විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 

 628x471මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණ දුන් ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස රතුපස්වල සිද්ධිය ඉතිහාසයට එක්වෙනවා. මේ සිද්ධිය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවූ හානියේ බරපතළකම වැටහෙන්නේ, ඉදිරි කාලයේදී, ඒ පිළිබඳව යුද හමුදාව විසින් මෙන්ම, සිවිල් අධිකරණය මගින්ද, ගනු ලබන ක්‍රියාමාර්ග  (පින්තූරය ගත්තේ මෙතනින්) වලින් අත්වන ප්‍රතිඵල අනුවයි. එමෙන්ම අපේ රටවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මේ පිළිබඳ දක්වන ආකල්ප, සෑහෙන බලපෑමක් එක් කරනවා. ඒ බව හොඳින්ම පැහැදිලි වුනා, එක්සත් ජාතීන්න්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ නියෝජ්‍ය කොමසාරිස්, නවනීදන් පිල්ලේ මහත්මිය, ඊයේ (අගෝස්තු 31) ඇය ලංකාවෙන් පිටවයාමට පෙර පැවැත්වූ, ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, රතුපස්වල සිද්ධිය ගැන අප්‍රසාදය පළකිරීමෙන්.

   හිටපු හමුදා සාමාජිකයකු ලෙස, මේ ලිපියෙන්, මම යුද හමුදාවට සුදුහුණු ගාන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අපේ රටේ කොයි ක්ෂේත්‍රයේද මෙවැනි අකටයුතුකම් සිදු නොවෙන්නේ කියා අප සියළු දෙනාම දන්නවා. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ආගමන හා විගමන, වැනි නොයෙකුත් ක්ෂේත්‍ර වල සිදුවන අසාධාරණකම් ගැන ජනමාධ්‍ය ඔස්සේ නිතර අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සම්බන්ධව ගනු ලබන විනය ක්‍රියාමාර්ග/අධිකරණ ක්‍රියාමාර්ග, ගැනද තොරතුරු අපට ලැබෙනවා. ඒ වගේම අමතක නොකළයුතු දෙයක් තමයි, එවැනි විනය ක්‍රියාමාර්ග ගත් පසු, වෘත්තීය සමිති මගින්, රටපුරා උද්ඝෝෂණ පවත්වමින්, ඊට විරෝධය පළකිරීම මෙන්ම, සමහරවිට, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ, ඒ තීරණ අවලංගු කරගැනීම හෝ වෙනස් කරගැනීම ද දක්නට ලැබෙනවා. නමුත් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ එවැනි උද්ඝෝෂණ කරන්නට බැහැ. වෘත්තීය සමිති පිහිටුවන්නත් බැහැ. සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්. ඒ නිසා ඔවුන් ඉන්නේ දැඩි පාලනයක් යටතේ බව අප මුලින්ම මතක තබාගත යුතුයි. මේ රතුපස්වල සිද්ධිය පිළිබඳව, මීට පෙරද ලිපියක් මගින්, යුදහමුදා පිළිවෙත ගැන, මවිසින් ඔබ දැනුවත් කළා ඔබට මතක ඇති. එය නොකියවූ අය, මේ සබැඳියාවෙන් ගොස්, ඒ ලිපිය කියවන මෙන් ඉල්ලනවා.  

  දැන් මුළු රටම බලා ඉන්නවා, මේ සිද්ධියට සම්බන්ධ, දැනට ඔවුන් දරන ලද තනතුරු (appointment / designation) වලින් ඉවත් කරන ලද, මේ නිළධාරීන්ට ඊළඟට මොකද වෙන්නේ කියා. මේ ලිපියෙන් මා උත්සාහ කරන්නේ, ඊළඟට වන්නේ කුමක්ද යන්න, හැකි තරම් සරළව ඔබට පහදා දීමටයි. ඔබ දන්නවා, ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ, යුද හමුදා පනත මගින් බව. එය හඳුන්වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනත යනුවෙන්. එයින්ම ඔබට වැටහෙනවා ඇති මේ පනත කොපමණ පැරණි පනතක්ද යනවග. 1949 ට පෙරත් ලංකාවේ යුද හමුදාවක් තිබුණා. (ත්‍රිවිධ හමුදාවම තිබුණා) නමුත් එය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන ක්‍රමය තුළයි පවත්වාගෙන ගියේ. 1948 දී අප නිදහස ලැබීමෙන් පසුව, අළුතෙන් පිහිටුවාගත්, ලංකා යුද හමුදාව (ශ්‍රී ලංකා වුනේ 1972 දී ජනරජයක් වීමෙන් පසුවයි)  වෙනුවෙන් තමයි, මේ පනත සකස්කර තිබෙන්නේ.

img074

img075

  දැන් මේ නිලධාරීන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කළේ කුමන පදනමක් යටතේද? ඒ සඳහා පදනම් කරගත්තේ යුදහමුදාව විසින්ම පත්කළ මූලික පරීක්ෂණ උසාවියේ – Court of Inquiry වාර්තාවයි.  

මොකක්ද මේ මූලික පරීක්ෂණ උසාවිය කියන්නේ?

  යුද හමුදා පනත අනුව ඒකක අණදෙන නිලධාරි වරයකුට, (Battalion Commanding Officer) බලසේනාධිපති වරයකුට, (Brigade Commander) සේනාංකාධිපති වරයකුට, (Division Commander) රෙජිමේන්තු ආඥාපති වරයකුට, (Regimental Commander) මෙන්ම ප්‍රධාන පෙළේ තනතුරු දරන නිලධාරීන්ට, (Other Principal Officers) බලය තිබෙනවා, තම විෂයය පථයට යටත් වන, තමන්  දරන පත්වීම අනුව බලය තිබෙන, විෂයයන් උදෙසා, මෙවැනි පරීක්ෂණ මණ්ඩල පත් කරන්න.

  උදාහරණ දෙකක් දෙන්නම්. අපි හිතමු මෙහෙම. එක යුද හමුදා සෙබළකු කඳවුරේ සිට නිවාඩු ලබා ගෙදර යනවිට හෝ නිවසේ සිට ආපසු කඳවුර වෙත පැමිණීමේදී, මාර්ග අනතුරකට මුහුණ දෙනවා. (යුද හමුදා පනත අනුව හමුදා සාමාජිකයා සෑමවිටම ඉන්නේ සක්‍රිය සේවයේ. ඔහුට නිවාඩුවක් නෙවෙයි විවේකයක් දෙන්නේ. ඒ නිසා ඒ කාලසීමාවත් රාජකාරියට අදාළයි. පුදුමයි නේද?) ඔහු බරපතළ තුවාල ලබා ගැලවෙනවා. ඒ නිසා, මේ සිද්ධියෙන් පස්සේ, ඒ සෙබළා අයත් ඒකකයේ අණදෙන නිලධාරියාට සිදුවෙනවා, මූලික පරීක්ෂණ උසාවියක් පත්කරන්න, ඇත්තටම මේ සෙබළා මාර්ග අනතුරකට මුහුණ දුන්නාද, නැත්නම් ඔහුගේ ගමේ පිළිකනු ගානේ රිංගන්න ගිහින් පොලු පාරක් කෑවාද කියා සොයාබලන්න. 😀 මොකද අපි දන්නේ, මේ සෙබළා කියන කතාව පමණයි.  තව උදාහරණයක් කියන්නම්. එක කඳවුරක ඇඳුම් සහ රෙදිපිළි ගබඩාවේ තිබුණු, සොල්දාදුවන්ට නිකුත් කිරීමට නියමිත තුවා 50 ක් අතුරුදන් බව, ගබඩා පරීක්ෂණයකදී හෙළිවෙනවා. උපකරණ පාලක නිලධාරියා (Quarter Master = QM) මෙන්ම, උපකරණ පාලක සැරයන් මේජර් වරයාත් (Regimental Quarter Master Sergeant = RQMS) ප්‍රකාශ කරන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. දැන් ඉතින් කරන්න වෙන්නේ මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ‘කොයි බහිරවයාද තුවා 50 ක් ගිල්ලේ’  😀 කියා සොයා බැලීමටයි. (ඔන්න ඉතින් සෙබළියන්ට නිකුත් කරන අර…… අර පොඩි තුවා, අන්න හරි එව්වා තමයි, 50 ක් නෙවෙයි 100 ක් වුනත් ගිල්ලනම් අපි දන්නවා කවුද ගිල්ලේ කියලා 😀 😀 ) ඉතින් මේ මූලික පරීක්ෂණ උසාවියේ වගකීම වන්නේ මේ සිදුවීම් පිළිබඳව කරුණු විමසා තම නිරීක්ෂණ, නිර්දේශ සහ නිගමන – (observations, recommendations and decisions/conclusions) මූලික පරීක්ෂණ උසාවිය පත්කිරීමේ නියෝගයේ, අදාළ වාර්තාව ලබාදිය යුතු යයි නියම කරන දිනයේදී හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමයි. මේ වාර්තාවේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. එහි මුල් පිටපත අතින් ලිවිය යුතුයි. වැරදීම් කැපීම කෙටීම් සිදුවන සියලු තැන්වල, උසාවියේ සභාපති, අදාළ සාක්ෂිකරු, කෙටි අත්සන් තැබිය යුතුයි. අවශ්‍ය අනෙක් පිටපත්, ඡායා පිටපත් ලෙස ඉදිරිපත් කළ හැකියි. උදාහරණය:- ‘මෙම සෙබලා නිවාඩු ගොස් සිටියදී කොටු පැනීමේ අරමුණෙන්, අසල්වැසි නිවසක පිළිකන්නට ගොස් ඇති බව, උසාවිය නිරීක්ෂණය කරයි. 😀 මෙම සෙබළා යුද හමුදාව අපකීර්තියට පත්වන ආකාරයට හැසිරී ඇති බැවින්, ඔහුට විරුද්ධව යුදහමුදා පනතේ ……..ඡේදය (අදාළ ඡේදය හෝ ඡේද සඳහන් කළයුතුයි) යටතේ චෝදනාපත් නගා විනයානුකූලව ක්‍රියාකලයුතු බව උසාවිය නිගමනය කරයි. ඔන්න ඊට පස්සේ අර සෙබලාට චෝදනාපත් නගා විනයානුකූලව ක්‍රියා කරනවා. (එහෙම කරපු ලස්සන කතාවක් මම මීට පෙර ලියලා තියනවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න.)  

  නමුත් දැන් මේ රතුපස්වල සිද්ධියේදී චුදිත නිළධාරීන් යුද්ධාධිකරණයකට Court Martial ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව පෙනෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ මේ නිළධාරීන් කර ඇති, වරද/වරදවල් වල බරපතළකම අනුව, ඔවුන්, යුද්ධාධිකරණයකින් විභාග කළයුතු තරම් බරපතළ වැරදි කර ඇති බව, අර මූලික පරීක්ෂණ උසාවියෙන් නිගමනය කර තිබුණොත් තමයි. ඉතින් මෙහෙම එක මණ්ඩලයක් තීරණ වලට අනුව විතරක් ක්‍රියාත්මක වීම අසාධාරණ නැද්ද? එක මණ්ඩලයක් නෙවෙයි. කිසිම මාධ්‍යයක පළ නොවන, අඩුගාණේ හමුදාවවත් නොකියන සාධාරණ පරීක්ෂණය කෙරෙන්නේ මෙන්න මෙහෙමයි. හමුදාවේ විනය පවත්වාගෙන යන්න ඉන්න ලොකුම පොලිස්කාරයා තමයි ‘විනයාරක්ෂාධිපති – Provost Martial’  (සැරයි නේද නම?) මෙය අධ්‍යක්ෂ මණ්ඩලයක් – Directorate ලෙසයි වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේ යටතේ තිබෙන යුද හමුදා පොලීසිය විසින්, ස්වාධීන වාර්තාවක්, කෙළින්ම යුද හමුදාපති වෙත ලබාදෙනවා, මෙවැනි සිදුවීම් වලදී. යුද හමුදා පොලීසියට බලය තිබෙනවා, රතුපස්වල වැනි සිදුවීමකදී, කොයි තරම් උසස් හමුදා නිළධාරියකුගෙන් මෙන්ම සාමාන්‍ය වැසියන්ගෙන් වුණත් කට උත්තර ගන්න.

  එමෙන්ම රතුපස්වල සිද්ධිය ගැන මූලික පරීක්ෂණ උසාවියට පැමිණ සාක්ෂි දෙන ලෙස දැනුම්දීමක් කරන්න අර මූලික පරීක්ෂණ උසාවියට සම්පූර්ණයෙන් බලතල තිබෙනවා. රතුපස්වල වැසියන් ඒ සඳහා සහභාගී නොවීම, ඔවුන් කළ අණුවන ක්‍රියාවක්. ඔවුන්ට කරන්න තිබුනේ, නීතීඥයන් සමග ගොස්, එම නීතීඥ උපදෙස් යටතේ සාක්ෂි දෙන්නයි. එමෙන්ම තමන්ගේ ප්‍රකාශ වාර්තාකර තබාගැනීමට සහ මූලික පරීක්ෂණ උසාවියේ සිටි නිලධාරීන්ගේ විස්තරද තමන්වෙත ලබාගන්නයි. ඔවුන් හොඳ අවස්ථාවක් මගහැරියා කියලයි මමනම් හිතන්නේ.   කවුරු හරි ගොඩ පෙරකදෝරුවෙක් තමයි, මිනිසුන්ව අධෛර්යවත් කරලා තියෙන්නේ, යන්න එපා කියලා. ඒ මණ්ඩලයට බැහැ මිනිසුන් කියන දේවල් විකෘති කරලා ලියන්න. මම ඒ බව වගකීමෙන් කියනවා. 

  දැන් යුද හමුදා පොලීසියේ වාර්තාව මෙන්ම මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව යන දෙකම යුද හමුදාධිපතිතුමා වෙත ලැබෙනවා. එහිදී එතුමා තනි තීරණයක් ගන්නේ නැහැ. ඒ වාර්තා කියවා බලා, එතුමා ඒ වාර්තා යවනවා. යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයට – Directorate of Legal Services (ලින්ක් එකක් දීමට උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ) එයින් බලාපොරොත්තුවන්නේ, එම වාර්තා, යුදහමුදා පනතේ සහ යුද හමුදා විනය රෙගුලාසි මාලාවේ නියමයන්ට අනුකූලව සකසා තිබේද යන්නයි.

img072

img073

  එහිදී අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කොට නැවත සකසා යුද හමුදා මූලස්ථානයට නැවත යැවෙනවා. මොනවද වියහැකි අඩුපාඩු? සුළු වැරැද්දකට බරපතල දඬුවමක් නිර්දේශ කර තිබෙන්නට පුළුවන්. බරපතල වරදකට සුළු දඬුවමක් නිර්දේශ කර තිබෙන්න පුළුවන්. චෝදනාපත් නැගීමේදී අදාළ කරගත යුතු යුද හමුදා පනතේ නිවැරදි වගන්තිය වෙනුවට වැරදි වගන්තියක් යොදාගෙන තිබෙන්නට පුළුවන්. වරදල් කීපයක් කර තිබියදී එම වරදවල් සියල්ලට චෝදනා නොනගා අතහැරී තිබෙන්නට පුළුවන්. එහෙම වුනොත් චුදිතයාට ගැලවී යන්නට ඉඩ ලැබෙන්න පුලුවන්. දැන් පෙනෙනවා නේද, ඔය මාධ්‍ය වලින් කියන ආකාරයට හෝ දේශපාලන පාට කණ්නාඩි වලින් බලන ආකාරයට වඩා, විනිවිද භාවයක් මේ විනය ක්‍රියාමාර්ග පිළිවෙත තුළ තිබෙන බව. ඇත්තටම මම නෙවෙයි මේවා කියන්න ඕනේ. යුද හමුදාව තම වෙබ් අඩවියේ මේ තොරතුරු පළකළ යුතුයි කියලයි මම නම් හිතන්නේ.

  ඉතින් මෙච්චර දේවල් කරනවානම් ඉස්සරවෙලා අර නිළධාරීන් යුදහමුදා අත් අඩංගුවේ නොතබන්නේ ඇයි? 

  ඇත්තටම එක අතකින් බැලුවොත් ඔවුන් අත් අඩංගුවේ ඉන්නවා වගේ තමයි. ඔවුන්ව නිවාස අඩස්සියේ තැබුවා හා සමාන දෙයක් තමයි බොහෝදුරට වෙන්නේ. හමුදාවේ තියනවා විවෘත සිර අඩස්සිය සහ පියව සිර අඩස්සිය  Open Arrest and Close Arrest කියලා ක්‍රම දෙකක් යම් චුදිතයකු සිර කර තබන. විවෘත සිර අඩස්සියේ ඉන්න හමුදා සාමාජිකයාට තම නිවස්නයේ රැඳී සිටිය හැකි අතර එයින් පිටතට ආවත් හැම තැනම ඇවිදින්නට බැහැ. ඔහුගේ ආහාර ඔහුගේ නිවස්නයට එවන්නටත් ඉඩ තිබෙනවා. දවසේ යම්කිසි වාර ගණනක් ඔහු කඳවුරේ මුරහල වෙත හෝ දවසේ කාර්ය භාර නිලධාරියා Duty Officer වෙත පැමිණ තමන් කඳවුරේ සිටින බව තහවුරු කළයුතුයි. පියව සිර අඩස්සිය කියන්නේ ඉතින් කූඩුව ඇතුලේ සැපට ඉන්නවා කියන එක බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. 😀 නමුත් මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් විවෘත සිර අඩස්සියේ තබා නැති බවයි පෙනෙන්නේ. දැනට එහෙම අවශ්‍යතාවක් නැතුව ඇති. බොහෝවිට ඔවුන්ට නිවාඩු නොදෙන්න පුළුවන්. නිවස්නයේ අනෙකුත් නිළධාරීන් සමග ගැවසීම සීමා කරන්න පුළුවන්. නිළධාරි නිවස්නයේ බීමහලට ඇතුළුවීම තහනම් කරන්න පුළුවන්. කිසිදු යුද හමුදා පාඨමාලාවකට සහභාගිවීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු සඳහා යාම, ආදිය තහනම් කරන්න පුළුවන්. තමන් වෙනුවෙන් යුදහමුදාවෙන් ලබාදී ඇති වාහන තාවකාලිකව ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඉහත සඳහන් කිසිදෙයක් නොකර ඉන්නත් පුළුවන්. දැනට එම නිලධාරීන් තමන් මෙතෙක් දැරූ පත්වීමෙන් ඉවත් කොට ඔවුන්ගේ මව් රෙජිමේන්තුව වෙත යා කර තැබීමක් පමණයි සිදුවෙන්නේ. මේ කාලය තුළ ඔවුන්ට කිසිදු නිළ උසස්වීමක් නොලැබෙන අතර කිසිදු වැදගත් රාජකාරියකට සම්බන්ධ කරගන්නෙත් නැහැ. ඔවුන්ට තිබෙන්නේ ක.බො.නි. පමණයි (කනවා බොනවා නිදාගන්නවා) හැබැයි ඔවුන්ගේ හමුදා නිළය (බ්‍රිගේඩියර්, ලුතිතන් කර්නල්, ආදී නිළ) එසේම තිබෙනවා. ඊට පහළ සියළුම නිළයන් ඔවුන්ට මෙතෙක්කල් දැක්වූ ගෞරවය එළෙසම දැක්විය යුතුයි. ඔවුන්ට එරෙහිව තවමත් චෝදනා පත් – Charge Sheet ඉදිරිපත් කර නැහැ. ඒ නිසා ඔවුන් තවමත් චුදිතයන් නොවෙයි.  

දැන් මේ නිළධාරීන් යුද්ධ හමුදා අධිකරණයකට ඉදිරිපත් කිරීම සඳහා මොනවද කරන්න ඕනේ?

  පළමුවැනි දේ තමයි මේ නිළධාරීන්ට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් – Summery of Evidence හදන්න ඕනේ. ඒ සඳහා මණ්ඩලයක් පත්කරනවා යුද හමුදාපති විසින්. එහිදී අර මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව, යුදහමුදා පොලීසියේ වාර්තාව, මෙන්ම සියල්ලට වඩා අතිශයින් වැදගත් වන සාක්ෂි ආඥා පනත – Evidence Ordinance පදනම් කරගත යුතුයි. දැන් පෙනෙනවා නේද මෙය බරපතල නීති කෘත්‍යයක් බව. මේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව පදනම් කරගනිමින් චුදිතයන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තමයි යුද්ධාධිකරණයකදී සිදුවන්නේ.

img076

යුද්ධාධිකරණයක් කියන්නේ මොකක්ද? 

  සාමය පවතින කාලයක වුනත්, යුද්ධයක් පවතින කාලයක වුනත්, යුද්ධාධිකරණයක් පත්කිරීමේ බලය සේනාධිනායකයාට, (අපේ රටේ නම් ජනාධිපති තුමාට) මෙන්ම හමුදාපතිවරයාට ද තිබෙනවා. හමුදාවේ පැවැත්වෙන වෙනත් විනයශාලාවකට Charge Room වඩා යුද්ධාධිකරණයක බලය ඉතා ඉහළයි. යුද්ධාධිකරණයකට මරණ දඬුවම පැමිණවීමේ බලය තිබෙනවා. අපේ රටේ අවසාන වතාවට, යුද්ධාධිකරණයක් මගින් මරණ දඬුවම පනවා තිබෙන්නේ, අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතී සමයේදියි. අපේ ජාතික වීරයකු වන, කපිතන් විලියම් හෙන්රි පේද්‍රිස් මැතිතුමාවයි එසේ මරණීය දණ්ඩනයට ලක් කළේ. ඔබ දන්නවාද යුද්ධයක් පවතින කාලයක, හමුදාව හැරදමා පැනයන අයටත්, මරණීය දණ්ඩනය නියම කළහැකියි. එසේම ඔබ හොඳින් දන්නවා, ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය අයවලුන්, නොයෙක් අකටයුතුකම් වල යෙදෙමින්, හමුදාව අපකීර්තියට පත්කරනවා මෙන්ම, මහජනතාවට මහත් හිරිහැරයක් බවට පත්ව සිටින බව. ඉතින් මේ පසුගිය කාලයේ, අපි යෙදී හිටිය යුද්ධයේදී, පැනගිය පළමුවැනි සෙබළා අල්ලාගෙන ඇවිත්, යුද්ධාධිකරණය වෙත පමුණුවා, මරණ දඬුවාම ලබාදුන්නා නම්, ඊට පස්සේ, කවුරුවත් පැනයන්නේ නැහැ නේද? ඒ නිසාම පැනගිය සෙබළුන් කියා වර්ගයක් නැති නිසා, මහා බරපතළ ප්‍රශ්නයක් ඇතිවීමත් වළකිනවා නේද?

  firing-squad-e1373420119394මෙසේ මරණ දඬුවම ප්‍රකාශයට පත්කළාම එය ක්‍රියාත්මක කරන හැටි මෙන්න මෙහෙමයි. කඳවුරෙන් පිටත, අප්‍රසිද්ධ ස්ථානයකට, විත්තිකරු රැගෙන යනවා. වෙඩි තැබීමේ කණ්ඩායම, තමන් එම කණ්ඩායමට අයත් බව දන්නේ, ඒ ස්ථානයට ගියපසු තමන්ට ලැබෙන නියෝගයක් අනුවයි. වෙඩි තැබීමේ කණ්ඩායම හත් දෙනෙකු නම්, තුවක්කු හතක් කළින් සූදානම් කරනවා. ඒ තුවක්කු වලින් එකකට විතරක් ජීව උණ්ඩ දමන අතර, අනික් තුවක්කු හයේම තියෙන්නේ පුහු පතරොම්. අතනට ගියාට පස්සේ තමයි වෙඩි තැබීමේ කණ්ඩායම අතට තුවක්කු ලැබෙන්නේ. මේ නිසා කණ්ඩායමේ කවුරුවත් දන්නේ නැහැ, තමන් අතේ තියෙන්නේ, ජීව උණ්ඩ සහිත තුවක්කුවද නැද්ද යනබව. විත්තිකරුගේ ඇස් බැඳ, සිටගෙන හෝ පුටුවක් වාඩිකර තබනවා. වෙඩි කණ්ඩායම, ඔහුට පහසුවෙන් වෙඩි තැබිය හැකි දුරකින්, ඔහුට මුහුණලා, හරස් පෙළක් ලෙස සිට ගන්නවා. ඔවුන්ට අණදෙන නිලධාරියා ‘තුවක්කු කණ්ඩායම, සූදානම්වනු’ කියන අණ දුන්නාම, ඔවුන් විත්තිකරු වෙත ඉලක්කය ගන්නවා. ‘වෙඩි තබනු’ යන අණ නිකුත්වීමත් සමග වෙඩි තබනවා. මෙය මා අසා ඉගෙනගත් දෙයක් මිස, කවදාවත් දැක නැති දෙයක් බව, අවධාරණය කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  යුද්ධාධිකරණ ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා. ඒ තමයි;

  • 1. මහා යුද්ධාධිකරණය – General Court Martial
  • 2. ක්‍ෂේත්‍ර යුද්ධාධිකරණය – Field General Court Martial
  • 3. දිස්ත්‍රික් යුද්ධාධිකරණය – District Court Martial

  මහා යුද්ධාධිකරණයක් පත්කරන්නේ සේනාධිනායකයා විසින් හෝ ඔහුගේ බලය ලත් ජ්‍යොෂ්ඨතම (සාමාන්‍යයෙන් යුද හමුදාපති) නිලධාරියා විසිනුයි. ශ්‍රී ලංකා යුදහමුදා නීතියට යටත් ඕනෑම නිළයක පුද්ගලයකු සක්‍රිය සේවයේ යෙදි සිටින අතර, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී කරනු ලබන සිවිල් හෝ හමුදා වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය මේ අධිකරණයට තිබෙනවා. මෙහි විනිශ්චය මණ්ඩලය ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විතයි.

  සම්පූර්ණ යුද්ධ හමුදාවම සක්‍රිය සේවයේ නැති අවස්ථාවක හෝ යුද හමුදාවෙන් කොටසක්, ලංකාවෙන් පිට ස්ථානයක සේවයේ යෙදී සිටින විට, ඇතිවන විනය ප්‍රශ්න වලදී, මහා යුද්ධාධිකරණයක් කැඳවීමට ඉඩ නොලැබෙන අතර, ඒ සඳහා උපයෝගී කරගන්නේ ක්ෂේත්‍ර යුද්ධාධිකරණයයි. විනිශ්චය මණ්ඩලය තුන්දෙනෙකුගෙන් සමන්විතයි. විනිශ්චය මණ්ඩලයේ සියල්ලන්ම එකඟවන්නේ නම් පමණක්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මේ අධිකරණයට බලය තිබෙනවා. මෙය පත්කරන්නේ හමුදාපති හෝ ඒ ප්‍රදේශයේ සිටින ජ්‍යොෂ්ඨතම ප්‍රාදේශීය අණදෙන නිලධාරියා Formation Commander විසින්.

  දිස්ත්‍රික් යුද්ධාධිකරණයක් පත්කරන්නේ, නොපමාව විනිශ්චයට භාජනය කළයුතු, එමෙන්ම කිසියම් හමුදා බල ප්‍රදේශයකට සීමාවූ, විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිසයි. මෙහිදී, ප්‍රාදේශීය අණදෙන නිලධාරියා විසින්, එම අධිකරණ මණ්ඩලය පත්කරන අතර, එය තිදෙනෙකුගෙන් සමන්විත වියයුතුයි. මෙම අධිකරණයට මිනීමැරුම් සම්බන්ධ නඩු ඇසීමේ බලයක් නැති අතර අධිකාරිලත් නිළධාරියකුට එරෙහිව Commissioned Officer නඩු ඇසීමේ බලයක්ද නැහැ. 

  යුද්ධාධිකරණ ගැන මා මෙතනදී කර තිබෙන්නේ යන්තම් හැඳින්වීමක් පමණයි. මෙය දීර්ඝව විස්තර කළයුතු කරුණක් වුනත්, ලිපිය අනවශ්‍ය ලෙස දික්වීම වළක්වා ගන්නයි, මෙලෙස ඉතා කෙටි හැඳින්වීමක් කළේ.

  මහා යුද්ධාහිකරණයකට ඉදිරිපත්වන විත්තිකරුවකුට, තමන් වෙනුවෙන්, නීතීඥයන්ගේ සහාය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. එමෙන්ම, සිවිල් අධිකරණයකින් නඩු අසා, ලබාදී ඇති දඬුවමක් වෙනස් කරන්නට හෝ, එම කාරණය සම්බන්ධව, නැවත නඩු අසා දඬුවම් කරන්නත්, යුද්ධාධිකරණයකට බලය නැහැ.

  මා හිතනවා මේ විස්තරය ඔබව සෑහීමකට පත්කරයි කියා. ප්‍රශ්න තිබෙනවානම් අහන්න. මගේ දැනුමේ හැටියට පිළිතුරු දෙන අතර, නොදන්නාදේ සොයා බලා කියන්නට උත්සාහ කරන්නම්. මේ සියලුම තීන්දු තීරණ කුමක් වුවත්, ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම හෝ අත්හිටුවීම හෝ වෙනස් කිරීමේ සුවිශේෂී බලය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, ජනාධිපති වරයාට ලැබී තිබෙන බව ද විශේෂයෙන් සඳහන් කරනවා.

My Signature for Blog2013 සැප්තැම්බර් මස 1 වැනි දින 0848 පැය

Advertisements

Comments on: "අර ආමි එකේ කට්ටියට මොකක් වෙයිද? – Military Disciplinary Procedure" (79)

  1. මේක දැක්කම මතක් උනේ. මගේ ගෙදර අසන්නේ තිබෙනා තවත් ගෙදරක ජිවත් වනවා පවුලක්. ඒ ගෙදර කොලුවෙක් ඉන්නේ හමුදාවේ. මිනිහා නිවාඩුවට ගෙදර ආවම ඔය හමුදාසොල්දාදුවන් අදිනා කැලෑ ඇදුමට සමාන බැනියමක් ඇදන්, පපුව පුම්බන් පාරේ යන්නේ නිකං හමුදාපති පාරේ යනවා කියලා හිතං. දවසක් මොකක්දෝ ප්‍රශ්නයක් වෙලා මම උන්දැව පොලිසියට ගෙන්නලා කියලා දුන්නා, තමුසෙට වඩා ලොක්කෝ විච්ච ෆොන්සේකා ජෙනරාලුත් හිරේ ගියා වැරදි කරලා. අනුරුද්ධ රත්වත්තේ ගැනත් කියලා දුන්න. වාස් ගුණවර්ධන ගැනත් කියලා දුන්නා.
    ආන්න දැන් යනවා බල්ලා වගේ.

    ප.ලි- මගේ නං පෞද්ගලිකව යුධ හමුදා සෙබළුන්ට කිසිදු කැමැත්තක් නැත. ගුවන් හමුදව, නාවික හමුදවට සාපේක්ෂව බලනා කල යුධ හමුදාවේ සිටින්නේ එතරම් උගත් නැති ගමේ ගොඩේ උදවියය. එම නිසා මේ දිනවල වාර්තා වන හමුදා විනය විරෝධී ක්‍රියා ඔවුන්ගෙන් සිදුවනාවයි කියා පුවත් පතක ලිපියකුත් දුටුවෙමි.

    • ඔබ නිවැරදි දෙයක් කරලා තියනවා. හමුදා නිළ ඇඳුමක කොටසක්, රාජකාරියෙන් තොරව, එහෙම ඇඳගෙන යන්න බැහැ. අපි සියළු දෙනාගේම විචාර බුද්ධිය එක සමාන නැහැනේ රවී. ඒ පුද්ගලයා එහෙම හැසිරෙන්න ඇත්තේ ඒකයි. නමුත් එවැනි අය නිවැරදි කළයුතුමයි.

  2. අහපුවාම බය හිතෙනවානේ. අර ක.බො.නි. එක නම් හොඳයි. 🙂
    අර එක තුවක්කුවකට ජීව උණ්ඩ දාලා වෙඩි තියන එක ෆිල්ම් එකක දැකලා තියෙනවා මතකයි.

  3. අතිශයින්ම වටින හමුදා නිල මාධ්‍ය ප්‍රකාශකයා විසින් කළ යුතු වූ අගනා සටහනකි ඔබ මේ ඉටු කර තිබෙන්නේ. අද බොහෝ සිවිල් ජනයා මේ ගැන හාංකවිසියක් වත් දන්නේ නෑ. යුගයේ මෙහෙවරක් ඔබ මේ ඉටු කළේ. රතුපස්වල ජනයා වැරදි පාරක ගිය බව දැන් හෝ වැටහේවි.

    • රතුපස්වල ජනතාව වැරදි පාරක ගියේ නැහැ නලීන්. අන්දවලා යැව්වා. අන්තිමට අහිංසක ජීවිත තුනක් නැතිවුනා.

      ස්තුතියි ඇගයීම ගැන.

      • නලින් මල්ලිය ට පත්තරේට දාන්න කියපු එකක් වැරදිල කොමන්ට් එකක් විදියට මෙතන කෙටිල.

      • මම අදහස් කළේ රතුපස්වල ජනතාවගේ විරෝධතාව නොවේ.. හමුදාව වෙත සාක්ෂි ලබා නොදීම

      • නලීන්
        //රතුපස්වල ජනතාව වැරදි පාරක ගියේ නැහැ නලීන්. අන්දවලා යැව්වා. අන්තිමට අහිංසක ජීවිත තුනක් නැතිවුනා//

        //මම අදහස් කළේ රතුපස්වල ජනතාවගේ විරෝධතාව නොවේ.. හමුදාව වෙත සාක්ෂි ලබා නොදීම//

        ඒ කියන්නෙ සාක්ෂි ගන්න පටන්ගත්තට පස්සෙත් ජීවිත 3ක් නැතිවුනාද? තමුන් කියන්නෙ මොනවද කියල දැනගෙන කිව්ව නං නේද හොඳ?

        නලින් සහ විචාරක
        “හමුදාව වැරදි කාර්යයකට යෙදවීම” සහ “වැරැද්ද සිදුවූ පසු එයාලම කට උත්තර දෙන්න කියල කීම” කියන්නෙ වැරදි ම දෙකක්. වැරදි දෙකක් කලාම හරියනව කියන න්‍යායද මේ?

        • නැවත පැහැදිලි කරන්නම්. රතුපස්වල ජනතාවට උද්ඝෝෂණ කරන්න, උපවාස කරන්න, පෙළපාලි යන්න, හමුදාවට පොලීසියට හූ කියන්න සම්පූර්ණ අයිතිය තියනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. නමුත් අපේ රටේ ඉතිහාසයේ ඉඳලම තියනවා පොලීසිය සමග හමුදාව සමග ගැටුමක් ඇති කරගෙන වෙඩි කාලා ඒ වාසිය දේශපාලන වශයෙන් අත්පත් කරගන්න උත්සාහ කරන. ඒ සඳහා කරන්නේ තෝරාගත් ආවේගශීලී පිරිසක් තවත් හොඳින් උසිගන්වා යැවීමයි ඒකට තමයි මම ඇන්දුවා කිව්වේ. මේ පිලිබඳ න්‍යායාත්මක කරුණු රාශියක් තියනවා.

          සාක්ෂි දෙන්න නොයාම මෝඩකමක්. ඕනෑම පුරවැසියකුට අයිතිය තියනවා නීතීඥ සහාය ලබාගෙන කට උත්තර දෙන්න. නීතියට පටහැනි ප්‍රශ්නයක් අර මණ්ඩලය විසින් ඇහුවොත් අර නීතීඥයාට පුළුවන් ඊට විරෝධය පලකර තම සේවාදායකයා ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වලක්වාගන්න. ඊට අමතරව තම කටඋත්තරය පටිගත කරගන්න, වාර්තා කරගන්නත් අයිතිය තියනවා. මේවා අර ජනතාවට කියලාදෙන්න කවුරුවත් නැහැ. නමුත් අවුස්සන්න, ‘බය නැතුව ගහපියව් ආමි කාරයන්ට ගල්’ කියලා කියන්න අයනම් හිටියා.

          බොරදියේ මාළු බාන්නන් දිනුවා. අහිංසකයන් තුන්දෙනෙක් ජීවිතයෙන් සමුගත්තා.

  4. “එහෙම කරපු ලස්සන කතාවක් මම මීට පෙර ලියලා තියනවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න.”

    කෝ ඒ ලින්ක් එක වැඩ නෑ නේ. එකට ගියාම යුසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවා

  5. “මෙවැනි සිදුවීම් වලදී. යුද හමුදා පොලීසියට බලය තිබෙනවා, රතුපස්වල වැනි සිදුවීමකදී, කොයි තරම් උසස් හමුදා නිළධාරියකුගෙන් මෙන්ම සාමාන්‍ය වැසියන්ගෙන් වුණත් කට උත්තර ගන්න”

    මෙතැනදී සාමාන්‍ය වැසියා බැදිලා නැහැනේ හමුදාවට කටඋත්තර දෙන්න ඕනි කියලා. කැමැත්තෙන් දුන්නොත් මිසක්කා. එහෙම නේද? හමුදාවේ නීතියට සිවිල් වැසියා යටත් නැහැනේ.

    ..
    ප.ලි – මගේ කොමෙන්ට් තුනම එකට දැම්මත් කමක් නෑ. ඔබට පහසු නම්

    • සාමාන්‍ය වැසියා බැඳිලා නැහැ කොහෙත්ම. මේ තත්වය ඇතිවී තියෙන්නේ රවී, අපේ රටේ ඉන්න නන්නත්තාර දේශපාලන අම්බරුවන් විසින්, මිනිස්සුන්ව මුලාකිරීම නිසයි. පුරවැසි යුතුකම් කියලා දෙයක් තියනවා. සාධාරණ, අපක්ෂපාතී, මධ්‍යස්ථව හිතන, පුරවැසියන් විසින් කලයුත්තේ, මෙවැනි පරීක්ෂණ වලට සහය දෙමින් අවශ්‍ය තැන්වල එහි අඩුපාඩු, අසාධාරණකම්, දුර්වල තැන් පෙන්වාදීමයි. යුද හමුදා පොලීසිය තර්ජනය කරලා කට උත්තර ගන්නේ නැහැ. එවැනි දේ සිදුවන්නේ නම් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.

  6. Web.පුරවැසියා said:

    1. // අපේ රටේ කොයි ක්ෂේත්‍රයේද මෙවැනි අකටයුතුකම් සිදු නොවෙන්නේ කියා අප සියළු දෙනාම දන්නවා //
    ඇත්තටම අවසානයෙ වන්නේ කුමක්ද යන්න, බොහොදෙනා දන්නවා

    2. ඊයා !! අර පොඩි තුවා ගිලින අයත් ඉන්නවද ?

    3. Congratulations for setting up of a Copy protection system.

  7. වැදගත් ලිපියක්. ඇත්තටම මේ වගේ දේවල් ගැන සාමාන්‍ය මිනිස්සු දැනුවත් කරන එක පුවත්පත් ඇතුළු මාධ්‍ය මගින් කරන්න ඕන දෙයක්. කොහෙද ඉතිං ඒවට වෙන වැඩ තියෙනවනෙ. 😀

    ක.‍බො.නි. වලින් පස්සෙ කා.බී.ව. (කාපුව බීපුව වමාරන) නිලයට වෙන්න ඇති උසස් වෙන්නෙ. 😀

    • ඔව් ප්‍රසන්න. අඩුගානේ ඔය මාධ්‍ය ආයතන වලට පුළුවන් වෙන්න ඕනේ හමුදා මූලස්ථානය සමග සම්බන්ධවී මෙවැනි ලිපි පළකරන්න. නමුත් මාධ්‍ය කාරයන්ට ඕනේ ‘හොට් හොට්’ නිව්ස්. ‘අන්න වෙඩි තිබ්බා මෙන්න මැරුණා’ විතරයි එයාලා කැමති.

      අම්මපා ඔයා හරියටම හරි. ක.බො.නි. එකේ අවසානය එහෙම වෙන්න පුළුවන් 😀

  8. විචාරක තුමනි,හමුදා නිල දරුවකුට මෙඩිකල් කන්ඩම් කලායින් පස්සෙ,පසු කාලීනව ආරක්ෂක අංශයෙ ඉහල නිලයක රාජකාරි කිරීමේ හැකියාවක් නීතියෙන් තිබෙනවාද?

    • නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තවදුරටත් හමුදා සේවයට සුදුසු නැත්නම්, ඒ පුද්ගලයාට වන්දි හෝ විශ්‍රාම වැටුප් ලබාදී, සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කරනවා. (එසේ සේවයට නුසුදුසු තත්වයට පත්වුණේ ඒ පුද්ගලයාට වලක්වාගත නොහැකි හේතුවක් නිසානම්)ඔහු බොරු කියා නැවත අපේ රටේ වෙනත් හමුදාවකට බැඳුනොත් හමුදා නීතිය මගින් ඔහුට එරෙහිව ක්‍රියාකළ හැකියි.

  9. //”සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්”// හිටවත් විචාරක තුමනි මගේ පානය ඔබගේ මේ ප්‍රකාශය පිළිබඳවයි .ජනරාල් ෆොන්සේකා ගේ සිද්ධියේදී අධිකරණය තීන්දු කළා යුධ අධිකරණයක් ද අධිකරණ කියාවලියෙදී සිවිල් අධිකරණයක් හා සමාන බව . එසේනම් අනියමින් එය රටේ ජනතාව හමුදා නීතියට යටත් කිරීමක නොවෙයිද?.( අධිකරණ කටයුතු විවේචනය කිරීමක් නොවේ කියා සිතමි..)

    • ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි යුද හමුදා අධිකරණය සිවිල් අධිකරණයකට සමානයි යන්න අර්ථ දැක්වුණේ. ඇත්ත වශයෙන්ම මෙහිදී ඒ අධිකරණයේ විනිශ්චයට ලක්වන්නන්ටත් වඩා අභියෝගයට ලක්වන්නේ ඒ අධිකරණයයි. මක්නිසාද යත්, ඊට වඩා ඉහළ අධිකරණ අයතන තිබෙන නිසා (අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය) හමුදා අධිකරණයේ තීන්දු අභියෝගයට ලක්කළ හැකියි. ජෙනරල් ෆොන්සේකා සිවිල් වැසියකු නොව, හමුදා නිලධාරියකු ලෙස සලකා තමයි හමුදා අධිකරණයට ඉදිරිපත කළේ. නීති අර්ථ දැක්වීම් පිලිබඳ මගේ දැනුම සීමිත බවත් කියන්න කැමතියි. නමුත් කිසිදු හේතුවක් නිසාවත් සිවිල් වැසියකුට හමුදා අධිකරණයකින් විනිශ්චය කිරීමක් හෝ දඬුවම් ලබාදීමක් කළ නොහැකියි.

  10. ඇත්තටම සුළු සුළු වෙනස් කම් ඇරුණු කොට හමුදා තුනේම පවතින්නේ එකම නිතීය තමයි.ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි.එහෙත් මෙය කිය වන්න ලැබෙන්නේ සිමීත පිරිසකට පමණයි.එය කණගාටුවට කරුණකි.

    • පුවත්පත් වලට මේවා ලියා අනවශ්‍ය ලෙස නිරාවරණය වන්නට මම කැමති නැහැ.

      නාවික හමුදා පනත සහ ගුවන් හමුදා පනත කියවා තිබෙන්නේ උඩින් පල්ලෙන්.

      ඇගයීම ගැන ස්තුතියි.

      • විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙක් (මම නම සඳහන් කරන්නෙ නැහැ) මේ හමුදාමය කරුණු ගැන පත්තරවලට ලියනව මම දැකල තියෙනව. ඉරිදා ලංකාදීප දියත අතිරේකෙ කාලයක් තිස්සෙ ඔහුගෙ ලිපි පෙලක්ම තිබුනා. ඇයි ඔබතුමා ඒ වගේ දේකට උත්සාහ නොගන්නෙ, මීට වඩා විශාල පිරිසක්ගෙ නෙත ගැටෙනවනේ එවැනි ලිපියක්. මේවා සරලව ක්‍රියාපිළිවෙල පැහැදිලි කරන ලිපි මිස රහස් හෙළි කරන හෝ කාටවත් පහර ගසන හෝ ලිපි නෙවෙයිනේ. අනික ඔබට හොඳ භාෂා භාවිතයකුත් තිබෙනව. (මාධ්‍ය හොඳ නෑ තමයි, මම හිතන්නෙ ඒක ලෝකෙ කොහෙත් එහෙමයි. මේ තත්ත්වය කතුවරුන් ඇතුළු ආයතන ප්‍රධානින් නොදන්නව කියල මම හිතන්නෙ නෑ, ඒත් කරන්න දෙයක් නෑ ඔවුන් ඒවයෙ හිමිකරුවන් නෙවිනේ, ඒවත් ව්‍යාපාරනේ. බල්ලො මරල හරි සල්ලි හොයන්න බලන්නෙ.)

        • ඔබ කියන්නේ ලුතිතන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න ගැනයි. ඇත්තටම ඔහු ඉතා වටිනා ලිපි රාශියක් ලියා තිබෙනවා. ඉදිරියටත් ලියයි. මම මගේ අනන්‍යතාව වැඩිය එලියට දෙන්න අකමැති නිසයි මේ විදිහට ලියන්නේ.

          මාධ්‍ය ගැන වෙනම ලිපියකින් කතාකරමු.

  11. හමුදා තුනේම සුළු සුළු වෙනස්කම් ඇරුණු කොට හමුදා නිතීය සැමට එකයි.ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි.එහෙත් කණගාටුවට කරුණ නම් මේය කියවන්නේ සීමත පිරිසක් පමණයි.

  12. විචාරක…

    1)යුද්ධාධිකරණයක විත්තිකරුවෙකුසේ ඉදිරිපත් වෙන කෙනෙකුට ඉහළ නිළයන්ට විරුද්ධව ස්වාධීනව අදහස් ඉදිරිපත් කල හැකිද?

    2)ඔහු නිවැරදිකරුවී නැවත සේවයේ පිහිටවුවහොත් නිරවුල් මනසින් රාජකාරියේ යෙදීමට සුදුසු වාතාවරණයක් තිබේද?

    • 1. ඔව් කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්.

      2. පලිගැනීම් වලට ලක්වන්නේ නම් ඒ සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කොට ජනාධිපතිවරයා දක්වා යාහැකියි.

      • //පලිගැනීම් වලට ලක්වන්නේ නම් ඒ සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කොට ජනාධිපතිවරයා දක්වා යාහැකියි.//

        හරි, මේ සිදුවීම පැත්තකට දාමුකෝ. පහුගිය කාගෙ වුනු දේවල් ගැන ඔබ තුමාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපිට වඩා හොඳ දැනීමක් ඔබට ඇති ඒ ගැන. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඔබ්බට ගිහින් සහනයක් බලාපොරොත්තු විය හැකි ඉහළම පුද්ගලයා වන ජනාධිපතිවරයාගෙනුත් ඔය කිසිම දේකට සහනයක් බලාපොරොත්තු විය හැකිද. වතුරට වඩා ලෙය උකු නොවේද. එවන් අවස්ථාවක කුමක් කරම්ද?

        • යුද හමුදා පනතේ තිබෙනවා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ පිළිවෙතක්. ඒ පිළිවෙත අනුව තමන්ට යම් අසාධාරණයක් වී ඇත්නම් තමන්ගේ අණදෙන නිලධාරියාට, ඔහුගෙන් සාධාරණයක් ඉටු නොවේනම්, බලසේනාධිපති වරයාට, ආදී වශයෙන් ගොස්, හමුදාපති වරයාගෙන් සාධාරණයක් ඉටු නොවේනම් ජනාධිපති වරයා (සේනාධිනායකයා) දක්වාම ලිඛිතව දුක්ගැනවිලි ඉදිරිපත් කළහැකි බව. සාධාරණය අසාධාරණය ඉටුවන්නේ ඒ ඒ කාලයේදී ඒ ඒ තනතුර දරන පුද්ගලයාගේ මහාත්මා ගතිය අනුවයි. මෙහිදී මා කරන්නේ පිළිවෙත පැහැදිලි කරගීම පමණයි. හැබැයි මගේ සේවා කාලය තුල මා දැක තිබෙනවා යුද හමුදාපති වරයා තෙක් ගොස් සාධාරණය ඉටුවූ අවස්ථා.

  13. විචාරක තුමා ප්‍රශ්නේ තියෙන්නේ හමුදා පනතේ වත් රටේ නීතියේවත් නෙවේ ඒවා ක්‍රියාත්මක කරන්ඩ බැදිලා ඉන්න පිරිස ගේ ස්වභාවය මත .. රටේ ජනතාව නිතිය ක්‍රියාත්මක වීම පිළිබද විශ්වාසයක් නැති පසු බිමක් තුල එවැනි හමුදා පරීක්ෂණ මණ්ඩලයකට ඉදිරිපත් වේ යයි හිතන්ඩ අමාරුයි …. නමුත් ඔය ජනතාවම සිවිල් අදිකරණයේ භය නැතුව සාක්ෂි දෙනවා , එක සාක්ෂිකරුවෙක් කියලා තිබුනලු හමුදා සෙබළුන් ගිලන් රථයක නැගිලා ඇවිත් පහර දුන්නා කියලා ..( ඊ නිව්ස් . වාරතා කරලා තිබ්බේ ) … ඒ සාක්ෂි මකන්න බැරි නිසා කවදා හෝ යුක්තිය ඉෂ්ට වෙයි .

    කොහොම උනත් පිල්ලේ නෝනා ආවේ නැත්තන් ඔය නිලදාරින්ට විරුද්දව මොනයම් හෝ ක්‍රියා මාර්ගයක් ගැනෙන්නේ නෑ නේ .. ඔය තදියමට තනතුරු වලින් ඉවත් කලේ ඔය පිල්ලේ නෝනා අන්දන්න කියලයි හිතෙන්නේ …

    කොහොම උනත් යම් දවසක නිතිය ක්‍රියාත්මක වන බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් ..

    • ඇත්තටම මම ඔබත් සමග එකඟ වෙනවා අපේ රටේ නීතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳවැටීමේ සාධකය මත. එය ඉතා අවාසනාවන්ත සහ කනගාටුදායක තත්වයක්. එයින් ඇතිවියහැකි, දැනටමත් ඇතිවෙමින් තිබෙන ලක්ෂණ පෙන්වන භයානක තත්වය තමයි මහජනතාව නීතිය තමන් අතට ගැනීම. එහි කෙලවර මහා විනාශයක්.

      ඊ නිව්ස් වාර්තාව සහ තවත් ලංකාවේ පළ නොවූ වාර්තා මම දැක්කා.

      තාත්තා ගේ මැද්දේ කක්කා කරලා, කක්කා ගඳයි කියලා දරුවන්ට කෝටුපාර දීමනම් මහා විහිළුවක්. අපි දැඩි අවධානයෙන් සිට යුක්තිය ඉෂ්ඨකරවාගන්න ක්‍රියා කලයුතුයි.

  14. 1. සිද්ධාන්තය කුමක් වුවත් ප්‍රායෝගිකව මෙව්වා මෙහෙම සිද්ධ වෙයිද? බොරු කියන්න ඕනා නෑ විචාරක මහත්මයා මට නම් අබමල් රේණුවක විශ්වාසයක් නෑ මෙහෙම වෙයි කියලා. එහෙම වෙනවමයි කියමු. ඒත් ඔය නියෝගය පිළිපැදපු අයට මිස ඉහළට දඬුවම් ලැබේවිද?

    2. “ක.බො.නි. පමණයි ” ශෝයිනේ..

    3. “අපේ රටේ අවසාන වතාවට, යුද්ධාධිකරණයක් මගින් මරණ දඬුවම පනවා තිබෙන්නේ, අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතී සමයේදියි. අපේ ජාතික වීරයකු වන, කපිතන් විලියම් හෙන්රි පේද්‍රිස් මැතිතුමාවයි එසේ මරණීය දණ්ඩනයට ලක් කළේ
    ” එතුමා පරිපාලන නිලධාරියෙක් මිස සොල්දාදුවෙක් නෙමෙයි නේද? එවැනි කෙනෙකුට දඬුවම් දෙන්න යුධාධිකරණයකට පුළුවන්ද?

    4. විශ්‍රාමික හමුදා නිලධාරියෙකුත් යුධාධිකරණයට යටත් වන්නේ ඇයි? එයින් මිදීමට ක්‍රමයක් නැද්ද?

    5. “මේ සියලුම තීන්දු තීරණ කුමක් වුවත්, ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම හෝ අත්හිටුවීම හෝ වෙනස් කිරීමේ සුවිශේෂී බලය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, ජනාධිපති වරයාට ලැබී තිබෙන බව ද විශේෂයෙන් සඳහන් කරනවා. ” මේ ටික මුලින්මනෙ දාන්න තිබුනේ.. 😦 😦 😦 😦

    • 1. මේ පිළිවෙත් වෙනස්කිරීම හිතන තරම් ලේසි නෑ. ඇත්තටම දැන් අප‍ රටේ නීතිය වල් වැදීම නිසා, මහජනතාව තුළ නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම ඉතා අවාසනාවන්ත තත්වයක්.

      2. ඊට පස්සේ තමයි කාපුවා වමාරන්න වෙන්නේ. 😀

      3. විලියම් හෙන්රි පේද්‍රිස් ලංකා ආරක්ෂක හමුදාවේ Ceylon Defense Force = CDF කපිතන් වරයෙක්. මම දී තිබෙන ලින්ක් එකෙන් ගොස් බලන්න.

      4. විශ්‍රාම ගොස් හයමාසයක් යනතුරු හමුදා නීතියට යටත්. එහෙම හය මාසයක් යන්න කලින් දේශපාලනය කරා කියලා තමයි ජෙනරල් ෆොන්සේකාව අල්ලාගත්තේ.

      5. අපි බලමු හරී මොකද වෙන්නේ කියලා. මිනිස්කමද බල තන්හාවද කියලා බලමු.

  15. අගනා ලිපියක්.මේ පිලිබඳ අපෙ දැනුම ඉතා අල්පයි.එම දැනුම් හිඩැස පුරවාලීම ගැන,මාගේ ප්‍රනාමය.

  16. විස්තරාත්මක ලිපියට ස්තූතියි. ඔබ නරඹා නැතිනම් ස්ටැන්ලි කුබ්රික් ගේ Paths of Glory (1957) නරඹන්න. එහි යුද්ධ අධිකරණ ක්‍රියාවලිය සවිස්තරව දැක්වෙනවා. මෙය පළමු ලෝක යුද්ධ සමයේ සත්‍ය සිද්ධියක් පදනම්ව ගොඩ නැඟුණු චිත්‍රපටයක්.

  17. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් තවත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ලවා සිදුකරන ක්‍රියාවකදි සිදුවන සියළුම සිදුවීම්වලට අදාල සිදුවීමට සහභාගීවුනු අය වගේම ඒ සඳහා ඔවුන් යෙදවූ අයත් එකසේ නීතිය ඉදිරියේ වැරදිකරුවන් විය යුතු නොවේද. හමුදාව සිවිල් මිනිස්සු ඉස්සරහට යැව්වෙ හැඳිගාන්න නෙවිනේ, එසේ යවද්දිම යවන්නෙ කුමකටද කියල අදාල අය දැන සිටින්න ඇතිනේ. හමුදාව ස්වකැමැත්තෙන් තමන්ගෙ අභිමතය පරිදි එතනට ගිහින්, රටේ ජනාධිපතිවරයගෙ, සේනාධිනායකයගෙ සහෝදරයගෙ ඡන්ද බල ප්‍රදේශයක මෙතරම් බලයක් මුදාහරියි කියල කවුරුවත් විශ්වාස කරන එකක් නෑ, ඇයි ගිහිපු අය ගැන විතරක් පරීක්‍ෂණ කරන්නෙ, පොලිසිය නොයවා ඔවුන් යවන්න නියෝග දුන්නු අය ගැන සඳහනක් නැත්තෙ ඇයි.

    //යුද හමුදා පනත අනුව හමුදා සාමාජිකයා සෑමවිටම ඉන්නේ සක්‍රිය සේවයේ. ඔහුට නිවාඩුවක් නෙවෙයි විවේකයක් දෙන්නේ. ඒ නිසා ඒ කාලසීමාවත් රාජකාරියට අදාළයි//

    ඒ උනාට ඔය මාධ්‍යවල සමහර වෙලාවට යම් යම් සිදුවීම් ගැන පළකරල තිබෙන ලිපිවල මම දැකල තියෙනවා නිවාඩු ඇවිත් ඉන්න සෙබළු යම් අනතුරකට හෝ සිදුවීමකට මුහුණ දුන් විට වගකිවයුතු පාර්ශවයන් ඒවා ඔහු රාජකාරියේ යෙදී නොසිටි අවස්ථාවක සිදුවුනු දෙයක් ලෙස සලකා තිබෙන අවස්ථා.

    කොහොම උනත් ඔබතුමා සඳහන් කරල තිබෙන පරිදි ඉතාමත් ම විධිමත් ක්‍රියාපටිපාටියක් තිබුනත් මගේ මේ කෙටි ජීවිතකාලය තුළ මම දැකපු දේවල් අනුව නම් මට හිතිල තියෙන්නෙ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල. ඕනම නීතියක් අවශ්‍ය පරිදි සුමට කරල නම්‍යශීලී කරල තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කරගන්න අදාල අය හොඳට දන්නව.

    • අපේ රටේ තිබෙන ජනාධිපති බලය, ලෝකයේ කිසිම රාජ්‍යයක නැති, සර්වබලධාරී තනතුරක් වීම නිසා, නීතියේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවන බව, විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළ අවධියේ සිටම, පැහැදිලිව පෙනෙන කරුණක්. ඒ නිසා සෑම විටම සාධාරණත්වය ඉටුවෙයි කියා හිතන්න අමාරුයි. නමුත් හමුදා පිළිවෙත විකෘති කලොත් කවදා හෝ හමුදා සාමාජිකයන් වඩාත් දරුණු තත්වයකට පත්වෙන්න ඉඩ තිබෙනවා. අපි මේ යන වැරදි පාරේ ගියොත් අවසානය මහා භයානක එකක් වීම වලක්වන්නට බැහැ.

      මා ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා මාධ්‍ය වල තිබෙන සියල්ල සත්‍ය ලෙස විශ්වාස නොකරන ලෙස. මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ සිද්ධියක පාඨක අවධානය දිනාගන්න උණුසුම් කොටස පමණයි. අපි හිතමු අද සොල්දාදුවකු අනතුරකට පත්වුනා කියා. හෙට දවල් වනවිට හමුදා පරීක්ෂණය නිම කරන්නට බැහැ. ඔහු රෝහලේ මාසයක් හිටියොත්? ඒත් බැහැ. මොකද ඔහු රෝහලෙන් පිටවනවිට ලැබෙන වෛද්‍ය නිරීක්ෂණ පත්‍රය Diagnosis Ticket ලැබෙන තුරු ඉන්න ඕනේ. ඉන්පසු එය යවනවා යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයට මූලික පරීක්ෂණ උසාවිය සඳහා උපදෙස් ලබාගැනීමට. (මූලික පරීක්ෂණ උසාවියේ අය වෛද්‍යවරු නෙවෙයි අර සොල්දාදුවාට සිදුවී ඇති හානියේ තරම මනින්න. එමෙන්ම යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශය වැදගත් වෙනවා වඩාත් හොඳින් අර සොල්දාදුවාට සාධාරණය ඉෂ්ඨ කරන්න) ඔය විදිහට වෙන ප්‍රමාදවීම්, මාධ්‍ය කාක්කෝ දකින්නේ, කුනුරසය ඇති හොඳ ප්‍රවෘත්ති මස් කටුවක් ලෙස, හප හපා ඉන්න.

      අපේ රටේ නූගත් බලවත්තු වැඩි නිසා තමයි ඔබ කියන ආකාරයේ අසාධාරණ කම් සිදුවෙන්නේ. අපි අපේ ජීවිතකාලය තුළ සෑමවිටම උත්දාහ කරමු සාධාරණත්වය ගැන මිනිස්සුන්ට කියාදෙන්න.

  18. ඉතාම හොද ලිපියක් විචාරක තුමා…රටක හමුදාව දේශපාලනීකරණය උනාම මෙහෙම දේවල් සිද්ධ විය හැකි බව තමයි මගේ විශ්වාසය…පවතින රජයේ ඉත්තෙකු නොවී හමුදාවකට ඉන්නම බැරිද ? එහෙම සිටින රටවල් නූතන ලෝකයේ තියෙනවද ? ඉත්තෙකු යනුවෙන් මා අදහස් කලේ රජයේ දේශපාලනමය අරමුණු සාක්ෂාත් කරගැනීමට දායක වන යන්නයි.

    • ඇත්තටම සිරා, ලෝකයේ බොහොමයක් රටවල තිබෙන්නේ දේශපාලනීකරණය නොවූ හමුදාවක්. ඒ සඳහා ප්‍රධාන සාධක වන්නේ හමුදාවේ මෙන්ම රටේද පාලකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවංකව අනුගමනය කිරීමයි. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ අපි නිතර බනින බටහිර රටවල ඉතා ස්වාධීන හමුදාවක් තිබෙන බවයි. අපේ රටේ මිනිසුන්ගේ චින්තනයේ විශාල වෙනසක් නොකර අපි බලාපොරොත්තුවන ඉලක්කයට ළඟාවෙන්න අමාරු වෙයි.

      ඇගයීම ගැන ස්තුතියි.

  19. ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්න ලැබුනේ.. පැය ගාණක් තිස්සේ දාලා තිබුන ලිපි ඔක්කොම කියෙව්වා.
    අර ජීව උණ්ඩ එකක් විතරක් පාවිච්චි කරලා අනික්වා පුස් වෙඩි බව දැනගත්තේ අදයි.
    මේ වගේ දැනුවත් කිරීම් ඇත්තටම ගොඩක් වටිනවා.

  20. නැවතත් ඉතා වටිනා ලිපියක් ස්තුතියි..

    මෙන්න මගේ පැනය.

    දැන් මරණ දඬුවමට ලක්කළ කෙනාට වෙඩි තබන අවස්ථාවේදී, මොන හුට්ටප්පරයක් වෙලා හරි ජීව උණ්ඩය තිබෙන තුවක්කුව ක්‍රියාත්මක උනේ නැතිනම් හෝ ඉලක්කය වැරදුනොත් නැතහොත් මරණිය නොවන තුවාලයක් පමණක් සිදුවුනොත් තත්වය කෙබඳුද?

    • ඔබට දහස් වාරයක් ස්තුතියි මට අමතක වුන දෙයක් මතක් කලාට. ඒ තුවක්කුව වාර කීපයක් ටෙස්ට් කරලයි වැඩේට යොදන්නේ. හැබැයි ඔබ කියනවා වගේ, දෙයියෝ අර මිනිහගේ මූණ බලලා, තුවක්කුවට අණ කලොත්, ‘පත්තු නොවෙනු’ කියලා, ආයේ වෙඩි තියන්නේ නැහැ. ඒ වගේම, තුවක්කුව අතේ තියන එකා, අති දක්ෂ ලෙස කුරුමානම අරගෙන, අහකට වෙඩි තිබ්බොත්, 😀 එත් අර විත්තිකාරයා බේරෙනවා. නමුත් ජීවිතාන්තය දක්වා හිරේ දානවා. (ඊට හොඳයි අර තුවක්කුව ඉල්ලගෙන තමන්ම වෙඩි තියාගන්න එක) 😀

      • මම අහල තියෙනව එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමේදිත් මරණ මනුස්සයගෙ බර මැනල වැලි කොට්ට එල්ලල වැඩේට කලින්ම ලක ලැහැස්ති උනත් හදිසියෙ කුමක් හෝ දෝෂයක් සිදු උනොත් තවත් වරක් ඒ පුද්ගලයා එල්ලන්න උත්සාහ කරන්නෙ නෑ කියල. මොන හේතු ඉදිරිපත් කළත් තවත් මනුස්සයෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් වරදකාරී ගැඟීමක් මිනිස් වර්ගයාට තිබෙනව වෙන්න ඇති.

      • මම පත්තරේක කියෙව්වා මනුස්සයෙක් හතර පාරක්ද කොහෙද එල්ලුම් ගහ ළඟටම ඇවිත් බේරිලා.. පස්සෙ මිනිහාව මහවැලියෙද කොහෙද පදිංචි කළාම කොටි ගහලා මලාලු/..

  21. හිටපු හමුදා නිලධාරියෙක් විදියට හමුදාව ගැන තියන ඔබේ විවේචනයට අපි ගරුකල යුතුයි.
    මට තියනව ප්‍රශ්නයක්.
    //(යුද හමුදා පනත අනුව හමුදා සාමාජිකයා සෑමවිටම ඉන්නේ සක්‍රිය සේවයේ. ඔහුට නිවාඩුවක් නෙවෙයි විවේකයක් දෙන්නේ. ඒ නිසා ඒ කාලසීමාවත් රාජකාරියට අදාළයි. පුදුමයි නේද?)//
    මෙහෙම කිව්වට සාමාන්‍යයෙන් නිවාඩුව අතරතුරේ අනතුරක් හෙම උනොත් වන්දි නැහැ නේද?

    සාමාන්‍යයෙන් හමුදා සෙබළු නීතිගරුකයි. ඔවුන්ට යම් අණක් ලැබෙන්න ඇති වෙඩි තියන්න කියල. කොහොම උනත් තුවක්කුව අල්ලපු මිනිස්සු තමයි අපේ රටේදි වැරදිකාරයො වෙන්නෙ.

    • නිවාඩු කාලයේදී සිදුවන අනතුරක් ඒ සෙබළාට/නිලධාරියාට වලක්වාගත නොහැකි හේතුවක් නිසා සිදුවූවක් නම්, වන්දි, වැටුප්, දුබලතා දීමනා, ලැබෙනවා, යුද හමුදා රෝහල් පහසුකම් වලට අමතරව. ජීවිත කාලයටම ප්‍රතිකාර අවශ්‍යනම් හමුදා රෝහලෙන් ඒවාත් ලැබෙනවා. හැබැයි, මූලික පරීක්ෂණ උසාවියකින් කිසිදු සැකයකින් තොරව ඔප්පු වියයුතුයි, ඇත්තටම එම අනතුර සිදුවුනේ ඔහුට වලක්වාගත නොහැකි හේතුවක් නිසා බව.

      කරපු අයගේ වගේම කරවපු අයගේත් හදවත දන්නවා ඇත්ත මොකක්ද කියලා.

      ස්තුතියි ප්‍රතිචාරයට රාජ්.

    • ඔය රාජ් අහපු ප්‍රශ්නෙම මටත් ඇති වුනේ මමත් එහෙම අහල තිබුනු නිසා. ඒත් හමුදාවන් ඒ පිළිබඳව ක්‍රියාකරන ආකාරය ගැන නම් වැටහීමක් තිබුනෙ නැහැ. මමත් හිතන් හිටියෙ මොන තත්ත්වයක් යටතෙවත් වන්දියක්වත් ලැබෙන්නෙ නැහැ කියල. ස්තූතියි ඔබට නිවැරදි කළාට.

      • මම උත්සාහ කරන්නම් මේ ගැන මීටවඩා සවිස්තරාත්මකව ලිපියක් ලියන්න. යුද හමුදා වෛද්‍ය පිළිවෙත කියලා දෙයක් තියනවා. එය සවිස්තරව ලියන්නම්.

      • මම දන්න කතාවක් මේ. අපේ කාර්යාලෙ පියන් මහත්තයෙකුගෙ මස්සිනා කෙනෙක් හමුදාවෙ ඉඳල තියනව. 88-89 කාලෙ එයා ඉඳල තියෙන්නෙ උතුර පැත්තෙ. කෑම්ප් එකෙන් නිවාඩු අරගෙන ගෙදර එන්න ඇවිල්ල. ඒ අතරෙ සිංහල හෝ දෙමළ සටන්කාමීන් අතින් ඝාතනය වෙන්න ඇති. නිවාඩු ගත්ත කෙනා ගෙදර ආවෙ නං නෑ.
        නිවාඩු දාල ගිය නිසා වන්දියක් ලැබුනෙත් නෑ. අන්තිමට ටිකක් උඩට පැමිණිලි කරල වැඩේ ගොඩදාගත්ත. වැටුපත් සෑහෙන වන්දියකුත් ගත්ත.

        ඔබතුමා දන්න කාරණා ටික ලිපියකින්ම ලියන්න.

        • බොහෝවිට මෙතැනදී සිදුවී තිබෙන්නේ සිද්ධිය වාර්තා කිරීමේදී ඇතිවූ යම් අතපසුවීමක් කියලා හිතෙනවා. වෙනත් ආයතන වල මෙන් නෙවෙයි මියගිය/අතුරුදන්/ආබාධිත අයගේ පවුල්වල අයට පුළුවන් තමන්ගේ දුක්ගැනවිලි කෙලින්ම ජනාධිපති තුමාට වුනත් ලියන්න.

          මම මේ ගැන පසුවලිපියක් ලියන්නම්.

  22. සිංහල ඇහෙන් බැලුවාට වැරදි වගේ පෙනුනාට සුද්දා හෙන්රි ප්‍රේදිස්ට දීපු තින්දුව හරිනේද? දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා නේද රජයේ නිලධාරීන් ඉන්න කොට හෝ රජයේ නිලධාරීන් ට විරුද්ධව හෝ ආත්මාරාකෂ්ාවේ අයිතිය නැත. අදාල බලය ලත් නිලධාරීයා ජනතවගේ ආරක්ෂාව වෙනුවේන් ක්‍රියාකල යුතු බව. මේ පදනම උඩම නේද බිඳුනු වැව රැඳවියන් ඝාතනය කළ විට දිවංගත සරත් අඹේපිටිය නඩුකාරතුමා රතන ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කලේ.

    • නැහැ සුද්දා නොමග ගියා කේලාම් අහලා. හෙන්රි පේද්‍රිස් ද්‍රෝහියෙක් නෙවේ. එය ඔප්පුවන සාක්ෂි පැහැදිලිවම තියනවා. හෙන්රි පේද්‍රිස්ට කැපුවේ අපේම එවුන්. ටිකක් ජාලයේ හොයලා බලන්න ඒ ගැන ලිපි තියනවා.

      බිඳුණුවැව සිද්ධියේදී තම අවම බලය සහ එහි සීමාවන් ඉක්මවායාම තමයි කළ වරද.

  23. හමුදාව ගැන මේ තරම් විස්තර ලියවෙන ලංකාවෙ එකම බ්ලොග් අඩවිය මේක වෙන්න ඕනි 🙂

  24. අමිත් කුමාර් ගනේගොඩ said:

    විශ්‍රාමික හමුදා නිළධාරියෙකු ලෙස ඔබ ලියු මේ පැහැදිලි අපක්ෂපාතී ලිපිය ඉහළින් අගය කරනවා. ස්තුතියි දැනුම බෙදාදීම සම්බන්ධව…

  25. හප්පේ මේ විස්තර දැක්කාම හිතෙනවා ආමි එකට නොගිය එක හොඳයි කියල. නමුත් බය වෙන්න ඕනේ වැරදි කලොත් නේ.

  26. පෝස්ට් එක වගේම තමයි කමෙන්ට්ස් වලට දීලා තියෙන උත්තර වලිනුත් සෑහෙන දෙයක් දැනගත්තා.ස්තූතියි…

  27. මමත් හමුදාවට යන්න ඔන්න මෙන්න ගිහින් නතර උනානේ. දැන් හිතෙනවා ගියා නම් ඉවරයි කියල. මෙච්චර නීති කන්දරාවකට යටත් වෙලා ඉන්නෙ කොහොමද ගෙදර තියන එවටවත් යටත් වෙලා ඉන්න අකමැති මම. 😀

    • හමුදාවෙ ඇතුල හිර කූඩුවක් නෙවෙයි. තමන්ට නියමිත කොටස හරියට කරපුවහම කිසිම ප්‍රශ්නයක් නැහැ. බුම්මගෙන ඉන්න, බයවෙලා ඉන්න අවශ්‍ය නැහැ. හිතේ හැටියට ජොලිකරන්න ඕනෑ තරම් අවස්ථා ලැබෙනවා.

  28. බොහොම අගේ ඇති විස්තර කිරීමක්.. හැබැයි ඔය නීති වල පිහිටාධාරයෙන් තමා පොන්සේක මහත්තයා කුඩු කරගත්තේ හා තරු පටි ගලවා එළියට විසි කරේ.. හමුදාවේ ඉන්නවනං ඒකේ විදියට ඉන්න ඕනමයි. අපේ මලයා මගේ වෙඩිමට නිවාඩු දවස් දෙකක් අරන් ආවා දියතලාවෙන්. එතකොට ට්‍රේන්න් එකේ පළවෙනි අවුරුද්ද. දවස් දෙකට මිනිහා දවස් තුනක් නිවාඩු ඉදල දියතලාවට ගියාම එක දවසේ අවුලට දවස් 14 ක් ෂෙල් එකේ දාලා හිටියා..

    • හමුදාවේ නීති අකුරටම ක්‍රියාත්මක කරන්නේ ඉතා ඉහල විනයක් පවත්වාගනීමටයි. හැබැයි නීති විකෘති අර්ථ කථන වලට යටත් කිරීමේ විපාක, පසු කාලවලදී, ඒ විකෘති කිරීම් කල අය දිහාවටම හැරෙන්න බැරි නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: