විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  වෛද්‍ය රුවන් එම් ජයතුංග, ඔහු විසින් කලකට ඉහතදී ‘සිංහලයා පුවත් අඩවිය’ වෙනුවෙන් ලියන ලද, ‘ප්‍රභාකරන් සාධකය සහමුලින් පරාජය කිරීම’ නමැති ලිපිය, ඊ මේල් මගින්, මා වෙත එවා තිබුණා. එය කියවූ පසු මා හිතුවා, එය ඔබේ අවධානයටත් ලක්කළයුතු බව. මේ සඳහා වෛද්‍ය ජයතුංගගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි, මෙසේ ඔබවෙත මේ ලිපිය ගෙන එන්නේ. මෙහිදී එක් කරුණක් විශේෂයෙන් සඳහන් කලයුතු වෙනවා. මේ ලිපිය ගැන ඔබ දක්වන අදහස් වලට පිළිතුරු දීමට මට හැකියාවක් නැහැ. එයට හේතුව මේ ලිපිය මගේ නිර්මාණයක් නොවීමයි. මටද කලහැක්කේ ඔබ සමග එක්වී අදහස් දැක්වීම පමණයි. කෙසේවෙතත්, මෙය කියවීමට තරම් වටිනාකමක් ඇති ලිපියක් බව නම් පෙනීයනවා. හොඳයි, එහෙනම් මෙතැන්සිට ඒ ලිපිය කියවා බලන්න.

 prabhakaran_ltte_terrorist-300x265ප්‍රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය පරාජය කිරීම ශ්‍රී ලංකාව ලත් සුවිසේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලබා ගත්තේ දහස් ගණනක ජිවිත පරිත්‍යාගයෙනි. මෙම යුද්දය නිසා කායික සහ මානසික වශයෙන් ආබාධිත වූ සංඛ්‍යාව සටනින් මියගිය ප්‍රමාණයටත් වඩා අධික ය. එසේම එල්.ටී.ටී.ය විසින් ආර්ථික මර්මස්ථාන වලට කරන ලද පහර දීම් සහ සිදුකල විනාශයන්, යුද්දය සඳහා සිදු කල වියදම් මෙන්ම යුද්දය විසින් ඇති කළ ආර්ථික අවපාතය නිසා ගතවූ කාලය තුල ලංකාවට අහිමි වූ මුදල අතිශයින්ම විශාල ය. එම නිසා යුද්ධය ශ්‍රී ලංකාවට කළ විනාශය අති දැවැන්ත බව පැහැදිලි කරුණකි. මේ හේතුවෙන් තිස් වසරක යුද්දයක ශාපයෙන් ශ්‍රී ලංකාව මිදීම යනු, මේ රටේ සිංහල දෙමල, මුස්ලිම් ජනතාව ලත් ජයග්‍රහණයකි.

  ශ්‍රී ලංකාව තුල ඇතිවූ යුද ගැටුම සමහරු අර්ථකථනය කරන්නේ ජනවාර්ගික ගැටලුවක් ලෙසට ය. සමහරු එය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකිති. ඇතැමෙකු එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතුරු එලයක් ලෙස පෙන්වා දෙති. කුමන අර්ථකථන තිබුන ද යුද්දය සෑම ජන වර්ගයකටම විනාශයක් වූ බව ඇස් පනාපිට ඔප්පුවූ කරුණකි. දෙවන ලෝක මහා යුද්දයෙන් පසු ආසියානු කලාපයේ රටක දැවැන්ත ගරිල්ලා යුද්දයක් ඇති වුයේ කෙසේද යන්න අධ්‍යනයට, විමර්ශනයට සහ විශ්ලේෂණයට බඳුන් කළ කරුණක් වුවද ඊලාම් යුද්දය වාර්තාකරණය මිස හැදෑරීම පසුගිය දශක තුන පුරා ලක් කොට නොමැත. එය හැකි ඉක්මනිම සිදු කළ යුතු කර්තව්‍යකි.

  සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට අවිහිංසාව ගරු කළ උතුරේ දෙමල සමාජය තුල හිංසනය සහ ත්‍රස්තවාදය පැන නැගුනේ කෙසේ ද යන පැනයකි. පෘතුගීසි යුගය දක්වා ඉතිහාසය බලන විට දමිල ප්‍රජාව අතර රණකාමීන්ට සිටියේ සන්කිලියන් පමණි. සියවස් ගණනාවක් පුරා උතුරේ ද්‍රවිඩ සමාජය තුල ප්‍රචණ්ඩත්වය සඳහා හිතකර උපස්තරයන් නොවිය. නමුත් 1976 පමණ කාලය වන විට මෙම තත්වය උඩු යටිකුරු වන්නේය. මහාචාර්ය රාජන් හූල් පෙන්වා දෙන අන්දමට 1970 දශකයත් සමග ද්‍රවිඩ ප්‍රජාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යාමට පටන් ගනියි. මේ සඳහා දකුණේ දේශපාලන ක්‍රියාකාරකම් ද ඉවහල් වූ බව නොරහසකි.

ප්‍රභාකරන් සාධකය:


ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්‍රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්‍රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්‍රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.

  ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි. 2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය.

  ප්‍රභාකරන් තුල දැඩි ආත්ම කේන්ද්‍රියතාවක් (self centered) තිබුණි. ඔහු සංවෘත (introverted) පෞරුෂ ලක්ෂණ දැරිය. එසේම ධ‍්‍රැවගත සහ ඒකාකෘති චින්තනයකින් යුක්ත විය. හීන වූ සහකම්පනිය අවබෝධයක් සහිත නාසිස්ටික නිව්රෝසියතාවයේ (Narcissistic Neurosis) ලක්ෂණ ඔහු කෙරෙන් දැක ගත හැකි විය. (හීන වූ සහකම්පනිය අවබෝධය නට්සීන් තුලද තිබු බව හර්මන් ගෝරිඞ් ඇතුළු නට්සි නායකයන් මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කළ ගුස්ටාව් ගිල්බර්ට් පෙන්වා දෙයි) ඔහු මරණයට බිය විය. (මේ පිළබඳව ද්‍රවිඩ කවියෙකු වූ කාසි ආනන්දන් පවා කියා තිබේ) එම නිසා මරණය කල්ට් වන්දනාවක් ලෙස කරමින් මරණය උත්කර්ෂයට පත් කරමින් මරණය වන්දනා කරන කළු කොටි සංකල්පය ඔහු බිහි කළේය.

  හිංසනය ප්‍රතික්ෂේප කල සම්ප්‍රදායික දමිල සමාජය උඩු යටිකුරු කරමින් සයනයිඩ් සංස්කෘතියක් ඇති කළේය. ළමා සොල්දාදුවන් ඇති කිරීම මගින් ද්‍රවිඩ සමාජයේ අනාගතය ද විනාශ කළේය. මේ සියලු විනාශකාරී ක්‍රියා සිදු කළමුත් නාභිගතවූ චින්තනයක් සහිත වූ ප්‍රභාකරන් දැඩි ආත්ම ශක්තියකින් යුක්ත විය. පුරා වසර 30 ඔහු ලංකාණ්ඩුවට එරෙහි ව්‍යාල යුද්දයක නිරත විය.

ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම:


ප්‍රභාකරන් යනු හුදු එක පුද්ගලයෙක් පමණක් නොවිය. දෙස් විදෙස් බලවේග ඔහු වටා තිබුණි. එවැනි බලවේගයක් පරාජය කිරීම සුළු පටු ක්‍රියාවක් නොවිය. නමුත් ත්‍රිවිධ හමුදාවට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි විය. වර්තමානයේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන බොහෝ වාද විවාද පවතී. ජයග්‍රහණයට පියවරු රැසකි. දේශීය මෙන්ම විදේශීය බලවේග ප්‍රභාකරන්ට සහය දීමට සිටියහ. ඔහු අපරාජිත බව යුද ප්‍රවීණෝපදේශකයන් පුන පුනා කිහ. නමුත් අවසානයේදී ප්‍රභාකරන් පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.


එවැනි බලවේගයක් පරාජය කිරීමට හැකි වුයේ කෙසේද?

  2002 වසරේ සිට 2006 දක්වා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාම ආතති ප්‍රතිකාර අංශයේ සංග්‍රාම විඩාවට ලක් වූ සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට ප්‍රතිකාර කලෙමි. මේ වකවානුව තුල හමුදාවේ උසස් නිලධාරීන් තුල පවා එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවට පොදු මතයක් තිබෙන බව මට වැටහුණි. මා සමග අදහස් හුවමාරුවේ යෙදුනු හිටපු යුද හමුදාපතිවරයෙක් පවා මේ අදහස දැරීය. යුදමය සහ දේශපාලන අනාවැකි සාර්ථකව කීමේ හැකියාව තිබු දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස නම් දරා සිටි හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතා පවා දැරුවේ මේ අදහසයි. එතුමාගේ රණවිරු වැන්දඹුවන් ගේ සුභ සාධන කටයුතු වලදී උපදේශන වැඩසටහන් පැවැත්වීමට මට ආරාධනා කර තිබු අතර හැරී ගුණතිලක මහතා සමග මම දිවයිනේ බොහෝ පළාත් වලට ගියෙමි.

  එතුමාගේ මරණයට දින 5 පමණ පෙර (2008 අප්‍රේල් මාසයේදී) අප අනුරාධපුරයට ගියෙමු. එම චාරිකාවේදී ද එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමේ අසීරුතාවය ගැන එතුමා මට කිවේය. නමුත් 2009 මැයි මාසය වන විට ගුවන් හමුදාපති ව සිටි එතුමාගේ පුත්‍රයා ඇතුළු යුද සහ නාවික හමුදාපතිවරුන් එල්.ටී.ටී.ය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කළහ. මෙවැනි අසීරු ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වීමට හේතු කවරේද යන්න අපගේ සාකච්ඡාවට බදුන් විය යුතුය. අවසන් යුද මෙහෙයුම වන 2001 අග්නිකීල මෙහෙයුමෙන් පසුව සොල්දාදුවන් තුල පොදුවේ කලකිරීම්, සහ හීන වූ සටන්කාමිත්වයක් දක්නට තිබුණි.

  ආබාධිත වූ සොල්දාදුවන්ගේ සුභසාදනය අක්‍රමවත් විය. 2001 – 2006 අතර කාලයේ සොල්දාදුවන්ගේ පුනරුත්ථාපන නිසි ලෙස සිදු නොවුනි. අබාධිත සොල්දාදුවන්ගේ නිදහස් ගමන් බලපත්‍ර පවා කපා දමන මට්ටමට නිලධාරිවාදය නරුම වී තිබුණි. මේ නිසා සටන් ඒකක වල සිටි සොල්දාදුවන් පවා යලි යුද්දයක් ඇති වුවහොත් ජිවිත අවදානමට පත් නොකර ගන්නා සෙයක් තිබුණි. යුද්දයේ දස්කම් දැක්වූ නිලධාරීන් වෙනුවට යුද්දයේදී බියගුළු වූ සහ සොල්දාදුවන් අතරමං කොට පලා ගිය නිලධාරීන්ට උසස්වීම් ලැබුණි. යුද ශිල්පය මනාව දත් නිලධාරීන් වෙනුවට අංජනම් බලන, අපල උපද්‍රව වලට සෙත් කවි කියන, ප්‍රභාකරන් පැරදීමට නම් හනුමා කෝවිල් තැනිය යුතු බව කියන නිල ඇඳුම ඇඳි අරිට්ඨ කී වෙන්ඩු ලා හමුදාපතිවරුන්ගේ උපදේශකයන් වුහ. මෙවැනි විකාරරූපී තත්වයක් තිබු හමුදාව 2009 වන විට ලෝකයේ අති දක්ෂ ප්‍රහාරාත්මක හැකියාවක් තිබු හමුදාවක් බවට පත් විය. මේ සඳහා නායකත්ව සාධක අනිවාර්යෙන්ම හමුදාවට බලපෑවේය.

  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට චන්ද්‍රිකා මැතිනිය දක්වා සිටි ජනාධිපතිවරුන් යුද්දයට නිසි දේශපාලන නායකත්වයක් දුන්නේ නැත. ඔවුන් විදේශ ඇඟිලි ගැසීම් හමුවේ පසුබා ගියහ. නැතහොත් යුද්දයට දේශපාලන ඉලක්කයන් ගාවාගෙන යුද මෙහෙයුම් අඩාල කළහ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්දය පැවති සමයේ දුන් දේශපාලන නායකත්වය මිට ඉහත සිටි කිසිදු ජනාධිපතිවරයෙකු ලබා දී නොමැත. එම සාර්ථක දේශපාලන නායකත්වය මත යුද්දය ජයග්‍රහණය කර ගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. නමුත් පශ්චාත් යුද සාමය වන විට මෙම තත්වය වෙනස් වී ගිය බව පෙනී යයි. යුද සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වන ලද කුසලතා පරිපුර්ණ නායකත්වය පශ්චාත් යුද සමයේදී ද පෙන්වන ලද්දේ නම් වර්තමානයේ අන්තර් ජාතික වශයෙන් ලංකාව කොටු කර ගැනීමට බටහිර රටවල් ඇතුළු ද්‍රවිඩ ඩයස්පෝරාව දරණ වෑයම නිශේදනය කිරීමට හැකිව තිබිණි.

  ජනාධිපතිවරයා විසින් දුන් දේශපාලන නායකත්වයට අමතරව ආරක්ෂක ලේකම්වරයා යුද්දයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමයේදී පෙන්වන ලද කාර්යක්ෂමතාව ලඝු කළ හැක්කේ දේශපාලන විරුද්ධවාදියෙකුට පමණි. එතුමාට පෙර සිටි ආරක්ෂක ලේකම්වරුනට යුද හමුදාවක විවුහය ගැන කිසිම අවබෝධයක් නොතිබුණි. එක් ආරක්ෂක ලේකම්වරයෙකු පුලිදේවන්ට මචන් පුලි යැයි කීමට පවා දීන විය. හමුදා නිලධාරියෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා සමග වඩමාරච්චි මෙහෙයුමේ නිරත වූ අත්දැකීම් බහුල නිලධාරියෙකු විය. ඔහුට හමුදාව සටන් කරන අන්දම, භට සම්පාදනය ගැන අවබෝධයක් තිබුණි. යුද සමයේදී තිවිධ හමුදාපතිවරුන් සමග මනා සබඳතාවක් ගෙන යමින් යුද්ධය කාර්යක්ෂමව කරගෙන යාමට ඔහු සමත් විය.

  යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය. යුද්දය ජය ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිසිය, ජාතික ආරක්ෂක බලමුළුව විසින් දෙන ලද දායකත්වය ද අති විශාලය. මනා සහයෝගිතාවයකින් සහ විශිෂ්ට සම්බන්ධීකරණයකින් යුතුව ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදාවෝ ක්‍රියා කළහ.

පශ්චාත් යුද සමයේදී ප්‍රභාකරන් සාධකය ඉස්මතු වීම:


වේලුපිල්ලේ ප්‍රභාකරන් ශාරීරිකව විනාශ කලද ඔහු විසින් ලෝකය පුරා පතුරවා හරින ලද බෙදුම්වාදය නිශේදනය කිරීමට අසමත් වීම ශ්‍රී ලංකාව විසින් කරන ලද එක් වරදකි. ද්‍රවිඩ ඩයස්පෝරාව මුල්‍යම වශයෙන් ශක්තිමත් අතර දේශීය දේශපාලකයන්, සමාජ ක්‍රියාධරයන් මෙන්ම බටහිර රටවල මන්ත්‍රීවරු පවා ඔවුන් මිලට ගෙන තිබේ. මේ නිසා අද බෙදුම්වාදය ජිවන මාර්ගයකි. එබැවින් පශ්චාත් ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ලංකාණ්ඩුව විසින් සාර්ථක මූලෝපායන් භාවිතා කල යුතුය.

  ඩයස්පෝරාව විසින් ලංකාව කොටු කර ගැනීම සඳහා ක්‍රියා කරති. මේ තත්වයට මුහුණ දීමට නම් මනා රාජතාන්ත්‍රික සබඳතාවන් අනෙකුත් රටවල් සමග පවත්වා ගනිමින් ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කල විනාශයන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කල යුතුය. අවාසනාවකට මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කල ජන ඝාතන ගැන අන්තර්ජාතික ප්‍රජාව නියමාකාර ලෙසින් දැනුවත් වී නොමැත. මේ නිසා ඊලාම් යුද්දයේ වග උත්තරකරුවන් අනියම් ලෙසින් ලංකාවට චෝදනා එල්ල වේ. නමුත් ඊලාම් යුද්දයේ සැබෑ ඉතිහාසය සොයා බැලුවහොත් මෙය ලංකාව මත පැටවූ යුද්දයක් බව පෙනී යයි. බෙදුම්වාදීන්ට ආයුධ පුහුණුව ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි. එසේම ඇතැම් බටහිර රටවල් විසින් ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මෙන්ම තාක්ෂණය ලබා දෙන ලදී.

  පුරා දශක තුනකට අධික කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරේ සහ දකුණේ සිදු කල විනාශය සහ ද්‍රවිඩ ජනතාව 20,000 අධික ප්‍රමාණයක් මරා දැමීම ගැන ගැන නියමාකාරයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කලේ නම් ලංකාව කොටු කර ගැනීම සඳහා ඩයස්පෝරාව දරණ වෑයම ප්‍රතිවර්තන කිරීමට ලංකාණ්ඩුවට හැකියාවක් තිබුණි. නමුත් මේ සඳහා යුද්දයෙන් පසු වැඩපිළිවෙලක් නොවිය. එය ලංකාවට අවාසිදායක විය. යටත් පිරිසෙයින් ඉදිරි කාලයේදී ඊලාම් යුද්දය සහ ප්‍රභාකරන් සාධකයේ විනාශකාරී මුහුණුවර විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමට ලංකාවේ මධ්‍යස්ථානයක් ඇති කල යුතුය. පොල්පොට් විසින් කරන ලද සමාජ වියසනය ගැන අධ්‍යනය කිරීමට කම්පුචියාවේ මෙවැනි මධ්‍යස්ථානයක් ඇති අතර එම මධ්‍යස්ථානයට විදේශීය සරසවි වලින් පවා පිරිස පැමිණෙති.

  මෙවැනි මධ්‍යස්ථානයක් ලංකාවේ තිබුනේ නම් ප්‍රභාකරන් සාධකය ශක්තිමත් කරවමින් ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් මුදල් පොම්ප කරමින් උතුරේ කල භෞතික සහ සංස්කෘතික විනාශය ගැන පැහැදිලි චිත්‍රයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබා දීමට තිබුණි. මේ නිසා ප්‍රභාකරන් සාධකය අධ්‍යනය කිරිමටත් එහි විනාශකාරීභාවය ගැන දෙස් විදෙස් ප්‍රජාව දැනුවත් කිරීමත් අත්‍යවශයෙන්ම සිදු කල යුතු කර්තව්‍යකි. මේ හැර යලිත් මෙවැනි විනාශකාරී යුද්දයක් ලංකා භුමියේ යලි පැන නොනැගීමට අවශ්‍ය ප්‍රාග්ඥානයක් මෙවැනි අධ්‍යනයක් තුලින් සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය හැකිය. එමගින් බෙදුම්වාදය මුල් කොට ගත් ප්‍රභාකරන් සාධකය සහමුලින්ම පරාජය කිරීමට අවශ්‍ය දැනුම සහ ශක්තිය ලැබෙනු ඇත.

සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන්,
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Advertisements

Comments on: "“ප්‍රභාකරන් සාධකය” සහමුලින්ම පරාජය කිරීම – වෛද්‍ය රුවන් එම් ජයතුංග" (42)

  1. ෂෝයි කොටි පැටියා….

  2. අතිශයින් එකග වෙමි.
    තවත් කාරණාවක් කියනවා එකතු කරන්නට අවසර. රටේ යම් කචල් තිබෙනවා නම්, දේශපාලන වශයෙන් රට පාලනයටත්, තමුන්ගේ හොර මගඩි වැඩ කරගෙන ජීවත් වන්නටත් පහසුය. මහජනතාවත් අනෙකුත් ප්‍රශ්න දෙස බලන්නේ මහා ප්‍රශ්නය නැති උන විටයි. මට හැගෙන පරිදි මුස්ලිම් සිංහල ආරෝවත් ඔවැනි මාස්ටර් ප්ලෑනක්. රටට‍ අයහපතක්. දේසපාළුවන්ට වැරදි වසාගන්නට අවස්ථාවක්.

    • ඔබ හරියටම හරි දූපත්, මේක නිකම් චෙස් ගේම් එකක් වගේ. එකිනෙකා කපාගෙන රජවෙන්නට ඕනෙම දහපදුරා බැලූ වැඩක් කරන්න දේශපාලුවෝ පසුබට වෙන්නේ නැහැ. මේ දේශපාලන බලුකම් තව පරම්පරා කීයක් යනතුරු තියෙයිද දන්නේ නැහැ. මොකද අපි හිතනවා නව පරපුරේ එකෙක් පාර්ලිමේන්තුවට ගියාම වෙනස් විදිහට හැසිරෙයි කියලා. නමුත් ඌත් අර ජරා වලටම තමයි බහින්නේ.

      • ක්සැන්ඩර්. said:

        මේක වෙනස් වෙන්නේ කොහොමද විචාරකතුමා? පෙනෙන්නේ නැද්ද තමන්ගේ අයව දාගෙන ඔය පැත්තේ චන්ද නාඩගම නටන හිරිකිතේ? හරිම විලි ලජ්ජා සහගත විදියට අගමැති හිටන් තමන්ගේ එකාවම රජ කරවන්න හදන්නේ මොකද කියල කවුරුහරි හිතල බලනවා නං අන්න එදාට ඇත්ත තේරේවි. එහෙම යන හරක් මහ හරකට වඩා හොඳට කුඹුරු හාන්න නේ හිතන්නේ..

        • මමත් දැක්කා ඊයේ පෙරේදා ලංකාවේ ලොකුම නීතිවිරෝධී කටවුට් එක ගම්පොල පරණ පාලමේ පොලිස් ආරක්ෂාව යටතේ දාලා තියනවා කියලා. අනේ මොකටද මගේ කට. අප්පා පණ අදින්නේ පුතාට යතුර දීලා. නොදකින් කාලකන්නි හැත්ත.

  3. විශ්ව රංගනාත් said:

    කණ්ඩායමක් යම් ජයක් ජයක් ලැබුවිට එම ජයග්‍රහණය පුද්ගලයන් අතර බෙදන්න බැහැ එහෙම බෙදන්න ගියොත් අනිවාර්යෙන්ම කණ්ඩායම කැඩෙනවා.ඕනෑම ප්‍රබල කණ්ඩායමක් විසුරුවන්න එමගින් පුළුවන්. නොපෙනෙන master plan ද්‍රවිඩ ඩයස්පෝරාව සතුයි. යුද ජයග්‍රහණයකට නිසි දේශපාලන නායකත්වයක් සහ දක්ෂ හමුදාවක් යන දෙකම අවශ්‍යයි. අවසානයේ දෙකම ලැබුනා. සමහර විට හරියට දේශපාලන අනුග්‍රහය තිබුනා නම් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ කාලයේ දීම යුද්දය අවසන් වෙන්න තිබුනා නේද?

    • ජෙනරල් කොබ්බෑකඩුව ඒ අතින් අවාසනාවන්ත වුනා. ඊට වඩා අපි ඔක්කොම අවාසනාවන්ත වුනා. එදා ජෙනරල් කොබ්බෑකඩුවගේ සැලැස්මට නිසි දේශපාලන අනුග්‍රහය ලැබුනානම්, උතුරේත් දකුණේත් ත්‍රිවිධ හමුදාවේත් ජීවිත දස දහස් ගණනක් රැකගෙන යුද්ධය අවසන් කරන්නට 100% ක් ම හැකියාව තිබුනා. අපි අවසන් සටනේදී කණ්ඩායමක් ලෙස ක්‍රියාකර ජය ලැබුවත් සමහරු ජයග්‍රහණය පිළිබඳව තමන්ගේ නමට ඔප්පු ලියන්නට යාම නිසා ඒ ඓතිහාසික ජයග්‍රහණයේ ගෞරවය ලෝකයා ඉදිරියේ බාල්දු වුනා.

  4. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔක්කොම කියල තියනවා මේකේ. ප්‍රභාකරන් කියන පුද්ගලයා සංකල්පයක් වීම තමයි භයානකම දේ. මේ සංකල්පය බිඳ දමන්න පුළුවන් නම් අපේ රටට ඔච්චර බලපෑම් එන්නෙ නෑ.

  5. ප්‍රභාකරන් දෙවියෙක් විදියට අදහන අය (එහෙම කොටසකුත් ලෝකේ ඉන්නවනේ ) ඔහුගේ මේ සැබෑ මානසික තත්වය දැනගන්නවා නම් කොච්චර හොඳද?

    • මා හිතන්නේ ඒ පිරිස මේ ලිපියේ සඳහන් විදිහට ප්‍රභාකරන්ගේ ‘ගුලිය’ ගිලලා ඉන්නේ. තමනුත් ප්‍රභාකරන්ගේ මිනීමරු දර්ශනයේ cult ගැලී සිටින බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් තේරුම්ගන්න උවමනාවක් නැහැ.

      • මට මතකයි ප්‍රභාකරන්ගේ නිවසේ සිටි සේවකයෙක් කියා තිබුනා ඔහු කුඩා කල සිටම කුඩා සතුන් මරන දඩුවම් ගනන් නොගන්නා මුරන්ඩු චරිතයක් කියා. ඇත්ත වෙන්නැති.

  6. ඔබතුමා ඩීබීඑස් ජෙයරාජ් ගේ බ්ලොගය කියවනවද? දේශපාලනය ගැන මෙන්ම යුද්දය ගැනත් “අපූරු” තියරි එහි තිබෙනවා.
    ප්‍රභාකරන් කුඩා කල සිටම දරුනු ගති ගුන තිබීම ඒ මහත්මයා නම් පිලිගන්න කැමතිම නෑ. ඔහු කියන්නේ ප්‍රභාකරන්ගේ පියා කෝලාහල ගැන කියපු විස්තර නිසා ප්‍රභාකරන් දරුනු උනාය කියලා. ඕක බොරුය කියන්න ලේසියෙන් පුලුවන්ද? මොකද ප්‍රභාකරන්ගේ තාත්තා කියපු බෙඩ් ටයිම් ස්ටොරි මොනවද කියලා කව්ද හරියටම දන්නේ?

    • ඇත්තටම වෛද්‍ය ජයතුංග මෙන්ම ඩී.බී.එස්. ජෙයරාජ් ඉදිරිපත් කරන්නේ තම දැනුමෙන් සකසාගත් මිනුම් දඬු වලින් ඉදිරිපත් කරන මතවාද. මේ පිලිබඳ පරම සත්‍යය මෙය යයි අපට කෙදිනකවත් නිගමනයකට එන්නට බැහැ. මේ දෙදෙනාගේම ලිපි කියවා අපි කිසියම් අදහසක් අපේ බුද්ධි මට්ටමෙන් උකහා ගැනීම තමයි සිදුවන්නේ.

      • දොස්තර මහත්මයා නම් තම දැනුමෙන් සකසා ගත් ඒවා කියනවා ඇති. ජෙයරාජ් උන්නැහේ නම් කරන්නනේ වෙනමම ඇජෙන්ඩා එකක් කියලයි මට හිතෙන්නේ. එක උදාහරනයක් ලෙස ප්‍රභාකරන්ට පොඩි කාලේ එයාගේ තාත්තා මොනවා කීවද කියලා ජෙයරාජ් තියා වෙන කෙනෙක් දැන ගන්නේ කෝමද?

  7. ලිපිය වාගෙම ඒ නිසාම මතුවි ඇති සංවාදය ඉතාම වටිනා එකක්. අවාසනාව වන්නේ මෙවැනි ලිපි හා මෙවැනි සංවාද තවමත් ජාතික මට්ටමට වැටෙන මාධ්‍ය මගින් ප්‍රකටව දක්නට නොලැබීමයි. මිනිසුන් සැබෑ යථාර්ථය තුළ ඥානනය කිරීම යුගයේ හදිසි අවශ්‍යතාවක්.වුනත් බොලඳ හරසුන් ඕපදූප ඉහළීන්ම වැජඹෙන යුගයක් නේද මේ කිා හිතෙන විට ඇතිවන්නේ ශෝකයක් දුකක් !

  8. රුවන් එම් ජයතුන්ග දොස්තර කෙනෙක් හැටියට මනො විද්යාව කතා කිරීම වටහා ගැනීමට පුලුවන.නමුත් ඔහු ඊට අමතරව දේශපාලනය,ආර්තික විද්යාව,සමාජ විද්යාව පරිපාලනය වැනි නොයෙක් දේවල් ගැන මෙම ලිපියේ කතා කරනවා. පොදුවේ ගතහොත් වුර්තිකයන් මෙවැනි දේවල් කරන්නේ නැහැ.මොකද කෙනෙකුට තමාගේ ජීවිත කාලයේ ගොඩක් දේවල් හදරන්න අමාරුයි.එවැනි ලිපි සලකන්නේ විස්වාසදායක බවෙන් අඩු ලිපි ලෙසයි .ලිපිය පලකල කෙනා විදියට මේ ගැන ඔබේ අදහස කියන්න

    • ඔබ තව ටිකක් කරුණු පැහැදිලි කරනවානම් හොඳයි. ඔබ කියන්නේ කිසියම් වෘත්තියක නියුතු කෙනෙකු තම දේශපාලන අදහස් මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සුදුසු නැහැ කියාද?

      මේ ලිපිය ගැන මගේ අදහස මෙයයි. ඇත්තටම ප්‍රභාකරන් ජාතිවාදී උන්මත්තකයෙක්. ඒ ගැන සැකයක් නැහැ. ප්‍රභාකරන් තුළ කිසියම් මානසික විකෘතිතාවක් තිබුනාද නැද්ද යන්න දන්නේ වෛද්‍ය ජයතුංග වැනි අය. (ඒ සඳහා එකම සුදුස්සා වෛද්‍ය ජයතුංග නොවේ) තම ජීවිත කාලය තුළ විවිධ විෂයයන් ඔස්සේ විවිධ නිර්මාණ කරන අය සෑහෙන්න ඉන්නවා නේද? භද්‍රජි මහින්ද ජයතිලක එවැනි පුද්ගලයෙක්. වෛද්‍ය ජයතුංගට කිසියම් දේශපාලන මතවාදයක් ඉදිරිපත් කිරීමට පූර්ණ නිදහස තියනවා කියන එකයි මගේ හැඟීම. එහෙත් ඒ මතවාද හිස් මුදුනින් පිළිගන්න අපි බැඳී නැහැ.

      • ජයතුන්ගගේ ලිපිය සාදක සහිතව විවෙචනය කල හැකි වුවත් මෙය ඔහු සමග කරන සන්වාදයක් නොවන නිසා එය සුදුසු නැහැ.මම ඔබට කුඩා උදාහරනයක් පමනක් දෙන්නම්.බනිස් ගෙඩියක් උඩින් චොකලට් ආලේප කර චොකලට් කියා විකුනන්න පුලුවන්.නමුත් බේකරි කරුවා වැදගත් අයෙක් නම් කොපමන ලාභ තිබුනත් ඔහු එය කරන්නේ නැහැ.ඒ වගේ ම එවැනි බනිස් ගෙඩියක් කඩෙන් ගත්තොත් එය බොරුවක් කියා හදුනා ගත හැක්කේ පාන් සහ චොකලට් දෙකම ගැන දන්නවා නම් පමනයි.නොදන්නා අයට එය රසවත් කැමක් වීමට පුලුවන්

        • සමහරවිට වෛද්‍ය ජයතුංග මේ අඩවිය කියවන්නට ඉඩ තිබෙනවා. ඔබ වැනිම තවත් අය බොහෝ දෙනෙක්ද මේ අඩවිය බලනවා. ඒ නිසා විවෘත වේදිකාවක් යයි සිතා ඔබේ අදහස් දක්වනවානම් අගය කරනවා.

  9. මම මේ ලිපියට 100% එකග නොවෙමි.
    මේ ලොක්කට වඩා හිටපු ලෝක්කෝ සහ ලොක්කි බැලුවෙ ලෝක අපවාදයකින් තොරව විසදගන්න ක්‍රමයක්.
    හමුදාවෙන් ඉවත් වී තමන්ගෙ අපහසුතා කියල ලෝක පොලිස් කාරයගෙ රටේ සියලු වරප්ප්‍රසාද ලබල පැරෂුට් ලේකම් කෙනකු ගැන වර්ණා කිරීම නම් හරිම දුකයි අප්පා.
    කොටි ප්‍රශ්නෙ ඉවර කරපු එකට ලොක්ක ව බදාගෙන මම උම්මා දුන්න.
    මේ ලිපිය කියෙව්වම මට මේ ලියපු ඩොකාව එපා උනා.
    අර සින්ගප්පුර් රොහාන් ව ගත්තම මම හිතුවෙ කොටි ගැන ලෝකයාට හොද දැනුමක් දෙන්න හදනව කියල.
    මොන පිස්සුද අපේ සල්ලිත් අරන්,අපේ රහස් ලෝකයට දෙනව එයා.

    • ඩයස්පෝරාව විසින් ලංකාව කොටු කර ගැනීම සඳහා ක්‍රියා කරති. මේ තත්වයට මුහුණ දීමට නම් මනා රාජතාන්ත්‍රික සබඳතාවන් අනෙකුත් රටවල් සමග පවත්වා ගනිමින් ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කල විනාශයන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කල යුතුය. අවාසනාවකට මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කල ජන ඝාතන ගැන අන්තර්ජාතික ප්‍රජාව නියමාකාර ලෙසින් දැනුවත් වී නොමැත. මේ නිසා ඊලාම් යුද්දයේ වග උත්තරකරුවන් අනියම් ලෙසින් ලංකාවට චෝදනා එල්ල වේ. නමුත් ඊලාම් යුද්දයේ සැබෑ ඉතිහාසය සොයා බැලුවහොත් මෙය ලංකාව මත පැටවූ යුද්දයක් බව පෙනී යයි. බෙදුම්වාදීන්ට ආයුධ පුහුණුව ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි. එසේම ඇතැම් බටහිර රටවල් විසින් ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මෙන්ම තාක්ෂණය ලබා දෙන ලදී.
      ඉහත සඳහන් ඡේදයටවත් එකඟ වෙන්නේ නැද්ද? මම කියන්නේ නැහැ මෙහි තිබෙන සියල්ල එලෙසින්ම අපි පිළිගතයුතුයි කියලා. නමුත් මේ ලිපියේ තිබෙන යම් යම් කරුණු ඔස්සේ අපි සිතා බැලියයුතු දේවල් තිබෙනවා කියලයි මට හිතෙන්නේ.

      • ඔබ තුමා කියල තිබෙන දේට අනිවා එකයි.
        මේ ලිපියෙ අවසානයෙ ලියල තිබෙනව මධ්‍යස්ථානයක් පිහිටවල LTTE යෙන් රටට/ජනතාවට වෙච්ච දේවල් ලෝකයාට පෙන්වන්ට ක්‍රමවත් වැඩ පිළිවලක් කලේ නැහැ.
        නඩ පිටින් ජිනීවා ගිහින් සැප අරන්,සමුළුවේ කොර වෙලා ලංකාවෙ මිඩියා වලට පොර ටෝක් දිදී ඉන්නවා.

        • ප්‍රභාකරන් ප්‍රදර්ශනය කිරීම කොහොම වෙතත් මේ යුද්ධය ගැන දෙපැත්තටම සාධාරණ කරුණු නිදහසේ අධ්‍යයනය කරන්න තැනක් (විශ්ව විද්‍යාලයක හෝ) තිබෙනවානම් එය වඩාත් අගය වැඩිවන්නේ අනාගතයේදීයි.

          ඔය කයිවාරු කාරයන්ගේ වැටීම අපිට අපේ ජීවිතකාලය තුලදීම බලන්න පුළුවන් වෙනවා.

  10. ප්‍රභාකරන් අසරණයි. පවු අහිංසකයා.. මිනිහා කළේ පැවරිච්ච රාජකාරිය.. හිට්ලර්ටත්, පොල්පොට්ටත්, ස්ටාලින්ටත්, මාවෝටත් ඔය රාජකාරියම පැවරිලා තිබුනා.. තව ඉස්සරහට වෙන වෙන අයත් එයි.. ඒගොල්ලොත් එක්කම ඒ ගොල්ලන්ගෙ විනාශකයොත් එනවා.. ලෝකෙ තියනකම්ම ඕක වෙනවා.. නවත්වන්න බෑ..

    • ඔව්, ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියලා කියමනක් තියනවානේ. හැබැයි ඉතින් දස දහස් ගණන් ජීවිත, මරණය වෙත දැක්කීම තම පරම යුතුකම කියලා හිතන මිනිහා මොනවගේද කියලා තේරුම් ගැනීම, අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

  11. ‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු…. පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’

    http://www.loopholesblog.org/2012/12/blog-post_18.html

  12. කොහොම උනත් මිනිහා වීරයෙක් සාපේක්ෂව…

    • මෙන්න මූ ප්‍රභාකරන වීරයෙක් කියලා.. මූ ජාති ද්‍රෝහියෙක්.. ඕකව අල්ලලා පිටිකර හයා බැඳලා ගනිව් ගෝල් පීසියට ගිහින් ගල් ගසා මරාදාන්න.. 😀 🙂

      • ලංකාවේ හිටියනම් මෙලහකටත් හතරවෙනි තට්ටුවේ තමයි. හැබැයි එහෙම වෙන්නෙත් නැහැ. හතරවෙනි තට්ටුවේදී කිව්වනම්, මම දෑත් ශක්තිමත් කරන්න එකඟ වෙනවා කියලා, අලුත් ප්‍රාඩෝ එකකුයි කඩේ යන මල්ලයි ලැබෙනවා. 😀 😀

      • අපිට නරුමයෙක් උනාට මිනිහ දෙමිළ ජාතිකයන්ව වීරයෙක් නෙව බං…

  13. ලිපියෙ තියන සමහර දේවල් ගැන මගෙ අවබෝධයේ හැටියට එකඟ වෙන්න බෑ. ඒත් ඒව සඳහන් නොකර ඉන්න එක හොඳයි කියල හිතනව.
    //එම සාර්ථක දේශපාලන නායකත්වය මත යුද්දය ජයග්‍රහණය කර ගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. නමුත් පශ්චාත් යුද සාමය වන විට මෙම තත්වය වෙනස් වී ගිය බව පෙනී යයි// මොන හේතුව නිසා හෝ මෙහෙම වුනු එක තමයි ප්‍රශ්ණය.

    • මමනම් කියන්නේ චන්දන ඔයාට හිතෙන දේවල් ලියන්න කියලයි. මම කැමතියි මේ ලිපිය සියලුදෙනාටම තමන් හිතනදේ කෙලින්ම කියන වේදිකාවක් බවට පත් කරන්න.

  14. කරුණු කාරණා රාශියක් එකවර සාකච්ඡා කිරීමට යාම නිසාදෝ අපැහැදිලි තත්වයක් පෙනේ.පශ්චාත් යුධසමය තුල කිසිම සාධනීය මෙහෙවරක් නිශ්චිත ඉලක්කයක් කරා මෙහෙයවීමට බලධාරීන් අසමත්විය.භෞතික සංවර්ධන ඉලක්කයන් මම අදාල කර නොගත්තෙමි.

    • තවමත් ජයපැන් බොන මානසිකත්වයේ සිටීම නිසාත්, කිසියම් නිශ්චිත සැලැස්මක් සකසාගැනීමට තරම් රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවක් නැති නිසාත්, (කසිකබල් කැබිනට් එකකින් මොන රාජ්‍යතාන්ත්‍රික භාවයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්) එදාවේල ක්‍රමයට පැලැස්තර ගහමින් ඉන්නවා. අවාසනාවකට එය නොතේරෙන බහුතරයක් තමයි අපේ ඡන්ද දායකයෝ.

  15. //ඔහු මරණයට බිය විය//
    ඔව් විචාරක.මං මේ ගැන කියවලා තියෙනවා.මොහු තමන්ට පදිංචි වෙන්න හදපු බංකර් වල උපක්‍රම බලපු ගමන් ඒක හොඳට පැහැදිලි වෙනවා.

    වැදගත් ලිපියක්! අපිට ලබා දීම පිළිබඳව ස්තූතියි!

    මම දුලාගේ අඩවියේ™ දුලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: