විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1188125977_9c9c30cb7a_o  අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ, පළමු වැනි සහ දෙවැනි කොටස් වලට, ඔබේ ඉහල ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වන අතර, ඔබේ දැණුමට යමක් එක්කරන අතරම, ඔබේ මතකයද, අතීතයට ගෙනයන්නට හැකිවීම සතුටක්. මේ කොටසේදීත්, වෑල්ව් රේඩියෝ සම්බන්ධ තවත් තොරතුරු සහ, රේඩියෝවට තැටි ධාවන යන්ත්‍රය සම්බන්ධවීම ඇතුළුව, තවත් කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී, මා සෑම දෙයක්ම හැකිතරම් කෙටියෙන් තමයි කියන්නේ. එයට හේතුව මේ ලිපි මාලාව සඳහා මා සොයාගත් කරුණු රාශියක් තිබීමයි.

  වෑල්ව් රේඩියෝවක ඇතුළට ඔබව ගෙනගියොත් හොඳයි කියලා මට හිතුනා. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා.

Inside 1

පින්තූරය මත ක්ලික් කර බලන්න

සමහර අයට නම් මෙය මහා සංකීර්ණ ලෙස පෙනෙනවා ඇති. ඒ ගැන නොසතුටු වෙන්න එපා. වෑල්ව් රේඩියෝ එකක ඇතුල මෙන්න මේ වගේ කියන අදහස ඔබට ඇතිවුනා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය අයට පින්තූරය මත ක්ලික් කර විශාලනය කර බලන්නත් පුළුවන්.

  මේ රේඩියෝ වල පරිපථයේ කොටස් අමුණා තිබුන ආකාරය අදනම් ඔබට සිනහ උපදවන බව මට හොඳටම විශ්වාසයි අපි දන්නවා, අද කාලයේ සියලුම ඉලෙක්ට්‍රොනික පරිපථ, පරිගණක මගින් පාලනය වන රෝබෝ යන්ත්‍ර මගින් එකලස් කෙරෙන බව. නමුත් මේ වෑල්ව් රේඩියෝ වල සියලුම කොටස් කාර්මිකයන් විසින් අතින්ම එකලස් කරනලද ඒවායි. 1960 දශකයේ අග භාගයේදී විතර තමයි මම පළමු වරට මුද්‍රිත පරිපථ (Printed Circuit) දැක්කේ. මෙන්න බලන්න වෑල්ව් රේඩියෝ වල පරිපථයේ කොටස් අමුණා තිබුන ආකාරය.

IMG_20120118_235248

එකම ජංජාලයක් නේද? නමුත් පුදුම වැඩේ කියන්නේ මේ සඳහා පරිපථ සටහනක් ද සකස් කර තිබීමයි. ඒ වගේම එක රේඩියෝ එකක කොටස් ටික පාස්සන්ඩ ඊයම් ලොරියක් විතර යන්න ඇති 😀 වොට් 60 ක විතර බවුත් අවශ්‍යයි මේ කොටස් පාස්සන්න. නමුත් මේ රේඩියෝ ඉතා හොඳින් ක්‍රියාකල බව අමතක කරන්න එපා.

  දැන් වෑල්ව් රේඩියෝ එළියෙන් බැලුවා ඇතුළෙන් බැලුවා ඊළඟට බලමු මේ රේඩියෝ සඳහා යොදපු ඒරියල් එක ගැන. අපි අද ඇන්ටෙනා කියන වචනය පාවිච්චි කලත් ඒ කාලේ වචනය තමයි ‘ඒරියල්’ එක. මේ රේඩියෝ වලට අද කාලයේ තිබෙන රේඩියෝ වලට මෙන් ප්‍රබලව සංඥා ග්‍රහණය කරගැනීමේ හැකියාවක් නැහැ. එයට තවත් හේතුවක් තමයි ඒ කාලේ අද තරම් ප්‍රබල විකාශනාගාර සෑම තැනම පාහේ නොතිබීම. ඒ නිසා ඉතා දිග කම්බියක්, (මෙය සිහින් පොටවල් කීපය එකට අඹරා සැකසූ තඹ කම්බියක්) පොළොවට අඩි 40 ක් පමණ උසින්, අඩි 60 – 70 ක් පමණ දිගට සවිකළ යුතුයි. මේ ඒරියල් ඒ කාලේ රේඩියෝ ගන්න කඩෙන්ම ගන්න පුළුවන්. (වෙනමම මිලදී ගතයුතුයි) පොල් ගස් කොස් ගස් වගේ උස ගස් දෙකක තමයි ඒරියල් එක බඳින්නේ. ඒරියල් කම්බියේ හරි මැදින් තව කම්බියක් පාස්සලා තියනවා. ඒ කම්බිය රේඩියෝ එකේ ඒරියල් සොකට් එකට සම්බන්ධ වෙනවා. ඒරියල් කම්බිය එය බඳින ගස්වල ගෑවෙන්න බැහැ. එහෙම වුනොත් තරංග ලබාගැනීමට බාධා වෙනවා. ඒ නිසා ඒරියල් කම්බියේ දෙකෙළවර පිඟන් මැටි වලින් සෑදු කුසන්නායක/පරිවාරක Ceramic nonconductors දෙකක් යොදවා තිබෙනවා. ගහට බඳින කම්බිය එහි එක සිදුරකට සවිවන අතර අනික් සිදුරෙන් ඒරියල් කම්බිය රිංගවා බඳිනවා. මෙන්න ඒ කාලේ ඒරියල් බැඳිල්ල.

coconut01L

චඃ, ඒ කාලේ මෙහෙම ඒරියල් එකක් බැඳලා තියනවා කියන්නේ, දැන් සැටලයිට් ඇන්ටෙනා එකක් හයි කරලා තියනවා වගේ තමයි. 😀 මුළු ගමම දන්නවා ආ…..අන්න අර ගෙදර රේඩියෝ එකක් තියනවා කියලා.

අර කුසන්නායක සහ ඒවා තුල වයර් සවිකරන හැටි පහත දක්වනවා

3egg_smallමේවා අදටත් සමහර අවස්ථාවල පිටකොටුවේ පරණ රේඩියෝ කෑලි බිම දාගෙන විකුණන වෙළෙඳුන් ළඟ තිබෙනවා මා දැක තිබෙනවා.

  ඒරියල් එක නිකම්ම රේඩියෝවට හයි කරන්න බැහැ. අකුණු අනතුරු සිදුවෙන්න පුළුවන්. එයින් ගැලවෙන්නේ විශේෂ ඒරියල් ස්විච් එකක් ආධාරයෙන්. මේ ස්විච් එකත් ඒරියල් එක සමග වෙනම මිලදී ගතයුතුයි. ස්විච් එක හයිවෙන්නේ බිත්තිය මතුපිට. (රේඩියෝ එක තියන තැන ළඟම) එය අඟල් 5 ක් පමණ දිග, අඟල් බාගයක් පමණ පළල ප්ලාස්ටික් පාදමක සවි කළ, ලෝහ ටර්මිනල් තුනකින් යුක්තයි. උඩම තිබෙන ටර්මිනල් එකට රේඩියෝ එකේ ඒරියල් සොකට් එකේ සිට එන වයරය සවි වෙනවා. මැද තිබෙන ටර්මිනල් එකට, අර ගස් දෙකේ බැඳපු ඒරියල් වයරය එනවා. පහළින්ම තිබෙන සොකට් එකට අර්ත් වයරය හෙවත් (අද අපේ නිවෙස්වල විදුලි බලය සඳහා සවිකරන ආකාරයට සමානව භූගත කළ) භූගත කම්බිය සවි වෙනවා. විදුලි කොටන වෙලාවට රේඩියෝව ක්‍රියා විරහිත කර, ඒරියල් ස්විච් එක පහළට දානවා. එවිට රේඩියෝව පොළොවට සම්බන්ධවී ආරක්ෂා වෙනවා.

2374926-glass-vacuum-radio-tube-isolated-image-on-white-background

අනේ ඒ කාලේ මිනිස්සු රේඩියෝ එක අහන්න මොන තරම් දුකක් විඳින්න ඇද්ද නේද? මොනවා කරන්නද ඒ කාලේ එහෙමයි. මේ කාලේ මෙහෙමයි. තව දෙයක් මතක්වුනේ දැන්. මේ රේඩියෝ වල මුහුණතේ (Dial) බොහෝවිට දැන් තිබෙන ඇනලොග් රේඩියෝ වල මෙන් විකාශන සංඛ්‍යාත ඉලක්කමෙන් සඳහන්ව තිබුණේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ ගුවන්විදුලි ප්‍රචාරක ස්ථානය අයිති රටේ හෝ නගරයේ නම තමයි සඳහන් වුනේ. මේ බලන්න එවැනි මුහුණතක්.

loewe_skala  මේ පින්තූරය මත ක්ලික් කර බලන්න එවිට පැහැදිලිව පෙනෙයි. මෙසේ කලේ ඇයි? එකල විසූ ජනතාවගෙන් බහුතරයකට, සංඛ්‍යාත ඔස්සේ ගුවන්විදුලිය අදාළ වැඩසටහන් වලට යොමුකරගනීමට දැණුම තිබුනේ නැහැ. ඒ නිසා අකුරු කියවාගෙන ප්‍රචාරක ස්ථාන තෝරාගැනීමටයි මෙහෙම කර තිබෙන්නේ.  

  පස්ස පැත්තත් බලමුද? රේඩියෝ එකේ, රේඩියෝ එකේ. වැරදි අවබෝධ ඇතිකරගන්න එපා පස්ස පැත්ත කිව්ව ගමන්. 😀  😀

Rear View

පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න

  ඇතුළේ තියන තව කොටස් තුනක් ගැන කරුණු කියන්න තියනවා. ඒවා නොකිව්වොත් ලොකු අඩුවක්. ඒ තමා ඩයල් කෝඩ් එක, මැජික් අයි එක සහ ටියුනිං කන්ඩෙන්සරය.

  පැරණි ගුවන්විදුලි යන්ත්‍ර වල ගුවන්විදුලි සේවා (වැඩසටහන්) (ඒ කාලේ අර ‘නාලිකා’ කියන එක්කෙනා ඉපදිලාවත් නෑ අනේ. අපි මීටරය කරකවා සේවාවන් තෝරාගැනීම තමයි කලේ)තෝරාගැනීම සඳහා අතින් කරකැවිය යුතු රවුම් බොත්තමක්නේ තිබුනේ. තවමත් ඒ ක්‍රමයට අනුව ක්‍රියා කරන ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. මේ සඳහා සිහින් ලනුවක් (සමහර ගුවන්විදුලි යන්ත්‍රවල, අපි කරේ දාන චේන් එකක් වැනි, සිහින් බයිසිකල් චේන් එකක් වැනි චේන් එකක් තිබුනා)  රෝද/කප්පි ක්‍රමයකින් ක්‍රියාත්මක වෙනවා. එහි සටහනක් පෙන්වන්නම්.

Dial Cord 1

 මේ ඩයල් කෝඩ් එක ගුවන්විදුලි යන්ත්‍රයක සවිකර තිබෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

FVE0QN3FMZA9VXT_LARGE

  සමහර ගුවන්විදුලි යන්ත්‍රවල අර අතින් කරකවන කූරට ප්ලයි වීල් එකක් සවිකර තිබුනා. එවිට අතට හොඳ  බර ගතියක් දැනෙනවා. එමෙන්ම සුසර කිරීම පහසුයි. 

  අපි දැන් පාවිච්චි කරන ගුවන්විදුලි යන්ත්‍රවල තරංගමාලා සහ සංඛ්‍යාත (Wave Bands and Frequencies) තෝරාගැනීම සම්පූර්ණයෙන් සංඛ්‍යාංක (Digital) ක්‍රමයටයි සිදුවෙන්නේ. නමුත් ඒ කාලේ තිබුනේ ප්‍රතිසම (Analog) ක්‍රමයටයි. සංඛ්‍යාත තෝරාගැනීම සඳහා යොදාගත් උපකරණය බොහොම විශාලයි එට හැඳින්වුණේ ටියුනිං කන්ඩෙන්සරය කියලයි. එය සැකසී තිබුනේ තුනී ලෝහ තහඩු පද්ධති දෙකක් ලෙස. එක පද්ධතියක් නිශ්චලව තිබියදී අනෙක් පද්ධතිය එහි අක්ෂය මත කරකැවෙනවා. අපි සංඛ්‍යාත වෙනස් කිරීම සඳහා අර අතින් කරකවන රෝදය කරකවන විටයි මේ තහඩු පද්ධතිය කරකැවෙන්නේ.

Tuning_capacitor

ඒ කාලේ රේඩියෝ වල අපේ සිත තදින් පැහරගත් දෙයක් තමයි මැජික් අයි නමැති වෑල්ව් එක. අද අපි පාවිච්චි කරන ගුවන්විදුලි යන්ත්‍ර වල ශබ්ද ගුණය විශ්ලේෂණය කර පෙන්වන එල්.ඊ.ඩී. දර්ශක තිබෙනවා (Spectrum Analyzer) නමුත් ඒ කාලේ තිබුනේ මේ මැජික් අයි එක පමණයි. හැබැයි සෑම වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍රයකම මෙය තිබුනේ නැහැ. මැජික් අයි එකත් වෑල්ව් එකක්. එයින් කොළ/නිල් ආලෝකයක් විහිදුනා. නමුත් හරියටම සංඛ්‍යාතය අනුව අඩු වැඩි වීමක් තිබුනේ නැහැ. ඇත්තටම මෙම වෑල්වය ක්‍රියා කලේ වෙනස් වන සංඛ්‍යාත මට්ටම සහ හඬ තීව්‍රතාවය සමබර මට්ටමක පවත්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි. මුලින්ම පෙන්නන්නම් මේ වෑල්වය රේඩියෝවක සවිකර තිබුන ආකාරය පිටතින් සහ ඇතුලතින් පෙනෙන හැටි.

radio_Telefunken_Jubilate_28nov2007_smalldraft_lens18364962module154638775photo_1319898085Radio_philips_BX645U_1956

මේ පහත තිබෙන රූප වලින් පෙන්වන්නේ මැජික් අයි වෑල්ව් එකේ බාහිර පෙනුම මොන වගේද කියලා.

em8720060516b

 

මෙන්න බලන්න මැජික් අයි එක පත්තු වෙනකොට පෙනෙන්නේ කොහොමද කියලා. හැබැයි ඉහත රූප වල තියෙන්නේ මීට වඩා වෙනස් රටා වලට අනුව පත්තුවෙන මැජික් අයි.

250px-Em11-ani

eye-tube1

වෑල්ව් රේඩියෝ ගැන කතාවට අදාළ තවත් දෙයක් තියනවා ඒ තමයි ඒ කාලේ පාවිච්චි කල වෑල්ව් වලින් ක්‍රියාකළ ශබ්ද විකාශන උපකරණ. (Amplifiers) අපි පාසලේ පහළ පන්තිවල හිටිය 1960 දශකයේ, දැන් වගේ මහා සංගීත සංදර්ශන පැවැත්වුනේ ඉතා කලාතුරකින්. (හැබැයි අපිනම් අප්පුඩි ගැහුවේ ඔරිජිනල් කලාකරුවන්ට මිසක් ඔවුන්ගේ ගීත ගයන අනුකාරක පුස්සන්ට නෙවෙයි) ඉතින් මේ සංගීත සංදර්ශනය පැය දෙකක් විතර පැවැත්වූවාට පසු, නිවේදකයා කියනවා, ‘නෝනාවරුනි මහත්වරුනි, අපේ ශබ්ද විකාශන යන්ත්‍ර හොඳටම රත්වෙලා, ඒ නිසා පොඩි විවේකයක් අවශ්‍යයි’ කියලා. කිසිම හූවක්, විසිල් එකක්, අපහාසයක්, නොකර මිනිස්සු නිහඬව ඉන්නවා, නැවත පටන්ගන්නා තුරු.

BigFender_amps

RCA_SA_354_PA_Amplifier

වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර වල දියුණු අවස්ථාවක් පහත රූපයෙන් පෙන්වනවා. මෙය ස්ටීරියෝ ක්‍රමයේ යන්ත්‍රයක්. බෆල් ස්පීකර් සහිතයි.

trio01

  වෑල්ව් රේඩියෝ කතාව මෙතනින් අවසන් කරලා ඊළඟ කොටසට යන්නයි හදන්නේ. මිනිසා කියන සතා කවදාවත් එක දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැනේ. ඉතින් රේඩියෝ එක විතරක් මදි. රේඩියෝ එකේ යන සින්දු, තමන් කැමති කැමති වෙලාවට අහන්න ක්‍රමයක් ඕනේ වුනා. ඒ සඳහා ඒ කාලේ තිබුනා රෙකෝඩ් ප්ලේයර්. මෙය ග්‍රැමෆෝනය මෙන් යාන්ත්‍රික ශක්තියෙන් නොව, සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා කරන්නක්. ඒ කියන්නේ, තැටිය විදුලි බලයෙන් ධාවනය වන අතර, ග්‍රැමෆෝනයේ තිබුණු ඉදිකටුව වෙනුවට මෙහි යොදා තිබෙන්නේ වැඩි දියුණු කල ‘පිකප් හෙඩ්’ නමැති උපාංගයයි. යන්ත්‍රය ඇතුලතම සවි කල ශබ්ද විකාශනයෙන් උපදවන හඬ යන්ත්‍රයේම ඇති ස්පීකරයෙන් අහන්න පුළුවන් වුනා. මේවා බැටරි බලයෙන්ද ක්‍රියා කළහැකි ලෙසත් නිපදවා තිබුනා. පහත දැක්වෙන්නේ එවැනි තැටි ධාවන යන්ත්‍රයක්.

hotrightnow_crosley-record-player

  ඉතින් මොකද වුනේ. මේකත් මදිවුණා මිනිසාට. ඔහුට ඕනෙවුනා රේඩියෝවත් තැටි ධාවන යන්ත්‍රයත් එකම පද්ධතියක්. (setup) ලෙස පාවිච්චි කරන්නට. ඒ සඳහා නිපදවන ලද උපකරණය හැඳින්වුණේ ‘රේඩියෝග්‍රෑම්’ (Radiogram) නමින්. එය ඉතා සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසයි සැලකුනේ. ඉතා ධනවත් නිවෙස්වල පමණයි මෙය දකින්නට ලැබුනේ. මේ යන්ත්‍රයේ ඇති තැටි ධාවන යන්ත්‍රයට එකවර තැටි කීපයක් යෙදිය හැකි අතර එක තැටියක් ධාවනයවී අවසන් වූ පසුව ස්වයංක්‍රීයව ඊළඟ තැටිය ධාවනයට යොමුවුනා. මේ තියෙන්නේ රේඩියෝග්‍රෑම් එකක පින්තූරයක්. පේනවා නේද මහේශාක්‍ය පෙණුම.

Radiogram

  මේ යන්ත්‍රයේ හඬ බොහොම උසස් තත්වයක තිබුනා. තවමත් මෙවැනි යන්ත්‍ර කෞතුක වස්තු ලෙස තිබෙනවා.

  මා හිතනවා ‘අපි අහපු වෑර්ලස්’ අවසන් කරන්නට තවත් කොටසකට යන්නට සිදුවෙන බව. ඒ නිසා අදට මෙතනින් සමුගන්නවා.

මෙහි දැක්වෙන පින්තූර Google Imeges වෙතින් ලබාගෙන, අවශ්‍ය පරිදි සංකරණය කල ඒවා වන අතර, පොල්ගස් දෙකක බඳින ලද ඒරියල් එකේ පින්තූරය සහ ඒරියල් ස්විච් එක විස්තර කරන රේඛා චිත්‍රය, මා විසින් කරන ලද ඒවාය.

My Signature for Blog2013 මාර්තු මස 1 වැනි දින 0046 පැය

Advertisements

Comments on: "අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three)" (83)

  1. පින්තූර දැක්කම තමා මතක් වෙන්නෙ, කුසන්නායක, අර ලයින් මාරු අරන ගැජට් එක, ටියුනිං කන්ඩෙන්සර් එහෙම ඉස්සර අපේ තාත්තගෙ උපාංග පෙට්ටියෙ තිබුනා.. අර ලයින් මාරු කරන ගැජට් එකක් අපේ ගෙදරත් උලුවස්සක හයි කරලා තිබුනා.. ඒකෙන් කරන්නෙ මොකක්ද කියලා අපිට අදහසක් තිබුනෙ නෑ.. හැබැයි එක පැත්තකට දැම්මම රේඩියෝ එක ෂෝ… ගෑවා කියලා මතකයි..

    බොහොම ස්තූතියි විචාරක මහතා, අපිව නැවත අතීතයට එක්කන් යනවට.. ඔබේ මහන්සිය ප්‍රශන්සනීයයි..

    • ස්තුතියි සෙන්නා. ඇත්තටම මේ ලිපි මාලාවෙන් පැරණි ගුවන්විදුලි යන්ත්‍ර පිළිබඳව බොහෝ දෙනෙකුගේ අතීත මතකයන් අවදිවී තිබුනා.

  2. විචාරක මහත්තයාගේ නම අත්සනේ හැටියට ජයසේන කියලා හිතෙනවා. 🙂 හරිම සරලව පැහැදිලිව ලියලා තියෙනවා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම මේක ලියන්න ගත්තු මහන්සියත් අගේ කරනවා.

  3. ඔය ඒරියල් ස්විච් එකක් අපේ තාත්තලගෙ මහ ගෙදර ජනේලෙක තිබුනා තමයි. ඒකෙ ඉඳලා බිමට යන වයර් එකේ කලු කූඹි පාරක්. හැබැයි එතකොටත් එහෙ තිබ්බෙ ‍ෆිලිප්ස් ට්‍රාන්ස්සිස්ටර් රේඩියෝ එකක්. ඔහොම වෑල්ව් රේඩියෝ එකක් නෙවෙයි. සමහර විට ඉස්සර තිබ්බ සෙට් එකක ස්විච් එකක් වෙන්න ඇති.

    අර කුසන්නායක ඒ ගෙදර සුන්බුන් දාලා තියෙන පෙට්ටියෙ තිබ්බා තමයි. සුදු පාට ඒවා.

    ඔය රේඩියෝ එකත් තියල තිබ්බෙ ඔය මල් පූජා කරන්න සමහර ගෙවල් වල ගහල තියෙන්නෙ ස්ටෑන්ඩ් එකක්, අන්න ඒවගෙ බිත්තියෙ ඉහල ගහපු එකක. අපේ පොඩි නැන්දා රේඩියෝ එක දන්නෙ එක්කො පු‍ටුවක් උඩට නැගලා, නැතිනම් කොසු මිටෙන්

    • ඔය තත්වය අපේ ගෙදරත් තිබුනා හෙන්රි. වෑල්ව් රේඩියෝ අතහැරලා කාලයක් ගියාට පස්සෙත් ඒරියල් ස්විච් එක තවම බිත්තියේ. කුසන්නායක ඒ කාලේ ආවේ සුදුපාට තමයි බොහෝ විට.

      අපේ ගෙදර රේඩියෝ එක අල්ලන්න මම දන්නා කාලෙත් උස තිබුනේ තාත්තයි අයියයි විතරයි. ටී.වී. ආවට පස්සෙත් සමහරු ඒ වගේම ටී.වී. එක අජටාවකාශයේ රඳවලා, බෙල්ල කඩාගෙන බැලුවා මතකද? 😀

      • නැතුව නැතුව? සමහර ගෙවල් වල ඕක රෙද්දකින් වහලත් තියන්නෙ. 😀

        • ටී වී එක බලලා බලලා අන්තිමට නිවා දමලා රෙද්දෙන් වහනවා. ඉතින් අර ඇතුලේ උෂ්ණත්වය පිටවෙන්න නොහැකිව ටී වී එක ඉක්මනින් ලෙඩ දෙනවා.

      • හැක් හැක් දැන්නම් මතක් වෙද්දිත් ලැජ්ජයි.. අපේ ගෙදරත් මුල්ම නැෂනල් ටීවී එක ඔය වගේ රෙදිවලින් දාපු කවරයකින් වහලා තිබුනෙ.. ඉස්සරහා කෑල්ල ටීවී බලන වෙලාවට උස්සලා උඩින් තියනවා..හපෝයි…:-)

        • මම රූපවාහිනී අලුත්වැඩියාව විනෝදාංශයක් වශයෙන් කරද්දී ඔය විදිහට රෙද්දෙන් වහලා වැඩේ වණ කරගත්ත ටී වී හදලා තියනවා.

  4. ක්සැන්ඩර් said:

    අපුරුයි විචාරක මහත්තයා.. මං අවුරුදු 23-24ක විතර අතීතෙට ගියා මේ එක්ක. ඔය වෑල්ව් ශබ්ද විකාශන යන්ත්‍ර වල තියන දෙවැනි පින්තුරේ වගේ එකක් වගේම මැජික් අයි එක දාපු රේඩියෝවක් එහෙම මට මතකයි අපේ මාම ළඟ තිබ්බා. රේඩියෝ එක නම් මෑතක් වෙනකම්ම වැඩ කළා කියලත් මතකයි. ඒත් වෑල් රේඩියෝ එකක් කියල දන්නේ දැන් තමයි.

    බොහොම ස්තුතියි මේ සටහනට. ඊටත් සිංහල භාෂාවේ අපේ සුමට යෙදුම් එක්ක පල කළාට..

    • බොහෝ දෙනෙකුගේ මතකයන් අවදිවීම මහත් සතුටක්.

      මේ ලිපිය ලියද්දී සමහර කරුණු පිලිබඳ පාරිභාෂික වචන ගැන ප්‍රශ්න ආවා. කොහොම හරි ගැටගහගත්තා.

      ස්තුතියි ඇගයීමට.

  5. දැන් ඉන්න උන්ට මේවා මැජික් වගේ නේද බන්?

  6. බොහොම සොඳුරු අතීතයකට ගෙනගියාට ස්තුතියි.. තාත්තා ඔය එච් එම් වී රෙඩියෝව පිටිපස්සෙන් ගලවාගෙන කරන සුකුරුත්තං තාත්ත නැති දවසක මං කරන්න ගිහින් වෑල් හයක්ද හතක්ද කොහෙද පිච්චුනා. මං හිමීට වහල තිබ්බ. පවු ඉතින් අයිය කාරය තමයි අහු උනේ. හැම වෙලෙම ප්‍රසිද්දියෙ ඕක ගලවං ඉස්කුරුප්පු නියනකින් ටියුන් කරකර ඉන්න හින්දා. මට මතකයි හදාගෙන එන්න සතියක් ගියා අපිට හොඳ පාඩම..

  7. අර ඒරියල් එක හයිකරන්න ගන්න කුසන්නායක කෑලිනං අපේ ගෙදරත් තියෙනව.

    දැං තියෙන ඈම්ප් රත්වෙන විදියට අර ඈම්ප් කොහොම රත්වෙන්න ඇද්ද ඒ කාලෙ. 😀

    • ඒ කාලේ දැන් තියනවා වගේ අර පුංචි ෆෑන් නොතිබීමත් ප්‍රශ්නයක්. අඩු ගණනේ පිටතින් ටේබල් ෆෑන් එකක් වත් දාලා තිබුනේ නැහැ.

  8. අගේම ඇති පෝස්ටුවක් විචාරක තුමනි.

  9. සිංහලෙන් මේවා ඉතිහාස ගත කරන මෙහෙයට බොහෝ තුති!

  10. අම්මෝ තියෙන විස්තර ගොඩ.. මෙව්වා කවදාවත් අහලා තිබුනේ නැති ඒවා…

    ඉස්සර රේඩියෝ එකක් කම්පැනියෙන් ගත්තම ගෙදරට ගිහින් ඇන්ටනා ඇතුළු අනෙක් ඔක්කොම සවිකරලත් දෙනවලු…

    රේඩියෝ එකක් ගන්නවා කියන්නෙ ලොකු උත්සවයක් වගේ දෙයක්ලු.. ඒකට අද..

    • ඇත්තටම මේ විස්තර බොහෝ දෙනෙක් අහලා නැතුව ඇති.

      ඉස්සර රේඩියෝ එකක් ගන්න ගියාම (වෑල්ව් රේඩියෝ) රේඩියෝ එක තෝරගත්තට පස්සේ ඒ සාප්පුවේම ඉන්න කාර්මිකයකු විසින් එය පරීක්ෂාකර අනුමත කරනවා හොඳ ක්‍රියාකාරී තත්වයේ තියනවා කියලා. ඊළඟට ඒරියල් එකක් සහ ඒරියල් ස්විච් එකක් එතැනින්ම ගන්න පුළුවන්. දැන් ඉතින් මේ ඔක්කොම සහ කාර්මිකයාද වඩම්මවාගෙන ගමට යන්නේ රාජකීය ලීලාවෙන්. කාර්මිකයා හැසිරෙන්නේ මාර්කෝනිගේ බාප්පා වගේ. 😀 කාර්මිකයා ආපහු යන්නේ සමහරවිට හොඳට අනුමත වෙලා. 😀 😀

  11. හුඟක් මහන්සිවෙලා තියෙනව.බොහොම වැදගත් ලිපියක්.මේවගැන තොරතුරු දැන්කාලෙ හොයාගන්න ලෙහෙසි නෑ. අර රේඩියෝග්‍රෑම් එක තියෙන පින්තූරෙ බිත්තියේ තියෙන පින්තූර……:D ……… මට පේන හැටිද මන්ද…………..:D

    • බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      රේඩියෝග්‍රෑම් එකට පසුපසින් බිත්තියේ තිබෙන පින්තුරයේ ඉන්න අය ඇඳුම් ඇඳලා ඉන්නේ. මුල් පින්තූරය නැවතත් බලලයි උත්තර දුන්නේ.

  12. අපේ සීයාගේ වැර්ලස් රේඩියෝ එක මතක් උනා ….තාම එක මහා ගෙදර ඇති ගියාම බලන්ඩ ඕනි …

    තව අවුරුදු 20 කින් 30 කින් කවුරු හරි ” විචාරක ” කෙනෙක් මෙහෙමත් කියයි ………….
    “අනේ ඒ කාලේ මිනිස්සු ” ටීවී එක බලන්න ” මොන තරම් දුකක් විඳින්න ඇද්ද නේද? මොනවා කරන්නද ඒ කාලේ එහෙමයි. මේ කාලේ මෙහෙමයි “

    • සීයාගේ වෑර්ලස් එක හොඳ තත්වයේ තිබෙනවානම් ඉතාම වටිනවා.

      ඇත්ත තමයි. අපේ රටේ තමයි ටී වී බලන්න මෙහෙම දුක් විඳින්නේ. නියම ප්‍රමිතියට නියමිත හා වඩාත් සුදුසු ස්ථානවල රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන හදනවානම් අභ්‍යන්තර ඇන්ටෙනාවක් විතරයි අවශ්‍ය.

  13. මස් කරපු වෑර්ලස්‌ එකේ ටියුනිං කන්ඩෙන්සර් කාලයක් මගේ ළඟ තිබුනා. පස්සේ ඉතින් ඔය කම්මැලි හිතුනු වෙලාවක ඒකත් මස් කරලම දැම්ම.

  14. 7වෙනි රූපයේ තියෙන Dial එකේ LW (Low wawe), MW (Mediam wawe) කියලා හිතනවා. එතකොට KW කියන්නේ මොකක්ද? ඊට පස්සෙද SW(Short wawe), AM (??) එහෙම ආවේ. අන්තිමටමනේ FM ආවේ.

    ඒ කාලේ කම්පියුටරේ කාමරයක් අස්සට දාන්න පුළුවන් විදියට හදපු එකත් ඇත්තටම ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා රේඩියෝ එකේ ඇතුළ දැක්කම. 😀

    ඇත්තටම විචාරක මහත්තයෝ ඒ කාලේ සංගීත සංදර්ශනවල ශබ්දය ඝෝෂාකාරී උණේ නැද්ද? ඒ වගේම ඒවයේ ශබ්දය කොතරම් දුරකට විහිදී ගියාද? (දැන්නම් කිලෝමීටර් 4ක් 5ක් විතර දුරට ඇහෙනවනේ)

    එතකොට ඩිස්ප්ලේ වලටත් භාවිතා කලේ වෑල්ව්මද? (LED තිබුණේ නැද්ද?)

    ———————————–
    ආ.. ප්‍රශ්ණ වලට උත්තර දුන්නොත් ලකුණු සීයම දෙන්නම්කෝ. 😀

    • ඉවරයි කිව්වට ඉවරම නෑ අප්පා…

      ඒරියල් එකට අකුණක් ආවොත් ග්‍රවුන්ඩ් වෙන්නේ කොහොමද? අර ස්විච් එකෙන් වෙන්නේ රේඩියෝ එක ග්‍රවුන්ඩ් කිරීම මිසක් ඒරියල් එක ග්‍රවුන්ඩ් කිරීමක් නෙවෙයිනේ. (රූපයේ ස්විච් එකේ මුල් අග්‍ර දෙක මාරු වෙන්න ඕනි නැද්ද?)

      අනික තමයි වෝල්ට් මිලියන ගානක් කිලෝමීටර් ගානක් එන අකුණක් අඟල් කීපයක ස්විච් එකක් ගණන් ගනියිද?

      තව තියෙනවා. අහන්න ගියොත් මාව හෙට ඉඳන් විභාග දෙපාර්තමේන්තුවේ වැඩට ගෙන්න ගනියි කියලා හිතුණු හින්දා හැකර කට වහ ගන්නවා. 😀

      තව එකක් තියෙනවා…. සත්තුන්ගේ උණත් ගෑණු සත්තු මළ ඇණයක් නේද අප්පා……

      • සත්තකින්ම ඔබ හරි. පින්තූරයේ වැරැද්ද පෙන්වා දුන්නාට බොහොම ස්තුතියි. නිවැරදි කරන්නම්.

        ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද? මම දැකලා තිබුන දේ තමයි ලියන්නේ. ඒ කාලේ අකුණු බාල ඒවා වෙන්න ඇති. බාල තෙල් වගේ. 😀 හැබැයි කවදාවත් රේඩියෝ එකකට අකුණක් ගහපු බවක් අහලා නැත.

        ප්‍රශ්න 60 ක් විතර ඇහුවානම් නේ හොඳ.

        අන්තිම ප්‍රකාශයට උත්තර දීම …………..!!!!!!!

      • ඒ මැද තියෙන කම්බිය කොහෙන්වත් භුගත වෙලා නැති හින්ද ඒකට අකුණක් වදින්න හැකියාවක් නෑ නේද?

      • ඉන්ද්‍රජිත් said:

        රූප සටහන නම් දැන් නිවැරදියි වගේ. ඒත් ලේඛනයේ තවම තියෙන්නේ මැද වයරය රේඩියෝ එකෙන් එන වයරය කියලනේ.
        සැහෙන කලකට ඉස්සර ‘කැපිටල් රේඩියෝ විද්‍යාලය’ කියලා තැනකින් නිකුත් කරපු පොතක මම දැකලා තිබුන රූප සටහන ඔතන තියෙන රූප සටහනට බොහෝ දුරට සමානයි. ගේ ඇතුලේ තියෙන රේඩියෝව බිම් ගැන්වීමට වඩා ට වඩා ඒරියල් කම්බිය ඔස්සේ එන්න ඉඩ තිබෙන විද්‍යුත් ධාරාව බිම් ගැන්වීම වෙන්න ඇති වැදගත් වෙන්න ඇත්තේ.

        පෝස්ට් එක ඉතා අගෙයි!

    • මා දන්නා තරමින් එකල විශේෂයෙන් ඇමරිකාවේ තිබුනා කිලෝ වොට් 5 සිට 50 දක්වා බලයකින් යුත් විකාශනාගාර. ඩයල් එකේ ඉහලම තැනක මෙය සඳහන් කර ඒ පේලියේ දක්වා තිබෙන්නේද සංඛ්‍යාත නොවෙයි. ඒ නිසා මේ හරියේදී අහුවෙන්නේ මෙපමණ බලයකින් යුත් මධ්‍යස්ථාන වලින් එන සංඥා කියන අරුතෙන් මෙය යෙදුවා වෙන්න පුළුවන්. ජාලයේ සෙවූ විට ලැබෙන්නේ ඒ හා සමාන විස්තර.

      අපේ කාලයේ සංගීත සංදර්ශන කිසිසේත් ඝෝෂාකාරී වුයේ නැහැ. වෑල්ව් ශබ්ද විකාශන ඉතා සුපිරිසිදු හඬක් දුන්නේ. මික්සර් තිබුනේ නැහැ. එක එක භාණ්ඩයට වෙනම ඇම්ප්ලිෆයර් තිබුනා. මයික්‍රෆෝන් සඳහා වෙනම ඇම්ප් එකක් තිබුනා. මම හිතන්නේ උපරිම වොට් 1000 ක් පමණ තමයි 1960 දශකයේදී අපි දුටු සංදර්ශන වල තියෙන්න ඇත්තේ 1970 දශකයේදී නම් වොට් 3000 – 5000 අතර තියෙන්න ඇති. සංදර්ශන පවත්වන පිටියේ සිට මීටර් 500 – 750 කට වඩා ඈතට ඇහුනේ නැහැ. LED කියා දෙයක් අහලාවත් තිබුනේ නැහැ.

      ප්‍රශ්න වලට උත්තර දුන්නොත් සීයාට ලකුණු දෙන්නම් කියලද කිව්වේ. 😀 සීයා පෙරේදා (27) 59 පහු කරලා 60 ට පය තැබුවා.

      • ….//අපේ කාලයේ සංගීත සංදර්ශන කිසිසේත් ඝෝෂාකාරී වුයේ නැහැ.//… මං හිතුවේ ලවුඩ්ස්පීකර්, ග්‍රැමෆෝන් වල වගේ සද්ද (Noise) එහෙම ගමකට තියෙන්න ඇති කියලා.

        ..//අන්තිම ප්‍රකාශයට උත්තර දීම …………..!!!!!!!//……. බයයි නේ.

        …//ප්‍රශ්න වලට උත්තර දුන්නොත් සීයාට ලකුණු දෙන්නම් කියලද කිව්වේ. //.. සීය කියලා ලියපු එක සීයා වගේ පේන්නේ, කණ්නාඩි දෙක දාගෙන එන්නකො සීයේ….

        (දවසක් මාරයාට පොරොන්දු වෙච්ච අඳුරට ඇස් හුරු කරගැනීමේ හමුදා පුහුණුව ගැන පාඩමක් බලා පොරොත්තු වෙමි)

        • හා……….හරි හරි, මෙහෙම එකක් තිබුනා. ගමේ පන්සලේ උත්සව, (සමහර පන්සල් වල අදටත් එහෙමනේ), සල්පිල්, අර ‘ඇට්ටෝං ගෙවල්’ කියන්නේ, අන්න ඒවාගේ නම් ලස්සන දේවල් වෙනවා. ඒ කාලේ රෙකෝඩ් ප්ලේයර් සෑම විටම නැති නිසාත්, ග්‍රැමෆෝන් එක ලවුඩ්ස්පීකර් ක්‍රියාකරවන ඇම්ප්ලිෆයරයට වයර් මගින් සම්බන්ධ කල නොහැකි නිසාත්, ග්‍රැමෆෝන් එකේ ‘මල’ ට මයික්‍රෆෝනයක් අල්ලනවා. ඉතින් අර ‘ඥං ඥුං’ හඬ කන් හාරවාගෙන ගම පුරා යනවා. ඒ අස්සේ ‘පාල අයියේ තේ ටිකක් බොමු’, ‘කර්ලිනා අක්කේ එන්ඩ වාඩිවෙන්ඩ’, ‘උක්කූ……….ං අනේ පුතේ එහෙ මෙහෙ දුවන්ඩ එපා’, වගේ ඒ ගෙදර වෙන කතාබහ මයික්‍රෆෝනයේ වැදී අපේ කනටත් එනවා. ඊළඟට රෑ වෙනකොට පදමට සළු වෙච්ච අයයි, එකිනෙකාගේ සෙනෙහෙ ගංගාවල් තමන්ට හරවා ගන්න බලන කොල්ලෝ කෙල්ලොයි, මයික් එක අරන්, බොළඳ චිත්‍රපටි පෙම් ගීත, ඒ ගීතවල මුල් තනුව අහලකින්වත් නොයන හඬින් බෙරිහන් දෙනවා. (ගයනවා කියලා කියන්න බැහැ) හරිම සනීපයි.

          එකවර ලවුඩ්ස්පීකර් සහ බෆල් ස්පීකර් යොදාගත් සංගීත සංදර්ශන එකක් දෙකක් බලලා තියනවා. නමුත් මම හයේ හතේ පන්තිවල හිටිය කාලේ නිසා ශබ්ද ගුණය ගැන කියන්න අමාරුයි.

          නෑ නෑ සීයා කියලයි ලිව්වේ.

          අඳුරට ඇස හුරුකර ගැනීම කියන එක ලිපියක් ලියන්ඩ තරම් දිග නෑ. ඉදිරියේදී එන ලිපියකට ඒ කෑල්ල අමුනන්නම්.

      • රේඩියෝ එකකට අකුණක් ගහපු කතාවක් නම් මම අහලා තියෙනවා..

        එක පොල්ගහකට වැදිලා ඒකෙ අමුණපු ඇන්ටනාව දිගේ ඇවිත් ගෙට ආවා කියලයි කියන්නෙ..

        • බොහෝදුරට එවැනී දේ වෙන්නේ ඒ ගෙදර විවෘත භූමියක අර වගේ උස ගහක් ළඟ තිබීමත් රේඩියෝ ඒරියල් එක භූගත නොකිරීමත් නිසා වෙන්න පුළුවන්.

      • මෙච්චර කියලත් කව්රුවත් විචාරක මහත්තයට උපන්දිනේට සුභ පතලා නැහැනෙ. ජීවිතයෙ හැටවෙනි වසරට සහ තවත් දශක ගනනාවකට සුභ පැතුම් විචාරක මහත්තයො !!!!

      • ඈ බොල reader, කොහෙද අප්පා එහෙම දෙයක් කලින් කියලා තියෙන්නේ.

        @ විචාරක,
        දැනගත්තේ පස්සේ. පහුවෙලා හරි ඔන්න, “සුභම සුභ උපන් දිනයකට ආසිරි පතනවා. ඒ වගේම දීර්ඝායු පතනවා”

        ඒ එක්කම එක දේකුත් මතක තියාගන්න. හැට පැන්නත් වඳුරෝ උඩින්ම තමයි කියන එක. 😀

        (කමෙන්ට් මොඩරේට් කරලා මේ ගින්න පහුවෙලා පත්තු කලේ වයස දැනගන්න එක හංගනන්ද මන්දා… කියලත් හිතෙනවා :D)

        • නෑ නෑ අනේ. කොහොමටවත් උපන්දිනේ ගැන කියන්න හිතාගෙන හිටියේ නැහැ. පොඩ්ඩිගේ බ්ලොග් එකේ එයාගේ උපන්දිනේ ගැන දාලා තිබුනා. ඒ දරුවා මගේ ලොකු දුවගේ වයසේ වෙන්න ඇති. ඒ වගේම මම අනුමාන කරනවා පොඩ්ඩිත් මගේ උපන් දිනේම (පෙබරවාරි 27) වෙන්න ඇති කියලා. ඒ ටික කියලා මම පොඩ්ඩිගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා. වැඩේ පත්තු වුනේ එතනින්.

          මගේ වයස මීට පෙර කීප වතාවක් මම මේ බ්ලොග් එකේ කමෙන්ට් වලට උත්තර දෙද්දීත් වෙන බ්ලොග්වල අදහස් දැක්වීමෙදීත් කියලා තියනවා.

          සිංහලෙන් බ්ලොග් ලියන වයසකම මිනිහා මමද? මට ආසයි ඒක දැනගන්න.

          කමෙන්ට් මොඩරේට් කරලා තිබුනේ නැහැ. අද මට බ්ලොග් එකට එන්න ලැබුනේ හවස.

          උපන්දින සුබ පැතුමට අනේක වාරයක් ස්තුතියි. දීර්ඝායු පැතීම ගැන ඔබට පින්සිදුවෙවා.

          වඳුරා උඩින් යනවා වගේ තව එකක් තියනවා. Older The Bull harder the HORN 😀 😀 😀

      • පල්ලැහැ පොඩ්ඩිගේ කමෙන්ට් එකෙන් ඒ පැත්තෙත් ගියා විචාරක මහත්මයා. ඔන්න මං සීයට විශ් කොලා. 😀

  15. ඔය වගේ පරණ රේඩියෝ එකක් අදටත් තියෙනවා… වැඩ කරන්නේ නම් නෑ… 😦

    • ලොකු වියදමක් කරලා අලුත්වැඩියා කරන්න පුළුවන්. හැබැයි ඔබට සිදුවෙනවා ඒ රේඩියෝව නිෂ්පාදනය කල රටට යවන්න. එවැනි ආකාරයට අදටත් අලුත්වැඩියා කෙරෙනවා. ජාලයේ තියනවා විස්තර.

  16. //රේඩියෝ එකක කොටස් ටික පාස්සන්ඩ ඊයම් ලොරියක් විතර යන්න ඇති// අපේ යාලුවෙක් හිටියා. මිනිහට එෆ් එම් මයික් එකක් පාස්සන්න උනත් ඊයම් බොබින් එකක් විතර යනවා. ඊයම් ඔක්කොම උණු කරලා ගුලි හදනවා. එයාට කොල්ලෝ නමක් දාල තිබුනා ඊයම් මාරයා කියල. 😀

    මැජික් අයි එක දැක්කම මට නම් හිතුනේ විචාරක තුමා, දැන් තියන එල්.ඊ.ඩී. දර්ශක වලට වඩා මේ විදිහ ලස්සනයි කියල. ඩයල් කෝඩ් එක සවි කරපු ක්‍රමය නම් තවමත් එනවා මිලෙන් අඩු කාර් කැසට් වල.

    මෙවැනි දේ බෙදා දෙනවට ස්තුතියි..!

    • මමත් පටන්ගත්ත කාලේ රෙසිස්ටර් දෙකක් පාස්සන්ඩ ඊයම් අඟල් දෙක තුනක කෑල්ලක් ඉවර කරනවා. 😀 අයියගෙන් ටොකු කාලා තමයි හරියට ඉගෙනගත්තේ.

      මැජික් අයි එකේ වර්ධනය තමයි සී ආර් ටී ටියුබ් එක. හැබැයි මෙහි එක්තරා අලංකාරයක් තියනවා තමයි.

      හාපෝ…ඒ කාලේ සමහර රේඩියෝ වල ඩයල් කෝඩ් එක දාන්න දවසක් විතර යනවා පරිපථ සටහනක් නැත්නම්. මැරිලා මැරිලා හයි කරලා කරකවලා බැලුවම මීටර් කටුව යන්නේ විරුද්ධ පැත්තට. 😀

      මේවා බෙදා දෙන්න හිතුවේ සිංහලෙන් මේ තොරතුරු දකින්න නැති නිසයි.

  17. කොළඹ 5 පාරේ ඒකල-මඩම හංදියෙ තියනව ඒ කලෙ සන්නිවේදන අවශ්‍යතා වලට පාවිචිකරපු sw radio receiving stations එකක්..ඒකෙත් තියන්ව ඔය වගේ ඇන්ටනා ගොඩක්.

    • මම ඒක ඇතුලට ගිහිල්ලා බලලත් තියනවා සම්පත්. බොහොම ස්තුතියි ඒ ගැන මතක් කලාට. එතන තියෙන්නේ කෙටි තරංග විකාශන ඇන්ටෙනා. දැන් එතන ක්‍රියාත්මකව පවතිනවාද නැත්නම් ගුවන් හමුදාවට අරගෙනද කියන්න මම දන්නේ නැහැ. එතන ගැන විස්තර ලියන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. සමහර විට හරී දන්නවා ති ඒ ගැන. හරී ඉන්නේ ඒ පැත්තේ නිසා.

      • ගොඩ දවසකට පස්සේ බ්ලොග් සටහන් කියවන්න ආවේ. ඒ අතරතුරේදී තමයි මේ රේඩියෝ ගැන විචාරක තුමා ලියපු ලිපිය දැක්කේ. ඇත්තටම මේ විශයයත් මම හරිම ආසා කරන එකක්. ඒ කාලේ අපේ ගෙදර තිබුනා පරණ සෝනි රේඩියෝ එකක්. ඒකෙ මධ්‍යම තරංග සහ කෙටි තරංග චැනල් අහුවෙන්න බිත්තිය දිගේ වයර් එකක් එහෙම හයි කරලා තිබුනා මට මතකයි. ගොඩක් වෙලාවට ඒකෙ ගියේ ඉංග්‍රීසි චැනල් මට මතක විදියට. ඒ අතරේ වෙන වෙන භාෂාවල ඒවත් ඇහුනා.

        ඒ එක්කම ඒකල විකාශනාගාරය ගැනත් කතාවෙලා තියෙන නිසා ඒ ගැනත් පොඩි ආරංචියක් දෙන්න හිතුනා. මට දැනගන්න ලැබුණු විදියට එතනින් කෙරෙන විසුරුවාහැරීම් 2013 ජූනි මාසේ සිට නතර කරලා ලු. එතනින් සිදුවුණු සියලුම විකාශන ත්‍රීකුණාමලයේ රිලේ ස්ටේෂන් එකට මාරු කරලා කියලා තමයි කියවෙන්නේ. එහෙම බැලුවොත් ලංකාවේ එතකොට ක්‍රියාත්මකව පවතින්නේ ත්‍රීකුණාමලයේ සහ ඉරණවිල රිලේ ස්ටේෂන් දෙක විතරයි. මම ත්‍රීකුණාමලයේ තියෙන එක නම් දැකලා නැහැ. එත් ඉරණවිල කණු එක නම් දැකලා තියෙනවා. ඔය කණුවල රෑට ලයිට් දැම්මහම හරිම ලස්සනයි.

        • මුලින්ම ඔබේ පැමිණීම සහ අදහස් දැක්වීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ විෂයය ගැන ඔබේ ඇති උනන්දුවත් අගය කරනවා.

          මටත් ආරංචි වුනා ඒකල විකාශනාගාරය වැහෙන්ඩ යනබව. මම හිතන්නේ ගුවන්විදුලි සංස්ථාව දැන් පත්වෙලා තියන දේශපාලන පාදඩකරණය නිසා කිසිම ආදායමක් නැහැ. ඒ නිසා අරවගේ ලොකු විකාශනාගාර නඩත්තු කරන්න බැහැ. බොරුවට අන්තර්ජාල විකාශන පවත්වාගෙන ගියත් සාපේෂව අහන පිරිස අඩුයි. ත්‍රිකුණාමලයේ තියෙන්නේ Voice Of America = VOA විකාශනාගාරය. ඉරණවිල තියෙන්නේ Radio Deutsche Welle = ‘ජර්මානු හඬ’. උන් අපේ ඒවා විකාශනය කරන්නේ නැහැ. මම ඔය දෙකටම ගිහින් තියන නිසා දන්නවා.

  18. මේක නම් වැඩිය හොඳ කොල්ලන්ට.:-)

    විචාරකට සුබ, නිරෝගී, ප්‍රීතිමත් වසරක් වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා…

    සුබ පතන්ට පමා උනාට සමාවෙන්ට. දැනගත්තු හැටියෙමයි දුවගෙන ආවේ. 😀

    • මේ බ්ලොග් එකේ මා ගැන කරන හැඳින්වීමේ මම කියලා තියනවා සිතින් තවමත් තරුණයෙක්මි කියලා. ඉතින් ඒ නිසා මේ පැතුම මට හොඳටම ගැලපෙනවා.

      බොහොම ස්තුතියි සුබ පැතුමට. ඔබේ කිසිම පමාවක් නැහැ.

  19. ක්සැන්ඩර් said:

    ආපහු ඇවිත් කොමෙන්ට් කියවද්දී නේ දන්නේ විචාරක මහත්තයා 60 ට පැනලා කියල.. එහෙනං වයස 60 තාමත් තරුණයාට මගේ සුභපැතුම් තවත් 60 වසරක්වත් අඩුමගානේ ඉන්නට.

    • ස්තුතියි ක්සැන්ඩර්, බොහොමත්ම ස්තුතියි. ඇත්තටම බ්ලොග් ලිවීම තුලින් මා යම් ජවයක් ජීවිතය එක්කරගත්තා කියලා හිතෙනවා. මා සතු සීමිත දැණුම හැකිතරම් ලෝකයට බෙදාදී මියයාමයි මගේ අරමුණ.

  20. ලිපිය කියෙව්වේ දාපු වෙලාවෙමයි. මොකද මන්දා කොමෙන්‍ටු දාන්න බෑ මේකට. මේ හතරවෙනි වතාව.

  21. මාත් දැම්මා QR Code එකක්.. 🙂

  22. යේ……ඒගමන හරිගියා. ඇත්තටම මම මේ ලිපිය එදාම රෑ කියෙව්වා. ඒ අද වෙනකම් කොමෙන්‍ටුවක් කොට ගන්න බැරි වුනා.මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් එක තමයි නිතර භාවිතා කරන්නේ. ඒකේ අවුලක්ද මන්දා. ඒත් අනිත් ඒවට අවුලක් පේන්නේ නෑ. කොහොම උනත් මම නොදැකපු දේවලුත් දැක්කා මේ පෝස්‍ටුවෙන් නම්. බොහොමත්ම ස්තුතියි මහත්මයා ඔබට.

  23. විචාරක තුමාගේ උපන්දිනය දැන ගත්තේ පහු වෙලා නේ. නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා ඔන්න මාත්..!

    • මම කවදාවත් උපන් දිනේට එච්චර සද්ද කරන්නේ නැහැ. හමුදාවේ ඉන්නකොට බේරෙන්න බැරිවුනා සියලු දෙනාගේ උපන්දින මව් ඒකකයේ බාර් එකේ බෝඩ් එකක තිබුන නිසා. මේ සැරේ එලිවුනේ පොඩ්ඩිගේ උපන්දිනයට එයාගේ බ්ලොග් එකේ මම දාපු කමෙන්ට් එක නිසා.
      ඔබට බොහොම ස්තුතියි සුබ පැතුමක් ගෙන ආවාට.

  24. මාව අමුතුම ලෝකයකට ගියා වගේ කියවද්දී දැනුන.. ස්තුතියි. තවත් පැරැණි උපාංග ගැන දෙන ගන්න ආසයි. ඔබ හමුදා නිලධාරියකු ලෙස රටට කල සේවය මෙන්ම දුර්ලභ දැනුම් සම්භාරයක් රටට දායාද කිරිම ඉතා අගෙයි. සුබ උපන්දිනයක් පතනවා..ජය….

  25. හත්තිලව්වයි මම දැනගෙන හිටියේ නෑ නෙව ඔබ තුමාගේ උපන්දිනේ පහු ගිය දොහකට යෙදිලා තුබුනු බවක්. ඒවා කියන කොට පොඩි විශේෂයක් සහිතව යොදන්න එපායෑ. අපිත් දැන් වයසට යමින් නොවැ ඉන්නේ.ඔබේ හැට වසරක මතක මට නම් හැබෑවටම විශේෂයි..! ඔබට දීර්ඝායුසම ලැබේවා කියලා පතනවා සරා පවුලේ හැමෝම මහත්මයා. නිදුක් නිරෝගී අනාගතයක්. ඔබෙන් රටට අපට ලැබිය යුතු දේ තව බොහෝමයි.. ජය වේවා….

    • කාටවත් නොකියා ඉන්නයි හිතුවේ. පොඩ්ඩිගේ බ්ලොග් එකෙන් තමයි මගේ අතින්ම බලලා මල්ලෙන් එලියට පැන්නේ.

      ඔබට අනෙක වාරයක් ස්තුතියි,පින්සිදුවෙවා, මට සුබ පැතීම ගැන.

  26. මේක මෙහෙම මෙහෙම කියවගෙන යද්දි අපෙ පියනො එක්කලා එක විදියක තරහකුත් එනවා.. :3 අපෙ ගෙදර තියෙන්නෙත් ඔය කියපු විදියෙ රේඩියෝග්‍රෑම් එකක්.. අපෙ මුත්තා පාවිච්චි කළෑ එකක්..

  27. අපෙ තාත්තට ලැබෙද්දි ක්‍රියාකරි තත්වයෙ තිබිලා තියෙනවා… පස්සෙ ඇතුලෙ මියො පිනුම් ගහනවා කියලා ඇතුලෙ තිබ්බ ඔක්කොම වයර් කපලා විසික් කරලා.. දැන් වටෙ ලී කොටස් ඔක්කොම ගුල්ලො ගහලා. හොද තත්වෙන් තියෙන ටික වුඩ්ප්‍රෙශර් ගාලා සුද්ද කරලා ගත්තා… මෙ පැත්තෙ එවුනෙත් එ හෙතුව නිසා..ආයෙත් ක්‍රියා කාරි තත්වයට ගන්නයි අදහස වයර් අමුණලා. ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම තිබ්බට වැල් එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා දැනුමක් නෑ.. වැල් ගැන හොයද්දියි මෙ පොස්ට් සෙට් එක කියෙව්වෙ… :3 පරන පොස්ට් කියෙව්වාම එ ගැනත් දන්නවා කියලා තෙරුනා.. උදවු වෙන්න පුලුවන්නම් ලොකු හයියක් අයියංඩි.. 🙂

    • මේ කමෙන්ට් එක කියවලා මම බොහොම කණගාටුවට පත්වුනා.

      වෑල්ව් වලින් ක්‍රියාකරන රේඩියෝ අභාවයට ගියේ ඒ රේඩියෝ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් ලංකාවට ගෙන්වීම නැවතුන නිසයි. නමුත් වැඩි මිලක් ගෙවා ඒ අමතර කොටස් පෞද්ගලිකව ආනයනය කිරීමේ හැකියාව එදා තිබුනා. අදත් තියනවා. එමෙන්ම එවැනි රේඩියෝ ලංකාවේදී අලුත්වැඩියා කළ නොහැකිනම් රේඩියෝව නිපදවූ සමාගම වෙත නැව් මගින් යවා සහතිකයක්ද සහිතව අලුත්වැඩියාකර ගෙන්වා ගැනීමට හැකියාව තිබුනා. නමුත් ඒ සඳහා අති විශාල වියදමක් යනවා. එහෙත් ඔබ ඒ රේඩියෝවේ ඇතුළත වයර් කපා ඉවත් කළානම් එය ගොඩ ගැනීම අතිශයින්ම අපහසුයි. මොකද එහි පරිපථ සටහනක් නැති නිසා.

      • නැහැ නැහැ.. වයර් කපල අයින් කරලා තියෙන්නෙ පරිපත වල එවා නෙවෙයි.. පරිපත ඔක්කොම හොද තත්වයෙන් තියෙනවා පෙනුමෙ… කපලා අයින් කරලා දලා තියෙන්නෙ එලෙයෙන් තියෙන වයර්.. උදාහරනෙකට ගත්තොත් මේකට ඇතුලට කරන්ට් එක එන වයර්.. එහෙන් ගියාම ඔන් ඔෆ් සුවිච් එකට ගිහින් තියෙන වයර්.. ආදි බාහිරින් ඇදපු වයර්.. ස්පිකරෙට ගිය වයර්.. ආදි දෙවල්… මගෙ හිතෙ තාමත් කොනක තියෙනවා මට මෙක හදලා දැන් am නැත්තත් චුරු චුරු සද්දෙ ඇහිලා වැල් වල එලිය එන තත්වෙට හරි ගන්න පුලුවන් වෙයි කියලා.. 🙂

        ඔයිටත් වඩා කනගාටු වෙන්න වෙනවා ඒකෙ වටෙ ලි පෙට්ටිය ප්‍රතිසන්ස් කරනය කරන්න බැරි තත්වෙටම ගුල්ලො ගහලා නිසා.. :/

        • පෙට්ටිය දිරාගියාට කමක් නැත. දක්ෂ වඩු කාර්මිකයකුට පුළුවන් 99% ක් ඊට සමාන එකක් හදන්න. ඔබ ටිකක් හොයා බලන්න වෑල්ව් රේඩියෝ අලුත්වැඩියාව ගැන දන්නා කාර්මිකයන් සිටිනවාද කියා. ලංකාවේ තවමත් ඉන්න පුළුවන්. අන්තර්ජාලයේත් සොයාබැලීම් කරන්න. මට හිතෙනවා බොහෝ දුරට ඔය යන්ත්‍රය මුල් තත්වයට 65% ක් පමණ ආසන්න තත්වයකට ගතහැකිවෙයි කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: