විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වතාවට, එකම දිනකදී, පාඨකයන් වැඩිම දෙනෙකු විසින් කියවනලද ලිපිය මෙන්ම, කෙටි කාලයක් තුළ වැඩිම පාඨක සංඛ්‍යාවක් විසින් කියවනු ලැබූ ලිපිය.

(ලිපිය පළ කළ පළමුවැනි දිනය තුළ පමණක්, කියවන ලද පාඨක සංඛ්‍යාව 703 යි. මුල්ම දින හතර තුළ පමණක් කියවන ලද පාඨක සංඛ්‍යාව 1799 යි) 

ඉහත සටහන 2013/05/23 දින ඇතුළත් කරනලදී.

මෙම ලිපිය පළකළ 2013/05/19 දින සිට 2013/05/29 දක්වා දින 10 තුළ ලිපිය කියවන ලද පාඨක සංඛ්‍යාව 3122 යි.

long-00027.jpgලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා.

  • අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා. විවිධ අලුත් ගිනි අවි මෝස්‌තර, අපි නොසිතන තරම් වේගයෙන්, නිරතුරුව බිහිවෙනවා. මේ නිසා වාර්ෂිකව අළුත් ගිනි අවි පිළිබඳ ජර්නල්, (තාක්ෂණික විස්තර පොත්) නිකුත් වෙනවා. සමහර ගිනි අවි වර්ග දැක තිබුනත්, ඒවා ගැන තාක්ෂණික තොරතුරු රහසිගත නිසා, ලබාගන්නට බැහැ. ප්‍රධාන මෝස්තරය එක වුනත්, ලෝකයේ සමහර රටවලදී, හැඩය විවිධ වෙනස්කම් වලට භාජනය කල අවි තිබෙනවා.

  සාමාන්‍යයෙන් මම ඔබ සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ, ඔබ අපේ රටේ පාරතොටේ යනවිට, අපේ ආරක්ෂක හමුදා අතේ තිබෙනු දකින්නට ලැබෙන අවි ගැනයි. ඒ අවි ගැන ඔබට තිබෙන කුතුහලය එයින් තරමක් දුරට සංසිඳේ යයි මා සිතනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මම වක්‍රව අවි පුහුණුවක් දෙනවා කියලා. නමුත් හොඳින් මතක තබාගන්න. බයිසිකලයක් අතින්වත් අල්ලලා නැති කෙනෙකුට පුළුවන්ද, බයිසිකල් පැදීම ගැන දීර්ඝ විස්තරයක් කියවා, එක වරම බයිසිකල් පදින්න. බයිසිකලය දැකලා තියන නිසාත්, මිනිස්සු බයිසිකල් පදිනවා දැකලා තියන නිසාවත් සමහරවිට සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් ගිනි අවි එහෙම නෙවෙයි. ඔබ දන්නවා ක්‍රියාදාම සහ යුද්ධ චිත්‍රපටිවල තුවක්කු හරඹ පෙන්වන හැටි. නමුත් ඒ දර්ශන වල ඉතා කලාතුරකින් තමයි පෙන්වන්නේ,

  • වෙඩි තැබීම සඳහා මුලින්ම තුවක්කුව සූදානම් කරන ආකාරය,
  • පතරොම් හිස්වූ විට පුරවන ආකාරය,
  • වෙඩිතැබීමකදී තුවක්කුව හිර වුනොත් එය නිවැරදි කරගන්නා ආකාරය,
  • තුවක්කුවේ සියලු කොටස්වල ක්‍රියාකාරිත්වය, ආදිය.

  මා ඔබට කියාදෙන කරුණු වලදීත්, මා ඉතා ගැඹුරට නොයන්නේ, මගේ පරමාර්ථය ඔබට සරල අවබෝධයක් ලබාදීම විනා, අවි පුහුණු පන්තියක් පැවැත්වීම නොවන නිසයි. කවුරුන් හෝ මෙවැනි සටහනක් මගින් එසේ අවි පුහුණුවක් දෙන්නට උත්සාහ කරනවානම්, එය හරියට තැපෑලෙන් පිහිනීම උගන්න උත්සාහ කිරීමක් වගේ. කවදාවත්,

  • 1. අවිය,
  • 2. පුහුණුවන්නා,
  • 3. පුහුණු උපදේශක,

  එකතැන නොසිට අවි පුහුණුවක් ලබාදිය නොහැකියි. වීඩියෝවක් මගින් පෙන්නුවත්, අවිය අතට ගත්තමයි රඟේ තේරෙන්නේ. “තේරුනේ……දැන් තමයි” Open-mouthed smile හොඳයි ,එහෙමනම් අද මා රැගෙනවිත් තිබෙන අවි එළියට ගන්නම්. අපි මුලින්ම මේ දෙකෙන් ලොකු අවිය ගැන ඉගෙනගනිමු.

space 2

G3A3 ප්‍රහාරක රයිෆලය – G3A3 Assault Rifle

  HK%2091මේ අවියේ උපත 1959 වර්ෂය තරම් ඈතට දිවයනවා. විශේෂත්වය වන්නේ මෙය අදටත් ලෝකයේ සමහර රටවල පාවිච්චි කරන අවියක් වීමයි. මේ අවිය අපේ යුද හමුදාවට 1980 දශකයේ දී ලැබී තිබුනා. තෝරාගත් සමහර රෙජිමේන්තු වලට පමණක් නිකුත්කළ බවයි මගේ මතකය. නමුත් එය හමුදාව තුළ ‘ජනප්‍රිය’ අවියක් වුනේ නැහැ. එයට හේතු කීපයක් තිබුණා.

  • මේ අවිය සෑහෙන්න බරයි.

 

  • අපිට ලැබුණු මෝස්තරය අර T 56 අවිය වගේ මිට (බට් එක) නවන්න හෝ හකුලන්න බැහැ) ඒ නිසා එහෙ මෙහෙ ගෙනයාමේදී ටිකක් කරදරයි.

 

  •  හරියට ගැස්සෙනවා. ඒ වගේම හෙණ ගහනවා වගේ ලොකු හඬක් දෙන්නේ වෙඩි තියනකොට.

 

  • අපිට ලැබුන මෝස්තරය අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව පමණක් තිබුන මෝස්තරයක්. එය යුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. (ඒ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය T 56 අවිය පාවිච්චි කරන්න පටන් අරං තිබුණේ)

 

  • ඒ දිනවලම T 56 අවිය අපටත් ඇවිල්ලා තිබුණේ. ඉතිං එයාගේ ‘වැඩ කිඩ’ දැක්කම මෙයා එපාවෙන එක අහන්නත් දෙයක්ද?

 

  • විවිධ තුවක්කු වර්ග රාශියක් නඩත්තු කිරීම අපිවගේ දුප්පත් හමුදාවකට නොගැලපෙන නිසා G3A3 අවිය භාවිතයෙන් ඉවත් කළා.

 

  හැබැයි මේ තුවක්කුව ස්නයිපර් තුවක්කුවක් ලෙස ඉතා හොඳ අවියක්. නමුත් ඒ කාලේදී ඒ අදහස ක්‍රියාත්මක කෙරුනේ නැහැ. මේ තුවක්කුවේ බටයේ (බැරල්) දිග සහ තුවක්කුවේ ශක්තිමත් නිමාව අනුව නම්, මෙය ඉතා හොඳ ස්නයිපර් අවියක් බව කියන්න පුළුවන්. අපිට ලැබී තිබුන අර්ධ ස්වයංක්‍රීය මෝස්තරය පාකිස්ථානයේ නිෂ්පාදිත එකක්. නමුත් ඇත්තටම අපට අවශ්‍යව තිබුණේ පූර්ණස්වයංක්‍රීයව වෙඩි තැබීමේ පහසුකමත් තිබෙන තුවක්කුවක්. මේ තුවක්කුවේ මුල්ම නිෂ්පාදනය කර තිබෙන්නේ ජර්මනියේ ‘හෙක්ලර් ඇන්ඩ් කොච්  – Heckler & Koch’ සමාගම විසින්. ඒ සමාගම මෙය නිපදවා තිබෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය අවියක් ලෙසයි. 

DCB_Shooting_G3_pictures

 

 

තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙන්න

(මේ කියන්නේ අපේ හමුදාවේ පාවිච්චි කල මෝස්තරය ගැනයි)

  • තුවක්කුවේ කැලිබරය : මිලිමීටර් 7.62 x 51

 

  • තුවක්කුවේ දිග : මිලිමීටර් 1025 යි

 

  • තුවක්කු බටයේ දිග : මිලිමීටර් 450 යි

 

  • තුවක්කුවේ බර (මැගසිනය රහිතව) : කිලෝග්‍රෑම් 4.40 යි

 

  • පතරොමක බර : ග්‍රෑම් 24 යි

 

  • වෙඩි තැබීමේ දුර සකසනයේ පාඨාංක : මීටර් 200,300,400,

 

  • විනාඩියකට වෙඩි තැබිය හැකි පතරොම් ගණන (අර්ධ ස්වයංක්‍රීය) : 100 – 150

 

  • වෙඩිල්ලක සාපේක්ෂ ප්‍රවේගය : තත්පරයකට අඩි 2458 – 2624 අතර

 

  • සඵල වෙඩි දුර : මීටර් 500 යි

space 2

තුවක්කුවේ කොටස් සහ වෙඩි තැබීමට සුදානම් කිරීම

 

G3 A3 1

 

 

 

 

 

G3 A3 2

 

 

 

 

G3 A3 3

 

img074

G3 A3 5

 

 

 

 

 

G3 A3 6

 

 

 

cartridge

  

  මේ තුවක්කුවේ මැගසිනයට පතරොම් 20 ක් දමන්න පුළුවන්. මීට කලින් ඔබ තුවක්කුවක මැගසිනය ගලවන සවි කරන හැටි ඉගෙනගෙන තියනවා. ‘මැගසින් කැච්’ එකක් තියෙන්නේ, මැගසිනය තුවක්කුවෙන් ගලවා ඉවත් කර ගැනීමට බව ඔබ දන්නවා. මා හිතනවා මේ තුවක්කුව හඳුනාගැනීම සඳහා මේ විස්තරය ප්‍රමාණවත් වේයැයි කියා. ප්‍රශ්න තිබෙනවානම් විමසන්න. අපි දැන් යමු ඊළඟ අවිය වෙත. එය නම් බොහොම ජනප්‍රිය අවියක්. G3 A3 අවියෙන් වෙඩිතබන අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.



 මේ වීඩියෝවෙන් පෙන්නන්නේ අර්ධ ස්වයංක්‍රීය G3 A3 තුවක්කුවෙන් වෙඩි තියන ආකාරයයි. බලන්න සෑම වෙඩිල්ලක් සඳහාම ට්‍රිගරය නැවත නැවත මිරිකිය යුතුයි.

 

 

  මීළඟට බලමු සම්පූර්ණ ස්වයංක්‍රීය G3 A3 අවියෙන් වෙඩි තියන හැටි. බලන්න මේ ශක්තිමත් පුද්ගලයා කොච්චර ගැස්සෙනවද කියා. මේ තුවක්කුව හරියට ගැස්සෙන බව මා ඉහත කිව්වා මතකද?


space 2

HK MP 5 ස්වයංක්‍රීය තුවක්කුව

 HK MP 5 A 2 Additional Photo මේ තුවක්කුව තරම් ජනප්‍රිය, මේ තුවක්කුව තරම් විවිධ මෝස්‌තර සහිත, මේ තුවක්කුව තරම් බහුලව භාවිත කරන, තවත් තුවක්කුවක් නැති තරම් කියලා කීමේ වරදක් නැහැ. එමෙන්ම මේ තුවක්කුව තවමත් විවිධ වෙනස්කම්, නවීකරණය කිරීම් වලට භාජනය වන තුවක්කුවක්.  මේ ලිපිය ලිවීම සඳහා කරුණු සොයා බැලීමේදී මට පෙනීගියා HK MP මෝස්‌තර 30 ක් පමණ තිබෙන බව. එයින්ම පෙනෙනවා නේද මේ අවිය කොයිතරම් වැදගත් ද කියන එක. අපේ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව මේ තුවක්කුවේ මෝස්‌තර කීපයක් පාවිච්චි කරනවා. කෙසේ වෙතත් මා මෙහිදී මුල්තැන දෙන්නේ HK MP 5 මෝස්තරයට පමණයි. ඔබ දැන් දන්නවනේ HK කියන්නේ Heckler & Koch නමැති, ගිනි අවි හදන සමාගමේ නම කියලා. එතකොට MP කියන්නේ මොකක්ද? හාපෝ……අපිටනම් මේ MP කියන වචනය දැන් එපාවෙලා නේද තියෙන්නේ අපේ MP ලාගේ වැඩ නිසා. හැබැයි මෙතන කියන්නේ ජර්මන් භාෂාවේ වචනයක්. ඒ වචනය තමයි Maschinenpistole මෙය ජර්මන් භාෂාවේදී උච්ඡාරණය කරන්නේ ‘මෂීන්පිස්තෝල’ යනුවෙන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Machine Gun කියන එකයි. (තුවක්කු නිසා භාෂාවත් ඉගෙනගන්න වෙනවා) මේ තුවක්කුවේ උපත සිදුවී තිබෙන්නේ 1964 තරම් අතීතයේදී. 1966 දී තමයි වෙළඳපොළට ඇවිත් තියෙන්නේ. මේ තුවක්කුවේ මුල් නිෂ්පාදන සැලසුම් කීප වතාවක්ම ‘හෙක්ලර් ඇන්ඩ් කොච්’ සමාගමෙන් හොරකම් කර තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මෙපමණ මෝස්‌තර අද තිබෙන්නේ.

  මුලින්ම තුවක්කුවේ තාක්ෂණික තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගනිමු.  පහත දැක්වෙන්නේ ඒ තාක්ෂණික තොරතුරුයි.

 

  • තුවක්කුවේ දිග (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…සෙ.මී. 68 යි (අඟල් 26.77 යි)

 

  • හැකිලිය හැකි බට් එක සහිත මෝස්තරයේ දිග…සෙ.මී.66 යි (අඟල් 25.98 යි)

 

  • අවියේ බර (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…කිලෝග්‍රෑම් 2.54 යි (රාත්තල් 5.59යි)

 

  • මැගසිනය රහිතව අවියේ උස …සෙ.මී.62 යි (අඟල් 10.2 යි)

 

  • විනාඩියකදී වෙඩි තැබිය හැකි පතරොම් ගණන …800 යි  (මෝස්තරය අනුව අඩු වැඩි වේ)

 

  • උණ්ඩ පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය …තත්පරයකට මීටර් 400 යි (අඩි 1312 යි) (මෝස්තරය අනුව අඩු වැඩි වේ)

 

  • ප්‍රතිඵලදායි වෙඩි තැබීමේ දුර …මීටර් 200 යි (අඩි 656 යි)

 

  • මැගසින් වර්ග …පතරොම් 15, 20, 30, 32, සාමාන්‍ය මැගසින් හෝ පතරොම් 100 රවුම් මැගසිනය

 

තුවක්කුවේ කොටස් මේ රූපයෙන් බලන්න.(සරල හැඳින්වීමක් පමණි)

 

HK MP 5 A 2

 

HK MP වර්ගයේ ප්‍රධාන මෝස්‌තර දෙක තමයි මේ.

 

Two Main Types

 

අපේ හමුදාවේ පාවිච්චි කරන වෙනත්  HK MP මෝස්‌තර

 

MP5K & MP5KA1

HK MP 5 K1  මේ මෝස්තරයේ විශේෂත්වයක් තිබෙනවා. රතු ඊතල වලින් පෙන්වන්නේ එයයි. බලන්න සේෆ්ටි ලිවරය Single කියන තැනට දැම්මොත් ට්‍රිගරය මිරිකන එක වරකට එක උණ්ඩයක් පමණයි පිටවෙන්නේ. හරියට අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක් වගේ. ඊළඟට Three Burst කියන තැනට සේෆ්ටි ලිවරය දැම්මොත් ට්‍රිගරය මිරිකන වාරයක් පාසා උණ්ඩ තුන බැගින් පිටවෙනවා. අන්තිමට තියෙන්නේ Full Auto Mode එක. එතනට සේෆ්ටි ලිවරය දැම්මම මැගසිනයේ පතරොම් අවසන් වනතුරු  සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයට වෙඩි තියන්න පුළුවන්.  පහළින්ම තියන සුදුපාට තැනට සේෆ්ටි ලිවරය දැම්මම, තුවක්කුව ලොක් වෙනවා.

 දැන්නම් විස්තර කතාකරා ඇති නේද. මේ අවියේ එක එක මෝස්‌තර ගැන කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඔබට එපාවෙයි එකම අවිය ගැන එච්චර විස්තර ලිව්වම. ඉතුරු දේවල් වීඩියෝ වලින් බලමු.

තුවක්කු පිස්තෝල වලට සයිලන්සර් සවි කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත HK MP 5 W මෝස්තරයේ තුවක්කුවකින් වෙඩි තියන හැටි.  

තුවක්කුව ගලවන්න හයිකරන්න ඉගෙනගත්තොත් නරකද? එහෙනම් මේ වීඩියෝව බලන්න.

 

මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එළිමහනේ කෙරෙන වෙඩි තැබීමක්

තුවක්කුව දෙස පමණක් බලනු

 

   කොහොමද ‘තුවක්කුව’ ? +++ නේද? 😀 😀  ඉතිං අදට මා ඔබෙන් සමුගන්නවා. ප්‍රශ්න තියනවනම් අහන්න. 😕 ඉදිරි කාලයේදී තවත් මෙවැනි තුවක්කු ගැන කතා කරමු.  

මේ ලිපියේ සමහර පින්තුර අනතර්ජාලය වෙතින්ද, තවත් සමහර පින්තුර මගේ පුස්තකාලයෙන්ද ලබාගත් ඒවාය.

 

My Signature for Blog2013 මැයි මස 19 වැනි දින 1404 පැය

Advertisements

Comments on: "මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5" (88)

  1. ක්සැන්ඩර් said:

    විචාරක මහත්තයා කියන්න බැරිද ඇයි මේ තුවක්කුව ගැස්සෙන්නේ? ඒකට බුලට් එක බලපානවද? මට හරිම ගැටලුවක් ඒක.

    අන්තිම “තුවක්කුව” දැක්කම නම් පිස්සු හැදෙනවා අප්පා..

    • විශාල ප්‍රවේගයක් උණ්ඩයට ලබාදීම සඳහා තමයි මෙවැනි තුවක්කු නිපදවන්නේ. ඉතිං එවැනි තුවක්කු ගැස්සෙනවා. ඇත්තටම ඒ කාලේ අපි නිකම් කතාවට කිව්වේ G3 එකෙන් වෙඩි තියලා පොල් ගහක් වුනත් බිම දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ තුවක්කුවේ උණ්ඩ ඝන මතුපිටවල් පසාකරගෙන යනවා.

      ‘අන්තිම තුවක්කුව’ දාගෙන බල බලා ඉන්දැද්දී අපේ උන්දැත් ඇහුවා ඔය මොකක්ද කියලා 😀

  2. ආසාවෙන් බැලුවා , වැදගත් විස්තර ගොඩක්. අන්තිම තුවක්කු දෙකම හොඳයි . ඕවට වෙඩි තියන්නත් පින ඕනේ … 😀

    • ඇත්තටම වෙඩි තැබීම ක්‍රීඩාවක් වශයෙන් කරන්න අපේ රටේ පහසුකම් අඩුවීම ගැන නම් කනගාටුයි. යුද්දෙදි වෙඩි තැබීම නම් කිසිසේත් විනෝදජනක නැහැ.

    • මා පවසා ඇත්තේ ” ඕවට ” යනුවෙන් විනා ” ඕවගෙන් ” යයි නොවේ …
      යුද්ධය නම් කිසි සේත් අනුමත කල නොහැකියි.ඒ ගැන වාදයක් නැත ..

      • හොඳමයි හොඳමයි.

      • “ඕවට වෙඩි තියන්නත් පින ඕනේ” ඒ ඉතරක් නෙමේ හොඳ තුවක්කුත් තියෙන්න ඕන. නිකන් මේ අපී ගල්කටස් වලින් තියල දන්නන්න බෑ. හොඳ “කොටි” බෙහෙත් දීල ක්‍රීම් උලල ගත්තු රයිපලුත් ඕන වෙනව.

  3. හේ….. මගෙත් favorite HK MP5 අර උඩින්ම තිබුන video එකේ (බියර් කෑන් එකට වෙඩි තියන්නේ) ඇටබෝල කුවක්කුවක් නේද? ඒවා මෙහේ ගන්න ඇත්ද? වෙන රටකින් ගෙන්නුවොත් ගේන්න දෙයිද?

    • සෙල්ලන්ද කොල්ලෝ. ඒ .22 ඇත්තම තුවක්කුවක්? ගෙනාවොත් කටුනායක/මත්තල/කටුනායක/නෑ මත්තල. නෑ කටුනායක. ඕනෙ රෙද්දක්. ගෙනාවොත් මහ උළු ගෙදර තමයි ලගින්න වෙන්නේ.

  4. වෙනදා වගේම බොහොම වටින ලිපියක්… නොදැන සිටි තුවක්කු කීපයක් ගැනත් දැනගන්න ලැබුනා…මේ වගේ ලිපියක් ලියන්න ගන්න මහන්සිය ගැන හොදටම දන්න නිසා…විචාරක තුමාගෙ මේ වෑයම ඉහළින් අගය කරනවා…

    • මහන්සියනම් කියලා වැඩක් නෑ. දැනට මාස දෙකකට උඩදී මේ කෙටුම්පත පටන්ගත්තේ. අනවශ්‍ය කොටස් ඉවත් කරලා සංස්කරණය කිරීම විශාල වෙහෙසක්. ඒත් ඔබ සියලුදෙනාගේ ඇගයීම දුටුවම ඒ වෙහෙස දුරුවෙනවා. ස්තුතියි.

  5. විචාරක තුමෝ මේ ගැන නම් මොනව කියන්නද කියල මට හිතාගන්න බෑ…

    • වෙනදා වගේම කියන්න තියෙන්නේ නලීන්, මේ සියලු තොරතුරු අන්තර්ජාලයේ කිසිදු සීමාවකින් හෝ අවසරයකින් තොරව, ඕනෑම අයෙකුට ලබාගතහැකි තොරතුරු කියලයි. මම දාලා තියන කළු සුදු ඡායාරූප සහිත, තුවක්කුව පිලිබඳ සියලු විස්තර ඇතුලත් පොත, නොමිලේ බාගන්න පුළුවන්.

  6. ඒ යලුවො දෙන්නවත් දැන් මම අදුරනවා =D

  7. G3A3 kiyana SLR gun ekama neda? post eknam pata..ela.
    Jayawewa

    • අපේ හමුදාවට ලැබුන G3 එක SLR = Self Loading Rifle ක්‍රමයට තමයි ක්‍රියා කලේ. නමුත් වෙනස්කම් තියනවා. SLR එක ගැන පස්සේ කියන්නම්.

  8. ආමි ගියානම් මේවා අතගාන්න තිබ්බා,:( බොහොම ස්තුති සර් ,

  9. පව් අර අක්කා ගැස්සෙනවා

  10. කොහොමද ‘තුවක්කුව’?බුලට් නේද? :).
    ඔය ෆයරින් වලදි සෙබලකුගේ ශරීරයේ තිබිය යුතු අවම බර කොපමණද?
    බෝර 1ක 2ක ගැස්ම මේ ආයුධ සමග වෙනස දැන ගැනීමට කැමතියි.
    ඉතාම හොද ලිපියක්.
    වෙඩි තියන්න පුරුදු කෙරුව කියල සුදු ලිමොසින් ඒවයිද දන්නෙ නැහැ:) :).
    ඩෙංගු විෂ දැන් ඔබ දෙපළගෙන් ඉවත් වී හමාරයි නේද?

    • බුලට් ද කියලත් අහනවා. කියලා වැඩක් නෑ.

      සාමාන්‍යයෙන් හමුදාවට බන්දවාගන්නේ කිලෝග්‍රෑම් 60 හෝ ඊට වැඩි බර තියන අය (කිලෝ 100 තප්පදෝරුවෝ ගන්නේ නෑ)

      පතරොම් තුවක්කු (Shot Gun) එකකට වඩා G3 A3 ගැස්සෙනවා.

      හුටා……දැන් සුදු වෑන් වෙනුවට ලිමෝසීන් ද එවන්නේ. කමක් නෑ අනේ ඒකක ගිහිල්ලා මැරුණත් සැපයිනේ?

  11. මගෙත් ෆේවරිට්ම එකක් තමා MP5K කියන්නේ.. බලන්ටකො ඒකෙ ලස්සන.. Reflex Sight එකකුයි, Flashlight එකකුයි හයි කරගත්තනම් තවත් ලස්සනයි නේද..??

    ඔය වගේම මම ආස තව එකක් තමා G36 එක..

    • මම හිතනවා, කැමැත්ත තියන කෙනෙකුට, විනෝදය සඳහා, මෙවැනි අවියකින් ඉලක්ක පතකට වෙඩි තබා බැලීමට, අවස්ථාවක් ලබාදිය හැකිනම් කොච්චර හොඳද කියලා.

  12. මටත් ලොකු වුනාම තුවක්කුවක් ගන්න අදහසක් ආවා…

  13. විචාරක තුමා, Airsoft Guns සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන නීති මොනවාද.?? අන්තර්ජාලයේ search කලාට පැහැදිලි උත්තරයක් ගන්ට බෑ.. විකියේ තියෙනවා විස්තරයක් අනෙක් රටවල නීති ගැන නම්, ඒත් ඒකෙ ලංකාව ගැන නෑ..

    • ඇත්තටම මමත් හොයලා බැලුවා. ලංකාවේ මේ ගැන තිබෙන ප්‍රතිපත්තිය කුමක්ද කියලා හොයාගන්න අමාරුයි. මේ වගේ එකක් ලංකාවට ගෙනෙන්න අවශ්‍යනම්, තුවක්කුවේ සම්පූර්ණ තාක්ෂණික විස්තරයක් සමග, ආරක්ෂක අමාත්‍යංශයට ඊ මේල් එකක් හෝ ලිපියක් යැවීම තමා වඩාත් සුදුසුවන්නේ.

  14. +++
    අදත් වැදගත් විස්තරයක්. ආයුධ ගැන සිංහලෙන් ලියවෙන ලිපි සිංහල-බ්ලොග් අවකාශයේ එක් හිඩැසක් මකා දැමීමක්.

  15. සිංහල බ්ලොග් වල නැති දෙයක් නැ වාගේ නේද

  16. COD ගහන කොට හම්බෙන අය තමා මෙයාලා. MP5 ගැන පොඩ්ඩක් දැන ගෙන තිබ්බට මෙච්චර හරියක් දන්න එකක්යැ.

  17. මටනම් තුවක්කු දිරවන්නෑ අප්පා..

    මේක හදන්න පුදුම මහන්සියක්නෙ වෙලා තියෙන්නෙ.. මේ වීඩියෝ හිටන් කපලා නේද තියෙන්නෙ ?

  18. අර සුට්ටි භාන්ඩේට වඩා ලොකු එක හොදයි වගේ …..කොහොම උනත් පාකිස්තානු සහ ඉන්දියන් හමුදාවන් තාම පාවිචි කරන්නෙ ඔය මදිලියේම වෙනස් කම් වලට භාජනය කරපු අවි නේද ? ඉන්දියන් හමුදාව ලංකාවට ආපු කාලේ පාවිචි කලේ අර කාල තුවක්කුව වගේ සයිස් භාණ්ඩයක්…. මං හිතන්නේ එකට වඩා ඕක හොදයි කියලා …..

    • ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම ලෝකයේ තිබෙන අවි මෝස්‌තර කොපි කර තමන්ගේම මෝස්‌තර හදනවා. ඉන්දියන් හමුදාව මෙහෙ එද්දී ඉන්දියාවේ නිෂ්පාදිත SLR තුවක්කු ගෙන ආවා. ඒවා ගැනද ඔබ කියන්නේ?

  19. මම මේ ප්‍රසිද්ධ දෙන්නෙක් ගැන බලන්ට දුවගෙන ආවේ. 🙂

    අර තුවක්කුව දිහා හොඳට බැලුවා. වෙඩි තියන එක්කෙනා දැක්කෙවත් නෑ. 😀

    • හඃ…….හා…..අමතක වුනානේ වෙඩි තියන කෙනා දිහා බැලීම හෝ නොබැලීම ඔයාට අදාළ නැත කියලා ලියන්න. 😀 ඒක නෙවෙයි ඒ වගේ තුවක්කු හරඹ කරන්න ආසා නැද්ද?

  20. අර G3A3 එකේ ලංකාවට හම්බවෙලා තියෙන්නෙ වෙඩි තියන්න බැරි එකක්ද කොහෙද?
    ඇයි අර අන්තිම වීඩියෝ එකේ ‘තුවක්කුව දෙස පමණක් බලනු’ වෝනිං එකක් තියෙන්නෙ. ඒකෙ වෙන බලන්න දෙයක් තියෙනවද? 😀

    • අපිට ලැබුනේ අර්ධ ස්වයංක්‍රීය එකක්නේ. ඒක මහ වාතයක්. 😀

      තුවක්කුව දිහා නොබලා වෙන වෙන එව්වා දිහා බලන්ඩ ගිහින් මොනවා කරගනියිද දන්නේ නැහැනේ. 😀

  21. අපේ රටේ ඉතාමත් හොඳ ස්නයිෆර් කරුවන් බිහි කරලා ඔවුන්ව යුද්දෙදි සෑහෙන් යෙදෙව්වත් මාක්ස්මන්/ශාප්ශූටර් වර්ගයේ අය හරිම අඩුවෙන් තමා දකින්න ලැබුනේ. ඒ ඔවුන්ව පුහුනු කරන්න යන කාලය නිසාද? නැත්නම් ඒ ( මාක්ස්මන්/ශාප්ශූටර් ) සන්කල්පය ලන්කාවේ භාවිතා නොවුනු නිසාද?
    විශේශයෙන්ම මාක්ස්මන්/ශාප්ශූටර් වැඩේ කරන්න පුලුවන් G3 වගේ තුවක්කු තියා ගෙනත්?

    ලන්කවේ FNC කියන තුවක්කු වර්ගය භවිතා උනත් එය ඉවත් කලා කියලා මම අහලා තිබෙනවා. එයටත් හේතු උනේ 3 වගේම හේතුවක්ද?

    • ඇත්තටම වුනේ සියල්ලටම පෙර යුද්ධයට මුල්තැන දෙන්න සිදුවීමයි. ඒ නිසා මාර්ක්ස්මන්/ෂාර්ප්ෂූටර් සංකල්පය ටිකක් පස්සට දාලා ස්නයිපර්ලාට මුල්තැන දෙන්න සිදුවුනා. ඔබට මතක ඇති අපි ඔලිම්පික් පවා ගියා. නමුත් පසුකාලීනව මා හිතන්නේ වියදමත් සැර නිසා කිසියම් පසුබැසීමකට ලක්වුනා. මාර්ක්ස්මන්/ෂාර්ප්ෂූටර් පුහුණුව සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් හමුදාව සතුව තියනවා.

      ඔව් FNC එක කාලයක් පාවිච්චි කරලා අතහැරියා. FNC එක සහ SLR එක ගැන ඉදිරියේදී කියන්නම්.

  22. මම අහලා තියෙන විදියට නම් HK weaponry ගොඩක් reliableලු අනෙක් බටහිර manufacturers ලට වඩා. BTW. හරිනම් එන්න ඕන හෙක්ලර් ඇන්ඩ් කොක් කියලා ( 😉 )

    ලංකාවේ හමුදාවන් වල HK ලගේ පිස්තෝල පාවිච්චියේ තියෙනවද?

    ඒ වගේම හමුදාවක පුහුනුවීම් වලදි හමුදාවේ භාවිතයේ නැති ඒත් යුදබිමේ/කලාපයේ භාවිතයේ තියෙන ආයුධ ගැනත් පුහුනු වීමක් දෙනවද? මම මේ photo එක දැක්කේ ලංකාවේ හමුදාවන් ගැන තියෙන forum thread එකකදි, camo pattern එක නම් ලංකාවේ AF එක වගෙයි. පොඩ්ඩක් හොයලා බලද්දි මම දැක්කා ඒක HK G41A2 එකක් කියලා. මේ වර්ගය මෙහේ භාවිත වෙලා නෑ නේද?

    http://www.militaryphotos.net/forums/showthread.php?146160-Sri-Lanka-Armed-Force-Photo-Gallery/page24

    • Heckler & Koch කියන නම Google Translate මගින් උච්ඡාරණය කරලා බලලයි මම ලිව්වේ. ඔබත් බලන්න එහිදී ඉංග්‍රීසි උච්ඡාරණයෙදී කොච් කියලා තමයි කියන්නේ.

      හෙක්ලර් ඇන්ඩ් කොච් අවි ලෝකයේ විශිෂ්ඨතම අවි කියලා කියන්න බැහැ. එක සමාන වෙනත් නිෂ්පාදනත් තියනවා.

      අපේ හමුදා HK පිස්තෝල පාවිච්චි කරනවා (විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව)

      තමන්ගේ හමුදාවේ භාවිත නොකරන අවි සාමාන්‍ය පුහුනුවකදී ලබාදෙන්නේ නැහැ. නමුත් පිටරට සේවයක් සඳහා යාමේදී ඒ රටේ හමුදා පාවිච්චි කරන අවි ගැන දැනුමක් තිබීම වැදගත් වෙනවා.

      ඔබ දක්වා ඇති පින්තුර බොහොමයක් ලංකාවේ හමුදාවල ඒවා තමයි. ගුවන් හමුදාවේ පින්තුරත් එතන තියනවා. ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තිබෙන සියලුම අවි ගැන මා නොදන්නා නිසා මේ අවිය තිබෙන්නට පුළුවන්. එසේ නැතිව ප්‍රදර්ශනයට පමණක් මෙවැනි පින්තුර ගන්නේ නැහැ. (අවියක් ගෙන්වන්නේ පාවිච්චි කිරීමටයි)

      • ස්තූතියි පිළිතුරු වලට!

        ඒක German වචනයක් (නමක්) German වලදි a, o, u, au වලට පස්සේ ch යෙදුනොත් ඒක ශබ්ද වෙන්නේ ‘ක්හ්’ වගේ. English වලදි ශබ්ද වෙන්න ඕන coke විදියට. http://www.hk-usa.com/civilian_products/faq.asp

        AK variants වල reliability එකට නම් ගහන්න බැරිව ඇති ඔය මොන එකකටවත්!

        සාමාන්‍යයෙන් හමුදාවකට ආයුධ ‍තෝරගන්න කොට මොනවගේ ක්‍රමයකට ඒක කරන්නේ? සෙබලුන්ගෙ, නිලදාරීන්ගේ අවශ්‍යයතා අනුව ඉල්ලීම් යටතේද, නැත්නම් උපදේශකයන්ගේ තීරන මතද? ලංකාවේ අය original Russian design එකට නොගිහින් චීන එකට ගියේ ඇයි?

        මම කලින් comment එකක දැක්කා මෙහේදි 5.56mm වල ප්‍රථිපල එච්චර සතු‍ටුදායක නෑ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? රුසියාවත් ’70 ගනන් වලදි 7.62x39mm වලින් 5.45x39mm වලට මාරු වුණා නේද?

        • සුද්දා ශබ්ද කරන විදිහටයි මම ලිව්වේ. එතනින් එහා හෙව්වේ නැහැ. මේ ලිපි ලියනකොටත් සුද්දගේ භාෂාවනේ ගුරු කරගන්නේ.

          එක එක රටවල, එක එක රාජ්‍ය කණ්ඩායම්වල ජනප්‍රිය අවි මෝස්‌තර තියනවා. ඊට වඩා කොච්චර හොඳ එකක් ආවත් වෙනස් කරන්නේ නැහැ. මා මුලින් කිව්වාක් මෙන් සියල්ල අබිභාවන සුපිරි අවියක් කියා කියන්න පුළුවන් අවියක් නැහැ. සෑම අවියකම තිබෙන ගතිලක්ෂණ characteristics සළකා බැලීමේදී වාසි අවාසි දෙකම තියනවා. අඩුම අවාසි තියන ඒවා මිළ අධික හෝ නඩත්තු වියදම අධික ඒවා වියහැකියි.

          හමුදාවකට අවශ්‍ය අවි තෝරා ගැනීමේදී ප්‍රධාන තැන දියයුත්තේ ඒ රටේ දේශගුණයට හා පරිසරයටයි. ඉන්පසු, සොල්දාදුවන්ගේ ශරීර ප්‍රමාණය අනුව ගැලපීම, තුවක්කුවේ කාර්යක්ෂම භාවය, නඩත්තු කිරීමේ පහසුව, අමතර කොටස් ලබාගැනීමට බාධාවක් නොවීම, ඇතුළු කරුණු කාරනා රාශියක් ගැන සළකා බලනවා. අපේ රටෙනම් මෙය කරන්නේ විශේෂඥ මණ්ඩලයක් විසින්. රුසියාව ඒ කාලේදී අපිත් එක්ක අවි ගනුදෙනු වලට ආවේ නැහැ.

          5.56 කියන්නේ මරණීය තුවාල අඩු එහෙත් බරපතල තුවාල වැඩි අවියක්. ඇමරිකන් කාරයා M 16 (5.56) හැදුවේ ඒකෙන් තුවාල ලබලා ආබාධිත තත්වයට පත් අය දැකලා මිනිස්සු හමුදාවට බැඳෙන එක අධෛර්යවත් කරන්න. අපිට අවශ්‍ය වුනේ ඉක්මණින් ප්‍රතිඵල දෙන අවියක්. ඒ නිසයි T 56 ට ගියේ. FNC සහ M 16 පොළොවේ ගැහුවොත් ප්ලාස්ටික් කෑල්ලක් වගේ කැඩෙනවා. T 56 එහෙම නැහැ. රුසියානු හමුදාවේ අවි වර්ග හා වෙනස්වීම් ගැන නොදනිමි.

      • අයේමත් ස්තූතියි විස්තරාත්මක පිළිතුරු වලට! 🙂

      • රුසියාව (සෝවියට් සංගමය ) අඩු කැලිබර උණ්ඩ වලට මාරු උනේ එහි මාරක බව වැඩි කරන්න. අඩු කැලිබර උණ්ඩ ඝන දෙයක් තුලට අතුලු උනාට පසු පෙරලෙනවා (tumble). එවිට උණ්ඩය යන මර්ගය නිසා ඒ ඝන දේ තුල විශාල කුහරයක් ඇති වෙනවා. එවිට හානිය වැඩියි.

        • 5.56 ගැන මම ඉගෙනගෙන තියන පාඩම් වලදිනම් කිව්වේ තුවාල වැඩියි මරණ අඩුයි තුවාලව ආබාධිත අය දැක්කම අනික් අය අධෛර්යයට පත්වෙනවා කියන එකයි. 5.56 උණ්ඩය හරිම පුංචියි. ඔබට එකක් අතට අරං බලන්නට දෙන්න බැරිවීම ගැන කනගාටුයි. ඔය වර්ග දෙකේ වෙනස මම ප්‍රායෝගිකව දැකලා තියනවා.මෙතනින් බලන්නකෝ රුසියාව පාවිච්චිකරණ ආයුධ. පිස්තෝල ඇරුනම පුංචිම එක වුනත් 5.45×39 තියෙන්නේ.

      • උණ්ඩයේ විශ්කම්බය ( කැලිබරය ), බර හා වේගය වැඩි වන විට හානිය වැඩි බවට විවාදයක් නෑ. නමුත් උන්ඩයෙ විශ්කම්භය අඩු කිරිමෙනුත් 7.62 තරම් නැතත් සෑහෙන දුරට සාර්ථක ප්‍රතිපල ගන්න පුලුවන් බව කියනවා.

        එසේ ප්‍රතිපල ගන්නේ උන්ඩය පෙරලිමෙන් ( මේ උන්ඩය කැරකීම නෙමේ. උන්ඩය ඉලක්කය ඇතුලත එක එක අතට පෙරලීම ) ,ඉලක්කය ඇතුලත කැබලි වලට කැඩී යාම ආදියෙන්.

        7.62 තරම් ශක්තිය අඩන්ගු නොවුනත් අඩු බර හා මේ කියු ලක්ශන නිසා එය හොඳ තේරිමක් (trade off) ලෙස සමහරු හිතනවා. නමුත් එකවරට සතුරෙක් බිම දැමීමේ හැකියාව අඩු බව ගැන අඩු කැලිබර උණ්ඩ වලට තවමත් චෝදනා තිබෙනවා.

        පෙරලීමට (tumble) උදාහරනයක් මෙහි රූපසටහන් වලින්ම පෙන්වා තිබෙනවා.
        http://www.bobtuley.com/terminal.htm

        • මා තවමත් කියන්නේ තුවාල වීම අද අපිට බලපාන ප්‍රශ්නය නොවේ. අපිය ඕනෙ මරා දැමීමයි. පහසුවෙන් මරා දැමීමයි. මා කියනදේම තමයි ඔබ මේ ඉතා හොඳ උදාහරණයෙන් පෙන්වා තිබෙන්නේ. අඩු කැලිබරයේ පතරොම් මේ කර තිබෙන්නේ බරපතල තුවාල. මේ රුප වල පෙන්වා තිබෙන්නේ මස්පිඩු ඇතුලත තුවාල. ඒවාගේ ඇති බරපතලකම. හරි, ඇත්ත, නමුත් අවශ්‍යතාවය වුනේ, ඩොන්……..එකපාරයි, ඉවරයි. අන්න ඒකට ගැලපෙන්නේ ලොකු පතරොම්.

    • මම හිතන්නේ 5.56/5.45mm විතරක් නෙවෙයි, ඊට ලොකු උණ්ඩ වුනත් ඇතුලට ගියාම පෙරලෙනවා. 5.56 වල වෙනස උණ්ඩය ඇතුලෙදි බිඳී යෑම.

      උණ්ඩ තුනෙන් වෙන හානිය මේ video වලින් බලාගන්න පුලුවන් වෙයි.

      5.56x45mm http://www.youtube.com/watch?v=dOYPxiRldaE

      5.45x39mm http://www.youtube.com/watch?v=-Oq3ZEZ7YFw

      7.62x39mm http://www.youtube.com/watch?v=E8hL3WtKGY8

      • බොහොම ස්තුතියි මේ ගැන ඔබ දක්වා ඇති උනන්දුව ගැන. එමෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ උදාහරණ පෙන්වීම ගැන. ලොකු තුවාල ඇතිකිරීම අඩු කැලිබරයේ පතරොම් වලින් වුනත් කරන්න පුළුවන්. නමුත් ක්ෂණික මරණය සඳහා ලොකු කැලිබරයේ පතරොම් වඩාත් සුදුසුයි.

  23. අවන්කයෙන්ම මට අන්තිම වීඩියෝවේ තුවක්කුවට වැඩිය බැලුනේ වෙඩිකාරිය දෙස 😀

  24. නිර්නාමික said:

    මොකද මන්දා මේ කොට මොඩල් වලට මට ආස හිතෙන්නෙ. 🙂

    විචාරක තුමා ජාලෙ අස්සෙත් මෙහෙයුම් කරනව ද.. අමුතු අමුතු පින්තූර නිතරම හොයල දානව නෙ. අද කාර් එකක්. 😀

    • චන්දනද වෙන කවුරුවත්ද. කමක් නැහැ දැන් පෙනෙනවානේ නිර්නාමිකවත් අදහස් දක්වන්න පුළුවන් කියලා මේ අඩවියේ.

  25. මොකද මන්දා මට කොට මොඩල් වලටම හිත යන්නෙ.. 😀

    • විචාරක තුමා අන්තර්ජාලෙත් මෙහෙයුම් කරනව ද.. අමුතු අමුතු පින්තුර හොයල දාන්නෙ හැමදාම. අද වතුරෙන් දුවන කාර් එකක්. 😀 😀

      • හප්පොච්චියෙ පින්තුර තියනවා හරියට. බොහොමයක් ඒවා ගැලපෙන්නේ අපි වගේ පොඩි එවුන්ට. ඒ නිසා පල කරන්නේ නැහැ. 😀

    • ඒකනම් භයානක ලෙඩක්. එක අතකට ඉතිං කොට වුනත් මොකද ‘අවශ්‍ය කාර්යය ඉෂ්ට වෙනවානම්’ 😀 😀

  26. තුවක්කුව නම් නියමයි.ඒත් මගේ අදහස නම් වැඩිය විස්තර , ඒ කියන්නෙ ගලවල සවි කරන ආකාර එහෙම වැඩිය දන්නා එපා කියලයි. මොකද අපේ රටේ ඉන්න සමහර දක්ෂයින්ට ඒකෙනුත් සැහෙන දේවල් කරන්න පුලුවන් මතකනේ මාදම්පේ කොල්ලෙක් පිස්තෝල හදන්න පටන් අරන් තිබුනා.. ? 😉

    • මේ විස්තර ඉතා පහසුවෙන් ඕනෙම කෙනෙකුට විශේෂ අවසරයකින් තොරව බලන්න පුළුවන් විදිහට අන්තර්ජාලයේ තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන්, වෙනත් භාෂාවලින් තියනවා. සිංහලෙන් නෑ. එය සිංහලෙන් කියවන පාඨකයාට අසාධාරණයක්. මේ දැනුමෙන් තුවක්කු හදන්න යම්කිසිවකු උත්සාහ කරනවානම් එය බාල නිෂ්පාදනයක්. අනික් අතට කවදාවත් ඒවා මහා පරිමාණයෙන් නිපදවන්න බැහැ. හත අටක් නිපදවද්දී කොහොමහරි අහු වෙනවා. තුවක්කු හෙවත් ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පිලිබඳ දැනුම ලෝකයේ බොහෝ රටවල විනෝදාංශයක් ලෙස පවත්වාගෙන යනවා. ලෝකයේ තිබෙන ප්‍රහාරක ගුවන් යානා පිලිබඳ හසල දැනුමක් ඇති විශේෂඥයින් ඉන්නවා කවදාවත් ඒ ගුවන් යානයකට ගොඩ වෙලාවත් නැති. නමුත් ඒ එක් එක් ගුවන්යානයේ ප්‍රහාරක ශක්තිය, තාක්ෂණික විස්තර, සියල්ල ඔවුන්ට කටපාඩමෙන් වගේ කියන්න පුළුවන්. මමත් කරන්නේ මේ විනෝදාංශය ලෝකයේ මේ ප්‍රදේශයට හඳුන්වාදීමයි. ඔබට පුදුමයට පත්විය හැකියි යූ ටියුබ් එකේ තියන මෙවැනි වීඩියෝ දැක්කොත්. ඒවා බලන්න කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ.

  27. ඔබ තුමා මීට කාලයකට ඉහතදී ලියපු ස්නයිපර් ලිපිපෙල වගෙ දිගු දුර මෙහෙයුම් බලකාය Long Range Reconnaissance Patrol ගැනත් ලිපි පෙලක් ලියන්න බැරිද

    • හොඳ යෝජනාවක්. කරුණු හොයාගෙන. අපේ හමුදාවේ තොරතුරු හැකි තරම් අඩුකර (රහසිගත භාවය රකියයුතු නිසා) අනාගතයේදී ලියන්නම්.

  28. ලිපිය නම් ඉතා අනර්ගයි. කියන්න වචන නෑ.HK MP5 ගිය සතියෙත් දැක්කා හරක් පරෙස්සම් කරන අපේ ආම් එකේ කොල්ලෝ ටිකක් ලඟ.

  29. […] දෙන්නෙක්ව වත් මතක් කරගන්නකො මෙන්න මෙතනින් ගිහින්. ඊට කලිනුත් කටපුංචලා ගැන කියලා තියන […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: