විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  photoහින්දි සිනමාව කෙරෙහි මා ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ 1960 දශකයේ දීය. මගේ ඥාති සහෝදරයකු වූ විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ මේ සඳහා මට මග පෙන්වූ ප්‍රධානතම පුද්ගලයා යයි අනිවාර්යයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු ගැන වචනයක් නොකියා මේ සටහන තැබිය නොහැක්කේය. භාෂාව, සාහිත්‍යය, වේදිකා නාට්‍ය, සිනමාව, (සිංහල/හින්දි/ඉංග්‍රීසි) කෙරෙහි මා යොමු කරන්නට ඔහු ගත් වෙහෙස අපමණය. ඔහු සාමාජික මුදල් ගෙවා කෑගල්ල මහජන පුස්තකාලයේ මට සාමාජිකත්වය රැගෙන දුන්නේ, මා පූර්ව ජ්‍යොෂ්ඨ පන්තියේ (Senior School Certificate Preparatory Class = SSC Prep;) ඉගෙනුම ලබමින් සිටියදීය. ශිෂ්‍ය ගුරුවරයකු ලෙස 1960 දශකයේදී රුපියල් 100 මාසික වැටුපට (සමහරු ඒ කාලේ ශිෂ්‍ය ගුරුවරුන්ට කිව්වේ 99.90 කියාය. හේතුව ඔවුන්ට තම මාසික වැටුප් පත්‍රිකාවේ, වැටුප ලබාගත් බවට අත්සන් කිරීමට, ශත 10 මුද්දරයක් අවශ්‍ය වූ (ඔවුන්ට විතරක් නොවේ රජයේ සේවකයන් බොහොමයකට) අතර, එහි වටිනාකම ගෙවා ගත  නොහැකිව වැටුපෙන්ම එම ශත10 අඩු කරගත්තා යයි අපහාස කිරීමටය) මට වඩා වසර 10 කින් පමණ වැඩිමල් ඔහු කිසි දිනක මට ‘මල්ලී’ කියා අමතා නැත. ඔහු මට කතා කරන්නේ ‘මොකුත් නැති’ ආමන්ත්‍රණයකිනි.  ‘ආ කොහොමද’ ‘කොහෙද යන්නේ’ ‘යමු චිත්‍රපටියක් බලන්න’ ආකාරයටය. කේන්ති ගියවිට ‘ඔය ළමයා’ කියයි. නැතහොත් මා සමග කතාබහක් නැතිව දවස් ගණනක් සිටියි. එය මට මහත් මානසික පීඩාවකි. ඔහු නැවත යාළු කරගන්නට කිසිසේත් නොහැකිය. කවදා හෝ දිනක ඔහුම යළි මට කතා කරනතුරු ඉවසා සිටින්නට සිදුවේ. ගැලරියේ සිට චිත්‍රපටි බලන්නට, ශත 10 ක් 15 ක් ගෙවා, තෝසේ කඩයකින්, බඩ පැළෙන්න කන්නට මට ඉගැන්නුවේ ඔහුය. හින්දි සහ බටහිර නළු නිළියන් ගැන මට කියාදුන්නේ ඔහුය. නවකතා, කෙටි කතා, කවි, රසවිඳින හැටි කියාදුන්නේ ඔහුය. ඔහු විදුහල්පති වරයකු ලෙස සේවය කොට, අද විශ්‍රාම ලබා, බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ වාසය කරයි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍ර එකල පුවත්පත් වල නිතර පළවිය. 1960 දශකයේදී, වරක්, එකල ‘රිවිරැස’ පත්‍රයෙන් සංවිධානය කළ කාටූන් චිත්‍ර තරගයක ප්‍රථමස්ථානය ඔහුට හිමිවිය. කලා රසවින්දනයෙහි මා තුළ යම් පරිණත බවක් වේ නම්, කලා ක්‍ෂේත්‍රය පිළිබඳ ලිපි ලිවීමට මට හැකියාවක් ඇත්නම්, එහි පදනම ඔහුම වෙයි. 

  pran1හොඳයි, ඒ චූර්ණිකාවෙන් පසුවයි, මා, අද දින, මේ කෙටි සටහනේ නිමිත්ත වෙත ඔබ ගෙනයන්නේ. හින්දි සිනමාවේ දුෂ්ඨ නළුවකු ලෙස ලෝක ප්‍රසිද්ධ ප්‍රාන් ගැන ඔබ අතරින් සෑහෙන දෙනෙකු අසා ඇතැයි මා සිතනවා. නව පරපුරේ සිනමා රසිකයන් නම් ඔහු ගැන දන්නේ නැතුව ඇති. ඔබට පුදුමත් හිතෙනවා ඇති ඇයි මා මෙලෙස හින්දි සිනමා නළුවකු වර්ණනා කරන්නේ කියා. ඇත්තේ එකම හේතුවකි. දක්ෂයා, ශ්‍රේෂ්ඨයා, ජාති, ආගම්, කුල, භේදයෙන් තොරවම දක්ෂයා, ශ්‍රේෂ්ඨයා ලෙස පිළිගැනීම, අපි, අප තුළ වඩවාගත යුතු, අගනා මිනිස් ගුණයක් බව මෙහිදී අවධාරණය කරන්නට සිදුවෙනවා. මේ නළුවා ගැන මා මෙසේ ඇගයීමක් කරන්නේ එහෙයිනි. මේ දක්ෂයා, මේ ශ්‍රේෂ්ඨයා, 93 වසරක් ආයු වළඳා පෙරේදා (2013/07/12) අප අතරින් සමුගත්තේය. මේ සටහන ඔහු වෙනුවෙනි. 

  1920 වර්ෂයේදී උපන් ‘ප්‍රාන් ක්‍රිෂන් සිකන්ද්’ සිනමාවේ දුෂ්ඨයකු වුවද, අනෙක් සෑම දුෂ්ඨ නළුවකු මෙන්, සැබෑ ජීවිතයේ දුෂ්ඨයකු නොවූ බව නොකිවමනාය. ඔහු, මෙතෙක් ලොව බිහිවූ, ශ්‍රේෂ්ඨතම දුෂ්ඨ නළුවායයි මම නොකියමි. එහෙත්, ඔහු තරම්, මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ පුදුමාකාර දක්ෂතාවක් ඇති දුෂ්ඨ නළුවකු, මා නුදුටු තරම්ය. දැන් ඉන්න සිල්ලර දුෂ්ඨ නළුවන්ගේ ‘වැඩ කෑලි’ සමග සසඳා බලනවිට, මෙවන් නළුවකු කොතරම් ශ්‍රේෂ්ඨද යන්න මනාව පසක්වෙයි.

  Pran 2ඔහුගේ විශේෂත්වය වන්නේ, හුදු දුෂ්ඨ චරිතයටම සීමා නොවී, මිනිස්කම විදහා දැක්වෙන චරිත වලටද පණ පෙවීමයි. එමෙන්ම සමහර චිත්‍රපටි වලදී ඔහු දැක්වූ විකට රංගන ප්‍රතිභාවද, අනෙකුත් විකට නළුවන්ට සැබෑ අභියෝගයක්ම විය. ඔහු මගේ සිතෙහි පැළපදියම් වුයේ, ‘මධුමතී’‘ජිස් දේශ් මෛන් ගංගා බෙහෙති හෛ’ වැනි චිත්‍රපටි වලින් බවයි මගේ මතකය. එතැන් සිට ඔහුගේ චිත්‍රපටි ලැයිස්තුව කියන්නට මේ අවස්ථාව නොවේ. ප්‍රාන් ගේ ‘අති දක්ෂ දුෂ්ඨකම්’ 😀 කොතරම් ඇගයීමට ලක්වුයේද යත්, සුප්‍රසිද්ධ ‘ස්ටාර්ඩස්ට් – Stardust’ සඟරාව, වර්ෂ 2000 දී ඔහු ‘සහස්‍රයේ දුෂ්ඨයා – Villain of The Millenium’ යන විරුදාවළියෙන් පිදීය. පහත දැක්වෙන වීඩියෝ වලින් ඔබට ඔහු ගැන මතකය අළුත් කරගන්නට හැකිවේයැයි සිතනවා.

 

මේ වීඩියෝවත් ඔහු ගැනමයි. ටිකක් දිගයි.

මෑත කාලයේදී ගත් ‘ප්‍රාන්’ ගේ ඡායාරූපයක්.

Pran 3

මේ ශ්‍රේෂ්ඨයා ‘අපේ කාලයේ වීරයෙක්’ ලෙස නම් කිරීමට, මම කිසිසේත් පසුබට නොවෙමි. ප්‍රාන්, ඔබට මෝක්ෂ සුවය ලැබේවා!

My Signature for Blog2013 ජූලි මස 14 වැනි දින 2356 පැය

Advertisements

Comments on: "සහස්‍රයේ දුෂ්ටයා නික්ම ගිය වගයි – The Departure of Pran" (60)

  1. මටනම් ඔය හින්දි නළුවන්ගෙ ඒ හැටි විශේෂත්වයක් නෑ.. මම ඕකුන්ට කැමති නෑ..

    මේ පහුගිය දවසක අපේ ඔෆිස් එකේ ඉන්න ඉන්දියන් කාරයෙක් කියපු ඒවා;

    1. එක චිත්‍රපටියක දුශ්ඨයා, වීරයට අභියෝග කරලා තියනවා “මම උඹව මරනවා” කියලා. අර මීහරක් ටික ෆිල්ම් එක ඉවර වෙලා කෙලින්ම ගිහින් තියෙන්නෙ දුශ්ඨයාගෙ ගෙදරට. ගිහින් ගල්ගහලා එකම කෙලියක් කරලා ඇහුවලු උඹ කොහොමද එයාට අභියෝග කරන්නෙ කියලා.

    2. මාත් එක්ක මොකක්ද කතා කර කර ඉන්නකොට මිනිහා කියනවා ” එයා වීරයෙක්” කියලා. මම ඇහුවා ඇයි වීරයෙක් කියන්නෙ කියලා.. වීරයෙක් කියන්නෙ ෆිල්ම් ඇක්ටර් කෙනෙක්ටලු. උන් ඇක්ටර්ස්ලට ( ප්‍රධාන නළුවට ) සාමාන්‍ය ජීවිතේදි කතා කරන්නෙ වීරයෙක් කියලා.

    3. එක නිළියක් ( නමිතාද මොකක්ද කිව්වා නම ) දේවාලෙකුත් හදලා තියනවලු. හැමදාම උදේට මිනිස්සු ගිහින් පූජා පවත්වනවලු.

    4. වීරයන්ගෙ උපන් දිනේ දාට උන්ගෙ කටවුට්, පෝස්ටර් කිරි කළ වලින් නාවනවලු..

    උන්ටම හොඳයි උන්ගෙ වීරයොත් !

    • එක නිළියක් වෙනුවෙන් වෙන්න ඕනා

    • මා හිතනවා මේ පිළිබඳව යම් යම් කරුණු කීපයක් පැහැදිලි කලයුතුයි කියා.

      1. ඉතා අවාසනාවන්ත ලෙස ඉන්දීය රට වැසියන්ගෙන් ඉතා විශාල පිරිසකට (කෝටි ගණනකට) සාක්ෂරතාවය නැහැ. මේ නිසා ඔවුන්ට ලෝක විෂයය ගැන ඇත්තේ ඉතා අල්ප ඥානයක්. මම ඉන්දියාවේ හමුදා පුහුණුව ලබද්දී මගේ කාමරය පිරිසිදු කරන්න එන ඉන්දීය ජාතිකයා, වැසිකිලිය සෝදා, එහි කොමෝඩ් එක මදින්නේ අතේ රෙදි කෑල්ලක් දවටාගෙන. මම සැර වැර කරලා තමයි එය නවත්වාගත්තේ. ඉඳහිට මම ඔහුට රු 10 ක් විතර දෙනවා. ඔහු වහාම මගේ කකුල් අල්ලා වඳින්නට හදනවා. එයත් නවත්තාගත්තේ බොහොම අමාරුවෙන්. මේ අයගෙන් බොහොමයක් හිතන්නේ චිත්‍රපටි නළු නිලියන් සැබෑ ජීවිතයේදීත් ඒ හැසිරීම් රටාවෙමයි ඉන්නේ කියා.

      2. ඇත්තටම මේ වීරයෙක් Hero කතාව ඉන්දීය ජාතිකයන්ට පුරුදු කරලා තියෙන්නේ ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂ වරුන්. (ඒ බව සනාථ කෙරෙන විචාර ලිපි තිබෙනවා) ඒ කාලයේ අර ‘කොල්ලා’ ‘කෙල්ල’ ‘දුෂ්ඨයා’ ඉන්න වට්ටෝරු චිත්‍රපටි සෑදීමේදී, අධ්‍යක්ෂ වරුන් විසින් කොල්ලා හැඳින්වුණේ ‘වීරයා – Hero’ යනුවෙන්. එය ඉන්දීය ජාතිකයන්ගේ මනසේ කාවැදුනා. ඒ ‘වීරයා’ කතාව අදටත් තියෙන්නේ එය ඔවුන්ගේ වාග්මාලාවට ඇතුළුවී ස්ථිරවී තිබෙන නිසයි. වෙනත් වචන වලින් කියනවානම් ‘ප්‍රධාන නළුවා’ යන්නට ඉන්දියානුවන් බහුතරය කියන්නේ Hero කියලයි.

      3. ඔවුන් එදිනෙදා සමාජයේ දකින ‘ලොකු මිනිස්සු’ ඔක්කොම ඔවුන්ගේ දෙවියෝ. හමුදාවට පුදුම බයක් තියෙන්නේ. මම ඇස් දෙකෙන්ම දැක්කා අපේ හමුදා පුහුණුවට අදාළ අභ්‍යාසයකට බාධාවක් වන පරිදි පාරේ ලොරි නවත්තගෙන හිටිය රියදුරන් 50 කට විතර කර්නල් කෙනෙක් ගහගෙන ගහගෙන ගිය හැටි. කවුරුවත් මොකවත් කිව්වේ නැහැ. පොලීසියත් හමුදාවට හරි බයයි.

      4. ඉන්දීය චිත්‍රපටි අද වානිජකරනයවී තිබෙනවා ඉතා විශාල ලෙස. පවුල් කෝටි ගණනක් යැපෙන මහා කර්මාන්තයක් එය. භාෂා ගණනාවකින් චිත්‍රපටි හැදෙනවා. දැන් තියන ඇඟ පෙන්නලා සල්ලි හොයන හින්දි චිත්‍රපටි වලට මමත් කැමති නැහැ. නමුත් ඉතා කලාත්මක (සම්භාව්‍ය නොවේ) මෙන්ම වානිජමය වටිනාකමකින්ද යුත් පැරණි හින්දි චිත්‍රපටි රාශියක් තියනවා. හින්දි භාෂාවත් සිංහල භාෂාව වගේ ‘සුඛෝච්ඡාරණ’ (කථනයට පහසු, අසා සිටින්නට මිහිරි) භාෂාවක්.

      • චීත්‍රපටි කර්මාන්තයේ වැඩ කරන සාමාන්‍ය සේවකයෝ අධ්‍යක්ෂවරුන්ගේ සහ නළුනිලියන්ගේ වහල්ලුවාගේ , හරියටම කියුවොත් ප්‍රවේණි දාසයෝ , පොඩ්ඩ බැරි වෙච්ච ගමන් කෙලලා අරිනවා අතට අහුඋන එකෙන් , පිටින් පේන්නන ලස්සන නැ ඔය කර්මාන්තය ඇතුලේ , ලංකාවේ සිනමා කාර්මික ශීල්පීන් ඒ අතින් හරිම වාසනා වන්තයි. ඉදන් කාර්මික ශීල්පීන්ට මැජික්වාගේ අපේ කොල්ලෝ බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට් ගොල්ඩ් ලිෆ් පැකට් සාක්කුවේ දාගන බොනවා දැක්කහම.

        • අටමෝ උඹ අත්දැකීමෙන්ම කියන මේ අදහස් හරි වැදගත්. ඒ ගැන තව ලිපි ඉදිරියේදී ලියවෙයි කියලා මම හිතනවා. ඉන්දියාවේ තරම් උස් පහත් භේදය, පන්ති භේදය, තව ඔය නොයෙකුත් භේද තියන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. අපි මෙහෙ අපේ හමුදාවේ කොල්ලෝ තුන්වේල කෑම කෑවද කියලා හොයලා බලලයි අපි කෑම කන්නේ. ඉන්දියන් හමුදාවේ සමහර නිලධාරීන් තමන්ගේ ඛණ්ඩයේ ඉන්න කොල්ලන්ව අඳුරන්නේවත් නැහැ.

  2. හින්දි සිනමාවේ. වීරයා, දුෂ්ඨයා, කවටයා කියන සෑම පැත්තක්ම කවර් කරණ නලුවෝ බොහොමයි නේද.. මෙහේ නම් කීප දෙනයි ඉන්නේ.. ජෝ, මහේන්ද්‍ර ටෝනී ඒ වගේ කීප දෙනෙක්..

  3. විශ්ව රංගනාත් said:

    දැන්නම් හින්දි චිත්‍රපට බලන්නේ නැහැ. ඉස්සර නම්(අවුරුදු 15 කට විතර කලින්) හැම ඉරිදාම ITN එකේ ගිය හින්දි චිත්‍රපට නම් බැලුවා. දැන්නම් බලන්න හිතෙන්නේ වත් නැහැ.

    • මමත් දැන් හින්දි චිත්‍රපටි බැලීම අන්තිමටම සීමා කරලා තියෙන්නේ. මම හිතන්නේ වීර් – සාරා වැනි චිත්‍රපටි වලින් පස්සේ ටිකක් වෙලා හෝ බලා ඉන්න පුළුවන් චිත්‍රපටියක් තවම දැක්කේ නැහැ. මම කවදාවත් රූපවාහිනියේ විකාශනය වන කොපමණ හොඳ චිත්‍රපටියක්වත් බලන්නේ නැහැ.විනාඩියෙන් විනාඩියට ගන්න මඳ විරාම හේතුවෙන් පිත කෝප වෙන නිසා. 😀

  4. මම හින්දි උගත්තේ ආයූර්වේද අධ්‍යාපනයට එය අවශ්‍යම බැවින්, නමුත් මට එහි වාසිය ලැබුනේ චිත්‍රපටි වලින්. ඒත් දැන් නම් අවභාවිතාව නිසා හිංදි දැනුම සීග්‍රයෙන් පල්ලම් බහිනවා. මා කොතෙකුත් කතාකර ඇති ඉන්දියාව මට නම් මහා පුදුමයක්. ලෝකයේම ශිෂ්ටම, බුද්ධිමත්ම මිනිසාගේ සිට අශිෂ්ටම, නූගත්ම මිනිසා දක්වාත් පෝසත්ම මිනිසාගේ සිට දුප්පත්ම මිනිස දක්වාත් ඉන්දියාවේ වාසය කරනවා. ඇයි ලස්සනම කාන්තාව සිට අවලස්සනම කාන්තාව දක්වාත් ඉන්දියාවට පොදු දේ.

    නමුත් මේ හැමටම තියන්නෙ එක ඉන්දියාවයි. මම කාගෙත් දකින වෙනස එයයි. ඒ වගේම මේ හැමෝම චිත්‍රපටි සහ ක්‍රිකට් පිස්සො.

    මම හිතනවා අපි මෙහෙම බේරිලා ඉන්නෙත්, නොයෙක් ගෝත කරුම කඩා පාත් වන්නේත් අපේ අසල් වැසි මහා ඉන්දියාවට පිංසිද්ද වෙන්න කියලා.

    කොටින්ම මේ ඉන්දියන් සංස්කෘතිය අපේත් උරුමයක්. එබැවින් ඔබ කියන දේ මමත් පිළිගන්නවා.මට චිත්‍රපටි වලින් නිතර මුණ ගැසී ඇති, ඔහුට ඔහුගේ පැතුම පරිදි යම් සැනසීමක් ලැබේවා.

    • මම වරක් ඉතා සුප්‍රසිද්ධ සිල්වත් බව හා ධර්මධර බව අතින් සුපතල භික්ෂූන් වහන්සේ නමකගෙන් ඇහුවා මීළඟට බුදුවන මෛත්‍රී බෝසතාණන් ඉපදෙන්නේ කොහෙද කියා. උන් වහන්සේ කිව්වේ ඉන්දියාවේම තමයි කියලා. එයට හේතුව වශයෙන් කිව්වේ බුද්ධෝත්පත්තියකට අවශ්‍ය පරිසරය යලිත් මැවෙන්නේ ඉන්දියාවෙමලු.

  5. නිර්නාමික said:

    හන මිටි අදහස් ඇති බොහෝ වයසක උන්දැලා තාමත් ලන්කාවෙ ඉන්නවා…උන් වගේ ගොන්නු, ඉන්දියාව ලන්කාවට මෙච්චර කෙලින්න හදද්දිත් තාම ඉන්දියාවට කඩේ යනවා…
    ඉන්දියාවේ ඉන්න සක්කිලින්ටත් අන්තයි,…
    ඒත් හනමිටි අදහස් ඇති, ඇමරිකන් කාරයන්ගේ ගල් කොල්ලෙක් වෙච්ච වයසක උන්දෙක්,මන් පොරය කියා හිතාන බ්ලොග් එකක් කරාවිය කියලා මන් නම් හීනෙකින් වත් හිතුවේ නෑ…
    වයස ගියාට වැඩක් නෑ……
    ජීවිතේ ගැන තව ඉගෙන ගන්න …..

    • හොඳයි බොහොම ස්තුතියි. මම හිතුවා හරි. අර කොපි ලිපිය නිසා වෙච්ච සවුත්තුව තවම හිතේ තියනවානේ? මොනවා කරන්නද? පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩ කමට බෙහෙත් නැහැනේ.

    • \\\උන් වගේ ගොන්නු, ඉන්දියාව ලන්කාවට මෙච්චර කෙලින්න හදද්දිත් තාම ඉන්දියාවට කඩේ යනවා… \\\\ 😀

      පිකට් එකක් කරමුද මල්ලි උතුර බලන් … ඉන්දියාවට ඇහෙන්න හූවක් කියමුද … 😀

      • සහන් මට පේන විදිහට මේ ” නිර්නාමික ” කියන්නේ අර චි – නිව්ස් වෙබ් සයිට් එකේ පැල් බැදගෙන කමෙන්ට් කරන දේශප්‍රේමී සුචරිතවාදී සෙට් එකේ එකෙක් වගේ ….. උන්ට වඩා මේ ලංකාවේ පොරවල් නෑ …..

    • ක්සැන්ඩර් said:

      පුළුවන් නං ඉන්දියාවේ එක බයික් එකක් වර්ජනේ කරපල්ලා.. ඉන්දියන් බස්වල නොගිහින් හිටපල්ලා.

    • @ සමීර

      ඉන්දියාව තියෙන්නේ මොන පැත්තෙද කියලවත් දන්නේ නැති උන් දන්නවා ඉන්දියාවෙන් කරන කුමන්ත්‍රණ ගැන..කාට කියන්නද සමීර ඕවා.. ඇත්තමයි මේ රට කන්නේ ඔය සීගිරි වත් ගිහින් නැති කැනහිලා …

      කවද හරි තිත්තයගේ වාරේ ඒවිනෙ… !

    • මටත් ඉතින් කට තියන් ඉන්නම බෑ නේ.

      නිර්නාමික මහත්තයෝ මට හිතා ගන්න බෑ ඔබතුමා කියන විදියට මේ ලිපියෙන් ඉන්දියාවට කඩේ යන්නේ කොහොමද.දැන් විචාරක මහත්තයා අපිට අරින්න හදන ඉන්දියාවට ලිපියකින් කඩේ යනවා නම් දෙයියනේ ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ නේ පාරේ බස් එකකවත් යන්න.ඒවත් ඉන්දියාවෙන් නේ ගෙන්නන්නේ.තව මෝටර් බයිසිකල්.නිර්නාමික මහත්තයෝ පෞද්ගලික තරහවල් පොදු න්‍යාය පත්‍රයකට ඔබන්න ගිහින් නිකන් සවුත්තු වෙන්න එපා.විචාරක මහත්තයා මේ මියගිය මනුස්සයාට කැමතියි.ඒ ඔහුගේ රසවින්දනය.ඒකට අපහාස කරන්න ඔබතුමාට කිසිම අයිතියක් නෑ.බය වෙන්න එපා ලංකාවේ නළුවෙක් මැරුණම විචාරක මහත්තයා ඒකටත් ලිපියක් ලියාවි.ඔක්කොම පැත්තකින් තියන්න.අපිට අරින්න හදන ඇමෙරිකාවේ ෆිල්ම් බල බල , උන් දෙන සේවාවන් භාවිතා කරකර නිර්නාමික මහත්තයෝ ඔබතුමා මේ කරන්නේ මොන ලජ්ජා නැති වැඩක්ද?

      “අර කොපි ලිපිය නිසා වෙච්ච සවුත්තුව තවම හිතේ තියනවානේ? ”

      විචාරක මහත්තයෝ ඔච්චර ලොකුවට හිතන්න එපා.ඒ ලිපියෙන් සවුත්තු උනේ ඔබතුමා.ඒක ඔබ තුමාගේ ස්ව නිරමාණයක් නෙවෙයි නේ.ඒක ඉවරයි.කරුණු දැක්වීම ලැබුනා නේ.තවත් ඒක මාකට් කරන්න හදන්න එපා.

      ප.ලි – “වයස ගියාට වැඩක් නෑ……ජීවිතේ ගැන තව ඉගෙන ගන්න …..” නිර්නාමික මහත්තයෝ ඒකත් එක්ක නම් 100% එකඟයි .

  6. මේ නළුවා හිටපු ෆිල්ම් නම් බලල තියෙනවා ටීවී එකේ පරණ ෆිල්ම් පෙන්නද්දි. ඒත් මම හිතන්නෙ අපේ කාලෙදි වැඩිපුරම හින්දි ෆිල්ම්වල දුෂ්ඨයට හිටියෙ ‘අම්රිෂ් පූරි‘.

  7. මමත් හින්දි සිනමාවේ ආසම දුෂ්ට නළුවා අම්රිෂ් පුරි … දුෂ්ට චරිත වගේම අවසාන කාලේදී හාස්‍යයෝත්පාදක චරිත ත් කළා . ඔහු රගපාන ලද චිත්‍රපටි අතරින් මම වඩාම කැමති වීරයකුගේ චරිතයක් රගපෑ ( China Gate , http://en.wikipedia.org/wiki/China_Gate_(1998_film) ) චිත්‍රපටයට . ඔබතුමා වගේ විශ්‍රාමික හමුදා නිලදාරීන් කණ්ඩයමක් කරන අවසාන මෙහයුමක් ..හරිම ලස්සන චිත්‍රපටයක් ..

  8. හින්දි චිත්තර පටි ගැන එච්චර ඇල්මක් නෑ අප්පා.කොහොම උනත් මම හිතන්නේ වීරයගේ චරිතෙට වඩා දුෂ්ඨයගෙ චරිතේ කරන එක අමාරුයි කියලා.

  9. ප්‍රාන්ගෙ අභාවය ගැන පත්තරේකවත් ලිපියක් දැක්කෙ නෑ අප්පා.. ඒ ගැන මෙහෙම බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැන ස්තූති වේවා!! 🙂

    • මොකක්දෝ හේතුවකින් චන්ද්‍රිකා රූපවාහිනියේ තිබෙන ඉන්දීය නාලිකාවකින් අහම්බෙන් මම මෙය දැනගත්තෙත්, මම නොබලන ඒ නාලිකාව අපේ ලොකු දුව බලමින් හිටිය නිසා. එයා දන්නවා මම ප්‍රාන්ට ආදරෙයි කියලා. එයා තමයි එක පාරටම කෑ ගැහුවේ ‘තාත්තේ, මෙන්න ප්‍රාන් මැරිලා’ කියලා.

    • මමත් අහම්බෙන් වගේ BBC news article එකක් දැකලයි මේ ආරංචිය දැනගත්තේ.. අද කාලෙ අය මේ වගේ පරණ නළුවො නිළියො ගැන වැඩිය විස්තර හොයන්නෙ නැති හන්දාමද මන්දා පත්තරේකවත් තිබුනෙ නෑ මරණය ගැන කිසිම විස්තරයක්‍..

      • ඔබ හරියටම හරි බූරා. අතීතය අමතක වීමේ රෝගය බොහොම දරුණුවට තියනවා අද කාලයේ. මේ මිනිහාගේ රංගන ප්‍රතිභාව දැකපු අපට විතරයි හිතට කම්පනයක් දැනෙන්නේ.

  10. මං මේ ප්‍රාන් ගැන අසා තියෙනවා හින්දි චිත්‍රපටි පිස්සන් වුණු අපේ පුංචි අම්මලා බාප්පලා ඝෙන්.

    සමහරු හිනාගෙන හිටියේ ප්‍රාන් කියන්නේ හින්දිවලින් දුෂ්ඨයාට කියය වචනය කියාලු!

    එක් දුෂ්ඨ චරිතම රඟ පෑ නළුවෙක් (මං හිතන්නේ අර දිල්වානියා ලා දෙවන්ගේ ඬගේ නක් තියන එකේ කෙල්ලගේ තාත්තාට ඉන්න පොර) මිය ගියාම මල ඝෙදරට ඬැඩිය සෙනග ආවේ නෑ කියා අසා තියෙනවා.

    • ඇත්තෙන්ම කකා, ඉතා පුදුමාකාර විදිහට ඔහු ලාංකික හින්දි සිනමා රසිකයන්ගේ මතකයේ ඉන්නවා.

      ප්‍රාන් = දුෂ්ඨයා 😀 එක අතකට පුදුම වෙන්න දෙයක් නැහැ. ඔහු චිත්‍රපටි 350 කට වැඩි ප්‍රමාණයක කළ රංගනය තුලින් ප්‍රේක්‍ෂක හදවත් තුළට කිඳා බහින්නට සමත් වුනා.

      මම අර සෙන්නට කරුණු පැහැදිලි කළා වගේ, ඇත්තෙන්ම සාක්‍ෂරතාවයෙන් අඩු බහුතර ඉන්දීය ජනතාව සිනමා නළු නිලියන් දෙස බලන්නේ සැබෑ චරිත දෙස බලන ආකාරයටමයි.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      • කිව්වම මොකෝ, මම “ප්‍රාන්” කෙනෙක් ගැන අහලා තිබුනෙවත් නෑ.. විචාරක තුමාගෙ සිංහල-ඉංග්‍රීසි මාතෘකාව දැක්කම මමත් හිතුවෙ ප්‍රාන් කියන්නෙ දුෂ්ඨයට කියන තවත් ඉංග්‍රීසි වචනයක් වෙන්නැති කියලා.. බලද්දි බුවාගෙ නමනෙ “ප්‍රාන්”. 🙂

        • මොකටද මගේ කට? සෙන්නා කියන්නේ කවුද එතකොට?

          මේ ඒක නෙවෙයි. හරී, හරීම වෙහෙසට පත්වෙලා ඉන්නේ. රැකියාවේ කාර්ය බහුලත්වය නිසා. මොකවත් ලියන්ඩවත් බැරි වුනේත්, අඩු ගණනේ කමෙන්ට් එකක් දාන්නවත් බැරි වුනෙත්, කාර්ය බහුලත්වය නිසාමලු. අද හවස මාත් එක්ක විනාඩි 15 ක් විතර කතා කළා වැඩ ඇරිලා එන ගමන්. මටත් හරියට දුක හිතුනා. පුලුවන්නම් කතා කරලා බලන්න. වෙලාවක් තිබුනොත් මටත් විනාඩියක ඇමතුමක් දෙන්න.

      • ප්‍රාන් වාකිෂ්ඨ කියන්නෙ මේ මනුස්සයගෙ මල්ලීද? 😀

      • සෙන්නා කියන්නෙ මහ භයානක හාවෙක්ට.. 😀 මම හරියට මේල් එකක් දාලා බලන්නම්..

  11. මේ අපූර්වතමයා ගැන අද කියවන දෙවන ලිපිය මෙයයි. ඉතාමත් හොද කරුණු ගොන්නක් තියනවා. අනෙක් ලිපිය ත්බුණේ ලකීගේනවාතැනේ මට මතක හැටියට.

    • ඔව් නලීන් මම ලකීගේ ලිපියත් කියෙව්වා. එම ලිපියත් ඉතා ලස්සනට රචනා කර තිබෙනවා. මේ නළුවන්ට දේශ සීමා නැහැ.

  12. විචාරක තුමනි,මම ඉස්සර කොල්ලො සෙට් එක එක්ක ගීත්,අභිමාන් වගේ චිත්‍රපට බැලුවත් මට ඒ කාලේ ඉදලම තේරුම් ගිය දෙයක් තමා ස්වාභාවික නොවන දේ තිරය මත පතිත වන බව.
    පසු කාලීනව ඇස් පනාපිට අපේ සක්විති යන්ගෙ රැගුම් ඇස් පනාපිට දැකල අන්තිමට කලකිරුන කීපයක් හැර.

    • කෙන්ජි, ආපහු යන්න මතකය දිගේ ටික දුරක්……………..ඇයි ඔයා හින්දි චිත්‍රපටි බැලුවේ…? වෙන මොකවත් නිසා නෙවෙයි, ලස්සන සින්දු නිසා. ඒ සිංදුවල පදමාලාව අපට තේරුනාද? නැහැ. ඒ චිත්‍රපටිවල දෙබස් අපිට තේරුනාද? නැහැ. නමුත් ඒ චිත්‍රපට ඉන්දු ආර්ය සම්භවය තුළින් අප හා බැඳෙනවා. අපේ ජීවන රටාවට බොහෝ දුරට සමාන චරිත තමයි ඉන්නේ. නමුත් යම් යම් සංස්කෘතික වෙනස්කම් දක්නට ලැබෙනවා. හින්දි චිත්‍රපටි (ජනප්‍රිය චිත්‍රපටි) බොහොමයක් අභව්‍ය සිදුවීම් වලින් ගහණයි. පොල්ල තියන තැනටම බල්ලා එනවා පොල්ල හොයාගෙන 😀 අනේ දැන් තියන හින්දි චිත්‍රපටි නම් මමත් බලන්නේ නැහැ. අන්තිමට බැලුවේ ‘වීර්-සාරා’ කියලයි මතක.

  13. නළුවා ගැන කියන්න නම් වැඩි යමක් දන්නේ නෑ.. ඉඳලා හිටලා අහම්බෙන් දැකපු දර්ශන ඇරෙන්න..

    ශිෂ්‍යගුරු ගැන අහලා තිබ්බට හරිහමන් විස්තරයක් දන්නේ නෑ.. SSC ප්‍රතිඵල එනකන් පොඩි පන්තිවලට ඉගැන්වීම වගේ එකක්ද? අපේ සීයලා දෙන්නෙක් ශිෂ්‍යගුරු කරන්න ගිහින් ශිෂ්‍යාවෝ දෙන්නෙක් අරන් පැන්නා කියලානම් අහලා තියෙනවා.. පස්සෙ උන්දැලාම පින්සිබොල්ලා වෙලා ඉස්කෝල ලව් ඉලව් කරාද දන්නේ නෑ..

    • ශිෂ්‍යගුරු කිව්වේ ඒ ගොල්ලෝ ගුරු අභ්‍යාස විද්‍යාලයකින් පුහුණුව නොලබපු, අපොස උසස්පෙළ සමත්වීම යන සුදුසුකම නිසා ගුරු පත්වීමක් ලබපු අය වීම නිසයි. නෑ නෑ ඒගොල්ලොත් අනික් ගුරුවරු හා සමානයි.

      ගුරු ගෝල ලව් ගැන ලියන්න ගියොත් ලිපි ගණනාවක් ලියන්න පුළුවන්.

  14. රැල්ලක් වගේ හින්දි චිත්‍රපටි ආපු කාලේ නම් කිපයක් බැලුවා මතකයි.ඒත් මට හරිගියේ නෑ හිංදි.එදා ඉඳන්ම කැමති ඉංග්‍රීසි චිත්‍රපටි තමයි.Shwshank Redemption,Dirty dozen, Schindler’s list,Saving private ryan වගේ ඒවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ.මෙහේ (කුවේට්) මගේ අහල පහල ඉන්න ඔක්කොම ඉන්දියන් කාරයෝ.උන් කැමතිම නලුවට කියන්නේ “හීරෝ“. “මෙගා ස්ටාර්“.කතාව මොකක් වුනත් හීරෝ පේන්න ඉන්නවනම් ඒ ඇති උන්ට..

    • ඇත්තටම බොහොම අමාරුයි භාෂා කීපයකට අයත් චිත්‍රපටි එකේ වගේ රස විඳින්න. ඔබ සඳහන් කර ඇති ඉංග්‍රීසි චිත්‍රපටි මගෙත් බොහොම සිත් ඇදගත් ඒවා. ඉන්දියන් අයගේ සමහර හැසිරීම් සමහර වෙලාවකට අපට පෙනෙන්නේ විකාර රූපී විදිහට.

  15. මේ නළුවා ඉන්න චිත්‍රපටි ටී වී එකේ බලල තියනව වගෙ පුංචි මතකයක් තියනව. මේ විස්තර කියවද්දි නම් වැටහෙනවා ඔහු නොමියෙන මතකයන් ඉතිරි කර ගිය අයෙක් වග..

    මේ දවස් වල මාත් පැරණි හින්දි ගී ටිකක් අහනවා. කොහොමත් මං, මෙලෝ දෙයක් නොතේරුනත් හින්දි ගී වලට නම් කැමතියි.. ඒවායේ තියන ගීතවත් බව නිසා..

    • ඇත්තෙන්ම නම මතක නොතිබුනත් ඔහුගේ රූපය සහ රඟපෑම් බොහෝ දෙනෙකුට මතක ඇති.

      හින්දි ගීතවල තියන ගායන මාධූර්යය වගේම පැරණි හින්දි ගීත බොහොමයක පදමාලාත් බොහොම අර්ථවත්. අපේ ප්‍රවීණ නිලි යශෝධා විමලධර්මගේ පියා, රවිලාල් විමලධර්ම මහතා, ඉස්සර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වැඩසටහාක් කළා ‘ගී අමදහරා’ යනුවෙන්. රාත්‍රී කාලයේදී තමයි ප්‍රචාරය වුනේ. එහිදී ඔහු පැරණි හින්දි ගීතවල ලස්සන පදමාලා අසන්නන්ට සිංහලෙන් කියාදුන්නා.

      • විචාරක තුමා, රවිලාල් මහතා තමා මගේ හිංදි ගුරුවරයා. පසුකාලීනව එතුමාට පාකින්සන් වැලදුනා. මට මතක් වෙනවා එතුමා පංතිය අතර අපිත් එක්ක එකතු වෙලා, හින්දි ගී ගයපු හැටි. අන්න ගුරුවරු. යසෝදා ඒ කාලෙමයි කැම්පස් ආවේ. අපේ නැහැදිච්ච බල්ලො ඒ ළමයට හිරිහැර කළා. ඒ සැරේ තාත්තාගේ වි. විද්‍යාලෙ දමා ගහල කොළඹට ගියා. එතුමාටත් නිවන් සැප ප්‍රාර්ථනා කරනවා.

        • යශෝධා ඔය කතාව වරක් පුවත්පතකට කියා තිබුනා. මම දන්නේ නැහැ එතරම් පහත් මානසිකත්වයක් තියන අය විශ්වවිද්‍යාල සිසුන් වන්නේ කෙසේද කියා.

          රවිලාල් විමලධර්ම මහතාගේ සොඳුරු, සුගම, ගැඹුරු, කටහඬ දැනුත් මගේ මතකයේ රැව් දෙනවා. මට පෙනෙන්නේ යශෝධා දැන් සියල්ලෙන් ඈත්වූ ජීවිතයක් ගත කරනවා වගෙයි.

  16. ක්සැන්ඩර් said:

    නමක් දන්නේ නැතිවට මං මේ නළුවා ඉන්න ෆිල්ම් බලල තියනවා ගොඩාක් ඉස්සර. ඔය කාලේ මට උණක් නැතත් සිකුරාදා රෑ හින්දි ෆිල්ම් එක බලනවාමයි. ඉතිං මං මෙයාව දැකල තියනවා. දුෂ්ටයා ද මන්දා කියල තේරුමක් නැති නමුත් බොහොම ගාම්භීරව අඩි පොලවේ ගහල කතා කරන හැටි මට ලාවට මතකයි.

    ඒ කාලේ හින්දි ෆිල්ම් වල සබ්ටයිටල් දානවා. ඒ දාන්නේ යශෝධා විමලධර්මගේ පියා කියල මට කවුරු හරි කියල තිබුණා. ඒ සබ්ටයිටල් බලල වචන ගලපලා ටිකක් හින්දි සිංහල වගේමයි කියල මං තේරුම් ගත්තා තනියෙන්. (දැන්නං ඉතිං දන්නා ටිකෙන් කොටලා ජාමේ බේරගද්දී තමා ඒ කාලේ කොරපු දේ වටිනාකම තේරෙන්නේ.)

    ඒ කාලේ මතකයක් ඔබතුමා මේ අවදි කලේ දුක්බර ආරංචියක් එක්ක.

    බොහොම ස්තුතියි.

    • නම මතක නැතිවුනත් පැරණි හින්දි චිත්‍රපටි බලපු කාටවත් ඔහුගේ රඟපෑම් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

      ස්තුතියි ක්සැන්ඩර්. ලිපි ලියන එක අතහැරලද දැන්?

      • ක්සැන්ඩර් said:

        ඔව් විචාරක මහත්තයෝ.. ලියන එකට මහන්සි වෙලා, කරුණු හොයල හොයල, ලියන්නේ මොටද හිතුන පහුගිය ටිකේ වෙච්ච වැඩ වලදී. ඉතිං දැන් අතැරලා දැම්ම මේක. තව අවුරුදු 7-8 කින් මගේ කෙල්ලට මේක පෙන්නන්න බැකප් කරගත්ත. එච්චරයි.

      • ක්සැන්ඩර් said:

        ඔබතුමා ගේ ඉල්ලීම අහක දාන්නේ නෑ. බලමු වෙලාව එන විදියට. බලන කෙනෙක්වත් බලයි නේ. පුදුමේ කියන්නේ තවම බ්ලොග් එක ට්‍රැෆික්.. 🙂

        • ඉතින් බලන්න ක්සැන්ඩර්, තවම බ්ලොග් එක ට්‍රැෆික් නම් ඒ කියන්නේ ඔයා ලියන දේ කියවන්න බලාගෙන ඉන්න පිරිසක් ස්ථිර වශයෙන්ම ඉන්නවා කියන එකනේ. ඒකයි මම කියන්නේ මාස දෙක තුනකට සැරයක්වත් ලියන්න කියලා.

  17. මෙය පෝස්ටුවට අදාල නැත.. නමුත් ඔබේ පැමිණීම සටහන් වී තිබුණා “දිවයින” හරහා ආ … 😀 ඒ මගේ ලිපියක් බව කියන්නට කැමතියි.. 🙂

  18. අවුරුදු අනූතුනක් ගතවෙලා බොහොම ස්වභාවික විදියට මියගියත් ප්‍රාන් මියගිය ආරංචිය ඇහුවම දුකක් ඇතිවුණා. ඇත්තටම දක්ෂ නළුවො ඉන්දියාවෙ උනත් මහ ගොඩක් නෑ. වැඩිහරිය ඉන්නෙ පුම්බපු පියරු බබ්බු.
    හැබැයි ලංකාවෙ තත්වෙ වගේ දුක්ඛිත නෑ මොකද එක පෙළක් යනකොට තව පසු පෙළක් ඉන්නවා. බෝමන් ඉරානි කියන්නෙ දැනට සිනමාවෙ ඉන්න ඒ වගේ සුපිරිම නළුවෙක්.

    • ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා. ඉන්දීය සිනමාවේ තියන සංවිධානාත්මක බව අපි හැකි ඉකමනින් ලබා නොගත්තොත් අපේ සිනමාව ඉවරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: