විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  img014පළවෙනි එක ගැන කියන මේ කතාව, බලාපොරොත්තු රහිත ලෙස, දෙවැනි වරටත් සංස්කරණය කරන්නට සිදුවුණා. මේ කතාව මුලින්ම බාගයක් විතර ලියලා තියෙද්දී, මගේ අතින්, වැරදීමකින්, පාලක පුවරුවේ (පාලක පුවරුව වෙලාවකට පෙනෙන්නේ ‘පාල කපුරුවැව’ වගේ :D)  ‘ප්‍රකාශයට පත්කිරීම’ බොත්තම එබුනා. මොනවා කරන්නද බාගෙට ලියපු ලිපිය පටස් ගාලා පළවුනා. මමත් පටස් ගාලා ලිපිය ‘අබලි ද්‍රව්‍ය පෙට්ටියට’ යොමු කළත්, සමහර සින්ඩිකේටර වල, ඒ ලිපිය තවමත් පෙන්වනවා. නමුත් සබැඳියාව පමණයි. ලිපිය බලන්නට බැහැ. මේ සිදුවූ අතපසුවීම නිසා, ඔබට යම් අපහසුතාවක් වුනානම්, සමාව අයදිනවා.අටං උන්නැහේ ඒ ටිකටත් රිංගලා ඔලුව දාලා අහනවා ‘කෝ මගේ පළවෙනි එක’ කියලා. අම්මපා මේකා කන්නේ (මම කියන්නේ නෑ අනිත් එක) බුදියන්නේ ඔක්කොම කරන්නේ කොම්පියුටරේ උඩ ඉඳගෙනද කොහෙද. පළවෙනි එක කිව්වම, ජීවිතයේ පළවෙනි එක වශයෙන් සඳහන් කළහැකි, කීයක් නම් දේවල් මතකයට එනවද? පළවෙනි වරට කළ දේවල්, සිදුවූ දේවල්, වශයෙන් අපට කොච්චර අත්දැකීම් තියනවද. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත්, මහා දිග ලැයිස්තුවක් වෙනවා. නමුත් මේ ලිපියෙන් ලියන පළවෙනි එකට, බ්ලොග් ලියන – නොලියන, කියවන – නොකියවන, නමුත් තමන්ටම අයත් පරිගණකයක් පාවිච්චි කරණ අය, සැමදෙනා සම්බන්ධයි.  මම අද කතාකරන්න යන්නේ, මගේම කියා අයිති කරගත්, පළමුවැනි පරිගණකය ගැන සහ ඒ අත්දැකීමම ඔබ ලබපු ආකාරය ගැන ඔබේ අදහස් විමසීමකුත් කරන්නයි. මේ ලිපිය ලියන්නට නිමිත්ත පහළ වුණේ, අද මම මගේ පැරණි ඡායාරූප ඇල්බම් එකක් පරීක්ෂා කරමි සිටියදී, මේ ඉහත දක්වා තියන ඡායාරූපය නෙත ගැටීමයි. ‘අනේ මගේ පළවෙනි කොම්පියුටර් එක’ මට හිත යටින් කියවුනා. ඒ නිසා ඔන්න ලිපියක් ලියවෙනවා.  

  මේ සමග ඉහත ඇති පින්තුරයේ තිබෙන්නේ, මම, මගේම කියා පළමුවැනි වරට අයිති කරගත්, (මිළදී ගත්) පරිගණකයයි. ඒ 1998 වර්ෂයේදී. (පින්තුරයේ දිනය තිබෙනවා 1998/07/23 එය පරිගණකය මිළදී ගත් දිනය නොවේ) මේ පින්තුරයේ ඉන්න ‘පරිගණක වැඩකාරිය’ මගේ චූටි දුව.  (හොදට බලන්න, කකා හිටිය රඹුටන් ගෙඩියක ලෙල්ලත් තියනවා මේසය මත) අදනම් ඇය සෑහෙන්න පරිගණක වැඩ කාරියක්. ඇයත් අද පාවිච්චි කරන්නේ ඇගේ දෙවැනි ලැප්ටොප් පරිගණකය. මේ පරිගණකයේ විස්තර මෙන්න මෙහෙමයි. මෙය නියම original  IBM අයි.බී.එම් පරිගණකයක්.

6282-830

 

 පින්තුරය ගත්තේ මෙතනින් 

එතැනින්ම බලන්න පුලුවන් සියළු තාක්ෂණික විස්තර

  මෙය මිලදී ගන්නාවිට CD ROM එකක් තිබුනේ නැහැ. එය වෙනමම මිළදීගෙන සවි කරගත යුතුයි. ඔබ විශ්වාස කරයිද මන්දා, කොළඹින්ම තමා ඒ කාලේ මේවා කරගන්න ඕනේ. මේ පරිගණකයේ RAM එක තිබුනේ 32 MB පමණයි. CD ROM එකක් සවි කරගෙන VCD එකක් දාලා බැලුවම පින්තුර කැඩි කැඩී පෙනෙන්න පටන්ගත්තා. කාර්මික උත්තමයා කිව්වා RAM එක 64 MB කළයුතුයි කියා.  මට ඒ කාලේ මේවා ග්‍රීක් වගේ. CD ROM එකටයි, අමතර 32 MB RAM එකටයි, (ඒ RAM එක අපි අද දකින ආකාරයේ හැඩයක් නෙවෙයි තිබුණේ හරියට IC එකක් වගේ) Desktop Speakers දෙකටයි, මගෙන් ගෙඩි රුපියල්ම 11000 කට ආසන්න මුදලක් ගත්තා.  😀 😀 ඒ රිසිට් එක මේ මෑතක් වනතුරු තිබුණා. මේ ලිපිය ලියද්දී හෙව්වත් හම්බ වුනේ නැහැ. Printer එක සහ UPS එකත් සහිතව මට රු 50000/- කට ආසන්න මුදලක් වැයවුණා. (Printer එක තවදුරටත් අලුත්වැඩියා කිරීම නිෂ්ඵල වනතුරුම පාවිච්චි කර අද පරණ බඩු පෙට්ටියක සුවෙන් ඉන්නවා) 😀 ණයට සල්ලි අරගෙනයි මම මේ පරිගණකය ගත්තේ. දෘඪ තැටිය 3.5 GB, ෂෝක් නේද? පරිගණකය සඳහා මා ලබාගත් CD ROM එක Creative වර්ගයේ එකක්. එහි ඒ කාලේ අපට ලොකු මැජික් එකක් තිබුනා. පරිගණකය ක්‍රියාත්මක කලපසු සිත්ගන්නා සුළු කාන්තා කටහඬකින් මෙහෙම කියනවා. “Wecome, Thank you for using Creative Infra Red Multimedia CD ROM” ඒ වගේම CD ROM එකට දුරස්ථ පාලකයක් තිබුණා. CD ROM එකේ Tray එක විවෘත වනවිට, “Tray Open” කියලා අර සුමුදු කටහඬින් කියනවා. Tray එක වැසුනාම “Tray Close” කියා, ඊළඟට කියනවා, “Media is Audio CD/Video CD/Data CD” වශයෙන් අදාළ එක කියනවා. ඒ කාලේ DVD තිබුනේ නැහැ. ඒ වගේම ගීත ඇතුළත් CD එකක් නම් “Track One” යනුවෙන් පටන්ගෙන සෑම ගීතයක්ම ආරම්භ කිරීමට ප්‍රථම එහි ට්‍රැක් අංකය කියන අතර, ගීත හෝ වෙනත් අංග එකකට වැඩි VCD එකක්නම් “File One, Two, Three” ආදී වශයෙන් කියනවා.

  මේ පරිගණකය සමග Microsoft සමාගමෙන් නිකුත්කළ නියම Windows 95 Software CD එක සහ ඒ ගැන ලැබෙන සහතිකය,  (එය හරියට මුදල් නෝට්ටුවක්, එහෙමත් නැත්නම් බැංකු ස්ථාවර තැන්පතු සහතිකයක් වගේ ගරු ගාම්භීර විදිහට එම්බෝස්ඩ් අකුරු වලින් මුද්‍රණය කර තිබුනේ), ඊට අමතරව Windows 95 ගැන ලියවුන පොතක්, පරිගණකය ගැලවීම, සවිකිරීම, නඩත්තු කිරීම ගැන උපදෙස් පොතක් ලැබුණා. එමෙන්ම මේ පරිගණකය සමග මව් පුවරුවට අදාළ CD එකත්, නඩත්තු කිරීම ගැන තව CD එකකුත්, Norton Antivirus CD එකකුත් ලැබුණා. පසු කාලයේදී මම මේ පරිගණකයට Windows 98, ME, යන OS යොදා සාර්ථකව පාවිච්චි කළා. මට මතක හැටියට 2002 දී පමණ, පරිගණක විකුණන කඩයකට දී, මදි පාඩුවට මුදල් ගෙවා මම, P IV පරිගණකයක් ගත්තා. මේ IBM පරිගණකය හරිම බරයි. මේසයෙන් සෑහෙන ඉඩකඩක් ගන්නවා, ‘Tower Casing’ වර්ගයේ නොවන නිසා. මෙහි යතුරු පුවරුව මේ මෑතක් වනතුරු මා සතුව තිබුණ අතර, තම පරිගණකයේ යතුරු පුවරුව ක්‍රියා විරහිතවූ බව සඳහන් කළ මගේ මිතුරකුට මා එය පරිත්‍යාග කළා.  පසුකාලීනව මම පරිගණක දෘඪාංග කාර්මික ශිල්පය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කළා. හැකි සෑම ආකාරයකින්ම ඉගෙනගත්තා. ඒ දැණුමේ අග්‍ර ඵලයක් ලෙස, අද මා පාවිච්චි කරන්නේ මගේම අතින් එකළස් වූ පරිගණකයක්. 

  මෙන්න එහි විස්තර සැකෙවින්

  • Motherboard :  Intel DG31PR  
  • Socket : LGA775
  • Processor : Pentium (R) Dual Core E 5300 2.6 GHz
  • RAM : 4 GB  DDR 2
  • VGA (external) : Radeon ATI 1 GB DDR 2
  • HDD :Toshiba 5700 500 GB SATA
  • Multimedia : Samsung DVD Writer SATA (Light Scribe ready)
  • Sound : Mercury SW 1980 R (500 W rated) 5.1 sounds with FM Radio
  • Monitor : LG LCD 24″

  ඉහත සියල්ලම එකවරම ගත්ත දේවල් නෙවෙයි. 2007 පමණ සිට 2010 පමණ වනතුරු වරින් වර වැඩි දියුණු කරමින් තමයි ඔය තත්වයට ගත්තේ. මේ පරිගණකයට අධික විදුලියක් වැය වෙනවා. ඒ නිසා හොඳ ලැප්ටොප් පරිගණකයක් ගන්නට ආසාව තිබුණත්, මූල්‍යමය ශක්තිය මා හට බාධාවක්ව පවතිනවා. (පැන්සොන් කාරයානේ) 😀 දැනට කෙළ හලමින් ඉන්න HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් තියනවා. එය රු 62000/- ක් වෙනවා. ලෝකය පුරා ඉන්න මගේ පාඨකයන් එක්කෙනෙකුගෙන් රුපියල බැගින් ඉල්ලාගත්තොත් බැරිවෙන එකක් නැහැ. 😀 😀  (මතක තබාගන්න යන්තම් අවුරුදු 55 පිරිලා විශ්‍රාම ගිය, ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් ලබන, රජයේ සේවකයකුටවත්, කිසිදු ආයතනයකින් ගෙවීමේ ක්‍රමයට කිසිම භාණ්ඩයක් දෙන්නේ නැහැ) ඔන්න පහත පින්තූරයේ වැඩ ඉන්නේ මගේ වර්තමාන පරිගණක යන්ත්‍ර රාජයා.

DSC02631

  ඔන්න දැන් ඉතිං ඔබේ වාරය. කියන්න මට කොහොමද ඔබේ පළවෙනි එක. පරිගණකය, පරිගණකය, මම කියන්නේ ඔබේ පළමුවැනි පරිගණකය ගැන කියන්න කියලා. ආය මේ මංගල්ලයක් කතා කරනවා. මම කිව්වයැ එව්වා කියන්න කියලා. 😀 😀

My Signature for Blog2013 ජූලි මස 27 වැනි දින 0116 පැය

Comments on: "අනේ…. මගේ පළවෙනි එක – Oh!….My First One" (173)

  1. මගේ අම්මෝ තියන අඩු සෙට් එක ,මොකෝ සර් ඉන්ටෙර්නෙට් එකෙන් දත් වත් ගලවන්වද ?
    මගේ පලවෙනි එක ඇද යට විසිකරන්න දුකයි.වැස්සේ එක තුරුල් කරන ගෙදර අවේ ,ගත්තේ පරණ එකක් ,එක මස් කරලා තමයි හැමදේම ඉගන ගත්තේ,මට හැමදේම කියා දුන්න එක විසිකරන්න දුකයි.

    • කියන්න අමතක වුනා නේ මම කාර්මිකයෙක් කියන එක. පොටෝ එක ගන්න කලින් අඬු බඬු අයින් කරන්න අමතක වෙලා. ඔව්වා තියනවා සිය ගණනක්.

      පරණ කොම්පියුටරේ විසිකරන්න එපා. ජීවිතයේ සිහිවටනයක් නේ.

      • එක ගෙනාවේ 16000,පරණ ඒවා විකුණන තැනකින් ,වැස්සේ කොමහර් ගෙනත් බැලුවා වින්ඩොව්ස් වත් තිබ්බේ නැනේ ,අ යන්නේ ඉදන් ඉගන ගත්තේ එකෙන් දැන් ඕන එකක් .

    • මටත් එහෙමයි අප්පා… මාත් දැන් කරන හැම දේම පුරුදු වුනේ ඒකෙන්. එක දවසට දා හතර පාරක් ෆෝමැට් කරලා වින්ඩෝස් දැම්ම වතාවක්.

  2. අම්මො ඇයි ඔච්චර අපිව වටේ අරගෙන ගියේ.ඒ කෙසේ වෙතත් හරි ලස්සනට ගෙතිලා කථාව.පළවෙනි සුපර්.

  3. අනේ මමත් අටම් වගේම දැක්කා ඔයාගේ පළවෙනි එක හොයාගැනීමට නැත කියලා පණිවිඩයක්. 🙂
    පරිගනකය නැතුව අපේ වෙන පළවෙනි එකක් ඇහුවා නම් කොච්චර දේවල් කියන්ට තිබුනද… 😦

    හී හී….

  4. මා මුලින්ම පරිගනකයක් මිළට ගත්තේ පස්තාච්චි වැඩකට සෙට් වෙලා ඉන්න අතරේ 1995 අග දී. හැබැයි මට මතකයි ඒ දිනවල සීඩී රොම් තියෙනවා පරිගනකයේම. මං 2 වෙනුවට 4 ගන්න වැඩිපුර මුදල් දුන්නා. ඒ සමගම අඟල් 14 වෙනුවට 15 මොනිටරයක් ගන්න වැඩිපුර ඩොලර් 200 ක් ම දුන්නා.

    ඒ සියල්ළ දැන් කසල ගෙඩට ගොස් ගොඩක් කල්.

  5. /* ’ප්‍රකාශයට පත්කිරීම’ බොත්තම එබුනා. මොනවා කරන්නද බාගෙට ලියපු ලිපිය පටස් ගාලා පළවුනා. */

    මේ වැඩේ අපි කාට කාටත් වෙනවා. මෙන්න ඒ ගැන සම්බන්ධ කර මා ලියූ කතන්දරයක්.

    http://kathandara.blogspot.com/2012/06/misfired.html

  6. මගේ ම කියලා පරිගණකයක් තාමත් මට නැ.. දුකේ බැරුවා. පොඩි ලැපක් ගන්න තමා මේ දවස්වල ට්‍රයි එක.

  7. 2002 වසරේදී තමයි මම මගේ පළමුවන පරිගණකය මිලදී ගත්තේ.ඒක කෑලි එකලස් කරලා හදල ගත්ත එකක්.මොඩලය උනේ 1v දැන් ඒකෙන් ඉතුරුවෙලා තියෙන්නෙ අකුරු පුවරුව විතරයි.(මම තවමත් කොටන්නේ ඒකෙන්) ප්‍රින්ටරය නම පැත්තකට දාල ගොඩක් කල්.අවුරුද්දකට විතර ඉස්සරවෙලා processor එක මාරු කරලා කොරෝල්ඩ්රෝව් වලට ගියා. මේ මාසෙදි led මොනිටෙර් එකක් (සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව) ගත්ත හින්දා පරණ CRTඑක පැත්තකට දාල තියෙන්නෙ.ඕන කෙනෙකුට පරණ ප්‍රින්ටර් එකයි පරණ මොනිටර් එකයි නොමිලේම දෙන්න පුළුවන්. පරිගණකයේ තාක්ෂනය ගැන නම් මම මොකුත් දන්නේ නැහැ. මගේ blog කරණයේ ගුරුවරයා විචාරක මහතා (ඒ උනත් මම ලියන ඒවා එයා කියවන බවක් නම් මට පෙනෙන්නෙ නැ.)

    • අම්මෝ මම බ්ලොග් ගුරුවරයකු වීමට තරම් සුදුසු කෙනෙක් නෙවෙයි. මමත් තවම ආධුනිකයෙක්. ඉක්මනින්ම ඔබේ අඩවියට එන්නම්. ලින්ක් එකක් දුන්නානම් හරිම වටිනවා. පුලුවන්නම් දෙන්න.

      අවශ්‍ය පාසල් දරුවෙකුට ඔබ පාවිච්චි නොකරන උපකරණ දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.

      • ඔබේ පිළිතුරට ස්තුතියි. CRI MONITOR එක ඉල්ලන කෙනෙක් ඉන්නවා නම් නොමිලේම දෙන්නම්.නුවර පළාතේ නම් ලේසියි. මට ගිහිල්ලම් දෙන්න පුළුවන්.වෙන පලාතක නම් එයාටම ඒක ගෙනියන්න වේවි.(බස් ගාස්තුව දෙන්නම්)

        මගේ blog එකේ නම සමරසේකරගේ සමහර සිතුවිලි ඒක ටිකක් බලලා ඔබේ අදහස කියන්න.

    • අටමගෙන් විස්තර ටිකක් අහන්න. හන්තානේ කට්ටියට ඕවා වටිනවා. හැබැයි පීසී එකක් නැතුව ගනීද දන්නෑ. කෝකටත් අටමගෙන් අහන්න. මොකද ඔයාගේ චේතනාව හොඳ එකක්.

  8. පලවෙනියට බලන් ඉඳපු,ඔබපු අතගාපු එක තරම් මිහිරක්,රසක් කොහෙන්ද නේද?ඒ කොම්පියුටර් එක තාම හීනෙන් පේනවා.

  9. මගේ දෙමවුපියන් වසර 10 ක පමණ සිට රජයේ සේවයෙන් විශ්‍රාමිකයි. දෙදෙනාම තාමත් ගෙවීමේ ක්‍රමයට හරි හරියට භාණ්ඩ මිලදී ගන්නවා. මාස කීපයකට ප්‍රථම රෙදි සෝදන යන්ත්‍රයකුත් ගෙන තිබුනා. ඔබ තව දුරටත් ගෙවීමේ ක්‍රමයට බඩු ගැනීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යයි යෝජනා කරනවා.

    මට 2006 දී අරන් දුන්න මැෂිම ගෙනාපු දවසෙම හබක් . 8MB වීඩියෝ මෙමරි එකට දරාගන්න බැරි ස්ක්‍රීන් රෙසලුෂන් එකක් දීලා. ස්ක්‍රීන් එක බ්ලෑන්ක් ගියා 😛

    • ඇත්ත ඇත්ත. මගේ ප්‍රකාශය මෙන්න මෙහෙම සංස්කරණය කල යුතුයි. ලීබඩු, විදුලි උපකරණ, ආදිය ගෙවන්න දුන්නට පරිගණක දෙන්නේ නැහැ.

      ඔයවගේ ඇබැද්දි කරගත්ත පරිගණක මගේ ළඟට අරගෙන එන සමහර අයට මම කියන දේ තේරෙන්නේ නැතිවුනාම මටම ඇතිවෙලා මම කියන්නේ ඒවා හදන්න මම දන්නේ නැහැ කියලා.

  10. මාගේ පළවෙනි පරිගණකයේ මම වැඩ කරමින් සිටිමි. ලැප පුස් කෑවත් මේකට මම තවමත් ආදරය කරමි.

    • පරිගණකය ගත්තු හැටිත් කියන්නම්කො.. මම ඉස්කෝලෙ වයස පහුකරනකන්ම පරිගණකයක් අල්ලලා වත් තිබුනේ නෑ.. අපේ මල්ලී ඉස්කොලෙදි ඕවා පාවිච්චි කරලා ඇවිත් මට කෝ චොක් කරනවත් එක්ක..

      ඒත් මට විශ්ව විද්‍යාලයෙදි කරන්න උනේ තොරතුරු තාක්ෂණේ.. ඒත් පරිගණකයක් ගන්න සල්ලි තිබ්බෙ නෑ.. විශ්ව විද්‍යාලයේ තිබ්බ පරිගණකත් බොහෝම අබල දුබල එව්වා.. ඔන් කරලා වැඩ පටන් ගන්න කලින් කැන්ටිමට ගිහින් තේ එකක් බීලා ආවැකි.. අනික ලැබ් එකේ සේවකයෝ.. උන් ඉන්නෙ පනින්න බලාගෙන ඉතින් ලමයි එනවට කැමති නෑ..

      ඉතින් මම පරිගණකයක් ගන්නකම්ම මාත් එක්ක හිටපු මිත්‍රයෙක් එක්ක එයාගේ පරිගණකය හවුලේයි පාවිච්චි කලේ.. ඒ මිත්‍රයා නොහිටියා නම් මම දමලා ගහලා ගෙදර යන්නත් තිබුනා..

      ඊටපස්සෙ ට්‍රේනින්ග් ගිහින් ගත්තු පඩියයි.. පුංචි දුන්නු සල්ලියි වලින් මගේම කියලා කොම්පීතරයක් ගත්තා..ඒක තමයි තාමත් පාවිච්චි කරන්නෙ.. ඔෆීසියෙන් ලැපක් හම්බුනා.. ඒත් පලවෙනි එක අතාරින්න හිතෙන්නෙ නෑනෙ..

      • දුකසේ හම්බකරගත් මුදලින් ගත්ත කොම්පීතර් ට වඩා නිකං තාවකාලිකව හම්බවුන ලැපී වටින්නේ නෑ තමා.

        ‘මිසදිටු සුරඟන රූසිරු කුමටද – හද දුටු ජනපද කළණ හොඳා’ (සෝමතිලක ජයමහ)

    • ප්‍රතිපත්තිගරුක පරිගණක පෙම්වතෙක්. සැබෑ ජීවිතයේදීත් එහෙමම වේවා………..!

  11. මගේ පළවෙනි එක ගැන කිව්වොත්, ඒක ගත්තෙ 2005 මුල් කාලෙ. P 1V එකක්. ගෙඩි රුපියල් පනස් හයදාස් ගානක් ගියා. මොනිටරේ නම් අර පත සීආර්ටී එකක්. සම්සුන් 15‘‘ කළු එකක්. ඉන්පස්සෙ කාලෙන් කාලෙට මදර් බෝඩ්, රැම්, වීජීඒ එහෙම අළුතින් දාගෙන හුඟ කාලයක් දිව්වා ඒක. අන්තිමට ප්‍රොසසරය ඉඳන් මාරුකරන් වෙන මැෂින් එකක් අවුරුදු දෙකක් විතර දිව්වා. ඔය අතරෙ 17“ සීආර්ටී මොනිටර් දෙකක් පාවිච්චි කළා. ඊට පස්සෙ ගිය අවුරුද්දෙ i 3 එකක් ඇසෙම්බල් කරගත්තා. මමත් වෙන වෙනම කෑලි අරන් ගෙදරදිම තමා ඇසෙම්බල් කරගත්තෙත් ඕඑස් එක ඇතුළු සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගත්තෙත්. දැන් භාවිතා කරන මොනිටරේ සම්සුන් 19“ එල්ඊඩී එකක්. මෙතනදි කියන්න ඕනම දේ තමයි මම ඔය හාර්ඩ්වෙයාර් කෝස් මොකුත් නොකර ඇසෙම්බල් කරගන්නත්, සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නත් ඉඳල ගොඩ වෙදකම් ඔක්කොම ඉගෙන ගත්තෙ අර P 1V එක මස්කරලම තමයි. ඒ පළමු පරිගනකයෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. පස්සෙ මම වෙන එහෙකට මාරු වෙද්දි ඒකෙ තිබුනු වැඩ ගන්න පුළුවන් ඔක්කොම ඒව යාළුවොන්ට දුන්නා. හොඳටම වැඩ ගත්තු 80 GB හාර්ඩ් එක විතරක් රු 2000 කට විකුණ්නා.

    ප්‍රින්ටර් නම් මම ගත්තෙම නෑ. මොකද ඒව නඩත්තු කරනවට වැඩිය ලාභයි ඕන කරන ෆයිල් පෙන් එකකට දාගෙන ගිහින් පිටින් කරගන්න එක. දැන් රු 2.50 ට 3 ට ප්‍රින්ට්අවුට්ස් ගන්න තියෙන නිසා ප්‍රින්ටර් ගන්න අදහසක් ඇත්තෙම නෑ.

    • මම වගේම තමා එහෙනං. මමත් පරණ මැෂින් බර ගානක් මස් කරලා තියනවා. අදත් පරණ කෑලි පෙට්ටි දෙකක් විතර තියනවා. මෘදුකාංග එකතුවක් තියනවා මම ටොරන්ට් වලින් බාගත්ත. මගේ CD/DVD පැක් එකේ තියනවා විශිෂ්ඨතම මෘදුකාංග එකතුවක්. ඕනෙම කෙනෙකුට අත්‍යවශ්‍ය සියල්ල තියනවා. අදටත් මම අලුත් මෘදුකාංග බාගෙන ඒ එකතුව අලුත් කරගන්නවා.

      • ඔව්, දැනට අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන හැම මෘදුකාංගයක්ම වගේ මගේ ළඟත් තියෙනවා. සමහර ඒව නම් මම කොපි දෙක තුනක් තියන් ඉන්නවා. සමහරු ඔය ඩිස්ක් ඉල්ලගෙන ගියාම එක්කො ගෙනත් දෙන්නෙ නෑ, නැත්නම් නොසැලකිල්ල නිසා හොඳටම හූරල. ඉල්ලුවහම නොදීත් බෑ, වෙලාවකට මහ වදයක් වෙනවා.

        • අනේ මටත් දැන් එපා වෙලා තියෙන්නේ ඉල්ලගෙන යන සොෆ්ට්වෙයාර් සී.ඩී. ආපහු ගෙනත් දෙන්නැති එක. දැන් මම ටිකක් තදින් ඉන්නවා යාලුවන්ට වුනත්. අපි මෙහෙ ලයිට් බිල් ගෙවාගෙන ඩවුන්ලෝඩ් කරලා. සල්ලි දීලා ඩී.වී.ඩී. ගෙනත් ඒවාට ගහනවා අරගොල්ලෝ නිකම් ‘සුම්මා’ විදිහට ඉල්ලගෙන ගිහින් පොල්ල තියනවා. 😀

  12. මම ඉස්ඉස්සෙල්ලම පරිගණකයක් ගත්තෙ රට ඇවිත් තමා. 2009දී ඩිර්හාම් 3100.00 (රු. 93000.00) කට ගත්තෙ. HP එකක්.. මේඩ් ඉන් චයිනා. තාම යකා වගේ වැඩ. බැටරිය සවුත්තු වුන එක විතරයි අවුලකට වුනේ.. හැම තිස්සෙම ප්ල්ග් කරල යූස් කරණ හින්දා ඒකෙත් ගැටලුවක් නෑ.. මේ කමෙන්ට් එක ගහන්නෙත් ඕන් ඒකෙන්..

    රුපියලක් දාන්න ඕනා ගිණුම් අංකය කියන්න.. 😀

    • ගිණුම් අංකය 010 (එක පොඩ්ඩක් පහළට කරලා ලියන්න)

      අම්මෝ…..93000 මට කලන්තේ හැදෙන ගානක්.

      • මම ඉතින් මේ වගේ දෙයක් ගද්දි ටිකක් හොඳම එකක් ගන්න බලනවා, මොකද මට ඕවා ගැන තියන දැනුම මදි හින්දා.. මම මේක ගත්තෙ මේ මොඩල් එක ආපුම අලුත වෙන්නෝනා.. දැන්නම් එච්චර ගනන් නෑ.. හැබැයි ලොකු ගානක් දීලා ගත්තට පාඩුවක් නෑ.. අවුරුදු හතරටම එකම ලෙඩක්වත් දීලා නෑ මේ වෙනකම්..

        • එක එක පුද්ගලයා පාවිච්චි කරන ආකාරය අනුවයි බොහොමයක් යන්ත්‍ර සූත්‍ර වල කල්පැවැත්ම රඳා පවතින්නේ. බොහෝ දෙනෙක් ලැප්ටොප් යතුරු පුවරුවට තදින් පහර දෙමින් ටයිප් කිරීම නිසා ප්‍රශ්න ඇතිවෙනවා. එමන්ම සමතල නැති තැනක තබා ක්‍රියාකරවීම, වාතාශ්‍රය අඩු තැනක තබාගැනීම, නිතර ඇරීම වැසීම, නිතර හාඩ් ඩිස්ක් එකට වදයක් වන පරිදි සොෆ්ට්වෙයා දැමීම මැකීම, ලැප්ටොප් වලට කරන ලොකුම හානියක්.

      • විශ්ව රංගනාත් said:

        නිදන ඇඳ මත සිට කොට්ට මෙට්ට් මත තබා ලැප් ටොප් වලින් වැඩ ගැනීම ගොඩක් අවුල් ඇතිකරනවා ළඟදී මම එහෙම එකක් ගැලෙවුවා හීට් සින්ක් වල නුල් වල තියෙන සියුම් කෙඳි පිරිලා.

      • විශ්ව,

        මගෙත් පුරුද්ද ඕක තමා. මගෙ ලැප්ටොප් එකෙත් ඔය විදිහට කෙඳි වගේ හිරවෙලා තියනවා, වැකුම් කලත් අයින් වුනේ නෑ.. විසඳුමක් දන්නවද ?

        • ගලවනහැටි දන්නේ නැත්නම් තනියම ගලවන්න යන්න එපා සෙන්නා. හානි වෙන්න පුළුවන්. සර්විස් කරන තැනකට දෙන්න. බ්ලෝවරයකින් හුළං පාරක් ඇල්ලුවම හරි.

      • බැටරිය සවුත්තු වෙන්නෙ හැම තිස්සෙම ප්ලග් කළාම.. විශේෂඥයෝ කියන විදිහට ලැපක් චාර්ජ් කරන්න ගන්න ඕනෙ 40%ක් බැටරි තියෙනකොටලු.. 100% ආපුවාම ප්ලග් එක ගලවලා ආයෙ 40% එනකම් බැටරියෙන් දුවන ඕනලු..

        • මම හිතාගෙන හිටියේ හොඳටම බැටරි බහිනකල් ඉඳලා, ‘තවත් බැරියෝ’ කියන මැසේජ් එක 😀 තිරයේ දැක්කම චාජ් කරන එක හොඳයි කියලයි.

      • විශ්ව රංගනාත් said:

        @Senna
        ගලවලා සුද්ද කරන එක තමයි විසදුම. ඔබගේ ලැප් එකට අදාල dissemble manual එක හොයාගෙන ගලවන්න. ඒ පිලිවලට වැඩේ කරන්න. හීන් පටි වගේ රිබන් කේබල් එහෙම තියෙනවා පරිස්සමෙන්. බයනම් පුරුදු කෙනෙකුට දීලා කරගන්න.

        @Hareendra Perera තවත් බැරියෝ’ කියන මැසේජ් එක 😀 තිරයේ දැක්කම චාජ් කරන එක හොඳයි තමයි මමත් පායෝගිකව ඒක දන්නවා. ගොඩක් අය කියනවා ලිතියම් අයන් බැටරි වලට චාජ් කරන පිලිවල අවුලක් නැහැ කියලා නමුත් බැටරිය බහින විට පුළුවන් තරම් බහින්න දීලා full charge කරන්න. එහෙම කොලොත් කල් පැවැත්ම වැඩියි.

    • අන්න ඔය හැමතිස්සෙම ප්ලග් කරන එක තමා බැටරියට හෙනේ වුනේ. බැටරි සෙල් ඇද යනවා ඔටෝ චාර්ජ් කන්ට්‍රෝල් එකක් නැත්තං.

      • auto charge control කියන්නේ මොකක්ද? මට කියලා දෙන්න.

      • ක්සැන්ඩර් said:

        විචාරක මහත්තයෝ ඔටෝ චාජ් කන්ට්‍රෝල් කියන්නේ බැටරියක් අවශ්‍ය තරමට චාජ් වූ පසු ඊට වඩා ඒ බැටරියට විදුලිය සපයන එක වලක්වන ක්‍රමයක්. මේ යටතේ පරිඝනකය බැටරිය අධ්‍යයනය කරමින් අවශ්‍ය විදුලි සැපයුම තීරණය කරනවා. ඒ වගේ ලැප්ටොප් වල අවශ්‍ය තරම් බැටරිය ආරෝපණය වී ඇති විට.පෙන්නන්නේ Battery is full. Not charging කියල. බොහෝ විටම මේ වර්ගයේ පරිපථ කොටස් එන්නේ බැටරිය මාරු කරන්න බැරි වර්ගයේ ලැප්ටොප් වලයි. අනිත් වර්ග වල ලැප්ටොප් වලත් මේ තත්වය දකින්න පුළුවන්. ඒත් ඉතා අඩුවෙන්.

        මේ විදියේ කොටසක් ඇති ලැප්ටොප් එකක් තමයි Fujitsu UH572.

  13. මාත් මුලින්ම ඇල්ලුවේ පෙන්ටියම් හතරේ එකක්.යන්තම අවුරුදු හතයි මට එතකොට. ඒ කාලේ නම් ඒව මැජික් වගේ 😛

  14. මං මුලින්ම කම්පීතරයක් ඇල්ලුවේ මගේ හොඳම යාලුවත් එක්ක අපේ ඉස්කෝලේ ප්‍රදර්ශනයකදී. එතකොට මම හය වසරේ. අන්තිමේදී අපි දෙන්නා එතනින් පන්නනකන් එකේ දාලා තිබුණු ස්කයි ගේම් එකක් (දොස් එකක්) ගගහා හිටියා පැය දෙකක් විතර.

    ඊළඟට මම වෙනත් ඉස්කොලකට ගිය වෙලාවේ (එතකොට මම 9 වසරේ) සින්ටෙක් ආයතනයෙන් බස් එකක් ඇවිත් ඉස්කෝලේ ළමයින්ට පොඩි මැජික් එකක් (ඔව් මැජික් එකක්ම තමා) දැම්මා.එයාලගේ කම්පීතර ගානට ඔපරේටර්ස්ලා එක්කෙනෙක් අඩු උන හින්දා මාව තමයි අඩුව පුරවන්න යොදාගත්තේ.
    මම ඉතින් ස්ටාර්ට්—>අදාළ ප්‍රෝග්‍රෑම් ඒක. (දැන්නම් මොකක්ද කියලා මතක නෑ) රන් කරලා ළමයින්ට කියලා දෙනවා. වැඩේ ඉවරවෙනකොට වින්ඩෝ හැටහුටහමාරක් ඕපන් කරලා. ඇයි දෙයියනේ මට ඒ එකක්වත් ක්ලෝස් කරන්න කවුරුවත් කියල දුන්නයැ. 😀

    ——–
    පලවෙනි මැෂින් ඒක PI එකක්. ටවර් මෝඩ්. 2003දි ගන්නකොට 23000. ඊළඟට අයියලා මාස තුනක් විතර කම්පීතර ෂොප් එකක් දාන් හිටියා. ඕකේ තිබුණු මැෂින් හතරක් විතර එකක් කදෙනකොට අනික විදියට 2005 විතර වෙනකම් පාවිච්චි කළා. hard 750mb, ram 4mb*2 etc…..
    ඔව්වා තමයි මගේ ලර්නස්……..

  15. මාත් සැහෙන්න උත්සාහ කළා මගේ පළවැනි එක ගැන අදහසක් ගන්න. ඒත් හරියටම මතක නැ. හේතුව මේහෙම එකක් මුලින්ම හදාගත්තේ එක එක්කෙනාගෙන් කෑලි කැලි ගෙදර ගෙනත් එකතු කරලා නිසා. මායි තව යාලුවෝ දෙතුන් දෙනෙකුයි එකතු වෙලා තමා ඒක අටෝ ගත්තේ. දැන් නං ඒවයේ කැලිවත් නැ. මේසයක් වහගන සිට ඒ වෙනුවට දැන් ලැප් ඇවිත් නේ.මතකය අලුත් කරගන්න මේ සටහන ඉවහල් වුණා.

    • මගේ නැතත් අපේ කියලා හරි පරිගණකයක් එකලස් කරගැනීම ළමයෙක් හදාවඩා ගත්තා හා සමානයි එක අතකට. මම මුලින්ම තනියම රේඩියෝ එකක් හදපු දවසේ (1978 දී) මට දැනුනේ මම හරියට මාර්කෝනි වගේ කියලා.

  16. මගේ පළවන එකද, දෙවන එකද, තුන්වන එකද පරිත්‍යාග කලෙමි. ඒවායෙහි නඩත්තු කටයුතු කරන්නේද මා විසිනි. එක දැරියක් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ 3 වන වසරේයි. තව දරුවෙක්. නීතී ව්ද්‍යාලයේය. අනෙකා නම් ගල් ආඳෙකි. එහෙත් සාර්ථක ව්‍යාපාරිකයකුව ඇත. දැන් තිබෙන ලැප් ටොප් එකත් බොහෝ ලෙඩ දෙන්නේය. මේ අවසාන වතාව බව වෛද්‍යවරුන් පවසයි.

    • ඇත්තටම ලොකු පිනක් ඉගෙනගන්න දරුවෙකුට කොම්පියුටරයක් දෙන එක. හැබැයි ඒකාට ඇත්තටම කොම්පියුටරයක් අවශ්‍ය වයසේ ඉන්න ඕනේ. නැත්නම් ඌ වනචරකමේ සීමාව ඉක්මවා යනවා බලා ඉඳිද්දී.

      ලැප්ටොප් එකත් එක්කම මූදට පනින්න හිතෙන්නේ ඒවා නොකඩවා ලෙඩ දෙන වයසට ආවාමයි.

    • මාතලන්ගේ තුන්වෙනි එක ගත්ත එකා… පව්……

  17. Abans එකෙන ගන්න පුලුවන් ඔබට ලගම ඇති ශාකාව කුමක්දැයි කියන්න බලමු ඔබට උපකාරයක් කරන්න පුලුවන්ද කියා

    • කුරුණෑගල අබාන්ස් ශාඛාව.

      මගේ ඔක්කොම දුරකථන, අන්තර්ජාල, විදුලි බිල්පත් සහ රක්ෂණ වාරිකය ගෙවන්නත් මම යන්නේ කුරුණෑගල අබාන්ස් එකට.

  18. මදෑ පලවෙනි ලව් එක බලන්ඩ ආවා.

    මොකටද අනේ ඔයාට ලැප් , ඔය තියෙන්නේ පට්ට කොම්පියටරයක්

    මං පාවිච්චි කරන එක මම ගත්තේ 11900 කට

    පෙන්ටියම් ෆෝ

    80 gb id හාඩ්

    2.6 පොසෙසර්

    1gb ram ddr1

    256 vga

    dvd රයිටර් id ( වැඩ කරන්නේ නැත )

    කොරියාවේ අවුරුදු 15ක් විතර වැඩ කරපු එකක්

    ඔයාගේ මේ කතාව ඇහුවහම මට මතක් උනා අර අතක් නැති හන්දා බිල්ඩිමකින් පැනලා මැරෙන්ඩ හදනකොට පල්ලෙහා අත්දෙකම නැති පොරක් නටනවා දැකලා පොරගෙන් සතුටෙන් ඉන්න විදිහ ගැන අහපු අත නැති එකාට අහන්ඩ හම්බෙච්ච උත්තරය.

    මගේ කම්පියුටරය හදාගන්ඩ මම කාපු කට්ට කවියෙන් විස්තර කරලා තියනවා “මෙන්න මෙතන” දැක්කද

    • උඹට කියන්න ඔය කතාව මට ඊයෙ මතක් වුනානෙ අටමෝ..

    • උඹට නම් ලව් මයි ඔලුවේ තියෙන්නේ.

      පට්ට තමා දැන් මේක පට්ට ගැහිලා ඉවරයි. උඩින් ඔපෙ යටින් හපේ.

      ලැප්ටොප් එකක් ගන්ඩ අදහසක් නැද්ද?

      කවි ටික බලන්නම්.

      • ලැපක් ගන්ඩ අදහසක් නං තියනවා . ( හීනෙනුත් පේනවා ) , පැන්ෂන් කාරයයි , එදා වේල ටුවර්ස් ලයි අතරේ මහ ලොකු වෙනසකුයි නැ ලොකු අයියේ අපේ රටේ ,
        ( ආ……පැන්ෂන් කාරයා කියන තැනට එකතු කරගන්න මෙන්න මේක …… රටේ සල්ලි යටිමඩි ගහපු නැති…..) …

        ඔයාට ලැපක් ගන්ඩ ලැබුන දවසට මාත් එකක් ගන්නං . සිංහල කී බෝඩ් තියන ෆෝන් බැස්සුවට , තාම සිංහල කීබෝඩ් තියන ලැපක් බස්සලා නැ නේද මාකට් එකට.

        අනිත් රටවල් තමන්ගේ මව් බසට දෙන වටිනාකම නොදෙන්නේ ඇයි අපි අපේ සිංහල බසට

        ඔන්න දැන් කට්ටිය කියයි අටමට ඉංගිරිසි බැරි හන්දා කියන ගොං කතා කියලා

      • // තාම සිංහල කීබෝඩ් තියන ලැපක් බස්සලා නැ නේද මාකට් එකට.//

        කී එක උඩ තියෙන පුංචි ඉඩේ සිංහලයි දෙමළයි අකුරුත් ඇතුලත් කරපු කීබෝඩ් නම් මට පේන්නෙ කහල ගොඩක් වගේ. ඔක්කොම එකගොඩේ. ටිකක් වෙලා කීබෝඩ් එක දිහා බලං හිටියම හිසේරදේ. මම තාමත් පාවිච්චි කරන්නෙ 2005 දි මුල් මැෂින් එක ගද්දි ගතිපු කීබෝඩ් එක. ඒකෙ දැන් එක අකුරක් පේන්නෙ නෑ, ගෙවිලම. පුරුද්දෙන් ඇදලදානවා.

        ලැපකට නම් ගෙදර තියන් පාවිච්චි කරද්දි නම් මම හිතන්නෙ හොඳම වැඩේ පොඩි මවුස් එකකි, කීබෝඩ් එකකි යූඑස්බී ගහගන්න එක.

        • //ලැපකට නම් ගෙදර තියන් පාවිච්චි කරද්දි නම් මම හිතන්නෙ හොඳම වැඩේ පොඩි මවුස් එකකි, කීබෝඩ් එකකි යූඑස්බී ගහගන්න එක.//

          සම්පූර්ණයෙන් එකඟයි. අනේ අර සිනිඳු සුමුඳු කී පෑඩ් එකයි කර්සර් පෑඩ් එකයි දැක්කම එපා වෙනවා.

      • මොකක්ද සිංහල ලැපක් කියන්නෙ? 🙂

        මම ලගදි කීබොඩ් එක සම්පූර්ණයෙන්ම ගලවලා සුද්ද කලා අලුත් එකක් වෙන්න.. මෙන්න බොලේ ඒක ඇතුලේ මිරිස් ඇටත් තියෙනවා..

        • සිංහල උකුලක් වෙන්න ඇති 😀

          උයන ගමන් කොම්පියුටරේ වැඩ කිරීමේ ප්‍රතිපලේ තමයි ඒ මිරිස් ඇට. කොහොමද පැළ වුනානම් 😀

      • සිංහල ඒවට පුරු‍දු වෙන්න එපා අටමො. කොහොමහරි අකුරු හොයාගෙන ගහපං. කාලයක් යනකොට පුරුදු වෙනව.

  19. විශ්ව රංගනාත් said:

    මම පළමු එක ගත්තේ 2001 දී. AMD Athlan 1.8Ghz එකක් මට මතක විදියට 45000ක් විතර ගියා ඒක මෑතක් වනකන් වැඩ කරලා ළඟදී bios අවුලක් නිසා boot වෙන නැවතුනා. ඒක ගත්ත කතාව සුන්දරයි. පරිගණක ගැන ලොකු දැනුමක් නැති කාලෙක මම තරම්වත් ඒ ගැන නොදන්නා යාලුවෙක් සමග unity plaza ගොස් ජනප්‍රිය නමක් සහිත කඩේකින් ගත්තේ. ඒ කලේ උන්ගේ බඩු හොඳයි. නොදන්න මට බොරුකරෙත් නැහැ. එකෙන් තමයි ඔක්කොම ඉගෙන ගත්තේ දැනට නම් පරිගණක 10 ක් විතර එකලස් කරලා වගේම 50ක් විතර අලුත්වැඩියා කරලත් ඇති. භාවිතා කරන්නේ මගේ තුන් වෙනි එක. ඒ කලේ අපි කැම්පස් ගියේ floppy disk 10ක් විතර අරගෙන. මුලින්ම ගත්ත පෙන් එක 32 MB දැන් මතක් වෙනකොට හිනහත් යනවා. තාක්ෂනය කොතරම් වේගයෙන් දියුණු වෙනවද? තව අවුරුදු 10 කින් කොහොම වේද?

    • ඔබට හොඳ අත්දකීම් සමුදායක් තියන බව පෙනෙනවා. ඔබ මුල් කාලයේදී පාවිච්චි කරන්න ඇත්තේ 3.5 ෆ්ලොපි ඩිස්ක් නේ. මම 1980 ගණන්වල පාවිච්චි කලේ අඟල් 5 ෆ්ලොපි ඩිස්ක්. 😀 දැකලා තියනවද ඒවා.

      තව අවුරුදු 10 කින් අපි හිතන දේ මුද්‍රණය වෙලා එලියට එයි කියලා හිතෙනවා.

      • විශ්ව රංගනාත් said:

        අඟල් 5 ෆ්ලොපි ඩිස්ක්. ගැන අහලා තියෙනවා drivers නම් දැකල තියෙනවා නමුත් අඟල් 5 ෆ්ලොපි ඩිස්ක්. එකක් නම් දැකලා නැහැ. 3.5 ෆ්ලොපි ඩිස්ක් එකක් මම අරන්තියන් ඉන්නවා මගේ දරුවා ලොකු වුනාම පෙන්වන්න.

      • මමත් ඔය පොඩි ෆ්ලොපි ඩිස්ක් එකක් තවමත් තියාගෙන ඉන්නවා සිහිවටනයක් විදියට. මතක හැටියට ඒ දවස්වල ඩිස්ක් එකක් රු 40 ක් හරි 60 ක් හරි උනා. අපි ඔය වර්ඩ් එක්සෙල් ඉගෙනගන්න ගිය පන්තියෙදි අපිට එදිනෙදා කරන වැඩ සේව් කරල යන්න තිබුනෙත් අපේ අංකෙට නිකුත් කරපු ෆ්ලොපි එකකට. හැමදාම ප්‍රැක්ටිකල් කරන්න ගියාම ඒක අරගෙන, එනකොට භාරදීල එන්න ඕන. ඒකෙදිම හඳුන්වාදීමෙදි අපිට පරණ අඟල් 5 ෆ්ලොපි පෙන්නුවා. ඒත් ඒවා පාවිච්චි කරන ඩ්‍රයිව් නම් තිබුනෙ නෑ ඒවෙනකොට. (අඟල් 5 කිව්වට 5 1/4 ද කොහෙද නේද)

        • ඔව් ඔව් 5 1/4 තමයි. එහෙ මෙහෙ ගෙනියනකොට නැවුනොත් ‘හබක්’ තමයි. ඩ්‍රයිව් එකට රිංගවනකොටත් කලබල නොවී පරිස්සමෙන් කරන්න ඕනේ. මමත් අර ෆ්ලොපියේ සේව් කරන ක්‍රමේට ඉගෙනගත්තා.

  20. අප්පේ ඔය මදැයි ඉතින්. ලැපක් ගත්තත් ඔය සන්තෑසියම නෙව කෙරෙන්නේ. මොනව උනත් මටත් මතක් වුනා මගේ කම්පීතර අරුමේ. දවසක දාන්නම්කෝ ඒකත් පොස්ටුවකින්. මට නිකම් මේ මාතෘකා පොඩ්ඩ දිකද්දි හිතුනේ මේ කියන්න යන්නේ ෆස්ට් ලව් එක ගැනවත්ද කියලා. හෙහේ.

    • නැහැ නැහැ ලැප්ටොප් පරිගණකයකින් මට තියන පළමුවැනි වාසිය තමයි දැන් තියන පරිගණකයට වැයවන විදුලි බිලෙන් හරි අඩක්ම අඩු කරගැනීමට හැකිවීම. මුදල් අතින් බැලුවොත් රු 1000 ක් පමණ.

      මගේ කීවෙනි ‘ෆස්ට් ලව්’ එක ගැනද විස්තර දැනගන්න ඕනේ? 😀 😀

      • විශ්ව රංගනාත් said:

        දැන් desktop පාවිචිචිය සල්ලිකාරයන්ගේ වැඩක් වෙලා. තව ටික දවසකින් ගෙදර් පියානෝ එකක් තියනවා වගේ desktop පරිගණක නම්බුකාර දෙයක් වෙයි. විදුලි බිල එක්ක.

  21. සුපිරි මතකයක්නේ. මගේ පලවෙනි එව්වා නම් මම My First Loves කියලා බ්ලොග් කරලා තියෙනවා. පළවෙනි කොම්පියුටරේනම් මීට අවුරුදු 10කට 11කට කලින් ගත්ත P3 එකක්. හාඩ් ඩිස්ක් එක 10GB. පස්සෙ තව දැම්මා. RAM 125MHzයි.

    • ‘පරණ එව්වා’ කොයි එකත් කවදාවත් මතකයෙන් ඈත් වෙන්නේ නැහැ. 😀 ඔය ඉන්න දිවයිනේ නැද්ද ආනයනය කල යන්ත්‍ර රාජයෝ ලාබෙට ගන්න.

      • ‘පරණ එව්වා’ නේද? (Duly noted and point taken. :D)
        නෑ විචාරක, අපි ලංකාවේ බඩු ගනං කියලා කිව්වට මෙහෙ බඩු ලාබ නෑ. සිංගප්පූරුව, ඩුබායි වගේ තැන් වල නම් ඇත්තෙන්ම ලංකාවට වඩා බඩු ලාබයි. අපි ගාව තියෙන ලැප්ටොප් පරිගණක ඔක්කොම සහ උපාංග ඔක්කොම වගේ ඇත්තෙන්ම ලංකාවෙන් ගෙනාපුවා.

  22. මගේ මුල්ම පරිඝනකය ගත්තේ විශ්ව විද්‍යාලයට ආවට පස්සේ. ඊට කලින් ඒකක් ඕන උනෙත් නෑ. නොතිබ්බ එකත් හොඳයි.

    අර පින්තූරයට වඩා ගැලපෙනේ (පින්තූරයේ ඉන්න දෙන්නා සලකා බැලුවම ) ” මේවා දැන් කාලේ කඩවල තිබ්බට ඒ කාලේ කඩවල තිබ්බේ නෑ ” කියන එක.

    • ඇත්තටම මමත් හිතන්නේ උසස් පෙළ අවසන් කරලා තමන්ගේම පරිගණකයක් ගැනීම තමයි හොඳ. එතෙක් පාසලෙන් ලැබියහැකි උපරිම තොරතුරු තාක්ෂණ දැනුම ලබාගත යුතුයි.

      අර පින්තූරයේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් මම වගේ නේද?

      • නිර්නාමික said:

        වමේ ඉන්න්න කෙනාට ( පරන රතු හමුදා භටයා ) ඔබතුමාගේ සීයගේ වයසේ ඇති. දකුනේ කෙනා ( රුසියන් VDV භටයා. හැබෑටම Airborne කියන එකට සිංහලෙන් මොකද කියන්නේ ) දුවගේ වයසේ ඇති.

        • අර ලොක්කා වැඩිම වුනොත් මට වඩා අවුරුදු 20 ක් වැඩිමල් ඇති. මම දැන් 59 +

          airborne කියන එකට තනි වචනයක් නැහැ. ගුවන් සංක්‍රමණික කියලා තමයි කියන්නේ. හරි නෑ නේද ඒක. ලොකු අඩුවක් තනි වචනයක් නැති එක.

  23. මම මේ බලන් හිටියෙ කමෙන්ට්ස් ඇපෘව් කරණ සහ පිළිතුරු දෙන පිළිවෙල.. දුටු ගැමුණු උණු කිරිබත් කනවා වගේනෙ.. 😀

    • නැහැ නැහැ. ඔයාගේ කමෙන්ට් දෙකම ස්පෑම් ගොඩට ගිහින් තිබුනේ. මේ දැන් අරන් ආවේ. උත්තර දෙන්න හදනකොට මේ කමෙන්ට් එක ආවේ.

      අර බස් රේඩියෝ එකේ සජීවීව දුරකථනයෙන් ප්‍රශ්න අහන්න බැරිද?

      • නැ නෑ මගෙ කමෙන්ට් එක ගැන නෙමේ මම කිව්වෙ.. මම බලාගෙන හිටියෙ එහෙන් මෙහෙන් කමෙන්ට් වැටෙනවා සහ ඒවට උත්තර වැටෙනවා.. යටම තියන ඒවා කලින්, ආයෙ මැද්දෙන්, උඩින්.. ආයෙ යටින්.. ඒකයි බැලුවෙ මේ මක්කැයි වෙන්නෙ කියලා.. 😀

      • බස් රේඩියෝ නේද ? ප්‍රයිවට් බස් එහෙකට නැග්ගනම් කණ පැලෙන්න අහන්න පුළුවන්.. හැබැයි ප්‍රශ්ණ අහන්න බෑ..ඒවා වච්චිල්.. 😀 පුදුම කරුමයක් ඒක.. 😦

  24. අප්පා…පලවෙනි එකද? එතකොට ඔය P අකුරේ ඒවා ගැන අහලත් නෑ.මුලින්ම ගත්තේ 486 එකක්.මොනිටරේ කොල පාට අකුරු වලින් වර්ඩ් පර්පෙක්ට්,ලෝටස්,ඩීබේස් වගේ ඒවා තමයි වැඩ කලේ.එදා ඉඳන් කීපයක් මාරු වෙවී ඇවිත් අදනම් ඉතින් I3, HP ලැප් යාලුවෙක් ඉන්නවා.යාලුවා කිව්වට වෙලාවකට මේකා මහ ඇණයක්.හාමිනේගේ සුදු මූණ බලාගෙන කතා කොර කොර ඉන්නකොට හිටපු ගමන් විසන්ධි කොරලා දානවා “දැන් ඔය ඇති“ කියන්න වගේ.(හැබැයි ඒක අර ඩොංගලයාගේ නැහැදිච්ච වැඩක්)

    • ඉතා දීර්ඝ අත්දැකීම් ගොඩක් නේද? මමත් පරිගණක ඉගෙනගත්තේ කැසට් රෙකෝඩරයක් මෙමරි එක හැටියට පාවිච්චි කරපු .’සින්ක්ලෙයාර් ස්පෙක්ට්‍රම්’ කියන, බිස්කට් පැකට් එකක් තරම් පුංචි පරිගණකයකින්. මොනිටරය වුනේ ටී වී තිරය.

  25. මට මගෙ පළවෙනි 1 ලැබුනෙ මම වි.විද්‍යාලයේ පළමු වසරෙදි. ඒ 1997දි. ඒක Pentium 200 MHz. එකක්. RAM 32 MB, HDD 4 GB. රු. 60,000 ක් වුණා. මම ඒක කාල තමයි computer Hardware Software ඉගෙන ගත්තෙ. CD ROM 2ක් මාරු කලා. OS එක Windows 95 වල ඉඳලා XP වෙනකන් හොර කොපි වලින් upgrade කර ආවා . XP වලට එන කොට 256MB RAM එකකට මාරු වුණා. අන්තිමේදි 2006 දි Pentium D එකකට මාරු වුණා. ඒ මගෙ ‘පලමුවෙනි එකේ’ USB Port නොතිබුණු නිසා මට LankaBell Dial-up internet connection එක use කරන්න USB cable එක ගහන්න ක්‍රමයක් නොතිබුණු නිසා. (USB add-on card ක්‍රමය සාර්ථක වුණේ නෑ).දැන් මේ 3 වෙනි එක පාවිච්චි කරන්නෙ.

    • අම්මෝ 1997 දී රු 60000 ක් කියන්නේ හොඳ ඉඩමක් ගන්න සල්ලි නේ? ඒත් ඉතින් මොනවා කරන්නද? මම ඉස්සර ඉන්ටර්නෙට් බැලුවේ ටෙලිකොම් එකෙන් ගත්ත ප්‍රී පේඩ් කාඩ් වලින්. බල බලා ඉඳිද්දී බකස් ගාලා කාඩ් එක ඉවර වෙනවා. 😀

  26. අර අඩු සැට් එක තියෙන්නේ බීපු වෙලාවට සුර් බස්සන්නද?? රුපියල් දෙකක් මම දෙන්නං පාරේදි කාගෙන් හරි ඉල්ලගන්න.. මම ඒකාට පස්සේ දෙක දෙන්නං.. මතකය සුන්දරයි.. මාත් මුලින්ම දෙක තුනක් ම පමණ පාවිච්චි කරා. දැන්නං එකක්වත් නෑ. විචාරක වගේ මගේ උන්ගෙනුත් රු. 5 ගානේ වගේ ඉල්ලගත්තනං හොද ලැපෙක් ගන්න තිබ්බා.. හැක්..

    අර අපේ ප්‍රසන්නයාට ගුගල් කාරයා හදල තියෙන්නේ “පබිලිස්“ බටං එක නැති එකවුන්ට් එකක්..

    • ඇයි යකෝ සූර් එක බස්සලා වැඩක් තියනවද බිව්වට පස්සේ. සූර් එකේනේ ජොලිය තියෙන්නේ.

      ඇත්තටම දේශා දැන් ඉන්න හිඟන්නෝ රජයේ සේවකයන්ට වඩා පෝසත්ලු.

      පබිලිස් නැතුව කොහොමද පබිලිස් කරන්නේ? 😀

  27. ආව්.. මේක මරු.. කොම්පීතර් ඉතිහාසය… මට නං තියෙන්නේ දුක හිතෙන කතාවක් ඒ ගැන..

    අපේ මාමගේ ළමයි පොළවෙ ගහලා දෙකට කැඩුනම ඇඳ යටට විසිකරලා දාපු ලැප් එකක් මටයි මල්ලිටයි හම්බුනා… 1997දි විතර.. වින්ඩෝස් 95 තිබ්බේ… ගිය අවුරුද්ද වෙනකම් වැඩ කළා.. මල්ලිගේ යාලුවො දෙන්නෙක්ම ඒ ලැප් එක ගලෝලම පුරුදු වෙලා දැන් හොඳ ලැප්ටොප් රෙපෙයාර් කරන්නො වෙලා ඉන්නවා…

    මගේ කම්පියුටරේ ගත්තේ 2009 ජනවාරි මාසේ.. මගේ බෙස්ට් ෆ්‍රෙඩා සහ එයාගේ යාලුවො දෙන්නෙකුයි අපේ තාත්තයි ගිහින් යුනිටි එක පෙරළුවා… හි හි… හොඳම මැෂින් එකක් ඇසෙම්බල් කරගැනීමේ මගේ ඒකායන පරමාර්ථය නිසා… Intel Dual-core – 2GBRAM- 180GB harddrive – Samsung DVD Writer… VGA එක නං මට මතක නෑ.. කොහොමහරි ඒකාලේ තිබ්බ NFS – Far cry වගේ ගේම්ස් නියමෙට ගහන්න පුළුවන් ඒ මැෂින් එකේ.. ඒ දවස්වල අපේ මල්ලිගේ යාලුවෝ ඔක්කොම අපේ ගෙදර තමයි පදිංචිය… මං කරපු මෝඩකම තමයි හොඳ මොනිටරයක් ගත්තේ නැති එක.. ඇත්තටම ග්‍රැෆික් වලට හොඳ කලර් කැලිබ්‍රේෂන් කරපු මොනිටරයක් තියෙනව නං හොඳයි කියලා මට තේරුනේ ටික කාලෙකින්.. ඒත් 5000ට ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් මොනිටරෙත් ඒ තරම් නරකක් නෑ.. තාම වැඩ… ගෙනාපු ගමන් මං කළේ මාසයක් විතර මල්ලිට ඇති වෙන්න ගේම් ගහන්න දුන්න එක.. ගේම් සීඩ්ත් ගෙනල්ලා දීලා එයාට එපා වෙනකම් ගේම් ගහලා අතාරින කම් මං කම්පියුටරේට අත තිබ්බේ වත් නෑ… එයාට එපා උනාට පස්සේ තමයි මං මගේ වැඩ පටං ගත්තේ… හි හි…

    බැන්ඳට පස්සේ මට කම්පියුටරේ ගෙදර දාලා එන්න උනා… අපේ මල්ලි ඒක අයිති කරගත්තට පස්සේ ටිකක් අවුල් වෙලා… දැන්නං පයින් පාරක් දුන්නම තමයි වැඩ කරන්නේ… ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි මේ දැන් පාවිච්චි කරන iMac එක මස්සිනා ගෙනත් දුන්නේ.. ලැප් නං එපා මට… මේක හොඳා… ඇපල් වලට කීමෑන් නැති නිසා සිංහල පොත් එහෙම ටයිප්සෙටින් කරන්න බෑ.. ඒක නිසා 7000කට පාවිච්චි කරපු මැෂින් එකක් ගත්තා.. පළවෙනියටම ගත්ත DVD Writer එක දැන් ඒ මැෂින් එකට දාලා තියෙන්නේ.. තාම නං කියන්න තරම් අවුලක් නෑ…

    • හරිම ලස්සන ඉතිහාසයක්නේ. ඔයා මල්ලි වෙනුවෙන් කල පරිත්යාගයනම් බොහොම ඉහලයි.

      ඔන්න මම අද තමයි දන්නේ ඇපල් වල කී මෑන් වැඩ කරන්නේ නෑ කියලා. අපෝ මට නිතර වර්ඩ් ලිපි ලියන්න වෙනවා විවිධ ෆොන්ට් වලින්. විවිධ ෆොන්ට් මාරු කර ලිවීමේදී, ඩි, වි, මි, බි, ඩ්, ව්,ම්, බ්, වගේ ඒවා ලියන්න කී මෑන් ඕනෙමයි.

      • // ඩි, වි, මි, බි, ඩ්, ව්,ම්, බ්, වගේ ඒවා ලියන්න කී මෑන් ඕනෙමයි.//

        කීමෑන් තියෙනකොට ඒක ලේසි තමයි. ඒත් කීමෑන් අපිට නොතිබුන කාලෙත් අපි ඔය විදියට ටයිප් කරානේ. සමහරු වර්ඩ්වලදි අකුරු ඉන්සර්ට් කරකර ගියා. ඒත් කීබෝඩ් එක අතෑරල මවුස් එක වරින් වර අල්ලන්න වෙන නිසා ඒක කරදරයි. මම නම් කරේ ඕල්ටර් කී එකත් එක්ක අර නම්බර් ටික ගහන ක්‍රමය. ඒකෙ හොඳේ තියෙන්නෙ අදටත් කී මෑන් ඉන්ස්ටෝල්කරල නැති මැෂින් එකකින් උනත් හදිසියට වැඩක් කරගන්න පුළුවන් අර කෝඩ් ටික කටපාඩම්.
        ඩි – Alt+0228, වි – Alt+0250, මි – Alt+0241 වගේ. කැරැක්ටර් මැප් එකේ ඔය ටික තියෙනවා.

        • මේ ගැන නොදන්නා අයට ලොකු උදව්වක් මෙවැනි අදහස් දැක්වීම. එක එක්කෙනා තමන්ට හුරු කරගත් ක්‍රම තියනවා සිංහල ටයිප් කිරීමේදී. ඇත්තටම මමනම් හිතන්නේ තවමත් පහසුවෙන් සිංහල ටයිප් කිරීමේ ක්‍රමයක් නැහැ කියලයි.

      • ඒක නං ඇත්ත DDT… වැඩේ කියන්නේ මං මුලදිම කීමෑන් තිබ්බ නිසා ඒක පුරුදු උනා… ඒත් ඔය නම්බර් සිස්ටම් එක ඇත්තටම කාලේ කන වැඩක්… මොකද එක අකුරකට කීස් 5ක් විතර ගහන්න ඕනේ නිසා… පොඩි ලෙටර් එකක් වගේ නං ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්.. ඒත් පොතක් වගේ නම් ටයිපින් වලට යන කාලෙත් වැඩියි… කරදරත් වැඩියි… ලේසි ක්‍රම තියෙද්දි පරණ ක්‍රම අල්ලන් ඉන්න එකෙන් වැඩක් නෑ… හැබැයි ඉගෙන ගත්තට පාඩුවක් නෑ…

        ඇත්තටම අපේ ඉන්න පොඩි කොල්ලන්ට කෙල්ලන්ට පුළුවන් වින්ඩෝස් සහ ඇපල් වලට හරියන පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදන්න.. ලිනක්ස් වල කොහොමද දන්නේ නෑ… හැබැයි එහෙම උනොත් අපිට පුළුවන් ලංකාව ඇතුලේ කීමෑන් පාවිච්චි නොකර අපේම දෙයක් පාවිච්චි කරන්න.. අපේ එකෙක්ට ගොඩ එන්නත් පුළුවන්… ඒත් අපේ උන් කම්පියුටර් වෛරස් හද හද අනිත් උන් අමාරුවේ දාලා හිනා වෙන්න බලං ඉන්නවා විතරයි.. මෙහෙම දේකට අතගහන්න කල්පනා කරන්නේ නෑ….

        දැනට තියෙන යුනිකෝඩ් සිස්ටම් එක ගොඩක් හොඳයි… ඇත්තටම මං බ්ලොග් එක පටං ගනිද්දිට වඩා දැන් යුනිකෝඩ් සිස්ටම් එක වෙනස් වෙලා.. ඒක හොඳයි… ලේසියි…

      • මාත් කී මෑන් පාවිච්චි කරන්නෙ නෑ. නම්බර් සිස්ටම් එක පුරුදු උනාම වැඩි වෙලාවක් යන්නෙ නෑ ඒ කීස් හතර ගහන්න. සමහර වෙලාවට යුනිකෝඩ් ගහනකොටත් අමතක වෙලා නම්බර් ගැහෙනව. 😀

      • //ලේසි ක්‍රම තියෙද්දි පරණ ක්‍රම අල්ලන් ඉන්න එකෙන් වැඩක් නෑ… හැබැයි ඉගෙන ගත්තට පාඩුවක් නෑ…//

        @ හිරු,

        එහෙම තමා හිරූ, සමහර අය ඉන්නවා ඒ දවස්වල සිංහල ෆොන්ට් එකක් හොයා ගන්නත් ගොඩක් මහන්සි උනු. අද නම් පඳුරකට පයින් ගැහැව්වත් 10ක් 15ක් විසිවෙනවා. මට නම් ෆොන්ට්ස් හොයා ගන්න අමාරු උනේ නෑ, (කොච්චර ෆොන්ට්ස් තිබුනත් මම පාවිච්චි කරන්නෙ එෆ්එම් ෆොන්ට්ස් ටිකයි, සරා ෆොන්ට්ස් සෙට් එකයි තමා)

        ඔව්, එක අකුරක් වෙනුවෙන් කී පහක් ගහන්න වෙන එක අවාසියක් තමා. අද කාලෙට නම් ඒක නිතර භාවිතා කරන්න ලේසි ක්‍රමයක් නෙවි කොහොමටවත්. ඒත් ඒ දවස්වල අපේ අක්කගෙ වැඩකි, යාළුවෙකුගෙ වැඩකි කරල දෙන්න කියල ඉල්ලපු නිසා මම ඕකෙන් පිටු බර ගානක් ගහල තියෙනවා. (එයාලට කියන්න පුළුවන්ද කී මෑන් නැති නිසා මට බෑ කියල – උන් තේරුම් ගන්නෙ මම උදව් කරන්න බෑ කිව්වා කියල විතරයි) කොහොම උනත් ඒ වැඩෙන්මයි මම ඕක පුරුදු උනේ, පුරුදු උනාට පස්සෙ හිතනවට වඩා වේගයෙන් කරන් යන්න පුළුවන්. හිරු දැකල තියෙනවනේ ඔය බැංකුවල ඉන්න අය numeric keypad එකේ කී ඔබන වේගෙ.
        කොරල්, ෆොටෝෂොප් වගේ ඒවදි සමහර වෙලාවලට කීමෑන් සිංහල ඕන් කරල තියෙන කොට සමහර ෂොර්ට්කට් කී වැඩ කරන්නෙ නෑ. මම කීමෑන්වලටත් සිංහල ඕන් කරන්න ඕෆ් කරන්න ෂොර්ට්කට් දාලා තිබුනත් හුඟක් වෙලාවට කරන්නෙ ඔය අකුරක් දෙකක් අර කෝඩ්වලින් ගහලදාන එක.

        මට කියන්න ඕන උනේ හිරු වැඩ පහසු කරන උපකරණ යම් යම් දේවල් කොච්චර අද වෙනකොට තිබුනත්, ඒව නැති කාලෙ අමාරුවෙන් කට්ට කාගෙන වැඩ කරපුවහම ඒ දේවල් තිබුනත් නැතත් ඕනම තත්ත්වයක් යටතේ වැඩ කරන්න පුළුවන් කියන එක.

      • විශ්ව රංගනාත් said:

        @හිරු
        “ඇත්තටම අපේ ඉන්න පොඩි කොල්ලන්ට කෙල්ලන්ට පුළුවන් වින්ඩෝස් සහ ඇපල් වලට හරියන පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදන්න.. ලිනක්ස් වල කොහොමද දන්නේ නෑ… හැබැයි එහෙම උනොත් අපිට පුළුවන් ලංකාව ඇතුලේ කීමෑන් පාවිච්චි නොකර අපේම දෙයක් පාවිච්චි කරන්න..”

        ඔබ කියන්නේ යුනිකෝඩ් නොවන අකුරු සඳහාද මම හිතන්නේ එහෙම හදපුවා තියෙනවා. යුනිකෝඩ් එන්න කලින් මම බාවිතා කරපු මම හදපු notepad එකක් තියෙනවා. ඕන ටික එකේ ලියලා අවශ්‍ය තැනට paste කරන්න වෙනවා. මට යුනිකෝඩ් නොවන ඒවායින් type කරන්න අවස්යතාවයක් දැනට නැති නිසා මම දැනට ඒක භාවිතා කරන්නේ නැහැ. ඒක නිසා යුනිකෝඩ් ආගමනයෙන් පසු ඒක දියුණු කලේ නැහැ. නමුත් වැඩ ගන්න පුළුවන්. අවස්යතාවයක් තියෙන අය ඉන්නවා නම් මම නොමිලේ දෙන්නම්.

  28. ඇත්ත ඇත්ත. රජයේ සේවකයන්ට සහනදායි ණයත් දෙනව කියන්නේ දැං හිගන්නො..

  29. විචාරකට වැඩිය මාස හයක් මම ඉස්සර වෙලා තියෙනව මගේ පළවෙනි එක ගන්න. මම ඒක අරන් තියෙන්නෙ 1998/01/24 වෙනිද. අරගත්තෙ ටෙක් ශ්‍රී ලංකා එකෙන්. නිරංජන් කියල එකක් මතක ඇති. ඒ කාලෙ ලංකාවෙ කොම්පීටර ඇසෙම්බල් කරපු එකම ආයතනය මං හිතන්නෙ ඒක වෙන්න ඕන. ඊට අමතරව තිබුනෙ ‘ඊ විස් ‘ එකෙන් ගෙන්නපු ඇප්ටිවා කියන බ්‍රෑන්ඩඩ් මැෂින් විතරයි.

    ඒක පෙන්ටියම් 1 166 එකක්. ගාන රු. 50000 ක් උනා විතවුට් මල්ටි මීඩියා. පස්සෙ ඒකටම 200 MMX ප්‍රොසෙසර් එකක් හයිකරගත්ත. මල්ටි මීඩියා වෙනම දාගන්න 10000 ක් ගියා. DCS කියන බ්‍රෑන්ඩ් එකේ සවුන්ඩ් කාඩ්, ස්පීකර්, සීඩී ප්ලේයර් එක. හාඩ් එක 1.7 GB.

    ඒ කාලෙ මම කරන්නෙ හැමදාම ඕක කඩාල්ලන එක. හදන්න දන්නව කියල එකක්යැයි. මොකක් හරි උනාම ඕක උස්සගෙන නාවල උංගෙ හෙඩ් ඔෆිස් එකට දුවනව. ඒකෙත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න දන්න එකයි හිටියෙ ප්‍රියන්ත කියල. කොහොමහරි මිනිහ අල්ලගත්තොත් ඉක්මනින් වැඩේ ගොඩ දාගත්තහැකි. මාව කොච්චර ජනප්‍රියද කිවුවොත් මම කෝල් එකක් දීල කතාකරන්නෙ ගොඩකවෙලිං කිව්ව හැටිය කෙලිංම ටෙක්නිකල් එකට දානව රිෂෙප්ශන් අක්කල. 😀

    හැබැයි ඉතිං ඒකෙන් ඉගෙනගත්ත හිංද අදත් කිසිම අවුලක් නැතිව තනියෙං ඇසෙම්බල් කරගෙන දුවන්න පුලුවං මැෂිමක් හදාගන්න පුලුවං.

    • ඉතාම වටිනා අත්දැකීම් ගොඩක්. ඇත්තටම අමාරුවෙන් ඔහොම ඉදිරියට ආවම තමයි බය නැතුව ඕනෙම තත්වයකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ.

  30. හෑක් හෑක් මගෙ පලවෙනි එකද? නෑ නෑ එක්කො ඔන් නෑ

  31. මගේ පළවෙනි පරිගණකය ලැබුණේ තාත්තාගෙන් තෑග්ගක් හැටියට සාමාන්‍ය පෙළ විභාගේ සමත් වුනාට. තාමත් ඒක තියනවා, හැබැයි දැන් ඒක වැඩ කරන්නේ නෑ. ගෙදරින් ඒක විසි කරන්න හැදුවත් මම දුන්නේ නෑ. ඒක 2.5 Gb Hard එකක් තිබ්බ Celeron පරිගණකයක්.

  32. මේ ටික කියවගෙන යත්දි මගේ “පළවෙනි එක ගැනත් “ කතා කරන්න හිතුනා , මොකද ඒ අතීතය හරිම සුන්දරයි , එයාව කැන්දගෙන ආවේ 1993-94 අතරේ දවසක , 75MHz , turbo button එක් එබුවම පොඩ්ඩක් විතර ස්පීඩ් එක වැඩි වෙනවා . මොනිටරේ කලර් නෑ , හාඩ් ඩිස්ක් නෑ , සීඩී රොම් නෑ ,සරවුන්ඩ් සවුන්ඩ් නැහැ ,  පහයි කාළෙ දෙකකින් තමයි යන්තමට වර්ෂන් 6 ඩොස් එක්ක , ඕනම කරන ඩොස් කමාන්ඩ්ස් ටික ලෝඩ් කරගත්තේ. ප්‍රින්ටරේ නම් ඉතින් කළු පාර රිබන් එක දුවන ඩොට් එකක් , සද්දේ තමා . ටෙක් ශ්‍රී ලංකා එකේ නාවල වැලි පාරෙන් තමා අරගත්තේ . ඒත් එයා මාත් එක්ක අවුරුද්දකට වඩා හිටියේ නැහැ , මදර්බෝර්ඩ් එක මළා …..ආයෙත් ටෙක් එකට අරන් ආවම කීවේ මුහුදු හුළං නිසා ඔක්කෝම සර්කිට් මළකඩ කාලා කියලා …
    අද බලත්දි කොච්ච්ර හිමීට වුනත් , බේසික් වලින් ගේම් හදන්නත් ඒ කාළෙ අපට උණ තිබුණා .
    ඇත්තේනම් ඒ අතීතය සුන්දරයි , ඒ සුන්දර අතීතය මතක් කළ ඔබට ස්තුතියි

    • ස්තුතියි. බොහොම ලස්සන විස්තරයක්. මුලදී ඒ වගේ පරිගණකයකින් පටන්ගත්තාම ඕනෙම තත්වයකට මූණ දෙන්න පුළුවන්.

  33. හ්ම්…. නියමයි මගෙත් පලවෙනි ඒවනම් ගොඩයි. ඒත් ඒ එකක්වත් වැඩි කාලයක් තියාගෙන ඉඳලා නෑ 😀 හුඟක් ඒව ගැන බ්ලොග් එකෙත් ඇති හැබැයි වෙන වෙනම.

  34. මගෙ තාම පලවෙනි එක…2008දි ගත්තෙ මේක..ඩුවල් කෝර් 2.2ghz…1gb රැම්…180GB හාඩ් එක..පළවෙනියට කම්පියුටර් එකක් පාවිච්චි කලේ නං යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල ගේම් එකක් ගහන්න..ස්පයිඩර් මෑන් වගේ මතක ගේම් එක නම්..කොහොම හරි වැඩ කලේ නෑ ගේම් එක..ඒක නිසා ගහන්න උනේ නෑ..2005 වගේ ටෙක් සිරි ලංකා එකේදි තමා හරියට කීබෝඩ් එකක් ඇල්ලුවෙ..එතනින් තමයි පටන්ගත්තෙ :v

    • තනි පාවිච්චියට නම් ඔබ ළඟ තියන පරිගණකය හොඳටම ප්‍රමාණවත්. ගෙදරක ඉන්න දෙතුන් දෙනෙක් වැඩ කරනකොට තමයි ප්‍රශ්න එන්නේ.

  35. මගේ පලවෙනි කොම්පියුටර් එක මට ලැබුනේ තෑග්ගක් විදියට 2002 වසරේ. 64 RAM, 8 GB HDD, Intel Celeron 333, 8mb onboard VGA එකක් එක්ක සවුන්ඩ් ඔන්බෝඩ් තිබ්බේ. ලොකු CRT මොනිටර් රාජයෙක් එක්ක මේක මට ඒ කාලේ මල් මසුරං. මට ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ. අපේ නැන්දා කෙනෙක් එයාලගේ පරණ යන්තරේ එව්වේ ඩුබායි ඉඳල. කොම්පියුටර් පටන්ගන්නේ මං 1997 අපේ මාම ඇක්සිඩන්ට් වෙලා හිටි කාලේ සලකපු එකට ප්‍රති උපකාරයක් විදියට ලැබුණු තෑග්ගෙන්. මාම මගෙන් ඇහුවේ සෙටප් එකක් දෙන්න. මට ඒවාට වඩා උණ තිබ්බේ මේකට. මං ඉල්ලුවේ කම්පියුටර් ඉගන ගන්න. ඉතිං හම්බවුනේ වින්ඩෝස් 3.11 තිබ්බ කාලේ 1995/96 විතර.

    පස්සේ ඔය කම්පියුටර් එකට සවුන්ඩ්ස් දෙන්න ඕනේ වෙලා සබ් වුෆර් එකක් ගන්න සල්ලි නැති හින්ද යාලුවෙක් එක්ක සෙට් වෙලා අපිම ස්පීකර් දෙකක් අටවගත්තා ට්වීටර් අරවා මෙව්වා දාල පෙට්ටි කෑලි දෙකකට. පස්සේ මං ඉස්සරලාම රස්සාවක් කරද්දී තමා මගේ යාලුවෙක්ගෙ කඩේකින් ම ගෙවන්න වුෆර් එකක් ගත්තේ. ඒ 2.1 ක්‍රියේටිව් එකක් 2006 දී.. අදටත් බඩු වැඩ.

    ඔය කම්පියුටර් එක මං මස් කරලා ඇති එපා වෙන්න. ඕකේ මං වින්ඩෝස් 98 XP දෙකම රන් කළා. XP දාපුවාම මං මෙමරිය වෙනස් කළා 384 වෙන්න. සවුන්ඩ් වලට මොකද්ද මන්දා හොඳ කාඩ් එකකුත් හම්බවුනා. ඔය සේරම මට නිකං එහෙන් මෙහෙන් හම්බුනු බඩු. පස්සේ CD රයිට් කරන්න ක්‍රියේටිව් රයිටරයක් දැම්මත් ඒකෙ ආයුෂ කෙටි වුනා. වොරන්ටි පිට නිසා කඩෙන් දුන්නු ASUS රයිටරේ නියමෙට ගියා. පස්සේ 2012 දී ඒ මැෂිම එහෙම්මම අපේ අල්ලපු ගෙදර මල්ලිට නිකං දුන්න ඉගනගන්න ඕනේ කිව්ව නිසා.

    මගේ දෙවැනි ඩෙස්ක්ටොප් එක නං මං ම හදාගත්තු එකක්. දැන් නං core2Duo එකක් ඒකෙ දුවන්නේ. 2GB මෙමරි තිබ්බා ඒකෙ. intel G42PR බෝඩ් එකක් උඩ අටෝගත්තා මං ඒක. දැන් නං ඒක පාවිච්චි කරන්නේ නෑ. ඒත් මං ඒක ගෙදර තියනවා පස්සේ කාලෙක පොඩි ලිනක්ස් එකක් හරි දාන්න බලාන.

    • පොහ්……..පුදුමාකාර අත්දැකීම් ගොඩක් නේ. හිතලා බලන්න තව අවුරුදු 10 කින් ඔය යන්ත්‍රයක් නිකම් දැකබලාගන්න හරි තිබුනොත් අනාගත පරපුර මොනවා කියයිද. 😀

  36. Web.පුරවැසියා said:

    විචාරකතුමෝ , ඔබගේ බ්ලොග් පිටු බොහොමයක් කියවා ඇතත් ඔබට ලියන්නේ අදයි . අගනා ලිපියක් . මගේ පලමු එක RADIO SHACK TRS 80 වර්ගයේ . ලංකාවට ගෙන්නුවේ බර්ට්ලීට් සමාගමෙන් . 8″ diskette එකක් තිබ්බා . ඉතා අමාරුවෙන් සොයා ගත් මගේ පළමු රැකියාව නැවත මතක් උනා . ස්තුති.

  37. මගේ පළවෙනි පරිගණකය ගත්තේ 1992. පාවිච්චි කරපු එකක්. ගත්තේ 20000 (ගෙඩ් රුපියල්).
    RAM එක 640 KB.
    Hard Disk එකක් පවා තිබ්බ (20 MB – කොහොමද capacity එක) ?
    CD-ROM ගැන කවර කතා ද ? Disk Drive නම් 2ක් තිබ්බා 🙂
    Windows අහලවත් නෑ. DOS වලින් තමයි වැඩ

  38. මගේ පලවෙනි එක පස්සෙන් ගියා ගියා කෝ ඒකී නෙවෙයි මං දිහා ඇහැක් ඇරල බැලුවෙ.. හැබැයි ඉතිං අර ඒ කාලෙ තිබ්බ කොම්පියුටර් වගේ මේන් ෆ්‍රේම් එකක් තමයි .. අම්මෝ මං නොගත්ත එක හොඳයි ..පස්සෙ කාලෙක ලැප් ටොප් සයිස් එකක් තමයි හොයාගත්තෙ..

  39. මුලින්ම පාවිච්චි කලේ 133MHz එකක්! ඒ 2002දි.. දැන් නම් pavilion එකකින් වැඩ කරනවා පැය 24ම!

  40. මාතෘකාවට සම්බන්ද නෑ. ඒත් සෙබලුන්ට උන්ඩ රිකොශෙ (recochet ) වීම ගැන උගන්නනවාද? තාර පාරවල්, කොන්ක්‍රීට් මතුපිටවල් ආදිය මතට වෙඩි තැබූ විට.

    • ඔව් කියලා දෙනවා. නමුත් බොහෝවිට මතක්වෙන්නේ එකක් දෙකක් පැතලි මතුපිටක වැදිලා දිශාව වෙනස්වුනාම තමයි. 😀

      • කුමක් හෝ කෝලාහල තත්වයක් තුල කිසියම් ජන රාශියකගේ ඉදිරි ගමන නැවැත්වීමට ඔවුන් ඉදිරියට වෙඩි තැබීම (ඔවුන්ට නෙමේ. ඔවුන් එන පාරේ ඔවුන්ට ඉදිරියෙන් වදින සේ වෙඩි තැබීමත් ) හමුදා පුහුනුවේ උගන්නවන දෙයක්ද?

        • මහත්මයාණනි, මේ පිළිබඳව මා හට කීමට ඇත්තේ මෙපමණකි. සොල්දාදුවා (මමද ඇතුළුව) නැවත සකස්කළ යන්ත්‍රයක් (reprogrammed) හා සමානය. එයින් සමහර යන්ත්‍ර අකුරටම වැඩ කරයි. සමහර යන්ත්‍ර ක්‍රියාකාරිත්වයේදී අවුල් වෙයි. සෑම සොල්දාදුවකුම හමුදා පුහුණුව ලැබීමට පෙර තිබුණු මානසිකත්වයෙන් සෑහෙන තරම් වෙනස් වෙයි. එහෙත් අප වැනි රටක තිබෙන සංස්කෘතික බැඳීම් නිසා ඔළුවට වඩා පපුවට දැනෙන දේ කිරීමට පෙළඹෙන අවස්ථාද තිබෙනවා. ප්‍රසිද්ධියේ අවමානයට ලක් නොවිය යුතුය යන හැඟීම තදින් සිතට කාවද්දා තිබීමත්, සතුරාට පහර දියයුතුමය යන්න පරම අයිතියක් ලෙස සිතීමත්, පොදුවේ අපේ රටේ තිබෙන නිළ ඇඳුමෙන් ගන්නා මමත්වයත්, සොල්දාදුවා අමනයකු බවට පත්කළ/පත්කරන අවස්ථා එමටයි. තම උසස් නිලධාරියා දෙන නියෝගයේ සාධාරණ බව ගැන නොසිතා ක්‍රියාකරන රොබෝ සිත් ඇත්තවුන් ලෙස ක්‍රියාකරන්නේ දඩයමකින් පසු උපහාරයක් ලෙස ලැබෙන මස්කුට්ටියේ රස ගැන සිතා හැම එකාවම හපාකන බල්ලකු ලෙසදැයි යන්න මට දැන් දැන් සිතෙයි.

          ඔබ මේ ප්‍රශ්න විමසන්නේ පසුගිය දිනවල සිදුවූ අප්‍රසන්න, අවාසනාවන්ත සිදුවීම නිසා බව මට හැඟෙයි. අවසානයේදී ජීවිත නැතිවී, අතපය කැඩී, ප්‍රශ්නය තවත් අවුල් වුවද, දරන්නට අමාරු තත්වය වන්නේ විවිධ මහාප්‍රාණ න්‍යායන් මගින් සියල්ල සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයයි. අනේ මුන්ට නේද අපි ඒ කාලේ මාස ගණන් බෝධි පූජා තිබ්බේ, අනේ මුන්ට නේද අපි ලේ දන් දුන්නේ, අපේ ඇඟේ ලේ තිබිලද දුන්නේ? ආදරේ නිසා නේද? රට ගැන හිතලා නේද? තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි, යුද්දේ දිනලා ගමට වරෙන් කියලා හැම ගමකම අපි බැනර් එල්ලුවේ මුන්ට නේද? අපි මෙහෙ කෝච්චි වල, බස්වල, බෝම්බ පත්තුවෙලා බල්ලෝ බළල්ලු වගේ මැරිලා ගියත් එක වචනයක් නොකිව්වේ මුන්ට තිබුන ආදරේට නේද? එකෙක් මැරිලා ගෙදර ගෙනාවම මුළු ගමම අඬා වැලපුනේ, මුළු ගමම එකම මළගෙයක් වුනේ මුන්ට තිබුන ආදරේ නිසා නේද? එහෙව් අපිටද පුතේ ඔහොම කරේ? උඹ ගැහුවේ වැදු අම්මට නේද? හැදු තාත්තට නේද? යන හැඟීම මේ මිනිසුන්ගේ සිත්වලින් ඉවත් නොවනු ඇති. බ්‍රිගේඩියර්ලා කෝප්‍රල්ලා මෙන් හැසිරෙනු රූපවාහිනියෙන් දුටිමි.

          හැබැයි එකක් කිවයුතුය. දැන් ඉස්සර වගේ සීනි පැණිරස නැත යන්න තේරුම් ගැනීමට අපේ රටේ බහුතරයකට හැකිවන්නේ සීනි නිසා පරම්පරා දෙකක් විතර නිකම්ම විනාසවී ගිය පසුය. ඒ අපේ ජාන ලක්ෂණයකැයි මට සිතේ.

      • දෙයක් උනාට පසු “මරන පරීක්ෂන තිබීම” වෙන දෙයක්.
        මගේ අරමුන උනේ tactic එක ගැන ඇසීම මිස වෙන දෙයක් නෙමේ. මේ ගැන විවේචනාත්මක (judgemental) වීම සුදුසුයි කියා මම හිතන් නෑ.
        එකක්, හමුදා ක්‍රියා කරන්නේ නියෝග අනුව. නීති විරොදී යයි පැහැදිලිව පෙනෙන නියොගයක් හැර වෙන නියෝගයක් නොපිලිපැද සිටීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවාද?
        අනිත් එක රටේ යුද්දය ප්‍රකාශ කරන්නේ හමුදාව නෙමේ. ප්‍රකාශ කරන අයව පත්කරන්නෙත් හමුදාව නෙමේ මහ ජනතාව. කොච්චර බෝධි පූජා තිබ්බත්, ලේ දුන්නත්, බැනර් ගැහුවත්, පාරවල ගිහින් බෝම්බ වැදුනත්, ඇඬුවත් ඔය ඔක්කොමට වඩා යුද්ද කිරීම බොහෝ අමාරුයි කියා මම සිතනවා.
        ඒටත් වඩා ආරක්ශක අංශ වල සිටින්නෙත් සාමන්‍ය මිනිසුන් මිස කොහෙන් හෝ පාත් උනු අමුතුම පිරිසක් නොවේ කියාත් මම දන්නවා.

      • සීනි ගැන කියන්නේ නම් සීනි ඉස්සරත් පැනි රස නැත.

  41. සුභ සන්ධ්‍යාවක් විචාරක මහත්මයා,
    මේ වැලිවේරියේ කේස් එක ගැන හිතනකොට ඔබතුමාව මතක් වුනේ.
    මගේ නීතිමය දැනුම අඩුයි.
    ඒත් මට හිතෙන හැටියට රටේ හදිසි නීතිය අවලංගු කරලා තියන නිසා සෙබළෙකුට හිතෙන හිතෙන විදිහට වෙඩි තියන්න බෑ නේද?
    අනික කොහොමත් කිසිම සෙබළෙකුට මේ වගේ අවස්ථාවක අණ ලැබීමෙන් තොරව වෙඩි තියන්න බෑ නේද?
    එහෙනං මේ සිද්ධියේ වැරදිකරුවෝ ගොඩට මේවට අණ දුන්න නිලධාරියනුත් අයිති නේද?
    හැකි නම් පිළිතුරු දෙන්න. ස්තූතියි.
    මීට
    ©

    • සෙබලා කියන්නේ හමුදාවේ පහළින්ම ඉන්න එකා. ඌ හැමවිටම තම උසස් නිලධාරියාගේ අණ කිසිදු විමසීමකින් තොරව පිළිපදිනවා. (මම කියන්නේ එය හරියි කියලා නෙවෙයි) සොල්දාදුවා හිතන්නේ මගේ නිලධාරියා සෑම විටම හරි. මම වැරදි දේ කලත් මෙගේ නිලධාරියා මාව බේරාගන්නවා. (ඇත්තටම එහෙම කරන අවස්ථා එමට තිබෙනවා) කියලයි. තමන්ව ප්‍රකෝප කරද්දී ඉවසාගෙන ඉන්නත්, තමන්ට ගල්මුල් වලින් ගහද්දී ඒ අස්සෙන පැනගෙන ගිහින් ඒ ගල් ගහන එවුන්ට වෙඩි නොතියා හොම්බට දෙකක් අනින්නත්, තුවක්කු මිටෙන් පස්ස පැත්ත රත්වෙන්න පාරක් දෙකක් දෙන්නත්, සොල්දාදුවාට පැහැදිලි නියෝග දිය යුතුයි. එහෙම නැතුව එකපාරටම ‘මුන්ටික කොහොමහරි එලවපියව්’ කිව්වොත් සොල්දාදුවා පහසුම ක්‍රමය තෝරාගන්නවා. ඒ තමයි වෙඩි තැබීම. හැබැයි පුහුණුවේදී උගන්වනවා මෙවැනි කැරැල්ලකදී කෑගහලා කියන්න ඕනේ ඉදිරියට එන්න එපා වෙඩි තියනවා කියලා. යටත් වෙන්නේ නැත්නම්, දෙවැනි අවස්ථාවේදී නැවත කෑගහලා කිවයුතුයි වෙඩි තියනවා කියලා. ඉන්පසු කැරලිකරුවන්ගේ හිසට ඉහලින් යන්න වෙඩිතැබිය යුතුයි ඔවුන්ව බය කිරීමට. තත්වය පාලනය කරන්න බැරිනම් ඊළඟට තමයි දණහිසට පහලින් වදින්න වෙඩි තියන්නේ. නමුත් මතක තියාගන්න T 56 උණ්ඩයක් දණහිසට පහලින් වැදුනත් (මීටර් 100 කට අඩු දුරකදී) බරපතල තුවාල සිදුවෙනවා. මේ සිද්ධියේ සම්පූර්ණ වැරදිකරුවෝ අණ දුන්න අයයි. ඔවුන් සොල්දාදුවන්ට දුන්න වැරදි නියෝග නිසයි මෙහෙම වුනේ.

      මම උදාහරණයක් කියන්නම්. 1988 වසරේ එක දවසක් ජනතා විමුක්ති පෙරමුණ මගින් බණ්ඩාරවෙල නගරයේ මහා පෙළපාලියක් පැවැත්තුවා. මුළු නගරයේම කඩ සාප්පු වැහුවා. නගරය අඩපණ වුනා. ඒ පෙළපාලියේ ඉදිරියෙන්ම ආවේ (බලහත්කාරයෙන් එව්වේ) දරුවන් වඩාගත් අම්මලා. මොකද කරන්නේ. මම කිව්වා කාරුණිකව එහෙත් ස්ථිරව කියන්න කියලා විසිර යන්න නැත්නම් බලය පාවිච්චි කරලා විසුරවනවා කියලා. පෙළපාලියේ පසුපස කොටසේ මිනිස්සුන්ට මුවාවෙලා පෙළපාලිය සංවිධානය කළ ජවිපෙ නායකයන් ඉන්න බව මට බුද්ධි අංශයෙන් කිව්වා. මම ඉක්මනින් ඔවුන් අල්ලගන්න සිවින් ඇඳුමෙන් සෙබළුන් යැව්වා. ඔවුන් පෙළපාලියට එන අය වගේ ගිහින් එකවර කඩා පැන අර ජවිපෙ නායකයන් අල්ලා ගත්ත. ඒත් පෙළපාලිය නවතින්නේ නැහැ. මේ වෙලාවේ වැසිකිලි වලවල් වලින් අපද්‍රව්‍ය ඉවත් කරන ටැංකි රථයක් එතනින් යන්නට ආවා. අපි ඒවා හැලුවා පෙළපාලිය ඉදිරියට ‘සිං…..ගාලා’ පෙළපාලිය විසිරුණා. 😀 😀 එදා ඔය රතුපස්වල සිද්ධියේදීත් එක වතුර විදින රථයකට එව්වා ටිකක් දාලා වතුර විද්දානම් ඔය මොකුත් වෙන්නේ නැහැ.

  42. අනිත් එක විහිලුවට නෙවේ අඩු ගානේ මනුස්සයෙක් මැරෙන්නේ නැතිවෙන්න වෙඩි තියන්න තරම්වත් ඒම් එක හොඳ නැති අය හමුදාවේ ඉන්නවද?
    වෙනත් විදිහකට කීවොත් වෙඩි තියනකොට මිනිස්සු නොමැරෙන්න තුවාල වෙන්ට වත් තියන්ට උගන්වන්නේ නැද්ද?

    • මේ සිද්ධියේදී කිසිසේත්ම ජීව උණ්ඩ වෙඩි තැබීමක් අවශ්‍ය නැත. නමුත් ඒ අනවශ්‍යදේමයි කරලා තියෙන්නේ. සොල්දාදුවාට පැහැදිලිව විස්තර කියන්නේ නැතුව වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියනවා තමයි. රබර් උණ්ඩ හමුදාවේ නැත. ඒවාගෙන් වෙඩි තියන්නේ කැරළි මර්දන පොලීසිය පමණයි. ඉතින් රබර් උණ්ඩ සහ වතුර ප්‍රහාර පාවිච්චි නොකර, පොලීසිය නපුංසක ලීලාවෙන් බලා හිටියේ ඇයිද යන්න විමසිය යුතුයි.

      • ස්තූතියි විචාරකතුමනි,
        ඔබතුමාවගේ මොළේ ඇති කෙනෙක් හිටිය නම් හරි ඒ වෙලාවේ එතන.
        මොනවා වුනත් නිලධාරීන්ටත් උඩින නේද අණ එන්නේ, ඒ කියන්නේ මේක තව උඩට යනවා.

  43. මගේ පලමු එක(පරිගනකය) 2006 දි විතර ගත්තෙ.මුලින්ම මට ඩබල් ක්ලික් කරගන්නත් බෑ. කර්සර් එක හරියට එහා මෙහා ගෙනියන්නත් බෑ. අත වෙව්ලනවා. පුතා මට හරියට හිනා වෙනවා ඒ දවස්වල මිස් කෙනෙක් වුනාට ඩබල් ක්ලික් කරගන්නත් බෑ කියල.

    මුලින්ම ගත්තෙ P iv එකක්.
    හාඩ් එක 80 GB|ram එක 1 ජීබී

    මද බෝඩ් එක දේසෙරයක් දාන්න වුනා. දැන් තියෙන්නෙ i 3 එකක්. ඒත් ස්ලෝ ගොඩක් සොෆ්ට්වෙයාර් දාල තියෙන නිසා.
    මුලින් කැඩුන ඒව සෙරම තියාගෙන ඉන්නවා.

    තාමත් මට හාඩ්වෙයාර් ගැන නම් එච්චර දැනීමක් නෑ. ඒත් මම ඒ ගැන කියවන්න කැමතියි. ලිනක්ස් පාවිච්චි කරල බලන්න හරි ආසයි. ඒත් අවස්තාවක් නෑ.

    • කාටත් පුරුදුවීමේදී ඔයවගේ ප්‍රශ්න එනවා. ලාබාල වයසෙන් පරිගණක අතපතගාන අය ඔක්කොම දේවල් ඉක්මනින් අල්ලගන්නවා. නමුත් ඉගෙනුම අතහැරලා ඒ පැත්තටම බරවීම නම් හොඳ නැහැ.

      i 3 පරිගණකයක් එතරම් වේගය අඩුවෙන්න බැහැ. ඔබ නිතර නිතර මෘදුකාංග දැමීම හා මැකීම කරනවානම් පරිගණකයේ registry keys අවුල් වෙනවා. ඒ නිසා තමයි සමහරවිට වේගය අඩුවෙන්නේ. ඉතා සරල විසඳුම් තියනවා. නමුත් මම දෙන උපදේශයනම් විශ්වාසවන්ත මෙන්ම නිසි සුදුසුකම් ඇති අයකු මගින් ඔබේ පරිගණකය සේවා කරගන්නා ලෙසයි. එය අලුත්වැඩියාවක් නොවේ. දෘඪාන්ග අලුත් කිරීමක් අවශ්‍ය නැත.

  44. මගෙත් තිබුනේ ඔය එකක්ම තමා. හාඩ් එක 20GB. RAM 128MB.
    ඔය මොඩ්ල් එකේ තියෙනවා පොඩි විශේෂයක්. කොම්පියුටරේට පවර් දීලා ෂට්ඩවුන් කරලා තියෙද්දි ඔටෝ ඔන් වෙන්න වෙලාවක් සෙට් කරන්න පුළුවන් බයොස් එකෙන්. මම දන්න විදියට අනිත් ඒවග් ඒ ඔප්ෂන් එක නෑ. සෑහෙන්න වැඩ ගන්න පුළුවන් මැෂින් එකක් ඒක.

  45. ජයග්‍රණයට පියවරු සියයක් උවත් පරාජයට කිසිවෙක් නොමැත,
    හමුදාව හොද වෙන්නේ නරක වෙන්නේ ත් එහෙමයි .

  46. අමිත් කුමාර් ගනේගොඩ said:

    මගේ මුල් එක නම් පෙන්ටියම් 4 එකක්. ගත්තේ 2007 අවුරුද්දේ අළුත් අවුරුද්දට දවස් හතරක් විතර තියෙද්දී. මං ඒක ගන්න පත්තරවල ඇඩ් බලලා බලලා අන්තිමට කළුතර ඉඳන් කිරිබත්ගොඩ ආවා. ගත්ත කථාව කිව්වොත්, 2002 දී 5 හේ ශිෂ්‍යත්වය පාස් වෙච්චි වෙලාවේ ආස දෙයක් ඉල්ලන්න අරන් දෙන්නම් කියලා අම්මා කිව්වම මම ඉල්ලුවේ කොම්පියුටරයක්. හැබැයි මට ඒක අරන් දුන්නේ ඕලෙවල් වලට තොරතුරු තාක්ෂණය හදාරන්න ගත්ත හින්දා. ඉස්කොලේ 9 වසරේ ඉඳන් විජය පරිගණක සඟරාව එකතු කල හින්දා තනියම ඒවා කියව කියව දෘඩාංගද මෘදුකාංද හැමදේම ඉගෙන ගත්තා.
    ගන්න දවසේ එතන හිටිය පොර ඒක ඔන් කරලා කිව්වා ඔන්න චෙක් කරලා බලන්න කියලා. කොහේ චෙක් කිරිල්ලක් කරන්නද, මොකො මං මොනා කියලා දන්නවද??? පස්සේ මං බිල් එක ගන්න යන විදියට එතනින් මාරු උනා. ඒකේ විස්තරේ නම්
    3.0 Ghz Pentium 4
    512 mb ram
    64 mb onboard vga
    80 Gb hard
    DVD writer
    2.1 speakers+ KB + mouse ඔක්කොටම රුපියල් 63000ක්.

    දැං ඒකේ ඉතිරි වෙලා තියෙන්නේ කවරෙයි ප්‍රොසෙසරයයි විතරයි. පිච්චුණු කෑලි අළුතින් දාලා මං ඒක නංගිට හදලා දීලා තියෙන්නේ.
    ඉංජිනේරු පීඨ වැඩවලටයි ගේම් ගහන්නයි චිත්‍රපටි රූපවාහිණි නාටක බලන්නයි මං මේ මාර්තු වල i7 ලැප්ටොප් එකක් ගත්තා. දැං නම් ඒකම තමා ජීවිතේ 😀

    ලිතියන් අයන් බැටරි ගැන කියනවනම් ඒවායේ තියෙන්නේ දළ වශයෙන් රිචාර්ජ් සර්කල් ගණනය කිරීමක්. ඒ කිව්වේ බැටරිය සර්කල් 600 නම් ඒ බැටරිය 600 වතාවක් චාර්ජ් ඩිස්චාර්ජ් වෙනකොට කාලේ ඉවරයි. අපිට බැටරිය ගොඩ කල් පාවිච්චි කරන්න ඕනේ නම් ඔය සර්කල් ගාණ ඉතිරි කර ගන්න ඕනේ. මගේ ලැපේ නම් ප්‍රධාන බල සැපයුම තියෙන විට ඒකෙන් දුවනවා. බැටරිය 60% ක් දක්වා අඩු වුනායින් පස්සේ තමා ආයේ චාර්ජ් වෙන්නේ එතකන් 100 සැරයත් කරන්ට් ගිහින් ආවත් චාර්ජ් නම් වෙන්නේ නෑ. මම නම් බැටරිය 65%ක් විතර උණාම දිගටම බැටරියෙන් දුවන්න දානවා. 10%ක් උනාම තමා ආයේ ෆුල් චාර්ජ් වෙන්න අරින්නේ.

    මේකේනම් මං සිංහල ටයිප් කරන්න ඔනේ නම් මං කරන්නේ වින්ඩෝස් යතුර එක්ක ස්පෙස් එක ඔබනවා. හැබැයි ඒක කරන්න මං මේකට මයිකෝසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේ නිකුත් කරන සිංහල language pack එක් ස්ථාපනය කරන් ඉන්නේ. සිංහල අකුරු කීබොඩ් එකේ තියෙන තැන් පාඩම් හින්දා ඕනේ තැනක ඉඳන් සිංහල ටයිපිං පළුවන්.

    • බොහොම ස්තුතියි ඔබේ මේ දිග විස්තරයට. එදා ඒ මුල් පරිගණකයෙන් ඔබ පටන්ගත් ගමන අද සෑහෙන දුරක් ගිහින් තියන බව පෙනෙනවා.

      2002 දි ඔබ 5 ශිෂ්‍යත්වය සමත් වු දරුවකු නම් ඔබ මගේ මුනුබුරකු කියන්න පුළුවන් තරම් වයසේ ඉන්න බවයි පෙනෙන්නේ. බොහොම සතුටුයි ඔබේ දියුණුව ගැන.

      • අමිත් කුමාර් ගනේගොඩ said:

        ඔබට අවුරුදු 21කක මුණුබුරණ් සිටිනම් ඔබ ජීවිකයේ 70වෙන් කඩයිම ඉතා ආසන්යේ සිටිය යුතුයි නෙද?
        පුළුවන් නම් පෙර ලිපි වලට වර්‍ගකරණයෙන් තොරව පහසුවෙන් ළඟාවිය හැකි ඉනිමං ආකාර සබැඳියාවක් පිටුවට එකතු කරන්නකෝ.

        • අවුරුදු 21 ක් නොවුනත් ඊට ආසන්න මුණුබුරන් නම් ඉන්නවා. දැන් කාලේ සමහරු අඩු වයසෙන් විවාහ වෙනවනේ. ඔබේ නම විශේෂයෙන් මතක හිටියා අමිත් කොටස හැර ‘කුමාර් ගනේගොඩ’ නමින් ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකු මා දන්නා නිසා. මම බලන්නම් කොහොමද ඔබ කියන ආකාරයේ සබැඳියාවක් ලිපි වලට එක්කරන්නේ කියා.

  47. මට මුලින්ම පවිච්චි කරන්න ලැබුණෙ පෙන්ටියම් ටූ එකක්
    මම 2 වසරෙදි
    ඒ කාලෙ ඉතින් මෙව තමයි භාණ්ඩ
    pentium ii 700Mhz
    16 MB
    10GB Hard disk
    Windows 98…………….

  48. මගේ ලාගත් තියෙනවා මේ ජාතියේ එකක් තාම වැඩ එත් vga onbord තියෙන්නේ ඒක පිච්චිලා මොනා කරන්නද ඕකට කොහෙන් vga හොයන්නද එත් එක හදල වැඩ කරන්න ආසයි

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න