විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  Ruwan-M_-Jayatunge-150x150වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත, ‘සංග්‍රාමයට පසු’ නමැති කෘතිය ඇසුරෙන්,යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ’ යනුවෙන්, මා පසුගිය අප්‍රේල් මාසයේදී ලිපියක් ඉදිරිපත් කළා, ඔබට මතක ඇති.  ඒ ලිපිය, වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳව අගයමින් එතුමා මට ඊ මේල් එකක් ඒවා තිබුන අතර, ඒ අනුව එතුමා සහ මා අතර පසුගිය කාලයේ ඊ මේල් පණිවිඩ ගණනාවකින් අදහස් හුවමාරුවක් සිදුවුනා. එතුමා මේ දිනවල යෝක් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳව පර්යේෂණාත්මක කටයුතුවල යෙදී සිටිනවා. එතුමා විසින් රචිත කතාවක් සහ පශ්චාත් යුද කළමනාකරණය පිළිබඳව එතුමා විසින් රචිත පොතක්ද, මා වෙත ඊමේල් මගින් එවා තිබුනා. ඉතින් මෙවැනි කතාවක් ඔබ සමග බෙදා හදා ගැනීම මගේ යුතුකමක් යයි හිතුන නිසා ඒ දිග/කෙටි කතාව 😀 කොටස් දෙකකට කඩා ඔබ වෙත ගෙන එන්නටයි මේ සූදානම.  මේ සඳහා, වෛද්‍ය ජයතුංගගේ පූර්ව අනුමැතියද මා ලබා සිටින බව, මෙහි සඳහන් කරනවා.  මේ කතාව කියවා ඔබ දක්වන අදහස් වලට, මේ අඩවියෙන්, වෛද්‍ය ජයතුංග පිළිතුරු දෙනු ඇතැයි මට සහතික කර කියන්නට බැහැ. අනික් කාරණය වන්නේ මට ද එතුමා වෙනුවෙන් පිළිතුරු දෙන්නට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. කතාවේ ඇති හමුදා තොරතුරු සම්බන්ධව යම් යම් පැහැදිළි කිරීම් පමණයි මට කළහැක්කේ. එහෙනම්, මෙතැන් සිට කියවන්න ඒ කතාවේ පළමුවැනි කොටස. මෙය මා විසින් කළ පරිවර්තනයක් නොව, වෛද්‍ය ජයතුංගගේම වචන බවද සඳහන් කරනවා.

white space

යුද්ධයේ අතුරු කතාවක්

වෛද්‍ය රුවන් එම් ජයතුංග

  මම බස්රථයේ වාඩි වී සිටියෙමි. මහා මාර්ගයේ ඇති වළවල් නිසා වරින්වර ගැස්සෙන බස් රථය තුළ සුව පහසු කම අඩු වූවත්, වෙහෙස නිසා මගේ දෙනෙත් පියවි‚ මම සැබෑ ලොවින් සිහින ලොවට පිවිසුණෙමි.

  දැන් මා සිටින්නේ කෝප්‍රල් තේනුවර සමගයි. කෝප්‍රල් තේනුවර හොඳ සෙබලෙකු මෙන්ම හිත හොඳ මිනිසෙකි. අපි එකට අවි දරා සතුරා එනතෙක් සැඟවී සිටියෙමු. අපට ඉදිරියෙන් සාජන් මිත්‍රපාල සිටියි. ඈතින් දෙපස තවත් සෙබළු දෙදෙනෙකි. අප අතර තිබූ පරතරය නිසා කථා කිරීම හෝ සංඥා මගින් අදහස් හුවමාරුකර ගැනීම හෝ අසීරු කරුණකි. වෙනෙකක් තබා කථාකිරීම පමණක් නොව කිවිසුම් ඇරීම, කැහීම, නිදාගැනීම තහනම්ය. මේවා එකක් හෝ කර අසුවූවහොත් ලැබෙන දඩුවම සාජන් මිත්‍රපාලගෙන් කනේ පහර කෑමය.

  කෙමෙන් කෙමෙන් අඳුර දැඩිවෙත්ම අපට දැණුනේ තනිකමකි. අවට මිත්‍ර කණ්ඩායමක් සිටින බව පවා දැණුනේ අඩු වශයෙනි. මදුරු කරදරය නිසා දෙකන් රතු වී ඇත. මුළු දවස පුරා බූට්ස් දමාගෙන සිටීම දෙපා රිදුම්කයි. මම LMG අවිය දරා සිටියෙමි. සතුරා පිළිබඳ අවිනිශ්චිතතාව නිසා නිදිමත දැණුනේ නැත. මම බිම වැතිරී පඳුරුවලට මුවා වී කැලය දෙස බලා සිටියෙමි. මට මීටර් විස්සකට පමණ පසුපසින් කෝප්‍රල් තේනුවර සිටියි. ඔහුට මා නොපෙණුනනද ඔහු මගේ පසු පස සිටීමත් මට අස්වැසිල්ලකි. ක්ලේමෝව අටවාගෙන ඉදිරියෙන් සිටින සාජන් මිත්‍රපාල මගේ සිතේ ඇඳුණි.

  අපි පැය ගණනාවක් සතුරා එනතෙක් බලා සිටියෙමු. දැඩි පවස නිසා මා හෙමිහිට වතුර බෝතලයෙන් වතුර බිදක් බීවේ කිසිම හඬක් නොනැගෙන ලෙසටය. ශරීරය සෙලවීම ඉතා සෙමින් කළ යුතු බැවින් වතුර උගුරු කිහිපයක් බීමට කාලය වැඩිපුර ගතවිණි. වතුර තිබහ නිවී යත්ම මට මුත්‍රා බර ඇතිවිණි. මට කළහැකි දෙයක් නැත. මෙම ඇඳ සිටි කලිසමේම මුත්‍රා පහවීමට ඉඩ හැරියෙමි. මගේ යට ඇඳුමේ සිට දුඹුරු කොළ පැහැති නිල ඇඳුමේ කලිසම තෙමීයන පරිදි පිටවී ගිය මුත්‍රා පාර වියළී පස විසින් උරාගනු ලැබීය. මගේ නිල ඇඳුමෙන් දහඩිය හා මුත්‍රා මිශ්‍ර ගඳක් දැනේ. දිය නෑමට මා තුළ ඇතිවූයේ නොමද ආශාවකි. එහෙත්…………..

  ක්‍රියාන්විතයේදී ආශාවන්ට තැනක් නැත. අපගේ තීරණය වන්නේ නියෝගයයි. එම නියෝගය මත ගල් පිළිමයක් සේ මම නිසලව සිටියෙමි. එහෙත් මගේ දෑත අවිය දරා සිටියි.

 එදින සඳ නොමැති කළුවර රාත්‍රියකි. හොල්මන් හා අවතාර වලට මම බිය නැත. යුද්ධයේ දී මියගිය මගේ සගයන්ගේ භූතාත්ම මා වටා සැරිසරනවා විය හැක. එහෙත් ඔවුන්ට මා බිය නොවිමි. මා බියවූයේ සතුරාටය. එය සෑම සොල්දාදුවෙකුටම පොදු වූ බියකි. බිය නිසා අපි සතුරා කෙරෙහි විමසිලිමත්ව සිටිමි. එසේම සතුරා දුටුවිට පහර දෙමු.

ඒ මා සමඟ පුහුණුව නිම කළ ජගත්, සිල්වා, සරණපාල, උස්ගොල්ලෑව යනාදීන් අතරින් මා සමඟ එකට සිටින්නේ කෝප්‍රල් තේනුවර පමණි. ජගත් පේසාලේදී වෙඩි වැදී මිය ගියේය. සිල්වා මුහමලේ දී ආටි ප්‍රහාරයකට හසුවිය. බිම් බෝම්බයකට අසුව මියගිය සරණපාලගේ කැබලිවී ගිය සිරුරු කැබලි මම සියතින්ම පොලිතින් වලින් වැසුවෙමි. උස්ගොල්ලෑව ක්‍රියාන්විතයේදී අතුරුදහන් විය. තේනුවර සහ මම තවම නිරුපද්‍රිතව ක්‍රියාන්විතයේ සිටිමු.

  පසුගිය නිවාඩුවට අප නුවර ගියේ එකටය. දිවා ආහාරය අප ගත්තේ චීන අවන් හලකිනි. හොඳට සප්පායම් වී සිටි අපි උස්හඬින් කථා කරමින් සිටියෙමු. මේ අතර ට්‍රේල් බයිසිකල් වලින් පැමිණි‚ තරුණයන් තිදෙනෙක් බියර් බොමින් සිටි අතර හදිසියේම මා සමග වාදයක පැටලූනේය. ඔවුහු අපට පඩත්තර සොල්දාදුවන් යැයි අපහාස කළහ. කලබලයක් වීමට පෙර මම තේනුවර සමගින් අවන්හලින් පිටතට ආවෙමි. එවිට එම කණ්ඩායමේ සිටි තරුණයන් දෙදෙනෙක් මට පහරදීමට පැමිණියහ. තේනුවර ඉදිරියට පැන ඔවුන් දෙදෙනාට පහරවල් දෙකක් දුන් අතර ඒ දෙදෙනා හතර ගාතයෙන් බිම වැටී කෙඳිරි ගාන්නට පටන්ගත්හ. අපි ත්‍රීවිලරයකට නැගගත්තෙමු. නුවර බස් නැවතුම්පළේ දී තේනුවර සමග වත්තේගම යන බස්රථයක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ඇදුනෙමි.

  ජයසිකුරු ක්‍රියාන්විතයේදී මගේ කකුළට වෙඩි වැදුණි. ලේ ගලා යාම නිසා මා මිය යතැයි බියක් දැනුණි. තේනුවර මා කරට ගෙන කිලෝමීටර් දෙකකටත් වඩා ඈතින් පිහිටි වෛද්‍ය ඒකකය වෙත ගෙන ගියේය. ඔහු නොසිටින්නට මා මළවුන් අතර විය හැක.

  වෛද්‍ය ඒකකයේ ඉටි කොළ මත තබා තිබුණ මළ සිරුරු දෙළහක් පමණ විය. ඉන් එක මළ සිරුරක් ස්ටාෆ් සාජන් පෙරේරාගේ බව මම හඳුනාගතිමි. වෙඩි ප්‍රහාරය නිසා ඔහුගේ හිස්කබල පැලී විශාල කුහරයක් සෑදී ඇති බව දුටිමි. එක ඇසක් දොට්ට පැන ඇත. ලේ වලින් නැහැවී තිබුණු මුහුනේ භයානක බැල්මකි. ඔහුගේ මුව ඇරිලාය. තොල්මත මැස්සෝ වසා සිටිති. ප්ලාස්ටික් බටයක් මුව තුළ රඳවා තිබුණු තවත් මළසිරුරක් මගේ නෙත ගැටිණි. ඔහුගේ මළ සිරුරේ කිසිම තුවාලයක් පෙනෙන්නට නැත. එහෙත් කොළ පැහැති හමුදා බැනියම වම් තනපුඩුව අසලින් ඉරී තිබේ. එතැනින් ලේ ස්වල්පයක් ගලා තිබිණි. ආටි ප්‍රහාරය නිසා විසිවී ගිය යකඩ කැබලි ඔහුගේ හදවත පසාරු කළා විය හැක. මෙවැනි මරණ මා යුද බිමේ දී දැක තිබේ. ලාබාල තරුණ සෙබලාගේ මුව තුළ තිබූ බටයේ වියලූණු ලේ දැකිය හැකි විය. ඔහුගේ තොල්වල කුහුඹුවන් පිරිලාය. තවත් මළ සිරුරක දෙපා සුණු විසුණු වී ගොසිනි. තුවාලවූ දෙපාවල මස් වැදලි එල්ලෙමින් තිබේ. කලවා යුගල පිලිස්සීම නිසා කළු පැහැවී තිබුනි.

  මගේ තුවාලය පරීක්ෂා කළේ කපිතන් වරයෙකි. ඔහු මට එන්නතක් දී වේදනාව අඩුකොට කකුලට තිරිංගයක් දමා රුධිර වහනය නතර කළේය. අනතුරුව මා ඇතුළු තවත් සොල්දාදුවන් කීපදෙනෙක් ට්‍රැක්ටරයක නංවා පලාලි රෝහල වෙත යවනු ලැබීය. ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ වැතිර සිටින අප ගැස්සෙන විට ඇදුම්කන තුවාල නිසා ඉබේම කෙඳිරි ගෑවෙයි. එක් සෙබලෙකුගේ දෑස් බැන්ඩේජ් පටියකින් වෙලා තිබේ. ඔහුගේ මුහුණේ බෙල්ලේ පිළිස්සුම් තුවාළ තිබිණි. වේදනාව නිසා ඔහු පරුෂ වචනයෙන් කෑගැසීය. තුවාල ලැබූ බලලත් නිලධාරියෙකුගේ මුත්‍රා මාර්ගයට සවිකළ බටයක් සහ මුත්‍රා පිරුණු පිලාස්ටික් බෝතලයක් ඔහු අතින් අල්ලාගන සිටියි. මුත්‍රා බෝතලය පිරී ඇත්තේ ලේ වලිනි. ඔහුගේ මුහුණ මගහරිනු වස් මම ඉවත බලා ගතිමි.

  තුවාලකරුවන්ගෙන් පලාලි රෝහල පිරී පැවතිණි. ශල්‍ය ඇඳුම් ඇඳ සිටි වෛද්‍යවරු කලබලයෙන් ඒ මේ අත දිවයනු පෙනෙයි. ඒ අතරවාරයේ තුවාල ලැබූ කර්නල්වරයෙකු ගිලන් රථයක තබා ගෙන ආවේය. මම රෝහලේ පඩියක් මත වාඩිවී සිටියෙමි. මගේ තුවාලයෙන් දැන් ලේ වහනය නොවන හෙයින්ද, මගේ තත්ත්වය දැන් බරපතල නොවන බව මට වැටහිණි. එහෙත් රෝහලේ සති තුනක් මා නවතා ගන්නා ලදි.

  තුවාල ලැබූ මා කරගසාගෙන පැමිනීම ගැන තේනුවරට මේවනතුරු මා ස්තූති කර නැත. අපි සොල්දාදුවෝ වෙමු. එම නිසා අප එකිනෙකාට ස්තූති කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය ඕනෑම මොහොතකදී අප එකිනෙකා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරිමට වුවද සූදානමින් සිටිය යුතුය.

  කෝප්‍රල් තේනුවර අළුතින් සාදන නිවසේ වහලය ගැසීම ලබන සතියට යෙදී තිබේ. ඒ නිසා ඔහු නිවාඩු යාමට සිටින බව මට කියා තිබුණි. ඒ හේතුවෙන් ලබන සතියම කාන්සියන් ගෙවී යනු ඇත.

  තේනුවර හා මම ජොනී බට්ටන්ට බියවීමු. එම නිසා අප තණකොළ මත පය තැබුවේ ප්‍රවේශමිනි. පයින් යන විට වාහන ගමන්ගත් ටයර් පාර උඩ පා තබන විට සුරක්ෂිත බවක් දැනේ. සතුරාගෙන් මුදාගත් භුමියේ ගමන් කරන විට අපි එකිනෙකාට අනතුරු අඟවා ගත්තෙමු. අපරික්ෂාකාරි ලෙස ගමන් ගත් නවක සොල්දාදුවෙකු ජොනී බට්ටෙකුට අසු වුයේ අප දෑස් ඉදිරිපිටදීය. කන් බිහිරි කරවන ශබ්දය හා දුමාරය සමග මස් වැදලි වලින් එල්ලෙන පාදය මම දුටුවෙමි. කම්පනය නිසා ඔහු නිහඩව වැතිර සිටියි. අවට බිම් බෝම්බ තිබිය හැකි නිසා අප ගියේ ප්‍රවේශමිනි. තේනුවර තුවාල ලත් සෙබලා ඔසවා ගත්තේය. මම ඔහුගේ අවිය අතට ගත්තෙමි. වසරකට පමණ පසුව අපගේ රෙජිමේන්තු මූලස්ථානයේ දී මම ඔහු දුටුවෙමි. කෘත්‍රීම පාදයක් පැළඳ සිටි ඔහු මා හඳුනා නොගත් බව මට සහතිකය.

  ආටි වැටෙන විට අපි වහාම බිම දිගාවෙමු. එවිට ධුලි සහිත පස් අපගේ ශරීරය පුරා විසිරී යයි. පිපිරුම් හඬ නිසා කන් අඩියෙන් ලේ ගලන්නාක් මෙන් දැනේ. අවිය අතට ගෙන අප ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබුවෙමු. එහෙත් නිශ්චිතව සතුරන් කොතනක සිටින්නේ දැයි අපට නොපෙනේ. එහෙත් අපි නොනවත්තාම වෙඩි තබමු.

  වරක් ආටි ප්‍රහාරයකදී මට හා තේනුවරට පිහිට වූයේ විශාල නුග ගසකි. ආටිය වැටීම නිසා සීසීකඩ විසිර ගිය යකඩ කැබලි නුග ගසේ කඳට වැදී ගසේ පොතු පවා ගැලවී ගියේය. එහෙත් අප දෙදෙනා හිස පහත් කරගෙන නුග ගහ මුල ගුලිවී සිටියෙමු. මහා ධාරානිපාත වර්ෂාවක් මෙන් සතුරා මෝටාර් එවයි. තුවාල ලත් සොල්දාදුවන්ගේ කෙඳිරිලි හඬ යුද බිම පුරා පැතිරී ඇත. එහෙත් අපගේ වීර සෙබළු සතුරාට පහර දීමට ඉදිරියට යති. ආටි වැස්ස තුරල් වී ගිය වහාම අප දෙදෙනා සතුරා සොයා ඉදිරියට දිව ගියෙමු.

  කිලාලි වලදී එල්. ටී. ටී. ඊ. කණ්ඩායමක් සැඟවී සිට අපට පහර දුණි. අපි පෙරලා ප්‍රහාර එල්ල කෙළෙමු. ප්‍රහාර වලට මුහුණ දිය නොහැකිව ඔවූහු පලා ගියහ. පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 අවි දෙකක් හා පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සමග තුවාල ලබා සිටි එල්. ටී. ටී.ඊ. ළමා සොල්දාදුවෙක් අපට හමුවිය. ඔහුගේ වයස අවුරුදු එකොළහක් පමණ විය. කොට කලිසමක් හා එල්. ටී. ටී.ඊ. නිළ ඇඳුමට අයත් කමිසයක් ඇඳ සිටි ඔහුගේ උදරයට වැදුණු වෙඩි පහරින්, බඩවැල් එළියට පැමිණ සිටි බව පෙනිණි. ළමයා දෙමලෙන් අපට යමක් කීය. එය, ‘මා මරන්නට එපා’ යන්න විය හැක. ළමයාගේ දෙනෙත් බියට පත් හාවෙකුගේ මෙනි. මම ඔහුගේ හිස පිරිමැද්දෙමි. තේනුවර තම සෙබල වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් ළමයාගේ මුවට දැමීය. පිපාසයෙන් පීඩිතව සිටි ඔහු ජලය පානය කළේ ශබ්ද නගමිනි.

  ඔහුගේ ජීවිතය බේරා දීමට අපට අවශ්‍ය වුවත් ඔහු ලබා ඇති බරපතල තුවාල අනුව ළමා සොල්දාදුවාට දින දෙකක්වත් ජීවත් විය නොහැකියැයි මට සිතිණි. ඔහුව රැගෙන අපට නගර් කෝවිල් දෙසට ගිය නොහැක. ලැබී ඇති අණ පරිදි එළුතුමඩුවාල් දෙසට ගමන් කළ යුතුව ඇත. නගර් කෝවිල් බලා යන ට්‍රැක්ටරයක් හෝ තිබුණේ නම් ළමයා වෛද්‍ය ඒකකය වෙත යැවිය හැකිව තිබුණි. අප සිටින්නේ ශුෂ්ක භූමි ප්‍රදේශයකය. පෙනෙන තෙක් මානයේ මිතුරු වාහනයක් නැත. ඔහුගේ උරයේ තිබුණු බර ඇති මල්ල මා සෙමින් මුදා හැරියේ ඔහුට හුස්ම ගැනීම පහසු වනු පිණිසය.

 ‘මුගේ ඔළුවට එකක් තියලා යමු. මූට සනීප වුනොත් අපට ගහන්න  RPG අරගෙන එයි’.  නවරත්න කීය. නවරත්න හමුදාවෙන් පළාගොස් පොදු සමාව යටතේ පැමිණි අයෙකි. ලාන්ස් කෝප්‍රල් නිළයේ සිටි ඔහු දැන් නිළයෙන් පහත් කරනු ලැබුවෙකි. කෝප්‍රල් තේනුවර නවරත්නගේ වචන වලට කුපිත වූයේ අනපේක්ෂිත ලෙසිනි. ඔහු නවරත්න දෙසට තුවක්කුවේ මිට අමෝරාගෙන පැන්නේ ඔහුට පහර දීමට මෙනි. මම වහාම මැදට පැන තේනුවර අල්ලා ගත්තෙමි. එම පහර වැදුණේ නම් නවරත්නගේ හක්ක කැඩී යනු නොඅනුමානය.

  මෙතැන සන්ඩුසරුවල් කරගන සිටිය යුතු තැනක් නොවේ. සතුරා විසින් අප වටකරනු නිසැකය. අපගේ කණ්ඩායමේ සිටින්නේ අට දෙනෙකු පමණි. සාජන් හේරත් කණ්ඩායමේ සිටින නායකයා වුවද ඔහු එතරම් පළපුරුදු ඇති අයෙකු නොවේ. එම නිසා කණ්ඩායමේ නිළ නොවන නායකත්වය තිබුණේ මා හා තේනුවර අතය. අපගේ අද්දැකීම්වලට ඔවුහු ගරු කළහ.

  ‘අපි දැන් යමු’ මම දැඩි තීරණයක් ගතිමි. තුවාල ලත් ළමයා තනිකොට අපි ඉදිරියට ගමන් කළෙමු. එල්. ටී. ටී. සාමාජිකයන් විසින් ළමයාට ප්‍රතිකාර කිරීම සඳහා ගෙන ගියාද? නැතහොත් තුවාල නිසා ඔහු එම ස්ථානයේම මිය ගියාද? මම නොදනිමි. එහෙත් ළමා සොල්දාදුවාගේ වේදනාත්මක දෙනෙත් මට අමතක කළ නොහැකිය.

ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

My Signature for Blog2013 ජූලි මස 20 වැනි දින 2344 පැය

Advertisements

Comments on: "යුද්ධයේ අතුරු කථාවක් (පළමුවැනි කොටස) – වෛද්‍ය රුවන් එම්. ජයතුංග" (78)

  1. කිසිදා කිසිවිටක අමතක නොවේ, මිනිසුන් යුද වදින්නේ තමා නිසා නොව තමා ලග ඉන්න තමන්ගේ ය නිසාය

  2. ඔවුන් අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලද කියලා දැනෙන්නෙ මෙහෙම ඒවා කියවනකොට තමයි. අර ට්‍රේල් බයික් වලින් ආපු පාදඩයන්ව මරන්න තිබුනෙ.. හමුදාව හින්දම දකුණට වෙලා සැප විඳ විඳ හමුදාවෙ අයටම ගරහන්න ! උන්ට බල්ලන්ට හිමි මරණය තමා උරුම.. සමහර විට ඇමති පුතුන් පිරිසක්ද දන්නෙත් නෑ..

    ඔහුට අපේ සුබ පතුම් පිරිනමන්න විචාරක මහතා.. ඔහු යුද්ධයේ කටුක බව, සෙබලුන් අපි උදෙසා විඳි අපහසුතා අපූරුවට අකුරු වලින් සිත්තම් කරලා. අපි හැමදාටම ඔවුන්ට ණයගැතියි.

    • ඇත්තටම මේවාට මුහුණදුන් අයගේ සිත්වල, කියාගන්න බැරුව ඉතුරුවුන, කිව්වට වැඩක් නැති, කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ කියලා හිතෙන, තව කොච්චර දේවල් ඇද්ද? ඒ ඔක්කොම එයාලත් එක්කම වැළලී යනවා කවදාහරි.

  3. පලමුව ෛවද්‍ය රුවන් M.ජයතුංග මහතා ටත්,දෙවනුව විචාරක තුමා ටත් ස්තුතිවෙමි.
    යුද බිමේ සැබෑ තත්වය නොදන්නා අපව,ඇස් පනාපිට සිදු වූ දේ එලසම ගෙන හැර දැක්වීම නම් ඉතාමත් කදිමයි.
    මෙතෙක් කල් යුද බිමේ තොරතුරු මා කියවා තිබුනෙ මාධ්‍ය වාර්තා කරුවන් සපයන ලිපි වලින් පමනි.
    ඉදිරි ලිපි වලින් තව විස්තර කියවීමට බලාපොත්තු වෙමි.
    ඔබ දෙපලට නැවතත් මාගේ ස්තුතිය.!

  4. මෙවන් අතිශක කටුක සත්‍ය සිදුවිම්ද යදු බිමක සිදුවන්නට ඇති. එහෙත් යුද සෙබළකුගේ හෘදය සාක්ෂිය හද ගැස්ම හඳුනාගන්නට සමාජය තවම අසමත් බව මගේ හැගුමයි. විචාරක තුමනි ස්තුතියි මේ වෛද්‍යවරයාගේ කතාව අපට දකින්නට සැලැස්සුවාට. ඒ වගේම ඔබට බොහෝ දේ ඇති මේ කතාවට පසු කොටස් එක්කරන්නට. ඒ අදහස්ද දැකගන්නට රි‍සියෙන් නවතිමි දැනට.

  5. අපේ රණවිරුවෝ මොනතරමක් නම් දුක් කරදර වලට මූණ දෙන්න ඇත්ද?ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් තව බොහෝ දේවල් කල හැකියි කියලයි මට හිතෙන්නේ.ඉඳ හිට බුකියේ දමන සොල්දාදුවෙකුගේ පිංතූරයකට “Like“ ගොඩාක් දානවට වඩා එහා ගිය දේවල්……

  6. මේ කතාව හෙන හයියෙන් ගලාගන යනවා

  7. ක්සැන්ඩර් said:

    මට මේ කතාව කියවද්දී මතක්වුනේ මම රාගම රණවිරු රෝහලට ගිය දා.. එදා එතන මගේ වයසේම කොල්ලෝ දුසිමකට වඩා හිටියා. එක්කෙනෙක් ගේ හිස්කබල නෑ. මේ බලන්න මේ කියල ඔහු හිස පානවා මට දැනුත් මැවිලා පේනවා. එච්චර දෙයක් වෙලත් එතන කොල්ලෝ ඔක්කොම කියන එකම දෙයක් තිබ්බා. මරාගන මැරෙන්න හරි ආයෙම යුද්ධ භූමියට යන්න තිබ්බනං යනව කියන එකයි ඒ. පුදුම ගටක්‌……… ඒ… එහෙව් කොල්ලන්ට පඩත්තලයෝ කියන එවුන්ගේ කටවල් තැලුව වුනත් මං නං වචනයක් කියන්නේ නෑ.

    • මම වුනත් එහෙම තමයි. බෙල්ලෙන් උඩ පණ තියනවනම් ආයේ සැරයක් යුද්දෙට යන්න දෙවරක් හිතන්නේ නැහැ. ඒ හැඟීම යුද්දෙට ගිය සොල්දාදුවන් 99% කගේ හිතේ තියනවා.

    • ඔය රණවිරු සෙවන හදපු මුල් කාලේ දවසක මම ගියා එතකොට මං ඉස්කෝලේ යන කොල්ලා . තාත්තා එක්ක ගියේ තාත්තගේ අහවලෙක් දකින්න , අහවලා අහවල් එකක් එකක් කොර කොර ඉදලත් මාට්ටු උනා. මං ඉතින් අහවලා තාත්තගේ අහවලෙක් හන්දා එයාලට ඕන එකක් කතා කොරගන්ඩ දිලා එළියට බැස්සා . කොල්ලන්ට ජල ප්‍රතිකාර දෙන තටාකය පැත්තෙන් එළියට බැහැලා මම ගියා රේල් පාර පේන පැත්තට . එතන හිටියා අපි වෙනුවෙන් ආබාධිත වෙච්ච අයියලා ටිකක්. එයාලා බලාගන ඉන්නවා කෝච්චි දිහා , අතරින් පතර පාරේ හොරපේ පැත්තට යන කෙල්ලෝ දිහා . ගොඩ දෙනෙක් රෝද පුටුවල , එක අයියා කෙ‍නක් හිටියා , ඇස් පේන්නේ නැ. මතක විදිහට අතකුත් නැද්ද මන්දා. එයාට පාරේ යන එව්වා කියනවා තව අයියෙක් ටික වෙලාවක් ගියහම මම දැන ගත්තේ එයා පටල පටලා කතා කරන කොට (අපේ සුමියා වාගේ ) එයාට කන් ඇහෙන් නැ.

      පස්සේ කාලෙක මගේ දකුණු අතේ ඇගිලි දෙකක කැලි දෙකක් අහිමි කරමින් මුළු අතම ඇඹරිලා ගිහින් එළියට ඇරගන කාගෙවත් උදව්වක් නැතුව මෙෂින් එක 0FF කරලා ,වතුර වහලා . හුලං වහලා , හීටස් පැත්තකට තල්ලු කරන්ඩ මානසික ශක්තියක් ලැබුනේ එයාල හන්දා.

      මම ඔය පාරෙන් දැන් සමහරක් දවස් වලට යනවා . SLSPO එකට එහෙම , ඒ හැම වෙලාවකම මට මහ වරදකාරී හැගීමක් ඇති වෙනවා , මම දැන් සල්ලි හම්බ කරන මිනිහෙක් වෙලත් ඇයි මේ කොල්ලෝ බලන්න ගියේ නැත්තේ කියලා ,

      සීංහල බ්ලොග් කාරයෝ විදිහට අපි යන්ද දවසක අපේ කාලේ අපේ වීරයෝ බලන්න , ඔන්න විචාරක සර් සදතුටු වෙන්න හොද දවසක් සහ අපිට හමු වෙන්න හොද දවසක්.

      • රණවිරු සෙවනේ හිටියා මගේම ඒකකයේ සොල්දාදුවෙක් ඔබ කියන ආකාරයට අන්ධ වූ අයෙක්. ඔබ කියන්නෙත් එයාම වෙන්න පුළුවන්. අපි යමු දවසක.

  8. මේවා අන්තෝජඨා බහි ජඨා බහි ජඨා වර්ගයේ ප්‍රශ්න විචාරක. ප්‍රශ්නයේ මැද සිටින්නා මේ දෙස බලන ආකාරයයි , පිටින් ඉන්න කෙනෙක්ට පෙනෙන ආකාරයයි දෙකක්..

    ඉහළම නිළයටත් වැරදුණා. ( වැරද්දුවා ) ඉතින් අන්‍යන් ගැන කවර කතාද ?

    ( අනිත් දේ විචාරක අප හමුවට පැමිණෙන සියළු දෙනාම අවංක නැහැ.ඔවුන්ගේම ඇජෙන්ඩාවන් අප පිටින් ඉෂ්ඨ කරගන්නවා විය හැකියි මායකාරීව . මතක තියාගන්න ඉහළම නිළයටත් වැරදුණා )

    • හරිම සංකීර්ණ තත්වයක්. කවදාවත් කාටවත් නොකියා අපේ හිත්වල හංගාගෙන ඉන්න දේවල් කිව්වොත් ඔබ කියයි ‘අනේ නිකං බයිලා ගහන්න එපා’ කියලා. අපි ඒවා හිතේ හංගාගෙනම මැරිලා යන බව මට සහතිකයි.

  9. මා යෙදු කමෙන්ටුව ස්පෑම් වී ඇත්දැයි බලන්න…

  10. මේ වගේ වටිනා ලිපියක් අපිට ගෙනාවට ගොඩාක් පින් විචාරක මහත්තයෝ

  11. නිර්නාමික said:

    සමාවෙන්න මාතෘකාවට අදාල නැති දෙයක් අහන්නේ.
    Flying Fsh (ඉගිල්ලෙන මලුවො) චිත්ත්‍රපටය ගැන ඔබේ අදහස කුමක් ද? එය හමුදාවට අපහසයක් ලෙස ඔබ දකිනවාද?
    (එම නිර්මාණය ප්‍රදර්ශණය නොකෙරුනත් ඒ ගැන බ්ලොග් අවකාෂයෙ ලියවුන ලිපි දින්න ඇති කිය සිතනවා, ඒ නිසා ඔබට යම් අදහසක් ඇතියි කිය උපකල්පනය කරලයි මෙම ප්‍රශ්නය ඇසුවේ.)

    • මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය trailer එක පමණයි මම දැක්කේ. ඒ කොටසේ නම් මම කිසිම දෙයක් දැක්කේ නැහැ රටට හෝ හමුදාවට අපහාස වන ආකාරයේ දෙයක්. මිනී කාමරයේ ඉන්න මිනී කපන්නා විශේෂඥ වෛද්‍ය වරයකු වෙන්න යනවානම් ඒ තමයි සියවසේ හොඳම විහිළුව. රටක ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් එන හමුදාමය ආක්‍රමණ පිළිබඳව පියවර ගැනීමට විනා සංස්කෘතික ආක්‍රමණ වැලක්වීමට නොවේ. එය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අයිති දෙයක්. මේ විදිහට හෙට අනිද්දා වෙනකොට දේශීයව නිපදවෙන පාසල් නාට්‍යයක් වුනත් ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතියට යොමු කරන්න වෙයි. ඉගිල්ලෙන මාළුවෝ ටොරන්ට් මගින් බාගෙන බලන්න මම විශාල උත්සාහයක යෙදී සිටිනවා. බලන්න හැකිවුනොත් ඒ ගැන ලිපියක් ලියන්නම්.

    • මෙන්න මේ දැන් හොයාගත්තා ඉගිල්ලෙන මාළු ගැන විකිපීඩියාවේ තියන ලිපියක්. එහි තියනවා කතාව සෑහෙන දුරට. මෙතනින් බලන්න.

      http://en.wikipedia.org/wiki/Flying_Fish_(film)

      • නිර්නාමික said:

        බොහොම ස්තූතියි. තුට්ටු දෙකේ චිත්ත්‍රපටි රටපුරා ප්‍රර්ශනය කරන ගමන් හොද නිර්මාණ වාරණය කිරීම ගැන තියෙන්නේ කනගාටුවක්.

  12. ***************************************************

    • මේක දකින අයට පෙහෙළිකාවක් වේවිද …?

    • මේ මෝස්ද ?

      • නැහැ සෙන්නා, සහන් කියලා තිබුනා ඒ කමෙන්ට් එක පළ කිරීම අනවශ්‍ය බව. ඉතින් මම කමෙන්ට් එක සංස්කරණය කළා. (වර්ඩ්ප්‍රෙස් වල පාඨක අදහස් සංස්කරණය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ) කමෙන්ට් එක මට ලැබුන බව සනාථ කරන්නයි මෙහෙම කළේ. 😀

      • ඒක මිසක්. මම හිතුවා සහනුයි, විචාරක මහතයි රහස් භාෂාවකින් කතා කරනවා කියලා. 😀

        • සෙන්නට මතකද දන්නේ නෑ ඉස්සර එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එකඟ වෙලා තිබුනා ලෝක භාෂාවක් හදන්න. ඒ කියන්නේ ඒ භාෂාව කාටවත් අයිති නෑ ලෝකෙටම පොදුයි. ‘ඒස්පරාන්ටෝ’ තමයි ඒ භාෂාවේ නම. නමුත් එය සාර්ථක වුනේ නැහැ.

      • අන්න අලුත් දෙයක්… මම මේ දැන් තමා ඔය ගැන මුලින්ම ඇහුවෙ.. ඒත් ඔය එස්පරන්ටෝ කියන නම මට වෙන කොහෙදි හරි අහලා පුරුදුයි.. අඩේ ඇයි ඉතින් ඒක අසාර්ථක වුනේ.. අර සබැඳියෙ පෙන්නුම් කරන හැටියටනම් ඒකෙ රුසියානු අකුරුත් තියනවා වගේ..

        • මමත් දන්නෙ නෑ මොකක්ද වුනේ කියලා. ඇත්තටම ඔයාට පුලුවන්නම් ටිකක් හොයලා ලිපියක් ලියන්නකෝ. හරි ප්‍රයෝජනවත් වෙයි.

  13. යුද්ධය සහ භීෂණය (රාජ්‍ය හා රාජ්‍ය නොවන) අපිට නම් අද වගේ මතකයි.

  14. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහත්මයාගෙ දේශාටන චාරිකා ගැන, එහිදි හමුවුනු පුද්ගලයන්ගැන සටහන් තිබුනු පොතක් කාලෙකට කලින් කියෙව්වා මතකයි.

    යුද්ධයක කටුක බව යුද්ධයකදි සොල්දාදුවා කරන කැපවීම ගැන මේ වගේ සටහනක් කියෙව්වම කොයිතරම් තදින් හිතට කාවදිනවද. අද මේ පැත්තෙන් මෙච්චරයි, අර පැත්තෙන් මෙච්චරයි – ශුද්ධලාභය මෙච්චරයි කියල හැමදාම රෑට ප්‍රවෘත්තවල ගනන් හදල පෙන්නපු යුගයකුත් තිබුනා. මේ වගේ සජීවී යුද්ධයක තොරතුරු නැවත නැවතත් පසක් කරන්නෙ ඒ මැරුනෙත් සිතුම් පැතුම් තිබුනු පන ගැහුනු අපි වගේම මිනිස්සු බව.

    • මම හිතන්නේ නැහැ සමහර ඇත්ත තොරතුරු කවදාවත් එලියට එයි කියලා. වෛද්‍ය ජයතුංග එවැනි තොරතුරු එක්රැස් කරලා (දෙපැත්තේම අයගේ) වාර්තා සකසා තිබෙනවා.

  15. දෙපැත්තෙම මැරෙන්නේ මිනිස්සු. දෙපැත්තෙම බොක්කෙන් කළ උනුත් ඇති, රස්සාවට කරපු උනුත් ඇති. යුද්ධය කියන්නේ මම අකමැතිම විෂයක්. මහා කාළකන්නි ක්‍රියාවක්. යුද්ධය, ත්‍රස්තවාදය, ප්‍රචන්ඩත්වය, මේ එකකටවත් මම කැමති නෑ. අන්තීමෙදි මොකද උනේ. එක පැත්තක නායකයෙක් මරලා දැම්මා. අනෙක් එකා නොමරා මරනවා. ප්‍රශ්ණය එතනමයි.

  16. දුක් වින්දේ ඔවුන්.. හබන් කුකුලන්ට තමයි මඟුල්..

  17. හමුදාවේ යුද පුහුණුව කොයිතරම් සංකීරණ ක්රියවලියක්ද කියල හිතුන.. සාමාන්‍ය ජන ජීවිතයක් ගෙවන මනුස්සයෙක්ව කෙටි කාලයක් තුල යුද බිමේ තියන අතිශය බිහිසුණු කටුක පරිසරයට කායිකව හා ‘මානසිකව’ සුදානම් කරන එක..

    • ඇත්තටම සොල්දාදුවකු හරියට පුහුණු කරනවානම් අවුරුද්දක් විතර යනවා. නමුත් පහුගිය කාලේදී අපේ රටේ එහෙම වුනේ නැහැ. ඒ තත්වයත් සමහ සිදුවීම් කෙරෙහි බලපෑමක් ඇති කළා / ඇති කරනවා.

  18. නිර්නාමික said:

    ඇම්බුෂ් කළා ඒත් කලිසමේ මුත්‍රා කරගත්තේ නැහැ.පැත්තකට බඩගාලා ඇලේට හැරුනාම ගැටලුව අවසන්.

    • ඇත්ත ඇත්ත. මමනම් සිප් එක ඇරලා කොහොම හරි බිමට යොමු කරගන්නවා ඒ කාලේ ඇම්බුෂ් වලට ගියාම. මෙතන මේ නිර්මානාත්මක බව නිසා වෙන්න ඇති.

  19. අනර්ඝ ලිපියක් යුධ බිමේ මතකයන් අමතක කල නොහැකියි…

  20. හදවතට දෑනෙනව.අටමගෙ යොජනවට අපිත් අත ඉස්සුවා

  21. යුද්ද්යෙදී මිනිසුන් මැරීම හා ඒ හැඟීම් පසුවට ” සාර්ථකව කලමනාකරනය” කීරීම කියන්නේ මම දන්නා තරමින් තවමත් ඇමරිකන් හමුදාවත් ඉගෙන ගන්නා දෙයක්.

    මම දන් නෑ ලන්කාවේ මේ ගැන තත්වය මොකක්ද කියා.
    ඇමරිකානු හිටපු ලුතිනන් ක්’නල් වරයෙක් මේ ගැන ලියූ පොත් දෙකක් මම අහම්බෙන් කියවුවා. ඒවයේ ඇති කරුනු සෑහෙන මතබේදාත්මකයි.
    වේලවක් තිබුනොත් කියවා බලා අදහස කියන්න.
    මේ පොත් “නොමිලේම” හොයා ගන්න තිබුනා කලකට පෙර. නැතිනම් මම ඊයකින් එවන්නම්.

    http://en.wikipedia.org/wiki/On_Killing:_The_Psychological_Cost_of_Learning_to_Kill_in_War_and_Society
    http://en.wikipedia.org/wiki/On_Combat:_The_Psychology_and_Physiology_of_Deadly_Conflict_in_War_and_in_Peace

    • යුද්දේ කියන්නේ ඉතින් දෙපැත්තක් හෝ පැති කීපයක් එකිනෙකා මරාගැනීම මිසක් වෙන මොකක්ද. හැබැයි යුද්ධයක් කරනවා කියලා තීරණය කරන්නේ හමුදාව නෙවෙයි. රටක පාලකයෝ. ඉතින් යුද්දෙන් පස්සේ, තමන්ගේ සොල්දාදුවන්ගේ මානසික තත්වය කළමනාකරණය කරගැනීම පැවරෙන්නෙත්, කැඩුණු අවි ආයුධ අළුත්වැඩියා කරගැනීම, විනාශවූ කඳවුරු ගොඩනගා ගැනීම, විනාශවූ ගම්බිම් සකසාදීම ආදී පසුකාලීන වැඩත් පැවරෙන්නේ හමුදාවටම තමා.

      අර පොත් දෙකම බාගත්තා. pdf විදිහට. මේ දැන්. කියවලා බලලා අදහස් කියන්නම්.

      අනිත් කමෙන්ට් එකට උත්තරේ මේකයි, ‘නැත. වවුනියාවේ සිට. මමද සහභාගී වුනෙමි’

      • මේ කතුවරයා පල කල එක අදහසක් මම හිතන්නේ ටිකක් ප්‍රසිද්දියේ කීම වැදගත් කියා හිතුවා. ඔහු කියනවා මිනිසුන්ගෙන් බහුතරයකට තව මිනිසෙක් මරා කිසිත් නොවුනා වාගේ සිටීම කල නොහැකියි කියා. එසේම එහෙම කරන්නට (මරන්නට ) එක වරම “අත (හා සිත ) හුරු” කරගන්නත් අමරුයි කියා.
        හමුදා පුහුනුවේදී බුල්ස් අයි ඉලක්ක වලට වෙඩි නොතබා මිනිස් රුවක් වැනි ඉලක්ක යොදා ගන්නේ ඒ නිසා කියා. ඔහු කියනා විදිහට ඊශ්‍රායල හමුදාවේ ස්නයිපර් පුහුනුවේහි ඉලක්ක වල හිස මදය රතු කොමඩු ගෙඩි යොදා ගත්තලු ( මීටර් සිය ගනනක් ඈත සිට එයට වෙඩි තැබුවහම වන දෙය ස්කොප් එකෙන් පෙනෙන්නේ මිනිස් හිසකට වෙඩි තැබුවා වගේලු ).

        ඔහු කියනවා වෙඩි තැබීමේ වීඩියෝ ක්‍රිඩා (first person shooter games) හා ප්‍රචණ්ඩත්වය බහුල කතා (TV, Movies) නැරබීමෙන් අර “අත (හා සිත ) හුරු” වීම වෙනවා කියා.

        බුල්ස් අයි ඉලක්ක : http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d5/Archery_Target_80cm.svg/220px-Archery_Target_80cm.svg.png

        • ඇත්තටම ඉතා පුළුල් ලෙස විවෘත සංවාදයක යෙදෙන්නට සෑහෙන කරුණු ගොඩක් තියනවා. මා හිතනවා ඔබ වගේම තවත් අයගේ අවධානය මෙයට යොමුවෙයි කියා.

          බුල් එකට වෙඩි තියන්න පාසල් ශිෂ්‍ය භටයන්ටත් කියලා දෙනවා. මමනම් හිතන්නේ නැහැ ස්නයිපර් වරයෙකුට කොමඩු ගෙඩියකට වෙඩි තැබීමේ අභ්‍යාසය අත්‍යවශ්‍යයි කියා. මොකද ස්නයිපර් 100% ම දන්නවා ඔහු ඉන්නේ මිනිසුන් මරාදමන්න බව. මා දැක තිබෙනවා ආධුනික ස්නයිපර් වරුන් කිසිදු තැතිගැන්මකින් තොරව ඔවුන්ගේ ‘රාජකාරියේ’ යෙදෙනවා.

          අපේ හමුදාවේ එක්තරා කියමනක් තියනවා. කවුරු හරි ලොකු වැරද්දක් කලත් කියන්නේ ‘අන්න අරූ බුල් එකක් ගැහුවා’කියලා. ‘බුල් ගහනවා’ කියන්නේ වැරදි කරනවා කියන එකයි. දිගටම එහෙම වැරදි කරන කෙනා, ‘මාර බුලා, දාර බුලා, බුල් පප්පා,’ කියලා හඳුන්වනවා.

          අපේ හමුදාව නිතර පාවිච්චි කරන ඉලක්ක පත් දෙකක් පහත දක්වනවා.ඉලක්ක පත් දෙකක්
          ඔබ දක්වා තිබුන සබැඳියාවේ තිබෙන්නේ දුන්නෙන් විදීම සඳහා යොදාගන්නා ඉලක්කපතක්.

      • ලන්කාවේ ස්නයිපර්වරුන් වෙන්නේ මම හිතන හැටියට වෙනත් රටවල වගේම කාලයක් සෙබලුන් ලෙස සිටපු අය. නමුත් වෙනත් රටවල අවුරුදු ගනනක් සෙබලුන් ලෙස සිටියත් මිනිසෙක් මරන්න අවස්ථාව නොලැබුනා වෙන්න පුලුවන්. ලන්කාවේ දීර්ඝ යුද්දය නිසා පාබල සෙබලෙක් ලෙස සිට කාලයක් සිටි විට ඒ අවස්තාව ලැබෙනවා.

        • ටිකක් 50 ට 50 වගේ නේද? සෙබළෙකුට යුද්ධයක් ලබාදෙන්නේ රටේ පාලකයන් විසින්නේ. ඉතින් සමහර රටවල සෙබලෙකු හමුදාවට බැඳිලා විශ්‍රාම යනතුරුම, වාර්ෂික පුහුණුවේදී හැර, වෙඩිල්ලක් තියන්න ලැබෙන්නේ නැහැ. අඩු ගණනේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවකටවත් නොගියොත්. 1948 දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු සෙබලෙක් සාමාන්‍ය ක්‍රමය යටතේ වසර 22 කින් විශ්‍රාම ගියානම්, 1970 දී ඔහුත් කවදාවත් යුද්ද කරලා නැහැ. 2010 දී බැඳුන සෙබළුන්ටත් එසේ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

      • ඔබ තුමා කියන කතව එකඟයි. ඒත් මම අදහස් කලේ එහෙම දෙයක් නෙමේ. යුද්ද කිරීම හොඳ දෙයක් කියා නොවේ කිව්වේ.

        “මා දැක තිබෙනවා ආධුනික ස්නයිපර් වරුන් කිසිදු තැතිගැන්මකින් තොරව ඔවුන්ගේ ‘රාජකාරියේ’ යෙදෙනවා.”

        කියපු එකට පිලිතුරක් ලෙස කියුවේ. ලන්කාවේ “ආධුනික ස්නයිපර් වරුන්” යුද්ද කර ඇති උනාට වෙනත් රටක “ආධුනික ස්නයිපර්” යුද්ද කර නැතුවා විය හැකියි. ඇරත් මෙතන මම ස්නයිපර් කිව්වට මෙය ස්නයිපර් ද මාක්ස්මන්ද කියා මට මතකත් නෑ.

        • හරි හරි මට තේරුනා. ඔබ කියන පරිදි අත්දැකීම් නැති කොයි පුද්ගලයාත් තමන් පුහුණුව ලැබූ ක්‍ෂේත්‍රය තුල මුල් කාලයේදී දුර්වල වෙන්න පුළුවන්.

  22. යුද්ධය කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති මෝඩ වැඩක් බව මේ රනවිරුවන්ගේ කතා වලින් පේනවා. ඒක කොහොමටවත් ඔවුන්ගෙ වරදක් නොවේ. ඔය අක්කර කිහිපයක බිම් ප්‍රදේශයකට යුද්ධ පටන්ගන්න පුද්ගලයන් දන්නෙ නැතුව ඇති මේ විශ්වයත් එක්ක බලද්දී ඔවුන් අයිති කරගන්න හදන බිම නැනෝ මීටරයක් තරම් වත් නැති බව. පෘතුවියේ ස්වාභාවිකව ඉපදුනු ඕනම සත්වයෙකුට පෘතුවියේ ඕනම තැනක ජීවත්වීමේ නිදහස හිමියි. එම නිදහසට වාරණ පනවන/යුද්ධ ඇති කරන පටු දැක්මක් සහිත පුද්ගලයන් නොදැනීම කරගන්නේ ලොකු පවක්.

    • සම්පූර්ණයෙන් එකඟයි. යුද්දය ඇති කරන්නෙත් නැති කලයුත්තෙත් මිනිසාමයි. සොල්දාදුවටද හිතක් පපුවක් ඇත. එහෙත් යුද පුහුණුවේදී ‘සියල්ලට පෙර තම කාර්යය නිමා කිරීම’ යන සංකල්පය ඔහුගේ මනසේ ගැඹුරටම කාවද්දා ඇති බැවින්,ඔහු ක්‍රියාකරන්නේ යාන්ත්‍රිකව මෙනි.

  23. කට්ට කාපු හමුදාවෙ ඇත්තෝ කොහෙවත් ඉද්දී ලකුණු දාගන්නේ කොහෙවත් හිටපු උං.ඒකයි දුක.

  24. විශාන් said:

    @ හසිත …….
    ඒත් ඔයාට අමතක වෙලා ඔයාට සාපේක්ෂව අපි යුද්ධ කරල දිනාගත්ත භූමිය කොච්චර ලොකුද කියලා……….

    • නැති වුනු මානව සම්පත සමඟ සසඳන විට ඔබට ඒ ඉඩම් වටිනවාද? රණවිරුවන් යුද්ධ කලේ ඔවුන්ගේ පුද්ගලික තරහක් පිරිමසාගැනීමට නොවේ. ඔබ ඔය ප්‍රශ්ණය ජීවිතය පූජා කල රණවිරුවෙකු සිටි පවුලේ කෙනෙකුගෙන් ඇසුවා නම් ඔබටත් තේරෙයි.

      • + මා පිලිගන්නා බුදු දහම අනුවද අත් කරගැනීමෙන් ලබාගතහැකි සතුට, සතුටක් නොවේ. අත්හැරීමෙන් ලබාගන්නා සතුට කවදාවත් නැති නොවේ.

  25. විචාරක තුමා සෙබළකුට යුද බිමේදී තමාගේ හර්ද සාක්ෂියට එකගව ක්‍රියා කරන්න අවස්ථාවක් තියනවද … නැත්තන් ලැබෙන අණ යන්ත්‍රයක් ස්වභාවයෙන් ක්‍රියාත්මක කරනවද ( නියෝගය මොකක් උනත් ) [උදාහරණයක් විදිහට ගත්තොත් සිවිල් වැසියන් ඉන්න ප්‍රදේශයකට දැනුවත්ව කරන ප්‍රහාරයක් ] ? …
    හමුදාවේ මානසික චිකිත්සක ඒකකය වහලා දාලා නේද ? මොකද ඒ වගේ මෝඩ තීරණයක් ගන්න හේතුව ?

    • මුලින්ම කියන්න තියෙන්නේ ඔය සිවිල් වැසියන් පමණක් ඉන්න ප්‍රදේශ වලට පහර දුන්නා කියන අදහස LTTE ඩයස්පෝරාව විසින් කළ දක්ෂ ප්‍රබන්ධයක් විනා ඇත්ත කාරණයක් නොවෙන බවයි. පාරේ එහාපැත්තෙ මෙහා පැත්තේ ඉන්න දෙන්නෙක් හදිසියේ ගල්මුල් වලින් ගහගත්තොත් පාරේ යන අයටත් වදින්න ඉඩ තියනවා. අතීතයේදී එහෙම වුනා. අදටත් වෙනවා. අනාගතයේදීත් වෙනු ඇති. මගේ උසස් නිලධාරියා මට කියනවා නම්, අන්න අර ගමට පහරදෙනු කියලා, මට 100% ක් සහතිකනම් සහ ඔප්පු කර පෙන්විය හැකිනම් ඒ ගමේ ඉන්නේ සිවිල් වැසියන් පමණයි කියලා, මට පුළුවන් ඒ නියෝගයට පිටුපා, මට අණ දෙන නිලධාරියාට ඉහලින් ඉන්න නිලධාරියාට ඒ ගැන පැමිණිලි කරන්න.

      හමුදා මානසික ප්‍රතිකාර තිබෙනවාද නැද්ද යන්න ගැන මේ දිනවල මගේ දැණුම අඩු නිසා නිසි පිළිතුරක් දීම අපහසුයි.

      • මම දන්නා තරමින් යුද්දයකදී සිවිල් වැසියන් මිය ගිය පමනින් එය නීති විරොධී ක්‍රියාවක් වෙන් නෑ (ජිනීවා නීති වලත් මෙයට ඉඩ තබා තිබෙනවා ).

        http://www.crimesofwar.org/category/a-z-guide/law/
        http://www.crimesofwar.org/a-z-guide/summary-of-crimes-international-criminal-court/

        එක් උදාහරනයක් මිනිස් පලිහක් තබා ගැනීම ඉතා පැහැදිලිවම යුද අපරාදයක් (War crime of using protected persons as shields).

        හමුදා මානසික ප්‍රතිකාර ඒකකය යලි ක්‍රියත්මකයි දොස්තර නීල් ප්‍රනාන්දු මහත්මයා යටතේම.
        http://www.sundaytimes.lk/111225/News/nws_20.html

        • ස්තුතියි මේ තොරතුරු වලට. ජිනීවා නීති වලට මුවා වෙලා තමයි ඇමරිකාව පාකිස්තානයේදී නියමුවන් රහිත ගුවන් යානා ප්‍රහාර එල්ල කරන්නේ. එමෙන්ම මා අර පාර දෙපැත්තේ සිට ගල් මුල් ගහගන්න කතාව කිව්වෙත් ඒ නිසයි.

          ඔබ ඉදිරිපත් කර ඇති පුවත්පත් වාර්තාව 2011 දී පලවූවක්. මා දන්නේ නැහැ වර්තමාන තත්වය. නිල නොවන තොරතුරු මා සතුව තිබුනත් ඒවා ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නැහැ.

      • ඇමරිකාව කරන සමහර දේවල් ජිනීවා නීති නෙමේ ඇමරිකානු නීති හා ව්‍යවස්තාවටත් පටහැනියි.

  26. ambush එකකදී කැස්සක් කිවිසුමක් වගේ යන්න අවොත් මොකද කරන්නේ? සමහර වෙලාවට පාලනය කරගන්න අමාරු වෙනවනේ. එතකොට මොකද වෙන්නේ.. 🙂

    • කැස්ස තියන අය සාමාන්‍යයෙන් ඇම්බුෂ් එකකට යවන්නේ නැහැ. බලාපොරෝත්තු රහිත කැස්සක් පටස් ගාලා ආවොත් වැඩේ ඉවරයි. කැස්ස එනවා දැනෙනවානම්, තමන්ගේ බෙල්ලේ ඔතාගෙන යන රෙදිකෑල්ල ගලවලා නහය කට වැහෙන විදිහට තද කරගන්න ඕනේ. කිඹුහුමක් යන්න එනවානම් නහය දබරැඟිල්ලෙන් පැත්තකට තද කරලා අල්ලාගෙන ඉන්න ඕනේ.

  27. මේ විස්තරය කියවන්න සැලැස්වුවාට විචාරක තුමාටත්, රුවන් මහත්මයාටත් බොහොම ස්තුතියි..

  28. කෙටිකතාව හරිම ලස්සනයි. ඒවගේම විචාරක විසින් ලබා දී ඇති කමෙන්ට්ස් කැමැත්තෙන් කියෙව්ව

  29. […] කොච්චර හොඳද? හරි ඒ ගැන වෙනම කතාකරමුකෝ. වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනවිත් තිබෙනවා. […]

  30. […] කොච්චර හොඳද? හරි ඒ ගැන වෙනම කතාකරමුකෝ. වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනැවිත් තිබෙනවා. […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: