විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  Ruwanwella Dutch Fortමම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී  බොහොම ප්‍රචලිත නගරයක් බව. කෝට්ටේ රාජධානියේ සිට සීතාවක හරහා කන්ද උඩරටට යන මාර්ගය වැටී තිබුනේ මේ අසළින්. මේ නගරය ආශ්‍රිතව කැළණි ගඟේ තිබෙන ඓතිහාසික තොටුපොළ අතීතයේදී කැළණි ගඟ ඔස්සේ ගමන් කල යාත්‍රා නැවැත්වීමේ ප්‍රධාන තොටුපොළ වුනා. ලන්දේසීන් පවා එය පාවිච්චි කර තිබෙනවා. ඒ වගේම රුවන්වැල්ල නගරයේ අද පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබෙනවා, ඉපැරැණි ලන්දේසි බළකොටුවක කොටස්. ක්‍රි.ව. 1817 දී තමයි මෙය ඉදිකර තිබෙන්නේ. රුවන්වැල්ල ගැන සංක්ෂිප්ත විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්. මේ පින්තුරයේ පෙනෙන්නේ බලකොටුවේ දොරටුවයි.

රුවන්වැල්ල නගරය අසළින් ගලා බසින කැළණි ගඟ, නගරයට එක්කරන්නේ, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සිරියාවක්.

  ඊයේ මගේ ලොකුදුවට හදිසි රාජකාරි අවශ්‍යතාවක් පැන නැගුනා, රුවන්වැල්ලට යන්න. ඉතින් අද (2013/05/15) මමත්, බිරිඳත්, ලොකු දුවත්, රුවන්වැල්ලට ගියා. ලොකු දුවගේ අවශ්‍යතාව ඉටුවනතුරු නගරයේ රැඳී සිටි මම, හිතවතුන් සමග කතාකරමින් නගරය පුරා ඇවිද්දා.

  ප්‍රධාන පාර පළල් කිරීම සඳහා, (සබරගමු පළාතේ ප්‍රධාන නගර දෙක වන රත්නපුර සහ කෑගල්ල නගර දෙක යා වෙන මාර්ගය) නගරයේ වෙළඳසල් සහ වෙනත් ගොඩනැගිලි රාශියක් කඩා ඉවත් කර තිබෙනවා. මේ කඩා බිඳ දැමීම් රුවන්වැල්ල බලකොටුවට බලපෑමක් වේදෝ යන හේතුව නිසා ඒ පැත්ත කැඩීම අත්හිටවා තිබෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ ප්‍රවෘත්ති වාර්තාවක්.

 තමන්ගේ කඩ කැඩීම නිසා දුකට පත්,  මා හඳුනන කඩ මුදලාලිලාගේ අෙඳා්නා වලටත් ඇහුම්කන් දෙමින්, මහජන පොළ ළඟට පැමිණිවිට, මගේ පැරණි හිතවතකු හමුවුනා. ඔහු සමග පිළිසඳරේ යෙදෙමින්, ගඟ දෙසට ඇවිදිමින් සිටියදී තමයි, මේ එල්ලෙන පාළම නෙත ගැටුනේ. අපි කුඩා කාලයේදී නම් මෙවැනි පාළම් වලට කිව්වේ, ‘සංගිලි පාළම’ කියලයි. මා උපන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, උඳුගොඩ, මොරදන, ගම ආශ්‍රිතව මෙවැනි පාළමක් තිබුනා මතකයි. මට එක වරම මතක් වුනේ ඔබ සැමදෙනා. ඒ නිසා මම හිතුවා ඔබටත් එය පෙන්වන්න.

  මේ පාලම අඩි 550 ක් දිග බව එහි සමරු ඵලකයේ සඳහන් වෙනවා. අද මෙය ලංකාවේ දිගම එල්ලෙන පාලම (Suspension Bridge) ලෙස සැළකෙන බවයි මගේ මිතුරා මට කිව්වේ. මේ පාළම 2007 වර්ෂයේදී සබරගමුව පළාත්සභාව විසින් ඉදිකරන ලද්දක්. මා සොයා බැලුවා ලංකාවේ එල්ලෙන පාළම් ගැන වෙනමම තොරතුරු ඇද්ද කියා. නමුත් එය සාර්ථක වුනේ නැහැ.

  පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන.  ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. (මට මතක්වෙනවා ඉන්දියාවේ අලහබාද් නගරය. එහිදී මා දුටුවා ගංගා සහ යමුනා නදී දෙක එක්වන ස්ථානය. හින්දු විශ්වාසයේ හැටියට පියවි ඇසට නොපෙනෙන සරස්වතී නදියත් එතැනදී අනෙක් ගංගා දෙකට එකතු වෙනවාලු)    මෙතනින් එහාට කතා නෑ පින්තුර විතරයි.

Ruwanwella

1

2

3

4

5

6

රුවන්වැල්ල බලකොටුවේ පින්තුරය Google Images වෙතින් උපුටාගන්නා ලදී.

My Signature for Blog2013 මැයි මස 16 වැනි දින 0018 පැය

Advertisements

Comments on: "ලංකාවේ දිගම, එල්ලෙන (සංගිලි) පාලම – The Longest Suspension Bridge in Sri lanka" (62)

  1. අපූරුයි අපූරුයි.. රුවන් වැල්ල හරහා ගිහිල්ල තිබුනට කවදාවත නගරෙ ඇවිදලා නැ. දැන් ඉතින් හේතුවක් තියෙනවා ඔය පෙත්තෙන් ඩි‍ටුවර් එකක් දාන්න

  2. මම යන්න ආසාවෙන් සිටින. අද වනතෙක් ගිහින් නැති පලාතක්. ස්තූතියි දැණුවත් කිරීමට…

  3. මාත් රුවන්වැල්ල පහුකරල දෙතුන් පාරක් ගිහිල්ල තියෙනව. මේ පිළිබඳව දැනුවත් කළාට තුති.

    • ගිහින් බලන්න ප්‍රසන්න. ඔයා කොළඹ පැත්තේ ඉඳල එනවානම්, සීතාවක රජ මාලිගයේ නටඹුන් සහ තල්දූවේ ඓතිහාසික බෛරන්ඩි කෝවිල (අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් නමැති දුෂ්ඨ හින්දු පූජකයා ප්‍රධානියාව සිටි) නරඹන්නත් පුළුවන්.

  4. බැංකු ශාඛාව දැනගත්තා. කරුණාකර බැංකු අංකයත් පාස් පොතත් දෙන්නේ නම් මැනවි 🙂

  5. මමත් වතාවක් දැරණියගල පැත්තෙන් යන අවස්ථාවක බොහොම සුන්දර සංගිලි පාලමක ගියා හදිසියේම දැකලා. ඒ මතකය තමයි අලුත් වුනේ මේ කථාව කියවලා…ඉතිං අර කඩ අහිමි වෙන අයට මොනවද දෙන විසදුම ආණ්ඩුවෙන්.

    • ඔව් ඒ පැත්තත් හරිම සුන්දරයි. එල්ලෙන පාලම් කීපයක් තියනවා. කඩ හිමියන්ට වන්දි ගෙවනවාලු.

      • සිරාගෙ අන්තිම ප්‍රශ්ණය හා සළකා බැලූවිට මෙම පිළිතුරෙහි අවසාන කොටස “එල්ලෙන්න පාලම් කිහිපයක් තියනවා” වශෙයෙන් නිවැරදි විය යුතුයි කියලා මට හිතෙනවා.

        වෙනත් අදහස් තිබේද ? 🙂

  6. තරහවෙලාවත්ද නාවෙ කියල දාපු කොමෙන්ට් එක නොදැක්ක වගේ උන්න නෙවි. මේ වර්ඩ්ප්‍රෙස් එකේ කමෙන්ට් කරන්න තීන අකමැත්ත මැද්දට රාජකාරි ගොන්නත් පැනල මේ පැත්තෙ එන එකට වඩා යමක් කොටල යන එක නවත්තලම දාල!

    මේ පින්තූරෙ දැක්කම මතක් උනේ ඒ ලෙවල් කාලෙ සර් කෙනෙකුගෙ අම්මගෙ මල ගෙදරක යද්දි නෙළුවෙ ගිංගඟ පිටාර ගලල හින්ද බස් එක නවත්තල සංගිලි පාළමෙන් ගිහින් සමුපකාර මිරිස් ලොරියක නැගල ගිය හැටි.

    ඔය රුවන්වැල්ල ඇත්ටටම බලන්න වටින දාහක් දේ තීන පලාතක්. ඒත් වාසනාවකට වගේ බහුතර කොළඹ වැද්දන්ගෙ දත වැදිල නෑ තාම.

    (මොකද ලියන වේගෙ අඩුවෙල තීන්නෙ, ඔය අත්දැකීම් මල්ල හොල්ලන්න එන කමෙන්ට් මදි වගේද? : )

    • අග ඉඳලා මුලට උත්තර දෙන්නම්.

      දැනට කෙටුම්පත් අටක් පෝලිමේ ඇත. ඇත්තම කියනවානම් ලයිට් බිල ගැන සිතා දවසකට පරිගණකය (තඩි ඩෙස්ක්ටොප් එකක්) පාවිච්චි කරන වෙලාව සීමා කිරීමට සිදුව ඇත.

      ඇත්තටම රුවන්වැල්ලට දේශීය විදේශීය සංචාරකයන් ඇදගන්න ඕනෑතරම් ස්ථාන තියනවා. මහා දිග ලැයිස්තුවක්. මහා පරිමාණ සැලසුම් පවා දැක්කා පහුගිය කාලේදී. ඒත් ඒවා සැළසුම් විතරයි. හැබැයි රුවන්වැල්ල නගරය නම් ඇතිවෙන්න නාගරීකරණය වෙලා තියෙන්නේ. ආයේ ‘දත් වදින්න දෙයක්’ ඉතුරු වෙලා නැහැ.

      අපි පුංචිකාලේ සංගිලි පාලමෙන් යද්දී, මැද්දට ගිහිල්ලා පාලම පද්දනවා. අක්කලා මරහඬ තියනවා. තාත්තා වෙලාවකට දෙනවා පස්ස පැත්ත රත්වෙන්න එකක්.

      බොහොම වටිනා අදහස් දක්වන කෙනෙක් කාලයක් ආවේ නැතුවම නිකං මොකද්ද මොකද්ද වගේ.

    • @ ඉන්දික,

      ඒ ලෙවල් කාලෙ මළ ගෙයක් සෙට්වෙනවා කියන්නෙ නිකං ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක් නේද.?? මළ ගේ තියෙන්නෙ දුර බැහැරක නම් ෆන් එක තවත් වැඩියි.. කට්ටිය යන්නෙ නිකං ට්‍රිප් එකක් යනවා වගේ.. 😀

      • ඒ ලෙවල් නෙවෙයි ‘මේ ලෙවල්’ එකේදිත් එහෙමම තමා. අපේ ඉන්නවා ‘සැට් එකක්’ මේ ප්‍රදේශයේ, (මමත් ඇතුළුව) ඈත මළගෙවල් තිබුන තරමට කැමතියි. ‘මගේ වාහනේ යන්, මගේ වාහනේ යන්,’ කියලා පොරකනවා. අමද්‍යපයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තමයි වාහන එලවන්නේ. (හප්පොච්චියෙ මම ඉන්න පුංචි ජනාවාසයේ වාහන එකක් තියෙන්නේ මටයි තව දෙතුන් දෙනෙකුටයි විතරයි. හුඟ දෙනෙක් ළඟ වාහන තුන හතර තියනවා) සාමාන්‍යයෙන් පිටත්වෙන්නේ රෑ 7 – 8 වගේ වෙලාවට. ආපහු එන්නේ පාන්දර 4 ට විතර. ඔය ගමන්වල සිදුවීම් අළලා පස්සේ ලිපියක් ලියන්නම්.

      • පව් හෙන දුප්පත් ගම්මානයක්ද ෙොෙෙද

      • හෙහ් හෙහ්, ඔන්න විචාරක තුමා, ටික කාලෙකට කලින් අපි සෙට් එක ගියා මළගෙදරක, තලාතුඔය.. වාහන දෙකකින් කස්ටිය පිටත් වුනේ.. මගදි එක එකාට කෝල් කරලා බලනකොට තව සෙට් දෙකක් අපටත් කලින්ම මග යනවා.. ඉතිං උන්ටත් අපි එනකම් පොඩ්ඩක් ඉන්ටය කියලා, මග තැනින් තැන නැවතිලා සප්පායම් වෙලා, අර නැවතුන සෙට් දෙකක් එකතු කරගෙන එහෙම ගොහින් මළගෙදරට ගොඩ වදිනකොට පාන්දර එකහමාරයි.. ගමන යන්න පිටත් වුනේ මාලබේ හන්දියෙන්, හැන්දෑවෙ හය හමාරට.. 😀

        • එහෙම නැතුව වැඩක් නෑ අනේ. අපේ සැට් එකට ඔයවගේ තව සැට් දෙකක් සැට් වුනානම් සතියකින් විතර පස්සේ තමයි ආපහු එන්නේ. 😀

      • කතා කරල වැඩක් නෑ බුරා ඒ කාලෙ මළ ගෙවල් 🙂

        එක පාරක් යාළුවෙකුගෙ සීයෙක් මළ ගෙයක් කියල ආරංචි වෙලා ගියා මේ රාගම බටුවත්තෙ. අපි යනකොට යාළුවගෙ ගෙදර උන් වත් ඇවිත් නෑ!

        තව පාරක් එහෙම කෙල්ලෙකුගෙ ආච්චි මලා කියල කියල ආරංචියක් ආව වැලිගම. මල ගේ හොයාන යනකොට( මොකද එආ කාලෙ හෑන් පෝන් නෑ නෙ ) මිනියත් නෑ මල ගේත් නෑ.

        ඒ උනාට ඒ කාලෙ දුර ඉන්න එකෙක්ගෙ කවුරු හරි මැරුනම මතක බනට කලින් අපි පින් දෙනව.

  7. 2007දි! මම හිතුවේ මේ වගේ එල්ලෙන පාලම් අතීතයට අයිති නිර්මාණ කියලා.

    • නැහැ හෙන්රි, අදත් ලංකාවේ දුෂ්කර ගම්මාන තියනවා, අඩුම ගණනේ එල්ලෙන පාලමක්වත් අවශ්‍ය. එහෙත් තවමත් නොලැබුණු.

  8. විචාරක තුමෝ මං ගොනගල්අදෙණි පාරෙන් කීප විටක්ම රැවන් වැල්ලට ඇව්ත තියනවා ඒ පාරේ සුන්දරත්වයත් කියා නිම කරන්න බෑ ලස්සනයි…මේ විස්තරයත් මරු.

  9. මගේ ඉස්කෝලෙ හොඳ යාළුවෙක් හිටියා අම්පාගල (හිටියා කිවුවෙ දැන් එහෙ ගෙවල් දොරවල් විකුනලා කොළඹ පැත්තට සංක්‍රමණය වෙලා හින්දා).‍. ඒ කාලෙ අපි නිතරම නොවුනත් ඉඩක් ලැබුනහම ඒ පැත්තෙ යැවෙනවා.. බුවාලගෙ ගේ පිටිපස්සෙන් තමා ගුරුගොඩ ඔය ගලන්නෙ.. ඉතිං අපි ඔයේ නාලා, ගමේ කොල්ලො සෙට් එක්ක ක්‍රිකට් පාරක් එහෙම ගහලා තමා එන්නෙ.. හරි සුන්දර පැත්ත වගේම හරිම සුන්දර කාලෙ..

    පලි: 1817 දී ඉදිකරපු ‘ලන්දේසි’ බලකොටුවක්.!? වෙන්න බැහැ නේද විචාරක.. කාලයේ හෝ ජාතියේ හෝ වැරැද්දක් තියෙනවා ඔතන.. සමහර විට පැරණි ලන්දේසි බලකොටුව ඉංගිරිසින් විසින් 1817 දී ආයෙ අලුත්වැඩියා කරන්ට ඇති..

    • පන්නල අම්පාගල අදත් මම අඳුනන අය ඉන්නවා. ඒ පැත්ත නියම ගැමි පරිසරය අදත් ඉතුරුවී තිබෙනවා.

      ඔබ කියන දේ ඇත්තක් තියෙන්නේ පුළුවන්. නමුත් බලකොටු දොරටුවේ 1817 සඳහන් වෙනවා. ලන්දේසීන් හදපු බලකොටුව ඉංග්‍රීසීන් විසින් අලුත්වැඩියා කළා වෙන්න පුළුවන්.

  10. ඔන්න අපිට යන්න ප්ලේස් එකක් 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  11. මටත් ආසයි එක පාරක් ගිහින් බලන්න

  12. ශා හරි අපූරුයි මම මේ පාර ලංකාවට ආවාම හොඳ ටුවර් එකක් යන්න ඉන්නේ ඔතනටත් ගිහින් බලන්න ඕනේ

  13. හොද විස්තරාත්මක ලිපියක්.අවිස්සාවේල්ල සිට පැමින රුවන්වැල්ල නගරයෙ වම් අතට[ Y ශේප් ]හරවල ගියාම තේ වතු පසු කර සමහර තැන් වල වාහන දෙක දෙපසට මාරුවිය නොහැකි පයිනස් වගාවක් එහෙම තිබෙන ඉතාමත් සුන්දර පරිසරයක් තිබෙන මාර්ගයක් තිබෙනව නේද නාවලපිටි නගරයට යා හැකි ගිනිගත්හේන/නාවලපිටි ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙන.

    • මා හිතනවා මා ඔබව නිවැරදි කලයුතුයි කියා. අවිස්සාවේල්ලේ සිට එනවිට පිලිවෙලින් කියන්නම්. මුලින්ම අවිස්සාවේල්ල – හැටන් පාරදිගේ එනකොට, කිලෝමීටරයක් ඇතුලත හමුවෙනවා සීතාවක හන්දිය. එතනින් කෙලින්ම ඉදිරියට ගියොත් සීතාවක රාජධානිය බලන්න පුළුවන්. වමට හැරී හැටන් පාර දිගේ කිලෝමීටරයක් ආවම තියනවා තල්දුව හන්දිය. එතනින් වමට හැරුනොත් ඉතා දුර පාරකින් රුවන්වැල්ලට හෝ නැත්නම් කෙලින්ම ගියොත් කිරිඳිවැල, ඌරාපොල, හරහා නිට්ටඹුව නගරයට යාහැකියි. ඊළඟට කිලෝමීටර් පහක් පමණ ගියාම හම්බ වෙනවා දෙහිඕවිට නගරය. එහිදී මුලින්ම හම්බවෙන හන්දියෙන් දකුණට හැරුනොත් ඇහැලියගොඩට යාහැකියි. එහෙම හැරෙන්නේ නැතිව තව දුරටත් හැටන් පාර දිගේම කිලෝමීටරයක් පමණ යනකොට හමුවන හන්දියෙන් දකුණට හැරුනොත් යන්න පුළුවන් දැරණියගලට. එහෙම නොහැරී තව කිලෝමීටර් පහක් ගියාම හම්බවෙනවා කරවනැල්ල. එය Y හන්දියක්. හැටන් පාර කරවනැල්ලේදී දකුණට හැරෙනවා. ඒ පාරේ ගිහින් යටියන්තොට පසුකර ගොස්, ගිනිගත්හෙනේදී වමට හැරුනොත් නාවලපිටියටත්, දකුණට හැරුනොත් හැටන් නගරයටත් යා හැකියි. බොහෝ දුරට ඔබ මේ පාරේදී තමයි ඔය කියන පරිසරය දැක තිබෙන්නේ. දැන් මේවා කාපට් ඇතිරූ පළල් මාර්ග. කරවනැල්ලෙන් වමට හැරී කිලෝමීටර් දෙකක් පමණ ගියවිට තමයි රුවන්වැල්ල හමුවෙන්නේ.

  14. මේකද එතකොට දිගම එල්ලෙන පාලම ? මම හිතුවෙ අර මහවැලි ගඟ හරහා තියන එක කියලා. අර පේරාදෙනියෙ පාර්ක් එකෙන් තියෙන්නෙ..

    බදුල්ලෙ තිබුන එල්ලෙන පාලමකනම් මම එල්ලිලා ෆොටෝ එකකුත් අරගත්තා.. ඇම්ම තියන කාලේ.. ඒ ෆොටෝ එක ගැන හොයලා බලන්න ඕනා කියලා මට මේ ලිපිය මතක් කෙරෙව්වා.. ස්තූතියි…

    ඔච්චර ලස්සන රුවන්වැල්ල දාලා මේ මදුරුවො ඉන්න කුරුණෑගලට වෙලා ඉන්නෙ මොකෝ ??

    • රුවන්වැල්ලේ පදිංචිවෙන්න හිතාගෙන තැන් ගොඩකට ගියා. නමුත් ඒ කාලේ ඒ එක තැනක්වත් හිතට ඇල්ලුවේ නෑ. පස්සේ අපි කුරුණෑගලට ආවේ මගෙත් මගේ බිරිඳගේත් ඥාතීන් ඉන්න නිසා. හැබැයි විවිධ පහසුකම් අතින් නම් කුරුණෑගල බොහොම දියුණුයි.

      මට සහතික කරලා කියන්න බැහැ මේ තමයි දිගම එල්ලෙන පාලම කියලා.

      අර ඇම්ම ෆොටෝ එක දාන්නකෝ පුළුවන්නම් හොයලා.

    • මාත් දවසක් ඕකම ඇහුවා,දුන්නේ ඔය උත්තරය තමා

  15. හිහී අදටත් මගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ එහේ 😀

    • තවත් නෑදෑයෙක්.

      • ඔව් ගම රුවණ්වැල්ල උනාට මාත් කුරුණෑගල නේ, ම්ම්ම් අපොයි කුරුණෑගල මදුරුවො ගැනනම් කතාකරලා වැඩක් නෑ…. ඒත් දැං රුවණ්වැල්ලේ ලස්සන දැන් නෑ, ඉස්සර තරම් වහින්නෙත් නෑ පොඩි වැස්සටත් නිතර නාය යනවා, ඉස්සර හැමතැනම තිබුණ දියපාරවල් දියඇලි එකක්වත් නෑ, කැලෑ ඔක්කොම කපලා ස්වභාවික දියපාරවල් හරස්කරලා ඒවට බට දාගෙන. (තව දේවල් බොහොමයි ඒවා කීවොත් වෙනත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් 😛 )

        • දේශපාලුවෝ ගම කාලා. එක තමයි වෙලා තියෙන්නේ. කොටියාකුඹුරේ ඉඳලා අවිස්සාවේල්ලට යනකල් නීති විරෝධී ඉදිකිරීම් මහා ගොඩක් තියනවා. ඔය වැඩ කරන්න ඉඩ දුන්න මහ එවුන් කවුද කියලත් මම දන්නවා.

      • කන්නත්තොට හරිය ගන්ඩ දෙයක් නැ

    • කරවනැල්ල ඉස්පිරිතාලේ පෙකණිය කපපු තවත් එකෙක්ද කොහෙද, තව බ්ලොග් කාරයෙක් ඉන්නවා ඔහේ , පොර මේක දැක්කොත් කමෙන්ට් එකක් දායි

  16. පේරාදෙණියෙත් සංගිලි පාලමක් තියෙනවා නේද?

    • තියනවා තියනවා, ඒක හරි විසාලයි. ලස්සනයි. මහවැලි ගඟට උඩින්නේ දාලා තියෙන්නේ. මටත්, අපේ ගෙදර ඇත්තීටත්, ඒ පාළම ගැන, සුන්දර මතකයන් ගොඩක් තියනවා.

    • ක්සැන්ඩර් said:

      දැන් ඒ පාලමේ යන්න දෙන්නේ නෑ මං දන්නා තරමින්. ඒත් මේ ලඟදි ලෙබනන් MTV එකේ ඒ පාලම අඩංගු ලංකාව ගැන වැඩසටහනක් ගියා. ඒ අයම හදපු. හරිම අපුරුයි ඒක.

  17. මුහුදක් නැතත් වැල්ලක් ඇති ස්ථාන = අගුරුවැල්ල, රුවන්වැල්ල

  18. මම සංගිලි පාලම් දෙකක විතරයි තාම ගිහින් තියෙන්නෙ. ඒ දෙකම තියෙන්නෙ කළු ග‍ෙඟේ සහ කළු ගගේම අතු ගංගාවක් වුන දෙනවක් ගගට ඉහළිනුයි. එකක් මල්වල – එගොඩ මල්වල යාවෙන පාලම. මේක හුගාක් පරණ එකක්. අනෙක් පාළම දැන් කැඩිලා.

    මේ 26 රුවන්වැල්ලෙ වෙඩින් එකක් තියෙනවා. එදාට ඉඩක් ලැබුණොත් ඕක බලන්න යනවා. 🙂

  19. මටත් ආසා හිතුනා ගිහිං බලන්න….

  20. රුවන්වැල්ල කියන්නේ මමත් කැමතිම පළාතක්….මේ පළාත් වල (රුවන්වැල්ල,යටියන්තොට,බුලත්කොහුපිටිය,ගලපිටමඩ,සල්ගල වගේ පැතිවල …) තියන සුන්දරත්වය සහ දේශගුණය රටේ වෙන පැති වල දකින්න නැහැ..ඒක මේ පැත්තටම ආවේනිකයි කියලයි මට හිතෙන්නේ………..පාලු රබර් වතු මැදින් යන පාරවල්, රබර් ගස්වලින් වැහුණු කඳුගැට,නිම්නවලින් ගලන දියපාරවල් වල තියන ලස්සන නුවර එළිය,බණ්ඩාරවෙල පලාත්වල තියන සුන්දරත්වයට වඩා වෙනස්……දෙවනියටම දිග සංගිලි පාලම නම දැකල තියනවා…එක තියෙන්නෙත් ඔය පැත්තේමයි..(ඉංගිරිය වත්ත තැලිගම හන්දිය ගාව…) දිගම සංගිලි පාලම තියෙන්නේ රුවන්වැල්ල පැත්තේ කියල අහල තිබ්බත් හරියටම තැන දැනගෙන හිටියේ නැහැ…ලිපියට ස්තුතියි.දැන් තැන දන්නා නිසා ඔය පැත්තේ ආපහු ගියවෙලාවක බලාගෙනම එන්න පුළුවන්…:)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: