විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


485464,1302695287,3  ඉහත මාතෘකාවේ සඳහන් වචන වලින් අපි යමෙකු අමතනවානම්, එසේ කරන්නේ, පහන් හැඟීමකින් නොව හෙළා දැකීමේ, ගර්හා කිරීමේ, අපහාස කිරීමේ, අදහසින්. වාග් මාලාව අතින් අපේ භාෂාව කොතරම් පොහොසත් ද යන්න හිතාගන්නට බැරි තරම් විශාලයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ, අපේ රටේ අද මව් භාෂාව දෙවැනි තැන්හි ලා සළකන, කටයුතු කරන, පිරිසක් බිහිව සිටීමයි. මෙයට හේතු කීපයක් මා දකිනවා.

  • වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල භාෂාව උගන්වන ආකාරය.
  • ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා, සංසන්දනාත්මකව සිතා, සමාජයේ බලපෑමට යටත්ව, ස්වාධීන චින්තනය පසෙකලා, ඉංගිරිසිය වඩා උසස්යයි සිතීම.
  • අද්‍යතන, ඒකාකාරී, වෙහෙසකර, සීඝ්‍රගාමී, දැඩි තරගකාරී, ජීවන රටාව තුළ, බහුළව භාවිත කෙරෙන ඉංගිරිසි කෙටි යෙදුම්, ඇමතීමේ, හැඳින්වීමේ, විස්තර කිරීමේ, යෙදුම් (verbal phrases) ආදිය, සමාජ සම්මතයන් බවට පත්කරගැනීම සහ/හෝ ඒවාටම ආවඩන පිරිසක් වර්ධනය වීම.
  • ‘සිංහල භාෂාව යනු, අ.පො.ස. සාමාන්‍ය පෙළ/උසස් පෙළ  විභාග සඳහා ඉගෙනගතයුතු විෂයයකි’ යන හැඟීමෙන් පමණක් භාෂාව ඉගෙන ගන්නා පිරිස වැඩිවීම.
  • භාෂාවට සමගාමීව සාහිත්‍යය ඉගෙන නොගැනීම නිසා ‘සීනි නැති තේ’ බවට පත් මානසිකත්වයක් ඇතිවීම. ඒ හේතුව නිසාම භාෂාවේ රීතිය, රටාව, පදනම නොදත්, ඕනෑම භාෂා උගුඩුවකු විසින් හදන, සූකර වසුරු හා සමාන අවජාතක වචන, හඳුන් කල්ක මෙන් නළලේ උලා ගැනීම.
  • මව් භාෂාව යනු තම මව හා සම්පූර්ණයෙන් සමාන වස්තුවකි යන්න අවබෝධ කරගත් පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම.

 

  • බාහිර කියවීම්, පුස්තකාල පරිහරණය, භාෂා විෂයයික සංවාද, පර්යේෂණ, ඈ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරු නොවීම.

  මේ නිසා තමයි අර අපේ ජනප්‍රිය භාෂාවෙන් කියනවානම්, ‘කෂඩ’ වචන හා යෙදුම් අපේ භාෂාවට එකතුවී සම්මතයන් බවට පත්වී තිබෙන්නේ. බොහෝ දෙනා හිතන්නේ ඕනෑම වචනයක් ඕනෑම අතකට අඹරවා, කරකවා, හදන සක්ක වචන, කාලීන භාෂා විකාශය ලෙසයි. ඒ අනුව බලනවානම්, අපේ භාෂා විශාරදයන් වියයුත්තේ, ‘සොකට් සෝබර්’, ‘චිං පින්’, ‘වීල් බ්‍රෂ්’, ‘වීල් එලයිමන්ට්’, ‘ත්‍රී වීල්’, ‘ටෑර්’, ‘වෑර්’, ‘ඩෙක් එක’, ‘කැසට් පීස්‌’, ‘සෝටීස්’, ‘ප්‍රයිඩ් රයිස්’, වැනි වචන නිර්මාණය කළ කාර්මිකයන්/බාස් උන්නැහේලා ය.  භාෂා කතන්දරය එතෙකින් නවතා විෂයයට බහිමු.

  Dec. 17 airpower summary: Reapers touch enemy forcesකේළමා කියන්නේ තැන් තැන් වල ගිහින්, අනුන්ගේ අඩු පාඩු, අතපසුවීම්, දුර්වල තැන් හොය හොයා, එවැනි තොරතුරු, ඒ ඒ පුද්ගලයාට හානියක්, පාඩුවක්, අපහාසයක්, අමාරුවේ දැමීමක්, කිරීම සඳහා, තවත් කෙනෙකු වෙත වාර්තා කරන පුද්ගලයා බව ඔබ හොඳින්ම දන්නවා. මම අද ඔබට ඒ වගේ යාන්ත්‍රික කේලමෙකු ගැන කියා දෙනවා. අවලමා කියන්නේ අරමුණක් ඇතුව හෝ නැතුව ඔහේ හිතුන හිතුන අතේ රස්තියාදුවේ සහ වනචරකමේ යන පුද්ගලයානේ. මම අද ඔබට එවැනි නවීන අවලමෙකු ගැන කියා දෙනවා. ඒ වගේම මේ කේළමා, අවලමා, මිනීමරුවකු වෙන අවස්ථාත් තියනවා. ඒ ඔක්කොම කරුණු සහිතව අපි කතාකරමු, වර්තමානයේ ලොව කළඹන, නියමුවන් හෝ මිනිසුන් රහිත ගුවන් යානා හෙවත්, UAV හෙවත්, DRONE යානා ගැන. කැමතියි නේද?

  මේ දිනවල වරින්වර අසන්නට දකින්නට ලැබෙනවා මේ drone යානා මගින් ඇමරිකානු හමුදාව විසින් මැදපෙරදිග කළාපයේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවලදී ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව. අනාගත ලෝකය බොහෝවිට රෝබෝ යන්ත්‍ර මගින් යුද වදින තත්වයකට පත්වීමට හොඳටම ඉඩ තිබෙන බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. මිනිසුන් රහිත ගුවන් යානා සම්බන්ධ මේ ලිපිය ලිවීම සඳහා මා අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සෙවීම ආරම්භ කළේ දැනට මාස කීපයකට උඩදීයි.  එහිදී මා විශ්මයට පත්කළ තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් දැනගන්නට හැකිවුනා. මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ. ඇත්තටම මෙය ගැඹුරු විෂයයක් වන අතර සමහර ලිපිවල අඩංගු යම් යම් රහසිගත කරුණු මා මෙහි ඇතුළත් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.   

  UAV කියන යෙදුමේ තේරුම නම් ඔබ බොහෝ දෙනෙක් දන්නා බවට සැකයක් නැහැ. නොදන්නා අයත් ඇතිනේ.  UAV කියන කෙටි යෙදුමෙන් කියන්නේ Unmanned Aerial Vehicle කියන එකයි. එයින්ම පැහැදිළි වෙනවානේ, මේ යානය මිනිසුන් රහිත එකක් බව. එතකොට DRONE කියන්නේ මොකක්ද? ඔබ දන්නවානේ මීමැසි සමූහයක විවිධ මී මැස්සන් සිටින බව. රජ මැස්සිය, වැඩකාර මී මැස්සෝ, පැණි හොයන මැස්සෝ, ආදී වශයෙන්. ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ.  😀 උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉන්නවා. අන්න උන්ට කියනවා Drone කියලා. මේ නම ශබ්ද කළයුත්තේ ‘ඩ්‍රොවුන්’ යන හඬට ආසන්නවයි. දුරස්ථ පාලක ක්‍රමයකින් ක්‍රියාත්මක වන මිනිසුන් රහිත ගුවන්යානය කියන තේරුම සඳහා තමයි අද Drone යන වචනය බහුලව යොදාගන්නේ. ඒ කියන්නේ, එක් පාලන මධ්‍යස්ථානයකින් දෙන සංඥා ඔස්සේ, කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ගමන්කරණ යානය යන අදහසින්. හරියටම අර මීමැස්සා වගේ. මුල් කාලයේදී මේ යානා, RPV’s = Remotely Piloted Vehicles, RPA = Remotely Piloted Aircraft  යන නම් වලින්ද හඳුන්වා තිබෙනවා.

   image සෑම දේකටම ඉතිහාසයක් තියනවනේ. අපි බලමු මේ යානාවල ඉතිහාසය මොන වගේද කියලා. ගුවන් යානා නිපදවීම පිලිබඳ දැනුම දියුණු වීමෙන් අනතුරුව, මිනිසා ඉටුකරගැනීමට උත්සාහ කළ ඊළඟ අරමුණක් වුයේ මිනිසුන් රහිත ගුවන් යානා නිපදවීමයි. මේ සඳහා දරන ලද මුල්ම උත්සාහයන් දකින්නට ලැබෙන්නේ, 17 වැනි ශතවර්ෂයේදී පමණ යයි කිව්වොත් ඔබ පුදුමයට පත්වන්නටත් පුළුවන්. ඇත්තෙන්ම ඒවා නියමුවන් රහිත ගුවන්යානා කියන්නට බැහැ. නමුත් මිනිසුන් රහිතව, යුද කටයුතු සඳහා, ගුවනින් බෝම්බ දැමීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ සිද්ධිය මෙන්න මේකයි. 1849 දී ඔස්ට්‍රියාව විසින් ඉතාලියේ වෙනිස් නගරයට ප්‍රහාරයක් එල්ල කරලා තියනවා බැලූන් වල එල්ලන ලද බෝම්බ මගින්. ඉතින් ඒවා ගුවන් යානා නොවුනත්, මිනිසුන් රහිතව බෝම්බ ගුවනින් යැවීමක්නේ. බැලූන් කිව්වට ඒවා එකක විෂ්කම්බය අඩි 23 ක් විතර වෙලා තියනවා. මේවා පාවිච්චි කරලා තියෙන්නේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට අපහසු, කඳු වලින් වටවූ ප්‍රදේශ සහ, කළපු වැනි ප්‍රදේශ වලට බෝම්බ දැමීමටයි. (පින්තූරය ගත්තේ මෙතනින්)

  ඉන් අනතුරුව 19 වැනි සියවසේදී තමයි ගුවන් යානය නමැති සංකල්පයට අනුකූලවූ මිනිසුන් රහිත යානා නිපදවීම ආරම්භ වුනේ. විශේෂයෙන් පළමුවැනි ලෝක යුද්ධයෙන් පසුව එවැනි යානාවල අවශ්‍යතාව දැනෙන්නට පටන්ගත් නිසා ඒ ඔස්සේ විවිධ පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1916 දී පමණ ඒ කියන්නේ පළමුවැනි ලෝක සංග්‍රාමය ආරම්භක යුගයේදී එංගලන්තයේ නිපදවුනා ‘ඒරියල් ටාගට්’ නමින් දුරස්ථ පාලන ක්‍රමයකින් බෝම්බයක් යැවීමේ උපක්‍රමයක්. එය වැඩි දියුණු කළ අවස්තාවක් ලෙස සඳහන් කළහැකි වන්නේ පසුව නිපදවන ලද ‘ඒරියල් ටෝර්පිඩෝ’ නමැති උපක්‍රමය සාර්ථක වීමත් සමගයි. හැබැයි මේ කිසිවක්, අද තිබෙන UAV කියන වර්ගීකරණයට ඇතුළත් කරන්න අමාරුයි. ඒවා වඩාත් සමීප වුයේ ‘මිසයිල්’ සංකල්පයටයි. ඒරියල් ටොර්පිඩෝව ගුවන්විදුලි තරංග මගින් පාලනය කෙරුණත්, මුලින්ම ගුවනට නැංවීම සඳහා ගුවන් යානයක ආධාරය අවශ්‍ය වුනා. 1920 – 1940 කාලය තුළ ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර රහසිගත තරගයක් ඇතිවුනා, නියමුවන් රහිත ගුවන්යානා නිපදවීම පිළිබඳව. විවිධ අත්හදා බැලීම් රාශියක් තුළින් මේ රටවල් දෙකම ඒ පිළිබඳ සෑහෙන සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.

  MarilynMonroe_-_YankArmyWeeklyදෙවැනි ලෝක යුද සමයත් සමග මේ තරගයේ උච්ඡතම අවස්ථාවක් ඇතිවුණා. 1940 පමණ වනවිට බ්‍රිතාන්‍යය මේ තරගයේ පෙරමුණ ගත්තා. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ තිබුණු Radio plane Company නමැති ආයතනය විවිධ මාදිලියේ දුරස්ථ පාලක කුඩා යානා අත්හදා බැලුවා. මේ කාලයේ තවත් වැදගත් සිදුවීමක් වුනා. අර සමාගමේ වැඩ කටයුතු ගැන වාර්තාවක් සකසන්නට පැමිණි යුද හමුදා ඡායාරූප ශිල්පියකු දුටුවා, ඒ සමාගමේ වැඩ කරන එක්තරා රූමත් තරුණියක්. ඇය දුටු පමණින් මේ ඡායාරූප ශිල්පියාට අවබෝධවුණා, නිරූපිකාවක් වශයෙන් ඇයට ඉතා දිගු ගමනක් ගියහැකි බව. ඇගේ නම නෝමා ජීන් – Norma Jeane ඔබ අහලා තියනවාද එහෙම නමක්? මමත් අහලා නැහැ. එහෙනං මොන…… 😀 ………..ද කිව්වේ? පොඩ්ඩක් ඉන්න. ඉතින් මේ ඡායාරූප ශිල්පියාගේ මේ නවතම සොයාගැනීම, පසු කාලයේ ලොව හෙල්ලූ, එමෙන්ම ලොව කම්පනයට පත්කරමින් අකල් මරණයකට ගොදුරුවූ, අග්‍රගණ්‍ය සිනමා නිළියකගේ/නිරූපිකාවකගේ/ගායිකාවකගේ/කාම ධේනුවකගේ  පහළවීම බවට පත්වුණා. ඇය තම නම වෙනස් කරගනිමින් තමයි සිනමාවට එක්වුණේ. ඇය තමයි මැරිලින් මොන්රෝ Marilyn Monroe.(පින්තුරය ගත්තේ මෙතනින්)

   1950 – 1970 කාලය තුළ නියමුවන් රහිත ගුවන් යානා නිපදවීමේ තරගය බොහොම සීඝ්‍රයෙන් සිදුවුණා. රුසියාවත් මේ වැඩේට ‘හොට දැම්මා’ 😀 මේ කාලයේදී ඇමරිකාව වැඩිදියුණු කළ ඒරියල් ටෝර්පිඩෝ වර්ගයේ යානයක් ගැන විස්තර පහත දක්වනවා. 1930 දශකයේදී ජෙට් එන්ජිම සොයාගැනීමත් මෙවැනි යානා නිපදවීමට රුකුළක් වුණා. ඒ පහසුකම ආධාර කරගනිමින් 1960 දශකයේදී නිපදවන ලද, එමෙන්ම පල්ස් ජෙට් – Pulse Jet  ක්‍රමය මගින් ක්‍රියාත්මකවන, දුරස්ථ පාලක ඒරියල් ටාගට් යානයක් ලෙස, මෙය හැඳින්විය හැකියි. BQM-74 Chukar III යනුවෙන් තමයි මේ යානය හැඳින්වුයේ. මේ යානය අද තිබෙන යානා සමග සසඳා බැලීමේදී ඉතා ප්‍රාථමික මට්ටමේ යානය. නමුත් ඒ කාලයේදී මෙය මාරක, අති භයානය යානයක් ලෙසයි සැළකුණේ.

Twuav021

space 2800px-BQM-74E_launch

space 2

800px-MQM-74C_Chukar_II_floating

space 2

BQM-74E_Diagram

ඉහත පින්තූර ගත්තේ මෙතනින්

  1950 දශකයේ අග භාගයේ සිට 1960 දශකයේ මැද භාගය වනවිට ඇමරිකා එක්සත් ජනපදය විවිධ වර්ගවල දුරස්ථ පාලක යානා මෝස්‌තර කීපයක් සාර්ථකව අත්හදා බලා තිබුණා. එමෙන්ම සාමාන්‍ය යුද ගුවන් යානා වලට ගුවන්විදුලි දුරස්ථපාලක ක්‍රම සවිකර ඉතා සාර්ථකව ගුවන්ගතකරනු ලැබුවා. දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකාව නියමුවන් රහිත ගුවන් යානා තරගයේ මුල්තැන ගෙන තිබුණා. ඉන්පසු ඇමරිකාව බහුළ ලෙස නියමුවන් රහිත ගුවන්යානා යොදවාගත්තේ වියට්නාම් යුද්ධයේදී. මේ සඳහා ඇමරිකාව යොදාගත්තේ ඉතා කුඩා ගුවන් යානා විශේෂයක් වන අතර, ඒවා යොදාගත්තෙත් ඔත්තු බලන යානා වශයෙන්. එමෙන්ම ඒවා ගුවන්ගත කළේ හර්කියුලිස් ප්‍රවාහන යානා  වල තටු දෙකේ එල්ලා යවා ඉහළ අහසේදී මුදා හැරීමෙන්. නියමිත කාර්යයයෙන් පසුව පැරෂූට් මගින් පොළොවට පහත්වන මේ යානා, හෙලිකොප්ටර් යවා සොයා බලා ‘ඇහිඳගෙන’ ආවා. 😀 මේ ක්‍රමය එතරම් සාර්ථක නොවුනේ, වියට්නාම් හමුදාව එයින් බොහොමයකට ‘වැඩේ දුන්න’ 😀 නිසයි.

  ඇත්ත වශයෙන්ම නියමුවන් රහිත ගුවන්යානා නිපදවීමේ පෙරළියක් ඇතිවුනේ 1970 දශකයෙන් පසුවයි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය අබිභවා යන්නට වෙනත් කිසිම රටක් සමත්වුනේ නැහැ. ඉතා වෙහෙසකර, දීර්ඝ පර්යේෂණ රාශියකින් පසු නිපදවන ලද, මුල්ම, සාර්ථක, නියමුවත් රහිත, තොරතුරු සෙවීමේ යානය වුනේ, 2001 වර්යේදී නිපදවන ලද, එහෙත් නිළ වශයෙන් 2007 දී එළිදැක්වූ,  MQ-9 Reaper නමැති යානයයි.  මේ යානය යොදාගත්තේ වෙරළාරක්‍ෂක කටයුතු සහ ස්වභාවික විපත් වලදී තොරතුරු සොයාබැලීම පිණිසයි.

MQ-9-Reaper

MQ-9_Reaper_CBP

 

පින්තූරය ගත්තේ මෙතනින්

මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. නියමුවන් රහිත යානා ගැන තවත් විස්තර ඊළඟ කොටසෙන් ඉදිරිපත් කරනවා. මා දන්නවා ඔබට ප්‍රශ්න රාශියක් ඇති මගෙන් අහන්න. සමහරක් ප්‍රශ්න වලට ඊළඟ කොටසේදී පිළිතුරු ලැබෙයි. මෙවැනි ලිපියක් සැකසීම තරමක් වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා කාලය ලබාගෙන ඊළඟ කොටස ගෙන එන්නම්.

My Signature for Blog2013 අගෝස්තු මස 16 වැනි දින 2322 පැය

Advertisements

Comments on: "කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා (පළමුවැනි කොටස) – The Drone (Part One)" (82)

  1. මේ මාතෘකාව ගැන සෑහෙන “පිස්සුවක්” ඇති කෙනෙක් විදියට මමත් මේ ගැන ප්‍රාථමික මට්ටමක තොරතුරු හොයල තියෙනවා.. නමුත් ඔබ අතරම අධ්‍යයනයක් කරන්න ලැබිලා නෑ.. ඒ වගේම මේ වගේ ලිපියක් ලියන්න මොන තරම් කාලයක් ශ්‍රමයක් වෙහෙසක් ගන්න ඇද්ද කියලා හිතා ගන්නත් මට අමාරු නෑ. ඒ නිසා ලිපිය ඉහළින්ම රස වින්ද බවත්, ඒක ලියන්න වැයකරපු ඔබේ මහන්සිය පොඩ්ඩක් වත් අපතේ නොගිය බවත් කියන්න කැමතියි…

    මේ වගේ ලිපි ලියද්දි පොඩි “වෝටර්මාක්” එකක් දමන්න.. නැත්නම් රචකයාගේ නමවත් නොකියා මෙව්වා උස්සං යන්නේ රෑට කුඩ්ඩො කෙසෙල්කන් උස්සනවා වගේ… 😀

    • ඇත්තටම මෙවැනි ලිපි ලිවීම තරමක් වෙහෙසකර තමයි. නමුත් කියවන්නන්ගේ දැනුමට යමක් එකතු කිරීමට දරන මහන්සිය අපතේ ගියේ නැහැ කියලා හිතෙන්නේ ඔබ වැනි අයගේ අදහස් දැක්වීම් සහ ඇගයීම් දැක්කමයි. බොහොම ස්තුතියි.

      අර ‘බ්ලොග් කුඩ්ඩෝ’ මගේ ලිපි කොහොම ඉස්සුවත්, කවුරු හරි මට ඒ බව දන්වනවා වගේම, ඒ කුඩ්ඩන්ට මදි නොකියන්න දෙනවා. ඒ නිසා උන්ගේ නිරුවත එලියට එනවා.

  2. Drone යානය ගැන කරලා තියෙන විස්තරය වගේම හිතට වැදුනා අර සිංහල භාෂාව ගැන ලියලා තිබුණු හරිය. සම්පූර්ණ ඇත්ත කියලා තියෙන්නේ. ඒ ගැන නම් හරිම කණගාටුයි. භාෂාවක් ඉගෙන ගන්ට ඕනි ඒකට ආදරෙන්, ඒ ගැන දැනගන්ට මිසක් බෙහෙත් බොනවා වගේ ඒ විෂය සමත් වෙන්ට නෙමේ.

    දැන් ඔන්න පැණි හලන කොල්ලන්ට හොඳ නමක් තියෙනවා… 😀

    • කොහොමද පොඩ්ඩි අලුත් ජීවිතේ. මටනම් හරිම සතුටුයි ඔබ ගැන.

      භාෂාව ගැන මේ තරම් අවාසනාවන්ත තත්වයක් තිබෙන්නේ සිංහලයට විතරද කියා හිතෙනවා වෙලාවකට.

  3. මැරලින් මොන්‍රෝ මියගිය පසු එලටන් ජෝන් ගායනා කරනවා ගීයක් “ගුඩ් බයි නෝමා ජීන්” කියලා, ඒ ගීයමයි ඩයනා මියගිය වෙලේ පල්ලියේ ගායනා කලේ නෝමා ජීන් කියන කෑල්ල විතරක් වෙනස් කරලා…

  4. හප්පේ.. මේවා ගැන මටත් පොඩි පිස්සුවක් තියෙනවා… ඇමරිකන් ෆිල්ම් බලලම… හි හි… ඒ උනාට මට වැඩිය හිතට ඇල්ලුවේ අර සිංහල ගැන ලියලා තියෙන ටික… ඒ ටික වෙනම කතාවකට ගන්න පුළුවන් මාතෘකාවක්….

    කතාව අස්සේ තියෙන අතුරු කතාවත් මරු… හි හි

    • අපි කාටත් යම් යම් විෂයයන් ගැන පිස්සු තියනවා. එක මනුෂ්‍ය ස්වාභාවයනේ. සමහර පිස්සු අපට හැදෙන්නේ චිත්‍රපටි වලින් තමයි. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  5. දැන් තියන අළුත් එව්වායේ සද්ධ බද්දත් අඩුද . නැ මං කියන්නේ . සතුරගේ ඔලුවට උඩින් යනකොට සතුරට ඇහෙනවද .

    • තමුන්නැහේ මේ කමෙන්ට් එක හෙමීට ගෙනිහින් ස්පෑම් ගොඩේ හැංගුවානේ? අහම්බෙන් දැකලා එලියට ඇදගත්තේ.

      සාමාන්‍යයෙන් මේ යානාවල ශබ්දයක් තියනවා. විදුලි මෝටර් වලින් යන ඒවානම් ශබ්දය අඩුයි. ඉන්දන වලින් ක්‍රියා කරනවානම් ශබ්දය වැඩියි. සතුරාගේ කනට නොඇහී යන්නනම් අමාරුයි.

  6. //ඉතින් මේ ඡායාරූප ශිල්පියාගේ මේ නවතම සොයාගැනීම, පසු කාලයේ ලොව හෙල්ලූ, එමෙන්ම ලොව කම්පනයට පත්කරමින් අකල් මරණයකට ගොදුරුවූ, අග්‍රගණ්‍ය සිනමා නිළියකගේ/නිරූපිකාවකගේ/ගායිකාවකගේ/කාම ධේනුවකගේ පහළවීම බවට පත්වුණා.//

    ඔන්න බලන්න ඡායාරුප ශිල්පින් ගේ වැඩ. 🙂

    ඡායාරුප ශිල්පයට අමතරව මගේ අනිකුත් විනෝදාංශය තමයි රේඩියෝ කොන්ට්‍රෝල් ප්ලේන් යැවීම. 🙂 පසුගිය යුධ සමයේ මෙයට ඇති ප්‍රබල පහරක් එල්ල වෙලා තිබුනා. ඒ කාලේ අපිට සිදුවුනා විශේෂ අවසරයන් රැගෙන් පාලාවි ගුවන් හමුදා කඳවුරේ රනවේ එක මේ වැඩේට යොදාගන්න. දැන්නම් ඒ සිමාවන් නැහැ.

    මගේ සිහිනය වුනේ පයිලට් කෙනෙක් වෙන්න. නමුත් සිහින ඔක්කොම සැබෑ වෙන්නේ නැහැනේ, ඉතින් මට අවසානයේ කොම්පුටර් කාරයෙක් උනත් වැඩේ අත්හැරියේ නැහැ, රේඩියෝ කොන්ට්‍රෝල් ප්ලේන් සහ flight simulator මගින් පයිලට් කෙනෙක් උනා 🙂

    කොතරම් නවීන යානා තිබුනත් මගේ ප්‍රියතම යානය තමයි තටු දෙකේ බයි ප්ලේන් එක. 🙂

    • හරි හරි ඔයා ඡායාරූප ශිල්පියෙක් හැටියට මේ වගේ ‘සොයාගැනීම්’ කීයක් කරලා තියනවද? 😀

      ඔබේ විනෝදාංශය හරිම අගය කලයුතු දෙයක්. දැන් කොහොමද ඕනෑම කෙනෙකුට Radio Control Planes ඕනෑම තැනක සිට යවන්න පුලුවන්ද? සමහර නීති බොරු විකාර.

      බයි ප්ලේන් නේද අදත් අර රෙඩ්බුල් වගේ ගුවන් කරනම් වලටත් පාවිච්චි කරන්නේ?

      • ඔව් දැන්නම් ඕනෑම තැනක් ඉඳන් Radio Control Planes යවන්න හැකියාව තියෙනවා. පාර්ලිමේන්තුව සහ හමුදා කඳවුරු ආසන්නයේදී කොහොමද දන්නේ නැහැ.

        ඒ කාලයේ සමහර දවස්වලට ගෝල්ෆේස් එකේ සරුංගල් අරින්නත් කරදර තිබුනා. දවසක් මම පුතාලා දෙන්න එක්ක සරුංගලයක් යවනකොට එක ගියේ ගෝල්ෆේස් එක ඉස්සරහ තියෙන ආමි කැම්ප් එක පැත්තට. ඒ වෙලේ සෙබලෙක් ඇවිත් කිවා “වහාම සරුංගලය බාන්න” කියලා. මම ඇහුවා “මොකටද” කියලා එතකොට මෙයා කියනවා “ඔයාගේ සරුන්ගලයේ නුල තියෙන්නේ අපේ කෑම්ප් එකට උඩින්” කියලා, අනේ අනිච්චං….

        ඔව් ඔව් රෙඩ්බුල් වල බොහෝ වුට යොදාගන්නේ බයි ප්ලේන් තමයි.

  7. දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා…හොඳ ලිපියක්

  8. සින්හල භාශවෙ විනසයට ප්‍රධාන හේතුවක් ලෙස මමනම් දකින්නෙ අපේ තියෙන යටත් විජිත මානසිකත්වය. අපි තවම හිතන්නෙ අපේ දේ හොදනෑ සුද්දගෙ දේ හොදයි කියලනෙ. පාසලේ උගනනෙත් එහෙමනෙ

  9. ඉතා හොඳ උත්සාහයක් විචාරක තුමා,
    ඔබ අර සිංහල භාෂාව ගැන කියා තියෙන ටිකට නම් තෑග්ගක් දෙන්න වටිනවා…මන්ද දැන් බිහිවෙලා ඉන්න පරපුර කොහොම හරි ලියන අය නිසා…ඔවුන්ට භාෂාවෙ කිසිම නීතියක් රීතියක් ඕනැ නෑ…හැරුනු අතේ ලියනවා එහෙම කීප දෙනෙක්ම මා දැක තියනවා ඔවුන් ආඩම්බරයෙන් කියන්නෙ ව්‍යාකරණ රකින්නෙ කොහොමද ව්‍යාකරණ කියන්නෙ මොනවද කියලවත් මම නොදන්නකොට කියල.

    • ස්තුතියි ඔබේ පැමිණීම සහ අදහස් දැක්වීම ගැන, භාෂාව ගැන මීටවඩා පුළුල්ව ලිපියක් ලියන්න මම හිතාගෙන ඉන්නවා. 100 ක් කියවලා දෙන්නෙක්වත් තේරුම් ගන්නේ නැතෑ.

      • //මව් භාෂාව යනු තම මව හා සම්පූර්ණයෙන් සමාන වස්තුවකි//
        බොහෝ කල්පනා කරන්න වැකියක් ස්තුතියි .උඩහින් කියා ඇති සිංහල ලිපිය එන තුරු බලා සිටිමි.

  10. වැඩේ කියන්නේ ඩෝ මම අහල තියෙනවා යකෝ නෝමා ගැන.. හැක්..

    මේ වගේ ඒවා ලියන එක පට්ටම වෙහෙසකර වැඩක් නේද? අපි වෙනුවෙන් ලියන ඒවා ගැන උම්මා එකක් දෙන්න වටිනවා.. සෑහෙන්න දෙයක් දැනගත්තා. අපිට දෙයියට කියලවත් මෙච්චර හරියක් ගැටගහගන්න බැ.. ස්තුතියි විචාරක.. (මගේ බ්ලොග් කටුවේ බ්ලොග් රෝලේ ඉන්නවා මේ වගේම ඒවා ලියන “නාකි විසේ“ කියල එකෙක්)

  11. Web.පුරවැසියා said:

    ඉස්සරනම් නිදහස් පුස්තකාල කියලා දෙයක් තිබුනා. දැන් එවත් නැ වගේ.

  12. විශ්ව රංගනාත් said:

    ඔබ සිංහල ගැන කියපු කතාව නම් ඇත්ත. මම නම් පාසල් සමයේ සිංහල විෂයට කැමති නැහැ. මට කොහොමත් භාෂා අධ්‍යනය දිරවන්නේ නැහැ. සාහිත්‍ය කියලා පොතක් දීම විහිළුවක් වගේ ඒ කලේ දවසට පොත් 2 ක් විතර කියවන මට. නමුත් දැන් මොනවා හරි ලියන්න ගත්තම දුක හිතෙනවා වයාකරණ නොදැනීම ගැන.
    බොහෝ තාක්ෂණික වචන සඳහා පාරිභාෂික වචන නොමැතිකම සහ තියෙන පාරිභාෂික වචන විහිළුසහගත මෙන්ම හරියට නොගැලපීම නිසා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න අපට තාක්ෂණික ලිපියක් 100% සිංහලෙන් ලිවීම මෙන්ම බාවිතය අමාරු දෙයක්. උදාහරණයකට ඔබට පරිගණක උපාංග අලවිසලකට ගොස් මූසිකයක් ඉලිලන්න පුලුවන්ද?

    UAV ගැන නම් ඉස්සර ගොඩක් කරුණු හොයලා තියෙනවා. කාලයක් model air plane ගැන පිස්සුවක් තිබුනා ඒ දවස්වල ගොඩක් කරුණු ඔය ගැන ඉගෙන ගත්තා. සමහර කරුණු කලින් දැනගෙන සිටියත් ඔබ සිංහලෙන් ලියපු මේ ලිපිය රසවත්.

    • ඇත්තටම එක අතකට වර්තමාන තරුණ පරපුර භාෂාව පිළිබඳව අනාතවීමක ඉන්නේ. අපි හිතන්නේ තවම ගුත්තිල කාව්‍යයෙන්, සැළලිහිණි සංදේශයෙන් පමණක් සාහිත්‍යය ඉගැන්විය යුතුයි කියන අමන සිතුවිල්ලක. වික්ටර් රත්නායකගේ, නිරංජලා සරෝජිනීගේ ගීතයක තියනවා සාහිත්‍යය උගන්නන්න ඕනේ තරම් කරුණු. ඒවා මතක තියාගන්නත් ලේසියි. අපේ කුඩා කාලයට වඩා අද පරපුර මුහුණදෙන අභියෝග වැඩියි. ඒවා ජාත්‍යන්තර තලයේ අභියෝග. ඒ නිසා භාෂාව ඉගැන්වීමේ උපක්‍රම ඉතා දියුණු මට්ටමකට ගෙන ආ යුතුයි. වෙනත් බසකින් කියවෙන නාම පදයකට, ‘එක්’ ‘අකු’ වැනි ප්‍රත්‍ය යොදා භාවිත කිරීමේ වරදක් නැහැ. කාර් එක, කේක් එක, කියනවා වගේ මවුස් එක කීමේ වරදක් නැහැ. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  13. නිර්නාමික said:

    අපේ රටේ මේ drone යානා මුලින්ම යොදාගත්තේ 1997 පමණ නේද?.මේ යානා වලින් ඉතා සියුම් හඬක් නිකුත් වෙනවා.විමසිල්ලෙන් බැලුවොත් දකින්නත් පුළුවන්.මේ යානාවකින් ලබාගත් මාන්කුලම් නගරයේ සජීවී දර්ශන මාහට දකින්න ලැබුනා.මාර්ගයේ තැනින් තැන සිටින කොටි සාමාජිකයන්ට ආහාර වැනි දෙයක් බෙදාදෙමින් යන කොළපැහැති ට්‍රැක්ටරයක් දුටුවා.ඒ අතරේ කිලිනොච්චිය දෙසින් එන නිල්පැහැති ජීප් රථයක් වෙත සියලු දෙනාගේ අවදානය යොමුවුනා,ඉන් පසු drone යානය අදාළ ජීප් රථය පසුපස ලුහුබඳිනු ලැබූ අතර එය ප්‍රධාන මාවතින් ඉවත්ව අතුරු මාවතක ගොස් කොටි කඳවුරක් යයි සිතිය හැකි තැනකට යන බව දුටුවා.ගස් වලින් සම්පුර්ණයෙන්ම ආවරණය වී තිබු නිසා එම ස්ථානය කවර තැනක් දැයි සිතාගැනීම අපහසුවුනා.උසස් හමුදා නිලදාරියෙක් එම ස්ථානය සිතියමක ලකුණු කරගන්නා අයුරු දුටුවා.

  14. අනෙක් ඕනෑම භාෂාවක තියෙන වචන ශබ්ද කරන ආකාරය සිංහලෙන් ලියන්න පුළුවන් හැකියාවක් තියෙනව. ගොඩක් භාෂාවල ඒ හැකියාව නෑ. දෙමළෙන් ප්‍රසන්න කියල ලියනකොට ඒක පරසන්න වෙනව. 😀

    ලිපියනං ඉතාම වැදගත් ව‍ගේම ගොඩක් කරුණු දැනගන්න පුලුවං උනා.

    • අපේ භාෂාවේ තියන එක වටිනාකමක් ඔබ සඳහන් කර තියනවා. එවැනි වටිනාකම් නොගිනිය හැකි ප්‍රමාණයක් තිබෙනවා.

      ස්තුතියි ලිපිය ඇගයීම ගැන.

  15. සෑහෙන්න උත්සාහයක් ගන්නවා භාෂාව වරද්දන්නේ නැතුව භාවිතා කරන්න.ඒත් අප්‍රමාණ වැරදි ඇති.දැක්කොත් කියලා දෙන්න.

    • වැරදි මගෙත් තියනවා. හැකිතරම් අඩුකරගැනීම තමයි වැදගත්. හැබැයි දැන දැනම වැරදි කිරීම සහ ඔන්න ඔහේ ඕනෑ එකක් මට මොකද යන ප්‍රතිපත්තියනම් අනුමත කල නොහැකියි. ස්තුතියි ඔබට.

  16. මොනවා වුනත් මේ සිංහල බ්ලොග් වලින් නම් සිංහල බසට වෙන්නේ ලොකු සේවයක්!

  17. මංගලගෙ මුණ තියෙන drone යාත්‍රාව ගැන දැන ගන්නමයි හිටියෙ.
    යුද්දෙ කාලෙ වගේම පැන්ෂන් ගිහිල්ලවත් ඔබ තුමා ඇතුළු ඔබවැනි රියල් රණ විරුවාණන්ගේ ලේ කළු නොකර රටේ ජිවත් වන්නට පසුතලයක් නොමැතිවීම ගැන මට පුදුම කනගාටුවක් ඇතිවන්නෙ.
    ඔබගෙ දැනුම අප සමග බෙදාගෙන එක පවුලෙ එවුන් වගේ හිටියත්,ජීවත්වීම ගැන කලකිරිල,තව ජිවිත ගානක් අනාථ කරල මෙලොව හැර ගිය ජිවිත කොපමණද සර් …..කියල තමයි අහන්න වෙන්නෙ.

    • මංගලගෙ මූණ? 😀 😀 😀 ඇත්තටම ඌට නම් තියෙන්නේ දැකපු ගමන් හොම්බට අනින්න හිතෙන මූණක්.

      අපි තවම අඳුරේ අතපත ගානවා කියලයි මටනම් හිතෙන්නේ. රණවිරුවන්ට ලැබිය යුත්තේ දේවත්වය නෙවෙයි. අති විශේෂ ගෞරව නෙවෙයි. හඳුනාගැනීම පමණයි.

      අපි කවදා හෝ යථාර්ථය තේරුම්ගන්නේ මේ රට තවත් ඉරාකයක්, ඇෆ්ඝනිස්තානයක්, පාකිස්ථානයක්, සිරියාවක්, ඊජිප්තුවක්, පලස්තීනයක්, වුන දවසටද කියලා මට වෙලාවකට හිතෙනවා.

  18. “මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ.” අම්මෝ වෙන මහන්සියක්.. පින් සිද්ධ වෙච්චාවෙ.. වැඩි වැඩියෙන් ලැබිච්චාවෙ..


    එමෙන්ම ලොව කම්පනයට පත්කරමින් අකල් මරණයකට ගොදුරුවූ, අග්‍රගණ්‍ය සිනමා නිළියකගේ/නිරූපිකාවකගේ/ගායිකාවකගේ/කාම ධේනුවකගේ පහළවීම බවට පත්වුණා. ඇය තම නම වෙනස් කරගනිමින් තමයි සිනමාවට එක්වුණේ. ඇය තමයි මැරිලින් මොන්රෝ ” කෝ මෙච්චරද? ..

    ඊළඟ කොටසත් එනකම් බලන් ඉන්නවා..

    • ඔව් සමහර ලිපි ප්‍රින්ට් කරගෙන කියවලා සටහන් හදාගෙන තමයි ලියන්නේ. සමහර පින්තූර දවස් ගණනක් හොයලා හිතට අල්ලන මගේ අදහසට ගැලපෙන එක තෝරාගන්නේ.

      මැරිලින් මොන්රෝ ගැන එතන තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.

      ඊළඟ කොටස හදන්න මේ කොටසටත් වඩා මහන්සි වෙන්න සිදුවෙනවා.

  19. මොනව උනත් දාපු නම නම් චා නේද, කේළමා ! 😀

    දවල් කියෙව්වට දැන් තමා කමෙන්ට් එකක් දාන්න ලැබුනෙ. ඉතිරි ලිපිත් බලලම ඉඳිමුනේ.

  20. b2 stealth bomber කියන්නෙත් කේලමා වගේ යානාවක්ද සර් ?
    මම අහල තියනවා drone යානා 25 කින් කරන කාර්යය b2 stealth bomber යානාවකින් කරලා දෙනවා කියලා

  21. මගෙත් ලොකු ආශාවක් තිබ්බ ගුවන් නියමුවෙක් වෙන්න. මගේ බලා පොරොත්තු ලේඛනයේ 2 තිබ්බ එක. හැබැයි. අන්තිමට බලා පොරොත්තු ලේඛනයේ අංක 1 හරි ගිය නිසා ඒක බාර ගත්ත. බොහෝම හොඳ ලිපියක්. මගෙ කොහොමත් ඔය වගේ තාක්ෂනික දේ වලට කුඩා කල පටං මනාපයි. HAWX 1 හා 2 කියල සිමුලේටර් පරිඝනක ක්‍රිඩාවක් මම ක්‍රිඩා කලා. එම ක්‍රිඩාවෙ නම් ලෙසටම ඔය වගේ නවීන ගුවන් යානා හසුරවන්න තිනෙව. ඊලඟ ලිපිය එනකන් මග බලා සිටිමි. ඔබට ජය!

  22. ස්තුතියි ලිපියට..

    මට පොඩි දෙයක් මතක් වුනා මේ කරුණු වලට අමතරව. උකුස්සො වගෙ සතුන් යොදා ගන්නව ද ඔත්තු බැලීම සඳහා ?

    • අතීතයේදී පක්ෂීන් යොදාගත්තේ පණිවිඩ හුවමාරු කරන්න. මැද පෙරදිග සමහර රටවල මෑතක් වනතුරුම එවැනි පුහුණු කල උකුස්සන් වැනි පක්ෂීන් යොදාගත්තා පණිවිඩ හුවමාරුවට. ඔත්තු බලීමටනම් යොදාගන්න අමාරුයි. නමුත් අනාගතේදී පක්ෂියකු වගේ පෙනෙන කුඩා නිරීක්ෂණ ගුවන්යානා හදන්න ඉඩ තියනවා.

    • //ඇමරිකන් කට්ටිය සමනලයෝ යි කුරුමිනියෝයි හදනවා ..// මේකට සමාන දෙයක් මං කියෙව්වා සඟරාවක.
      ඒකෙ තිබුනෙ, සමනලයින් මී මැස්සන් වගෙ සත්න්ගෙ කීට අවස්ථාවෙදි උන්ගෙ සිරුරෙ ක්ෂුද්‍ර පරිපථයක් රඳවල උන් සුහුඹුලන් වුනාට පස්සෙ දුරස්ථව පාලනය කරන විදිහක් ගැන. ඒක නම් පරීක්ෂණ මට්ටමේ තියන දෙයක් ද, නැත්නම් සංකල්පයක් විතරක් ද කියන එක ගැන මතකයක් නෑ.

      • ඇත්තටම අනාගතේදී අපිට හීනෙන්වත් හිතන්න බැරි එවැනි නිර්මාණ බිහිවෙයි. නමුත් ඒවා අයහපත් පරමාර්ථ සඳහා යොදාගත්තොත් මිනිස් වර්ගයාගේ විනාශයත් ඒ සමගම සිදුවනු නොඅනුමානයි.

  23. අංකල් සෑම් මෙවුව දාගෙන පකිස්තානෙ සිවිල් වැසියො මරන ගමං අපෙ පෙත්තට ඇඟිල්ල දික් කරං ඉන්න එකනෙ අරුමෙ..

  24. සිංහලෙන් general manager කියන්නේ සාමාන්‍යධිකාරී උනාට මෙහි තේරුම විය යුත්තේ ප්‍රධානාධිකාරී වැනි දෙයක් නේද? general කියන එකේ තේරුම වඩා බහුලව යෙදෙන්නේ “ප්‍රධාන” යන තේරුමෙන් නේද?

    • ඔබ මේ අදහස් දැක්වීම කලේ කුමකට අදාලවයි කරුණාකර කියන්න.

      • හපොයි අන්තිම ටික විතරයි පල වී ඇත්තේ.
        දැන් අලුත්ම කුඩා UAV (Miniature UAV) වලට. ඒ වගේම සතුන්ව පාලනය කර මේ වැඩට යොදා ගැනීමේත් පර්යේෂන සෑහෙන කලක සිට ක්‍රියාත්මකයි.
        http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/1361462/CIA-recruited-cat-to-bug-Russians.html
        http://www.whatsonningbo.com/tech596.html

        සිංහල භාශාව භාවිතය වරද්දවා ගත් තැන් නම් උගතුන් අතරත් තිබෙනවා නේද? උදාහරන ලෙස “ප්‍රසිද්ද නොතාරිස්/ ලේකම්” වගේ ඒවා ( වරක්
        මුනිදාස සෙනරත් යාපා මහත්මයා වගේ මතක. උපහාසයෙන් අසා තිබුනා දැන් අප්‍රසිද්ද ලේකම්ලත් ඉන්නවද කියා ).

        සිංහලෙන් general manager කියන්නේ සාමාන්‍යධිකාරී උනාට මෙහි තේරුම විය යුත්තේ ප්‍රධානාධිකාරී වැනි දෙයක් නේද? general කියන එකේ තේරුම වඩා බහුලව යෙදෙන්නේ “ප්‍රධාන” යන තේරුමෙන් නේද?

        • Drone යානා ගැන ගොඩක් විස්තර ඉදිරියේදී එනවා. ඔබ ලබාදුන් සබැඳියාවන් පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වන අතර, මේ අදහස් කියවන අයගෙන් ඉල්ලනවා ඒ සබැඳියාවන් ඔස්සේ ගොස් දැනුම වර්ධනය කරගන්න ලෙස.

          සිංහල ගැන වෙනම සාකච්ඡා කලයුතුයි කියලයි හිතන්නේ. ප්‍රසිද්ධ වැසිකිලිය කියලත් ඉස්සර් නම් කරලා තිබුනා. ඒ කියන්නේ අප්‍රසිද්ධියේ කැලේට එහෙම යන නිසා වෙන්න ඇති.

          public යන වචනයට ගැලපෙන්නේ පොදු, මහජන, වැනි යෙදුම් . (පොදු සුසාන භූමිය, මහජන ක්‍රීඩාංගනය)

          general manager යන්නට වඩාත්ම සුදුසු මහා කළමනාකාර කියන එක කියලයි මට හිතෙන්නේ. මෙවැනි වැරදි යෙදුම් ඉතා විශාල ප්‍රමාණයක් තියනවා.

          හමුදාවේ ඉන්නවා General Officers කියලා වර්ගයක්. ඒ කියන්නේ Brigadier, Major General, Lieutenant General, General, යන නිළයන්ට අයත් අය. මේ අය හඳුන්වන්න තවමත් ‘ප්‍රධාන නිලධාරීන්’ යන්න යොදනවා මා දැක නැහැ.

  25. ලිපි 35ක් පරිශීලනය කරනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් නොවැ… මුලින්ම ඒ ගැන අපගේ ප්‍රණාමය පිළිගන්න…

    මේ ලඟදි මොරටුව කැම්පස් එකෙන් මේ ජාතියෙ ප්ලේන් එකක් හැදුවා නේද ?

    • කොහොමටත් මේ වගේ ලිපියක් නිකම් හිතුමතේ ලියන්න බැහැනේ සෙන්නා. එහෙම ලියන්න ගියොත් ජෝකරයෙක් වෙනවා විතරයි. මොරටුව විශ්ව විද්‍යාලයෙන් කරුණු හොයාබලන්න හිතාගෙන ඉන්නවා ඊළඟ කොටසට කලින්.

      (අර………අර නැවට මොකද වුනේ)

  26. ඔබේ සටහන මේ විෂය පිළිබඳ සිංහල බසින් කළ විශ්ව කෝෂයක් වගේ . කොයි තරම් ලොකු සේවයක් ද මේ වෙනුවෙන් වෙහෙසීම මගිනුත් ඔබ කරන්නේ. රට වෙනුවෙන් සක්‍රිය රාජකාරියෙන් කළ මෙහෙය ලෙසින්ම මේ දැනුවත් කිරීමේ සත්කාර්යයත් අගය කරන්නට ඕන.

    “ භාෂාවට සමගාමීව සාහිත්‍යය ඉගෙන නොගැනීම නිසා ‘සීනි නැති තේ’ බවට පත් මානසිකත්වයක් ඇතිවීම. ඒ හේතුව නිසාම භාෂාවේ රීතිය, රටාව, පදනම නොදත්, ඕනෑම භාෂා උගුඩුවකු විසින් හදන, සූකර වසුරු හා සමාන අවජාතක වචන, හඳුන් කල්ක මෙන් නළලේ උලා ගැනීම.“ අනේ මේටික අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ වගකිව යුත්තෝ දකිනවා නම් … 🙂

    ස්තුතියි ඔබට …ඔබේ වෙහෙසෙට බොහොම පින් …

    • මේවා වගකිව යුත්තෝ නොදකිනවා නෙවෙයි මහේෂ්, උන් අර උන්ගේ අම්මවත් විකුණගෙන කන ජාතියේ එවුන් නේ. උන්ට මව් භාෂාව කියලා දෙයක් නැහැ.

      ස්තුතියි ඇගයීම පිළිබඳව.

  27. නියම මාතෘකාවක් අල්ලලා තියෙන්නේ ඔය. ඔහොම යමු ඔහොම යමු. ඊලගට ටිකක් දිග එකක් දාන්න

  28. සිංහල කතා කරන අය ඉන්නෙ ලංකාවේ විතරයි. ඒ අයටවත් හරියට තමන්ගේ මව් භාෂාව කතා කරන්න බැහැ.ඒ ගැන නම් දුක හිතෙනවා. අඩුම ගානෙ පුස්තකාලෙකට ගිහින් පොතක් කියවන්න කැමති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි අද කාලේ. භාෂා මරුවෝ නම් ඕන තරම් ඉන්නවා.පඳුරකට ගැහුවොත් 5 ක් 6 ක් විසි වෙනවා.

    දැනට භාවිත වෙන drones පාලනය කරන්නෙ ගුවන් විදුලි තරංග වලින්ද? අපිට ඕවට කිට්ටුවෙන් යන එකක් හදන්න ලොකු වියදමක් යයිද?

    • අපි පළමුවෙන්ම අපේ භාෂාවට ආදරය කලයුතුයි. එය විහිළුවක් විකාරයක් ලෙස නොසැලකිය යුතුයි. ඊලඟට අපේ දරුවන්ටත් ඒ බව කියාදිය යුතුයි. ලෝකේ කිසිම ජාතියක් අපි වගේ මව් භාෂාවට ගරහන්නේ නැතුව ඇති. සිංහල ජාතිය වැටෙන්නෙත් ඒ නිසාදැයි දන්නේ නැහැ.

      Drone යානා සම්පූර්ණයෙන්ම ගුවන්විදුලි තරංග මගින් තමයි පාලනය කරන්නේ. ඒ ගැන ඉදිරි කොටසේදී කියන්නම්. බොහොම සතුටුදායක ආරංචියක් තියනවා. අපේ මොරටුව විශ්ව විද්‍යාලය, කුඩා Drone යානයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. අනාගතය සුබයි ඒ අනුව. ඉදිරි කොටසේ විස්තර තිබෙනවා.

      • දුකින් වුනත් කියන්න ඔනෙ, මම මේ අපේ ලන්කාවේ නිර්මනකරුවන් අවතක්සේරු කරනවනම් නෙමේ ඒත් ඔය වගේ drones ලොකයේ පවතින අනෙක් drones සමග සැසදීමෙදී නිකන්ම නිකම් සෙල්ලම් භාන්ඩ වලට සමාන කල හැකියි .තවද එම මහචාර්යවරයා හ ඔහුගේ සිසුන් නිර්මානය කලැයි කියන මෙම self guided system එක වසර 10,20 කට පෙර නිමවුවක් 😦

        • කොහොමහරි අපිත් මොකක් හරි ආරම්භයක් අරගෙන තිබීම සතුටක්. අදාළ බලධාරීන්ගේ වගකීම තමා එවැනි දේ වැඩි දියුණු කරන්න කටයුතු කිරීම.යුද්ධ කටයුතු සඳහාම නෙවෙයි, කාලගුණ තොරතුරු රැස්කිරීම, සිතියම් සකස් කිරීම, වාහන තදබදය පාලනය, සුනාමි වැනි ස්වභාවික විපත් වලදී තොරතුරු සොයාබැලීම, මිනිසුන් සුනාමි, ගංවතුර, නාය, වැනි විපත්වලින් ගලවාගැනීම සඳහා, එක වරම යා නොහැකි තැන්වල තත්වය සොයාබැලීම, ඒ අතර වැදගත් තැනක් ගන්නවා.

  29. මෙම ලිපිය සකසන එක කෙතරම් වෙහෙසකර එකක්ද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කුමක් හෝ කතාවක් ගොතනවාට වඩා, බොහෝ දෙනෙක් දන්නා කියන, ඒ වගේම අන්තර්ජාලයේ තොරතුරු තිබෙන දෙයක් ගැන ලිවීමේදී කෙතරම ප්‍රවේසම් විය යුතුද? නොදන්නා එහෙත් ඉතාමත් ආශාකරන තොඅරතුරු ටිකක්. දවස් දෙකකදී බැලුවේ. දෙවෙනි එකත් මේ සමගම බලන්න ලැබෙනවා නම් හොඳයි.

  30. //මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ.//

    මේකෙන් පේනවා ඔබ තුමා මේ වෙනුවෙන් කොපමණ වෙහෙසක් ගන්නවා ද කියලා.

    ලංකාවේ යුද්ධෙදිත් කේළමාව යොදා ගත්තා නේද? ඒවා අපිටම අයිති ඒවාද, නැත්නම් කුළී පදනම මත ගත්ත ඒවාද?

    අර එක තැනක කියලා තිබ්බා වගේ ඉස්සරහට මිනිස්සු එක්කෙනෙක් වත් නැති යුද්ධ ඇතිවෙන්න පුළුවන් වගේ. හැබැයි මොන විදිහෙ වත් යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • මම ලියන ලිපි කියවීමෙන් ඔබ සැමගේ දැනුමට යමක් එකතු වෙනවානම් මගේ වෙහෙස එයින්ම දුරු වෙනවා. ස්තුතියි ඇගයීම ගැන.

      මුල්ම කාලේ කෙල්මාලා ආධාර වශයෙන් ඉල්ලාගත්තා, පස්සේ ගෙවන්න ගත්තා. අත්පිට මුදලටත් ගත්තා අපි පෝසත් රටක් නිසා 😀

      යුද්ධයක් ඇති කරන්නෙත් යුද්ධ නොකර ඉන්නෙත් මිනිසුන්ගේ සිතවිලි ක්‍රියාකරන ආකාරය අනුවයි. මනසින් උසස් = ‘මනුස්ස’ කම දියුණුවූ තරමට ගැටුම් අඩුවෙනවා. ඔබ දන්නවද යුද්ධයට අකමැතිම කවුද කියා?……………සොල්දාදුවා.

  31. අර සිංහල ගැන නං කියල තියන ටික හරි. මං දකින විදියට එහෙම වෙන්නේ සමාජය ඉංග්‍රීසියට බය වීම හා සමාජයේ ඉංග්‍රීසි භාෂාවට අමුතු තැනක් දීම කියන කරුණු දෙක මත කියලයි. එහෙම නැත්තං ඔහොම ඕක බදාන ලොක්කෝ වෙන්නේ මොකද වෙන ලෝක භාෂා නෑ කියල යෑ?

    ඒත් අනිත් අතින් මං සන්තෝස වෙනවා මෙහෙම හරි මේ භාෂාව යද්දී සිංහලෙන් ලියන්න කියවන්න උනන්දු වෙන තරුණ පෙළ ගැන. ඔවුන් වෙනුවෙන් අපි තවත් ලියමු. උනන්දු කරවමු.. බැරිකමක් නෑ..

    • ඔව් ඇත්තටම අපිට තවමත් අවස්ථාව තියනවා ඇත්ත පහදා දී මව් භාෂාවට ආදරය කරන ජාතියක් ගොඩනගන්න. සිංහලෙන් හිතන සිංහලෙන් වැඩ කරන පිරිසක් අවශ්‍යයි. ඉංගිරිසියයත් අත්‍යවශ්‍යයි හැබැයි මෙවලමක්, දම්වැලක්, ලෙස පමණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: