විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  Biological-Weaponsඅපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික කරුණුවල නිරවද්‍යතාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත වියයුතු නිසා, උඩින් පල්ලෙන් ලියන්නට බැහැ.

   මේ ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ එක් එක් සමූල ඝාතක අවි වර්ග ගැනයි. එමෙන්ම වර්තමාන ලෝකයේ සමූල ඝාතක අවි භාවිතය කෙරෙහි ඇති සම්භාවිතාව කෙබඳුද යන්නත් සාකච්ඡා කරන්නට අපට අවස්ථාව තිබෙනවා. කාගෙ කාගේ කිල්ලොටෙත් හුණු තියනවා කියන පැරණි සිංහල කියමන සනාථ කරමින් ලෝකයේ බලවත් රාජ්‍ය බොහොමයක මේ සමූල ඝාතක අවි තිබෙනවා. කිසියම් දිනක මේ අවි පාවිච්චි නොකර සිටීයැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකියි. ඒ කියන්නේ අපේ ලෝකය පවතින්නේ සමූල ඝාතක අවි තර්ජන මැද කියන එකයි කියන්නට තිබෙන්නේ. සමූල ඝාතක අවි පාවිච්චි කරන යුද්ධයක් ඇතිවුනොත් අපි වැනි කුඩා රටවලට සිදුවන හානිය අති මහත්. ඒ නිසාම මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

  සමූල ඝාතක අවි පිලිබඳ ඉතිහාසය පිරික්සීමේදී කාගේත් මතකයට නැගෙන්නේ ලෝකයේ පළමුවැනි පරමාණු බෝම්බ ප්‍රහාර දෙක වෙතයි. මිනිස් ශිෂ්ඨාචාරයේ සමූල ඝාතනයන් සිදුවූ ප්‍රථම අවස්තාව එය නොවෙයි. ඉතා ඈත අතීතයේදී ලෝකයේ පවතී ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී යුද්ධ වලදීත් සමූල ඝාතන සිදුවුනා. නමුත් පරමාණු බෝම්බ ප්‍රහාරයකින් සිදුවන සමූල ඝාතනය ඊට වඩා දරුණුයි, විශාලයි, අමානුෂිකයි. සමූල ඝාතක අවි වර්ග වලින් ප්‍රථම ස්ථානය ලැබෙන්නෙත් න්‍යෂ්ටික අවි වලටයි. අපි මුලින්ම නිර්වචනය කරගනිමු න්‍යෂ්ටික අවියක් කියන්නේ මොකක්ද කියා. 

  “න්‍යෂ්ටික අවියක් යනු පරමාණු ප්‍රතික්‍රියාවක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂණිකව පිපිරීමක් සිදුකිරීමෙන් සමූල ඝාතනයක් කළහැකි බෝම්බයක් වැනි අවියකි”

  මා කල්පනා කළා ගැඹුරු න්‍යායාත්මක කරුණු වලට නොයා ඔබ සමග බොහොම සරලව මේ කරුණු සාකච්ඡා කරන්න. ඒ නිසා පරමාණු දාම ප්‍රතික්‍රියා ගැන න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන්නේ නැහැ. එය අනවශ්‍ය විදිහට ලිපිය දික්ගැසීමක් වන නිසා. එමෙන්ම පරමාණු බෝම්බ නිපදවන මූලද්‍රවය හා සමස්ථානික පිළිබඳවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා න්‍යෂ්ටික අවි වර්ග ගැන විතරක් කියන්නම්. උප වර්ග වලට නොබෙදා සරලව කියනවානම් න්‍යෂ්ටික අවි වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය සහ ජලකර බෝම්බය. මේ වර්ග දෙකෙන් වඩාත් බලවත් වන්නේ ජලකර බෝම්බයයි. ඉතා සරලව කියනවානම් ජලකර බෝම්බයක් පිපිරවීම සඳහා අවශ්‍ය අධික උෂ්ණත්වය ලබාගැනීමට පරමාණු බෝම්බයක් පුපුරවා ලබන උෂ්ණත්වය ලබාගත යුතුයි.

1

න්‍යෂ්ටික බෝම්බයක් පිපිරීමෙන් සිදුවන මහා විනාශය ක්‍රම කීපයකින් සිදුවෙනවා. අපි පියවරෙන් පියවර බලමු මොකද වෙන්නේ කියලා. න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණා වහාම ක්ෂණයකින් ඇස අන්ධ කරන අපට හීනෙන්වත් හිතාගන්න බැරි තරම් මහා ආලෝකයක් හරියට විදුලි කෙටුවා වගේ එහෙමත් නැත්නම් කැමරාවක ක්ෂනිකලෝකය වගේ පිටවෙනවා. ඒ සමගම පැතිරෙනවා මහා ගිනි බෝලයක්. ඒ ගිනි බෝලයේ උෂ්ණත්වය තීරණය වෙන්නේ බෝම්බයේ ප්‍රබලත්වය අනුවයි. එදා ජපානයට දැමූ බෝම්බයෙන් ලෝහයෙන් නිපදවුණ සියල්ල ක්ෂණයකින් උණුවී ගොස් තිබුනා. අද ඊට වටා පනස් ගුණයකට සිය ගුණයකට වඩා වැඩි බලයකින් යුත් බෝම්බ තියනවා. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද විනාශයේ තරම. මේ ගිනි බෝලයේ උෂ්ණත්වයේ බලපෑම කිලෝමීටර් පහකටත් වඩා ඈතට වුනත් දැනෙන්න පුළුවන්. අපි නිකම් කඩදාසි වගේ අළු වෙනවා. මේ බලන්න එදා හිරෝෂිමා බෝම්බයේ දී ගිනි බෝලය පැතිරුණ අන්තිම සීමාවේ සිටි කාන්තාවකගේ ඇඳුම පිළිස්සී එහි හැඩය පෙන්වන ආකාරයට ඇගේ සම පිළිස්සී තිබුන ආකාරය. 9මේ ගිනි බෝලය අහසටත් නගිනවා. පොලොව මතුපිටත් දවනවා. එයට හසුවන සියල්ල ක්ෂණයකින් දැවීයනවා. සෙල්සියස් අංශක 3000 කට වැඩි උෂ්ණත්වයක් පුංචිම පරමාණු බෝම්බයකින් ඇති කරනවා. ඊළඟට මොකද වෙන්නේ. ගිනිබෝලය පොලොව මත ඇති තද ඝන වස්තු ගල්, ගොඩනැගිලි, වැනි සෑම දෙයක්ම කුඩා කැබලි වලට පුපුරවා දමනවා. දූවිලි බවට පත්කරනවා. (ඒ නිසයි සුන්නද්දූලි කරනවා කියන වචනය මා මාතෘකාවට යෙදුවේ) ගිනි බෝලය අහසේ ඉහලට ගමන් කලාම හරියට බිම්මලක හැඩය ගන්නවා. ගිනි බෝලයේ ඉතා අධික උණුසුමෙන් අවට වායුගෝලය ක්ෂණයකින් රත්වී මහා බලසම්පන්න වායු පිපිරීමක් ඇතිවෙනවා.  එය කොතරම් ප්‍රබලද කියනවානම්, එයට හසුවන ගොඩනැගිලි බිමට සමතලා කරනවා. කෝච්චියක් වුනත් ඔසවා ඈතට විසිකරනවා. ඈත තිබෙන ගොඩනැගිලි ඉරිතලනවා. වීදුරු ජනෙල් සිල්ල කුඩුවී යනවා. කම්පනයෙන් භූමි කම්පාවක් ඇති කරන තරමට පොලොව හෙල්ලෙනවා. ඒ වායු පිපිරීම ඉතා ඈතට දැනෙන්නේ මහා සුළඟක් ලෙසයි. පරමාණු පිපිරීමෙන් ගැමාකිරණ නිකුත්වෙනවා. ඒවා විශාල දුරකට නොගියත් ඒ කිරණ වැදුන ගස් ගල්, ගොඩනැගිලි, යාන වාහන, වාතය, ජලය, විකිරණශීලී තත්වයට පත්වෙනවා. අහසට විහිදෙන ගිනි බෝලය, ඇසට පෙනෙන නොපෙනෙන සියලු ප්‍රමාණයන්ගෙන් විවිධ ද්‍රව්‍ය (පිපිරීමෙන් විනාශවූ පොලොව මත පිහිටා තිබුණු සියලුදේ වලින් කැඩී බිඳී ගිය කොටස්) අහසේ ඉහලට රැගෙන යනවා. ඒවාගේ ස්කන්ධය අනුව සුළඟ මගින් ඒවා විවිධ දුර ප්‍රමාණයන් වෙත විසුරුවනු ලබනවා. ඒ සියල්ලම විකිරණශීලී ද්‍රව්‍ය. එයින් නිකුත්වන විකිරණ ඈත පරිසර පද්ධතීන්හි සිටින සියලුම ජීවී අජීවී වස්තු වෙත ඉඳුරාම විකිරණ වල බලපෑම එල්ල කරනවා. එයින් ඇතිවන භයානක ප්‍රතිඵල වසර ගණනාවකට, පරම්පරා ගණනාවකට ඉවත්වන්නේ නැහැ. ඒ සඳහා ප්‍රතිකාරත් නැහැ. කවදා හෝ ඒ විකිරණශීලී ද්‍රව්‍ය වල විකිරණශීලී බව ඉබේම අවසන්වනතුරු ඒවා ඒ අහිතකර බලපෑම එල්ල කරමින් පවතිනවා.

10

මේ තියෙන්නේ එදා හිරෝෂිමාවට දමන ලද ප්‍රමාණයේ බෝම්බයක බලපෑමයි. 3මෙහි හයිපොසෙන්ටර් Hypocenter යනුවෙන් දැක්වෙන්නේ පිපුරුම් ලක්ෂ්‍යයේ ගැඹුරුම ස්ථානයයි. අද ලෝකයේ ඇති පරමාණු බෝම්බයකින් මෙහි දැක්වෙන දුරට වඩා විශාල දුරක් විනාශ වියහැකියි. (mi = සැතපුම්) පරමාණු බෝම්බයක් පුපුරන හැටි බලමුද.  මෙන්න එදා ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වුන පරමාණු බෝම්බයේ පිපුරුම.

පරමාණු බෝම්බයක විකිරණ බලපෑම දීර්ඝකාලීනව පවතින බවට සාක්ෂි අදත් ජපානයේ තිබෙනවා. අදටත් එහි සෑහෙන පිරිසක් සිටිනවා විකිරණ වලට ලක්වීම නිසා සුව නොවන පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ මෙන්ම ජාන විකෘතිවීම් වලට ලක්වූ අය.

  ඉතින් මේ ටික කියෙව්වට පස්සේ පරමාණු බෝම්බ එපා වුනාද? පොඩ්ඩක් ඉන්න. කෝකටත් ඔන්න ඔහේ පරමාණු බෝම්බයක සැකැස්ම ගැනත් ටිකක් ඉගෙනගන්න. කවුද දන්නේ, මේ අඩවියෙන් බලලා, ඔබටත් එකක් හදන්න පුළුවන් වුනොත්, අපිත් බොහොම බලවත් රටක් වෙනවා. (හැබැයි ඉතින් ඇමරිකන් කාරයා රෙද්ද කරේ තියාගෙන එයි සම්බාධක දාන්න) ඇත්තටම පරමාණු බෝම්බයක් සෑදීම අපහසු වන්නේ ඒ සඳහා අවශ්‍ය යුරේනියම් මූලද්‍රව්‍යය ලෝකයට හොරෙන් එකතුකිරීම සහ ප්‍රතික්‍රියාකාරක ආරම්භ කිරීමට නොහැකි බැවින්. නවීන තාක්ෂණය නිසා සෑම රටකම සිදුවන රහස් තවත් රටවල් දැනගන්නවා. ඔත්තු බලන ක්‍රම ඉතා දියුණුයි. තානාපති සේවා වලට අමතරව විවිධ ක්‍රම (රාජ්‍ය නොවන සංවිධාන, බහුජාතික සමාගම්, විවිධ ව්‍යාපාරික ජාලයන්) මගින් ඔත්තු බැලීම සිදුකෙරෙනවා. මේ බලන්න චීනය පොළොව යට න්‍යෂ්ටික අවි ගබඩාවක් හදන බව ඇමරිකානු ඔත්තු බලන චන්ද්‍රිකාවකින් දැකපු හැටි. 11පරමාණු බෝම්බයක සැකැස්ම අතිශයින් සංකීර්ණයි. එදා ජපානයට හෙලන ලද පරමාණු බෝම්බයේ සැකැස්ම පෙන්වන රූප සටහනක් තිබෙනවා. නමුත් මේ රූපයේ ඒම බෝම්බයට අදාළ වැදගත් කොටස් කීපයක් පෙන්වා නැහැ. එයට හේතුව ඒ තොරතුරු අතිශයින් රහසිගත ඒවා වීමයි. 8  Warheadපරමාණු බෝම්බයට වඩා බලවත් ජලකර බෝම්බය ගැන මා ඔබ සමග සාකච්ඡා කිරීම බලාපොරොත්තු නොවන්නේ එය ඉතා සංකීර්ණ නිසයි. නමුත් නියුට්‍රන් බෝම්බය සහ ඊ බෝම්බය පිළිබඳව කෙටි සටහනක් තැබීම වැදගත් යයි සිතුන නිසා ඒ ගැන කියන්නම්. නියුට්‍රන බෝම්බය හඳුන්වන්නේ ‘උසස් තත්වාරෝපිත විකිරණ විදාරණ අවියක් – Enhanced Radiation Weapon = ERW’ ලෙසයි. තාප න්‍යෂ්ටික අවි අතර නියුට්‍රන් බෝම්බයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මේ බෝම්බය, සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් ශක්ති විදාරණයට වඩා වෙනස්ව ක්‍රියා කරමින්, මහා බලගතු නියුට්‍රෝන ශක්ති විදාරණයක් සිදු කරනවා. මේ නිසා ජීවීන්ගේ සෛල පටල ක්ෂණයකින් විනාශ වෙනවා. ගැමා කිරණ මගින් මහා විශාල හානියක් සිදු කරනවා. වෙනත් වචන වලින් කියනවානම් සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් බලයට විනිවිද යා නොහැකි ඝනකම මතුපිටවල් (කොන්ක්‍රීට්, යුධ ටැංකිවල ඝන යකඩ ආවරණ තහඩු වැනි) විනිවිද ගොස් මහා විනාශයක් (සමූල ඝාතනයක්) සිදුකරනවා. මේ නිසා විශාල භූමි ප්‍රදේශයක සිටින යුධටන්කි සහ මිසයිල්වලින් සන්නද්ධ මහා යුද සේනාවක් විනාශ කිරීම නියුට්‍රන් බෝම්බ වඩාත් සුදුසු වෙනවා. බෝම්බ වල ශක්ති ප්‍රමාණය මනින ඒකකය වන කිලෝටොන් වලින් එකක් හෙවත් කිලෝටොන් එකක නියුට්‍රන් බෝම්බයකින් පිපුරුම් ලක්ෂ්‍යයේ සිට කිලෝ මීටර් දෙකකට ආසන්න අරයක පිහිටි ප්‍රදේශයකට බරපතල හානි සිදුකල හැකියි. (නමුත් සෑම බෝම්බයක්ම නිපදවන්නේ කිලෝටොන් එකකට වඩා වැඩි ශක්තියකින්) නියුට්‍රන් බෝම්බයක්, මිසයිලයක් මගින් හෝ, ගුවන් යානයකින් හෙලන බෝම්බයක් ලෙස හෝ, කාලතුවක්කු උණ්ඩයක් ලෙස හෝ, එල්ල කල හැකියි.

  දැන් අපි ටිකක් බලමු කවුද ලෝකේ ඉන්න ලොකුම බෝම්බ කාරයෝ කියලා. පහත දැක්වෙන සටහන කියවන්න වචන වලට වඩා ලොකු විස්තරයක් එතන තියනවා. 2දැන් පෙනෙනවා නේද තත්වය. ලෝක යුද්ධයක් ඇවිලුනොත් මුළු ලෝකයම ක්ෂණයකින් විනාශ කල හැකි තරම් න්‍යෂ්ටික අවි මහා විශාල ප්‍රමාණයක් තියනවා. මේ තොරතුරු වලට ඇතුලත් නොවී රහසිගතව තිබෙන අවි තව කොපමණ ඇද්ද කියා හිතාගන්නවත් බැහැ. ඊළඟට බලමු බොහෝදුරට නිවැරදි තොරතුරු අනුව මේ අවි කොහෙද රඳවලා තියෙන්නේ කියලා. 6ඔබ මෙම සිතියම හොඳින් නිරීක්ෂණය කලොත් පෙනෙයි මේ අවි වලින් බහුතරයක් රඳවා තිබෙන්නේ නිරක්ෂයට ඉහල ප්‍රදේශවල බව. එයට හේතුව වන්නේ පහර දීමට ඇති ඉලක්කවල පිහිටීම අනුව මෙසේ ස්ථානගත කිරීම වඩාත් වාසි සහගත වීමයි.අපි මේ කතාව ආරම්භ කල මේ ලිපියේ පළමුවැනි කොටසේදී කිව්වනේ උතුරු කොරියාවට හොඳටම තද වෙලා දකුණු කොරියාවටයි, අමරිකාවටයි, ජපානේටයි, ඔක්කොටම ගහන්න යන්නේ කියලා. උතුරු කොරියාවේ තත්වය කොහොමද? මම කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරක ශක්තිය පිලිබඳ තත්වය. බලන්න පහල සටහන දෙස. 5

 උතුරු කොරියාවට අවශ්‍යනම් ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලස්, වැනි මහා නගර වලටත් ගහන්න පුළුවන් බව පෙනෙනවා. කොහොමද වැඩේ? ලිපිය කියවාගෙන ඉදිරියට එන්න එන්නම තත්වයේ දරුණුකම නේද වඩ වඩාත් දැනෙන්නේ? මේ තමයි ලෝකයේ හැටි. මේ තමයි මනසින් උසස් කියන මිනිසාගේ හැටි. 

  ලිපියේ අද කොටස අවසන් කරන්නේ තවත් එක බෝම්බයක් ගැන කියලයි. ඒ තමා ඊ බෝම්බය හෙවත් විද්‍යුත්චුම්බක තරංග බෝම්බය. Electromagnetic Bomb එක අතකට මේ බෝම්බය බොහොම අහිංසකයි. (අහිංසක? බෝම්බ කොහෙද අහිංසක? :D) මේ බෝම්බයෙන් ජීවීන්ට ඉඳුරාම හානියක් සිදුවන්නේ නැහැ. මේ බෝම්බයෙන් කරන්නේ සාමාන්‍ය මට්ටමේ සංඛ්‍යාතවල සිට ඉතා අධික සංඛ්‍යාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග කිසියම් ඉලක්ක ගත ප්‍රදේශයක් පුරා පතුරවා හැරීමයි. hpm-bomb-2  මෙම තරංග අඩු ශක්ති මට්ටමෙන්, මධ්‍යම ප්‍රමාණයේ ශක්ති මට්ටමෙන්, සහ අධි ශක්ති මට්ටමෙන් මුදා හරින්න පුළුවන්, බෝම්බය සකසන ආකාරය අනුව. අඩු ශක්ති බෝම්බයකින් සිදුවන්නේ, ඉලක්කගත ප්‍රදේශයේ පිහිටි, සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ, සැලකිය යුතු වෙලාවක් අක්‍රියවී යාමයි. ඒ කාලය ඇතුළත, ප්‍රහාරය එල්ල කල අයට පුළුවන්, කල්තියා තමන්ගේ එවැනි පරිපථ ආරක්ෂාකාරීව තබාගෙන, සතුරු පරිපථ අක්‍රීයවූ අවස්ථාවේදී තමන්ගේ උපකරණ වලින් අවශ්‍ය වැඩ කරගන්න. මධ්‍යම මට්ටමේ ප්‍රහාරයකදී පරිගණක දත්ත අවුල්වී යන අතර පරිගණක මගින් පාලනය වන සියලුම යාන්ත්‍රික පද්ධති අක්‍රිය වෙනවා. ඉහළ මට්ටමේ ප්‍රහාරයකින් සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ සම්පූර්ණයෙන් විනාශවී යනවා. ඉතිං මේ මගින් මිසයිල් යැවීමත් අඩපන කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න රාස්සයා කන පරාස්සයා කියලා කියමනක් අපේ රටේ තියනවානේ. ඒ නිසා මේ බෝම්බ කල්තබා හඳුනාගැනීමේ ක්‍රම දැන් වැඩි දියුණු වෙමින් පවතිනවා. අනාගතේදී ලෝකය ගහගන්නේ සොල්දාදුවන් යුද භූමියට යවන්නේ නැතුව පරිගණක තාක්ෂණයෙන්. ඒ ගැන ලිපි ගොඩක් ඉදිරියේදී පලකරන්න හිතාගෙන ඉන්නවා මම.

  ‘ඊ බෝම්බය’ කියා දෙයක්, තොරතුරු තාක්ෂනයේදීත් තියනවා. ඒ කියන්නේ ඊ මේල් එකක් මගින් විනාශකාරී වෛරසයක් එවීමයි. 

  පරමාණු බෝම්බ ගැන කතා කරද්දී 1945 වසරේදී ජපානයට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාර දෙක කවදාවත් අමතක වන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ මෙතෙක් එල්ලවූ එකම පරමාණු බෝම්බ ප්‍රහාරය එයයි. මේ පිළිබඳව වෙනමම ලිපියකින් කියන්න තරම් කරුණු තියනවා. පසුව වෙනමම ලිපියක් ලියන්නම්. මේ ප්‍රහාර දෙකෙන් හිරෝෂිමා නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ 166,000 ක් පමණ මියගියා. නාගසාකි නගරයේ මියගිය සංඛ්‍යාව 800,00 ක්. ඒ ආසන්නතම ගණන් බැලීමක් පමණයි. දැන් තිබෙන පරමාණු බෝම්බයක් එදා පරමාණු බෝම්බයකට වඩා 40 ගුණයකින් පමණ ශක්තියෙන් වැඩියි. එතනින් එහා දේ ඔබම හිතන්න. කවුද මේ බෝම්බ වල නිර්මාතෘ? ඔහු තමයි ඇමරිකානු ජාතික රොබට් ඔපන්හයිමර්. පළමුවැනි වරට අත්හදා බැලීමේ පරමාණු පිපිරවීම දෙස බලාසිටි ඔහුගෙ මුවගට නිතැතින්ම නැගී තිබෙන්නේ, භගවද් ගීතාවේ එන වැකියක්. ‘මම ලෝකයට මරණය මෙන් වීමි’ යන්න එහි අරුතයි.

  මා හිතනවා මීට වඩා අද ලිපිය දීර්ඝ නොකළ යුතුයි කියා. ඔබට නැගෙන ප්‍රශ්න අනුව සහ ඔබේ වටිනා අදහස් අනුව මීළඟ කොටස සකසන්නම්. තවත් සමූල ඝාතක අවි වර්ග දෙකක් (රසායනික සහ ජීව විද්‍යාත්මක) ගැන ඉදිරි ලිපි වලදී සාකච්ඡා කරමු.

  මේ ලිපියට අදාළ සියලුම රූප සටහන් ලබාගත්තේ Google Images වෙතින්. 

My Signature for Blog2013 අප්‍රේල් මස 24 වැනි දින 1256 පැය

Advertisements

Comments on: "අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ. . . හරිද?. . (දෙවැනි කොටස) – WMD and NBC Warfare (Part Two)" (80)

  1. ඉතා වැදගත් ලිපියකි. මෙවැනි දැනුවත් කිරීම් ලෝකය පුරා අවශ්‍යව ඇති යුගයකි. ඒ නිසා මෙය ජාතික මෙහෙවරක් නොව මනුෂ්‍යයා ඇතුළුව ජීවලෝකය උදෙසා කරන ලද මෙහෙවරක් වැනිය.

  2. හරිම වැදගත් ලිපියක්. හදිසියෙ කියෙව්වෙ. බුක්මාක් කලා නිවාඩු පාඩුව කියවන්න. හිරෝශිමා ප්‍රහාරය ගැන කාන්තාවක් කියන විස්තරයක් කියෙව්වා. එයා කියෙනවා එයා දැක්ක කියල උඩු හම රබර් එකක් වගේ ගැලවුන නිරුවත් ගැනු මිනිස්සු බිම වැටිල ඉන්නව . හරිම කේදනීයයි. බොහොම ස්තූතියි ලිපියට.

    • ඔව් ඒ කාන්තාවගේ කතාව මමත් කියවලා තියනවා. ඉතා සංවේදී පින්තූර තියනවා පල කරන්නට පවා නොහිතෙන. විවේකීව ලිපිය කියවා අඩුපාඩු පෙන්වාදෙන්න.

  3. ක්සැන්ඩර් | Xander said:

    ජලකර බෝම්බය ගැනත් කිව්වනම් තමා වඩා හොඳ.. ඒ එක්කම මම අහල තියනවා කාබන් තන්තු ඉස රේඩාර් විනාශ කරන ක්‍රමයක් ගැන. ඒ කතාව ඇත්තක්ද?

  4. ලෝක විනාශය කවදාක හෝ සිදුවන්නේ මේ බෝම්බ වලින් කයලා මට හිතෙනවා. ඔබ පෙන්වා දී තිබූ දත්ව වලට අනුව ලෝකය පුරා න්‍යෂ්ටික බෝම්බ විසි දහසකට වඩා තිබෙනවා. ඒවායින් හතරෙන් ඒකක් පිපුරුනොත් අැතිවන විනාශය කොහොම තියෙයිද? නොමැරී ඉතුරු වුනත් ගෝලීය උෂ්නත්වයය ඉහල යාම තුල ලෝකයේ සියළුම ජීවීන් විනාශ වෙයි. තොරතුරු සැපයූවාට ස්තුතියි.

    • ඔබ හරියටම තේරුම් අරං තියනවා ඇත්ත තත්වය. අපි අනාගත පරපුරට තේරුම් කර දියයුතුයි ලෝකයේ ඉන්නේ එක මිනිස් වර්ගයයි, ජාති, ආගම්, කුල, භේද කියන්නේ බෝම්බ වලටත් වඩා භයානක දෙයක් කියලා.

  5. \\\ලිපියේ අද කොටස අවසන් කරන්නේ තවත් එක බෝම්බයක් ගැන කියලයි. ඒ තමා ඊ බෝම්බය හෙවත් විද්‍යුත්චුම්බක තරංග බෝම්බය. Electromagnetic Bomb එක අතකට මේ බෝම්බය බොහොම අහිංසකයි///

    මිනිහෙක්ව
    උනත් අඟුරු කරන්න පුළුවන් ලොකුවට හැදුවොත්

    මගේ මෙන්න මේ ලිපියේ කමෙන්ට් එහෙක මම
    පැහැදිලි කරලා තියෙනවා ඒ දේ කරන විදිහ ගැන
    මීට කලින් ..ඇත්තටම මේ දේවල් තමයි හරිම
    භයානක ..පුංචි සෙල්ලමකින් මුළු නගරයක්ම විනාස
    කරන්න පුළුවන් පරිගණක පද්ධතිය විනාස කරලා ..

    ඉන්නකෝ හෙමීට මේ ගැනත් ලියන්න ..මේවා ඉතින්
    තාක්ෂණිකව එළි කරා කියල මන් හිතන්නේ නැහැ
    ඒ ලිපිය දැකලා , එතනින් ලෝක විනාසේ පටන් ගනී
    කියල..මේවා හංගන්න දේවලුත් නෙවේනේ මහත්මයා …නේද ?

    ඔබේ ලිපිය අගය කරනවා ගොඩක් ..වෙලාව තියේ නම් අනික්
    කරුණුත් ලියන්න ..

    • බොහොම ස්තුතියි ඔබේ අගනා අදහස් දැක්වීමට. ඔව් ඊ බෝම්බයේ වෙනස්කම් කරන්න පුළුවන් න්කුත්කරන තරංග රටාව වෙනස් කර විවිධ ප්‍රතිඵල ලබාගැනීම සඳහා.

  6. මට දැනෙන්නේ මේ හැම දේටම යට තියෙන්නේ කැලෑ නීතිය. බලය නැත්තා බලවතාගේ ගොදුරක් බවට පත්වීම. මහා ඉහලින් ලෝක සාමය මානව අයිතීන් ගැන කට මැත දොඩන හැම එකා ඇතුලෙම ඉන්නේ තිරිසනෙක්. මනුස්සකම් තුට්‍ටුවකටවත් මායිම් නොකරන තිරිසනෙක්.අනිත් එවුන්ට ඇගිල්ල දික් කරන මුං එකෙකුටවත් පේන්නේ නෑ තමන් ඉන්නෙත් හෙලුවෙන් කියලා. එහෙම නැත්නම් බලාඉන්න එවුන්ගේ ඇස් පේන්නේ නෑ කියලා හිතනවා වෙන්නත් පුලුවන්. රට කරවන අපේ උත්තමයෝ වගේ.

    • වෙසක් එකට පොසොන් එකට දන්සල් දෙන්නේ හොර අරක්කු/රේස් බුකි/කුඩු/කාරයොනේ. පන්සලේ චෛත්‍යය, ඝන්ඨාර කුලුන, බෝධි ප්‍රාකාරය, හදන්නෙත් ඒ අය.

      අනේ කාලේ වනේ වාසේ.

  7. ලෝක යුද්ධයක බියකරු බව මැනවින් පෙන්වාදෙන කදිම ලිපියක්.. ඇග කිලිපොළා යනවා මේවා දකින කොටත්. අද දවසේ කියවන්නට ලද දෙවැනි ලිපියයි මේ.. මෙවැන්නක්ම තවත් තැනක තිබුණා එතැන ඔබත් වටිනා කමෙන්ටුවක් දමා තිබුණා… ස්තුතියි.ලෝකය ගිනි නොගනීවා … ඒ මගේ පැතුමයි.

    • ඔයා මේ කමෙන්ට් එක ගැනද කිව්වේ නලින්. ස්පෑම් ගොඩට ගිහින් තිබුනා කමෙන්ට්ස් හතරක්. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා.

      අපි බලවත් ජාතීන් නොවුනත් ලෝක යුද්ධ ඇතිවීම වැලක්වීමට අපට බොහෝදෙ කලහැකියි.

  8. අන්තිම එකනං ශෝයි…..
    (මේ තරඟෙත් එක්ක අපිටත් න්‍යෂ්ටික බෝම්බයක් නැතුව අමාරුයි, අපේ ජනාධිපති තුමාටත් කියන්න ඕන තවත් නයක් අරං චීනෙටවත් කියලා පරමානු බෝම්බ කෑල්ලක් අටවගන්න කියලා, ඊටපස්සේ පුලුවන්නේ ඒක හංබංතොට පැත්තේ ස්ථානගත කරන්නත්)

  9. හොඳ විස්තරයක්..

    1. “එමෙන්ම පරමාණු බෝම්බ නිපදවන මූලද්‍රවය හා සමස්ථානික පිළිබඳවත් කතා කරන්නේ නැහැ.” ඒ ටික කිව්වා නම් අපිට ගෙදරදිම Homemade පරමාණු බෝම්බයක් හදන්න තිබ්බනෙ.. 🙂

    2. න්‍යෂ්ටික බෝම්බ මිසයිල එහෙම අත්හදාබලද්දි ගහන්නේ කොහෙටද? අභ්‍යාවකාෂයටද? පාළු ප්‍රදේශවලටද? එතකොට ඒවායින් ලෝකයට අහිතකර බලපෑමක් වෙන්නේ නැතිද?

    3. “මෙන්න එදා ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වුන පරමාණු බෝම්බයේ පිපුරුම” වීඩියෝ කළේ කොහොමද? 🙂

    4. “මේ බලන්න චීනය පොළොව යට න්‍යෂ්ටික අවි ගබඩාවක් හදන බව ඇමරිකානු ඔත්තු බලන චන්ද්‍රිකාවකින් දැකපු හැටි. ” මම පොඩි කාලෙ බලන් ඉඳලා තියෙනවා අපේ වත්තෙත් ඔය වගේ පොළව යට ගබඩා හදන හැටි..

    5. ආයුධ සහිත රටවල් දිහා බලපුවාම බොහෝ රටවල් සංවර්ධිත රටවල් බව පේනවා.. ඒවගේම මුඩුක්කු පිරච්ච ඉන්දියාවත් පකිස්ථනෙත් ඉන්න එක තමයි පුදුම.. හරි යන්නේ නෑ.. අපිටත් ආසියාවෙ ලොකුම පරමාණු බෝම්බය හදන්න වෙනවා..

    6. “ඔබ මෙම සිතියම හොඳින් නිරීක්ෂණය කලොත් පෙනෙයි මේ අවි වලින් බහුතරයක් රඳවා තිබෙන්නේ නිරක්ෂයට ඉහල ප්‍රදේශවල බව. ” එක් එක් රටවලට ඉලක්ක කරලාද මේවා තියෙන්නෙ..

    ස්තුතියි..

    • ඊයේ හවස මේ කමෙන්ට් එකට උත්තරය ලියමින් ඉන්නකොට අපේ පැත්තට මහා වැස්සක් සමග සුළඟක් ආවා. ලයිට් ගියා. සමහර ගෙවල්වල වහලය ගලවාගෙන ගියා. ලයිට් කම්බි උඩට ගස් වැටුණා. අද 2013/04/26 උදේ 11.00 ට තමයි නැවත විදුලිය ලැබුනේ. අපේ ගෙදරටනම් කරදරයක් නැහැ. නමුත් අසල්වාසීන්ට උදවු කරලා ඉවර වුනේ රෑ 1.00 ට.

      1. හදයි කියලා තමයි බය 😀

      2. ක්‍රම කීපයක් තියනවා. ඉතා ගැඹුරු මුහුද යට. (අදනම් ඒ වැඩේ නොකරන තරම්) පොළොවේ හදන ඉතා ගැඹුරු ආවාට තුල. මහා විශාල, ඒ වගේම ජන ශූන්‍ය, කාන්තාර වැනි ප්‍රදේශවල පොලොව මතුපිට.

      3. ඒ සම්පූර්ණ ක්‍රියාන්විතය ඇමරිකාව විසින් සිනමා චිත්‍රපටි ගතකර තිබෙනවා. එයින් කෑල්ලක් තමයි ඔය.

      4. මොනවා……… ඔයාලත් ඒ කාලේ ඉඳලම ත්‍රස්තවාදියෝද? නැත්නම් කක්කා කරලා හැංගුවාද? 😀 😀

      5. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වගේ රටවල නූගතුන් ප්‍රමාණය වැඩියි. ඉතිං ඕනෙ සෙල්ලමක් කරන්න පුළුවන් ආණ්ඩුවට. (හැබැයි දැන්නම් මෙහෙත් ඒ වගේ තමයි) ඒ නූගත් මිනිසුන් පහසුවෙන් රවටන්න පුළුවන්. (ඉතිං මෙහෙත් එහෙමනේ) ඉන්දියාව සහ පාකිස්ථානය දෙන්නට දෙන්න පුදුම බයකින් ඉන්නේ. ඉතිං රටේ මිනිස්සුන්ගේ යහපතට වඩා රටේ ආරක්ෂාව ගැන හිතලා තමයි මිනිසුන්ව හාමතේ තියලා හරි බෝම්බ මිසයිල් ආදිය හදන්නේ.

      6. හරියට හරි. තමන්ගේ සතුරන්ට ඉලක්ක කරලා තමයි ස්ථානගත කරන්නේ.

  10. හප්පා හරිම භයානකයිනෙ…. 😦

    ලිපියනම් ගොඩක් වටිනවා.. බොහොම තොරතුරු දැනගත්තා.. පරමාණු බෝම්බ යුරේණියම්, ප්ලුටෝනියම් දෙකම භාවිතා කරල හදනවා නේද ?

    මම හිතන්නෙ රුසියාව පස්සෙ කාලෙක අත්හදා බැලීමේ පිපිරවීමක් කළා, බොහොම බලගතු එකක්.. ඒක ජපානෙට දාපු ඒවට වැඩිය විශාල වශයෙන් විනාශකාරී එකක්. සත්සමුදුරේ සම්පූර්ණ ලිපියක් තිබුනා ඒ ගැන..

    බලන් ගියාම රුසියාව තමා චන්ඩියා නේද ? සෑහෙන්න තියනවනෙ.. ඒ ගොල්ලො ගාව.. අපිට කවදා ඔය නිල්පාට තිතක් හරි දාගන්න ලැබෙයිද ?? 🙂

    • භයානකයි සෙන්නා, අපි යන්නේ කොහාටද කියලා අපිම දන්නේ නැහැ.

      ඔව් පරමාණු බෝම්බ ඔබ කියන මූලද්‍රව්‍ය දෙකෙන්ම හදනවා. මම වැඩි අවධානය යොමු කරේ භයානකත්වය පෙන්වන්නටයි.

      රුසියාවට වඩා භයානක ජලකර බෝම්බ අත්හදා බැලීමක් අතීතයේදී ඇමරිකාව කරලා තියනවා සහරා කාන්තාරයෙදී.

      අපිට කවදාවත් අර සිතියමේ තිතක් දාගන්න ලැබෙන්නේ නැහැ. මේ රටේ ඉන්න ජරා දේශපාලුවෝ නිසා. ඉන්දියාව පාකිස්තානය වැනි රටවල් දීර්ඝ කාලයක් වෙහෙසිලා පරමාණු බෝම්බය හැදුවේ. ඒ රටවල ආණ්ඩු වෙනස් වුනත්, මොන දේශපාලන පක්ෂය බලයේ හිටියත්, අර බෝම්බ හදන ව්‍යාපෘතිය රාජ්‍ය රහසක් ලෙස පවත්වාගත්තා. අපේ අයියලා බලයට ආව ගමන් ලෝකෙටම ඇහෙන්න කෑ ගහයි, “බුදු අම්මෝ මෙන්න අරුන් උන්ගේ කාලේදී පරමාණු බෝම්බ හදන්න හදලා” කියලා. එල්.ටී.ටී.ඊ එක ගැන තමන් දන්නා රහස් ආණ්ඩු මාරුවීමේදී නොකියපු දුෂ්ඨයෝ හිටියා. ඉතිං කුමන කතාද?

  11. මේ විනාශකාරී දේවල් හදන උන්දලම නේද ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරන්න මුලින්ම ගිරිය පුප්පන්නෙත්.

    • ගමේ ඉන්න ලොකුම චන්ඩියානේ පන්සලේ පින්කමට ගොඩක් ආධාර දෙන්නේ. 😀 පන්සලේ හාමුදුරුවෝ = එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනගත යුතුයි එවැනි ජරා සතුන් ආශ්‍රය නොකරන්න.

  12. පෝස්ට් ගොඩක් කියවගෙන ගියත් අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ! නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. නියමයි.
    පොඩ්ඩක් හමුදාවට යාමේ පිස්සුව නිසා ඔක්කොම වගෙ පෝස්ට්ස් කියෙව්වා 🙂

  13. මම මග බලාගෙන හිටපු ලිපියක් ,
    ඇත්තටම ලන්කාව අතින් හිරොශිමාවට හ නාගසාකි වලට න්‍යශ්ටික ප්‍රහාරයක් වුනා නම් දශක ගනනාවක් ම්ලේච්ච රටක් කියා ලන්කාව හන්වඩු ගසාවි ,නමුත් ලොකෙට ලොක්කා වු ඇමරිකව අතින් මෙය සිදුවු නිසා කිසිදු කතිකාවතක් නැත.
    තවද මෙ මිහිකත කිසිදා නැවත WMD භාවිතා නොවීම මගේ පැතුමයි !

    • හැබැයි ඇමරිකාව ජපානෙට ගැහුවේ ජපානේ ඇමරිකාවේ පර්ල් වරායට ගහපු ගැහිල්ල නිසයි. සටනට ගියාම මම ඔයාට ගැහුවොත් ඔයා මට ආපහු ගහන බව මම දැනගත යුතුයි. ඔයා කොහොම ගහයිද කියලා මම දන්නේ නැහැනේ. මම ඔයාට කනට ගැහුවොත් ඔයා මට පිහියෙන් අනින්න පුළුවන්. ඇමරිකාව ඇත්තටම ලැජ්ජාවට හා කනගාටුවට පත්වුනා මේ ක්‍රියාව ගැන.

      • // හැබැයි ඇමරිකාව ජපානෙට ගැහුවේ ජපානේ ඇමරිකාවේ පර්ල් වරායට ගහපු ගැහිල්ල නිසයි. //

        ඒ කතාව වැරදියි විචාරක තුමා.. ජපානෙ එතකොට යටත්වෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බෙ.. පරමාණු බෝම්බ දැමීමක් අවශ්‍ය වුනේ නෑ කොහෙත්ම.. USA ඒ වැඩේ කලේ තමන්ගෙ ශක්තිය පෙන්නන්නත් එක්ක..

      • පර්ල් හාබර් ෆිල්ම් එක හැදුවෙත් ඇමරිකාව තමන් නිර්දෝශීයි කියලා ලෝකෙට පෙන්නන්න නේද? ඒ කිව්වේ ජපානෙට ගහපු එක සාධාරණයි කියලා ලෝකෙට පෙන්නලා අත පිහදාගන්න නේද?

        • ඇමරිකාව වියට්නාම් කතා හැදුවෙත් ඒ විදිහට තමා. නමුත් ජපන් අධිරාජ්‍යයක් බිහිකිරීමේ සංකල්පයකුත් ජපානය සතුව තිබුනා.

          බූරා ගෙ කතාවෙත් අත්තක් තියනවා. නමුත් බූරා ජපානේ තමන්ගේ වැරදි වැඩ එකවුන්ට් එකට ගොඩක් වැරදි දාගෙන තිබුනා. ඇමරිකාවත් බල බලා තමයි හිටියේ අලුත හදපු ‘බඩු’ වැඩකරවන්ඩ. ජපනා පැනලා බඩු බාරගත්තා.

  14. ඒ කියන්නේ හැම එකාගෙම අවදානම් කලාපවල අපි ඉන්නවා . බයේ බැ

    • හරියට හරි. අපි හිතාගෙන ඉන්නේ අපි ලොක්කෝ කියලා. ඒ නිසා තමයි ලෝකයේ හැම පුංචි රාජ්‍යයකටම ලොකු රාජ්‍යයකට හේත්තු වෙලා ඉන්න වෙන්නේ. හරියට ගමේ චන්ඩි සයිමට සපෝට් කාරයෝ ඉන්නවා වගේ.

      • හැබැයි සමහරක් චන්ඩි සයිමලා අධිතක්සේරු කරනවා කෙරුමාගෙ සහය. ඔන්න ඔහොම කරලා තමයි රුසියව චීනෙ බදාගෙන හිටි අයියලා තොලොංජිවෙලා ගියෙ.. අවසාන මොහොතෙදි ඉස්සරහට එන්නෙ ආර්ථික කරුණු.. චීනො ලොකුම වෙලඳපොල අමෙරිකාව.. අමෙරිකාවට හෙම්බිරිස්සාව හැදුනාම චීනෙ තමයි හො‍ටු ගලන්නෙ. ඔය ටික සමහරක් ගමේ චණ්ඩි දන්නෙ නෑනෙ.. ඔන්න දැන් සිරියාවෙ චණ්ඩියා ඉල්ලං කනවා.

  15. පරමාණු අවි උත්පාදනය වූ කාලයේ දී අයිරිශ් ජාතික කතුවරයෙක් ලියූ මේ කතාව කියවන්න එන්න යැයි ආරාධනයක්. http://sinhalastory.wordpress.com/ගර්ජනය-කළ-මීයා/

  16. පුදුම බයක් හිතට ආවේ මෙ පෝස්ට්ටුව දැක්කාම.

  17. අපිත් එකක් හදමුකෝ තාත්තේ කිවොත් ,හපොයි light බිල නැග්ග විතරයි

  18. ඉරානය න්‍යෂ්ඨික බෝම්බ හදනකොට ලෝකෙටම තර්ජනයක්. එතකොට ඇමරිකාව හදද්දී? එයාලා හදන එව්වයින් එච්චරම හානියක් නැතුව ඇති මයෙ හිතේ. 5-p

    මොනවා උණත් නියමම යුද්ධ තිබුණේ ඉස්සර. ෆේස් ටු ෆේස්. දෙන්නගේ හැකියාව තමයි බැලුවේ. දැන් යුද්ධ බෝරින් වෙලා. වැඩි හරියක් ෆයිට් යන්නේ මොළෙන්.

    පිට අයට නොපෙනෙන්න ලොකූ වෙසක් කූඩුවක් ගේ අස්සෙ ඉඳන් හදලා එලියට ගන්න ගියාම කෙළවෙනවා වගේ තමයි මේකත්. ලෝකෙට හොරෙන් හැදුවට ගහන්න ගිය දවසට තමයි කෙළවෙන්නේ.

    අනික හැමෝම දඟලන්නේ ප්‍රබලත්වය වැඩි කරගන්න. අන්තිමේදී දවසක සිද්ධ වෙයි තමන්ට බේරෙන්න ඕනි නම් හඳට ගිහිං පොළොවට බෝම්බ අත අරින්න.

  19. නායකත්වයට ගමේ චණ්ඩින්ට එන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවෙන පිලිවෙල අනුව තනි පිස්සෙකුට තීරණ ගන්න බැරි වගකීමෙන් යුතුව කටයුතු කරන රටවල් අතේ මෙවුව තිබ්බට බයක් නෑ ඒත් ප්‍රශ්නෙ අලුතින් එකතුවෙන අය ඒ ගනයට නොවැටීමයි..

  20. නියම ලිපියක්, ගොඩක් විස්තර සටහන්වෙලා තියෙනව.
    මම අහල තියෙන විදියට හිරෝෂිමා වලට බෝම්බ දාපුවහම මිනිස්සුංගෙ ‍හෙවනැල්ල මැකෙන්න ඉස්සර ඒ මිනිස්සු වාෂ්ප වෙලා ගියාලු.

  21. අඩෙ අප්පේ මේ පෝස්ටුව එනකං කොච්චර දවසක් බලන් හිටියද.එල නියම පෝස්ට් එක.ඇමරිකන් කාරයො තමන් හදපු සුපිරි බෝම්බෙ ටෙස් කරල බැලුවෙ ජපානෙට දාල.බැරිවෙලා වත් ජපානෙ ඊට කලින් යටත්වුනානම් ඕක වැටෙන්නෙ වියට්නාමෙට තමයි.

    • ඇත්තටම කියනවනම් ජපානෙට දාන්න කලින් ඇමරිකාව පරමාණු බෝම්බ පරීක්ෂණ කරලයි තිබුනේ. නමුත් ජනාවාසයකට ඒ බෝම්බය හෙලීමෙන් ඇතිවන ප්‍රතිඵලය ඇමරිකාවත් කම්පනය කළා.

      • ඔව්.ජපානෙට දාන්න කලින් ඇමරිකාවෙ කාන්තරබද ප්‍රදේශයකදි ඕක ටෙස් කරා කියල අහල තියෙනව.අඩි 100ක් විතර උස වානෙ වලින් හදපු අට්ටාලෙක තියලලු ටෙස් කරේ.ඕක ඩෝං ගාපු පාර අට්ටලෙ වාශ්ප වෙලා ගියාලු.ඇමරිකාවට ඕන කම තිබුනා ඔයින් එකක් මිනිස්සු ඉන්න තැනකට දාල තමන්ගෙ පොරත්වය ලෝකයට පෙන්වන්න.

  22. පෑලියගොඩ තියනවා Atomic Energy Authority කියල ආයතනයක්.. එකෙන් ලංකාවෙ න්‍යෂ්ටික තාක්ෂනය ගැන පර්යේශන කරනවද කියන එක නම් දන්නෙනෑ.. කොහොම උනත් ලංකාව න්‍යෂ්ටික අමුද්‍රව්‍ය අතින් නම් පෝසත් රටක්.. පුල්මුඩේ වැලි නිධියෙ යුරේනියම්, ‍තෝරියම්,, ඉට්‍රියම් වගේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකරක වලට අවශය අමුද්‍රව්‍ය තියනව කියල වලට AL chemistry වලට ඉගන ගත්ත…

    • ඔව් ඒ ආයතනයෙන් සෑහෙන සේවයක් සිදුවෙනවා. මට මතකයි එතන ඉස්සර සේවය කල මහාචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මහතා ජනමාධ්‍ය මගින් බොහෝ කරුණු ගැන මහජනතාව දැනුවත් කළා.

      පුල්මුඩේ මම කලක් සේවය කළා. එහිදී ඛනිජ වැලි සංස්ථාවේ නිලධාරීන් ඒම අගනා ඛනිජ වැලි ගැන මට විස්තර ගොඩක් කියාදුන්නා. සියලුම වැලි වර්ග වල සාම්පල් අඩංගු පාර්සලයක් මට තෑගී දුන්නා. අදටත් එය මා ළඟ සුරැකිව තිබෙනවා. හැබැයි ලංකාවේදී ඒ වැලි වලින් යුරේනියම් ඇතුළු න්‍යෂ්ටික බලශක්ති වටිනාකමකින් යුත් මූලද්‍රව්‍ය නිස්සාරණය කරන්නේ නැහැ.

  23. විචාරක තුමා අපි ජපනාට බෝම්බ දාපු එක ට ඇමරිකාවට බැන්න ට ලෝක යුද්දය ට පෙර ජපනගේ එකවුන්ට් එකත් එච්චර හොද එකක් නෙවෙ නේ …. ජපන්නු චීනයේ කරපු මහා විනාශය පිලිපීනයේ මලයාවේ කරපු ජන ඝාතන හිට්ලර් යුදෙව්වන්ට වත් කලේ නෑ … අපි අවුට්විට්ස් ගැන කතා කලත් ජපන්නු චීනයේ පවත්වා ගෙනගිය එවැනි වහල් කදවුරු … සජීවී අවි පරීක්ෂණ සදහා මිනිස්සු යොදාගැනී මෙන් කල විනාශය හිරෝෂිමා නාගසාකි විනාශයට වඩා ලොකුයි …. නැංකින් සමූලඝාතනය හොද උදාහරණයක් …
    මේ න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය තුල සිටි පුද්ගයින් වැඩි දෙනා යුදෙව්වන් නේද …? ඇල්බට් අයින්ස්ටයින් / රොබර්ට් ඔපන්හයිමර් දෙදෙනා ම … මේ න්‍යෂ්ටික අවිය නිර්මාණයේ ලස්සන ඉතිහාසයක් තිබෙනවා නේද …. ?

    • ඔව් ඔබ සමග මම එකඟ වෙනවා. ජපන්නුන්නේ චරිත සහතිකය බොහොම නරකයි. තවමත් චීනයේ ඉන්නවා ජපන් සොල්දාදුවන්ගේ මනදොල සපුරන්න බිලිදුන් කාන්තාවන්.

      මම මේ ලිපියේදී බෝම්බ නිෂ්පාදනයේ ඉතිහාසය නොලිව්වේ ලිපියේ අරමුණ වන්නේ බෝම්බයේ භයානකත්වය පෙන්වාදීම පමණක් වන නිසයි.

  24. දැනටත් ඔය බලවත් රටවල් සතුව තියන විනාශකාරී අවි ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් උදා නොවේවා කියල තමයි මට කියන්න තියන්නේ. අර පොඩි දරුවාගේ පින්තූරය දැක්කම හද සසල වුනා..

    • මමත් හිතන්නේ නැහැ චන්දන, ඔය කොච්චර කයිය ගැහුවත්, ඕවා අතේ තියන ඔක්කොම රටවල් බයයි, තමන්ට බරපතල රිටන් එකක් හම්බවෙයි කියලා ඔව්වා පාවිච්චි කලොත්.

  25. ජලකර බෝම්බය ලෙස ඔබ අදහස් කරන්නේ හයිඩ්‍රජන් බෝම්බය නේද?

  26. ලිපියට ස්තුතී මහත්මයා. මම අහලා තියනවා ඈමරිකාවේ ධවල මන්දිරයේ න්‍යෂ්ටික ප්‍රහාර වලට ඔරොත්තු දෙන බන්කරයක් තියෙන බව. ඒ කියන්නේ වලින් න්‍යෂ්ටික ප්‍රහාර උනු කරන්න බෑරි ලෝහ වර්ගත් තියනවාද ? ඊට අමතරව අසා තියෙනවා ඈමරිකානු ජනාධිපතිවරයාගේ මෝටර් රථය රසායනික අවි ප්‍රහාර වලට ඔරොත්තු දෙනබව. එය General Motors සමාගම විසින් නිපදවූ එවෑනි පහසුකම් සහිත එකම රථයලු.

    • ඇමරිකාව සමහර දේවල් ගැන ‘නයි අරින’ බවත් මම අහලා තියනවා. 😀 නමුත් ඇමරිකානු ජනාධිපතිගේ ආරක්‍ෂාව සඳහා එවැනි විශේෂ උපක්‍රම සකස්කර නැහැයි කියලා කියන්නත් බැහැ. පෞද්ගලිකව මම ඒ ගැන කරුණු සොයා බලා නැහැ.

  27. Finally You made my day at the end of the conversation …😁 ඇමරිකාව සමහර දේවල් ගැන ‘නයි අරින’ බවත් මම අහලා තියනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: