විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 d_28 තම්පලා ගහේ කතාව අහලා තියනවද? අහලා නෑ? වෙන්න බෑ. බොහොම දෙනෙක් දන්නා කතාවක්නේ ඒක. ළදරු පාසලට ගියකාලේ අහලා නැද්ද ඒ කතාව? ඊළඟට කියයිද දන්නේ නෑ තම්පලා කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් කියයිද දන්නේ නෑ අපි ළදරු පාසලට ගියේ නෑ කෙලින්ම ‘වැඩිහිටි පාසල’ට තමයි ගියේ කියලා. 😀 හැබැයි ලස්සන වැඩක් තියනවා. ඔබ දන්නා කවුරුහරි ඉන්නවද ‘අමරනාත්’ කියලා කෙනෙක්? මොකද හින්දි භාෂාවෙන් තම්පලා වලට කියන්නේ අමරනාත්. ජූලි හතයි නේද? විස්වාස නැත්නම් මෙන්න මෙතනට ගිහින් බලලා එන්ඩකෝ සියැසින්ම. දැන් අමරනාත් කියලා නම තියන අයට ‘හලෝ මචං තම්පලා’ කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ඉතිං ඕවා කියන්න ගිහින් තමුන්නාන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා ආමාශය කරා වැඩම කරාට මම වගකියන්නේ නැහැ ඔන්න.

  මේ ඔක්කොම දේවල් කිව්වේ මේ දිනවල අපේ ගෙවත්තේ ඉතා සරුවට වැවී තියන තම්පලා ගස් දෙකක් දැකීමෙන් මගේ අතීත මතකය ඇවිස්සීම නිසයි. මෙන්න ගස්දෙකේ පින්තුර.

  මේ පින්තුරයේ තිබෙන ගහ හරියටම අඩි 10 ක් උසයි. අද උදේ තමයි මැනලා බලලා පින්තුරත්  ගත්තේ.

1

  මේ ගහ තියෙන්නේ අපේ ගෙදරත් අල්ලපු ගෙදරත් වෙන්වෙන තාප්පය අයිනේ. ඒ නිසා පින්තුර ගැනීම ටිකක් අපහසුයි. පින්තුරයේ පසුබිමේ තියෙන්නෙත් අල්ලපු ගෙදර. ඔන්න ඊළඟට පෙන්වන්නම් අඩි 7 ක් උස අනික් තම්පලා ගහ. මේ ගස් දෙකේම වයස මාස 3 යි.

2

  මම හිතන්නේ මේ තම්පලා ගහේ කතාව කතාව මම ඇහුවේ 1959 – 60 විතර කාලයේදී කියලයි. ඒ කාලේ මගේ පන්තිභාර ගුරුවරිය මගේ අම්මා. අම්මාගෙන් ඉගෙනගත් එවැනි කතා බොහොමයක් මතකයේ තවමත් තිබෙන අතර ‘අම්මා බුදුවේවා’ කියා ප්‍රාර්ථනා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

  දැන් ඉතිං කතාවට බහිමු. හැබැයි දන්නවනේ……. කතන්දරයක් කියනකොට හූමිටි තියන්න ඕනෙ හොඳෙයි……

  cutting_down_treeඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි හිටියා. මේ දෙන්නට ලස්සන දුවෙකුත් හිටියා. ගමරාලයි ගම මහගෙයි කල්පනා කරා ‘දැන්නම් දුවව දීග දෙන්න හොඳ කාලේ තමයි’ කියලා. ඔහොම හිතලා ඒ දෙන්නා කල්පනා කළා, අපේ කෙල්ලව දෙන්න ඕනෙ පිළිවෙලකට වැඩක් කරන්න දන්නා, කල්පනා කරලා, සැළසුමක් ඇතුව වැඩ කරන්න දන්නා, තරුණයෙකුට තමයි කියල. මේ කාලේදී ගමරාලගේ හේනේ යෝධ තම්පලා ගහක් හැදිලා තිබුණා. ඉතිං ගමරාල විශාල ප්‍රචාරයක් ගෙනගියා, මේ තම්පලා ගහ කපපු කෙනාට තමන්ගේ දුව බන්දලා දෙනබව කියලා.

   (ප්‍රචාරක අනුග්‍රහය තම්පලා ඇට ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ‘ඇට සහ පුත්‍රයෝ’කියලා කියන්න මොකෙක්වත් හිටියේ නෑ ඒ කාලේ ගමරාලගේ වාසනාවට. නැත්නම් ප්‍රචාරය වෙන්නේ උන්ගේ සමාගමේ නම මිසක් ගමරාලගේ පණිවිඩේ නෙවෙයිනේ :D) 

  ප්‍රචාරය ගියා විතරයි ඒ පළාතේ ඉන්න තරුණයෝ පෝලිමේ එන්න ගත්තා. මොකද ගම දුව එච්චරටම ලස්සනයි.

  (ගම දුව පාවිච්චි කරන්නේ අහවල් සබන්, ඔබත් අදම ‘ගම දුව සබන්’ පාවිච්චිකර වෙනස වටහාගන්න 😀 :D)

  තම්පලා ගහක් කපන එක මහා ලොකු වැඩක් නෙවෙයිනේ. ඉතිං අර පෝලිමේ ආව තරුණයන්ව ගමරාල සහ ගම මහගේ නමැති ද්විපුද්ගල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා හේනේදී ම. නම ගම විස්තර අහලා ගමරාල අහනවා ‘ඔය ළමයට අර පෙනෙන තම්පලා ගහ කපන්ඩ පුලුවන්ද’ කියලා. ‘හයියෝ මාමේ ඕකත් වැඩක්ද? කෝ දෙන්ඩ පිහිය, එක පාරෙන් කපන්නම්’ කියන තරුණයන් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඒ වගේම පිහිය අතට ගත්ත ගමන්, ගහ කපන්ඩ යන්න හදන අයට ගමරාල කියනවා, ‘හරි හරි ළමයෝ, ගහ කපන්ඩ ඕනෙ නෑ, ඔය ළමයා අසමත්’ කියලා. මේ විදිහට දවස් ගණනාවක් පවත්වපු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙන්න කාටවත් බැරිවුනා. ඔන්න එක දවසක් බොහොම කඩවසම්, ශක්තිමත් පෙනුමක් මෙන්ම බොහොම ශාන්තදාන්ත පෙනුමකින් යුත් තරුණයෙක් සම්මුඛ පරීක්ෂණයට ආවා.

  (ගම දුව ජනේලෙට මුවා වෙලා මේ තරුණයා දිහා බලා ඉන්න ගමන් හිතුවා, මෙයා බුකියේ ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවානම් චැට් කරන්නත් තිබුනා කියලා. හුටා……… ඒ කාලේ එව්වා තිබුනේ නෑ නේද? නොදෝකිං ………ෆේස් බුක් කියන වචනය බුකිය කරගෙන ඇයි යකෝ ‘බුකිය’ කියන්නේ මොකක්ද? )

  ඔන්න ඉතිං අර තරුණයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට ඇවිල්ලා, සිංහල ක්‍රමයට ආචාර කරලා එකත්පස්ව හිටගත්තා කියමුකෝ. ‘එකත්පස්ව හිටගන්නවා’ කියන එක විස්තර කරන්න ඕනෙ නැහැනේ? ඉතිං සුපුරුදු පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කිව්වා ‘ළමයෝ, අන්න අර තම්පලා ගහ කපන්න තමයි තියෙන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වීම සඳහා’ කියලා.  තරුණයා කිව්වා මාමණ්ඩි මම ගහ බලලා එන්නම් කියලා. එහෙම කියලා ඔහු තම්පලා ගස සහ ඒ අවට හේන් බිම හොඳින් පරීක්ෂා කළා. ඊළඟට ඔහු ඇහුවා ‘තම්පලා ගස කැපීමට තියන ආයුධය මොකක්ද’ කියලා. ගමරාල ඔහුගේ අතට පිහිය දුන්නා. ඔහු තමන් අඳ සිටි පලු බැනියම ගලවලා, පිහිය මුවත් තියන්න පටන් ගත්ත. පිහිය හොඳින් මුවහත් වුනාම ඔහු සරම කැහැපොට ගහගෙන සූදානම් වුනා තම්පලා ගහ කපන්න. ගමරාල කිව්වා ‘තම්පලා ගහ කපන්න ඕනෙ නෑ පුතේ, උඹ තමයි අපි හොයපු එක්කෙනා’ කියලා.

  ඉතිං මේ කතාවේ ආදර්ශය කුමක්ද? නොවැදගත් සහ බොහොම සුළු වැඩක් යයි අපි සිතන වැඩ පවා, එක්තරා පිළිවෙලකට නොකලොත්, එයින් නොසිතු ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඇයි අර තරුණයා මුලින්ම තම්පලා ගහ පරීක්ෂා කලේ? පළමුව බලන්න ඕනෙ, එතනට යන්න පුළුවන්ද කියලා. හේන්වල සතා සරුපයා ඉන්නවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. හේනක හැම තැනම විවිධ බෝග වගා කරලා තියනවා. තම්පලා ගහ කපද්දී ඒ බෝගයක් උඩට වැටුනොත් හානි වෙනවා. පිහිය මුවහත් නැත්නම් මෙතරම් දුර්වල කඳක් තියන තම්පලා ගහ කපන්නත්, නිකරුනේ මහන්සිය සහ කාලය වැයවෙනවා.

  මේ කතාව අදට වුනත් වලංගුයි කියලා පෙනෙනවා නේද?

My Signature for Blog2013 මැයි මස 11 වැනි දින 0921 පැය  

Advertisements

Comments on: "තම්පලා ගහේ කතාව – The Fable of Amaranthus Plant" (94)

  1. මලින්ද said:

    වටිනා කතාවක්,
    අර අන්නාසි ගෙඩියේ කතාව වගේ නේද?
    සහ මගුල් පරක්කුවත් මේ වගේනේ….

    • ඉතිං ඒ අන්නාසි ගෙඩියේ කතාවයි මගුල් පරක්කුවෙ කතාවයි කියන්නකෝ අපිටත් දැනගන්න.

      • මලින්ද said:

        හරියටම කියන්න දන්නේ නෑ,
        අන්නාසි ගෙඩියේ කතාව තමා,
        ඉස්සර කාලේ තමන්ගේ දුවට පරස්තාවක් ගෙනාවම තාත්තා ඒ තරුණයට අන්නාසි ගෙඩියක් දෙනවලු කපන්න,
        ඒක ගොඩාක් සුද්ද කරලා අපතේ යැව්වොත් මිනිහා නාස්ති කාරයෙක්,
        කටුත් ඉතුරු කරොත් ලොබයෙක්,
        එහෙම නැතුව හොඳට අඩු වැඩි නැතුව සුද්ද කරොත් හොඳයි,
        (ලියනකොට හිතුනේ මේක කොච්චර පැරණි කතාවක් වෙන්ට පුලුවන්ද කියල, මොකද අන්නාසි ලංකාවට හඳුන්වාදුන් ගහක්නේ)

        මගුල් පරක්කුව කියන්නේ ලී වලින් හදපු උපකරණයක්,
        මේකත් නිකන් රුබික්‌ කැටේ වගේ,
        ඒක හදන එක තමා දුවව ගන්න කරන දේ,
        මේක ටීවී එකේ පෙන්නුව එකක්.

        • බොහොම හොඳයි බොහොම ස්තුතියි.

          ඒ වගේම තමයි මම අහලා තියනවා තහංචි කවි කියලා ජාතියක්. මනමාලයාගේ පාර්ශ්වය මංගල්‍යය දවසේ මනමාලිගේ ගෙදරට ඇවිල්ල, කඩුල්ල පනින්න හදනකොට, මනමාලිගේ පැත්තේ කෙනෙක් කවියක් කියලා, ඒක තහංචි (තහනම්) කරනවා .(කඩුල්ල පැනීම) එතකොට මනමාලයාගේ පැත්තෙන් පිළිතුරු කවියක් කියලා තහංචිය ඇරගන්න ඕනෙ. ඒ විදිහටම, බුලත් හෙප්පුව, කෑම මේසය, මගුල් මඩුව, ආදියට තහංචි දානවලු.

          දැන් එහෙම කිව්වොත් හොම්බට දෙකක් ඇනලා තහංචිය ඇරගනියි නේද? 😀 😀

      • විචාරක තුමෝ මෙතැන මගුල් පරක්කුවක් ගැන කියැවෙනවා. ඒ වගේම මෙතැනට ඕන උත්තරය ඔබ දී තිබෙනවා.. දැනටත් මා සතුව පාරම්පරිකව ආ මගුල් පරක්කුවක් තියනවා. ඒ ගැන සිහි කළාට ස්තුතියි

      • මෙන්න මෙතන තියනවා මගුල් පරක්කුව ගැන

        http://www.lankadeepa.lk/index.php/articles/107523

      • මේකක් ඉස්සර අපේ තාත්තලෑ මහගෙදර තිබුනා, දැන් නම් කොහෙද දන්නෙ නැහැ.. හැබැයි මේකට මඟුල් පරක්කුව කියන නම භාවිත වෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ.. ඒ නමින් තවත් ක්‍රීඩා භාණ්ඩයක් තියෙනවා (ඒකත් අපේ ගෙදර තිබුනා).. සමහරවිට මේ හැම එකටම පොදුවේ ඒ නම භාවිත වෙනවා ඇති..

        • මෙවැනි සාම්ප්‍රදායික උපකරණ කෞතුකාගාරයේ වත් තියනවාද දන්නේ නැහැ. (තියනවානම් කන්ගැට්ටා ගෙන් බේරගන්න එක තමයි අමාරු :D)

      • අපි මේකට කියන්නෙ චකබ්ලාස්ට්නෙ…
        ඉස්සර අපේ සීයා කෙනෙක් ගාව තිබුනා..

  2. සෑහෙන්න වැදගත් නෙව කතාව .

  3. මේක එදාට වැඩිය අද කාලෙට තමයි ගැලපෙන්නෙ අපේ කට්ටිය අනාගන්න ඇනිල්ලෙ හැටියට.

  4. ඈහ් ශූර්ද ඔය තම්පලා කියලා ??? ඔච්චර ලොකු තම්පලාගස් තියනවා කියලා අදනෙ ඕන් දන්නෙ..

    මේ කතවනම් අදමයි ඇහුවෙ.. කිව්වත් වගේ ඒකෙන් ගන්න තියන ආදුරුසනම් බොහොමයි..

    ඉස්සර මනමාලයන්ට කැඩිච්ච පුටු දෙනවලු නේද ඉඳගන්න, පරීක්ශණයක් හැටියට.. එතකොට අන්නාසි කපන්නත් දෙනවලු.. විචාරක මහත්තයනම් ශූර් එකටම අන්නාසි පරීක්ෂනේට මුහුණ දෙන්න ඇති නේද 🙂

    • අම්මෝ සෙන්නා, මේවා අපේ ඇත්තී බොහොම ආදරයෙන් හදන තම්පලා ගස්. එයා කුරුසිකරුම උපදේශක. දැන් මම වගේම පැන්සොන්. අපේ ගෙවත්ත අපට බොහොම බවබෝග සපයනවා.

      මට අර පුටු ලැබුනේ නැහැ මංගල දිනේදී.(කැඩිච්ච පුටු නෙවෙයි දෙන්නේ කෙසෙල් පිති වලින් හදලා සුදු පිරුවටයකින් වහනවා ඇත්ත පුටුවක් වගේ පෙනෙන්න. ඉඳගත්තනම් කපෝතියි) මම අන්නාසි පරීක්ෂනෙට මූණ දුන්නේත් නැහැ. නමුත් මනමාලි කැන්දන් එන්න ගිය දවසේ, අපේ පැත්තෙන් යන පිරිසේ ප්‍රමාණයට, බුලත් කොළ යවන්න වුනා මනමාලිගේ ගෙදරට මීටර් 100 ක් විතර මෙහාදී නැවතිලා. ඒක ඒ පැත්තේ පරණ ‘චාලිත්තරයක්’ ලු.

    • සෙන්නා අන්නාසි පරීක්ශනේ කරන්නේ ලේලිට නේද ..? මොකක්ද බෑනා එක්ක කරන අන්නාසි සිද්දිය..? ( මම මේ සිරාවටම නොදන්න කමට අහන්නේ හරිය ..? )

      • ලේලිට නෙමේ සහන්.. බෑනට දෙන්නෙ.. අන්නාසි ගෙඩිය වැඩියෙන් කැපුවොත් නාස්ති කාරයා, අඩුවෙන් කැපුවොත් ලෝබයා.. ගානට කපන එකා තමා පොර..

      • @Shermie,
        මමත් අහලා තියෙන්නේ ඔය කතාව තමා. නැන්දම්මා වෙන්ට ලේලිට අන්නාසි ගෙඩියක් කපන්න දෙන කතාව..
        තව තියනවා ගඟ ළඟට ගිහින් වළං හෝදන්න කියන එක. ඒක නම් අහලා ඇති නේද?

      • හරි දැන් අන්නාසි ගෙඩිය හරියට කැපුවේ නෑ කියමු..

        මොකෝ දූව නොදී ඉන්ඩද?

  5. විචාරකගේ වත්තෙ තියෙන තම්පලා ගස් දෙක කපන්න සැලසුමක් නැත්ද ?

    • ඕනේ ඕනේ, මට දුවලා දෙන්නෙක් නේ ඉන්නේ. ඉතිං මේ තම්පලා ගස්දෙක වැඩේට නියමෙට ගැලපෙනවා. 😀 😀

    • මටත් ඉතින් ඔය දෙන්නට වෙච්ච සෙතේම තමා අනේ , මමත් අපේ උන්දැට කියුවා දෙවනි කෙල්ල ගෙදර ඇන්න ආපු දවසේ ( අනේ අම්මා පල්ල ඔව්වා මතක් වෙනකොට දත් මිටි කැවෙනවා)

      අපේ උන්දැ මාව දෙවනිපාරට වරදට පොලබවාගත්තේ

      ”ලොකු …මම ඔයාට ඔයාවගේම සුදු ලස්සන පුතු පැටියෙක් ගෙනත් දෙන්නං ”

      කියලා

      දෙවනි පාරටත් ගෙනාපි උන්දැ වගේ තව කළු කෙල්ලෙක්

      ”දැන් ඉතින් ගේ ඉස්සරහා පුවක් පැල දෙකක් හිටවන්ඩ ඕන”

      ”දැන් හිටවගන බුලත් විට කන්ඩද හදන්නේ. කෙල්ලෝ දෙන්නෙක් ඉන්නේ ඔයාට ,
      තාත්තා විට කනකොට ළමයින්ට ලැජ්ජයි”

      ”මට විට කන්ඩ නෙමෙයි . බයිසිකල් හේත්තු කරන්ඩ කෙල්ලෝ මුන් දෙන්නට පැණි හලන්ඩ එන කොල්ලන්ට”

      ”එහෙනං ගස් දහයක් පහලවක්ම හිටවන්ඩ”

      ”හා හා මේ කනපලාගන්නැතුව ඉන්නවා ඔය ඇති”

      ” තව බබ්බු ගේන්ඩ නෙමෙයි අනේ , ඔයාට තේරෙන්නැද්ද , අහල පහල හැමෝටම කෙල්ලොනේ , මිලාන්ට කෙල්ලෝ, දමිත්ට කෙල්ලෝ , නිරංගට කෙල්ලෝ , මම විතරක්යැ කෙල්ලො ගෙනාවේ , අහල පහල හැම ගෙදරකම ඉන්නේ කෙල්ලො ,

      ඒ වෙලාවේ මම කට පියාගන නිකං හිටියට දැන් තමා ඒ අටමි කියපු කතාව ගැන හිතුවේ .

      ……අපේ ගෙවල් අහල පහල ගෙවල්වල කෙල්ලෝ විසිපහකට විතර කොල්ලෝ පහක්වත් ඉපදිලා නැ …………..

      • ඇයි යකෝ මේක පෝස්ට් එකක් හැටියට ‘පහුරෙම’ දැම්මනම් කීදෙනෙක් බලනවද?

        අටම් දන්නවද ඇත්තම ඇත්ත දෙයක්. හමුදාවේ පවුල්වල වැඩිපුර උපදින්නේ කෙල්ලෝ. කාලයක් තිස්සේ මැරීගෙන පුහුණුවෙලා, යුද්ද කරලා, කරලා, ආමි කාරයන්ගේ ‘ජින්තු බැහැලා’ යන්තම් මොකක්හරි උපද්දගන්ඩ විතරයි පණ තියෙන්නේ. 😀 😀

      • ජින්තු නැවත ලැබෙයි නේද තම්පලා කෑවොත්…

      • “රටක දුෂ්කර කාලයක් එනකොට වැඩියෙන් ඉපදෙන්නේ කෙල්ලොලු. මොකද කෙල්ලන්ට ප්‍රශ්නවලට මූණ දෙන්න තියෙන හැකියාව වැඩියිලු.”
        ඕක හොයාගෙන තියෙන්නේ මමනම් නෙවෙයි. රටවල් ගානක පරීක්ෂණ කරපු විද්වත්තු.

      • අටමෝ උඹට එපා නං කෙල්ල මට දියං.. අපේ එකී අවුරුද්දට දෙපාරයි ගෙදරදි දකින්නෙ. එතකල් ස්කයිප් එකට වැඳ වැඳ හූල්ලනවා.යන දවසට ආසියන්තරාව නොපෙනෙනකල් බලං ඉඳල ගෙදර එන්නෙ .. තව එකියක් හදා ගත්තානං කියල දැං හිතෙන්නෙ..

        • මමත් කෙල්ල මදි කියලා කොල්ලෙක් හදන්න ගිහින් තමයි තවත් කෙල්ලෙක්ම ආවේ. අනේ අම්මෝ එතැනින්ම එකවුන්ට් එක වැහුවා. 😀

  6. කෝ විචාරක, කතාවෙ ඉතුරු ටික දාලා නෑ නෙවැ… 😀

    ඉතිං ගමරාල එහෙම කිවුවහම සම්මුඛ පරීක්ෂණෙන් සමත්ය කියලා, ඒ කොළුව එහෙම එකපාරටම ගම දෝණිව උස්සන් යන්නෙ නෑ. ඌත් අණ්ඩපාලයා. ඌ කියනවා, “මාමණ්ඩි, එහෙම එකපාරටම වැඩේ ඉවර කොරන්ට බැහැ නෙවැ. මං හේනේ වැඩ කොරන් ඉඤ්ඤා, දෝනියැන්දැට කියන්ට ඇඹුලත් අරන් එන්ට කියාලා.” කියලා. මේකට ගමයත් සෑහෙන්න සන්තෝස වෙනවා. ඇයි මූත් ලේසි පාසු පුත්තරයෙක් නෙවෙයි වගේ නෙ. ඉතිං බුවා ගෙදර ගොහින් ගමමහගෙට විස්තරේ කියනවා. ගමදෝනිත් බොහොම සන්තෝසෙන් පුස්ඹ ගහන්ට කෑම ටික උයලා (දැන් කාලෙ වගේ ගමමහගෙ කෑම ටික උයලා, ‘මේ අපේ ළමයගෙ ඉවුං පිහුං’ කියලා කිවුවෙ නෑ ඒ කා‍ලෙ), දාඩිය යන්ට හොඳට නාලා කරලා (ඔවු ඔවු, අර විචාරක කිවුව සබන් ජාතියෙන් තමා 😀 ) ඇඹුලත් ඇන්න හේනට යනවා. අර කොළුවත් ඇඹුල කොටා බාලා තේරුම්ගන්නවා මේ දැරිවි බොහොම හොඳට ඉවුං පිහුං දන්න, ගෙදරක පාලනේ බාරදෙන්න සුදුසු කෙලි පොඩ්ඩියක් කියලා. අන්න ඒ කාලෙ කොල්ලො..

    පලි: කතාවෙ අවසානයක් ඕනෑම නං දාගන්ට, “And They lived happily ever after..” කියලා.. 🙂

    • ෂඃ…………නියම අවසානයක්නේ. අම්මපා මම ඔය කොටස දැනගෙන හිටියේ නැහැ. හරිම අගෙයි.

      දැන්නම් ඉතිං ඩේටින් කරලා මිසක් අවබෝධ කරගන්න බැහැනේ.

      “And They lived happily ever after..” මේ කෑල්ල දාන්ඩ අර ස්ක්‍රොල් වෙමින් යන නාමාවලියක් අවශ්‍යයි නේද?

    • @බුරා

      //දාඩිය යන්ට හොඳට නාලා කරලා ඇඹුලත් ඇන්න හේනට යනවා. අර කොළුවත් ඇඹුල කොටා බාලා තේරුම්ගන්නවා මේ දැරිවි බොහොම හොඳට ඉවුං පිහුං දන්න, ගෙදරක පාලනේ බාරදෙන්න සුදුසු කෙලි පොඩ්ඩියක් කියලා.//

      එතනින් නවතින්නේ නෑ… ඊටපස්සේ කොළුවා අහනවා ප්‍රශ්න තුනක්…

      1. කටට දාගත්තට බඩට දාගන්න තහනම් කෑම මොකද්ද?
      2. මෝල්ගහට වංගෙඩියෙන් කොටන්නේ මොනවා කොටනකොටද?
      3. එක සපත්තුවක් ඇතුලට අනිත් සපත්තුව දාන්නේ කොහොමද?

      දැරිවි ඒ ප්‍රශ්න තුනටත් හරියට උත්තර දෙනවනං අන්න මඟුල තීන්දුයි… 😀

  7. දැන් ඕක කපන්න බුකියේ ඇඩ් එකක් දාන්න නේද හදන්නේ. තාප්පේ බේරගෙන අල්ලපු ගෙදර සිවිලිමේ තියෙන බඹරෙත් බේරගෙන වැඩේ දෙන්නත් එපායැ. 😀

    ඒක නෙවෙයි, විචාරක තුමිය කෑ ගහන්නැද්ද “මේ ඕයි, දැන්වත් දොට්ට පිලට යන්න ටොයිලට් එක පාවිච්චි කරනවකෝ…” කියලා.

    ————-
    වැඩක් කරනකොට අවතක්සේරු නොකිරීම, පිළිවෙලකට වැඩ කිරීම, කරන්න යන දේ ගැන අදහසක් තිබීම කොච්චර වැදගත්ද? කියලා තේරෙන්නේ දැන්නේ.

    • ඒ පෙනෙන්නේ බඹර වදයක් නෙවේ. ඒ අය මෑතකදී බිත්තියේ අලුත්වැඩියාවක් කරලා තවම හුණු ගාලා නැහැ.

      හප්පොච්චියෙ අල්ලපු ගෙදර ඇත්තී සහ අපේ ඇත්තී අතර, තාප්පෙට උඩින්, කොස් පොලොස්, වැල වරකා, තම්පලා, පැපොල්, අරවා මෙව්වා ගනුදෙනු වෙන්නේ එකසිය ගානට. දෙන්න බොහොම ලෙන්ගතුයි.

      අම්මපා යුරියා වැඩියෙන් ලබුනොත්ද මෙහෙම ගස් ලොකුවෙන්නේ?

      ඇත්තටම මෙවැනි කතා එකතුකර අනාගත පරපුරට දායාද කිරීම අපේ යුතුකමක්, වගකීමක්.

  8. ඔය තම්පලා ගහ කපන්න කොන්ට්‍රැක් ගන්න බැරිද.. සමාන්‍ය වියදම වගේ තුන් ගුණයකින් කරලා දෙන්නම්.. කොන්ට්‍රැක් එක මට දුන්නොත් 1/3 ඔහේට.. මොකෑ කියන්නේ….

  9. ප්‍රභාකරන්ටයි අපේ දේශපාලකතුමාලටයි වාමාන්ශික තරුන ව්‍යාපාර වලටයි පින් සිද්ද වෙන්න ලන්කාවෙ පිරිමි සුලුතරය වෙලා. අපේ තරුන පරපුරත් ඒ ප්‍රමානය තවත් අඩු කරන්න මුලු උත්සහයම ගන්නවා විවිද ක්‍රම මගින් ( පාරේ පරිස්සමින් යාම වගේ ඒවා ). ඒ නිසා මනමාලියන්ගේ පාර්ශවයට ඔහොම ඒවා කරන්න බෑ දැන්. 😛

    LTTE ය බූට්ස් හෝ සපත්තු නැතිව සෙරෙප්පු දාන් යුද්දෙට ආවේ ඒවා නැති නිසාද වෙනත් හෙතුවකටද? චේ ගුවේරා ගරිල්ලා සටන් ගැන ලියු පොතක තිබුනා ගරිල්ලෙකුට හොද සපත්තු තිබිම අනිවාර්ය අවශ්යතාවයක් කියලා.

    • ඇත්ත තමයි. පිමින්ගේ ඉල්ලුම ඉහල යනවා. කවුද කියලා තිබුනා නේද අපේ රටේ ජන අනුපාතය අනුව එක පිරිමියෙකුට ගෑණු දෙකහමාරක් ගන්න පුළුවන් කියලා. බලන්නකෝ මෙව්වත් එන්නේ මේ අපි වයසට ගියාමනේ. (අපේ උන්දෑ මේවා නොබලන හින්දා හොඳයි) 😀 😀

      එල්.ටී.ටී.ඊ. එක මුලින් එහෙම කලේ සපත්තු නැති නිසා. නමුත් එක පුරුද්දට ගිය පිරිසකුත් හිටියා. සපත්තු තිබුනත් නොදාන. සපත්තු දෙකක් නැතුව කොහොමද අනේ යුදබිමක ඉන්නේ. චේ ගේ කතාව හරි.

      • කවුරු කිව්වත් ඒක හරි. කොමත් ගෑනු ප්‍රමානය පිරිමි ගනනට වඩා යන්තම් වැඩියි බොහෝ තැන් වල. පහු ගිය කාලෙ මිය ගිය හා දැනුත් මාර්ග අනතුරු ආදිය නිසා මිය යන ගනන බැලුවම ඒ කතාව හරි බව පෙනෙනවා.
        කොච්චර පුරුදු උනත් හොද බූට් සපත්තු නැතුව වල ගොඩැලි සහිත බිමක එහා මෙහා දුවන්න ගියාම කකුල් වලට වෙන ආබාධ ඒ යුද්ද කාර්යයට බාධාවක් නෙමේද?

        • පොඩි කාලේ ඉඳලා සපත්තු සෙරෙප්පු නැතුව කර්කශ පරිසරයක හැදුන අයට ගානක් නෑ. යුද්ධයකදී, සීරීම්, තැලීම්, උළුක්කු, ඇමැට්ටිවීම්, කියන්නේ ගණන් නොගන්න සිදුවීම්.

  10. උදෙන්ම ලිපිය කියවල කල්පනා කෙරුව ඔබටත් නැණ නුවණ ඇති බෑනනුවෙක් ලැබිල ඒක අපිට දන්වන ලිපියක්ද කියල. 🙂

    • තව කොහෙද අනේ එව්වා. ලොකු දුවගේ අර රු 10000 ජොබ් එක (උපාධිධාරී පත්වීම්) තව ස්ථිර කලේ නැහැ. පොඩි දුව වෛද්‍ය විද්‍යාලෙන් එලියට එන්නේ මේ අවුරුද්ද අන්තිමට.

      • කිව්වට තරහා වෙන්න නම් එපා ඒත් 10,000 ජොබ් නම් එච්චර බලපොරොත්තු තියා ගන්න හොද ඒවා නෙමේ.

        • අර එළුවාගේ එක වැටෙනකල් ඉන්නවා වගේ බලාගෙන ඉන්නේ ස්ථිර කරනතුරු. උපාධිධාරීන් දහස් ගණනක් ඉන්නවනේ. බලමුකෝ මාමා මොකක් කරයිද කියලා.

      • මාමා කරන දේට වඩා මාමගෙන් පස්සේ එන අය කරන දේ ගැන තමා බලන්න ඕනා. ලන්කාව දියුනු කලත් නැතත් මාමා උන්නැහෙගෙ ” සන්වේදීකම ” පවත්වන් යන්න ඕනනෙ.

  11. මටනං හිතුනේ මෙච්චරයි, ඔය විචාරක මාමලාගේ අල්ලපු ගෙදර අංකල් තමයි විචාරක මාමටයි. මුළු ගමටමයි වතුර දෙන්නේ (නැත්තං පොරට මොකද ඔච්චර උස වතුර ටැංකියක්)

  12. මේ කතාව මම ඩ්‍රාෆ්ට් කරලා තියෙන තාත්තා කියාදුන් කතන්දර යටතේ ලිව්ව පෝස්ට් එකක තියෙනවා. නමුත් වර්ෂන් එක වෙනස්. මේකත් මගේ ජීවින රටාව වෙනස් කරපු කතාවක් යම් තාක් දුරකට.

  13. කතාවේ කියවෙනවා වගේම පටන් ගත්ත ගමන්ම අපුරුවට විචාරක උන්දැත් තම්පලා ගහ සුද්ද කරලා තිබ්බ විදිය නම් නියමයි. අපේ අම්මා මට ඕක පොඩි කාලේදී කියලා දීලා තියනවා. මොකද මගේ වැඩ මාරම පිළිවෙලයි ලුනේ.

    • මේ තම්පලා ගස් දෙකෙන් අපි දැන් සෑහෙන වාර ගණනක් බත රස කරගත්තා. අසල්වැසියන්ටත් දුන්නා. ඇත්තටම අපිම හදාගත් මෙවැනි බෝගයක රස කඩෙන් ගන්න එලවලුවකට වඩා රසයි.

      හඃ……හා……මමත් හරිම ‘පිළිවෙලයි’ පොඩි කාලේදී.

  14. විචාරක තුමෝ…ඔය වගේ තම්පලා ගහක් කපන්න තියෙන තැනක් ගැන හෝඩුවාවක් ලැබුනොත් කියන්න…දැන් වයස හරි වගේ..

  15. මාත් ඔය කතාවේ ඉන්න කොල්ලා වගේ කොල්ලෙක් හොයනවා. හොයනවා. තාමත් හම්බ උනේ නෑනේ. 😦

    හැබැයි අර ඇඹුල අරන් එන්නේ එයාමලු…හී හී…

  16. කතාවට වඩා කමෙන්ට් ටික මරු අප්පා… හි හි

    ඔන්න අපේ මහත්තයා නම් ඔය පරික්ෂ‌ෙණන් පාස් වෙයි.. හැබැයි අර කමෙන්ට් එකක තිබුන ගම දුවට දෙන පරීක්ෂණේ තිබ්බොත් මං නං ෆේල් වෙයි… හැබැයි ඒකෙන් ෆේල් උනත් කමක් නෑ කියලා බැඳගත්තට ප්‍රශ්නයක් නෑ… මොකද දැන් මට හොදට උයන්න පුළුවන්… හි හි

    • ඇත්තටම ඒ කාලේ හැටියට ඒවා ගැලපෙන පරීක්ෂණ. නමුත් අපි කාලීනව වෙනස්වෙලා නිසා බුද්ධි මට්ටමත් දියුණුයිනේ. මෙවැනි පරීක්ෂණ නැතත්, දැන් විවාහයට පෙර සිදුවන දැන හඳුනාගැනීම් තුලින්, මේ පරීක්ෂණ ඉබේම සිදුවෙනවා. ඒ කාලේ පූර්ව දැන හඳුනාගැනීම බොහොම අඩුයිනේ.

  17. කතාව වගේම ලස්සන කමෙන්ට් ටිකක් තියන්නේ. 😀

    අපේ පන්සලේ හාමුදුරුවෝ, මේ කතාව කිව්වා මටයි තව මගේ මිත්‍රයෙකුටයි. අපි දහම් පාසල් ගිය වෙලාවක වැලි ටිකක් හලන්න උදව් වුනා. ඒ වෙලාවේ අපි ෆුල් සූට් පිටින් වැඩේට බහින්න හදන කොට තමයි ඔහොම කිව්වේ.

  18. මේ කතාව අදමයි ඇහුවෙ. හැබැයි මේ වගේ වෙන වර්ෂන් එකක් අහල තියෙනව වගේ මතකයි. මගුල් පරක්කුව කියන එක දැකල නෑනෙ

    • සමහර ජනකතා දැන් අපේ මතකයෙන් ගිලිහෙමින් තිබෙන්නේ. කවුරු කවුරුහරි මේවා මතක් කරලා හොයලා බලලා ලියනවානම් හොඳයි දැන් පරපුරට දැනගන්න.

  19. යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිවුව වගෙ එකක් මං ලියන්නෙ. ජයසේන ජයකොඩි මහත්තයගෙ නවකතාවක තිබුණ හැටියට ඉස්සර කාලෙ වෙන්ඩ මාමණ්ඩි වෙන්ඩ බෑනව පරීක්ෂා කලෙ ඌට අන්නාසි ගෙඩියක් ලෙලි අරින්න දීලලු.. ඌ ඕක අරං ඇස්ස හරියට කැපෙන්න සුද්ද කලෙ නැත්තං මූ මහ කුම්මැහියෙක් අපෙ කෙල්ල බඩගින්නෙ තියයි කියල කෙල්ල දුන්නෙ නෑලු.. අරූ නොසැලකිල්ලෙන් කපල ඇස්ස පෙනෙන්නෙ නැති ගානට සුද්ද කලොත් මූ මහ නාස්තිකාරයෙක් කියල කෙල්ල දුන්නෙ නෑලු..

  20. ඔන්න අදයි ආවෙ විචාරක මහත්තයාගෙ කතාව බලන්ට. අපේ ගෙදර කොල්ලො දෙන්නා ටත් මේ වාගේ පරීක්ෂණ වලට මූණ දෙන්ට වේවිද දන්නෙ නෑ අප්පා. නියම කතාව අදටත් ගැලපෙනවා.

  21. මේ කතාව හොඳ ආදර්ශයක් තියෙන කතාවක් මහත්තයෝ මටත් බොහොම වැදගත් දඩි බිඩිස් වැඩ නොකරන්න

  22. අසනීපයෙන් ඉඳලා ඔන්න අදයි බ්ලොග් පැත්තෙ ආවෙ.. උඩ කට්ටිය කියන්ඩ තියෙන ඔක්කොම කියලනෙ…

  23. මට තවත් ප්‍රශ්නයක් තියනවා. හැබැයි මේකත් තම්පලා වලට නම් සම්බන්ද නෑ.
    පහු ගිය සටන් විරාමය කාලෙ, මෙහෙ නිවුස් වල LTTE ය ගැන ගියොත් ඒ අවස්තා වලින් බහුතරයක ඔවුන් හිටියේ ටී-56 තියන් නෙමේ. ඇමරිකන් එම්-4 හෝ එම්-16 තුවක්කු තියන්. ඒත් යුද්දේ පටන් ගත්තම ආපහු ටී-56 ටම බැස්සා. එහෙම උනේ එම්-4/16 තුවක්කු තනිකර මාධ්‍ය සන්දර්ශනයක් වූ නිසාද? නඩත්තුව හා උන්ඩ ලබා ගැනීමේ ගැටලු නිසාද?

    • මුලදී එල්.ටී.ටී.ඊ. එකට හොයාගන්න පුළුවන් වුනේ M 16 තමයි වැඩිපුර. ඒ වගේම ඔබ කියනවා වගේ ප්‍රචාරය සඳහා තමයි ඒවා පෙන්නුවේ. මොකද ඒ අවිය පාවිච්චි කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය පමණයි. සාමාන්‍යයෙන් M 16 අවියෙන් මරණීය තුවාල වෙනවාට වඩා බහුතරයක් වෙන්නේ දරුණු තුවාල පමණයි. ඒ කියන්නේ නොමැරී බේරෙනවා අබ්බගාත වෙලා හරි. ඇමරිකන් කාරයා එහෙම මේ අවිය හැදුවේ ඒ විදිහට තුවාල වෙලා ජීවිතේටම විඳවන අය දැකලා අලුතෙන් හමුදාවට බැඳෙන එක අධෛර්යයට පත් කරන්නටයි.

      නමුත් T 56 එහෙම නෙවෙයි. වැදුනොත් බඩුම තමයි.

      M 16 පතරොමM 16 පතරොම (5.56 x 45) කුඩා පතරොමක්,

      T 56 පතරොමT 56 පතරොම (7.62 x 39) සමග සසඳා බැලීමේදී.

      ඒ වගේම T 56 අවි සහ පතරොම් ලෝක වෙළඳපොලේ හොර අවි ජාවාරම් කරුවන්ගෙන් ලබාගැනීම පහසුයි.

      • මම කියන්නේ LTTE යෙ මුල් කාලය ගැනම නෙමේ. 2002 “සටන් විරාම” කාලය ගැන. ඒ කාලෙ ෆොටෝවක් කොච්චර බැලුවත් හොයා ගන්න බැරි උනා. මේක “කරුනා සහ සමාගම” ඉන්න ෆොටොවක්. නමුත් තියන් ඉන්නේ ඨ්-56 නොවන බව පෙනවනේ.
        http://www.outlookindia.com/article.aspx?223292

        • මෙතනත් තියෙන්නේ අර මම කිව්ව ‘සෝබනේ’ම තමයි. ඔව්ව ප්‍රදර්ශන විතරයි. 2000 වනවිට ඔවුන් ළඟ ඇතිවෙන්න T 56 තුවක්කු තිබුනා. සමහරවිට කරුණා වෙනමම M 16 කණ්ඩායමක් හදාගෙන ඉන්න ඇති.

  24. අන්නාසි කතාව තමා අහලා තිබ්බෙ; මෙ පොස්ට් එක හින්දා තම්පලා ගහේ කතාවත් දැනගත්තා. කොමෙන්ට් ටිකෙන් තවත් දැනගත්තා. ස්තූතියි

  25. ජුනක සමයං කුරාම said:

    විචාරක මහත්තයෝ කථාව නම් ඇත්ත. මෙච්චර කල් ඇවිත් ගියාට කොමෙන්ට් කොලේ අදයි…. .තුවක්කු කථා ටික නම් නියමාාාායි ඈ……

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: