විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත

‘සංග්‍රාමයෙන් පසු’ නමැති කෘතිය ඇසුරෙන්  

  img021මේ දවස්වල පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය වල අසන්නට දකින්නට ලැබෙන තොරතුරු අතර, හමුදාවෙන් පැනගිය හෝ හමුදා සේවයේ යෙදීසිටින අයවලුන් සම්බන්ධවූ අපරාධ පිළිබඳව තොරතුරු පළවෙනවා. දැන් දැන් හමුදා සාමාජිකයන් වෙත මහජන අප්‍රසාදය එල්ලවීම දකින්නට පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? හමුදා සාමාජිකයන් අපරාධ කාරයන්ද? හොරකම් කරන්නේ, මිනීමරන්නේ, ස්ත්‍රී දූෂණ කරන්නේ නැතිව ඉන්න හමුදා සාමාජිකයන්ට බැරිද? අඩු අධ්‍යාපන සුදුසුකම් තිබුනත්, හොඳ වැටුපක් සහ වෙනත් පහසුකම් රාශියක් ලබන මේ අය තෘප්තිමත් නොවන්නේ කුමන කාරනා වලින්ද? මේ කරුණුත් සම්බන්ධ කරගනිමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, පශ්චාත් සංග්‍රාමික මානව කළමනාකරණය පිළිබඳවයි. මේ සඳහා මා ආධාර කරගන්නේ වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා විසින් රචනා කර ඇති ‘සංග්‍රාමයෙන් පසු’ නමැති මනෝවිද්‍යා ග්‍රන්ථයයි. මේ පොත, ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය විසින්, අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් ලෙසයි මටනම් හිතෙන්නේ. යුද්ධයක් පවතිද්දී හෝ යුද්ධයකට පසුව හෝ සමහර සොල්දාදුවන්ගේ මනසට සිදුවන්නේ කුමක්ද? එයට හේතු මොනවාද? ඒ තත්වය මගහරවාගන්නේ කෙසේද? යන කරුණු මේ කෘතියෙහි වෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කෙරෙනවා. 

  දීර්ඝ කාලීන යුද්ධයක් පවතින රටක සිටින හමුදා සාමාජිකයන් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද, පොදුවේ ඒ රටේ මහජනතාවද, ඉතා දැඩි මානසික ආතතියකට ලක්වෙනවා. මෙහිදී වැඩිම මානසික ආතතියට ලක්වන්නේ සොල්දාදුවායි. ඔහු තමයි යුද්ධයේ භයානක, අමානුෂික, කටුක, අත්දැකීම් කෙළින්ම විඳින්නේ. ඔහුගේ පවුලේ අය සහ රටේ ජනතාවද, යුද්ධයේ ප්‍රතිඵල ලෙස, අඩු/වැඩි වශයෙන්, එවැනි කටුක අත්දැකීම් ලබනවා. මේ මානසික පීඩනය, පුද්ගලයකු මානසික රෝගියකු බවට පත්කිරීමට තරම් ප්‍රබල වන අතර, එහි අනිටු විපාක, ඒ පුද්ගලයාට මෙන්ම, ඔහු ජීවත්වන සමාජයටද අත්වෙනවා. 

  ඔබට මතක ඇති, එල්.ටී.ටී.ඊ.ය විසින්, රට පුරා බෝම්බ පුපුරවා, අහිංසක සාමාන්‍ය වැසියන් මරා දමද්දී, ගම්වලට පැන, අහිංසක මිනිසුන්, කුඩා දරුවන්, කපා කොටා ඝාතනය කරද්දී, ජීවිතය කොතරම් අවිනිශ්චිතද කියන හැඟීමෙන්, මේ රටේ ජනතාව මානසිකව වැටී සිටි අවධිය.  උදේ තම රැකියාවට ගොස් සවස ගෙදර එන එක පවා අවිනිශ්චිතව තිබුනා. සැමියා සහ බිරිඳ, ජීවිතාරක්ෂාව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, වාහන දෙකකින් රැකියාවට ගියා. ඒ කාලයේ තිබුන මානසික පීඩනය නිසා, සමහර අය ඇත්තටම රෝගීන් බවට පත්වුනා.  

  වෛද්‍ය විද්‍යාවේදී මේ තත්වය හඳුන්වන්නේ PTSD = Post Traumatic Stress Disorder යනුවෙන්. මෙහිදී මා වෛද්‍ය විද්‍යාත්මක කරුණු විස්තර කරන්න නොයන්නේ, ඒ සඳහා මට සුදුසුකම් නැති නිසයි. මා හිතනවා මෙතැන්සිට ඔබට වෛද්‍ය ජයතුංගව මුණගස්වන්නට. ඔහුගේ අගනා කෘතියෙන් උපුටාගත් පිටු කීපයක් මා ඔබ වෙත ගෙන එනවා. මුලින්ම මා ඔබෙන් ඉල්ලන්නේ මේ සමග දක්වා ඇති පොත් පිටු උඩින් පල්ලෙන් නොකියවා,විවේකීව, සවිස්තරාත්මකව, කියවා බලන ලෙසයි. එමෙන්ම මා හිතනවා ,මේ පිටු කියවා, මේ පොතම කියවන්නට ඔබ පෙළඹෙනු ඇතැයි කියා.

  එමෙන්ම ‘ආමිකාරයන්’ (නේවි, එයාෆෝස්, පොලිස්, ග්‍රාමාරක්ෂක) දෙස සාම්ප්‍රදායික චින්තනයෙන් නොබලා, මානුෂිකව බලන්නට ඔබ පෙළඹෙයි කියා මා වැඩි දුරටත් සිතනවා.

වෛද්‍ය ජයතුංග තම කෘතියේ අරමුණ පැහැදිලි කරන්නේ මෙහෙමයි.

2

  වෛද්‍ය ජයතුංග මනෝවිද්‍යා ග්‍රන්ථ 40 ක් පමණ පළ කර තිබෙනවා. මේ විෂයය කොතරම් වැදගත්ද, පශ්චාත් යුද කළමනාකරණය නිසි පරිදි ඉටු නොකිරීමේ භයානක ඵල විපාක මොනවාද, යන්න පිළිබඳව, පහත දැක්වෙන පිටු කියවීමෙන්, ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇතැයි සිතනවා. මේවා ඇත්තටම සිදුවුනාද යන්න සමහරවිට ඔබට සිතෙයි. මේ කතා ඇසුරෙන්, මනෝවිද්‍යා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ඇතුළත් ටෙලිනාට්‍ය මාලාවක් සැකසිය හැකිනම්, කොපමණ වටිනවාද කියා මට මේ කෘතිය කියවද්දී කීපවරක් සිතුනා.

  ඒත් ඉතිං අද බලන්නේ (බලෙන් පෙන්නන්නේ) ‘වංගු වංගු මී’ සහ දවස් පඩියට කරන ‘අමන ටෙලි නාට්ටි’ නේ. ඒවා බලන අතරේ මෙන්න ඩීසල් පෙට්‍රල් ලාම්පුතෙල් වලට කෙළලා. කාලා වරෙන්කො. 😀  (මේ ලිපිය සකසමින් පවතිද්දී)

  මෙතැන්සිට මා ඔබට ඉදිරිපත් කරන්නේ මානසික ආතතියට පත්වූ සොල්දාදුවන් පිළිබඳව වෛද්‍ය ජයතුංග ගේ අත්දැකීම් කීපයක්. මේවා කියවද්දී ඔබට සිතෙන දේ අදහස් ලෙස දක්වනු ඇතැයි සිතනවා.

3

4

5

6

වෙනත් සොල්දාදුවකුගේ අත්දැකීමක කොටසක්

8

එවැනිම තවත් අත්දැකීමක්

9

තවත් අවාසනාවන්ත අත්දැකීමක්

12

13

තව එක කතාවක් පමණක් පෙන්වනවා

121

122

සෙබළුන් පමණක් නොව සෙබළියන්ද මේ තත්වයට මුහුණදී තිබෙනවා.

img036

මෙන්න වෛද්‍ය ජයතුංග කියන පසුවදන

11

  මෙවැනි කතා සිය ගණනක් මේ ග්‍රන්ථයේ ඇතුලත් වෙනවා. කෘතියට සහ කතෘ ට අසාධාරණයක් වෙන නිසා මීට වඩා තොරතුරු දක්වන්නේ නැහැ. මේ පිටු කීපය කියවූ පසු ඔබට මොකද හිතෙන්නේ. මා නම් හිතන්නේ අපි තවමත් ප්‍රමාද නැහැ. සමහරවිට ඔබේ පවුලේත්, යුද්ධයට ගිහින් මේ තත්වයට පත්වූ අයත්, යුද්ධයට ගිය අය නිසා  මේ තත්වයට පත්වූ අයත්, සිටින්නට පුළුවන්. ඔවුන්ට නිසි ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාදීම අපේ යුතුකමක් වගකීමක්. මෙන්න තවත් පුංචි කතාවක්.

  මේ කතාව උපුටා ගත්තේ කළු සහ සුදු බ්ලොග් අඩවියෙන් 

  මේ කතාව නම්….හිනා යන එකක් නැහැ..මම ඒ දවස් වල 59 වාට්ටුවේ ඉගන ගන්න කාලේ…මුලතිවු සටන මතකද….?අපේ හමුදා camp එකකට කොටි ගහල..සේරම වගේ මරපු එක…මේ යුද්ද කාලේ අපිට ගොඩක් හමුදා සෙබළුන් ආවා..post traumatic stress disease නිසා…ඒ අයට relaxation කරන ඒක අපි ශිෂ්‍යයන්ට තමයි පැවරුනේ…මේක හරිම අමාරු දෙයක්..විශේෂයෙන්ම අධි මානසික පීඩනයක් යටතේ උන්න ඒ වගේ අයට…සමහරු අපිට කෙලින්ම බනිනවා…සමහරු අපිව එලවා ගන්නවා…
දවසක් එක සොල්දාදුවෙක්..හිටියා..මම relaxation session ඒක පටන් ගනිද්දී මේ ළමය මගෙන් අහනවා…”ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්…එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ “කියලා.අන්තිමේදී මම දවසක්ම ඒ ළමය කියන දේ අහන් හිටිය…තමන් එක්ක හිටපු සියලුම දෙන කැති ගාල කපා කොටලා මරද්දී..මේ ළමය තල් ගහක් උඩට වෙලා බලන් ඉඳල…ඒ මානසිකත්ව දරා ගෙන පිස්සු නැහැදී උන්න එකත් ලොකු දෙයක්…මට හිතුනා…ජීවිතේ කොයි තරම් නපුරුද..?

  ලිපිය අවසන් කිරීමට පෙර හිතට එකඟව, අවංකව, යමක් කිව යුතුයි. මේ තොරතුරු පළමුවැනි වතාවටයි මා මේ බ්ලොග් එකේ ලියන්නේ. 1999 වර්ෂයේ වනවිට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය (Security Force Headquarters – Wanni) (Vavuniya)  යටතේ පිහිටි බලසේනාවකට අයත්, පාබල බලඇණියක, අණදෙන නිලධාරි වශයෙන් මා සේවය කළා. ‘ජයසිකුරු’ මෙහෙයුමෙන් පසු වවුනියාවේ සිට උතුරු ප්‍රදේශයන් ඉතා විශාල භූමි භාගයක් අත්පත් කරගන්නට අපේ හමුදාව සමත්වුනා. හරියටම කියනවනම් මන්නාරමේ සිට මුලතිවු දක්වා ඉරක් ඇන්දොත් ඒ ඉරට උතුරෙන් අති විශාල භූමි භාගයක් අත්පත් කරගත්තා. මේ සඳහා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ භට පිරිස් යුද හමුදාව මෙන්ම භූමිය රැකගැනීමට ඉදිරි ආරක්ෂක වලල්ලේ සේවයට යොදා තිබුනා.  ඊට අමතරව, මෙතරම් විශාල භූමියක් රැකගැනීමට තරම් ප්‍රමාණවත් පාබල (Infantry) භට පිරිස් නොසිටි නිසා, යුද හමුදාවේ, සටන්කාරී නොවන, සේවා රෙජිමේන්තු වල (Service Regiments) භට පිරිස් ද, සටන්කාරී භූමිකාවේ (Combat Role) යොදවනු ලැබුවා. සාමාන්‍යයෙන්, මෙවැනි ඉදිරි ආරක්ෂක ආරක්ෂක තීරයක, (Forward Defended Locality = FDL) එක බංකරයකට සෙබළුන් තුන් දෙනෙකුවත් සිටිය යුතු වුනත්, රැකගතයුතු භූමියේ විශාලත්වය සහ භට පිරිස් ඌනතාව නිසා, අතරින්පතර බංකර් හිස්ව තබන මට්ටමට පත්වුනා. එමෙන්ම සමහර ආරක්ෂක අංශ, මේ ක්‍රියාන්විත තත්වයේ බරපතල බව, හොඳින් අවබෝධ කරගෙන සිටියේ නැති බවත් පෙනෙන්නට තිබුනා. තමන්ගේ කුඩා කණ්ඩායම් ආරක්ෂක වලල්ලේ දුර්වල තැන වලින් ඇතුළට රිංගවාගත් එල්.ටී.ටී.ඊ.ය 1999 නොවැම්බර් මස 15 හෝ ඊට ආසන්න දිනක දී, ආරක්ෂක වළල්ලට ඉදිරිපසින් සහ පසුපසින්, එකවර, රාත්‍රී කාලයේදී, මහා ප්‍රහාරයක් එල්ල කළා.  සියලුම ආරක්ෂක සැළසුම් අවුල් කරමින් කළ මේ ප්‍රහාරය නිසා, ආරක්ෂක වළල්ල බිඳ වැටුන අතර, අපේ ආරක්ෂක හමුදා ඉතිහාසයේ විශාලතම පසුබැසීම, එතැන්සිට ආරම්භ වුනා. පණිවිඩ හුවමාරුව අවුල් වුනා, සිදුවන්නේ කුමක්ද යන්න කවුරුවත් පැහැදිලිව දැනසිටියේ නැහැ, අණදීම සහ පාලනය බිඳ වැටුනා, භටපිරිස් එකිනෙකාගෙන් වෙන්වුනා. සමහරු ඉබාගාතේ යන්න පටන්ගත්තා. මගේ බලඇණියටත් ප්‍රහාරය එල්ලවුනා. සොල්දාදුවන් තිදෙනෙකු මියගියා. පසු බැසීමට ඇති හදිසිය නිසා ඔවුන්ගේ සිරුරු වලදමා එමු කියා මගේ නිලධාරීන් යෝජනා කළත්, මා කිව්වා, මිනී කුණු වෙනතුරු රැගෙන ගොස් තවදුරටත් ගෙනයන්නට බැරි තැනදී වලළමු කියා. වහාම ලී දඬු කපා මැසි තුනක් හැදුවා. ඒවායේ අර මිනී තබාගෙන කරගසාගෙන ආවා.  (මතක තබාගන්න යුද්ධයක් සිදුවන්නේ ‘අදියර phases’ කීපයකින්. පසුබැසීම යනු එහි එක පියවරක්. එහිදී අනුගමනය කලයුතු න්‍යායාත්මක කරුණු තිබෙනවා. පසුව ලිපියක් ලියන්නම්) දින දෙකකට ආසන්න කාලයකදී අපට වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයට එන්නට පුළුවන්වු නිසා නරක් වෙමින් තිබුණු සිරුරු, එම්බාම් කර සකසා, හමුදාව මගින්, ඔවුන්ගේ පවුල් වලට භාරදෙන්නට පුළුවන් වුනා. දින දෙකක් තිස්සේ අපි කැලය මැදින් අපේ සියළු බඩුබාහිරාදිය රැගෙන පසු බසින්නට උත්සාහ කලත්, මාර්ග පහසුකම් නැති නිසා, මුලින්ම අපේ වාහන විනාශ කලා, සතුරාට අත්වීමට ඉඩ නොතබා. ඊළඟට මෝටාර්, විදුලි ජෙනරේටර් වැනි දෑ වැවකට දැමුවා සතුරාට අසු නොවන්නට. ඒ වනවිට, සතුරා අප පසුපස එමින්, මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. සතුරු මෝටාර් වෙඩි අප අසලට පතිත වෙමින් තිබුන නිසා, වහාම පසුබසින්නට පටන්ගත්තා. දින දෙකක් කිසිදු ගුවන්විදුලි පණිවිඩ හුවමාරුවක් නැහැ. හමුදා දැනුමට හා පුහුණුවට පින්සිද්ධ වෙන්න, භූමියේ ගමන් කලයුතු දිශාව සොයාගෙන දිගටම ආවා. GPS එකට වතුර ගිහින් අක්‍රිය වුනා. රාත්‍රියේ මහා වැස්සකට අසුවුනා. අපි සියලුදෙනා තෙමී බත්වුනා. දෙවැනි රාත්‍රියත් එහෙමමයි. එදා මට බැරිම තැන, රෑ බිම දිගාවී සිටියදී මගේ ඇඟට යටින් මහා වතුර පාරක් ගලා ගියා. නමුත් මට එය දැනුනේ නැහැ. දෙවැනි දිනයේ මා තරමක් වික්ෂිප්ත භාවයට පත්වුණේ, අණදෙන නිලධාරියකු වශයෙන්, මා සතු වගකීම පිළිබඳව සිතා බැලීමෙදීයි. ජීවිත සියගණනක් රැකගෙන, ආපසු අපේ කඳවුරක් වෙත ගෙන ඒමේ බර, මගේ උරමත පැටවී තිබුණා. සමහර සොල්දාදුවන්, ඒ වනවිටත් ජීවිත ආසාව අතහැර, කොයි මොහොතේ හෝ සතුරු ප්‍රහාරයකින් මියයනු ඇතැයි යන මානසික කඩාවැටීමට ලක්ව සිටියා. කෙසේ හෝ දින දෙකකට පසුව, වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයට එන්නට අපට හැකි වුනත්, සිතට දැනුනු කම්පනය සෑහෙන කලක් තිබුනා. විශේෂයෙන් මේ තත්වය මගේ බිරිඳගෙන් සහ නෑ දෑ හිතවතුන්ගෙන් වසන් කරගැනීමට විශාල උත්සාහයක් දරන්නට වුනා. අප ගැන කිසිදු තොරතුරක් නැති බව ඔවුන් දැනගත්තානම්, ගෙවල් ඔක්කොම මළ ගෙවල් වෙනවා.   

img043

img044

  අපේ අණදීම යටතේ යුද බිමට යවන සොල්දාදුවන්, අපේ ඇස් ඉදිරිපිටම මස් ගොඩවල් වෙන හැටි දුටුවිට, ‘මේ කොල්ලන්ව මරාගත්තේ මමයි’ කියන හැඟීම එනවා. වරක්, මා ඉතා කලාතුරකින් ලැබුණු අවස්ථාවක් අනුව, සිංහල අවුරුදු දවස්වල ගෙදර ආවා. (බොහෝවිට අපි අවුරුද්ද සමරන්නේ යුදබිමේ) එක් දිනක්, දිවා ආහාරයෙන් පසු මා නිවසේදී කෙටි නින්දකට වැටී නොවැටී සිටියදී, එක දිගට වෙඩි හඬක් ඇසුනා. මා වහාම ඇඳෙන් පැන, පිස්තෝලය රැගෙන, බඩගාගෙන ඉදිරි දොරටුව වෙත ගියා. මගේ බිරිඳ විලාප තියන්නට පටන්ගත්තා. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් එකවරම මිදුලට හෝ දොරකඩට ආවානම්  මගෙන් වෙඩි කනවා. සිදුවී තිබුනේ අසළ නිවසක ළමයි අවුරුද්දට රතිඥ්ඥා පත්තු කිරීමයි. නමුත් යුද මානසිකත්වයේ සිටි මට, එය ඇසුනේ මැෂින් තුවක්කු වෙඩි හඬක් ලෙසයි. මගේ උසස් නිලධාරියකු මගේ මානසික තත්වය වටහාගෙන ඒ තත්වයෙන් මා මුදාගත්තා. කවුද දන්නේ, අදටත් මගේ සිතේ යම් යම් මානසික වෙනස්වීම් තිබෙනවාද කියා? මා කවදාවත් එවැනි සායනයකට සහභාගිවී නැහැ. මගේ යටතේ සිටින සොල්දාදුවන් මියයාම සහ තුවාලවීම නිසයි, මගේ මනස පීඩාවට පත්වුණේ. මේ ලිපිය ලියන්නට සෑහෙන කලකට ඉහත සිට සිතාගෙන සිටියත්, මා ප්‍රමාදවුනේ ඇයිද යන්න මටම ප්‍රශ්නයක්. සමහරවිට මගේ යටිසිත මට යෝජනා කරන්න ඇති ලියන්න එපා කියලා. 

  තවත් අත්දැකීමක් කියන්නම්, අලිමංකඩ සහ කිලිනොච්චි ප්‍රදේශවලදී වරක් අපේ අති විශාල භට පිරිසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියගියා. (ඒ ප්‍රහාර වලදී කඩවූ අපේ හමුදාවේ භටයන්ගේ මානව හිමිකම් කතාකරන්න ගියොත් ප්‍රභාකරන්ගේ හත්මුතු පරම්පරාවට අමතරව ජිනීවා වල ඉන්න ඔක්කොම අය එල්ලලා මරන්න වෙනවා. ඉතා සංවේදී සහ රහස්‍ය යුද තොරතුරු තිබෙන නිසා, ඒ සෙබළුන් මියගිය ආකාරය, මා මෙතැනදී විස්තර කරන්නේ නැහැ) මියගිය සොල්දාදුවන් සිය ගණනකගේ (මම හිතන්නේ අවම වශයෙන් 500ක් පමණ) සිරුරු, ලොරි 11 කින්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ගෙනැවිත්, වවුනියාව, පොම්පෙයිමඩු ප්‍රදේශයේදී යුද හමුදාව වෙත භාරදුන්නා. එවකට මගේ බලසේනාධිපතිගෙන් මට නියෝගයක් ලැබුනා, හඳුනා නොගන්නා සෙබළ සිරුරු, ආදාහනය කිරීමට තැනක් සකසන ලෙස. (බොහොමයක් සිරුරු කුණුවී පණුවන් ගසා තිබුනා. අපේ කොල්ලෝ ඒ පනුවන් කැදලි අතින් ඉවත් කරමින් ඒ සෙබළුන්ගේ කර පැළඳි ඩෝග් ටැග් හෙව්වා.  එල්.ටී.ටී.ඊ.ය විසින්, හිතාමතා, දිනයක් දෙකක් සිරුරු අව්වේ දමා තිබීමෙන් එහෙම වුනේ. ඔන්න මට කියවෙන්න යනවා අර නොකියන දේවල්. එහෙත් අපේ සොල්දාදුවෝ හැකිතරම් උත්සාහ කර සෑහෙන සිරුරු ගණනක් හඳුනාගෙන ගෙවල් වලට යැව්වා. හමුදාවේම සේවය කල අයියා, තම මල්ලීගේ සිරුර හඳුනාගත් අවස්ථාවකුත් තිබුණා)

  ඉතිරි සිරුරු සියල්ල අඩි 40 x 40 පමණ දිග පළලකින් යුත්, අඩි 6 ක් පමණ උස මහා දරසෑයක, රාත්‍රී 2 ට පමණ, සියලු ආගමික වතාවත් සහ හමුදා ගෞරවාචාර පවත්වා, ආදාහනය කළා. ඒ සියල්ල වීඩියෝ කර, පොත්පත්වල සටහන් කර වාර්තාකර තබාගත්තා. මේ සිරුරු ආදාහනය කළ තැන මා මගේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි සැකසූ, වනයේ පිහිටි රහසිගත ස්ථානයක්. වවුනියාව – මන්නාරම පාරට කිලෝමීටර එකහමාරක් පමණ ඈතින් තිබුණේ. මේ ස්ථානය සොයා, පින්තූර ගෙන, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය වල පළකරන්නට විවිධ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කලත්, එක්තරා උපක්‍රමයකින්, ඒ ස්ථානය සොයාගන්නට බැරිවෙන ආකාරයට, ඔවුන් නොමග යවන්නට මට පුළුවන් වුනා. මගේ ජීවිතයේදී මා එකවර එතරම් සිරුරු ගොඩක් කවදාවත් දැක තිබුනේ නැහැ. මට නොදැනුවත්වම වරින් වර මගේ දෙනෙතින් කඳුළු ගැලුවා. නරක්වූ සිරුරු වල දුර්ගන්ධය කිලෝමීටර් දෙකක් පමණ දුරට දැනුනා. දවස් ගණනක් යනතුරු මම කෑම කෑවේ නැහැ. හමුදා නිවස්නයේ උයා තිබෙන, මස් හෝ මාළු දුටුවොත්, නරක්වී තිබුණු අර සිරුරු උස්සද්දී, මස් ගැලවී අතට ආව හැටි මතක් වුනා. අරක්කු සමග ක්‍රීම් ක්‍රැකර් බිස්කට් තමා මගේ ආහාරය වුනේ. මගේ සහායකයා (බඩී) දවස පුරාම ‘අනේ සර් මොනවහරි කන්නකෝ’ කියමින් ඇවිටිලි කළත්, එය කිසිසේත් කළ නොහැකි වුනා. මෙයින් එල්.ටී.ටී.ඊ. ය සමග දැඩි කෝපයක්, වෛරයක්, පළි ගැනීමේ චේතනාවක්, හිත තුළ පැළපදියම් වුණා. ඒ සිද්ධිය අදටත් මට ඉතාම හොඳින් පියවරෙන් පියවර මතක තිබෙනවා. කාලයක් යනතුරු මේ කම්පනය මගේ හිතෙන් ඉවත් වුනේ නැහැ.  

  යුද්ධය දිනා ජයපැන් බිව් අයවත්, රටට විහිළු සපයන අමෑත්ත පාත්තයන්වත් මේ තිත්ත ඇත්ත දිහා නිකම්වත් හැරිලා බලනවාද? කොහේ හරි මහා කැලේක, පාරවල් නැති, වතුර නැති, නගරයක් අහල පහළ නැති, රෝහලක් නැති පැත්තකින්, ‘රණවිරු ගම්මාන’ කියලා කර්කශ ඉඩම් කැබැල්ලක් දීලා, ගේ පොඩ්ඩක් දීලා, අත පිහදා ගැනීම ප්‍රමාණවත්ද? එවැනි දුෂ්කර ගම්මාන වල වෙසෙන ආබාධිත, යුද්ධයෙන් මානසික පීඩාවට පත්, සෙබළුන්ගේ හිතේ, මොනවා තියනවාද කියා දන්නේ කවුද? වියට්නාම් යුද්ධයෙන් පසු ඇමරිකාවේ හමුදා සාමාජිකයන් කරන අපරාධ බොහෝසෙයින් වැඩි වුනා. ඇෆ්ඝන් යුද්ධයට මුහුණ දුන් අයත් එය නොකර සිටිත්ද? අනෙක් රටවල් වගේම තමයි අපේ රටෙත් එවැනි අපරාධ සිදුවීමට ඇති ප්‍රවණතාව බොහෝ ඉහළයි. ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. මෙවැනි සොල්දාදුවන් අපරාධ වලට ඉතා පහසුවෙන් පොලඹවා ගතහැකි බව එක දෙස්පාළුවෙකුටවත් පෙනෙන්නේ නැතුවාද, නැත්නම් නොබලා ඉන්නවාද? කවුද මේවා දිහා බලන්න ඉන්නේ? හැබෑටම අපි මේ යන්නේ කොහෙද?  

 මගේ පුස්තකාලයේ තිබෙන තවත් පොත්, ඔබ සමග ඉදිරියේදී බෙදාහදා ගන්නට මා බලාපොරොත්තු වෙනවා.

My Signature for Blog2013 පෙබරවාරි මස 23 දින 0927 පැය

Advertisements

Comments on: "යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ – Bitter Truth Behind The War" (98)

  1. විශ්ව රංගනාත් said:

    මෙතරම් මානසික පීඩාවක් විඳ රට බේරාදුන් ඔබලාට අප සදා ණය ගැතියි. නමුත් මෙසේ හිතනවා නම් ජීවිත පුදා බේරා ගත් බිම දේශපාලන කියාමාර්ග නිසා නැවත සතුරා ලබා අල්ලා ගන්නා විට(සටන් විරාම සහ වෙනත් අවස්ථා වලදී) ඔබලා කෙසේ ඉවසුවාද?
    ඔබ ලිපි ලියන විට ඉතා පරිස්සම් වනවා ඔබ අතින් රහස් පිටවිය හැකි නිසා. නමුත් එම වගකීම හැමෝම ඉටු කරනවාද. එසේම ඉතාම රහසිගතව සිදුවිය යුතු හමුදා මෙහෙයුම් වලට දායක වනන්නට කැමරා සහිත ජංගම දුරකථන බාවිතයට ඉඩ දුන්නේ ඇයි. කැමරා නැති ජංගම දුරකථන වුවත් මෙහෙයුම් සිදුවන අතරේදී බාවිතය අනාරක්ෂිතයි(රහස් තොරතුරු පිටවිය හැකිනිසා) නේද?

    • අපි කට ගෙවෙනතුරු කිව්වා හමුදාවේ කිසිම කෙනෙකුට ක්‍රියාන්විත කටයුතු පිලිබඳ සංවේදී ඡායාරූප ගන්න ඉඩ තියන්න එපා කියලා. නමුත් ඒවා අහන්න කෙනෙක් හිටියේ නැහැ.

  2. ක්සැන්ඩර් said:

    ගොඩක් සංවේදී වගේම දෑස් අරවන සටහනක්. දෙවතාවක් කියෙව්වා. අපි අද මෙහෙම ඉන්නේ මේවගේ ජීවිත කැපකරපු වීරයෝ හින්දා කියන එක අමතක කරන උන්ට නං සහ ගහනවා. ඔබ ඇතුලු සියලු විරුවන්ට මගේ ප්‍රණාමය සහ ආචාරය..

  3. බොහොම ස්තුතියි ලිපියට මහත්මයා

  4. සිටීමට යමක්…..

  5. සමහරවිට ජීවිත පූජාකල විරුවන්ටත් වඩා වද වේදනා ජීවිතය බේරුණු මෙවැනි ලක් දරුවන් විඳි හා විඳිමින් සිටින බවට රට වටා සිදුවෙන සිදුවීම් සාක්ෂි දරනවා. ඒ නිසාම සාමාන්‍ය වැසියන් පීඩා විඳින බවත් ඇත්තක්.. ඒත් වගකිවයුත්තන් මඩි තර කර ගැනීමෙන් එපිටට හිතන බවක් පෙනෙන්න නැහැ..

    • මෙවැනි දුක් විඳින බොහෝ දෙනෙක් කියන්නේ එදා මා මැරුනානම් හොඳයි කියලයි. එයින් හිතාගන්න පුළුවන් ඔවුන්ගේ වේදනාව.

  6. අපි නම් රට බේරා දුන්නාට සදා ණයගැතියි. නමුත් සොල්දාදුවාත් කරන්නේ රැකියාවක්. ඔහුත් පෙරලා තමාට ආදරය කරන්නන්ට ආදරය කරනාවාද යන්න ප්‍රශ්ණයක්.

  7. ඉතාම වටිනා ලිපියක්. ජිනීවා සමුළුව කාලේම මෙය ලිවීමෙන් වටිනාකම තවත් වැඩිවෙනවා.

  8. විචාරක තුමණි,
    ඔබ දැනටත් දන්නා පරිදි මගේ පවුලේ හමුදා සොල්දාදුවන් දෙදෙනෙක් සිටිති. ඉන් අපේ නැඟණිය යුද්ධයට සහභාගී වූ අයෙක් නොවන්නීය. නමුත් අපේ මස්සිනා ක්‍රියාකාරී යුධ සෙබලෙකි. කිසි කළෙකත් පරාජය නොහදුනන ඔහු ඉරණමඩු සටනේදී අතකට වැදුනු වෙඩිල්ලක් පෙනහළුත් පසාකරගෙන ගොස් අනූනමයෙන් දිවි ගලවා ගත්තෙකි. අද ඉතා උසස් නිළධාරියෙක් වුවත් තම අත නිසා බොහෝ දුක් විඳියි. පසුගිය මසත් මාසයක කාළයක් රෝහල්ගත වී සිටීමට සිදුවූවා.

    මේ නිසා මම දන්නවා ඒ යුද්දයේ කැළලි තිබෙන්නෙ අපේ ලඟ නෙමෙයි. එයට සහභාගී වූ ඔබ වැනි මගේ මස්සිනා වැනි අය ලඟයි. ඔවුන්ට වූ හානිය තක්සේරු කරන්නෙ කවුද? ඇත්තෙන්ම අපිට දැන් දැන් ටික ටික මේවා අමතක වෙමින් පවතින බව මමත් දන්නවා. ඒ එහෙම විය යුතුද???????

  9. මේක නම් හොදටම කියවලාම යමක් පැවසිය යුතු ලිපියක්. අද හවසට තමා කියවන්න වෙන්නේ.

  10. අපි ඔබට සැමදා අචාර කරන්නෙමු!!!!!!!!!

  11. විචාරක මහත්මයා

    මම දන්න තරමට මේ පොත ලියපු රුවන් ජයතුංග මහත්මයා හමුදා රෝහලේ හිටපු මානසික වෛද්‍යවරයෙක්.ඒ වගේම මේ අනතුර කලින්ම අඳුනගෙන, සටන් බිමේ සිදුවීම් නිසා මානසික අපහසුතා වලට මුහුන පෑ හමුදා සාමාජිකයන්ට බොහොම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් පවත්වාගෙන ගිය කෙනෙක්. කවුරුහරි උසස් මෝඩ තකතිරු නිලධාරියෙක් එම ප්‍රතිකාර ඒකකය වහල දාපු බව තමයි මම අහල තියන කතාව.සටන් පවතින කාලයට වඩා මේ වගෙ දේවල් වැඩියම ඕන මේ කාලෙටයි..රුවන් ජයතුන්ග මහතා හොඳ කෙටිකතා ලියනව බූන්දි වල තිබිල මම කීපයක් කියවල තියනව.දැන් ඉන්නෙ කැනඩාවෙ.මෙන්න මෙහෙමයි අපි හොඳ මොලවලට සලකන්නෙ.

    • මට ඔය කතාව සනාථ කරගන්න විදිහක් නැතුව හිටියේ. බොහොම ස්තුතියි. ඉස්සරහට වන දේවල් ඔය ලොක්කොම බලාගන්නේ නැතෑ.

    • ඒ කතාව ඇත්ත. මේක රුවන් ජයතුංග මහත්මයා ලිපි පල කරන්නේ lankaweb වෙබ් අඩවියේ පලවී තිබුනා. දැන් ඒ ඒකකකය යලිත් වඩාත් වැඩියෙන් ක්‍රියාත්මකයි. එහි ප්‍රධානියා නීල් ප්‍රනාන්දු මහත්මයා. ජයතුංග මහත්මයා කැනඩාවේ ගිහින් සිටින්නේ ඔහුගේ පශ්චාත් උපාධි කටයුතු සඳහා බවයි මම දන්නේ. ඒ කටයුතු අවසන් වෙලා මෙහි අපහු එන්නට සිතේවි කියල තම මම නම් ප්‍රර්ථනා කරන්නේ.

      http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/

  12. කමෙන්ට් එකක් දාන්ට වෙන්නේ පස්සේ. ඒතරම්ම සංවේදී ලිපියක් 😦

    ඔබලා හැමදෙනාටම ජාතියේ ප්‍රණාමය සහ අපේ ස්තූතිය…

  13. samajaya nodikana paththak pilibadawa liya unu satahanak.

  14. mata thawama ara athsana da ganna bari unane.

  15. මං එක් වතාවක් දැක්ක ගඟේ ගහගෙන ඇවිත් කෙසෙල් පඳුරක හිරවී තිබුණු නරක් වූ මිනිස් මල සිරුරක්. තැන් තැන් වල හම ගැලවෙලා ගිහින් තිබුනා. පස්සේ දවස් කීපයක් යනකල් මට ඒක මතක් වෙවී තිබුන.

    ඉතින් නිතර එවැනි දේ දකින සොල්දාදුවන්ගේ මනසට වෙන බලපෑම මොන තරම් ද කියල හිතා ගන්නත් අමාරුයි. රණ විරුවෝ වෙනුවෙන් කියල සෝබන වැඩ වල වෙනුවට මෙවැනි තත්ත්වයන් සඳහා පිළියම් කරන තමයි වැදගත්..

    ඔබ ඇතුළු සියලු දෙනා කල ඒ කැප කිරීමට අපේ ප්‍රණාමය…!

  16. කියන්න වචන නැහැ කියවෙන සිද්ධි ගැන. මානසික උපදේශනය තියා තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගන්නත් අමාරු රණ විරුවන්ට අද අවශ්‍ය, ඔවුන් හිමි කම් කියන උපකාර නොලැබෙන අවස්ථා තියෙන බව තමයි පෙන්නේ. ඔබ තුමා දකින්න ඇති සමහර විට අර අත් 2ත් , පාදයකුත් අහිමි සෙබලෙකුගේ වීඩියෝව. හැම දේම අමතක වෙන අපේ මිනිස්සුන්ට ඒ අයව මේ තරමින් හරි මොන තරම් කාලයක් මතක තියේවිද ? අද එහෙම ආබාධිත සෙබළෙක් තව අවුරුදු 50ක් 60ක් වුනත් ජීවත් වෙන්න පුළුවන්. මගේ මතය ඔවුන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ ඊ ළඟ පරම්පරා වලට පවා තවත් බොහෝ කාලයක් යන තුරු විශේෂ වරප්‍රසාද ලබා දිය යුතුයි. මම ඉන්නේ කිසිවක් නොවෙනවා කියන තැන නොවෙයි. වෙනවා මදි කියන තැන.

    මාතෘකාවට නැවත ආවොත්, මට මීට අවුරුදු කීපෙකට කලින් අංගොඩ රෝහලට නිතරම යන්න වුනා, ප්‍රතිකාර ගන්න නෙවෙයිම් අධ්‍යයන කටයුත්තකට. එහෙදි මට මුණ ගැහුණු රෝගීන් අතරත් හිටිය හමුදා සෙබලෙක්. සිහි බුද්ධිය ඇති විට ඉතාම සාමකාමීයි. ක්ෂණිකව ආවේගාත්මකව ළඟ සිටින අයට අණ දීම් කිරීමත්, පහර දීම් වගේ දරුණු හැසිරීම් ඔහුගේ තිබුනා. වතාවක් වෙනත් රෝගියෙකුට බරපතල තුවාල සිදු වුනා ඔසවා ඈතට විසි කිරීම නිසා. මේ තත්වය නිසා වැඩි හරියක් ඔහු හිටියේ වාට්ටුවේ නෙවෙයි කුඩුවේ. දැන ගන්න ලැබුණු විදියට ඔහු අසල සිදු වුණු පිපිරීමකින් පස්සේ තමා එහෙම රෝගී වෙලා තිබුනේ.

    මම ළඟදී දැක්කා නීරෝ ගේ මිනිය රැගෙන යන අවස්ථාවේ වීඩියෝව. සහෝදර සෙබළුන්ට ඒ වගේ දේ කොහොම දැනෙනවා ද ? එක සිද්ධියක් ද ?

    මට තියෙන තවත් එක ප්‍රශ්නයක් තමයි සමහර බක පණ්ඩිතයෝ සෙබළු ගැන තියෙන / පෙන්වන මතවාද.යුද්ධ කරන්නේ ගුද මාර්ගික අපහසුතා නිසා නොවන බව ඔවුන්ට තේරෙන්නේ නැතිවට වඩා තමන්ගේ පාරිශුද්ධ බව පෙන්නන්න වීරයෝ අපරාධ කාරයෝ ගානට දාන එක, තමයි ඉතින් ඒක.

  17. මෙය අද සමාජයේ අවදානය යොමු විය යුතු මාතෘකාවක්
    අමුත්තන්ගේ පැමිණීම 100 000 ලගයි මගෙන් සුබ පැතුම්

    • මේ comment එකට තවත් ප්‍රශ්නයක් එක්තු විය යුතුයි. සර් ,ඈත්තටම පශ්තාප් යුද මානසිකත්වයෙන් ඉන්න රන විරුවන්ට ලෑබිය යුතු ප්‍රතිකාර පිලිබදව නිසි අවදානයක් එල්ල වෙන්නෑද්ද

  18. ඇත්තෙන්ම විචාරක..මහත්මයා..මෙය කියෙව්වාම හදවත නතර උනා වගේ දැනෙනවා.

    මට හිතාගන්න බැරිව ඉන්නෙ මොනව ලියල කමෙන්ට් කොටන්නද කියල..???
    මේක කියවලා මට මෙහෙම වෙනවානම් යුධබිමේ සිටි ඔබ වැන්නන්ට කෙසේ දැනෙන්න ඕනද..?

    ඔබ තුමා දකින්න ඇත්නම් කියල හිතෙනව.

    • වීයා, ඔබේ හදවතත් මගේ හදවතත් අතර මහා ලොකු වෙනසක් නැහැ. අපට වඩා අධ්‍යාපන සුදුසුකම් අතින් පහලින් සිටින සොල්දාදුවෝ ගැන උපන් අනුකම්පාවෙන් මේ ලිපිය ලිව්වේ.

      දවසක අපි හමුවෙමු.

  19. අනේ මන්ද විචාරක මහත්මයා, මට කියන්න දෙයක් හිතාගන්න බැහැ. මට ඔය වගේ අත්දැකීම් ලැබුන නම් සමහර විට මගේ ජීවිතේම එතනින් ඉවර වෙයි. අදටත් මට ඔය වගේ මළ සිරුරු, ලේ දිහා බලන්න අමාරුයි. ඒත් යුද්ධය සම්බන්ධ සංවේදී කතා, අමානුෂික කතා මම මීට කලින් අහල නම් තියෙනව. මම හිතන්නෙ ලෝකෙ කොහේ කෙරුණත් යුද්ධය යුද්ධයම තමයි, එය අමානුෂිකයි. පේන හැටියට නම් යුද්ධයෙන් පස්සෙ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමන්ගෙ වැඩ කරගන්නව ඇරෙන්න දේශපාළුවොන්ට වෙන වැඩපිළිවෙලක් නෑ කිසිම දෙයක් සම්බන්ධයෙන්.

  20. ඔබ හා කියන්නට හැකි දේවල් දීර්ඝ වැඩියි. මෙහි ලියන්නට හැකි දේවල් ඉතා සීමිතයි. මේ මාතෘකාව තව වැඩි කල් යන්නට මත්තෙන් ලංකාවේ අය අතර කතාබහට ලක්විය යුත්තක්. සටහනක් දැම්මාට ස්තූතියි.

  21. ඔබ තුමා ලියපු ලිපි වලින් ඉතාම සංවෙදී … යුධ සෙබළකුගේ ජිවිතය නිරාවරණ ය කල විශිෂ්ටතම ලිපියක්
    .. ලියන්ඩ වචන හොයා ගන්ඩ බැ …. එවැනි කැපකිරීම් කල සෙබළුන් අමතක කොලා විතරක් නෙවී තව විකුණන් කාලා … අමාරුවෙන් ගත්තු ජයග්‍රහණයත් නන්නත්තාර කරනකොට ඇතිවෙන වේදනාව ….
    බොරු ෆැන්ටසි වලින් සමාජය ඇන්දුවට … මේ ඇත්ත කතා කරන්ඩ කවුරුවත් නැ …. යුද්ධය විරත්වයට නැගීම විතරක් පර්මානවත් නැ ….

  22. සර්,මට කියන්න වචන නැ,යුද්ද කතා කවදාවත් රසවත් නැ,මොකද හැම ජයග්‍රහණයක් ගාවම තියෙන්නේ කැප කිරීම නැත්නම් නැතිවීම,මට යුද්ද කරන්න බැරි උනා,පොඩි කැප කිරීමක් කරන්න වත් ,ඔබ තුමා තව ලියන්න මොකද අමතක වීම ස්පේ ලොකුම වැරැද්ද

  23. 99 11 18 පින්තුරය දැක්කම සතුටු හිතුනා,හැමෝම හොදින් කියල හිතනවා

  24. ඔය හා සමාන අත්දැකීම් ඇති අය අපේ පවුල් සංස්ථාවෙනුත් හොයාගන්න පුලුවන්. ඒ යුද්ධයෙන් ඉතිරි වුන අය.

    එතකොට මේ නිළ ඇඳුමේ ඉන්න ගමන්ම සංවිධානාත්මක අපරාධ කරන අයට මොකද කරන්න පුලුවන්?

    • අපේ පවුල්වල ඉන්න අය ගැන අපි වහාම ක්‍රියාත්මක වියයුතුයි.

      නිල ඇඳුමේ ඉඳන් අපරාධ වලට යොමුවන අය ගැන නීති මගින් කටයුතු කිරීමට අමතරව ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයකුත් අවශ්‍යයි.

  25. ඔබ ඇතුළු ඒ සියළු වීරයන්ට හිසනමා ආචාර කරමි !

    අපිට ඉන්නෙ නූගත් පාලකයොනෙ.. ඉතින් උන් මේවා ගැන නොදැනුවත්.. දැනුවත් උනත් දැනෙන යමක් කරයි කියලා පේන්ඩ නැති වුනත්, මේ සම්බන්ධ අවබෝධය/ දැනුම තියන අය මේ ගැන කතිකාවක් ඇති කරවලා යමක් වෙන තැනට අරගන ගියොත් හොඳයි.. මේ වගේ ලිපි ඒකට ප්‍රවිශ්ඨයක්…

  26. මේ ටික කමෙන්ට් එකක දාන්න බැරි නිසයි මේ පෝස්ට් එකට දාන්නෙ. කියවලා ඉවර වෙලා මකලා දාන්න. මොකද මම කාගෙවත් බ්ලොග් වල දැන්වීම් පල කරන්නෙ නෑ. ඒ වගෙම අදහසක් පල කරන්න.

    • ඔබේ මේ අදහස් දැක්වීම දැන්වීමක් ලෙස මම දකින්නේ නැහැ. ඒ නිසා ලින්ක් එකද සහිත මුළු කමෙන්ට් එකම අනුමත කරනවා. ඔබේ කාලීන ලිපිය අතිශයින් අගය කරනවා.

  27. මැසිම ලෙඩ උන නිසා මේ ටිකේ බ්ලොග් පැත්තෙ කරක් ගහන්ඩ උනේ නෑ..

    ලිපිය ඔෆීසියේදි බැලුවා..

    කොටන්ඩ හිතාගත්තු කමෙන්ටුව දැන් මතක නෑ..

    ඒත් මේක ඉතාම සංවේදී සටහනක් බව නොකියාම බෑ.. මේ අසහනයට පත් ජීවිතවලට සැනසීම ලබාදීමේ වගකීමෙන් මිදෙන්න පාලකයන්ට බෑ.. ඒවගේමයි හිතව්තුන්ටත් යම් වගකීමක් තියෙනවා..

    විචාරක මහත්මයාගේ ධෛර්‍යය ශක්තිය ගැන කියන්ඩ වචන නෑ..

    • මම කොහොමහරි කාගෙන ඉන්නවා කියමුකෝ. එහෙම කරගන්න බැරිඑවුන් ප්‍රශ්න විඳන්න යන්නේ මිනී මරලා. නමුත් සමාජය කියන්න ආමි කාරයෝ මිනීමරන්නමයි බලන්නේ කියලා. කාටද මේවා කියන්නේ.

  28. ලිපිය කියවලා ඉවර කලාට හිතට දැනුනු බර එහෙමම තියෙනවා වගේ දැනෙනවා. හැබෑවටම මේ හමුදා සෙබලුන් කල කැපවීම් ගැන මගේ හිතේ හොඳ අවබෝධයක් තිබුනා. ඒවගේම විශාල ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකුත්. ඒ නිසාමයි මම නිතරම ගෞරවාර්ථයෙන් ඔබව ඇමතුවෙත්. යුද්ධය ගැන බොරු පුරාජේරු නැතුව එහි හැබෑ තත්වය හැමදාම කතාකල ජීවිතය මරණය අතර සටන් කරමින් රට ‍රැකි එඩිතර මිතුරන් කිහිප දෙනෙක්ම මටත් ඉන්නවා. මමත් යුධ හමුදාවට බැ‍ඳෙන්න ආශාවෙන් මගේම ගෙදරත් එක්ක විශාල යුද්ධයක් කරපු අයෙක්. එහෙත් එදා මට මගේ පියා පරාජය කල හැකි නොවූයෙන් මට ඒ අවස්ථාව අහිමිව ගියා. දෙතුන් වතාවකදීම. එහෙත් ම මිතුරන්ට හැකිඋනා එම අවස්ථාව උදා කර ගන්න. එහෙම ගිය කිහිප දෙනෙක් අද ජීවතුන් අතර නෑ. එම අවමගුල් කටයුතු වලට සහභාගීවූ හැම වෙලාවකම මම ගෙදරත් එක්ක ගැ‍ටුම් ඇතිකර ගත් අයෙක්. රණ විරුවන් නිසාම මම බොහෝ අවස්ථාවල අන් අයත් සමග ගැ‍ටුම් ඇතිකරගෙන තියෙනවා. උන් යුද්ධ කරන්නේ රස්සාවකට කියලා කියන මිනිස්සු නිසයි ඒ. වරක් දිවයිනේ ඉතා ජනප්‍රිය සංගීත කන්ඩායමකට ආරාධනා කරලා අපේ පලාතේ පිරිසක් බජවුවක් දාන්න සූදානම් කරලා තිබුනේ ගමේහතර කොනේම ආමි එකේ කොල්ලෝ මැරුනු මළ ගෙවල් තියෙද්දී. කාරුණිකව සංවිධායකයන්ට කියලා බජවුව නතර කරන්න බැරි උන තැන කාපු එකයි නොකාපු එකයි නොබලා තලන්න පෙරමුණ ගත්තේ අපි කීප දෙනෙක්. ඒ රටේ උන්ට තමන් මේ තරමින් හරි පණ ගැට ගහගන්නේ රට වෙනුවෙන් මැරෙන මේ කොල්ලෝ නිසා කියලා තේරුම් කරලා දෙන්න බැරි වුනු තැන. ඒත් ඉතින් ලයිෂන් චන්ඩිත් ඇවිත් තලන්න සූදානම් උනේ තැලුවේ අපිට. ඒ ඔය දේශ පාළුවන්ගේ බලයට ආනුභාවයට. ඒත් අපි දිනුවේ ලයිෂන් චන්ඩිත් දුවන තැනට වැඩ සලසලා. විචාරක මහත්මයා රණ විරුවන්ට ආදරේ කරන ඔවුන්ට ගරු කරන අය තාමත් ඉන්නවා කියලා කියන්න කැමතියි මම.අවස්ථාවාදී දේශපාළුවෝ නෙමේ ඔබ තුමාලට ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පිලිවන් නම් අපේ සහයෝගය නො අඩුව ලැබෙනා බවත් කීමට මෙයම අවස්ථාවක් කර ගන්නවා මම.

  29. සර්,bodies නරක් වුනු අයගේ ගෙවල් වලට කොහොමද ඒ ගෑන පෑහෑදිලි කරන්නෙ

    • ඔවුන්ට ඇත්තම කියනවා. සිරුර හමුවුනත් නරක්වී තිබුන නිසා කරන්නට දෙයක් නොතිබුන බවත්, හමුදා ගෞරව ලබාදී අවසන් කටයුතු කලබවත්, දැනුම්දෙනවා.

      • ඩෝග් ටැග් එක නෑ.. කියන්නෙ සිරුර ඥාතීන්ට ලැබෙන්නේ නෑ කියන එකද?

        ඒ විදිහට හමුදාව විසින් භූමදාන කළ අයවත් අතුරුදහන් වූවන් විදිහටද සළකන්නෙ.?

        භූමදාන කළ ස්ථානය රහසක් ලෙස තබාගන්නේ ඇයි?

        • ඩෝග් ටැග් එක නැතත් සිරුර හඳුනගත්තානම් ඥාතීන් වෙත යැවෙනවා. සමහර විට හඳුනාගත්තත්, අධික ලෙස නරක්වීම නිසා සීල් තියලාවත් යවන්න බැරි තත්වයේ ඒවා ආදාහනය කරන්න වුනා. හඳුනා නොගෙන අවසන් කටයුතු කල අය ගැන ඉක්මනින් කළහැකි දෙයක් නැහැ.

          එක වසරක් යනතුරු අතුරුදහන් ලේඛනයේ තබන අය ඉන්පසු මියගියලෙස සලකා, වන්දි ගෙවීම ඇතුළු ඉදිරි කටයුතු කරනවා.

          ඒ ස්ථානයේ පින්තූර අරගෙන විකුණාගෙන කෑම නවත්වන්නැයි එහෙම කරන්නේ.

  30. මේක ලියනවද නැද්ද කියල කලපනා කර කර ඉඳල ලියන්නේ, වැරදියට හිතන්න එපා. පොස්ට් එක කියවලා අලිමංකඩ පැරදුන වෙලාවේ හිතේ තිබුණු දුක අයිත් අලුත් වුණා. අපේ කොල්ලන්ගේ කැපකිරීම් අගයනවා මදි.
    කියන හිතුනේ එක නෙවෙයි. චයාරුපයේ ඔබ ඉන්නේ සේප්රෙපු දාලා. මේදවස්වල වැඩි පුර කතාවෙන ප්‍රභාගේ පුතා ගේ ෆොටෝ එකෙත් සෙරෙප්පු කකුල් දෙකක් තියෙනවා. හමුදාව මෙහෙයුම් වලදී සෙප්රෙප්පු දාන්නේ නැහැ කියලයි චායාරුපය බොරු කියල කියන්න පාවිචි කරන්නේ. ඔබගේ චායාරුපය මෙ කතාව බොරු කියල කියන්න ප්‍රතිවිරුද පාර්ශවයන් පාවිචි කරන්න ඉඩ තියෙනවා. ඔබට නරක ප්‍රසිද්ද්යක් ලබෙන්නේඅත් බැරි නැහැ.
    හැබයි මට හිතෙන පිස්සු විකාර හැමෝටම හිතෙනවා කියල කියන්නත් බැහැ. පෙන්නා දෙන්න හිතුන ඔබට කරදයක් වෙන්න කලින්. මේකත් පල නොකරනවානම් හොඳයි.

    • ඔබේ අදහස් දැක්වීම ඉතා අගය කරනවා. අදහස් දැක්වීමට ඔබට ඇති අයිතියට ගරු කරනවා.

      මුලින්ම සෙරෙප්පු කතාවට උත්තර දෙන්නම්. ඡායාරූපයේ මගේ කකුල් දෙක හොඳින් පරීක්ෂා කර බලන්න. එහි මගේ කකුල්දෙක පෙනෙන්නේ බොහොම සුදුවට බව ඔබට පෙනෙයි. එහෙම වුනේ දින තුනකට ආසන්න කාලයක් බූට්ස් දමාගෙන සිටීම සහ බූට්ස් ඇතුලට වතුර ගිහින් මගේ ඇඟිලි කරු කුණුවීමට පටන්ගෙන තිබුන නිසයි. බූට්ස් ගැලෙව්වට පස්සේ ඇඟිලි කරු වලින් මිනී කුණු ගඳ ආවා. මගේ සහායකයාට මම කිව්වා නැවතුන තැනකදී මට බූට්ස් ගලවා වෙනත් පාවහන් දෙකක් දමාගැනීමට අවශ්‍ය බව. බලන්න බෝක්කුව උඩ තියන ගමන් බෑගය. එයත් යුද්ධයට ගෙනයන වර්ගයේ එකක් නෙවෙයි නේද? ඒ බෑග් එක මම නිවාඩු යන එන විට ගෙනයන බෑගය. අපි කඳවුර අතහැර එද්දී මගේ සහායකයා එය ගෙනැවිත් තිබුනා. මගේ සහායකයා (බඩී) ඒ බෑග් එකේ තිබුණු මගේ සෙරෙප්පු දෙක මට දුන්නා. මේ වනවිට සතුරු බලප්‍රදේශයෙන් අපි ඉවත්වෙලා හිටියේ. ඒ නිසා බය නැතුව සෙරෙප්පු පළඳින්න පුළුවන්. බලන්න ඡායාරූප දෙකම. වෙනත් කිසිවකු හෝ සෙරෙප්පු පැළඳ නැහැ. මම අණදෙන නිලධාරි. කවුරුවත් මගෙන් අහන්න එන්නේ නෑ ඇයි සෙරෙප්පු දාගත්තේ කියලා. ඒ වගේම බලන්න මම නිල ඇඳුමේ කමිසය ගලවා යටට අඳින ටී ෂර්ට් එකෙන් ඉන්නේ. ඒවා නිලධාරියකු සතු යම් වරප්‍රසාද.

      අලිමංකඩ අපේ පරාජය ලොකු පොලියක් එක්ක අපිට ජයගන්න ලැබුනා, අවසන් මානුෂික මෙහෙයුමේදී.

      • මගේ කමෙන්ටුව දාලා ආපසු උඩට කියවන්න එන විටයි මෙය දුටුවේ!

        මේකත් පල නොකරන්න කියා ඉල්ලා තිබෙනු දැක හිනා ගියා.

        අපේ අයගේ ලොකු වරදක් නම් සත්‍යය යට ගසා, එය බොරු යැයි පවසා බොරුවෙන් ජීවත් වීමට හැදීමයි. එය මෝඩකම මිස වෙන කුමක්ද?

  31. මේ චායාරුප වල දෙවන අණ දෙන නිලධාරියා දිහා බැලුවම පෙනෙන්නේ සාමාන්‍ය සෙබලෙක් වගේ. ඒ ආරක්ෂාවට කල දෙයක්ද?

    • ඇත්තෙන්ම එය ආරක්ෂක පියවරක්. යුද බිමේදී අපි කවුරුවත් නිල ලාංඡන අඳින්නේ නැහැ. අපේ අය පමණයි දන්නේ අපි කවුද කියලා.

  32. තද බල දේවල් ටිකක් මටත් කියන්න තියෙනවා
    පුහු හිස් සමාජයට ..ඒත් මේ ඒකට වෙලාව නෙවේ
    මහත්මයා ..

    කළු සුදුගේ බ්ලොගයේ මා දැමු කමෙන්ටුව විතරක්
    නැවත මෙතන දාන්නම් …

    —————————————————————————————————————

    මට නම් කිසිම දේකට හිනා යන්නේ නැහැ !

    යුධ හමුධා අද්දැකීම් ගැන නම් කතා කරලා වැඩක් නැහැ ..
    ඔයාගේ අර තල් ගහේ සිද්දිය කියද්දී නම් හිතට ලොකු අතීතයක්
    මතක් උනා මට..බොහොම අමාරුවෙන් යට කරන් හිටපු දෙයක් …

    \\\”ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්…එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ “////

    කියපු කෙනෙක් විදිහටත් , ඔහොම කතා අහපු කෙනෙක්
    විදිහටත් අවස්ථා දෙකෙම්ම අද්දැකීම් තියෙනවා…
    නමුත් ඉතාම කණගාටුදායකයි ගොඩක් දෙනාට හරි ප්‍රතිකාර
    ලැබෙන්නේ නැහැ …:(

    පාපතර නිලධාරී වේසයෙන් ඉන්න මෝඩ පුද්ගලයෝ ඒ අංශ
    දැන් අඩපණ කරලා …!

  33. මෙහි එන ඡායාරූපයේ (18/11/1999) ඔබ පැළද සිටින්නේ රබර් සෙරෙප්පු යුවලක් නේද?

    එය විය හැකිද?

    මා දැන සිටියේ ආමිකාරයෝ සෙරෙප්පු දාන්නේ නැත, සෙරෙප්පු දාගෙන ඉන්නවානම් ඒ ඇල්ටීටටීඊකාරයෙක්ය කියායි.

  34. යුද්ධයේ කුරිරුබව පහදා දෙන ලිපියක්.
    දෙවරක් කියෙව්වා. ස්තුතියි.

  35. මේ පොස්ට් එක කියවද්දී කීප පාරක්ම ඇඟ සිතල වෙලා යනවා වගේ දැනුන. මේ වගේ තව ‘නොකියවුනු’ කතා තව කොච්චරක් නම් ඇතිද? පොත කියවන්නත් ලොකු කුතුහලයක් ඇතිඋනා. ඔබගේ ජීවිත අත්දැකීම් එකතු වීමෙන් ලියවුනු මේ පොස්ට් එක අන්තර්ජාලයේ මම මෙතුවක් කල් කියවපු අනර්ගතම(හරියටම කියන්න ඕනි දේ කියන්න වචනයක් එන්නේ නැහැ. ඒ නිසා ‘අනර්ගතම’ කියල දැම්මේ) ලිපිය කියන්න පුළුවන්..

  36. කේ.යු.ජී.උදාර said:

    රත්තරං වටින ලිපියක් නොවැ…………
    බොහොම ස්තූතියි.
    මේ පොතේ ගාණයි, ප්‍රකාශකයින් කවුද කියල යි කියන්න පුළුවන් ද?

  37. කාලෝචිත අනර්ඝ ලිපියක් …

  38. මේකනම් ලිපියට අදාල ප්‍රශ්නයක් නෙමේයි විචාරක තුමා, බළකාය හා රෙජිමේන්තුව අතර වෙනස්කම් තියනවද ?

    • වෙනසක් තියනවා. මේකයි වෙනස. අපේ හමුදාව පවත්වාගෙන යන්නේ බ්‍රිතාන්‍ය හමුදාවෙන් අප ලබාගත් පූර්වාදර්ශයන් යටතේ. (සම්පූර්ණ කොපියක් නෙවේ. අපට ආවේනික දේවලුත් එකතු කරලා තියනවා)
      පළමුව වචන තේරුම කියන්නම්. බලකාය =corps (මෙය උච්ඡාරණය කරන්නේ ‘කෝ’ කියලයි.) රෙජිමේන්තුව = Regiment බලකාය සහ රෙජිමේන්තුව කියන දෙකම හැදෙන්නේ බලඇණි = Battalion ගණනාවක් එක්වීමෙන්. රෙජිමේන්තුව කියන වචනය බොහෝවිට යෙදෙන්නේ පාබල හමුදා එක්ව සැදුනු බලකායකටයි. කෙලින්ම භූමියේ පා ගමනින් නොගොස් සටන් කරන සන්නාහ සන්නද්ධ (යුද්ධ ටැංකි) සහ ප්‍රවාහන, ඉන්දන, ඇඳුම්, තුවක්කු පතරොම්, ආදිය සපයන ඒවා බලකාය ලෙස හඳුන්වනවා.

  39. බ්ලොග් අඩවියේ දැක්ක හොඳම ලිපිය

  40. මං ඔබතුමාගෙන් බලාපොරොත්තුව හිටපු විදියේ පෝස්ට් එකක්.

    මේ වගේ සිද්ධි ෆිල්ම් වලින් දැකලා තියෙනවා. ඒවායින් යම් කම්පනයක් ඇතිවෙලත් තියෙනවා. ඒත් මෙච්චර දෙයක්….
    මං අපේ ආච්චිලාගේ ගෙදර ඉද්දි ඒ නගරයට කොටි ආවා කියලා පණිවිඩයක් ලැබිලා රෑ ගත කරපු හැටි මතක් වෙනවා. ඒ වගේම කැබිතිගොල්ලෑවෙ බස් බෝම්බෙන් පස්සේ වෙච්ච සිද්ධියකට මාත් කොටු වෙලා තියෙනවා. ඒ ගැන කිව්වොත් ඔබතුමා මට මාස දෙක තුනකට හරියන්න හිනාවෙයි. ඒ වගේම මං ඔය වගේ සිද්ධියකට මූණ දුන්නොත් මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ.

    අපේ අයියා ට්‍රින්කෝ පැත්තෙ ඉද්දි මං හිටපු තත්ත්වේ ගැන කියන්න වචන නෑ. වාකරේ සයිට් එක ඉවරවෙලා ඇවිත් මාසයක් යන්න ඉස්සෙල්ලා තමයි හොස්පිට්ල් එක අල්ල ගත්තෙත්.


    මේ ලිපියේ ලොකුම කම්පනයක් ඇතිවෙච්ච සිද්ධි දෙක තමා සෙබලෙක්ගේ අම්මා දිවි නසා ගැනීම වගේම අයියා මල්ලිව හඳුනා ගැනීම.

    ගෙදර අයට තමන් මුහුණ දෙන සැබෑ තත්ත්වය නොකීම මං අතිනුත් වෙන කාරණයක්. උඩින් කියපු කැබිතිගොල්ලෑවෙ සිද්ධිය අදටත් ගෙදරින් දන්නෑ. අනික මගේ රාජකාරියේ හැටියට පිට ගියොත් (Out station) රෑ හත අට පහුවෙලා තමයි පිටත් වෙන්න වෙන්නේ. බයික් එකේ. ඉතින් කරන්නේ හවස හයට විතර කෝල් එකක් දෙනවා දැන් පිටත් උණා කියලා. එහෙමත් නැත්නම් කොච්චර දුර හිටියත් ගෙදරට කියන්නේ ගෙ ළඟම නගරේ ඉන්නවා කියලා. එතකොට රෑ උණත් බය අඩුයිනේ. හැබැයි අයියටනම් කියලා තියෙනවා. නැත්නම් මහා රෑ බයික් ඒකත් එක්ක වාහනයක් යට හිටියත් බල්ලෙක්වත් දන්නෑනේ… 😀

    ——–

    ඔබතුමා ගිමන් හරින දර්ශනයේ කකුල් දෙකේ සුදු පාටින් හිතා ගත්තහැකිකොච්චර දවසක් සපත්තු ගලෝලා නැද්ද කියලා.

    • මේ ලිපිය ලිව්වා නෙවෙයි ලියවුනා කිව්වොත් නිවැරදියි. මොන කරුමයක්ද මන්දා අපේ මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට අතීතය අමතක වෙන්නේ.

      තමන්ගේ පවුලේ කෙනෙක් විතරක් නෙවෙයි අසල්වැසි කෙනෙක් යුද්දෙට ගිහින් හිටිය දවස්වල ඒ අය වෙනුවෙන් බෝධිපූජා තියපු අයත් හිටියා. ගෙවල්වල අයගේ හිතේ ගිනි ඇවිලීම නැතිකරන්න අපි කොච්චර බොරු කියලා බොරු කරලා ඇද්ද? හැබැයි ඒවටනම් පව් නෑ.

      අපේ අසල්වැසි මිතුරන් කණ්ඩායමක් ඉන්නවා යාපනේ ඉන්නවානම් ගෙදරට කියනවා මහනුවර ඉන්නේ කියලා. අපට කියනවා ඇත්ත විස්තරය. ඔය වැඩේ කරන්න පුළුවන් ඉහත ආත්මයේ සිට බැඳීමක් තියන නෑ දෑ හිතවතුන් සමග පමණයි.

    • කමෙන්ට් ටිකත් බලලම ආවා..

      අපේ රටේ ඉන්න දේශපාලුවෝ සේරම දවසක මරණ බය දැනෙන්නත් එක්ක කැලේකට දාලා තියන්න ඕනි රෑ එලිවෙනකන්ම. එහෙම උනොත් මොනවා වෙයිද? ත්‍රස්තවාදියෙක් ඕනි නෑ. නිකං ලී දණ්ඩක් අරන් යන මිනිහෙක් ඈත දැක්කත් කියයි,
      “මම නෙමේ මේක කරන්නේ. අනේ අරූ තමයි ඔක්කොටම මුල. මාව මරන්න එපා. මං ඔබ තුමාට ඉල්ලන හැමදේම දෙන්නම්” කියලා. ඔන්න ඕකයි අපේ දේශප්‍රේමීන්ගේ නියම තත්ත්වය. (පක්ෂ සියල්ලේම දේශපාලුවන්ට අදාලයි)

      එක අතකින් දැනටත් වෙන්නේ ඒකම තමයි. තමන්ට තර්ජනයක්නම් කොච්චර හොඳ උණත් ඒ මිනිහව ඇතුලට දාලා, තමන්ට ලොකු අවුලක් නැත්නම් රටෙන් බාගයක්ම මරපු එකෙක් උණත් රජ ගෙට ගන්න පුළුවන් අයනේ ඉන්නේ.

      ළඟදීම පොලීසියට වෙච්ච දේ ආමි එකෙනුත් දකින්න ලැබෙයිද මංදා…..
      (පීචං වීම)
      ——
      පොඩි ප්‍රශ්ණ දෙකක් තියෙනවා. කැමතිනම් උත්තර දෙන්න.

      1).රජ සැප විඳින කේ.පී., කරුණා, පිල්ලියාන් ගැන මොකද හිතෙන්නේ?

      2).මේ අයට උපරිම ආරක්ෂාවක් දීලා උන්ට සර් කියලා සැලියුට් ගහන්න වෙච්ච එක ගැන මොකද හිතෙන්නේ? (විශේෂයෙන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ඉඳලා දරුණු අත්දැකීම් වලට මූණ දෙන්න වෙච්ච සෙබළෙකුට මේ වගේ අත්දැකීමකට මූණ දෙන්න උනොත්?)

      • අමුතුවෙන් කාලෙකට ගිහින් දාල මරණ බය දන්වන්න ඕනේ නැහැ. ඕකුන් ඔක්කොම දවකට සිය දහස් වාරයක් හිතෙන මැරි මැරී උපදිනවා. ඕකුන් දන්නවා තමන්ගේ අනාගතය සුබ නැතිබව.

        1. තමන්ගේ රජසැප වෙනුවෙන්, දේශයේ අභිමානය, ජාතියේ ගෞරවය, සන්නද්ධ සේවාවන්හි කීර්තිය, පාවාදෙන, පාහරයකුගේ කූටප්‍රාප්තිය තමයි මේ. හැබැයි ඔය ත්‍රස්තවාදීන්ගේ ඉරණම අපේ ජීවිත කාලය තුලම විසඳෙන හැටි බලන්න පුළුවන් වෙනවා.

        2. උන්ට ආචාර කිරීමෙන් වැළකීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් විශේෂ උපක්‍රම යොදනවා හැකි සෑම විටම. මුන්ව මරාගෙන මැරෙන්න කැමති අපේ කොල්ලෝ අදත් ඉන්නවා. පරම්පරාවෙන්ම පළිගනියි කියන බයටයි එහෙම නොකරන්නේ. කවදා හෝ මුන්ගේ ඉරණම විසඳෙනවා සාධාරණයට තැන ලැබීමෙන්. එය වැඩි ඈතක නොවේ.

      • ඉවසීමෙන් සැනසීම ලැබේ.
        දරුණු ප්‍රශ්නවලට කාලය හොඳම ඔසුවකි.

      • AKM

        “ළඟදීම පොලීසියට වෙච්ච දේ ආමි එකෙනුත් දකින්න ලැබෙයිද මංදා…..
        (පීචං වීම)”

        ++++++++++++++

  41. ඇත්තටම කියනවනම් මහත්තයෝ…. ඉතාම සංවේදී ලිපියක් අපේ සිංහල ජාතිය ගැන කලකිරෙන්නේ මුන්ට කාලගුණ අමතක වෙන ඉක්මන දැක්කම. අද උතුරට ට්‍රිප් යන මුන්ට මතක නැහැ එළවලු ගන්න පිටකොටුවට ගියේ කොච්චර බයකින්ද කියලා. ඇත්තටම ඉහත සඳහන් ආකාරයේ පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් අපිවෙනුවෙන් සේවයක් කල ඔබතුමන්ලාට ජාති ජාතිත් පිං එච්චරයි මට කියන්න තියෙන්නේ. අපේ එවුන්ට ඔක්කොම මතක ඒ සිද්දියේ උණුසුම තියෙනකම් විතරයි.

  42. මේ ගැන දැනුවත් කළාට ස්තූතියි. මේ ගැන මුද්‍රිත වගේම විද්‍යුත් මාධ්‍යයෙනුත් සමාජය දැනුවත් කළොත් හොඳයි කියලා හිතනවා.
    ඔබ වැනි සෙබළුන්ගේ කැපකිරීම් වලට අප සදා ණය ගැතියි.

  43. මම මෙතෙක් කියවූ හොඳම අර්ටිකල් එක , ඔබගේ අත්දකීම් කියවෙනකොට අපගේ දෙනෙත් තෙත් වෙනවා. ඔබතුමා වැනි මානුෂික ගති ඇති හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට අපගේ ආචාරය , ඔබලා හැමදාම අපගේ හදවතේ ඉන්න විරුවෝ ,

    නමුත් අබාධිත රණවිරුවන්ට කෙල කරපු හමුදාවේ නිලධාරිවාදය කරට ගැසූ නරියන්ට නම් අපේ කිසිම ගරුත්වයක් නැහැ , මේ ලින්ක් එක බලන්න
    ශ්‍රී ලංකා යුද හමුදාව පාවාදීම

    http://www.webadawiya.com/2012/12/blog-post_4.html#.UVx-W6JJ5Hk

  44. 1999 දී ඔඩ්ඩුසුඩාන් වලදී මගේ මස්සිනාත් නැති වුණා. මහත්මයා, අපට පාලනය කල නොහැකි දේවල් ගැන දුක් වීම තේරුමක් නෑ .ඔබ ඔබේ කාලය, රාජකාරිය හරියට කල නිසා අතීතය උපේක්ෂාවෙන් බලනවානම් හොදයි නේද? එය ඉදිරි කටයුතු වලට පහසු වේවි. (හදිස්සියේ ලියන්නේ , මේ දවස් වල අදික වැඩ)

  45. මම දන්නව අපේ සෙබලු මොනතරම් දුෂ්කරතා මැද්දෙද යුද්ධ කලේ කියල. එක කාලෙක අපේ නැති වෙන කොල්ලො දැකල මට හිතුන මේ රට ඒකාධිපති රටක් වෙලා යුද්දෙ හරියට මෙහෙයවන යුධ නායකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ ඇයි කියල. මොකද 90 ගණන් වල අපේ ගමේ අපිත් එක්ක එකට පත් පත කාල උන්නු යාලුවන් මේ රට වෙනුවෙන් දිවි පුදල ආවෙ ඒ ගොල්ලන්ගෙ මූණවත් දැකගන්න බැරි වෙන්න සීල්තියපු පෙට්ටි වලින්.ඒ වගේ සිදුවීම් දහයක් පහලොවක් විතර මම අත්විදල තියෙනව( හැබැයි අපේ ගමේ තරුණයොත් භය නෑ කොටි ගහල එක මල සිරුරක් ගමට ආවොත් 4-5 දෙනෙක් අනිත් දවසෙ ආමි එකට යනව) ඒ ත්‍රස්තයන් ම්ලේච්ච විදිහට අපේ රටේ කොල්ලො යුද්ධෙදි මරපු හින්ද තිබ්බ තරහට. හැබැයි දැන්නම් අර ත්‍රස්තවාදීන්ටත් වඩා තරහක් තියෙන්නෙ සීත කාමර වල ඉදන් පච කෙලින ‍මේ රට විනාශ කරන සමහර දේශපාලුවන් ගැන. මම හිතන්නෙ අද රටේ සැබෑ පාලකයො විය යුත්තෙ මේ රට වෙනුවෙන් දහදිය කදුලු ලේ වගුරපු ඔබ තුමන්ල වගේ සැබෑ දේශප්‍රේමි මහත්තුරුයි කියල. මම හිතන්නෙ එදාට තමා මේ රට සැබෑ ලෙසම බබලන්නේ. ඔබට බුදු සරණයි!

    • අපොයි දැක්කනේ එක්කෙනක් ඡන්දේ ඉල්ලන්න ගියා. අන්තිමට එයා වැරදි කාරයා වුනා. එයා කපටි මදි නිසා. අන්න දෙමල මිනිස්සු ටිකක් හිතලා, අර විග්නේශ්වරන් මහත්තයා වගේ මනුස්සයෙක් දේශපාලනයට ගෙනල්ලා. අපිටත් ඉන්නවා ඒ වගේ අය. හැබැයි කවදාවත් තැනක් දෙන්නේ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: