විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


civil-war-cannon-FH2345_1-front   මාතෘකාවට යොදා තිබෙන ගීය ඔබට මතකද? අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු………ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු…..(පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා) ඒ ගීතය තියෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්  අධ්‍යක්ෂණය කල ‘සංදේශය’ චිත්‍රපටියේ. එච්.ආර්.ජෝතිපාල ශූරීන් ඇතුළු පිරිස ගයන මේ ගීතයේ පදමාලාව, අරිසෙන් අහුබුදු ශූරීන්ගේ. සංගීතය ආර්.මුත්තුසාමි ශූරීන්ගේද පී.එල්.ඒ. සෝමපාල ශූරීන්ගේද යන්න මට දැන් මතක නැහැ. (හොයන්න උත්සාහ කලෙත් නැහැ) ගී තනු සුනිල්ශාන්ත ශූරීන්ගේ බව මතකයි. 

  අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති. ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)

  කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා. 1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා. අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා. ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා. වෙලාවකට හරිම කරදරයක්. ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ. බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ.  😀 😀

  prePic1_gifනෑ නෑ කෝටු තිබුනට ගැහුවේ නැහැ කවදාවත්. නායක හාමුදුරුවන්ට (එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ, කිතලගම ශ්‍රී සීලාලංකාර – ‘දිඹුලාගල ලොකු හාමුදුරුවෝ’) කිව්වොත්, ඒ සාමනේර හිමිවරුන්ට දැඩි දඬුවම් ලැබෙන නිසා, කවදාවත් කාලතුවක්කු බතරොයියේ සේවය කල අපේ අය ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලේ නැහැ.

ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි.හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි. මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘සතුටුදායක දැනුමක් ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා.

  කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක.

  (එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ :D)

  හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….

    (හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ‘තිබ්බේ’. මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා :D)  

  හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට.

  සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත  වෙන්නේ.  😀 😀 එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, පරාවලයාකාර (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්,  ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු,  ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)

  අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ? :D) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ.

  (බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)

  අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා.  ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’  😀 දැන් හරිද?  නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි………..  

  The Musical Show ආයෙත් අතුරු කතාවක්.  මේකටත් කාලතුවක්කු සම්බන්ධයි. මම වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී, සුප්‍රසිද්ධ නළු නිලියන් ගායක ගායිකාවන් කීප දෙනෙක් ඇවිත් හිටියා හමුදාව වෙනුවෙන් නොමිළේ ප්‍රසංගයක් පවත්වන්න. ඇත්තටම ඒ කාලේ වැලිඔයට කොටි තර්ජන තියෙද්දිත්, මේ පිරිස ජීවිත පරදුවට තියලා පැමිණීම අපි හරියට අගය කළා. ඔන්න ඉතිං එදා රෑ නළුවන්ට සහ ගායකයන්ට  නිලධාරි නිවස්නයේත්, නිළියන්ට සහ ගායිකාවන්ට කාන්තා සෙබළියන්ගේ නිවස්නයේත්, නවාතැන් දුන්නා. (ඇත්තටම මේ නිලියෝ සහ ගායිකාවෝ , සෙබළියන් සතු ඉතා දුර්වල මට්ටමේ වැසිකිළි/නානකාමර පහසුකම් ලබාගත්තේ, වචනයකින්වත් කිසිවක් නොකියමින්. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කළාම ඒගොල්ලෝ කිව්වේ, ‘මීට වඩා දුක් විඳින්න බලාගෙනයි අපි ආවේ. දැන් තමයි යුද්දේ හැටි තේරෙන්නේ. මේ සෙබළියෝ අපිට වඩා කොච්චර වටිනවද කියලා තේරුණා’ කියලයි) ප්‍රසංගය පැවැත්වූදාට පහුවදා රාත්‍රියේ අපි ඒ අය වෙනුවෙන් සාදයක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. (හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ :D) සාදය ඉහළින්ම පැවැත්වෙමින් මධුවිත සෙමෙන් සෙමෙන් හිස්වෙමින්, හමුදා කැලිප්සෝ කණ්ඩායමක සංගීතය අඩ අඳුරේ සෙමෙන් ගලායමින්, අපේ නිලධාරීන්ගේ ඇස්, සමහර කලාකාරියන් වෙතත්, සමහර කලාකරුවන්ගේ ඇස් අපේ නිලධාරිනියන් වෙතත්, යොමු වෙමින් තිබුනා.(නිලධාරිනියන් දෙන්නෙක් හිටියා. පහල තියනවා ඒ ගැන. මේ කඳවුර, ආරක්ෂක වලල්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ පසුපසින් තිබුණ නිසා, රාත්‍රියේ මෙහෙම සාදයක් පැවැත්වීම භයානක නැහැ) ඔන්න ඉතිං මේ අල්ල පනල්ලේ, ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ Forward Defended Locality = FDL හිටිය බලඇණියකින්, ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම්දීමක් ලැබුණා, ඉදිරි භූමියේ සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවත්, ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්. කාලතුවක්කු තිබුනේ අපි හිටිය කඳවුරේ. අපි එදා හවස මේ අමුත්තන්ට කියලයි තිබුණේ, හදිසියේ ඇහෙන වෙඩි ශබ්ද වලට බයවෙන්න එපා. අපේ අය සෑමවිටම ඔබ අසළ ඉන්නවා. හදිසියකදී ඒ අය දෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න කියලා. (පේනවනේ මම කලින් කිව්වා වගේ කාලතුවක්කු තියෙන්නේ කොච්චර පසුපසින්ද කියලා) එහි තිබුනේ අපේ හමුදාව සතු විශාලම කාලතුවක්කු වර්ගය වන මිලි මීටර් 130 කාලතුවක්කු තුනක්. ඒ කාලතුවක්කු වලින් කිලෝමීටර් 27ක් දුරට වෙඩි තියන්න පුළුවන්.

    (ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා 😀 😀 )

  Night Firing කාලතුවක්කු තිබුනේ, අපි සාදය පැවැත්වූ එළිමහන් භූමියේම, අප සිටි ස්ථානයේ සිට මීටර් 150ක් පමණ දුරින්. කැලය මැද නිසා, තුවක්කු පිටතට පෙනෙන්නේ නැහැ. ඒ කාලතුවක්කු තුනෙන්ම එකවර වෙඩි තිබ්බා. (‘තිබ්බා නෙවෙයි ළමයා තැබුවා’  😀 :D)  හෙන හතක් එකවර ගැහුවා වගේ සද්දේ. භූමිකම්පාවක් වෙනවා වගේ පොලොව හෙල්ලුනා.  අපිට නම් ඉතිං, කම්මලේ බල්ලට හෙන ගැහුවා වගේ තමයි, ගානක් නෑනේ. අනේ අර කලාකරුවන් පිරිස මරහඬ තියන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමහරු කලුවරේම දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බැරිවුණා. අපි ඊට වඩා බයවුනා. මේගොල්ලෝ කඳවුරෙන් එලියට දුවන්න හැදුවනම්, කඳවුරු ආරක්ෂක මුරයෙන් වෙඩිකාලා, මහා ජංජාලයක් වෙලා, අපට තරු පටි ගලවලා, ගෙදර යන්න වෙනවා. ඒ වෙලාවේ, සාදයේ වැඩවලට උදවු කරමින් ,එතන හිටිය සොල්දාදුවෝ, ‘…..මහත්තයා’, ‘…..අයියේ’ බයවෙන්න එපා දුවන්න එපා, අපි වෙඩිතිබ්බේ (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා  :D) කියමින්, ඔවුන් පසුපස දුවන්න පටන් ගත්තා. මම කිව්වනේ ඒ කාලේ අපට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා කියලා. අනේ ඒ දැරිවියෝ දෙන්නා, එදා ඒ දෙන්නට තියන ලස්සනම සාරි වලින් සැරසිලා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අලංකරණය වෙලා, සාදයට ඇවිත් හිටියේ. ඇයි අප්පච්චියේ ලේසියෙන් හම්බවෙන ‘චෑන්ස්’ එකක්ද, ඔය මහා කැලේ ඔච්චර ලස්සනට අඳින්න. (අපිනම් අත්කොට කමිසයක් කලිසමට උඩින් දාලා, තමයි යන්නේ)  මට මුලින් හඳුනාගන්නවත් බැරිවුනා, ‘අම්මපා මේ අර නිතර දෙවේලේ දකින කිකිලියෝ දෙන්න නේද’ කියලා. 😀 අනේ……… උන් දෙන්නත්, අත් දෙකෙන් සාරිය දනිස්ස ළඟටම (ඊටත් උඩටද මන්දා…. මේ වයසක මට, කළුවරේ ඔව්වා හරියට පේන එකක්යැ) උස්සගෙන, අර කලාකාරියෝ පස්සේ පැන්නුවා ‘…….අක්කේ’, ‘….අක්කේ’, ‘බයවෙන්න එපා අපෙන් වෙඩිතිබ්බේ’ (කිව්වා නේද දැන් දෙතුන් සැරයක් හොඳ හිතින්, තිබ්බා නෙවෙයි තැබුවා කියලා 😀 😀 ) කියාගෙන.  කොහොම හරි විනාඩි තිහකට විතර පස්සේ මේ ‘කලාකාර සැට් එක’ ආපහු සාද භූමිය වෙත එක්කරගන්න අපට පුළුවන් වුනා. කීප දෙනෙක් දුවද්දී වැටිලා, කකුල් ඇමැට්ටි වෙලා, දණිස් ලෙලි ගිහිල්ලා තිබුනා. සමහරු හොයාගෙන තියෙන්නේ වැසිකිළිවල ඉඳලා. සමහරු ඇත්තටම වැසිකිළි ගිහිල්ලා (යැවීලා :D) ඔක්කොටම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, බය ඇරලා, නැවත සාදය පටන්ගත්තා. හැබැයි ඉතිං පහුවදා උදේ අපි ගහපු ‘කාඩ්’ වලට කනේ ඇඟිලි ගහගන්න වුනා සමහර අයට.  😀 නම් කියන්න හොඳ නෑනේ එයාලගේ.

  මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද?

හෝව්  හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….?

දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ.

මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?

  •   සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ.

bullet_drop

parabola

  •      සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.
  •   සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.

  ඊළඟ ලිපිය එනතුරු කරන්න වැඩක් දෙන්නම්. යන්න  මෙන්න මෙතනට එතන තියන ගැඹුරු තාක්ෂණික තොරතුරු කියවන්න අවශ්‍ය නැහැ. එතැනදී හම්බවෙනවා, ඔය ඉහත රූපයේ තියන කාලතුවක්කුව. යතුරු පුවරුවේ ඊතල යතුරු වලින් කාලතුවක්කුව උස්සන්න පාත් කරන්න පුළුවන්. FIRE  කියන රතු බොත්තම ඔබලා වෙඩි තියන්න පුළුවන්.

<

p style=”text-align:justify;”>  අනේ මේ…….වඳිඤ්ඤං………..මේක කාලතුවක්කුවක් ඈ………ඉස්සර කියලා දුන්න තුවක්කු වගේ නෙවෙයි හොඳද…….. අර මොකාටද මොකක්ද එක අහුවුනා වගේ, හතර අතට වනන්න යන්න එපා හොඳේ.

මෙම ලිපියේ ඇති පින්තූර Google Images වෙතින් ලබාගත් ඒවාය.

My Signature for Blog2013 මැයි මස 11 වැනිදින 0051 පැය

Advertisements

Comments on: "අපේ තුවක්කූ ඉහළම කාලතුවක්කූ……….(පළමුවැනි කොටස) – The Artillery Gun (Part One)" (90)

  1. දැන් නිදි මතයි.. හෙට එන්නම්කො අපේ තුවක්කූ ඉහලම කාල තුවක්කූ බලන්න.. 🙂

    • මෙහෙ වෙලාව දැන් රෑ 1.05 යි. හැබෑටම ඔහේ මොකෑ කොරන්නේ මේ මහා රෑ? නින්ද යන්නේ නැතෙයි?

      • හැක් හැක් හෑහෑහෑ.. විචාරක කකුළුවා, සෙන්නා කකුළුවාගෙන් ඇහුවලු බොල මොකද තෝ ඇදේට යන්නෙ කියල 🙂
        ආ.. යකෝ විචාරකයො ( මාත් යක් පරපුරේ හරිය ! 🙂 ) මම අහන්න ඕනා පුරස්නෙ තෝ අහපුවම හරියනවයෑ…බොට 01:05 යි කියන්නෙ මට 11:35 යි.. 🙂

        අද ලිවිල්ලනම් අමුතුම ලිවිල්ලක්.. නිකන් කට්ටියක්ව වට කරන් කතන්දරයක් කියනවා වගේ…

        කාලතුවක්කුවට ඉදිරි ආරක්ෂක වලල්ලෙ ඉන්න අය ඉලක්කය දෙන්නෙ කොහොමද ? මට හිතෙන්නෙ නිකන් කනාවට කෙලලා අරිනවා අති කියලා පැත්තක්ම සෙට්ටපෝච්චි වෙලා යන නිසා..

        ඔය ඔළුවට උඩින් යන්න ගහපු එකක් වැරදිලාවත් ඔළුවට වැටිච්ච සිද්ධියක් එහෙම වාර්ථාවෙලා නැද්ද ?

        ඔය පුරුතුගීසි කාරයො ගාව තිබුන කාලතුවක්කු වලට දැම්මෙ ලොකූ යකඩ බෝලයක් නේද..ඒවට Canon කියලත් කියනවා නේද..එතකොට Canon එකයි Artillery එකයි වෙනස්ද ?

        • යකෝ මමත් දිනපතා කොම්පියුටර් කට්ට දාගන්නේ නවයහමාරට දහයට විතර. ඊටපස්සේ එකහමාර විතර වෙනකල් අදිනවා. (නාකියාට ආයේ රෑට වෙන වැඩ නෑනේ (බෑනේ 😀 😀 )

          කාලතුවක්කු ඉලක්ක ගන්නා ආකාරය ගැන ඉදිරියේදී කියනවා. කලින් දන්නා ප්‍රදේශයක් නම් ජ්‍යාමිතික ගණනය කිරීම් අනුව සිතියමේ ලකුණු කරගෙන තියනවා ඉලක්ක. නොදන්නා ප්‍රදෙශයක්නම් ඔත්තු බැලිය හැකි සෑම ආකාරයකින්ම බලලා සිතියමේ ලකුණු කරගන්නවා.

          ඔලුවට උඩින් යන්න ගහපුවා ඔලුවටම නැතත් උවමනාවට වඩා අපේ අයට ලඟින් වැටීම නිසා තුවාලවූ අවස්ථා තියනවා.

          ඉස්සර යකඩ බෝල තමයි දාලා තියෙන්නේ. දැන් ඊට වඩා හුඟක් ‘දියුණුයි’ ඒ උණ්ඩ ගැනත් කියන්නම්.

          Artillery Gun, Canon, Howitzer, ඔය ඔක්කොම ගැන කියන්නම් ඉදිරියේදී.

      • බෑ කියන එකනම් අපිට පිළිගන්න අමාරුයි… 🙂

  2. තුවක්කු වලින් ලස්සනම කාලතුවක්කු බව මම තීරණය කලා. හේතුව ලියලා තියෙන විදිය. හරියට හිනා උනා උදේම. හිනා උණා නෙමේ හිනා ගියා. 😀

    අපි නම් ඉතින් යුද හමුදාවෙන් කාලා තියෙනවලු. අම්මෝ ඒවායේ රහ. බලන්ට එපායැ. උදේ කෑම වේල. මට නම් ඒ වෙලාවේ හිතුනා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන්ට. 🙂

    විහිළු කොහොම උණත් එයාලගෙන් කෙරිලා තියෙන දේවල් නම් වචනයෙන් කියලා නිම කරන්ට බෑ විචාරක…ඔයාලා හැමෝටම අපේ උපහාරය….

    • හුහ්……එතකොට අපි පාවිච්චි කරන T 56 එහෙම තුවක්කු නෙවෙයි ඈ. බැරිවෙලාවත් කාලතුවක්කු හමුදාවේ එක්කෙනෙක් මේ කමෙන්ට් එක දැක්කනම් තියන කොලර් එකට අමතරව තවත් කොලර් එකක් කමිසෙට මහලා අප් කරගනියි. 😀

      අපරාදේ හමුදාවට බැඳෙන්න නේ තිබුනේ. එහෙනම් මේ මම ලියන කරුණු ඔයානේ ලියන්නේ.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  3. අද නම් හොදම විස්තරයක් එක්ක රස ගුලාවක්.මෙහෙම පදුරු තල තල ආවාහම කාලයක් මතක හිටිනව.අද ලියවිල්ල කියල වැඩක් නැහැ.
    මම නම් කාල තුවක්කුවකට කියල අල්ලල තියෙන්නෙ ගෝල්ෆේස් වල,හෙවනට හිටපු කාල තුවක්කු විතරයි :).

    • ලියන්න පටන්ගන්නකොටම ඔලුවට ආව දේවල් මුලින්ම ලියලා ඉවර කළා. ඊළඟ ලිපියෙන් නියම කරුණු වලට බහිමු.

      ගෝල්ෆේස් එකේ සමහර වෙලාවට තියන ‘කාලතුවක්කු’ දැක්කම බයත් හිතෙනවා. 😀 😀

  4. //(හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ )// 🙂
    අම්මෝ කවන කොට මුගලන් වෙන්න කවනවා කියලයි අහලා තියෙන්නේ

    • // ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්//
      මේන් අය්යේ ප්‍රශ්න පත්තරේ 🙂
      ඉලක්කයට වැදුනම දැනගන්නේ කොහොමද FDL කට්ටිය කියනවද?
      FDL එකට වැරදිලාවත් නොවැදෙන්න ගහන්නේ කොහොමද ?
      130mm එකෙන් තිබ්බොත් කොච්චර පැත්තක් කම්මුතුද?
      අරුන් ගැහැව්වොත් ඇහෙන සද්දේ වෙනස් නේද ? ( අපි ළඟ පුපුරන්න ඉස්සෙල්ලා 🙂 )

      • ඔව් ඉලක්කයට වැදුනාද නැද්ද කියන එක අපේ අය කියනවා.
        අපේ අයට වදින්නේ නැහැ. අපිට ඉදිරි භූමියේ සතුරා එයි කියලා හිතන මාර්ග, සතුරාට පැමිණ සැඟවී සිටිය හැකි තැන් ඉලක්ක ලෙස අපේ සිතියම්වල ලකුණු කරගන තියනවා.
        130 තුවක්කුවෙන් ගැහුවොත් මීටර් 150 ක පමණ විශ්කම්භයක ප්‍රදේශය මාරාන්තිකයි. එතනින් පිට වුවද තුවාල, අලාභහානි, සිදුවෙනවා.
        අරුන් ගැහුවොත් ලඟට එනකොට ‘ෂියු එක’ ඇහෙනවා.

        ඔබේ ප්‍රශ්න වලට සවිස්තර පිළිතුරු ඊළඟ ලිපියෙන් ලැබෙනවා. බලාපොරොත්තුවන්න.

    • හ්ම්, හ්ම්……… 😀

  5. හැලප අයිය වගේ මෙයත් පඳුරු තලන්න පටංගෙනද කොහෙද. නැත්තං ඔලුවට උඩිං යන එකක් පාත් උනාද දන්නෑ. 😀

    අර ගායක ගායිකාවො ටිකට සිංදු අමතක වෙන්න ඇති බයවෙච්ච පාරට.
    ඊගාව එකෙන් කියමුකො බලන්න කාලතුවක්කු ගැන.

  6. නිර්නාමික said:

    ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ…… හරිම මිහිරියි ඒ සද්දෙ නම්.. 🙂

    “යකෝ” කියන වචනය නම් මටත් කියවෙනව. අර කාලතුවක්කුවෙන් මාත් වෙඩි තිබ්බා. නෑ නෑ තැබුවා. 😀

  7. ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ…… හරි මිහිරි සද්දෙ.. 🙂

    “යකෝ” කියන වචනය නම් මටත් කියවෙනව. අර ලින්ක් එකේ ගියාම තියන කාලතුවක්කුව නියමයි නෙ. මාත් ඒකෙන් වෙඩි තිබ්බා. නෑ නෑ වෙඩි තැබුවා. 😀

  8. මගේ පලවෙනි කමෙන්ට් එක.ඒත් හිටු කියලා පරන පෝස්ට් ටික නම් කියවනවා.මේ වගේ අත්දැකිම්,දැනුම බෙදාගන්නවාට ඔබට ස්තූතියි..

  9. සුපිරි ඈ! කාල තුවක්කු උන්ඩය අග නේද පීඩනයට පුපුරන්නෙ?

  10. ෂා, මේ ලිපිය නියමෙට තිබ්බා නොව. සොරි, සොරි. තිබුනා. කතාවත් එක්කම විස්තරයත් නියමයි

  11. හොද කතා ටිකක්.
    මාදුරුඔය උද්‍යානය ඇතුලේ ඉන්නකොට කෑම්ප් එකේ ඔව්වා ගහනකොට දෝංකාර වගේ පොළොවත් හෙල්ලීගෙන යනවා. එතන තියෙන්නෙ පුහුණු කදවුරක් නිසා ගහන්නෙ පුපුරන්නේ නැති වෙඩිද??

    • කාලතුවක්කු පුහුණු වෙඩි ඒ තරම් විශාල ශබ්දයක් දෙන්නේ නැහැ. සමහරවිට ඔබට ඇහෙන්නට ඇත්තේ මාදුරුඔය සිට තොප්පිගල පැත්තට එල්ලකළ ඇත්තම කාලතුවක්කු ප්‍රහාරයක් වියහැකියි.

      • ඕව්,, එහෙමලු. ඒත් ඔච්චර ගොඩක් ආටි ගහනවද කියල සැකයක් තිබුන. එක වෙඩිල්ලක් සෑහෙන ගානක් වෙනවා නේද. කොටින්ගෙන් අල්ලාගත් කාලතුවක්කු එහි ප්‍රදර්ශණයට තිබෙනවා මතකයි.
        ඇත්තට කාලතුවක්කු උණ්ඩයක් කීයක් විතරද…..??

        • යුද්දෙට ගියාම උණ්ඩයක මිළ බල බලා ඉන්න බැහැ දුපත්, අරමුණ ඉෂ්ඨ කරගැනීම තමයි වැදගත්. සමහර අවස්ථා වලදී කාලතුවක්කු උණ්ඩ වැසි වස්සන්න වුනා සතුරාගේ ප්‍රබල රැලි ඉදිරියට ඒම වලක්වන්න. 2010 දි විතර එකක් ඩොලර් 100 – 350 අතර මිලක් වුනා වගෙයි මතක. හරියටම ස්ථිර නැහැ.

  12. vo 70 m/s angle 38 deg තිබ්බා වෙඩි..බැටලුවා ඉවරයි..(නෑ නෑ…තැබුවා..තැබුවා)

    • මම මීටර් 10000 සීමාවත් ඉක්මවා වෙඩි තියලා බැලුවා. ඒ සඳහා නිවැරදි ආනතියට තුවක්කුව හදාගත්තාම හරි. ‘තිබ්බා’ නෙවෙයි ‘යකෝ’ තැබුවා. 😀 😀

  13. විචාරක මහත්තයා හැලපෙගෙ මෝනාලිසා කියවලා ඔන්න ඉතිං කියන්න ගිය දේ කල්දාලා වෙන වෙන එවුවා ලියන්න අරං ..

    • මොකක්ද ඒ මොනාලිසා.

      • ඇයි විචාරක තුමා >>හැලප කඩේ<< ලිපි කියවනව නේද?සිය පවුල බෙල්ජියම් ඉදල මෝනලිසා බලන්න ෆ්‍රාන්ස් යනව දැන් මාසෙක විතර ඉදල පදුරු තල තල රසවත් ලිපි ලියනව ඇරෙන්න බලන්න යන මෝනලිසෙක් නැහැ.
        අපේ සරත් කියන්නෙ ඒකයි.

      • විචාරක මහත්තයා දන්නවද වාන් පතුල් කියන්නෙ මොනාටද කියලා.. 🙂 🙂

        • ඔව් මම වැලිඔය පැත්තේදී දැකලත් තියනවා. ගැමියෝ කැලේ ඇවිදිද්දී කකුලේ කටු ඇනෙන එක වලක්වන්න යටි පතුලට තියලා බැඳගෙන යන ඝන සම් ආවරණයක්. හරිද මම?

      • මම හිතන්නෙ ඔබ තුමා හරි.. මමනම් දැකලා නෑ.. ඒත් තතු දත්තෝ එහෙම කියනවා අහලා තියනවා.. 🙂

        මට කියන්න ඕනා වුනේ ඒක නෙමේ.. ඔය සරත් අයියයි, කෙන්ජියි කියලා තියනවනෙ මොනාලිසෙක් ගැන.. හැලපෙ අයියා මොනාලිසා ගැන හැර අනිත් ඔක්කොම ගැන කතා කරනවා කියලා..

        මෙන්න වාන පතුල් ගැන කියවන්න අපූරු තැනක්.. මෙතන වාන් පතුල් ගැන හැර ඇනිත් ඔක්කොම ගැන කතා කරනවා.. 🙂 පදුරු තැලීමේ පුරෝගාමියෙක් කිව්වොත් නිවැරදියි.. අනිත් අතට නූතත විශ්නු ශර්මන්.. හැක්..හැක්..හැක්..හැක්.. 🙂

        විචාරක මහතාව මම එහෙදි දැකලා තියනවදත් මංදා.. !!

      • මම මේකට දාපු කමෙන්ට් එක ඔහෙ කොහෙ හරි වැටිලා තියනවද බලන්නකො විචාරක මහත්තයෝ.. මේ උලව් වර්ඩ්ප්‍රෙස් එක්ක මල පනින්නෙ ඔන්න ඕවට තමා.. 😦

      • ඈහ් ස්පෑම් වෙලාද ??

        දිගටම කියවන්නකො.. තව පෝස්ට් හතර පහක්ම තියනවා වාන් පතුල් ගැන..ඒවයෙ වාන් පතුල් හැර හැම දෙයක්ම තියනවා.. 🙂 ඔන්න මේ දවස් වල විජය කුවේණී අන්දර අපූරුවට ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා..

        • හරි හරි බලන්නම්. මටත් පේනවා නියම කෑලි තියනවා කියලා. නැවතත් ස්තුතියි.
          අද අපේ යාළුවො කස්ටිය මහව පැත්තේ මල ගෙදරක යනවා. අපිට හරිම දුකයි. තව ටිකකින් පිටත්වෙන්න තියනවා. ‘මාර්ගෝපකරණ’ මිලදී ගැනීමේ කළමනාකරු මම. දුක වැඩියෙන් පෙන්නගෙන යන්න ඕනෙනේ. අපේ උන්දැගේ මූණ නම් දැනටත් කොරහක් වගේ වෙලා. 😀 පුළුවන් උනොත් එයාගේ කරේම එල්ලිලා එන්නම්.

  14. සුපිරිම රසයක් එක්ක කාලතුවක්කු ගැන අගනා දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි විචාරක තුමා.

  15. විශ්ව රංගනාත් said:

    රසවත් ලිපියක්.

    යුධ බිමේදී කාලතුවක්කුව එල්ල කරන විට අදාළ කෝණය සොයාගන්නට ගණනය කිරීමක් කරනවාද නැත්නම් ඒ සඳහා වගු වැනි දෙයක් බාවිතා කරනවාද? සුළගේ වේගය සහ දිශාව අනුව ඉලක්කය වෙනස් වුවහොත් tril and error සීරුමරුවක් කරනවා ඇති නේද?

    කාලතුවක්කු උණ්ඩයේ තුවක්කුව තුල පුපුරන්නත්, වැදුණු තැන පුපුරන්නත් කොටස් දෙක කටද සකසා ඇත්තේ?

    • කාලතුවක්කු වෙඩි තැබීම ඉතා සියුම් ජ්‍යාමිතික ගණනය කිරීම් වලින් කරන්නේ. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි. එමෙන්ම ඒ සඳහා භාවිත කරන උපකරණත් තියනවා. ඉදිරියේදී කියන්නම්. ‘තැත් වරද’ ක්‍රමයට ආසන්න දෙයක් කරනවා. එනම් යම්කිසි තැනකට උණ්ඩයක් පතිතවූ පසු එය අපේ හමුදාවට නිරීක්ෂණය කළහැකිනම්, කාලතුවක්කුව තියන තැනට දන්වනවා තව මීටර් 100/200/300 වැනි ප්‍රමාණයන්ගෙන් ඉදිරියට/පසුපසට/වමට/දකුණට වෙඩි තියන්න කියලා.

  16. මම නම් කෑම්ප් වල කෑම කාල තියනවා. ඒව‍ගෙ රස නම් නියමයි. නියම ලිපි ටික. මම A/L කරන කාලේ එක බලාපොරොත්තුවක් වුනේ හමුදාවට එක් වීම තමා. ඒ උනාට එ විකල්පයට යන්න උනේ නැ. නිතරම මේකෙ ලිපි කියෙව්වත් කොමෙන්ට් එකක් දැම්මෙ ගොඩ කාලෙකින්. ඊලඟ ලිපිය එනතුරු මග බලන් ඉන්නව. ඔය කාල තුවක්කු උණ්ඩ වල කොපුව නම් නියම පිත්තල නේද?

    • ත්‍රිවිධ හමුදා කඳවුරු වලින් සංග්‍රහ විඳපු අය අපේ රටේ ඉතා විශාල පිරිසක් සිටිනවා. හමුදාවට බැඳෙන්න සිහින මවන අයගේ ඒ සිහින බොඳවී යන අවස්ථාත් එමටයි. එයින් අධෛර්යයට පත්වියයුතු නැහැ. කාලතුවක්කු උණ්ඩ කොපුව කිව්වට ඇත්තටම එය උණ්ඩය ගුවනට විදීම සඳහා බලය ලබාගන්නා චාජරය නමැති කොටසේ කොපුවයි. ඊළඟ ලිපියේදී කියන්නම්.

  17. විචාරක මහත්තයා දන්නවද ආටිලරි කට්ටියව පහසුවෙන්ම අදුර ගන්න ක්‍රමය . එයාලගේ බූට්ස් දුඹුරු පාටයි

    • හ්ම්……….හැබැයි ලෝකේ හැම ආමි එකකම නෙවෙයි. අටම් දන්නවද මුළු ලෝකෙම වගේ කාලතුවක්කු අයට ගහපු කාඩ් එකක් තියනවා. එයාලා ‘සමරිසි’ කියලා. මෙහෙත් එහෙම හදපු කතා තියනවා. අම්මෝ බ්ලොග් එකේනම් ලියන්න බැහැ.

  18. ක්සැන්ඩර් said:

    මං දැක්කා එක ගමනක් හමුදාව පෙන්නනවා ඔය කාලතුවක්කු හොයන රේඩාර් එකෙක්. කාල තුවක්කුවක වෙඩි උණ්ඩයක් ඉලක්කයට කොයිතරම් විතර වගේ ආසන්නව වදිනවද? ආසන්න වශයෙන්?

    • ආසන්නතම මීටර් 10 දක්වා පුළුවන්.

      ඒක නෙවෙයි, මොකද මොනවත් නොලියන්නේ කම්මැලියා.

      • අලුතින්ම හදන කාලතුවක්කු වල ඉලක්ක නිවැරදි තාව අවසාන සෙන්ටිමීටර් 2 ක් දක්වා නිවැරදි ලු ….

        • එපමණ නිරවද්‍යතාවක් කාලතුවක්කුවකට අවශ්‍ය වන්නේ නැහැ. ඉලක්කයට මීටර් 10 ක් තරම නුදුරින් පතිත වුනත් හොඳටම ඇති. මිසයිල් වලටනම් සියුම් නිරවද්‍යතාවක් අවශ්‍යයි. ඒ නිසාම ඒවා චන්ද්‍රිකා තාක්ෂණය මගින් හසුරවන්නත් පුළුවන්.

  19. 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 හිනාව නැවතුනාම කමෙන්ටුව දාන්නම්..

  20. බලමුකෝ එහෙනම් ඒ ගැනත් ඉගෙනගෙන.

  21. AL කරන කාලෙ අපිට පේන්ඩ බැරි ජාතියක් තමා මේ කලතුවක්කු කියන්නෙ. මොකද ප්‍රක්ශිප්ත ගණන් වලට එන්නෙම උන්ඩ ගිය දුර හොයන්ඩයි, ඒවගෙ වේගේ හොයන්ඩ. වැ‍ටුන තැනුයි, ආපු තැනුයි හොයන්ඩ තමා. දැන් නම් මම අහල තියනව කොම්පියුටර් වලින් ලේසියෙන් ඕක කරන්න පුලුවන් කියල..

    • දැනුත් පුහුණුවේදී මුලින්ම උගන්වන්නේ පැරණි ක්‍රමයම තමා. ඔබ සමහරවිට දන්නවා ඇති විශේෂ කෝණමාණයක් තියනවා ‘ප්ලොටර්’ යනුවෙන් හඳුන්වන. එය ආධාර කරගෙන සිතියමේ නියමිත කෝණ සහ ඉලක්කපත් සකසාගන්නවා. අලුතෙන් යාන්ත්‍රික ක්‍රම තියනවා. චන්ද්‍රිකා තාක්ෂනය වුනත් යොදාගන්න පුළුවන්. ඒ වගේම විශේෂ රේඩාර් වර්ගයක් තියනවා, කාලතුවක්කු වෙඩි තබන විට, ඒ තුවක්කුව තියෙන්නේ කොතනද කියලා හොයාගන්න පුලුවන්.
      Plotter

  22. සුපිරි කතාව සර්,කුඩා කණ්ඩයම් වලට උද්දව්ක් නේද කාල තුවක්කු ,මල්ටි බැරල් ගැනත් කියන්නකෝ 🙂
    අසා උනේ air force එකට army වලටත් සර් ගේ කතා වලින් ආස හිතෙනවා

    • අපොයි කුඩා කණ්ඩායම් වැඩ වලට කාලතුවක්කු ගාවාගන්නේ නැහැ. කුඩා කණ්ඩායමක් හදිසියේ පසුබහින්න සිදුවුනොත් වගේ වෙලාවක හැර. මල්ටි බැරල් ගැන මේ ලිපියේ ඉදිරියේදී කියන්නම්. හමුදාවලට ආසා වෙලා විතරක් බැහැ. හොඳට ඉගෙනගෙන ලොකු උපාධියක් ගත්තොත් එකවර කපිතන් වගේ නිලයකින් හමුදාවට බැඳෙන්න පුළුවන්.

      • එහෙම ආව අයට එච්චර ආස නැනේද හමුදාවේ අය , සර් ඉගනගෙන නම් ඉවරයි රටට සේවයක් කරන්නේ නම් පුද්ගලික අංශයෙන්

        • කවුද කියන්නේ ඒ වගේ යට කැමති නැහැ කියලා. ඒ ඉස්සර. දැන් එහෙම නැහැ. දැන් හැම නිලධාරියාවම බඳවාගන්නේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් වලින්. කෙඩෙට් නිලධාරි පුහුණු පාසල් විශ්වවිද්‍යාල වලට අනුබද්ධ කරලා තියෙන්නේ.

  23. ලිට්ල් ජෝන් said:

    කාලෙකින් මමත් ආවා ඔන්න .ලියලා තියන විදිහනම් පට්ට පතුරුයි.මමත් එකෙන්ම මනාපයි .ඕං…. කිව්වා.

  24. විචාරක තුමා බංකර් නාශක කලතුක්කු ප්‍රහාරයක් එල්ල කරන්ඩ උනොත් … ( කොන්ක්‍රීට් බංකර ) කාලතුවක්කු උණ්ඩය පතිත කිරීමට දැඩි නිටවද්‍ය්තාවක් ඕනේ නැද්ද ….? එකසත් ජනපද හමුදාවේ ප්‍රයෝජනයට හදන අලුත් කාලතුවක්කු උණ්ඩ smart Shell … විදිහට දැන් හදනවලු ….. ඒ කියන්නේ කලතුක්කු උණ්ඩය ගමන් කරන මාර්ගයේ භාදක මග හරිමින් ( ගොඩනගිලි ) වක්‍ර මාර්ගයක් ගන්ඩ පුළුවන් උණ්ඩ ….එතකොට යුද බිමට හෙලිකොප්ටර් මගින් ගුවන් සහාය ලබා දෙන අතරම කාලතුවක්කු වලින් පහර දෙන්නත් පුළුවන්ලු …
    තව පොඩි ගැටලුවක් අපේ හමුදාව සතු කාල තුවක්කු වර්ග වලින් එකම ඉලක්කයට නිවැරදිව උණ්ඩ කිපයක් ( 3 / 5 ) ත් අතර එක වර පතිත වෙන විදිහට වෙඩි තියන්න පුළුවන් තුවක්කු තියනවද ? මෙතනදී පහර දීමට යොදා ගන්නේ එක තුවක්කුවයි ….

    • ඔව්, බංකර් නාශක කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන්න නම් චන්ද්‍රිකා තාක්ෂනය වැනි නවීනතම ක්‍රම මගින් බංකරයේ නිවැරදි පිහිටීම සොයාගතයුතු අතර, ඒ සඳහා සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් වෙනුවට ඔබ කියා ඇති ආකාරයේ විශේෂ උන්ද අවශ්‍ය වෙනවා. ඇත්තටම එය කාලතුවක්කු උණ්ඩයක් නොව එක්තරා ආකාරටයක මිසයිලයක්.

      ලෝකයේ කොතනකවත් හරියටම එකම තැනට (Pin Point) එකම කාලතුවක්කුවකින් පිට පිට වෙඩි තියන්න බැහැ. තුවක්කුවේ ගැස්සීම් නිසා මීටර් කීපයක වෙනස්වීම් ඇතිවෙනවාමයි. නමුත් එය ඉලක්කය විනාශ කිරීම කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරන්නේ නැහැ.

  25. මට එදා ඉදන් තියෙන ගැටලුවක් තමයි…ඇයි කාලතුවක්කුවට අණ දෙන නිලධාරියෙක් ඉන්නෙ කියන එක…කාලතුවක්කුවකින් වෙඩි තියද්දි හැම දේම ඔහුගේ අණට අනුව නේද සිදු වෙන්නෙ…

    වෙඩි තියන අස්සෙ තිබ්බ පාටිය ගැන කියවලා හිනා පොකුරක් පැන්නා…නිලධාරිනියො දෙන්නා සාරි කරේ තියාගෙන දුවන්න ඇත්තෙ..:D

    • කාලතුවක්කුවකින් වෙඩි තියනකොට කණ්ඩායමක් එක්වෙනවා. තොරතුරු රාශියක් හුවමාරු වෙනවා කාලතුවක්කුව තිබෙන ස්ථානය සහ යුද භූමියේ සිටින අය අතර. නිරවද්‍යතාව සහ වගකීම ඉතා ඉහලින් තියෙන්නේ ඕනේ. ඒ නිසා GPO = Gun Position Officer නමින් එම තුවක්කු බතරොයියට (Battery) අණදෙන නිලධාරියකු ඉන්නවා. ඔහුට වගකීම් රැසක් තියනවා. ඉදිරියේදී කතාකරමු.

  26. අනෙ අම්මේ…. විචාරකතුමාගේ රසවත්ම තාක්ෂණික ලිපියද මන්දා…. කම්මැලි නැතුව කියෙව්වා. නළු නිළියන්ට හිනාවෙන්න ගිහින් බඩත් කොර වෙලා තිබ්බේ. (සමාවෙන්න “තිබුණේ” 😀 )

    සාමාන්‍ය රයිෆල් වලින් තියනකොටත් ඔය වගේ ටිකක් උඩට වෙන්නද තියන්න ඕනි. (අර පින්තූරෙ විදියට) ඒ වගේම ඒ දෝශේ මග ඇරගන්න විව් ෆයින්ඩර් එක ටිකක් පාතට වෙන්න නේද හදලා තියෙන්නේ. ඉතිං වෙඩි තියනකොට කෝණ ගණන් කර කර ඉන්න ඕනිත් නැත්නම් (පොඩි තුවක්කු වල) ඇහැ හොඳට පේනවනම් මොකටද ඉලක්කයට වෙඩි තැබීම වගේ තරඟ තියන්නෙ. හැමෝම දිනයිනේ.

    කාල තුවක්කු උණ්ඩ මගදී විනාශ කරන්න ක්‍රමයක් නැද්ද? මිසයිල අහසෙදි විනාශ කරනවා වගේ.

    • අම්මේ ඔය නළු නිලියෝ දන්නවනම් මේ කතාව මෙහෙම හරි ලියලා තියනවා කියලා මොනවා හිතෙයිද? එදා ඇත්තටම නියම නාට්‍ය ජවනිකාවක් තිබ්බේ. (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා :D)

      සාමාන්‍යයෙන් යුද බිමේදී පාවිච්චි කරන්නේ දුරදක්න නැති තුවක්කුනේ. අපිට මූලික පුහුනුවෙදීම කියලා දෙනවනේ ඉලක්කයට මඳක් ඉහලින් සිටින ආකාරයට වෙඩි තියන්න කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉලක්කයට වෙඩි තැබීමේ තරග වලදී ලකුණු ලැබෙන්නේ ඉලක්කයේ මැද තිතටම වැඩි පතරොම් ගණනක් වෙඩි තියන කෙනාටයි එය අපි හිතන තරම් ලෙහෙසි නැහැ. මිනිසෙකුගේ ඇඟේ කොතැනට හරි වැදුනම ඇතිනේ යුද බිමේදී. නමුත් අර ඉලක්කපතේ මැද තිතට (ඒකට කියන්නේ ‘බුල්’ කියලා) වෙඩි තැබීමට විශේෂ දක්ෂතාවක් අවශ්‍යයි.

      කාලතුවක්කු උණ්ඩයක් පිටවුණාට පස්සේ කිසිම ජගතෙකුට ඒක නවත්තන්න බැහැ. නමුත් ලේසර් තාක්ෂනය මගින් අනාගතයේදී එහෙම කරන්න පුළුවන් වෙයි.

  27. විචාරක තුමෝ කාලයක් තිස්සේ හිතේ තිබුන ප්‍රශ්නයක් අහන්ඩ හොඳම වෙලාව.අහසට වෙඩි තියන විට පිටවන උන්ඩය උපරිම වේගයෙන් ගිහින් බලය ඉවර වෙලා ගුරුත්වාකර්ෂනේට අහුවෙලා පොලවට කඩා වැටෙනවා නේද?ඒ වැටෙන උන්ඩය මාරාන්තික නැද්ද?

    • ඔබ කියන්නේ හරියටම තමන්ගේ හිස කෙලින් ඉහල අගසට වෙඩි තැබුවොත් සිදුවන දෙය නේද? 100% ක් මාරාන්තික නැහැ. නමුත් තුවාල සිදුවෙනවා. (.50 වැනි ලොකු උණ්ඩයක් නම් මාරාන්තිකයි.) ඒ උණ්ඩයට ‘ගුරුත්වජ ත්වරණය’ නිසා විශාල වේගයක් ලැබෙනවා. මාරාන්තික වෙන අවස්ථා තිබෙනවා. වරක්, මීරිගම පැත්තේ පොලක, එළවලු මිලදීගනිමින් සිටි පුද්ගලයකු, හිසේ වම්පැත්තේ තුවාලයක් සමග බිම වැටුනා. කාටවත් හිතාගන්න බැරිවුනා ඒ තුවාලය වුනේ කොහොමද කියලා. ලේ ගැලීම නිසා ඔහු මියගියා. මරණ පරීක්ෂණයේදී හෙළිවුණා ඔහුගේ හිසට රයිෆල් උණ්ඩයක් වැදී ඇති බව. නමුත් කිසිම වෙඩි ශබ්දයක් කාටවත් ඇහිලා නැහැ. සිදුවුනේ මෙයයි. අඹේපුස්ස හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි සොල්දාදුවකු, එම කඳවුරේ වෙඩිපිටියේ සිට තැබූ වෙඩිල්ලක්, උවමනාවට වඩා ඉහලට ඉලක්කය ගැනීම නිසා, ගුවනට නැගීගොස් පාත්වුණේ, අර පුද්ගලයාගේ හිසට. අහස් දුර කිලෝමීටර් දෙකකට වැඩියි.

  28. කිසිම දෙයක් ඉතිරි නොවෙන්න හැමදේම පැහැදිලි වුනා උත්තරෙන්.කවදාද ඉතිරි පෝස්ට් එක එන්නේ..අපිට මෙහෙම දුක් දෙන්න එපා පරක්කු කරලා..නෑ නෑ..විහිලුවක් කලේ විචාරකතුමා කල් අරගෙන බොහොම පැහැදිලිව පෝස්ට් කරන බව දන්නවා..;)

    • ඉක්මනට ලියන්න තිබ්බා. (තිබ්බ නෙවයි යකෝ තැබුවා :D) නමුත් එතකොට අඩුපාඩු ඇතිවෙනවා. කොහොම වුනත් හැකි ඉක්මනින් දෙන්න බලන්නම්.

  29. දිමුත් said:

    කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩවුනා.ෂා එලකිරි ලිපියක් දාලතියෙන්නෙ.නියමයි.ඊලඟ ලිපිය එනකම් බලන් ඉන්නෙ.

  30. Dear all,
    Have you ever known a surname “KODITUWAKKU” It is told that before radio communications were found artillery target controlling was done by individuals posted to site now known as forward artillery observers. They used to go to the target area and correct the fire with signals from flags( KODI in sinhala) so person who was responsible to handle kodi for Tuwakku became Kodituwakku.

    this is one story I heard from a old relative of mine.

    I do not know how to write in sinhala in the computer. so I have to depend on english

  31. අතුරු කථා ඇතුලු සියලුම තොරතුරු ආසාවෙන් රසවින්දෙමි. වැඩිය අහලා දැකලා නොමැති අවි ආයුධ පිලිබඳ වැඩිදුරටත් තොරතුරු ඉදිරි ලිපි වලින් කියවා දැනගැනීමට බලාපොරොත්තු වෙමි.

    විචාරක මහතාගේ අතුරු කථාවක කියවුණු “තිබ්බා” නිලධාරී මහතාගේ කථාව දකිනවිට, කුඩාකල පාසැලේ වූ ඒහා සමාන සිද්ධියක් මතක්වුනා. ඒදවස්වල ගලහිටියාව කියලා ටිකක් මරුමුස් ගුරු මහතෙක් හිටියා. ඉඩක් ලැබෙනකොට සමහරු පංතිය අසල තිබෙන පාලු අල්ලපු වත්තේ ඇති ගස්වලට ගල්මුල් වලින් ගහනවා; ඒවායේ තියෙන ගෙඩි කඩා ගන්න. ඔහොම දවසක් දෙන්නෙක් ගල් ගහනකොට ගලක් රැදිලා තියෙනවා ගහක් උඩ. ඉතිං මෑන් බොහෝම ආඩම්බරයෙන් කෑගහලා තියෙනවා “ගල හිට්ටා…ගල හිට්ටා…” කියලා. එතකොටම මෑන්ස්ගේ කණ හරහා හොඳවයින් පාරවල් දෙකක් විතර වැදිලා තියෙනවා. අන්ද මන්ද වෙච්ච අපේ මෑන් ආපහු හැරිලා බලනකොට “තමුසෙට අඩුගානේ සර් එනවා… කියලාවත් කියන්න බැරිද” යැයි කියමින් තරහෙන් පිපිරි-පිපිරි සිටින ගලහිටියාව සර් දැකගන්නට ලැබිලා තියෙනවා…:D

    අපේ පංතියේ සිටී යහලුවන් කීප දෙනෙක්ම හමුදාවේ රාජකාරි කටයුතු කරන නිසා අවුරුදු කිහිපයකට සැරයක් ලංකාවට ආවාම අනෙක් යාලුවන්ගේ පවුල්වල අයත් එකතුවෙලා පොඩි ගෙට්ටුවක් තියෙනවා ඔය කෑම්ප් එකක. ඉතිං හමුදාවේ කෑම වල රස මමත් හොඳට දන්නවා..:D

    බොහෝම ස්තුතියි!

    • ඔබ මීට පෙර මේ පැත්තේ පැමිණි බවක් මතකයේ නම් නැහැ. කොහොම වෙතත් ඔබව සාදරයෙන් පිළිගන්නා අතර, අර අගනා පුංචි කතාවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ලිපියේ ඊළඟ කොටස දැනට සංස්කරණය වෙමින් පවතිනවා.

  32. තරු පටි ගැලවෙනවා කියන්නේ ඉතිං… ලොක්කෙක් වෙලා ඉඳලා තිබ්බා කියනේ එකනේ…
    සොරි තැබුවා… තැබුවා

  33. බොහෝ කලෙකෙඉන් මෙහෙට ගොඩවුනේ, දැන් ඉතින් ලිපි ඔක්කොම කියවන ගමන් ඇතිවෙන ප්‍රශ්න ටිකත් අහන්නම්.

    බතරොයිය කියන්නේ කුමක්ද?

    කාල තුවක්කු වලින් වෙඩි තියනකොට අර ඩ්‍රිල් එක හරිම ලස්සනයි. ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    • ඒ කාලේ අපේ සිංහලය විසින් නිර්මාණය කල වචනයක් මේ බතරොයිය. ඉංග්‍රීසියෙන් battery කියන වචනයට තමයි මේ වචනය යොදලා තියෙන්නේ. Artillery Battery කියන්නේ අවම වශයෙන් කාලතුවක්කු තුනකින්වත් සමන්විත තුවක්කු කණ්ඩායමක්. එය එක නිලධාරියකුගේ අණ යටතේ ක්‍රියා කරනවා.

      කාලතුවක්කුවකින් වෙඩි තැබීමේදී එක්කෙනාගේ සිට තුන්දෙනා දක්වා කුඩා කණ්ඩායම් කීපයක්, ඉලක්කය වෙත තුවක්කුව සීරුමාරු කිරීම, පතරොම් දැමීම, චාජරය දැමීම, වෙඩි තැබීමට සූදානම් බව සංඥා කිරීම, වෙඩි තැබීම, වනි ක්‍රියාදාමයක නිරතවීම සඳහායි එවැනි විශේෂයෙන් පුහුණුකළ සරඹයක යෙදෙන්නේ.

  34. […] කාලතුවක්කු හමුදාවේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර කීයක සහාය ගන්න පුළුවන්ද කියන එක) මේ මේ වර්ගයෙන් මෙච්චරයි. කාලතුවක්කු සහාය ලැබෙනකොට කෙලින්ම හෝ වක්‍රව ලැබෙන්නේ. ආපහු කියවලා බලන්න. […]

  35. […] පමණ පිරිසක් යැවේ. තවද ඔවුන් සෑමවිටම ආධාරක අවි මගින් ආරක්ෂාව සැපයීමට හැකි දුරකට […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: