විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


BW  අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපි මාලාවේ තුන්වැනි කොටසෙනුයි අද මා ඔබව හමුවන්නේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබ සමූලඝාතක අවි ගැන යම් සරල දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඒ දැනුම තවත් ඉදිරියට ගෙනයමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි සහ රසායනික සමූල ඝාතක අවි පිළිබඳවයි. මේ විස්තර කියවද්දී ඔබට පැහැදිලි වෙනවා ඇති, වර්තමාන ලෝකය, සමූල ඝාතක අවි වලින් සන්නද්ධව සිටින ආකාරය අනුව, එම අවි පාවිච්චි කරමින් යුද්ධයක් ඇතිවුනොත්, ඒ යුද්ධයට කිසිසේත් සම්බන්ධ නැති රටවලට පවා, ඉතා දැඩි හානි සිදුවියහැකි බව.

  කෙසේ වෙතත්, වර්තමානයේදී, මේ අවි සහිත රටවල් එකිනෙකාට ඇති බිය නිසා හෝ ඉවසීම නිසා හෝ තවමත් මේ අවි පාවිච්චියට ගෙන යුද්ධ කරන්නේ නැහැ. එහෙත්, සැමදාම එසේ වේයැයි ස්ථිරව නිගමනය කළ නොහැකියි. මිනිසා තම මිනිස්කමෙන් ඉවත්වූදාට ලෝකය තවදුරටත් නොපවතිනු ඇති.

space 2

ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි

මුලින්ම අපි නිර්වචනය කරගනිමු ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි කියන්නේ මොනවාද කියා.

  “සංග්‍රාමෝපාය ලෙස, විවිධ හදිසි රෝගාබාධ තත්වයන් ඇතිකිරීමෙන් හෝ ක්ෂුද්‍රජීවී බලපෑම් සහ/හෝ, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය විකෘතිකරණයෙන්, මිනිසා ප්‍රමුඛ ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි මහා පරිමාණයෙන් එල්ල කෙරෙන බලපෑම් හේතුකොටගෙන, මරණය හෝ තදබල අසාධ්‍ය තත්වයක් ඇති කරන්නාවූ, උපක්‍රමිකව යොදවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලීන්, ජීව විද්‍යාත්මක අවි වශයෙන් හැඳින්වේ”.

  ටිකක් බරපතලයි නේද නිර්වචනය? දෙතුන් වරක් කියවලා බලන්න. එතකොට පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න.

   යුද්ධයකට පැටලුන රටක ඉන්න මිනිස්සුන්ව ලෙඩ කරවලා, හදිසි අසනීප තත්වයන්ට ලක් කරලා, මිනිසුන්ව මරා දමන හෝ තදබල අසාධ්‍ය තත්වයට පත්කරන, විෂබීජ පතුරවන උපකරණ හෝ උපක්‍රම තමයි, ජීවවිද්‍යාත්මක අවි කියන්නේ.

දැන් හරි නේද? තව ඉදිරියට කතාකරගෙන යමුකෝ, තවත් පැහැදිලි වෙන්ඩ.

  යුද කටයුතු වලදී මේ ජීවවිද්‍යාත්මක අවි සහිත සටන් හඳුන්වන්නේ Biological Warfare (කෙටි යෙදුම BW) යනුවෙන්. මොනවද ඉතිං ජීවවිද්‍යාත්මක අවි වලට දාන පතරොම්? පතරොම් තමයි, මිනිස් ජීවිතයට අතිශයින් හානිකර භයානක බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග, පුස් වර්ග, සහ තවත් එවැනි ජෛවමය ක්‍රියාකාරීත්වයෙන් යුත් ද්‍රව්‍ය. මේවා මගින් සොල්දාදුවන් සහ සාමාන්‍ය ජනතාව මරාදැමීම/අඩපන කිරීම/රෝගාබාධ නිසා යුද පිටියෙන් ඉවත්වීමට සැළැස්වීම/ තමයි මේ අවි යෙදවීමේ පරමාර්ථය. ඒ තත්වය යුද්ධය පවතින රටක මහජනතාවටත් එලෙසම බලපානවා. එතකොට මොකද වෙන්නේ. යුද්ධ කරන්න කවුරුවත් නැති නිසා යුද්ධය පරදිනවා. ජීවවිද්‍යාත්මක අවි වලට සෑහෙන ඉතිහාසයක් තියනවා. ක්‍රිස්තු පූර්ව 600 තරම් ඈත අතීතයේදී පවා බෝවන රෝග විෂබීජ සතුරු ප්‍රදේශවල පැතිරවීම සිදුවී තිබෙනවා. පසුගිය වසර 2000 තුළ විවිධ රටවල සිදුවූ ජීවවිද්‍යාත්මක ප්‍රහාර පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න පුලුවන්. දෙවැනි ලෝක යුද සමයේදීත් ජීවවිද්‍යාත්මක ප්‍රහාර සැලසුම් සහ පර්යේෂණ ලෝකය පුරාම පාහේ සිදුවී තිබෙනවා.

ජීවවිද්‍යාත්මක අවි මේ තරම් භයානක ඇයි?

  පළමුවැනි හේතුව ඒවා ඇහැට පෙනෙන්නේ නැහැ, ගඳ/සුවඳක් නැහැ. පෙනෙනවා නම් හෝ ගඳ සුවඳක් දැනෙනවානම්, දුවලා හරි බේරෙන්න පුළුවන්නේ. දෙවනුව ඒවා සාමාන්‍ය බෝම්බයක් හෝ වෙඩි උණ්ඩයක් මෙන් මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිරුරට ඇතුළුවී පැය/දින ගණනාවකට පස්සෙයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට ‘පෙරහැර ගිහිල්ලා ඉවරයි’. බේරාගන්නට බැහැ. මෙහෙම හිතන්න, අපිත් එක්ක වෙළඳ ගනුදෙනු කරන රටක් තියනවා. අපි ඒ රටට කියනවා, ‘ඔයාලගේ රටට වඩා, අහවල් රටේ බඩු (බඩු කිව්වේ බඩු) හොඳයි. මීට පස්සේ අපි එහෙන් බඩු ගන්නවා, ඔයාලගේ ඒවා එපා’ කියලා. ඊළඟට ඒ රට මොකද කරන්නේ? ඒ රට බොහොම බලගතු රටක්නම්, ‘එහෙමද පුතෝ, හරි එහෙනම් බලාගම්මු’ කියලා, එයාලගේ ගුවන් යානයකින්, අපේ රටට ඉහල අහසේ, අපි මීට කලින් කවදාවත් ගොදුරු වෙලා නැති, මහා භයානක, මාරක, වසංගත රෝග බෝ කරන විෂබීජ, පතුරවලා දාන්න පුළුවන්. ගුවන් යානය, වෙන වැඩකට අපේ රටට එන විදිහට ඇවිත්, අර බලු වැඩෙත් කරලා යනඑක, නිකම් කජු කනවා වගේ වැඩක්. (කවුද දන්නේ දැනුත් එහෙම වෙනවද කියලා. ඔය වරින්වර අපේ රටේ මතුවන්නේ මීට කලින් අහලා නැති එක එක විදිහේ උණ රෝග) ජීවවිද්‍යාත්මක අවි එතරම් භයානකයි.

  ගාලු මුවදොර පිටියේ පැවැත්වෙනවා මහා සංගීත සංදර්ශනයක්. (ඔව් ඔව්, ‘බාල්දිය තංගුස්’, අර ඇමේසන් යෝදිය වගේ එක්කෙනා, ඔක්කොම එනවා. අපි ඔව්වට යන්නේ නැති නිසා බේරෙනවා :D)  මේ සංදර්ශනය බලන්න රටේ හැම පළාතකින්ම වගේ සෙනග එනවා. අපේ හතුරෙක්, වාතය ඔස්සේ පැතිරෙන මාරක වෛරසයක් අඩංගු (කෑම පෙට්ටියක් වැනි) භාජනයක් ගෙනත්, අර සෙනග මැදට දාලා යනවා. කවුරුහරි මේක ඇරලා බැලුවම මොකුත් නෑ. අල්ලලා විසිකරනවා. නමුත් අර වෛරසය, ප්‍රසංගය බලන්න ආව අයගේ සිරුරට ඇතුළුවෙලා, මුළු රටපුරා යනවා.  සමහරවිට මෙතෙක් අපේ රටේ නොතිබුන මාරක වසංගතයකින්, දහස් ගණනක් මියයනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට පවා එවැනිදේ බලපානවා.

  මගේ පරම හතුරෙක් ඒ සංදර්ශනය බලන්න එනබව මම දැනගන්නවා. මම යොදවනවා කාන්තාවක්. ඇගේ අතේ තියනවා මුද්දක්. ඒ මුද්දේ තියනවා සියුම් තුඩක්. ඒ තුඩ සර්පයකුගේ විෂ දළයක් වගේ. ඒ තුළ තියෙන්නේ, මාරාන්තික, ජීවවිද්‍යාත්මක විෂබීජ. මේ කාන්තාව අර මගේ සතුරා ලඟින් යන ගමන්, වැටෙන්න ගියා වගේ ඔහුගේ ඇඟේ හැපෙන ගමන්, අර තුඩෙන් සීරීමක් කරනවා. කාන්තාවක් එහෙම වැටෙන්න යනකොට පැනලානේ අපි (මමත් ඇතුළුව) අල්ලන්නේ. මගේ සතුරා දිනකින්/දෙකකින්/තුනකින් ඉවරයි. 

  ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය පාවිච්චි කළ  අවස්ථා පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න.

  ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයන්ට ලක්වුනොත් ඇතිවන ප්‍රතිඵල පෙන්වන පින්තූර කීපයක් පළ කරනවා පහළින්. මා ඉතාම කණගාටු වෙනවා මේ පින්තූර නිසා ඔබතුළ යම් කම්පනයක් ඇතිවනවා නම්.

Anthrax-reduced

bubonic-plague

untitled

මා හිතනවා, දැන් ඔබට ජීවවිද්‍යාත්මක අවි ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියා. ඒ නිසා අපි මීළඟට සළකා බලමු රසායනික අවි ගැන.

space 2

රසායනික සමූලඝාතක අවි

  මෙහිදීත් අපි මුලින්ම රසායනික අවියක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගැනීම හොඳයි නේද? 

  “මිනිස් සිරුරට සහ අනෙකුත් සත්වයන්ට හානිකර සහ මාරාන්තික හානි පමුණුවන රසායනික මූලද්‍රව්‍යයක්, හෝ සම්මිශ්‍රණයක්, බෝම්බයක් ලෙස හෝ උණ්ඩයක් ලෙස හෝ වෙනත් ප්‍රක්ෂිප්ත උපකරණයක් ලෙස පාවිච්චි කළහැකි උපක්‍රමයකින් ප්‍රචාලනය කිරීමේ උපකරණය රසායනික අවියක් ලෙස සැළකේ”

   අර ජීවවිද්‍යාත්මක අවි නිර්වචනය තරම් අමාරු නැහැ නේද? හරි හරි, කෝකටත් මම ගැටපද විවරණයක් කරන්නම්කො.  මෙන්න මෙහෙමයි.

  අපේ ඇඟේ ගෑවීමෙන්, ආඝ්‍රාණය වීමෙන්, වැනි ක්‍රමවලින් අපේ ශරීරයට හානි පමුණුවන රසායනික ද්‍රව්‍ය තියනවනේ, ඇසිඩ් වගේ දේවල් ගෑවුනොත් පිච්චෙනවා. සමහර වායුවර්ග ආඝ්‍රාණය වුනොත් මැරෙන්න/සිහිනැතිවෙන්න ඉඩ තියනවා. එවැනි වායුව සහිත බෝම්බයක් පිරිසක් මැදට පතිත කෙරුවොත්, මහා විනාශයක් සිදුවෙනවා. සයනයිඩ් වගේ දෙයක් නොදැනුවත්ව කැවුනොත් මැරෙනවා. සයනයිඩ් වගේ දෙයක් වෙඩි උණ්ඩයක තවරලා වෙඩි තිබ්බොත් මැරෙන්නේ උණ්ඩයෙන් නොවෙන්න පුළුවන්. උණ්ඩය අපේ සිරුරේ ගෑවී හූරාගෙන ගියාම ඇති. එතනින් සයනයිඩ් විස ශරීර ගතවෙලා මැරෙනවා. අන්න ඒවගේ ප්‍රහාර තමයි රසායනික අවි ප්‍රහාර වෙන්නේ.

  ඉහත ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් යෙදවීමට අර කාන්තාව ප්‍රයෝජනයට ගත්තා වගේ උදාහරණයක් කියන්නම්.

   මගේ ළඟ තියනවා පිරිමි අය පාවිච්චි කරන අර ලොකු කුඩයක්. ඒකෙ අග තියනවනේ අර කූරක්. (කුඩේ ඉහළගත්තම අහසට යොමුවෙන්නේ) මම, මගේ හතුරා අසලින් යනගමන්, ඒ කූරෙන් ඔහුව සූරාගෙන යනවා, අත්වැරදීමක් වූ ලෙසට. ඒ කූරෙන් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා අදාළ ස්විච් එක තියෙන්නේ කුඩ මිටේ. කොහොමද වැඩේ?   

ලෝකයේ අතීතයේදී පාවිච්චිකළ නමුත්, එක්සත් ජාතීනේගේ ප්‍රඥප්ති අනුව අද පාවිච්චි කරන්න තහනම්, උණ්ඩ වර්ගයක් තියනවා, ‘ඩම් ඩම් බුලට් – Dum Dum Bullet’ කියලා. 

(1870 දී පමණ, එවකට ඉන්දියාව පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්, ඉන්දියාවේ කල්කටා නගරය ආසන්න, ‘ඩම් ඩම්’ කියන ප්‍රදේශයේදී තමයි, මේවා මුලින්ම නිපදවා තිබෙන්නේ. ඒ නිසයි ඒ නම ලැබී තියෙන්නේ)

ඒවා ක්‍රම කීපයකට හදනවා. තහනම් වර්ගය හදන්නේ මෙහෙමයි. සාමාන්‍ය රයිෆල් පතරොමක් අරගෙන එහි තුඩ හෙවත් තුවක්කුවෙන් පිටවී යන උණ්ඩය කොටස යකඩ කපන කියතකින් කුරුස හැඩේට කපනවා. සියුම් පැළීමක් විතරයි. ඒ තුලට සයනයිඩ් වැනි දෙයක් දාලා වෙඩි තියනවා. සීරිලා ගියත් ඇති. මරණය ස්ථිරයි. ඊට අමතරව පතරොමේ තුඩ ඇතුළට කුහරයක් වගේ හදන ක්‍රම සහ ඉලක්කයට වැදුනම තුඩ විසිරී හානිය වැඩි කරන ක්‍රමත් තියනවා. ඒවා තහනම් නැහැ.

32-1

සමූල ඝාතක අවි ලෙස සැළකෙන රසායනික අවි මීට වඩා බරපතළයි. මම දෙන්නම් ලැයිස්තුවක්. ඒක කියවලා බැලුවම තේරෙයි, රසායනික අවි වලට යෙදිය හැකි රසායන වර්ග, කොච්චර තියනවද කියලා.

මෙන්න ලැයිස්තුව.

  • කඳුළු ගෑස් වර්ග –  Tear agents
  • වමනය ඇතිකරන රසායන – Vomiting agents
  • දුර්ගන්ධය ඇති කරන රසායන – Malodorants
  • අඩපණ කරවන රසායන – Incapacitating agent
  • මානසික තත්වය වෙනස් කරවන රසායන – Psychological agents
  • සම මතුපිට බිබිලි හෝ දියපට්ට ඇති කරන රසායන වර්ග – Blister agents & Vesicants
  • සිරුරේ රුධිර සංසරණය අවුල් කරන රසායන – Blood agents
  • සම මතුපිට දැවෙන සුළු තත්වයක් ඇති කරන රසායන – Urticants
  • හුස්ම හිරකරවන රසායන –  Choking agents
  • ස්නායු පද්ධතිය අක්‍රිය කරවන රසායන – Nerve agents

  මේ සෑම වර්ගයකටම අයත් උප වර්ග කිරීම් රාශියක් තියනවා. ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. රසායනික අවි ප්‍රහාර වලට ලක්වූ අයගේ පින්තූර කීපයක් පහත දක්වනවා. නැවතත් අවධාරණය කරනවා මේවා දැකීමෙන් ඔබට ඇතිවන කම්පනය ගැන මා කණගාටු වෙන බව.

CW 1

CW 3

CW 4

මේ දිනවල සිරියානු ජනාධිපතිවරයාටත් චෝදනා එල්ලවී තිබෙනවා, ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන කැරළි කරුවන්ට එරෙහිව රසායනික අවි එල්ල කරනවා කියා. එය සත්‍යයක් බව ඔප්පුවී තිබෙනවා. ඒ වගේමයි ඉරානය දෙසටත් දැන් දැන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් එක්ව එක්සත් ජාතීන්ගේ අවධානය යොමුකරවා තිබනවා. න්‍යෂ්ටික අවි නිපදවීමට ඉඩ ඇතිබව ප්‍රකාශ කරමින්. ඉරානය තවත් ඉරාකයක් වෙයිද දන්නේ නැහැ. උතුරු කොරියාව පාරම්බෑවාට දෙඤ්ඤං බැටේ කියලා, තවම ‘සීන් එකට ඇන්ටර්’ වුනේ නැහැ. අපි වගේ සොක්කන්ට තියෙන්නේ පඬුරක් ගැටගහන්ඩ විතරයි. මෙහාටනම් ඔව්වා එන්ඩ එපා කියලා. 😀

pres-assad

න්‍යෂ්ටික අවි වලින් බේරෙන්න බැරි වුනත්, ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි වලින් සිදුවන හානිය අවම කරගතහැකි ඇඳුම් සහ ස්වසන උපකරණ සකස්කර තිබෙනවා. නමුත් ඒවා ඇඳගෙන සටන් කිරීමනම් සොල්දාදුවකුට එතරම් පහසු නැහැ.

A Soldier wearing NBC Kit

  සංග්‍රාමයකදී, තුවක්කු බෝම්බ ආදිය පාවිච්චි කරමින් ගහගැනීම වෙනම දෙයක්. නමුත්. ජීවවිද්‍යාත්මක අවි, රසායනික අවි, පාවිච්චි කිරීම නොමිනිස් ක්‍රියාවක් ලෙසයි සැළකෙන්නේ. ඒ නිසා අද ලෝකයේ කිසිම රටකට අයිතියක් නැහැ ජීවවිද්‍යාත්මක හෝ රසායනිය හෝ අවි නිපදවීමට, ළඟ තබාගැනීමට හෝ පාවිච්චි කිරීමට තහනම් කරමින් විවිධ ප්‍රඥප්ති පනවා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනවද කරලා තියෙන්නේ?

  සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කිරීම සඳහා ක්‍රියාකරන්නේ එක්සත් ජාතීන්ගේ අවිහරණ කටයුතු පිලිබඳ කාර්යාලයයි. United Nations Office for Disarmament Affairs = UNODA. මේ මගින් අතීතයේ සිට විවිධ ප්‍රඥප්ති රාශියක් පනවා තිබෙනවා සමූල ඝාතක අවි පිළිබඳව. නමුත් අවාසනාවකට මෙන් ඒ ප්‍රඥප්ති වලට එකඟවූ සමහර රටවල් රහසිගතව සමූලඝාතක අවි නිපදවීම, ගබඩා කිරීම, පර්යේෂණ පැවැත්වීම සිදුකරනවා. එමෙන්ම සමූල ඝාතක අවි තියන ලෝකයේ සමහර රටවල් මේ ප්‍රඥප්ති වලට අත්සන් තබා නැහැ. 

සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කරන්නට අපට කළහැකි යමක් නැද්ද?

  මුලින්ම මේ සමූලඝාතක අවි තියන රටවලට වගකීමක් තියනවා අනෙකුත් අහිංසක රටවල් මේ අනතුරෙන් මුදාගන්නට. දෙවනුව ඔවුන් අවබෝධ කරගතයුතුයි, මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුනොත්, ලෝකය කියා දෙයක් ඉතුරුවෙන එකක් නැතිබව. අප වැනි කුඩා රටවලට පුළුවන්, සමූල ඝාතක අවි සහිත මහා ජාතීන්ට කරුණු කියාදෙන්න. එමෙන්ම ඒ රටවල් ප්‍රතික්ෂේප කර, අමාරුවෙන් හෝ අපේ ආර්ථිකය පවත්වාගනිමින්, වැඩියෙන් වැඩකොට යම් සහනදායක තත්වයක ඉන්න. මේ සඳහා, සමූල ඝාතක අවි නොදරන රටවල එකමුතුවක් සාදාගනීමත් හරිම වැදගත්. සමූල ඝාතක අවි ප්‍රතික්ෂේප කරන රටවල තියන, සමූල ඝාතක අවි නිපදවීම සඳහා ගතහැකි මූලද්‍රව්‍ය, එවැනි කටයුතු කරන රටවලට නොවිකුණා සිටීමත් වැදගත්. අපේ බාල පරපුර මේ පිළිබඳව ඉතා පුළුල් ලෙස දැනුවත් කිරීමත්, අතිශයින්ම වැදගත්. කවදා හෝ ඔවුන්වත් මේ දුෂ්ඨ ලෝකය පිවිතුරු ලෝකයක් කරයි එවිට.

මූළාශ්‍ර:-

සියලුම පින්තූර Google Images සහ මූළාශ්‍ර වලට අදාළ වෙබ් අඩවි වෙතින් ලබාගන්නා ලදී.

My Signature for Blog2013 මැයි මස 03 වැනි දින 2238 පැය

Advertisements

Comments on: "අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ …හරිද…? (තුන්වැනි කොටස) – WMD and NBC Warfare (Part Three)" (79)

  1. හරිම ආසාවෙන් කියෙව්වා..තව තිබ්බා නම් හොඳයි
    වගේ දැනුනා ….( යුධ මානසිකත්වය නිසාද මන්දා ..)

  2. අර ෆොටෝ ටික මම හිතන්නෙ කියන්න ඕනා ටික කියනවා. මට මතක් වුනේ මහාචාර්යය ජෙරඩ් ඩයමන්ඩ්ගෙ හෙලිදරව්ව. සුද්දො නොදැනුවත්වම ජීව විද්‍යාත්මක අවි පාවිච්චි කරලා තියනවා ලෝකෙ අල්ලන්න.

    පැපොල සුව කරන්න බැරි තරමට මාරාන්තික වෙනවද ආ ?

    අපි ඉන්නෙ, අපිම හදා ගත්තු ගිනි කන්දක් උඩ කියලයි මට නම් තේරෙන්නෙ. හිතනවද මේ ලෝකෙ කිසිම බලවත් රටක් මේ අවි අතාරින්න කැමති වෙයි කියලා.. ඒකනම් හීනයක් තමා.. ඒ වෙනුවට වෙන්නෙ හැම ජාතියක්ම තමන්ගෙ ආරක්ශාව පතා මේවයින් සන්නද්ධ වෙන එක තමා.

    • අදටත් ලෝකයේ රහසිගතව සමූලඝාතක අවි පර්යේෂණ කරනවා.

      පැපොල රෝගය සුව කරන්නට බැරි ආකාරයට වර්ධනය වන අවස්ථා තියනවා.

      අනේ මන්දන්නෑ සෙන්නා, ඇයි මිනිස්සු මේ තරම් තන්හාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වපුරන්නේ කියලා.

      • ඔය ලෑස්ස්ති වෙන්නෙ මිනිසාගෙ වඳ වීමකට තමා.. අර කතාවකුත් තියෙන්නෙ හතරවෙනි ලෝක යුද්දෙ කරන්නෙ කැට මුගුරු වලින් කියලා..මේ යන විදිහටනම් ඒක එහෙම වෙයි කියලා මට හිතෙනවා.

        • ඒ කතාවනම් ඇත්ත. මහා න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකයේ ඈත කොන්වල ඉතුරුවන මිනිස්සුන්ට ජීවත්වීම සඳහා එකිනෙකා සමග සටන් කරන්න වෙන්නේ ආයෙත් ගල්යුගේ ක්‍රමයට.

      • සෙන්නා මතුකරලා තියෙන කතාව බොහොම වැදගත් .මම නම් කියන්නේ අපි කොච්චර ටයි කොට් දාගෙන හිටියත් අපි එක දේකට යටයි.ඒ තමයි ..

        ” බලවන්තයා සහ දුර්වලයා ” කියන කැලෑ නීතිය..මම නම් එක හෙළා කැලෑ නීතිය අනුගමනය කරනවා..ගොඩක් මහත්තුරු නම් එළිපිට මා සමග එකඟ නොවේවි..ඒත් කරන්න දෙයක් නැහැ මහත්තුරුණේ සත්‍ය මේකයි.. ඔය මහත්තුරුත් ගෙදරට හොරු පැනපු වෙලාවට අනුගමනය කරන්නේ මම කිව්ව එකම තමයි.. 😀

        ( මේක සෙන්නට සහ විචාරකතුමාව ඉලක්ක කරන් කියපු දෙයක් නෙවේ )

        • හරි හරි ඔබ හරි. හැබැයි ගෙදරට හොරු පනියි කියලා කල්තබා කිසියම් ආරක්ෂක සැලැස්මක් හදාගෙන තියනවානම් විකල්ප ක්‍රියාමාර්ග තියනවා.

      • මටත් මතක් වුනා සෙන්නාගේ සුද්දො ලෝකෙ අල්ලපු ලිපි මාලාව..

      • සහන්,

        මමත් ඔබ සමඟ එකඟයි. බලවන්තයා දුර්වලයව විනාශ කිරීමේ කැලෑ නීතිය, ශිශ්ඨාචාරගතයි කියන මිනිසා තුල තාමත් එහෙමමයි. ලෝක දේශපාලනේ සිට ගෙදරට හොරු පැනීම දක්වාම අපි අත්දකිමින් සිටින්නෙ ඒක තමා. මම හිතන්නෑ ඕකෙ ලොකු වෙනසක් වෙයි කියලා කවදාවත්.

    • අර පින්තුරය පැපොල රෝගයට වඩා වසුරිය රෝගය වගේ.

  3. අම්මෝ එව්වානංඕන්නැ

  4. දරුණුම ලෙඩේ ටමා දැන් අපිට ඇවිත් තියෙන්නේ ,ආගම වාදය සහ ජාතිවාදය ,බොහොම වැදගත් සර්

  5. හපොයි දැක්කාම බය හිතෙනවා. මේ වගේ ආයුධ ලෝකෙට වැඩක් නෑනේද? හැම රටකම මේවා නිෂ්පාදනය කිරීම තහනම් කරන්ට ඕනි. ඇමරිකාවත් එක්කම.

    • අපි වගේ අයට මේ වැඩේ බරපතලකම තේරෙනවා. නමුත් මේවා හොරෙන් හොරෙන් හදන එවුන් එලියට ඇවිත් කෑ ගහනවා තහනම් කරන්න ඕනෙ කියලා. ඒකයි මම මේ ලිපිය අවසානයේදී කිව්වේ, අනාගත පරපුරටවත් මෙහි යථාර්ථය තේරුම් කරදිය යුතුයි කියලා.

  6. “රටේ ආර්ථිකය කඩාවැටීමට පවා එවැනිදේ බලපානවා. ” මේ ගැන නම් බයවෙන්ඩ දෙයක් නෑ.. මහජනතාව ඉන්නෙ ඒක ගොඩගන්ඩ..

    “ලෝකයේ අතීතයේදී පාවිච්චිකළ නමුත්, එක්සත් ජාතීනේගේ ප්‍රඥප්ති අනුව අද පාවිච්චි කරන්න තහනම්, උණ්ඩ වර්ගයක් තියනවා, ‘ඩම් ඩම් බුලට් – Dum Dum Bullet’ කියලා.” මට හිතාගන්ඩ බැරි මැරෙන්ඩ වෙඩි තියෙන උණ්ඩයකට මරණය ළඟා කරවීම වැඩි කරන උපක්‍රම යෙදීම තහනම් කිරීමට කාරණාව..

    ලිපිය රසවත් වගේම ඉතාම පැහැදිලියි.. ඒත් පින්තූර උඩින් පල්ලෙන් බැලුවෙ..

    • අම්මපා මේ රටේ ඉන්න ‘සම හරක්’ ඕනෙ කුණුගොඩකට කරගහනවනේ.

      වෙඩි උණ්ඩයෙන් සීරුම් තුවාලයක් ලැබුනත් මරණය ළඟාකරවන්න තමයි ඩම් ඩම් බුලට් හදන්නේ.

      ලිපිය ඇගයීම ගැන ස්තුතියි. අදනේ දන්නේ ඔයා මේවගේ පින්තූර බලන්න බයයි කියලා. 😀 😀

  7. තවත් ඉතා වැදගත් සිත්කාවදින නිර්මාණයකි. මේ දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය යුගයකි. බුද්ධිය කෙතරම් දියුණු කරගත්ත ද මිනිසා මිනිසත්කම දියුණු කරගත්තේ නෑ නේ ද? එවැනි උත්සාහයන් පවා අධෛර්ය කරදැම්මා පමණි. අධ්‍යාපන සැලසුම්වල අධ්‍යාතම් දියුණව ප්‍රගුණ කිරීමටට දි ඇති ඉඩ ප්‍රස්ථා ඇත්තේම නැති තරම් ! මෙවැනි දැනුවත් කිරීම් සඳහා ඔබට තවතවත් ධෛර්යයලැබේවා.!!!

    • ඔබේ අදහස් දැක්වීම කියවද්දී මට හිතුනේ අඩුම ගන්නේ විශ්ව විද්‍යාල සිසුන්ටවත් මේ ගැන දැනුමක් නොදෙන්නේ ඇයි කියලා. ස්තුතියි ඇගයීම පිළිබඳව.

      • සහතික ඇත්ත විචාරක. රටවල බලධාරීන් හා ලෝකයේ සිටින විද්වතුන් තෙරම් ගන්නේනම් වහාම විශ්වවිද්‍යාල අධ්‍යපනය ලබන විද්‍යාර්ථීන්ගේ දැඩි අවධානය යොමු කරවීම යෙදිය හැකි කිසියම් පිළියමක් වේවි. කුඩාකාලයේ සිට සැලසුම් වන අධ්‍යාපන පද්ධතීන් තුළ මිනිස්කම වර්ධනය වන ගුණධර්ම ප්‍රගුණ කරවීමේ වැඩට අනිවාර්ය අවස්ථාව දෙමින් දෙවනුව බුද්ධිවර්ධනයට අවස්ථාව දීම වැදගත් වනවා. ඉතිහාසය තුළ විමසද්දී බුද්ධිය පමණක් හඹා ගිය අධ්‍යාපනය ලැබූ අය මෙතෙක් කල් කර ඇත්තේ තමාත් නැසී සෙසු අයටත් විනාශය ගෙන දෙන දේවල් නිපදවීම. ඔබේ අගනා සංස්කරණය තුළින් ලෝකයට අනියමින් අවධාරණය කර ඇත්තේ එයයි. ඩයිනමයිට් සොයා ගත් විට කර ඇත්තේ එයින් මිනිසා විනාශ කළ හැකි අවි නිෂ්පාදනයට එය යොදා ගැනීමයි. න්‍යෂ්ටික ශක්තිය සොයාගැනීමෙන් පසුව ඒ මගින් සිදු වයේ හිරෝශිමාව හා නාගසාකියේ මිනිසුන් ලක්ෂ ගණනක් ඉතා කෙටිකලක් තුළ දී විනාශ වී යාමයි. ඔබ පවසන තොරතුරු ඉදිරියේ හඬා වැලපෙන්න ද ? නැතහොත් කුමක් කරන්න ද යනු අප වැනි සුළු මිනිසුන්ට තේරන්නේ නෑ. ඒත් සුළු මිනිසුන් රාශියක් අතරට ඔබ පෙන්වන අනතුරුදායක බව ඒත්තු යන දිනක එය මහා හඬක්ව ලෝකයට දැනේවි. කෙස් වුවද ඔබ කරමින් සිටින්නේ මහා පින්කමක් බව නැවතත් ස්තුතිවන්ත වෙමින් සටහන් කරන්නට අවසර දෙන්න

  8. amila chathuranga said:

    හප්පට සිරි කටකතා හමුදා වලට වඩා මේ හමුදා ගොඩක් බරපතලයි නේ…

  9. ලියවිල්ලටම ගැලපෙන ගැලපෙන පට්ට පින්තුර ටික නොවැ.
    ඉතාමත් හොද ලිපියක්.
    සමූල ඝාතක අවි නොදරන රටවල එකමුතුවකට කවුරුවත් තවම සුදානම් වන බවට ඉගියක් වත් නැද්ද?

    • මොන විකාරද අනේ. ඔය අවි නැති අපි වගේ රටවල්වල තියන මෝඩ දේශපාලන බෙදීම් නිසා කවදාවත් එවැනි සංගමයක් හැදෙන්නේ නැහැ.

      ලිපිය අගය කිරීම ගැන ස්තුතියි. ටිකක් මහන්සිවෙන්න වුනා කරුණු හොයන්න.

  10. අම්මෝ…පොටෝ ටික දැක්කහම ජීවිතෙත් එක්ක එපා වෙනවා… 😦

    ආ මම ෆිල්ම් එකක් බැලුවා WAR GAMES කියලා. ඒකේ ANTHRAX, SARIN දෙකෙන් එකක් තෝරගන්න බැරුව ලතවෙනවා. මේ දෙකෙන් වඩාත් භයානකම මොන රසායනිකයද මාමේ..?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • යොදවන මාත්‍රාව, ස්වභාවය, වැනි කරුණු අනුව එකකට වඩා අනික සැරයි කියන්න බැහැ. දෙකම මාරාන්තික විෂ. දෙකම කෙලින්ම ස්නායු පද්ධතියට බලපානවා.

  11. පින්තුර ටික නම් බැලුවෙත් නැහැ.

  12. ඕවා හදන, පාවිච්චි කරන අයට, ඉලක්ක වෙන අය වගේම අහක ඉන්න අයටත් දෙයියන්ගේම පිහිටයි. තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්ට ඕනිය කිව්වට මෙව්වගෙන් එහෙම ලේසියෙන් බේරෙන්න පුළුවනෑ.

    ඒ වගේම ඔය ක්‍රම, සමුල ඝාතක /ප්‍රහාර වලට වගේම ඉලක්කගත විශේෂිත පුද්ගලයින්ටත් එල්ල වෙන්න පුළුවන් කියන එක රහසක් නෙවෙයිනේ. මම කියන්නේ තමන්ගේ එවුන්ම කරන දේවල් ගැනම නෙවෙයි, අර ලෙමන් පෆ් අයියා කියනවා වගේ විදෙස් කුමන්ත්‍රණ ගැන.අරෆත්ටත් පොලෝනියම් ශරීරගත වෙලා තිබුනා කියන කතාවක් අහල තියෙනවා.

    කාලෙකට කලින් ඔය කුඩ වලින් අනින ක්‍රමේ රූපවාහිනියෙන් දුටුවා මතකයි.

  13. මේ ලිපියට සම්බන්ධ නෑ.
    යුධ හමුදා විශේෂ බලකාය විසින් පල කල පොතක් තිබෙනවා කියල ඔබතුමා දන්නවා නෙව (කඩේ යන කතා තිබුනත් කියවන්න හොඳ පොතක්).
    මේ පොතේ එක තැනක දිගු දුර මෙහෙයුමක් යන සෙබළුන් පිරිසකට වෙඩි හඬ දෙකක් ඉදිරියෙන් ඇසෙනවා ඉදිරියෙන්. එයට ඔවුන් කියන්නේ “ඩබල් ටැප්” එකක් කියා. මේකෙන් ඔවුන් කලබල උනා නැත්නම් ඒක ගැන සැලකිලිමත් උනා කියල හිතන්න පුළුවන්. මේ “ඩබල් ටැප්” කියන එකේ තේරුම මොකක්ද ?

    මෙහි ප්‍රසන්න ද සිල්වා මහතාගේ දකුණු පැත්තේ (අපේ දකුණ නෙමේ) සාක්කුවේ තටු විහිදා ගත් කුරුල්ලෙක් වගේ පදක්කමක් ගසා තිබෙනවා. මෙය ගැන ව්ස්තරයක් කරන්න පුලුවන්ද?

    • මෙහි කියන්නේ මේ පින්තුරයේ.

    • ඔබ කියනදේ ඉංග්‍රීසි පොතේ තියෙන්නේ Double Tap කියලා නෙවෙයි Crack and Thumb කියලයි.ඒ කියන්නේ තුවක්කුවක බෝල්ට් එක ඇරලා වාහන සද්දය සහ වෙඩිල්ලේ හඬ.

      අර කුරුල්ලා විශේෂ බලකායට අයත් ලාංඡනයක්. දැන් මගේ මතකයෙන් ගිලිහිලා තියෙන්නේ ඒ පාඨමාලාව ගැන තොරතුරු.

  14. මෙතන තියෙන්නේ විචාරක
    ‘උන්ට හොඳ නම් අපි කලාම මොකෝ’ සහ
    ‘අපි කලාට උඹලා කවුද එහෙම කරන්න’
    අතර ගැ‍ටුමක් විතරයි.

  15. අපේ බදු උදුරාගන්න ආණ්ඩු වලට බැරි දවසක් ආවම මේවා කරන හැකියාව ආණ්ඩු වලට නැතිවෙනවා. ඒත් සමාජවාදය අගයන කී දෙනෙක් උපයන ආදායම් අනුව බදු අය නොකර සිටීමට සහාය දේවි ද?!!!

    http://mises.org/daily/6421/The-Essence-of-Society-is-Peacemaking

  16. යුද්ධය යුද්ධයෙන් එහා ගෙනියන සටන් ක්‍රම දෙකක් තමයි BW, CW කියන්නේ. අවි ගත්තෝ පමණක් අවියෙන් නසන ක්‍රම නැද්ද අප්පා….. එක්කෝ එහෙමත් හොඳ නෑ. අවි ගන්න පොළඹවන උන් නසන ක්‍රම නැද්ද හැබෑටම?

    …//සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කරන්නට අපට කළහැකි යමක් නැද්ද?//…… නෑ තමයි. එකෙක්වත් කමතිද තමන්ගේ බලය අඩු කරගන්න.

    ———————————————

    අන්තිමේදී විඳවන්නේ අහක ඉන්න සාමාන්‍ය ජනතාව. මම ගිය පාර පොස්ට් එකේදිත් කිව්වේ ෆේස් ටු ෆේස් යුද්ධ කියන්නේ හැබෑම යුද්ධ කියලා. ඒවායේදී දිනන්නේ ශක්තිවන්තයා එහෙමත් නැත්නම් උපක්‍රමිකයා මිසක් දුර්වලයා නෙවෙයි.

    සටනකදී වෙන්න ඕනි ප්‍රබලයා දිනන එක. ඒ කියන්නේ තම වර්ගයාගේ ආරක්ෂාව තහවුරු කරන නායකයෙක් තේරීම තමයි ඔතනදි වෙන්න ඕනි. රටක් තව රටක් ආක්‍රමණය කළා කියන්නේ යටත් උණු රටේ සම්පත් මගින් තමන්ගේ රටේ පැවැත්ම තහවුරු කරගන්න අතරම යටත් වැසියන්ගේත් ආරක්ෂාව වගේම අනිකුත් කටයුතු සොයා බලන එක.
    දැන් මේ NBC යොදාගෙන කරන යුද්ධ වලින් වෙන්නේ ආක්‍රමණය කරන රටේ ඉන්න පරම්පරා ගානක ලෙඩ්ඩුන්ව නඩත්තු කරන්න වෙන එක. ස්වාභාවික සම්පත්වල උනත් වටිනාකමක් නැති වෙනවා. (න්‍යෂ්ටික පිපුරුමකින් පස්සේ ජාල මූලාශ්‍ර, ආහාර(ශාක හා සත්ත්ව) ආදිය භාවිතය බොහෝ කාලෙකට භයානක වෙනවා.)
    ආක්‍රමණයකින් අන්තිමේදී වෙන්නේ ආක්‍රමණය කල රටට තවත් බරක් එකතු වීම. ඒ වගේම තමන්ගේ රටේ සම්පත් උපයෝගී කරගෙන යටත්වැසියන්ට සලකන්න වෙන එක.]

    යුද්ධය කාටද සහෝදරා….
    යුද්ධය මොකටද සහෝදරා……….

    • NBC Warfare කියන්නේ මුළු ලෝකයම භීතියට පත්කරන දෙයක්. මම නොකිව්ව දේවල් ගොඩක් තියනවා. ඉදිරියේදී වෙනමම ලියන්නම්. ඒ තමයි අභ්‍යවකාශයේ සිට කෙරෙන යුද්ධ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන දේවල් ඔය බලගතු රටවල් එකක්වත් අහන්නේ නැහැ. අභ්‍යවකාශයේ සිට න්‍යෂ්ටික,ජීවවිද්‍යාත්ම,සහ රසායනික ප්‍රහාර විතරක් නෙවෙයි, ලේසර්, ඊ බෝම්බ, සහ තවත් ක්‍රම රාශියකින් පහර දෙන්න පුළුවන්.

      ඔය රටවල තියනවා එවැනි සටන් වලින් ලෝකය විනාශ වුනත් තමන්ගේ නායකයන් සහ වැදගත් සියල්ල රැකගන්න ක්‍රම. පොළොවේ ඉතා ගැඹුරේ සැකසු බංකර්, අභ්‍යවකාශයේ දින ගණනාවක් රැඳී සිට බේරෙන ක්‍රම, ආදිය. තමන්ගේ සෑම දෙයකම බැකප් හංගලා තියනවා එකක් විනාශ වුනොත් අනික ගන්න බලාගෙන. ඒ අතින් අපි ඉන්නේ කොහෙද?

      • හඳට ගිහින් සතුරු රටවල් දෙකේ ලොක්කෝ ටික එක බෝතලේ හිස් කරනගමන් පොළොවට වින කටින දවසත් වැඩි ඈතක නැතුව ඇති. එතකන්, ජයවේවා!!!

        • මම දැක්කා අඟහරු කොල්කයේ ස්ථිර පදිංචියට යන්න අයදුම්පත් කැඳවලා තියනවා. අම්මපා මුන් කොහෙන් නවතියිද මන්දා.

  17. මේවනං අති භයානක ආයුද වගෙයි. මං හිතන්නෑ මේව පාවිච්චි කරල යුද්ද කරන අයවත් අන්තිමේදි ඉතුරුවෙයි කියල. මොකද මේවයෙ ප්‍රතිඵල දීර්ඝ කාලින හින්ද. ඉතිං අන්තිමට වෙන්නෙ වැදිච්ච එකයි ගහපු එකයි දෙන්නටම යන්න වෙන එක තමයි.

  18. රසායනික අවි ගැන කියවල, අහල තිබ්බට එව්වයෙන් වෙන විනාශය මේ පින්තුර ටිකෙන් තරං කොහොමටවත් දැනුනෙ නෑ මීට කලින්. සිරියාවට ගහන්න පොටක් පාදගන්න බැරුව හිටපු ඊශ්‍රායල් කාරයො ඊයෙ පෙරේද සිරියාව රසායනික අවි පාවිච්චි කරාය කියල අල්ලගෙන නෙලල තිබ්බෙ.

    • මතකද ඔය පොතම තමයි දැම්මේ ඉරාකයටත්. ඊශ්‍රායලය පොලිස් කාරයෙක්ද? හොඳයි අපි කියමුකෝ රසායනික අවි කම්හලක් තිබුනම කියලා. ඉතිං ඒකට ඉන්නවනේ එක්සත්ජාතීන්ගේ සංවිධානය. (බෑන් කී මූන් ව චූන් කරලා යවන්න අමාරුද මන්දා) ඇත්තටම ඔය ගැහුවේ ඊශ්‍රායලය නෙවෙයි. ඊශ්‍රායලය නමැති බලල් අත පාවිච්චි කරන එක්කෙනා.

  19. sarathchandrasiri 75 said:

    මට දුක මේවට කිසිම අයුරකින් අනුබල නොදෙන ඒත් අනුන්ගේ පවු වලට ජීවිත වලින් ගෙවන්න වෙන අපි වගේ අහිංසකයෝ ගැනයි. සෑහෙන කරුනු ඇතුලත් ලිපියක්. ඔබට බොහොමත්ම ස්තුතියි මහත්මයා මේ ගන්න වෙහෙස මහන්සියට.

    • අපි නිකම් බලා ඉඳලා හරියන්නේ නැහැ සරත්. අපි පුංචි රටවල් සංවිධානය වියයුතුයි මේ අපරාධයට එරෙහිව.

      ස්තුතියි ඇගයීම ගැන.

  20. පින්තුර ටික ද්ක්කාම හිරි වැටිලා ගියා විචාරක මහත්මයා …. . එක්සත් ජනපද හමුදා වියට්නාමයේදී භාවිතා කල නාපාම් … ඒජන්ට් ඔරේන්ජ් …වගේ උග්‍ර විෂ තවමත් වියට්නාමයේ දරුණු ප්‍රතිපල දෙනවා නේද ? එක ඩිස්කවරි වාර්ථා වැඩ සටහනක පෙන්නුවා … කුඩා මිටකට ඇතුළු කල වයිරසයක් ආදාරයෙන් රුසියානුවන් විදෙශයකදී ඔත්තු කරුවකු ඝාතනය කල ආකාරය .. ප්‍රහාරයට ලක් වූ තැනැත්තා ඈතුලු කල රෝහල පසුව තහනම් කලාපයක් කොට ඇතුලේ මිනිසුන් සිටිය දීම සිල් තබා තිබෙනවා …

    • ඔබට මේ ගැන හොඳ අවබෝධයක් තිබෙන බව පෙනෙනවා. එය ලොකු සතුටක්. ඔබට පුළුවන් මෙවැනි දෙ පිළිබඳව සමාජය දැනුවත් කරන්න. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඔබ කියා තිබෙන කරුණු හරි. ඔය ලොකු රටවල සෙල්ලම් ගැන පසුව ලියන්න හිතාගෙන ඉන්නේ.

    • ඒ වයිරසයක් නෙමේ. රයිසින් නම් වසක්.මිලිග්‍රෑම් දෙකක් වැඩිත් එක්ක ඕන චන්ඩියෙක් බිම දාන්න.
      ඔය කුඩෙ කතාව ඉතාමත් සුප්‍රසිද්ධ කතාවක්.
      http://en.wikipedia.org/wiki/Georgi_Markov
      http://www.bt.cdc.gov/agent/ricin/qa.asp

  21. කොටස් 3ම කියවලා අවසන් උනාම ලෝකයේ අනාගතය පිළිබද පැහැදිලි භියක් මගේ සිතේ ඇතිවුනා. ලෝකයේ හෙට දවස කෙතරම් නම් අවිනිශ්චිතද ? ඇත්තටම මේ නවීන සොයාගැනීම් මිනිසාගේ යහපතට හේතු වන දේ උනා නම් කොපමණ වටිනවද….සෑහෙන්න වෙහෙස අරගෙන මේ දැනුම දෙන්නට ඔබතුමා ගත් වෑයමට මගෙන් ප්‍රණාමය !

    • ලෝකයේ සෑම නවීන සොයාගැනීමක්ම් මිනිසාගේ යහපතට යොදවන්න පුළුවන්. පරමාණු ශක්තිය විදුලි බලය හදන්න යොදවන්න පුළුවන්. ජීව විද්‍යාත්මක අවි කියන එක මිනිසා හදාගත්තේ ඖෂධ පිලිබඳ පර්යේෂණ නරක අතට යෙදවීමෙන්. රසායනික ද්‍රව්‍ය සෑදීමත් ඒ විදිහම තමයි. ඔය එකක්වත් මුලින්ම පටන් අරං තියෙන්නේ මිනිසාගේ යහපතටමයි. වෙඩිබෙහෙත්, ඩයිනමයිට්, ඔය ඔක්කොගෙන්ම හොන්දවද කරන්නයි හැදුවේ. නමුත් කරන්නේ මොකක්ද? මිනිසා සිත කය වචනය සංවර කරගත්දාට තමයි ලෝක සාමය ඇතිවෙන්නේ.

  22. දිමුත් said:

    ලිපි තුනම කියෙව්ව.අති විශිශ්ඨයි.මම අහල තියෙනව බොහොම ඈත අතීතෙදිත් ඔය ජීව විද්යාත්මක පාවිත්චිකරා කියල. මහා මාරියාවෙන් මිය ගියපු පුද්ගලයන්ගේ සිරුරු සතුරු බලකොටුවලට දාල ශොට් එක දීපු කතාවක් අහල තිබුන.පලවෙනි ලෝක යුද්දෙ කාලෙ සෑහෙන්න රසායනික අවි පාවිච්චි කරල තියෙනව නේ.ඔය අන්තිමටම දාල තියෙන පින්තූරෙ තියෙනව වගේ කිටක් ඇඳගෙන රෑට සතුරු කඳවුරකට බැස්සොත් ස්තුරන්ට තොවිල් නටන්න වේවි මයෙ හිතේ…….:D

    • ඔව් දිමුත්, ඔයා කියන එක හරි. ඒ විදිහට මෘත ශරීර මගින් ජීවවිද්‍යාත්මක ප්‍රහාර එල්ල කිරීම ඉතා ඈත අතීතයේදී පවා සිදුවෙලා තියනවා.

  23. ඉමල්ක ද සිල්වා said:

    /* මගේ ළඟ තියනවා පිරිමි අය පාවිච්චි කරන අර ලොකු කුඩයක්. ඒකෙ අග තියනවනේ අර කූරක්. (කුඩේ ඉහළගත්තම අහසට යොමුවෙන්නේ) මම, මගේ හතුරා අසලින් යනගමන්, ඒ කූරෙන් ඔහුව සූරාගෙන යනවා, අත්වැරදීමක් වූ ලෙසට. ඒ කූරෙන් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා අදාළ ස්විච් එක තියෙන්නේ කුඩ මිටේ. කොහොමද වැඩේ? */ මේ ක්‍රමේට සීතල යුද්ධ කාලේදී චෙක්[not sure මතක නැත ] ජාතික න්‍යෂ්ටික විද්වතෙක් ඝාතනය කල කතා පුවතක් අසා තිබෙනවා ,විචාරක තුමාට මතක ඇතිනේ ඇමරිකන් හමුදාව වියට්නාමේ කැලෑ වල ගස් වල කොළ හැලෙන්න ගුවන් මගින් රසායනික ද්‍රව්‍ය ඉස්ස අදටත් එම පෙදෙස් වල විකෘති දරු උපත් වැනි දේ වාර්තා වෙනවා , තව බොරුවට ඉරාකය ආක්‍රමණය කරන්න ඉරාකේ රසායනික අවි පාවිච්චි කිරීම , ලෝකේ රසායනික අවි පාවිච්චි කරලා තියෙන්නේ බණ කියන ඇමරිකන් කාරයෝම තමයි

    • ඔව් ඒ විදිහට මිනිස්සු මරණ එක අලුත් වැඩක් නෙවේ. දෙවැනි ලෝක යුද්ධ කාලෙත් කරලා තියනවා. ඔබ කියන විදවතා මැරීමේ කතාවත් ඇත්ත එකක්.

      වියට්නාමයේ කාන්තාර භූමි ඇතිවුනේ ඇමරිකාවෙන් ගුවනින් දාපු ‘ඒජන්ට් ඔරේන්ජ්’ නමැති රසායනික විෂ නිසා. එයින් විකෘති දරු උපත් පවා සිදුවුනා.

      කොයි චන්දියත් ලෝකෙට බණ කියනවනේ.

  24. නම අහල තිබුනට අදමයි මේ පැත්තට ගොඩ උනේ. 😉 මමත් කරුණු හොයන මාතෘකාවක් ගැන හොද දැනුමක් ලබාගන්න පුළුවන් උනා. දිගටම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුහ්ටියි 😀

  25. ලිපි තුනම කියෙව්වා. මේවා ගැන සමාජය දැනුවත් කරන එක බොහෝම වැදගත්.

    මට තේරෙන්නේ නෑ, ඇයි මේ මිනිස්සු හිතන්නේ නැත්තේ අපි මැරෙනකොට මේ කිසිම දෙයක් ගෙනියන්නේ නෑ කියලා.

    අපි වගේ පොඩි රටවල් වලට නම් කරන්න පුළුවන් හැමදේම කරන්න හදනවා. ලොකු රටවල් වලට කිසිම දෙයක් නෑ. ඉරාකයේ තියෙනවා කියපු න්‍යෂ්ටික අවි හොයාගත්තද? නෑ, සදාම් හුසේන් හිටිය කාලෙටත් වැඩිය පිරිසක් දැන් ඒ රටේ මැරෙනවා. සිරකරුවන්ට වදහිංසා කිරීම් කීයක්නම් එළියට ආවද? බැග්ඩෑඩ් කෞතුකාගාරය කොල්ල කෑවා. මේවට ඔය කියන මානව හිමිකම් එකක් වත් නෑ.

    ඇමරිකාවේ උරුමකරුවෝ කවුද? මේ රතු ඉන්දියන් වරුන්ට සිදුවූ අසාධාරණයට හඬක් නඟන්නේ කවුද?

    • අපි බලාපොරොත්තුවෙන යුක්තිය සහ සාධාරණය, නීතියෙන්වත්, බලහත්කාරයෙන්වත්, ගොඩනගන්න බැහැ. අපේම සිත, කය, වචනය සංවර වූ දාට ලෝකය ඉබේම හැදෙයි.

  26. විචාරක තුමාගේ ලිපි මම කොහොමත් කියවන්නේ ආසාවෙන් මේ ලිපියත් වගේමයි නොදන්නා දෙයක් දැනගත්තා අර සංස්කරණය කරන ලිපි පෙළත් ඉක්මනින් පල කරන්න

  27. මේවා කියවද්දී හිතෙන්නේ අපි වගේ රටවල් ඉන්නේ කොහෙද කියල. විචාරක තුමා කිව්ව වගේ, වරින් වර ඇති වෙන අමුතු ලෙඩ රෝග ගැන කල්පනා කරද්දී හිතෙනවා අපි බලවත් රටවල පර්යේෂණාගාර බවට පත් වෙලා ද කියලත්. ගහකොළ පවා..

    වෙහෙස මහන්සි වෙලා ලියපු අගනා තොරතුරු වලට ස්තුතියි..!

    • එක්කෝ අපිට වෙන වින්නැහිය දැන දැනත් නොදන්නවා වගේ ඉන්න අය ඉන්නවා කියලා මට හිතෙනවා. ලෝකයේ බහුජාතික සමාගම් කියන්නේ මිනීකාක්කෝ වගේ ජාතියක්. උන් අපේ රෙද්ද අස්සේ රිංගලා මොකද කරන්නේ කියලා හොයන්ඩ එකෙක්වත් නෑ. හේතුව අපේ ලොක්කෝ ඉන්නේ බහුජාතික සමාගම්වර රෙද්ද අස්සේ.

      අගය කිරීම ගැන ස්තුතියි.

  28. ක්සැන්ඩර් said:

    බිබිලේ දොඩම් වලට වුනු දේ, ඒ එක්කම සේනක බිබිලේ මරණය. මේ සේරම මේවගේ දේ වෙන්න බැරිද? හැකියාවක් තියනවා නේද විධාරක තුමා?

    • මේ දෙකම හොඳ උදාහරණ ක්සැන්ඩර්, බිබිලේ දොඩම් වලට ගැහුවේ 1978 සුළි සුළඟ නෙවේ කියලයි මමත් විස්වාස කරන්නේ. පේනවනේ උතුරුමැද පළාතේ වකුගඩු රෝග තත්වයේ නියම ඇත්ත එලියට එන්න කාලය ගියතරම්. සේනක බිබිලේ ගේ මරණය කවදාවත් එලියට නොඑන රහසක්.

  29. ඉතාමත් හොද වෑදගත් ලිපියක්. ගෑටලු කිහිපයක් ඈත. 1. මම අසා තියෙනව සයනය්ඩ් වෙදනාව අඩුවෙන් ඉතා ඉක්මනින් මරනයට පත්වෙන රසායනිකයක් බව.එය එසේනම් උන්ඩයකට එය දෑමිමේ ගෑටලුව කුමක්ද?(යුද්දයකදි වෙඩි තබන්නෙ කෙනෙකු මෑරිමෙ චේතනාවෙන්ම නිසා). 2. සයනය්ඩ් තහනම් නම් ‘කොටි’ සන්විදානය එය භාවිතා කල විදිය ගෑටලුවක් නෑද්ද? 3. සයනය්ඩ් කෑ පුද්ගලයෙක් කෙතරම් කාලයකින් මිය යනවද? 4. පොකුරු බොම්බ තහනම් හේතුව කුමක්ද?

    • ස්තුතියි ප්‍රශ්න වලට. මමත් කැමති මේ වගේ ප්‍රශ්න අහනවනම් තමයි.
      1. සයනයිඩ් අන්තර්ජාතික නීතිය යටතේ සංග්‍රාමික කටයුතු සඳහා භාවිතය තහනම්. එය උණ්ඩයකට දමන්නේ උණ්ඩය ශරීරය ඇතුලට නොවැදී සීරීම් තුවාලයක් ඇති කලත් එමගින් සයනයිඩ් විෂ සිරුරට ඇතුළු කිරීමටයි. ඒ නිසා ‘කනා ෂොට්’ එකකින් වුනත් මැරෙන්න ඉඩ තියනවා.
      2. කොටි සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ත්‍රස්තවාදීන්ට නීතියක් කියලා දෙයක් නැහැනේ. උන්ට හිතුන දේ කරනවා. කොටි සයනයිඩ් පාවිච්චි කිරීම ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන් පටහැනියි.
      3. මම දැක තිබෙනවා සයනයිඩ් කෑ පුද්ගලයකු විනාඩි 5 – 7 අතර වෙලාවකින් මියයනවා.
      4. පොකුරු බෝම්බ කියන්නේ කෑව මකුණයි නොකෑව මකුණයි ඔක්කොම මරණ බෝම්බයක්. මේ බෝම්බයක් දාපුවාම එයින් පිටවන කුඩා බෝම්බ සිය ගණනක් අවට පරිසරයට විහිදිලා පුපුරනවා. ඒ නිසා අහිංසක සිවිල් වැසියන්ටත් හානිවෙනවා. ඒ නිසයි තහනම් කරලා තියෙන්නේ.
      විස්තර මෙතනින් බලන්න

  30. විද්‍යාවේ දියුණුව ජීවයේ විනාශයයි. මම නම් හිතන්නෙ නෑ මිනිසුන්ගේ තණ්හාව වෛරය වගේ දේ තියෙනකම් මේ දේවල් අත් හරියි කියල. මට හිතෙන්නෙ මේ දේවල් දැක්කහම මේ ලොකය කවද හරි විනාශ වෙන්නෙ පිටසක්වල් ප්‍රහාරයකින්වත් ස්වභාවික අනතුරකින්වත් නෙමේ මහා බුද්ධියක් තියෙනවයි කියන මේ මන්ද බුද්ධික මිනිසුන් කොට්ඨාශය නිසා කියල. බලන් ගියාම බුදුන් දේශනා කරල තියෙන බුදු බණේ සත්‍යතාවය දැන් දැන් පැහැදිලි වෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: