ක් 15 ක් විතර. ඒවායින් සමහරක අසුරා තිබෙන්නේ මගේ ළඟ තිබෙන නොයෙකුත් ආකාරයේ විදුලි හා විද්‍යුත් උපකරණ කොටස්. තවත් සමහරක පොත්පත්. අපේ ගෙදර කුස්සියේ තියනවා මේ ජාතියේ පෙට්ටි කීපයක්, හාල්, අල, ළූණු, මිරිස්, පිටි, සීනි, ආදිය දමන. ඔබ දන්නවද මේ පෙට්ටියක වතුර පුරවලා තියන්න වුනත් පුළුවන්. තරමක් ඝන ශක්තිමත් ප්ලාස්ටික් වලින් සාදා තිබෙන්නේ. මේ පෙට්ටියක් බෝම්බ අසුරා තිබෙද්දී වතුරට වැටුනත් මොකුත් වෙන්නේ නැහැ. මේ පෙට්ටියේ පියන, වාහනයක ගෑස් කට් එක වැනි සීල් එකකින්, සීල් කරලයි එවන්නේ. මෙන්න පහළින් තියනවා. එවැනි පෙට්ටියක්. මගේ ලට්ට ලොට්ට ගබඩාවෙන් එළියට අරගෙන, පිහදාන්නේවත් නැතිව පින්තූරය ගත්තේ. හොඳින් බලන්න, එහි කහපාට අකුරු වලින් කෙටි යෙදුම් කීපයක් දැක්වෙනවා, බෝම්බ වර්ගය කුමක්ද කියා. එහි ලියා තිබෙන්නේ 50 Rounds Grenade Hand Fragmentation යන්නයි. බෝම්බ වර්ගය තමයි ඊට පහළින් SFG 87 යනුවෙන් සඳහන් වන්නේ. (එතන ලේබලය ඉරිලා තියෙන්නේ) ඔබෙන් සමහරෙක් මේ පෙට්ටි දැකලත් ඇති. සමහරුන්ගේ ගෙවල් වලත් ඇති. ඒ කාලේ නම් මේ පෙට්ටි කිලෝ ගානට 😀 හොයාගන්න තිබුණා, නිතර බෝම්බ පාවිච්චි කළ නිසා. අදනම් මේ පෙට්ටියක් එළියට එන්නේ එක් පුහුණු පාඨමාලාවකට දෙක තුනක් තරම් අඩුවෙන්. ඒ තරම් අඩුවෙන් නේ අද අත් බෝම්බ පාවිච්චි කරන්නේ. ඒවාත් කඳවුරේම මොනවා හෝ ගබඩා කරන්න යොදාගන්නා නිසා, කාටවත් ගෙදර ගෙනියන්න ලැබෙන්නේ නැහැ. අත් බෝම්බයක් හදලා ගහන හැටි කියලා දෙන්නද? අම්මෝ……………… ගිය හිනාව. පස්සේ බලමු ඈ. මේ සුදුවෑන් ටිකක් අඩුවුනාම බලමු. මේ පෙට්ටි ගෙදරක තබාගන්න තහනම් නැහැ. හිස් පෙට්ටියක්නේ.

4

  ඉතින් මේ පෙට්ටියක බෝම්බ 50 ක් අසුරා එවනවා. මේ පෙට්ටියක් අඩි දෙකක් දිගයි. පළල සහ උස අඟල් 13 බැගින්. තරමක ඉඩකඩක් තියනවා. යම්කිසි දෙයක්, සුළං නොවදින, තෙතමනයට, දූවිල්ලට, ආවරණය නොවන ආකාරයට, ගබඩාකර තබන්න පුළුවන්. බලන්න ලොක් වෙන හැටි. එවැනි ලොක් හයක් තියනවා. ඉතින් මේ පෙට්ටිය ඇතුළේ බෝම්බ ටික නිකම්ම දාලා එවනවද. නැහැ නැහැ.  එක් එක් බෝම්බය වෙන වෙනම කුඩා ප්ලාස්ටික් ඇසුරුමක එවන්නේ. මේ බලන්න, වර්ග දෙකක ඇසුරුම් තියනවා.   

3

  වම් පැත්තේ තියෙන්නේ M 75 වර්ගයේ අත් බෝම්බයක ඇසුරුම. දකුණු පැත්තේ තියෙන්නේ SFG 87 වර්ගයේ අත් බෝම්බයක ඇසුරුම. මම මේ ඇසුරුම් පාවිච්චි කරන්නේ, විද්‍යුත් පරිපථ අමතර කොටස්, විවිධ ඇණ වර්ග, ආදිය අසුරා තබාගන්නයි. මේ ඇසුරුමේ පියනේ සම්පූර්ණ ජලරෝධක රබර් වළල්ලක් පවා තිබෙනවා. ඒ නිසා බෝම්බය මේ ඇසුරුමේ තිබියදී වතුර යට තිබුණත් මොකුත් වෙන්නේ නැහැ.බෝම්බය නොසෙල්වෙන පරිදි තැබීම සඳහා පියනේ සහ පතුලේ ස්පොන්ජ් කෑලි දෙකක් පවා තිබෙනවා.

  ඔන්න පඳුරු තැලිල්ල ඉවරයි. දැන් බහිමු කතන්දරේට. අද මම මේ පෙට්ටි කීපයක් විවෘත කරමින් හෙව්වා, මා ළඟ තියන පවර් පැක් එකක්. එය ඩී.සී. වෝල්ට් 1.5 සිට 24 දක්වා ලබාගතහැකි එකක්. මෙය හොයමින් ඉන්න අතර, අනේ මගේ අතට වැඩියේ නැතෑ මෙන්න මෙයා.

2a

  කොහොමද? ලස්සනයි නේද? අනේ……………….දැක්කම දුකේ බැරුවා. ඔන්න මෙයාගේ ඉතිහාසය මෙන්න මෙහෙමයි. මේ තමා මගේ ජීවිතයේ මුලින්ම මිලදීගත් ජංගම දුරකථනය. (ඒකනේ ආයෙත් වතාවක් අනේ මගේ පළවෙනි එක ලියන්න වුනේ) මෙයාව ගත්තේ 1998 දී විතර. බිල්පත, උපදෙස් පොත, මාසික බිල්පත් ඔක්කොම තිබුණා. කොහේ දාලද මන්දා. ගත්තේ ගෙඩි පිටින්ම රුපියල් අටදහස් ගණනකට බවත් මතකයි. මුලින් 5000/- දීලා, ඉතුරු ටික ගෙවන්න දුන්නා, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට. එවකට තිබුණු ‘සෙල්ටෙල්’ සමාගමෙන්මයි කෙළින්ම මිළදීගත්තේ. මේ දුරකථනයේ විශේෂතා කීපයක් තිබෙනවා.

  • මේ දුරකථන මෝස්තරයට සිම් පතක් සවිකළ නොහැකියි. සමාගම විසින්, දුරකථනය පරිගණකයකට සම්බන්ධ කර, අදාළ දත්ත දුරකථන මතකයේ ගබඩාකර, පාරිභෝගිකයාට දුරකථනය ලබාදෙනවා.
  • මෙහි තිරය, දැන් තිබෙන, වර්ණ නැති, දුරකථන තිරයකටත් වඩා, අඩු ගුණාත්මක මට්ටමක එකක්. ඒ කියන්නේ dot matrix තිරයක් තමයි මෙහි තියෙන්නේ. ඒ තිරයේ තියෙන්නෙත් අකුරු පේළි දෙකක් පමණයි.
  • මෙහි උස් පහත් කළහැකි ඇන්ටෙනාවක් තියනවා.
  • මෙය digital  නොව analog සංඥා අනුව ක්‍රියාකරන දුරකථනයක්.
  • මෙහි බැටරිය බැස ඇති අවස්ථාවක, නැවත ආරෝපණය කීරීමට (charge) පහසුකම් නැත්නම්, AA ප්‍රමාණයේ (පෙන්ලයිට්) බැටරි කෑලි 4 ක් යොදවා ක්‍රියාකරවන්න පුළුවන්. ඒ නිසා දුෂ්කර ප්‍රදේශ වල පාවිච්චියට ගැලපෙනවා.
  • පිටතින් යොදන ඇන්ටෙනාවක් (ඔබ දැක තිබෙනවද රූපවාහිනී ඇන්ටෙනා වලට බොහෝ දුරට සමාන, ජංගම දුරකථන ඇන්ටෙනා තිබුනා ඒ කාලේ. ලංකාවේ කාර්මිකයන් හදපුවා) සවි කිරීමට සොකට් එකක්, මේ දුරකථනයේ තියනවා.
  • මේ දුරකථනයේ බැටරිය සම්බන්ධවන contact points කොලපාට මළකඩ බැඳී ඉක්මනින්ම දුර්වල වෙනවා. ඒ කාලේ සෙල්ටෙල් සමාගමෙන් පමණයි ඒවා අලුත්වැඩියා කරගැනීමට පහසුකම් තිබුණේ. අප්පච්චියේ………අර පුංචි පිත්තල පින් දෙක දාලා දෙන්න රු 600/- ක් ගත්තා.
  • බැටරියේ ආයු කාලය, අද තිබෙන ජංගම දුරකථන බැටරි වලට සාපේක්ෂව, බොහොම අඩුයි. ඒ වගේම බැටරියේ මිල අධිකයි.
  • Digital දුරකථන පැමිණීමත් සමගම මේවා අභාවයට ගියා.
  • මේ දුරකථනයේ බැටරි චාජරය මා මෙතෙක් දැක ඇති ඉතාම ඉහළ මට්ටමේ බැටරි චාජරයක්. දැනට වසර 4 ක පමණ සිට, අපේ ගෙදර කුස්සියේ තියන කුඩා කැසට් රේඩියෝව ක්‍රියාකරන්නේ මේ දුරකථනයේ බැටරි චාජරයේ බලයෙන්. 😀

මෙන්න තවත් පින්තූර

5

6

මේ දුරකථනයේ බැටරිය අද මගේ ළඟ නැහැ. ඒ නිසා බැටරියේ පින්තූරයක් හොයාගත්තේ අන්තර්ජාලයේ පිහිටෙන්.

Battery

  දැනට නම් මතක තියෙන්නේ ඔච්චරයි. ඔබ අතර ඇති මට වඩා බොහොම හොඳින් මේ ගැන විස්තර කියන්න දන්නා අය. එවැනි අයගේ අදහස් ඉතා ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.

  මේ දුරකථනය පාවිච්චි කළ ආකාරයත් බොහොම රසවත්. මේ දුරකථනය මිළදීගත් කාලයේ මා සේවය කළේ වවුනියාවේ. ඒ කාලේ අපි හිටිය කැලෑ අස්සේ මොන දුරකථනද? ඒ කාලේ, සමහර යුද හමුදා සාමාජිකයන්, ඉඩක් ලද වහාම, වවුනියාව නගරයට පැමිණ, පෞද්ගලික දුරකථන ඇමතුම් ලබාදෙන කඩවලින්, මුදල්ගෙවා ඇමතුම් ගත්තා, තම තමන්ගේ ගෙවල් වලට, නෑ දෑ හිතවතුන්ට, මල් කුමාරිලාට 😀 ඉතින් ඔය වෙලාවට මොනවා කියවෙනවාද කියලා දන්නේ නැහැනේ. අර අපේ අටම් ගේ, අත පිච්චුන කතාවේ, බාසාවෙන් ලියනවානම්, ‘මම ඉක්මනට ඔයා බලන්න එන්නම් මගේ සත්තලං පැටියෝ……..අපි මේ දවස්වල ඕමන්තේ පැත්තේ අරුංගේ කෑම්ප් වලට ගහන්නයි යන්නේ. උන්ට වැඩේ දීලා මම එන්නම්කෝ……… මගේ සුදු චූටි පටියාවත් එක්ක කොහේ හරි යන්න……….’. කියලා කියනවා. සුද්ද සිංහලෙන් කියනවානම් ඔන්න වැඩේ ‘කෙළවාගන්න’ තැන. සිංහල තේරෙන කොටි ඔත්තුකාරයෝ ඕනේ තරම් හිටියා වවුනියාව නගරයේ. උන් එකෙක් අහගෙන හිටියානම්, අපේ ක්‍රියාන්විත රහසක් නිකම්ම උන්ගේ අතේ. ඔන්න ඔය නිසා ත්‍රිවිධ හමුදාවේ කිසිදු නිළයකුට, වවුනියාවෙන් දුරකථන ඇමතුම් ගැනීම තහනම් කරන්න සිදුවුණා. උසස් නිලධාරීන්ට පවා අවවාද කළා, දුරකථන මගින් වෙනත් කඳවුරු සමග හෝ ක්‍රියාන්විත තොරතුරු කතා නොකරන ලෙස.

  ඔන්න ඉතින් මෙව්වා ගත්තට පස්සේ ආය ඉතින් මොකාටද බය කියලා හිතුණා. කිරි අප්පට බල්ලෝ පැනපි. අලියා ගත්තට පස්සේ තමයි දැණුනේ හෙණ්ඩුව දිග මදි කියලා. 😀  වවුනියාව නගරයට දකුණෙන් ඇති තැන් දෙක තුනකට හැර, නගරයෙන් උතුරට සංඥා ලැබෙන්නේ නැහැ. වවුනියාව ප්‍රදේශයේ අළුතෙන් සංඥා කුළුණු හදන්නත් තහනම් අර සමාගමට හෝ වෙනත් කිසිම සමාගමකට,  (ඒ කාලේ තිබුණේ, සෙල්ටෙල් සහ ඩයලොග් පමණයි කියායි මතක තියෙන්නේ) ආරක්ෂක හේතු නිසා. ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’  😀  කිව්වලු. අපේ කට්ටිය ගිහින් ‘අනුරාජපුරෙන්’  😀 ඇන්න ආවේ නැතෑ බාහිර ඇන්ටෙනාවක්. ‘ඇමතුම් ගන්න ඕනේ එකා, ඇන්ටෙනාව වෙත පැමිණ ඇමතුම් ගණු’ කියා ඔක්කොටම දැනුම්දී තිබුණා.  (මගේ ලොකු දුව පුංචි කාලේ ඇන්ටෙනා එකට කිව්වේ, ‘ඇන්ටි නාන එක’ කියලා :D) ඔන්න ඉතින් කැලෙන් ළී කපාගෙන ඇවිත් මහා පළුගහක් මුදුණේ, උණගස් දෙකක් විතර ‘උහට’ බැඳලා, දැම්මා ඇන්ටෙනාව. 😀 ඇන්ටෙනා වයරයේ කොණ, පහසුවෙන් අතින් අල්ලගන්න පුළුවන් වෙන විදිහට, පහළට දැම්මා. ඒ වයර් එකේ කොණ, දුරකථනයේ පිටිපස්සේ තියන අර සොකට් එකට තිබ්බම වැඩේ හරි. එහෙම දාලත් එන්නේ අර සංඥා මට්ටම පෙන්නන කණු දෙකයි උපරිම. හැබැයි කොහොමහරි ඇමතුමක් ගන්න පුළුවන්. දැන් ඉතින් කට්ටිය එකසිය ගානට ඇමතුම් ගන්නවා. අමතක වුනා කියන්න, ඒ කාලේ පිටතට් ගන්න ඇමතුමකට විනාඩියකට රු 8 ක් විතර අයකළා. ලැබෙන ඇමතුම් වලටත් මුදල් අය කරනවා. එව්වා කවුද ගණන්ගන්නේ. ඒ වගේද ‘යුදබිමේ සිට මල් කඩනකොට දැනෙන සොමිය’ 😀  

  ඉතිං ඔන්න ඔහොම ඔය ආකාරයට, දැහැමෙන් සෙමෙන් මලක් දෙකක් කඩාගෙන ඉන්නකොට, මෙන්න යකෝ එල්.ටී.ටී.ඊ. මෝටාර් වෙඩි එනවා, එක දවසක් මහ දවාලේ, හරියටම අපේ ඔලුවට. බොහොම අමාරුවෙන් පොළොව යට බංකර් වලට රිංගලා බේරුනා. දෙතුන් දෙනෙකුට  ටිකක් තුවාල වුණා. මමනම් හිතුවේ එල්.ටී.ටී.ඊ. එකෙක්, හොරෙන්ම අපේ පැත්තට රිංගලා, ගහකට නැගලා හැංගිලා, රේඩියෝ පණිවිඩ මගින් එහා පැත්තට කියනවා ඇති කියලා, අපේ කඳවුර ගැන. මොකද එහෙම නැතුව අපි ඉන්න තැන හොයන්න බැහැ. ගුවන් යානයකටවත් නොපෙනෙන ආකාරයට මහ ඝන වනයේ කඳවුර තිබුණේ. ඊට පහුවදා මේ සිද්ධිය බලන්න බලසේනාධිපති තුමා ආවා. ඒ සමග ඇවිත් හිටියා බලසේනාවේ සංඥා නිලධාරියා. එයා අර අපේ පූජනීය, ආදරණීය, රමණීය වගේම මරණීය 😀 ඇන්ටෙනාව දැක්කා. මිනිහා හෙමීට මගේ ළඟට ඇවිත් කිව්වා, ‘සර්ලට පිස්සුද අරවගේ ඇන්ටෙනාවක් දාන්න? ඔය ඇන්ටෙනාව කිලෝමීටරයක්වත් ඈතට පෙනෙනවා. අරුන් ඔය ඇන්ටෙනාව ටාගට් එකට තියාගෙන තමයි මෝටාර් ගහන්නේ, ලොක්කා (බලසේනාධිපති) දැක්කොත් සර්ටත් සමන්වයි 😀 මම කියන්නේ නැහැ ලොක්කට, දැන් අපි මෙහෙන් ගිය ගමන්, ඔය මගුල ගලවලා දාන්න’ කියලා. කොහොමද අපේ ටිකිරි මොළෙන් කෙළවා ගත්ත කෙළිය. 😀 😀 අනේ ඉතිං දෙවෙනි වතාවටත් ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’ කියලා, ඇන්ටෙනාව ගැලෙව්වා. හැබැයි ඊට පස්සේ හොයාගත්තා නියම ‘කෙරමේ’, මොකක්ද දන්නවද? කළුවර වැටුණට පස්සේ උස්සනවා. පාන්දරම බස්සනවා. ඇන්ටෙනාව ඇන්ටෙනාව………. නැත්තං වෙන අහවල් කෙන්ගෙඩියද? 😀 😀 (පසු කාලයේදී එල්.ටී.ටී.ඊ. කඳවුරු අල්ලා ගත්තාට පසු, ඒවායේ තිබී හමුවුනා, මේ දුරකථන බාහිර ඇන්ටෙනා කීපයක්. බලනකොට අයියලාත් අපි වගේම රෑට උස්සන පාන්දර බස්සන සෙල්ලම කරලා තියනවා. එක වල්ලේ පොල් :D)  හැබැයි මම පසුව විශාල සොයාගැනීමක් කරා. (මෙච්චර විශාල සොයාගැනීමක්, ගිනස් පොතට නොගිය එකත්, ජාත්‍යන්තර සම්මානයක් නොලැබීමත්, ගැන අම්මපා හිතට දුකයි මට)  එක ළඟ තිබුන ගස් තුනක් අල්ලලා පොළොවට අඩි 30 ක් විතර උඩින් ගැහුවා අට්ටාලයක්. අට්ටාලයට නගින්න හොඳ ලී ඉනිමගකුත් හැදුවා. (මම නෙවෙයි ඉතින් ගෝලයෝ තමයි මගේ මේ මහා ක්‍රියාන්විත සැළැස්ම ක්‍රියාත්මක කරන්නේ) පොහ්………මල් හතයි ඈ. අට්ටාලේ උඩටත් ‘කණු දෙකක’ සිග්නල් එකක් එනවා. ඉඳා අප්පා……….. මෙන්න අට්ටාලෙන් බහින්නේ නැතුව මල් කඩනවා කට්ටිය. සාජන් මේජර් අට්ටාලේ පාමුලට ගිහිං සැමැන්නුවාට පස්සේ තමයි සමහර එවුන් අට්ටාලෙන් බහින්නේ. 😀 අට්ටාලේ කොහාටවත් පෙනෙන්නේ නැහැ. රූස්ස ගස් අස්සේ තියන නිසා.  එයවු අස්සේ, මැදි වයසේ ඉන්න මාණ්ඩලික සැරයන් කෙනෙක් දවසක් මගේ ළඟට ඇවිත් කියනවා, ‘බලන්නකෝ සර් මේ ෆෝන් එක. මම මේ කොල්ලෙක්ගෙන් හදිස්සියට ඉල්ලගත්තේ, ඒ වුනාට ඒක කැඩිලා වගේ, කණට තියලා බැලුවා ඩයල් ටෝන් නැහැ’ කියලා. හැබෑටම ඔව්වා ඉතින් අපි කාටත් වෙන්න පුළුවන් දේවල්නේ. විනාඩි 15 ක විතර ‘ලැච්චර් එකක්’ දීලා කියලා දුන්නා, මොබයිල් දුරකථන හෙවත් ජංගම ෆෝන් ගැන 😀

  අම්මෝ……….ඡේද තුන හතරකින් කියන්න හිටිය කතාව, වචන 1500 ත් ඉක්මවලා ගිහින්. හරි හරි, ඔන්න මම මෙතනින් නවතිනවා. ඉතින් දැන් ඔබ කියන්න මට,  ඔබේ ජීවිතයේ පළමු වතාවට මිලදීගත් ජංගම දුරකථනය සහ ඒ සම්බන්ධ වැදගත්, රසවත්, දුක්බර, සිදුවීම් ඔක්කොම.

My Signature for Blog2013 අගෝස්තු මස 20 වැනි දින 0131 පැය

Advertisements

Comments on: "අනේ…….! මගේ පළවෙනි එක (දෙවැනි ලිපිය) – Oh…..! My First One (2nd Article)" (74)

  1. මෙන්න මෙහා 😀 මගෙත් පලවෙනි එක. මාත් ජංගමයක් කියලා ඉස්සෙල්ලම ඇල්ලුවේ මේක
    මගේ My Phone History & what’s next
    (ඒක නෙවෙයි මම මේකට කලිං comment කලාද? මට පිස්සුද? නැත්තං ආපහු post එක දැම්මද?)

    • අම්මෝ පුදුමාකාර ඉතිහාසයක්නේ. නරකද Sony Xperia Z 1 වගේ එකක් ගැන හිතුවොත්. ඒකෙ කැමරාව 20.7 MP කියලයි කියන්නේ.

      මීට කලින් කමෙන්ට් කරලා තිබුනේ නැහැ. මේ දස්වල පාඩම් වැඩ නිසා ඔලුවේ මෙමරි කාඩ් ටිකක් අවුල් වෙලා ඇති. මෙමරි රීසෙට් එකක් දාගන්න. 😀

  2. මීටත් කලින් නේද සෙල්ටෙල් ගඩොල් බාග ආවෙ… ඒව නං දකිනකොට හිනායනවා ඉස්සරත්.. හි හි…

    මට නං ඉතිං ෆොන් එක අරන් දුන්නෙ අපෙ තාත්තනෙ.. රැපියල් 5000කට අර නොකියා 3310 කියල ගඩොල් බාගෙකට වඩා හයිය එකක්.. මොකද ඒක කීපාරක් මගේ මේසෙ උඩ තිබිල බිමට වැටුනත්, කෑලි ටික ගැලවිල හතරඅතේ විසිවෙනවා මිසක් කැඩෙන්නෙ නෑ… ඒ කාලෙ මට මතක විදියට කතාකරන නොම්බරේ (CLI නේද) වැටෙන පහසුකම සල්ලි දීලා ගන්න ඕනෙ.. ෆොන් එක ගත්තට පස්සෙ අවුරුද්දෙ තමයි ඒ පහසුකම නොමිලේ දෙන්න ගත්තෙ..

    මං හිතන්නේ මොබයිල් තාක්ෂණය වෙන්න ඕනෙ ලෝකෙ ඉක්මණටම වෙනස් වෙවී දියුණු වෙච්ච තාක්ෂණය…

    • සෙල්ටෙල් ගඩොල් බාගේ තමයි මුලින්ම ආවේ. මම හිතන්නේ ඔය මුල් කාලයේ දුරකථන හදලා තියෙන්නේ බිම වැටුනම කෑලි ගැලවිලා යාමෙන් යම්කිසි ආකාරයකට අර කම්පනය අඩුකර ‘මදය’ කෑල්ල බේරාගන්නට කියලයි.

      ඇත්තටම ජංගම දුරකථන තරම් වේගයෙන් වෙනස්වෙන වෙනත් විද්‍යුත් මෙවලමක් නැති තරම්.

      Motorola Motorola

  3. විශ්ව රංගනාත් said:

    ඔබගේ “මගේ පළවෙනි එක” ලිපි මගින් අපේ පළවිණි එකත් මතක් වෙනවා නේ. මගේ පළමු ජංගම දුරකථනය ගත්තේ 2001 දී මම කැම්පස් ගිය අලුත. ඒ කලේ analog සහ digital වර්ග දෙකම තිබුනා. digital ඒවත් GSM සහ GSM නොවන ආකාරයේ ඒවත් තිබුනා. මම ගන්න දවස්වල මොබිටෙල්, සෙල්ටෙල්, ඩයලොග් යන තුනම තිබුනත් මට මතක විදියට GSM තිබුනේ ඩයලොග් ළඟ පමණයි. මම ගත්තේ ඩයලොග් සිම් එකක් සහ ඔයාගේ phone එකට බොහෝ සමාන එම වර්ගයේම දුරකතනයක්. සිම් එකට සහ දුරකතනයට 6500ක් ගියා. ඉන්පසු මම ගත්තේ Nokia 3310 ඒක ගත්ත අවුරුද්දනම් මතක නැහැ නමුත් ඒ කාලේ එක 12500ක් වුනා.

    • ඇත්තටම මම මේ ලිපි ලියන්නේ ඔබේ මතකයත් අවුස්සන්න තමයි. මොකද අපි හැම දෙනාටම වගේ ජංගම දුරකථන ගැන බොහොම රසවත් අත්දැකීම් තියනවා. මටත් අවශ්‍ය ඒවා අහන්නයි.

      නොකියා 3310 අදට වුනත් රළු පාවිච්චියට පවා ගැලපෙන හොඳ දුරකතනයක්.

      Nokia 3310 Nokia 3310

  4. he he …
    maru kathawa 🙂

  5. අපොයි දෙයියනේ ගිනි අවිත් ගැන වටේ තලලා අන්තිමට අපේ මතකයත් අතීතයට අරන් ගියා. මං මුලින්ම මේ ජාතියේ එකක් ගත්තේ මොබිටෙල් ආයතනයේ මෝටරෝලා ගඩොල් භාගයක්. ඒ 1989 අවුරුද්දේ. ගාන 12000යි ඒත් අවුරුදු 3ක් මාසෙට 2500ගනනේ අවම බිලක් ගෙවන කොන්දේසිය මත තමා මේක ගත්තේ.

    • මුල් කාලයේදී මේ දුරකථන සමාගම් අපෙන් ගසා කාලා තියෙන්නේ හරිම අසාධාරණ විදිහට. අද ගසාකන්නේ බදු නිසා. කොහොමද ඒ කාලේ අර ගඩොල් බාගේ අරන් පාරේ යනකොට තිබුන ගරු ගාම්බීර කම. 😀

  6. මගේ ඊළඟ එකත් මේවා ගැන තමයි ලියන්න හිතන් ඉන්නේ.. තාම පටන් ගත්තේ නැහැ කම්මැලියි.. 😦

    මා ළඟත් ඇති ටැංගෝ එකක්. දැන් නම් ඒ නම්බර්ස් කොහේ කා ළඟ තියේද මන්දා .. ඉස්සර 12 කට ගත්ත ඇල්කටෙල් වයිබ් ෆෝන් එක තාම වැඩ. මෝට්‍රෝලා සුදු පාට ෆෝන් එකත් තාම වැඩ. අදටත් අලුත් බැට්ටියක් දැම්මොත් දවස් 7 ක් සිංගල් චාර්ජ් එකෙන් දුවනවා… අන්න ෆෝන්…!

    • එක යාලුවෙක් තව යාලුවෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ තියන වැඩ කෑලි විස්තර කලාලු. අන්තිමට අර අනික් යාලුවා අහනවලු. ඔය ඔක්කොම හරි කියමුකෝ, ඔය ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුලුවන්ද? කියලා 😀 😀

      ඇත්තටම සමහර පරණ ජංගම දුරකථන ගුණාත්මක බවින් ඉහලයි.

  7. // ඔබේ ජීවිතයේ පළමු වතාවට මිලදීගත් ජංගම දුරකථනය//

    තවම එකක් මිලදී අරන් නෑනෙ.. ඉතින් කියන්ඩ දෙයක් නෑ.. 🙂

    අද පුදුම තැලිල්ලක්නෙ තලලා තියෙන්නෙ..

  8. මටත් තිබ්බා ඔව්වා එකක් ( a 130 ) ඒක හචින්සන්ටෙලිකොම ( හච් ) එකක්

  9. ඔන්න කාලෙකින් විචාරකගේ බ්ලොගට කමෙන්ට් එකට දාන්න පුලුවන් බව පේනවා.
    මගේ අත්දැකීම වලට වඩා රසවත් අත්ඩහැකීම් වගයක් තිබ්බා නිදහස් සිතුවිලි බ්ලොග් එකේ. මේ බලන්නකෝ.

    RaviApril 27, 2013 at 1:00 AM

    මාත් ඔය ඉස් ඉස්සෙල්ලම මොබයිල් එකක් අරං අපෙ උන්දැට කෝල් එකක් දුන්න ( එතකොට පේමය දණි පනි ගල අළු ගසාදාල මෝරගෙන එන කාලෙ )

    ඔන්න ඉතිං විස්තර කතා කරල ඉවර වෙල අන්තිමට…

    ” හරි එහෙනං බුදු සරණයි මම තියන්නං …” එයයි කිව.

    හරි, හරි…. බුදු සරණයි..මමත් බහින්නං …” මම කිව්ව.

    ” ඈ?? මොකක්ද ඒ බහින කතාව? කොහෙන්ද ඔයයි බහින්නෙ?…” එයා ආයෙම ඇහුව.

    ” අපේ පුංචි මාමලහෙ ගේ පිටිපස්සෙ තියන සියඹලා ගහේ මුදුනෙ මම මේ ඉන්නෙ..ඒකයි බහින්නංය කිව්වෙ ..”

    ” ආ…එහෙමද එහෙනං ආයෙත් බුදු සරණයි..පරෙස්සමෙං බහින්ට..”

    තව කියවන්න

    • නියම කතාවක් හෙන්රි. මේවා ඇත්තටම සිදුවෙන්න ඇති මුල් කාලයේදී. ඒ කාලේ අපේ කොල්ලොත් අර අට්ටාලේ උඩ ඉඳලා එහෙම කියන්න ඇති.

      බොහොම ස්තුතියි.

      අර ටෙස්ටිං කියලා ගහලා තිබුන කමෙන්ට් එක දාන්න ඕනෙද?

  10. මට නම් දැක්ක ගමන් හිතට ඇල්ලුවෙ අර ප්ලාස්ටික් පෙට්ටි ටිකේ සීන් එක. මොකද දන්නවද, අපේ මාමා බැඳපු නැන්දා ලිපිකාරිනියක්, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයෙ අවුරුදු ගානක් ඉඳල ඇවිත් දැන් වැඩ කරන්නෙ මහ රෝහලේ කාර්යාලෙ. අපි විහිළුවට කියන්නෙ එයා ඉස්පිටිතාලෙන් ගෙදර ගේන්නෙ නැත්තෙ දොස්තරලයි නර්ස්ලයි විතරයි කියල. 😀 (බෙහෙත් ආපු ප්ලාස්ටික් බෝතල්- පෙට්ටි, කෙමිකල් ජාති ආපු වීදුරු බෝතල් ඕව තමයි ගෙදර තියෙන්නෙ)

    අපිට කොහෙන්ද ඉතිං බැදපු මාළු. මම නම් ඉස්සරවෙලාම පාවිච්චි කළේ nokia 1650 එකක්. ඔන්න මෑතක් වෙනකන් කිසි හෙනයක් නැතුව තිබුනා, මගේ අතින් බිම වැටිල කෑලි කෑලිවලට ගැලවිලත් කීපපාරක්ම.

    ඔය කැමරා එහෙම තියෙන ෆෝන් කඳවුරුවලට ගේන්න සෙබළුන්ට තහනම් කරල තිබුනද ඒ කාලෙ.
    අනෙක ඔය ක්‍රියාන්විත ගැන කල්තියා සියලුම අය දැනුවත් කරන්නෙ නැහැනේද, අර විදියට වව්නියාවෙන් කෝල් ගන්න තහනම් කළේ.

    • අම්මපා අර ඉස්පිරිතාල කතාවනම් ඇත්ත. මම දැකලා තියනවා එවැනි අයගේ ගෙවල්වලත් ඔය මම ගෙනත් තියන ආකාරයේ විවිධ දේවල් ගෙනත් තියනවා.

      නොකියා 1650 කියන්නේ නොකියා 1650 මේ ලිපියේ මම පෙන්නලා තියන මෝටරෝලා සී 130 ට වඩා බොහොම ඉහල එකක් නේද?

      කැමරා දුරකථන තහනම හමුදාවේදී හරියට ක්‍රියාත්මකවුනේ නැහැ. ඒ නිසා තමයි අනවශ්‍ය පින්තූර කොටි සංවිධානය අතටත් ගියේ.

  11. මම තලායි විචාරක තුමා එක්ක.
    මම “සමකය වටේ”ට ලියපු “වෙරළු මල් සුවද”කතාව බලල නැහැ :(.

  12. //”(පසු කාලයේදී එල්.ටී.ටී.ඊ. කඳවුරු අල්ලා ගත්තාට පසු, ඒවායේ තිබී හමුවුනා, මේ දුරකථන බාහිර ඇන්ටෙනා කීපයක්. බලනකොට අයියලාත් අපි වගේම රෑට උස්සන පාන්දර බස්සන සෙල්ලම කරලා තියනවා. එක වල්ලේ පොල් 😀 )”//
    මේ කොටස කියවනකොට මාට නම් හිතුනේ වෙනම දෙයක් (කවුරුවත් එකඟ වෙයිද දන්නේ නෑ ) එක එක පුද්ගලයන්ගේ එක එක අවශ්‍යතා වලට දෙපැත්ත බෙදිලා යුද්ධ කර ගත්තත් හැමෝම මිනිස්සු ,හැමෝටම මානුෂීය හැගීම් තියෙනවා. හැමෝගෙම තියෙන්නේ එකම අවශ්‍යතා ටික මොකද හැමෝම මිනිස්සු නිසා

    • ඔබේ අදහසට 100% ක් එකඟ වෙනවා. ලෝකයේ කොතැනක යුද්ධයක් තිබුනත් එය හමුදාවේ අවශ්‍යතාවයකට සිදුවන්නක් නොවේ. දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයටයි සිදුවෙන්නේ. හොඳ උදාහරණයක් කියන්නම්. ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමාවේ සමහර තැන්වල ඉන්න සෙබළු එකිනෙකාට මීටර් 150 පමණ පරතරයකින් ඉන්න තැන් තියනවා, ඔවුන් අතර කෑමබීම, බුලත්විට පවා හුවමාරු වෙනවා. දෙගොල්ලොම දවල්ට දේශසීමාව මැද්දට වෙලා බිම ඉඳගෙන කතාකරකර ඉන්නවා. රෑට ගහගන්නවා. ආපහු පහුවදා උදේට කතාකරනවා. 😀

      • හරියටම හරි විචාරක. ඇයි මේ තත්වය ගොඩාක් අය තේරුම් නොගන්නේ? අපේ හමුදාවේ මෑතක සිට හැසිරීම් රටාවත් මේකට හේතුවක්ද?

    • @ ඉවෝන්

      +++++++++++++++++++++

  13. මට නම් අද දුරකථන වලට වඩා ඒවා පාවිච්චි කරපු විදිය රසවත් වුනා.
    ලොකු දෝනිගේ >ඇන්ටි නාන එක<
    සමන්වයි කියන එක නමක් කියල හිතල ටිකක් ගිහිල්ල දෙතුන් සැරයක් රිවස් කලාමයි තේරුම් ගියේ.
    හොද විස්තරාත්මක රසයෙන් පිරි ලිපියක්.

  14. ෆෝන් කතාව කැලේ ඇන්ටනාව හයි කොරපු විදිය දැක්කම. අම්මපා විචරකෝ… බොලාට මොලයක් කියල දෙයක් මල් කඩන්න ගත්තම එන්නේ නැතෙයි. අඩි අච්චර ගානක් උසට ඇන්ටනාව හැදුවම, “පුදුමයි මෝටාර් ආවේ නැත්තේ“ කියල හිතාගෙන බලනකොට මෙන්න බඩු හම්බ වෙලා..

    මගේ පළවෙනි එක එරික්සන් ෆ්ලිප් ෆෝන් එක.. ඒත ලේඩිස් මොඩල් එකක්. හැබැයි හරිම ගති…

  15. මගේ පලවෙනි එක MOTOROLA D460 1998 DIALOG

  16. මගේ පලවෙනි එක motorola D460 1998 ගත්තෙ Dialog connection

  17. මට මුලින්ම හම්බ උනේ එරික්සන් T10 එකක් 2002 දි වගේ හැබැයි දැන් තියෙන ඒවාට වැඩිය හිතට නිදහස් වැටුනත් බය නැහැ. ලංකාවේ ඉන්දෙද්දී මගේ දැන් තියෙන එක වැටිලා වීදුරුව කැඩුනා ඔන්න ඒකාලේ තාක්ෂනෙයි දැන් කාලෙයි (ශක්තිමත් බවේ) වෙනස.

    • දුරකථන විතරක් නෙවේ වාහන වුනත් බලන්න පැරණි වාහනයක් හැප්පුනාම ඒ තරම් චප්ප වෙන්නේ නැහැ. දැන් තියන වාහන බිත්තර කටු වගේ.

      Ericsson T10Ericsson T10

    • ඕකට ඒ කාලේ ලොකු පිළිගැනීමක් තිබුනා ඒක නැති උනේ නොකිය එකෙන් ආව 1100,3310,3315 වගේ ෆෝන් හින්දා කොටින්ම කිව්වොත් නොකිය ෆෝන් වල අර සිංහල සින්දු රිංග් ටෝන් කරන්න පුළුවන් පහසු කම නිසාමයි වැඩිපුර නැගල ගියේ අනෙක තමයි ගේම් කොහොම හරි ඔය T 10 එක සුනාමි දවස් වෙනකොටත් මගේ ළඟ තිබුනා.

  18. මමනං ඉස්සෙල්ලම ගත්තෙ මෝටරෝලා ප්‍රෝපයිල් 200 එකක්.
    ඒ දවස්වල ඒක 16000 ක් ද කොහෙද. ස්ටෑන්ඩඩ් බැටරිය එක්ක හොඳ බර.
    ඒකෙත් ඔය වගේ දික් කරන්න පුලුවං ඇන්ටනාවක් තිබ්බ. මේ මෑතක් වෙනකල්ම ඕක තිබිල පස්සෙ ලංකා බෙල් කාරයො ඔය ෆෝන් වලට ගානක් අඩුකරල උංගෙ ෆෝන් දෙනකොට ඒව එහෙකට දීල දැම්ම.

    • Profile 300 ලෙස නිවැරදි විය යුතුය.
      ඒ දවස්වල ඕවයෙ කාඩ් දාන්න ගියාම තමයි ඇණගන්න වෙන්නෙ. සිග්නල් මදි නිසා අංක ඔබනකොට මගදි නෝ සිග්නල් උ‍නොත් පින් එක රිජෙක්ට් වෙනව. තුන් පාරක් දාපුවම නම්බරේ ලොක් වෙනව. ඊට පස්සෙ ඉතිං කොම්පැණියට කතාකරල තමයි ලොක් එක ඇරගන්න ඕන. 😀

      • මොකක් හරි පූරුවේ පිනකට (පවකට) ජංගම දුරකථන පාවිච්චිය පටන්ගත්ත දවසේ ඉඳලම මට තියෙන්නේ පැකේජ්.

        අරවගේ ප්‍රශ්න මමත් අහලා තියනවා යාලුවන්ගෙන්.

    • හැබැයි ඒ වගේ ෆෝන් පොළොවේ ගහ ගහ වුනත් පාවිච්චි කරන්න පුළුවන් තරම් හයියයි.

      Motorola Motorola

  19. Web.පුරවැසියා said:

    මගේ සිත්ගත් වැකිය :-
    මගේ ලොකු දුව පුංචි කාලේ ඇන්ටෙනා එකට කිව්වේ, ‘ඇන්ටි නාන එක’ කියලා

  20. මට මගේ පළවෙනි එක හම්බ උනේ 1990. මම එතකොට ලංකාවේ නෙමෙයි හිටියේ.වර්ගය මතක නැහැ.රාජකාරී සඳහා පමණයි කියලා ලොක්කා ඒක දුන්නේ.

  21. මටත් කියවනකොටම හිතුනේ දේශකයාට හිතුන දේම තමා.උණ ගස් 2 විතර උසට ඇන්ටනවා දාපුවාම බඩු හම්බුනේ නැත්ද අහන්නම් කියලා හිතනකොට බඩු පත්තු වෙලා.හැබෑටම අර ලොක්කා දැක්කා නම් එහෙම හොඳවයින් අහගන්න තිබුනා..

  22. ඕක තමයි මම මුල්ම්ම පාවිච්චි කරපු ෆෝන් එක. මට ලැබුනෙ 97දි, කන්තෝරුවෙන්. ඊට කලින් මම හිතන්නෙ මේක ලොක්ක පාවිච්චි කරල පස්සෙ මිනිහ එරික්සන් එකක් අරන් තමයි මට මේක දුන්නෙ.

    ඉන් පස්සෙ හම්බ උනා අලුත්ම එරික්සන් එකක්, ඒ මේක. http://upload.wikimedia.org/wikipedia/commons/1/14/Ericsson_GA_628.jpg

    ඔය දෙකම තිබ්බෙ මොබිටෙල්. නම්බරේ මරු. 071777701. අන්තිමට ඒකෙන් මාරු උනා එරික්සන් T20 කියන එකට. ඒක මාර කියුට් නියම ෆෝන් එක.ඒකට තමයි හා හා පුරා කියල අපිට සී එල් අයි ලැබුනෙ. ඒකත් වෙනම ගානක් ගෙවල ගත්ත ෆැසිලිටියක්.

    අපි තමයි සෙල්ටෙල් එක උන්ගෙ බදු සහන කාලෙ ඉවර උනාම යුනියන් ප්ලේස් එකෙන් ගලවල ග්‍රෑන්ඩ්පාස් ගෙනිහිල්ල තිබ්බෙ. එතනදි ඒ ක්න්ට්‍රැක්ට් එක දුන්නෙ අපේ ෆෝන් සෙල්ටෙල් වලට මාරු කරනව කියන පොරොන්දුවත් අරන්.

    එතනදි ඔන්න පලවෙනි GSM phone එක ලැබුන, අර අංකෙම මුල 071 වෙනුවට 072 දාල. ෆෝන් එක ඇල්කටෙල් මෙන්න මේ ජාතිය.

    ඉන් පස්සෙ නොකිය මෙන්න මේක.http://netdna.webdesignerdepot.com/uploads/cellphone_design/dkmb86g_416fjjxxqfw_b.jpg

    ඉන් පස්සෙ මම එදා මෙදා දැක්ක වඩාත්ම සොලිඩ් ෆෝන් රාජය…http://www.potofthots.com/wp-content/uploads/2012/04/Nokia-3310-02.jpg

    ඉන් පස්සෙ තම නොයෙක් ජාති තිබ්බ.

    හැබැයි විස්වාස කරනවද මම අනූ අටේ ඉඳල ෆෝන් තිබිලත් සල්ලි දීල මටම කියල ෆෝන් එකක් ගත්තෙ දෙදාස් දහ තුනේදි, ඒ දැන් තියෙන සන්සුන් සැම්සුන් බට්ට.

    • පුදුමාකාර ඉතිහාස කතාවක්. අත්දැකීම් සමුදායක්.

      සෙල්ටෙල් එක යූනියන් පෙදෙසේ (හූනියං) 😀 තියෙද්දී තමයි මමත් අර පළමුවැනි ෆෝන් එක ගත්තේ.

      මමත් මෝටරෝලා එකෙන් පස්සේ ගත්තේ එරික්සන් එකක්. ඊට පස්සේ නොකියා 6680. දැන් තියෙන්නේ නොකියා C3-01 Touch & Type

      පෙර පින් තියන අයට තමයි ඔහොම නොමිලේ ෆෝන් ලැබෙන්නේ. 😀

  23. කෙල්ලෝ හන්දා මේ සොල්දාදුවොත් කරන වැඩ. තමන්ගේ පණ නහගන අනුන්ගේ එකත් නහනවා. මේ කාලේ එක දවසක්, විචාරක විචාරකීට කතා කරනකොට මෙන්න මෙහෙමලු උණේ,

    විචාරක:

    ‘අනේ බලන්ටකෝ සුදු…මට ඔයාට කතා කරන්ට වෙලාවක් නෑනේ මේ වනචර කොල්ලෝ බලන බලන හැම වෙලාවෙම කෙල්ලෝ එක්ක මල් කඩන හන්දා.’

    විචාරකී: කමක් නෑ කලූ. ඔය කඩන මලක් පූජා කරලා එයාලා පිනක් දහමක්වත් කරගන්නේ නැතෑ. හැබැයි ගොය්යේ මේ සෙනසුරාදා ගෙදර නාවොත් , ආයි ආපුහාම ඉන්ට වෙන්නේ ගරාජ් එකේ . ඔන්න මම නොකීවා කියන්ට එපා.’ (දඩං…බිඩිං…ඩොං…)

    විචාරක දෑතින්ම කන් වසා ගනී… 😀 😀

  24. සුපියල්ම 5000 ක් දීලා අරාබියෙන් ආපු මිතුරෙක් ගෙන් බලෙන් ගත්තා Motorola MicroTac 8700 ක් ඒ 98 දී විතර . මතක විදියට බිසිනොස් කාර්ඩ් එකක් සයිස් වන මුළු සිම් කාර්ඩ් එකම ඔබන්න පුළුවන් අස්සට.බැස්ටියත් තියනවා අතක් බරට වලියකට ෂෝයි 🙂 ඒක ගලවලා charger එකේ හිටවලා තමයි charge කරන්න ඕනි.

    දවසක් අපි ලිෆ්ට් එකක් ඇතුලට යනවා සුද්දියෙක් ඒකේ ඉඳන් එනවා තනියෙන් කතා කර කර . දුටු ගමන් පද හදන්න උපන් අපි අර සුද්දිට පිස්සු කියලා ලිෆ්ට් එකේ දොර වැහෙන කොට සභා සම්මත කරගෙන ඉවරයි. එකෙක් ආපහු ගිහිල්ලා කතාවක් දාන්නත් සූජානම ( පිස්සු උනත් මොකද බං සුද්දීයෙක්නේ කියලා )
    අපේ වැඩේ කරගෙන පහල එනකොට සුද්දී තාම කතාව ඒ වුනාට කඩින් කඩ . ඒ සැරේ අනිමිසලෝචනය කරන කොට දැක්කා සුට්ටන් ගැජෙට් එකක් කනේ තියනවා phone එක අතේ තියනවා .ඕන් ඔහොමයි මුල්ම bluetooth අත්දැකීම.

    අර උඩ තියන nokia 3310 එකක් තිබ්බා මං මල් කඩපු පරාණයකට.කොස්ස ඇවිල්ලා ගෑනු ළමයාගේ පියාට තමා එකේ බිල එන්නේ.පියා බිල check කොරනවා කෙල්ලගේ හොර අල්ලන්න.කෙල්ල ගාව ෆෝන් ජාති දෙකක් තිබ්බොත් වැඩ සාටර් නිසා
    මං තුමා තෑගි දුන්නා ඒ ජාතිය එකක්ම මල් කඩන්න. බය නැතිව ඕනි තැනක තියල තියන්න පුළුවන්නේ ගෙදරින් අරං දීපු එකනේ.
    🙂

    • පොහ්……….අත්දැකීම් ටික මල් හතයි ඈ. හැබෑට මේ ජංගම දුරකථන අපේ ජීවිත මේ තරම් වෙනස් කරයි කියලා කවුද හිතුවේ.

      බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන.

  25. මගේ පළවෙනි දුරකථනය Sony Ericsson T28…උසස් පෙළ කරලා අවසන් උන ගමන්ම තාවකාලික රැකියාවක් කලා…දුරබණුවක් ගන්න තිබුන ආශාවටම…ඒ කාලෙ මගේ සැට් එකේ දුරබණුවක් තිබුන එකම එකා මම නිසා.. මගේ දුරබණුව බහුතර යාලුවන්ගෙ ආදර සම්බන්ධතා ශක්තිමත් කලේ මගේ තුට්ටු දෙකටත් කෙළවන ගමන්…අන්න එහෙමයි මම ලව් වලට සප් එක දුන්නෙ…අද උන් බැදලා ළමයිනුත් ඉන්නවා…

    • විශාල සමාජ මෙහෙවර කරපු ඒ ෆෝන් එක වීදුරු පෙට්ටියක දාලා බිත්තියේ ගහලා තිබ්බානම් අර ඒ ෆෝන් එකේ පිහිටෙන් අමාරුවේ වැටිච්ච එවුන් ඇවිත් එක්කෝ වැඳලා යයි. නැත්නම් පොලු පාරක් ගහලා යයි. අපේ උන්ට හොඳක් කලත් නරකයිනේ 😀

      Ericsson T 28 Ericsson T 28

  26. මගෙ පලවෙනි එක අර මෝටරෝලා ගඩොල් කැටේ.. අත්‍යවශ්‍ය සේවෙ හින්දා බලෙන්ම ඇ‍ඟේ ගැහුවට පස්සෙ තුන්සිය හැටපස් දවසෙම වැඩ කරා හා සමාන ජීවිතේට ආවා. ඒකෙ පිහිටෙං මගෙ පහලිං හිටි උං ඔක්කොම තීරණවල බර මටම තියන්න පුරුදු උනා. මල ඉලවු මොබයිල් නොතිබ්බ කාලෙ ජූනියර් වෙල හිටි අපිට රෑට මහ එකාට කතා කරන්න වරම් තිබ්බෙ වරාය ගිනි ගත්තොත් විතරයි.. හැබැයි අපිට ඒ වාසනාව තිබ්බෙ නෑ. ඔය මඟුල නොතිබ්බා නම් මිනිස්සු මීට වඩා නිදහසේ ජීවත්වේවි..

    • වැදගත් අත්දැකීම් රාශියක් නේද? ඒ කාලේ අපිට ඔය ගඩොල් බාගේ හම්බවුනානම් අතේ අරන් යනවා මිසක් කතාකරන්න යන්නේ නැහැ. කාටද පුළුවන් ඔව්වට බිල් ගෙවන්න 😀

      හොඳ ප්‍රශ්නයක් සරත්. මේ ජංගම දුරකථන, පරිගණක, අරවා මෙව්වා නිසා, අපේ ජීවිත සැපවත් වෙලාද එහෙම නැත්නම් තිබුනටත් වැඩිය අවුල්වෙලාද කියන එක මටත් ප්‍රශ්නයක්.

  27. මුලින්ම Nokia 3310 ආවේ රුපියල් 10000.00 ටිකක් වැඩියෙන්. අර ගඩොල් බාගේ ඒ කාලේ රුපියල් 275000.00 විතර. රසවත් විදියට මෙහෙම ලියනකොට ඉතිහාසේ මතක් වෙනවා. ස්තුති විචාරකට.

  28. අපේ ගෙදරත් උඩින් දාල තියන ගොඩක් පෝන් ජාති ගොඩක් තිබුනා. දැන් නම් කොහෙද කියලවත් හොයන්න නෑ. එත් ඒ කාලේ සිග්නල් හොයන්න ගේ වටේ කැරකුණ හැටි මතක් වෙනකොටත් හරි අමුතු හැඟීමක් දැනෙනවා.

  29. අපේ උන්දෑ සෑහෙන කාලයක් පාවිච්චි කලා Nokia 5110 ක් තවම හොඳට වැඩකරනවා.කාලයක් ටිකක් දුර යුනිවර්සිටියකට ගියා වැඩිදුර ඉගෙනගන්න කෝච්චියෙ යන්න වුනේ.ඒ යුනි එකටම යනකොල්ලො කෙල්ලො ටිකකුත් සෙට්වෙලා මේගොල්ල කයිය ගගහ යනවා.ඔයවගෙ යන වෙලාවක කවුරුහරි උන්දැට කෝල් එකක් දීල ඉතින් 5110 ඇදල අරගෙන කතාව ඉවරවුනහම අර කොල්ලෙක් අහල අද සීයා ගෙදරද කියල. ටිකක් වෙලා ගිහින් ටියුබ් ලයිට් එක පත්තු වුනහම තමයි තේරිලා තියෙන්නෙ මුන් ටෙලිපෝන් එකටය හිනාවෙලා තියෙන්නෙ කියල

    • ඔව් ඉතින් ෆෝන් එකක බාහිර පෙනුමත් බොහොම වැදගත් සාධකයක් නෙ. නමුත් නොකියා 5110 ආව කාලයේ එය ඉතාම ජනප්‍රිය ශක්තිමත් ෆෝන් එකක් ලෙසයි සැලකුනේ.

      Nokia 5110 Nokia 5110

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: