විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මේ වනවිට ඔබ කාලතුවක්කුව ගැන ලිපි දෙකක්ම කියවා තිබෙන නිසා දැන් ඔබේ දැනුම සතුටුදායක මට්ටමකට පැමිණ ඇතැයි මා විශ්වාස කරනවා. අද මම බලාපොරොත්තු වන්නේ ඒ දැනුම තව දුරටත් ඉදිරියට ගෙනයන්නයි.

  ඉතා වැදගත්; ලිපියේ දීර්ඝ බව අඩු කරගැනීම සඳහා, හැකිතරම් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන බව කාරුණිකව සළකන්න.

මා හිතනවා මුලින්ම විවිධ කාලතුවක්කු ඔබට හඳුන්වාදීම සුදුසුයි කියා. කාලතුවක්කු වර්ගීකරණයේ ඉදිරියට යන්නට පෙර කාලතුවක්කුවේ ප්‍රභේද පිළිබඳව කිව්වොත් හොඳයි කියලා හිතුන නිසා මුලින්ම එය කියන්නම්.

කැනන් – Cannon;

Cannon (2) කැනන් යන වර්ගීකරණයට අයත් වන්නේ පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුයි. කැනන් යන වචනය යෙදුනේ කලින් ලිපියේදී සඳහන් කල ආකාරයේ යකඩ බෝල උණ්ඩ සහ වෙඩි බෙහෙත් කොටන ක්‍රමයට පාවිච්චි කල කාලතුවක්කු යන අදහසින්. නමුත් පළමුවැනි පරම්පරාවේ අගටම තිබුණ සමහර යාන්ත්‍රික කාලතුවක්කුත් කැනන් කියන කාණ්ඩයට ඇතුළත් කෙරුණා.

හොවිට්සර් – Howitzer;

 Howitzer 2 හොවිට්සර් අදත් පාවිච්චි කරන කාලතුවක්කු විශේෂයක්. හොවිට්සරයේ ප්‍රධාන ලක්ෂණ මේවායි. තුවක්කු බටය බොහෝවිට කාලතුවක්කු බටයකට වඩා දිගින් අඩුයි. හොවිට්සරය යොදාගන්නේ, තුවක්කුව තිබෙන ස්ථානය සමග සසඳා බලන විට තිබෙන, උස් බිමකින් එහා පැත්තට, නැතහොත් තාප්පයකින් වටවූ බලකොටුවක් ඇතුළට, වැනි ඉතා උස් පරාවලයාකාර හැඩයකට (high trajectory) ගමන් කරන ප්‍රක්ෂිප්තයක් (projectile) විදීම සඳහායි. හොවිට්සරයේ පසුපස තිබෙන ආධාරක කකුල් වැනි දෙක කාලතුවක්කුවක එවැනි ආධාරක වලට වඩා කොටයි. එසේ සකසා තිබෙන්නේ තුවක්කු බටය ඉතා ඉහල කෝණයකට එසවීමට හැකිවීම සඳහායි.

කාලතුවක්කුව – Artillery Gun;

  Field Artillery Gunකාලතුවක්කුව කියන්නේ විශේෂ අවියක්. සාමාන්‍ය තුවක්කුවකින් ලබාගත නොහැකි, ඉතා ඈත තිබෙන ඉලක්ක වලට පහර දීම තමයි කාලතුවක්කුවේ කාර්ය භාරය. ඒ සඳහාම විශේෂවූ පතරොම් සහ ගිනිබලය (අධික පීඩනය) උපදවා දෙන උපක්‍රම කාලතුවක්කුව සතු වෙනවා. එය යාන්ත්‍රික හෝ වර්තමානයේදී විද්‍යුත් ක්‍රම මගින් ක්‍රියාකරන අවියක්. පතරොම/බෝම්බය පිට කිරීම සඳහා රසායනික ක්‍රමද (රසායනික අවි නොවේ. වෙඩි බෙහෙත්) අවශ්‍යනම් යොදාගත හැකියි. මෝටාර්, මිසයිල්, රිකොයිල්ලස් තුවක්කු, සහ රොකට් වෙඩි, කාලතුවක්කුවේ නෑදෑයන් ලෙස සැළකිය හැකියි. නවීකරණය කළ පරමාණු බෝම්බයක් වුනත්, ඉතා දුර වදින කාලතුවක්කුවක් මගින් යැවිය හැකියි.

කාලතුවක්කු වර්ගීකරණය

කාලතුවක්කු වර්ගීකරණය තරමක් සංකීර්ණ මාතෘකාවක්. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කාලතුවක්කු වර්ගීකරණය කරනවා. එක් වර්ගීකරණයක් වන්නේ තුවක්කුවේ කැලිබරය අනුව වර්ග කිරීමයි. ඒ අනුව,

  • බර කාලතුවක්කු – Heavy Artillery Guns (කැලිබරය මිලිමීටර් 161 – 210 අතර)
  • මධ්‍යම ප්‍රමාණයේ කාලතුවක්කු – Medium Artillery Guns (කැලිබරය මිලිමීටර් 121 – 160 අතර)
  • සැහැල්ලු කාලතුවක්කු – Light Artillery Guns (කැලිබරය මිලිමීටර් 120 හෝ ඊට අඩු)

  යනුවෙන් වර්ගීකරණයක් තිබෙනවා. තවත් වර්ගීකරණයක් තිබෙනවා. එහිදී තුවක්කු වර්ග කර තිබෙන්නේ ඒ ඒ තුවක්කු වර්ගයේ ස්වභාවය, මෙන්ම ක්‍රියාකිරීමේ සහ යෙදවීමේ ස්වභාවය පදනම් කරගෙනයි. ඒ වර්ගීකරණය මෙන්න මෙහෙමයි.

  • ක්‍ෂේත්‍ර කාලතුවක්කු – Field Artillery Guns මෙම වර්ගීකරණයට අයත්වන්නේ භූමියේ සිටින පාබල හමුදාවන්ට ආධාර කරන විවිධ කාලතුවක්කු, මෝටාර්, හොවිට්සර්, රොකට් විදිනයන්, ආදියයි.
  • යාන්ත්‍රික චාලක කාලතුවක්කු – Motorized Artillery විශේෂයෙන් නිපදවූ ට්‍රැක්ටර් ක්‍රමයකින් හෝ තුවක්කුවට සවිකළ යන්ත්‍රයක් මගින් ඇදගෙන යාම සහ එහා මෙහා හැරවිය හැකි කාලතුවක්කු.
  • ස්වයං චාලක කාලතුවක්කු – Self Propelled Artillery Guns වාහනයක හෙවත් ධාවනය කළහැකි යාන්ත්‍රික පද්ධතියක ස්ථිරව සවි කර තිබෙන සෑම වර්ගයකම කාලතුවක්කු
  • රේල් පීලි මත දිවෙන කාලතුවක්කු – Railway Guns අද භාවිතයේ නැත
  • නාවික කාලතුවක්කු – Naval Artillery Guns යුද නැව් වල සවි කර තිබෙන කාලතුවක්කු වර්ග
  • වෙරළාරක්ෂක කාලතුවක්කු – Coastal Artillery රටක ආරක්ෂාව සඳහා වෙරල තීරයන්හි ස්ථිරව සවි කර ඇති කාලතුවක්කු.

  ඉහත සඳහන් තුවක්කු වර්ග වලින් රේල් පීලි මත දිවෙන කාලතුවක්කුව හැර අනෙකුත් වර්ග වල පින්තූර පහත දක්වනවා. රේල් පීලි මත දිවෙන කාලතුවක්කුවේ පින්තූර කීපයක් කලින් ලිපියේ තිබෙනවා.

Field Gun 1

Balls of the Eagles raid the skies

Motorized

Self Propelled

Naval Arty

Coastal Arty

තවත් උප වර්ගකිරීම් තියනවා. එහෙත් ඒ සංකීර්ණ කරුණු මා මෙහි දක්වන්නේ නැහැ. දැන් ඔබ පුල පුලා බලාසිටින දේ තමයි කොහොමද කාලතුවක්කුවකින් වෙඩි තබන්නේ කියන ප්‍රශ්නය. නමුත් කාලතුවක්කුවක මූලික කොටස් ටිකවත් ඔබ දැනගන්න ඕනෙනේ. ඒ නිසා මම එක රූප සටහනක් පෙන්වන්නම්. මෙය විස්තර කරන්න නොයන්නේ සාමාන්‍ය තුවක්කුවක් ඔබට බොහෝවිට අතපතගාන්න ලැබුනත්, කාලතුවක්කුවක් එසේ පරිහරණය කරන්න නොලැබෙන නිසා.

Main Parts

කාලතුවක්කු වර්ග ඉතා සංකීර්ණ වගේම කාලතුවක්කු උණ්ඩ වර්ගද ඉතා සංකීර්ණයි. ඒ වර්ග විස්තර කරන්න වෙනමම ලිපි කීපයක් ලියන්න වෙනවා. ඒ නිසා හැකි තරම් කෙටියෙන් හා සරලව උණ්ඩ ගැන කියලා ඉන්නම්. කාලතුවක්කු උණ්ඩයක් කියන්නේ ගුවනට විදින බෝම්බයක්. එය බිම හෝ තද මතුපිටක් මත වැදීමෙන් පුපුරන්නට පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් දැන් තිබෙන වැඩි දියුණු කල උණ්ඩ ඉලක්කයට ආසන්න ඉහල අහසේදී කුඩා කැබලි වලට පුපුරා මහා විනාශයක් කල හැකියි.

WP රසායනික උණ්ඩත් තියනවා. ප්‍රධාන වශයෙන් ඒ උණ්ඩ වල තිබෙන්නේ ‘වයිට් ෆොස්පරස්’ නමැති රසායනික ද්‍රව්‍යය. උණ්ඩය පුපුරා ගිය වහාම ගිනිගෙන දැවෙන ෆොස්පරස් ජාලාවක් හැම තැනටම විසිරෙනවා. ඒවා අපේ ඇඟේ ඇලෙනවා. ඇලුන ඇලුන තැන භයානක රසායනික පිළිස්සීමකට ලක්වෙනවා.  

 

  Para Illumnationරාත්‍රී කාලයේදී යුදබිම නිරීක්ෂණය කරන්න අවශ්‍යනම් ඉහල අහසේ ආලෝකයක් ඇති කළහැකි උණ්ඩ වර්ගයක් තියනවා. ඒවා හඳුන්වන්නේ ‘පැරා ඉලුමිනේෂන්’ කියලා. උණ්ඩය අවශ්‍ය ප්‍රදේශයට ඉහල අහසේ පුපුරා යන ආකාරයට වෙඩි තැබුවාම එහි ඇති පැරෂූට් එක මගින් එය සෑහෙන වෙලාවක් අහසේ තබාගන්නවා. ඉතා තද කහ/දොඩම් පැහැයේ ආලෝකයක් ලැබෙනවා.  

  smokeයුද බිමේ ඉන්න අපේ විශාල භට පිරිස්, යුද ටැංකි, ආදිය සතුරාගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වා ගැනීමට සහ ඉක්මනින් එහා මෙහා කරගැනීමට අවශ්‍යනම්, කාලතුවක්කු දුම් බෝම්බයක් සතුරා සහ අපේ භට පිරිස් අතරට දැමිය හැකියි. එයින් ඝන දුම් වලාවක් ඇතිකරනවා සෑහෙන වෙලාවක් යනතුරු. එයට මුවාවී අපේ කාර්යය කරගන්න පුළුවන් වෙන ආකාරයට.

  හැබැයි අපේ පැත්තට තද සුළං තියන අවස්ථාවක පැරා ඉලුමිනේෂන් එකක් ගැහුවොත් සතුරාට අපිව වඩා හොඳින් පෙනෙනවා. එවිට අපිට බඩුම තමා. ඒ වගේමයි දුම් බෝම්බයේ දුම අපේ පැත්තට ආවොත් වැඩක් නැහැ. අන්න අරුන් මාරුවෙනවා කියලා සතුරා අපිට ගහනවා. 

Gun_Data_Projectiles_pic

 සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි. 

id20189600

   මේ තිබෙන්නේ අවශ්‍ය පරිදි ඉලක්කය වෙත යාම පාලනය කළහැකි නවීනතම කාලතුවක්කු උණ්ඩයක්.

XM982_Excalibur_inert

   කාලතුවක්කු කීපයක් එකට එකතුකර සකස්කර තිබෙන කණ්ඩායමට කියන්නේ ‘Artillery Battery – කාලතුවක්කු බතරොයිය’ කියලයි. එහි අණදෙන්නා ‘බැට්‍රි කමාන්ඩර්’ ලෙසයි හඳුන්වන්නේ.  සාමාන්‍යයෙන් මේජර් නිලයේ නිලධාරියෙක්. 

  කුමන අවස්ථාවක, කුමන ආකාරයෙන් වෙඩි තැබුවත්, කාලතුවක්කු වෙඩි තැබීම් සඳහා, දිනපතා කාලගුණික දත්ත අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ නිසා දිනපතාම යුදබිමේ තිබෙන සෑම කාලතුවක්කු මධ්‍යස්ථානයකටම කාලගුණ දත්ත සැපයෙනවා. ඒ වගේම තමයි බර කාලතුවක්කු වෙඩි තැබීමකට පෙර ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන වලින් සනාථ කරගත යුතුයි, ඒ ප්‍රදේශයට ඉහලින් සිවිල් ගුවන් ගමන් ඒ අවස්ථාවේ සිදු නොවන බවට. එයට හේතුව සමහර කාලතුවක්කු උණ්ඩ ඉතා ඉහල උසකින් ගමන් කිරීමයි.  කාලතුවක්කුවෙන් වෙඩි තබන න්‍යායාත්මක ක්‍රම කීපයක් තිබෙනවා. ඉතා කෙටියෙන් කියන්නම්.

  • Counter Battery Fire – සතුරාගේ කාලතුවක්කු බැටරි විනාශ කිරීම/අඩපණ කිරීම සඳහා වෙඩි තැබීම.
  • Counter Preparation Fire – සතුරා අපට ප්‍රහාරයක් එල්ල කිරීම ස්ථිරවම ,නොපමාවම, සිදුවියහැකි බව සනාථ වන්නේනම් සතුරු කඳවුරු වෙත එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර මගින් ඔවුන්ගේ සැලසුම් අවුල් කරනවා.
  • Defensive Fire – අපේ භට පිරිස් සිටින ප්‍රදේශයන්හි ඉදිරි භූමියේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා එල්ල කරන ප්‍රහාර.
  • Final Protective Fire – සතුරා අපේ සීමා මායිම් බිඳගෙන අපේ ප්‍රදේශයට ඇතුළුවීමට ඔන්න මෙන්න තත්වයක් ඇතිවුනොත්, අපේ ආසන්නතම ඉදිරි භූමියට එල්ල කරන ප්‍රහාරය.
  • Harassing Fire – අපට දැනගන්න ලැබෙනවා සතුරා ඉදිරි කාලයේ අපට පහර දීම සඳහා සංවිධානය වෙමින් සිටින බව. ඔවුන් එසේ සංවිධානය වන ප්‍රදේශ වලට පහරදී ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා කරන ප්‍රහාර මේ නමින් හඳුන්වනවා.
  • Interdiction Fire – අපට අවාසිදායක වියහැකි භූමි ප්‍රදේශයක් සතුරා අතට පත්වීම වලක්වා ගැනීම සඳහා කරන ප්‍රහාරය.
  • Preparation Fire – මහා සටනක් සඳහා අපේ සේනාංකයක් යුද භූමියට බසින්නට මොහොතකට පෙර සතුරා ඇතැයි කියා කලින් දැන සිටින ප්‍රදේශ වෙත කාලතුවක්කු උණ්ඩ වැස්සක් දෙනවා. එය අපේ හමුදාවේ ඉලක්ක අත්පත් කරගැනීමට පහසුවක් වෙනවා.
  • Deep Supporting Fire – යුද බිමේ ඉතා ඈත, අපිට නිරීක්ෂණය නොවෙන, එහෙත් දත්ත මගින් සොයාගත් ඉලක්ක වෙත පහරදීම.

  කාලතුවක්කුවකින් වෙඩි තියන්න ස්ථාන කීපයක සිටින කණ්ඩායම් කීපයක් එකවර සහයෝගයෙන් ක්‍රියා කරනවා. කාලතුවක්කුව ක්‍රියා කරවන අයට සෑමවිටම ඉදිරි භූමිය පෙනෙන්නේ නැහැ. ඒ නිසා වෙඩි තබන ලද උණ්ඩ ඉලක්කයට වැදුනාද නැද්ද, තව ඉදිරියට හෝ පසු පසට, වමට, දකුණට, වන්නට වෙඩි තැබිය යුතුද යන්න කාලතුවක්කු කාර්ය මණ්ඩලයට ගුවන්විදුලි මගින් දැන්වීමට නිලධාරියකු ඉදිරි භූමියේ යොදවා තිබෙනවා ඔහුට කියන්නේ ඉදිරිය නිරීක්ෂණය කරන නිලධාරි කියලයි. Forward Observation Officer = FOO.  ඊට අමතරව, කාලගුණික දත්ත සහ කාලතුවක්කුව හැසිරවීම සඳහා අවශ්‍ය දත්ත, විශේෂ පරිගණක ක්‍රමයකින් සකසා ලබාදීමට වෙනමම කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව සියලු වෙඩි තැබීම් සම්බන්ධීකරණය සහ පාලනය සඳහා කාලතුවක්කු අණදෙන නිලධාරියකු ඉන්නවා.

Fire control

  කාලතුවක්කුවකින් වෙඩි තබනකොට මුලින්ම කරන්නේ උණ්ඩය ඇතුළු කිරීමයි. දෙවනුව ඒ උණ්ඩය වෙඩි තැබීමට බලාපොරොත්තුවන දුර අනුව අවශ්‍ය පීඩනය (ගිනි බලය) ලබාගැනීම සඳහා වෙඩිබෙහෙත් ඇසුරුමක් තුවක්කුවට ඇතුළු කරනවා. එය හඳුන්වන්නේ ‘චාර්ජ් බෑග් – Charge Bag’ කියලයි. මේවා විවිධ ප්‍රමාණයෙන් මෙන්ම ලෝහ, කාඩ්බෝඩ්, ඝන රෙදි, ආවරණ වලින් යුතුව සකසා තියනවා. අපේ සමහර හමුදා නිවෙස්වල ඔබ දැක ඇති පිත්තලෙන් සැකසු මෙවැනි චාර්ජ් බෑග් කොපු තියනවා. වරදවා වටහාගන්නට එපා. එය කාලතුවක්කු පතරොම් කොපුවක් නොවේ. චාර්ජ් බෑග් එක වරම ගිනි ඇවිලෙන්නේ එහි පසුපස කොටසේ ඇති ප්‍රයිමරයට කාලතුවක්කුවේ මිටිපහර වැදීමෙන්.

Charger

combination

  ෆියුස් එක බිම ඇණුනම තමයි බෝම්බය පත්තු වෙන්නේ. නමුත්, ෆියුස් එක අපට අවශ්‍ය වෙලාවේදී පත්තුවෙන්න හදපුවා දැන් තියනවා.

  අපි කාලතුවක්කු වෙඩි තැබීමක් වීඩියෝවක් මගින් නරඹමු.

  මේ වෙඩි තැබීමේදී ඔබට පෙනෙනවා ඇති, විශාල පොල්ලක් වැනි උපකරණයකින්, උණ්ඩය තුවක්කුව ඇතුළට යවන හැටි. එයට කියන්නේ ‘හෑන්ඩ් ස්පයික්’ කියලයි. උණ්ඩයේ බර කොපමණදැයි එයින් හිතාගන්න පුළුවන්. ඒ වගේම දැක්කද උණ්ඩ සහ චාජර් උස්සලා ගෙනත් දෙනවා. ඒවා හරි බරයි. බලන්න තුවක්කුවේ කාර්ය මණ්ඩලය අට දෙනෙක් ඉන්නවා. මීට වඩා පිරිසක් අවශ්‍යවන තුවක්කුත් තියනවා. මේ බලන්න.

Arty Fire

  කාලතුවක්කුවේ නෑදෑයන් වන මෝටාර්, රිකොයිල්ලස් තුවක්කු, මිසයිල්, මල්ටි බැරල් රොකට්, ආදිය ගැන දීර්ඝ විස්තර මම මෙතැනදී කියන්නේ නැහැ. පසුව කියන්නම්. දැනට පින්තූර විතරක් බලමු.

marines-prepare-to-fire-a-120mm-mortar-stocktrek-images

මෙම මෝටාරයෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 7200 යි

RCL

වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 4000 යි. වෙඩි තබන හැටි මේ වීඩියෝවෙන් බලන්න.


  රිකොයිල්ලස් තුවක්කුව හෙවත් RCL එකෙන් වෙඩි තබනවිට තුවක්කුවට පසුපසින් මීටර් 10 ක් පමණ දුරට යනතුරු කිසිදු බාධකයක් නොතිබිය යුතු අතර, (බිත්තියක්, වාහනයක් වැනි) කිසිවකුත් තුවක්කුවට පසුපසින් රැඳී නොසිටිය යුතුයි. එයට හේතුව වෙඩිල්ල පිටවනවිට තුවක්කුවේ පසුපසින් එපමණ දුරකට මහා ගිනි ජාලාවක් විහිදෙන නිසයි.  

  මෝටාර් වලින් සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් වලින් වෙඩි තියනවා ඔබ පසුගිය යුද සමයේදී රූපවාහිනී වාර්තා වලින් දැක්කා නේද? ඒ නිසා මිසයිල් එකක් ගහන හැටි විතරක් පෙන්වන්නම්. මෙයත් අපි නිතර දකින අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල්  (ICBM) නොවේ. යුද ටැංකි නාශක සහ ගොඩබිම් ඉලක්ක වෙත එල්ල කරන මිසයිල්.


කාලතුවක්කුව වේගයෙන් නවීකරණය වෙමින් පවතිනවා. දැනටමත් පරිගණක තාක්ෂණයෙන් හසුරවන කාලතුවක්කු තිබෙනවා. අනගාතය තවත් විශ්මයජනක වෙයි. අපි මෙහෙ ටාටා බස් වලින් යන අතර අපේ අසල්වැසියාට අයත් ටාටා සමාගම මහා විශාල බලගතු කාලතුවක්කුවක් හදලා තියනවා. මේ බලන්න.


  කාලතුවක්කුව සතුට සහ දුකටත් පාවිච්චි කරන බව දන්නවාද? කාලතුවක්කු හමුදාවේ ජ්‍යොෂ්ඨ නිලධාරියකු විශ්‍රාම යන අවස්ථාවේ පවත්වන රාත්‍රී සාදයෙන් අනතුරුව, අර පසුගිය ලිපියෙන් මා පෙන්වූ වර්ණලාභී කාලතුවක්කුව වැනි කුඩා කාලතුවක්කුවකට ඒ විශ්‍රාම යන නිලධාරියාව නංවා, සුදු පැහැති විශාල කඹ දෙකක් මගින්, අනික් සියලුම නිලධාරීන් විසින් ඒ තුවක්කුව ටිකක් දුර ඇදගෙන යනවා. මල් හතයි නේ? 😀

  හමුදාවේ සෑම නිලයකුම මියගිය පසු ඔහුගේ දේහය රැගත් දෙන කාලතුවක්කු ගැලක – Gun Carriage තබා සුසාන භූමිය වෙත රැගෙන යනවා. (ශ්‍රී ලංකා යුද හමුදාවටම තිබෙන්නේ එවැනි ගැල් තුන හතරක් පමණයි. ඒ නිසා පසුගිය යුද සමයේදී එකම දිනයක පැවැත්වුන සියලුම හමුදා අවමංගල්‍යය සඳහා කාලතුවක්කු ගැලක් ලබාදෙන්නට හැකිවුණේ නැහැ) එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සහ ඊට ඉහල නිලයන්හි නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී (විශ්‍රාමිකව සිටියත්) කාලතුවක්කු ගෞරවාචාර වෙඩි මුරයක් පවත්වනවා.

Margaret_Thatcher_funeral_gun_carriage_X8A2566

දැන් ඉතින් කාලතුවක්කු ගැන ඔබේ දැනුම බොහෝ දුරට සම්පූර්ණයි නේද? මම ඔබට මේ ලිපි මාලාව ආරම්භයේදීම කිව්වනේ ලෝකයේ තියන කාලතුවක්කු ඔක්කොම ගැන කියන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා ඒ කතාව ඇත්තද බොරුද කියලා මෙතනින් බලන්න. කාලතුවක්කු හමුදාව ගැන ලස්සන කියමන් තියනවා. එවැනි කියමන් කීපයක් පහත දක්වනවා.

  •  “Artillerymen believe the world consist of two types of people; other Artillerymen and targets.”
  • “Gunners will always fight together, drink together, laugh together, and morn together.”
  • Guns will make us powerful, butter will only make us fat.

  ඔන්න අපේ කාලතුවක්කු කතන්දරේ මෙතෙකින් අවසන් වෙනවා. තවත් මෙවැනි ලිපියකින් ඔබව හමුවන්නම්.

  සියලුම ඡායාරූප, මූලාශ්‍ර වෙබ් අඩවි වලින් සහ Google Images වෙතින් ලබාගෙන, අවශ්‍ය පරිදි සංස්කරණය කරන ලදී. සියලුම වීඩියෝ දර්ශන YouTube වෙතිනි.

මූලාශ්‍ර;

My Signature for Blog2013 ජූනි මස 15 දින 1417 පැය

Advertisements

Comments on: "අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු (තුන්වැනි කොටස) – The Artillery Gun (Part Three)" (64)

  1. ක්සැන්ඩර් said:

    ඔන්න මෙච්චර කාලයක් මගේ හිතේ තිබ්බ ගැටලුවක් විසඳුනා. සෙල්ෆ් ප්රොපෙල්ඩ් ආටිලරි කිව්වාම මට ටිකක් පැටලිලා තිබ්බේ. දැන් තමයි දැනගත්තේ ඒ මොකක්ද කියල. බොහොම ස්තුතියි ඔබතුමාට.

    • මමත් මේ කරලා තියෙන්නේ බොහොම උඩින් පල්ලෙන් අතපතගෑමක් විතරයි. මෙහි ගැඹුරු කරුණු රැසක් තිබෙනවා. නමුත් ඔබ සැමට මූලික දැනුම ලබන්න මෙය ප්‍රයෝජනවත් වූවායයි සිතනවා.

  2. ඉතාමත්ම සතුටුයි. මෙයින් කීපයක් ක්‍රියාත්මක වන හැටි හැබැහින්ම දැක තියනවා. ඒත් වෙනදා වගේම මට කියන්න තියේන්නේ එදා කී දේමයි. එයට ඔබ දෙන්නෙත් ඒ පිළිතුරමයි. එනිසා නිහඬවනවා තුමනි,
    හදවත කියනවා මේ හෙළි නොකළ යුත්ත්තක්.

  3. ලිට්ල් ජෝන් said:

    හොදයි සර් කාලතුවක්කු ගැන නම් දැනගත්තා ස්තූතීයි.පොඩි ප්‍රශ්නයක් තියනවා.මිසයිල හරියටම ඉලක්ක පස්සෙන් පන්නන්නේ කොහොමද?

    • මිසයිලයට සවි කල පරිගණක මගින් පාලනය වන උපකරණයක් තියනවා. එහි මතකයට චන්ද්‍රිකා ඡායාරූප සහ අනෙකුත් අවශ්‍ය දත්ත කවා තිබෙනවා. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ සියළු තොරතුරු කවා ඇති සිතන්න. එවිට මිසයිලය ලංකාවට ආසන්න මුහුදේ සිට හෝ ගොඩබිමක සිට මුදා හරියාම කොළඹ සොයාගෙන එනවා. එය ගමන් කරද්දීත් පාලනය කරන්න පුළුවන්. මේ හැර ගුවන් යානයක එන්ජිමෙන් පිටවන උෂ්ණත්වය සොයාගෙන එන මිසයිල් තියනවා.

  4. සර් multi කියන්නේ මොකද්ද අපේ හමුදාවේ එහෙම කාලතුවක්කු ඒකකයක් තියනවා නේද ?

    • multi කියන වචනයේ තේරුම නම් බහු කියන එකනේ. Multi Barrel Rocket Launcher කියන්නේ රොකට් විදින බට ගණනනාවක් සහිත අවියකටයි. අපේ කාලතුවක්කු හමුදාවේ Rocket Battery වෙනමම පිහිටවා තියනවා. මේ පින්තුරයේ තියෙන්නේ Multi Barrel Rocket Launcher එකක් MBRL

  5. මම ඔබතුමාගේ ලිපි සියල්ලක්ම කියෙව්වා. අපිත් එක්ක මේ තොරතුරු බෙදාගන්නවට ස්තුතියි.

  6. අපි ඔක්කොටම කාලතුවක්කු කිව්වට ඔක්කොම කාල තුවක්කු නෙවේ වගේ ….. විචාරක තුමා ලංකාවේ හමුදාව හොවිට්ස්ර් වර්ගයේ අවි භාවිතා කලා ද ? ……..
    නවීන යුද නැව් වල තියන ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා කාලතුවක්කු ක්‍රියා කරන ක්‍රමය ගොඩබිම් කාලතුවක්කු වෙඩි තබන විදිහමද ? පැරණි ලෝක යුද සමයේ භාවිතා කල ” බැට්ල් ෂිප් ” කාණ්ඩයේ යුද නැව් වල තියන දැවැන්ත අවිත් නවීන ” ඩිස්ට්‍රොයර් ” කාණ්ඩයේ යුද නැව් වල අවි ත් ලොකු වෙනසක් තියනව නේද ?

    • ඕනෑම භාෂාවකින්, කැනන්, හොවිට්සර්, ආර්ටිලරි ගන්, කියන තුනම සාමාන්‍ය ව්‍යවහාරයේදී ගන් කියන පොදු වචනයෙන් හඳුන්වනවා. අපේ හමුදාව පාවිච්චි කරන මිලිමීටර් 152 තුවක්කුව හොවිට්සර් ගණයට වැටෙනවා. නැව් වල තිබෙන තුවක්කු ගැන අධ්‍යයනයක් නොකර පිළිතුරුදීම අපහසුයි. මිලිමීටර් 152 හොවිට්සර්

  7. විශ්ව රංගනාත් said:

    ඉතා හොඳ ලිපියක් ගොඩක් ගැටළු නිරාකරණය උනා.

    ඔබ අවසානයට ලියා ඇති “සියලුම ඡායාරූප, මූලාශ්‍ර වෙබ් අඩවි වලින් සහ Google Images වෙතින් ලබාගෙන, අවශ්‍ය පරිදි සංස්කරණය කරන ලදී.” කරුණ මගින් ඔබ උත්සහා කරන්නේ එම පින්තුර ලබාගත් ස්ථානය පැවසීමට නම් එය මගින් ඔබ අදහස් කරන දේ සිදු නොවේ. Google Images search මගින් පෙන්වන්නේ Google සතු පින්තුර නොව වෙනත් අඩවි සතු පින්තුර වේ එම අඩවි වලට සාධාරණයක් කිරීමට නම් Google Images ලෙස නොලියා ඔවුන්ගේ නියම URL එක ලියන්න.

    • URL දාන්න ගියොත් මෙහෙම වෙන්නේ නැද්ද? මම සංස්කරණය කල පින්තූරය නෙවෙයි පෙන්වන්නේ. මොකද මම ඒ පින්තූරයට තවත් පින්තූර බද්ධ කරලා, අනවශ්‍ය කොටස් අයින් කරලා, ඉංග්‍රීසි අකුරු ඉවත් කරලා, සමහරවිට පසුබිම වෙනස් කරලා, තියෙන්නේ. මටත් හිතාගන්න බැහැ කුමක්ද කලයුත්තේ කියලා. මට කිසිදෙයක් හංගන්න නම් අවශ්‍ය නැහැ.

      • විශ්ව රංගනාත් said:

        Google Images ලෙස ලිවීම සහ කිසිවක් නොලියා සිටීම අතර වෙනසක් නැහැ නේද? කොහොමත් මටත් හිතාගන්න බැහැ කුමක්ද කලයුත්තේ කියලා.

      • [1] වගේ ලකුණක් පින්තූරය ගාවින් දානවා.

        පස්සෙ යටින්..

        සංස්කරණය කරන ලද මුල් ඡායාරූප
        [1] මෙතනින්.

        වගේ එකක් දාන්න පුළුවන්. පොත්වල මූලාශ්‍ර දාන්නෙත් එහෙමනෙ..

  8. කාලතුවක්කු උණ්ඩයේ පියුස් එක සෑහෙන වේගයකින් වදින්න ඕනෑද පිපිරීමට.එහෙම ඇහුවේ උණ්ඩ එහා මෙහා ගෙන යනකොට කොහේ හරි වැදුනොත් පුපුරනවද?ආයෙත් සැරයක් ඔබගේ මහන්සියට ස්තූතියි තුමෝ..

  9. අපි හිතුවට වැඩිය දරුණුයිනේ…

  10. නිර්නාමික said:

    නියමයි නියමයි……………… එහෙනං මල්ටි බැරල් ගැනත් ලියන්නකෝ

  11. අර මිසයිල් එක බැරල් එකෙන් එලියට එන්නේ යාන්ත්‍රීක බලයකින්ද , එලියට ඇවිත් නේද . ඉන්ධන දහනය වෙන්න පටන් ගන්නේ

    • පලවෙනි චාජර් එකෙන් තමයි බැරල් එකෙන් එලියට විසිවෙන්නේ. දෙවැනි චාජර් එක එතකොටම පත්තුවෙලා මිසයිල් එක අරගෙන යනවා.

      • පලවෙනි චාජර් එක රොකට් යාන්ත්‍රනයක් … කම්පනය ගැස්සීම අඩු කරන්ඩ එහෙම කරන්නේ මිසයිලය ක්‍රියාත්මක උනාම ගැස්සීම වැඩි …

  12. ඔබ තුමාගේ මෙම ලිපි දෙකෙන් මා වගේම අන් අයත් නොදන්නා දේ හුගක් දැනගත්ත/දැනගෙන තිබෙන බව කොමන්ට් වලින්ම පැහැදිලියි.
    කාලතුවක්කු බටයකින් උණ්ඩය පිට වූ විගස එක එක අවයව ගසා ගෙන ක්‍රියාත්මක වන විදිය අදමයි දැක්කෙ.
    මෙවන් හරවත් ලිපි වලින් අපව දැනුවත් කිරීමට ඔබ තුමාට ශක්තිය පතමි!.
    අයිස්චර්යේ වසන්තයට කොල්ලො පුහුණු කරනව කියල කාගෙන්වත් ලෙඩක් වැටෙන එකක් නැහැ නේද :)?.

    • මට සියුම් සැකයක් තියනවා මේ ලිපි කිසියම් අමනෝඥ පුද්ගලයන් විසින් වරදවා වටහාගනු ඇතැයි කියා. මා සියලුම මූලාශ්‍ර සඳහා සබැඳුම් ලබාදී තිබෙන්නේ, එවන් අයට පෙන්වා දෙන්නයි, මේ තොරතුරු මීට වඩා ගැඹුරින් සහ සවිස්තරව අන්තර්ජාලයේ තිබෙන බව.

      ඇගයීම ගැන ස්තුතියි.

  13. “ඒ වගේමයි දුම් බෝම්බයේ දුම අපේ පැත්තට ආවොත් වැඩක් නැහැ. අන්න අරුන් මාරුවෙනවා කියලා සතුරා අපිට ගහනවා.”
    ඉතින් දුම් බෝම්බය ගැහුවම කොහොමහ් දන්නවානෙ මාරුවෙන්න ගහන බව…

    “මේ නිසා දිනපතාම යුදබිමේ තිබෙන සෑම කාලතුවක්කු මධ්‍යස්ථානයකටම කාලගුණ දත්ත සැපයෙනවා.”
    මේ අපේ දෙපාර්තමේන්තුවෙන්..

    “ඒ නිසා වෙඩි තබන ලද උණ්ඩ ඉලක්කයට වැදුනාද නැද්ද, තව ඉදිරියට හෝ පසු පසට, වමට, දකුණට, වන්නට වෙඩි තැබිය යුතුද යන්න කාලතුවක්කු කාර්ය මණ්ඩලයට ගුවන්විදුලි මගින් දැන්වීමට නිලධාරියකු ඉදිරි භූමියේ යොදවා තිබෙනවා” මම අහලා තියෙනවා අනුරාධපුරය කෑම්ප එකට ඇතුළුවෙච්ච කොටි මේ වගේ කාලතුවක්කු වලට ඉලක්ක පෙන්නුවා කියලා..

    • හැමදාම කියනවා ප්‍රශ්න අහනකොට අංක දාන්න කියලා. කොහෙද ඉතින්….

      කාලතුවක්කු දුම් බෝම්බය කියන්නේ එසේ මෙසේ දුමක් නෙවෙයි (දුම සැරද………….? කතාව අහලා තියනවද?) ඒ දුම අස්සෙන් සතුරාට අපෙන් බදු හම්බවෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා දුම මැද්දෙන් ගහගන්න එන්නේ නැහැ. දුම පෙන්නලා අවධානය ඒ පැත්තට අරගෙන වෙන පැත්තකින් බදු හම්බ වෙන්නත් ඉඩ තියනවා. දුම් බෝම්බ ගැසීම සාම්ප්‍රදායික යුද උපක්‍රමයක්. (Conventional Warfare) ප්‍රති ත්‍රස්තවාදී යුද උපක්‍රම (Counter Terrorism Warfare) වලදී එය භාවිත වෙනවා අඩුයි.

      පිස්සුද? උන්නහැලාගෙන් ගන්නේ නැහැ. කාලතුවක්කු හමුදාවේ තියනවා (විශේෂයෙන් සුළං වේගය සහ දිශාව) අවශ්‍ය උපකරණ.

      ඔව්, මමත් 1990 කන්කසන්තුරේදී ඔය ජොබ් එක කොරලා තියනවා අප්පිරියා වෙනකල්.

      • 🙂

        “දුම සැරද………….?” අසා නැත..

        අචාර වෙඩි මුර ගැන කිව්වෙ නෑනෙ..

        • යෙක පන්ෂලක ආමුතුරුවෝ තෙමල මුනියෙක් තමා කෙනාවා පන්ෂල පලාකන්න. ආමුතුරුවෝ තනියෙන් තමා වෙඩ ඉටියේ. තවෂක් ආමුතුරුවාන්ට තානෙකට තමා වඩීන්ඩ ෂිත්ත වුනා. ආමුතුරුවෝ අර කෝලයාට කිව්වා තමා ‘අඩේ රාමශාමී උම්බ තවල් තොලාට කලීන් පුත්ත පූචාව අතලා පුතු ගෙයින් ගීන් තියාපාන්. උඹ කාතා කියාන්ඩ තන්නේ නෙති ඉන්දා නික්කාම් තියලා වෙන්දලා වරෙන්’ කියලා. යිත්තින් අර මුනියා තවාල්ට පුත්ත පූචාව අදලා කෙනිච්චා පුතුකෙට. ගීන් පලාන කොට අඩේයි අප්පා, අඳුන්කූරු එක තමා මහා කොඩාක් පත්තු වෙනවා. දුම තමා පිරිලා. රාමශාමි පුත්ත පූචාව තිප්පා. මූනට එන දුම අතීන් එහාට මෙහාට තම ගැෂුවා. මට්ට මේම අමාරුනම් පුත්තු ආමුතුරුවාන්ට කොච්චර තමා අමාරුද කියලා ඉතුවා. ඉතාලා ඇව්වා ආමුතුරුවාන්ට දුම ෂැරද කියලා. පලනකොට දෙපැත්තේ තවාත් පිළිම තමා තියනවා. (සැරියුත් මුගලන් පිළිම) ඒ පාර ඇව්වා මේ මල්ලිලාද කියලා.

          අචාර වෙඩි මුර පිළිවෙත මතක නැහැ. ජනාධිපති තුමා සහභාගිවන රාජ්‍ය උත්සවයකදී 21 යි. (21 ක් ගහන්ඩ හේතුව නොදනිමි) අනික් එවාගේදී 17 යි. අවමංගල්‍යයකදී නිලය අනුව 5 සිට 11 දක්වා.

      • WIKI දෙය්යෝ කියන විදියටනම් තමන්ගේ පුර්ණ පක්ෂපාතිත්වය පෙන්නුම් කරන්නලු.17 වන සියවසේ නාවික යුද්ද වලදී
        පරාද වෙච්චි එකා තමන්ගේ සියලු කාලතුවක්කු පත්තුකරලා ඉවර කරන්න ඕනලු තමන් පරාදයි කියලා පිළිගන්න නම් ( ඒ කාලේ නැව් වල කාලතුවක්කු RELOAD කරන්න ගොඩක් වෙලා යන හින්දා). ඒ වගේම යුද්ද නැවක් විදේශ වරායකට ලං වුනාම වරායේ ඇති කාලකුවක්කු වල මානයට එන්න ඉස්සෙල්ලා නැවේ කාලතුවක්‌කු පත්තුකරලා ඕන් අපි දැන් හිස් කියලාකිව්වම තමාලු මේ සාමකාමී යුද්ද නැවක් කියල වරායේ අය සලකන්නේ.

        දැන් විසි එකක්ම ගහන්නේ ඇයි? සුද්දන්ගේ නැවක් ( සිංහලෙන් කියනවනං බ්‍රිටිෂ්) යුද නැවක් අනුන්ගේ වරායකට ඇතුළු වෙනකොට වෙඩි හතක් තියනවලු.(ඔවුන් ඒ කාලේ ලෝකෙට ලොක්කා නිසා ඔක්කොම පත්තු කලේ නැහැ)
        හතක් තියන්නේ ඔවුන්ගේ නැව් වල සම්මත ආයුද වර්ග හතක් තියන නිසා මේ හත මොනවද කියලනම් මං දන් නැහැ.ඒකට ප්‍රති උත්තර විදියට ගොඩබිමින්/වරායෙන් වෙඩි තියනවාලු. අපිටත් වෙඩි තියන්න පුළුවන් කියල පෙන්නන්න .
        මත දෙකක් තියනවා ප්‍රති වෙඩි තියන ගාන ගැන
        නැවෙන් තිබ්බ ගාන වගේ double ( එතකොට සම්පූර්ණ වෙඩි ගණන 7+14= 21) WIKI දෙය්යන්ට අනුව
        නැවෙන් තිබ්බ ගාන වගේ triple ( http://www.arlingtoncemetery.mil අනුව)
        ඒ වගේම ගොඩබිමේදී වෙඩි බෙහෙත් වියලිව තියාගන්න එක ලේසි හින්දයි කියලා
        දෙය්යෝ කියන්නේ.

        • ඔබට අනෙක වාරයක් ස්තුතියි මේ අගනා තොරතුරු ඉදිරිපත් කර මේ ලිපියේ වටිනාකම වැඩි කිරීම පිළිබඳව. ඔබ වැනි පාඨකයන් මට හරියට වටිනවා. ඒ වගේම හරී අහනතුරු මේ ගෞරවාචාර වෙඩි ගැන මටත් එච්චර වැදගත් කමක් දැනුනේ නැහැ.

      • අයියෝ මේකතාව කියවලා මගෙ සීරියස් ප්‍රශ්නෙත් අමතක උණානෙ..

      • පිළිතුරුවලට ස්තුතියි! ඒත් වෙඩි ඔක්කොම ඉවර උනාම නැවේ ආරක්ෂාව සලසගන්න විදිහනම් ප්‍රශ්නයක්..

  14. කාලතුවක්කු ගැන ගොඩක් විස්තර මේ ලිපි තුනෙන් දැනගන්න පුලුවං උනා.
    මම හිතාගෙන හිටියෙත් අර ගෙවල් වල තියෙන ඒව උණ්ඩ වල කොපු කියලයි.
    හැබැයි ඉතිං මල්ටි බැරල් තමයි නියම බඩුව.

    හොඳ වෙලාවට කාලගුණ දත්ත දෙපාර්තමේන්තුවෙන් ගන්නෙ නැත්තෙ. නැත්තං ඉතිං වෙනම යුද්ධයක් කරන්න වෙනව. 😀

    • දවසක් එක්කෙනෙක් මගෙන් ඇහුවා මල්ටි බැරල් හිස් කොපු ගන්න බැරිද කියලා. මම කිව්වා ඒවා වැටෙන තැන හොයාගෙන ගිහින් ගන්න කියලා. 😀

      අනේ කාලගුනේටත් වෙච්චි දෙයක්.

      • මේ සිරාවටමයි සර් අහන්නේ

        මටත් බැරි වෙයිද එකක් ගන්ඩ

        ගලවන පරණ නපට් ඇණ එහෙම දාලා තියන්ඩ

        • අපේ ගෙදර ආවොත් එකක් දෙනවාමයි. හැබැයි මම අර කෝච්චියේ අන්කල් වගේ නරක මිනිහෙක් නෙවෙයි හරිද?

          පනාගොඩ කෑම්ප් එකේ යාළුවො නැද්ද. ඒ ඔස්සේ ගියොත් එකක් සල්ලි වලට ගන්න බැරිවෙන එකක් නැහැ.

  15. ෆියුස් එක බිම වැදුනොත් විතරනේ උන්ඩය පුපුරන්නෙ. බැරිවෙලාවත් ෆියුස් එක නැතුව උන්ඩය නිකන්ම බඳෙන් බිමට වැටුනොත් මොකද වෙන්නෙ ? එහෙම වැටුනොත් පුපුරන්න ක්‍රමයක් හදලා තියනවද ?

    අපි කොහෙද මහද්වීපික බැලැස්ටික් මිසයිල් නිතර දකින්නෙ ? ඕවා කොහොමත නිතර භාවිතා වෙන ඒවා නෙමේ නේද ? ලෝක යුද්ධයක්වත් එන්න එපැයි ඕවා පාවිච්චි කරන්න. එහෙම නේද ?

    මේ ලිපි මාලවත් වෙනදා වගේ මහන්සිවෙලා ඉදිරිපත් කළාට විචාරක මහත්තයට පින්.

    • මම හවස 6 විතර වෙනතුරු බැලුවා ඔයා එයි කියලා.

      නියම කතාවක් මතක් වුණා ෆියුස් එක ගැන. ඒක සංස්කරණය කරලා ඉදිරිපත් කරන්නම්. ඉස්සර වෙලා ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඔය ෆියුස් එක හයිකරලා පිපිරීමට සූදානම් කිරීමක් කරන්න තියනවා. එයට කියන්නේ ‘ප්‍රයිම් කරනවා’ කියලා. එහෙම නැතුව වෙඩි තිබ්බොත් බෝම්බය ගිහින් නිකම් ගල් ගෙඩියක් වගේ දොහ් ගාලා වැටෙනවා විතරයි 😀

      මම කිව්වේ ප්‍රවෘත්ති වාර්තා වල වැඩිය පෙන්වන්නේ අහවල් රට මෙන්න මේ විදිහේ මිසයිලක් හැදුවා, ඒකට පිළිතුරු ලෙස අහවල් රට මෙන්න මෙහෙම එකක් හැදුවා කියලා. අන්න ඒවගේ දේවල් ගැනයි කිව්වේ.

      ඇගයීම ගැන ස්තුතියි.

  16. නිර්නාමික said:

    // ‘පැරා ඉලුමිනේෂන්’// මාර ලස්සනයිනේ… 😀

  17. //‘පැරා ඉලුමිනේෂන්’ // මාර ලස්සනයිනේ…

  18. අඩේ අම්මා මෙච්චර කල් කාලතුවක්කු උන්ඩ කියලා හිතන් හිටියේ Charger වලටනේ
    හිස් Charger , civilian ගෙවල් වල තියාගන්න හමුදා අවසරයක් ඕනෑ නේද
    බොහෝ ස්තුතියි කරුනු පැහැදිලි කෙරීම් වලට ( කරුණු හොයල පැහැදිලි කරන්න ලේසි කෙලියක් නෙමේ තේරුනේ වැඩේ කරන්න ගියාම තමා 🙂 )

    • හිස් කොපු ගෙදර තබාගෙන සිටීම සාමාන්‍ය කෙනෙකුට කල හැකිද? පිළිතුර පුළුවන්/බැහැ. එය තීරණය වෙන්නේ ඒ පුද්ගලයා එය තබාගන්නා ආකාරය සහ, සමාජය/පොලීසිය ඒ දෙස බලන ආකාරය අනුවයි. එය ගෘහ අලංකරණය සඳහා තබාගන්නේ නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. නමුත් ඒ හිස්කොපු වලින් බිස්නස් කරන්න යනකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ.

      ඔබත්, ඔබවැනි තවත් අයත්, වෙනුවෙන් තමා වෙහෙසවී කරුණු සොයා ලිපි ලියන්නේ. එය මට සතුටක්.

  19. කැනන් කියනකොට මට මතක් උනෙ අර අපි පොඩි කාලෙදි අහපු කතාව.

    The Charge of the light brigade

    cannons to the right of them
    cannons to the left of them
    cannons in front of them
    volleyed and thundered..
    Into the valley of death
    road the six hundred !
    අද ඉතින් වැලීස් ඔෆ් ඩෙත් හදන්න පුලුවන්නෙ සතුරා නොදැක… ඔය අලුත් අවි වලින්..
    ..

    • මුලින්ම ඔබට අපමණ වාරයක් ස්තුතියි මෙවැනි අගනා අදහසක් දැක්වීම ගැන. සාහිත්‍යය අපෙන් ඉතා කනගාටුදායක ලෙස ඈත්වීගෙන යනවා. සාහිත්‍ය දැනුමෙන් තොර මිනිසා දිවට රස දැනෙන්නේ නැති, කොටින්ම පංචෙන්ද්‍රිය අකර්මණ්‍යවූ කෙනෙකුට සමානයි. ඇත්තටම කාලතුවක්කු හමුදාව මගින් යුද්ධයකදී කරන මෙහෙය අනන්තයි අප්‍රමානයි. දැන් තියන අවි ඉතාම භයානකයි. ඔබ ඉදරිපත් කර ඇති කවියේ එක තැනක තියනවානේ ‘volleyed and thundered’ කියලා. කාලතුවක්කු වලදී ‘volley of fire’ කියලා කියන්නේ, කාලතුවක්කු කීපයකින්, එකවරම වෙඩි මුරයක් නිකුත් කිරීමයි.

  20. මනෝජ් ඩයස් said:

    හොඳ ලිපියක්. විස්තර වලට බොහොම ස්තුතියි. අපේ ගෙදරත් ඔය චාජර්ස් කොපු වගයක් තිනෙවාය. විචාරක මහත්තය රාගමට ඇවිත් ගියයි කියල දැන ගන්න ලැබුන. අපරාදෙ උදව්වක් දෙන්න පුල්වන් වැඩකට නම් ආවෙ උදව්වක දෙන්න තිබ්බ කලින දන්නවන්ම්

    • ස්තුතියි මනෝජ් මේ අදහස් දැක්වීමට. ඇත්තටම මම රාගමට ආවේ, කඳානට යන්නයි. මගේ රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරියකු පසුගිය 10 වැනිදා අභාවප්‍රාප්ත වුනා. ඔහුගේ අවමංගල්‍යයට යන අතර මග තමයි රාගමින් තේ බීලා ගියේ.

  21. සාර්ථකයි ලස්සනයි පස්ෙස කියවමු ඒත්

  22. විචාරක මහත්තයා ,එක හරි හොද නමක් ,කාලෙකින් ආවේ සර්,
    හිතන් හිටිය දේවල් වලට වැඩ ගොඩක් දේවල් දැන ගත්තා ,
    පොඩි ප්‍රශ්නයක් සර් හිටියේ infantry නම් මේවා ගැන මෙච්චර දන්නේ කොමද ?

    • Infantry හිටිය නිසා තමයි මේවා දන්නේ. මොකද, ලුතිතන් සිට කපිතන් දක්වා උසස් කිරීමේ පරීක්ෂණයෙදිත්, කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේපරීක්ෂණයෙදිත්, මේවා ටිකක් ගැඹුරින් හදාරන්න වෙනවා. එමන්ම උසස් පුහුණු පාඨමාලා වලදී ඊටත් වඩා ගැඹුරින් හදාරන්න වෙනවා, කාලතුවක්කු, යුද ටැංකි, වැනි බරපතල දේවල්, කොහොමද යුද බිමේ යොදවන්නේ කියලා.

  23. නිර්නාමික said:

    මේවා මම ආසම ලිපි. සිංහලෙන් මෙවැනි ලිපි කියවන්න ලැබෙයි කියල හිතුවේ නැහැ. විශිෂ්ටයි..මෝටාර් ගැන තව කියනවද. එහි සරල බව හා ඉහල ප්‍රතිපල ගෙන දීම සිත ගන්නා සුළුයි..

  24. නිර්නාමික said:

    විශිෂ්ටයි … මෝටාර් ගැනත් කියනවද..

  25. ලිපි තුනම එක හුස්මට කියෙව්වා. ඔබහෙන් මිසක් වෙන කාගෙන් නම් මෙවන් දේවල් දැනගන්නද?

    බොහොම ස්තුතියි.

  26. […] අවි Battalion Support Weapons බර මැෂින් තුවක්කු, මෝටාර්, RCL, RPG, යුද ටැංකි නාශක සැහැල්ලු අවි, යුද […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: