විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  jagath-chamila-sams-storyසාමාන්‍යයෙන් මා, අද කාලයේ නිපදවෙන සිංහල චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය බලන්නේ ඉතා සීමාසහිතවය. එයට හේතු කීපයක් දැක්විය හැකිය. අද කාලයේ කතා බොහොමයක් මගේ මනෝ භාවයන් පුබුදුවන්නට සමත් නොවීම ප්‍රධාන හේතුවයි. මම බ්‍රහ්මයකු නොවෙමි. අද කාලයේ නිපදවන සියලු සිංහල චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය මාගේ බ්‍රහ්ම සුඛයට තරම් නොවේයැයි නොකියමි. මගේ මනෝභාවයන් පුබුදුවන නිර්මාණ අද ද කලාතුරකින් අසමි, දකිමි.  එමෙන්ම සොයමි. එමෙන්ම මගේ ජීවිත කාලය තුළ, ‘සම්භාව්‍ය’, ‘ජනප්‍රිය’, ‘හඩු හෙවත් පහත්’ යන වර්ගීකරණයන් වෙත, සමාජය විසින්ම ඔසවා තබන ලද හෝ ඇද දමන ලද සිංහල, ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි, එක් එක් භාෂාවෙන් සිය ගණනක් නරඹා ඇත්තෙමි. සිංහල ටෙලිනාට්‍ය 1980 පමණ සිට 2005 පමණ වනතුරු ඉඩ ලැබෙන සෑමවිටම නැරඹු අතර, පසුව බිහිවූ ටෙලිනාට්‍ය වලින් අති මහත් බහුතරයක දුටු නීරසභාවය නිසාම, එයින් ඈත්වුනෙමි. අද මා සිටින්නේ එයින් සම්පූර්ණයෙන් ඈත්වන තැනකය. මොකක්දෝ කරුමයක් නිසා ‘වැඩට ගොස් මහන්සිවී ගෙදර එන අයට විනෝදය සපයන’ වර්ගයේ ටෙලිනාට්‍ය මට අල්ලන්නෙම නැත. එදා යුදබිමේ මාස ගණන් රැඳී සිට ගෙදර ආවාට පසු වුවත්, මට ඒ වර්ගයේ නාට්‍ය වලින් කිසිදු රසයක් නොලැබෙයි. එදා ජයවිලාල් විලේගොඩලාගේ පටන් මෙදා ගාමිණී සුමනසේකරලා දක්වා විචාරකයන් විසින් අපට කියාදී (ලේ වලටම උකහා දී) ඇති ප්‍රමිතිය, කොපමණ වෙහෙසකර අවස්ථාවක නරඹන නිර්මාණයක වුවද දකින්නට නැත්නම්, අපේ මොළයේ ‘පටස්’ ගා විදුලියක් කොටනවාක් මෙන් දැනවෙන්නේ, ‘නොදෝකිං මේ රඟපෑම්/ආලෝකකරණය/අංග රචනය/පසුතල නිර්මාණය/සංගීතය/ හඬ පටිගත කිරීම/ ආදී සමස්තය, බල්ලෝ බත් කන්නැති ගාණයිනේ’ යන අදහසයි. මගේ ප්‍රියතම නළු නිළියන්ගේ/ගායක ගායිකාවන්ගේ/ සංගීතඥයන්ගේ/ වුනත්, ‘දෙකයි පණහේ කෑලි’ මම කිසි දිනක ප්‍රිය නොකරමි. මෙසේ නිර්මාණයක පරිපූර්ණත්වය හැරපියා, නළුවකුගේ රැවුළ, නිළියකගේ කොණ්ඩය, වෙනත් ජෝකරයකුගේ අඩ කුණුහරප වචන, පමණක් රසවිඳීම, මටනම් චොකලට්ටුව විසිකර ඊයම් කොලය කෑම හා සමානය.   

 cff0ed3f420388c45fd605c3dc837e1f_XL මේ ලිපිය ලියන්නට නිමිත්ත වුයේ, මෑතකදී ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද, සැබැවින්ම භාග්‍යවන්තවුත්, දක්ෂවුත්, ජගත් චමිල, සිය රංගන වින්‍යාසයේ කූටප්‍රාප්තිය සළකුණු කරමින්, ශ්‍රී ලංකාව වෙත අප්‍රමාණවූ කීර්තියක් හා අභිමානයක් ළඟාකරදීමේ උත්කර්ෂවත් භාවයයි.  මේ තරුණ නළුවා මෙසේ ජයගන්නට යෙදුනේ සෙසු පටු අභියෝගයක් නොවේ. ඔහු ජය ලැබුවේ, රංගනය පිළිබඳ කුදු මහත් අභ්‍යාසයන්, උපදේශනයන්, උපාධි, ඩිප්ලෝමා, සියල්ල නොමඳව ලැබෙන, ජාත්‍යන්තරය පිලිබඳ මනා වැටහීමක් හා අවබෝධයක් පමණක් නොව, සකලවිධ රංගෝපක්‍රම පිලිබඳ පරිචයකින්ද යුත්, මහා සිනමා සම්ප්‍රදාය සහිත රටවල සිටින, අත්දැකීම් බහුල, මහා නළුවන් සමග කරට කර රංගන සංග්‍රාමයක යෙදීමෙන් පසුව බව, කිසිසේත් අමතක කළ නොහැක්කේය.  ඔහු සමග මේ සම්මානය සඳහා තරග වැදුණු අනෙක් නළුවන් කෙබඳුදැයි මේ සබැඳියාවන්ගෙන් බලන්න.

අපේ රටේ මෙවන් අංකුර, තවත් සිය ගණනින් කෙසේ වෙතත්, දහ පහළොවක්වත් ඇති බව අවිවාදිතය. ඒ අංකුර හඳුනාගන්නේ කෙළෙසද? වඩා වර්ධනය කරගන්නේ කෙළෙසද? එයින් ඇති ඵලය කිම? ලෝක රූප සුන්දරිය හෝ ඔලිම්පික් පදක්කම් ලාභීන් මෙන් කලින් කලට ලෝක සම්මාන ලබා ගැනීමටද?  ලෝක රූප සුන්දරිය සැබෑ වාසනාවන්තියකි. ඇයට වසරක් පුරා ලැබෙන තෑගිබෝග වරප්‍රසාද අපමණය. අවුරුද්දකට පසු ඉන්නේ කොහේදැයි කියාවත් කවුරුවත් නොසොයති. (සිනමාවටවත් පැනගෙන නොරැකුණොත් මිස) ඔලිම්පික් පදක්කම් ලාභියා සැබෑ දක්ෂයෙකි. (තහනම් උත්තේජක චෝදනා වලට හසු නොවනතුරු. සැමදෙනාම නොවේ) කාලාන්තරයක් මතකයට නැගේ. ආදර්ශයට ගනී. හැබැයි ක්‍රීඩා ලෝලීන් අතර පමණි. නළුවා එසේ නොවේ. සිනමා පටයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, නරඹා ඇති යාචකයාගේ පටන් මහරජා (අපේ උන්නැහේ නෙවෙයි) දක්වාම, කිසිදු සමාජ, වර්ණ, ජාති, ආගම්, භාෂා, කුල, භේදයකින් තොරව, සියල්ලන්ගේ සිත්හි සදාකල් රැඳෙන්නට ඔහුගේ එක රංගනයක් සමත්වන්නේය. ඒ රංගනය තුළින් ඔහු ලෝකයාගේ සිත්හි ඇති කරවන්නාවූ ප්‍රකම්පනය, ජීවිත කාලය පුරා පවතින්නේය. ලෝකය ගැන සිතන්නට ප්‍රේක්ෂකයා පොළඹවන්නේය. මිනිසාගේ ඇති රුදුරු ගති මෘදු ගති බවට පත්කරන්නේය. තම ජීවිතය ඒ ඒ චරිත හා බද්ධ කර බැලීමෙන්, ජීවිතයේ කිසියම් පරිණත භාවයක් ළඟා කරගන්නට ප්‍රේක්ෂකයා පොළඹවන්නේය. ‘ලෝකයේ යථාර්ථය මේයැ’යි සිතන්නට උද්දීපනයක් ඇති කරන්නේය.

z_p-25-Lester-1

  එදා 1960 දශකයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ශ්‍රී ලාංකික සිනමා විප්ලවවාදියා සිංහල සිනමාව තුළ ඇතිකළ ‘ගම්පෙරළිය’ ලෝකයම හඳුනාගත්තේ (අද ආගිය අතක් හොයාගන්නට නැති) රණමයුර සම්මානය ලැබීමෙන් පසුවය. ඉන්පසු ආසියාව පුරා අපේ නම රඳවන්නට මහා නළු ජෝ අබේවික්‍රම මහතා සමත්වූයේ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටියෙනි. එදා පටන් ජගත් චමිල දක්වාවූ සියළු දෙනා මේ රංගන ප්‍රාතිහාර්යයන් දක්වන්නේ කිසිදු විද්‍යා පීඨයකින් ලද උපාධි, ඩිප්ලෝමා, ලැබීමෙන් තොරව බව අපි අමතක නොකළයුතු වන්නේය. ජගත් චමිල තවමත් තරුණ වයසේ නිසා, ඔහුට තව බොහෝ දුරක් යන්නට හැකි, යන්නට වෙන බව ඔහු මතක තබාගත යුත්තේය.  මේ සම්මානය ලැබීමෙන් පසු, ඔහුට ලංකාවේ ජනාධිපති හමුවූ අවස්ථාවේදී, ‘හැමදාම කියන සිනමා ඇකඩමි, සංරක්ෂණාගාර, කෝ’ කියා අහන්නට අමතක වන්නට ඇත. මෙලෝ රහක් නැති, ජිල්බෝල හොද්දක් වැනි, කාටවත් පහසුවෙන් යන්නට බැරි දුරක තිබෙන, කීප දෙනෙකුට රස්සා දීමේ ආයතනයක්වූ, ‘රන්මිණි තැන්නෙන්’ ඇති ඵලේ මොකක්ද කියා අහන්න අමතක වන්නට ඇත. එහෙත් යටත්පිරිසෙයින් රේගු බද්දෙන් නිදහස්ව පටල පටියක් ගෙන එන්නට බැරි මේ රටේ, මෙවැනි නිර්මාණ කරන්නවුන්ට (පක්කලිකම් කර, ජිල්මාට් ඡන්ද වැඩ හා සියළු අකටයුතුකම් වලට ආවඩා, පෝළිමෙන් පිට පැන, අනියමින් මුදල් කන්දරාවල් උපයන කාලකන්ණි නොවේ) මල් තියා වඳින්නට නොවටීද? ජගත් චමිලව මෙතනට ගෙන එන්නට ‘සැමීගේ කතාවේ’ අධ්‍යක්ෂවරයා මොනතරම් වෙහෙසක් දරන්නට ඇද්ද? ජගත් චමිල තුළ ‘සැමී’ ඉන්න බව හඳුනාගැනීමම කොපමණ දක්ෂතාවක්ද?

  jagath-450-1දැන් ඉතින් මා හැරෙන්නට හදන්නේ රැවුල සහ කොණ්ඩය වෙතයි. අද අපේ සිනමා/ටෙලිනාට්‍ය නළුවන්ගෙන් අතිමහත් බහුතරය කොණ්ඩා කාරයන් සහ රැවුල් කාරයන් බවට පත්වී ඉන්නේ ඇයි? නළුවකු වන්නට ඔයදෙක නැතුවම බැරිද? ජගත් චමිලත් රැවුළෙකි, කොණ්ඩයෙකි, නමුත් මේ මහා සම්මානය ලබන්නට ඒ රැවුල හෝ කොණ්ඩය ආධාර වුවේද? නැත්තේමය. ටෙලි නාට්‍ය නළුවකු ලෙස ජගත් චමිල මෙතෙක් රඟපෑ චරිත ගණනාව අතර ගැඹුරක් දකින්නට හැකිවූ චරිත ප්‍රමාණය අතළොස්සකි. අනෙකුත් බොහෝ ටෙලි නළුවන් (රැවුල නැතත් ඇතුවාසේ අවිචාරයෙන් රඟන නිළියන්ද මෙයට ඇතුළත් බව සළකන්න)  අරබයාද ඒ තත්වය එසේමය. මේ පරපුර තුළ සැඟවුණු කුසළතා මෙසේ මොටවී යන්නේ ඇයි? ඇත්තවශයෙන්ම එය ගැඹුරින් සළකා බැලිය යුතු කරුණක් වන්නේය.

  රූපවාහිනිය අප රටට ලැබුණු මුල් අවධියේ තිබුනේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය නාලිකා දෙකක් නිසාත්, ඒ දෙකෙහිම නාට්‍ය අංශය, රංගන කලාව ගැන අවබෝධයක්, පරිචයක් ඇති පුද්ගලයන් අත තිබුන නිසාත්, නිර්මාණ කාර්යයක ඇති වගකීම සහ ගැඹුර ගැන ඔවුන් තුළ පෘථුල අවබෝධයක් තිබුන නිසාත්, එකල්හි කෙරුණු නිර්මාණ අතරින් බහුතරය, කිසියම් සැබෑ නිර්මාණාත්මක බවකින් යුක්තවුවාසේම, වේදිකා නාට්‍යයෙන් පන්නරය ලද ප්‍රවීණයන් සමග, රූපවාහිනියට තෝරාගත් ආධුනිකයන් සංකලනය කිරීමෙන්, කරන ලද අපූර්ව ඉදිරිපත්කිරීම් විය.  ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සිහිනෙනුදු නොසිතූ අභියෝගයක් එල්ල වුනේ පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහිවීමත් සමගය. එල්ලවූ අභියෝගය වුයේ අමු කුණු දහජරාව, (ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් ගානට ගෙනා වදුරු වසංගත අද ‘සම්බාවිය’ වෙලාය. අනේ මුන්ගේ බාව කොට කරන්න කවුරුවත් නැති හැටි) ගෝනි කණක්කුවේ,  රෑට රෑට, ප්‍රේක්ෂකයාගේ නිවස තුළට ගෙනැවිත්, කිසිදු හිරිකිතයකින් තොරව අතහැරීම නිසා, එතෙක්කල් යස අගේට වැඩ ඇරිලා ඇවිත්, අර යහ ගුණයෙන් යුත් ටෙලිනාට්‍ය නැරඹු ලාංකික ප්‍රේක්ෂකයා, හැන්දෑවට ‘වෙලේ සුදා’ ගෙන් කසිප්පු අඩ්ඩක් ගහන වරාය කම්කරුවාගේ තත්වයට වැටීමය. ඒ කියන්නේ, අර ‘වෙහෙස නිවන මල්පැණි පොද’ වර්ගයේ ‘නාට්ටි’ වලට හුරුවීමය. ජීවිතයේ යථාර්ථය පසෙකලා, මොහොතකට හීනලෝකයේ සැරිසැරීමය. පොඩි එවුන්ද ඒ දහජරාවටම හුරු කිරීමය. මෙහි ඊළඟ ප්‍රතිඵලය වුයේ, එලෝ කෝටියට ‘ලලු ලිලියන්’ බිහිවීමය. (ඔවුන්ගෙන් කීප දෙනෙකුට හැර අනෙක් අයට ‘නළු නිලියන්’ කීම අපහසුය)

  නළුවා නිළිය කියන්නෙත්, අපි අතරම ඉන්න මිනිස්සු මිස, අඟහරු ලෝකයෙන් පැමිණි අය නොවේ. ඔවුන්ගේ සිතුම් පැතුම්ද අපේ සිතුම් පැතුම් හා සමගාමීය. නමුත් ඔවුන් කිසියම් ආගමික කල්ලියක (cult) සාමාජිකයන් මෙන් බොහෝදුරට එක හා සමාන රැවුල් වවාගෙන සිටිනවිට, බොහෝදුරට එක හා සමාන කොණ්ඩා වවාගෙන සිටිනවිට, ඔවුන් තුළින් රංගනයේ විවිධත්වයක් දකින්නේ කෙසේද? ඔවුන් දිනපතා එකම සරඹයක් කරන (drill) හමුදා භට ඛණ්ඩයක සාමාජිකයන් හා සමාන නොවේද? නිළියන්ගෙන් අති මහත් බහුතරය, හැකි සෑම අවස්ථාවකදීම, කොණ්ඩය කඩාගෙන ඉන්නේ ඇයි? අද ටෙලි නාට්‍ය බොහොමයක තිබෙන්නේ ‘චීත්ත ගවුම් චරිත’ සහ ‘ඩෙනිම් ජීන්ස් චරිත’ නොවේද? එයින් පිට රංගන පරාසයක් මොවුන්ට නැතිද? මා කියන්නේ, සියළුම නළුවන් අදම වහාම කොණ්ඩය කොටට කපා රැවුල සම්පූර්ණයෙන් බුගෑ යුතුය. නිළියන් කොණ්ඩය තනි කරලකට හෝ කරල් දෙකකට ගෙතීම කලයුතුය. නැතිනම් කොණ්ඩය බැඳිය යුතුය. කියා නොවේ. එසේ කියන්නේ නම්, මම වහාම, මනෝ වෛද්‍ය වරයකු ලවා, මගේ මොළය පරීක්ෂා කරගත යුතුය. මුහුණ පුරා රැවුළ වවාගෙන සිටින අයකුට, සමීප රූප වලදී හැර, මධ්‍යම රූප වලදී, මුහුණෙන් සියුම් හැඟීම් නිරුපණ තරමක් අපහසු වෙයි. සැමදාම රැවුළ වවාගෙන ඉන්නේනම්, සැමදාම රඟපාන්නට වන්නේ රැවුළෙකුගේ චරිතයක් පමණි. නවීන විලාසිතා රැවුල් මෝස්තරයක් සහිත අයකු නම් ඔහු ගැලපෙන්නේ අර ‘දෙකයි පණහේ චිත්‍රපටි/ටෙලි නාට්‍ය’ වලට මිස හරවත් නිර්මාණයකට නොවේ. ජගත් චමිලට ‘සැමී’ වීම සඳහා රැවුල කපා කොණ්ඩයක් දාගන්නට වුනේ ඒ නිසාය. ‘ඉතින් ඕක මහලොකු වැඩක් නෙවෙයිනේ. අද ඕනෑතරම් කොන්ඩ තියනවා, වේශ නිරුපණ ශිල්පය දියුණුයි. නළුවා/නිළිය කොහොම හිටියම මොකද?’ කියා ඔබ මගෙන් විමසන්නට පුළුවන. මමත් කියන්නේ එයමයි. හැම නාට්‍යයේම එකම රැවුලෙන්, එකම කොන්ඩයෙන් ඉන්නේ ඇයි? කම්මැළිකමද? නොදන්නාකමද?  අතිපණ්ඩිතකමද? මමනම් හිතන්නේ ඒ සියල්ලම සහ එදාවේල ක්‍රමයට ජීවත්වීමට හුරුවීම කියාය. අද අපි දකින්නේ එදාවේල ක්‍රමයට, කෑලි ගණනට ගහන, දවස් පඩි ලබන,  ‘නාට්ටි කෑලි’ නේ. ඒවා ‘අගමුල නැති වැල්’ ලෙස ඇදෙනවා විනා, කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් ඇති ඒවා නොවේ. හොල්මන් සහ බූතයන්ද දෙබස් කියමින්ම රඟපානවා මෑතකදී දුටුවෙමි. කට්ටඩි අත්තම්මා නාට්‍ය පසුතලයටත් වඩා විශාල තම ස්ථුල ශරීරය, අමාරුවෙන් හසුරවමින්, හති දමමින්, දෙවැනි වරටත් එකම චරිතයේ දෙබස් කියනු පෙනේ. (ජේ.කේ. රෝලින්ග්ස් ගේ අද්භූත උල්පතද හිඳී ගියේය. මිනිස්සුන්ට ඒවා එපාවෙන එක පුදුමයක් නොවේ) හැබැයි ඒ අයනම් සාමාන්‍ය ජීවිතයේදීත් ඒ බූතයන් වගේම අය බව පෙනෙයි. මෙසේ කෑලි නාට්ටි වල රඟපාන තමන්, රංගධරයකු නොව, නිකම්ම නිකම් ‘කෑලි බාස්’ කෙනෙකු බව මොවුන්ට නොවැටහෙන්නේ, මොවුන්ව තම ග්‍රහණයට නතු කරගෙන සිටින, ඊනියා ටෙලි නාට්‍ය ‘අධි යක්ෂ’ වරුන්ගේ බලපෑම නිසාද? මේ විදිහට ගියොත්, මේ කෑලි නාට්ටි ගැහිල්ල, මීටත් වඩා මිල අඩුවෙන් කරන්නට, අර ‘අධි යක්ෂයන්’ පෙළඹෙනවා සිකුරුය. ඒ කියන්නේ පරිගණක මගින් ත්‍රිමාන රූප මවා, මේ නාට්‍ය නිපදවීමට ඔවුන් පෙළඹෙනු ඇති. එදාට මේ නළුනිළි පරපුරට වෙන්නේ, වීදි නාට්‍ය පෙන්වා බඩවියත රැකගැනීමටය.

  ජගත් චමිල රංගනය හදාරා ඇද්දැයි මම නොදනිමි. නමුත් තම නිසග ප්‍රතිභාව, අධ්‍යක්ෂකගේ මගපෙන්වීම හා ශික්ෂණය යටතේ ප්‍රදර්ශනය කිරීමෙන්, ඔහු ලෝක සම්මානයට පාත්‍රවිය. ජගත් චමිලලාගේ පරම්පරාවේ කීදෙනෙක් රංගනය හදාරා ඇද්ද යන්නත් මම නොදනිමි. එහෙත් මේ ඒ සඳහා ඒ පරපුර යොමුවියයුතු කාලයයි. රංගනය ගැන ඉගෙනීමට ඇත්තටම ආසාවක් තිබේනම්, ආයතන මෙන්ම පොත්පත් ද තිබේ, ඒවා පසෙක දමමු. මේ පරපුර සිය රංගන කුසලතා වැඩි දියුණු කරගැනීමට ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ යටත්පිරිසෙයින් මසකට එකක්වත් නරඹනවාද? නැතහොත් රංගනය ගැන ලියැවුණු පොතක් පතක්, අවුරුද්දකට වරක්වත් බලනවාදැයි, මම නොදනිමි.

  පොත්පත් කියවීමෙන්ද, ලිවීමෙන්ද, පරිවර්තනය කිරීමෙන්ද, විදෙස් කෘති අනවරතයෙන් පරිශීලනය කිරීමෙන්ද, වේදිකාවෙන් හා සිනමාවෙන් ලත් අත්දැකීම් සමුදාය සහ ආභාෂය හේතුවෙන්ද, මහා නළුවකු බවට පත්, ටෝනි රණසිංහ වැන්නකුගෙන්, මේ පරපුරට උගතහැකි දෑ, වචනයෙන් කිව නොහැකි තරම්ය. මේ පිරිසේ බහුතරය, සෝමලතා සුබසිංහ, ජයලත් මනෝරත්න, වැන්නවුන්ගේ පා සෙවනේ රංගනය හදාරන්නටවත් නොපෙළඹුණහොත්, අර දෙකයි පනහේ සීනිබෝල කෑලි පෙන්වමින් කෙටි කාලයක් රැඳී සිටිය හැකිය. ඉන්පසු, ගායනය, (තමන්ට ඇත්තටම බැරි වුනත්) නිවේදනය, මනාලියන් හැඩ ගැන්වීම, ටේලර් සාප්පු, කොත්තු කඩවල්, දමාගෙන යන්තම් ජාම බේරාගන්නට පුළුවන. දැන් ක්‍රමය ඒකනේ. නිළියන් ගැන වෙනම කියන්න ගියොත් මේ ලිපිය තව කොපමණ දිග්ගැස්සේදැයි නොදනිමි. අද නිළියන්, කොතරම් පැතලි චරිත වලට කොටුවී සරඹ කරනවාද යන්න දකිනවිට ඇතිවන්නේ අනුකම්පාවකි. බොහෝ නිළියන් හොයන්නේ, රූසපුව සහ විලාසිතා පෙන්වන චරිත විනා, යතාර්ථවාදී චරිත නොවන බව පෙනේ. ඔවුන් සමග කරන පුවත්පත් සාකච්ඡා වලදී, ඔවුන් කියන දෑ තුළින්, ඔවුන් ජීවත්වන්නේ කෙබඳු මනොලෝක වලද යන්න මොනවට පසක්වේ. ‘චාන්දනී සෙනෙවිරත්න’ වැනි නිළියක්, කොතරම් විවිධ චරිත පරාසයක් තුළ කටයුතු කලාද? ඒ සියලු චරිත වෙත ඇයගේ ප්‍රතිභාවේ ආලෝකය කොතරම් ඉහළින් වැටී තිබුනාද? යන්න, අද නිළියන් අධ්‍යයනය කරන්නේදැයි මම නොදනිමි. රූපවාහිනියෙන් විසිවුණ ගමන්, ‘සලොන් අධිපතිනියන්’ වූ කීදෙනෙක් ඉන්නවාද? ඒ තමයි ඔවුන්ගේ රංගනයේ කූටප්ප්‍රාප්තිය. අඳොමැයි. එහෙමත් නැත්නම් අර ලෝකෙට පරකාසේ ‘බාල්දිය තංගුස්’ මෙන්, කොත්තු විකුණන, එසේත් නැතහොත්, කොපි කරන්නට බටහිර තනු නැතිවීම නිසා, නට්ටං වී ගිහින්, අද ට්‍රැක්ටර්, සෙවිලි තහඩු, වතුර පයිප්ප, (කුප්‍රකට වේදිකාවල වෛශ්‍යාවන්ද) විකුණන උන්නැහේ ගේ තත්වයට වැටෙන්නට පුළුවන.

  අපට තබා ලෝකයේ කිසිම රටකට සෑම වසරකම මහා ඉහළ ජාත්‍යන්තර සම්මාන ලබාගැනීමට නොහැකිය. එය, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙන් දුර්ලභ දෙයකි. උසස් නිර්මාණයකට ඇවැසි සියලු සාධක කැටිවූ නිර්මාණයක් බිහිවිය යුතුවා පමණක් නොව, එය සියළු බාධක කඩඉම් පසු කරමින් උපරිමාන්තයට ළඟාවිය යුතුය. ‘අපට නාට්‍ය වලින් හොඳට ගෙවනව නම්, අපි ජනප්‍රිය නම්, මේ තියන ‘ට්‍රෙන්ඩ් එක’ අද සමාජය ඉල්ලන එකනම්, මහන්සිවී රඟපෑම ඉගෙනගන්නේ මොන කෙහෙම්මළකටද?’ කියා මේ පරපුර කියන්නට හොඳටම ඉඩ ඇත. නමුත්, ජගත් චමිලව නිමිත්තක් කරගෙන සිතන ලෙස මම ඉල්ලමි. කෙටි කාලයක් ක්‍ෂේත්‍රයේ කරනම් ගසා, තවත් ඉල්ලුම නැති තැන, තම ආත්ම ගෞරවයද පසෙකලා, වෙළඳ ලෝකයේ එදිනෙදා විකිනෙන්නෙකු/යැපෙන්නෙකු බවට පත්වෙනවාද? කිසියම් හරවත් නිර්මාණයකට එක වරක් හෝ දායකවී රංගධරයා යන ගරුනාමයට නියම සුදුස්සකු වනවාද? යන්න, මේ පරපුර එක් වරක්වත් සිතා බැලිය යුතුය.

පින්තූර ගත්තේ මේ තැන් වලිනි

http://www.imdb.com/name/nm1256745/bio

http://www.mirrorgirl.lk/latestnews/818-jagath-chamila-wins-best-actor-in-new-york

http://blog.dzone.lk/tag/nyciff/

http://www.nation.lk/edition/news-online/item/18697-jagath-chamila-wins-%E2%80%98best-actor%E2%80%99-for-%E2%80%98sam%E2%80%99.html

http://www.google.lk/search?

hl=en&biw=1536&bih=702&site=imghp&tbm=isch&q=lester+james+peiris,+punya+heendeniya,+gamini+fonseka&spell=1&sa=X&ei=l3bUUcD0C8-

GrAfntoGADw&ved=0CEwQBSgA

My Signature for Blog2013 ජූලි මස 04 වැනි දින 0100 පැය

Advertisements

Comments on: "රැවුළයි කොණ්ඩෙයි නැතුවම බැරිද? – Modern Acting Role in Sri Lanka" (64)

  1. විචාරක මහත්තයෝ ඕකනේ මමත් ටෙලිනාට්‍ය බලන්නැත්තෙ.ලංකාවේ කලා මාධ්‍යයක් විදිහට ඉතුරු වෙලා තියෙන්නේ වේදිකාව විතරයි.චිත්‍රපටි කර්මාන්තය ගැන කතා කරලා වැඩක් නෑ.නිකිණි වැස්ස බලලා ආපු අදහස් ටික ලියන්ඩවත් හිතෙන්නෑ.

    නළුවෝ ගත්තොත් මගෙනං අංක එකට ඉන්නේ මහේන්ද්‍ර පෙරේරා.අළුත් පරපුරේ රොශාන් රවීන්ද්‍රත් නියමයි.නිළියෝ ගැන කියනවනං ඉතිං දුලීකා මාරපන,චාන්දනී සෙනෙවිරත්න පට්ටයි

    • මහේන්ද්‍ර පෙරේරා තවමත් ජාත්‍යන්තර ඇගයීමකට ලක්වුනා මදි. රොෂාන් රවීන්ද්රව මිරිකලා හප කරලා ඔහුගේ රංගන කුසලතාව එලියට ගත්තොත් ලෝකෙම හොල්ලන්න පුළුවන්. දුලීකා මාරපන ආපහු හරියට රඟපාන්න පටන් ගත්තොත් හොඳයි. චාන්දනී සෙනෙවිරත්න සර්වකාලීන නිලියක්.

  2. රස වින්දනය මිනිස්සුන්ට උගන්නන්න අමාරුයි , මිනිස්සු කැමතියි බාල බොලද දේවලට , දෙකයි පණහේ නිලියන්ට නලුවන්ට , තුට්ටු දෙකේ චිත්තර පටි වලට , තිත්ත උනත් ඇත්ත ඒක තමයි , වැඩිය ඕන්නැ ඔයා දාන්න හෙට මේ වාගේ හරබර එකක් නැතුව අවරගනයේ වැඩකට නැති , කුණුහාරප , ලාමක ටිං ටීං පෝස්ට් එකක් , ඔයා මෙතෙක් ලියු සියල්ල පරදා ඒ ලිපිය උඩට එනවා අනිවා ,

    • උඹ ළඟ හිටියනම් බදාගන්නවා මම. අපි ටික ටික උත්සාහ කරමු සැලකියයුතු පිරිසක්වත් යථාර්ථය වෙත යොමුකරන්න.

  3. අන්න නළුවෝ…

  4. මෙහෙමයි විචාරක මහත්තයෝ. මේ සම්මානේ හමු නොවන්න. මේ නළුවත් ඔබතුමා කියන දෙකයි පනහේ කෑල්ලක් තමයි. ටෙලි නාට්‍යවල තත්වය පිරිහිලා කියලා කියන්නේ අපි නෙමෙයි ටෙලි නාට්‍ය හදන අයමයි. ඒක තව දුරටත් නිර්මාණාත්මක දෙයක් නොවෙයි, ඒක වෙළඳාමක්. නළුවෙකුට නිළියකට පිටපත වැඩක් නෑ. එයාගේ ගාන හම්බ වෙනවනම් ඕන කුණු ගොඩක රඟපානවා. ඕක ඔබට අපට් කුණු ගොඩක් උනාට. මේ රටේ හරක්ට, මාර නාට්ටියක්. ඉතින් කන්න බොන්න නැතත්. ටෙලි නාට්ටි බලලා පහන් හැඟීමෙන් නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේට ඔෆීස් වල කත කරනවා, බස් එකේ කෝච්චියේ කතා කරනවා. එයින්ම පේනවා මේ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම. ආන්ඩුව උනත් ඒකයි මේවට වාරණ දාන්නේ නැත්තේ. ඒත් අදටත් සුපිරි ගනයේ ටෙලි නාට්‍යත් විකාශනය වෙනවා. සුපිරි රංගනත් තියෙනවා. ඒක හොයාගන්න එක තමයිඅ අමාරු. රැවුල් කොන්ඩ වවා ගැනීම හමුදා විනය අනුව ඔබට ගෝචර නොවුනට. තරුණ අයගේ විලාසිතාවලට එරෙහි වන එක නම් මම අනුමත කරන්නේ නෑ. පාසල් කාළයෙන් පසු එළඹෙන නිදහස් සමයෙදී, ඒ දේවල් සඳහාවත් නිදහසක් නැත්නම්, මොකක්ද තාරුණ්‍යයෙන් ඇති වැඩේ.

    • රැවුල් කොන්ඩ විලාසිතා නැත්නම් මේ ලෝකය හරිම වියලි බවක් ගනියි. මම ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. හමුදාවේ ඉන්නවා රැවුල් තියන අය ඕනෑතරම්. මූණ පුරා වවන අයත් ඉන්නවා විශේෂ බලකාය වැනි අංශ වල. පෞද්ගලික නාලිකාවල තියන වනචර ටෙලිනාට්‍ය සම්ප්‍රදාය බිඳින්නට කළහැකි හොඳම දේ වන්නේ ආණ්ඩුවේ නාලිකා, වන්දිභට්ටකම්, ආවැඩීම් නවත්වා, ලාබ ගැන නොසිතා ජනතාවගේ බදු මුදල් යොදවා හොඳ නිර්මාණ ප්‍රචලිත කිරීමයි.

      • ආණ්ඩුව කවදාවත් ඒවගේ දෙයක් නං කරන්නෑ විචාරක මහත්තයෝ.මීනිස්සු මැති වෙන තරමට පාලනය කරන්ඩ ලේසියි.ටක් ගාලා ගොනාට අඳිනවා.ඊට පස්සේ රජගෙදර ඇත්තන්ට තියෙන්නේ කෙවිටක් අරගෙන වෘෂණ කෝසෙට් ඇන ඇන උන්ට ඕනෙ පැත්තකට දක්ක ගන්ඩ.

  5. විචාරක මහත්තයෝ මේ ගැන පොතක් ලියන්න පුළුවන් හැබෑට. මම නම් දැන් ලංකාවෙ ටෙලිනාට්‍ය බලන්නෙ නෑ. ඒවා බලන්න කාලෙ කනවට වඩා හොඳයි ඒ වෙලාවෙ හොඳ කෙටි නින්දක් දාන එක. මෙලෝ රහක් නෑ. ඒවා ගැන විචාරය කරන එක වත් තේරුමක් නෑ. මගේ වයස තාම විසි ගණනක් වුනත් (අග හරියෙ! ) අපි පොඩි කාලෙ බලපු ගිරය, ගම්පෙරළිය වගේ කතා වල තිබුණු රහ තාමත් නහර වල දුවනවා. ඒ කාලෙ හැටියට සරලයි බොළඳයි කියපු “ලා හිරු දහසක්” “ඉරට මුවාවෙන්” වගේ නිර්මාණවල උනත් පුදුමාකාර රසයක් තිබුණා. ඉස්සර ඔය ඉන්දියන් වැල් කතා ආපු කාලේ ඒවා බැලුවෙ එක කොටසක් හිටියා. මට හොඳට මතකයි අපේ ගෙවල් ළඟ හිටියා සුමනදාස මහප්පා කියලා හඳුන්වපු කෙනෙක්. ගල් මෝලෙ වැඩ කරලා කසිප්පු වඩියක් එහෙම ගහගෙන හිටපු කෙනෙක්. දවසක් එයා අපේ අම්මට කියනවා ” ප්‍රවීනා කියන්නේ සුදු හාමිනේ අපේ ජීවිත කතාව අම්මපා! ” කියලා. එතකොට මම හතේ අටේ වෙන්නැති. මට අපොඉ කියලා හිතුනා. ඒත් දැන් ළමයින්ට වෙනස දකින්න හොඳ නිර්මාණ නෑනෙ.

    • අදත් අපි අතර ඉන්නවා එදා අපදුටු නිර්මාණ හා සමාන හෝ සමහරවිට ඊටත් වඩා උසස් නිර්මාණ කළහැකි අය. නමුත් මේ ක්‍ෂේත්‍රය පාලනය කරන්නේ චැනල් අයිතිකාරයෝ, වෙළඳ ව්‍යාපාරිකයෝ, ඉතින් උන්ට ඕනෑ හැටියල තමයි නළුනිළි රූකඩ නැටවෙන්නේ.

  6. මම ජගත් චමිලගෙ හොඳම ටෙලිනාට්‍ය රංගනය දැක්කෙ ‘ස්වයං ජාත‘ ටෙලිනාට්‍යයේ. ඒ වන විටත් මම ටීවී එක බැලීම නතර කරල තිබුනත් අහම්බෙන් ඒ කතාව දැක්ක දවසෙ ඉඳල ඒක බැලුවා. ඒ කතාවෙත් ඔහුගෙ බාහිර ස්වරූපය හුඟක් වෙනස් කරල රඟපෑවෙ. නව පරපුරේ තවත් දක්‍ෂතා තියෙන නළුවෙක් රොෂාන් රවීන්ද්‍ර. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුන්ගෙ දක්‍ෂකම් මතුකරගන්න පුළුවන් අධ්‍යක්‍ෂවරු හිඟවීම. මොකද අද ඉන්න හුඟක් අය කල්පනා කරන්නෙ ප්‍රශස්ති නිර්මාණ කරන්න මිස හොඳ නිර්මාණයක් කරන්න නෙවි. අපේ රට ඇතුලෙ නම් ඒ ප්‍රශස්තිවලට තැනක් ලැබෙනව, ඒත් යුගය අවසානයේ නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

    • අර ජරාගොඩවල් හදන ‘අධි යක්ෂයින්’ව අපි කෙලින්ම ප්‍රතික්ෂේප කලොත්, උන් චුතවෙලා යනවා. හොඳ නිර්මාපකයෝ ඉතුරුවෙනවා.

    • Ow Swayanjaatha Drama eke Jagath Chamila godak hodata ee charithe kela. mamath meetha kaale tele drama ekakata aasawen beluwe eka.

      • රොශාන් රවීන්ද්‍රත් හොඳ නළුවෙක් තමයි.. වේදිකාවේ ඉන්න නළුවෝ තාමත් හොඳයි.. ටෙලි වල ඉන්නෙ නිකම්ම හාල් කෑලිනෙ.. ටීවී එකක් බලපු කාලයක් මතක නෑ..

        • මමත් ටී වී බැලීම සීමා කරලා තියෙන්නේ. අප්පේ ඇති යන්තම් කමෙන්ට් එකක් දැක්කා. ඉක්මනට අපට අලුත් ලිපියක් දෙන්න.

  7. අද කාලේ ලංකාවේ සිනමාවේ අරුත්බර චිත්‍රපට බිහිවන්නේ ගොඩක් අඩුවෙන් අනේ මන්දා මුන්ට මොනවා වෙලාද කියල

  8. ඔබ තුමාට කියන්න අපේ විෂය නිර්දේශයට අයත් පොත පතක්වත් එක දිගට කියවන්න බැරි රටේ මොන සම්බහිය ද? අපේ ශිෂ්‍යයෝ අහන්නෙ “සර් ඕනම ටික මාර්ක් කර ගන්න ක්‍රමය්ක් කියනව ද” කියලා. “එතකොට අර පොත් ලිව්වෙ මොන බූරුව ද ඕනෙ නැති ඒවත් එක්ක” මම එහෙම අහන නිසා මගෙන් නම් දැන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. ළමයි මොට්ට වෙලා, මට තේරෙන් නැහැ මේවා කොහොම හදන්න ද කියලා.

    ඔබට කියන්න මම මගේ දුවට කියවීම හුරු කළේ ටිකක් වෙනස් විදියකට. ඇය කුඩා කාලෙම මගේ පොත්වල ඇයගේ නම් ලිව්වා. ලොකු වෙනකොට ඒයාට පෙන්නුව මේ මම ඔයා කුඩා කාලේම ඔයාට ගත්තු පොත් කියලා. ළමයට හරි සතුටුයි. දැන් ඒව මටත් ඉල්ල ගන්න අමාරු තත්ත්වයක් තියන්නෙ.

    • ක්ෂණික ලෝකේ ඔක්කොම ක්ෂනිකයි. ජීවිතෙත් ක්ෂනිකයි.ළමයෙකුට කියවීම පුරුදු කරවීම නැවත ජීවිතයක් දුන්නා හා සමානයි.

  9. ක්සැන්ඩර් said:

    ජගත් චමිල සම්මානේ ගත්තු වෙලේ අපේ එවුන් කිව්ව කතා ටික දැක්කම මට හිතුනේ ලංකාවේ කොච්චර කුහක මෝඩයෝ ඉන්නවද කියල. එකෙක් මොකක් හරි ගත්තනං ඒ එකා ලංකාවේ නං මට ඒ ආඩම්බරයක්. මේවා දැක්කම මට මතක්වුනේ ඒ කුහක රැළ. උන්ට මේවා කියවන්න දෙන්න ඕනේ.

  10. නෙළුම් said:

    මේ කාලේ හොද නිර්මාණ වලට ප්‍රේක්ෂකයෝ අඩුයි! මට නම් වේදිකා නාට්‍ය බහුතරයක් හැර, සින්දුවක් වත් මතකේ හිටින්න හිතට වැදුනේ නැහැ මේ ලගකදී! හොද නිර්මාණ අතලොස්සයි කෙරෙන්නේ….

    ඒ වගේම මේ කලේ ඉන්න නළු නිළියෝ, බාහිර පෙනුමට තමයි වැඩිම වටිනාකමක්, සැළකිල්ලක් දෙන්නේ,රගපෑම හෝ නිර්මාණ දායකත්වයට වඩා!ගොඩක් අයට හැකියාවක් නැහැ පෙනුම විතරයි, මොළේ නෑ හැබැයි කට තියෙනවා! ඉතින් කටින් ගහලා පෙනුමට ඉදලා මේලෝ රහක් නැති දේකට සම්මාදම් වෙලා කලාව කනවා!

    හැබැයි මේකට මේ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ තමයි වැඩියෙන්ම වග කියන්න ඕනේ! මොකද හොද බුද්ධිමත් නිර්මාණ කෙසේ වෙතත්, ළද බොළද මැටි නාට්‍ය, චිත්‍රපටි වලට හොද ඉල්ලුමක් සපයන නිසා! ඉතින් නිෂ්පාදකයින්, නිර්මාණකරුවන් වැඩි වැඩියෙන් බොළද ප්‍රේක්ෂකයෝ සතුටු කරන්න දගලනවා! ඒකෙන් වෙන්නේ සියලුම ප්‍රේක්ෂකයන්ගේ විචාර ශක්තිය මොට වෙලා,බොළද වෙලා යන එකයි!

    කෙසේ වෙතත් තාමත් හොද නිර්මාණ හොයන ප්‍රේක්ෂකයන් ඉන්න නිසා, ඉදලා හිටලා වත්, මේ විදියට හොද නිර්මාණයක් බිහි වෙන එක, කොච්චර නම් වටිනවද!

    • බඩගින්නට වේලිච්ච පාන් රොඩු කනවා වගේ, ටෙලිවිෂනයක් ගෙදර තියන නිසා, හැන්දෑවට ගෙදර ලයිට් එකක් දානවා වගේ, ටෙලිවිෂනයත් දානවා. බත්කන්නේ ඕක දිහා බලාගෙන. එතකොට ඕනෙ ජරාවක් කන්න පුළුවන්. අර ‘ගංජා සුරුට්ටු’ කතා බලලා ඔලුව අවුල් කරගෙන, උන්ගේ ප්‍රශ්න අපේ ඔලුවට අරගෙන නින්දට යනවා. අපේ ප්‍රශ්න එතනමයි. මමත් කියන්නේ ප්‍රේක්ෂකයාගේ විඥාණය දියුණුවූදාට තමයි හරියන්නේ. නමුත් ඒ සඳහා ප්‍රේක්ෂකයාට බලපෑම් කලයුතුයි. නැත්නම් කෙට එළදෙන පස්සේ ගියා වගේ ඔහේ යනවා.

      • නෙළුම් said:

        එකගයි! මට හිතෙන්නේ ‘රුපවාහිණිය’ ඇබ්බැහිවීමේ භීතිකාවක් උනේ 2000 අවුරුද්දේ වගේ ඉදලයි! මේ වෙනකොට පිළිකාවක් වගේ පැතිරිලා ගිහිල්ලා!

        මිනිස්සුන්ව මානසික රෝගීන් කරන, මෙගා නාට්‍ය, ඉවරයක් නැති ස්ටාර්ස් තේරීම් වගේ, නිස්සාර දේවල් නිසා මිනිස්සු රුපවහිණිය ඉදිරියේ ‘සොම්බි’ (zombi) වෙලා!

        මේ ගැති වීමට විසදුමක් ලෙස, රෑට රුපවහිණිය බලන්න එපා කිවුවොත් එහෙම, මිනිස්සු ආණ්ඩුවත් පෙරලයි, නොකා නොබී ඉදල හරි! 🙂

        • ඔව් එකයි මම කිව්වේ මේවා ‘ගංජා සුරුට්ටු’ නිර්මාණ සහ ‘ගංජා ගහන’ රසිකත්වය කියලා. මේ තත්වය තියෙන්නේ මේ අග්නිදිග ආසියාතික කලාපයේ විතරයි කියලයි මටනම් පෙනෙන්නේ. දැන් මෙය රාජ්‍ය පාලන උපක්‍රමයක් ලෙස පවත්වාගෙන යනවා කියලත් මට හිතෙනවා. ඒ නිසයි මිනිස්සු හා ජරාව දිහා බලාගෙන ඉඳලා ප්‍රවෘත්ති පටන් ගන්නකොට රුපවාහිනිය වහන්නේ. මේ මහා ව්‍යසනයේ බරපතලකම තේරෙන අපි අපිම තමයි එය නැවත්වීමට ක්‍රියා කලයුත්තේ.

  11. දැන් ටෙලිවිසොනය බලන්නේ නැති නිසා අලුත් උන් කව්ද කියලා නම් දන්නේ නෑ. එත්, මහේන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න අන්න නළුවෝ. ඒ මිනිස්සුන්ට පුළුවන් අපේ හිත ගන්න යමක් කරන්න. දැන් නිලියෙක් ගත්තොත් හම්බ කරගන්නේ දීලා (මම කියන්නේ දැන් ඉන්න අලුත් අය). උන් රග පාලා කරගන්නේ ඇඟට සුපිරි මිලක් නියම කරගෙන සුපිරි ගණිකාවන් වෙන එක විතරයි. හපොයි මගේ තුට්ටු දෙක 😉 ,,,

    • මුන් හැඳිගෑවිලා මකබෑවිලා යන එක වෙනම දෙයක්. ජීවිතයේ පරමාදර්ශී බව මේකයි කියා බාල තරුණ පරපුරත් තමන්ගේ නරා වලටම ඇද දැමීම තමයි ඉවසන්න අමාරු. මොකක් හරි තේරුමක් ඇති දෙයක් කරන්න පුලුව එකා දෙන්නා හෝ ඒ වලෙන් ගොඩට ගන්න පුලුවන්නම් ලොකු පිනක්.

      • මිනිස්සුන්ගේ රස විඳීමේ හැකියාව, සංයමය, සංවේදීතාවය දැන් ගිලිහිලා ගිහින්. රස් විඳීමේ හැකියාව වැඩි වෙන්න නම් ඉක්මන් ආකල්පමය වෙනසක් මිනිසුන් තුල ඇති කිරීම අනිවාර්යයි. එත් දැන් පරක්කු වැඩිද මන්දා.

        • පරක්කු වැඩි නෑ දිලීප. එකම දේ රාජ්‍ය අංශය ප්‍රේක්ෂක මනස නිසි මගට ගතයුතුයි. ‘සඟිස්කුරුත’ ඇමතියා කියන එකා ඇත්තටම කලාව තේරෙන එකෙක් විය යුතුයි. රාජ්‍ය අංශයන් චිත්‍රපටි, රුපවාහිනී, වේදිකා නාට්‍ය ඇතුළු ප්‍රසාංගික කලාවන් සඳහා වියදම් කලයුත්තේ ලාබ ලබන අරමුණෙන්ම නොවියයුතු බවත්, මිනිසාගේ හැදියාව වර්ධනය කිරීමෙන්, පවුල් සබඳතා, මිනිස් ගතිගුණ යහපත් කළහැකි බවත්, ජීවිතය දෙස යතාර්තවාදීව බලන මිනිසුන් රටේ ප්‍රශ්න දෙසද එලෙසම බලන්න හුරුවීමෙන් ප්‍රශ්න අඩුවන බවත්, ඔය නායක කාරකාදීන් කොයි එකාත් අවබෝධ කරගත යුතුයි. දැන් ඔක්කොම කරන්නේ ව්‍යාපාරික මනසින් නේ. ඉතින් කොහෙද කලාව පිහිටන්නේ. කලාව හරියන්නේ.

    • අද නිළියෝ නෙමෙයි එදා නිලියොත් කලේ ඒකමයි. ඇත්තටම නිළියක් කියන්නේ. ඉහල පෙලේ අම්බපාලියන් තමයි. ඇත්ත කතාව ඒකයි. නමුත් මම ඒක හෙලා දකින්නේ නෑ. ඒක තවත් රැකියාවක් පමණයි මට. මම මේක මතු කළේ අද නිළියන්ට මේ කොමෙන්ට් එකෙන් අසාධාරණයක් වන නිසයි.

      • අද නිලියන්ටවත්, එදා නිලියන්ටවත්, පෞද්ගලිකව අපහාස කිරීම අමනොඥ ක්‍රියාවක්. ඒ අයගේ පෞද්ගලික ජීවිත ඒ අයම ගෙනගියාවේ. එක ඇත්තක් තියනවා. එදා අද තරම් මාධ්‍යය දියුණුවී ජනතාව අතරට ගිහින් නොතිබුන නිසා එදා බොහෝ අයගේ ‘ඊනියා පෞද්ගලිකත්වය’ හොඳින් රැකුණා. මම දන්නා පැරණි නිලියන් දෙන්නෙක් ඉන්නවා. මගේ ඇස්දෙකෙන්ම දැකලා තියනවා ඒ අයගේ අවල කෙලි. එයින් මටවත් කාටවත් වැඩක් නැහැ. හැබැයි ඒ දෙන්නාගේ රඟපෑම් අද දක්වාම සම්මානයට පාත්‍රවී තිබෙනවා. අදටත් ප්‍රේක්ෂක ජනතාව ඔවුන්ට ගෞරව කරනවා. මම කියන්නේ අද ඉන්න බහුතරය සම්මානයට පාත්‍ර වෙන්නෙත් නැහැ. චරිතය රැක ගන්නෙත් නැහැ. ඒ නිසා අපහාස නොකර උපහාසයෙන් ඔවුන්ට යම් රිදවීමක් කලයුතුයි ටිකක් හිතලා බලන්න හිතෙන විදිහට.

    • IF YOU HAVE TIME WATCH AMUTHU MINISSU AND A/LEVEL IWARAI.WATCH THEM FROM EPISODE ONE.GANGU ROSHANA IN AMUTHU MINISSU,IS DOING A GOOD JOB THERE WIYH ROSHAN RAVINDRA.WE SHOULD HAVE ACTORS LIKE DHARMAPRIYA DIAS.ON TELEDRAMAS.

  12. මේ ජාතියේ ලිවිල්ලක් මම විචාරක මහතාගෙන් කියෙව්වමයි.

    ඔබ සහ තවත් සමහරුන් කියලා තියනවා වගේම අද ටෙලිනාට්‍ය, චිත්‍රපටි බිස්නස් එකක් මිස කලාවක් නෑ. ඉතින් අපි කොහොමද බිස්නස් කාරයන්ගෙන් නළු නිලියො බලාපොරොත්තු වෙන්නෙ. කෘති හදන උන්ගෙත්, ඒවයෙ රඟපාන බහුතරයකගෙත් එකම අරමුණ අදාල එපිසෝඩ් එකේ තමන්ට නියමිත කොටස රඟපා අදාල මුදල ලබා ගැනීම විතරයි. ඒවා වැඩිවැඩියෙන් කරගත්තු තරමට තමා හොද්ද බොර වෙන්නෙ.

    ඔවුනුත් මේ පවතින විකෘත්ති සමාජරටාවෙම කොටස් කාරයො හින්දා අපිට මුකුත් කියන්නත් බෑ.. ක්‍රිකටර්ස්ලාට අයි.පී.එල්. ගිහින් සල්ලි හම්බ කරන්න තියන අයිතියම නළු නිළියන්ට තමන්ගෙ හැකියාව හැකි විදිහට අලෙවි කොට මුදල කරගැනීමේ අයිතිය තියනවා. ඒකට විරුද්ද වෙන්න අපි කවුද ? අනිත් පැත්තෙන් ඔවුනුත් ජීවත් වෙන්න එපැයි. යහමින් සල්ලි තියන හෝ ජීවත්වීමට සරිලන වෙන ආදායමක් ඇති පිරිසට විතරක් තම ප්‍රතිපත්ති රැකගෙන ඉන්න පුළුවන්. අනිත් අය ඉතින් රැල්ලෙ ගහගෙන යනවා ඇර විකල්පයක් නෑ. කොන්ඩෙ රැවුල එකම විදිහකට පවත්වා ගැනෙමේ අවශ්‍යයතාවයත් එතකොට තමා මතු වෙන්නෙ.

    බලාගෙන ඉමු වෙන කරන්න දෙයක්නෑ..මේ කජ්ජෙ පුහුලන් එන කලයයි..

    • මම මේ ජාතියේ ලිපි වලට නොයන්නේ කෙටියෙන් ලියන්න අමාරු නිසාත්, නොකියවයිදෝ කියන සැකය නිසාත්, යන හේතු දෙක නිසයි. නැත්නම් මෙවැනි මාතෘකා ගණනාවක් හිතේ තියනවා.

      ඔබ කියනවා වගේ අර සට්ටඹි කළා ව්‍යාපාරිකයා වගේ එවුන් එනකොට ආවේ තුත්තිරි ගස් අල්ලාගෙන. අද යන්න හදන්නේ කළුවර, බුරුත, ගස් පෙරලගෙන. හැබැයි මේ බිස්නස් එක කඩලා කලාව වෙන්කරගන්න පුළුවන්. හැම දෙයක්ම සල්ලි වලින් මනින්නේ නැති පිරිසක් රට පාලනය කලොත්. එහෙම යුගයක් තිබුනා 1970 – 77 කාලේදී. ඒ කාලේ හොඳ නිර්මාන බිහිවුණා. නිදහස් චින්තනයට ඉඩ ලැබුනා. අපිම තමයි එය නැවත උදාකරගත් යුත්තේ.කලාකාරයා (දැන් ඉන්න සමහර ලලු ලිලියෝ නෙවෙයි) කියන්නේ පොදු වස්තුවක්. ඔහුට සිදුවෙනවා කලාව වෙනුවෙන් තමන්ගේ පෞද්ගලිකත්වය කැප කරන්න. ඒ අය විතරයි කලාකාරයෝ වෙන්නේ. ඔවුන් ඒ මානසිකත්වයට එන්න නම් ඔවුන් හොඳ අධ්‍යාපනයක් මෙනම් ක්ෂේත්‍රය පිලිබඳ ඉතා පුළුල් අවබෝධයකින්ද යුත්, මූල්‍යමය අරමුණු වලින් බැහැර වූ අය විය යුතුයි.

  13. විචාරක තුමාගෙන් බලාපොරත්තු නොවුන කාලීනව ඉතාමත් හොද ලිපියක්.
    ප්‍රේක්ෂකයාව මේ තත්වෙට ගේන්න මුල් වුනේ යසපාලිත,මු.අරුක්ගොඩ,සුනිල් S.පිරිස් සහ තවත් අය.මෙයාල දවස් 10න් අඩු වියදමින් රූපගත කිරීම් කරල දින 100ය දුවල වැඩි ආදායම් ලබන්න කෙරුවෙ හින්දි/දෙමල ෆිල්ම් කැසට් නළු නිලි යන්ට පෙන්නල ඒව ඒ විදියටම කෙරෙව්ව සිංහල වචන දම්මල.
    සිනාමාවේ සක්විතිට හොදම අවස්ථා තිබුන සිනමාව වෙනුවෙන් හොද යමක් කරන්න,තිබුන දේශපාලන සබද කම් එක්ක.එයා එයාගෙ හෝටල්/ගාමන්ට් වල බැංකු ණය වලට ඒ සබද කම් යොදා ගත්ත.
    පාපැදියක් වත් පදින්න බැරුව සිනමාවට ආපු කෙනෙක් තිස්ස A.ගෙ උත්සාහයෙන් නමක් ගත්ත,පසුව රටේ නායිකාවගේ බෝයිය වෙලා තමන්ගෙ මඩිය තර කරගත්ත මදිවට,තමාට විරුද්ධ අයගෙන් පළිගත්ත.
    හෙළයේ අම්මලගේ රැජිනල මන්ත්‍රීල වෙලා සහ බ්ලේඩ් තල බොනී,ජැකී ඇතුලු ඝට්ටම්බි නලාකාරයෝ උපදේශකල වෙලා 555 ජාතකය හිංදි කරල තමන්ගෙ බඩ ගෝස්තරය රැක ගන්නව.

    • බොහොම ස්තුතියි මේ අදහස් වලට. ඉතා සංක්ෂිප්තව ඔබ විශාල පැතිකඩක් පෙන්වලා තියනවා. තමන්ගේ මඩිය තර කරගත්තු/කරගන්න ‘දේශපාලු කලාකාර’ සට්ටඹි රැළ, ‘රටට හෙණ ගැහුවත් මට මොකද වෙන දෙයක් වෙච්චදෙන්’ කියලා ඉන්න හැටි දැක්කම, බෙල්ලේ ගල් බැඳලා මූදට තල්ලු කරන්න හිතෙනවා.

  14. කාලින ලිපියක් බොහෝ පැතිකඩ දෙස නෙත් යොමා ලියා තිබෙනවා. අර රණමයුර සම්මානය ද කියලම මතයේ නැ නිවැරැදිව ඒත් මට මතක අපේ රටට පළමු ජාත්‍යන්තර සම්මානය ගේන්නේ සුගතපාල සෙනරත් යාපා මහතා මිනිසා සහ කපුටා කියන කෙටි චිත්‍රපටයට.
    ඒ වගේම තමා ඔය නළු නිළි ගොල්ල දේශපාලනේට එන්නේ සිනමාව හදන්න නම් නොවේ. නං වශයෙන් කියන්න ඕන නෑනේ දෙපැත්තටම එල්ලියා ඉන්නවනේ කට්ටිය.

    • ස්තුතියි නලීන්. රණ මයුර සම්මානය තමයි පළමුවැනි එක. ඒ සම්මානය කවුදෝ පසු කාලයකදී හොරකම් කරලා. (උණු කරන්න විකුනන්න ඇති)

      දේශපාලනේ තදින් බදාගත්ත එකම එක කලාකාරයෙකුටවත් මේ රටේ හරිගියේ නෑ. හරියන්නෙත් නෑ.

  15. Damma Jagoda wage widwathun akalaye nethi wela giya. e minissungen bihiwenna thibba kala nirmana aawe ne eliyata, mokada meka maha awasanawantha minissu kottasayak inna ratak. hoda de kawadawath hoda deyak widiyata dakinna akamethi minissu inna ratakata kawadawath rasngnathawayak ethi keranna be. api paw eththatama.

    • තවමත් අපි අතර ධම්ම ජාගොඩලා, හෙන්රි ජයසේනලා, ඉන්නවා. කරුමේ කියන්නේ ඒ මිනිස්සුන්ට අතදෙන්න බල්ලෙක්වත් නැහැ. අර ‘කෑලි බාස්ලාව’ ඉඹලා පිළිගන්න පෝලිමේ ඉන්නවා අමන නරිනාටක කාරයෝ.

  16. අධ්‍යක්ෂවරයෙක් කියන්නෙ අමුතු ජාතියෙ නිර්මාණ ශිල්පියෙක්. ඒ මනුස්සයාට හෝ ඒ ආශ්‍රිතව වැඩ රාජකාරි කරන අයට තෝරාගන්නා නළුවා හෝ නිළිය ඒ තමුන්ගේ කතාවේ චරිතය හා සමාන විය යුතුයි.
    උදාහරණ ලෙස මට අඹයහලුවෝ කියවන විට ඒ කථාවේ චරිතම ටෙලියේ ඉන්නවා කියල හිතුනා. ඉතිං දැන් තියෙන්නෙ නළු නිලියෝ ඕල්රෙඩි සිලෙක්ට් වෙලා ඉවරයි. ඉන් පස්සෙ තමයි නාට්ටිය ලියන්නෙ.

    මෙතනදි කියවුන් නැති දෙයකුත් කියන්න කැමතියි. සාමාන්‍යෙයන් ලංකාවෙ නිෂ්පාදනයට පෙළඹෙන අය තුල තියන්න ඕනි කලා කෘතියක් කියන්නෙ කෘතිමව හදන්න බැරි දෙයක් කියන අදහස.
    අද නිෂ්පාදකවරු කියන්නෙ පිටපත් කියවලා හෝ අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිභාව අඳුනාගත් අය නෙමෙයි. කුමක් හෝ කරන්නට කීයක් හරි දී එහි රඟපාන නලු නිලියන් පවා තීරණය කරන කෙනෙක්..

    කලාවට සිදුකරන ආයෝජනය සම්බන්ධයෙන් ලංකාව ෆේල්..අපේ මිනිස්සු ඔක්කොම කරලා ඉවරවෙලා කීයක් හරි හිඟන්නන්ට දෙනවා වගේ තමයි කලාව කියන දේට යන්නෙ. උදාහරණයකින් කිව්වොත් මිලියන ගනනක් වටින කාර් නෙලුම් පොකුණ ඉස්සරහින් සිය දාස් ගානක් එහෙට මෙහෙට ගියත් රුපියල් දාහක ටිකට් එකකට නෙලුම් පොකුනෙ තියන අලුත් පරපුරේ නම නොගිය සම්මානනීය නාට්‍ය කරුවකුගේ නාට්‍යක් බලන්න සෙනග නැහැ.

  17. ටෙලිනට්ය සහ චිත්‍රපටි දෑන් අර අරක්කු විකුනන බිස්නස් වගෙම එකක්.මොන බන කිවුවත් හොද ප්‍රොෆිට් බිස්නස් එකක්. නලු නිලියො ගෑන කතකරනවනම් එයල ජිවත් වෙන්න ජොබ් එක කරන.එහෙම නෑතිව කලාව කරනව නෙමෙයි.ටෙලිනට්ය වලින් මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනව.කාවුද එක ගෑන කත කරන්නෙ.මම අන්තිමට බලපු මෙගා එක මලී.එකෙ අන්තිමෙදි පොඩි ලමයෙක් මලීගෙන් අරගෙන ශ්‍රිමහා බොදියට ගෙනියනව.එතෙන්දි ලමය අතට ගන්නකොට තට්ටෙ තියෙන්නෙ.ශ්‍රිමහා බොදිය ගවට යනකොට කොන්ඩෙ තියෙන ලමයෙක් ඉන්නෙ.මට හිතුන මුන් අපිගන හිතගෙන ඉන්නෙ මොනතරම් බුරුවො කියලඩ කියල.

    • මම එකයි කිව්වේ දැන් ඉන්නේ නළු නිලියන් නෙවෙයි කෑලි ගානට වැඩ කරන බාස්ලා කියලා.

    • ඔය වගේ මිස්ටෙක්නම් ජාත්‍යන්තර ෆිල්ම් වලත් හරියට තියනවා.. මම ලඟදි බැලුවා “ලොලිටා”, ඒකෙ වෙඩි තියලා මරනකොට මූනෙ නොතිබුන ලේ, මිනී මරුවා කාර් එක පදවගෙන යනකොට තියනවා.. ටයිටැනික් එකේ ඔය ජාතියෙ දෝශ ලිස්ට් එකක්ම තියනවා.. රෝස්ගෙන් කම්මුල්පාරක් කන එක නාවිකයෙක් කටේ ලේ ගා ගන්න එක බොහොම පැහැදිලිව පේනවා.. ඉතින් කොත්තු දානවා වගේ ටෙලි කඩමලු හදන අපේ අයියලා ගැන කුමන කතාද ?

      • හැබැයි සෙන්නා, අර ‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා’ ගානට, කටත් ඇරගෙන, ඕවා දිහා බලා ඉන්න යට තේරෙන්නේ නැහැ, නිලියක් කැමරාව ඉදිරිපිටම ඇඳුම් මාරුකරත් 😀

  18. කලාව මීට වඩා හොඳ වෙයි මිනිස්සු මීට වඩා හොඳ දේවල් ඉල්ලුවොත්. ආන්ඩුවකට තබා කාටවත් බලෙන් හොඳ දේ දෙන්න බෑ. ආන්ඩුවක් කල යුත්තේ රටේ අධ්‍යාපනයේ ගුනාත්මක භාවය වැඩි කිරීම.
    මම හිතන්නේ ඉදිරියට ලංකාවේ කලාකරුවන්ටත් මීට වඩා හොඳ නිශ්පාදන කරන්න වෙයි. නැත්නම් ඔවුන් නැති වෙලා යාවි. මොකද ( කුනු ගොඩවල් වලට ඇති අප්‍රියාව නිසාම ) ලංකාවේ ටෙලි නාට්‍ය හා නාලිකා නොබලන පිරිස එන්න එන්න වැඩි වන නිසා.

    • ඇත්ත. හැමදේම ආණ්ඩුව කරන්න ඕනේ කියන එක තේරුමක් නැහැ. හැබැයි ආණ්ඩුව කලයුතු එක දෙයක් තියනවා. ගුණාත්මක නිර්මාණ කරන අයට දේශපාලන භේදයකින් තොරව රාජ්‍ය මාධ්‍යවල දොර ඇර තැබීම. ජරාව එපා කියන මානසිකත්වය තියන පිරිස වැඩිකරගන්නට අපි සංවිධානය වුනොත් ජරා කාක්කෝ නිකම්ම චුත වෙනවා.

  19. වැදගත්ම ලිපියක් විචාරක මහත්තයෝ…( මම මේ කෙටි කමෙන්ට් එක දාන්නේ මාත් මේ ගැන අකුරු 60,000 විතර එකක් ලියපු නිසා ..මගේ නම උඩින් ක්ලික් කරාම එතනට ලින්ක් වෙන්නේ..)

    මෙවැනි ලිපි ඉඩක් ඇති විටක ලියන්න..ඕනේ තරම් බලන්න පිරිස් ඉන්නවා …

  20. ඇත්තම කිව්වොත් කියෙව්වේ නැහැ.. 😀

    ඒත් ඉතිං මේ ටිකේම ජගත් චමිල ගැන කතාව යන හින්දා මටනං කියන්න තියෙන්නේ ඔය ෆිල්ම් එක බලලාම කතා කරන එක හොඳයි කියන එක තමයි… මොකද මට ඔය කියන සම්මාන උලෙල ගැන ඒ හැටි අවබෝධයකුත් නැහැ… මෙයිට කලින් ඔය වගේ ජ්‍යාත්‍යන්තර සම්මාන අරගෙන ඇවිත් ලංකාවේ පෙන්නුව චිත්‍රපටිවලදී දැකපු අමුතු දේකුත් නැහැ…

    මේ ටික කිව්වම අපේ උදවියට තද වෙලා නෙලන්න පටන් ගන්න බව දන්නවා උනත් මට හිතෙන දේ එපෑ කියන්න…

    ඒ හින්දා බලලම කියන්නං… වේශ නිරූපනයෙන් පේන දෙයින් විතරක් හැම එකම කියන්න අමාරුයි නෙව…

    මෙච්චර කාලයක් බලපු ඒවායින්නං මෑත කාලින නළුවන්ගෙන් මං නළුවෙක් කියලා දැක්ක හොඳම එකා තමා සෞම්‍ය ලියනගේ… නිළියනං ඉතිං කවදත් චාන්දනී සෙනෙවිරත්න තමයි… චාන්දනීට සටනක් දෙන්න පුළුවන් එකම කෙනා යසෝධා විතරයි…

    • මමත් චිත්‍රපටියනම් බැලුවේ නැහැ මාරයෝ. අර අහවලාගේ ක්‍රමයට පෝලිම කඩාගෙන ඇවිත් හරි පෙන්නුවොත් බලන්න හිතාගෙන ඉන්නවා.

      මමත් එකඟයි. සමහර ‘ජාත්‍යන්තර කීර්තියට පත්’ කියන චිත්‍රපටිවල ඇති *කක් නැහැ.

      අපේ නව පරපුරේ ඉන්නවා දියමන්ති මුතු මැණික් වගේ වටිනා නළු නිලියෝ. අපිට ප්‍රේක්ෂකයන් හැටියට යුතුකමක්/අයිතියක් තියනවා මේ දරුවන්ට, ‘මෙන්න පාර, ඕනෙනම් පලයල්ලා, නැත්නම් මකබෑවියල්ලා’ කියන්න.

      • රොෂාන් රවින්ද්‍රත් හොඳ හැකියාවක් තියන කොල්ලෙක්.. තව එකෙක් ඉන්නවා මම උගෙ නම දන්නෑ.. අර ඇස් දන් දෙන ඇඩ් එකේ ඉන්නෙ..( http://www.youtube.com/watch?v=75HjFi4_r10 ) ඇයි බිමල් ජයකොඩි.. ඌත් මරු.. උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් නිර්මාණකාරයො නැති එකයි ඛේදවාචකය. උන්ට ඉතින් රැල්ලෙ ගහගෙන යනවා ඇර විකල්පයක් නෑ..

        • මටත් ඒ නළුවාගේ නම අමතකයි. ඔහුගේ පෙනුම බටහිර චිත්‍රපටියකට වුනත් ඔබිනවා. රංගන හැකියාවත් ඉහලයි. බිමල් ජයකොඩිට හමුදා නිල ඇඳුම් අන්දලා නිකම් නපුංසක හමුදා නිලධාරියෙක් කෙරුවා අර අති පණ්ඩිත නාවිකයා.

      • අර දිනුක උඩිංම කියල තියෙනව වගේ මහේන්ද්‍ර පෙරේර වැඩකාරයෙක් කියලයි මටත් හිතෙන්නෙ.

      • EYE DONATION AD EKE INNE SAMPATH JAYAWEERA.TALENTED ACTOR.I DO FOLLOW HIS TELEDRAMAS.WORTH WATCHING HIM.HE ACTED WITH JAGATH CHAMILA IN WASANTHA OBEYSEKARA’S FILM.I CANT REMEMBER THE NAME.I SUGGEST YOU TO WATCH AMUTHU MINISSU TELEDRAMA.

  21. නිර්මාණාත්මක අධ්‍යක්ෂකයෙක් ඉන්න්වානම්, ඔළුව පාවිච්චිකරන නිෂ්පාදකයෙක් ඉන්නවානම්, හැකියාවත්, උනන්දුවත්, රඟපාන්න පුළුවන් න්ළුවෝ / නිළියෝ ඉන්නවානම් හොඳ නිර්මාණ බිහිවෙයි..සම්මානත් ලැබෙයි..අපිට නරඹලා ආතල් එකක් ගන්නත් පුළුවන් වෙයි… එතකන් සැමීගෙ කතාවවත් බලමු..(ආවොත්)!

  22. ඇනෝපිලිස් said:

    100ට 200ක් එකඟයි ලිපියට .. ඒත් ඕව ගැන හිතල ලේ කෝප කරගන්න නරකයි ……… රටේ බුද්ධිමත් ජනතාවට ඕන විදිහට තමයි රට හැදිලා තියෙන්නේ …………

  23. JAGATH MANUWARNA/JAGATH BENARAGAMA/ A/L IWARAYI EKE INNA SET EKA.GANATH KATHA KARANNA KO

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: