විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


2  කාලෙකින් පුංචි කතන්දර කීපයක් ලියන්න බැරිවුනා. හමුදා තොරතුරු දිගටම ලියාගෙන යනකොට ඒ දීර්ඝ ලිපි ඔබට එපාවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් බ්ලොග් අඩවි වල පුංචි කතන්දර බහුලව තියනවා. හැම පැත්තක්ම සමබර කරගැනීමට කරන උත්සාහයක් මෙන්ම, රසයේ විවිධත්වයක් ඔබ වෙත ගෙන එන්නයි,  මේ පුංචි කතන්දර කීපය ලියන්නේ. හැබැයි ඉතින් අපේ රට, දිනපතා, ජනතාවට සෑහෙන්න විහිළු සපයන නිසා, මෙවැනි කතාවලින් හිනායන්නේ නැති තරමට, ජනතාව දැන් විවිධ දේශපාලන විහිළු වලින් හෙම්බත් වෙලා ඉන්නේ. ‘දිනපතා පාර්ලිමන්ට් ජෝක්ස් බලන අපිට මෙව්වත් විහිළුද’ කියා ඔබ ආපහු මගෙන්ම අහන්නත් ඉඩ තියනවා. කියවලා බණින්න හරි කමක් නෑ, ඉස්සර වෙලා කියවලාම බලන්නකෝ. 

 1. රතු ඉන්දියානු සංඥාව

 contatti රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙක්, ඇමරිකාවේ ජනශූන්‍ය පළාතක, සිය වාහනය පදවාගෙන යමින් හිටියා. හදිසියේම ඔහුගේ වාහනය ක්‍රියාවිරහිත වුනා. ඔහු දන්නා තරමින් උත්සාහ කළා, එහි දෝෂ නිවාරණය කරගන්නට.  නමුත් හරිගියේ නැහැ.  ඔහුට වැටහුණා, කාර්මිකයකුගේ සහාය ලබාගන්නට වෙන බව.  සාක්කුවට අත දා බැලුවම, අතේ තිබුනේ ඩොලර් 4 යි. ඒ කාළේ ජංගම දුරකථන තිබුණේත් නැහැ.  ඔහු නොබියව, තම සාම්ප්‍රදායික පණිවිඩ හුවමාරු ක්‍රමය වන, දුම් සංඥා ක්‍රමය භාවිත කරන්නට තීරණය කළා. ඒ අනුව ඔහු වහාම ගිනිගොඩක් ගසා,  තම වර්ගයා ඉන්න ඈත ප්‍රදේශයකට පෙනෙන ලෙස, දුම් සංඥාවක් යැව්වා, ‘මගේ කාර් එක කැඩුණා. මම අහවල් ප්‍රදේශයේ ඉන්නවා. ඩොලර් 500 ක් අරන්, වහාම කවුරුහරි එකෙක් වරෙල්ලා’ කියලා. ඇමරිකන් කාරයන්ව ආශ්‍රය කරලාම, රතු ඉන්දියන් වරුනුත් බොහොම කපටි වැඩ ඉගෙනගෙන තිබුනා. ඉතින් අර ඈත ගමේ අය හිතුවා ‘මේ නම්  ලොක්කාගේ සංඥාවක් වෙන්න බැහැ. කවුරුහරි එකෙක් ලණුවක් දෙන්නේ’ කියලා. එයාලා පිළිතුරු දුම් සංඥාවක් යැව්වා ‘මොකටද ඔච්චර සල්ලි?  ඔයා අපේ ලොක්කානම්, ඔයාගේ බාල පුතාගේ නම, දුම් සංඥාවකින් පෙන්නන්න’ කියලා.  මේ වෙලාවේ, අර රතු ඉන්දියන් ලොක්කා ඉන්න ප්‍රදේශයට ආසන්නව, ඇමරිකානු හමුදාව විසින්, පරමාණු බෝම්බ අත්හදා බැලීමක් සිදුකෙරුණා. එයින් අහසට නැගුණ, බිම්මලක හැඩය ගත්, මහා විශාල දුම්වලාව, අර රතු ඉන්දියන් ගමට පෙණුනා. ඒගොල්ලෝ වහාම නැවතත් දුම් සංඥාවක් එව්වා, මෙන්න මෙහෙම. ‘හා හා ලොක්කා, ඔච්චර කේන්ති ගන්න එපා. අපි සල්ලිත් අරන් දැන්මම එනවා.

2.  නෝනට ඇත්ත කියනවා

0511-0712-3112-4935_Old_Fashioned_Pilot_clipart_image  ඔබ බොහෝදෙනෙක් අහලා ඇති, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ තිබෙනවා, ඉතාම රහසිගත අධි ආරක්‍ෂිත කලාපයක්, 51 වැනි ප්‍රදේශය (Area 51) කියලා. මෙහි ඇත්තටම සිදුවන්නේ කුමක්ද කියලා, නොයෙක් කතා ලෝකය පුරා පැතිරිලා තියනවා. එක ඉරිදා දවසක, මේ කඳවුරේ (අපි කියමුකෝ ඒක කඳවුරක් කියලා) ආරක්ෂාවට යොදා සිටි සොල්දාදුවෝ, ටිකක් වැඩිවෙන්න සුරාමේරය කළා. දවල් කෑමෙන් පස්සේ එයාලා නොදැනීම නින්දට වැටුනා. එක වරටම, කොහෙන් ආවද දන්නේ නෑ, ඉතා කුඩා පෞද්ගලික ගුවන් යානයක්, මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම කැළඹීමට පත්වුනා. හා පැටවකු අල්ලගන්න එන වෘක රැළක් වගේ, අවි අමෝරාගත් සොල්දාදුවෝ, යුද්ධ ටැංකි, ජීප්, ට්‍රක් රථ, ගිනි නිවන රථ, අර ගුවන්යානය වටකරගත්තා. බීමත්ව සිටි සොල්දාදුවන්, යානය ගොඩබස්වද්දී වෙඩි තැබුවත්, ඔවුන්ගේ ‘බීමත්කමට පින්සිද්ධ වෙන්න’ 😀 😀  යානයට කිසිදු හානියක් වෙලා තිබුනේ නැහැ. යානය වටකරගත් සොල්දාදුවෝ, කෑ ගහලා කිව්වා, නියමුවාට යානයෙන් එළියට එන ලෙස. සියළු දෙනා පුදුමයට පත්කරමින්, අවුරුදු 70 – 80 පෙනුමකින් යුතු පුද්ගලයෙක්, යානයෙන් එළියට ආවා. වෙන කවුරුවත් හිටියේ නැහැ. නියමුවා පමණයි. ඔහුගේ පෙණුම දැක්කම ,ගුවන් යානයක් පදවනවා තියා, බයිසිකලයක් තල්ලු කරන්නවත් පණ තියනවාද කියලා සැක හිතෙනවා. එයා මෙන්න මෙහෙම කිව්වා. ‘අද උදේ අපේ නෝනා කිව්වා, ඈත ප්‍රාන්තයක ඉන්න, එයාගේ තනිකඩ නංගිගේ ගොවිපොළට ගිහින්, අපේ නෝනා දෙන තෑගි පාර්සලය දීලා, එහෙන් දවල්ට කෑම කාපු වහාම එන්න. ඊට වැඩිය එක මොහොතක්වත් ඉන්න එපා කියලා.  ටිකක් කුණාටු ගතියක් තිබුණා. අර නංගී එන්න එපා කියද්දීත් මම ආවා. මාව කුණාටුවකට අහුවුනා. පියාසර කලයුතු දිශාව වැරදුණා. යානයේ ඉන්දන ඉවරවේගන ආවා. තව විනාඩි 10 කට වඩා පියාසර කරන්න බැරි තරමට ඉන්දන අඩුවුණා. මේ වෙලාවේ මම අහම්බෙන් දැක්කා ගුවන් පථයක්. ඉතින් ඒකට යානය බැස්සුවා. හැබැයි මම මේ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ’. එයාට මේ ටික කියලා කට ගන්න හම්බවුනේ නැහැ, එතකොටම අර කුණාටුව ඒ ප්‍රදේශයටත් ආවා. දැන් යානය ගුවන්ගත කරන්නම බැහැ. කඳවුරේ පාලකයා තීරණයක් ගත්තා. ඔහු දන්නවා, තමන් ඉන්නේ කොහෙද කියලා, අර පුද්ගලයා නොදන්නා බව. කොහොම වුනත් එදා රෑ ඔහුව කඳවුරේ සිර මැදිරියකට දැම්මා. හොඳින් කන්න බොන්නත් දීලා, පහුවදා  උදේම, යානයේ ටැංකි පිරෙන්නම, ඉන්දනත් නොමිළේම දීලා, ඔහුගේ ඔළුවට පිස්තෝලයක් තියලා, මෙන්න මෙහෙම තර්ජනය කළා. ‘මෙහෙම කඳවුරක් තියනවා දැක්කා කියලා, තමුසේ කාටහරි කිව්වොත්, තමුසෙගෙ ජීවිතය ඉවරයි, හොඳද? තමුසේ මෙහෙම කඳවුරක් ගැන දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, තමුසෙගෙ ප්ලේන් එක ගොඩබෑවෙත් නෑ හරිද? පණපිටින් ඉන්න කැමතිනම්, ආයෙ කවදාවත් මේ පැත්තෙන්වත් පියාසර කරන්නත් එපා හරිද?’   ඔන්න ඉතින් අර ගුවන්යානය පිටත්වී ගියා. කඳවුරේ පාලකයා සැනසුම් සුසුමක් හෙළුවා. එදා හවස මහා පුදුම දෙයක් සිදුවුනා. ඉතාම පහතින්, ඊයක වේගයෙන් පැමිණි අර කුඩා ගුවන්යානය, ආයෙත් මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම යක්ෂාවේශ වුනා. ‘අදනම් මූව ආපහු යවන්නේ නැහැ’ කියලා, යානය වටකළා. කියන්නත් කලින් අර මහළු නියමුවා යානයෙන් එළියට ආවා. ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. ‘තමුසෙලාට ඕනෙනම්, මාව මරන්න බැරිනම්, ඕනේ කෙහෙම්මලක් කරනවා. හැබැයි ඊට කළින්, මෙන්න මේ ප්ලේන් එක ඇතුළේ ඉන්න මගේ ගෑණිට කියනවා, මම ඊයේ රෑ හිටියේ නංගිලාගේ ගෙදර නෙවෙයි කියලා’.

3.  හොඳම  ආදර්ශය හෙවත් පොඩි රවුම සහ ලොකු රවුම

judge1  කුඩු බොන්නට පුරුදුවෙලා හිටිය විශ්ව විද්‍යාල සිසුන් දෙන්නෙක්, කුඩු උරමින් සිටියදී, පොලීසියට කොටුවුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා. ‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද කුඩු කාරයෝ පාලකයෝ වුනාම. (ලංකාවේ නෙවෙයි අනේ. මම කිව්වේ නෑනේ ලංකාවේ කියලා) මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ කුඩු බොන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. කියලා. ඔන්න අතින් මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා. එක්කෙනෙක් තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා. අනිත් එක්කෙනා එක්ක මහා සෙනගක් ඇවිත් හිටියා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා. ‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා. ‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. අර විශ්ව විද්‍යාල සිසුවා පිළිතුරු දුන්නා. ‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා. ‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. o o  මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’. විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා. ‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා. ඔන්න ඉතින්, අර දෙවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, තමන් කළදේ විස්තර කළා. ‘ස්වාමීනි මමත් 156 දෙනෙක්ව කුඩු බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o මම මගේ යාළුවන්ට කිව්වා, ‘මල්ලිලා, මෙන්න උඹලා, කුඩු බීලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය, මෙන්න…………………………..

දැන් ඉතිං ඇති නේද? තවත් මෙවැනි කතා පසුව කියන්නම්. ගොහිං එඤ්ඤං හොඳේ.

පින්තූර ගත්ත තැන්

My Signature for Blog2013 ජූලි මස 07 වැනි දින 1125 පැය

Advertisements

Comments on: "තවත් කතන්දර තුනක් – Another Three Stories" (66)

  1. කථා තුන පාරකට දාන්න තිබුණේ.ස්තුතියි ඔබට

  2. අන්තිම එකනම් ප්‍රැක්ටිකල් ජෝක් එකක් නෙව. හරිම ලොල් සහගතයි. 😀

    දෙවැනි එකනම් අදාළ පුද්ගලයාගේ වයස, කඳවුර පිහිටි රට සහ කඳවුරේ නම පමණක් වෙනස් කල සත්‍ය අත්දැකීමක් මත ලියවුණු එකක් නේද විචාරක තුමා. 😀

    පොඩි අයට විශේෂ වුණු රහසිගත මෙහෙයුමේ විනාඩි පහකට පස්සේ දර්ශනත් දැම්මනම්…..

  3. අර ගෑනු මනුස්සයට තේරුං කරල දෙන්න වෙනම යුද්ධයක් කරන්න ඇති ඊට පස්සෙ ඒරියා 51 ඇතුලෙ.

  4. ලොලේ ලොල්……………..

  5. නිර්නාමික said:

    මටත් කියන්න තියෙන්නේ, ගෙඩිය පිටින් නොදා පොඩ්ඩක් වැල් වටාරම් එක්ක, තුන් සැරේකට දාන්න තිබුනා. ඒ උනාට ඉතින් රසේ අඩුවක් නෑ…

  6. අඩි 35000ක් උඩදි දොර අරින්න ගිය විහිළු එක්ක බලපුවමනම් මේවා චූ කොල්ලන්ගෙ විහිළු කතා.. නැද්ද.. ?

    හැබැයි කතා තුනම මරු.. අන්තිම එකනම් මම කලින් අහලා තිබුනා.. පළවෙනි දෙක නෑ.. දෙවෙනි එකේ අරූගෙ වයස ටිකක් අඩු වුනානම් කතාවෙ ගතිය වැඩියි..

    • මේවා ලිව්වේ 1998 දී ඇමරිකන් හමුදා උපදේශකයන්ගෙන් අහලා තිබුන මතකයෙන්. දැන් මතකය ගිලිහිලා.

    • දොර අරින්න ගිය එකත් චූ කොල්ලෙක්ගේ විහිළුවක් ගානට වැටුනා තාත්තගේ විහිලුව දැක්කම.

  7. දෙවෙනි එකෙනම් අරු මලාම තමයි.නියමයි ඈ

  8. දුම් සංඥා ක්‍රමය නම් මරු… 😀

  9. KATHANDARA WALATA THANKS. NAMUTH KATHADARA LIYANNA PULUWAN APE MAHA KAKKA THUMATA PAMANI. ARA PUKA, CHOO, PADA, JEE, WAGE TOPICS GENA NITHARA LIYANNE.

  10. පලවෙනි කතාව තේරුනේ නෑ ටියුබ් ලයිට් ද මන්දා …දෙවැනි එකනං මල් හතයි ….

  11. අර දුම් මැසේජ් එක යවන විදිහ ත් පොඩ්ඩක් ලිව්වනං ….මල් පහයි … පළමු එකයි දෙවැනි කතාවයි …සුපිරි … ඔබතුමාගේ අලුත් ලිපි එහෙම නැද්ද .. ඔය අමතක වෙලා .. පල කරන්ඩ බැරි උන ..

    • මම හිතන්නේ දුම් සංඥා යැවීම රතු ඉන්දියන් වරුන් විතරක් නෙවෙයි තවත් ජාතීන් කරලා තියනවා. ඒගැන විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්

      අලුත් ලිපි ගොඩක් තියනවා පෝලිමේ. ඒවා ටිකක් වෙහෙස වෙලා ලියන්න ඕනේ ලිපි. බාගෙට, තුන්කාලට ඉවර කරපුවා තමා තියෙන්නේ. ළඟදීම එළිදක්වන්නම් ස්තුතියි ඔබට.

  12. විචාරක බ්ලොග් ලියන්න ගත්තට පස්සේ හරීයට නරක් වෙලා කියලා නම් කියන්න පුලුවන්.

  13. වෙනසකටත් එක්ක මරු බයිට් එක

  14. හෙන්රි,විචාරක තුමා නරක් වෙලා තියෙන්නෙ කොමන්ට් කරන අපි නිසා.
    කතා තුනම කියවා රස වින්ද.
    මුලදීම විශ්වාසය කැඩුවම 60 පැන්නත් පරිප්පුව කන්නම වෙනව.
    නංගිත් ලේසි පාසු බඩ්ඩක් නෙමේ කියල අක්කණ්ඩි දන්නව ඇති.

    • මේ බෝ පැලයක් වගේ හිටිය මව නරක් කරේම මේ බ්ලොග් කාරයෝ.

      අක්කයි නංගියි මාරුවුණ සිද්ධියක් ඇත්තටම මට වෙලා තියනවා. හැබැයි හුඟක් බරපතල මාරුවීමක් නෙවෙයි. 😀

      • බැරිද ඒකත් ලියන්න.

        • ඔන්න ඔහේ, ‘යන අතක ගියාවේ’ කියලා එහෙනම් කියන්නම්. මම විවාහ වුන අලුත කුලියට අරන් හිටිය නිවසේ, යාබද නාන කාමරයක් තිබුණේ නැහැ. පොදු එකක් තමයි තිබුනේ. ප්‍රශනයක් නැහැනේ, අපි දෙන්නයි නැන්දම්මයි විතරයි. ඔන්න මම දවසක් නිවාඩු ඇවිත්, සැපසේ රාත්‍රියේ නිදාගෙන, උදේ නැගිටලා වැසිකිලියට යන්න යනවා. මම දන්නවා මගේ බිරිඳ ඒ වෙලාවට කුස්සියේ තේ හදනවා කියලා. තේ එකත් බීලම වැසිකිලියට ගියානම්, අදාළ කාර්යය පහසු වෙනවනේ. යනකොට මේ ඉන්නේ මට පස්ස හරවලා හිටගෙන තේ හද හදා. ඒ වගේ පස්සකට තට්ටුවක් නොදමන අතකින් වැඩක් තියනවයැ. හොඳට අල්ල පුරවලා ‘තාර්’ ගාලා වදින්න තට්ටුවක් දැම්මා, අදාළ ප්‍රදේශය මිරිකලා අහුවෙන්නම. 😀 😀 හී………හ් කියලා කෑ ගැහුවා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ………. තේ හද හදා ඉඳලා තියෙන්නේ ඊට කලින් දවසේ අපේ ගෙදර ආව අපේ නෝනගේ ලොකු නංගි. හැබැයි වැරැද්ද මගේ නෙවේ. මෙයා ඇවිත් තියෙන්නේ එදාම ආපහු යන්නයි. අක්කා නංගිට කියලා තියනවා නැවතිලා යන්න කියලා. ඒ නිසා මෙයා ඇඳගෙන හිටියේ මගේ බිරිඳගේ නයිටියක් සහ හවුස් කෝට් එකක්. ශරීර ප්‍රමාණයෙන් දෙන්න 99.9% ක් එක හා සමානයි. මට පස්ස හරවලයි හිටියේ. මට මතක තිබුනේ නැහැ මෙයා ඇවිත් හිටියා නේද කියන එක. කොයි මිනිහද තමන්ගේ ගෑනිගේ මූණ බලලා චෙක් කරලා පස්සට තට්ටුවක් දාන්නේ. අනික එහෙම කලාම ඒ තට්ටු කිරීමේ තියන surprise එක නැති වෙනවනේ. 😀 😀 ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. ඉතින් මම, ‘සොරි මම හිතුවේ අක්කා කියලා’ කියාගෙනම වැසිකිලියට සම්ප්‍රාප්ත වුනා. නමුත් මගේ කන්දෙක රත්වෙලා වගේ. නහයට දාඩිය දාලා. වැසිකිලියට ගිය වැඩේ කෙරෙන්නේ නැහැ. මගේ හිත කියනවා දැන් දැන් අපේ නෝනා පත්තුවෙන්න පටන් ගනියි කියලා. නමුත් කිසිම සද්දයක් නැහැ. හිතට හයිය ගත්ත මම, ‘ඕනෑ කැකිරි ගෙඩියක්’ කියලා හිතාගෙන වැසිකිළියෙන් එලියට ආවා. අක්කයි නංගියි උදේ කෑම හදනවා. මම අපේ උන්දැට ඇහෙන් කියාගෙන ආවා ‘එන්ඩ’ කියලා. කාමරේට එක්ක ගිහින් කෙලින්ම කිව්වා, ‘මට හරි වැඩක් වුනානේ. ඔයා කියලා හිතලා නංගිට තට්ටු කලානේ’ කියලා. අපේ ගෑනි කිව්වේ නැතෑ, ‘හා හා අපි දන්නවනේ ආමි කාරයන්ගේ හැටි’ කියලා. මට ඇත්තටම තද වුනා. මම කිව්වා ‘මොන මගුලකටද එයා ඔයාගේ හවුස්කෝට් එකක් ඇඳගෙන හිටියේ? ඒ නිසා නේද මේ මගුල සිද්දවුනේ’ කියලා. ඔන්න ඒ පාර අපේ උන්දැ කියනවා, ‘හෝව් හෝව්, ඕක ඔච්චර ලොකු දෙයක් නෙවෙයි අනේ. නංගි මට කිව්වා ඔයාට වැරදිලා එයාගේ පිටට තට්ටු කරලා සොරි කිව්වා කියලා. ඒක එතනින් ඉවරයි. මම ඔයාව කේන්ති ගස්සවන්නයි අර විදිහට කිව්වේ’ කියලා. කොහොමද වැඩේ? පිටට තට්ටු කරේ ඈ? පිටට. අනේ මොකටද මගේ කට. අම්මපා මේ ගෑණු ජාතියනම්……….

          නෑ නෑ මම මිනිහෙක් මිසක් බල්ලෙක් වුනේ නැහැ. ඒ සිද්ධිය එතනින් ඉවරයි. අද ඒ නංගි හොඳ විවාහ ජීවිතයක් ගතකරනවා.

          ඔන්න කියන්නනම් එපා මේක වෙනමම ලියන්න කියලා ලිපියක් හැටියට. මේ කතාව මෙතනම හැංගිලා තිබුනාවේ.

      • අප්පට සිරි, එහෙම මාරුවෙලත් පණ බේරගන්න පුළුවන් වුනේ ඔබ තුමා පළපුරුදු හමුදා නිලධාරියෙක් නිසා වෙන්න ඇති නේද?

      • මමනම් අහනවා නංගිගේ පිට තියෙන්නේ ඔතනද කියලා. තව ටිකක් දුර ගියා නම් අර හැලපයියාගේ කඨාවේ හිටිය තැපැල් මහත්තයා වෙනුවට ඇම්බුෂ්, ෆීල්ඩ් ක්‍රාෆ්ට්,ස්නයිපරි ඇටෑක් දන්නා කෙනෙක්ගේ ලයිෆ් ටයිම් ඔපරේෂන් එකක් විචාරක මහත්තයාට ලියන්න වේවි. කටට එනවා හොඳ දෙයක්.එක්කෝ උවමනා නැහැ. කොයි එකද වඩා ……ක්? මකන්න බැහැ.
        මිනිහෙක් නොව මනුස්සයෙක් වන එක සතුටුයි හැමෝම ඉතා කැමති.

        • සමහර නංගිලාගේ පිට තියෙන්නේ එතන වෙන්ඩෑ. 😀

          අහන්නත් ප්‍රශ්නයක්ද උදාර, ඉරිදා පොලේ වේලිච්ච වට්ටක්කද එවෙලේ කඩපු පැණි කොමඩුද වැඩිය හොඳ කියලා. 😀 😀 😀

          ඇත්තටම අද කාලයේ හැඟීම් පාලනය කරගන්න බැරි සෑහෙන පිරිසක් ඉන්නවා තමන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් කරගත්ත.

  15. නංගි බලන්න තනියෙං මිනිහව යවපු එකයි මට පුදුම … පේන හැටියට අපෙ කෙන්ජි වගෙ මහත්තයෙක්.. වැඩකාරයෙක්..

  16. ක්සැන්ඩර් said:

    ඔබ නං පුස්තකාලයක්ද මන්දා.. තව කතා තියනවලු සෑහෙන්න. මෙව්වත් ඔය ලිපි අස්සෙන් යන ඒකට මං හරි කැමතියි. ඒකාකාරී ගතිය මග හැරෙනවා. මං කොහේ ගියේ නැතත් මේකටයි ඩුඩ් ගේ බ්ලොග් එකටයි තව තුන හතරකටයි එන්න හරිම මනාපයි.

    තවම තරුණ ඔබතුමා තව දිග කාලයක් මෙහෙම කතා/ලිපි ලියලියා ඉන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. ඔබත් මගේ වයසට එනකොට බොහේ දේ මතක ගබඩාවට එකතුවෙයි. මගේ මතකය වර්ධනයවීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ කියවීම සහ ඇහුම්කන්දීම කියලයි මම විශ්වාස කරන්නේ.

      තව දිග කාලයක් ලියන්නට දේව හිතේ තිබුනත් අපේ ජීවිත කොයිතරම් අවිනිශ්චිතද?

      ඒක නෙවෙයි දැන් බ්ලොග් ලිවිල්ල අතෑරලාම දාලද?

      • ක්සැන්ඩර් said:

        අර කොටි අස්සේ ඉඳල ඇවිත් මේ මොනවා කියවනවද විචාරක මහත්තයෝ…

        ලියන්නේ නෑ කියල තීරණය කළා. මේකේ වෙන එව්වගේ හැටියට ලියන එක තේරුමක් නෑ කියල හිතුනා.

  17. හිරේ වැටුනාම වෙන දේවල් – පොඩි රවුම් ලොකු රවුම් වෙනවාලු ඈ!

  18. කතා තුනම අගෙයි. අන්තිම එක වෙනී අයිය දාල තිබුන වචන වාරණයෙන් තොරවම.

    • ඇත්තටම කලින් දාලා තිබුන බවක් දන්නවානම් අන්තිම කතාව ලියන්නේ නැහැ. මේ කතා මට කියලාදුන්නේ ඇමරිකන් යුද හමුදාවේ අය.

  19. චතුර විජේකෝන් said:

    දෙවැනි කතාව අදයි ඇහුවේ.. රසවත්..

  20. මරු ඈ…මට නම් කතා 3 වඩා අල්ලලා ගියේ විචාරකතුමාගේ තට්ටුව..මදැයි ඔයින් ගියා…

  21. නංගිගේ කතාව තමා අය්යා සුපිරි . අපරාදේ අක්කට කියන්න ගියේ. මේකේ නොදැම්මට ඊට පස්සෙත් දිගට හරහට පිට මිරිකන්න ඇති 🙂

  22. කතා තුනත් හරි.. අර ‘පිටට’ තට්ටුව දාපු කතාවත් හරි.. //එවෙලේ කඩපු පැණි කොමඩු// 😀

    මේ පොස්ට් එක කියෙව්වෙ හෙඩ් ෆෝන් එකෙන් සින්දුවක් අහන ගමන්. මට සද්දෙට හිනා ගිහින්. මට ඒක ඇහුනෙ නැති වුනාට ගෙදර අයට ඇහෙනව නෙ. එයාල අහනව ඇයි තනියම හිනා වෙන්නෙ කියල. 😀 😀

  23. මෙන්න මේක තෙලෙසට්‍රෝවේ තියෙනවා ලුනු තුනපහත් දාලා http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-r3825
    තවත් බලුකිරි වැඩක්ද?

    • උදාර, මේක මගේ කතාවේ කොපියක් කියන්නේ අමුම අමු කොපියක්. මොකද මේකේ මුල් කතාවේ තිබුනේ නැති, මම හදලා දාපු දේවල් මෙන්න මේවා.

      1. නෝනා එයාගේ නංගිගේ ගොවිපොළට ගිහින් එන්න කියපු එක. (මුල් කතාවේ එහෙම එකක් නැහැ. මිනිහා කොහේදෝ යද්දී තමයි හදිසියේ මෙතනට ගොඩ බහින්නේ)

      2. අර මනුස්සයා නෝනාවත් දාගෙන ආපහු ප්ලේන් එකේ පැමිණීම. (මුල් කතාවේ තියෙන්නේ මිනිහා තනියම ආපහු ආව බවයි)

      3. අර මනුස්සයා තමන් පළමුවැනි වතාවට ගුවන් යානය Area 51 එකේ බස්සවලා ඉඳිද්දී අර කුනාටුව එතනටත් පැමිණීම. (මුල් කතාවේ කුණාටුවක් ගැන කිසිම සඳහනක් නැහැ)

      කලකට ඉහතදී මම ඇමරිකානු හමුදා උපදේශකයන් යටතේ ලංකාවේදී ලබපු පුහුනුවකදී තමයි මේ කතා ඇහුවේ. මම මගේ මූලාශ්‍රය ඒ අනුව කලින්ම කියලා තියනවා. අනේ මේ වගේ ලජ්ජා නැති පුස්සෝ.

  24. තුන්වෙන් කතාවේ වෙන වර්ෂන් එකක් අහල තියෙනවා. අපේ මලයන්ඩියත් ඔන්න අර රතු ඉන්දියානු කාරයගේ කතාව කලින් කියල තිබුනා. මිනිහත් නාකි නොවෙච්චි ආමි නිලකාරයෙක් නෙව.. හතර වෙනි (???) කතාව නං පට්ට… හැබැයි බල්ලෙක් නොවිච්චි එක අවංකව කිව්ව හින්දා කිසි අවුලක් නෑ. නැත්නං පිටට පොඩි තට්ටුවක් දාලා ගියා කිව්වම අපිත් සැලෙනවා නෙව.. හැක් ජය වේවා. මේ ලොග් වෙච්චි වෙලාවේ මේ ටික බලන්නේ.. නැත්නං නයි කයිද රෝස්පාං.. එපා වෙනවා අප්පා වර්ඩ්ප්‍රෙස් එකටත් ලොග් වෙන්න උනාම.. අරුණි සපිරෝට ප්‍රතිචාර දාන්නේ නැත්තෙත් ඒකයි..මට නං තාම හොදම අර… හැක් හැක්.. ඔටු කතාව..

  25. මේ කතා සේරම අන්තර්ජාලයේ තියෙන ඒවා නේද මහත්තයෝ ? ඇමරිකන්කාරයින්ගෙන් අහගත්තුව කියල පට්ට පල් මුසාවාද ඇද බාන්න එපා!! නොන්ඩියි 🙂

    • මේ කතා අන්තර්ජාලයේ තිබීම මගේ වැරද්දක් නෙවෙයි මහත්තයෝ. මම මේ කතා ඇහුවේ සෑහෙන කාලෙකට උඩදී. ඇමරිකන් හමුදා කතා ඇමරිකන් හමුදා කාරයෝ දන්නේ නැත්නම් වෙන මොකාද දන්නේ. වෙච්ච සවුත්තුව මෙහෙම අවලාද කියලා වහගන්න බැරි බව මතක තියාගත්තොත් හොඳයි. මින් ඉදිරියටවත් ඒ වගේ තුප්පහි වැඩ නොකර ඉන්න.

    • ඔව් ඔව් හෙට අනිද්දට කියයි මම විශ්‍රාමික හමුදා නිලධාරියකු නෙවෙයි ගැලවීමේ හමුදාවේ සාමාජිකයෙක් කියලා. තුප්පහි වැඩ කරලා වැදිච්ච අශූචි ගොඩ ඔහොම හෝදගන්න බැහැ මහත්තයෝ. මම මේ කතා ඇහුවේ 2000 දී විතර. ඉතින් අද ඒවා අන්තර්ජාලයේ තිබීම මගේ වැරද්දක්ද?

  26. […] ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබූයේ ඔහුගේ මෙම ලිපියේ ඇති “නෝනට ඇත්ත කියනවා” නම් කතාව […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: