විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  1315722649PWOFQbඅද උදේ මා කුරුණෑගල මහ තැපැල්හලට ගියේ, මගේ රෙජිමේන්න්තු මධ්‍යස්ථානයට අදාළ, සේවාමුක්ත භට සංගමය වෙනුවෙන්, මගේ වාර්ෂික අවමංගල්‍යාධාර සාමාජික මුදල්, තැපැල් මුදල් ඇණවුමකින් යැවීම සඳහායි. මුදල් ඇණවුම ලබාගෙන, එහි ඡායා පිටපතක්ද තැපැල් හලෙන්ම ලබාගෙන, ගෙදරදී පරිගණකයෙන් සකසා, මුද්‍රණය කරගෙන ගිය, ආවරණ ලිපියට, මුදල් ඇණවුම ‘ස්ටේප්ලර්’ කටුවකින් අමුණා, ලිපි කවරය අලවා, ලිපිය පරීක්ෂාකර, කිරා බලා, අදාළ මුද්දරද ලබාගෙන අලවා, ලියාපදිංචි කවුන්ටරයේ දිග පෝළිමට එක්වුනෙමි. (මම තැපැල් කාර්යාලය වෙත යන්නේ පෑන, කුඩා ගම් කුප්පියක්, ස්ටේප්ලරය, ඉතා කුඩා ‘සෙලෝ ටේප්’ රෝලක්, වැනි ‘ආයුධ වලින් සන්නද්ධවය.’) ඒ සියල්ල කුඩා පොලිතීන් කවරයක දමාගෙනයි යන්නේ. තැපැල් කාර්යාලයේ ඒවා නැතුවා නොවේ. අපොයි ඒ ගම් ……..වගේය. ගල් වෙලාය, ගඳ ය, අළුත් ගම් නැද්ද කියා ඇසීමෙන් පලක් නැත.  අනික මගේම ‘අධාරක අවි’  😀 තිබියදී, ඒවා තිබෙන තැන්වල අනවශ්‍ය ලෙස පෝළිමේ සිටීමට අවශ්‍ය නැත. හැබැයි තවත් දෙයක් තිබේ. මේ අවි ආයුධ ඇදගෙන, තැපැල්හල තුළ සටන් කරනවිට, ඒවා ඉල්ලන්නට අඩුම වශයෙන් දෙතුන් දෙනෙක්වත් එන එක, මොන සැක්කරයාටවත් වළක්වන්නට බැරිය. මොනවා කරන්නද, ඔන්න ඔහේ දීලා දමමි. හැබැයි ගම් කුප්පිය, ස්ටේප්ලරය, ටේප් රෝල, මතක ඇතුව ආපසු ඉල්ලාගනිමි. බැංකුවේදී සහ තැපැල්හලේදී, මම පෑන් කෝටියක් විතර දන් දී ඇතැයි සිතමි. අනේ ඔය රු 10 පෑන, අතින් අත ගොස් එනතුරු බලා සිටිනවාට වඩා, මට මගේ කාලය වටිනවාය. හැබැයි අපේ ‘ජනාධිපතිනිය’ හිටියොත්, මටත් බැනලා, අර මනුස්සයා පස්සෙන්ම ගොස්, පෑන ඉල්ලාගෙන එනවාය. (ලෝබ ගෑණි :D) 

  අම්මපා මේ ‘පඳුරු තැලීමේ රෝගය’ දැන් මටත් ‘භයානෙක’ 😀 විදිහට බෝවෙලා වගේය. හරි හරි මෙන්නේ……………. කියනවා කතාව.  ඔන්න ඉතින් මම මගේ ලිපිය ලියාපදිංචි කරන තැනට ගියයි කියමුකෝ. තරුණ තරුණියෝ රැසක් පෝළිමේ සිටිති. හැබැයි ඔවුන්ගෙන් සමහරක්, බරපතළ ගැටළු වලට මුහුණදී ඇති සෙයක්, ඔවුන්ගේ මුහුණින් පිළිබිඹු වෙයි. ‘රෙජිස්ටර් කවුන්ටරේ නෝනා’ සැර ඇති. මම සිතුවෙමි. එහෙම එකක් පෙනෙන්න නැත. පෝලිමේ සිටින අයගෙන්, තුන් හතර දෙනෙකුට එක්කෙනෙක් පමණ, ආපසු හරවා යවන බවක් පෙනෙයි. දැන් කවුන්ටරේ නෝනා කියනදේ, මටත් ඇහෙන තරම් ළඟට, මමත් ආවෙමි. මෙන්න ඇය, අර ආපසු හරවා යවන අයට කියන දේවල්.

  • කෝ මේ ලියුමේ මුද්දර ගහලා නැහැනේ. (මුද්දර දෙන්නේ වෙනම කවුන්ටරයකිනි. ඒ තැන්වල ඉතා පැහැදිළිව, නෝටිස් හෙවත්, දැන්වීම්, හෙවත්, අහවල් ඒවා ප්‍රදර්ශනය කර ඇත. ලිපිය පරීක්ෂාකර, බර කිරා, මුද්දර ලබාගෙන, අලවා (ගම් කුප්පියක් නැත්නම් කෙල ගාලා හරි) රෙජිස්ටර් කවුන්ටරේට දුන්නම, ඒ නෝනා, ‘සුටුස් ගාලා’ ලියුම ලියාපදිංචි කර දෙනවාය.   

  • කෝ මේ ලියුමේ තියෙන්නේ ලබන්නාගේ ලිපිනය විතරයිනේ. රෙජිස්ටර් ලියුමක යවන්නාගේ ලිපිනයත් ලියන්න ඕනේ.

  • යවන්නාගේ සහ ලබන්නාගේ ලිපින ලියුමේ දෙපැත්තේ ලියන්න එපා එක පැත්තේ ලියන්න.  
  • ඉන්න ඉන්න මේ රිසිට් එක අරගෙන යන්න.

  මගේ ලිපිය ලියාපදිංචි කර ආපසු හැරී එනවිට මම දුටු දෙයින් පුදුමයට පත්වීමි. ලියාපදිංචිය සඳහා මුද්දර ගැසූ ලිපියක් තැපැල් පෙට්ටියට දමන්නට තරුණයකු සූදානම් වෙයි. අහම්බෙන් දුටු නිසා, ඔහුගේ අතින් අල්ලා, එය වළක්වාලීමට මට හැකිවිය. මම ඔහුට සියල්ල විස්තර කර දුනිමි. ‘මගේ යාලුවෙක්ගේ ලියුමකුත් පෙට්ටියට දැම්මා’ ඔහු කීය. වහාම ඒ යාලුවා ගෙන්වා, තැපැල් ස්ථානාධිපති හමුවී කරුණු කියා, ඒ ලිපිය ආපසු ලබාගෙන, ලියාපදිංචි කරන්නට උපදෙස් දුනිමි. මේ තරුණ තරුණියන් සියල්ල පැමිණ සිටියේ, අපොස සාමාන්‍ය පෙළ සමත් අය වෙනුවෙන් ලබාදෙන, අභ්‍යාසලාභී තනතුරක් සඳහා ඉල්ලුම් කරන්නට බව, ඔවුන්ගෙන්ම දැනගතිමි.   

  මේ සියල්ල අවසානයේ මගේ සිතට දැනුනේ වේදනාවකි, දුකකි, කණගාටුවකි. අපි අටේ පන්තියේ ඉගෙනගනිද්දී, ලිපියක් ලියාපදිංචි කරන හැටි, මුදල් ඇණවුම් ඉල්ලුම්පත පුරවන හැටි මෙන්ම, වෙනත් බොහෝ රාජකාරි පිළිවෙත් දැන සිටියෙමු. (සිංහලෙන් මෙන්ම, 75% ක් පමණ සාර්ථකව, ඉංග්‍රීසියෙන්ද එවැනි කටයුතු කරන්නට දැන සිටියෙමු) ඒ අපේ ගුරුවර දෙමවුපියන්ට බුදුබව අත්වෙන්නටය. මා ඉහත කියන ලද විස්තරය, අතිශයෝක්තියක් නොව සත්‍යයක් බව, දිවුරා ප්‍රකාශ කරමි.

  අද දරුවන්ට පාසලකින් ලැබෙන පැවරුම් අනන්තය, අප්‍රමාණය. (හැබැයි ඒ ඔක්කොම පැවරුම්, මැරීගෙන කරන්නේ දෙමවුපියන්ය. අනේ අනිච්චං….) අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් මොවුන්ට ලිපියක් ලියාපදිංචි කරනහැටි කියාදෙන්නට කිසිවකු නොසිටියේද? නැතහොත් එවැනි දෑ ඉගෙන ගන්නට ඇති අකමැත්තද? එසේත් නැතහොත් උපතින්ම ගෙනා නුණුවන කමද? මේ මට ඇතිවුණු සිතිවිලි ය. හැබැයි මේ හැමදෙනාගේම ඇඳුම් පැළඳුම්, අතේ ඇති ජංගම දුරකථනය, ඔවුන් විචාර බුද්ධියෙන් යුත්තවුන් යයි නිරූපණය කෙරෙයි.  මෙහෙම වෙන්නේ ඇයි? අධ්‍යාපනයේ වරදද? නැත්නම් මේ පරපුරේ වරදද? මේ අය අනාගතයේදී උප්පැන්න, විවාහ, මරණ, ඉඩම් ඔප්පු, වාහන පැවරුම්, සහ අනෙකුත් නීතිකෘත්‍ය වලදී, මොනතරම් අමාරුවේ වැටෙන්නට ඉඩ තිබේද? හැබැයි මේ කිසිවෙකුගේවත් මුහුණේ මේ අතපසුවීම් ගැන ලැජ්ජාවක් හෝ කණගාටුවක් නම් මම නොදුටුවෙමි. 

පින්තුරය ගත්තේ මෙතනින්

My Signature for Blog2013 ජූනි මස 19 දින 0032 පැය

Advertisements

Comments on: "මේ තත්වයනම් කණගාටුදායකයි – what is this failure" (98)

  1. ලිපි ලියාපදිංචි කිරීම, මුද්දර ඇලවීම, ගම් ගෑම ආදී කී නොකී සියල්ල යල් පැනගිය කාර්‍යයන් බවට පත්වෙමින් තිබේ. එබැවින් ඒවා ඉගන ගැනීමෙන් පලක් නොවනවායැයි ඔවුන් සිතනවා වන්නට හැකිය. ඔවැනි වැරදි ගැනත් ඔවුන් පසු නොතැවෙනවා නොඅනුමානයි.

    නමුත් කරණ කිසියම්ම වූ කාර්‍යයක් එය කළයුතු නිසි පිළිවෙළට කරන්න බැරිවීම ගැනනම් ඔවුන් ලජ්ජා විය යුතුයි. එය කෙතරම් යල්පැන තිබුනත් ඔවුන් දැන් එම සේවාව ලබාගන්නා නිසා එය කරණාකාරය නිසි අයුරින් දැනසිටීම අත්‍යවශ්‍යයි.

    • ලංකාවේ ලිපි ලියාපදිංචි කිරීම නම් තවමත් සුද්දාගේ කාලයේ ක්‍රමයම නොවැ. තවමත් ලිපියේ සියල්ල අතින් ලියන රිසිට්පත තමයි තියෙන්නේ. ලිපිය ක්ෂණයකින් ස්කෑන් වී, එහි කුඩාකළ ඡායාවක් මුද්‍රිත, තැපැල් ගාස්තුව, දිනය, වෙලාව, තැපැල්හලේ නම, ස්වයංක්‍රීයව මුද්‍රණය වන ක්‍රමයක් හැදීම, එතරම් අමාරු නැහැ. නමුත් එහෙම හිතන (මේ නාකි මට හිතුනට) ඇමෑත්ත පාත්තයෝ නැති එකයි කරුමේ.

  2. ගැජමැටික් පැත්තෙන් තරුණ කොටස් පරිපුර්න වෙලා හිටියට ඔය වගේ එදිනෙදා කරන කටයුතු පිලිබදව නම් කතා කරල වැඩක් නැහැ විචාරක මහත්තයො.
    මම දුවව බැංකු කටයුතු පිලිබදව නම් එයාවත් එක්කගෙන ගිහිල්ල එයාගෙ අතින්ම විය යුතු දේවල් පුරුදු කලා.අද එයා අවශ්‍ය වෙලාවට ගැටලුවකින් තොරව එම කටයුතු කරගන්නව.

    • ගැජමැටික්ස් වුනත් ඒ අයගේ ඇඳුම් පැළඳුම් වගේම තමා. සමහර අය පාවිච්චි කරන ජංගම දුරකතනවල තියනවා ඒ අය දුරකථනය මිලදීගත් දින සිට මේ දක්වා එක වරක්වත් පාවිච්චි නොකළ (සමහරවිට පාවිච්චි කරන්න නොදන්නා) දේවල්.

  3. තාක්ෂණය අතින් සෑහෙන ඉස්සරහින් ඉන්න ලංකාවේ ළමයෙකුට මෙච්චර දෙයක් කරගන්ට බෑ කීවාම පුදුමයි.

    • තාක්ෂණය ගැනත් ඔවුන්ට තියෙන්නේ අනුකරණවාදී චර්යාවක් මිස අවබෝධයෙන් කරන්නාවූ ක්‍රියාවක් නොවේයයි හිතෙන අවස්ථා තිබෙනවා.

  4. සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද….?

    • දැන් ඉන්න ගුරුවරයා කරන්නේ ඔලුව මත බර පටවීමක්ද? පුලුවන්නම් කරපන් බැරිනම් ගෙදර පලයන් වගේ භූමිකාවක්ද කියන එක මටත් සැකයි.

  5. සමාවෙන්න.. දෙයක් කියන්න අමතක උනා.. මේ ළිපිය නම් පට්ට රහයි.. රටේ තියෙන ප්‍රශ්ණ උනත් ලියන්න ඕන මේ විදියට.. දැන් මිනිසුන්ට දැනෙන දේ මේකයි..

    • ඔබෙන් ඒ කාර්යය ඉතා සාර්ථකව ඉටුවෙන බව, ඔබේ ලිපි කියවන පාඨකයකු වශයෙන් අවංකව ම කිවයුතුයි. මටත් දැන් දැන් හිතෙනවා, (එය ඔබේ ලිපි සහ තවත් එවැනි බ්ලොග් අඩවි කියවීමෙන් ලද පෙළඹවීමක්දැයි නොදනිමි) මෙවැනි තවත් ලිපි ලියන්න.

  6. අද අපේ රට මුහුණ දෙන අතිශය ඛේදාන්තයක් තමයි විචාරක තුමා මේ. මේ වගේ දේවල් නොතේරෙන්නේ කුමන තැනක වරදින්ද කියා හිතන්නත් අමාරුයි.
    මේ සටහනත් එක්ක පසුගිය සති අන්තයක බැංකුවේ දී සිදුවූ කතාවක් මටත් මතක් වුණා.මට වයස අවුරුදු 14දී ආරම්භ කරන ලද ස්තිර තැන්පතුවක රිසිට් පතක් අපේ අම්මා මට ගෙනත් දුන්නා. අවුරුදු 30කට ආසන්න කාලයක් පැරණි මේ ගිණුම අත්හිටවා මුදල් ලබා ගැන්ම ලේසි වන එකක් නැතැයි සිතූ මා අදාළ බැංකුවට ගියේ එදින එම කටයුත්ත නිම කිරීමේ අදහසින් ම නොවේ එය සිදු කිරීමට අවශ්‍ය මා විසින් ගෙන ආ යුතු දේ මොනවාද යන්න විමසා ගන ඒමටයි. මා සිතුවා සේම එදින එය මාරු කළ නොහැකි බවත් මා සම්පුර්ණ කර රැගෙන පැමිණිය යුතු දෑත් දැන ගෙන ඉන් දින කීපයකට පසුව අදාළ බැංකුවට ගිය පසු එතැන කවුන්ටරයක සුරූපිණිය කීවේ හැදුනුම්පතේ ඡායා පිටපතක් රැගෙන එන ලෙසයි.
    එවැන්නක් එදා මට පවසා නොතිබිණි. මා කාරුණිකව දැන්වූයේ මේ සම්බන්ධයෙන් මා රැගෙන ආ යුතු දේවල් සවිස්තරව අසා දැනගන්නට මා පෙර දින ආ බවත් එදින මේ ගැන නොදැන්වීම බැංකුවේ වරදක් බැවින් මට දැන් එය ඉටු කළ නොහැකි බවයි. අවසන ඇය හා මා අතර වාග් ප්‍රහාරයක් ඇතිවිය. මේ දුටු කළමණාකරු පැමිණ මගේ තර්කය පිළිගෙන ඔහු විසින් ම හැදුනුම් පතේ පිටපතක් රැගෙන කඩිනමින් මගේ අවශ්‍යතාව ඉටු කොට දෙන ලදී. එහෙත් එය සිදු වූයේ මා එතැන මගේ සිවිල් බලය පෙන්වු නිසාය. එවැන්නක් නොහැකි කෙනකුට අත්වන්නේ අසරණ වන්නටය.

    • නලීන් ඔබ මගේ නෑදෑයෙක්. මොකද දන්නවද? මමත් ඔය බොහෝ ආයතන වලට ගියාම, පාරිභෝගිකයාගේ අයිතිය වෙනුවෙන් පොළොවේ අඩි හප්පා වහලේ උළු උඩ යන්ඩ කෑගහන මිනිහෙක්. විශේෂයෙන් රාජ්‍ය ආයතන හරිම ප්‍රසිද්ධයි ‘අද මේක ගෙන එනු, හෙට අරක ගෙන එනු, අනිද්දට තව අහවල් එකක් ගෙන එනු’ කියමින් මහජනතාව පීඩාවට පත් කරන්න. අර බැංකු කලමනාකාරයා කලදේ කරන්න, අර ලිපිකාරිනියට අවසරයක් දීලා තිබුනානම්, එයාම කියනවා ‘මහත්තයා අන්න අතනින් ඡායා පිටපතක් අරන් එන්න’ කියලා. ඒ කලමනාකාරයා ආයතනයේ නම රැකගත්තා, අර ලිපිකාරිණිය පාවාදීලා. ඌ අවස්ථාවාදියෙක්. නැද්ද මං අහන්නේ?

      අද පරපුර මත වරද පටවන්ඩ මමත් අකමැතියි. ඔවුන් ඇලී ගැලී සිටින සිහින ලෝකවලින් මුදවා, මගපෙන්වීමක් කිරීම තමයි කලයුත්තේ.

    • යම් ආයතනයකට බැංකුව හරහා කල ගෙවීමකදී භාවිතා කරන්නට උපදෙස් දීල තිබුනේ ඒ ආයතනය විසින්ම ලබා දුන් ගෙවීම් වවුචර වල. පැහැදිලිව කියා තිබුනා බැංකුවේ නිල මුද්‍රාව අවශ්‍ය බව. නමුත් කවුන්ටරයේ සිටි නිලධාරිනිය රබර් මුද්‍රාව තැබීමකින් තොරව මුද්‍රණ යන්ත්‍රයෙන් සටහන් කෙරෙන දේ පමණක් ඇතිව මගේ පිටපත ලබා දුන්නා. මම මුද්‍රාව තබා දෙන ලෙස ඉල්ලු විට එසේ අවශ්‍ය නැති බවත්, මුද්‍රිත කේත පමණක් ප්‍රමාණවත් බව කියා සිටියා. ඔවුන්ට අවශ්‍ය නැති වුනාට අදාළ ආයතනයට එය අවශ්‍ය නිසා අවශ්‍ය ලෙස කර දෙන ලෙස කිහිප වරක් ඉල්ලා සිටියත් එය කර දුන්නේ නැහැ. අපට වැඩ කියා දෙන්නට එනවාද කියන ප්‍රශ්නයත් අන්තිමට ඇසු පසු, වැඩ ඉගෙන ගැනීමට පෙර සිංහල කියවීමට ඉගෙන ගන්නා ලෙස පවසා, කළමනාකරු හමු වී පැමිණිලි කලා. ඔහු එවිට කවුන්ටරයට පැමිණ අර නිලධාරිනියට උපදෙස් දුන්නා මට අවශ්‍ය පරිදි එය කර දෙන ලෙස. ඇය තරහින් පුපුරමින් එය කර දුන්නා ඉන් පසුව.

    • ඕක අනිවාර්යෙන් ආණ්ඩුවෙ බැංකුවක් වෙන්න ඇති. මං දන්න තරමින් ගොඩක් පෞද්ගලික බැංකුවල ඡායා පිටපත් යන්ත්‍ර තියෙනව.

    • මටත් ඔය වැනිම සිද්ධියක් වුනා, එන්එස්බී කඩවත ශාඛාවෙදි. ටෙලර් කාඩ් එකේ පින් එක ගෙදරට එවලා, කාඩ් එක ගන්න බැංකුවට යන්න වුනා. නිවාඩුවකුත් දාල ගියෙ. පින් එක එවන ලියුමෙ තියෙනවනේ ඒක මතක තියාගෙන ලියුම විනාශ කරන්න කියලා. ඉතිං මම ලියුම ගෙදර දාලා ගියා. බැංකුවෙ මැනේජර් ගාව තමා ටෙලර් කාඩ් ටික තිබුණෙ. උන්දැ කීපදෙනෙක්ම හරවල යැව්ව පින් එක එවපු ලියුම අරං ආවෙ නැත්තෙ මොකද කියල අහල. මගෙ වාරෙ ආවහම මං ගේම ඉල්ලුව, පින් එක එවන ලියුම ගේන්න ඕනෙ නං, මොන එහෙකටද ඒකේ මතක තියාගෙන විනාශ කරන්න කියල තිබුණෙ කියල ඇහුව.

      • නියමයි. ඔයාට කියන තිබුනේ කාඩ් එක දෙන්න මම පින් එක ගහලා පෙන්නන්නම් කියලා. ලියුමේ කොතනක හරි කියන්න එපැයි කාඩ් එක ගන්න මේ ලිපිය අරන් එන්න කියල.

      • හොදට බලන්න ලියුම දිහා… ඒකෙ ගහල තියනවා ලියුමත් අරන් එන්න කියල. මට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් එවපු ලිපියෙ ඒක පැහැදිලිව ගහල තිබුනා
        ඉතිරිකීරීමේ බැංකුවෙ එහෙම නැතුවද දන්නෙ නෑ

  7. ඔබේ ලිපියත් සමඟ මම එකඟ වෙමි.මොකද ඔය වගේ අත්දැකිම් වලට මමත් මුහුණ දුන්නා.විශ්වවිද්‍යාල ප්‍රවේශලත් සිසුසිසුවියන්ට ලබා දුන් නායකත්ව පුහුණුවෙදී එතන සිටි ගොඩ දෙනෙක් තමන්ගේ ජාතික හැදුණුම් පත් අංකය,විභාග අංකය,ගෙදර ලිපිනය දැන නොසිටින ලදි.ඔවුන්ගේ මතකයේ රැදි තිබෙන්නේ වෙන වෙන බහුබුත.

    • මට කොපමණ ගල්මුල් ආවත් එක දෙයක් කිවයුතුයි ගයානි. උපාධි තුනක් සම්පූර්ණකර සිටින මගේ ලොකු දුවගේ, සාමාන්‍ය දැනුම ඇහුවම දැක්කම, මට හිතෙන්නේ, ‘අනේ මේ ලමයින්නේ අධ්‍යාපනය හරියට බල්ලාගේ පස්ස පැත්තේ බැඳපු මී වදයක් වගේ නේද’ කියලයි. ඒ උපාධි ඔක්කොම සහතික පමණයි. ව්‍යවහාර ලෝකයේ එයින් බැබලෙන්නට, ප්‍රායෝගිකව කළහැකි දේ වලින් ඔවුන් සන්නද්ධවී නැහැ. හරිම කණගාටුදායකයි.

  8. පෝස්ට් ඔෆිස්, බැංකු කියන්නේ මටත් මහා භයානක තැන්… හි හි… ඇයි අප්පා ඒවයේ ඉන්නෙම යක්කු වගේ කට්ටියනේ…

    මම මුලින්ම පෝස්ට් ඔෆිස් එකට ගියේ පෝස්ටල් අයිඩී එක හදාගන්න ඕලෙවල් වලට.. එදා නම් පෝස්ට් ඔෆිස් එකට තිබ්බ බය නැති උනා… ඊට පස්සේ නම් කාලයක් තිස්සේ පිටරට ලියුම් යවන්න ගිහින් පෝස්ට් ඔෆිස් එක ගෙදර වගේ පුරුදු උනා.. දැන් නම් ගානක් නෑ.. හැබැයි තාමත් මං හැමතිස්සෙම රැ 20ක මුද්දර පර්ස් එකේ දාගෙන ඉන්නවා.. මුද්දර ගන්න ගිහින් විඳපු දුක් මතක් වෙනකොට ඒක කෝකටත් ලේසියි… හි හි…

    ඔතන වෙලා තියෙන දේ මට ‌තෙරෙන විදියට කියන්නද.. සාමාන්‍යයෙන් ලියුම් ලියන්න පුරුදු කරන්නේ 8 වසරෙදි විතර.. ඕලෙවල් වෙනකොට ඔය වගේ දේවල් අමතක වෙලා ගිහින්… අනිත් එක දැන් ඉස්සර වගේ ලියුම් යැවිල්ලක් කෙරෛනවත් අඩුයිනේ.. සමහර විට ඔතන ඉන්න ඇති ජීවිතේ පළවෙනි වතාවට පෝස්ට් ඔෆිස් එකකට ආපු අයත්… ඔතන නම් රංචුවක් හිටිය නිසා එකෙක් වරද්දගත්තම ලැජ්ජාවක් දැනෙනවා අඩුයි… තනියෙන් හිටියනං ලැජ්ජාවක් දැනෙනවා වැරදුන නිසා…

    හැබැයි මං ඇත්තම කියන්නම්… මටත් අද වෙනකම්ම රජයේ කර්යාලයකට ගිහින් වැඩ කරගන්න ගියාම පුදුමාකාර චකිතයක් තියෙනවා… නොදන්න දෙයක් අහගන්න කෙනෙක් නෑ.. ඇහුවත් යකා වගේ ඇඟට කඩං පැනලා තමයි කියන්නේ.. ( මං කියන්නේ ගොඩක් තැන් වල ) අතනට යන්න මෙතනට යන්න අරක ගේන්න මේක ගේන්න… හැබැයි පෞද්ගලික ආයතනයක ගිහින් වැඩක් කරගන්න කිසිම බයක් අවුලක් දැනෙන්නේ නෑ…

    එක පාරක් ප්‍රාදේශීය සභාවෙන් බැංකු ණයකට ඕනෙ කරන ලියවිල්ලක් ගන්න ගිහින් එතන හිටපු ලොක්කට ඉඳන්ම බැනලා වැඩේ කරගත්තේ… එදා මුළු ටවුමෙම කරන්ට් නෑ… වැදගත් විදියට ඕනේ කරන ලියුම් ඔක්කොම අහගෙන, ටිකක් දුරට ගිහින් කොපි ගහගෙන ආවම තව එකක් නෑ කියනවා… ඒකටත් කට වහගෙන ආයිත් ගිහින් කොපි ගහන් ආවම තව එකක් .. අන්තිමට කියනවා වරිපනම් එකේ නම වැරදියි, ඒක හදන්න ඕනෙ කියලා… ( එයාලාගේ පොතේ අපේ තාත්තගේ නම වැරදියට ලියාගෙන… ඒකට අපි මක් කරන්නද… හැබැයි වරිපනම් කොල එනකොට ඒ නම හරියට එනවා..) මම එතකම්ම සාක්කුවේ දාගෙන හිටියේ ඊට මාස 6කට කලින් ගත්ත ඒ ලියුම… ඒක පෙන්නලා මං ඇහුවා මාස 6කට කලින් මේක ගනිද්දි නම් ඔහොම ප්‍රශ්නයක් තිබ්බේ නෑ නේ කියලා.. අනිත් එක නම වැරදියට ලියාගත්තේ අපිද ඔයාලද කියලත් මං ඇහුවා.. සිංහලෙන් ලියලා තියෙන නමක් හරියට ලියාගන්න බැරි නම් ඒකට අපි පලිද කියලා… පස්සේ කට වහගෙන ලියුම දුන්නා… එදා තමයි මට රජයේ ආයතන එපාම උනේ…

    ///මේ අය අනාගතයේදී උප්පැන්න, විවාහ, මරණ, ඉඩම් ඔප්පු, වාහන පැවරුම්, සහ අනෙකුත් නීතිකෘත්‍ය වලදී, මොනතරම් අමාරුවේ වැටෙන්නට ඉඩ තිබේද?///

    හාපෝ.. ඒ ගැන නම් කතා කරන්න එපා… වාහන පැවරුම්, විවාහ, ඉඩම් ඔප්පු තුනම කරලා තියෙන නිසා ඒ කට්ට දන්නවා හොඳට….

    ඇත්තටම මේවා කරන්න ලේසි විදියක් තව අවුරුදු 30කින් මෙහාවත් එයිද අප්පා මේ රටට….

    • ඉස්කෝලෙදි ඉගැන්වූ දේවල් අමතකවීම අපි කාටත් පොදුයිනේ. ඉතින් අද තැපැල් කන්තෝරුවේදී වැරදුන දේවල් ගෙදර ගිහින් කොලයක ලියලා ඊළඟ දවසේ එන්න කලින් ඒ කොලේවත් බලලා එන්නේ නැති එකයි. ප්‍රශ්නේ. එදාටත් කරන්නේ අර ටිකමයි.

      රජයේ ආයතන බොහොමයකදී කැත්තට පොල්ල වගේ නොහිටියොත් වැඩ කරගන්න බැහැ. අපේ ජීවිත කාලයතුල ලංකාවේ රාජ්‍ය ආයතන ‘සාධාරනීකරණය, මානුශීකරණය’ වෙනවා දකින්න බැරිවෙයි.

  9. විචාරක උන්නැහේ… ඔබගේ කතාව 100%ක් එකග වෙමි..

    මන්ද මමද ඔය ආකාරට අනන්තවත් සිසු පිරිසක් දැක ඇත.. ඔවුන් ඉතාමත් අඩු අධ්‍යාපන මට්ටමක සිටි හෙයිනි… මෙය විශේෂයෙක් කිව යුතුය… ඔවුන් සෑම දෙනාම උසස් පෙල සමත් වීම පුදුමය…

    • සහතික ඇත්ත. මගේ ලොකු දුවගේ අධ්‍යාපන සුදුසුකම් මහා ඉහලයි. නමුත් ඇයගේ සාමාන්‍ය දැනුම ඉතා පහලයි. මම සමහරවිට අහනවා කොපි කරලද උපාධි තුනක් පාස්වුනේ කියලා.

  10. ඇත්තෙන්ම විචාරක මේකෙ පුදුම වෙන්න දෙයක් නෑ. මම පහුගිය අවුරුදු දහයට තැපැල් කන්තෝරුවකට ගිහින් තියෙන්නේ අතේ ඇඟිලි ගානට අඩු වාර ගානක්. ඒවායින් වැඩිම ප්‍රමාණයක් පොලිසියට දඩ ගෙවන්න. ඔය කුරුණෑගල එකටත් මම ගිහින් තියෙනවා ගෙදර ඉඳලා ඇවිත් ඒත් දඩ ගෙවන්න. ඇතුලට යන කොටම මට හිතෙන දේ තමයි මෙතන මොනතරම් සම්ප්‍රදායික යල්පැනගිය විදියටද වැඩ වෙන්නේ කියන එක. ඉන්න කට්ටිය සහ වට පිටාව අයිති මේ ශත වර්ශයට නම් නොවෙයි. පහුගිය ශතවර්ශයටත් කලින් එකට.

    ඉතින් ඔය දේවල් දැන් ඉන්න ළමයි දන්නෙ නෑයි කියන එක පුදුමයක්ද? අවුරුදු හතලිස් ගනන්වන වැඩි හිටියෝ කොච්චර ඉන්නවද ජංගම දුරකථනයකින් SMS එකක් ගහන්න තියා අඩුම ගානේ දුරකථන ඇමතුමක්වත් ගන්න නොදන්න? අනේ මේ පුතා එනකල් ඉන්නේ මේක බලවගන්න කියන වැඩිහිටියෝ ගැනත් මටනම් තියෙන්නේ ඔය හැඟීමම තමයි.

    • වැඩිහිටියන් නවීන තාක්ෂණයට අනුගත කරවා ගැනීම අපට අමාරු වෙලා තියෙන්නේ අපේ සංස්කෘතිය තුළ තාක්ෂණය සමග බද්ධවීම ඉතා සීමාසහිත වුන නිසයි. ටයිප් රයිටරයෙන් ලිපි ලියපු කාලෙත් ටයිප් රයිටරයක් පාවිච්චි කරන්න දන්නා අය සීමිතව හිටියේ. ඉස්සර රේඩියෝ එකේ තිබුණේ On/Off, Volume, Tuning, Band Select, වැනි බොත්තම් කීපයක් පමණයි. අද තිබෙන ස්ටීරියෝ පද්ධතියක් ක්‍රියාකරවන්න අද වැඩිහිටියන් බොහොමයකට බැහැ. එය අපේම සමාජ චර්යාවේ වරදක්. ඒ පරපුර හිතනවා ‘අනේ ඔව්වා ඕනේ නැහැ, කොල්ලට කියලා බණ අහන්න ඕක දාගන්න පුළුවන්නේ. ඔව්වා අතපතගාලා කැඩුනොත් එහෙම’ අන්න ඒ සිතුවිල්ල නැති කරවන්න ඕනේ. මට පුදුම හිතෙන දෙයක් තියනවා. මගේ අවට නිවෙස්වල ඉන්න මගේ වයසේ අයගෙන් 90% ක් ඔය ඔබ කියපු ආකාරයේ වැඩිහිටියෝ. ඒ අය පරිගණකය කියන්නේ ටයිප් රයිටරයක් කියලා හිතාගෙන ඉන්නේ. මම අදටත් පාවිච්චි කරන්නේ full touch system phone එකක්. ඔබ දන්නවාද සමහර මධ්‍ය මහා විද්‍යාල වලට රජයෙන් දුන්න ඉතා වටිනා පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, නිකම් දිරාපත් වෙනවා. ඒ ඉස්කෝලවල විදුහල්පති හිතන්නේ ‘ඔව්වා නිකම් වැඩි වැඩ’ කියලයි. ඒ අය බොහොමයක් 50 පැනපු අය.

      අපේ රාජ්‍ය ආයතන මහා පරිමාණයෙන් වෙනස් කලයුතුයි. ඒ වෙනස නොකලොත් රාජ්‍ය සේවයක් ඉතුරු වෙන්නේ නැහැ.

  11. අතිශයින්ම වැදගත් ලිපියක්. මේ ලින්ක් එක මම බුකියේ දමන්නම් යමෙක්ට ප්‍රයෝජනයක් වෙයි.

  12. බොහොම වැදගත් ලිපයක්, ඔබ කියනවා වගේ අද ළමයින්ගේ පැවරුම් වැඩ ඔක්කොම කරන්නේ අම්මලා. ඒ විතරක් නෙවේ පොතක බාලදක්ෂයන්ගේ පවා බොහෝ ක්‍රියාකාරකම් කරන්නේද මවු වරු බවද කණගාටුවෙන් උවත් කියන්න වෙනවා.

    • අම්මලා ඒ වැඩ කරනවා විතරක් නෙවෙයි, ඒ අය අතර තරගයකුත් තියනවා වඩා ලස්සනට වඩා උසස් ලෙස කරන්නත්. ළමයාගේ නිර්මාණ නෙවෙයි පන්තිය වෙත ගෙනියන්නේ. කොම්පියුටර් කාරයන්ට සල්ලි ගෙවලා හදාගත් දේවල්. අනේ මේවා කාට කියන්නද? මේවා කරන්නේ නූගත් කියලා හිතන්න බැරි අය.

      • මේකට හේතුව විදිහට ම හිතෙන්නේ, අද බොහෝ දෙමාපියන්ට තමන්ගේ දරුවා “ලොකු මිනිහෙක් ” කිරීම් විනා “හොඳ මිනිහෙක්” කිරීමේ හැඟීමක් නැති කම. මේ රටට ගහලා තියෙන හේනේ ඔක් තමයි.

  13. අද වන විට සාමාන්‍ය දැනීම කියන දේ නැත්තටම නැති වෙලා. සමාජ ආචාර ධර්ම පවා පිරිහිලා. අධ්‍යාපන ක්‍රමය වගේම සමාජයෙන් ඇති කරලා තියෙන තරඟය මෙයට ප්‍රධාන හේතුවක්. ඔහේ දුවන්නන් වාලේ මුදල් පසු පසම දුවන නිසා මිනිස්සුන්ට අනිත් අය ගැන හිතන්න වෙලාවක් නැතිම තරම්.අම්මලා තාත්තලාට ළමයින් සමග එකට වැඩ කරන්න වෙලාවක් නෑ. තමන්ගේ දරුවත් එක්ක ගමනක් යන්න වෙලාවක් නෑ. ඒ ළමයි හැදෙන්නේ තනියමයි. ඒකත් මේ තත්වයට එක හේතුවක්. ඔබ සූදානම් වෙලා යන එක කොයිතරම් හොඳ දෙයක්ද ? මේ මම වත් ඒ තරම් දුර හිතන්නේ නෑ. ඒත් මොනවා කරන්නද ?

    • ඔබ සමග මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා. අපි අපි එකතුවෙලා අපේ දරුවන්ව මේ ව්‍යසනයෙන් මුදවාගත යුතුයි. නැත්නම් මේ අය තවත් අඳුරටම යනවා.

  14. පාසලේදී යම් පමණකට මේ දේවල් කියා දුන්නා. ඒ වගේම මගේ පියා කුඩා කාලයේදීම මේ දේවල්, කාර්යාල වලින් කර ගන්නා දේවල් පුරුදු කලා. අන්තිමට ආයතන වලට ලිපි ලියන එක විනෝදාංශයක් වෙනකම්ම.ඒ වගේම පියා රෝගී වීම නිසා ඒ හැම දේම මටම කර ගන්නට වුනා අඩු වයසින්ම (කාර්යාල කටයුතු 😛 ) . වැඩිහිටියන් අදාළ දේ පුහුණු කල යුතුමයි. බරපතලම වගකීම පාසැල් වලට.

    කාර්යාල වල නිලධාරීනුත් , ඒවාට පැමිණෙන ජනතාවගේත් අනා ගැනීම් ඇති වෙන්න දැකල තියෙනවා. ඔබතුමාලගේ වයසට ඒ වගේ කිහිප ගුණයක අත් දැකීම් ඇති.

    අදටත් සමහර වෙලාවට නිලධාරීන්ට ඔවුන්ට අදාළ නමුත් නොදන්නා රාජකාරි කියා දෙන්න නොවෙනවා නෙවෙයි. ළඟදී පලාතක ප්‍රධානම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගමන් බලපත්‍රය සංශෝධනය කර ගන්න අයදුම්පතක් ඉල්ලා සිටි විට ඔවුන් එවැන්නක් ගැන දැන සිටියේ නැහැ. පුදුමය එතන සිටි කිසිවෙක්ම දැන සිටියේ නැහැ. පසුව 1919 අමතා දුරකථනය එතන ප්‍රධාන නිලධාරිනියට දුන් විට ලැබුණු උපදෙස් මත සෑහෙන වෙහෙසක් ගෙන ඒ අයදුම් පත්‍රයක් සොයා දුන්නා. නමුත් ඒ අයගේ දැනුම ගැන ලැබුණු තක්සේරුව නිසා, අවශ්‍ය දේ නිවැරදිව ඉක්මනින් කර ගැනීමට ආගමන විගමන ප්‍රධාන කාර්යාලයටම ගියා දවස් දෙකක්. තවත් අතුරු කතා කීපයක් තියෙනවා එහෙදී වුන. මෙතන මාගලක් නොලියා ඉන්නම්. නලීන් අයියගේ කමෙන්ට් එකට තව කතාවක් අමුනන්නම්.

    • සමහර රාජ්‍ය ආයතන අල ඉන්නේ දේශපාලන පත්වීම් ලබපු පුස්සෝ. ඔවුන් දන්නා රාජකාරියක් නැහැ. පුම්බගෙන ඉන්න විතරයි දන්නේ. ඉතින් අපේ රටේ රාජ්‍ය සේවයක් ඉතුරුවෙයිද?

  15. කණගාටුවෙන් උනත් කියන්නට ඇත්තේ මාත් අයිති වෙන්නේ මේ ගොඩටම බවය. මගේ තාත්තාගේ මතයද ඔබේ මතයට සමානය. එසේම තාත්තාත් තැනකට යන්නේ ඔබ මෙන්ම ආයුධ සන්නද්ධවය. වැඩ පුදුමාකාර පිළිවෙලය. මම මුලින්ම බැංකුවකට මුදල් තැන්පත් කරන්න ගියදා, ලිපියක් ලියාපදිංචි කරන්න ගියදා තාත්තාගෙන් උපදෙස් ගෙන නොයන්නට මා පත් වෙන්නේත් ඔය ළමයින්ට වෙනස් තැනකට නොවේ. අපි ලෝකයම දනිමු. සක්වලේම යාළු මිත්‍රයෝ සිටින පරම්පරාවක් වෙමු. ඒත් අපේ අල්ලපු වැටට එහා වැටේ ඉන්නේ මොකාදැයි අපි දන්නේ නැත.

    • ලකී, ඔබ අඩුගානේ මේ ගැන යම් අවබෝධයකට පැමිණ තිබීම ගැන සතුටුයි. ඔබ දන්නවාද මට අදත් පුළුවන් එක එක තැන්වලට ගිහින් කරගතයුතු කාර්යයක් රාශියක් මතකයේ තබාගෙන (කොලයක ලියාගන්නේ නැතුව) නගරයේ ඒ ඒ ආයතනය වෙත ගොස් ඒ සියල්ල නිවැරදිව කරගන්න. ඒකට කියන්නේ යෝනිසෝමනසිකාරය (එළඹසිටි සිහියෙන් යුක්ත වීම) මෙය අභියෝගයක් ලෙස බාරගන්න. ඔබේ පියාගෙන් ඔබට ලැබිය යුතු තවත් දායාද අපමණයි. ඒ සියල්ල ඔහුගෙන් ලබාගන්න.

      • අනිවාර්යයෙන්ම, මගේ තාත්තාගෙන් මම බොහෝ වැදගත් පාඩම් ඉගෙන ගන්නවා. ඔහු මුළු දවසේම දේවල් විශ්ලේෂණය කරනවා දවස අන්තිමට. ඔහුත් කියන්නේ යෝනිසෝ මනසිකාරයේ අගයම තමා. 🙂 පාසැලෙන් ඉවත් වූ පසු තමයි තේරෙන්නෙ පාසැල් ජීවිතෙත් සැබෑ ජීවිතෙත් අතර පරතරය. නමුත් අපි පුරුදු වෙන්න නරකයි තියෙන ක්‍රමයට දොස් පවරමින් ඉන්න. ක්‍රමේ කොහොම වෙතත් අපේ ජීවිතේ හැඩ ගස්සා ගන්න ඉගෙන ගන්නවා මිස.
        මගේ රාජකාරි ජීවිතේ එකම ලිපියක් වත් මා වෙනත් කෙනෙකුට කියා ලියාගෙන නෑ. මා තනියම ලියා ගන්නවා. වෙන අයටත් ලියා දෙනවා.ටික ටික ජීවිතේට හැඩ ගැහෙනවා.

  16. ගරු විචාරක තුමා,

    අපගේ ඊළඟ පරපුරේ තත්වය ගැන ඔවුන්ගේ සංකල්ප හා පැවතුම් ගැන ඇත්තෙන්ම කණගාටු හිතෙනේවා . ඔබේ ලිපිය කියවන ගමන්ම මම අපේ office එකේ ඉන්න පියන් (Sorry ! Office Assistant ) ළමයෙකුට දුන්න FILE එකක තිබෙන ලියුමක කොපියක් ගන්න. මේකා ඉස්සෙල්ලම විනාඩි දෙ කහමාරක් විතර කල්පනා කරලා මෙගෙන් අහනවා stapler කරලා හින්ද ගන්න බෑ නේද කියල. මම ඒ පාර කිව්වා කටුව ගලවල ගහපන් කියල.
    ඊ ට පස්සේ ටික වෙලාවකින් මගේ මෙසේ උඩ file එක තියල මේකා යන්න ගිය ඔන්න හරි sir කියල. බලන කොට මේකා නැවත කටු ගහල නැහැ. දැන් ඉතින් මම අනිත් වැඩ ඔක්කොම නවත්තල කටු ගහනවා. හැබැයි අතේ තිබුණු ෆොනේ එක nokia N 8 එකක්. මම දන්නා හැටියට හරි සං කීර්ණ unit එකක්. මට එක වෙලාවකට හිතෙනව මේ ළමයි හිතනවද කියල මූලික දේවල් ඕන නැහැ කියල.

    මට මතකයි අපි තරුණ කලේ පොළොන්නරුවේ ඉන්න කොට හිටපු පියන් මහත්තය දිසානායක කියල කෙනෙක්. ලියුමක් අවම මිනිහ ලියුම අපිට දෙන්නේ අදාල ෆිලේ එකත් එක්ක අදාල තැනට කොළ කල්ලකුත් ගහල. ඊට අමතරව අපි උදේට කෑවද නැද්ද සියලු දේ බලල තමයි මනුස්සය වැඩ පටන්ගන්නේ.

    මම කියන්නේ නැහැ ඒ සේවකයින්ගේ නිලය අනුව කඩේ යන්න ඕනය කියල. නමුත් ඒ සේවා කාර්ය තුල තියෙන මූලික දේ ධන්නේ නැතුව , හෝ ඉගෙන ගන්න උවමනාවක් නැත්නම් අර වගේ තැපැල් නොනැගෙන් බැනුම් අහන්න හරි register ලියුම පෙට්ටියට දන්නා හරි තමි වෙන්නේ.

    ඉතින් මට කියන්න තියෙන්නේ”අනේ අපි කවදාක ඉපිදෙමුද ඒ රටේ”

    • ඔය තත්වය අද බොහෝ ක්‍ෂේත්‍රවල තියනවා තියනවා ඉන්දික. හමුදාවේ හදපු විහිලු කතා තියනවා ඔය අනවබෝධයෙන් වැඩ කිරීම ගැන. එක අණදෙන නිලධාරි කෙනෙක් සැරයන් වරයකුට කිව්වලු කඳවුරේ තියන අර කොඩි ගහේ උස මනින්න කියලා. සැරයන් වැඩේ පවරුවාලු සොල්දාදුවන් දෙන්නෙකුට. උන් දෙන්නා කොඩි ගහ ගලවලා ටේප් එකක් අරන් ගහ මනිනකොට අර සැරයන් ඇවිත් කෑ ගැහුවලු, ‘ඒයි, ඔය මොකද කරන්නේ. අණදෙන නිලධාරි තුමා කිව්වේ කොඩි ගහේ උස මනින්න. හිටවපල්ලා ආපහු කොඩි ගහ. මැනපල්ලා උස’ කියලා.

      හැබැයි මෙහෙම දේකුත් තියන බව මතක තියාගන්න. එක වැඩක් දෙකක් හිතාමතා වරද්දන අය ඉන්නවා. ඊටපස්සේ අපි කවදාවත් එයාට කියලා වැඩක් කරවාගන්නේ නැහැනේ. ඉතින් නිකම් ඉඳලා පඩි ගන්න පුළුවන්. මමනම් ඒ මිනිහට කියලා අර වැරැද්ද දහස් වාරයක් විතර නිවැරදි කරවනවා එතකොට හරියනවා.

  17. අපිටනං ඒ දවස්වල පහේ නැත්තං හයේ පංතියේදී වගේ සිංහල පාඩමට කියා දුන්නා නෙව ලිපියක් ලියාපදිංචි කොරන විදිය… මං තාමත් ඒ කියා දුන්න විදියට කවරේ T අකුරේ හැඩේට ඉරි ගහලා එහෙම තමා ලියාපදිංචි තැපෑලට කේන්දර පොත් එහෙම දාන්නේ…

    ඉස්කෝලේ යන කාලේ උගන්නපුවා මතක නැති විම එක ප්‍රශ්නයක්.. ඒත් අර කිව්වත් වගේ ළමයින්ගේ වැඩ දෙමාපියෝ කරලා යැව්වම ඒ පාඩම ඉගෙන ගන්නේ අම්මයි තාත්තයි මිස ළමයි නෙවෙයිනේ.. කවදා හරි ඒ ළමයින්ගේ ළමයි ඉස්කෝලේ යන කාලෙට අර මග ඇරුන පාඩං ටික ඉගෙන ගනි… 😀 😀 😀

    • මේ අයත් එහෙම ඉගෙනගෙන ඇති. ඒත් ඒ මොකවත් දැන් ඔලුවේ රැඳිලා නැතිව ඇති. ළමයින්ගේ ගෙදර වැඩ කරන දෙමවුපියන් ගැන කියන්න දේවල් නැහැ.

  18. මේකට බොහෝ දුරට ළමයින්ගෙ වැඩ ඒ ළමයින්ට කරගන්න දෙන්නැති දෙමවුපියොත් වගකියන්න ඕන. ගෙදර ළමයි ෆෝන් එකෙන් මල් කඩ කඩ ඉන්නකොට ඒ ළමයගෙ ලියුම් තැපැල් කරන්න යන්නෙ අම්ම හෝ තාත්ත. ඉතිං ලියුං තැපැල් කරන හැටි කවද ඉගෙන ගනීද ඒ ළමය.
    අනික ඉස්කෝලෙ උනත් මෙලෝ සංසාරෙකදි ජීවිතේට අවශ්‍ය නොවන දේවල් ගැන හරි උනන්දුවෙන් කියල දුන්නත් මේ වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් ගැන ඒ හැටි උනන්දුවක් දක්වන්නෙ නෑ.

    දැං ඔය අභ්‍යාසලාභී තනතුර ලැබිච්චහම ඔය අය වැඩ කරන්නෙත් අර උඩින් ඉන්දික කියල තියෙන කට්ටිය වගේ තමයි.

    • මේ ක්‍රමය කොතනින් හෝ පටන් අරන් වෙනස් කරන්න ඕනේ ප්‍රසන්න.

      • ප්‍රසන්න අවාසනාවට මගේ ඔෆිස් එක පුද්ගලික කාර්යාලයක්. ආණ්ඩුවේ උනානම් මහින්ද ලොක්කට හරි බනින්න තිබුණා . මම මේක කිව්වේ මේ ගැටලුව සමස්ත පද්ධතියාම වෙලාගත් එකක් බව කියන්නයි.

        මම තවත් හිතන දෙයක් තමයි අපේ කාලයේදී අපට තිබුනේ අවම පහසුකම්. ඒ නිසා අපට සිද්ද උන BASIC වලින් හැමදේම කරන්න. ඉතින් දැන් හැම දේම ready made නිසා මුන්ට ඕන නෑ BASIC . උන්ට අර ගැජෙමටික් ටිකක් තිබුනම ජීවිතේ ගැට ගහගන්න පුළුවන්. හැබැයි උන්ට කෙලවෙනවා අර විචාරක තුමා කිව්වා වගේ වෙලාවක. එකත් උන්ට එච්චර දෙයක් නෙවි. එකනේ උන්ට ලැජ්ජාවක් තිබුනේ නැත්තේ. මම නම් වරද දකින්නේ විචරක තුමාගේ. මොන මල ඉලව්වකට වැරදි වෙලාවේ වැරදි තැනක හිටියද? ඔය වගේ case එකක් දෙකකම අහක බලාගත්තම ඉවරයි නේ.

        (පඳුරු තැලීම 1)
        මම අම්පාරේ වැඩ කරන කාලේ දවසක් වඩිනාගල චෙක් පොයින්ට් එකේ බැස්ස බස් එකෙන් මෙන්න යකෝ අපේ කොන්ත්‍රාත් කාරයෙක් ගල් කුඩු විතරක් පාරට දානවා මූ මම දැක්කමවත් වැඩේ නවත්තපන්කෝ නැ මූ දිගටම දානව මම අහක බලගත්තම මූ ඒ පැත්තටත් අවිල්ල දානවා. පස්සේ මම එතැන් හිටපු පොලිස් SI කෙනෙකුට කිව්වා මගේ ඔලුව රිදෙනව කියල බස් එකට වෙලා හිටිය. මම අහන්නේ අයි මනුස්සයෝ මම අහක බලාගෙන හිටියනම් අපේ ගරු කටයුතු විචාරක තුමාට බැරී උනේ

        (පඳුරු තැලීම 2)
        මතකද දැන් අවුරුදු 10කට විතර ඉස්සර රුසියානු සබ්මැරීනයක් මූද පතුලේ හිර උනා. පාසේ එකේ හිටපු නාවිකයෝ අවසන් මොහොත දක්වාම පිටත් එක්ක පණිවුඩ හුවමාරු කරාලු මිටියකින් බඳට තට්ටු කරමින් මෝස් කේත වලින්.

        (පැදුරු තැලීම 3)

        දෙවන ලෝක යුද සමයේ එක්තරා රුසියානු යුද රෝහලකට ගෙනා සෙබලෙක් ඇස කන් බැන්ඩේජ් කරලා තිබුනට ළඟ තිබුණු මෙසේ විට්ටමට තට්ටු කරනවලු. නර්ස් නෝනා කීප සැරයක්ම අත අරන් පැත්තකින් තිව්වත් ආයිත් කරනවලු. පස්සේ නර්ස් නෝනා අත අරන් විට්ටමට තියල බැන්දලු. නමුත් මෙයා අයිත් තට්ටුවලු. ටික වෙලාවකින් මෙතනින් යන නිලදාරියෙක් එක පාරටම හැරිලා ඇවිත් ලෙඩ දිහා බලල නර්ස් නෝනාට කිව්වලු මෙය මෙතනින් අයින් කරලා වෙනම තියල දෙන්න කියල. පස්සේ දෙන්නත් එක්ක තරගෙට වගේ ලග තියෙන මේසෙකට තට්ටු කරන්න ගත්තලු. පස්සේ ඒ නිලදාරිය යන්න ගියාලු පස්සෙන්ද අයිත් ඇවිල්ල අර සෙබලා ගැන අහව්වලු. නමුත් එදා පාන්දරම ඔහු මියගියබව දැනගත්තම ඔහු කණගාටු වෙලා කිව්වලු සෙබලා මොස් කේත මගින් කියල තියෙන්නේ ඔහුගේ මිෂ න් එකක විස්තර බව. ඔහුගේ ඒ පණිවුඩය ඉතාමත් වැදගත් information එකක් බවත් ඔහු තමාගේ duty එක නිවැරදිව කර ඇති බවත්.. හැබැයි පුතෝ මගේ office assistant වගේ එකෙක් වුනානම් අර offfcer ට තමයි අපහු mission එකට යන්න වෙන්නේ. ඒවගේම BASIC නොතිබුනානම් බඩුම තමයි .

  19. සරලව කියන්න තියෙන්නේ,අපි හැම දෙයක්ම දන්නේ නැති වෙන්න පුලුවන්.ඒත් දන්නේ නැත්තං අහන්න කියන දේ දැන ගන්න ඕනනේ.අධ්‍යාපනය මොන රටින් ගත්තත්,කොහොම උපාධි තිබුනත් නව දැනුම හොයා යාමේ ක්‍රමය දන්නේ නැත්තං වැඩක් නෑ.

    • අපි කාටවත් කවදාවත් බැහැ සියල්ල දත් වෙන්න. අපි හමුදාවේ තරු පටි ගහගෙන ඉන්දිද්දීත් සමහර දේවල් සාජන්ලාගෙන්, සාජන් මේජර්ලාගෙන් ඉගෙනගන්න වෙනවා. ඔබට, මට, හුරුයි තැනකට ගියාම ‘මේක කොහොමද කරන්නේ’ කියලා අහන්න. නමුත් සමහරු ඉන්නවා, එය දන්නේ නැතිවුනත් අහන එක තමන්ට ලැජ්ජාවක් කියලා හිතලා අර වගේ පිස්සු වැඩ කරන. ඇත්තටම අධ්‍යාපනය ඔලුවට වක්කරන්නේ නැතුව, හොයාගෙන ගිහින් දැනගැනීමේ ක්‍රමයට මාරුවෙනතුරු මේ තත්වය තියෙයි. අපේ විශ්වවිද්‍යාල වලින් එක වසරකට පිටවන අයගෙන් ‘විද්‍යාර්ථීන්’ වෙන්නේ කීයෙන් කී දෙනාද?

  20. සිරාවටම මටත් තේරෙන්නෑ හරියට. මොකක් හරි ලියුමක් දාන්න එහෙම තියනවනම් අප්පච්චි ටවුමට යනවෙලාවක හරි office එකේ ලියුම් යවනකොට පියන්ට හරි දීලා යවන එකනේ කරන්නේ.

    • අප්පච්චි හැමදාම ඉන්නේ නැහැනේ සහන්. එදාට මොකද කරන්නේ. කවදා හරි, ඔයාගේ අප්පච්චිගෙන් ඔයා ගත්ත දැනුම, ඔයාගේ පුතාටත් කිසිදු සැකයකින් තොරව දෙන්න පුළුවන් වෙන්න ඕනේ.

  21. වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් දාන්න තියෙන වදේ හින්ද ලේසියකට කමෙන්ට් කරන්නෙ නෑ… ඒත් මේකට කමෙන්ට් නොකර බෑ…

    මමත් අවංකවම ඔය ලියාපදිංචි කතන්දර දැනගෙන හිටියෙ නෑ… ටික කාලෙකට උඩදි ඔෆිස් එකේ වැඩකට යන්න වුනයින් තමා ඒක කරන හැටි දැනගත්තෙ… ඒ තමා ඕක කරන්න වුන එකම වතාව… ආපහු ලියුමක් ලියාපදිංචි කරන්න වෙලා එදාට යවන්න මිනිහෙක් නොහිටියොත් ආපහු පිළිවෙල කාගෙන් හරි අහගෙන තමා කරන්න වෙන්නෙ…

    වැරැද්ද කාගෙද දන්නෙ නෑ කියනවට වඩා මගෙත් වරදක් තියෙනව කියන්න එපැයි… හැබැයි ඉතිං විචාරක මහත්තයලට වගේ ඉස්කෝලෙ ඔව්වා උගන්නපු බවක් නම් මට මතක නෑ…

    උඩ ටික පඳුරු තැලිල්ල 😉
    ඇත්තටම තරුණ පරපුර සංකීර්ණ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන හැටි දැනගත්තට රජයේ දෙපාර්තමේන්තු සමඟ කරන කටයුතු වලදි ප්‍රශ්න වලට මූණ පාන්නෙ ඒ තැන් කාලයත් සමඟ ඉදිරියට ගිහින් නැති කාරණාව හින්ද කියන එකයි මගේ අදහස… පුද්ගලික අංශයත් එක්ක කටයුතු කරනකොට තරුණ පරම්පරාවට ඔය වගේ ප්‍රශ්න එනව බොහොම අඩුයි… උදාහරණෙකට විචාරක මහත්තයට කරගන්න ඕන වුන වැඩේට තැපැල් කන්තෝරුවකට බඩගාන්න වෙන එක ඔන්ලයින් බෑංකින්, ඊමේල්, ෆැක්ස්, කුරියර් සර්විස් පාවිච්චි කරන අද දවසෙදි මට නම් විකාරයක්…

    අධි වේගී වාහන තියෙන කාලෙ තවමත් බර කරත්ත වගේ එව්වත් අපේ රටේ පාවිච්චි වෙන හින්දා ඒ ගැන දැනුමක් නැති එක නම් මමත් ඇතුළුව තරුණ පරම්පරාවෙ වරදක්… හැබැයි ඉතිං මගේ තියෙන තව මොකක් හරි වරදක් හින්දා ඔය වගේ වැඩකට කීයක් හරි දීලා දන්න මිනිහෙක් යවන එක කරනව මිසක් ඔය කෑලි ඔක්කොම ඉගෙනගන්න යන්නෙ නම් නෑ…

    • මට පෙනෙන ප්‍රධාන කරුණක් තමයි, අනුන්ගෙන් යැපෙන්න පුරුදුවීම, හැමදාම ‘අනේ මචං මේක කරලා දියන්’ කියන්න හම්බවෙන්නේ නැහැ. තමන්ට ඒ දේ තනියෙන් කරන්න වෙන දවසක් එනවා. අන්න එකට සූදානම්ව සිටිය යුතුයි. හොඳම දේ කුඩා සටහන් පොතක ඒ ඒ රාජකාරිය සිදුවෙන/සිදුකලයුතු ආකාරය පොඩි සටහනක් දමා තබාගැනීම.මේ විදිහට එදිනෙදා ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට සූදානම්වනොසොටෝයොත් සිදුවන විනාශය අපමණයි. ඒ විතරක් නෙවේ, නිකම් දෙකයි පණහේ මිනිස්සුන්ට ඔලුව නවන්නත් වෙනවා අපේම නොසැළකිල්ලෙන් ඇතිකරගත් නොදන්නාකම නිසා.

      • ඔලුව නවන කාරණාවක් නම් නෙමෙයි මම කිව්වෙ… මම කිව්වෙ මම දන්නෙ නැති වැඩේට වෙන මිනුස්සයෙකුගෙ වෙලාව හැකියාව මිලදී ගන්න එක… වෙනත් කෙනෙක් යොදවනව කියල මම අදහස් කලේ ඒ කාරණාව…. ඔලුව නවන්න වෙන්නෙ එහෙම කෙනෙකුට ගෙවන්න හැකියාවකුත් නැතුව වැඩක් කරගන්නත් බැරුව ගියහම… යම්කිසි වැඩකට වෙන කෙනක් දම්මල කරද්දි ගෙවන්න වෙන ගානට වඩා ඒ කාලය තුල තමන්ට හම්බුකරන්න පුළුවන් මුදල වැඩි නම් ඒහෙම කරන එකේ වරදක් මම දකින්නෙ නෑ (වැඩෙත් කෙරිල ප්‍රොෆිට් එකකුත් තියෙනව)

        • මම අදහස් කලේ මෙයයි. මගේ දැනුමෙන් ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි දෙයක්, මගේ කම්මැලිකම සහ නොසැලකිල්ල නිසා ඉගෙන නොගත්තොත්, මම තරම්වත් සුදුසුකම් නැති, එහෙත් ඒ දේ හරියට කරන්න දන්නා මිනිහට අවනත වෙන්න සිදුවෙනවා.

      • හරියට හරි. විචාරක තුමා මම පොළොන්නරුවේ සේවයට යන කොට මට අවුරුදු 24 1994 අවුරුද්ද කිසිම නවීන පණිවුඩ හුවමාරු ක්‍රමයක් නැ . පණිවිඩයක් යවන්න ඕනනම් නව නගරයට එන්න ඕන. මොකද ආණ්ඩුවේ කන්තෝරු වල සල්ලි ගන්නවා බොරු ඔය කමියුනිකේෂන් බිල් වලට. අපිත් උදේ ගියාම තියෙන ඕනෑම වැඩක් හරි හෝ වැරදී හෝ කරලා දානවා. බොහෝ විට හරි යනවා. සමහර දේවල් අපි ජීවිතේට දන්නේ නැති ඒවා. ඒවායේ නියම mechanism එක දැන ගත්තම තමයි ඇ ගේ හී ගඩු පිපි න්නේ දැන්. ඉතින් ඒවායින් ඉගෙන ගත්තු දේවල් මුළු ජීවිතේටම හරි වැදගත්.වාසනාවට අපිට මොබයිල් තිබුනේ නැත්නම් දැන් ඉන්න එවුන් වගේ කවුරු හරි බොස් කෙනෙකුට බෝලේ පාස් කරා මගේ පාඩුවේ හිටියා. හැබැයි අපි basic විදියට සියල්ල කරා. කොටින්ම ඔය මල් කැඩිල්ල පවා අහල පහල තැනකින්ම බොහොම basic විදියටම කරේ මොකද අපි දැනගෙන හිටියා කිසිම උපදෙසක් ගන්න පණිවුඩ හුවමාරුවක් අසලවත් නැති බව.
        ඇත්තටම දැන් මම දෛනිකව handle කරන දේවලින් මට අදාල දේවල් තියෙන්නේ හරි ටිකයි මම කරන්නේ අර වටේ ඉන්න එවුන් පාස් කරන බෝල අහුලන එකයි අයෙමත් එහා පැත්තට දාන එකයි

        • ඔබ ඉගෙනගෙන තිබෙන ක්‍රමයත් බොහොම වටිනවා. වැරදි වැරදි හරියනකොට හරි සහ වැරදි යන දෙකම මතකයේ රැඳෙනවා. එය ජීවිතයට හරිම වටිනා පාඩමක් වෙනවා.

  22. ස්කෝලෙ යද්දි කවුද හිතුනේ ලියුම් යවන්න වෙයි කියලා 😀

  23. මෙතැන කණගාටුදායක කාරණය ඔබේ සේවා මුක්ත භට සංගමය හා සමහර රජයේ ආයතන තවමත් මේ හණමිටි ක්‍රම අතහැර ගැනීමට බැරිව ඒවායේම ගැලී සිටීම විනා අද තරුණ පරම්පරාව උගත නොයුතු දේවල් ඉගෙන නොගැනීම නොවේ. ලෝකය වෙනස් වී ඇත. ඔබත් වෙනස් වන්න.

    • හරියට හරි. සේවාමුක්ත භට සංගමය ඉතින් පැන්ෂන් කාරයෝටික කියමුකෝ. හමුදාවේ සහ රටේ තවත් දේවල් තියනවා නවීකරණය වන්න. මමනම් අද කාලයට ගැලපෙන තරම් වෙනස්වී සිටින නිසයි හැට පිරිලත් මෙවනි දේ වල යෙදෙන්නේ. නමුත් අපිත් එක්ක හැරෙන්නවත් බැරි තරුණ පරපුරක් ඉන්නවා සාමාන්‍ය දැනුම සහ ලෝක විෂයය පිලිබඳ කටයුතු වලදී. මට අවශ්‍ය ඒ අයවත් යාවත්කාලීන කරන්නයි. හොඳයි, රාජ්‍ය ආයතන වල හණමිටි ක්‍රමය පමණක් තියනවානම්, ඔය පරපුර ඒ හණමිටි ක්‍රමය දැනගෙන ඉන්න ඕනෙනේ අවශ්‍ය වෙලාවට වැඩගන්න. එනිසයි තවමත් විභාග ඉල්ලුම්පත් අතින් ලියන්නේ. සමහර රැකියා අයදුම්පත් අයදුම්කරුගේ අත් අකුරින් ලියලා එවන්න කියන්නේ. (එහෙම කියන්නේ යාන්ත්‍රික නොවී කටයුතු කිරීමේ හැකියාවත් බලන්නයි) ඔබ ආතර් සී ක්ලාක් මහතාගේ නවකතා කියවා තිබෙනවානම්, එක නවකතාවක තිබෙනවා අනාගතයේදී හඳේ දූවිල්ලට යටවූ ගුවන් යානයක සිටින පිරිස බේරා ගැනීමට, හණමිටි ක්‍රමයක් වූ ලෝහ නලයකට තට්ටු කර මෝස් කේත ක්‍රමයෙන් අදහස් හුවමාරු කරගැනීමට සිදුවෙන. ඔබත් මගේ වයසට ආවම ඊළඟ පරපුර ඔබට කියන්නෙත් ඔබ අද මට කී දෙයම තමා. ලෝකය වෙනස්වී ඇත නොවේ මහතාණෙනි, ලෝකය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. නමුත් දැනුම දියුණුවීමට වඩා විකෘතිවීම වැඩියි. පෙරලුනුපිට හොඳයි කීම දියුණුව නොවේ.කරුණාකර මෙහි පළමුවැනි කමෙන්ටුව දමා ඇති සෙන්නා මහතාට මම දී තිබෙන පිළිතුර බලනු මැනවි.

  24. සත්තු මරාගෙන යන්තම් පලහාගෙන කාපු කාලේ තිබ්බ දත් කුට්ටම නෙවෙයිලු දැන් තියෙන්නේ .. ගස් වල බඩ ගාන්න උදව් වුන වලිගෙත් ක්ෂින වුනා නේ . අන්න ඒ වගේ තමයි අද ළමයින්ගේ සාමාන්‍ය දැනීම . උන්ටම වරදක් කියන්න අමාරු ඉතින් අපි ඒ කාලේ අවුරුදු පහ හය වගේ වෙද්දී කඩේකට තැපැල් කන්තෝරුවකට යන්න පුරුදු වුනා . අද ළමයෙක්ව එහෙම පාරේ යවන්න බැරි ප්‍රශ්නය නිසා ප්‍රායෝගික දැනීම අන්තිමයි . සල්ලි ගැන ඉස්කෝලෙන් ඉගෙන ගන්න වෙලා මුදල් පරිහරණයෙන් ලැබුන සාමාන්‍ය ගණිත අත්දැකීම් අද ලැබෙන්නේ නැහැ ළමයෙක්ට . අඩු ගානේ උන්ට පාරක් හරියට පැන ගන්න බැහැ තනියම . මගේ ළමයිනුත් ඉන්න නිසයි මන් දන්නේ . ළමයාගේ පන බේරලා ජිවත් වෙන්න ඉඩ දෙන එක වඩා හොඳයිනේ පාරේ යන්න උගන්නන්න ගිහින් අමාරුවේ දානවට වඩා .

    තව එකක් කම්මැලි කම . මොනවා හරි කැඩුනොත් හරි නැති වුනොත් හරි ටක් ගාල ඔලුවට එන්නේ අලුත් එකක් ගන්න හැටි . ආයේ පරණ එක සොයා ගන්න හෙම කිසි උවමනාවක් නැහැ . අපේ දෙන්න මේ පොඩ්ඩකට කලින් මගෙන් බැනුමක් අහල ඔය ඉන්නේ . බැලුන් පොම්පේ නැති වෙලා .

    මන් කියන්නේ අත්වැරදීම් වලට මන් බනින්නේ නැහැ . නමුත් නොසැලකිල්ලට නම් බනින්න වෙනවා කියලයි .

    තව එකක් ඔතනදි අවශ්‍ය ලියුමක් තැපැල් කරන හැටි දන ගැනීම නෙමේ . තැනකට ගියහම බෝඩ් එකක් කියෝලා එහෙමත් නැත්තන් වගකිවයුතු කෙනෙක්ගෙන් අහලා කල යුතු පිළිවෙල අනුගමනය කරන්න තැනට සුදුසු නුවණයි උවමනා .

    • මම කවදාවත් මේ ළමයින්ට විතරක් වරද පටවන්නේ නැහැ. අපි කුඩා කාලයේ මීට වඩා වැඩිහිටියන්ගේ අධීක්ෂණයට ලක්වුනා. වැඩිහිටියාට විවේකයක් තිබුනා අපි ගැන බලන්න. මම පුංචි කාලේ කෑගල්ල නගරයේ රස්තියාදු ගැහුවොත් අපේ තාත්තව දන්නා කඩ මුදලාලිලා අහනවා ගෙදර යනවද නැත්නම් ලොකු මහත්තයට කියන්නද කියලා. දැන් එහෙම ඇහුවොත් අනේ උඹේ……….කියලානේ අහගන්න වෙන්නේ.

      අපි වෙන්න ඇති අවසාන පරපුර කැඩුණු සෙරෙප්පුවක් සපත්තුවක් වුනත් මොනවාහරි කරලා හදලා තව සතියක්වත් පාවිච්චි කරන්න බලන. වෙළඳ උපක්‍රම මගින් මේ පරපුර භයානක විදිහට ග්‍රහණය කරගෙන තියනවා.

      මමත් අදහස් කලේ ලියුමක් තැපැල් කිරීම විතරක් නෙවේ, කිසියම් රාජකාරි කටයුත්තකදී නිසි පිළිවෙත අනුව කටයුතු කරන්නේ කොහොමද කියන එකයි.
      ස්තුතියි ඔබට.

      • කඩේකට නිතර යනවා . ඉස්සර දැන් වගේ සිනි තේ කොළ ස්ටොක් කරන් හිටියේ නැහැනේ . මාව තමයි කඩේ යවන්නේ . හැමදාම මන් බුල්ටෝ එකක් කනවා . අම්මට එච්චරම තේරුනේ නැහැ . කඩේ අක්කා දා දවසක් මේක අම්මට කියලා . සත විසිපහ පොඩි වුනත් අම්මට මන් කලේ හොරකමක් ,ඊට පස්සේ ලැජ්ජයිනේ ..ආයේ ඒ වැඩේ කලේ නැහැ .අද මේක නිකන් ඕපාදුප කීම වගේ දෙයක් වුනාට ඇත්තටම මට එය ලොකු උදව්වක් වුනා .

        • ඇත්තටම අපේ වැඩිහිටියෝ අපිව ආරක්ෂා කළා ගමේ කොයි කාගේ දරුවා වුනත්. අද අපි අපේ දරුවන් දිහාවත් බලන්න වෙලාවක් නැති තරමට ජීවිත සටනේ ඉන්නේ.

  25. මට නම් පොඩි කාලෙ ඉඳලම මුද්දර උනක් තිබුන නිසා තැපැල් කන්තෝරු නුපුරුදු තැනක් නෙවි. මම හයේ පන්තියෙ ඉද්දිත් තනියම ලිපි ලියල මුද්දර කාර්යන්ශෙන් මිල දර්ශන ගෙන්නගෙන අවශ්‍ය මුද්දර තෝරල ලැයිස්තුවක් හදල තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි බැඳල මනිඕඩර් අරගෙන රෙජිස්ටර් තැපෑලෙන් ලිපි යවනවා. අදටත් සමහර යාළුවෙක්ට රාජකාරි ලිපියක් ලියන්න ඕන උනාම මට කියල ලියව ගන්නෙ, හැබැයි අපි කවුරුත් ඉස්කෝලෙදි ඕව ඉගෙන ගත්තෙ එකට.

    අපේ අක්කගෙ ළමයිතුත් ඔහොමයි, මේ කියන දේ මේ මතක නෑ. ඒ උනාට මොකද උන් හෙන බකපණ්ඩිතයො. උන්ගෙ වයසට අපි මක්කද දැනගෙන හිටියෙ කියල හිතෙනවා වෙලාවකට. එයාලගෙත් ඉස්කෝලෙ වැඩ ඔක්කොම උන් පවරන්නෙ අක්කට. පැවරුම් වැඩවල ඉවරයක් නෑ. අක්ක දාහක් වැඩ එක්ක ඒවත් කරනවා. මම කීප දවසක් බැන්නා විභාගෙටත් උඹල අම්මත් එක්ක පලයල්ල කියල. අක්කටත් එපා කිවුවට අහන්නෙ නෑ, අනේ කොල්ලා ටීචර්ගෙන් ගුටිකාවි කියල වැඩටික කරල දෙනව. ඔක හැමදාටම ඔහොම තමයි. අපේ පන්තිවල හිටපු සමර ළමයින්ගෙත් උසස් පෙළ ව්‍යාපෘතිය කළේ ගෙදර හිටපු අම්මා. උන් කළේ අම්ම හදපු ප්‍රොජෙක්ට් රිපෝර්ට් එක ගෙනත් ටීචර්ට දීපු එක විතරයි.

    • හරියට හරි. එක දෙයක් තියනවා අපි අවංකව පිළිගතයුතු. දැන් කාලේ ළමයෙකුට, අපි අපේ ලමාකාලයේදී ඔලුවේ තියාගෙන හිටිය එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු ප්‍රමාණයට වඩා විශාල කරුණු ගොඩක් තියනවා. හැබැයි සැළකියයුතු පිරිසක් ඔලුවේ තියාගෙන ඉන්නේ. අවශ්‍ය දේ නෙවේ අනවශ්‍ය දේ. හැබැයි ඔය ‘හැන්දෙන් කටට’ ක්‍රමයට හදන ළමයි අමාරුවේ වැටෙන්නේ, අනාගතේදී තමන්ගේ ජීවිතය ගැන වැදගත් තීරණ ගන්න ගියාමයි.

  26. මුලදී මට සිතුනේ ඔබේ ලිපිය වටිනා බව සටහන් කළයුතුය කියායි. ඒ ගැන ලියැවී ඇති වටිනා අදහස් කියවන විට ඔබේ ලිපිය ඉතා විටිනා බව සටහන් කළයුතු බව තෙරුණා.

    • බුද්ධිමත් පාඨකයන්ගේ අගනා අදහස් නිසා මේ ලිපියට ලැබුන ආලෝකය අපමණයි. ඔවුන් සියලුදෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා.

  27. තැනකට ගිහින් දෙයක් කරගන්න පෙර අත්දැකීමක් නැත්නම් වරදින්න පුලුවන්.ඒත් ඉතින් එහෙම වෙලාවට සුදුසු නිලධාරියා ලඟට ගිහින් විස්තර කතා කරලා අවශ්‍යතාවය කරගන්න ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.ගොඩක් අයට වරදින්නේ ඒක තමයි.කෙනෙක් එක්ක කතා කරන්න ඉදිරිපත් වෙන්න බයයි.

    • අධ්‍යාපනය තුලින්ම ඒ බය නැති කලයුතුයි. ‘පාඩම් කිරීම සහ විභාග වලට පෙනීසිටීම යනු අධ්‍යාපනයයි’ යන සංකල්පය වෙනස් කලයුතුයි.

  28. මේ ගැන මට තියෙන්නෙ මෙහෙම අදහසක්:
    අතීතයට වඩා වර්තමානයේ දී ළමයින්ව “තොත්ත බබාලා” විදියට හදන්නෙ දෙමව්පියන්.
    අතීතයට වඩා වර්තමානයේ දී සිසු සිසුවියන්ව ද “නොදන්නා බබාලා” විදියට හදන්නෙ ගුරුවරුන්.

    ඉතින් ජීවිත ගැටළු වලට මුහුණ දෙන්නේ කෙසේදැයි ද මේ අයට නුහුරුයි.

    තමන් විසින් හිතලා වැඩක් කරන්නට ඉඩක් දී ඒ කරන හරි වැරදි වලින් ඉගෙන ගන්න ඉඩක් දෙනවා වෙනුවට මෙහෙම කරන්න අරහෙම කරන්න, ඉහත DDT කියන විදියට පාසැල් වැඩ හා කන බොන අඳින පළඳින ටික පවා වැඩිහිටියන් තීරණය කරන යුගයක අයෙක් දන්නේ යහළුවන් අනුකරණය හා තමන් කැමති වැඩිහිටියෙක් කියන දෙයක් කරන්නට පමණයි.

    //අපේ ළමා කාලයේ දී ඔලුවේ තියාගෙන හිටිය එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු ප්‍රමාණයට වඩා විශාල කරුණු ගොඩක් තියෙන// බව හැබෑව. ඒත් එදා වගෙ නෙමෙයි ඒ කරුණු සියල්ල ඔළුවේ තියාගන්න ඕනෑ නැහැනෙ. අවශ්‍ය විටෙක පමණක් ඒවා සැනෙකින් හොයාගන්න ක්‍රම ද කොපමණක් තියෙනවා ද?!!!!!!!

  29. යුගයේ මොකක් හරි නුගුනයක්ද..මන්දා..මේව සුලබ වෙන්න.

    තව කරුනක් එක් කරන්න කැමතියි…8 පන්තියෙදි විතර රාජකාරී ලිපියක් ලියන්නෙ කොහොමද කියලත් ඉගැන්නුවා..අච්චු පොත්වල පාඩම් තිබුන. ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන ආකාරය සමග.

  30. නිර්නාමික said:

    මේකයි උගන්වන එක කොහොම උණත් එකපාරක් දෙපාරක් කරන කල් හැමෝගෙම අතින් වෙනවා මේ වැරැද්ද.

    • ඔව් ඔබ හරියටම හරි. හැබැයි හැමදාම වරදින්න බැහැ. මොකද මේවා හැමදාම කරන්නෙත් නැහැ. නමුත් මෙවැනි වැරදි තමන්ටම ලොකු පාඩුවක් ඇතිකරවන්න පුළුවන්. ඒකයි මම කිව්වේ නිතර නොකරන මෙවැනි දේ ගැන පුංචි සටහනක් ලියලා අරන් තියාගත්තම, ඊළඟ අවස්ථාවේදී ඒ සටහන බලලා අවශ්‍යදේ නැවත කළහැකි වෙනවා.

  31. සමහර කොල්ලෝ කෙල්ලෝ පෝස්ට් ඔෆිස් එක තියෙන තැනවත් දන්නෑ.

  32. මගේ යාලුවෙක් ගත්තා android ෆෝන් එකක් ,දැන් අව්රුද්දක් වෙනවා ,ගන්නේ කෝල් විටර්යි ,අපරාදේ සල්ලි

  33. නිර්නාමික said:

    සමාවෙන්න පරක්කු උනාට!
    මේක අපේ මිනිස්සුන්ගෙ පොදු අවුලක්. අද කාලෙ “දැනුවත් වෙන්න” ක්‍රම තියනව ඕන තරම්. ඒත් මිනිස්සු ඒ දේවල් ගැන අවධානයක් නෑ. ඔහේ එන්නං වාලෙ ඇවිල්ල බැනල යනව.
    හමුදාවෙ හිටිය නිසාද කොහෙද විචාරක මහත්තය තාම ගම් අරගෙන තැපැල් කාර්යාලෙට යන්නෙ. 🙂
    මට හිතෙන්නෙ ඒක ඕනවට වැඩිය සූදානමක් කියල. පුළුවන් නම් මේල්ලුවක් එවන්න.
    raj_wvp@yahoo.com

    • හරියට හරි. අද කාලයේ තරම් දැනුම වර්ධනය කරගන්න පහසුකම් තිබුනේ නැහැ අතීතයේ. අනාගතය වෙනකොට අපිට හිතන්නවත් බැරි තරමට එය දියුණු වෙනවා. නමුත් බොහෝවිට පෙනෙන්නේ මෙසේ දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථා බහුල සහ පුළුල් වනවිට මිනිසා නොදැනුවත් වූ කම්මැලියෙකු බවට පත්වී තිබෙන බවයි.

      හමුදාවෙන් අපි ඉගෙනගත් ‘සූදානම්ව සිටීම’ අපේ ජීවිත වලට අදත් යම් සාර්ථකත්වයක් එක කරනවා.

  34. මාත් ඔහොම තැනකට යනකොට ඔච්චරම සන්නද්ධ නොවුනත් පෑනක් නම් අරන් යනව. සාමාන්‍ය දේ ගැන ඒ අයට අවබෝධයක් නැත්තෙ කටපාඩම් කරල විභාග පාස් කරන්න විතරක් පුහුණු කෙරෙන නිසා ද කියලත් හිතෙනවා. ගෙදරදි කරගෙන එන්න කියල පාසලෙන් පවරන වැඩ බොහොමයක් කරන්නෙ ගෙදර වැඩිහිටියෙක් තමයි බොහෝ විට.

    //අපේ ‘ජනාධිපතිනිය’ හිටියොත්, මටත් බැනලා, අර මනුස්සයා පස්සෙන්ම ගොස්, පෑන ඉල්ලාගෙන එනවාය. (ලෝබ ගෑණි 😀 ) //

    මේක දැක්කොත් නම් ‘එතුමිය’ බ්ලොග් එකත් තහනම් කරනවා. 😀 😀

    • දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව මෙලොව හැරගියදාට වත්මන් පරපුරේ සමහර අයට සියදිවි කානිකරගන්න වෙයිද මන්දා.

      ‘එතුමිය’ කවදාවත් බ්ලොග් නොබලන නිසා හොඳයි 😀 😀

  35. කතාවට සම්පුර්නයෙන්ම එකගයි.අපෙ ගොඩාක් දෙනෙක්ට වෙල තියෙන්නෙ සෙවාවක් ඩෙන්න ගියත් ගන්න ගියත් තමන් කරන්නෙ මොකක්ඩ කියල හරියට තෙරුම් නොගෙන වල් බුත ඔලුවෙ තියගෙන වෑඩෙ කරන්න යනව

    • එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු නොකිරීම ඉතාම භයානකයි. දුරකථනය කනේ තියාගෙන පාර පනින අය කොච්චර ඉන්නවද?

  36. Sir…Oyage lipi mama okkoma wage kiyawala thiyenwa…namuth mama prathichara dakwala naha adawanathuruth…heethuwa…godaak lipi hamuda danuma sambandawa nisa…eewa ape amathara danumata hondai…namuth me liyuma apage dan parapurata saha anagatha parapurata athyawashya lipiyak…prayogikawa hithanna/karanna puluwan deyak obathuma liyala thiyenne…me wage lipi samajayata bohoma wadagath…oba thumage wadi awadanaya me wage pahiwalata yomu wewa kiyala prarthana karanawa…wadi wadiyen liyanna shakthiya labewa…obata jaya….

    • බොහොම ස්තුතියි මොහාන්. මම හිතනවා ඔබ මේ ටයිප් කර ඇතිදේ ඔබට නොමිලේම ලබාගත හැකි Google Input Tools මගින් පහසුවෙන්ම සිංහලෙන් ලියන්න තිබුනා කියා. ඔබේ අදහස් අගය කරන අතර වරින්වර මෙවැනි වෙනස් ආකාරයේ ලිපි ලියන්නට උත්සාහ කරනවා.

  37. අනිත් කවරෙකුටත් වඩා මම ඔබේ කතාවට එකඟ වෙමි. එහෙම කියන්නේ මම අනන්ත අප්‍රමාන සැරයක් ඔය වගේ දේවල් දැක ඇති නිසයි. නමුත් එහි මෙහෙම පැත්තකුත් තියෙනවා. පාසල් අද්යාපනයේදී උඩින් පල්ලෙන් ඕවා උගන්වන්නේ. ප්‍රයෝගිකව ලිපියක් ලියා ලමයා ලවා තැපැල් කර අත්දෙකීමක් ගන්න දෙන ගුරුවරු අඩුයි. අනිත් අතට හෑල්ලක් වගේ සිලබස් එකක් එක්ක ගුරුවරයා පිම්මෙ දුවනවා මිස ප්‍රායෝගික ක්‍රියාකරකම් ගැන උනන්දුව අඩුයි. ඉහල තැන්වලින් අහන්නෙ වාරයට නියමිත යුනිට්ස් කවර් කලාද, ඇගයීම් කලාද, ඇගයීම් ලිව්වද, ලකුනු පොත්වල ලකුනු එන්ටර් කලාද, ප්‍රොජෙක්ට් ලිව්වද කියල.
    කිසි කෙනෙකුට ගුනාත්මක අද්යාපනයක් ගැන උනන්දුවක් නෑ.

    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට

  38. මේකට ප්‍රධාන හේතුව තමා, දැන් අධ්‍යාපන ක්‍රමයේදී ළමයෙකුට කටපාඩම් විෂය දැනුමක් ලැබුනත්, ජීවිත දැනුම නොලැබීම. ‘උපාධිලාභි රැකියා විරහිත’ කියලා කොටසක් ඇතිවෙන්නත් මේක එක හේතුවක් කියලා මට හිතෙනවා. මොකද කටපාඩම් කරලා උපාධි ගත්තට ඒක ප්‍රායෝගීකව යොදවන්න දන්නෙ නැතිකම. මේකට ළමයට විතරක් දොස් කියන්න බෑ, මොකද දෙමව්පියෝ, ගුරුවරු පවා මේකට හවුල් වෙන නිසා. දැන් දෙමව්පියෝ බලන්නේ අපේ ළමයා අල්ලපු ගෙදර ළමයාට වඩා ලකුණු ගන්න ඕනා කියන එක, ඒක නිසා ළමයාව පහේ ශිෂ්‍යත්වයේ ඉඳන්ම උපකාරක පන්ති යවලා කටපාඩම් කරවලා හරි ලකුණු ගන්න බලනවා.

    මට හොඳට මතකයි, 8 පන්තියේදී අපිට ටෙලිග්‍රෑම් එකක් ගේන්න කියලා ඒක පුරවන හැටි ඉගැන්නුවා.

    ස්තූතියි මේ වගේ සමාජ සත්කාර කරනවට.

    • ඇගයීම ගැන ස්තුතියි. දැන් ඉන්න සමහර අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන්ට වෙසක් කූඩුවක් හදලා දෙන්නවත් දැණුමක් නැහැ.

  39. mamath register karanna tina ewa pettiyata dala tiyenawa. wena monawath nemey AL exam application. 3rd shy danna yaddi wade hariyata kare. kalin wathaawala Po eke kawruhari reg karala danna aththe.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: