විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  two skullsඅපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්) ඔලුවෙන් ගැහිලි තිබෙනවා. එය හොඳින් පුහුණුවී කරන දෙයක්. අපිත් එකවරම එහෙම කරන්න ගියොත් කඩෙන් ඔලුවක් ගෙන්න වෙනවා. 😀 ඒ කියන්නේ ඔලුවෙන් ගැහිල්ල අපි හිතන තරම් පහසු දෙයක් නෙවෙයි කියන එකයි. ඔලුවෙන් ගහනවා කියන එකට තවත් තේරුමක් තියනවා. ඒ තමයි, හොඳින් කල්පනා කර සකස්කරන ලද සැළසුමකින්, තමන්ගේ සතුරෙකුට උගුලක් ඇටවීම. ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන ලොකු ගැටළුවක් විසඳා ගැනීම, තමන් වැටෙන්න යන ලොකු අමාරුවකින් කල්පනාකාරීව බොහොම අමාරුවෙන් ගැලවීම, වැනි දේවල්. යුද්ධයේදීත් මේ ඔලුවෙන් ගැහිල්ල තියනවා. ඒ කියන්නේ, සතුරා වෙත මානසික බලපෑම් ඇතිවෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන, විවිධ ව්‍යාපෘති තිබෙනවා. ඒ විදිහට තමයි යුද්ධයේදී ඔලුවෙන් ගහන්නේ. අද මම ඔබ සමග කතාකරන්නේ, යුද්ධයේදී කරණ මේ ඔලුවෙන් ගැහිල්ල හෙවත්, ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ (Psychological Operations) ගැනයි. හමුදා කටයුතු වලදී මෙය කෙටියෙන් හඳුන්වන්නේ ‘Psy Ops සයි ඔප්ස්’ කියලයි. ඉතින් මෙතැන් සිට අපිත් එහෙම කියමු නේද? දැන් මේ බ්ලොග් අඩවිය ඇසුරු කරලා ඔබත් හමුදා කටයුතු ගැන යමක් කමක් දන්නවනේ. 

  gossiping womenමනෝවිද්‍යාත්මක මෙහෙයුම් වලට ඉතා ඈත අතීතයට දිවයන ඉතිහාසයක් තියනවා. ලෝකයේ ඉපැරණි රාජධානි සමය වලදී පවා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් යෙදවූ බවට සාක්ෂි තිබෙනවා. (පින්තුරය ගත්තේ මෙතනින්) උම්මග්ග ජාතක කතාවේදී මහෞෂධ පඬිතුමා, සතුරන්ට පෙනෙන ලෙස, බළකොටුවක, ආහාර, දර, ආදිය රැස් කර, බලකොටුව වටකරගෙන, එයට සැපයුම් ලබාදෙන මාර්ග අවහිර කිරීමෙන් ඵලක් නොවන බව, සතුරාට පෙන්වීමත් මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන ‘ඇම්ඩන් වැඩ’ සමහරක්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ලෙස සළකන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේදී මනෝවිද්‍යාත්මක  මෙහෙයුම් වැඩිපුරම කරන්නෙත්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වලට ලක්වෙන්නෙත්, කාන්තාවන් කියලයි මටනම් හිතෙන්නේ. හැබැයි කාන්තාවන් මේ ගැන උරණ වී මා විවේචනය කරන්න ඉඩ තිබෙනවා. බොහෝ පෙම්වතියන් තමන්ගේ පෙම්වතාට ‘සයි ඔප්ස්’ දානවා. විශේෂයෙන්, ජංගම දුරකථන, සුවඳ විලවුන්, ඇඳුම් පැළඳුම්, සෙරෙප්පු, සාප්පු යාම, වගේ දේවල් ලබාගැනීම සඳහා. ඒගොල්ලෝ දාන ‘සයි ඔප්ස්’ මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද? සමහර විවාහක කාන්තාවෝත් තමන්ගේ ස්වාමි පුරුෂයාට සයි ඔප්ස් දානවා. ගෙදරදොර යම් යම් වැඩ කරගන්න, වගේම මාසේ පඩිය ගන්න දවස කිට්ටු වෙනකොටත් ටොන් ගණන් සයි ඔප්ස් දානවා. ඇඳේ අනික් පැත්තට හැරිලා නිදාගන්න එකත්, එක්තරා සයි ඔප් එකක් නේද? 😀 😀 (අත්දැකීමෙන් තමයි කියන්නේ) 

  අතීතයේදී අපේ ගම් වලත් සයි ඔප්ස් තිබුනා. ගමේ රෙදි නැන්දා තමයි ගමට ප්‍රවෘත්ති සපයන්නේ. ඉතින් ගමේ බොහෝ දෙනා ඒ ප්‍රවෘත්ති විස්වාස කරනවා. අහවල් ගෙදර මෙහෙමයි, අහවල් ගෑණු ළමයා මෙහෙමයි, ආදී වශයෙන් දෙන පුවත් ඇත්ත නොවුනත් ඒවා විස්වාස කිරීමෙන් යම් යම් අනිටු ප්‍රතිඵල ඇතිවෙනවා. අපේ රටේ දේශපාලනයේත් සයි ඔප්ස් තියනවා. මේ පාර අහවලා උඩින්ම දිනනවා කියලා මැතිවරණයට පෙර මහා විශාල ප්‍රචාරයක් ගෙනයාමෙන් ඡන්ද දායකයන්ගේ මනසට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඡන්ද අපේක්ෂකයකුගේ චරිතය ඝාතනය වන අන්දමේ ප්‍රචාර ගෙනයාමෙන්ද ඡන්ද දායකයන්ගේ මනසට බලපෑමක් එල්ල කල හැකියි. අපිත් අහවලාට, අපිත් අහවලාට, කියලා පෝස්ටර් ගැහීමත් සයි ඔප් එකක්.

  ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්’ යන්න, හමුදා කටයුතු වලදීනම් බොහොම ගැඹුරු දෙයක්. අපි මුලින්ම බලමු හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (Military Psychological Operations) යන්න නිර්වචනය කරන්නේ කොහොමද කියලා. ඔපරේෂන් කියන වචනයෙන්ම පැහැදිලි වෙනවානේ එය ක්‍රියාන්විතයක් කියලා. මෙහිදී මා මුහුණ දෙන බරපතල ගැටලුව තමයි හමුදා ප්‍රකාශනවල සයි ඔප්ස් ගැන තියන මහා ගැඹුරු නිර්වචනය හැකි තරම් සරල බසින් ඔබට දීම. මම එහෙම නොකලොත් ඔබට මේ ලිපි පෙළ එපාවෙනවා සිකුරුයි. ඒ නිසා ඉතා සංක්ෂිප්තව හා සරලව, බොහෝ ගැඹුරු කොටස් අතහැර, එහෙත් අවශ්‍ය අදහස නොබිඳිමින් තමයි, මා ඔබට මේ නිර්වචනය ගෙන එන්නේ.  

space 2

හැබෑටම මොනවද  ‘සයි ඔප්ස්’  කියන්නේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නිර්වචනය 

Definition of Psychological Operations

සයි ඔප්ස් නිර්වචනය ඉස්සරවෙලා එක වාක්‍යයකින් කියන්නම්. ඊට පස්සේ තවදුරටත් විස්තර කියන්නම්. එහෙම හොඳයි නේද? සාමාන්‍යයෙන් බොහෝ නිර්වචන ඉදිරිපත් වෙන්නේ එක වාක්‍යයක් හැටියටනේ.

(සමහර වෙලාවකට හිතෙනවා මොන කෙහෙම්මලකටද මෙච්චර මැරීගෙන මේවා පරිවර්තනය කරමින් ලියන්නේ කියලා. ඒ වුනාට ඔබ යමක් ඉගෙනගෙන දක්වන අදහස් කියවුවාම හිතෙනවා කොයි තරම් මහන්සිවී හෝ තවත් ලියන්න. ලෝකේ හැටි)

23_05  “මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (සයි ඔප්ස්) යනු, කිසියම් නීත්‍යානුකූල රාජ්‍යයක් විසින්, තම දේශපාලන, ආර්ථික, සමාජයීය, අරමුණු සහ අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහාත්, තම රාජ්‍ය ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත්, තමන්ට පක්ෂපාතී මහජනතාව, ආරක්ෂක හමුදා මෙන්ම, විරුද්ධවාදී මහජන සංවිධාන හෝ සටන්කාරී සංවිධානයන්හි චින්තනය, අදහස්, ක්‍රියාකාරකම්, (චර්යා රටාව) වෙනස් කිරීම සඳහා බලපෑමක් ඇති කරවීම පිණිස, ආරක්ෂක හමුදා යොදවාගනිමින් දියත් කෙරෙන, යුද්ධමය නොවන වැඩපිළිවල හා ක්‍රියාමාර්ග වේ”  (පින්තුරය ගත්තේ මෙතනින්)

  මෙහෙම කිව්වහමත් බරපතල වැඩියිද? වැඩියි නේ? ඒක තමයි මම මුලින්ම කිව්වේ, නිර්වචනය එක වාක්‍යයකින් කියලා, ඊළඟට විස්තර කරන්නම් කියලා. මම හිතනවා  මේ ලිපිය ගැන ඔබේ අදහස් දැක්වීමේදී ප්‍රශ්න දහස් ගණනකට උත්තර දෙන්ඩ වෙයි කියලා.

  මනෝවිද්‍යාත්මක මෙහෙයුම් කිසියම් නීත්‍යානුකූල රාජ්‍යයකින් කරනවා කියලා පොතේ තිබුනට එල්.ටී.ටී.ඊ. වගේ ත්‍රස්තවාදී සංවිධානත් ඕනෑ තරම් සයි ඔප්ස් කරනවා. ඔබ දිනපතා පුවත් අහනවා බලනවානම්, දන්නවා ඇති, ලෝකයේ විවිධ කලාප වල, රජය සහ රජයට එරෙහි සංවිධාන අතර සිදුවන සටන් වලදී, දෙපැත්තම එකිනෙකාගේ වැරදි කියාගන්න හැටි. මේ තුලත් සයි ඔප්ස් තියනවා. ඒ කියන්නේ දෙගොල්ලන්ගේම අතේ හරි වැරදි දෙකම තියනවා.

ඉතිං මොකටද ‘සයි ඔප්ස්’ කරන්නේ?

ඒ වෙනුවට යුද්ධ කරන්න පුළුවන්නේ.

  හැම දේටම යුද්ධය ඉස්සරහට දාගෙන හරියන්නේ නැහැනේ. පරණ කියමනක් තියනවා ‘උගුලෙන් බැරිනම් හබකෙන්’ කියලා. යුද්දෙන්ම ඔක්කොම කරන්න යාමෙන් වෙන විනාශය බොහොම වැඩියි. ඔක්කොටම කලින් මිනිස්සු හිතන විදිහ වෙනස් කරවන්න පුලුවන්නම් යුද්ධ නොකර අපේ අරමුණ ඉෂ්ඨ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මෙච්චර මැරීගෙන සයි ඔප්ස් කරන්නේ.

  සයි ඔප්ස් මගින් කරන්නට බලාපොරොත්තුවන දේ මිනිසුන්ගේ සිතට/මනසට යම් බලපෑමක් ඇති කිරීමනේ. ටිකක් හිතලා බැලුවොත්, ලෙඩකට දුකකට කරන ගුරුකම්, තොවිල් පවිල්, ආදියත් එක්තරා ආකාරයක සයි ඔප්ස් කියලා කියන්න පුළුවන්. එමගින් රෝගියාගේ සිතට දැඩි බලපෑමක් එල්ල කර මානසික ප්‍රබෝධයක්/වර්ධනයක් ඇති කිරීමෙන් අවුල්ව ගිය මනස නැවත සැකසීමක් කෙරෙනවා. (හරියට අපි පරිගණකයට reset එකක් දෙනවා වගේ)

  දැන් අපි සයි ඔප්ස් භූමිකාව (role) දෙස තවත් සවිස්තරව බලමු. කිසියම් දේශපාලන දර්ශනයක්, මතවාදයක්, එහෙමත් නැත්නම් වානිජමය අරමුණක් වුනත්, කිසියම් දේශයක වෙසෙන ජනතාවගේ මනසට කාවැද්දවීමට ඉතා සාර්ථකව සයි ඔප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවා අහවල් කිරි බිව්වම, පොඩි එකා, පූසා කොටියා කරන්න තරම් බුද්ධිමත් වෙනවා කියලා කිරිපිටි කාරයෝ අපේ මව් වරුන්ට සයි ඔප්ස් දානවා. එයින් මුලින්ම ඒ මව් වරුන්ගේ චින්තනය වෙනස් වෙනවා. අර දැන්වීම දවසට හැට සැරයක් විතර හැම රූපවාහිනී නාලිකාවේම දැක්කම, අම්මලාගේ චින්තනය වෙනස් වෙනවා. එයින් අර කිරිපිටි කාරයා අම්මලාගේ සිතේ යම් ආරෝපණයක් (induce) ඇතිකරනවා. එමගින් ඔවුන්ගේ චර්යාවේ (behavioural pattern) වෙනසක් ඇති කල හැකියි. ඒ කියන්නේ මෙතෙක් පොඩි එකාට දුන්න කිරි වෙනුවට වහාම “පූසා/කොටියා” වර්ගයේ කිරි මිලදී ගැනීමට පටන්ගන්නවා. ඒ තමයි චර්යාවේ වෙනස.

  අපි තමයි මේ රටේ මෙතෙක් බිහිවූ හොඳම රජය, අපි තමයි මහජනතාවට ඉහලම සුබසාධනය කරන්නේ, අපි තරම් විශිෂ්ඨ, උත්කෘෂ්ඨ, ආණ්ඩුවක් ලෝකයේ තවත් නැත යන සංකල්පය කිසියම් රටක ජනතාවගේ මනසෙහි ආරෝපණය කරන්න අවශ්‍යනම් ත්‍රිවිධ හමුදාවත් ආධාර කරගෙන සයි ඔප්ස් කරන්න පුළුවන්.  

හමුදාවක් මගින් කරන සයි ඔප් එකකට උදාහරණයක් කියන්නම්. මෙය ඇත්ත කතාවක් නොවේ. නමුත් මතක තබාගන්න සයි ඔප්ස් වලදී මෙවැනි කතා දහස් ගණනින් නිර්මාණය කරනවා. එහි අධ්‍යක්ෂණය, රඟපෑම, වැනි කොටස්වල දක්ෂතාව මත තමයි බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබෙන්නේ.  

  ඔන්න ත්‍රස්තවාදී කාන්තාවක් ඇවිත් මරාගෙන මැරෙන බෝම්බයක් පත්තු කරගෙන මහා විනාසයක් කරලා මිය යනවා. දැන් හානියට පත් පාර්ශ්වයත් මේකට ප්‍රති ප්‍රහාරයක් දෙන්න ඕනේ. ඔන්න ඔයවගේ වැඩ වලදී තමයි ‘ඔලුවෙන් ගහන්න’ ඕනේ. දැන් අපි ලෝකේ පුරා මහා ප්‍රචාරයක් ගෙනියනවා අර මරාගෙන මැරෙන බෝම්බ කාරියගේ අතේ තිබුන බෑගයක් හමුවුන බවත්, එහි තිබුණු ලිපියක, තමා සැඟවී සිටි කඳවුරේ සිටි ත්‍රස්තවාදී නායකයා තමන්ව බලහත්කාරයෙන් දූෂණය කල බව, තමන් දැන් මාස 4 ක ගැබිනියක් බව, මේ ගැන සංවිධානයේ නායකත්වයට පැමිණිලි කලොත් තමන්ගේ පවුලම මරාදමන බවට අර නායකයා තර්ජනය කල බව, සඳහන් බවත්, (ඇගේ පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ගැබිණි බව හෙළිවූ බවත් කියනවා. කියන්නේ දොස්තර නෙවෙයි අපි නේ) තමන්ගේ දෙමවුපියන් වෙත ලියා ඇති මේ ලිපියේ, මෙය තමාගේ අවසන් ලිපිය බවත්, මේ මරාගෙන මැරෙන මෙහෙයුමට තමන්ව බලහත්කාරයෙන් යොමු කලේ මේ රහස් හෙළිවේ යයි බියවූ අර නායකයා බවත්, මේ ගැන සංවිධානයේ ඉහල නායකත්වයට පැමිණිලි කරන ලෙස තම දෙමවුපියන්ගෙන් ඉල්ලාසිටින බව සඳහන් බවත්, අපි ප්‍රචාරය කරනවා. දැන් මොකද වෙන්නේ. වැඩේ හරියට පත්තු වුනොත්, අර සංවිධානයේ ඉහල නායකත්වය විසින් අර බෝම්බකාරිය සිටි කඳවුරේ නායකයාව මරනවා ස්ථිරවම. ඔන්න ඕකට තමයි කියන්නේ අර මොකාගේද මාළු උගේ ඇඟේම තියලා කපනවා කියලා. හැබැයි මේවා නිකම් සිල්ලර සයි ඔප්ස්. නියම සයි ඔප්ස් මීට වඩා බරපතලයි. 

  මා නැවතත් අවධාරණය කරනවා මේ මාතෘකාව ඉතා දීර්ඝ විස්තර සහිත සංකීර්ණ මාතෘකාවක් බව. එමෙන්ම කොටස් ගණනාවකට ඇදී ගියොත්, අසාර්ථක වේදෝ යන සැකයත් තිබෙනවා. ඔබේ ප්‍රතිචාර අනුව ඊළඟ කොටස් සකසන්නම්. (එහෙම කියන එකත් මේ යකාගේ සයි ඔප් එකක්ද දන්නේ නැහැ කියලා කියන්න නම් එපා හොඳේ… 😀 ) ඊළඟ කොටසෙන් හමුවෙමු.   

My Signature for Blog2013 පෙබරවාරි මස 01 දින 0001 පැය

Advertisements

Comments on: "වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී – (පළමුවැනි කොටස) – Military Psychological Operations – (Part One)" (90)

  1. //අසාර්ථක වේදෝ යන සැකයත් තිබෙනවා.//

    කවදාවත් තවම එහෙම උනේ නැ නේද. පිස්සුද කොහෙද

  2. සුපිරි ලිපි පෙලක ආරම්භය.. ඊළඟ කොටස එනතෙක් පුල පුලා බලා සිටිමි.. 😀 (Y)

  3. ඇනෝපිලිස් said:

    මෙන්න… අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන ජාතියේ ලිපි මාලාවක් …….. නවත්තන්න නම් එපෝ ……..

  4. සාම සාකච්චා කාලේ කැලේ වේලි වේලි හිටපු කරුණා ඇතුලු ලොකු සෙට් එක බැංකොක් ගෙනිහින් prostitutesලා සප්ලයි කරලා යුදධ කරන්න තිබුනු මොරාල් එක කඩා දැමීම.

    • හැබෑටම ඔයත් දන්නා දේවල්. අපි හැකිතරම් අපේ රටේ කතා අඩු කරලා පොදුවේ කතාකරමු. එතකොට අපිට නිදහසේ අදහස් හුවමාරු කරගන්න පුළුවන්.

  5. අතරමැදදී අපව සිනහ ගන්වමින්,අපට තේරුම් ගන්න හැකි අයුරින් මහන්සිවී ලියා තිබෙන ලිපි පෙලක ආරම්භය ඉතාම විශිෂ්ටයි!රජයවල් කරන “සයි ඔප්ස්”ගැන ලිව්වෙ නැතත් කනෙන් පෙන්නුවත් තේරුම් යනවා 🙂

    • කනෙන් පෙන්නුවත් තේරුම් යන්නේ ඒවා නොදියුණු මට්ටමේ සයි ඔප්ස් නිසා. නියම සයි ඔප් එකක් සමහරවිට ජීවිත කාලයක් තුළදීවත් අහුවෙන්නේ නැහැ.

  6. ඇමෙරිකන් භටයෝ දෙන චුවින්ගම්, චොකලට්, සිගරට් යනාදියත් සයි ඔප්ස් වැඩක් නේද?

  7. දේශපාලයො නම් මෙ වැඩේ හොඳට ප්‍රගුණ කරල තියෙන බව අපෙ රටෙන්ම ඔප්පු වෙනවා..

    • උන්ගේ සයි ඔප්ස් දැන් මිනිස්සු දන්නවා උන් හැරෙනකොටම. නමුත් හමුදා සයි ඔප් එකක් කරන්නේ ආය අහුවෙන්ඩ ඉඩ තියලා නෙවෙයි. ඒකයි වෙනස. ඉස්සරහදි කියන්නම්.

  8. //(සමහර වෙලාවකට හිතෙනවා මොන කෙහෙම්මලකටද මෙච්චර මැරීගෙන මේවා පරිවර්තනය කරමින් ලියන්නේ කියලා. ඒ වුනාට ඔබ යමක් ඉගෙනගෙන දක්වන අදහස් කියවුවාම හිතෙනවා කොයි තරම් මහන්සිවී හෝ තවත් ලියන්න. ලෝකේ හැටි)//

    මෙන්න සයි ඔප්ස්… 😀

    // බොහෝ පෙම්වතියන් තමන්ගේ පෙම්වතාට ‘සයි ඔප්ස්’ දානවා. විශේෂයෙන්, ජංගම දුරකථන, සුවඳ විලවුන්, ඇඳුම් පැළඳුම්, සෙරෙප්පු, සාප්පු යාම, වගේ දේවල් ලබාගැනීම සඳහා. //

    මේ මොනවද අප්පා…මෙන්න මේවායින් ටිකකුත් කියලා දුන්නානම්… 🙂

    හබක කියන්නේ මොකක්ද? උගුල නම් දන්නවා නිතරම ගිහින් වැටෙන හන්දා… 😀

    හොඳ ලිපි පෙලක ආරම්භයක් කියලා මටත් හිතෙනවා.

    • ඇත්තටම ලිපි පරිවර්තනය කිරීමේදී දරන වෙහෙස නිසා වෙලාවකට එපාවීමක් ඇති වෙනවා.

      පෙම්වතියන් පෙම්වතුන්ට දාන සයි ඔප්ස් ඔයාලමනේ දන්නේ. අර 64 ඒවත් තියනවා නේද 😀

      හබක කියන්නේ පොළොවේ සිට අංශක 45 ක පමණ කෝණයකට රඳවන ලද, ලී හෝ දඬු යොදා සකසන ලද වේදිකාවක්. අඩි 4 ක් 5 ක් දිග පළල තියන. මෙය මත බර ගල් පටවලා, අර අංශක 45 ක් පමණ උස්සා ඇති පැත්තට, කුඩා මුක්කුවක් ගසා තිබෙනවා. ඒ හබක යට සතුන් කන්න කැමති කෑම වර්ග තබා තිබෙනවා. ඒවා කන්න එන සතා අර මුක්කුවේ වැදුනොත් හබක සතාගේ ඇඟ මත කඩාවැටී සතා මියයනවා. නැත්නම් යාගන්න බැරි තරම් බරපතල තුවාල ලබනවා.

  9. තවලම, සුදු නෙළුම තමන්ටම ගහ ගත්තු සයි ඔප් එකක් නේද ?

  10. උදේ පාන්දර නැගිටලා, ජනේලයක් ළග වාඩිවෙලා සුන්දර පරිසරයක් දිහා බලාගෙන උණු කෝපි කෝප්පයක් බිව්වා වගේ හැගීමක් ආවා මේ ලිපිය කියවද්දි.
    “සයි ඕප්ස්“ නියම මාතෟකාවක්නේ. ඔලුවෙන් හොදටම ගහන්න පුළුවන් වුනානම්. මට හිතෙන්නේ අනිත් කිසිම දෙයක් ඕන නැහැ.

    • ඇත්තටම අපේ ජීවිත කාලය තුල අපි කොපමණ සයි ඔප්ස් කරනවාද? අපි කොපමණ සයි ඔප්ස් වලට අහුවෙනවාද? කියන එක, මේ ලිපි පෙළ අවසානයේදී ඔබට වැටහුනොත්, ලිපි පෙළ සාර්ථකයි.

  11. ඉතා හොඳ ලිපියක්. ඉතා ඉක්මනින් කලින් ලිපියට පසුව පල කිරීම ගැන මාගේ ස්තුතිය. ලිපිය ගැඹුරු කළාට ප්‍රශ්නයක් නෑ. බය නැතුව විස්තරාත්මක දිගු ලිපි ලියන්න. ඔබට තව තවත් ධෛර්ය ලැබේවායි පතනවා.

  12. ලිපියෙන් ගොඩක් තොරතුරු දැනගත්තා..බොහෝ ක්‍රියාදාම චිත්‍රපටිවල මේ සයි ඔප්ස් ගැන තියනවා නේද?
    දිගටම ලිපි පෙල කියවන්න ආසයි..

    මේ ශෛලිය නම් අපූරුයි..කියවන්න කම්මැලි හිතෙන්නෑ..

    • ඔව් සංග්‍රාමික කරුණු ඇතුලත් චිත්‍රපටිවල සයි ඔප්ස් ගැන සිදුවීම් තිබෙනවා.

      මේ ශෛලියෙන් ලියන්නේ කියවන්නාට එපාවීම වැලැක්වීමටයි එහි කිසියම් සාර්ථක බවක් තිබෙනවායයි පෙනෙනවා.

  13. නියම ලිපි පෙලක් වගේ.
    මංනං හිතන්නෙ ඔය ක්‍රමේ හොඳටම පාවිච්චි කරන්නෙ රූපවාහිනී වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කරන කට්ටියද කොහෙද?

    • ඇත්තටම රූපවාහිනී දැන්වීමක් කියන්නේ ප්‍රචාරණ උපක්‍රමයක් පමණයි. නමුත් සයි ඔප්ස් වලින් යුද්ධමය අරමුණු යුද්ධ නොකර ඉටුකරගන්නවා. ඒකයි වෙනස.

  14. මම අහලා තියෙන හොඳම Psy Ops එක තාත්තා කියපු කතාවක්. සතුරු හමුදා දෙකක් ග‍ඟේ දෙපැත්තේ කඳවුරු බැඳගත්තලු පහුවදා උදේම යුද වදින්න ලැහැස්තියෙන්. එක හමුදාවක් පිරිස් බලය හුඟක් අඩු වුනත් ඔලුවෙන් ගහන අණදෙන නිළධාරියෙක් ඉඳලා තියෙන්නෙ. මිනිහා මොකද කලේ මෘදු විරේක බේතක් (Mild Laxative) රෑ කෑම එකට කවලම් කරපු එකයි. රෑ එලි වෙනකල් මුං පන්දම් අරගෙන ගඟට බහිනවලු ආපහු එනවලු. අනිත් පැත්තෙ හිටපු උන් මේක බලං ඉඳලා, යකෝ බොග දාන්නම මෙච්චර සංඛ්‍යාවක් රෑට ගඟට බහිනව නම් මුං එක්ක සටන් කරන්නෙ කොහොමද කියලා එලිවෙන්න ඉස්සෙල්ල කඳවුරු ඉවත් කරගෙන පහු බැස්සලු.

    අනික අර පෘතුගීසිත් එක්ක කාලතුවක්කු සටනක් කරපු එක. විචාරක නොදැන ඉන්න හේතුවක් නෑ, දන්නෙ නැතිනම් විතරක් කියන්නකො. අත රිදෙනවා. ඉතින් නවතිනවා.

    ඒක නෙවෙයි. මොකද විචාරක මගේ කමෙන්ට් awaiting moderation කියලා වැටිලා තියෙන්නෙ?

    • ඔය කතාව මම අහලා තියනවා. නමුත් ඔබ එය මෙතනට එකතු කිරීමෙන් ලිපියට ආලෝකයක් ලැබුනා.

      කාලතුවක්කු කතාව මතක නැත.

      එකම ප්ලේන් 4 වරින් වර විවිධ පාට ගා සතුරු භූමිය උඩින් යැව්වලු හත් අට සැරයක්. සතුරා හිතුවලු බුදු අම්මෝ මුන්ට තියන ප්ලේන් ගොඩ කියලා. ඔන්න ඔහොමයි සයි ඔප්ස්. 😀 😀

      • කාලතුවක්කු කතාව මෙහෙමයි.

        පෘතුගීසි 1505 ට කලිනුත් ලංකාවට ආවලු. ඇවිත් මුහුදෙ නැංගුරම් දාගෙන එලිය වැ ටෙනකල් ඉන්නවලු. අපේ බුද්ධි අංශෙත් ඔය වගෙ දැනගෙන Psy Op එකක් කලාලු ඔය විශේෂ සංග්‍රාමෝපායයන් පිළිබඳ විශේෂඥයෝ ‍රැස් කරගෙන.

        ඒ කාලෙ තිබිච්චි බලගතුම අවියක් කියනවනෙ කාල තුවක්කුව. ඉතින් අර ප්‍රතුගීසි නැව් වල තිබ්බ තරම් කාලතුවක්කු අපිට තිබිලා නෑ. පස්සෙ මොකද කරන්නෙ උස මහත කාල වර්ණ පිරිමින් ‍රැස් කලාලු මහ රෑම. ‍රැස් කරලා හැම එකාම නිරුවත් කරලා කලු පාට ගාලා නැවෙන්න කියලා පස්ස පැත්තෙ සුදු හුණු වලින් රවුමක් ඇඳලා. එලිය වැටීගෙන එක්නකොට මුන් ටික නැව් පැත්තට පස්සවල් දික් කරගෙන පස්ස පැත්තෙ හුණු රවුමත් ඇඳගෙන නැවිලා දනිස් අල්ලගෙන ඉන්නවලු වෙරල දිගට.

        යාන්තම් එලිය වැටීගෙන එනකොට පෘතුගීසි කාරයො දුර දක්න වලින් වෙරල දිහා බලනකොට පේනවලු කාලතුවක්කු සිය ගානක් තමන්ගෙ දිහාට එල්ල වෙලා තියෙනවා.
        වහාම නැංගුරම් උස්සාගත්ත නැව් කණ්ඩායම කලුවරේම මාරු වුනාලු.

        ප. ලි: මේකෙ පලියකුත් තියෙනවා. පස්සෙ සුබ පැත්මේ තුඩුව හරියේ යාත්‍රා කරනකොට කපිතාන් අහනවලු උප කපිතාන්ගෙන් “මොකද මේ අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ?” කියලා.

        “මම මේ කල්පනා කලේ කපිතාන්, සාමාන්‍යයෙන් අර ඉලක්කෙ අල්ලන කෑල්ල තියෙන්නෙ තුවක්කුවේ කඳේ උඩ පැත්තෙනෙ. අර ලංකාවෙ වෙරලෙ තිබ්බ ඒවයේ ඒ කෑල්ල තිබ්බෙ යට පැත්තෙ” උප කපිතාන් කිව්වලු.

      • හැක්..හැක්..

      • හෙහ් හෙහ් හෙහ් …. හෙන්රි අයියා දන්න ඒවා.

      • ඩුඩ් අයියගේ කතාවට හිනා වෙලා ගෙදර අයත් ඇහැරලා බලනවා ඇයි කියල.. 😀

  15. හැමදාම කියවලා ගියාට අද තමා මුල්ම කොමෙන්ටුය දාන්නේ.
    ලිපියනම් නියමයි
    උදාහරණ සුපිරියි , ඒකෙනුත් අන්තිම එක උත්කෘෂ්ඨයි.
    අපි වෙනුවෙන් අපි නොදන්න දේවල් අමාරුවෙන් හොයලා කරන මේ දේ නම් අනේ නවත්තන්න නම් එපා.
    ජයවේවා!

    • අමිත්, ‘කුමාර් ගනේගොඩ’ කියන්නේ ලංකා යුද්ධ හමුදාවේ සිටි (අද විශ්‍රාමික) දක්ෂ ජනප්‍රිය කර්නල් වරයෙක්.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  16. පෞද්ගලික ජීවිතයේදිත් අපිට සයි ඔප් භාවිතා කලයුතු තැන් එමට ඇතිවෙන නිසා…තව දුරටත් අප දැනුවත් කරනු මැනවි…

  17. විචාරක තුමා මට මතක්වෙන්නේ THE PROTOCOLS OF THE ELDERS OF ZION කියන එක. ඔය මගින් අද වෙනකං කීයක් සයි ඔප්ස් කරන්න ඇත්ද? හිට්ලර් ගේ සයි ඔප්ස් පදනම් වුනේ ඔය පොත තුලින් නේ.

    • සයි ඔප්ස් ගැන අන්තර්ජාලයේ තියන කරුණු ඔක්කොම ලියන්න නම් ලිපි 5 ක් වත් යයි. නමුත් මම ඉතා සරල සහ අවශ්‍යම කොටස් පමණයි කියන්නේ. එවැනි න්‍යාය සහිත පොත් ගොඩක් තියනවා. ත්සුන් සු ගේ පොත් පවා තියනවා.

  18. හ්ම්ම් සයි ඔප්ස් ටිකක් ඉගනගන තියා ගන්න ඕන.. 🙂

    අර ලියුමෙ සයි ඔප්ස් එක නිකන් දෙකයි පනහේ එකක් කිව්වට ඒක මාරයිනෙ.. එතකොට දාස් ගනන් වල සයි ඔප්ස් කොහොමට ඇත්ද.. ආසාවේ බෑ දැනගන්නකම්…

    විචාරක මහත්තයටත් කියන්න තියෙන්නෙ අපිට ස්යි ඔප්ස් නොදා වැඩේ දිගටම කරගන යන්න කියලා තමා 🙂

  19. මේ ලිපියනම් කීයටවත් අසාර්ථක වෙන්නෙ නෑ.නියම මතෘකාව.ඊලඟ කොටසත් ඉක්මනට දාන්න

  20. වියට්නාම් යුද්ධය ඇමරිකාව අනා ගන්නට Psy Ops බලපෑවාද?

  21. ගොඩක් හොඳ ලිපියක් !

  22. හොඳ ලිපියක් අනිත් ලිපිත් රසවත් වෙවියි සිතනවා.

  23. ඉමල්ක ද සිල්වා said:

    ඉතිරි ටිකත් ඉක්මනට දාන්නෝ , LTTE එකට විරුද්ධව අප විසින් භාවිතා කල සයි ඔප්ස් සහ ඔව්න් විසින් අපට විරුද්ධව යොදා ගත් සයි ඔප්ස් ගැනත් විස්තර ටිකක් පුළුවනි නම් දාන්නකෝ විචාරක තුමෝ

    • අපි එල්.ටී.ටී.එක ගාවාගන්නේ නැතුව ඉම්මුද? අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනවා ඒවා ගාවගත්තොත්. ඒ ඇසුරෙන් සමහර දේවල් කියන්නම්.

      • ඉමල්ක ද සිල්වා said:

        ප්‍රශ්නයක් නෑ විචාරක තුමා , මටත් පස්සේ එක හිතුන සමහර ආරක්ෂක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියල 🙂

  24. අනේ මටනං නිතං ග්‍රීක් වගේ….. 😀 හැබැයි Black Ops නං දන්නවා

  25. අපිට ටැස් කරලා බලන්න එකකුත් කියන්ඩ…

  26. ලංකාවෙ ඒව ගැන කතා නොකර ඉමු කිව්ව නිසා ඔන්න මම මොකුත් අහන්නෙ නෑ ඒ ගැන. 😀

    ඔය ඔලුවෙන් ගැහිල්ල ගැන කියවපු ජනප්‍රිය කතාවක් මතක් වුනා, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා.

    රසවත් මාතෘකාවක් වගේ, ඉතුරු ටිකත් ලියන්නකෝ හෙමිහිට. මම හිතන්නෙ අසනීප උනාට පස්සෙ දැන් වෙනදට වඩා අඩු කාලයක් වෙන්න ඇති කම්පියුටර් එක ඉස්සරහ ගතකරන්නෙ.

    • මම කැමති නෑ ලංකාවේ දේවල් කතා කරලා නිකම් කුණු ගොඩවල් අවුස්සන්ඩ.

      මොන්ත ක්රිස්තෝ සිටුවරයා හරිම ලස්සන කතාව. අස දවල් Z Studio සැටලයිට් චැනල් එකේ තිබුනා.

      අනේ ඔව්. දැන් දවසකට උපරිම පැය දෙකකට වඩා පරිගණකය සමග ගත කරන්නේ නැහැ. ඒ මදිවට පරිගණකයත් වරින්වර නවතිනවා.

      • සැටලයිට් චැනල් එකේ තිබුනා කිව්වෙ ෆිල්ම් එකද, ඒක නම් හරිම අවාසනාවක් මම හිතන්නෙ. ඒ වගේ මහා නවකතාවක් රූප මාධ්‍යයට නගද්දි කතාව කියවද්දි ඇතිවුනු අපේ විචිත්‍ර චිත්ත රූප විනාශවෙලා යනවනේ. විශේෂයෙන් ඒ කතාව මට මතක් වුනේ මේ දවස්වල මම ඒ පොත් සෙට් එක ආපහු කියවන නිසා, කීවෙනි පාරටද කියල මටම මතක නෑ.

        • ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා.අප කියවා ඇති ලෝකප්‍රසිද්ධ නවකථා මෙන්ම දේශීය නවකථා සිනමාවට හෝ රූපවාහිනියට නගා ඇති ආකාරය දකිනවිට තරහ ඇතිවන අවස්ථාත් තිබෙනවා.

  27. “මෙහෙම කිව්වහමත් බරපතල වැඩියිද? ” අපෝ නෑ..

    දේශපාලන ඇමවල් ගැන නම් කතාකරලා වැඩක් නෑ.. ඒ වගේම දෙකයි පනහේ ඒවානම් ඕනාතරම්නෙ..

    ඊළඟ ලිපිය එනකම් බලන් ඉන්නවා..

    • ඔබට බරපතල වැඩි වේ යයි යන හැඟීම නිසා සෑම විටම උත්සාහ කරන්නේ සරලව කීමටයි.

      තුට්ටු දෙකේ දේශපාලනය ගැන කතා කිරීමත් මෝඩකමක්.

      ඊළඟ කොටස ඉක්මනින් දෙන්නම්.

  28. ලෙසටම ලියල තියෙනව විචාරක තුමා…
    අර අති භයානකත සයි ඔප්ස් ටිකක් දාමුනේ….
    කාලෙකට පස්සෙ අ‍වෙ නේ..
    පරණ පෝස්ට් ටික කියවල ඒකෙම කමෙන්ට් කරල යන්නම්… 🙂

  29. ඉස්තරම්! ඔබට බොහොම ස්තූතියි. පලමුවන හා දෙවන ලෝක යුද්ධවලදී භාවිතා වුනු ස්යි ඔප්ස් ක්‍රියාකාර කම් ගැන ඉදිරියේදී කියවන්න්නට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

  30. ඔය මනෝ විද්‍යාත්මක මෙහෙයුම් වල ඒක අංගයක් නේද ” ගොබල්ස් තියරිය ” ……..අර 7.30 / 8.00 රෙදි හෝදන නාලිකා දෙකේ …. පට්ට ගහන්නේ……
    දුටු ගැමුණු රජ තුමා එළාරගේ ප්‍රධාන සෙන්පතියාව මරන්ඩ් හදපු බලකොටු සහ ප්‍රතිමා ත් ඔය මූලධර්මය මත ඉදිකළ ඒවා වෙනඩ ඕනි…
    එතකොට ගජබා රජු … කුඩා සේනාවක් සමගින් සිටින විට වැටලීම ට පැමිණි දෙමල සේනාවක් එලවීමට ඉදුල් ගැ නෙලුම් පත් විශාල ප්‍රමාණයක් විසර වූ බව කියන වා …ඒවා දැකපු දෙමළ සෙන්පති .. සේනාව ආපසු හ්රෙව්වාලු ….
    තව ඔය මද්දුම බණ්ඩාර චරිත කතාව ජනප්‍රිය කිරිම ඉංග්‍රීසි පාලකයන් විසින් ලංකාවේ රජවරු කුරිරු පාලකයන් බව ඒත්තු ගැන්වීමට පාසල් වල ඉගැන්නුවාලු …… එකත් සයි ඔප්ස්

    • හපොයි ඔය වන්දිභට්ට නාලිකා ගැන කතා කිරීමෙන් වැඩක් නැත.
      දේශපාලන සයි ඔප්ස් වලින් නම් අපේ රට කප් ගහලා තමයි තියෙන්නේ.
      සුද්දා අපිට තවමත් සයි ඔප්ස් දානවා.

  31. මේකනම් කොහෙත්තම එපා වෙන්නේ නැහැ. ලොකු රසයක් ඇති ලිපි පෙළක ආරම්බයක්. හැකි හැම අවස්ථාවකදී ඉතුරු කොටස් ටිකත් දාන්න.

  32. දැන් අසනීප තත්ත්වය එහෙම කොහොමද?

    අර හෙන්රි අයියා කියපු කතාවනම් මම අහලා තියෙන්නේ මුහුද අයිනේ දිගටම පොල් කොටන් තිබ්බා කියලා කාලතුවක්කු වගේ.

    සයි ඕප්ස් වලින් මෑත කාලෙදි අහපු දරුණුම සිද්ධිය විදියට මතකෙට එන්නෙ ඉරාකෙ න්‍යෂ්ඨික ආයුධ තියෙනවා කියපු එක. ඉරාකෙදි හම්බ උණේ අමෙරිකාවෙන් ඉරානෙට ගහන්න දීපු අවි ටිකක් විතරයි අන්තිමේදී.

    බුදු හාමුදුරුවෝ ගාවටත් දර මිටි බඩේ බැඳගෙන ගියාලුනෙ ඒ කාලෙත්…. 😀

    • අසනීප තත්වය 90% ක් තරමට සුවයි. ස්තුතියි සුවදුක් විමසීම ගැන.

      හෙන්රිගේ කතාව සත්‍යය පදනම් කරගත් උපහාසාත්මක කතාවක් කියලයි මමත් හිතන්නේ.

      ඉරාකය වෙනුවෙන් ඇමරිකාව ඉතා දීර්ඝ කලකට පෙර සිට තමයි සයි ඔප්ස් පටන් අරන් තිබුනේ.

      කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්න කියලා පටාචාරාවට බුදුහාමුදුරුවෝ කියපු එකත් සංසාරයේ ස්වභාවය අවබෝධ කරදීම සඳහා කළ සයි ඔප් එකක්.

  33. ලිට්ල් ජෝන් said:

    ලිපි ටික නම් මුල ඉදලම කියෙව්වත් අදයි කොමෙන්‍ටුවක් දාන්නේ.අවන්කවම හිත් ගන්නවා ලිපි පෙල.මැනේජ්මන්ට් සයි ඔප්ස් ගැන්ත් ටිකක් කියලා දෙන්න පුලුවන්ද මහත්මයා

    • මුලින්ම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙහි පැමිණීම සහ ලිපි කියවීම පිළිබඳව. මා හැමදාමත් බොහෝ දෙනෙකුට කියන්නේ අදහස් නොදැක්වුවත් ලිපි කියවන සෑහෙන පිරිසක් ඉන්න බව මම දන්නවා.
      මැනේජ්මන්ට් සයි ඔප්ස් කියන්නේ සාමාන්‍ය කළමනාකරණය යන අදහස නම්, ඉතා කනගාටුවෙන් කියන්නට තිබෙන්නේ, එය මා නොදන්නා විෂයයක් බවයි.

  34. මේ ලිපි පෙළ දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා….

    කලින් මේ පැත්තතෙ ආවත් කමෙන්ට් කරන්නෙ පළවෙනි වතාවට වෙන්න ඕන…

    • අදහස් දැක්වුවත් නැතත් ඔබව සාදරයෙන් පිලිගන්නවා. මා හොඳින්ම දන්නවා අදහස් දැක්වුවේ නැතත් සෑහෙන පිරිසක් මේ ලිපි කියවනබව. ඔබේ දැනුමට යමක් එකතුවුනානම් මට සතුටුයි.

  35. හොඳට කාලය අරගෙන කියව්වා මම නම්. වේගෙන් කියවනවට වඩා ඒක හොඳයි. මම එහෙම කියවන ලිපි ලියනාය ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ඔබ තුමා. මම හිතන්නේ ඔබ සාර්ථකයි.

  36. ඔබතුමාගේ අසනීප තත්ත්වය හොඳයි කියල උඩින් සටහන් කරලා තිබුන. සතුටුයි ඒ ගැන.
    සයි ඔප්ස් බොහොම අවස්ථා වල යොදා ගැනෙනවා නේ බලන කොට. ඇත්තටම මේ වගේ විෂයයක් ලියන්න වෙන වෙහෙස නම් හිතා ගන්න පුළුවන්. ඒත් හෙමින් හෝ ලියමු. වෙන කොහෙන් කියවන්නද මේවා. අනෙක් ලිපිය කියවන්න හෙට එන්නම් විචාරක තුමා.

    • දැන්නම් සුවය ලැබී තිබෙනවා. ස්තුතියි සුවදුක් සොයාබැලීම ගැන.
      සයි ඔප්ස් අද ලෝකය පුරාම අපට හිතාගන්න බැරිතරම් පැතිරිලා තියනවා.

  37. බලුවාම් සෑහෙන්න වටිනවනේ සයි ඔප්ස් කිරිල්ලත්

  38. niyamai sir….sehena danumak labuna.oluwen gahana ekath oluwe kekkuma hedena wedak neda baladdi………

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: