විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


LabuKendit  අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය වෑල්ව් රේඩියෝ වලට යොමුවී තිබුනා. ඒ නිසා වෑල්ව් ගැන තවත් තොරතුරු ටිකක් මේ ලිපියෙන් කියන්නම්.

  වෑල්ව් හෙවත් Vacuum Tube නිපදවීමේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂයේ අග භාගය තරම් ඈත අතීතයකට ඇදී යනවා. කෙසේ වෙතත් සාර්ථක සහ කාර්යක්‍ෂම වෑල්ව් නිපදවීම ආරම්භ වුනේ 19 වැනි සියවසේ මුල් භාගයේදීයි. මා පසුගිය ලිපියෙන් ඔබට කිව්වා මතක ඇති, වෑල්ව් එකක් සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර හැඩයෙන් යුක්තයි කියලා. පසුගිය ලිපියේදී මා ඔබට වෑල්ව් වල පින්තූරයක් පෙන්නුවා මතක ඇති. මෙවර පෙන්වන්නේ වෑල්වයක සැකැස්ම කෙබඳුද කියන එකයි. 

  tworks_fig3[1]වෑල්ව් එකක ක්‍රියාකාරිත්වය සංකීර්ණ එකක් නිසා මා ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. මේ රූපය දුටු පමණින්ම ඔබට ඒ සංකීර්ණත්වය ගැන අදහසක් ඇතිවෙයි කියා සිතනවා. පින්තුරයේ මැද තියෙන්නේ වෑල්ව් එක. වටේට කුඩා රූප වලින් දක්වලා තියෙන්නේ එහි ඇතුලත සවිකර ඇති කොටස්. එයින්ම ඔබට වැටහෙනවා ඇති වෑල්ව් එකක් කොතරම් සංකීර්ණද කියා. වෑල්ව් ගැන මම මෙතරම් කතා කරන්නේ හේතු කීපයක් නිසා. එක. වෑල්ව් කියන්නේ ගුවන්විදුලි/රූපවාහිනී කාර්මික ශිල්පයේ මහා විප්ලවයක්. දෙක. වෑල්ව් අදත් පාවිච්චි කරනවා. තුන. ට්‍රාන්සිස්ටර් සහ අයි.සී. අතහැර නැවත වෑල්ව් වෙත යාමේ අදහසක් සමහර ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් තුල තිබෙනවා. සමහරවිට ඒ අදහස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

  06අද කාලයේ කොහෙද වෑල්ව් පාවිච්චි කරන්නේ කියන ගැටලුව සමහරවිට ඔබට ඇතිවෙන්න පුළුවන්. ගුවන්විදුළි/රූපවාහිනී විකාශන යන්ත්‍රවල විකාශන බලය පිට කරන කොටසේ (output stage) තිබෙන්නේ වෑල්ව් එකක් හෝ දෙකක්. එවැනි විකාශන යන්ත්‍රයකින් සාමාන්‍යයෙන් අවම වශයෙන් කිලෝවොට් 10 ක වත් බලයක් පිටකරනවා. ඒ සඳහා ට්‍රාන්සිස්ටර් හෝ අයි. සී. යොදාගනීම සාර්ථක නැති නිසයි වෑල්ව් යොදාගන්නේ. මේ සමග ඇති රූපයෙන් පෙන්වන්නේ රූපවාහිනී විකාශන යන්ත්‍රයක ඇති වෑල්ව් එකක්. හිතාගන්න පුළුවන් නේද එහි විශාලත්වය. මෙවැනි වෑල්ව් වීදුරු ආවරණයක් සහිතව හදන්න බැහැ. එයට හේතුව මෙවැනි වෑල්ව් ක්‍රියා කරන විට ඉතා අධික ලෙස රත්වීමයි. වීදුරු වලින් හැදුවොත් පුපුරන තරම් උෂ්ණත්වයක් ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි වෑල්ව් සාදන්නේ පිඟන් මැටි (ceramic) ආවරණයක් සහිතවයි. එමෙන්ම මෙවැනි වෑල්ව් වලට විශේෂ සිසිලන වායු ධාරාවක් නොකඩවාම වදින ලෙස සකසා තිබෙනවා. නැත්නම් වෑල්වය බෝම්බයක් වගේ පුපුරනවා.

  Tubesවෑල්ව් වලින් ක්‍රියාත්මක වන ඕනෑම ගුවන්විදුලි/රූපවාහිනී/ශබ්ද විකාශන/පටිගත කරන/ යන්ත්‍රයකින් පිටවන උෂ්ණත්වය පැහැදිලිව දැනෙනවා. මේ නිසා එවැනි යන්ත්‍ර වලට ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ආකාරයටයි එහි කැබිනට්ටුව සකස් කර තිබුනේ. එමෙන්ම වෑල්ව් ක්‍රියාකරන විට එහි ෆිලමන්ට් එකෙන් පුංචි එළියක් විහිදෙනවා. මේ පින්තූරයේ තිබෙන්නේ වෑල්ව් වලින් ඒ වගේ එළියක් විහිදෙන ආකාරයයි. ඉතින් මේවගේ වෑල්ව් වලින් ක්‍රියාකරන ගුවන්විදුලි යන්ත්‍ර තමයි රේඩියෝ කියන දේ මා හඳුනාගත් කාලයේ දී තිබුනේ.

  වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබුනා. එකක්, ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරන වර්ගය. අනික තමයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. මේ බැටරි වලින් ක්‍රියාකරන වර්ගයත් කොටස් දෙකක් තිබුනා. ඒ තමයි කාර් බැටරි වලින් ක්‍රියාකරන වර්ගය සහ ඩ්‍රයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකිරීම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. දැනුත් අපි ගුවන්විදුලි රූපවාහිනී යන්ත්‍ර ක්රියකරවන්නේ ප්‍රධාන විදුලියෙන් නේ. ඇතුලත උපකරණ වෙනස් වුනත් න්‍යාය එකයි. කාර් බැටරියකින් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි යන්ත්‍රයක් මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුනා. ඉතින් බැටරිය බැස්සම? අනේ. . . .  . නගරයට ගිහින් බැටරිය චාජ් කරගෙන එනතුරු හුළං තමයි. 

 7976055072_892d5db0a3_z ‘ඩ්‍රයි බැටරි’ කියන වචනය ඔබෙන් සමහර අයට කුතුහලය දනවන්නක් වෙනවා ඇති. ඩ්‍රයි බැටරි කියන්නේ වියළි බැටරි කියන එක නේ. ඉතින් තෙත බැටරි නැත්නම් ‘වෙට් බැටරි’ කියලා ජාතියකුත් තියනවද? තියනවා නේන්නම් ඇයි කාර් බැටරි? ඒවාගේ ඇතුළේ ආසෘත ජලය සහ අම්ල තියනවා නේද? එතකොට වියළි නැහැනේ. අපි අපේ ගෙදර තිබෙන දුරස්ථ පාලක, ඔරලෝසු, විදුලි පන්දම්, ආදියට යොදන්නේ වියළි කෝෂ නේ. ඉතින් මේ වෑල්ව් රේඩියෝ වැඩ කලෙත් විශේෂ වියළි කෝෂ වර්ගයකින්. ඒ වියළි කෝෂය පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ. මට කියන්න අමතක වුනා, මේ වෑල්ව් රේඩියෝ වලට බලය සපයන්නේ අමුතුම ක්‍රමයකට. ඒ සඳහා බල සැපයුම් මාර්ග දෙකක් ලබාදිය යුතුයි. එකක් තමා වෑල්ව් වල ෆිලමන්ට් සඳහා වෝල්ට් 1.5 ක විදුලි බලයක් (සරල ධාරාවක්) ලබාදිය යුතුයි. එය හඳුන්වන්නේ LT  = Law Tension Current කියලයි. ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයේ සෙසු කොටස් සඳහා වෝල්ට් 9/12/15/13.5/15 වැනි ඒ ඒ පරිපථය අනුව ගැලපෙන විදුලියක් ලබාදිය යුතුයි. (සරල ධාරාව)  එය හඳුන්වන්නේ HT = High Tension Current කියලයි. ඉතින් අර ඩ්‍රයි බැටරියේ ඇතුලත තිබෙනවා සැකසුම් දෙකක්. එකක තිබෙන්නේ අපි විදුලි පන්දම් වලට යොදන බැටරි කෑලි වලට වඩා මඳක් උස බැටරි කෑලි. එයින් තමා 1.5 විදුලිය ලබාදෙන්නේ. ඒවා සමාන්තරව අමුණා තිබෙන්නේ. (parallel circuit) අනෙක් කොටසේ තිබෙන්නේ අඟල් 1.5 x 1.5 පමණ දිග පළලින් යුත් සෙන්ටිමීටර් තුන්කාලක පමණ ඝනකමකින් යුත් පැතලි බැටරි කෑලි 10ක් පමණ එකමත එක තබා කුඩා හතරැස් කණු ලෙස පෙනෙන ආකාරයට සකසන ලද ඇටවුම් කීපයක්. මේ ඇටවුම් ද සමාන්තරව අමුණා තිබුනා. මේ සියල්ල තමයි අර පෙට්ටිය ඇතුලේ තිබුනේ. නියම ඩ්‍රයි බැටරියක පින්තූරයක් හොයන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. ඒ නිසා ආසන්නයෙන් යන පින්තූරයක් දෙන්නේ.  

  UX_baseබැටරියේ සිට රේඩියෝවට බලය ගෙනයන්නේ වයර් 4 කින්. ඒ කියන්නේ HT, LT බල සැපයුම් මාර්ග දෙක. ඒ වයර් හතර බැටරියට සවිවන්නේ පින් 4 ක ප්ලග් එකකින්. මේ බැටරි නැවත ආරෝපණය කල නොහැකියි. බැටරිය බැස්සම විසිකරලා වෙන එකක් ගෙනෙන්න වෙනවා. අම්මෝ……. ඒ කාලේ අපි වගේ අයට ඒ බැටරියක මිල දැරිය නොහැකි තරම්. මට මතක හැටියට රු 45 – 60 අතර. හොඳම බැටරි වර්ග වුනේ ‘එවරෙඩි’ සහ ‘බෙරෙක්’ යන වර්ග දෙක. ඉවත්කළ පරණ බැටරියේ අර පැතලි හැඩයේ කෑලි, බට්ටෝ පනින්න ගන්නවා මට මතකයි. බැටරිය බැහැලා ගියාම අව්වේ වරුවක් තියලා ගත්තම පැයක් විතර අහන්න පුළුවන් රේඩියෝ එක. අපේ අක්කලාට, අලුත් බැටරියක් ගේන දවස හරියට මනමාලියක් කැන්දාගෙන එනවා වගේ. විනෝදයක් කියලා එච්චරනේ දෙයියනේ තියෙන්නේ. ඔබ දන්නවනේ අපි රූපවාහිනී යන්ත්‍රයේ ස්විච් එක දාපු ගමන් පින්තූර පෙනෙන්නේ නැතිබව. තත්පර කීපයක් යනවා. මේ වෑල්ව් රේඩියෝ වල ස්විච් එක දාපු ගමන් ශබ්දය එන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍රයකට වඩා වැඩි වෙලාවක් ගන්නවා. සමහරවිට තත්පර 10 ක් 15 ක් පමණ. එයට හේතුව වෑල්ව් වල ෆිලමන්ට් එක පත්තුවීමට ගතවන කාලයයි. දැන්නම් අපි සෑමවිටම වගේ උනන්දු වෙන්නේ ජපානයේ නිෂ්පාදිත ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර මිලදීගන්නයි. නමුත් දැන් එන්නේ චීනයේ හෝ මැලේසියාවේදී එකලස් කල ජපන් නම සහිත යන්ත්‍ර. ජපානයේම නිෂ්පාදිත යන්ත්‍රයක් කාර් එකක් තරම් මිල වෙයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා. අපි කුඩා කාලයේදී දකින්නට ලැබුනේ යුරෝපීය රටවල නිෂ්පාදිත ගුවන්විදුලි යන්ත්‍ර පමණයි. එයින් කීපයක් ඔබට හඳුන්වා දෙන්නම්. ඒ ඒ රේඩියෝව නිපදවූ සමාගමේ ලාංඡනයද දක්වා තිබෙනවා. මේ සියල්ලම ප්‍රධාන විදුලියෙන් හෝ බැටරි බලයෙන් ක්‍රියාකරන වෑල්ව් රේඩියෝ. 

බුෂ් රේඩියෝව ජර්මනියේ නිෂ්පාදනයක්.  

Bush Radiobushගෘන්ඩිග් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්

Grundig

 Grundig Logoතවත් ජර්මන් නිෂ්පාදනයක් බ්ලවුපුන්ක්ට් (නිල් තිත – Blue Dot)

Blaupunkt

blaupunkt-logo

ටෙලිෆන්කන් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්

telefunk-55sm

Telefunken_logo_svg

නොර්ඩ්මන්ඩි රේඩියෝව ඕලන්ද නිපැයුමක්

Nordmende

ෆිලිප්ස් රේඩියෝව ඕලන්දයේ (නෙදර්ලන්තයේ) නිෂ්පාදනයක්

Philips1947

DSC06044

පයි රේඩියෝව බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්

PYE Radio

1fc1c1c2db5852e08ffc380475e263365d961db03a9c0cc3066f33d9fa734b5f

තවත් ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදනයක් බ්‍රිතාන්‍යයේ HMV = His Masters Voice රේඩියෝ

HMV

HMV Logo

GEC = General Electric Company කියන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක්

GEC Radio

GEC_logo

තවත් ලෝකපරසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක් සෙනිත්

ZenithA600L-4

1035_m  මා හිතනවා අපිට තවත් කොටස් දෙකකට පමණ මේ කතාව ගෙනයන්නට වෙයි කියා. ඒ තරමට තොරතුරු රැසක් තිබෙන නිසා. ඔබේ ප්‍රතිචාර වලින් ඉල්ලාසිටි, මතක් කර තිබුන අදහස් වලටත් ඉඩ දෙමින් ඉතිරි කොටස් ලියන්නම්.

  මෙහි ඇතුළත් සියළුම ඡායාරූප Google Images වෙතින් ලබාගත් බව සලකන්න.

My Signature for Blog2013 පෙබරවාරි මස 23 වැනි දින 0102 පැය

Advertisements

Comments on: "අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)" (76)

  1. අපේ දිහා තිබිලා මා විසින් භක්ෂණය කරන්නට යෙදුනේ පිලිප්ස් රේඩියෝවක් බව සතුටින් ප්‍රකාශ කර සිටිමු…

  2. මාත් පොඩිකාලෙ ඔය බැටරි කෑලි වලින් ගැලවිච්ච හතරැස් කෑලි දැකල තියෙනව ඒව මොනවද කියල කාලෙකට පස්සෙයි දැනගත්තෙ.

    වෑල්ව් වලින් ක්‍රියාකරන ඒව දාපුගමං වැඩකරන්නෙ නෑ වගේම ඒව එකපාරටම ක්‍රියා විරහිත කරන්නත් බෑ කිලය තමයි මම අහල තියෙන්නෙ.

    • ක්‍රියාවිරහිත කිරීමෙදිනම් එච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ ප්‍රසන්න. ඔබ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ රේඩියෝ බොහොමයක විදුලිය ‘ඔන් ඕෆ්’ කරන ස්විච් එක තියෙන්නේ ශබ්දය අඩුවැඩි කරන ‘වොලියුම් කන්ට්‍රෝල්’ එකටම සම්බන්ධ කරලා. එය කරකැවෙන ස්විච් එකක්. ඉතින් හඬ අන්තිමටම අඩු තැනට කරකවලා තවත් වම් අත පැත්තට කැරකුවාම තමයි ‘ටක්’ ගාන හඬකින් රේඩියෝ එක ඕෆ් වෙන්නේ. එහෙම කරකවන තුරු රේඩියෝවේ හඬ ඇහෙනවා.

      • මම කියන්නෙ ගෙවල්වල තියෙන රේඩියෝ වල නෙමෙයි. ඔය විකාශනාගාරවල තියෙන උපකරණවල වෑල්වල විදුලිය ගබඩා වෙලා තියෙන හින්ද ඒව ස්විච් ඕෆ් කලත් ටික වෙලාවක් යනකල් ඒව ක්‍රියාත්මක තත්වයේ තියෙනව කියල මම අහල තියෙන හින්දයි කිවුවෙ.

        • හරි හරි ප්‍රසන්න, එහෙම එකක් තියනවා. ඒ විකාශන යන්ත්‍ර සේවා කටයුතු සඳහා ගලවද්දී, මුලින්ම විදුලියෙන් විසන්ධි කරලා, ඊට පස්සේ අර ආරෝපිත විදුලිය භූගත කම්බියක් මගින් ඉවත් කරනවා.

      • විකාශනාගාරවල තිබෙන යන්ත්‍ර වල තාපය අධික වීමත් ඒවා නිවා දැමීමට පෙර සුළු මොහොතක් ඔන් එකේ තියා ගැනීම සිදු කරනවා කියලා මං අහලා තියෙනවා. (දුර සේවා බස් රථ එක වරම එන්ජිම ක්‍රියා විරහිත නොකරනවාක් මෙන්)

        ඔය සිද්ධිය සම්බන්ධ රසවත් සිදුවීමකුත් අහලා තියෙනවා. ගුවන් විදුලියේ නිවේදක ශිල්පියෙක් වෙනදා වගේම තම රාත්‍රී අවසන් වැඩසටහන නිමවා සුපුරුදු පරිදි පිරිත් හා ජාතික ගීය වාදනය කර යන්ත්‍ර ස්ටෑන්ඩ් බයි තත්ත්වයට පත් කරනවලු. එතකොට රේඩියෝ එකේ සෝ සද්දේ විතරනේ ඇහෙන්නේ. ගුවන් විදුලියේ ලොක්කෙක් රෑ රේඩියෝ එක දාගෙන ඔය වෙලාවේ කාර් එකේ යනවලු. යනගමන් රේඩියෝ එක ඕෆ් කරන්නත් බැරි හින්දා සෝ සද්දේ අහගෙන යනවලු. එතකොට එක පාරටම ඇහෙනවලු “පුතේ මං ටිකකින් ගෙදර එනවා. මං එනකං ඇහැරලා ඉන්න” කියලා.

        පහුවෙනිදම අර නිවේදකයට විනය පරීක්ෂණයක්.

        • විකාශනාගාර වල ට්‍රාන්ස්මීටර් නිවා දැම්මට පස්සෙත් එහි සිසිලන පද්ධතිය ටික වෙලාවක් ක්‍රියාත්මකව පවතිනවා. එමෙන්ම විකාශනය අවසන් කරත් ට්‍රාන්ස්මිටරය විනාඩි 5 ක් පමණ තබනවා.

          ලස්සන කතාව. ඒ වගේම එකක් කියන්නම්. ලංකාවේ එක්තරා රූපවාහිනී මධ්‍යස්ථානයක ආරක්ෂාව භාරව මා හිටිය කාලේ රාත්‍රී විකාශය අවසන් කලපසු පසුවදා උදේ ප්‍රචාරය වන වැඩසටහන් වල පටි ක්‍රියා කරවා බලනවා ප්‍රධාන පාලක මැදිරියේ සිට. එය ක්ෂුද්‍ර තරංග ඔස්සේ අර මම හිටිය විකාශනාගාරයට පෙනෙනවා. ක්ෂුද්‍ර තරංග සාමාන්‍ය රූපවාහිනී යන්ත්රයකින් ග්‍රහණය කරන්න බැහැ. එක වරක් චීන නැටුම් ශිල්පිනියන් පිරිසකගේ රැඟුමක් එලෙස ක්ෂුද්‍ර තරංග ඔස්සේ අපි බලමින් හිටියා. සමහර අවස්ථා වලදී ඔවුන්ගේ සළු පිළි ‘භයානක’ විදිහට එහෙමෙහෙ වෙනවා. ඒ අතරේ එකල හිටිය බොහොම ප්‍රබල තැනැත්තෙක් කතාවක් පවත්වපු රූප පෙළක් එයට මිශ්‍ර කර, ඔහුගේ මුහුණ අර ශිල්පිනියන්ගේ පශ්චාද් භාගයේ ඇතිල්ලෙන ආකාරය පෙන්නුවා. අපි බඩ අල්ලාගෙන හිනාවුනා. අන්තිමට ප්‍රධාන මධ්‍යස්ථානයෙන් අපේ මධ්‍යස්ථානයට පෙනෙන්න අකුරු පේලියක් දැම්ම. ‘දැන් ඉවරයි. චූ කරලා බුදියගනිල්ලා’ කියලා. 😀

      • ඒකනම් මාරයිනේ… 😀

  3. දෙපැත්තෙ නොබ් දෙකයි මැද ස්විච් ටිකයි තිබ්බ දුඹුරු පාට රේඩියෝවක් තමයි මුලින්ම අපේ ගෙදර තිබ්බෙ..ඊට පස්සෙ කාලෙන් කාලෙට මොඩිෆයි වෙච්ච රේඩියෝ ගෙනාවා. අපේ පැත්තෙ ඔය කාලෙ හොඳට පතල් වල මැණික් හම්බ උනා.. වාසි වෙන හැම සැරේටම පරණ රේඩියෝ එක විකුණලා අළුත් එකක් ගත්තා මතකයි..මේ පින්තූර ටික දැක්ක හම අපි ඒ කාලෙ රේඩියෝ අහපු හැටි මතක් උනා..ස්තූතියි විචාරක මහත්තයට මේ ලිපි ටික අපිට කියවන්න දෙන්න වෙන මහන්සියට !

  4. අපේ ගෙදර තිබ්බා මුල්ම යුගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් INGELEN කියලා, ජර්මන් බඩුවක්. ඒජෙ Long Wave හිටං තිබ්බා.

  5. 1. “ට්‍රාන්සිස්ටර් සහ අයි.සී. අතහැර නැවත වෑල්ව් වෙත යාමේ අදහසක් සමහර ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් තුල තිබෙනවා. සමහරවිට ඒ අදහස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ” :O

    2.”අද කාලයේ කොහෙද වෑල්ව් පාවිච්චි කරන්නේ කියන ගැටලුව සමහරවිට ඔබට ඇතිවෙන්න පුළුවන්. ” ෆුට් වෑල්ව් එක.. බයිසිකලයේ ටියුබ් එකේ වෑල්ව් එක.. 😀

    3.”UX_baseබැටරියේ සිට රේඩියෝවට බලය ගෙනයන්නේ වයර් 4 කින්. ඒ කියන්නේ HT, LT බල සැපයුම් මාර්ග දෙක. ඒ වයර් හතර බැටරියට සවිවන්නේ පින් 4 ක ප්ලග් එකකින්.” බැටරි කෑලි වලටත් කියන්නේ වියළි කෝෂ කියලනෙ.. මම හිතුවෙ ඒවා කියලා

    4. “රූපවාහිනී යන්ත්‍රයේ ස්විච් එක දාපු ගමන් පින්තූර පෙනෙන්නේ නැතිබව. තත්පර කීපයක් යනවා. ” අපේ රූපවාහිනිය නම් දාපු ගමන් හෙලිකොප්ටර් යන සද්දයක් එන්නෙ.. ඒ මදිවට විනාඩියක් විතර පින්තූරු උඩ පහළ යනවා..

    • 1. මම කිව්වදේ ඇත්තද බොරුද කියලා මෙතනින් බලන්න

      2. මම කියන්නේ නෑ………… වෑල් එක. හල් ටයන්න කපලා හල් කයන්න දාගත්තනම් හරි.

      3. ටිකක් දීර්ඝ විස්තරයක්. අවාසනාවට ඒ සඳහා අවශ්‍ය පින්තූර හොයාගන්න නැත. එකම බැටරි ආවරණය ඇතුලේ බැටරි පැක් දෙකක් තියනවා. ඒ දෙකෙන් වෙන වෙනම HT/LT බලය සපයනවා.

      4. ඔබේ රූපවාහිනියේ Vertical Hold පරිපථයේ දෝෂයක් තිබෙනවා. එය සුළු අලුත්වැඩියාවක්. වැඩේ වණ වෙන්න කලින් දැන්ම අලුත්වැඩියා කරගැනීම පොකැට්ටුවට ගුණයි.

    • අර ලින්ක් එකෙන් ගිහින් අළුත් යෙදුමක් ඉගන ගත්තා.. 🙂

      “Vacuum tubes went the way of the dinosaurs in the 1960s”

    • ඕක මොකක්ද අපේ ගෙදර ඉස්සෙල්ල තිබ්බ ටීවී එක දාල පැයක් විතර ඉන්න ඕන රූප එන්න. පස්සෙ ඒකෙ කන්ඩෙන්සර් එකක් නරක්වෙලා තිබිල ඒක දැම්මම වැඩේ හරිගියා.

  6. ඉක්මනට ඉතිරියත් දාන්න මේ බ්ලොගේ මට නම් සෑහෙන්න දැනුමක් දුන්ණා මේ වෙද්දී.
    කෝරලේ වලව්ව

  7. සර්,දැන්නම් යුද්ද කතාවක් ඕනි, 🙂

  8. වැකුම් ටියුබ් එකක් යාළුවෙකුගෙ ගෙදර තියනව. එයාලගෙ කිරිඅම්මගෙ වාසනාවට අපි දෙන්න ඒක මස්කරන්න යද්දි මාට්ටු වුණා. ඒ කාලෙ ඕවගෙ වටිනාකම දන්නෙ නෑනෙ.

    ලංකාවෙත් රේඩියෝනම් හැදුවලු නේද?
    මම තාම දැකල තියෙන්නෙ UNIC විතරයි.

    • ඒ වැකුම් ටියුබ් එක කෞතුක වස්තුවක් ලෙස තියාගන්න. ලංකාවේ හැදුව යුනික් රේඩියෝ බොහොම ඉහල තත්වයෙන් තිබුනා. ලංකාවේ කර්මාන්ත වලට රජයේ අතහිත ඒ කාලයේ දුන්නානම් අපි අද සියලුම ඉලෙක්ට්‍රොනික් උපකරණ මෙහෙ හදනවා.

      • ලංකාවේ Develo කියලා රේඩියෝ වගයකුත් ටීවී වගයකුත් හදලා තියෙනවා.. අපේ තාත්තත් මම ඉපදෙන්ඩ ඉස්සර ඒ සමාගමේ සේවකයෙක්..

        මේක දැක්කට පස්සෙ මුල්ලක දාලා තිබ්බ ඒක මම හොයලා පින්තූරයක් විචාරක මහත්මයාට එව්වා.. ඒක බලන්ඩ..ඒකට විශාල බෆල් එකකුත් තිබ්බා ඒක නම් දිරලා ගියා..

        • ඔව් ඩිවෙලෝ රේඩියෝ මට මතකයි. අපි දැන් පාවිච්චි කරන ඩී.වී.ඩී. ප්ලේයරයක හැඩයට හදන ලද, ඉතා පැතලි මොස්තරයකුත් තිබුනා. ඒ වගේම ඉතාම මිහිරි ගුවන්විදුලි වෙළඳ දැන්වීමක් තිබුනා ‘නිවසේ පාළුව මකලා, එහි නව රසයක් දීලා’, කියලයි පටන් ගන්නේ. ……….අන්තිමට කියනවා ‘ඩිවෙලෝ ඩිවෙලෝ ඩිවෙලෝ’ කියලා. තාත්තාගෙන් අහන්න ඒ දැන්වීම මතකද කියලා.

      • පින්තූරයක් එව්වා.. ලැබුනේ නැද්ද?

      • යුනික් රේඩියෝ එකේ තත්වය නම් ආයෙ උපරිමයි තමයි. අපේ ගෙදර එකක් තියනව 1986 අරන් තියන. තාම රේඩියෝ වැඩ. කැසට් වැඩ නෑ ඉස්කෝලෙ ඉලෙක්ට්‍රොනික්ස් කරපු දවස් වල ගලවල බලන්න ගිහින් මම අතින් කැඩිල. අනික අද කාලෙ අය වගේ නෙවෙයි Manufactured by Upali Electronics, Made in Sri Lanka කියල බය නැතිව warranty card එකයි, රේඩියෝ එක පිටිපස්සෙයි ගහල තියනව.

      • ඔව්.. එහෙම දැන්වීමක් මතකයි කිව්වා.. ඒක අහන්ඩ ගිහින් රේඩියෝ ගැන හා කොම්පැනියෙ වැඩ ගැන ලොකු කතන්දරයක් අහගත්තා..
        ඔය වෑල්ව් තිබ්බ රේඩියෝ වලට ඇන්ටෙනාත් තිබ්බාලු.. ඒවා හයි කරන්නෙ උස පොල්ගහකලු..

  9. මගේ නිගමනය: යුරෝපයේ මිනිස්සු කාලෙකට ඉහතදී හරිම හපන්නු බවක් පෙනේ. විශේෂයෙන් ජර්මන් ජාතිකයන්. 😀

    • යුරෝපයෙන් ආව භාණ්ඩ ශක්තිමත්, කල්පවතිනවා, විශ්වාසවන්තයි. ගුණාත්මක බවෙන් ඉහලයි. මේ සමහර රේඩියෝ උස්සන්ඩ දෙන්නෙක්වත් ඕනේ. සමහර රේඩියෝවල කැබිනට් එක ඕක් ලීයෙන් හදලා තිබුනේ.

    • මම හිතන්නෙ සුද්දගෙ කාලෙ ආපු තරමක් භාණ්ඩ ආවෙ යුරෝපයෙන්. ජර්මනියෙ බලකාමය නිසා මම හිතන්නෙ එයාල කාර්මික නිෂ්පාදනයෙ ගව්ගානක් පසුසට ගියා. ඉන්පසු ඒ අවස්ථාව වෙනත් රටවලට ලැබෙන්න ඇති.

      • ඇත්තටම යුරෝපීය නිෂ්පාදන ශක්තිමත් කල්පවතින ඒවා. ජපනා හදපු බඩු සිත් ඇදගන්නා විදිහට ලස්සන කළා. ඒ නිසයි ජපන් බඩු ජනප්‍රිය වුනේ.

  10. පරණ රේඩියෝ ටිකනම් පංකාදු පහයි, මල් හතයි… 🙂

    ඔය රේඩියෝ වල තියන බටන් වගයක් ඒ කාලෙ අර මම කියපු තාත්තා හදපු රේඩියෝ එකෙත් තිබුනා.. ඒවයෙන් මොනවද කළේ කියලා හරියට මතක නෑ.. බෑන්ඩ් කඩපු එකද මන්දා කළේ..

    ඒ කාලෙ කොච්චර දුශ්කරද නේද ? ඒත අද ආපහු හැරිලා බලනකොට හරි සුන්දරයි…

    විචාරක මහත්තයෝ, මේ ලිපිවල කොටසින් කොටසට යන්න සබැඳි දාන්න අමතක කරන්න එපා.. පස්සෙ කාලෙක කියවන අයට නැත්නම් හරි අපහසුයි..

    • ඇත්තටම හොඳ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත මේ වගේ රේඩියෝ එකක් මමත් හොයනවා ලස්සනට අරන් තියාගන්න.

      අර ඔබන බොත්තම් වලින් කලේ තරංග මාලා වෙනස් කිරීම තමයි ඒ හැර රෙකෝඩ් ප්ලේයරයක් සම්බන්ධ කලවිට ඒ සම්බන්ධය තෝරාගැනීමටත් බොත්තමක් තිබුනා.

      ඒ කාලේ දුෂ්කරයි, සරලයි, අවශ්‍යතා සීමිතයි, විනෝදයි. අපි තූත්තුකුඩියට ගියත්, විනාඩි 10 න් 10 ට ගෙදරින් කෝල් එන්නේ නෑ, දැන් කොහෙද දැන් කොහෙද කියලා අහලා.

      අනේ සබැඳිය දාන්න අමතක වෙලා. දැන්ම දාන්නම්. බොහොම ස්තුතියි එය පෙන්වා දුන්නාට.

  11. ක්සැන්ඩර් said:

    අපේ මාමගේ වැඩපොළේ ඔවැනි සමහර එව්වා තිබුණු බව මට මතකයි. ගොඩක් එව්වා ලෑලි වලින් ෆ්‍රේම් එක ගහල රෙදි වගේ දේවල් වලින් ස්පීකර් කොටස ආවරණය කරලා තිබ්බා. ටකස් ගාල වැටෙන සුදු ස්විච් එහෙම මට තවම මතකයි. ඒත් ඒවා දැන් නෑ. දැන් තමා හිතෙන්නේ අපරාදේ කියල.

  12. ෂෙහ්…මරු වෑර්ලස් ටික 🙂

    මම කවදාවත් ඕකකින් එන සද්දේ අහලා නෑ… ඇත්තමයි 😦

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  13. ම් ….. මුල කෑල්ල මඟහැරිල වගේ. දෙකම එකට කියවා අදහසක් ප්‍රකාශ කරන්නෙමි. 🙂

    • හොඳයි හොඳයි. විවේකීව කියවා බලා අදහස් කියන්න.

    • ඔන්න දැන් තමා ලිපි දෙකම කියෙව්වෙ. අපි අද අත්දකින සුපිරි නවින උපකරණ කොයිතරම් ගොරහැඩි දුෂ්කර මාවතක කීදාහකගෙ දහඩිය මහන්සියෙන්ද අද තියෙන තත්ත්වෙට ඇවිත් තියෙන්නෙ. සමහර විට කොච්චර අළුත් ඒන තිබුනත් අපි ඔය පරණ ඒවට ඇලුම්කරන්නෙ ඒක නිසා වෙන්න පුළුවන්.

      විචරක මහත්තය අර පළමු ලිපියෙ දාලා තියෙන පොත අපේ ආත්තම්මලගෙ ගෙදරත් තිබුන ඒ දවස්වල, මගේ හිතේ මාමලගෙ පරණ පොත් එක්ක කබඩ් එහෙකද කොහෙද තිබුනෙ, ඒක එහෙම්මම දිරල යන්න ඇති. පොතේ අතුළු පිටුවල ඡායාරූප දැක්ක ගමන් මට ඒක මතක් වුනා. ඔය පෙට්ටියක් වගේ පරණ රේඩියෝවකුත් තිබුන අපේ ගෙදර, වර්ගයක් නම් මතක නැහැ. ඒකටත් මොනව වෙලාද මන්ද.

      හැබැයි මේකත් අන්තිමට කියන්න ඕන, අදනම් මට රේඩියෝවක සද්දෙ ඇහෙන කොටත් ඌරු ජුවල්. ඒ තරමට ම අප්පිරියයි.

      • අග ඉඳලා මුලට පිළිතුරක් දෙන්නම්.

        අද මමත් ගුවන්විදුලිය අහන්නේ කලාතුරකින්. රජයේ නාලිකාවල හොඳ ගීත යනවා. නමුත් ඒ අතරට යන පම්පෝරි සහ ගොන්පාට් නිසා එපා වෙනවා. පෞද්ගලික නාලිකාවල ඉන්න නාම්බන් සහ නෑම්බියන් මෙලෝ හසරක් නැතුව තප්පුලන විදිහත් පීනස් කටහඬවල් වලින් ගයන ගීත නිසාත් ඒවා අහන්ඩ හිතෙන්නේ නැහැ.

        බොහෝ නිවෙස්වල තිබුන පරණ ගුවන්විදුලි යන්ත්‍ර පරිස්සම් නොකරගත්තේ අලුත් ඒවා ආව නිසයි. පරණ කාර් වගේම තමා. කාර් නම් ලොකු නඩත්තුවක් කල යුතුයි නමුත් මේ රේඩියෝ හොඳින් රැකගන්න තිබුනා. ඒ පරම්පරාවෙ අයත් නැතිවීම ඒවා නැතිවීමට හේතු වුනා.

        ඕනෑම උපකරණයක මුල් නිෂ්පාදනය දහදිය ලේ කඳුළු වලින් කල නිර්මාණයක්.

  14. ඉමල්ක ද සිල්වා said:

    ගොඩාක් වැඩ ගත් දේවල් ඉගෙන ගත්තා විචාරක තුමෝ , විචාරක තුමත් ඉලෙක්ට්‍රොනික් පිස්සෙක් වගේ 😀

    • ඉලෙක්ට්‍රොනික් පිස්සුවත් නියම පිස්සුවක් නේ. ඉස්සර මගේ වැඩ මේසය අසලට එන අය කරන්ට් එකත් වද්දවාගෙන මට බැන බැන තමයි යන්නේ. 😀

  15. මමත් මකබාස් වෘත්තියට පිවිසුනේ ඔය ෆිලිප්ස් වැර්ලස් එකක් මස් කරලා . ඒ වෙන කොටත් ඒක ක්‍රියා විරහිතව තිබුනේ. නමුත් ගොඩ දා ගන්න පුළුවන් මට්ටමේ තියෙන්න ඇති. පොඩිම කාලේ ඒකෙ ඇතුලේ මිනිස්සු ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් තිබුනා. 🙂

  16. මාර්කෝනිඅපේ ගෙදර තිබ්බේ මෙන්න මේ වගේ Marcony වර්ගයේ එකක්. ඒ දවස් වල එක දිගට චන්ද ප්‍රතිපල අහනවා චන්දෙ පටන් ගන්න දවසේ ඉඳන් ප්‍රතිපල දීල ඉවර වෙනකන් දවස් 2-3 විතර. යකා වගේ වැඩ. මම electronic ඉගෙන ගනිද්දී මස් කළා. දැන් නම් මතක් වෙද්දී ඇඩෙනවා. http://www.radio-workshop.co.uk/graphics/thumbnails/marconi-ta236.jpg

    • ඔන්න ඔබ එව්ව පින්තූරය ඔබේ කමෙන්ට් එකටම දැම්මා. බොහොම දෙනෙක් තමන්ගේ ගෙවල්වල තිබුන පැරණි ගුවන්විදුලි යන්ත්‍ර මස් කරලා. අපරාදේ.

  17. තවමත් සමහර Russian aircraft වල valve technology එක use කරනවලු. මොකද EMP effects වලින් ආරක්ශා වෙන්න පුලුවන් නිසා..

  18. හෝනිෆෝන් කියලා රේඩියෝ වර්ගයක් ඉස්සර තිබුනද…මගේ ළග තියෙන පැරණි පුවත්පත් දැන්වීම් වල ඒ නම තියෙනවා…

  19. . අපොයි මෙවුවගෙ වෑල් හිට් ගමන් පිච්චෙනවා. යනකොට යන්නෙ සෙට් එකම. ඉතින් ඊට පස්සෙ ඕක අරං ගිහින් හදන මිනිහා ලඟ සතියක් විතර තියෙනවා. තාත්තට හැමදාම කන්දොස්කිරියා කරලා තමයි යවාගන්නෙ ඕක අරන් එන්න. අර බැටරිය අවුවෙ තියන එක නම් සාමාන්‍ය රාජකාරියක් තරමට අපි කලා. අර රෙඩියො එක හිටි ගමන් පිස්සු කෙලිනකොට ඒකට එකක් අතින් ගහනවා. අන්න වැඩ ආපහු !! උස පොල්ගස් දෙකක බැඳපු හරස් කම්බියක තමයි අපි ඒ කාලෙ ඒරියල් එක කියල කිවුව එක බැඳල තිබ්බෙ. වැස්ස වෙලාවට ඒරියල් එකෙන් අර්ත් එකට දාන්න ස්විච් එකකුත් බිත්තියෙ තිබුණා මතකයි..

    • නිතර වෑල්ව් පිච්චීම ඒ යන්ත්‍රයේ දෝෂයක්. එහෙම ලේසියෙන් වෑල්ව් පිච්චෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් දෝෂය තිබෙන්නට ඇත්තේ බල සැපයුම් පරිපථයේ. එහි තිබෙන smoothing condensers එකක් හෝ කීපයක් leak වීම නිසයි එහෙම වෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් වෑල්ව් එකක් අවුරුදු ගණනාවක් කිසිදු ප්‍රශ්නයකින් තොරව ක්‍රියා කරනවා. තවත් එකක්. ඇමරිකාවේ සහ රුසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර වලින් සමහරක් අපේ රටේ විදුලි බලයට ඔරොත්තු දුන්නේ නැහැ. එවැනි යන්ත්‍ර සමහරක් ඉවත දමන්න පවා සිදුවුනා.

      රේඩියෝ එකට අතින් ගහනවට වඩා හොඳයි රේඩියෝ එක පොළොවේ ගැහුවනම්. එතකොට අලුත් එකක් ගන්න පුළුවන්. වෑල්ව් රේඩියෝ එකකට හයියෙන් අතින් ගැහුවොත් වෑල්ව් වල ෆිලමන්ට් කැඩෙනවා. ඒක වෙන්න ඇති වෑල්ව් පිච්චුනේ. ඔබේ රේඩියෝ එකේ කොතන හරි dry joint එකක් තියෙන්න ඇති. ඒ කියන්නේ පරිපථයේ තිබුණු ඊයම් වලින් කල පෑස්සීමක් බුරුල් වීම. තට්ටු කලාම එය නැවත හේත්තු වන නිසා ටිකක් වෙලා වැඩ කරනවා.

      ඔබ කියන ඒරියල් එක සහ බිත්තියේ තිබුන ස්විච් එක මීළඟ කොටසේ තියනවා.

  20. එන්න ටිකක් පරක්කු උණා. ඔන්න ලිපි දෙකම කියෙව්වා.

    අපේ අම්මගේ ගෙදරත් තිබුණා යුනික් රේඩියෝ එකක්. ඒකනම් එච්චර පරණද කියන්න දන්නෑ./ මතකත් නෑ. ’90ට ඉස්සෙල්ලා කාලේ සිද්ධියක මතකයක්. අයියයි මායි ඕකේ පිටිපස්සේ පියන උස්සලා (නිකං අරින්න තිබුණේ. ලොක් මුකුත් නෑ) පරිප්පු ඇට එහාට මෙහාට නවනවානම් මතකයි. 😀

    පස්සේ කාලෙක අයියයි මායි ගෙදරම රේඩියෝ චැනල් එකක් පටන් ගත්තා. :O අපේ රේඩියෝ එක ගේ පිටිපස්සේ පුටුවක් උඩින් තියලා (සිග්නල් ප්‍රශ්නෙට) අපිම හදපු fm ට්‍රාන්ස්මීටරයක් ඒක ඉස්සරහින් තියලා කැසට් (පීස්) දානවා. ප්‍රවෘත්ති වෙලාවට තාත්තා බර බරේ දානකොට ප්‍රවෘත්තිත් දානවා. නංගිගේ නම තමා fm එකේ නම. “සිරස fm”කියලා එක පාරටම කියනකොට. දඩ බඩ ගාලා රේඩියෝ එක ඕෆ් කරලා අර නම කියනවා. හොඳම සීන් එක තමයි අහල පහල ගෙවල් වලට ගිහින් බලෙන් අපේ චැනල් එක ටියුන් කරලා එන එක. 😀

    වෑල් තාක්‍ෂණේ ආයෙත් එන කතාවක් මාත් අහලා තියෙනවා. ට්‍රාන්ස්මීටර් රත් වෙනකොට කාර්යක්‍ෂමතාවය (?) අඩු වෙනවා. එතකොට වෑල් රත්වෙන්න රත්වෙන්න උපරිමයෙන් වැඩ කරනවා කියලයි අහලා තියෙන්නේ. මං හරිද?

    • පරිප්පු ඇට නවනවා. අනේ අනේ. අර රේඩියෝ එකේ පොඩි කන්ඩෙන්සර් ටික කාලා, දැන් එනවා මෙතන පරිප්පු කතා කියන්න. 😀 😀

      අපි කරපු එකම දේ රේඩියෝ එකේ ස්පීකර් එක ගලවලා, තේ කොළ අසුරන ලොකු වැනිස්ට්‍රා ලී පෙට්ටියක හයි කරන එක. ඒ කාලේ බෆල් ගන්න තියා දැකලාවත් නැහැ. ඒ විදිහට වැනිස්ට්‍රා පෙට්ටියේ ස්පීකර් එකේ ගානට කවයක් කපලා අයින් කරලා එතනට ස්පීකර් එක හයි කලාම, අම්මා……. දෙනවා බේස් පාර, බුම් බුම් කියලා. 😀 😀

      වෑල්ව් ආයෙත් එන්නට හොඳටම ඉඩ තියනවා. මීළඟ කොටසේදී කියන්නම්. ට්‍රාන්ස්මීටර් රත්වනවිට gain එක වැඩිවෙනවා. ඒවා හොඳින් සිසිලනය කරනවානම් ප්‍රශ්නයක් නැහැ. වෑල්ව් රේඩියෝ එකක් පැය දෙකක් තුනක් දාලා තියනකොට හොඳට සද්දේ තියනවා.

      • අපි බෆල් හැදුවේ ගෙදර තියෙන ඇලුමිනියම් මුට්ටි දෙකකින්. 8″ ස්පීකර්ස් දාලා. සබ් එක ගන්නකන් අපේම නිෂ්පාදනයක් වෙච්චි ඈම්ප් එකත් එක්ක පාවිච්චි කළා. මුට්ටිය දෙදරනවට ලොකු ගලක් රෙදි කෑල්ලක හොඳට ඔතලා දාලා තිබ්බා. කෝමද වැඩ?… 😀 😀

        • මුට්ටිවල හොඳම එක තඹ මුට්ටි. දැන්නම් හිතන්නවත් බැරි තරම් මිල අධිකයි. ස්පීකර් එක මුට්ටියේ කටේ ගානට තියෙන්න ඕනේ. මුට්ටිය හයිය (නයිලෝන් වැනි) නූල් වලින් එල්ලන්න ඕනේ. කියලා වැඩක් නැහැ කොලිටි එක. මම දෙකක් හදාගෙන තිබුනා. පස්සේ ඒ මුට්ටි අතුරුදන් වුනා. 😀

  21. //ඉවත්කළ පරණ බැටරියේ අර පැතලි හැඩයේ කෑලි// මේ වගේ දෙයක් අපේ ගෙවත්තේ තිබිලා හමු වුනා කාලෙකට කලින්. ඒවා වටේට පොලිතින් ආවරණයක් තියනව. හතරැස් කළු පැහැති කැබැල්ලක්.

    ඔය යන්ත්‍රයක් කාර් බැටරියකින් පැය කීයක් විතර ක්‍රියාත්මක කරන්න පුලුවන්ද..?

    • ඔබට ගෙවත්තෙන් හමුවී තිබෙන්නේ මා කියූ ආකාරයේ ඩ්‍රයි බැටරියක කොටසක් බව සෑහෙන දුරට විශ්වාස කරන්න පුළුවන්. මට අමතකවූ දෙයක් ඔබ එහි සඳහන් කර තිබෙනවා. ඒ තමයි ඒ සෑම පැතලි බැටරි කැබැල්ලක් වටේ පොලිතීන් ආවරණයක් තියනවා කියන එක. ඔව් එහෙම ආවරණයක් තිබුනා.

      සාමාන්‍යයෙන් කාර් බැටරියකින් මාස දෙකක් පමණ රේඩියෝව අහන්න පුළුවන්. හැබැයි දිනකට පැය තුන හතරක් විතර ක්‍රියා කරවනවා නම්.

  22. මගේ මතකයට එන්නේ ගෘන්ඩිග් කළු සුදු රුපවාහිනිය..අනගි ජර්මන් නිෂ්පාදනයක්.. වගකිම වසර 25යි… ඒ වගේම වැඩ කළා

    • වෑල්ව් එකක්ද? මම දැකලා තියනවා බිම තියන්න දිග කකුල් හතරක් සහිත, වෑල්ව් වලින් වැඩ කරන, ගෘන්ඩිග් කළු සුදු රූපවාහිනියක්. ඒක දැක්කේ 1980 දි විතර. මැද පෙරදිග පාවිච්චි කර ගෙනාපු එකක්.

  23. මම ලිපිය පලවුන දවසෙම කියෙවුවා. නමුත් කමෙන්‍ටුවක් දාන බැරි වුනේ නෙට් එකේ අවුලක් නිසාද කොහෙද. ඒ නිසයි ආයේ ආවේ. අපිටත් තිබුනේ ගෘන්ඩික් රේඩියෝ එකක්. හැබැයි මට තේරෙන දවස් වෙනකොටත් ඒක වැඩ නෑ. රොලංකා කියලා රේඩියෝ එකක් තිබුනා ඒක නම්කෑවේ මම. හැබැයි ඒක ට්‍රාන්සිස්ටර්.

    • කොල්ලෝ ඉන්න ගෙවල්වල ඉලෙක්ට්‍රොනික් බඩු තියාගන්න බැහැ. දැන් බලන්න කොල්ලෝ කොම්පියුටර් කන හැටි. ඉතින් අපිත් එහෙමම තමයි. ඒවා කොලුකම්.
      ගෘන්ඩිග් කියන්නේ ඉතා අගනා රේඩියෝ වර්ගයක්. ට්‍රාන්සිස්ටර් රේඩියෝ ගැනත් ඉදිරියේදී කියන්නම්.

  24. හුඟක් වටිනා දේවල් ගොඩක් දැන ගත්තා. ඔය කෙලවර රවුම් පොඩි බැටරි මටත් අතන මෙතන තිබිලා හමු වෙලා තියෙනවා. බැටරි භාවිතා කරනවා දැකලා නෑ. මේ රෙදියොත් ඇන්ටික් බඩු විදියට තමයි දැකල තියෙන්නේ. අර වෑල් ආපහු භාවිතා කරන්න යනවා කිව්වම මගේ මතකයට ආවේ. ඉතිහාසය නැවත නැවතත් සිදු වෙමින් පවතිනවා කියන කියමන.


  25. ඔය තියෙන්නේ අපේ ගෙදය තිබුන වහේ පයි එකක්.

    මම ද ඒ පයි ය මාරයා මෙන්ම භක්ෂණය කලමි.

  26. ලිපියේ සඳහන් දෙයක පොඩි නිවැරදි කිරීමක්:

    (අ) බුෂ් රේඩියෝව ජර්මන් නොව, ඉංග්‍රීසි නිෂ්පාදනයක්.

    (ආ) නෝර්ඩ්මෙන්ඩ රේඩියෝව ඕලන්ද නොව, ජර්මන් නිෂ්පාදනයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: