විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


අපි අහපු වෑර්ලස් ලිපි මාලාවට ඌන පූරණයකි.

KONICA MINOLTA DIGITAL CAMERA   මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අද කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ, ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ, පොලීසිය හෝ, පැමිණ ඔබෙන් ඇහුවොත් කෝ රේඩියෝ ලයිසන් කෝ ටී.වී. ලයිසන් කියලා, ඒ පුද්ගලයාට දෙන ඔබේ පිළිතුර වන්නේ ළඟම රෝහලකට ගිහින් මොලය පරීක්ෂා කරගන්න කියන්න එක නේද.  ඒ වගේම ඔබත් මම වගේම ඉවසීම ප්‍රගුණ කල කෙනෙක් නම් අර ප්‍රශ්නය අහපු කෙනාගේ දත් කීපයක් ගලවලා, ඔහුගේම අල්ලේ තියලා, යනකොට මේකත් අරන්යන්න කියන්න පුළුවන්. 😀 😀 ඒ කොහොම වෙතත් 2000 වර්ෂයට පෙර කාලයේදී නම්, ඔබට එහෙම කියන්න කරන්න ලැබෙන්නේ නැහැ. එයට හේතුව ඒ කාලයේදී ඔබ අනිවාර්යයෙන් ඔබේ රේඩියෝව සහ රූපවාහිනිය වෙනුවෙන් වාර්ෂික බලපත්‍රයක් ලබාගත් යුතු වූ නිසයි. මේ තොරතුරු ලියන්න මා පෙළඹුනේ අපි අහපු වෑර්ලස් ලිපියේ හතර වැනි කොටසට අදාළව Padhmakumara මහතා විසින් දක්වා තිබුන අදහස් නිසයි. ඒ ගැන එතුමාට මගේ ස්තුතිය පිරිනමනවා.

  තින් මේ රේඩියෝ/ටී.වී. ලයිසන් සෙල්ලමෙන් මේ රටේ හුදී ජනයාව නිදහස් කරේ අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය. එහෙම නොකලා නම් ඔබත් මමත් අදටත් මේ බලපත්‍ර ගාස්තු ගෙවනවා.

  දෙයියෝ සාක්කි ! කට වරද්දාගත්තා නේද මම. ඇයි හත් දෙයියනේ තවත් අලුත් බද්දක් ගහන්නේ කොහොමද කිය කියා බලා ඉන්න, අර ජයසුන්දර ගොයියා මේ ලිපිය දැක්කොත්, බොලේ……….මේ තියෙන්නේ තවත් බද්දක්. හුහ්……ලැයිසොනුත් නැතුව තව රේඩියෝ අහනවා, ටී.වී. බලනවා, මදිවට මුන් අපටත් බනිනවා. ඔහේ හිටු කියලා රේඩියෝ එක උදේම දානවාට මෙච්චරයි, හවස වහනවාට මෙච්චරයි, ටීවී එක ළඟ පැයකට වඩා ඉන්නවනම් මෙච්චරයි, පවුලේ සියලු දෙනා එකට හිඳ වංගු වංගු මී බලනවානම් මෙච්චරයි, කියලා බදු දාන්ඩ හොඳටම ඉඩ තියනවා. එදාට ඉතින් කවුරුත් මගේ මැරිච්ච දෙමවුපියෝ සිහිකරයි, මේ යකා තමයි නිකං ඉන්ඩ බැරුව මේක මතක් කොරලා දුන්නේ කියලා.

  ඇත්තටම ඔබට මතකද අපි රේඩියෝ/ටී.වී. වෙනුවෙන් බලපත්‍ර ගත්ත කාලය. මෙන්න මා ළඟ ඉතිරිවෙලා තියන සාක්ෂි. පෙරුම්පුරලා පෙරුම්පුරලා හොඳ රේඩියෝවක් ගත්ත රිසිට් එක මුලින්ම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ.

img064

අනේ මේ රේඩියෝව ගන්න මම අවුරුදු තුනක් විතර සල්ලි එකතු කළා. අදටත් මෙය හොඳින් ක්‍රියාත්මකයි. මේ තියෙන්නේ.

SONY XO D301

  මේ රේඩියෝවේ බලපත්‍රය ඔබේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ.  පේනවා නේද චන්ද්‍රිකා මැතිනිය හෝව්…..කියනතුරු ගෙඩි රුපියල් වලින්ම ගෙවලා තියන හැටි මේ ලැයිසොන් කඩදාසියට.

img074

img072

ඔන්න ඉතින් ඔහොම ඉන්න කාලේදී අපි බලපු කළු සුදු රූපවාහිනියට සමුදෙන්න කාලය ආවා. අපේ ‘ජනාධිපතිනියගේ’ අනුග්‍රහයෙන්, ආනුභාවයෙන්,  වර්ණ රූපවාහිනියක් ගෙදරට වැඩැම්මෙව්වා. මට මතක හරියට ගෙඩි රුපියල් 25000 ක් විතර වෙන්න ඇති. මගේ මොකෝ. මගේ පොකැට්ටුවෙන් නෙවෙයිනේ. මෙන්න බඩු. අදටත් වැඩ කරනවා ඉතා හොඳින්. එක වරක් මෙහි I.F. Block නමැති කොටස ක්‍රියා විරහිත වුනා. මට හැකිවුනා එය බොරැල්ලේ සෝනි අලුත්වැඩියා මධ්‍යස්ථානයෙන් ගෙන සවිකරගන්න මගේ අතින්ම.

SONY KV 2093 ME3B

මෙන්න තියනවා මේ ටැලිවිසොන් පොජ්ජට ගත්ත ලැයිසොන් කඩදාසිය. පිට කවරේ නම් පැහැදිලි මදි. ඇතුල් පිටු බලන්ඩකො. දුකේ බැරුවා ගෙවලා තියන සල්ලි වලට.

img068

img069

img070

  ඔන්න ඔහොම ලෝස් නැතුව ගෙවලා තමයි අපි රේඩියෝ ඇහුවේ, ටී.වී. බැලුවේ. හරිද……….?

  ඇත්තටම රූපවාහිනී/ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත්‍ර ක්‍රමයක් තිබිය යුතුද නැද්ද? ඔබ මොකද හිතන්නේ?

  තවත් එකක්, ඔබේ නිවසේ තිබෙන වටිනා කියන මෙවැනි භාණ්ඩ මිලදීගත් රිසිට් පත් සහ එම භාණ්ඩවල වර්ගය, මෝස්තරය, අනුක්‍රමික අංකය, වැනි විස්තර ඔබ සතුව තිබෙනවාද? එවැනි භාණ්ඩ හොරු ගෙනගියොත්, අර විස්තර ඉතා වැදගත් වෙනවා, පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට. ඔබට හැකිනම් ඒ ඒ භාණ්ඩයේ (ස්වර්ණාභරණ පවා) ඡායාරූපයක් ගෙන සුරක්ෂිතව තබන්න, එය ඉතා වැදගත් වෙනවා. මම මගේ නිවසේ එවැනි භාණ්ඩ සඳහා වෙනමම ලිපිගොණුව බැගින් සකසා තිබෙනවා.

ලිපියේ පළමුවෙන්ම ඉදිරිපත් කර ඇති ඡායාරූපය Googal Imeges වෙතිනි.

My Signature for Blog2013 මාර්තු මස 06 වැනි දින 2237 පැය

Advertisements

Comments on: "කෝ ගන්නවා තමුසෙලාගේ රේඩියෝ ලයිසන් ටී.වී. ලයිසන්" (90)

  1. චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් කතා පොතක ටීවී එකක් ලයිෂන් කරන්න ගිහින් කරපු මරු වැඩක් ගැන කතාවක් තියෙනවා. ඒකෙන් තමා මම දැනගත්තේ ඉස්සර ටීවී රේඩියෝ ලයිෂන් කරන්න ඕනේ කියලා.

    අර ජාතික රූපවාහිනියේ බැජ් එක තියෙන මුද්දරයක් මා ගාව තියෙනවා. ඒකත් මම හිතුවේ මොකක් හරි තැපැල් කටයුත්තකට ආපු මුද්දරයක් කියලා. බැලින් නම් ඒක එහෙම මුද්දරයක් නෙමේයි 🙂

    • අනේ අර අනගිරත්නගේ කතාව කමෙන්ට් එකේම ලිව්වනම් හරියට වටිනවා. අර මුද්දරේ පරිස්සම් කරලා තියාගන්න. එයත් වටිනවා.

  2. ඉමල්ක ද සිල්වා said:

    අපේ මාමලාගේ ගෙදර තිබිල පැත්තකට දාල තිබුණු ලැයිසොමක තිබිලා මාත් ජාතික රූපවාහිනී මුද්දරයක් ග්ලෝ ගත්ත [පොඩි කාලේ කොරපු වැඩක් ] , අපේ ගෙදර තිබ්බ ලයිසන් ටික නම් කොහේ දාල ද දන්නේ නෑ , [පරණ ෆයිල් අව්ස්සන්න ඕනේ දැම්මම] , රටේ තියෙඅන තත්වේ අනූව අයිමත් ඔය බද්ද ක්‍රියාත්මක කොරයිද දන්නේ නෑ , එහෙම වුනොත් පරිගණක බද්ද කියල එකකුත් ඒවි , එක නෙමේ විචාරක තුමෝ ඒ කාලේ පරිගණක බද්දක් කියල එකක් තිබිල නැද්ද ?

  3. මට නම් හිතෙන්නෙ එහෙම ගෙවන්න ඕන නැහැ කියල. දැනටමත් අපි කොච්චර දේවල් වලට නොදැන බදු ගෙවනවද. ඒ ගෙවන අතරේ තවත් එකක් වැටෙනවා කියන්නේ එපාම වෙන වැඩක්. අනික දැනට අපි අන්තර්ජාලෙටත් කොච්චර ගෙවනවද. එනිසා මට හිතෙන්නෙ දැන් තියන විදිය හොදයි වගේ… 😉

    • මට මතකයි ඔය ලයිසන් අවලංගු කරපු කාලේ එක්තරා නීතීඥයෙක් (නම මතක නැත) ප්‍රකාශයක් කරලා තිබුනා, ලයිසන් තියනවානම්, ඒ ඒ ගුවන්විදුලි/රූපවාහිනී ආයතනයේ වැඩසටහන් වල ප්‍රමිතිය, විකාශනයේ ගුණාත්මක බව, වැනි කරුණු වලදී, නඩු මගට පිවිසෙන්න පවා බලපත්‍රය සාධකයක් කරගත හැකියි කියා.

  4. ඔය ලැයිසොම් දෙකම දැකල තියෙනව. ඒ කාලේ මට තිබුණු ගැටලුව තමා අපිට අයිති දේකට ආයේ ගෙවන්නේ මොකෝ කියන එක. ඒ විදියට හිතුවොත් බදු ගහන එකත් වැරදියි. අපි වෙනුවෙන් අපි ගෙවන දේ නැති නාස්ති කොරන එක තමා නියම වැරැද්ද.. 🙂

    ඒකෙ අනිත් පැත්ත. අපේ TV එකේ අපි කැමති දේ බලනකොට අකමැති වෙළඳ දැන්වීම් වගේ දේ පෙන්නනවාට , ඉන් අපට වන බාධාවට ගෙවනවා ද ? මැච් එකකදී අපේ TV තිරයෙන් බදු ගන්න වර්ග ප්‍රමාණයට අපට ගෙවනවාද ?

    තවත් ප්‍රශ්නයක්. මේක ගැන මම කොහේ හරි කියෙව්වා. නමුත් මතක නැහැ. ගුවන් විදුලි, රුපවාහිනී තරංග ගමන් කරන අවකාශය නීත්‍යානුකුලව අයිති කාටද .. අපේ ඉඩමට උඩින් පිහිටි අවකාශය අපේ වෙන්න ඕනි මම හිතන්නේ.. 😛

    • බදු කියනදේ බලපත්‍ර කියන දේ අනාදිමත් කාලෙක ඉඳලා ලෝකේ තියන දෙයක්නේ. එකමදේ අර මල නොතලා රොන් ගන්න ආකාරය වෙනුවට කිකිළි මරා බිත්තර ගැනීමේ ක්‍රමයට බදු අය කිරීම අපට දරාගන්න බැරි එකයි. 😀

      හරියටම හරි. ඔබ සමග එකඟයි. ඔව්වා කරන එවුන් ඒ වෙලාවට ළඟ හිටියොත් අනියම් මිනීමැරුමක් සිදුවෙනවාමයි. 😀 😀

      අම්මපා එකනම් නියම අදහසක්. අපේ ඉඩම උඩින් යන තරංග වලට අපිට ගෙවන ක්‍රමයක් හදාගත්තොත් ගොඩේ ගොඩ 😀 😀 😀

  5. අපොයි මමත් ගිහින් තියනවා ඕවා ලයිසොන් කරන්න.. ඉස්සර පෝස්ට් ඔෆිස් එකෙන්ද කොහෙද ඔය රාජකාරිය කළේ..

    අන්තිම ප්‍රශ්නෙට පිළිතුර “නැත” යන්නයි.. එහෙම ගෙව්වට කමක්නෑ ගුවන් විදුලි සංස්ථාවයි, රූපවාහිනී සංස්ථාවයි විතරක් තිබුනනම්.. අනිත් ඒවත් අහන බලන ගමන් උන්ට විතරක් මොකටද අපි බදු ගෙවන්නෙ..

    ඕක නතර කරපු එක හොඳයි ලෝකෙට විහිළුවක් වෙන්න කලින්..

    • හයියෝ ඒ කාලේ ලැයිසොන් කෙළියට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න ගියාම සංසාරේ එපා වෙනවා .

      ලයිසන් ගැන ඔබේ ස්ථාවරයට මමත් එකඟයි.

  6. BBC බිලියන 4 ක විතර ව්‍යාපාරය කරගෙන යන්න එංගලන්තයේ වැසියෙක් වසරකට £145.50 ගෙවා ලැයිසොන් ගන්නවා!

    ලැයිසොන් ඕනෑ නැහැ බොහෝ දේවල් වලට … රූපවාහිනි/ගුවන්විදුලි වලට කොහෙත්ම ඕන නෑ!!!!

    • බුදු අම්මෝ රුපියල් 27892.35 යි. හැබැයි අරුණි බී.බී.සී. වගේ ආයතනයක වැඩසටහන් වල තියන ගුණාත්මක බව දැක්කම නම් ලයිසන් ගාස්තුවක් ගැනීම සාධාරණයි කියලත් හිතෙනවා.

      දැන් කොහෙද ලයිසන් කරන්න පුළුවන්. හෙට අනිද්දා වෙනකොට ගෙදර කොස්සේ මිටටත් රේඩියෝ එකක් හයි කරලා හදයි. අතුගාන ගමන් සින්දු අහන්න. 😀

      • It’s true. I pay that amount annualy for TV license. This is for colour TVs, for B&Ws it’s about half of that. You don’t have to go anywhere to pay, can pay online or activate direct debit from your bank account. Furthermore, under one license you can keep more than one TV in your house-hold. No extra charges for that.

  7. අයියේ මට මතක විදියට ඕක නැති කලේ කවුද මන්ද ලාංකික පුරවැසියෙක් උසාවියේ නඩුවක් දැම්මා තමා රසවින්දනය කරපු වැඩසටහන තමාට නොදන්වා නවතා දැමුවා කියලා.Point එක තමන් බදු ගෙවන බැවින් එය නීති වැඩක් කියලා .උසාවිය එය පිලිගත්තා. ඊට පස්සේ තම ඕක නිදහස් කලේ .

    පින්තුර අතීතේ මතක් කලා thanks.

    • බොහොම ස්තුතියි. එහෙනම් මගේ මතකයත් නිවැරදියි. අම්මපා දැන් ඒ විදිහට නඩු දාන්ඩ පුලුවන්නම් ගමකට, එක වීදියකට, එක ගානේ උසාවි දාන්ඩ වෙනවා. 😀

      එහෙනම් ඒක තමා ලයිසන් නැවැත්තුව හොරේ. ජයවේවා චන්ද්‍රිකා.

  8. බදු ගැහිල්ල හරියට කරනවා නම් හොදයි. නැත්තං මුන්ගේ රිලා කටවල් බලන්න සල්ලි දීලා අනේ xx .තාම එංගලන්තේ tv බදු ගහනවා.ගෙදර එලියේ ඉදං බුවාලට check කරන්න පුළුවන් ගේ ඇතුලේ tv එක වැඩද කියලා(ඇන්ටනව එලියට නොපෙනුනත්) .හැබැයි හොයන බදු වලින් උන් නියම BBC programs හදනවා බලන එකාට වැඩක් තියන .

    • අම්මෝ නිකමෝ, ඔය කතාව අපේ බදු උන්නැහේලට ඇහුනොත්, ආයෙත් ඔය බද්ද පනවලා, අර දඩ මුදල් වලින් එයාලගේ පම්පෝරිය ගැන වැඩසටහන් හදලා පෙන්නයි. 😀

  9. අපේ ගෙදරත් මේ රිසිට් තියාගන්න වැඩේ අම්මා කරනවා. විශේෂයෙන් වටිනා බඩුවල.

  10. අපේ ටීවී එක ගෙනාවෙ 1997 ද කොහෙද. හැබැයි දැඩි UNP පාක්ෂිකයෙක් (මැද කොලඹ කතිර ඉතින් ලොක්කටම තමා) වෙච්ච අපේ තාත්ත ඒක ලයිසන් කරල තියෙන්නෙ ඒ අවුරුද්දට විතරයි. ආණ්ඩුවත් එක්ක තරහට. අනික TNL,ITN දෙක කොරියන් කාරයම හදපු ඒරියල් එකට පෙනුන නිසා ඇන්ටනා ගැහුවෙත් නෑ ලෝකයා ටීවී එකක් තියනව කියල දන්නෙත් නෑ 😛

    • නියම ප්‍රතිපත්තියක්. හැබැයි ඔය ආණ්ඩුවෙන් බයකරාට ලයිසන් නැති ඒවා අල්ලනවා කියලා එහෙම අහු වුනේ කාර් රේඩියෝ විතරයි. පාරේදීම අල්ලගන්න පුළුවන් නිසා. මමත් වර්ණ රූපවාහිනිය ගත්තට පස්සේ කලුසුදු එක ලයිසන් කලේ නැහැ.

  11. ඉස්සර නම් ගෙව්වා. ඒ කාලේ හරවත් රසවත් දේ තිබ්බා. අවිවාදයි? අනේ සංසාරේ දැංකාලේ. අරූපවාහිනිය, අස්වාධීන, නීරස, මරු, හඩුහඩ, මරු fm, වගේ චැනල් බලන්න, අහන්න ලයිසොං ගන්නත් යෝජනාවක්ද? දුක් විදින්න ලංසොන් දීපිය කියල තියනව දැක්කමයි. මේ චැනල් ටිකේ පැය 24ම නොනවත්වාම වෙළද දැන්වීම් විතරක් තිබුනත් කමක් නෑ ප්‍රවෘති, මෙගා නාට්ටි, ස්ටාර්, දාන්නෙ නැතුව.

    මළ වදෙයක් අප්පා…

    • අර ප්‍රසන්න කියලා තියනවා වගේ, දැන් මේ නාලිකාලා, නාලිකාලාගේ බාප්පලා, මේ පස්සෙන් පන්න පන්න අපට සල්ලි ගෙවලා, අපි ලවා බලහත්කාරයෙන් අස්සවාගන්න/බලවාගන්න හදන්නේ, උන්ම දන්නවා ඒවා කක්කුස්සි වලවල් කියලා. 😀 😀

  12. අපේ තාත්තා කවදාවත් හොර් වැඩ නොකරපු මනුස්සයෙක් හන්දා, කලට වෙලාවට රේඩියෝ ටීවී ලයිසන්ස් කලා. මම නම් හරි තරහෙන් හිටියේ ඕකට.
    නමුත් කාර් රේඩියෝ ඇර, ගෙදරකට පැනලා පරීක්ෂා යන්ත්‍රයක් කරලා රාජසන්තක හෝ මුද්‍රා කරපු අවස්ථාවක් මම අහලවත් නෑ.

    හැබැයි ග්‍රාම සේවක මතක් කරනවා.

    • ගිරාමයෝ ඒ කාලේ ගෙදර කට්ටිය නැති වෙලාවට බබලත් අය ඉන්න ගෙවල් වලට එනවලු ලැයිසොම පරීස්සා කොරන්ඩ 😀 මමත් අහලා නැහැ කොහෙවත් ගෙදරක රේඩියෝ/ටී වී අහුවුනා කියලා ලයිසන් නැතුව.

  13. මොකක්ද බන් මේ කරලා තියෙන්නේ.. ආන්ඩුවේ එකෙක් දැක්කොත් විනාසයි නේද..? අන්තීමට ටී වී, රේඩියෝ නෙමෙයි, රයිස් කුකර් එකටත් ගහලයි නවත්තන්නේ…

  14. අපේ ගෙදරට ඉස්සෙල්ලම කලර් ටීවී එක ගේන කාලෙත් ඔය ලයිසොං කෙලිය තිබුණ. ඒත් ඒ ටීවී එක ලයිසන් කළේ නෑ. පස්සෙ ඒක විකුණනකොට ගන්න මිනිහට ලයිසන්එක ඕනවෙලා අදුරන පෝස්ට් ඔෆිස් එකකිං වැඩේ කරගත්ත.

    දැං ලංකාවෙ ටීවී වල තියෙන වැඩසටහන් (එහෙම දෙයක් තියෙනවද මන්ද) බලනවට අපිට ගානක් ගෙවන්න ඕන. ඒකහින්ද වෙන්න ඇති මං හිතන්නෙ ………… අහුවොත් සල්ලිම තමයි අරව මේව කිය කිය අපිට ඒ ගොල්ල සල්ලි ගෙවන්නෙ. 😀

    • නුවණක්කාර වැඩක් කරලා තියෙන්නේ ඒ කාලෙදිම. මොන ලයිසන්ද මේ දවසට පැය දෙකක් විතර බලන කෙහෙම්මලට.

      සම්පූර්ණ ඇත්ත එයාලම දන්නවා එයාලගේ තත්වේ. ඒකයි පස්සෙන් පන්න පන්න අපට සල්ලි ගෙවන්නේ.

  15. මට මතක හැටියට අර නීතිඥයා ප්‍රකශකරල නතරනොවී නඩුවක් දැම්මා .එයාගෙ එක තර්කයක් ඔය සමහර දේවල් අපිට බලෙන් අස්සවනවට විරුද්ධවද කොහෙද? නඩුව ඉස්සරහට යන්නකලින් ලයිසම අයින් කලා.අදාල නැතත් මේකත් කියන්න හිතුවා.අපි ලඟ තියන පරන ඩ්‍රයිවින් ලයිසමටත් (අර අවලංගු වෙන දවසක් නැති එක) අවලන්ගු වෙන දවසක් දාල අලුත් එකක් දෙන්න හැදුව සැරයක්.එතකොටත් රත්මලාන පැත්තෙ නීතිඥයෙක් නඩු දැම්මා එයාට ලයිසම නිකුත්කරනකොට එහෙම කොන්දේසියක් දාල නෙමෙයි දුන්නෙ කියල.ඒ මනුස්සයට පිංසිද්ද වෙන්න තමයි මමත් මගෙ ලයිසම තවම පාවිච්චි කරන්නෙ අලුත් කරන්න රස්තියාදු නොවී. මගෙ පරන පොත වගෙ ලයිසමත් තිබුන කොහෙ හරි හොයල බලන්න ඕනනතරනොවී නඩුවක් දැම්මා .එයාගෙ එක තර්කයක් ඔය සමහර දේවල් අපිට බලෙන් අස්සවනවට විරුද්ධවද කොහෙද? නඩුව ඉස්සරහට යන්නකලින් ලයිසම අයින් කලා.අදාල නැතත් මේකත් කියන්න හිතුවා.අපි ලඟ තියන පරන ඩ්‍රයිවින් ලයිසමටත් (අර අවලංගු වෙන දවසක් නැති එක) අවලන්ගු වෙන දවසක් දාල අලුත් එකක් දෙන්න හැදුව සැරයක්.එතකොටත් රත්මලාන පැත්තෙ නීතිඥයෙක් නඩු දැම්මා එයාට ලයිසම නිකුත්කරනකොට එහෙම කොන්දේසියක් දාල නෙමෙයි දුන්නෙ කියල.ඒ මනුස්සයට පිංසිද්ද වෙන්න තමයි මමත් මගෙ ලයිසම තවම පාවිච්චි කරන්නෙ අලුත් කරන්න රස්තියාදු නොවී. මගෙ පරන පොත වගෙ ලයිසමත් තිබුන කොහෙ හරි හොයල බලන්න ඕන

    • බොහොම වැදගත් තොරතුරු. ඔය ඩ්‍රයිවින්ග් ලයිසන් කතාව මම අහලා තියනවා. මම දන්නා පරණ ඩ්‍රයිවර් කෙනෙක් අදටත් බොහොම උජාරුවෙන් ඒ පරණ ලයිසන් එක පාවිච්චි කරනවා. නමුත් පස්සේ කොහොම හරි ඒ නීතිය ආවා නේද අනිවාර්යයෙන් අලුත් ලයිසන් එක ගත යුතුයි කියලා?

  16. ගියා ටිකේ කියෙව්වට කමෙන්ට් කළේ නෑ.. ඔය ජාතියේ ලයිසන් එකක් මේ ළඟදිත් දැක්කා අප්පා.. ඒ කාලේ ටීවී රේඩියෝ කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩනේ… ඔන්නොහෙ කමක් නෑ ඉතිං.. ඒත් දැන් නං විකාරයක් වෙනවා සහතිකයි ආයිත් පටන් ගත්තොත්… හි හි

    • කවදාවත් ආයෙත් පටන්ගන්න බැහැ. කොහොමද දන්නේ ගෙදරක රේඩියෝ/ටී.වී. කීයක් තියනවද කියලා. අනික මහජනතාව කැමති වෙන්නෙම නැහැ ඒ වැඩේට. මේ තියන විකාර අහන්න බලන්න තව සල්ලිත් ගෙවාපල්ලකෝ කියයි.

      • “අනික මහජනතාව කැමති වෙන්නෙම නැහැ ඒ වැඩේට. ” දේශද්‍රෝහී කතා කියන්ඩ එපා මහත්මයා.. මහජනතාව කැමතියි.. රට ඈස්චර්යය කරා ගෙනියන්න ඒගොල්ලො ඈස් එකත් දේවි.. 😀

  17. කමෙට් ටික නම් ඔක්කොම කියෙව්වේ නෑ, බොහෝ ඒවා මාතෘකාවෙන් පිට නිසා. මේ ලයිසන් නැති කරන්න ප්‍රධාන හේතුව තමයි විවිධ රුපවාහිනි චැනල් ප්‍රමාණයක් ඇති වීම. මේ බද්ද තනිකර ජාතික රුපවාහිනිය මගින් ඇය කිරීම වැරදියි කියලා තේරුනා. හරි නම් මේක බෙදිලා අනිත් චැනල් වලටත් ගානක් යන්න ඕනෑ බව තේරුනා. එහෙමෙ බෙදන්නේ මොන අනුපාතෙටද ? කියන එක ගැටළුවක්. අන්තිමේදී මේක අත ඇරලා දැම්ම. දැන් තත්වය තවත් සංකීර්ණයි. පොකට් ටීවී, පොකට් රේඩියෝ, අයිපොඩ්, ජංගම දුරකථන වලත් මේ දේවල් තියෙනවා. ඉතිං මේවාටත් බදු අය කරන්න වෙනවා. ජංගම දුරකථන හිමියන් මේ වන විටත් ඒවා භාවිතා කිරීම වෙනුවෙන් බදු ගෙවනවා. ඉතිං තවත් බදූ බරක් පටවන්න බෑ. ඒ මදිවට ටී,.වී. කාර්ඩ් ගහලා පරිඝනකයෙන් පවා බලනවා. එතුමිය ඒක නැති කලේ හරිම කාලේ කියලා මට හිතෙනවා. අනිත් එක ඒක ජනතාවාදීයි. හිතන්න ගමේ දුප්පත් ගෙදරකට ගිහිං මේ ලයිසන් බැලුවට, මේ නගර වල තියෙන මහා මන්දිර වලා ඕවා බලන්න යන්න බෑ. මම නම් හිතන්නේ බඩු ගහනවා නම් ගහන්න ඕනේ ඇන්ටනාවට කියලා. එතකොට ඒවාගේ කුරු ගන්නට, දීසියේ වටප්‍රමානයට වගේ ගහන්න පුළුවන්. ඒරියල් වලින් බලනවා නම් සහනයක් දෙන්න පුළුවන්. D.

    පාපැදි, කරත්ත වලටත් මේ වගේ ලයිසන් ක්‍රමයක් තිබ්බා. අපේ පැත්තේ එකෙක්ට අමුතුම තාලේ බයිසිකලයක් සංචාරකයෙක් තෑගී කරලා. ඒක ලයිසන් කරන්න ගියාම කිව්වලු ඕක ක්‍රීඩා භාණ්ඩයක් ඒ නිසා ඕනේ නෑ කියල.

    • සවිස්තරාත්මක කරුණු වලට බොහොම ස්තුතියි සුදීක.

      අනුපාතෙකට ඔක්කොම චැනල් වලට ලයිසන් ගාස්තු බෙදන්න ගියානම් එක චැනල් එකකට සත 50ක් විතර හම්බවෙයි නේද? 😀

      ඇත්තටම නියම කාලේදී තමයි මේ නිෂ්ඵල ක්‍රියාව නවත්තලා තියෙන්නේ.

      අර පාපැදි වර්ගයේ පින්තූරයක් දැම්මනම් අර පාවිච්චි කරපු පාපැදි කිලෝ ගානට ජපානෙන් ගෙනෙන කට්ටිය නැව් ගණන් ඒවා ගෙනත් විකුණයි. 😀

      ඇත්තටම ලංකාවේ වාහන වර්ගීකරණ ප්‍රතිපත්තිය ගැන ලිපියක් ලියන්න වටිනවා. සුදීක ඔබ ඊට සුදුස්සෙක්. උත්සාහ කර බලන්න.

  18. ලයිසොම නං දැකල තියනව. ඒත් බුදු මහත්තයෝ මේවගේ දේවල් පෝස්ට් වල දාන්න එපා. මතක් වෙලා ආයෙත් නීතිය ගෙනාවොත්? (ඕං අද පත්තරේ තියන විදියට දකුණෙ වාහන ලයිසන් ගනං වැඩිකරල)

    • ඇත්ත තමයි. මාරයාත් කියලා තිබුනා. දැන් බල බලා ඉන්නේ අපේ කිරිජ්ජපල්ලටත් ලයිසොමක් දෙන්ඩ පුලුවන්නම් එකත් දෙන්ඩ තමයි.

      එහෙම කොහොමද එක පලාතක විතරක් ගාස්තු වැඩි කරන්නේ. මිනිස්සු පටන් ගනියි වෙන පලාත්වල වාහන ගන්න.

  19. සුපිරිම විස්තරේ….. මටත් මතකයි අපේ ගුවන් විදුලි යන්ත්‍රය ලයිසන් කරනවා. ඒත් ඒ දේවල් ඔබ මෙන් සුරක්ෂිත කර නැ. මේ ලිපිය අවසානයේ ඇති කරුණුවලින් බොහෝ දෙයක් හිතට දාගත්තා. අපේ දරුවන් හෝ එවැනි දේට හුරු කරවන අදහසින්.
    අද කාලේ ලයිසොන් කළොත් නං අපට සල්ලි දීල බලන්න වෙන්නේ වෙලඳ විගඩම් ම තමා.

    • ලයිසන් කෙරිල්ල දැන් ඔට්ටු නෑ නලීන්. සල්ලි දීලා විසූක දස්සන බලන්න මටනම් ඕනේ නැහැ.

      හැබැයි අර මම කියන ආකාරයට ගෙදරදොර භාණ්ඩ පිළිබඳව විස්තර තබාගැනීම ඉතාම වැදගත් වෙනවා.

  20. කියන්න ලැජ්ජයි සර්,
    අපි හොරෙන් මයි TV බැලුවේ.

  21. අපේ ගෙදරත් තිබ්බා ලයිසොන් එකක් 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  22. අපේ ගෙදරත් ඔහොම ලයිසන් එකක් තිබුන. රේඩියෝ ටී වී වලට ලයිසන් ඕන නෑ කියල තමයි මමත් හිතන්නේ. අනෙක, දැන් නම් මං පැයක් වත් ටී වී බලන්නේ නෑ දවසකට.

    • මමත් ඉන්නේ ඔබේ මතයේමයි. මම ටී වී බලන්නේ ප්‍රවෘත්ති දැනගැනීමට පමණයි.

      • “මම ටී වී බලන්නේ ප්‍රවෘත්ති දැනගැනීමට පමණයි.”

        මොකක්ද නාලිකාව? ඒවගේම ප්‍රවෘත්ති කියලා ඒවා යනවද?
        මම නම් දන්න විදිහට ප්‍රවෘත්ති කියලා පෙන්වන්නෙ
        1. මාමාගේ ගුණ කථනය
        2. විපක්ෂයට දේශද්‍රෝහී කොටි ලේබල් ගැහිල්ල
        3. කාගෙහරි මරණයක්,පවුල් ප්‍රශ්නයක් විකිණීම
        4. ඇමරිකාවෙ අඩුපාඩුවක් විදෙස් පුවත් වලට

        විචාරක මහත්මයාගෙන් තව දෙයක් අහන්ඩ හිටියා.
        අර හිටපු සේනාංකාධිපති ලොක්කත් හිටු කියලා ආණ්ඩුවට කඩේ යනවා නේද? සැරෙන් සැරේ ස්වාධීනෙ එහෙම කථා කරලා පොර ටෝක් දෙන්නෙ.. ඔය කොහෙන් කරන් ආවත් මම නිව්යෝක් වලදි ගේම දෙනවා එහෙම කියන්නෙ..

        • මම ප්‍රධාන වශයෙන් බලන්නේ චන්ද්‍රිකා රූපවාහිනියේ විකාශනය වන අන්තර්ජාතික ප්‍රවෘත්ති නාලිකා. ලංකාවේ ඒවා බලන මම හදාගත්ත ක්‍රමයක් තියනවා. අපි හිතමු රාත්‍රී හතේ ප්‍රවෘත්ති කියලා. පම්පෝරි,වන්දිභට්ට,ඈස්චර්ය, (නියම වචනේ ඈ) දේවල් යනවනම් චැනල් එක මාරු කරනවා ඒ වෙලාවේ ප්‍රවෘත්ති යන වෙනත් නාලිකාවකට. අපරාධ විකුණන, හැමදාම විපක්ෂය මඩවන, පාට කන්නාඩියෙන් බලන ප්‍රවෘත්ති යනවානම් වෙනත් ප්‍රවෘත්ති නාලිකාවකට මාරු කරනවා. ඒකත් එහෙම නම් ශබ්දය කපා හැරලා ගොළු ටී.වී. එකට ඔහේ යන්න අරිනවා ඊළඟ ප්‍රවෘත්තිය එනතුරු. ඒ වගේම මාමා සහ ගෝල හැත්ත කයිය ගහනකොට පින්තූරය නවත්වනවා (still) මූණ විකාර වෙලා පෙනෙන්න. ඒක දිහා බලාගෙන හිනාවෙනවා ගෙදර ඔක්කොම.

          හිටපු සේනාංකාධිපති කිව්වේ ඇමරිකාවේ ඉන්න එක්කෙනාද? එයා බලන්නේ හමුදාපති පුටුවට එන්න අනිත් අයව කපාගෙන.

      • “ඒක දිහා බලාගෙන හිනාවෙනවා ගෙදර ඔක්කොම. ” 😀 මැවිලා පේනවා..

        “හිටපු සේනාංකාධිපති කිව්වේ ඇමරිකාවේ ඉන්න එක්කෙනාද? ” ඕ යෑස්..

  23. ඇනොපිලිස් said:

    අම්මපා අපේ ගෙදරට එකක් ගෙනල්ල අවුරුදු 25ක් විතර වෙනවා ……. ජීවිතේට ඔය ලයිසමක් අරන් නෑ …….. [රහසින් – දැන් නඩු දාන්න බෑ නේද………????]

    • ඇත්තටම ඒ කාලෙම ලයිසන් නොකර හිටිය එක හොඳයි. නැත්නම් ‘අයියෝ සල්ලි තමයි’

      දැන් ඉතින් නඩු දාන්න වෙන්නේ ඒ කාලේ ලයිසන් ගන්න කියපු අයට තමයි. 😀

  24. ක්සැන්ඩර් said:

    මට මතකයි අපේ ටීවී එක 1990 ගත්තේ. මුලින් බැලුවේ කෝපි කඩේ. ඒ කාලේ අපි හැමදාම නුවරින් තමා ටීවී ලයිසන් එක කරගත්තේ. මාස 6 ද අවුරුද්ද ද මන්දා කාලේ. එකම එක ගමනක් තමා චෙක් කලේ. එත් කවුද ආවේ එහෙම ආවද නැද්ද කියන්න මට මතක නෑ. 2005 -2006 දක්වා ඔය ටීවී එක තිබුනත් ලයිසන් කලේ 1993-1994 වගේ වෙනකං කියල මතකයි. මොකද ඒ කාලේ ඔය ලයිසන් එකට ගෙවන එක කියන්නේ ටිකක් ගණන් කටයුත්තක්. අනික 250 ලයිසන් එක ටීවී වලට. ටීවී එක ශාප් එකක්. ඒ ටීවී එක අද භාවිත නොකරන නමුත් පොඩි දෝෂයක් නිසා භාවිතයෙන් ඉවත් කලත් 2009 – 2010 දක්වාම සුවසේ වැඩ කළා. මතකයි.

    • ක්සැන්ඩර් said:

      තව දෙයක් මතක්වුනා. මගේ ප්‍රියතම රුපවාහිනි කතා මාලාවක් වුනු මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් එකේ අහනවා තැනක ටීවී ලයිසන් තියනවද කියල. නෑ කිව්වම කියනවා ඒක නීති විරෝධී එකක් කියල. එහෙනං මට හිතෙනවා මේ ලයිසන් කරන කතන්දරේ උපත බී බී සී නාලිකාව බ්‍රිතාන්‍යයේ කරන දේ බලාගන කලාදෝ කියල.

    • දැන්නම් ඒක කෝපි කඩයක්යැ.. මල ජරාවක්නෙ..

      ඒක ආණ්ඩුවට කඩේ යනවා මදිවට දැන් දැන් සමහර කොම්පැනිවලටත් කඩේ යනවා.. ඕක තවමත් බලන එවුන් ඉන්නවාද?

  25. ටී වී ලයිසන් එක නම් බොරු එක. එකේ අයිති කෙනාගේ නම නැති නිසා. 🙂 කලින් ලිපි බැලුවත් කොමෙන්ටුවක් දන්නා බැරිතරම් කාර්යබහුල උනා. ලිපි පෙළ රසවත් වගේම හරවත්. එත් ඒ වගේ හරවත් නැති දේවල් තමා දැන් ටී වී වල යන්නේ. ගෙදර එකක් තිබුනත් මම ප්‍රව්ර්ති බලන්නෙත් නෑ. හේතුව, කලින් සිදු වූ යේ මිනිසා විසින් මාධ්‍ය භාවිත කිරීම. එත් දැන් සිද්ද වෙන්නේ මාධ්‍ය විසින් මිනිසා භාවිත කිරීමයි.

    • ලැයිසොමේ තියන මගේ නම පෙන්නන්නේ කොහොමද දෙයියෝ. නඩත්තු ඉල්ලාගෙනම කී දෙනෙක් එයිද? 😀 😀 😀

      හරිම අගනා කියමනක් //කලින් සිදු වූ යේ මිනිසා විසින් මාධ්‍ය භාවිත කිරීම. එත් දැන් සිද්ද වෙන්නේ මාධ්‍ය විසින් මිනිසා භාවිත කිරීමයි// මෑතකදී මා දුටු ඉතාම අර්ථවත් ප්‍රකාශයක්.

  26. පහල තිබුන ටීවී ලැයිසොං එකේ ගෙවන කාර්යාලය කරවනැල්ල විදිහට මම දු‍ටුවා. ඔබ අපි අසලම ගැවසුනු කෙනෙක් වගේ හැඟුනා මහත්මයා මට. සටහන මා දු‍ටු විදිහ නිවැරදිද?

    • මම 1971 සිට 1980 දක්වා හිටියේ දෙහිඕවිට. 1981 සිට 2000 දක්වා රුවන්වැල්ලේ. අවිස්සාවේල්ල, දෙහිඕවිට දැරණියගල, රුවන්වැල්ල, කියන මැතිවරණ කොට්ටාශ ගැන මට සතුටුදායක දැනීමක් තියනවා. තවමත් රුවන්වැල්ල සමග සම්බන්ධතා තියනවා. මගේ ජංගම ගිණුම තවම තියෙන්නේ රුවන්වැල්ල ලංකා බැංකුවේ.

  27. ඕං මම බ්‍රව්සරේ මාරු කොලා. දැන් අපිත් “ෆයර් ෆොක්ස්”. ටික දොහකින් බ්ලොග් කියවන්න බැරි වුනා. ඕං දැන් පුළුවන් වෙයි දිගටම.

  28. මේ ලිපිය මට මඟ ඇරිලනෙ..

    අපේ ගෙදර නම් එකපාරක් තදටම අල්ලන කාලෙ ලයිසොමක් ගත්තද කොහෙද?

    දැන් කාලෙ තියෙන මල ජරාව බලන්ඩ මොකට ලයිසොං ගන්ඩද? උන් අපිට ගානක් දෙන්ඩ ඕනෙ ඒවා බලනවට.. දැන් ටීවී එකේ යන එක හොඳ රූපවාහිනී වැඩසටහනක් ගුවන් විදුලි වැඩසටහනක් කියන්ඩ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට තෑග්ගක් දෙන්ඩ වටිනවා.. මේ වගේ කසිකබල් බල බල රට තවත් පරිහානියට පත්වීම ඇරෙන්ඩ වෙන දෙයක් වෙන්නෙ නෑ..

    දැන් නම් සෑහෙන්ඩ මොළ හේදිලා අවසානයි.. ඒ හේදිච්ච මොළ ටික තවදුරටත් අදාළ පුද්ගලයින් බලයට පත්කරාවි.. ඊට විරුද්ධ ඇත්තෝ රට හැර යාවි..

    • මේ ලිපිය ආණ්ඩුවෙ ඇත්තෙක්ගෙ ඇස නොගැටේවා.. නැත්නම් අනිවාර්‍යයෙන් මේක ආයෙම පනවනවා.. ඇයි කාලයක් බයිසිකල් වලට දඩ ගහලත් ගාන කැපුවේ.. බලන් යද්දි සුද්දා හොඳයිනෙ..

    • තව දුරටත් මොළ හෙදිය නොහැකි තැනක් එනවා. එදාට ආපහු කැරකෙන දේශපාලන සුනාමියක් එනවා.

      • ඒක ලගකදී එන එකක් නැද්ද , දැන්නං වතුරවත් පෙවෙන්නේ නැති ගානයි සර් ,

        • මෙහෙමයි. අපි මුලින්ම ඉතා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි අවශ්‍ය වෙනස කිරීම සඳහා උපරිමයෙන් කැප වෙනවා කියලා. ඊළඟට එක දවසකට හතරපස් දෙනෙකුව දැනුවත් කලයුතුයි වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බව. එයින් එක්කෙනෙක් හෝ එවිට අපි කියන දේ තේරුම් ගන්නවා. ඒ ආකාරයට එවැනි අය මගින් තවත් අය දැනුවත් කලයුතුයි. බලා ඉඳලා වැඩක් නැත.

      • රෝදය අනික්පැත්තට කැරකෙන බව ශුවර්.. ඒත් ඒ අවුරුදු 5කින්ද? 10කින්ද? 20කින්ද? 50කින්ද?

        එච්චර කාලයක් බලන් හිටියොත් අපිත් අර රුවන්ඩාවෙ, ඉතියෝපියාවෙ, සෝමාලියාවෙ එවුන් වගේ වේවි.. ඒ රටවල උනුත් දුක් විඳ විඳත් පාලකයන්ට මනාපයිනෙ..

        මම ටික කාලෙකට කලින් ඈත ගම් පළාතකට ගියා.. එහෙට පේන්නෙ නයිටීඑන් විතරයි.. අනේ ඒ ගෙදර මිනිස්සු දෙයියනේ කියලා ප්‍රවෘත්ති බල බල රජ්ජුරුවන්ට පින් දෙනවා..

        විචාරක මහත්මයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඔය මහ ගහ පෙරලුනොත් පෙරලෙන්නෙ වටේ තියෙන ගසුත් පොඩිකරගෙන.. එතකොට ඔය පස්සලාට ගහලා එලවන්නේ නිදහස් පාක්ෂිකයාමයි..

  29. මං යාලුවෙක්ගෙ කාර් එකක් අරං ගමනක් යනකොට උගෙ කාර් එකෙ රේඩියො එක නැතුවට රුපියල් පනහක දඩයක් ගෙවුවා. එහෙමත් කාලයක්..

  30. මමත් ඩැඩා එක්ක ගිහිං ලයිසන් එකට ගෙවලා තියෙනවා

  31. දාපු දවසෙම ෆෝන් ඒකෙන් බැලුවට ලීගල් විදියට එන්න බැරි උණා. 😀

    හැමෝම කියනවා ලයිසන් එපාලු. ඒත් මටනම් හිතෙන්නේ ඕක තියෙන එක හොඳයි කියලා. ටී වී චැනල් එකක් ආදායම හොයා ගන්න ක්‍රමයක් තියෙනවනම්, නරඹන්නාට අවශ්‍ය දේ බැලීමට අවස්තාවක් ලබා දීම රූපවාහිනී චැනලයේ වගකීමක් වෙනවා. එතකොට වෙළඳ දන්වීම්වල අතිශය කප්පාදුවක් කරන්න හැකි වෙනවා.
    හැබැයි එක කෙරෙයිද කියන එකනම් කියන්න අමාරුයි. සමහරවිට ටික දවසක් වෙළඳ දැන්වීම් වලින් බේරිලා ආයෙත් ලයිසොමත් එක්ක දැන්වීම් ෆ්‍රී දෙයි 😀

    අනික හැබැයි එහෙම කලොත් චැනල් අතර මුදල් බෙදී යාම පිළිබඳව ගැටළුවකුත් ඇති වෙනවා.

    ——-
    දැන් ලංකාවේ තියෙන චැනල් ඔවුන්ගේ දේ දෙන්නේ කොහොමද දන්නවද? අපි පොදු වැසිකිලියකට ගිහිං චූ ටික එයාලට දීලා තව ඒවා භාර ගන්නවට ගානකුත් දෙන්නේ. අන්න ඒ වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: