විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 2013/06/09 දින නැවත සංස්කරණය කරන ලදී.    old-cannon

ආයුබෝවන්ඩ කොහොමද සැපදුක්?…….ගියපාර ලිපියෙන් මම දුන්න කාලතුවක්කුවෙන් වෙඩි තිබ්බැයි?……….(ඔන්න ඔහේ තිබ්බා කියන එක ගණන් ගන්ඩ එපා හොඳේ?….. Open-mouthed smile) ඉතිං ඒ කාලතුවක්කුවෙන් වෙඩි තියන්ඩ ගිහින් මොකුත් අතුරු ආන්තරාවක් එහෙම වුනේ නැහැනේ. හොඳයි. ඔන්න එහෙනම් මෙවර ලිපියෙන් කාලතුවක්කු පිලිබඳ ශාස්ත්‍රීය / තාක්ෂණික කරුණු ගොඩක් කියන්නයි යන්නේ. ඇත්තටම මේ මාතෘකාව ගැඹුරු සහ දීර්ඝ විස්තර සහිත වුනත්, හැකිතරම් කෙටියෙන් සහ සරලව කියන්නයි මම උත්සාහ කරන්නේ. මා හිතනවා මෙවරත් ඔබට සෑහෙන ප්‍රශ්න ගොඩක් මතුවෙයි කියලා. මාගේ දැනුමේ ප්‍රමාණයෙන් සහ කරුණු සොයාබැලීමෙන් පිළිතුරු දෙන්නම්.

   අපි මුලින්ම බලමුද  කාලතුවක්කුවේ ඉතිහාසය දිහා. කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. පසුකාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා, මෙලෙස බර දෙයක් දමාගසන්නට හැකි උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් කීපයක් පහත දක්වනවා.  ඔබ දන්නවානේ අපි කුඩා කාලයේදී පාවිච්චි කල කැටපෝලය. අනේ….මට අමතක වුනා. කුඩා වයසේදී කැටපෝලයක් පාවිච්චි කල අය දැන් අඩුයි. මමනම් මේ මෑතකදීත් කැටපෝලයක් හදාගෙන අපේ පොල්ගස් දෙකතුනට එන දඬු ලේනුන්ට විද්දා. බයකර පලවා හැරීමක් විතරයි. මොකද මම කැමති නැහැ ඔවුන් වෙනුවෙන් වායු රයිෆල් උණ්ඩයක් වැය කරන්න. slingshot

ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවක් තමයි. මොකද කැටපෝලයකින් පුළුවන් ගල් කැටයක් පරාවලයාකාර මාර්ගයකින් ඈතට විදින්න. අපි මේකට කැටපෝලය කිව්වට, ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ‘ස්ලින්ග්ෂොට් slingshot’ කියලයි.

මේ ලිපිය ඊයේ (2013/06/08) පළවුනාට පස්සේ හීනලන්තයේ හරී මතක්කලා මෙවැනිම තවත් උපකරණයක් වූ ගල්පටිය ගැන. මෙතනින් බලන්න.

   ඉංග්‍රීසි භාෂාවේදී ‘කැටපල්ට් Catapult’ කියන්නේ මීටවඩා වෙනස් මීට වඩා විශාල උපකරණයකට.  ඒ උපකරණයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි, යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන්වෙනවා. ඒ විස්තර වලට නොගොස් අපි බලමු ඒ යුගයේ කැටපල්ට් එකක පින්තුරයක්. මෙහි තිබෙන ලී කඳ දුන්නක ආධාරයෙන් එක වරම ඉදිරියට ගස්සන්න පුළුවන්. නියමිත තැන ගලක් තියලා ලී කඳ පාත් කරලා එක වරම අතහැරියම අර ලොකු ගල උඩින්ම යනවා ඉලක්කයට.

Catapult

   මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට Open-mouthed smile

  වර්තමානයේදීත් කැටපල්ට් පාවිච්චි කරනවා. ඔබ රූපවාහිනී වාර්තා වැඩසටහන්වල, ප්‍රවෘත්ති විකාශනවල, සමහර චිත්‍රපටිවල, දැක ඇති ගුවන්යානා ගෙනෙයන යුද නැව් වල සිට, ඒ ගුවන්යානා පිටත්වෙන හැටි. මෙහිදී, ඒ ගුවන් යානයට, තනිවම, තම බලයෙන් ගුවන් ගතවන්න බැහැ. එයට හේතුව, නැවේ තට්ටුව, ගුවන් යානය අහසට නැගීම සඳහා, පොලොව මතදී ධාවනය කලයුතු අවම දුර තරම්, දිග නැති වීමයි. මේ නිසා ගුවන් යානය සිය උපරිම ජවය යොදා, නැව් තට්ටුව දිගේ ඉදිරියට ධාවනය කරන අතරම, නැවේ තියන කැටපල්ට් එකෙන්ද ගුවන් යානාව වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. බලන්න පහත පින්තුරය.

shuttlehookup

   හොඳයි, ඒ වගේම තවත් උපකරණයක් තමයි මේ. මේකේ නම ‘ඔනෙජර් – Onager’ මේ අවියත් පාවිච්චි කර තිබෙන්නේ කිසියම් බර ද්‍රව්‍යයක් ඈතට විසිකරන්නයි.

OnagerPic

 

   මෙයත් කැටපල්ට් එක වගේම යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියා කලේ. මේවා ගැන දිග විස්තර කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වෙනවා.  ඊළඟ අවිය තමයි, ‘ට්‍රෙබුෂේ – Trebuchet’ මේක ප්‍රංශ වචනයක්. ඔන්න බලන්නකෝ පින්තුරේ.

Trebuchet

   කොහොමද හොඳද? අපරාදේ අපි කෝටි ගණන් දීලා කාලතුවක්කු ගන්නේ නැතුව, මේවා 25 ක් 30 ක් ගෙනල්ලා, කළුගල් කොරියක් ළඟ හයිකර ගත්තනම් අරුන්ට දෙන්න තිබ්බා (ඔන්න කිව්වා තිබ්බා කියලා Winking smile) රටේ නොහිට දුවන්න. නැද්ද මං අහන්නේ? මේ වගේ කුඩා කැටපල්ට් උපකරණ, පළමුවැනි ලෝක යුද සමයේදී, යුද අගල් වල සැඟවී සිටිමින්, සතුරා වෙත අත්බෝම්බ යැවීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි අවස්ථාවක පින්තුරයක්. 

French_grenade_catapult

   අපි ඊළඟට යමු ලෝකයේ පැරණිම කාලතුවක්කු වෙත. පසුගිය ලිපිය කියවල සෙන්නා අහලා තිබුනා අර ලොකු යකඩ බෝල දාලා වෙඩි තියන කාලතුවක්කු ගැන. ඇත්තවශයෙන්ම ඒ තමයි මුල් යුගයේ කාලතුවක්කු. ඒවා 16 වැනි ශතවර්ෂයේදී පමණ තමයි මුලින්ම නිපදවා තිබෙන්නේ. මෙන්න ඒ වගේ එකක්. වෙඩි තියන හැටි මම විස්තර කරලා තියනවා ඒ පින්තුරයේම. මෙය පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක්. 

1st Generation Artillery Gun

  පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක් 1862 දී ඇමරිකානු කාලතුවක්කු හමුදාව විසින් පාවිච්චි කල අවස්ථාවක් පහත පින්තුරයෙන් දැක්වෙනවා.

1862-24pdr-Ft-Corcoran-Arlington-Va-4th-NY-Hvy_Med

  ඒ වගේම තමයි ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්කු තියනවා. ඒවාගෙන් සමහරක් දැක්කම පුදුම හිතෙනවා එතරම් ඈත අතීතයේදී මෙවැනි නිර්මාණ කලාද කියා. එයින් එකක් තමයි රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්කුව. මේ කාලතුවක්කුව නිපදවා තිබෙන්නේ ක්‍රි.ව.1586 තරම් ඈත කාලයකදී. මේ කාලතුවක්කුව මීටර් 5.94 ක් හෙවත් අඩි 19.5 ක් දිගයි. හැබැයි එකක් මතක තියාගන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා මෙය එකම එක වරකට වඩා පාවිච්චි කර නැති බව. මේ කාලතුවක්කුව හුදෙක්  ප්රෞඪත්වය පෙන්වීම සඳහා කළ නිර්මාණයක්. මෙය ලෝකඩ වලින් සාදා තිබෙන්නේ. අදත් මෙය ක්‍රෙම්ලීනයේ ප්‍රදර්ශනය කරනවා.

tzar cannon

  මෙවැනිම කාලතුවක්කුවක් ඉන්දියාවේත් තියනවා. හැබැයි ඒ තුවක්කුව නම් යුද්ධ කරන්න පාවිච්චි කරපු එකක්. පහත දැක්වෙන්නේ ඒ කාලතුවක්කුවයි. එය හැඳින්වෙන්නේ ‘ජායිවානා කාලතුවක්කුව’ කියලයි. ක්‍රි.ව. 1720 දී නිපදවන ලද මේ තුවක්කුව ‘දෙවැනි මොහොමඩ් ෂා’ නමැති මෝගල් අධිරාජයාගේ සමයේදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අදත් මෙය ඉන්දියාවේ ජායිපූර් නගරයේ ‘ජායිගාර්ත්’ නමැති පැරණි බලකොටුවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය සාදවා තිබෙන්නේ, 1720 කාලයේ, එම බලකොටුවේ අධිපතියා ලෙස, ඒ ප්‍රදේශය පාලනය කල, ‘දෙවැනි ජායි සිං’ නමැති ප්‍රාදේශීය පාලකයා විසින්. තුවක්කුවේ විස්තර මෙහෙමයි.

  තුවක්කු බටයේ දිග මීටර් 6.15 යි (අඩි 20.2 යි) එහි බර ටොන් 15 යි. බටයේ අග වටප්‍රමාණය මීටර් 2.2 යි (අඩි 7.2 යි) බටයේ පසුපස කොණේ වටප්‍රමාණය මීටර් 2.8 යි (අඩි 9.2 යි) තුවක්කු බටයේ ඇතුළත විෂ්කම්බය සෙ.මී. 28 යි. (අඟල් 11 යි) තුවක්කු බටයේ ඉදිරිපස කෙළවර ඝනකම සෙ.මී. 21.6 යි (අඟල් 8.5 යි) පසුපසට යනවිට ඒ ඝනකම වැඩි වෙනවා.  මේ තුවක්කුවේ උන්ද සහ වෙඩි තැබිය හැකි දුර ගැන විවිධ මූලාශ්‍රවල විවිධ තොරතුරු තියෙන්නේ. පිළිගතහැකි තොරතුරුයි මේ. එක වරකට (එක වෙඩිල්ලකට)  වෙඩි බෙහෙත් කි.ග්‍රෑ. 100 ක් පමණ යොදවා තිබෙනවා. කි.ග්‍රෑ. 50 ක් පමණ බර යකඩ බෝල උණ්ඩයක් තමා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තුවක්කුවෙන් කි.මී. 35 ත් 40 ත් අතර දුරක් වෙඩි තියන්න පුළුවන් වුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියනවා. රෝද හතරක සැකිල්ලකට සවිකර තිබුන මේ තුවක්කුව අදින්න, හරවන්න, ඇතුන් හතර දෙනෙක් අවශ්‍ය වුනාලු.

jaivana 1Jaivana 2

  ඊළඟට බලමුද ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම කාලතුවක්කුව. මේකනම් දැක්කම බයත් හිතෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම් විසාලයි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් ආඥාදායක හිට්ලර්ගේ නාසි ජර්මනියේදී තමයි මේ තුවක්කුව නිපදවලා තියෙන්නේ. පින්තුර බලලා විස්තර කතාකරමු.

PM504376A

ගුස්ටාව් 2

WAR & CONFLICT BOOK ERA:  WORLD WAR II/WAR IN THE WEST/GERMANY

ගුස්ටාව් 4

  මේ තුවක්කුව ගැන පොඩි වීඩියෝ එකකුත් බලලම ඉම්මු ඈ.

කොහොමද වැඩේ? මල් හතයි ඈ Open-mouthed smile  ඔබට මතක ඇති, මීට පෙර මා ඔබට හඳුන්වා දුන්නා, දෙවන ලෝක යුද සමයේදී, ජර්මනියේම නිපදවන ලද බිස්මාර්ක් නැව. මෙයින් පෙනෙනවා ජර්මන් ජාතිය කොයිතරම් දක්ෂ යුද්ධායුධ නිෂ්පාදකයන්ද කියා. අතීතයේදී එක් කාලතුවක්කු වර්ගයක් සාදා තිබෙනවා, ඒ තුවක්කුව වෙනුවෙන්ම විශේෂයෙන් සැකසු දුම්රිය එන්ජිමක් සහිත ගැලකට සවි කරන ලද. ඒවා හැඳින්වූයෙත් දුම්රිය කාලතුවක්කු Railway Gun කියලා. මේ තියෙන්නේ. 

railway_gun_Mk_II

  මම කල්පනා කරේ පහුගිය යුද්ද කාලේ අපටත් ඔයින් එකක් දෙකක් තිබ්බා (චඃ Sad smile) නම්, කොටුව දුම්රිය පොලේදී අපට මෙන්න මෙහෙම  නිවේදනයක් අහන්න තිබුනා. ‘දෙවැනි වේදිකාවට දැන් පැමිණෙන කාලතුවක්කුව, වවුනියාව බලා පිටත්වෙයි. අතරමගදී සතුරු ප්‍රහාර එල්ල නොවුනහොත්, එය  නොනවත්වාම වවුනියාව බලා ධාවනය කරනු ඇත’ Open-mouthed smileOpen-mouthed smile මීට වඩා වෙනස් නිවේදන ඔබේ හිතට එනවා නම් ලියන්ඩ ඈ.

  හැබැයි මතකතියාගන්න, මෙව්වා නිකම් සුදු අලි. මොකද දන්නවද? මේ තුවක්කුවකට අති විශාල කාර්ය මණ්ඩලයක් ඕනේ. වෙඩි තැබීමේ වේගය (විනාඩියකට/පැයකට/ තැබිය හැකි වෙඩි ගණන) බොහොම සීමිතයි. මේ තුවක්කුව ගෙනියන්න වෙනමම රේල් පාරවල් ඕනේ. තුවක්කුව විශාල නිසා බෝම්බ දාන ගුවන්යානා වලට පහසුවෙන් ඉලක්ක වෙනවා. නඩත්තුව බොහොම වියදම් අධිකයි. අර වීඩියෝ එකෙත් ඒ බව සඳහන් වෙනවා. ඒවා විශේෂයෙන් පාවිච්චි කර තිබෙන්නේත්, දේශසීමා අතර සටන් සඳහායි.

    හොඳයි මෙන්න ඉහත දැක්වූ හිට්ලර්ගේ කාලයේ තුවක්කුවේ විස්තර.

  තුවක්කුවේ නම ‘ගුස්ටාව් ගන්’. නිපදවන ලද්දේ 1941 දී. නිර්මාතෘ ‘ෆ්‍රීඩ්‍රික් කූප්’. කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කළා. මෙවැනි තුවක්කුවක් හදන්න හිට්ලර් උනන්දු වුනේ, ඒ කාලයේ ප්‍රංශය විසින් සිය දේශසීමාවන්හි ඉදිකර තිබුණු ‘මැගිනොට් ලයින් ෆෝර්ට්’ නමැති බංකර් ක්‍රමය විනාශ කරන්නයි. මේ ජාතියේ තුවක්කු දෙකයි හදලා තියෙන්නේ. (හිට්ලර් තුවක්කු තුනක් ඇණවුම් කළා. තුන්වැනි තුවක්කුව ඉවර කරන්න කලින් ජර්මනිය යුද්දෙන් පැරදුණා. 1945 දී බ්‍රිතාන්‍ය හමුදා ඒ වනවිට හදමින් තිබුන තුන්වැනි තුවක්කුව කම්හලේදීම විනාශ කළා) පළමුවැනි එක එහි නිර්මාතෘගේ වියදමින් හැදුවලු. දෙවැනි එකට ජර්මන් මාර්ක් මිලියන හතක වියදමක් ගිහින් තියනවා. දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරලා තියනවා. හිට්ලර් පැරදීගෙන එද්දී, මේ දෙකම පුපුරවා විනාශ කරලා තියනවා.

  මෙන්න විනාශ වූ ඩෝරා කාලතුවක්කුව.

doraq1

  එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. තුවක්කුවේ බර (ඇන්ජිම, චැසිය, බටය, ඔක්කොම තමයි) ටොන් 1344 යි. තුවක්කුවේ කැලිබරය මිලි මීටර් 800 යි (අඟල් 31.5 යි) මේ තුවක්කුවෙන් වර්ග දෙකක උණ්ඩ වෙඩි තබා තිබෙනවා. එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් (චාජර් ගැන පස්සේ කියනවා. අර ගෙවල්වල ලස්සනට තියාගෙන ඉන්න පිත්තල කොපු තමයි චාජර් කියන්නේ. තවත් ක්‍රම තියනවා) යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා තිබෙනවා. මේ තුවක්කුවෙන් කිලෝමීටර් 29 ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබුනලු. මේ උණ්ඩ කොයි තරම් ප්‍රබලද කියනවානම්, කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හැදෙනවාලු. එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු. උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන්. මෙන්න උණ්ඩ වල පින්තුර. අර වීඩියෝ එකේදිත් ඔබ මේ උණ්ඩ දකින්න ඇති.

Dora_shell

  ලංකාවේ කාලතුවක්කු ඉතිහාසය ගැන මීළඟට කතා කලොත් හොඳයි කියා මා හිතනවා. මේ ලිපිය ලිවීම සඳහා කරුණු අධ්‍යයනය කරද්දී මගේ පුස්තකාලයෙන්ම ඊට ආධාරයක් ලැබුනා. ඒ තමයි රැල්ෆ් පීරිස් මහ වියතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලදුව, කේ.ඒ.ඩී.පෙරේරා මහතාණන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති, ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමැති ඉතා අගනා ග්‍රන්ථය. (මේ පොත ගැන වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා) එම පොතේ සඳහන් වෙනවා, ලංකාවේ කාලතුවක්කු නිෂ්පාදනයට මුල පිරුනේ, 16 වැනි සියවසේදී, පෘතුගීසීන් සමග පැවති සටන් වලින් ලද අද්දැකීම් අනුව යමින්, යාන්ත්‍රික උපක්‍රම මගින් යුද්ධ කිරීමේ අවශ්‍යතාව, තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය කාලතුවක්කු නිපදවුනා කියලා. දේශීය කාලතුවක්කු දකින්න කැමතිද? ඔන්න පහළින් තියනවා පින්තුර.

sinhala-cannon

sinhala-light-artillery-piece

  මේ තුවක්කුවල තාක්ෂණික විස්තර නම් ලබාගන්නට නැහැ. හැබැයි තව විස්තර බලන්න පුළුවන් මෙන්න මේ තැන් දෙකෙන්.

  ලංකාවේ කාලතුවක්කු ගැන කතා කල නිසා අපේ කාලතුවක්කු හමුදාව ගැන මෙතනදීම කතා කරමු. අපේ කාලතුවක්කු හමුදාවේ අතීතය කිව්වොත් ඔබට අදහාගන්නත් බැරිවෙයි. අපේ කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී, පළමුවැනි ලෝක යුද සමයට අදාලවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර, ‘ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව’ ලෙස නම් කෙරුනා. ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවයේ යෙදවුනා. 1918 දී ‘ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව’ පිහිටවූවා. මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ‘ලංකා කාලතුවක්කු හමුදාව’ නමින් පිහිටවනු ලැබුවා. 1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව’ යනුවෙන් නම් කෙරුනා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 125 වැනි සංවත්සරය අභිමානවත් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී සමරනු ලැබුවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක්. ඔබ දන්නවනේ අපේ යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ආභාෂයෙන් පිහිටුවන ලද බව. තවමත් එහි යම් යම් ලක්ෂණ අපේ හමුදාවේ තියනවා. බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ධජය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ධජයත්, බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ලාංඡනය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ලාංඡනයත්, බොහෝදුරට එක සමානයි. මේ බලන්න.

gb-raa

army_0008_badge_royalartillery

Uniform Specialities

 

  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සියලුම නිලයන් අඳින්නේ දුඹුරු පැහැති සමෙන් නිමකළ බූට්ස්. වෙනත් කිසිදු රෙජිමේන්තුවක් එවැනි බූට්ස් පළඳින්නේ නැහැ. එමෙන්ම කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් නොවන සෙසු සියලුම නිලයන්, තමන්ගේ සම්මාන නිළ ඇඳුමේ පළඳින, විශේෂ පළඳනාවක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බැන්ඩලියර් – Bandelier’ යනුවෙන්. ඉහත රූපයේ එයද පෙන්වා තිබෙනවා. බැන්ඩලියර් එක පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් මේ රූපයෙන් බලන්න.

join_the_gunner

  එමෙන්ම බලන්න මේ සෙබළුන් පැළඳ සිටින හිස් වැස්ම. එය හඳුන්වන්නේ ‘ස්කාලට් – Scarlet’ යනුවෙන්. ලෝකයේ ඕනෑම යුද හමුදාවක, එක් එක් රෙජිමේන්තුවල ඒ ඒ රෙජිමේන්තුවට විශේෂවූ, නිළ ඇඳුම්, පළඳනා, චාරිත්‍ර විධි තිබෙනවා.  අපේ කාලතුවක්කු හමුදාවේත් තවත් එවැනි විශේෂතා තිබෙනවා. නමුත් පසුව එක් එක් රෙජිමේන්තු ගැන වෙනම ලිපියක් ලියන්නම්.

  ඉහත මා සඳහන් කළා, අපේ කාලතුවක්කු හමුදාව වර්ණ ලාභී රෙජිමේන්තුවක් බව. මේ තිබෙන්නේ ඒ අවස්ථාව.

Colours Awarding  colour_gun

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අදාළ ඡායාරූප ලබාගත්තේ එම රෙජිමේන්තු වෙබ් අඩවියෙන්

  හරි හරි මම දන්නවා……….. ප්‍රශ්න දෙකක් තියනවනේ.

1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද?

2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද?

පිළිතුරු:-

1. ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට ඒ රටේ සේනාධිනායකයා විසින්, ඒ ඒ රෙජිමේන්තුවේ / හමුදාවේ සේවය ඇගයීමක් වශයෙන් වර්ණ ප්‍රදානයක් කරනවා. එහිදී රටේ ජාතික ධජය මුල් තැනට තබා, සේනාධිනායකයා විසින් තීරණය කරනු ලබන වෙනත් වර්ණ සහ සංකේත, රෙජිමේන්තුවට ආවේනික වර්ණ සහ සංකේත ඇතුලත් විශේෂ ධජයක් නිමවා (ලංකාවේදී මෙය වෙනස්වූ අවස්ථා තිබෙනවා) එය විශේෂ පෙළපාලියක් Colours Awarding Parade පවත්වා ප්‍රදානය කරනවා. එවැනි පෙළපාලි, සමහරවිට රාත්‍රී කාලයේදී, ඉතා අලංකාරවත් ආලෝක ධාරා යොදවමින් කරනවා. සාමාන්‍යයෙන් වර්ණ ලබාගැනීම සඳහා යොදවන්නේ රෙජිමේන්තුවේ විශේෂ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ නිලධාරියෙක්. ඉහත රූපයේ, එවැනි නිලධාරියකු, ජනාධිපතිතුමාගෙන් වර්ණ ලබාගන්නා අකාරය පෙනෙනවා.

2. කාලතුවක්කු හමුදාවකට වර්ණ ප්‍රදානය කිරීමේදී රෙජිමේන්තුවේ ඉපැරණි, තවමත් හොඳින් රැකගෙන තිබෙන කාලතුවක්කුවකටද වර්ණ ප්‍රදානය කරනවා. එවිට ඒ තුවක්කුව අධිකාරි ලත් නිලධාරියකු හා සමාන ගරු සැළකිලි ලබනවා. සියලු නිලයන් විසින් රෙජිමේන්තු වර්ණ වලට සහ වර්ණ කාලතුවක්කුවට ආචාර කලයුතුයි. (ඕනෑම රෙජිමේන්තුවක වර්ණ වලට හමුදාවේ වෙනත් ඕනෑම රෙජිමේන්තුවක අය ආචාර කලයුතුයි) මෙම වර්ණ සහ වර්ණ කාලතුවක්කුව ඉතා ගරු සැලකිලි සහිතව ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ස්ථානයක තැන්පත් කරනවා. විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා. ඔබ දැක ඇති හමුදා පෙළපාලි වලදී විශේෂ අමුත්තා පෙළපාලිය පිළිගන්නා විට මේ වර්ණ ධජය අතැති නිලධාරියා එය අමුත්තා සිටින පැත්තට පහත් කරනවා. අමුත්තා නිළ ඇඳුම් අඳින අයකු නම්, ධජයට ආචාර කලයුතුයි. රාජ්‍ය නායකයකු වැනි අයකු නම්, හිසනමා ආචාර කරනවා. පහත දැක්වෙන වීඩියෝව බලන්න. එහිදී බ්‍රිතාන්‍ය මහ රැජිණ සහභාගිවන හමුදා පෙළපාලියකදී වර්ණ ධජය පහත් කරනවා. රැජිනට ගෞරව දැක්වීමට.  එවිට රැජින හිස නමා වර්ණ ධජයට ආචාර කරනවා.

 අදට ඇති නේද? ඉතින් බනින්න එපා, ‘තවම පඳුරු තලනවා’ කියලා. ඇයි අද කියපුවා වැදගත් නැද්ද? නැහැ නැහැ, මම හිතාගත්තේ ඊළඟ ලිපියෙන් කෙලින්ම කාලතුවක්කු යුද්දෙට බහින්න. කන්දෙකේ ඇබ ගහගන්න වෙයි ඔන්න ඊළඟ ලිපියේදී කාලතුවක්කු වෙඩි සද්දෙට හොඳද?

  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වෙබ් අඩවියෙන් ලබාගත් ඡායාරූප හැර අනෙකුත් සියලුම ඡායාරූප Google Images  වෙතින් ලබාගන්නා ලදී.  

My Signature for Blog2013 ජූනි මස 08 වැනි දින 2328 පැය

 

Comments on: "අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු – (දෙවැනි කොටස) – The Artillery Gun – (Part Two)" (61)

  1. \\\\එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු.///

    සතුරු හමුදා වල අයට හීන් දාඩිය දාන්න ඇති මේ වගේ රාවයන් පැතිරෙද්දී…සාමාන්‍ය සෙබළුන්ගේ චිත්ත දෛරීය නැති කරන්න මේ වගේ නිර්මාණයක් හොඳටම ඇති..බිස්මාර්ක් එකත් එහෙමනේ..මෙවැනි ලිපි මහන්සියෙන් ලියන එක ගැන බොහෝම ස්තූතියි මහත්මයා….

    • මෙවැනි ලිපියක් ලියන්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති ලිපි 20 ක් 30 ක් විතර කියවන්න වෙනවා. ඒවාගෙන් කොටස් තෝරාගෙන පරිවර්තනය කර, පරිවර්තනයේ නිවැරදි බව තහවුරු කරගෙන, විශේෂයෙන් තාක්ෂනික පදවල නිරවද්‍යතාව තහවුරු කරගෙන, පින්තූර සොයාගෙන, ඒවා සංස්කරණය කර, පලකිරීම නම් සෑහෙන වෙහෙසක්. නමුත් ඔබේ දැනුමට යමක් එක්කර මා ලබන ආත්මීය සතුට අපමණයි.

  2. මේක දවල් දාන්න තිබ්බා… 🙂 දැන් ඉතින් හෙට තමා කියවන්න වෙන්නෙ, නිදිමතේ කියවලා ඔලුවට වදින්නෑ..

  3. ක්සැන්ඩර් said:

    1. අද පඳුරු තැලීම මදි. මොකද අද පෝස්ට් එක කියවද්දී මට හිතුනු දෙයක් තමා අද කට තදකරගෙන ලියල තියනවා කියන එක.
    2. ඔය රේල් ගන් එකට උණ්ඩ දාන්න වෙනම දොඹකරයක් තියනවා නේද? ඔබතුමාට ඕවා ගැන විස්තර කරලා ලියන්න තිබ්බනේ. ගොඩක් දෙනා ඒවා දැනගන්න ආසයි මයේ හිතේ. ඔය විස්තර අපිට වඩා ලස්සනට ලියන්න දන්නේ ඔබතුමා හින්දා මං එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා මේ බ්ලොග් එකෙන්.
    3. වර්ණ කතාව මට තේරුනේ නෑ. අර කාලතුවක්කුවේ තියන පාට තීරු කොඩියද ඔය වර්ණ කියන්නේ?
    4. බැන්ඩලියර් එක මොකටද දාන්නේ? පතුරොම් කොපුවක් වගේ පෙනුම නං. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඔබතුමාට?

      1. පඳුරු තලන්න ගිහිල්ලා මාව හම ගහයිද කියලා බයයි.

      2. අර වීඩියෝ එකේ තියනවා රේල්වේ තුවක්කුවට උන්ඩ දාන දොඹකරයෙන් ඒවා උස්සලා දෙනහැටි. මට හිතුනේ මේ විස්තරයත් දිග වැඩිදෝ කියලයි. හොඳයි රේල්වේ ගන් ගැන පසුව ලියන්නම්.

      3. ජනාධිපතිතුමා අර නිලධාරියා අතට දෙන්නේ සාමාන්‍ය ජාතික කොඩිය නෙවෙයි. එය වර්ණ ධජය නමැති සංකේතය.

      4. බැන්ඩලියර් එකේ තමයි ඉතා ඈත අතීත කාලතුවක්කු වල වෙඩිබෙහෙත් කැප් දාගෙන ගියේ. අද එය සංකේතයක් පමණයි.

  4. අලුත් කාලතුවක්කුවල විස්තර කියවන්ඩ කියලා ආවේ.ඒ වුනාට පාඩු නෑ.පැරනි විස්තර ටික ගොඩක් වටිනවා.මෙහෙම කියෙව්වොත් මිස ඕවා හොයාගෙන කියවන්ඩ යන්නේ නැහැනෙ.ඒ එක්කම ඉස්කෝලෙ සාහිත්‍ය පොතේ තිබුන විජයබා කොල්ලය පාඩම මතක් වුනා….පරංගීන්ගේ කාලතුවක්කු…

    • අලුත් කාලතුවක්කු ගැන ඊළඟ කොටසේදී කියන්නම්. ඇත්තටම මේ විස්තර බොහොමයක් මීට පෙර සිංහලෙන් පළවී නැහැ කියලයි මමත් හිතන්නේ.

    • ස්තුතියි මේ වීඩියෝව ලබාදුන්නාට. ඒ කට්ටිය මෝටාර් බෝම්බ වලට ෆියුස් සවි කරමින් ඉන්න අතරේ අර මම කිව්ව විදිහටම ‘ෂියූ’ ගාගෙන ආවානේද එකක්. 😀

      • 😉

        ඒ ‘ෂියූ’ සද්දෙ එන්න කලින් ඈතින් ඇහෙන පිපිරීම් සද්දේ සමහර විට කාලතුවක්කුවෙන් වෙඩි තියන සද්දෙ වෙන්නත් බැරි නෑ නේද?

        • වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බංකරයක් ඇතුලට රිංග ගන්නත් වෙලාව ලැබෙනවා. නමුත් එළිමහනේ සටන් බිමේ නම් බිම දිගාවීම හැර වෙනත් විකල්පයක් නැහැ.

  5. කාලෙකට පස්සේ නිදහසේ ලිපියක් රසවිඳින්න වෙලාවක් ලැබුනා.. බොහෝම ස්තුතියි..

    1. අර යුධ ටැංකිය පාක් කරලා තියෙන විදිහ නම් නියමයි. ඒත් ඒ පින්තූරෙ සතියෙන් ඉවරනෙ. පරණ පින්තූරු ටිකත් බලන්න පුළුවන් වෙන්න පින්තූර එකතුවක් (Image Gallery) හැදුවොත් හොඳ නැද්ද?

    2.”ගියපාර ලිපියෙන් මම දුන්න කාලතුවක්කුවෙන් වෙඩි තිබ්බැයි” තිබ්බා නෙවෙයි තැබුවා.. 😀

    3. “එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම.” ඇයි ගල් පටිය..

    4.”මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට” සූරපප්පා (ASTERIX) කතාවෙදි කැටපෝලෙට සිංහයෝ දාලා තියෙනවා සතුරු හමුදාව පැත්තට.. ඊටපස්සෙ සිංහයෝ පැන පැන සතුරන්ව කනවා.. 🙂

    5. කැටපෝලය ගුවන් යානයේ පැටලුනොත් තමා අවුල.. ඔය වගේම බාද්දිත් කඹයක් වගේ මොකකින්ද එකකින් හිරකරනවා නේද?

    6. කාලතුවක්කු කිව්ව ගමන් මට මතක් වෙන්නෙ ආචාර වෙඩිමුර. හැබෑටම මොකද ඒ ඩෝං ඩෝං ගාලා වෙඩි තියන්නෙ. ඒ ගැන පොඩ්ඩක් කියමුකො..

    7. බෝල කාලතුවක්කුවට වෙඩි බේත් කොටනවා නේද? ඒවාමද අර ගාලුමුවදොරත් තියෙන්නෙ..

    8.‘මැගිනොට් ලයින් ෆෝර්ට්’ විනාස කරන්න ගුස්ටාව් ගන් එකම ඕන උනේ මොකෝ? අර පත කොන්ක්‍රීට් හින්දද? ඒත් “එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. ” අර චූටි බන්කර් කෑල්ලකට ගහන්ඩ?.. 🙂

    9.1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද? උත්තර ලැබුනා. 🙂
    9.2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද? උත්තර ලැබුනා. 🙂

    10. “විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා.” ඔය වගේ අවස්ථාවක මාධ්‍යය මඟින් හොඳ විස්තර ප්‍රචාරයක් දෙනවා නම් මහජනතාවට අමතර දැනුමක් ලබාගන්ඩ තිබුනා. ඒත් ඒ වෙලාවල නිවේදන කරන්නෙ දෙස්පාළුවන්ට කඩේ යන හරක් පැටව්නෙ.. 😦

    • 1. ඒ පින්තූර ඔක්කොම තියනවා. බලමු දවසක දාන්න.

      2. ගල්පටිය අමතක වුනා. ස්තුතියි එය මතක් කලාට. ඔන්න ලිපිය සංස්කරණය කරලා ලින්ක් එකක් දැම්මා.

      4. අපටත් කරන්න තිබ්බේ (හුටා….. තිබුණේ) නයි ටිකක්වත් මල්ලකට දාලා අරුණගේ පැත්තට වෙඩි තියන්නයි.

      5. ඔව් ඉලාස්ටික් කඹයකින් අල්ලගන්නවා. ඒකට අහු නොවුනොත් ආයෙත් අහසට නගින්න තරම් වේගයකින් එන්නේ. හැබැයි කැටපල්ට් එක මිස් වුනොත් මූදේ. එහෙම වුන අවස්ථා තියනවා.

      6. ආචාර වෙඩිමුර ගැන කියනම්. ඒවා පුහුවෙඩි.

      7. බෝල තුවක්කුවේ බටේට ඉස්සර වෙලාම අර වෙඩිබෙහෙත් මල්ල කොටනටවා. ඊට පස්සේ තමයි බෝලේ ඇතුළු කරන්නේ.

      8. මැගිනොට් ලයින් එක දේශ සීමාව දිගේම තිබුන මහ විසාල බංකර් පේලියක්. විමානේ හැටියට නේ යකාගේ තරම. ලෝකෙම ලොකුම කාලතුවක්කුවට මේජර් ජෙනරල් කෙනෙක් දැම්මේ ඒ නිසයි.

      10. සමහර පෙළපාලි වලදී කරුණු පැහැදිලි කරන්න ත්‍රිවිධ හමුදාවෙන් ලබාදෙන නිලධාරීන්ට කතාකරන්න නොදී මාධ්‍ය අම්බරුවෝ තප්පුලනවා. ඒ වගේම ඒ ගැන පෙර පුහුණුවක් කර නැති බව හොඳින්ම පෙනෙනවා.

    • ඒ යුද්ද ටැන්කිය පාක් කොරල නෙමේ. ඒකට බඩු බනිස් වෙලා (කරලා). 2006 ලෙබනන්-ඊශ්‍රායෙල් යුද්දෙදි.

      • හරියටම හරි. මමත් ඔය පින්තුරය හොයාගත්තේ ඒ සයිට් එකකින්. ඉතින් පොඩි විහිළුවක් කරන්න තමයි මෙහෙම දැම්මේ.

  6. ඇත්තෙන්ම නොදන්නාම විෂයක් , ඒත් ඒක රසවත්ව අපිත් එක්ක බෙදා ගන්නා වෙන වෙහෙසට හැම විටම ගරුකරනවා . මේ වෙන වෙහෙස සිංහල බ්ලොග් අවකාශය පුරා ඉන්න , සිංහල දන්නා අප හැමෝටම දැනුමක් රසයක් ගෙනෙන නිසා ඔබ වන වෙහෙසෙ සතුටක්ව දැනෙනවා නොඅනුමානයි ..
    ස්තුතියි ඔබට .

  7. //වවුනියාවේ සිට දැන් පැමැණි කාලතුවක්කුව, නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියන්න.// හික්ස්…
    ස්තූතියි විස්තර ටිකට.

  8. ඉතා මහන්සියෙන් අපට තේරුම් ගත හැකි විදියට ලියල තිබෙන විදියට ඔබට ස්තුතියි විචාරක තුමනි.
    අද ලිපියෙන් වටිනා අවශ්‍ය දේවල් විශාල ප්‍රමාණයක දැනුමක් ලැබුවා.
    විශේෂයෙන් යුධ නැව් වල සිට ගුවන් ගත වෙන ගුවන් යානා වල වේගය ගැනිමේ ගැටලුව අද නිරාකරණය වුනා.
    අර උඩ දකුනෙ පින්තුරෙ ඒ කාලෙ ඔෆිසර්ස් mess එකේ ඉදල ගෙදර යද්දී,ආපු වාහනේ මාරු වෙලා අරන් ගිය එකක් නෙමේ නේද 🙂 :)?

    • ඇගයීම ගැන ස්තුතියි කෙන්ජි.

      අම්මපා කෝකද කිව්වේ ඔය වාහන මාරුවෙච්ච කතාව. අහුවෙච්චදෙන්කෝ ඕකා. දමලා අනිනවා………………… 😀 😀 😀

  9. මට මතක් වුනේ අර සින්දුව:
    ‘අපේ තුවක්කු ඉහලම කාල තුවක්කූ,
    ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු’

    Slingshot සහ catapult දෙකේ වෙනස නම් මම දන්න විදියට නම් විචාරක
    catapult is British English
    Slingshot is American English for catapult

    මේ කිව්වෙ aircraft carrier එකේ තියෙන එකවත් medieval weapon ගැනවත් වෙවෙයි . සාමාන්‍යකැටපෝලය ගැනයි.

    වෙනදා වගේම ඔබේ උත්සාහයට අපේ තුති විචාරක.

    • ඉස්සර ඔය සින්දුව ඉතාම ජනප්‍රිය කාලේ පන්තියේ මහ හඬින් කියලා ගුටිත් කාලා තියනවා මම.

      හරි හරි. ඔය බාසා සෙල්ලම තමා මේ වෙනස. සුද්දා windscreen කියනවා, ඇමරිකානුවා windshield කියනවා. ඒ වගේ නේද?

      අර නැවේ තියන catapult එකටත් ඇමරිකන් කාරයා කියන්නේ launching mechanism කියලා.

      ස්තුතියි ඔබට.

  10. හොඳයි, බොහොම අපූරු ලිපියක්. ඒ සඳහා ඔබ වෙහෙසිලා තියන වෙහෙසිල්ල අගය නොකරම බෑ.. බොහොම සීරු මාරුවට පින්තූර හොයාගෙන, ඒවා එඩිට් කරමින් කරලා තියන කර්තව්‍යය වනලා නිම කරන්න බෑ. මුලින්ම ඒකට ස්තූතියි.

    දැන් මතු වෙච්ච ප්‍රශ්ණ කිහිපයක්.

    1. නැව් වල තියන කැටපොල් එක ඔපරේට් කරන්නේ කවුද ? අදාල සංඥාව ලද පසු, නියමුවා විසින්මද ?

    2. අර පරණ කාල තුවක්කු වලට දාන යකඩ බෝලය පිපිරීමකට ලක්වෙනවද ? නැත්නම් නිකන්ම ඒක බරත් එක්ක වැටීමෙන් වෙන හානිය විතරද ?

    3. ගුස්ටාච් කාලතුවක්කුවත් දුම් රිය කාලතුවක්කුවක් නේද ? පින්තූර වලින්නම් පේන්නෙ පීලි උඩ දුවන බවකුයි.

    4. සිංහල කාලතුවක්කු වලට උපයෝගී කරගෙන තියෙන්නෙ අපේම දැනුමක්ද ? නැත්නම් පෘතුගීසින්ගෙන් සොරාගත් දැනුමක්ද ?

    5. 1888 දී පළමු ලෝක යුද්ධය පටන් අරන් තිබුනෙ නෑ නේද ?

    අර තිබ්බා කියන එක දැන්නම් සීමාව ඉක්මවා ගිහින් කියලා මට හිතෙනවා.

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. මෙන්න ප්‍රශ්න වලට පිළිතුරු.

      1. අර පින්තුරයේ මම කැටපල්ට් ක්‍රියාකරු කියලා එක්කෙනෙක් පෙන්වලා තියනවා. එයා ඉන්නේ නැවේ තට්ටුවට deck පොඩ්ඩක් පහලින් විශේෂ කුටියක. එයාට වීදුරු ජනෙල් වලින් යානය පෙනෙනවා. එයා, නියමුවා, අර නැව් තට්ටුව මත ඉන්න අනෙක් සංඥා කරුවන් හා ආධාරක පිරිස්, ගුවන්විධ්ලි සංඥා සහ හස්ත සංඥා මගින් එකිනෙකා සමග සම්බන්ධ වෙනවා.

      2. යකඩ බෝලය පුපුරන්නේ නැහැ. නමුත් ගොඩනැගිලි මත වැටීමෙන්, බලකොටු පවුරු වල වැදීමෙන් බරපතල හානි සිදුකරනවා.

      3. ඔව් ගුස්ටාව් එකත් දුම්රිය කාලතුවක්කුවක්.

      4. පෘතුගීසීන්ගේ තුවක්කු අල්ලාගෙන ඒ තුවක්කු අධ්‍යයනය කර ලබාගත් දැනුමෙන්. සමහරවිට අර ඉහල පින්තුරයේ තියන සිංහල කාලතුවක්කුව, පෘතුගීසීන්ගෙන් අල්ලාගත් එකක් වෙන්න පුළුවන්.

      5. 1888 පළමුවැනි ලෝක යුද්ධය පටන් අරන් තිබුනේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තමන්ගේ අධිරාජ්‍යයට එල්ලවන ආක්‍රමණ සඳහා සූදානම් වෙමින් හිටියා.

      මමත් හිතනවා මේ කොටසෙන්ම තිබ්බා ට තිත තියන්න.

      • විචාරක තුමා ඔය මුල්ම කාලේ හදපු යකඩ බොල වගේ උණ්ඩ පිපුරුව නැති උනාට … කුඩා යකඩ බොල විශාල ප්‍රමානයක් ඊයම් මගින් පාස්සල තනි උණ්ඩයක් වගේ හදපු පොකුරු උණ්ඩ තිබිලා තියනවා ඒ උණ්ඩ පොලවේ තදින් වැදුනම යකඩ බොල විසිරිලා විශාල හානියක් කරනවා ….. නමුත් පසු කාලයේ ඒ කිව්ව්වේ ඇමරිකානු සිවිල් යුද සමයේ හදපු කාල තුවක්කු වලට යොදපු යකඩ බොල උණ්ඩ ” ෂෙල් ” උණ්ඩ විදිහට තමා සදහන් වෙන්නේ … ඒ උණ්ඩ ඇතුලත පුපුරන ද්‍රව්‍ය පුරවලා කාලතුවක්කුවට යොදන්න කලින් ගිනිගන්නා ෆියුසයක් ( සේවා නුලක් වගේ ) සවිකරන ක්‍රමයක් තිබිලා තියනවා … එතකොට මේ උණ්ඩ වැටුනට පස්සේ හරි අතරමගදී හරි පුපුරනවා …. ( තුවක්කුව ඇතුලෙම පුපුරපු වෙලා වලුත් තිබුනලු )

        • ෂෙල් උණ්ඩ පළමුවැනි පරම්පරාවේ තුවක්කු වලට අදාළ නැහැ. එකයි මම මේ කොටසේදී ඒ ගැන නොකිව්වේ. දෙවැනි පරම්පරාවේදී තමයි ඔබ කියන විස්තරයට අදාළ තුවක්කු තිබුනේ. අද පොකුරු කාලතුවක්කු උණ්ඩය ඊටත් වඩා දියුණු කර තියනවා.

  11. දැං කාලෙ එහෙමනං කාල තුවක්කුවකට වෙඩි බෙහෙත් කොට කොට ඉන්නකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි.
    ඔය එයාක්‍රාෆ්ට් කැරියර් වල තියෙන කැටපල් එක යානා නග්ගවන්න වගේම බස්සනකොට වේගෙ අඩුකරගන්නත් භාවිතා වෙනව නේද? නැත්තං ඉතිං මුහුදෙ තමයි නවතින්නෙ. 😀

    වැදගත් තොරතුරු ටිකක්.

    • ‘කොට කොට ඉන්නකොට’ අපිවත් කොට වෙලා යනවා දැන් කාලෙනම්. 😀

      ඔව් ගුවන්යානය ආපසු නැව මතට බස්සනවිට ඇදෙන සුළු කඹයක් එහි පැටලී යානයේ වේගය බාල කරන ක්‍රමයක් තියනවා.

  12. ඔය ගුවන් යානා වලට ගුවන් ගතවන්ට වායු පීඩනයෙන් ක්‍රියාත්මක වන ” කටපල්ට් ” භාවිතා කරන්නේ ඇමරිකානු තාක්ෂනය සහිත ගුවන් යානා ගෙන යන නැවි පමණයි …. රුසියන් තාක්ෂනයේදී නැව් තට්ටුව ඉදිරියෙන් ඔසවායි තියන්නේ එතකොට ගුවන් ගතවන්නේ යානයේ එන්ජින් බලයෙන් ……

    දෙවන ලෝක යුද්දය ආරම්භ වෙන කොට යුරෝපයේ තිබ්බ විශාලම පාබල බල ඇණිය සහ දේශ සිමා ආරක්ෂක බල ඇණිය ප්‍රංශ ලු … ඉතින් ඒගොල්ල හෙන අදිතක්සේරුවන්ලු හිටියේ එයාලගේ බංකර් වළල්ල නිසා …. හැබැයි හිට්ලර් තමනේගේ ” පැන්සර් ” යාන්ත්‍රික පාබල බල ඇණිය පාවිචිචි කරලා මේ බංකර් වළල්ල ට පිටු පසින් ඇතුළු වුනාලු එතකොටලු ප්‍රන්සේට තේරුනේ ලෝක යුද උපක්‍රම වෙනස් වෙලා කියල …. ඒ ගොල්ල ගාව තිබුනේ අස්වයෝ සහ බූරුවෝ යොදා ගත්තු ප්‍රවාහන හමුදාවක් ලු … හිට්ලර්ට දින 7 කින් ප්‍රංශය යටත් කරන්ඩ පුළුවන් උනේ මේ නිසාලු ….

    අර ඉන්දියන් කාල තුවක්කුව දැක්ක ම නං හින් දාඩියත් දැම්මා ……. මේ ලගදි ඉන්දියන් ” ටාටා ” සමාගම අලුතෙන්ම මුලුමනින්ම එයාලා හදපු ට්‍රක් එකක මවුන්ට් කරපු ” බෝෆොස් ” පන්නයේ කාලතුවක්කුවක් හදලා තිබ්බා ….. 155 මිමි කැලිබර් ප්‍රමාණයේ …..

    විචාරක තුමා එතකොට චීන්නු නෙවේද මුල්ම කාලතුවක්කු නිෂ්පාදකයන් උනේ ?

    • බොහොම හොඳයි සමීර. ඔබ මේ විෂයය ගැන දැනුම තියන, දැනුම සොයන, කෙනෙක් බව පෙනෙනවා.

      හිට්ලර් එදා පාවිච්චි කල ඒ ‘රිංගලා ගැහීම’ ‘Infiltration Attack’ අදටත් පාවිච්චි කරන උපක්‍රමයක්. මේ විවිධ ක්‍රම ගැන පසුව ලිපියක් ලියන්නම්.

      ටාටා කාලතුවක්කුව ගැන ඊළඟ කොටසේදී සඳහන් වෙනවා.

      රොකට් තාක්ෂණයේ පුරෝගාමියන් ලෙස තමයි චීනය ගෞරවයට පාත්‍ර වෙන්නේ.

  13. ඔය දෙවෙනි ලෝක යුද්ධ කාලේ වෙන්ඩ ඕනේ මට මතක විදිහට ‘බිග් බර්තා’ කියලා කාලතුවක්කුවක් ගැන මම අහලා තියෙනවා.උණ්ඩය වාත ස්ථරය මත ලෙස්සලා ගිහිල්ලා ගොඩක් උඩට ගමන් කරලා ඈත තියෙන සතුරු ස්ථානවලට පහර දෙන්ඩ හැකි උනා කියලා වගේ තමයි මතක.

    ඔය ඉස්සර නැව්වලත් කාලතුවක්කු තිබිලා තියෙනවනේ.මම වැඩසටහනක දැක්කා ඔය මුහුදු මංකොල්ලකාරයෝ කාලතුවක්කු උණ්ඩ දෙකක් අඩි දෙකතුනක් දිග දංවැලකින් එකට සම්බන්ධ කරලා වෙළඳ නැව්වලට වෙඩි තිබ්බලු.උණ්ඩ දෙක දංවැලෙන් සම්බන්ධ කරලා තිබ්බ හින්දා අඩි කීපෙක ඉලක්ක පරාසයකට හානි කරන්ඩ පුළුවං උනාලු.විශේෂයෙන් කුඹගහ කැඩෙන්ඩ මේකෙන් වෙඩි තියන්ඩ පුළුවන් උනාලු.

    ඈත ඉඳං පහර දෙන ආයුධ ගැන කියද්දි දුන්නයි ඊතලයයි අමතක කෙරුවේ මක්කැයි විචාරක මහත්තයෝ?

    • මෙතෙක් නිපදවූ දුර වදින කාලතුවක්කු වලින් වැඩිම දුර වෙඩි තියලා තියෙන්නේ කි.මී. 130 ක් කියලා වාර්තාවක් තියනවා.

      ලිපිය දික්ගැහෙන එක වලක්වන්න මම සමහර කරුණු මගහරිනවා. දුනු ඊතල වගේ දේවල් ගැන නොලිව්වේ එකයි. නමුත් කැටපෝලයෙන් පුංචි උණ්ඩයක් වැනි ගලක්නේ විදින්නේ.

    • “බිග් බර් තා” හැදුවේ ජර්මන් හමුදාව 1 වන ලෝක යුද්දයෙදී … එවකට නිෂ්පදනයවූ විශාලතම කාලතුවක්කුව …..

      • මම හිතනවා සමීර මේ ගැන පොඩි කරුණු පැහැදිලි කිරීමක් කලොත් හොඳයි කියලා.

        1. ‘බිග් බර්තා’ කියන්නේ ‘Artillery Gun’ හෝ ‘Canon’ කියන වර්ග වලට ටිකක් වෙනස් ‘Howitzer’ වර්ගයේ තුවක්කුවක්. (ඒ සියල්ල ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්)

        2. ‘බිග් බර්තා’ යන නමින් තුවක්කු කීපයක්ම හදලා තියනවා. මෙතනින් බලන්න

        3. ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම ‘කාලතුවක්කුව’ ලෙස සැලකෙන්නේ ගුස්ටාව්. මෙතනින් බලන්න

  14. දිමුත් said:

    කාලතුවක්කු උණ්ඩෙකට ඉදිරියට විදීමට ජවය සපයන්නෙ චාජර් එකෙන්.එතකොට මෝටාර් උණ්ඩයක් විදීමට ජවය සැපයෙන්නෙ කොහොමද.මෝටාර් අවිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

  15. මගේ හිතේ නම් දැන් වැඩ කරන්නේ ‘කැටපල්ට්’ එකක් හදාගන්න විදිය. කොල්ලන්ට විදින්ට පුලුවන් ඕනි නැති ඒවා කියන්ට ආවොත්. ඔන්න විචාරක තමා අපිට මේ අදහස් ඔලුවට දාන්නේ. 😀

    • ඉස්සර වෙලාම එකක් හදලා ‘අර කොල්ලට’ විදලා බලන්න. ප්‍රතිපල මට කියන්න ඊට වඩා හොඳ එකක් හදන විදිහ කියලා දෙන්නම්. 😀 😀

    • අර කොල්ලෙක් කැටපල් හදපු කතාව පොඩ්ඩි දන්නවද දන්නෑ.. 🙂

      • පොඩි එවුන් නරක් කරන්නේ නැතුව ඉන්නවා ඔන්න ඔහාට වෙලා. 😀

        අර වැඩේ පටන්ගත්තද? තොරතුරු ඇති නේද?

      • පොඩි එවුන් !!! 🙂

        ඒක පොඩ්ඩකට කල් දැම්මා විචාරක මහතා. මම හිතන් ඉන්නෙ, අන්තර්ජාලයෙන් ගන්න විස්තරයි, තව අන්තර්ජාලයෙන් එහාට ගිහින් පුද්ගලිකවම තොරතුරු ගවේෂණය කරලා ( ඔබ තුමා කියපු තැන එහෙම ) වැඩේ ටිකක් සවිස්තරාත්මකව දෙන්න.

        දැනට වෙන එකක් ලියවෙමින් තියෙනවා.. හෙටානිද්දා පළවෙනි කොටස නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. 🙂

        • දැන් කොහෙද පොඩි එවුන්. කතා දෙක තුනක් එවන්නම් ඊයකින්. හැබැයි කිව්වේ මම කියලා කොහේ හරි ප්‍රසිද්දියේ කියලා තිබුනොත් වෙඩි තියන්නේ කාලතුවක්කුවකින් 😀 😀

  16. අර බැන්ඩලියර් වල පොඩි පොඩි පොකට් රාශියක් තියෙන බව පේනවා…ඒ තුල මොනවා හරි දානවද ? උණ්ඩ වැනි දෙයක්….

    • ඉතා ආදී කාලයේ වෙඩිබෙහෙත් කැප් දාලා තියනවා. ඒවා අදාළ වුනේ පලමුවැනි පරම්පරාවේ තුවක්කු වලට. දැන් බැන්ඩලියර් එක අඳින්නේ කාලතුවක්කු හමුදාවේ සංකේතයක් විදිහට.

  17. ඔබ තුමා ලියන මේ ලිපි පෙළ සිංහල බ්ලොග් සාහිත්‍යයේ .. යුද තාක්ෂනය ගැන තිබු හිස්තැන පුරවාවී .. මෙවැනි විස්තර සිංහලෙන් කියවීමටත් තොරතුරු විස්තර වශෙයන් ඉදිරිපත් කිරීමත් අප විසින් තැනින් තැන දමන හැම කොමෙන්ටුවකට ම වෙහස නොබලා පිළිතුරු සැපයීම පිලිබදව ඔබතුමාට ස්තුතියි ….

  18. බොම්බඩියර්, ගනර් ගැනත් කිව්වනම් අගෙයි..නොදන්නා අයට දැනගන්න…
    බොම්බඩියර් ale එකත් හොඳ පානයක් 🙂

    • කාලෙකින් මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි. බොම්බඩියර් සහ අර …….ගහන කුරුල්ලා ගැනත් ලියන්නද? 😀 😀

      • පහුගිය දොහේ වැඩ රාජකාරී නිසා එහෙ මෙහෙ කරක් ගහන්න උනා…කාලෙකින් නෙට් එකේ කයි කතන්දර කියවන්න වෙලාවක් ලැබුනේ. ආපහු පිටමං වෙන්න කලින් නරියාකන්ද පැත්තේ රවුමක් දාලා එන්න චෑන්ස් එකක් ලැබුනා..!
        ඔව්වොව්…..ගහන කුරුල්ලා ගැන ලියුවානං හොඳයි තමා…

        • නරියා කන්ද අර අපි ඉස්සර දැකපු වනගත ස්වභාවයේ නැහැ. දැන් මොඩ් වෙලා. දුකත් හිතෙනවා ඒ අතීතය මතක්වුනාම.

          අරක ලියන්න බැහැ අනේ. ලැජ්ජයි. 😀

  19. විචාරක තුමා බොහොම අනර්ඝ ලිපියක් ! මම කැමතයි ඔබ තුමා අපේ රටේ කොතනත් ආරක්ෂක අංශ අතේ දකින්න ලැබෙන T 56අවිය ගැන ලිපියක් ලියනවනම්, ස්තුතියි !

    • ඇගයීම ගැන ස්තුතියි. T 56 අවිය අපේ ආරක්ෂක අංශ බහුලවම පාවිච්චි කරන නිසා තමයි ඒ ගැන නොලියා ඉන්නේ. නමුත් ඔබ අන්තර්ජාලය පීරා බැලුවොත් T 56 අවිය ගැන ඕනෑ තරම් පාඩම් සහිත අඩවි තිබෙනවා.

  20. ඉතාම ආසාවෙන් කියවූවා. අර ජනාධිපති තුමා ප්‍රධානය කරන්න ජාතික ධජය නේද එකට වර්ණ කියන්නේ ඇයි?.

    මම තව පැරණි යුද්ධ තියෙන ෆිල්ම් වල දැකලා තියෙනවා තවත් අපුරු ගල් විදිනයක්, සමහර එවන් ගිනි බෝල විදිනවා.

    • ඒ ධජයේ වටේට යම් අලංකරණයක් කරලා තිබෙනවා. ඒ තමයි වර්ණ ධජයේ විශේෂත්වය.

      ඔව්, ඔය කැටපල්ට් වලින් ගිනිබෝල යවන්න පුළුවන්. විශාල රෙදි ගුලියකට ගිනි අවුලුවලා එය යවන්න පුළුවන්.

  21. වර්ණලාභී කාලතුවක්කුවට අදාළ ගරු සැලකිළි දිනපතා කරනවා කියන එක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • තැන්පත් කර ඇති ස්ථානය පිරිසිදුව අලංකාරව තබා ගැනීම, ආචාර කිරීම, ඒ තුවක්කුව කිසිදු වෙනත් කාර්යයකට යොදා නොගැනීම ආදිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: