විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Walton1අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ හතරවැනි කොටසයි මේ. එමෙන්ම මේ ලිපියෙන් ලිපි මාලාව අවසන් වෙනවා. මෙහි පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ඔබ දක්වන ලද ප්‍රතිචාර, මා ඉතා ඉහලින් අගය කරන බව කෘතඥතා පූර්වකව සඳහන් කරනවා. අතීතයේදී මෙවැනි දෑ තිබුණු බව නොදන්නා අය වෙත, යම් දැනුමක් ලබාදීමත්, පූර්ව දැනුමක් ලබාසිටි අයගේ මතකය අලුත් කිරීමක් ලෙසත්, මේ ලිපි මාලාව හඳුන්වන්නට පුළුවන්. ඒ පරමාර්ථ බොහෝ දුරට ඉටුවී තිබුන බව ඔබේ අදහස් දැක්වීම් වලින් සනාථ වුනා.

  අපි මේ ලිපි මාලාවේ තුන්වන කොටස අවසන් කලේ රේඩියෝව සහ රෙකෝඩ් ප්ලේයරය එකට සම්බන්ධ කල රේඩියෝග්‍රෑම් එක දක්වා විකාශය සඳහන් කිරීමෙන්. ඉතින් ඊට පස්සේ මොකද වුනේ. ඒ කතාව මෙතැන්සිට ඔබ වෙත මෙසේ ගෙන එනවා. ඔබට මතකනේ ග්‍රැමෆෝනයෙන් පසු බිහිවූ රෙකෝඩ් ප්ලේයර ගැන මම කිව්වා. රෙකෝඩ් ප්ලේයරය වඩාත් දියුණු කර තැටි කීපයක් ධාවනය කරවීමේ තත්වයට වැඩිදියුණු කළා. ග්‍රැමෆෝනය සහ රෙකෝඩ් ප්ලේයරය ගැන වීඩියෝ දෙකක් පහත දක්වනවා.

මෙන්න ග්‍රැමෆෝනයක් ක්‍රියා කල හැටි.

ග්‍රැමෆෝනයට පස්සේ ආවේ රෙකෝඩ් ප්ලේයර් එක. මෙන්න එය ක්‍රියා කරන හැටි. මෙතන පෙන්වන්නේ තැටි කීපයක් ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාකරන ‘රෙකෝඩ් චේන්ජර්’ එකක්.

ග්‍රැමෆෝන් එකට වඩා රෙකෝඩ් ප්ලේයරයේ ශබ්ද ගුණය ඉහලයි. නමුත් මේ තැටි කාලයක් පාවිච්චි කලවිට ගෙවෙනවා. බිම වැටුනොත් කැඩෙනවා. රෙකෝඩ් ප්ලේයර් සහ තැටි, එහෙ මෙහෙ පහසුවෙන් ගෙනයන්න අමාරුයි. ඊටත් වඩා මිනිසාට අවශ්‍ය වුනා, තමන්ට අවශ්‍ය වෙලාවට හඬ පටිගත කර අහන්න ක්‍රමයක්. ඒ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමයි ‘ස්පූල් ටේප් රෙකෝඩර්’ එක නිපදවුනේ. මොකක්ද අනේ ඒ කියන්නේ.

බලන්නකෝ පහළ තියෙන්නේ මොකක්ද කියලා.

  දැක්කා නේද ස්පූල් ටේප් රෙකෝඩර් කියන්නේ මොකක්ද කියලා. මේවා විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයෙන් තියනවා. අදටත් සමහර ශබ්දාගාර වල පාවිච්චි කරනවා. මේ වීඩියෝවේ තිබුනාට වඩා බොහොම දියුණු ඒවා. මේ ක්‍රමයටම ක්‍රියාකරන වීඩියෝ ටේප් රෙකෝඩර් තියනවා. මේ වගේ තඩි ඒවා, අපිට ඕනේ ඕනේ තැන්වල ගෙනිහින්, අපි කැමති දේවල් රෙකෝඩ් කරලා, අහන්න බැහැනේ. ඒ සඳහා ටෝච් බැටරි බලයෙන් ක්‍රියාකරන පොඩි ටේප් රෙකෝඩර් හැදුවා. මේ බලන්න ඒ වගේ එකක පින්තූරයක්. මම මේ රෙකෝඩරය දැකලා තියනවා පාසලේ හය හත වගේ පන්තිවල ඉගෙන ගනිද්දී. මගේම (අති සුමධුර වූ, මනෝරම්‍ය වූ, අනබිභවනීය වූ) කටහඬින් සින්දු කියලා, පටිගත කරලා, අහලා තියනවා.

philips_el3585  මෙය හරිම හුරුබුහුටි යන්ත්‍රයක් බව හොඳට මතකයි. ඒ වුනත් ඒ කාලේ මේවා පෞද්ගලිකව පාවිච්චි කලේ නම් බොහොම ටික දෙනයි. ඒ කාලේ මේවා අති සුඛෝපභෝගී භාණ්ඩ හැටියටයි සැලකුනේ. අර විශාල ප්‍රමාණයේ ටේප් රෙකෝඩර වෑල්ව් පරිපථ වලින් ක්‍රියා කරන ඒවාත් තිබුනා. මේ තියෙන්නේ එවැනි එකක්.

1965_AKAI_M8

  මේ මෝස්තරය අතිශයින් ජනප්‍රියව තිබුන එකක්. මෙය ශබ්දාගාරවල පවා පාවිච්චි කළා. ඊළඟට පෙන්වන්නම් ඊට වඩා බොහොම දියුණු ටේප් රෙකෝඩරයක්.

Tascam-32

  ඔන්න ඉතින් මේවා අසමින් බලමින් හිටිය අපි වෑල්ව් යුගයෙන් ට්‍රාන්සිස්ටර් යුගයට සම්ප්‍රාප්ත වුනා. ට්‍රාන්සිස්ටර් රේඩියෝ බොහොම වේගයෙන් සමාජයේ පැතිරුනා. එයට ප්‍රධාන හේතුව වෑල්ව් රේඩියෝ වලට වඩා මිලෙන් අඩුවීම. ඒ වගේම එහෙ මෙහෙ ගෙනයාමේ පහසුව, ටෝච් බැටරි වලින් ක්‍රියාකළ නිසා වියදම අඩුවීම, (සෑම ට්‍රාන්සිස්ටර් යන්ත්රයක්ම නෙවෙයි මුල් යුගයේ සමහර ඒවා විදුලියෙන් පමණයි ක්‍රියා කලේ)  අලුත්වැඩියා සඳහා විශාල මුදලක් වැය නොවීම, යන කරුණුත් හේතුවුනා.

  ට්‍රාන්සිස්ටර් රේඩියෝ මුල්ම යුගයේදී විශාලත්වයෙන් බොහෝ දුරට වෑල්ව් රේඩියෝවක ප්‍රමාණයට සමාන වුනා. පහත දක්වන්නේ මුල් යුගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්.

a455

  ඊළඟ පරම්පරාව වනවිට අතේ ගෙනයාහැකි ට්‍රාන්සිස්ටර් රේඩියෝ බිහිවුණා පහත දැක්වෙන්නේ එවැනි රේඩියෝවක්.

4772465170_6af8916a5b_z

  ට්‍රාන්සිස්ටරය වෑල්වයකට වඩා ඉතා කුඩා නිසා ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඉතා කුඩාවට නිපදවන්නට පුළුවන් වුනා. මේ බලන්න ට්‍රාන්සිස්ටර් රේඩියෝවක ඇතුලත හරි සරලයි.

May07-El_Personal-Fig3

  අපේ කාලයේ තිබුණු විවිධ ප්‍රමාණයේ සහ විවිධ හැඩයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ කීපයක් පහත දක්වනවා.

aircastledialrestringpo

  ඔන්න ඉතින් අපි ට්‍රාන්සිස්ටරයේ විශ්මය විඳිමින් ඉන්න අතරේ ,1960 දශකයේ අග භාගයේදී, මහා විශ්මය ජනක දෙයක් දකින්නට අහන්නට ලැබුනා. ඒ තමයි කැසට් ටේප් රෙකෝඩරය. ස්පූල් ටේප් රෙකෝඩරය මෙන් විශාල නැති, බොහොම හුරුබුහුටි මේ යන්ත්‍රයට දමන, කුඩා පෙට්ටියක් වැනි කොටස ඇතුලේ, ටේප් පටියක් කරකැවෙන බව දැක්කම, අපේ ඇස් උඩ ගියා. මුල්ම යුගයේ කැසට් රෙකෝඩර මෙන්න මේ වගේ.

vintage-cassette-recorder

  ලස්සනයි නේද? හැබැයි ඉතින් අපේ මිනිස්සුන්ට මේකත් මදිවුණා, ටිකක් කල් යනකොට. ඒ නිසා රේඩියෝ එකයි, රෙකෝඩ් ප්ලේයර් එකයි, කැසට් රෙකෝඩර් එකයි, ඔක්කොම එක පෙට්ටියක හයි කරගෙන පාවිච්චි කිරීමේ තන්හාව ඇති වුණා. මෙන්න මේක තමයි ඒ තන්හාවේ ප්‍රතිඵලය. කෑලි තුනක් එකට ඈඳලා තියන නිසා මේකට කිව්වේ ‘ත්‍රී ඉන් වන්’ කියලා.

13  කොහොමද වැඩේ? මට පුදුම අද වෙනකොට ‘වන් තවුසන් ඉන් වන්’ කියලා එකක් ඇවිල්ලා නැති එකටයි. 😀 හැබැයි ත්‍රී ඉන් වන් එච්චර ජනප්‍රිය වුනේ නැහැ. මොකද ඒ වනවිට වයිනයිල් තැටි නිෂ්පාදනය අභාවයට යමින් තිබුනේ. ඉතින් අන්තිමට අපි නැවතුනේ පහත දැක්වෙන විදිහේ ‘ටූ ඉන් වන්’ එක බදා ගැනීමෙන්.

2radio1

  මේ වගේ රේඩියෝ ලංකාවට එන කාලේ අපේ රටෙත් රේඩියෝ හැදුවා. ඒ සඳහා මුල් වුනේ, නැසීගිය, උපාලි විජේවර්ධන මහතාට අයත්, උපාලි ට්‍රේඩින්ග් කම්පනි නමැති සමාගමයි. ඒ සමාගමෙන් අර මුල්ම යුගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ වලට සමාන මේසය මත තබන ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ වල සිට ඉහත රූපයේ පෙන්වන ටූ ඉන් වන් වර්ගයේ රේඩියෝ දක්වා විවිධ රේඩියෝ හැදුවා. එවැනි එකක පින්තූරයක් හොයන්න ගත් උත්සාහය සාර්ථක වුනේ නැහැ. නමුත් පුවත්පත් දැන්වීමක් හොයාගන්න ලැබුණා. මෙය 1991 වර්ෂයේ දැන්වීමක්.

Unic

  මීට අමතරව ඒ දිනවල ජනප්‍රියවූ තවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වුනේ ‘ඩිවෙලෝ’ රේඩියෝව. පහත දැක්වෙන්නේ ඒ රේඩියෝ වර්ගයේ එක මෝස්තරයක්. මේ පින්තූරය ලබාදීම පිළිබඳව හීනලන්තයේ හරී ට මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා.

Develo

  මීට අමතරව සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාරයෙන් ‘ඇන්ටන්’ නමින් රේඩියෝවක් හැදූ බව මගේ මතකයේ යන්තම් තිබෙනවා. ඔබ ඒ ගැන යමක් දන්නවානම් මා දැනුවත් කරන්න. මීට පස්සේ යුගය ගැන ඔබට විස්තර කියන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔබට මතකද 1980 දශකය වනවිට තිබුන ටූ ඉන් වන් යන්ත්‍ර? මේ තියෙන්නේ ඒ වගේ එකක්.

img047

  මේ වගේ ස්ටීරියෝ යන්ත්‍ර වලට වඩා දියුණු, ත්‍රිමාන ශබ්ද සහිත රේඩියෝ අද තිබුනත්, නිසි අවබෝධයෙන් ඒවාගේ ස්පීකර් ස්ථානගත කර තිබෙනවා දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. මම ඔබ සමග සංයුක්ත තැටි ධාවන යන්ත්‍ර පිළිබඳව කතාකරන්න නොයන්නේ ඔබ ඒ ගැන දන්නා නිසයි.

   කාලයක් මගේ සිහිනයක්ව තිබුන ස්ටීරියෝ පද්ධති දෙකක පින්තූර පහත දක්වනවා. නමුත් මේ එකක්වත් ගන්න මට නොලැබුණේ, ඒ කාලේ මට එපමණ වත්කමක් නොතිබුන නිසයි. මේ යන්ත්‍ර දෙකම 1990 දශකයේ මුල් භාගයේ ඒවා. මේ යන්ත්‍ර එකක් රු 80000 ක් පමණ මිල වූ නිසා, මම ඒ ගැන ආසාව අතහැරියා.

img061

img046

  තන්හාය ජායතී සෝකෝ විමලෝ කිව්වලුනේ. 😀 😀 මේ යන්ත්‍ර දෙකට අදාළ විස්තර පත්‍රිකා දෙක අදත් මා සතුව තියනවා. 

  ඉන්ටර්නෙට් රේඩියෝ දැකලා තියනවද ඉන්ටර්නෙට් රේඩියෝ? දැකලා නැත්නම් මෙන්න බලන්න 1950 දශකයේ අග භාගයේ රේඩියෝවක් මේ. මොන හේතුවක් නිසා ඉන්ටෙර්නෙට් කියන නම මේ රේඩියෝවට දැම්මද කියලා මම හෙව්වා. නමුත් පිළිතුරක් හමුවුනේ නැහැ.

SONY DSC

ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම රේඩියෝ කීපයක පින්තූර පහත දක්වනවා. මේවා ‘කවදාවත් පරණ නොවෙන’ කියන උපහාරයට ලක්වෙන රේඩියෝ.

882-8300_IMG-1

rf4800lrg

sony_icf6800w

uF85lrg

මේ බලන්නකෝ 1990 දශකයේ ස්ටීරියෝ පද්ධතියකට තිබුණු දුරස්ථ පාලකය.

img049

ඔබ වර්තමානයේදී ලෝකයේ විවිධ ගුවන්විදුලි ප්‍රචාර වෙත, කෙටි තරංග ඔස්සේ සවන්දීමට කැමතිනම්, පහත දැක්වෙන ආකාරයේ රේඩියෝ එකක් තමයි සුදුසු.

ICF-SW7600GRS

  ලිපිය අවසන් කරන්නට මත්තෙන් මා ඔබෙන් එක පැනයක් විමසනවා. හදිසියකදී ඔබේ නිවසේ කටහඬ/සංගීත/ගුවන්විදුලි වැඩසටහන් පටිගත කරගන්න පහසුකම් තියනවද? කැසට් ටේප් අපෙන් ගිලිහී යාමෙන් පසු, අපේ ගෙවල්වල තිබුන පටිගත කිරීමේ පහසුවද ගිලිහී ගියා. ‘හයියෝ එව්වා මොනවටද මගේ කොම්පියුටරෙන් පුළුවන්නේ, මගේ පෝං එකෙන් පුළුවන්නේ’ කියලා කිව්වට, කොරන්ඩ ගියාම තමයි රඟේ තේරෙන්නේ. 

  ඔන්න ඔබත් සමග ඉතා දීර්ඝව කල සාකච්ඡාවක්, මෙතනින් අවසන් කරනවා. නමුත් මේ ලිපියට තවත් කොටස් දෙකක් පමණ එකතු කරන්නට තරම් තොරතුරු සහ පින්තූර, මා සතුව තිබෙනවා. මීට වඩා මේ ලිපි මාලාව දික් වුනොත් ඔබට නීරස වන නිසා මෙතනින් සමුගන්නවා.

මේ ලිපියෙහි ඇතුළත්, යුනික් රේඩියෝ දැන්වීම සහ, ඩිවෙලෝ රේඩියෝවේ පින්තූරය හැර, අනෙක් සියලුම පින්තූර, Google Images වෙතින් ලබාගෙන සංස්කරණය කල ඒවා බව සඳහන් කරනවා.

My Signature for Blog2013 මාර්තු මස 05 වැනි දින 0109 පැය

Advertisements

Comments on: "අපි අහපු වෑර්ලස් – (හතරවැනි කොටස) – Vintage Radio Sets (Part Four)" (65)

  1. අන්තිමට තියෙන එක තමයි සුදු අප්පුහාමිගේ රේඩියෝව. එයා එක්ක ලෝකයේ රටවල් හැට හැත්තැවක ඇවිදින්න ගිහින් තිබිච්ච එකක්. හැබැයි ඔය පින්තූරේ වගේ ම හොඳට ලස්සනට තියෙනවා තවම.

    • මේ රේඩියෝව ඉතා විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්. මමත් පාවිච්චි කර බලා තිබෙනවා යාලුවෙකුගේ මේ වර්ගයේ එකක්. මෙය ලෝකයේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන අතර විශේෂයෙන් ඇමරිකානු හමුදා භටයන් අතර බොහොම ජනප්‍රිය භාණ්ඩයක්.

  2. 1.අපි අහපු වෑර්ලස් – හතරවන කොටස හෝ අවසාන කොටස කියලා තිබුනානම් හොඳයි කියලායි මට හිතෙන්නෙ..

    2. “ඔන්න ඉතින් මේවා අසමින් බලමින් හිටිය අපි වෑල්ව් යුගයෙන් ට්‍රාන්සිස්ටර් යුගයට සම්ප්‍රාප්ත වුනා
    ” ඔය යුගපෙරළිය වෙනකොට පරණ වෑල්ව් රේඩියෝකාරයොත් ඒවා විසිකරලා ට්‍රාන්සිස්ටර් බදාගත්තද නැතිනම් වෑල්ව් ඒවා හොඳයි කිය කිය හිටියද?

    3.”ඊළඟ පරම්පරාව වනවිට අතේ ගෙනයාහැකි ට්‍රාන්සිස්ටර් රේඩියෝ බිහිවුණා පහත දැක්වෙන්නේ එවැනි රේඩියෝවක්” ඒ කාලෙ සමහරු බයිසිකල් වල පයින් යන ගමනුත් ඕවා හයියෙන් දාගෙන අතේ අරන් ගියාලු.. 🙂 දැන් කාලෙ අර කනේ ගහන් යනවා වගේම වෙන්ඩ ඇති.. මීට අවුරුදු දෙක තුනකට කලින් චයිනීස් ෆෝන් වල ටීවී ආවාමත් ඒවා බස් එකේ පේන්ඩ බල බල යන මිනිස්සු හිටියෙ..

    4. “කැසට් ටේප් රෙකෝඩරය” මේකක් මම ගිය අවුරුද්දෙත් පාවිච්චි කළා.. මම හිතුවෙ නෑ මෙච්චර පරණ භාණ්ඩයක් කියලා. හොඳට වැඩ කළානෙ..

    5. “ටූ ඉන් වන්” මෙච්චරකල් මම හිතාගෙන හිටියෙ එක කැසට් රෙකෝඩරයේ කැසට් පීස් දෙකක් දාන්ඩ පුළුවන් එකටයි මෙහෙම කියන්නේ කියලා.. හයියූ..

    6. ඩිවෙලෝ කොම්පැනිය සැම්සන් විජේවර්ධනගේලු. බ්ලොග් එකට දාන බව දන්නවානම් පිහලා කරලා පින්තූරෙ ගන්ඩ තිබුණා..

    7. එතකොට ‘සෙටප්’ එක කියන්නේ මොකක්ද?

    8. ලිපි හතරකින් අපිව වෙනම ලෝකෙකට ගෙනිච්චාට හා ලොකු දැනුමක් ලබාදුන්නාට බොහෝම ස්තුතියි!

    • 1. අතපසුවීමකි. ඩූඩ් ද පෙන්වාදී තිබුණා. නිවැරදි කළා. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නාට.

      2. සමහරක් වෑල්ව් අතාරින්න කැමති වුනේ නැහැ. අකමැත්තෙන් අතාරින්න වුනේ තවදුරටත් අමතර කොටස් නිපදවන්නේ නැති බව/ලංකාවට ගෙන්වන්නේ නැති බව දැනගත්තට පස්සෙයි. ඒ රේඩියෝ වල ස්පීකරය, ටියුනින් කන්ඩේන්සරය, හැර ඉතිරි පරිපථ කෑලි ටික ගලවලා, ඒ තුල ට්‍රාන්සිස්ටර් පරිපථයක් ගුවන්විදුලි කාර්මිකයකු අතින් නිමවා ගැනීමේ ක්‍රමයක් ආවා. සමහරු වෑල්ව් සෙට් එහෙමම පැත්තකින් තියලා ට්‍රාන්සිස්ටර් සෙට් ගත්තා.

      3. විශේෂයෙන් ටෝච් බැටරියෙන් ක්‍රියාකරන ‘ටූ ඉන් වන්’ ආව කාලේ, ඒවා තිබුන අය, බස් එකේ ගමනක් යනකොට ඕකත් අතේ අරන් යනවා. බස් එකේ ඉන්න අය කට ඇරගෙන බලා ඉන්නවා. අරයා මහා හඬින් කැසට් එකක් දාගෙන යනවා. (ඒ කාලේ බස්වල, දැන්වගේ මගීන්ගේ කණ පලන හුළං විහිලු යන්තර තිබුනේ නැහැ)

      4. නඩත්තුව සහ නිවැරදි පාවිච්චිය තිබේනම් මේ යන්ත්‍ර ඉතා දිගු කලක් පාවිච්චි කලහැකියි.

      3. ඩූඩ් ගේ කමෙන්ට් එකේ ත්‍රී ඉන් වන් එකට මම දුන්න උත්තරේ බලන්න එහි විරුද්ධ ලිංගික පැත්ත.

      5. මම හිතුවේ උයලා පිහලා තමයි පින්තූරේ එව්වේ කියලා. ඒත් මම හිතුවා ඇයි මේක ටිකක් එලිය තියන තැනක තියලා පින්තූරය නොගත්තේ කියලා.

      6. ටූ ඉන් වන්, ත්‍රී ඉන් වන් දෙකත් සෙටප් තමයි. එකම පද්ධතියක් ලෙස සැකසීම. අපි දැන් කාලේ ඇම්ප්ලිෆයරය , කැසට් ප්ලේයරය, සී ඩී ප්ලේයරය, ඊක්වලයිසරය, ආදිය, ඩෙක් වශයෙන් (සමහරු ‘ඩෙක්’ කියන්නේ අර පරණ වීඩියෝ කැසට් ප්ලේයරයට පමණයි නොදන්නාකම නිසා) ඒ සඳහාම නිපදවුණ රැක් එකක, එක මත එක තබා තිබෙන්නේත් සෙටප් එකක් ලෙසයි.

      7. ස්තුතියි ඇගයීම ගැන.

      • 3. 😀

        5. මොන උයනවා පිහනවාද? මට ඕන උනේ මොඩල් එක පෙන්වන්නනෙ.. ඒක නිසා මුල්ලකින් ඇදල අරන් ගහල එව්වා… ආලෝකය තියා හරියට සෙන්ටර් කරලවත් නෑනෙ.. දූවිලිත් තියෙනවා වගේ හුණු ගාද්දි වැටිච්ච ලපත් තියෙනවා..
        මේ ලිපි කියෙව්වට පස්සෙ මට හිතුනා ඒක හදලා ගන්ඩ..

        අපරාදෙ මීට ටික දවසකට ඒ කිව්වෙ වෑර්ලස් ලිපි ලියවෙන්ඩ සති දෙකකට කලින් ඕකෙ තිබ්බ ස්පීකරය දිරලා විසිකරා.. මම බැන බැන හිටියෙ ඕකත් විසිකරන්ඩ කියලා.. ඒත් තාත්තා විසිකරන්ඩ දෙන්නෙ නෑ..

        • කම්මැලියා කියලා කියන්නේ ඒකයි. මුල්ලෙන් ඇදලා ගහලා එව්වට හරියන්නේ නෑනේ.

          වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ රේඩියෝව අලුත්වැඩියා කරගත්තනම් කෞතුක වටිනාකම වැඩි වෙනවා.

  3. මගේ තේක නිවිලා. මේකේ රසවත් බව නිසා. අප ඔබට ණයගැතියි මෙවැනි වටිනා ලිපි සපයනවට. ඇත්තටම මා රෙකොර්ඩ් කිරීමට ඉතා උනන්දුවෙන් එය තිබෙන තැනට තප්පරයකට අඩු කාලයකින් යාමට හොඳින් දන්නවා මගේ ජංගම දුරකතනයේ. ඒ ගැනත් කියන්න ඕනේ. ජංගම දුරකථනයත් 100 ඉන් වන් එකක් නේද ?

    • ඇත්තටම අපිට ඉතුරු වෙලා තියෙන්නේ ජංගම දුරකථනය විතරයි වගේ. නමුත් හොඳ ගුණාත්මක පටිගත කිරීම් කළා ඒ කාලේ කැසට් රෙකෝඩර් වලින්.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

  4. අපි ආපහු යුද්ධෙට යං… 🙂

  5. බුලට් ට්‍රේන් එක කොහෙන්ද හොයා ගත්තේ? 😀

    කැසට්, සීඩී, ඩීවීඩී, බ්ලුරේ ප්ලේයර්, චිප්, පෙන් රීඩර්, රේඩියෝ, ඊක්වලයිසර්, මික්ශර්, එලාම්, ට්‍රාන්ස්මීටර්, ගේම්ස්……. තවුසන්ඩ් ඉන් වන්.

    යුනික් ඇඩ් එකට කලින් තිබුණු නැෂනල් පැනසොනික් රේඩියෝ කැසට් එක මං පොඩි කාලේ ගොඩක් ජනප්‍රිය එකක්. (අපිත් සාඩම්බර හිමිකරුවෝ) මගෙනම් ආසම ගැජට් එක තමයි කැසට් එක යටින් තියෙන ඉලක්කම් කරකැවෙන එක. වෙලාවකට අතිනුත් කරකවනවා. ඒ කාලේ අපිට ඒවා මැජික්. පස්සේ කාලෙක අපි අතින් මස් උණත් ඒකෙන් ඉගෙන ගත්තු දේ බොහෝමයි. විශේෂයෙන් කැසට් ප්ලේයර් එකේ සියලුම යාන්ත්‍රික කොටස් ගැන.

    දන් තියෙන රේඩියෝ එක්කනම් වෙලාවකට මළත් පනිනවා. බවුත් එකේ බිට් එකට එක පාර කෑලි දෙක තුනක් ගැලවෙන සයිස්. විනෝදයට ඔය වගේ වැඩ කරන එවුන් ගාව කොහෙද හොට ගන්. ඔය කියද්දී මතක් උනේ. අපේ මුල්ම බවුත් එක ස්පෝක් එකක තඹ කම්බියක් ඔතලා ලී මිටක් ගහපු (අපේම නිෂ්පාදනයක්) එකක්. අම්මට උයන්න නෑ කියලා බැනුම් අහපු වාර ගානත් එහෙම්මමයි.

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ෆෝන් එක. 😀
    මගේ මතකේ සුපිරි හින්දා ක්ලාස් එකේ ලෙක්චර්ස් රෙකොර්ඩ් කරලා යන එන ගමන් අහනවා. 100% සාර්ථකයි.

    • බුලට් ට්‍රෙන්? (ටියුබ් ලයිට්)

      ඔයා නම් මගේ ඉහත ආත්ම සහෝදරයෙක්. ඔයා කියන ඔක්කොම ‘හොඳ වැඩ’ මමත් අපේ ගෙදර රේඩියෝ එකට කරලා තියනවා. දවසක් අර ඒ කාලේ තිබුන භූමිතෙල් ලිප අස්සේ මගේ තඹ කූරූ බවුත් එක ගහන්න ගිහින් ලිපේ තියලා තිබුණු ඇතිලියක් පෙරලිලා, අක්ක බවුත් එක උඩින්ම මිදුලට වැඩමෙව්වා. 😀

      රෙකෝඩ් කිරීම ගැන එක වචනයක් අඩුවෙන් මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හොඳ තත්වයේ පටිගත කිරීමක් කරන්න පුලුවන්ද කියලයි මට අහන්න ඕනේ වුනේ.

      • අපිත් ඔය ස්පෝක් තඹ කම්බි බවුත් පාවිච්චි කළ අය. ඕක අපට 6 වසරෙ ජීවන කුසලතා කියන විෂයට හදන්න තිබ්බ එකක්.

      • බුලට් ට්‍රේන් එකේ ගිහින්නේ පෝස්ට් එක ලියලා තියෙන්නේ. පුදුම හදිස්සියෙන් යුග ගානක් පහු කරලා.

        @ප්‍රසා අයියා:

        අපේ ගෙදරට කරන්ට් එක ගත්තේ අනූහයේදී. ඉතින් ඊට ඉස්සරත් ඔය බවුත් එක පාවිච්චි කළා. ඕක හැදුවේ අයියයි මායි. හැබැයි අයිඩියා එකනම් කොහෙන්ද කියලා මීටර් නෑ.

        • දීර්ඝ විස්තර කියවන්න බොහෝ දෙනෙක් අකමැති නිසා කෙටි වාක්‍ය වලින් ලිව්වේ. තව ලිපියක් ලියන්න තරම් කරුණු තියනවා. නමුත් මට හිතුනා දැන් ඇති කියලා.

  6. අපි අහපු වෑර්ලස් 4 නැතිනම් අවසාන කොටස කියලා නොදැම්මෙ ඇයි විචාරක්. මම හිතුවා ආපහු මුල එක වැටිලා කියලා.

    ත්‍රී ඉන් වන් කියලා මම හිතුවේ වෙන දේකට 😀

    • බුදු අම්මේ වැරදිලා නේන්නම්. ඔන්න වැරැද්ද හැදුවා. බොහොම ස්තුතියි.

      අර පොලේ විකුණන ‘චන්ඩියා මෙල්ල කරන’ ත්‍රී ඉන් වන් ගැනද හිතුවේ 😀 😀

  7. මොකද අනේ අපිට දැන් රේඩියෝ එකක්වත් හදාගන්න බැරි

  8. මට මතකයි මුලින්ම ට්‍රන්සිස්ටර් රෙඩියෝ හැන්ඩ්ලෙ එකත් එක්ක ආවම අපෙ ගමේ අයියලා ඕක එල්ලං තමයි නාන්න පොදු ලිඳට ගියෙත් බොන්න බොන තැනට ගියෙත් ඉතිං රෑට සින්දු දෙකයි රෙඩියො එකයි බීපු එකාගෙ කුණුහබ්බ සංගීතයයි..

    • ඒ කාලේ ඔය රේඩියෝ එක අතේ එල්ලගෙන යනකොට ගමේ ලමිස්සියෝ ජනෙල් රෙද්ද අස්සෙන් ‘කොකන් පානවා’. ආයේ ඉතින් ටක්කෙටම වැඩ හරියනවා. කියාලා ලියාලා වැඩක් නැත. 😀 😀

  9. ක්සැන්ඩර් said:

    මයේ අප්පේ.. මට අර රෙකෝඩ් ප්ලේයර් එක මතකයි අපේ අප්පච්චිගේ මහා ගෙදර තියනවා. දැනුත් තියේද දන්නේ නෑ.. 🙂

    සුන්දර මතකයන් දැනුනු සටහනක්.. ඒත් අද එක නං හදිස්සියේ ලියලද වෑර්ලස් ටික කොට කරන්න ඉක්මනින් ලියලද නැත්තං වෑර්ලස් ටික කොටකරන්න හදලද කියල මට හිතෙනවා..

    • ලිපිය ටිකක් සාරාංශ කළා. නැත්නම් එපාවෙනවා සමහර අයට. අර රෙකෝඩ් ප්ලේයර් එක ගැන වහාම හොයා බලන්න. අලුත්වැඩියා කරගත හැකිනම් ඉතාම වටිනවා.

      ස්තුතියි ඇගයීම ගැන.

      • ක්සැන්ඩර් said:

        ඒක හොඳින්ම වැඩ කළා මට මතක විදියට. තවම තිබ්බා ඔය කළු රෙකෝඩ් කීපෙකුත්. එහෙ ඉන්න පොඩි එව්වෝ ඔය ගැජට් එක මස් කරලා නැතිනම් තාම බඩු වැඩ කරන්න ඕනේ.

  10. ඔය රෙකොර්ඩ් ප්ලේයර් එකක් අපේ පංසලේ පොඩි හාමුදුරුවෝ ළග තිබුණා. පංසලේ ළිදෙන් වතුර ගෙනියන්න ආපු සෝමා අක්කා හාමුදුරුවන්ගෙ කාමරේ කූරුවල එල්ලිලා “සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ” සිංදුව කිව්වා, හාමුදරුවා් ඇතුලෙ ඉදන් රෙකොර්ඩ් කළා. එදා තමයි පළවෙන් වතාවට ටේප් රෙකෝඩරයක් දැක්කෙ….මතක හැටියට ඒ 1974 අවුරුද්ද වෙන්න ඕන.

    සවුන්ඩ් සෙටප් එකක් නියම විධියට ස්ථානගත කරන්නෙ,
    සෙටප් එකේ සිට අඩි 4ක් වම් පසට එක් ස්පීකරයකුත් දකුණු පසට එක් ස්පීකරයකුත් උඩින් එක් ස්පීකරයකුත් තබා සවන්දෙන්නා (නරඹන්නා) වාඩි වී සිටින අසුන සෙටප් එකේ සිට අඩි 8ක් ඉදිරියෙන් තබා ඒ දෙපසින් අඩි 8ක පරතරයක් සිටින සේ තවත් ස්පීකර් දෙකක් සවන් දෙන්නාගේ දෙසවන් වලට මුහුණලා ස්ථානගත කිරීම නේද නිවැරදි (ත්‍රිමාණ) ක්‍රමය…..? (මම බිහිරා හින්දා මට නම් අදාල නෑ ඔවා… :)….)

    • හාමුදුරුවෝ ළඟ තියෙන ඇත්තේ ‘රෙකෝඩ් ප්ලේයර්’ එකක් නෙවෙයි ‘ටේප් රෙකෝඩර්’ එකක් වෙන්න ඇති නේද? රෙකෝඩ් ප්ලේයර් එක කියන්නේ තැටි ධාවන යන්ත්‍රයටනේ.

      එක එක ශබ්ද වාහිනී පද්ධතිය අනුව ඒ ඒ ස්පීකරය තිබිය යුතු තැන පිළිබඳව සටහනක් දෙනවා. ඒ අනුව ඔබ කියන ස්පීකර් අතර පරතරය වෙනස් වෙන්නත් පුළුවන්.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  11. ඔය රේඩියෝ කැසට් ප්ලේයර් වලිං හොඳම එකනං මට හිතෙන විදියට නැෂනල් පැනසොනික් එක තමයි. අපේ ගෙදර අවුරුදු 35 ක් විතර වෙන එකක් තියෙනව තාමත් හොඳට වැඩකරන.

    ඔය යුනික් එකේ ආව ඩිස්කො ලයිට් කියල ස්පීකර් දෙක ඇතුලෙ ඔටෝමැටික් LED හයිකරපු මොඩල් එකක් ඒ වගේම ඩේට්රෝන් එකේ තිබුණ පොඩි ටීවී එකක් හයිකරපු කැසට් එකක්.

    විචාරක මහත්තයට පිටිපස්සෙන් තොරණ වගේ වයර් හයිකරන 5 පීස් සෙපරේට් සෙටප් එකක් ගන්න මටත් ඒ කාලෙ ආසාවක් තිබුණ. 😀

    • ඔබටත් හොඳ මතකයක් තිබෙන බව පෙනෙනවා ප්‍රසන්න. හරිම අගෙයි. එක එක්කෙනා හුරුවූ රේඩියෝ තියනවා. ඉතින් ඒකට තමයි කැමති. ඔයා කියන ඩිස්කෝ ලයිට් රේඩියෝව මට මතකයි. බොහොම ජනප්‍රිය වුනා. හොඳ ස්ටීරියෝ පද්ධතියක් ගැනීම අපි ඔක්කොගෙම සිහිනයක්. හැබැයි නෝනලා කැමති නෑ දඩිං බිඩිං සද්ද වලට.

  12. මැදහරියෙ තියන නැෂනල් ටූ ඉන් වන් එකක් අපේ ගෙදරත් තිබුන. මෑතක් වෙනකල් වැඩකලා. ඊට පස්සේ කාටදෝ දුන්න.
    ඕල් රවුන්ඩර් විචාරක මහත්මයගෙ ලිපි පෙළ නියමයි.

  13. අයියෝ ඉවරද ?

    ගොඩක් ස්තුතියි විචාරක මහතා මේ කල සද්කාරයට. රේඩියෝ ගැන නොදැන සිටි බොහෝ දේවල් දැනගත්තා.

    රේඩියෝ එකේ යන සින්දු රෙකෝඩ් කරගන්න ඒ කාලේ පුදුම කට්ටක් කැවා මතකයි. හරියට සින්දුව පටන් ගන්නකොටම රෙකෝඩ් බටන් එක ඔබන්න ලැස්ති වෙලා ඉඳලා රෙකෝඩ් කරපු විදිහ තාමත් මතකයි. මම එහෙම කැසට් පීස්‌ එකක්ම හදන් හිටියා. ( පොඩි කාලෙම බුද්ධිමය දේපල මංකොල්ල කාලා නේද ? 🙂 ) ඉස්සර සින්දුව මැද්දෙන් අර එෆ්එම්, මේ එෆ්එම් කියලා නොකියපු නිසා වැඩේ එහෙම පුළුවන් වුනේ.

    ඔන්න ඉතින් මේවා අසමින් බලමින් හිටිය අපි වෑල්ව් යුගයෙන් ට්‍රාන්සිස්ටර් යුගයට සම්ප්‍රාප්ත වුනා.

    ඔය සම්ප්‍රාප්තියට අපේ දායකත්වය බින්දුවක් වීම ගැනනම් හිතට හරිම කනගාටුයි. එක එදත් එහෙමයි, අදත් එහෙමයි.

    මොන හේතුවක් නිසා ඉන්ටෙර්නෙට් කියන නම මේ රේඩියෝවට දැම්මද කියලා මම හෙව්වා. නමුත් පිළිතුරක් හමුවුනේ නැහැ.

    මට හිතෙන්නේ මෙහෙමයි. ඔය 50 දශකයෙ මුල වගේ නේද ලෝකෙට ඉන්ටර්නෙට් පැමිණෙන්නේ ? ඉතින් ඒ දවස් වල ඕක නැගලා යන වචනයක් වෙයි කියලා ඔය නිෂ්පාදකයා අනුමාන කරනං ඇති.. 2000 කියන ඉලක්කමටත් ඔය ආනිසංසෙම වුනානේ..

    අර Made in Sri Lanka කියලා තියන එක දකින්නත් ආසයි. උපාලි විජේවර්දන වගේ තව දෙතුන් දෙනෙක් හිටියනම් ලංකාව ගොඩ.

    ඔබ තුමාගේ වැරදි පෙන්නන්න තරම් මට සිංහල දැනුමක් නැ. එත් මෙතැන විකාශනය වෙන්න ඕනා කියලා මට හිතෙනවා.

    >> රේඩියෝග්‍රෑම් එක දක්වා විකාශය සඳහන් කිරීමෙන්. <<

    නැවත වතාවක් ගොඩක් ස්තුතියි මේ ලිපි මාලාවට. මේක මේ පිළිබඳව සිංහලෙන් ලියවෙච්ච ඉතාම වටිනා ලිපියක් බවට සැකයක් නැ.

    • ලියනවානම් තව ගොඩක් තියනවා සෙන්නා. නමුත් මම හිතුවා දැන් ඇති කියලා. ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      මමත් ටිකක් කල් ගිහිල්ලා තමයි කැසට් රෙකෝඩරය නිවැරදිව පාවිච්චි කරන හැටි ඉගෙනගත්තේ. මම මෙතෙක් දැක තිබෙන හොඳම කැසට් රෙකොඩරයේ (මයික්‍රෆෝනය වයරයකින් සම්බන්ධ වෙන්නේ) මයික්‍රෆෝනයේ පෝස් බොතමක් තිබුනා. හරි පහසුයි අවශ්‍ය වෙලාවට නවත්තාගන්න.

      අනාගතයේදී මේ ඉලෙක්ට්‍රොනික් ලෝකය කොහොම වෙනස් වෙයිද? අපිට ඉතින් ඒවාට දායක වෙන්න බැහැනේ.

      උපාලි විජේවර්ධන වගේම ඒ විදිහට අපේ ආර්ථිකය හැඩගැස්වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා මේ රටේ අගමැති වුනානම් විශාල වෙනසක් සිදුවෙනවා සිකුරුයි.

      මමත් හිතන්නේ අර ඉන්ටර්නෙට් රේඩියෝව නම් කරන්න ඇත්තේ ඔබ කියන ආකාරයට වෙන්න ඇති.

      විකාශය = පරිණාමය = එදා සිට අද දක්වා වෙනස්වීම = වර්ධනය වීම.

      විකාශනය = විද්‍යුත් මාධ්‍ය වල වැඩ සටහන් ප්‍රචාරය කිරීම. මම හිතනවා මගේ යෙදුම නිවැරදියි කියලා. වැරදි දහසක් පෙන්නුවත් මම අමනාප නැහැ.

      • “හරියට සින්දුව පටන් ගන්නකොටම රෙකෝඩ් බටන් එක ඔබන්න ලැස්ති වෙලා ඉඳලා රෙකෝඩ් කරපු විදිහ තාමත් මතකයි. ” මම පොඩිකාලෙ ඔහොම කරලා තියෙනවා. ඒත් කොලිටියට රෙකෝඩ් කරගන්ඩ බැරිවුනා..

        • නිවැරදි ක්‍රමය ඉස්සර වෙලාම Pause බොත්තම ඔබනවා. ඊළඟට Play සහ Record බොත්තම් දෙකම එකවර ඔබනවා. (සමහර කැසට් රෙකෝඩර් වල Record බොත්තම එබුවම Play බොත්තම නිකම්ම එබෙනවා. අවශ්‍ය දේ ආරම්භ වෙනකොටම Pause බොත්තම නැවත එබුවම පටිගතවීම පටන්ගන්නවා.

      • විචාරක මහතා, මම හිතන්නෙ ඔය දෙක අනිත් පැත්තට තමයි හරි..

        විකාශය = විද්‍යුත් මාධ්‍ය වල වැඩ සටහන් ප්‍රචාරය කිරීම.

        විකාශනය = පරිණාමය = එදා සිට අද දක්වා වෙනස්වීම = වර්ධනය වීම.

        • මධුර ශබ්දකෝෂයේ විකාශය කියලා ටයිප් කරාම දෙන ඉංග්‍රීසි තේරුම development. මලලසේකර ශබ්දකෝෂයේ broadcast කියන එක විකාශය ලෙස දක්වා තිබෙනවා. මම හිතන්නේ මලලසේකර ශබ්දකෝෂය වැඩිය විශ්වාස නිසා ඔබ කියන එක හරි.

          හැබැයි විද්‍යුත් නාලිකා කියන්නේ අපගේ විකාශනය කියලා නේද?

      • මමත් මේ වචන දෙක ගැන ටිකක් හොයලා බැලුවා.. කියන්ඩ කණගාටුයි වැඩේ හොඳටම අනාගන තියෙන්නෙ මේ වෙනකොට.. වචන දෙකම තේරුම් දෙකම වෙනුවෙන් හුගක් තැන්වල භාවිතා වෙලා තියනවා.. පිටුවහල්, පිටිවහල් දෙකත් මේ වගේම නිතරම වරදින දෙකක්..

        මට මතක නිකන් ” සජීව විකාශය” කියලා කියනවා වගේ..

      • ඉන්ද්‍රජිත් said:

        මමත් සරල අදහසක් දාන්නද…
        ‘විකාශය’ කියන වචනේ ‘එක් තැනකින් පටන් අරන් පැතිරී යාම’ කියන අරුත දෙන්න බොහොම අතීතයේ පවා පාවිච්චි වෙලා තියෙනවා. පරිනාමවාදය කියන වචනය රෙජිස්ටර් වෙන්න පෙරාතුව සිංහලෙන් විද්‍යාව පිළිබඳව (ඒකාලේ කිවුවේ ‘නවීන විද්‍යාව’ කියලනේ..) පොත් ලියන කොට මාටින් වික්‍රමසිංහ මහතා වැනි අය ‘ක්‍රමවිකාශ වාදය’ යන වචනය පාවිච්චි කරලා තියෙනවා. ‘විකාශණය’ කියන වචනය රුපවාහිනිය හා ගුවන්විදුලියට අදාලව භාවිතා වීගෙන ඇවිත් දෙදාස් ගණන් වල මුල හරියේ කවුරුන්හෝ භාෂා අදුරු තුමෙකුගේ මගපෙන්වීම නිසා මුලින්ම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය වලිනුත්, ඉන් අනතුරුව අනෙක් අයත් ‘විකාශය’ට බැහැපු බවක් මතකයේ තියෙනවා.
        මට නම් තේරෙන විදියට, ඉබේ සිදුවෙන දේ ‘විකාශය’ත් වෑයමක් දරා කරවනු ලබන දෙය ‘විකාශණය’ත් විය යුතුයි.

        • බොහොම හොඳ බොහොම අගනා අදහස් ඉදිරිපත් කිරීමක්. විකාශය නමැති වචනය පිළිබඳව ඔබ කියා තිබෙන මතවාදය මගෙත් මතකයේ කොනක රැඳී තිබුන නිසයි මමත් ඒ ආකාරයට ලිව්වේ. ඇත්ත වශයෙන්ම මම මේ දිනවල මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ පොත් කීපයක් කියවාගෙන යනවා මේ පිළිබඳව යමක් ඇද්දැයි බලන්න. තවත් මෙවැනි අදහස් මගින් අප දැනුවත් කරන මෙන් ඉල්ලනවා.

  14. ලිපියනම් නියමයි.නරකද ආයෙත් වෑර්ලස් එකෙන් යුදපිටිය පැත්තට බැස්සොත්.

  15. මේ ලිපි මාලාවෙන් සෑහෙන කරුණු දැන ගත්තා. ඒකට බොහොම ස්තුතියි විචාරකතුමාට..!

    අර අවසාන ප්‍රශ්නය ගැන කිව්වොත්, දැන් තියන උපාංග වලින් ඔය වැඩේ කරන්න පුළුවන් උනාට හදිසියකදී කරන්න ටිකක් අමාරුයි කියලයි මටත් හිතෙන්නේ. කැසට් එක නම් පීස් එක දාල බට්න් එක ඔබන එක විතරයි නේ. ෆෝන් එක ටිකක් වත් පහසු උනත් කෝල් එකක් ආවොත් වැඩේ දෙල්… 🙂

    • ලිපි මාලාව ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      මමත් කියන්නේ ඒක තමා. දැන් අපිට හොඳ පටිගත කිරීමේ උපකරණ නැවත මිලදී ගන්න සිදුවෙලා තියෙන්නේ. රූපවාහිනී වැඩසටහනක් පටිගත කිරීමට දෘඪ තැටි සහිත ඩී.වී.ඩී. යන්ත්‍ර මිලදී ගත යුතුයි. හඬ පටිගත කිරීමට තවමත් කැසට් රෙකෝඩර වෙළඳපොලේ තිබෙනවා. අලුත් ඩිජිටල් පටිගත කිරීමේ යන්ත්‍ර පහසු වුනාට ගුණාත්මක භාවය අඩුයි.

  16. පරණ නැෂනල් රේඩියෝ එකක් අපේ සීයා ලඟත් තිබුනා වගේ මතකයි මේ මෑතක් වනකල්ම මොනවා වෙලාද දන්නේ නැහැ. විස්තරේ වටිනවා විචාරක තුමෝ.

  17. රූපවාහිනී එන්න කලින් රේඩියෝ විතරක් තිබුන කාලෙ ගැන මතකය අලුත් වෙනවා මේක කියවනකොට.ඔය කැසට් රේඩියෝ අසූ ගනන්වල අරාබි රටවල්වලට රස්සා වලට ගිය අය එනකොට ගෙනාව බ්ඩුවල තිබුන නොවරදින දෙයක්.බැටරි වලිනුත් වැඩකරන නිසා විදුලිය නැතත් පාවිච්චි කරන්න පුලුවන්නෙ.ඕක ඉතින් ගමටම ඇහෙන්න දැම්මෙ නැතිනම් නින්හ යන්නෙත් නෑ.යන යන තැන්වල ගෙනියන එකත් ඉට්ටැයිල් එකක්.පරන රේඩියො වල හැම එකේමවගෙ බෑන්ඩ් හතරක් වත් තිබුනා.MW/FM/SW1/SW2 හෝ LW/MW/FM/SW1/SWවගේ. ෂෝට් වේව් තිබුන එක ඒ කාලෙ බොහොම වටිනවා මොකද දැන් වගෙ FM ගිරව් හිටිය නැති නිසා ලංකා හුලන් විහිලුව කියන්නෙ බොරුද කියල සහතික කරගන්න වෙරිටාස්.බී,බී,සී..,රේඩියෝ ඕස්ට්‍රේලියා එහෙම අහන්න පුලුවන්.ඉන්ටර්නෙට් අහල තියා ගමක ටෙලිපෝන් එකක්වත් නෑ.ගුවන් විදුලියේ ඉන්දියවට දීපු හින්දි සේවයත් අහන්න පුලුවන් වුනා.අමාරිස් අයියා කියනවවගෙ විශ්වාස කරනව නම් විශ්වාස කරන්න නැතත් විශ්වාස කරන්න ප්‍රේමදාස මහතා මැරුන වෙලාවෙ ආරංචිය මම දැනගත්තෙ ෂෝට් වේව් රේඩියෝ එකකින්.ඔය සෝනි එක වගෙ බෑන්ඩ් 8ක් තියන ෂෝට් වේව් රේඩියෝ එකක් මා ලඟ තියනව ඩයල් කෝඩ් එක කැඩුනට පස්සෙ ඒක අහන පුරුද්ද අතහැරියා.
    විචාරක මහත්මයා රේඩියෝ ලයිශන් එක ගැනත් ලිව්ව නම් අපූරුයි.ඉස්සර හැම රේඩියෝ එකටම අවුරුද්දකට සැරයක්ලයිසමක් ගන්න තිබුන කාර් වල ඒවට පවා.මට මතක විදියට Sanyo එකෙන් තමයි පොකට් සයිස් ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඒකක් මුලින්ම ලංකාවෙ හැදුවෙ.රු 120 යි ගාන.හැබැයි අවුරුද්දක ලයිසම රු 20 කොහොමද?ලයිසම නැතිනම් දඩ ගහනව.ග්‍රාම සේවකද කොහෙද ඕව බලන්න ගියෙ.අවුරුද්ද මුල ලයිසම තැපැල් කන්තෝරුවෙන් ගන්න ඕන.ගුවන් විදුලියෙනුත් සැරින් සැරේ මතක්කරනව.ඔන්න අවුරුද්දෙ මැද විතර පත්තරේ යනව ලයිසන් නැති රේඩියෝ අල්ලන්න පුලුවන් උපකරන ගෙනැල්ලා ඒව අල්ලන්න පටන් ගන්නව කියල.කොහොමද ටිකිරි මොලේ?

    • මම ලියන්න හදලත් අතහැර දැමූ වැදගත් විස්තර ගොඩක් ඔබ ඉදිරිපත් කරලා තියනවා. ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ විස්තර ඉදිරිපත් කිරීම පිළිබඳව. කෙටි තරංග ගුවන්විදුලි ප්‍රචාර අදටත් ලෝකයේ තියනවා. අන්තර්ජාලයට අකමැති බොහෝ පිරිසක් තවමත් ගුවන්විදුලි යන්ත්‍ර පරිහරණය කරනවා. එෆ්.එම්. නාලිකා නොතිබුන කාලේ ලංකා ගුවන්විදුලිය දැන් තරම් දේශපාලනීකරණය වෙලා තිබුනේ නැහැ. වන්දිභට්ටකම තිබුනත් සීමා සහිතවයි තිබුනේ. දැන්වගේ වැසිකිළි කටවල් සහිත හඩ්ඩො උදේ ඉඳලා පම්පෝරි ගැහුවේ නෑ.

      ලංකාවේ සිට ඉන්දියාවට විකාශය කල හින්දි නාලිකාවේ ඒ කාලේ හිටිය හොඳ නිවේදිකාවක් තමයි, නැසීගිය සංගීතඥ ෂෙල්ටන් පෙරේරා මහතාගේ (ඉන්දීය ජාතික) බිරිඳ ශෂී පෙරේරා.

      අමාරිස් අයියා ගැන කිව්වම මතක් වුනේ ඒ කාලේ විනෝද සමය (ගුවන්විදුලියේ. මමනම් හිතන්නේ රූපවාහිනියේ විනෝද සමය ටිකක අසාර්ථකයි කියලයි) කොච්චර රසවත් වැඩසටහනක්ද.

      රේඩියෝ ලයිසන් ගැන ලියන්න අමතකවීම ලොකු අඩුවක්. ඔන්න රේඩියෝ රූපවාහිනී දෙකේම ලයිසන් වල පින්තූර ද සහිත පොඩි ලිපියක් දානවා.

      • “වැසිකිළි කටවල් සහිත හඩ්ඩො” ?????
        නිල මැස්සො අපිට නඩු දායි ගෙදර එඩ්‍රස් එක වැරදියට පාවිච්චි කලා කියල

  18. කවුරු අතෑරියත් මම තවම කැටස් රේඩියෝව අතෑරලා නෑ. මාගාව තවමත් අපූරුවට වැඩ කොරන ටේප් රෙකෝඩර් තියෙනෝ. මොන තාක්ෂනේ භාවිතා කොරත් මම තාම ආසයි මුල් යුගේ ඒවට.

    • අහන්නත් සන්තෝසයි. මමත් මගේ ළඟ තියන ‘ඩබොල් කැටස්’ සැට් එක මනා තත්වයෙන් තියාගෙන ඉන්නේ. ටේප් රැකෝඩර් තියනවානම් බලන්න තරම් වටිනවා.

  19. “හදිසියකදී ඔබේ නිවසේ කටහඬ/සංගීත/ගුවන්විදුලි වැඩසටහන් පටිගත කරගන්න පහසුකම් තියනවද? කැසට් ටේප් අපෙන් ගිලිහී යාමෙන් පසු, අපේ ගෙවල්වල තිබුන පටිගත කිරීමේ පහසුවද ගිලිහී ගියා. ‘හයියෝ එව්වා මොනවටද මගේ කොම්පියුටරෙන් පුළුවන්නේ, මගේ පෝං එකෙන් පුළුවන්නේ’ කියලා කිව්වට, කොරන්ඩ ගියාම තමයි රඟේ තේරෙන්නේ. ”

    ඇත්තම කථාව. ඉස්සර TV එකේ ගිය වැඩසටහන් VHS වල පටිගත කලා, මම දන්න විදියට නම් VCD, DVD, Blu-ray කිය කිය තාක්ෂ්ණය දියුණු උනත් අද පටිගත කරන්න VHS වගේ සරල ක්‍රමයක් නැහැ.

    • ඔව්, ඔය කොපමණ නවීන ක්‍රම තිබුනත් ඒවා සරල නැහැ. අනික ගුණාත්මක නැහැ. (ජංගම දුරකථන, මයික්‍රෝ කැසට් රෙකෝඩර, පරිගණක, ආදිය) කැසට් පටිගත කිරීමේ යන්ත්‍රයකින් පාසල් දරුවකුට වුනත් පහසුවෙන් පටිගත කිරීම් කරගත හැකියි. රූපවාහිනී වැඩසටහන් පටිගත කරගැනීමට දෘඪ තැටියක් සහිත ඩී.වී.ඩී. රෙකෝඩරයක් අවශ්‍ය වෙනවා. එය තරමක් මිල අධික භාණ්ඩයක්.

  20. wawwwwwwwwwwwww…………

  21. අර ටූ ඉන් වන් එකකින් තමයි අපෙ දිහා දැනටත් රෙඩියො අහන්නෙ.. හැබෑ ඇතුලට fm චයිනිස් බොඩ් එකක් රීප්ලේස් කරලා.. සද්දෙනම් සුපිරියි.. :3

  22. අද ලෝකයේ ගුවන් විදුලි යන්ත්‍ර නිපදවන ප්‍රධාන පෙළේ ආයතනයක් තමයි චීනයේ TECSUN. මෙහි පෙන්වා ඇති සෝනි කෙටි තරංග රේඩියෝව වැනි එකක් මා මෑතක දී මිළ දී ගත්තා අමෙරිකානු ඩොලර් 120 ක ට. එය ඉතා ඉහළ තත්ත්වයක ගුවන් විදුලි යන්ත්‍රයක් වනවා පමණක් නොවෙ යි, ඉතා සිහින්. සුසර කිරීම් සඳහා එහි ඇත්තේ අමෙරිකානු Silicon Labs ආයතනය මඟින් නිපදවා ඇති චිපයක්. එනිසා තම යි රේඩියෝව සිහින් ව නිම කිරීමට හැකි වී ඇත්තේ.

  23. ලංකාවේ තවමත් DAB (ඩිජිටල්) ගුවන් විදුලි විකාශනය ආරම්භ වී නැති එක ගැන දුක යි. මොකද, ලංකාව ගුවන් විදුලි විකාශන ආරම්භ කළ පැරණිම රටවල් 10 න් එකක්. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, දැනට ක්‍රියාකාරී වන පැරණිම ගුවන් විදුලි ආයතන 5 න් එකක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: