විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


gossippng clip art  අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේ පළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් සරල ආකාරයට ඉදිරිපත් කරන්න සියලු උත්සාහ ගන්නවා. ඒ නිසා සමහර කොටස් යන්තමින් සඳහන් කිරීම පමණයි කරන්නේ.

  මේ විෂයය ගැන දැනුමක් ඇති අය වෙත මා කාරුණිකව දන්වා සිටින්නේ සමහර ගැඹුරු කොටස් මේ ලිපියට ඇතුලත් කර නැත්තේ ලිපිය නීරස වෙයි යන හැඟීම නිසා බවයි.

  මේ ලිපියේදී මා මුලින්ම අවධානය යොමු කරන්නේ සයි ඔප්ස් සම්බන්ධ පිළිවෙත පිළිබඳව කරුණු සඳහන් කරන්නයි. නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) (NATO = North Atlantic Treaty Organization) වැනි ලෝක සම්මත මහා පරිමාන සංවිධාන වල සිට, ඕනෑම පුංචි රටක් දක්වා සෑම පිළිගත් රාජ්‍ය සංවිධානයකටම සයි ඔප්ස් පිලිබඳ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. පොදුවේ ගත් කල ඒ සෑම සංවිධානයකම මූලික සයි ඔප්ස් ප්‍රතිපත්තිය වන්නේ;

1.  තම දේශපාලන, ආර්ථික, සමාජයීය, රාජ්‍ය පරිපාලන,  අරමුණු සහ අභිමතාර්ථ අභියෝගයට ලක්නොවී පවත්වාගෙනයාම සඳහාත්

2. තමන්ගේ තක්සේරුව සහ බුද්ධි තොරතුරු අනුව අනාගතයෙදී ඇතිවියහැකි යයි උපකල්පනය කරන සංග්‍රාමික තත්වය වෙනුවෙන් ගන්නා මූලෝපාය ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීම සඳහා යුධමය ක්‍රියාමාර්ග නොගෙන අනුගමනය කළහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසත්

සයි ඔප්ස් යොදාගැනීමයි.

  සයි ඔප් එකක් අපි හිතන තරම් සරලව හෝ සැහැල්ලුවෙන් ගෙන ක්‍රියාකරන්න බැහැ. සයි ඔප් එකක් කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්, එහෙමත් නැත්නම් යවපු මිනිහාවම හොයාගෙන ආපහු එන පිල්ලියක්, බූමරංගයක්, පාරාවළල්ලක්, වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා සයි ඔප් එකක් කරන්න පෙර ඉතා කල්පනාකාරී සැලසුමක් හැදිය යුතුයි. එහිදී පදනම් කරගන්නා ප්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය බුද්ධි අංශ සහ හමුදා බුද්ධි අංශ මගින් සොයාගන්නා බුද්ධි තොරතුරුයි. බුද්ධි අංශ කියන්නේ යුද්ධයක් තිබුනත් නැතත් නොකඩවා ක්‍රියාත්මකව පවතින කාර්ය භාරයක්. මම හිතනවා ඔබෙන් බොහෝ දෙනා දන්නවා ලෝකයේ බොහොමයක් රටවල් පිට රටවල තිබෙන තම තානාපති කාර්යාල මගින් බුද්ධි තොරතුරු හොයන බව. ඊට අමතරව ඒ රටවල ඇති විශේෂ රැකියා (උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ ඉහල මට්ටමේ රැකියාවක්) සඳහා තමන්ගේ රටේ කෙනෙක් රිංගවා ඔත්තු බැලීමත් කෙරෙනවා. නමුත් ඒ රටවල් නපුංසකයෝ නෙවෙයිනේ. ඒ රටවල් එවැනි අය පිළිබඳව නිරතුරුව ඇහැ ගහගෙනයි ඉන්නේ. ඔබ අහලා/කියවලා/දැකලා ඇති සමහර රටවල් ‘මෙන්න මේ තානාපති කාර්යාල නිලධාරියා අපේ රට ගැන ඔත්තු බැලුවා’ කියා ඔවුන්ව තම රටෙන් ආපසු යවන අවස්ථා. ඒවා සුළුපටු සිදුවීම් නෙවෙයි.

  micඅපේ රටෙත් රාජ්‍ය සහ හමුදා බුද්ධි අංශ උපරිම මට්ටමෙන් සිය සේවය ඉටුකරනවා. ඒ සේවා නොතිබෙන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග තිබුන සටන මීට වඩා බොහොම බරපතල වන්නට හොඳටම ඉඩ තිබුනා. ශ්‍රී ලංකා යුදහමුදා සන්නද්ධ බුද්ධි බලකාය (ස.බු.බ.) (SLAMIC = Sri Lanka Army Military Intelligence Corps) කල සේවය වචනයෙන් කියන්නට බැරි තරම් අගනා සේවයක්. ඒ බලකාය විසින් ඉතා දැඩි දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන විශාල සයි ඔප්ස් ගණනක් දියත් කරන්නට හැකිවුනා.  (හැබැයි සන්නද්ධ බුද්ධි බලකායෙන් ලැබෙන තොරතුරු බහුල ලෙස පාවිච්චි කරන්නේ සයි ඔප්ස් වලද වඩා සාමාන්‍ය යුද මෙහෙයුම් වලටයි) මේ බලකාය වඩාත් සංවිධානාත්මකව ආරම්භ කෙරුනේ 1990 දශකයේ මුල් භාගයේදීයි.  

  හොඳයි, මීළඟට මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, සයි ඔප්ස් වර්ග මොනවාද? ඒ සයි ඔප්ස් වර්ග දියත් කරන්නේ කෙසේද? යන්න පිළිබඳවයි. මෙහිදී මේ තොරතුරු ඔබවෙත ගෙන එන්නට මා පදනම් කරගන්නේ නේටෝ සංවිධානයේ සයි ඔප්ස් ප්‍රතිපත්ති මාලාවයි. ඔබ නැවතත් සයි ඔප්ස් නිර්වචනය මතක් කරගත්තානම් හොඳයි.  තවත් දෙයක් මෙතනදී ඉතා අවධාරණයෙන් මතක් කරන්න ඕනේ. සයි ඔප්ස් හමුදාවේ ඉන්න සෑම අණදෙන නිලධාරියාටම අවශ්‍ය විදිහට කරන්න බැහැ. අපේ රටේනම් යුද හමුදා මූලස්ථානයේ අනුමැතිය යටතේ සේනාංක මූලස්ථානයක (Division Headquarters) මට්ටමෙන් තමයි සයි ඔප්ස් දියත් කෙරෙන්නේ. නමුත් ආරක්‍ෂක අමාත්‍යාංශය මට්ටමෙන් තමයි බොහෝ සයි ඔප්ස් සැලසුම් කෙරෙන්නේ සහ දියත් කෙරෙන්නේ. ඒ තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ක්‍රමය. ඒ වගේම තමයි සයි ඔප් එකකට සම්බන්ධ කරගන්නා නිලධාරීන්ට සහ සෙබළුන්ට ඒ පිලිබඳ පූර්ව දැනුම, පුහුණුව, සහ අවබෝධය තිබිය යුතුයි. එමෙන්ම යුද හමුදා ක්රියාන්විතයකදී ඉතා ඉහලින් පවත්වාගෙන යන ‘දැනගතයුතු අය පමණක් අවශ්‍ය දේ දැන සිටීම’ (need to know basis) යන ප්‍රමිතිය දැඩිව ආරක්ෂා කරගත යුතුයි.

  සයි ඔප්ස් වර්ග යනුවෙන් මා අදහස් කලේ ඒ ඒ මට්ටමෙන් සිදුවන සයි ඔප්ස් පිළිබඳවයි. මෙයින් අදහස් කරන්නේ එක් එක සයි ඔප් එක කොපමණ විශාල ඉලක්කගත පිරිසක් වෙත එල්ලවන්නේද යන්නයි. අපි බලමු ඒ ඒ මට්ටම කුමක්ද යනවග.

මූලෝපාය පදනම් කරගත් මනෝවිද්‍යාත්මක මෙහෙයුම්

Strategic Psychological Operations

  මේ වර්ගයේ සයි ඔප්ස් තමයි බොහොම බරපතල ගණයට වැටෙන්නේ. ඒ කියන්නේ මෙවැනි සයි ඔප් එකක් යම්කිසි රටක් කරන්නේ ප්‍රධාන වශයෙන් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය, පිළිබඳව වෙනත් රටවලින් එල්ලවන තර්ජන අවම කරගැනීම සඳහායි. උදාහරණයක් කියන්නම්. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් පහුගිය කාලයේ කීප වරක් ප්‍රදර්ශනය කළා තමන් නිපදවූ අලුත්ම යුද අවි. විශේෂයේ දිගු දුර ඉලක්ක වලට පහර දිය හැකි මිසයිල. මේගොල්ලෝ මෙහෙම කරන්නේ ඇයි? ඔවුන් තුල සාධාරණ සැකයක් තිබෙනවා ලෝකයේ වෙනත් රටවලින් තමන්ට යුදමය තර්ජන එල්ලවෙයි කියා. ඉතින් ඔවුන් කරන්නේ ‘අපිත් ඕනේ එකකට ලෑස්තියි’ කියලා ලෝකෙට පෙන්නන එකයි. සමහරවිට ඒ අවි කියන තරම් ප්‍රබල ඒවා නොවෙන්න පුළුවන්. නමුත් අරවගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් කිරීම (තමන්ගේම රට තුලදී ඒ මිසයිල ගුවනට යවා, ඒවා වීඩියෝ කර, ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වෙත ලබාදීම මගින් ලෝකෙටම පෙන්වීම) තුලින් එයාලා කරන්නේ මූලෝපාය මට්ටමේ සයි ඔප් එකක්. එවැනි සයි ඔප්ස් සඳහා තීරණ ගන්නේ, රටේ නායකයන්, ඇමති වරුන්, හමුදා ප්‍රධානීන් ගෙන් සමන්විත ජාතික ආරක්ෂක කමිටුවක් විසින්. ඒ නිසා එය ඉහලම මට්ටමේ සයි ඔප්ස් ගණයට වැටෙනවා.  

සංග්‍රාමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්

Military Operations based Psychological Operations

යම්කිසි රටක දැන් සිදුවෙමින් පවතින හමුදා ක්‍රියාමාර්ගයක් (අභ්‍යන්තර කැරැල්ලක් මැඩපැවැත්වීම, සිවිල් යුද්ධයක්, විදේශීය ආක්‍රමණයක්, වැනි) සඳහා ආධාර වශයෙන් (ඒ කියන්නේ තමන්ගේ හමුදාවට මහජන සහයෝගය ලබාගැනීම මෙන්ම සංග්‍රාමික රාජකාරියේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය ඉහල මට්ටමකින් පවත්වාගැනීම) කෙරෙන සයි ඔප්ස් මේ ගණයට වැටෙනවා. මේ සයි ඔප්ස් පිලිබඳ තීරණ හමුදා ප්‍රධානීන් විසින් ගෙන ඒ සයි ඔප් එකේ ප්‍රබලත්වය අනුව රජයේ අනුමතිය ඇතිව හෝ හමුදා ප්‍රධානීන්ගේ තීරණ මත දියත් කෙරෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි රටක යුද හමුදාව රටේ අභ්‍යන්තර ගැටුමක යෙදී සිටියදී අධෛර්යයට පත්ව සිටිනවා කියා. ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැවත නගාසිටුවීම සඳහා විශේෂ දේශන, හමුදා උපක්‍රම ගැන නැවත මතක් කරදීම, පසුගිය කාලයේ ලද ජයග්‍රහණ මෙන්ම මේ දිනවල එම හමුදාවේම වෙනත් සේනාංක ලබා සිටින ජයග්‍රහණයන් පෙන්වාදීම වැනි දේ කලහැකියි. හැබැයි බොරු කරන්න බොරු කියන්න බැහැ. සියල්ල ඇත්ත දේ වියයුතුයි.

උපක්‍රමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්

Tactical Psychological Operations

  මෙවැනි සයි ඔප්ස් සාමාන්‍යයෙන් කරන්නේ දැන් සිදුවෙමින් පවතින සංග්‍රාමයකට අවශ්‍ය ආධාරක බලවේගයක් ලෙස යොදා ගැනීම සඳහායි.

  සරල උදාහරණයක් කියන්නම්. ආපහු යමුකෝ අපේ රටේ එල්.ටී.ටී.ඊ. යුද්දෙට. අපිට ඕනේ මුලතිව් ප්‍රදේශය අල්ලගන්න. නමුත් සතුරා මුලතිව් ප්‍රදේශයේ ශක්තිමත්ව ඉන්න බව බුද්ධි තොරතුරු මගින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපි ගුවන් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර එල්ල කලොත් මුලතිව් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට හානිවෙන්න ඉඩ තියනවා. දැන් මොකද කරන්නේ? දැන් තමයි ඔලුවෙන් ගහන්න ඕනේ.

  අපි මෙහෙම දෙයක් කරනවා. A 9 මාර්ගයේ (මහනුවර – යාපනය) වවුනියාව ප්‍රදේශයේ ගමන් කරන දෙමල මහජනතාවට පෙනෙන්න, ප්‍රධාන මාර්ගයට ඈතින්, ලී කොට, ගෝනි, වැනි විවිධ අමුද්‍රව්‍ය වලින් කාලතුවක්කු, යුද්ධ ටැංකි හදලා, ඇත්තම ඒවා වගේ පෙනෙන විදිහට තියනවා. ඇත්ත කාලතුවක්කු සහ යුද්ධ ටැංකි එකක් දෙකක් පාර අසලත් තියනවා. ඊළඟට අපි ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින් (විශේෂයෙන් දෙමල භාෂාවෙන්) දෙමල පුවත්පත් වලින් ප්‍රචාරයක් යවනවා ළඟදීම හමුදාව කිලිනොච්චි නගරය අල්ලන්න සුදානම් කියලා. වවුනියාවේ සිට කිලිනොච්චි පැත්තට යන මහජනතාව අතට ද්‍රවිඩ බසින් සකසන ලද අත් පත්‍රිකා බෙදා දෙනවා වහාම කිලිනොච්චි ප්‍රදේශයෙන් ඈත්වන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ළඟදීම ඒ ප්‍රදේශයට පැමිණෙන බව දන්වා. මේ අදහසම තියන පත්‍රිකා හෙලිකොප්ටරයක් මගින් කිලිනොච්චි ප්‍රදේශයට ඉහල අහසේ විසුරුවා හරිනවා.  දැන් මොකද වෙන්නේ? අපේ සයි ඔප් එක සාර්ථකනම් සතුරා ගොනාට අඳිනවා.    

helicopters%20vehicles%20uh60%20black%20hawk%204288x2848%20wallpaper_wallpaperswa_com_33

සතුරාට එතරම් පිරිස් බලයක් නැහැ. දැන් ඔහු කරන්නේ මුලතිව් ප්‍රදේශයේ සිටින තමන්ගේ භට පිරිස් වහාම කිලිනොච්චියට යොමු කිරීමයි. අපිටත් ඕනේ ඒ වැඩේ කරගන්නයි. දැන් අපි කරන්නේ හොර රහසේම මුලතිව් වලට ආසන්න ප්‍රදේශයක සඟවා සිටි අපේ හමුදාව යොදවා මුලතිව් අල්ලා ගැනීමයි. බලනකොට සයි ඔප්ස් කියන්නේ ‘කේර මලියක්’ නේද? නිකම් ‘බීරි මස්කට්’ කකා ඔව්වා කරන්න බැහැ.  😀  

  දැන් ඔබට වැටහෙනවා ඇති සයි ඔප්ස් කියන්නේ තනිකරම ප්‍රචාරක යුද්ධයක් කියලා. ඔව් එක අතකට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රචාරක යුද්ධයක්. කොහොමද මේ ප්‍රචාරය කරන්නේ. මූලෝපාය සයි ඔප් එකක්නම් විශාල ජාත්‍යන්තර ප්‍රචාරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වල (බී.බී.සී,  සී.එන්.එන්,  අල් ජසීරා, වැනි)  සහාය ලබාගත් යුතුයි. එකත් නිකම්ම කරන්න බැහැ, කිසියම් පූර්ව සබඳතා ගොඩ නගාගත යුතුයි. අපි හිතමු අපිට සයි ඔප්ස් දාන්න ඕනේ රට අපේ රටට ආසන්නව තියෙන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් අපේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා (චන්ද්‍රිකා නාලිකාද ඇතුළුව) වලින් අර රටට එරෙහි ප්‍රචාර (ඒ රටේ අයගේ භාෂාවෙන් කරන්න පුලුවන්නම් බොහොම ඉහලයි) කරගෙන යමින්, ඒ රටේ ජනතාවගේ අදහස් වෙනස් කිරීමේ යුද්ධයක යෙදෙන්න.

satcom

එපමණක් නෙවෙයි ඒ රටට ඉතා ඉහල අහසේ පියාඹන, විශේෂයෙන් සැකසූ ගුවන් යානා වල සිට මෙවැනි ප්‍රචාර කල හැකියි. මෙවැනි ගුවන්යානා විශේෂයෙන්ම යොදවාගන්නේ ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථාන ලෙසයි.

ec130dsa2

DN-SD-04-01674

සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අපේ පාලනය යටතේ පවතින ප්‍රදේශ වල ප්‍රචාරණ කටයුතු සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර සවිකළ හමුදා වාහන යොදාගන්නවා. එහිදී සංගීතය ප්‍රචාරය කරමින් ජනතා අවධානය ලබාගෙන අපේ සයි ඔප් එකට අදාළ ප්‍රචායද කරගන්නවා.

640px-PSYOPS3ap

407559_360544257377537_420100426_npsyops-loudspeakers

මීට අමතරව බහුල වශයෙන් යොදාගන්නා ක්‍රමය වන්නේ පෝස්ටර් මගින් ප්‍රචාරය කිරීමයි. මිනිසුන්ගේ අදහස් වෙනස්වෙන ආකාරයට, සිතුම් පැතුම් වලට බලපෑමක් වන ආකාරයට, පෝස්ටර් සකසා ඒවා ඉලක්කගත් ජනතාව සිටින ප්‍රදේශවල ඇලවීම බොහොම ප්‍රතිඵල දායකයි.

GraffitiCover

psyops_offr_2

psyops_offr_1

හැබැයි මේ සියල්ලේ සාර්ථකත්වය රඳා පවතින්නේ එක්තරා මූලධර්ම තුනක් මත බව විශේෂයෙන් සඳහන් කල යුතුයි.  ඒ මූලධර්ම වන්නේ;

  1. සයි ඔප්ස් පිලිබඳ සිද්ධාන්ත අවබෝධ කරගෙන සිටීම.
  2. ඉලක්කගත පිරිස කවුරුන්ද යන්න මනාව අවබෝධ කරගෙන තිබීම.
  3. තමන් කරන සයි ඔප් එකෙහි ප්‍රබලත්වය කොතරම් දුරට යෙදවිය යුතුද යන්න අවබෝධ කරගෙන සිටීම.

  ලෝකයේ සමහර රටවල් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය සඳහා මූලෝපාය සයි ඔප්ස් වල යෙදෙන බව මම ඉහත සඳහන් කල බව ඔබට මතක ඇති. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් එවැනි සයි ඔප්ස් කරනවා යයි අපි සිතමු. තම යුද ශක්තිය පිලිබඳ ප්‍රචාරණ වැඩපිළිවෙල එවැනි සයි ඔප්ස් වලට හොඳ උදාහරණ. නමුත්, ඒවා වහාම තහනම් කලයුතුයි කියලා ඇමරිකාව වගේ රටවල් කෑගහන්නේ ඇයි? 

  ඔන්න මම මෙච්චරවෙලා නොකිව්ව දෙයක් කියන්නයි යන්නේ. ඔබ අහලා තියනවා නේද පරණ සිංහල කියමන් තියනවා, ‘දියරෙද්දෙන් බෙල්ල කපනවා’, ‘දිය යටින් ගින්දර ගෙනියනවා’ කියලා. ඒ කියන්නේ තමන්ගේ අරමුණු කූඨ විදිහට ඉෂ්ඨ කරගන්නවා කියන එකයි. ඉතින් ඇමරිකාව වගේ රටවල් අර සයි ඔප් එකට විරුද්ධව කෑ ගැසීම ‘ප්‍රති සයි ඔප්’ එකක්. මතක තියාගන්න ප්‍රති සයි ඔප්ස් (Counter Psycholigical Operations) කියලා ජාතියකුත් තියනවා. ඒ කියන්නේ අර සයි ඔප් එක කපලා යන්න අපිත් එකක් ආපහු කරනවා කියන එකයි. ඇමරිකාවේ පියාඹන පීරිසි වැනි යුද ගුවන් යානා තියනවා, ඒවා ක්ෂණයකින් ඕනෑම තැනකට යැවිය හැකියි, ඒවාට රේඩාර් වලට අසු නොවී පියවි ඇසට නොපෙනී ගමන් කල හැකියි, වැනි දේ ප්‍රති සයි ඔප්ස් කියලා හිතන්න ඉඩ තියනවා.

 මම ඉහත සඳහන් කළා මතක ඇති, ගුවන්විදුලි සහ රූපවාහිණී ප්‍රචාර පිළිබඳව. එම විකාශන සංඥා අවුල් කිරීම, සම්පූර්ණයෙන් වැලැක්වීම සඳහා එම සංඛ්‍යාත ඔස්සේම අර ප්‍රති විරුද්ධ රටෙන් වෙනත් සංඥා යැවීම කෙරෙනවා. මෙය විද්‍යුත් සංග්‍රාමයක් (Electronic Warfare) ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා සංඥා අවුල් කරමින් (Jam) සැරිසරණ විශේෂ ගුවන් යානා, නැව්, ජංගම රථ, යොදවනවා.

මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම ඔබට පුංචි කතාවක් කිව්වා අර මරාගෙන මැරෙන බෝම්බකාරියගේ කතාව. මතකයි නේද? නැත්නම් දුවලා ගිහින් කියවලා එන්න. ඒ කතාවේදී අපි ජයගත්තා බෝම්බකාරිය සතුරු කඳවුරකදී ඒ කඳවුරු නායකයා අතින් දූෂණය වූ බව කියලා. මේකට කොහොමද ප්‍රති සයි ඔප් එකක් කරන්නේ. සතුරාත් ලියනවා අර බෝම්බකාරියගේ අත් අකුරු කියලා අතින් ලියන ලද ලිපියක්. සතුරාවත් අපිවත් ඇත්ත අත් අකුරු දන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු විස්වාස කරන්නේ අත් අකුරු නෙවෙයි කතාව. කතාව ආපහු හරවමින් සතුරා කියනවා, ඇත්ත කතාව මේකයි, මේ කාන්තාව දැනට කලකට ඉහතදී අපේ හමුදාව විසින් මාර්ග බාධකයකදී පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බව. ඒ පැහැරගැනීම සියැසින් දුටු බවට තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ඡායාරූපද සහිතව විස්තරයක් දානවා. මේ කාන්තාව සතුරු හමුදාවට බැඳෙන්නට පෙර, අපේ හමුදාව ඇය දූෂණය කල බව සඳහන්, ඇගේ අත් අකුරින්ම ලියන ලද ප්‍රකාශයද පල කරනවා. මේ කාන්තාව බෝම්බ පුපුරවන්නට පෙර සැඟවී සිටි කඳවුරේ තරුණියන් ලෙස කියමින් තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ දානවා ඒ කඳවුරේ කවදාවත් කාන්තාවන්ට හිරිහැර නොවෙන බවත්, සුළු හිරිහැරයක් හෝ සිදුවුනොත් ඉතා ඉහල දඬුවම් ලැබෙන බවත්, සඳහන් කරමින්.  මේ කරුණු විශ්වාස කරන අපේ හමුදාවේ අයත් සාමාන්‍ය ජනතාවත් විශ්වාස කරන්නට ඉඩ තිබෙනවා මෙය ඇත්ත බව. 

  සෑම දේකම දෙපැත්තක් තිබෙනවානේ.  ඒ තත්වය සයි ඔප්ස් වලටත් පොදුයි. ඉතින් දැන් අපි මේ ලිපියේ අවසානයට ළඟාවෙනවා. ඉතා සංකීර්ණ මාතෘකාවක් ඔබ වෙනුවෙන් හැකි තරම් සරලව සැකසූ බව නැවතත් අවධාරණය කරමින් ලිපිය අවසන් කරනවා.  කලකට ඉහතදී මට අවස්ථාවක් ලැබුනා අපේ රටට පැමිණි ඇමරිකානු යුද හමුදා උපදේශකයන් යටතේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට. ඒ දැනුම මේ ලිපිය සැකසීමට මහත් පිටුවහලක් වුනා.

  මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප Google Images වෙතින් ලබාගත් ඒවාය.  

  මූලාශ්‍ර

My Signature for Blog2013 පෙබරවාරි මස 10 වැනි දින 2326 පැය

Advertisements

Comments on: "වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී (දෙවැනි කොටස) – Military Psychological Operations (Part Two)" (90)

  1. //විශේෂයෙන් සැකසූ ගුවන් යානා වල සිට මෙවැනි ප්‍රචාර කල හැකියි//

    මේ වැඩේ කරන විදිහ චුට්ටක් පැහැදිලි කරනවද.

    උදා…සිරස අහගන ඉන්න කොට , සිරස නැතුව ගිහින් අරක ඇහෙනවා

    එහෙම එකක්ද

    අනේ ‍පෝස්ට් එකට මොකුත් නොකර කමෙන්ට් කරන්න

    ( වෙනද වගේ කට්ට කාගන පෝස්ට් එක එඩිට් කරන්න එපා)

    • සංඛ්‍යාත විශ්ලේශකය (Frequancy Analizer) කියලා මහා බලගතු හැබැයි පුංචි පෙට්ටියක ගෙනියන්න පුළුවන් උපකරණයක් තියනවා. ඒකෙන් තමයි සංඛ්‍යාත ස්කෑන් කරලා අල්ලගන්නේ. අර ප්ලේන් එක සම්පූර්ණ ගුවන්විදුලි විකාශනාගාරයක්. ඒකේ ඉඳලා සතුරාගේ ගුවන්විදුලි පණිවිඩ අහලා පටිගත කරගන්නටත්, අවශ්යම් ඒවාට බාධා කරන්නටත් පුළුවන්. ඔයාගේ උදාහරණය හරියටම හරි. මෙහෙත් අවශ්‍ය බඩු තියනවා ඒ වැඩේ කරන්න. නමුත් තවම එහෙම දේවල් කරලා නැහැ.

  2. මේක කියවද්දි මට කාලෙකට කලින් කියවපු හොඳ කතාවක් මතක්වුනා.. දෙවෙනි ලෝක යුද්ධයේ තීරණාත්මක වකවානුවක මිත්‍ර හමුදා ප්ලෑන් කරනවා සිසිලිය අල්ලන්ට.. නමුත් සිසිලියේ සතුරු බලය වැඩියි, ඉතින් මිත්‍ර හමුදා ගහනවා මේ වගේ සයි-ඔප්ස් ප්ලෑනක්.. ප්ලෑන් එක තමා මිත්‍ර හමුදාවේ ඉහළ ජෙනරාල් කෙනෙකුට යවන විදියට බොරු ලියුමක් ලියනවා.. ඒකෙන් කියැවෙන්නේ “ජෙනරාල් තුමා ඉල්ලපු හමුදා භට පිරිස් ඒ ආකාරයෙන් දෙන්නට බෑ ය, මොකද ග්‍රීසිය හා සාර්ඩිනියාව අල්ලන්ට මෙහෙයුමක් කරන්නට යනවා ය, ඒ වුනාට අපි සතුරන්ට ඒත්තු ගන්නන්ට යන්නේ සිසිලිය අල්ලන්ට යනවා කියාය, මේ නිසා අපට අතිරේක සෙබළුන් ඕනෑ ය” කියන අදහස.. ඊට පස්සේ නියුමෝනියාවෙන් මැරුනු කෙනෙකුගේ (නියුමෝනියාවෙන් මැරුනහම පෙනහළුවල දියර ගතිය තියෙනවාලු, ඒක හරියට දියේ ගිලිලා මැරුනු කෙනෙකුගේ වගේලු) බොඩි එකක් හොයාගෙන, මිනිහට මිලිටරි හිස්ට්‍රි එකක් හදලා, අර ලියුමයි තවත් බොරු ලියුම් කීපයකුයි සාක්කුවට දාලා, සබ්මැරීන් එකකින් අරන් ගිහින්, සතුරු හමුදාවලට අහු වෙන විදියට වෙරළට පා කරලා යවනවා..

    මේ සයි ඔප්ස් එක කොච්චර සාර්ථක වුනාද කියනවානම් මිත්‍ර හමුදා සිසිලියට පහරදෙන දවසේ සතුරන්ගේ කිසිම ආකාරයක යුද්ධ සූදානමක් තිබුනේ නැහැල්ලු.. මේ ලියුම් හිට්ලර් පවා දුටු බවටත්, ඔහු පවා විශ්වාස කලේ මිත්‍ර හමුදා පහරදෙන්නේ ග්‍රීසියට හා සාර්ඩිනියාවට බවටත් යුද්ධයෙන් පස්සේ සතුරු හමුදා ලිපිලේඛන පරීක්ෂා කරද්දි පෙනී ගියාලු..

  3. කේර මලියක්ම තමා,, ගොඩක් දේ වලට යොදා ගන්න පුළුවන් සංකල්පයක් නේ..උදාහරණ ගැන කියන්න ගිහින් මෙතන අදාළ නොවන දේ පුරවන්න කැමති නැහැ. :).

    ඒ වගේම මේ ලිපියෙනුත් පැහැදිලියි ආරක්ෂක විද්‍යාව විද්‍යාවක් වගේම කලාවක් බව.

  4. ලිබියාවේ හිටපු ඇමෙරිකන් තානාපතිවරයා මරා දැමුනේ මුස්ලිම් විඩියෝවට උරණ වෙච්ච ඕපපාතික කලබැගෑනිය නිසා යැයි චන්දය දිනාගන්නට සයි ඔප්ස් දැම්මට මේ දවස්වල වල හෙන අවුල් මෙහෙ ආණ්ඩුවට. ඩ්‍රෝන් ඉබේම පහර දෙන්න පටන් ගෙනැයි කියලා ඔබාමා දාඩිය පෙරාගෙන කියනවාලු!! -අනියන් නිව්ස්(විහිළු නිව්ස් අඩවියක්)

    • ඔක්කොම වැරදි ලියොන් පැනේටාගේ උඩින් යවන්න නේද හදන්නේ අන්තිමට. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. 😀

      • පුද්ගලික පළහිලව්වකට ප්‍රසිද්ධිය දීලා ඒ අවුලෙන් පැනේටාව ලිස්සලා යැව්වා. විදේශ දෙපාර්තමේන්තුවේ හිටපු පුංචි සේවකයෝ දෙන්නෙක් අස් කළා මූණිච්ඡාවට. තීරණ ගත්තු අය තවත් වැරදි තීරණ ගනිමින් හොඳින් ඉන්නවා ආයේ .. වෙනසක් වෙන්නෙ මැතිවරණයකින් තීරණ ගන්න කට්ටිය වෙනස් වුනොත් විතරයි!

  5. විෂය නොදන්නා අපහට තේරුම් යන ලෙස සරලව පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි.ඉතා වටිනා ලිපි දෙකක්.

  6. ‘එම හමුදාවේම වෙනත් සේනාංක ලබා සිටින ජයග්‍රහණයන් පෙන්වාදීම වැනි ඩේ කලහැකියි. හැබැයි බොරු කරන්න බොරු කියන්න බැහැ. සියල්ල ඇත්ත දේ වියයුතුයි. ‘
    බොරු කියල අහුඋනොත් කරගෙන යන ටිකත් නැතිවෙන වැඩක් තමයි.

    අර ද්‍රව්‍යමය ආධාර දීල මිනිස්සුංගෙ මනස වෙනස් කරන එකනං ඔය ආගම් ප්‍රචාරය කරන අය හොඳට කරනව.

    • ඔව් හමුදාවක සාමාජිකයන්, ඒ හමුදාවේම නායකයන් විසින් රැවැට්ටුවොත්, මොකද වෙන්නේ කියලා මම ඔබට කියාදෙන්න අවශ්‍ය නැහැනේ.

      අපට වාසියක් ලැබුනත් නැතත් ඉස්සර මට මතකයි අපේ ආහාර ද්‍රව්‍ය අපි හරියට බෙදා දෙනවා උතුරු නැගෙනහිර ජනතාවට. පිනක් වත් අත්වෙන්න නැතෑ. ඒකනේ යුද්දේ ඉවර කරලා පණපිටින් ගෙදර ආවේ.

  7. මේ විදිහට බලාගෙන ගිහාම අපි හැමදාම කියවන නිව්ස් වත් විශ්වාස කරන්න බෑනේ..!!

    • ඔබ පිළිගත්තත් නැතත් ඇත්තම ඇත්ත ඔබ කියා තිබෙන දේම තමයි. දිනපතා ප්‍රවෘත්ති සඳහා එක රූපවාහිනී/ගුවන්විදුලි නාලිකාවක් කෙරෙහි විශ්වාසය තබන්න එපා. එක පුවත්පතක් ගැන විශ්වාස කරන්න එපා. ඕනෙම රටක ජනතාව ඒ රටේ රජයේ සයි ඔප්ස් වලට නිතර ලක්වෙනවා.

      • යෑස්.. රෙදි හෝදන නාලිකාවල විදෙස් පුවත් පවා කියන්නෙ යම් යම් යටි අරමුණු ඇතුව..

  8. ක්සැන්ඩර් said:

    ඔය කියන විදියට අර කැලෑ පත්තර ගැහිල්ල පට්ට ම සයි ඔප්ස් එකක් වෙන්නේ ඇයි කියල මට දැන් තේරෙනවා. මේක හොඳ මිනිස්සු බිමටම වට්ටන්න. මේ වගේ සයි ඔප්ස් මම සාමාන්‍ය සමාජයේ දැකල තියනවා. මටම උනා නේ.

    මේ මට වුන දේ.. මීට ටික කාලෙකට කලින් මගේ එක්ක ගැටුමක් ඇති කරගත්තු කෙනෙක් මම තව කෙනෙක්ට ගහන්න ගිය නිසා ඒ පුද්ගලයා ක්‍රීඩා කරන්න එන්නේ නෑ කියල ප්‍රචාරය කළා., ඇත්තම සිද්ධිය ඔහු රාත්‍රී රාජකාරියේ යෙදීම වුනත් අර පුද්ගලයා හිටි අඩියේ ආවේ නැති නිසා හැමෝම ඒ කතාව ඇත්ත කියල පිළිගන්න ගත්තා. මම කලේ වහාම අර අදාළ කෙනා යැව්වා ක්‍රීඩා කරන තැනට මම කිව්ව නිසා ආව බව කියන්න කියලත් අර කතාව ගැන අහන්න කියලත්. ඒ වැඩේ නිසා ගැටුම ඇතිකරගත් පුද්ගලයාගේ උපාය ව්‍යර්ථ වුණා.

    මේකත් සයි ඔප්ස් එකක් නේද විචාරක තුමා?

    • අපි පුංචි කාලේ ගමේ නාන ලිඳ ළඟ, ගමේ අඩි පාරවල් අයිනේ කැලෑ පත්තර තිබුනා. අරයගෙ ගානේ මෙයාට ළමයෙක් හම්බවෙන්න යනවලු, අරයගෙ ගෑනී මෙයා එක්ක යාළුයිලු. අරයා අහවල් ගෙදරට රෑට රෑට රිංගනවළු වගේ දේවල් වාක්‍ය වලින් මෙන්ම කවියෙනුත් ලියලා තිබුනා.

      ඔබ කියා තිබෙන එකත් එක්තරා සයි ඔප් එකක් තමා. හැබැයි හමුදා සයි ඔප් වගේ නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී කරන සයි ඔප් බොහොමයක් පස්සේ එළිවෙනවා. 😀

  9. ෂෙහ්….. නිකන් මම යුද්ධෙට ගියා වගේ මාමේ 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  10. ලිට්ල් ජෝන් said:

    සයි ඔප්ස් සුන්දරයි බිහිසුනුයි. මටනම් හිතුනේ ඔන්න ඔච්චරයි මහත්මයා.සුන්දරයි ලියලා තියන විදිහ හිත්ගන්නවා. ජයවේවා!

    • ඔබ හරි. කඩුවට වඩා දිවෙන් මිනී මරන්න පුළුවන් කියලා කියනවනේ. සයි ඔප් එකක් හරියට වැඩ කලොත් ජීවිත රාශියකට බලපෑම් එල්ල වෙනවා. සයි ඔප් කියන්නේ වරක් දෙවරක් නොව කීප වරක් සොයා බලා කලයුතු බොහොම බරපතළ දෙයක්.

  11. ඔව් එක රටක් න්‍යෂ්ඨික අවි අත් හදාබලනවා කියලා චෝදනා කරන රට තව ටික දවසකින් එයාක්‍රාෆ්ට් කැරියර් වලින් අර රට කිට්‍ටුවට ගිහින් අවට මුහුදේ යුධ අභ්‍යාස වල නිරත වෙනවා. flexing muscles නේ? අර ගමේ චන්ඩි සරම උස්සගෙන පලදාව පේන නොපෙනෙන ගානට වලාපොට ගහගෙන ෂර්ට් අත රෝල් කරන්නෙ පච්චෙ පේන්න. මට මතක් වෙන්නෙ අන්න ඒවා.

    • හරියට හරි. ගමේ පච්ච සිරා සරම උස්සගෙන යනකොට, ගුස්පී ඇඩා පිහිය හරි කඩුව හරි වන වන යනවා. ජාත්‍යන්තරයේත් සිදුවන්නේ ඒකම තමයි.

  12. ම්… වෙනදා වගේම හමුදා පන්තියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    සංඛ්‍යාතයට බාධා කරන්න ගිහිං අල්ලපු ගෙදර එවුන් එක්ක මං වලියකුත් දාගෙන තියෙනවා. 😀

    • බොහොම සතුටුයි ඔබ යමක් ඉගෙනගත්තානම්.

      හොඳ Jammer එකක් හොයාගන්න පුලුවන්නම් පිස්සු හැදෙන දේවල් කරන්න පුළුවන්. 1990 දශකයේ මුල් භාගයේදී හමුදාව පාවිච්චි කල එක්තරා පණිවිඩ හුවමාරු යන්ත්‍ර මෝස්තරයකට ශ්‍රී ලංකා ටෙලිකොම් රේඩියෝ ටෙලිෆෝන් පණිවිඩ ඇහෙන්න පටන්ගත්තා.(අර බාහිර ඇන්ටෙනාවක් සහිත ටෙලිෆෝන්) වවුනියාව ප්‍රදේශයේ හිටිය දේශපාලකයකුගේ දුව පෙම්වතා සමග කරන කතාබහ අපේ ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවකු අසාසිට ඔහු මැද්දෙන් පැන කතා කරලා අර සංවාදය අවුල් කරලා තිබුනා. ඒ අය මෙය වුනේ කොහොමද කියලා දන්නේ නැති වුනත්, අපේ මිනිහාට දඬුවම් ලැබුනා.

      • අපේ ආච්චිලගේ ගේ තියෙන්නෙත් ටෙලිකොම් එක්ස්චේන්ජ් එකක් ගාව. එහෙ තියෙන පරණ තඩි ටීවී එක ටියුන් කරනකොට ඔය වගේ කෝල්ස් ඇහෙනවා. අපිත් ඉතිං කරන වැඩේ නවත්තලා ටීවී එක ගාව. ශෙහ් කරුමෙට අපි ඒ කාලේ පොඩි උන්නෙ. 😦

  13. විචාරක තුමාගෙ ලිපි කියවන්න කලින් මම කීයටවත් හිතුවෙ නෑ.. යුධ මෙහෙයුම් වලට අදාළව මෙතරම් ගැඹුරු න්‍යායික කරුණු තියෙනවා කියලා…බලාගෙන ගියාම යුද්ධයක් කරන එක කොච්චර අමාරුද…සතුරාටත් රජයේ හමුදාව භාවිතා කරන න්‍යායික දැනුම ලැබෙන මාර්ග තියෙනවද ? ඔවුන්ගේ පුහුණු වන අයටත් රජයේ හමුදාවක තරමට මේවා පුහුණු කරනවද ?

    • යුද හමුදාව කියන්නේ සප්ත මහා සාගරය වැනි විශාල දෙයක් සිරා. කිසිම කෙනෙකුට බැහැ යුද හමුදාවේ සියලු අංශ ගැන ඉගෙනගන්න තම ජීවිත කාලයම හමුදාවේ හිටියත්.

      යුද්ධයට අදාළ විෂයයන් බර ගණනක් තියනවා. රහසිගත ඒවා හැර ඉතිරි සියල්ල, මගේ දැනුම අනුව ඉදිරියේදී කියාදෙන්නම්.

      එල්.ටී.ටී.ඊ. වැනි සංවිධානයක් අපි වැනි වෘත්තීය පුහුණුවෙන් උසස් හමුදාවක් එක්ක නිකම් ගහගන්න එන්නේ නැහැනේ. ඔවුන් ඉතා හොඳ පුහුණුවක් ලබාසිටි අතර හොඳින් සන්නද්ධව සිටියා. අන්තර්ජාලයේ තිබෙනවා පුහුණු පාඩම් මෙන්ම බෝම්බ හදන්නත් ඕනෑම ත්‍රස්තවාදී සහ ගරිල්ලා උපක්‍රම කරන හැටි ගැනත්, ඉගෙනගත හැකි පාඩම් ඉතා සවිස්තරව. නමුත් මම ඒවා පෙන්වාදෙන්න යන්නේ නැහැ.

  14. එතකොට අර ට්‍රෝජන් අස්සයගේ කතාවත් සයි ඔප්ස් එකක්ද…. ඔන්න සද්ද නැතුව පෝස්ට් දෙකම කියෙව්වට පස්සේ මට ආපු පුරස්නේ.. හි හි…

    විචාරකතුමා කිව්වා වගේ පොඩ්ඩක් හරි මොළේ තියෙනවා නම් නිවුස් වලට කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ තමයි… ඒත් මොනවා කරන්නද.. දැන හෝ නොදැන අපි ඒවා විශ්වාස කරනවා…

    • ට්‍රෝජන් අස්සයා සයි ඔප් එකක් නෙවේ. උපක්‍රමික ආක්‍රමණයක්. (infiltrated Attack) (රිංගලා පහරදීමක්)

      අපේ රටේ ප්‍රවෘත්ති ඇහුවම මොලේ හිරිවැටෙනවා හිරු, මම බොහෝවිට අහන්නේ/බලන්නේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති විකාශන පමණයි. මම බොහෝවිට රූපවාහිනිය පාවිච්චි කරන්නේ ප්‍රවෘත්ති බැලීම සඳහා පමණයි.

  15. නොදත් මාතෘකාවක් ගැන දැන ගත්තා , රසවත්ව , සරළව , , ඔබට බෙහෙවින් තුති මේ වන වෙහෙසට .

  16. ඉමල්ක ද සිල්වා said:

    ඇමරිකන් හමුදාවෙන් ඉරාකේ වගේ රට වල මිනිස්සුන්ට නිකම් රේඩියෝ බෙදල තියෙන කතාවක් අහල , තියෙනවා ඒවායේ ප්‍රිසෙට් සංක්‍යත තිබිල තියෙන්නේ ඇමරිකන් හිතවාදී / ඉරාක රාජ්‍ය විරෝධී චැනල් වලට, එකත් සයි ඔප්ස් වල මූලික විදියක් නේද ? , මේකේ 3 න් වෙනි කොටසත් තියෙනවද ? , ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගත්තා විචාරක තුමෝ , හොලිවුඩ් ෆිල්ම් 60% කම තියෙන්නේ සයි ඔප්ස් නේද ?

    • තුන්වෙනි කොටස නෙවෙයි ඉමල්ක ලියනවානම් තව ගොඩක් තියනවා. නමුත් එවිට යම් යම් සීමාවන් ඉක්මවා යාමට සිදුවන නිසයි කොටස් දෙකකට සීමා කලේ. ඔබේ දැනුමට යමක් එකතුවීම මට මහත් සතුටක්.

      ඔබ කියා තිබෙන ඇමරිකන් සයි ඔප් එක බොහොම සාර්ථක වුන එකක්.

      විශේෂයේ වියට්නාම් යුද්ධය ගැන හදපු හොලිවුඩ් චිත්‍රපටි, තමන්ගේ හිතේ අමාරුව යන්න ඇමරිකාව තමන්ටම හදාගත් සයි ඔප්ස් කියලා කියන්න පුළුවන්.

  17. මුලින්ම ඔබතුමාගේ මහන්සියට ස්තුති කරන්න ඕනි.
    ඊළඟට ඔබතුමා ගැනත් බරපතල සයි ඕප්ස් එකක් යනවා. මගේ බ්ලොග් එකෙත් ඇනෝ කෙනෙක් ලෙසටම වනලා තිබුණා.

    ජේවීපී එකෙන් චන්දෙ දාන්න එපා කියද්දී ඒ විදියටම පෝස්ටර් වලින් චන්දෙ දාන්න යන්න කියලා මෙහෙයුමක් ගිහින් තිබුණේ ගොඩක් කාලෙකට ඉස්සර.

    ජපානෙට බෝම්බ දාපු එක ගැන ඇන්ටි සයි ඕප්ස් එකක් නේද “පර්ල් හාබර්” චිත්‍රපටය. “එක්ස් ෆයිල්ස්” නාට්‍යය කියන්නෙත් සයි ඕප්ස් එකක් කියලා අහලා තියෙනවා. ඇයි “ඒරියා 52” ගැන කියවෙන කතා.

    අර ගහක් වගේ ඇන්ටෙනා කණුවක් කතරගම පුද බිමෙත් තියෙනවා නේද?

    • ඔබේ අදහස් දැක්වීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා.

      ඔබේ අඩවියට ඇවිත් බලන්නම් අර ඇනෝ මොකද කියන්නේ කියලා.

      මම කිව්වනේ සයි ඔප්ස් සහ ප්‍රති සයි ඔප්ස් ගැන. ඔබ දක්වා ඇති උදාහරණ වල තියෙන්නේ ඒවා තමයි.

      කතරගම ඇන්ටෙනාව ගැන නොදනිමි. අවසන් වරට ගියේ 1990 දීය.

      • ඔය කියන්නෙ සිතුල්පවුවෙ තියෙන එක වෙන්න ඇති.

      • අපේ බ්ලොග් ලෝකයේ දැනුම් භාණ්ඩාගාරික තමයි ප්‍රසා අයියා. මොකද මං අහම්බෙන් වගේ අලුත් බ්ලොග් එකකට ගියොත් ප්‍රසා අයියත් එතම. බොහෝම ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. 😀

        ඒත් අයියේ ඕක නෙවෙයි මං කිව්වේ. මැණික් ගඟෙන් එගොඩ උනහම තමයි ඒක හම්බ වෙන්නේ.මං යාළුවෝ දෙතුන් දෙනෙක්ගෙන්ම මේකේ ෆොටෝ එකක් ඉල්ලුවා. ලැබුණොත් දාන්නම්.

      • http://www.panoramio.com/photo/68814332

        ඔන්න නෙට් එකෙන්ම හොයා ගත්තා. ඒත් මට මතක තිබුණු තරම්ම යකා කළු නෑනේ. 😀

      • පරිසර දූෂණය කියපු ගමන් අපි බොහෝ දෙනෙක්ගේ හිතේ ඇඳෙන දේට අමතරව ශබ්ද දූෂණය, දෘශ්‍ය දුෂණය වගේ කොටසුත් තියෙනවා. එතකොටනම් මේක අපි නිතර දකින ටවර් වල තියෙන අමිහිරි සැලැස්මට වඩා සුන්දරයි. ඒ ඇරෙන්න පරිසර හිතකාමී බවක්නම් දන්නේ නෑ.

        මේ පින්තූරේ ටිකක් ඈතින් ඉඳන් ගත්ත එකක් නිසා ඔහොම පෙන්නේ. පෝලිමේ යනකොට එකපාරටම දැක්කම ටිකක් මඥන්. 😀 අඳුර වැටීගෙන එනකොට දැක්කොත් හොඳටම මඥන්. 😀

        • එක අතකට ඔබ කියනවා වගේ ඇහැට වත් සනීපයිනේ මෙහෙම පෙනෙන එක. හැබැයි අනාගතයේදීනම් ඇන්ටෙනාවක් නැති කඳු මුදුනක් ලංකාවෙන් හොයාගන්න බැරිවෙයි. ඒකට හේතුව ඒ පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් නැතිකම. රජය විසින්ම මුළු ලංකාවම ආවරණය වන විදිහට ඇන්ටෙනා කණු ඉතා සීමිත ප්‍රමාණයක් හදලා සියලුම රාජ්‍ය/පෞද්ගලික ආයතන වලට එකම කණුවේ ඉහල සිට පහලට තම ඇන්ටෙනා සවිකරගෙන රජයට බද්දක් ගෙවන්න දුන්නානම් ඉවරයි.

    • මේ වගේ කෘතීම ශාඛ ලෙස ඇති ට්‍රාන්ස්මීටර් දෙකක් කොළඹ නගරයේත් තියෙනවා. එකක් තියෙන්නේ කොළඹ සරසවියේ 138 බස් හෝල්ට් එක අසල. අනිත් එක තියෙන්නේ ටෙනිස් සංගම් භූමියේ. ටිකක් ඇස් ඇරලා බැලුවොත් මේවා පේනවා.

      ප්‍රංශ වගේ රටවල් හැම කන්දකම ට්‍රාන්ස්මීටර්ස් ගහන්න දෙන්නේ නෑලු. ඔබ කිව් ක්‍රමය තමයි අනුගමනය කරන්නේ.

  18. ව්චාරක තුමණි,
    මෙවන් අතිශය රාජ්‍යආරක්ෂක තොරතුරු අවශේෂ අප දැනගත යුතු නැතැයි යන්න මගේ මතයයි. ඔබ මේ ලිපියෙන් බොහෝ තොරතුරුවල මුලු බිජයන් ඒළියට දී තිබෙනවා. පරම වටිනා කම තම රට රැක ගැන්මයි.

    • මා හිතනවා මීට කලිනුත් ඔබට හෝ වෙනත් කිසියම් කෙනෙකුට මේ ප්‍රශ්නයට පිළිතුර දී තිබෙනවා කියා. මීට වඩා අතිශයින් සංවේදී තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයේ තිබෙනවා. කොටි හිතවාදීන් විසින් අපේ හමුදාව කල ක්‍රියාන්විතවල තොරතුරු විකෘති කර හමුදා දැනුම ඇති ඔවුන්ගේ පිරිස් සමග එක්ව ඔවුන්ගේ ඔත්තු සේවා වලින් අපේ හමුදා පිළිබඳව සොයාගත් තොරතුරුද එක්කර අන්තර්ජාලයේ පළකර තිබෙනවා. මේ ලිපි වලදී මා නොකියන කොටස් බොහොමයි. මම පෙන්වන්නේ හිස කඳ ගාත්‍රා පමණයි. සම්පූර්ණ ක්‍රියාකාරිත්වය නොවෙයි. මේ ලිපියට අදාලව මා ලබාදී ඇති මූලාශ්‍ර කියවා බලන්න ඇමරිකානු යුද හමුදාව තම සයි ඔප්ස් ගැන කොයි තරම් ගැඹුරින් ඕනෑම කෙනෙකුට බලන්න හැකි ආකාරයට තොරතුරු ලබාදී තිබෙනවාද කියා. හමුදා දැනුම ඇති පුද්ගලකුට මේ ලිපි පෙන්වා බලන්න. හැබැයි මේ ලිපි විවේචනය කිරීමනම් නවත්වන්න එපා.

  19. මුද්‍රිත ද්‍රව්‍ය ……පොඩි වරදක් සර්,මන් ආසම subject 🙂

    • අක්ෂර වින්‍යාසයේ වැරදි ගොඩක් තියනවා. ඒ අකුරු ගහන මෘදුකාංගය උදව් කරන්නේ නැහැ. (Keyman 5) අකමැත්තෙන් ඒ විදිහට යෙදුවේ. කණගාටුයි.

  20. දැන් දන්නවා සතුරෙකුට පහර දීමට කලින් කලයුතු මොනවද කියලා. 🙂

    මේ ලිපිය අවසන් උනු වහාම අර කැලේ දී ජීවිත ආරක්ෂා කරගන්නා ක්‍රම කියලා දෙන්ට. ඒ ගැන ලියනවා කීවනේ.

    නැත්නම් ඉතින් ප්‍රහාරයකට සූදානම් වෙන්ට හොඳේ. 😀

    • ඉගෙනගත්තා වගේ නෙවෙයි පාවිච්චි කිරීමේදී ඉතා කල්පනාවෙන් කලයුතුයි. වැරදුනොත් අඬන්ඩ එපා තමුසේ තමයි මේවා කියලා දුන්නේ කියලා.

      අර ලිපියෙන් කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක් සංග්‍රාමික න්‍යාය පාවිච්චි කරලා කරන වීර ක්‍රියාවක්. ඉක්මනින් ලියන්නම්.

      මම බංකරයක් හදාගන්ඩද ප්‍රහාරයෙන් බේරෙන්න?

  21. ඇත්තටම මම තුවක්කු වලට වඩා කැමති මෙවැනි ලිපි සදහා. නමුත් කියවාගෙන යනකොට තේරෙනවා ඔබගේ හිතේ මීට වඩා ලොකු දෙයක් ලියන්නට හැකියාව තියෙත්දී ඕනි කමින්ම කොට කරලා වගේ කියල. බ්ලොග් ලෝකයේ සීමාවේදී පත්තර කලාවට වඩා තව ටිකක් විස්තර දාන්න පුළුවන් නේද. (බය වෙන්ට කාරී නෑ. අදටත් කේ.පී ට වත් නඩු නෑ)
    කොටි පාවිච්චි කල සයි ඔප්ස් ටිකකුත් කිව්වනම් වටිනව.

    තව අර බොරු ගස් එකක් තියනවා තුම්මුල්ල හන්දියේ කො.වී .වී තැපැල් හලට පාරෙන් අනිත් පස ඉඩමේ. තවත් එකක් කටුගේ පැත්තෙ ග්ලාස් හවුස් හෝල්ට් එක අසල. තවත් තිබ්බ බෞද්ධාලෝක මාවතේ. මට ගැටළුව කොළඹ ඔච්චර ඇන්ටනා තියන එකේ අමුතුවෙන් ගස් හදලා ඔව්වා තියෙන්නෙ මොකද කියල. නිකන් තිබ්බ නම් කව්රුත් ගණන් ගන්නේ නෑ. දන්නෙත් නෑ. ඒකට දැන් හොදට එව්වා දිහා බල බල යන්නෙ.

    • තුවක්කු ලිපි ලියන එක හරිම පහසුයි. එක දිගට ලියාගෙන යන්න පුළුවන්. මේවා ලියන එක හරිම අමාරුයි. මා සැඟවූ යතාර්ථය ඔබ අපූරුවට ඉස්මතු කරගෙන තිබෙනවා. ඇත්තටම මම හිතා මතා සමහර කොටස් අත්හැර දැමුවා.

      බොරු ඇන්ටෙනා ගස් යෙදීමට හේතු දෙකක් කියන්නම්. යුද්ධයෙදීනම් ඈතට පෙනෙන එක වලක්වා ගන්න. නගරයක නම් නගරයේ අලංකාරයට හානිවීම අවම කරගන්න.

  22. ඇත්තටම සයි ඔප්ස් එකකට රටක් නැත්තටම නැති කරල දාන්න පුළුවන්නේ. යුධ කටයුතුවලට ඇරුනම රට රටවල් ආර්ථික කටයුතුවලටත් ඕක යොදා ගන්නවා ඇති මම හිතන්නෙ.

    විචාරක මහත්තයගෙ මේ ලිපිය කියෙව්වම පහුගිය යුද්ධ කාලෙ වෙච්ච සමහර දේවල් ගැන දැන් අළුතෙන් හිතන්නත් පුළුවන් මගේ හිතේ. කලිනුත් අහල තිබුනට මෙහෙම දේවල් වෙනව කියල, මේ තරම් පැහැදිලි අවබෝධයක් තිබුනෙ නෑනේ ඒ ගැන. ඒත් ඉතිං දැන් පහුගිය ඒව අමතක කරල දාන එක තමයි හොඳම දේ.

    මම හිතන්නෙ සයි ඔප්ස් එකක් කරද්දි තමන් නැවතීමේ තිත තියන්න ඕන කොතනද කියල අවබෝධයක් නොතිබුනොත් විනාශයි.

    ශ්‍රී ලංකා යුදහමුදා සන්නද්ධ බුද්ධි බලකායෙ ලාංඡනයට අර හංස පූට්ටුව (හරිද මන්ද) නැත්නම් හංසයො යොදා ගෙන තියෙන්නෙ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවද මොකක්ද කතාවට අනුවද? නැත්නම් වෙන හේතුවක් හින්දද?

    • ඉතාම අගය කරනවා ඔබේ අදහස් දැක්වීම.

      අතීතයේ අප ඇසු දුටු බොහොමයක් දේවල් ගැන නැවත සිතීමට පෙළඹීම ඉතාම ප්‍රඥාගෝචර සිතුවිල්ලක්. එවිට ඒ අත්දැකීම් අනාගතය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

      සයි ඔප් එකක් දෙපැත්ත කැපෙන පිහියක්. සමහරවිට දැලි පිහියෙන් කිරි කෑමක්.

      සන්නද්ධ බුද්ධි බලකා ලාංඡනයේ තිබෙන්නේ හංස පූට්ටුව තමයි. ඔබ කිව්වා වගේ හංසයා දියෙන් කිරි වෙන්කරගන්නවා මෙන් තොරතුරු රාශියකින් නියම සත්‍යය වෙන්කරගන්නවා කියන තේරුමෙන් තමයි යොදා තිබෙන්නේ. නැණ රණ ජය කියන ආදර්ශ පාඨය යොදා තිබෙන්නේ ණුවනින් යුද්ධය දිනනවා කියන තේරුම අනුවයි.

  23. ඔන්න නිදහසේ ඒ විස්තරයත් කියෙවුවා. බොහොම ස්තුතියි තොරතුරු වලට..!

  24. අයිටීන්, ජාතිකේ, දිනමිණ බලන බුද්ධිමත් මහජනතාවත් සයිඔප්ස් කකා තමයි ඉන්නෙ.. 🙂

    සති දෙකෙන් දෙකටත් මොකක් හරි පිස්සුකතාවක් පෙන්නලා ජනතාවට කතා කොරන්ඩ දෙයක් හදලා දෙන එකත් ඉතින් සයිඔප්ස් එකක් තමයි..

    ඔත්තු බැලීම මම නම් ආසාම දෙයක්.. අනුන්ගෙ ඕපාදූප හෙවීම නෙමෙයි ඉතින්.. නිකන් ගවේෂණය වගේ අදහසකින් කිව්වෙ.. ඒත් ඉතින් ලංකාවේ ඔවැනි රැකියාවකට තියෙන තැන මදි නේද?

    සයි ඔප්ස් ගැන වැඩිදුර කියවන්ඩ තැනක් කියන්න පුළුවන් නම් හොඳයි..

    ස්තුතියි!

    • පෞද්ගලික නාලිකා වලත් සයි ඔප්ස් යනවා. උන් අර නාලිකා වලට වඩා දක්ෂ සහ සියුම් ලෙස ඒවා කරන්නේ.

      ඔත්තු බැලීම සෙල්ලමක් නෙවෙයි. හැබැයි ලොකු අත්දැකීම් ලබන්න පුළුවන්.

      සයි ඔප්ස් ගැන සිංහලෙන් නම් කියවන්න තියෙන්නේ මම දන්නා තරමින් මේ ලිපි දෙක විතරයි කියලා කියන්නේ ආඩම්බරෙන් නෙවෙයි. නිහතමානීවයි. අර මම පෙන්වලා තියන ලිනක්ස් වලින් නම් ඉතා දීර්ඝ විස්තර බලන්න පුළුවන්.

  25. මාරයි කියලා තමා කියන්න තියෙන්නෙ… යුද්ධෙ කියන්නෙ තනිකරම ප්‍රචාරක මෙහෙයුමක් නේද ?

    තව රසවත් උදා හරණ දෙක තුනක්වත් දෙන්න බැරිද ?

    අර බූරා කියලා තියන කතාවෙන් ලිපියක් ලියන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි.

    බොහොත් ශුක්‍රියා 🙂

    • යුද්ධයේදී විතරක් නෙවෙයි බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ප්‍රචාරයට වැදගත් තැනක් ලැබෙනවා.

      මීළඟ ලිපියකදී මීට සම්බන්ධ රසවත් කතා කියන්නම්.

      හොහ් හෝ………හින්දි නිලියක් වත් හම්බවුනාද ළඟකදී? 😀 😀

      • උදේ හවහා ඇහෙන එක ටකරන් බාසාවකින් අහුල ගත්තු වචන දෙකක් විතරයි.. 🙂

        • හින්දි ගීත (1980 දශකය දක්වා) නම් බොහොම මිහිරියි. හින්දි භාෂාවත් මිහිරියි. මොනයම් හෝ භාෂාවක් දැන සිටීම වැදගත්. මම ඉන්දියාවේ පුහුණුව ලැබූ කාලය අවසන් වනවිට බය නැතුව කතා කරන්න තරම් හින්දි දැනුම තිබුනා.

      • කෙයා බෝල් තී තූ?

      • ඇත්තටම මම ඒ ගැන දැන් පසු තැවෙනවා විචාරක මහත්තයෝ… මට භාෂා කිහිපයක් ඉගෙන ගන්න ලැබුන අගනා අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගත්තෙ නෑ… දැන් පරක්කු වැඩියි..

        ටකරන් බාසාවක් කිව්වෙ විහිලුවට වගේ 🙂 හින්දි ඇත්තටම මිහිරි, ඉගන ගන්න ලේසි බාසාවක්..

        • කොහෙද පරක්කු සෙන්නා? මේ හෙට අනිද්දට හැට පිරෙන මමත් දිනපතාම මොනවා හෝ ඉගෙනගන්නවානේ. විවිධ භාෂා දැනගැනීම (කතාකරන්න දන්නවනම් ඇති) ජීවිතයේ දියුණුවට බලපානවා.

      • නෑ විචාරක මහතා මම කිව්වෙ මම දැන් මෙහෙන් එන්න සූදානම් වෙනවා.. ඔය කියපු අවස්ථාව මට හිමි වුනේ මෙහෙ ඇවිත් නානා ප්‍රකාර ජාතීන් එක්ක කටයුතු කරනන් ලැබීම නිසා. මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ..

        පරක්කුනම් නෑ තමා.. බලමු.

        මෙන්න හරියත් හින්දියෙන් නෙලනවා… 🙂

        • ඔයවගේ ලැබෙන අවස්ථා මග නොහැරිය යුතුමයි. මම වවුනියාවේ සේවය කරද්දී මා යටතේ ද්‍රවිඩ ජාතික ලිපිකාරිණියක් සේවය කළා. ඇය දිවා ආහාරයෙන් පසු ලැබෙන විවේකයේදී කාර්යාලයේ අයට නොමිලේ දෙමල ඉගැන්වුවා. මටත් කිව්වා සර් ඇවිත් අහගෙන ඉන්න පස්සේ ටික ටික කතා කරන්න කියලා. මට කම්මැලි හිතුනා. දැන් හිතෙනවා මෝඩ වැඩක් කලේ කියලා.

          හරීගේ අලුත් කාර්යාලයේ ‘හින්දි කතාකරන අය’ ඉන්නවා වගේ. 😀

      • “හින්දි ඇත්තටම මිහිරි, ඉගන ගන්න ලේසි බාසාවක්..” පොඩ්ඩක් සිංහල බර වචන දාලා හින්දි කෙනෙක් එක්ක කථාකරන්ඩකො මිනිහට තේරෙනවා..

    • හින්දි නේමේ හරී.. මලයාලම් බලන්න ඕනා.. අපේ හුඟක් බර වචන උන්ගෙ එදිනෙදා පාවිච්චි කරන ඒවා..

      ජොලිම එක තමා “මදි” කියන එක.. අපි “මදි” කියන්නෙ මදි වුනාමනෙ.. උන් මදි කියන්නෙ “ඇති” කියන්න.. 🙂

      අනිත් බොහෝ වචනනම් අර්තයෙන් සමානයි.. එකම වෙනස උන් අන්තිමට “ම්” එකක් දානවා.. උදා.. ප්‍රශ්ණම්, විශ්වාසම්… ඔය වගේ…

      • ඉන්දියාවේදී, එහෙ ආමි කාරයෝ ආවා ඔක්කොටම කලින් අපිට උන්ගේ ‘හොඳ වචන’ උගන්වලා, අපි ලවා ඒවා ප්‍රසිද්ධියේ කියවන්න. නමුත් අපේ බැච් එකේ එකෙක් හිටියා ඒවා දන්න. එයා අරුන්ට එව්ව්ගෙන්ම ගානට දුන්නා. 😀

        මලයාලම් කාන්තාවක් එක්ක අපේ එක්කෙනෙක් විවාහ වුනොත් කොහොමට තියෙයිද? 😀 😀

  26. ඇත්තටම විශාල දැනුමක් ලැබෙනවා ඒනිසාමයි විවේකීව මා මේ ලිපි කියවන්නේ.

  27. මාත් මේදවස්වල Tactical Psychological Operation එකක් ක්‍රියාත්මක කරමින් ඉන්නේ මුලදි මටත් බරලතල හානි උනා මැදදි ආපහු සතුරා අඩපන කරලම දැම්මා ඒත් දැං තත්වේ වෙනස්, මට දැං සතුරාගේ එක පාර්ෂවයක තොරතුරු විතරයි ලැබෙන්නේ අනික මගේ සහයකයත් නැතුව දැං මට තනියම මෙහෙයුම කරගෙන යන්නවෙලා තියෙන්නේ…..

  28. එල එල.ලිපිය කලින්ම කියෙව්ව.කොමෙන්ටුවක් දාල යන්න බැරිවුනා.ඔන්න ආයෙත් පාරක් කියවලම කොමෙන්ටුවක් දැම්ම.ඊලඟ මතෘකාව මොනව සම්බන්දවද?

  29. මේ ලිපිය මට මේ තරම් රසවත් වුනේ ඇයිදැයි නොදනිමි. මම හැමදාම මේ වගේ චිත්‍රපට, රහස් පරීක්ෂක කතා කියවන්නට ඇලුම් කලෙමි. විචාරක තුමා අර 88/89 යුගයේදී හමුදාවේ අයගේ ගෙවල් වල ඇය මරණවා කියපු එක ප්‍රසිද්ධ සයි ඔප් එකක් නේද? ඒ කාලෙදී හමුදාවේ අය අතරත් මේ සංවිධානයට ආධාර දෙන අය හිටියා. හමුදාව සහ ජනතාව හිත යටින් මේ සංවිධානයට සහයෝගය දැක්වුවා. මම හිතන්නේ කටුනායක අවි මංකොල්ලයත් වුනේ ඒ සහයෝගය නිසා. අර කියපු සයි ඔප් එක නිසා සටන කෙටි කලකින්ම අවසන් වුණා. ඔය සයි ඔප් එක නොවන්න මමත් කොතලාවලපුර යනවා.

    • සුදීක, ඔය 88/89 කැරැල්ල මර්දනය කරන්න යොදවපු උපක්‍රම ගැන විවිධ මත තිබෙනවා. එහි සයි ඔප් වගේම වෙනත් මානුෂික නොවන ක්‍රියාමාර්ග තිබුනා කියලා මම අහලා තියනවා. ලෝකය පුරාම මෙවැනි රහස් තිබෙනවා යලිත් කිසි දිනක ඇත්ත එලියට එන්නේ නැති වෙයි කියලා හිතෙන. ඉතාම අගය කරනවා ඔබේ අදහස් දැක්වීම.

  30. පොඩි යෝජනාවක් කරන්න කැමතියි. සුනඛයන් ඇති කිරීම, නඩත්තුව හා පුහුණු කිරීම පිළිබඳව ලිපි මාලාවක් ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: