විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  drones-1කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක් ඔබ සමග සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේ කොටස මීට කලින් ඔබ වෙත ගෙන එන්නට සිතා සිටියත් පසුගිය දිනවල බලාපොරොත්තු රහිත ලෙස මා අධික කාර්ය බහුළ තත්වයක පත්වුණා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  කේළමා කියන වචනය, හමුදාවේ යොදාගන්නා රහස් සංකේත නාමයක් බව මම දැනගත්තේ 1980 දශකයේ මැද භාගයේදීයි. ඒ කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරන නියමුවන් රහිත යානය හඳුන්වන ලද රහස් පදය Code Name වුනේ ‘කේළමා’ කියන වචනයයි. එය හරියටම ගැලපෙනවා නේද? ඔත්තු බලාගෙන ඒවා සජීවීව අපට කියන එකත්, (පාලක මධ්‍යස්ථානය වෙත එවන සජීවී පින්තූර සහ දත්ත) එමෙන්ම පටිගත කරගෙන ඇවිත් ආපහු කියන එකත් නේ මේ කේළමා කරන්නේ.  

    මම පසුගිය ලිපියෙන් කිව්වනේ යාන්ත්‍රික කේළමෙකු, අවලමෙකු, ඔත්තුකාරයකු, මිනීමරුවකු හඳුන්වා දෙනවා කියලා. ඔන්න දැන් කේළමා සහ ඔත්තුකාරයා හඳුන්වා දුන්නා. ඊළඟට ඉන්නේ අවලමා සහ මිනීමරුවා. drone යානයක සවිකර තිබෙන කැමරා පද්ධතිය ඉතා තියුණු හා සංවේදී රූප ලබාගතහැකි ආකාරයටයි සකසා තිබෙන්නේ. අධෝරක්ත කිරණ ඡායාරූප/වීඩියෝ පවා ලබාගන්න පුලුවන්. කණාමැදිරි ආලෝකයක් තිබුණත් ඉතා විශිෂ්ඨ ගණයේ ඡායාරූප/වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඒ කැමරා පාවිච්චි කර, ඔබේ නිවසට ඉහළ අහසේ සිට පෑන්ලයිට් එක තුළින් ඔබේ නාන කාමරයටත්, යන්තම් විවරවී ඇති කවුළුවකින් හෝ ග්‍රිල්/ලැටිස් අතරින්, ඔබේ නිදන කාමරයටත් ‘එබී බලන්නට’ මේ ‘අවලමාට’ පුළුවන්.  එමෙන්ම තමන්ගේ තටුවල යට සවිකර ඇති මිසයිල් එකක් දෙකක් යොදවා ‘මිනීමරුවකු’ බවට පත්වන්නටත් පුළුවන්. දැන් පේනවා නේද drone යානයක තරම.

Drone Camera System

පින්තූර ගත්තේ මෙතනින්

මෙඩුසාගේ පින්තූරය ගත්තේ මෙතනින්

  medusa1මේ මහා මාරක ඔත්තු බැලිල්ල දැන් කොයිතරම් දියුණුද කියන එකට උදාහරණයක් කියන්නම්. ඇමරිකා එක්සත් ජනපදය විසින් වැඩි දියුණු කර තිබෙන Drone යානා වර්ගයක් තිබෙනවා. එහි තිබෙන කැමරා පද්ධතියෙන්, ඉතා විශාල ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කර, දත්ත ලබාගෙන, මහා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. මේ ආකාරයට කැමරා පද්ධතියෙන් කරන නිරීක්ෂණය හඳුන්වන්න ඔවුන් යොදාගෙන තියන නම, පැරණි ග්‍රීක මිථ්‍යා කතාවක් පදනම් කරගෙනයි සකස් කරගෙන තියෙන්නේ එයට කියන්නේ ගෝගන් ස්ටෙයා –  Gorgon Stare කියලයි. වර්තමානයේදී එය අති සූක්ෂ්ම නිරීක්ෂණ කැමරා පද්ධතියක් වුනත්, ඒ සම්බන්ධ ග්‍රීක මිථ්‍යා කතාව මෙහෙමයි. ක්‍රිස්තු පූර්ව එක්දහස් ගණන්වල ග්‍රීසියේ හිටියලු මහා භයානක මන්තර බලයක්, ශාප කිරීමේ හැකියාවක් සහ යම් කිසිවකු දෙස රවා බලා ඒ පුද්ගලයාව ගලක් බවට පත්කිරීමේ හැකියාවක් ඇති සහෝදරියන් තිදෙනෙක්. එයාලගේ නම් තමයි,  Medusa මෙඩුසා, Stheno ස්හීනෝ(ශීනෝ) සහ Euryale, යුරාලේ. මේගොල්ලන්ගේ හිසේ කෙස් වෙනුවට ඉඳලා තියෙන්නේ ඉතා විෂකුරු සර්පයන්. මේ කතාව කෙටියෙන් කියනවානම් අනික් සහෝදරියන් දෙන්නා මරණයට පත්වුණා. ජීවත්ව හිටියේ මෙඩුසා පමණයි. Perseus පර්සියස් නමැති, දේව බලයෙන් යුත් වීරයා, මෙඩුසාගේ හිස කඳෙන් වෙන් වෙන්න කඩු පහරක් දුන්නාලු.

  දැන් පෙන්නන්නම් ඇමරිකානු ගෝගන් ස්ටෙයා එක. ඇමරිකන් කාරයා මේ drone යානා නිරීක්ෂණ ක්‍රමයට ගෝගන් ස්ටෙයා කියලා නම දැම්මේ මේ නිරීක්ෂණ පද්ධතියෙන් ලබාගන්න තොරතුරු ආධාර කරගෙන මාරාන්තික ප්‍රහාර එල්ල කළහැකි නිසයි. එයත් හරියට අර මෙඩුසා ගේ ශාපය වගේ. 

gorgon_stare  බලන්න සිදුවනදේ. කැමරා 12 කින්, එකවර ලබාගන්නා ඡායාරූප/වීඩියෝ දර්ශණ, වෙන වෙනම හෝ, අංශක 360 ප්‍රදේශයක් ආවරණය වන, එක වීඩියෝවක්/රූපයක් ලෙස සකසා, පාලක මැදිරියට යවනවා. නැත්නම් පාලක මැදිරියේදීත් අවශ්‍ය සැකසුම් කරගන්න පුළුවන්. එම පින්තූර, යුදබිමේ සිටින සෙබළාගේ හෙල්මට් එකේ තිබෙන, විශේෂ වීඩියෝ දර්ශන තිරයකට වුනත් යවන්න පුළුවන්. එවිට, තම අවට භූමියේ, තමන්ට නොපෙනෙන ප්‍රදේශවල සිදුවන දේ ගැන අවබෝධයක්, සෙබළාට ලැබෙන අතර, ගතයුතු ක්‍රියාමාර්ගය ක්ෂණිකව ගතහැකි වෙනවා. එපමණක් නෙවෙයි යුදබිමේ තිබෙන යුද ටැංකි සහ කාලතුවක්කු අණදීමේ ප්‍රධානීන් වෙතත්, මේ පින්තූර ලබාදීමෙන් නිවැරදිව ඉලක්ක ලබාගැනීමට හැකිවෙනවා. 

  Drone යානා හදන්න ලෝකය මෙතරම් උනන්දු වෙන්නේ ඇයි? ඔබ දන්නවා නේද එක්තරා කියමනක් තියනවා, අඬුව තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද කියා. එහි වාච්‍යර්ථය වන්නේ, රත්වූ යමක් අල්ලන්න අඬුවක් තිබියදී, එය අතින් අල්ලා අත පුච්චා ගැනීම, මෝඩ වැඩක් බවයි. භාවාර්ථය වන්නේ, තමන්ට හානියක් නොවී, බේරී සිටිමින් කළහැකි ක්‍රියාවක් වෙනුවෙන්, අනවශ්‍ය අනතුරුදායක බවකට අත පෙවීම මෝඩකමක් බවයි. ඒ කියන්නේ, නියමුවන් රහිත යානයකින් ගතහැකි ප්‍රයෝජනය සඳහා, නියමුවන් සහිත යානයක් යොදවා, ඒ නියමුවන්ගේ ජීවිතය අනතුරේ හෙලීම මෝඩකමක් බවයි. ප්‍රහාරක ගුවන් නියමුවකු පුහුණු කරන්න අති විශාල ධනස්කන්ධයක් මෙන්ම වටිනා සම්පත් සහ කාලය වැය වෙනවා. දක්ෂ ප්‍රහාරක ගුවන් නියමුවකු කියන්නේ මිළ කළ නොහැකි සම්පතක්. එවැනි නියමුවකු අහිමි වීම, කියන්න බැරිතරම් පාඩුවක්. මේ නිසා හැකි සෑමවිටම නියමුවන් රහිත යානා යොදාගැනීම ප්‍රඥාගෝචරයි.

Drone යානයකින් ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද?

  ලොකු විස්තරයක් ලියනවාට වඩා පහසුයි පහත දැක්වෙන වීඩියෝ එක බලන එක. (මේ ලිපියේ තිබෙන සියලුම වීඩියෝ ඉතා කෙටි ඒවා බව අවධාරණය කරනවා.)

  පේනවා නේද ඉහළ අහසේ ඉඳලා ඉලක්ක ගන්න හැටි. මේ සජීවීකරණයෙන් බලන්න, ඒ ප්‍රහාරය සඳහා යොදාගන්නා මිසයිල් Drone යානයකින් නික්ම යන හැටි.

  දැන් පෙනෙනවානේ Drone යානාත් එක විදිහක මාරයෙක් කියන එක.

Drone යානා විවිධ කටයුතු වලට යොදාගන්නා නිසා වර්ගීකරණයකට ලක්කර තිබෙනවා. හැබැයි ඒ වර්ගීකරණය හරිම සංකීර්ණයි. මේ යානා වර්ගීකරණය සඳහා යොදාගන්නා නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

  • යානයේ බර
  • දරාසිටීමේ හැකියාව සහ එක වරකට යාහැකි දුර
  • යා හැකි උපරිම උස
  • බර ඉසිලීම සඳහා යානයේ තටු වලට ඇති හැකියාවේ ප්‍රමාණය
  • එන්ජිමේ වර්ගය
  • යානයේ ගුවන්ගතවීමේ බලය

මෙන්න මේ සාධක පදනම් කරගනිමින්, ප්‍රධාන වශයෙන් මේ යානා වර්ග කරන්නේ මෙහෙමයි.

  • ඉලක්ක ලබාදීමේ සහ ඔත්තු සැපයීමේ යානා – Target and decoy සතුරු මිසයිල, සතුරු ගුවන්යානා, ආදිය පිළිබඳව පොළොවේ පිහිටවා ඇති තම කාලතුවක්කු, ගුවන්යානා නාශක තුවක්කු, මිසයිල් මධ්‍යස්ථාන වෙත තොරතුරු ලබාදීම.
  • නිරීක්ෂණ කටයුතු පමණක් කරන යානා – Reconnaissance පහළ භූමියේ ස්වභාවය සජීව වීඩියෝ/නිශ්චල ඡායාරූප මගින් පාලක මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම.
  • ප්‍රහාරක යානා – Combat role UAVs නියමුවන් සහිත යානා යෙදවීම දැඩි අවදානම් සහිත තත්ත්වයන්හිදී සාර්ථක විකල්පයක් ලෙස ප්‍රහාර සඳහා යොදවන යානා.
  • කාර්ය සම්පාදන යානා – Logistics UAVs  භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදාගන්නා යානා.
  • පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා යොදාගන්නා යානා – Research and development අනාගත වැඩිදියුණු කිරීම් පිලිබඳ පර්යේෂණ සඳහා පමණක් යොදාගන්නා යානා.
  • සිවිල් සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා යානා – Civil and Commercial UAVs කාලගුණ දත්ත සෙවීම, භූමි සිතියම් සැකසීම, වැනි සිවිල් කටයුතු හෝ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි සන්නිවේදන, ප්‍රවාහන, ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා යානා.

  අනික් යානා පැත්තක තබා එක ප්‍රහාරක යානයක් අරගෙන බලමු.

UAV_Drone_InfoGraphic_MQ-9_Reaper

පින්තූරය ගත්තේ මෙතනින්  

මේ යානය පොළොවේ පිහිටි පාලක මධ්‍යස්ථානයේ සිට හසුරවන්නේ ප්‍රහාරක ගුවන් යානා නියමුවකු විසින්. ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදවා ගන්නවා.  මෙවැනි යානා 30 ක් පමණ ඇමරිකාව සතු යයි උපකල්පනය කරනවා.

පොළොවේ සිට මේ යානා පාලනය කරන්නේ කොහොමද?

  ඔබ දැනටමත් දන්නවා, මේ යානා, දුරස්ථපාලක remote control ක්‍රමයටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ යානයක් පාලනය කරන්නට, පාලක මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා.

1. ස්ථාවර පාලක මධ්‍යස්ථාන – Main Groud Conrtol Stations මේවා පොළොවේ ස්ථිර ගොඩනැගිලිවල සවිකර තිබෙන (සමහරවිට බංකරයක හෝ පොලොව යට කුටියක විය හැකියි) පාලක මධ්‍යස්ථාන.  මේ තියෙන්නේ එවැන්නක්. මේවායෙන් 99% කට චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතිවල සහයත් ලැබෙනවා.

38756144

පින්තූරය ගත්තේ මෙතනින්

2. අර්ධ ස්ථිර (උපක්‍රමික) පාලක මධ්‍යස්ථාන – Tactical Ground Control Stations මේවා කන්ටේනරයක සවිකර තිබෙන්නේ. අවශ්‍ය විටකදී ගළවා ඉවත්කරගෙන ගොස් තවත් තැනක නැවත සවිකළ හැකියි. වාහන ගමන් කිරීමට අපහසු ප්‍රදේශවලට, හෙලිකොප්ටරයකින් ඔසවාගෙන ගොස් තැබිය හැකියි.

GCS1-cropped

පින්තුරය ගත්තේ මෙතනින්

3. ජංගම පාලක මධ්‍යස්ථාන – Mobile Stations මේවා ස්ථිරවම විශේෂයෙන් සැකසු වාහනයක/නැවක/බෝට්ටුවක/තවත් ගුවන්යානයක/ සවිකර තිබෙන්නේ. අවශ්‍ය තැනකට ගමන්කර එහිසිට තම කාර්ය භාරය ඉටුකළ හැකියි. 

30

පින්තූරය ගත්තේ මෙතනින්

මේ වගේ පොඩි වාහන වලිනුත් කරන්න පුළුවන්.

SONY DSC

පින්තූරය ගත්තේ මෙතනින්

  ඒ විතරක් නෙවෙයි. අතේ (කරේ එල්ලගෙන) ගෙනයන ප්‍රමාණයේ (Man Portable) කුඩා පාලක මධ්‍යස්ථානත් තියනවා හදිසි මෙහෙයුම් සඳහා මෙන්ම,  ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ආධාර වශයෙන් යොදාගතහැකි.

t-images_table1180B-36

පින්තූරය ගත්තේ මෙතනින්

ලෝකයේ තත්වය ඔහොමයි. අපේ තත්වය කොහොමද?

  අපිටත් නියමුවන් රහිත ගුවන් යානා තිබෙන බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා. හැබැයි අප සතුව තිබෙන්නේ නිරීක්ෂණ යානා පමණයි ප්‍රහාරක යානා නැහැ. අම්මෝ ප්‍රහාරක යානයක මිළ ඩොලර් මිලියන 10.5 ක් කියලා අර ඉහත තිබෙන, ‘ඇමරිකානු ඩ්‍රොන් යානා මෙන්න මෙහෙමයි’ කියන රූපයේ පහළින් තියනවා. එය 132 න් වැඩි කරලා රුපියල් වලින් ගණන හදාගන්න. අපේ ගුවන් හමුදාව ‘කේළමා’ලා වර්ග දෙකක් පාවිච්චි කරනවා. මෙන්න එක වර්ගයක්. හැබැයි අමතක කරන්න එපා. මේ යානා වලින් පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී සිදුවූ සේවය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.

429732652_5c6ecce892

පින්තූරය ගත්තේ මෙතනින්

තවත් විස්තර මෙතනින් බලන්න පුළුවන්

  1980 දශකයේදී, ඊශ්‍රායලයේ නිපදවා වැඩි දියුණු කර ඇති මෙම යානය, රටවල් ගණනාවකම පාවිච්චි කරනවා. වැඩිදුර විස්තර මෙතන තියනවා. අපේ රටේ පාවිච්චි කරන අනෙක් යානා වර්ගය වන්නේ මෙහි දෙවැනි මෝස්තරයයි Searcher II මේ යානාවල තාක්ෂණික තොරතුරු පහත දක්වනවා.

  • වර්ගීකරණය – නියමුවන් රහිත
  • ගෙනයාහැකි බර – කිලෝග්‍රෑම් 68 යි
  • යානයේ ඉදිරිපස සිට පසුපසට දිග – මීටර් 5.85 යි
  • එක තටුවක කෙළවරේ සිට අනෙක් තටුවේ කෙළවරට දිග – මීටර් 8.54 යි
  • යානයේ උස – මීටර් 1.25 යි
  • යානයේ දළ බර – කිලෝග්‍රෑම් 500 යි
  • එන්ජිමේ බලය – කිලෝ වොට් 35 යි (අශ්ව බල 47 යි)
  • උපරිම වේගය – පැ.කි.මී. 200 යි
  • ගමන් කළහැකි උපරිම උස –  මීටර් 6100 යි (අඩි 20000 යි)
  • ගුවනේ රැඳී සිටිය හැකි උපරිම කාලය – පැය 18 යි

  මේ සම්බන්ධ තවත් විශේෂ තොරතුරක් ඔබට කියන්නට තිබෙනවා. මොරටුව විශ්ව විද්‍යාලය මගින් නියමුවන් රහිත යානා පිළිබඳව යම් යම් අත්හදා බැලීම් කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව විස්තර මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. ඇත්තෙන්ම එය සතුටක්. එමෙන්ම ඒ පර්යේෂණ වැඩි දියුණු තත්වයකට ගෙන ඒමට රජයේ විශේෂ උනන්දුව සහ සහයෝගය ලැබිය යුතුයි. එහිදී ප්‍රමුඛත්වය දියයුත්තේ යුද කටයුතු ගැන නොවෙයි. කාලගුණ තොරතුරු සෙවීම, සුනාමි, ගංවතුර වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවූවන් ගැන සොයාබැලීමේ කටයුතු සඳහා, වෙරළාරක්ෂක/මුහුදු සීමාරක්ෂක/ගුවන් සීමාරක්ෂක/ කටයුතු සඳහා, සිතියම් සැකසීම සඳහා, වැනි කරුණු වලටයි. 

නියමුවන් රහිත යානාවල අනාගතය කෙබඳු වෙයිද?

  අපට හිතාගන්නවත් බැරි තරම්, සියුම්, සංකීර්ණ, විවිධ සතුන්ගේ වෙස්ගත් යානා ගැන දැනටමත් සාර්ථක අත්හදා බැලීම් කර තිබෙනවා. එක ලොකු යානයක් ගුවනට ගිහින්, ඒ යානයේ සිට පිටත් කර හරින ඉතා කුඩා යානා Micro UAV (MAV) මගින් හෝ තනිවම ගමන් කළහැකි කුඩා යානා මගින් විශ්මය ජනක දේවල් කළහැකි බව දැනටමත් තහවුරුවී තිබෙනවා. (ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ඔයාගේ ගෙදරින්, රහස් පරීක්ෂක පුද්ගලික සමාගමකට කතා කරලා, Micro UAV එකක් කුලියට අරගෙන ‘ඔක්කොම දේවල්’ වීඩියෝ කරගනියි.) 😀

micro-air-vehicle-mav

පින්තූරය ගත්තේ මෙතනින්

UAV යානා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බල ශක්තිය සූර්ය බලය මගින් ලබාගෙන, යානය ‘සදාකාලිකවම’ ගුවනේ රඳවා තබාගතහැකි බව න්‍යායාත්මකව ඔප්පුකර තිබෙනවා. මේ හේතුව නිසා භූ ස්ථායි චන්ද්‍රිකා (Geostatic Satellites) වලින් කෙරෙන කාර්ය භාරය මෙවැනි යානා වලට පැවරීමෙන්, චන්ද්‍රිකා සඳහා වැයවන ඉතා අධික පිරිවැය, විශාල ලෙස අඩු කරගැනීමටත්, එමගින්, චන්ද්‍රිකා දුරකථන, අන්තර්ජාල, සහ අනෙකුත් දුරකථන, රූපවාහිනී, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු සේවා සඳහා අයකෙරෙන ගාස්තු, විශාල වශයෙන් පහළ දැමීමටත්, හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

solar-drones-0813-mdn

UAV-Helios-Zephyr

නියමුවන් රහිත යානා වලට ගහන්න බැරිද?

  පුළුවන්. හැබැයි හිතන තරම් ලේසිත් නැහැ. වියදම අධිකයි. මොකද එන්ජිමේ උෂ්ණත්වය හොයාගෙන ගිහින්‍, ගුවන්යානා වලට ගහන මිසයිල් Heat Seeking Missile මෙව්වට හරියන්නේ නැහැ. එහෙම හරියනවනම් ‘අපේ එව්වා’ වලට ‘අරුන්’ ඒ කාලෙදිම වැඩේ දෙනවා. එක්කෝ වෙන සාමාන්‍ය ගුවන් යානයකින්/ප්‍රහාරක ගුවන් යානයකින්/හෙලිකොප්ටරයකින් ගිහින් අහසේදී ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජාතියේම නියමුවන් රහිත ප්‍රහාරක යානයක් යොදවන්න ඕනේ. ඒ දෙකම ලේසි නැහැ. අපේ ‘බජාර් එකට’ (ගුවන් සීමාවට) පිටින් එකෙක් ආව ගමන්, අපේ රේඩාර් වලට අහුවෙනවා. අපේ UAV එකටත් අහුවෙනවා. ඉතින් ඒ පිටින් ආපු එකාට වැඩි වෙලා අපේ බජාර් එකේ සෙල්ලම් දාන්න ලැබෙන්නේ නැහැ. නිකං නහිනවා විතරයි. අපි වෙන බජාර් වල අවලමේ යනවානම් 😀 😀  අපිට ගහන්න එන එවුන්ගෙන් බේරෙන්න සන්නද්ධව (Combat UAV) සිටිය යුතු අතර, සපෝටර්ලා (close air support by normal combat aircrafts) තියෙන්න ඕනේ. (මෙහෙම ඉංගිරිසි කෑලි දදා ලියනකොට මාව අර ‘දියවෙන’ පත්තරේට ලියන ‘වර්ණ කූරු’ ජෝකරයා වගේ පෙනෙනවද? :D) ඔන්න ඉතින් කොහොමෙන් කොහොමහරි, ඇමරිකන් කාරයා, මේ යානා වලට වැඩේ දෙන්න ක්‍රමයක් හොයාගෙන තියනවා. ඒ යකා මෙව්වට ගහන්නේ ලේසර් කිරණ මගින්. ඔන්න බලන්න ගහන හැටි.

  ඒ විතරක් නම් මදෑ. මේ ලේසර් තුවක්කු ගුවන් යානා වලටත් හයි කරලා තියනවා. මෙන්න බලන්න. මේක හදලා තියෙන්නේ නම් මිසයිල් වලට ගහන්න. ඉතින් මිසයිල් එකක වේගෙට වඩා බොහොම අඩු වේගෙකින් යන UAV එකකට ගහන එකත් කජ්ජක්ද?

දැන් ඔබේ හිතට එන්නේ, නියමුවන් රහිත යානා පාවිච්චි කිරීම වාසිදායකද අවාසිදායකද කියන හැඟීමනේ. මෙන්න තියනවා දෙපැත්තටම කියන්න තියන කරුණු.

වාසි හෙවත් හොඳ පැත්ත;

  • ජීවිත අනතුරු අවම කරගැනීම – යුද්ධයේදී මියයන සොල්දාදුවන් ගණන අඩු කරගන්න විවිධ ආකාරයෙන් සහාය වෙනවා. ගුවන් නියමුවන්ගේ ජීවිතද අනතුරෙන් ගැලවෙනවා.
  • වියදම – සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට හෝ තොරතුරු සොයා බලන ගුවන් යානයකට වඩා නිෂ්පාදන සහ නඩත්තු වියදම ඉතා අඩුයි.
  • දේපල හානිය අඩුයි – සාමාන්‍ය ප්‍රහාරක යානයකට අලාභහානි සිදුවුනොත් හෝ විනාශ වුනොත් බරපතල දේපල හානියක් සිදුවෙනවා. නමුත් මේ යානයකට සිදුවන  එවැනි හානියක ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.
  • ක්‍රියාත්මකව තබන (ගුවනේ සිටින) කාලය – සාමාන්‍ය ප්‍රහාරක හෝ තොරතුරු සොයන යානයක් ගුවනේ සිටියහැකි කාලයට වඩා ඉතා දිගු කාලයක් මේ යානයකට ඉන්න පුළුවන්. නියමුවන් වෙහෙසවීම්ක් නැහැ. ඉන්දන නැවත පිරවීමක් අවශ්යනහ ඉතා දිගු වෙලාවක් යනතුරු. ස්වයංක්‍රීය පාලනය (Auto Pilot) ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේ පාලනය මාරුකිරීම ඉක්මනින් කරන්න පුළුවන්.
  • ඉලක්ක හඳුනාගැනීමේ නිරවද්‍යතාව – සාමාන්‍ය ගුවන්යානයකට වඩා මේ යානයක ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව බොහොම ඉහලයි. මේ නිසා, මිත්‍ර හමුදා භටපිරිස් වලට සහ සාමාන්‍ය ජනතාවට වැරදීමකින් එල්ලවිය හැකි ප්‍රහාර ඉතා අවම තත්වයක පවතිනවා.
  • මාරාන්තික බව – මේ යානයකින් කිසිදු සැකයකින් තොරව ගොඩබිම් සහ ගුවන් ඉලක්ක වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කලහැකියි.
  • ඔත්තු බැලීමේ හැකියාව – මෙම යානා සංග්‍රාමික කටයුතු වලට යෙදවීමට පෙර අත්හදා බැලුණු අවස්ථාවේ සිටම නිරීක්ෂණය, විමර්ශනය, සාමාන්‍ය ඔත්තු බැලීම යන කටයුතු වලදී ඉහල දස්කමකින් යුක්ත වීම.
  • යෙදවීමේ හැකියාව – ලෝකයේ ඕනෑම දේශගුණික කාලගුණික රටාවන් තුළ කිසිදු අපහසුවකින් තොරව යෙදවීමට හැකිවීම.

අවාසි හෙවත් නරක පැත්ත;

  • සීමිත හැකියාවන්ගෙන් යුක්තවීම – භූමියේ සිටින මහජනතාව සමග අදහස් හුවමාරු කරගන්න බැහැ. ගුවන් නියමුවෙකුට පුළුවන් යානය පහතට අරන් අතින් පයින් හෝ ජංගම දුරකථනයකින් හෝ පොළොවේ ඉන්න අයත් එක්ක කතාකරන්න. මේ යානාවලට ඒ හැකියාව නැහැ. ඒ වගේම යානය බිමට බාලා සැකකරුවන් අල්ලගන්න, ඔවුන් දමාගිය වැදගත් දේවල් අල්ලගන්න, අවට එකින් එක ස්ථාන පරීක්ෂා කරන්න, මිනිසෙකු මෙන් සිතා ක්‍රියාකරන්න බැහැ. නියමුවෙකුට පමණයි එහෙම කරන්න පුළුවන්.
  • අත්වැරදීම් නිසා බොහෝවිට සිවිල් ජනතාවට හානිවීමේ ප්‍රවනතාවක් තියනවා. හේතුව මේ යානා වලින් ලබාදෙන තොරතුරු 100% ක් ම නිවැරදිව තේරුම්ගන්න පාලක මධ්‍යස්ථානයේ ඉන්න අයට නොහැකිවීමයි.
  • බලාපොරොත්තු රහිත සහ අස්ථාවර ප්‍රතිඵල ලැබීම – තවමත් ලෝකයේ බහුතර සිවිල් ජනතාවගේ මතය මෙව්වා මහා අවිශ්වාස සහගත, කරදරකාරී, ආක්‍රමණශීලී, මාරක, යානා බවයි. එය කිසිසේත් බලාපොරොත්තු නොවුණු තත්වයක්. මේ නිසා සිවිල් ජනතාව හිතන්නේ UAV යානා තමන් හමුදා සෙබළුන් ලෙස දකිමින් කටයුතු කරන, තම පෞද්ගලිකත්වය වනසන, ආගමික සහ සංස්කෘතික නිදහස වනසන, දේපල හානි ඇතිකරන කරදරකාරී යක්කු වගයක් ලෙසයි.
  • උවමනාවට වඩා පහසුවීමේ විපාකය – මේ යානා පාලනය කරන පාලක මැදිරියේ සිට යානා හැසිරවීම හරියට වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ. රූපවාහිනී තිරයකින් බලාගේනනේ කරන්නේ. ඒ නිසා පොළොවේ සිටින අයගේ ජීවිත සහ දේපල ගැන එතරම් තැකීමක් නොකර කූඹි මරනවා වගේ ‘ඔන්න ඔහේ දීලා අදිනවා’ කියන හැඟීමෙන් අර යානා පාලකයන් ක්‍රියාකරන්නට පෙළඹෙනවා.
  • සටන් කිරීම සහ සාමාන්‍ය ජීවිතය යන දෙක සමතුලිත කරගැනීමේ අපහසුව –  මේ යානා ක්‍රියාත්මක කරවන නියමුවන් හෝ ශිල්පීන් සෑමවිටම එක්තරා පීඩනයක සිටින බැවින් සටන්කාරී තත්වය සහ සාමාන්‍ය ජීවිතයේ කටයුතු යන දෙක අතර මානසිකව වෙනස්වීම ඉතා අවම තත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා.
  • ඉතාම භයානක අවාසිදායක තත්වය වන්නේ මේ යානයක් හෝ පාලක මධ්‍යස්ථානයද ඇතුළුව යානා සමූහයක් සතුරන්ගේ පාලනයට යටත් වුනොත් සිතන්නට පවා අපහසු භයානනක තත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබීමයි.

  මේ වාසි අවාසි කොහොම වෙතත්, UAV යානා හැදීමේ තරගය තවමත් බොහොම තදින් ලෝකය පුරා පවතිනවා. ‘යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ’ කියලා පැරණි කියමනක් තියනවානේ. එහි භාවාර්ථය වන්නේ, අවදානම සහ භයානකත්වය දැන දැනම තමයි, යම්කිසි අභියෝගයක් බාරගන්නේ කියන එකයි. UAV යානා විනාශ කිරීමට කොයි තරම් ප්‍රබල අවි නිපදවුවත්, නවීන, අති ප්‍රබල යානා, නිපදවීම දිගටම කෙරෙනවා. අනාගත ලෝකයේ යුද්ධයකදී, සොල්දාදුවන් වෙනුවට රෝබෝ යන්ත්‍ර සහ ගුවන් යානා වෙනුවට drone යානා යොදාගැනීම පුදුමයක් නොවනු ඇති. මේ බලන්න අලුත්ම ප්‍රහාරක drone යානා දෙකක හැටි.

dvd-157-2A-660x527

පින්තූරය ගත්තේ මෙතනින්

x-47a-660x417

පින්තූරය ගත්තේ මෙතනින්

  ඉහත සඳහන් යානා දෙකම අති ප්‍රබල යානා ලෙසයි සැලකෙන්නේ. විස්තර මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. ප්‍රහාරක ශක්තිය අතින් ඉතා ඉහළ මේ යානා දෙකටම අඩි 40,000 ක උසකින් පැ.කි.මී. 500 කට වැඩි වේගයකින් පියාසර කලහැකි අතර, ගුවනේ සිට වෙනත් ගුවන් යානා වලට මෙන්ම භූමියේ පිහිටි ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කළහැකි අවි පද්ධති වලින් සමන්විතයි.

  UAV නමැති මාතෘකාව ඔස්සේ මා ඔබ සමග පැවැත්වූ මේ දීර්ඝ සාකච්ඡාව, තවත් කොටස් කරා ගෙනයාහැකි නමුත්, මෙතෙකින් අවසන් කරන්නට සිතනවා. මෙයට සම්බන්ධ වෙනත් මාතෘකා අනාගතයේදී ඉදිරිපත් කරන්නට සිතා සිටිනවා. මෙයින් ඔබ යම් දැනුමක් ලැබුවානම් එය මට මහත් සතුටක් බව විශේෂයෙන් සඳහන් කරනවා. මා සතුව විවිධ විෂයයන් යටතේ මෙවැනි ලිපි රාශියක් ලිවීමට තරම් තොරතුරු ඇතත්, එවැනි ලිපි ලිවීම තරමක් වෙහෙසකර අභ්‍යාසයක් බවද කියන්නට කැමතියි.

My Signature for Blog

 2013 අගෝස්තු මස 25 වැනි දින 0821 පැය

මූලාශ්‍ර;

(ප්‍රධාන වශයෙන් තෝරාගත් මූලාශ්‍ර පමණි)

Comments on: "කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two)" (88)

  1. දෙකම කියෙව්වා. මම තව කොහේ හරි දැක්කා අහසේ වගේම වතුරේත් ගමන් කල හැකි යානයක් ගැන. ප්‍රමාණයෙන් පුංචියි.

  2. විශ්ව රංගනාත් said:

    ගොඩක් තොරතුරු අන්තර්ගතයි. ගොඩක් මන්සිවෙලා තියෙනවා. තව කොටසක් තියනවාද?

    • තව දික්කරන්න තරම් කරුණු තිබුණත්, මෙතනින් අවසන් කරන්න තීරණය කළා. නමුත් ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු දෙන්න හිතාගෙන ඉන්නවා.

  3. මෙබඳු හරබර ලිපියකින් අප දැනුවත් කිරීම පිළිබඳ මාගේ ප්‍රණාමය පිළිගන්න..

    1. ගෝගන් ස්ටෙයා – Gorgon Stare කියන නමෙයි මෙඩූසාගෙයි සම්බන්ධතාවය මට වැටහුනේ නෑනෙ..

    2. //මෙවැනි යානා 30 ක් පමණ ඇමරිකාව සතු යයි උපකල්පනය කරනවා. // මදි නැද්ද?

    3. යුද්ධ කාලෙ කුඩා ගුවන්යානා ලංකාවට ගෙන්වීම තහනම් කරලානෙ තිබ්බෙ. දැන් එහෙම තහනමක් නැද්ද? එබඳු යානාවක් ළඟ තබාගන්න බලපත්‍ර තිබිය යුතුද? ඒ කුඩා ගුවන් යානාවලත් මේ නියමුවන් රහිත යානාවලත් වෙනස්කම් මොනවාද? එව්වා තොරතුරු නොසොයන බව තේරෙනවා. ඒත් කැමරාවක් සවි කිරීමෙන් එබඳු යානාවක් ලේසියෙන්ම මේ තත්වයට පත්කළ හැකියි කියලා හිතෙනවා.

    3. මේ ගුවන් යානා වලට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ විදුලු බලයෙන්ද? එන්ජිමෙන් විශාල උෂ්ණත්වයක් ජනනය වෙන්නේ නෑ කියලත් කිව්වනෙ.. හැබැයි පහළ ඉන්ධන කියලා තියෙනවා දැක්කා..

    4. ඉන්දනද? ඉන්ධනද?

    5. “ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ” පාරතොටේදී හම්බෙන උන්ගෙන් මදිවට මේවලිනුත් බේරියල්ලකො..

    ලිපියට ස්තුතියි..

    • ස්තුතියි ඇගයීම ගැන.

      1. මෙඩුසා රවලා බැලුවම ඕනෙම කෙනෙක් ගල් වෙනවා. අර drone යානයේ කැමරා වලින් (කැමරාවෙන් නම් රවලා බලන්න බැහැනේ) 😀 බලපු ප්‍රදේශය ඊළඟට ගල් වෙන්න හෝ කුඩුවෙන්න ප්‍රහාරයක් දෙනවා. ඉතින් ඒ කැමරා වලින් බැලුවා කියන්නේ බඩුම තමයි. ඒ කියන්නේ මෙඩුසා රවලා බැලුවා වගේම තමයි. ඔන්න ඕකයි gorgon stare කියන්නේ.

      2. උපකල්පනයක් පමණයි. ඊට වඩා අඩු වෙන්නත වැඩි වෙන්නත් පුළුවන්. තවත් ඒවා, මම මේ පිළිතුර දෙන අතරේ, ඔයා මේක කියවන අතරේ හැදෙනවා.

      3. දැන්නම් එවැනි තහනමක් නැහැ. දැන් දුරස්ථ පාලක කුඩා සෙල්ලම් හෙලිකොප්ටර් එහෙම කොළඹ සහ ප්‍රධාන නගරවල ගන්න තියනවා නේද. හුඟක් ලොකු, ඒ වගේම ඉන්දන වලින් ක්‍රියාත්මක වන ඒවාටනම් සීමා පනවා ඇති. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊ මේල් මගින් විමසන්න පුළුවන්.

      3. ඉන්දන කියන වචනයේ සමහර අය කියන, සිටුවනවා (ගහක්) වැනි අර්ථයකුත් එනවා. නමුත් එය ප්‍රාදේශීය භාෂා යෙදුමක් dialect මා දන්නා තරමින් ඉන්දන තමයි දහනය වන තෙල්, ගල් අඟුරු, දර, ආදියට කියන නම.

      5. ‘කේර මලියක්’ තමයි වෙන්නේ අනාගතේදී.

      නැවතත් ස්තුතියි

      • 4. එතකොට ඉන්ධන වැරදියි ද. සුබස කියන්නෙ ඒක හරි කියලනේ.

        http://subasa.ambitiouslemon.com/spellerweb.py

        5. ‘කේර මලියක්’ වෙනකක් නැති වෙයි නේද, අනාගතේ වෙනකොට ඕවට හොඳ හොඳ විකල්ප පහළ වෙන්නත් පුළුවන්.

        • මගේ ගුරුවරු නම් කියලා නැහැ ඉන්දන කියන වචනය වැරදියි කියලා. නමුත් ගුරුවරුන්ටත් අකුරු වරදිනවනේ නේද?

          ඇත්තටම විකල්ප ක්‍රම හදන්නම වෙනවා. නැත්නම් අපේ පෞද්ගලිකත්වය නැති වෙනවා.

      • //පාරතොටේදී හම්බෙන උන්ගෙන් මදිවට මේවලිනුත් බේරියල්ලකො.. // ලේසර් ගන් එකක් හොයා ගන්න ඕන දැන්මම. 😀

        • අම්මපා අපි ටිකක් මහන්සිවෙලා හදමුකෝ පොඩි ලේසර් ගන්. හදිස්සියකට අල්ලපු ගෙදරටවත් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නේ. 😀

      • ලේසර් ගන් නැතුවත් අල්ලපු ගෙදරට ‘ප්‍රහාර‘ එල්ල කරන අය ඉන්නවා. 😛

  4. කාලෙකට කලින් ඉරානෙන් ඇමෙරිකන් ඩ්‍රෝන් එකක් අල්ලගත්තා කියලා මහා හා හෝවක් ගියා…කොහොමද දන්නෑ ඒක අල්ලගන්න ඇත්තෙ !

    අපේ අයටත් බැරි වෙයිද ඕවා හදලා විකුනන්න ? අඩුම ගානෙ උගන්ඩාවටවත්..

    වෙච්ච මහන්සියට ස්තූතියි විචාරක මහතා. මේවා ඉතින් වෙන කොහෙන්වත් සින්හලෙන් දැනගන්න නෑනෙ..

    • මේ යානා වැඩ කරන්නේ පරිගණක වැඩසටහන් මගින් නේ. ඉතින් ඒ වැඩසටහන අල්ලාගත්තොත්, අර වෙන කෙනෙක් උඩ ගහපු පරෙයියා අපි විසිල් එකක් ගහලා බිමට පාත් කරගන්නවා වගේ තමයි මේකත්. 😀 බොහොමයක් drone යානා වල තියනවා, පාලක මැදිරිය වෙත අනතුරු අඟවන සංඥා, එම යානයට කිසියම් අනතුරක් වෙනවානම්. එවිට වෙලාව ලැබුණොත් පාලක මැදිරියට පුළුවන් එක සංඥාවකින් command යානයේ පරිගණක පද්ධතිය ආයේ කවදාවත් වැඩගන්න බැරි විදිහට විනාශ කරන්න. එවිට එහි තිබුණ දත්ත සියල්ල මැකී යනවා.

      ඇත්තටම අපිට ඔය යානා හදන්න බැරිනම් එහි කිසියම් කොටසක් හෝ, ඊට අදාළ පරිගණක වැඩසටහනක් හෝ හදන්න පුලුවන්නම් විශාල විදේශ විනිමයක් උපයාගන්න පුළුවන්.

      ස්තුතියි ඇගයීම ගැන.

      • යානය උඩ තියෙනකොට signal hijack කරලා බාගන්න උත්සහයක් ආවොත් යානය පිටින් ලබා දෙන සංඥා මායිම් නොකර ඉබේම පුර්ව සැලසුම්ගත තැනකට බෑ වෙන්න දත්ත කවා තිබෙන බවත් අහලා තියනවා

        දැනුවත් කරන්න වෙන මහන්සියට ස්තුතියි

        • ඔව් මේ යානා වල ආරක්ෂාව සඳහා වෙනම පරිගණක ගත ආරක්ෂක වැඩසටහන් එහි මධ්‍යම පාලන ඒකකයට කල්තබා ඇතුළුකර තියනවා. මූලාශ්‍රවල ඒ ගැන දීර්ඝ විස්තරයක් කර තිබුණත් ඒ සියල්ල ඇතුළත් කලේ නැහැ මම. නමුත් ඔබේ මේ කරුණු දැක්වීම් අගය කරනවා.

      • අඩේ …. නිකම් ඉන්න එකේ පරෙයියෙක් බාගන්න ට්‍රයි එකක් දුන්න නම් ගොඩ. ඔය එකක් කීයක් විතර වෙනවයි කියලයැ කිව්වෙ. 😀

      • ගල් මාට්ටුවක් දාමුද?

  5. දුර්ලභ දැනුම් හා තොරතුරු සම්භාරයකි. විවිධ මූලාශ්‍ර ඇසුරෙන් දුරලභ තොරතුරු රාශියක් එක්තැනකට එකතු කර ඉදිරිපත්කර ඇති ආකාරයද අගනේය. ස්තුතියි ඔබට

  6. බොහොම ආසාවෙන් කියවන ලද අගනාම ලිපියක් විචාරක. මේ වගේ දේ ගැන දැන ගන්න ඇති කුතුහලය අපමණයි. ඔබ ඒ රික්තකය පුරවාලනවා නිසි අයුරින්.

  7. මම ඊයෙ බලපු හිස්ටරි චැනල් එකේ ගිය වැඩ සටහනක පෙන්වපු විදියට මේ UAV දැන් අලුත්ම තලයකට ඇවිත්. ඒ කියන්නෙ කාබන් ෆයිබර් වලින් හදපු කුඩා රෝල්කරගෙන ගෙනයන UAV PLANE එකක් කඩදාසි කාක්කෙක් විසිකරනව වගේ (බැටරි ක්‍රියාත්මක කර ) අතින් උඩ යවල පස්සෙ පොඩි ටැබ් එකකින් කන්ට්‍රෝල් කරන් අවට විස්තර හොයාගන්න පුලුවන් යුධ බිමේ ඉන්න සෙබලුන්ට. ඒ වගේම විනාඩි තුනක් උඩ ඉන්න බත් කූරගෙ ස්ටයිල් එකේ පුන්චි UAV හදල, දැන් කරන්නෙ ෆ්ලයින් ටයිම් වැඩි කරගන්න ට්‍රයි කරන එකලු. අනික සිලින්ඩර් එකකට දෙපසට කරකැවෙන රොටර් දෙක හයි කරපු එකකුත්, අර හඳට ගොඩ බස්සපු ඇපලෝ යානය වගේ පොඩි රෝකට් ඇන්ජින් වලින් බලය දෙන වඩා ස්ථායී සහ ඉහල යන, තනි පුද්ගලයකුට සටන් බිමේ ඉඳන් ටැබ වලින් හසුරුවන්න පුලුවන් ඩ්විදීය් ඒවත් ඇමරිකන් හමුදාවට දීලලු. එහෙම බැලුවම කොටුවක් පනින්නත් නොවෙන දවස වැඩි ඈත නෙමෙයි තමයි.

    • ස්තුතියි ඉන්දික මේ තොරතුරු වලට. ඇත්තටම මේ විෂයය ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා අපිට හිතාගන්නවත් බැරි වේගයකින් නව නිපැයුම් එනවා. අනාගත් ලෝකයේ මිනිසාගේ පෞද්ගලිකත්වයට දැඩි බලපෑම් එල්ලවන බවනම් දැනටම පෙනෙනවා. කොටුවක් තියා ජනෙලෙකින් පනින්නවත් බැරිවෙයි. අපටයි පාඩු 😀 😀

  8. මේ යානාවලින් නිරීක්‍ෂණ කටයුතු කරනවා කියල දැනගෙන හිටියට ප්‍රහාර එල්ල කිරීමේ සිට මේ තරම් තොරතුරු ප්‍රමාණයක් දැනගත්තෙ මේ ලිපි දෙකෙන්. ස්තූතියි විචරක මහත්මයා, නැත්නම් අපි ඉතිං ඔය වගේ එකක් ගැන අවශ්‍යතාවයක් නැතුව සර්ච් කර කර විස්තර හොයන එකක්යැ.

    —————————————
    වාසි හෙවත් හොඳ පැත්ත;

    ඉලක්ක හඳුනාගැනීමේ නිරවද්‍යතාව – සාමාන්‍ය ගුවන්යානයකට වඩා මේ යානයක ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව බොහොම ඉහලයි. මේ නිසා, මිත්‍ර හමුදා භටපිරිස් වලට සහ සාමාන්‍ය ජනතාවට වැරදීමකින් එල්ලවිය හැකි ප්‍රහාර ඉතා අවම තත්වයක පවතිනවා.

    අවාසි හෙවත් නරක පැත්ත;

    අත්වැරදීම් නිසා බොහෝවිට සිවිල් ජනතාවට හානිවීමේ ප්‍රවනතාවක් තියනවා. හේතුව මේ යානා වලින් ලබාදෙන තොරතුරු 100% ක් ම නිවැරදිව තේරුම්ගන්න පාලක මධ්‍යස්ථානයේ ඉන්න අයට නොහැකිවීමයි.
    —————————————

    මේ දෙක එකිනෙකට පරස්පර නැත්ද, එහෙමත් නැත්නම් කියපු වචන මම තේරුම්ගත්තා වැරදිද. මොකද අවස්ථා දෙකේදී ම පාලක මධ්‍යස්ථානය කියන සාධකය නියතයිනේ.

    • අනාගතෙදිනම් ප්‍රහාරාත්මක පැත්ත තමා වඩාත් දියුණු කරන්නට හිතාගෙන ඉන්නේ කියලයි මූලාශ්‍ර වල තියෙන්නේ.

      මෙතන මගේ විස්තර කිරීමේ (පරිවර්තනය කිරීමේ) දෝෂයක් වගේ. ඉලක්ක පෙන්වීම අතින් 100% ක් නිවැරදියි මේ යානා. නමුත් එය සැබෑ ඉලක්කයක්ද කියා අවම වශයෙන් දෙවතාවක් වත් තහවුරු කරගත යුතුයි ප්‍රහාරයකට පෙර. මේවා ක්‍රියාකරවන්නන් එසේ නොකිරීම නිසා අහිංසකය සිවිල් ජනතාවට හානිවෙන්න පුළුවන්. එයාලා හිතන්නේ මේ යානයෙන් පෙන්වන රූපය හරියටම සතුරා තමයි කියලා. යානය පෙන්වන්නේ භූමියේ ඒ අවස්ථාවේ ස්වභාවය.

  9. මෙඩුසාගෙ සහෝදරියන් දෙන්නා මරන්ට බෑ විචාරක, ග්‍රීක මිථ්‍යා කතාවලට අනුවනම් ඒ දෙන්නා අමරණීයයි.. පර්සියස් මෙඩුසාව මරලා ඔළුව කපාගෙන පැනලා යද්දී එයා පස්සෙන් පන්නන්නෙ මේ සහෝදරියන් දෙන්නා තමා..

    අර උඩ පින්තූරෙ දාලා තියෙන Micro UAV පාවිච්චි කරනවා ඇත්තෙ බොහෝවිට Delta වගේ special ops teams වෙන්නැති නේද.?.

    • ස්තුතියි අර කතාව නිවැරදි කලාට.

      MAV පාවිච්චි කරන්නේ තවමත් පර්යේෂණ මට්ටමෙන් කියලයි මූලාශ්‍රවල තියෙන්නේ.

      • හපොයි, එයාලා නොකියන කතා කොච්චර නං තියෙනවද.? අවුරුදු 50කට විතර පස්සේ මේ ඊයේ පෙරේදානෙ CIA එක officially පිළිගත්තෙ Area 51 කියලා එකක් තියෙනවා කියලා.. 🙂

  10. පිං සිද්ද වෙච්චාවේ

  11. පට්ට පටපට……. කියලා වැඩක් නෑ ඒ හින්දා කියලා වැඩක් නෑ 😀

  12. වෙනද වගේම ඉතා මහන්සියෙන් අප නොදන්නා කරනු වලින් සපිරි, සුපිරි ලිපියක් ලියල.
    මම මෙතෙක් කල් හිතාගෙන හිටියෙ නැහැ ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියල.
    ලිපිය කියවද්දි සෙන්න අහපු ප්‍රශ්නයම මටත් ආව.
    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනව කාලය කැප කොට අපව දනුවත් කරනවාට.

  13. //ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ. 😀 උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉන්නවා. අන්න උන්ට කියනවා Drone කියලා.//

    පෝස්ට් දෙකම කියෙව්වට පස්සෙත් ඔලුවේ වැඩ කරන්නේ මේ ටිකනේ. 😀 😀

  14. කාලෙකට පස්සෙ ඔන්න මේ පැත්තට ආවෙ…මේ ලිපිය කියවන්න හදනකොට දැක්කෙ මේකෙ පළමු කොටසක් තියෙනවා කියලා…ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට තමයි දැන් බ්ලොග් කියවන්න වෙලා තියෙන්නෙ…පසුව වෙලාවක කොටස් දෙකම කියවලා බලන්නම්…විචාරක තුමාට ජය !

    • මට කොමෙන්ට් වලින් වැඩක් නෑ. කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියාපිය ඔක්කොටම කලින්. තව පොඩ්ඩෙන් මම තානාපති කෙනෙකුට කියලා (මම දන්නා එක්කෙනෙක්) සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව කාල් ගාලා හොයන්නයි හිතාගෙන හිටියේ. 😀

      • දැන් ඉන්නෙ මැලේසියාවෙ අගනුවර…සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනයක මගේ ලංකාවෙ කරපු රැකියාවම බොහොම නිවී සැනහිල්ලෙ කරගෙන ඉන්නෙ….පහුගිය කාලෙ බොහොම කට්ටක් කෑවා…ඒ ගැන ඉදිරියේදී ලියන්නම්…

  15. මේ විදිහට අනාගතයේදි රොබෝලා විතරක් රටවල් වෙනුවෙන් යුද්ද කරාවි !

    • 100% ක් ම නෙවෙයි. ඒ රෝබෝලා පාලනය කරන්න මිනිසුන් අවශ්‍ය වෙනවා. කෘත්‍රිම බුද්ධිය කවදා හෝ සාර්ථක වුනොත් මිනිසාගේ සහභාගිත්වය තවත් අඩුවෙයි.

      • //කෘත්‍රිම බුද්ධිය කවදා හෝ සාර්ථක වුනොත් මිනිසාගේ සහභාගිත්වය තවත් අඩුවෙයි.//

        කෘත්‍රිම බුද්ධිය කවදා හෝ අතිශය සාර්ථක වුනොත් ඉතිං සමහරවිට මිනිසා නැත්තටම නැතිවෙල යන තැනටත් පත්වෙන්න පුළුවන් නේද.

  16. මෙහෙම ලිපියක් ලිවීම සඳහා වෙන්න ඕන මහන්සිය හිතා ගන්න පුළුවන්. ඒක වෙහෙසට ස්තුතියි.

    මොකද මේ යානා සුදු පැහැයට හුරු වර්ණයෙන් ම තියන්නෙ. ගුවනේ ඉන්න කොට පහලට පෙනෙන එක අඩු කර ගන්න ද..

    • ස්තුතියි චන්දන ඇගයීම ගැන. මගේ වෙහෙස ඔබේ දැනුම සඳහායි.

      ඔව් චන්දන ඔබ ඉතා බුද්ධිමත්ව හිතලා තියනවා. බොහොමයක් යුද ගුවන්යානා වල වර්ණය වළාකුළු වල වර්ණයට ආසන්නව තබන්නේ අහසේදී ‘හැංගෙන්න’ පුළුවන් වෙන්නයි.

      • //බොහොමයක් යුද ගුවන්යානා වල වර්ණය වළාකුළු වල වර්ණයට ආසන්නව තබන්නේ අහසේදී ‘හැංගෙන්න’ පුළුවන් වෙන්නයි.//

        සද්දෙට සද්දෙ නම් හරි, ඒත් ගඳට මොකද කරන්නෙ. 😀

      • හික් .. හික් .. යේක ෂරි.

        මම ඇහැව්වෙ මේ අහසෙ පාට ගාගෙන හැංඟුනාට සද්දෙට මොකද කරන්නෙ කියල.

        • අනික් ඒවාට සාපේක්ෂව Drone වල සද්දේ හරිම අඩුයි. නිකං තණකොළ කපන මැෂින් එකක සද්දේ එන්නේ අපේ රටේ එවාගෙන් නම්. ඇමරිකන් බඩු නම් ඊට වඩා සද්දයි. නමුත් සද්දේ ඇහෙනකොට වැඩේ කරගෙන ඉවරයි.

    • මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං

      • අටං, ඔයාගේ බ්ලොග් එක ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ඒකෙ නම් බලන්නම අමාරුයි. ඔයාව කවුරුහරි හැක් කරලද දන්නේ නැහැ. මම දැක්කා ඔයා අඩවි කීපයකටම ගිහින් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියනවා. හරී ගෙන් අහන්න. මම බ්ලොගර් ගැන මොකවත් දන්නේ නැහැ. ඔයාගේ වේදනාව මට තේරෙනවා. මම දුක්වුණා කියලා ඔයාගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. කවුරුහරි හොඳ වැඩකාරයෙක් අල්ලගන්න වෙනවා.

  17. ස්තූතියි! 🙂

    සෑහෙන විස්තරයක් පෙලගස්සන්න උනු මහන්සියට

  18. හැමදාමත් වගේම අනගි ලිපියක් . මේ තරම් කරුණු කන්දරාවක් එකතු කරගෙන පිළිවෙලකට ලියන්නට ඔබතුමාට හිතේ විවේකයක් ලැබීමම , “අසමි දකිමි සොයමි “ කියවන අපගේ වාසනාවක් . නැත්නම් ඉතින් ඉන්න රාජකාරිය ගැන මිසක මේ වගේ වෙනස් මාතෘකා ගැන මේ තරම් ගැඹූරට හොයන්න , දැන ගන්න යොමු නොවන තරම් . බොහොම ස්තුතියි මේ දැනුම අපත් සමඟින් බෙදා ගන්නවාට ,

  19. ඔන්න මහත්තයෝ ලිපි දෙකම එක හුස්මට කියවලා දැනුම ගොඩක් ලබාගත්තා

  20. ඔබ පලකරන මෙවන් ලිපි බ්ලොග් ලෝකයට පමනක් සීමාවීම කණගාටුවකි.මෙවැනි ලිපි කියවීමට මා පෙලඹවූයේ ඔබගේ රචනා ශෛලියයි.ස්තූතියි.

    • මා හොඳින්ම දන්නා එක් දෙයක් තිබෙනවා. සාමාන්‍ය සරල වින්දනය ලැබීම සඳහා බ්ලොග් කියවන සෑහෙන පිරිසක් ඉන්න අතර එවැනිම තවත් පිරිසක් ඉන්නවා එයින් පරිබාහිර මාතෘකා ඔස්සේ ලියවෙන ලිපි කියවන. තවත් සමහර පිරිසක් ඉන්නවා ඒකාකාරී ලිපි කියවීමෙන් වෙහෙසට පත්ව නවමු අත්දැකීම් සොයායන. මා හිතනවා ඒ ඔස්සේ මට යමක් ඉදිරිපත් කල හැකියයි කියා.

      ඇගයීම ගැන ස්තුතියි.

  21. හප්පොච්චියේ,සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ.බොහොම රසවත් ලිපියක්.මීට අවුරුද්දකට කලින් අපේ පැත්තෙත් ඔය නියමුවන් රහිත යානා කැරකුනා.Gizmo බයික් එකක සද්දෙට සමාන සද්දයක් තියෙන්නෙ.අපේ පැත්තෙ මිනිස්සු නං කිව්වෙ,ලොක්ක හිස් ඉඩම් කොච්චර තියෙනවද කියල බලන්න මෙව්ව එවනව කියල.(මෙව්ව කියල සුදු වෑන් එයිද මන්දා 😀 )

    • අම්මපා එහෙනං යුද්දෙන් පස්සේ මෙව්වා පාවිච්ච්චි කොරන්නේ හිස් ඉඩම් හොයන්ඩ (කාටවත් කියන්ඩ එපා. නිදහන් හොයන්ඩ) වෙන්ඩෑ ……….:D 😀

      ස්තුතියි අගය කිරීම ගැන.

  22. නියම ලිපියක්

  23. අදයි සර් මම මේ බ්ලොග් 1 කියෙව්වෙ.නියමයි…….. ජයවේවා සර් !!!…………

    • ඔබව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මාස්ටර්. හැකි සෑමවිටම පැමිණ, ලිපි කියවා, අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.

  24. ලිපි දෙකක්ම කියෙව්වා විචාරක මහත්තයෝ.. බොහොම ස්තුතියි මේවට. මහන්සියේ තරම නං මට හිතගත්තහැකි. ඉස්සර ලිපි ලියද්දි මමත් සැහෙන්න වෙනත් ලිපි මුලාශ්‍ර කියවන මහන්සිය මට මතක්වුනා. ඔබට මෙවන් දේ කිරීම ගැන මගේ ප්‍රණාමය පිළිගන්න. මේවා දන්නේ දකින්නේ නැති බොහෝ දෙනාට ඔබ කරන්නේ අමිල සේවයක්.

    මේවා ගැන කියවන වෙලාවට මට මතක්වෙන්නෙම ටර්මිනේටර් ෆිල්ම් එක වගේ විද්‍යා ප්‍රබන්ධ.. මේවා කළා වගේ නෙවෙයි අපිව අතුගාල දාන්න පුළුවන් වෙයි කෘතීම බුද්ධියක් පිස්සු කෙලින්න ගත්තු දවසක.

    • ඇත්තටම මෙවැනි ලිපි ලිවීමේ අමාරුව කොතෙක්ද කියා හොඳින්ම දන්නා ඔබවැනි අය දක්වන අදහස් මට හරිම වැදගත්. මේ ලිපිය ලියන්න මට මාස හතරක පමණ කාලයක් අධ්‍යයන කටයුතුවල යෙදෙන්න වුනා. මගේ උත්සාහය සාර්ථක බව දැනට ලැබී ඇති කමෙන්ට්ස් වලින් පෙනෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා ඇගයීම ගැන.

      ඇත්තටම කෘත්‍රිම බුද්ධිය යම්කිසි දවසක මිනිස් ජීවිතයට අභියෝගයක් වෙයි කියලා මට හිතෙනවා.

  25. මාර ලිපියක්නෙ විචාරක් මහත්තයො 😆

  26. drone වලින් පොලවේ තියන සම්පත් (උදා : රන් රිදී මුතු ) බලන්ඩ පුලුවන්ද? සර්
    කොහොමද ඒහෙම බලන්නේ ?

    • දැනටනම් එවැනි වැඩ කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණය මගින්. නමුත් අනාගතයේදී බොහෝදුරට Drone යානා ඒ සඳහා උපයෝගී කරගන්නට බලාපොරොත්තුවෙන බව පෙනෙනවා.

  27. කේල්මා ගැන කියන්න ඕන හැමදේම කියල තියෙනවා. ඒක ෂුවර්. අනාගතේ ගැනත් අතීතය හා දැන් විදිය ගැනත්. අනගි ඉදිරිපත් කිරීමක්. මේ වෙනුවෙන් කොයිතරං ඔබතුමා වෙහෙසෙන්න ඇතිද කියල ගෞරවයක් ඇති වෙනවා.. ස්තුතියි…නාකි විසේ…

    • මට හිතෙන්නේ මම කොපමණ වෙහෙස වුනත් කමක් නැහැ ඔබේ දැනුම දියුණු කිරීම වෙනුවෙන් කියලයි.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      • ඇත්තෙන්ම අන්න ඒ දේ වෙනුවෙන් මම ඔබට බොහොම කැමතියි..
        //මට හිතෙන්නේ මම කොපමණ වෙහෙස වුනත් කමක් නැහැ ඔබේ දැනුම දියුණු කිරීම වෙනුවෙන් කියලයි.//

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: