විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


a-polish-soldier-allied-with-u-s-army-europes-173rd-airborne-brigade-combat-tea  පසුගිය දිනවල මා අසනීපව සිටි බැවින් නියමිත කාලය තුළ මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුනා. ඒ ගැන කණගාටු වන අතර මට සුවය පතමින්, ඉතා ඉවසීමෙන් මේ ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට මෙය සාදරයෙන් පිළිගන්වනවා.

පින්තුරය ගත්තේ මෙතනින්

 ‘අර ඉන්නේ අර’ ලිපියේ  පළමුවැනි කොටසෙන් ඔබට මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති, භූමියේ පිහිටි වස්තුවක් තවත් කෙනෙකුට පෙන්වාදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහිදී මා ඔබට එවැනි වස්තුවක්,  ඉලක්කයක් ලෙස ප්‍රකාශ කරන හැටිත් පැහැදිළි කර දුන්නා. නමුත් ඔබෙන් බහුතරය, හමුදා සාමාජිකයන් නොවන බැවින්, ඔබට කිසිවිටකත් එවැනි ඉලක්කයකට වෙඩි තියන්න ඉඩ නොලැබෙන නිසා, වෙඩි තැබීමේ පැත්ත අමතක කර, කිසියම් වස්තුවක් පෙන්වීමේ තවත් ක්‍රම ගැන, තවදුරටත් අද සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මෙවැනි ලිපි වලදී මා හැකිතරම් උත්සාහ කරන්නේ පාරිභාෂික වචන අඩුකොට, එදිනෙදා ව්‍යවහාර භාෂාවේ එන වචන හැකිතරම් දීමටයි. මා සිතන්නේ එවිට මේ ලිපිවලට පදනම් වන හමුදා ප්‍රකාශන වල තිබෙන, ‘දැඩි හමුදා ගතිය’ තරමක් හෝ අඩුවී, සාමාන්‍යකරණය වනු ඇතැයි කියායි.

 භූමියේ ඇති ඉලක්ක පෙන්වීමේ තවත් ක්‍රම කීපයක් තිබෙනවා. මේවායින් සමහරක් ප්‍රධාන ක්‍රම සමග සම්බන්ධකර භාවිත කෙරෙන අධාරක ක්‍රම ලෙසයි යොදාගන්නේ. නමුත් ඔබෙන් සමහර අය පළමුවරට මේ තොරතුරු කියවන නිසා ඒ සියල්ල වෙන වෙනම දැක්වීමට මා අදහස් කරනවා. මීළඟ ක්‍රමය ඉතා සරලයි. හැබැයි භාවිතයේදී ඉතා කල්පනාවෙන් කල යුතුයි. මතකතබාගන්න, යුද්ධයේදී වැරදීමක් වෙනවා කියන්නේ, මහා විනාශයකට මුලපිරීමක් විය හැකියි. මේ සරල ක්‍රමය හඳුන්වන්නේ වරහන් ක්‍රමය (Bracketing Method) යනුවෙන්. 

space 2

වරහන් ක්‍රමය –  Bracketing Method  

17-10

පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්


මේ පින්තුරයේ ඉන්න සොල්දාදුවාට, අර ඈත පෙනෙන ගස් යට ඉන්න සතුරකු, ඉලක්ක කරගන්න සිදුවෙනවා යයි සිතන්න. දැන් ඔහුට ඒ ඉලක්කයට ඇති දුර නිශ්චය කිරීමට ඇති එක ක්‍රමයක් තමයි වරහන් ක්‍රමය. ඔහු කලයුත්තේ මෙයයි. තමන් සිටින ස්ථානයේ සිට ඉලක්කයට ඇති උපරිම දුර මීටර්/යාර මෙපමණකැයි ඔහු මුලින්ම හොඳින් සොයාබලා තීරණය කලයුතුයි. ඊළඟට එලෙසම එම ඉලක්කයට ඇති අවම දුර මෙතෙකැයි තීරණය කලයුතුයි. දැන් ඒ උපරිම දුර සහ අවම දුර යන දෙක එකට එකතු කර දෙකෙන් බෙදීමෙන් ඉලක්කයට ඇති දුර මෙතෙකැයි යන සාධාරණ නිශ්චය කිරීමක් ලැබෙනවා. උදාහරණය:-  උපරිම දුර මීටර් 400 යි. අවම දුර මීටර් 300 යි. එකතුව මීටර් 700 යි. දෙකෙන් බෙදුවිට මීටර් 350 යි. ඒ අනුව ඉලක්කයට ඇති දුර මීටර් 350 සේ සලකා තම තුවක්කුවේ කුරුමානම සැකසිය යුතුයි. ඊළඟ ක්‍රමය හඳුන්වන්නේ භාග ක්‍රමය යනුවෙන් (halving method)

space 2
භාග ක්‍රමය – (Halving Method)

භාග ක්‍රමය වරහන් ක්‍රමයේ ප්‍රතිවිරුද්ධ පැත්ත වගේ පෙනෙනවා. මෙයත් ඉතා සරල ක්‍රමයක්. මෙහිදී කරන්නේ තමන් සිටින ස්ථානය සහ ඉලක්කය අතර හරි මැද පිහිටි කිසියම් වස්තුවක් වෙත මුලින්ම දුර නිශ්චය කිරීමයි. ඉන්පසු එය දෙකෙන් වැඩි කිරීමන් ඉලක්කයට ඇති දුර මෙතෙකැයි නිගමනය කරනවා.

bberryaug12 419පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්

  මේ රූපය අදාළ කාරණය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් මිස, නිශ්චිත පරිමාණයකට අනුව සකස් කර නැති පින්තුරයක් බව විශේෂයෙන් සඳහන් කරනවා.

space 2

යතුරු ක්‍රමය – Key Ranging Method

  කිසියම් නිශ්චිත දුරක් මූලික මිනුමක් හෙවත් යතුරක් ලෙස යොදාගෙන දුර මැනීමේ ක්‍රමයක් ද තිබෙනවා. එය හඳුන්වන්නේ ‘යතුරු ක්‍රමය – Key Ranging Method’ යනුවෙන්. උදාහරණයක් වශයෙන්, අපි දන්නවා, පාපන්දු පිටියක් මීටර් 100 ක් පමණ දිග සහ මීටර් 50 ක් පමණ පළල බව. ඉතින් අප ඉදිරිපිට පාපන්දු පිටියක් තිබේ යයි සිතන්න. අපට දුර නිෂ්චය කිරීමට අවශ්‍ය වස්තුව, එම පිටියට පසු පසින්, තරමක් දුරින්, පිහිටා තිබෙනවා යයි සිතන්න. දැන් අපිට පුළුවන් අපි සිටින තැනත් ඒ වස්තුවත් අතර මැද ප්‍රදේශය පාපන්දු පිටිය මෙන් කොපමණ ගුණයක් ආවරණය කරනවාදැයි ගණනය කරන්න, අර පාපන්දු පිටියේ දිග හෝ පළල යතුරක් ලෙස යොදාගනිමින්. නමුත් එක කරුණක් මෙහිදී පැහැදිලිව මතක තබාගන්න මේ ක්‍රමය මීටර් 400 කට වඩා දුර ඉලක්ක නිශ්චය කිරීමට ගැලපෙන්නේ නැහැ. වෙනත් වචන වලින් කියනවානම්, මීටර් 400 කට වඩා ඔබ්බෙන් තිබෙන ඉලක්ක මේ ක්‍රමයෙන් නිවැරදිව නිශ්චය කරන්නට බැහැ.  

2012-09-30_08-10-48_4652

පින්තුරයේ මුල් පිටපත ගත්තේ මෙතනින්. මෙම පින්තුරය පරිමාණයකට අනුව සකස්කර නැති බව සලකන්න.

space 2

ඔරලෝසු ක්‍රමය – Clockray Method

  පසුගිය ලිපිය කියවූ සමහර අය මේ ක්‍රමය ගැන මතක් කර තිබුනා. තවත් සමහරු එය ඉගෙනගන්නට උනන්දුව දක්වා තිබුනා. හොඳයි එහෙනම් මෙන්න ඉලක්ක පෙන්වීම සඳහා වඩාත් ජනප්‍රිය ඒ ඔරලෝසු ක්‍රමය. මෙහිදී ඉලක්කය පෙන්වීම සඳහා උපයෝගී කරගන්නේ මනඃකල්පිත ඔරලෝසු මුහුණතක්, අප ඉදිරිපිට පරිසරයේ හොඳින් කැපීපෙනෙන ස්ථානයක රැඳවිමෙන්. මෙය වර්තමානයේ බහුලව යොදාගන්නා සංඛ්‍යාංක (Digital) ඔරලෝසුවක් නොව පැරණි ප්‍රතිසම (Analog) (හරිද වචනය?) ඔරලෝසුවක්. එමෙන්ම ඒ ඔරලෝසුවේ වෙලාව දක්වන ඉලක්කම් තිබුනත් ‘කටු’ (hands) පිහිටා නැහැ. කටු සවිවන, ඔරලෝසු මුහුණතේ හරි මැද, ලක්ෂ්‍යයක් ලෙස, අපිට අවශ්‍ය කැපී පෙනෙන ස්ථානය මත පිහිටවනවා.

village

  මේ රුපය ඇසුරෙන් මම ඉතිරි කරුණු ඔබට පැහැදිලි කරන්නම්. මේ ක්‍රිකට් පිටියට පසුපසින් විශාල නිවසක් තිබෙනවා. මෙම නිවසේ දුම් කවුළු කීපයක් තිබෙනවා. හොඳින් පරීක්ෂාකර බැලුවොත් ඔරලෝසුවේ 9 ඉලක්කමට පසුපසින්, ඔරලෝසුවේ හරි මැද, ඔරලෝසුවේ 3 ඉලක්කම අසල, 3 ඉලක්කමට ටිකක් ආසන්නව, 3 ඉලක්කමට ටිකක් ආසන්නව තරමක් පහලින්, සහ 3 ඉලක්කමට තරමක් ඈතින් දුම් කවුළු පිහිටා තිබෙනවා. නමුත් මේ සියලු දුම් කවුළු අතරින් වඩාත් කැපී පෙනෙන්නේ සුදුපාට විශාල දුම් කවුළුවයි. ඒ නිසා මම මට අවශ්‍ය ඉලක්කය පෙන්වීමට ඔරලෝසුව පිහිටුවන්නේ ඒ සුදුපාට විශාල දුම් කවුලුවෙයි. දැන් සිතන්න, 3 ඉලක්කමට නැගෙනහිර පැත්තෙන් ඇති, දුඹුරු පැහැති, විශාල දුම් කවුළුවෙහි සැඟවී සිටින සතුරකු, මට නිරීක්ෂණය වුනා කියා. මම ඒ බව ඔරලෝසු ක්‍රමය අනුව ඔබට කියන්නේ මෙහෙමයි. “ඉදිරියේ ඇති විශාල ගොඩනැගිල්ල”, “සුදුපාට ලොකු දුම් කවුළුව”, “3 වෙලාව”, “දුඹුරු පාට ලොකු දුම් කවුළුවේ සතුරා”. (මම ඊතලයක් ඇඳ තිබෙන්නේ 3 වෙලාව යන්න ඔබට පැහැදිලි කිරීම සඳහායි)  ඊළඟට තිබෙන්නේ ඔබ කලයුතු අභ්‍යාසයක්. මොහොතකට සිතන්න මේ ක්‍රීඩා පිටිය හිස්ව තිබෙන්නේ කියා. ඉදිරි භූමියේ ඇති කාර් දෙකෙන් එකක් අසල බිම සතුරන් දෙදෙනෙක් ඉන්නවා. (කී දෙනෙක් හිටියත් කියන්නේ ‘සතුරා’ කියලයි) හොඳයි දැන් ඔබ මට පෙන්වාදෙන්න ඒ සතුරන් දෙදෙනා සිටින තැන ඔරලෝසු ක්‍රමය අනුව.  ඉහත මා දක්වා ඇති ආකාරයට විස්තර කල යුතුයි. (ක්‍රීඩා පිටිය හිස්ව තිබෙන බව සිතන්න කිව්වේ එහි ක්‍රීඩා කරන අතරේ ඒ හරහා යන ලෙස වෙඩි තියන්න බැරි නිසා) 

  ඉලක්කය පෙන්වූවාට පසු එයට ඇති දුර නිශ්චය කර වෙඩි තැබීමේ අණ නිකුත්වන තුරු සිටිය යුතුයි. ප්‍රහාරක කණ්ඩායමේ නායකයා තමයි කියන්නේ වෙඩි තබන ආකාරය. (තනි උන්ඩද, පොකුරු වෙඩිද ආදී වශයෙන්)

  අප අවට පරිසරයේදී පුද්ගලයකු කිසියම් නිශ්චිත දුරකදී අපට පෙනෙන්නේ කෙසේද යන්න දැන සිටීමත් වැදගත්. එවිට ඔබට සිතාගන්න පුළුවන් ඒ පුද්ගලයා ආසන්න වශයෙන් ඔබට කොපමණ දුරකින් ඉන්නවාද කියා. පහත දැක්වෙන සටහන බැලීමෙන් ඔබට එය පැහැදිලි වෙනවා ඇති.

100

කිසියම් පුද්ගලයකු ඔබට මීටර් 100 ක් පමණ දුරුන් සිටින විට ඔහු හොඳින් හඳුනාගත හැකියි. මුහුණේ ඇති ලක්ෂණ, සමේ වර්ණය, අතේ තිබෙන දේවල් ආදිය පැහැදිලිව පෙනෙයි.

200

මීටර් 200 දී පුද්ගලයාගේ මුහුණේ වර්ණය පෙනේ. එහෙත් පැහැදිලිව හඳුනාගැනීමට නොහැකිය. අතේ තිබෙන්නේ මොනවාද කියා එක්වරම කීම අපහසුය.

pia-flight-swat-670-afpපින්තුරය ගත්තේ මෙතනින්

මීටර් 300 දී, එය මිනිස් රූපයක් බව, හැඩය අනුව ප්‍රකාශ කළ හැකිය. වැඩි විස්තර දැක ගැනීමට අපහසුය.

  මෙවැනි ලිපි වලින් ඔබේ දැනුමට යමක් එක්වන්නේනම් එය මට මහත් සතුටක්. මීළඟට මා සිතා සිටිනවා ‘යුද්ධයේදී ඔලුව පාවිච්චි කිරීම’ ගැන ලිපියක් ලියන්න. එය තරමක් ගැඹුරු කරුණු වලින් යුක්තයි. නමුත් වර්තමානයට අතිශයින් ගැලපෙන ලිපියක්. බලාපොරොත්තුවෙන් සිටින්න.

My Signature for Blog2013 ජනවාරි මස 25 වැනි දින 2246 පැය

Advertisements

Comments on: "අර ඉන්නේ …අර,….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – දෙවැනි කොටස – Judging Distance and Target Indication – Part Two" (71)

  1. බොහොම කාලෙකින් විචාරක මහතා ….
    ඉතින් මේ ලිපිවලින් ඇත්තටම මම දැනුමක් ලබා ගන්නවා. ඉතාම වටිනවා මේ මෙහෙවර…

  2. ඇනෝපිලිස් said:

    ඉදිරියේ ඇති විශාල ගොඩනැගිල්ල- සුදුපාට ලොකු දුම් කවුළුව- 4 වෙලාව – ඉදිරියේ ඇති කාර් එක අසල – සතුරා……… හරිද මන්දා ……….

  3. ඔබ දෙපලට හොදටම සුවද?ඉතා හොදට පැහැදලි උනා.උත්තරය;”සුදුපාට ලොකු දුම් කවුළුව” “4වෙලාව” “භුමියේ ඇති කාර් දෙකෙන් එකක් අසල බිම සතුරා”.

  4. විශ්ව රංගනාත් said:

    “සුදුපාට ලොකු දුම් කවුළුව”, “4 වෙලාව”, “මෝටර් රථය අසල සතුරා” ඔන්න පිළිතුර.

    අනර්ග ලිපියක්. ඔබගෙන් ලිපියක් එනකම් බලාගෙන හිටියා. මෙවැනි දේ සාමාන්‍ය ජීවිතයේදී පවා වැදගත් වන අවස්ථා තියෙනවා.

    හමුදා ප්‍රකාශන වල තිබෙන, ‘දැඩි හමුදා ගතිය’ සහිතව මොනවා හරි ලියලා පෙන්වන්න පුලුවන්ද?

  5. “ඉදිරියේ ඇති විශාල ගොඩනැගිල්ල”, “සුදුපාට ලොකු දුම් කවුළුව”, “4 වෙලාව”, “බිම කාර් එක අසල සතුරා”.

    හිතට එන ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැත්තෙ ඔබතුමා වෙහෙසකරවීමට අකමැති නිසා.. ඒත් එකක් අහන්නම්..

    මම මෙච්චරකල් ඔරලෝසු ක්‍රමය හිතාගෙන හිටියේ මෙහෙමනෙ..

    මම තමයි යුධ භටයා.. මමත් මගේ කණ්ඩායමත් හැමතිස්සෙම ඉන්නෙ පොළවට සමාන්තරව බිම එළලා තියෙන ඔරලෝසුවක මධ්‍යලක්ෂ්‍යයේ.. අණදෙන්නාට තියෙන්නෙ එතන ඉඳන් දොළහා තියෙන තැනත් ඒ අනුව වෙලාවත් කියන්න..

    සුවය ලැබීම ගැන සතුටුයි.. තව විවේක ගත්තානම් හොඳයි..

    • උත්තරය හරි. බිම කියන වචනය අවශ්‍ය නැහැ.

      අපි ඔරලෝසුවේ මධ්‍ය ලක්ෂ්‍යයේ හිටියොත් 4 ඉලක්කමේ සිට 5,6,7,8,දක්වා ප්‍රදේශය අපේ පසුපසට එනවා. එවිට අපට පාඩුයි.

      තවමත් පූර්ණ සුවය නැහැ. කැස්සක් හැදිලා බෙහෙත් බොනවා.

  6. මාද කියව්වෙමි..දුර ගැන අවබෝධයක් ගතිමි.

  7. අපිටත් යුද්ධ කරද්දි ලැබෙන අත්දැකීම් ගැන යම් අවබෝධයක් ලැබෙනවා…

  8. “සුදුපාට ලොකු දුම් කවුළුව”, “4 වෙලාව”, ” කාරෙක අසල සතුරා”

    මේ සමහර ක්‍රම අපි එදිනෙදා ජීවිතේදී සරළලෙස උපයෝගී කරගන්නා උපක්‍රම නේද ?

    ස්තූතියි විචාරක මහතා.

    • උත්තරය හරි.

      ඔව්, මේ ක්‍රම මෙසේ කියාදෙන්නෙත් එදිනෙදා ජීවිතයේදී යම් ප්‍රයෝජනයක් ලබාගැනීම සඳහායි. (හැබැයි යුද්ධමය නොවන කටයුතු වලට)

  9. මිස්ටර් ඇනෝනිමස් said:

    හරි එහෙනං ඔරලෝසු ක්‍රමෙත් ඉගෙනගත්ත! කොහොමද දැන් ඔබතුමාගේ සැප සනීප?
    ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් තියෙනවා නේද කෙලින්ම දුර ගණනය කරන්න පුළුවන් උපකරණ? හරියට බයිනෝ එකක් වගේම. මොකක්ද ඒකෙ ටෙක්නික් එක? ලේසර් බීම් එකක්ද පාවිච්චි කරන්නේ. මම ෆිල්ම් වල දැකලා තියෙනවා.

    • දැන් බොහෝ දුරට සුවයි. එහෙත් ගෙදරින් පිටත යන්නේවත් වාහනය පදවන්නේවත් නැහැ. පරිගණකයේ ඉන්නෙත් දවසකට පයක් පමණ.
      දැන් තිබෙනවා Laser Range Finder යනුවෙන් හැඳින්වෙන දුර මැනීමේ උපකරණ. ලේසර් ක්‍රමයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම චන්ද්‍රිකා පහසුකම් වලින් වැඩ කරන ඒවාත් තිබෙනවා.

      • /*Laser Range Finder යනුවෙන් හැඳින්වෙන දුර මැනීමේ උපකරණ.*/ වර්තමානයේ ඉඩම් වල මිනුම් කටයුතු වලදී භාවිතා කරන්නේත් මීට සමාන ක්‍රමයක් නේද.. තරංගය පරාවර්තනය වෙලා ආපහු එන්න ගතවන කාලය මත පදනම් වුනු දෙයක් සිද්ධ වෙනවා ඇත්තේ එතැනදී නම්.

      • සබැඳිය ලබා දුන්නට ස්තුතියි විචාරක තුමා.

  10. ආයෙත් ලිපි ලියනවාට සතුටුයි

  11. මං හිතපු උත්තරේ හරි.. මෙවැනි දේ ගැන දැනුවත් කරනවාට ස්තුතියි!

    කවුද අර පාර අයිනේ බෙලෙක් පෙට්ටියක් තියලා ගියේ.. හොඳ පාඩම එයාට 😀

    • ඔබේ දැනුම වර්ධනය වීම ගැන සතුටුයි.

      දන්නවද අර බෙලෙක් පෙට්ටිය යටවෙලා තියෙන්නේ ලෝකයේ ලොකුම වාහනයට. ටයර් එකක උස අඩි 13 යි.

      • සමාවෙලා උඩ කමෙන්ට් එක අයින් කරන්ඩෝ..

        http://en.wikipedia.org/wiki/Bagger_288

        මේකත් එක්ක බලපුවම ඕක කුරුමිට්ටෙක්..

      • අම්මෝ දැනුයි ගෙදර ආවෙ..

        මම පොඩි අත්හදාබැලීමක් කළේ වෙන තැනක තියෙන පින්තූරයක් මවුස් එක භාවිතා කරලා ඇදලා දාපුවාම ඒක වැටෙනවද බැලුවා..

        පත සයිස් URL එකක්නෙ වැටුනෙ…

        • ඉතින් ඔය කරන රස්සාව අතැරලා එවැනි විද්‍යාත්මක පර්යේෂණ කරන රස්සාවකට බැඳුනොත් හොඳ නැද්ද? අතන තියන ඒවා ඇදලා මෙතෙන්ට දාන්න පුළුවන්, මෙතන තියන ඒවා ඇදලා තව තැනකට දාන්න පුළුවන්.
          මේ අවුරුද්දේ රැකියාවේ වෙනසක් වෙන බව කිව්වා නේද? නැද්ද තවම ඒක වුනේ?

  12. තමන් තව කෙනෙකුට යමක් පෙන්නනකොට ඒ ඔබගේ අහවල් වෙලාව පැත්තෙන් සතුරා කියලත් කියනවා නේද?

    ඔබේ ප්‍රශ්නෙට උත්තරේනං ගොඩ දෙනෙක් උඩිං දීල තියෙනවනෙ.

    • වෙනත් කෙනෙකුගේ පැත්තට හැරුන ඔරලෝසුවක් ලෙස උපකල්පනය කිරීම ටිකක් අමාරු මෙන්ම වැරදීමට ඇති ඉඩකඩත් වැඩියි. නමුත් කරන්න බැරිකමකුත් නැහැ. සම්මත ක්‍රමය තමයි මා මෙහි පෙන්වා තිබෙන්නේ.
      ඔව් උත්තරය බොහොම දෙනෙක් දීලා තිබුනා.

  13. ඔය ප්‍රමාණ ගැන අදහසක් දීමට විචාරක කිව්වා වගේ බටහිර පාවිච්චි කරන එක ඒකකයක් පාපන්දු පිටි It’s the size of 10 football fields තව මම දකින මිම්මක් තමයි ඔලිම්පික් පිහිණුම් තටාක. This tank has a capacity if about 20 Olympic swimming pools. ඔය විදියට සුප්‍රසිද්ධ ලැන්ඩ්මාර්ක්ස් පාවිච්චි කරනවා බිග් බෙන්, අයිෆල් ටවරය, ගෝල්ඩන් ගේට් පාලම, මෑන්හැටන් දූපත වගේ, ඒවගේ කීයක්ද කියන්නත්.

    • ඔව් මමත් එහෙම දැකලා, කියවලා, තියනවා. අපේ රටේ නිකම් කතාවට කියනවා නේද බුදු අම්මෝ සිරීපාද කන්ද තරම් උසයි කියලා. අපිත් පටන්ගත්තානම් හොඳයි අපේ රටේ නිර්මාණ වලින් ඔයවගේ විස්තර කියන්න.

      • අරූගෙ බත් එක මිරිසවැටිය වාගෙ. සිරීපාද කන්ද වාගෙ කියලා දැනටමත් කියනවා විචාරක. 😀

        • අපොයි ඔව්, ඉස්සර සිරීපාදේ යද්දී, සිරීපාදේ විතර උස …….ගොඩවල් හම්බ වෙනවා, අපිත් ඒ වැඩේටම කැලේට රිංගනකොට. 😀 අයිෆල් කුලුනට වඩා ඩෝසන් කුලුන පොඩ්ඩයි කොට කියන කතාව අහලා ඇති නේද? 😀 😀 😀

    • ඒ කතාව දන්නෙ නෑනෙ විචාරකතුමෝ. 😦 ඒක මෙතන දාන්න බැරිනම් ඊයක වත් අමුණලා එවන්නකො.

      • කියඤ්ඤං කියඤ්ඤං, පිස්සු හැදෙන සඳ.
        මේක මගේ නිර්මාණයක් නෙවෙයි. සුප්‍රසිද්ධ චිත්‍ර කථා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් (කාටූන් එකක්)
        කාටූන් එකේ තියෙන්නේ මෙහෙම. අද බැඳපු ජෝඩුවක් හනිමූන් ගිහින්.මනමාලයා මනමාලිව අරන් ගිහිල්ලා තියෙන්නේ කඩුගන්නාව රෙස්ට් හවුස් එකට. ඒකට මනමාලිගේ හිතට එච්චර හරි නැහැ.
        මනමාලි ඇඳුම් මාරු කරන ගමන් මනමාලයට කියනවා, ‘ඔයා දන්නේ නෑ ඉස්සර මා එක්ක යාළුවෙලා හිටිය එක්කෙනා කිව්වේ මාව බැන්දම හනිමූන් එකට පැරීසියට එක්ක යනවා කියලයි’
        මනමාලයා ඒකට මෙහෙම උත්තර දෙනවා.
        ‘ඉතින් අනේ ඕක ඔයහැටි ගණන් ගන්න දෙයක් නෙවෙයිනේ. අයිෆල් කුලුනට වඩා ඩෝසන් කුලුන පොඩ්ඩයිනේ කොට’ 😀 😀 😀

  14. විචාරක මහත්මයා හොදින්ම සුවය ලබා ඇතියි සිතනවා….. මාත් ඔය ඔරලෝසු කටු ක්‍රමය ගැන හිතුවේ පොලවට සමානතර ඔරලෝසුවක මාධ්‍යය ලක්ෂයේ සිටින සෙබල කණ්ඩායමක් ලෙසයි……….. එතන තියන අවාසි දායක තත්වය පහධිලි කරන්ඩ පුලුවන්ද …………………………..? මේ වචන යුධ තත්වයක දී ප්‍රකාශ කරන්නේ කොහොමද ?
    අර ප්‍රශ්නෙට උත්තරේ ………. White Tower Four ‘ O Clock …….On the ground …. Blue Car …Enemy … … Engage ….. හරිද මන්දා ……..

    • සෑහෙන්න සුවය ලබා සිටිනවා. ඒ නිසයි නැවත ලිවීම ආරම්භ කලේ.

      ඔරලෝසුවේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිටියොත් 4,5,6,7,8, යන ඉලක්කම් අපට පසුපසින් තිබෙන නිසා ඒ පැතිවල තිබෙන ඉලක්ක පෙන්වන්න බැරි වෙනවා. (පසුපසට වෙඩි තියන්න බැහැනේ)

      “Large Building”, “White Large Chimny”, “4 O’Clock”, “In front of Car”, “Enemy”, “Fire”

  15. ලිපිය පරක්කු උනාට මේ තියෙන්නේ නියමෙටම…. දැන් අසනීප තත්වෙ කොහොමද?

  16. එල එල.ලිපිය නියමයි.කරුනු බොහොම පැහැදිලිව වැටහුනා.දිගටම ලියන්න. ජයවේවා
    අර බෙලෙක් පෙට්ටිය උඩ පාක් කරල තියෙන යකඩයා ලීටරේට කීයක් දුවනවද දන්නෙ නෑනේ……:)

  17. ඔබට දැන් සුවයි වගේ. බොහොමත්ම සතු‍ටුයි ඒ ගැන.
    ලිපිය ගැන කියනවා නම් අපූරුයි. අර පළවෙනියට සඳහන් කරන්නට යෙදුනු ක්‍රමය අප භාවිතා කරන ක්‍රමයක්. නමුත් ඔබ තෙවෙනියට සඳහන් ක්‍රමය නම් දැන සිටියේ නෑ. කොහොම උනත් සතුරන්ට ගිනි බිඳලා නෑ නෙව ඌරන්ට ඉත්තෑවන්ට හැර. උන් අපේ සතුරෝ නෙමේ. අපි උන්ට සතුරුකම් කලාට.

    • දැන් සුවවීම හොඳ අතට හැරිලා. එකයි මේ ලිපිය ඉදිරිපත් කලේ.

      මේ ක්‍රම මම ඔබ සැමට කියාදෙන්නේ, වනයේ සංචාරයක්, විශාල භූමියක තිබෙන දෙයක්, අනික් අයට පෙන්වාදීමට අධාරක ක්‍රම වශයෙන් භාවිත කිරීම සඳහායි.

  18. හිතනවට වඩා මේ දේවල් සෑහෙන්න සංකීර්ණයි බලන් ගියාම

  19. ආයෙම පාරක් කියවන්ට ඕනි. දැන් හොඳටම සුව ඇති කියලා හිතෙනවා ඔබ දෙපලට. වැඩිය මහන්සිවෙන්ට එපා. කෝ අර පිරිමි ලමයා සහ ගැහැනු ලමයා දිනවන ලිපිය….. 😀

    • හෙමින් කියවලා තේරුම් ගන්න. දැන්නම් අපි දෙන්නටම බොහෝ දුරට සුවයි. අර ලිපිය කාලකට වැඩිය ලියලා තියනවා. ඊට වඩා ප්‍රමුඛත්වය දියයුතු ලිපියක් නිසා ටිකක් ප්‍රමාදවෙයි.
      බොහොම ස්තුතියි.

  20. ඔබගේ ලිපි ඉඩක් ඇති විට කියවා ඇත.එහෙත් wp බ්ලොග්
    හි පිවිසීමට ඇති අපහසුව නිසා මග හැරේ.ඔබ අසනීපයෙන්
    සිටි බව දැනගන්නට ලැබුණි .ඉක්මන් සුවය ගැන සතුටු වෙමි .

    • මේ අඩවියට පිවිසීමට ඔබට යම් අපහසුතාවක් ඇත්නම් ඒ ගැන අතිශයින් කනගාටු වෙනවා. ඒ පිළිබඳව ඔබට දියහැකි තාක්ෂණික උපදෙසක්ද මා දන්නේ නැත.
      දුක සැප සොයාබැලීමත්, සුවය පැතීමත්, හැකි සෑමවිටම මේ අඩවියේ ලිපි කියවීම ගැනත් අතිශයින් ස්තුතිවන්ත වෙමි.

  21. හරි උත්තරේ හුඟ දෙනෙක් කලින්ම කියලනේ.

    ඔබ නැවත සුපුරුදු ට්‍රැක් එකට වැටී සිටින බව දැකීම සතුටක්.

    මම හිතන්නෙ මේ වගේ ප්‍රායෝගික ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරන්න ඕන. සෙබළුන්ට ඇරුනම මේව වඩාත් වැදගත් වෙන්නෙ පාසල් අවදියෙ ශිෂ්‍යයොන්ට. 😀

    • ඔව් බොහෝ දෙනෙක් පාඩම හොඳින් වටහාගෙන තිබුන නිසා නිවැරදි උත්තර දීලා තියනවා.
      මේ පාඩම් පාසල් ශිෂ්‍යභාටයන්ට උගන්වනවා. නමුත් ඔබ කියන ආකාරයට ශිෂ්‍යභට පුහුණුවට පමණක් සීමා නොකර වෙනත් විෂයයකට සම්බන්ධ කර උගන්වනවානම් හොඳයි.

  22. “ඔන්න මගෙන් ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම්! ඉක්මණින් සනීප වුවාට. දැන් ඉතින් හොඳට කාලා බීලා (ආයෙත් බොන්නේ නැතුව) පිරිහිලා ගිය ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමේ මෙහෙයුමේ නිරත වෙන්න….”
    ඔන්න මං කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකම ආපහු දැම්මා. ආයෙත් හද පත්ලෙන්ම ඔබ දෙපලට ඉක්මන් සුව පතමින්.

    අර ප්‍රසන්න කියපු විදියම තමා මාත් හිතන් හිටියේ. (බාගෙට අල්ලා ගැනීම කියන්නේ ඕකටනේ) අර යෝධයා හදන හැටි (CAT 702B) වීඩියෝ එකක් මං බලලා තියෙනවා. මුළු ඇමෙරිකාව පුරාම කෑලි හදලා පස්සේ එකතු කරලා හදන්නෙ. අනිත් යෝධයා ගැනනම් (හරී කියපු) ඇහුවෙත් අදයි.

    • හද පත්ලෙන්ම ඔබට කෘතඥ වෙනවා සුවය පැතීමටත් සෞඛ්‍යරක්ෂාව ගැන දුන් උපදෙස් වලටත්.

      අර ටිපර් එක ගැන ඩිස්කවරි නාලිකාවේ වැඩසටහනක් මමත් බලලා තියනවා. හරී පෙන්නපු යෝධයානම් මීට පෙර අහලාවත් තිබුනේ නැහැ.

  23. ආ ඔය ඇවිත් තියෙන්නේ සනීප වෙලා. ලිපිය නම් ගොඩක් වැදගත්. එකේ කියල තියෙන විදියට ඉදිරි ලිපි වලදී සැර බාල කරන්න එපා. මොකද මටත් තියෙනව පන වගේ බලාගන්න වායු තුවක්කුවක්. මීට‍ර් 300 විතර, නිවැරදි ඉලක්කයකට හානියක් කරන්න පුළුවන් දුරකට වදින. ඉතින් ඕවා අතහදා බලන්නෙත් එකෙන්ම තමා. එක නිසා සර බාල කිරීමට මාගේ බලවත් විරෝදය. ඒ වගේම ඒක අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්. 🙂

    • මීටර් 300 ක් වදින වායු තුවක්කුවක්? ඒකනම් වෙන්න බැහැ. හොඳම වායු තුවක්කුවකින්වත් බැහැ මීටර් 100 ඉක්මවලා වෙඩි තියන්න. මීටර් 100 දී වුනත් කඩදාසියක් හිල්වෙන තරමේ බලයක් තමයි තියෙන්නේ.
      සැර බාල නොකර ලියන්න සියලු උත්සාහ ගන්නවා. ටිකක් ‘ෂැන්ඩි’ දාලා ලියන්නම්. 😀

      • ඇත්තටම මීටර් 300 මම පරීක්ෂා කරලා නෑ. නමුත් මීටර් 100 පරීක්ෂා කර තිබෙනවා. ඇලුමිනියම් භාජනයක් සිදුරු කරන්න වෙඩි තියන්න පුළුවන්. එයට දමන මුනිස්සමත් බලපානවා. මම පාවිච්චි කරන්න තරමක් බාල වර්ගයේ චීනයේ නිෂ්පාදිත B3-2 එකක්.

  24. ඔබ සුවවීම සතුටක්,සර් මුස්ලිම් අන්තවාදය ගැන ඔබ සිතන්නේ කුමක්ද ?

    • ඉතා දීර්ඝ පිළිතුරක් දියයුතු පැනයක්. ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් තියනවා. පසුගිය යුද සමයේදී හමුදා බුද්ධි අංශ මගින් විවිධ තොරතුරු සොයාගත්තා. ඔවුන් බොහෝවිට සටන් ක්‍රියාමාර්ගයකට වඩා පිට රටවල සහයෝගය සහිත දේශපාලන ක්‍රියාමාර්ගයකට යොමුවනු ඇතැයි සිතෙනවා. අපේ දේශපාලකයන් බල ලෝභය වෙනුවෙන් පටු දේශපාලන කටයුතු වල නොයෙදුන තරමට මේ ප්‍රශ්නය දුරදිග නොයා විසඳන්නට පුළුවන්. මේ සඳහා බලය යොදවා මර්දනකාරී පිළිවෙතක් රජය සහ සිංහල ජනතාව විසින් කරවාගෙන එය ලෝකයට පෙන්වා අවධානය සහ අනුකම්පාව දිනාගන්නයි මේ අන්තවාදීන් හදන්නේ. වඩාත් බුද්ධිමත් ක්‍රියාමාර්ගය වන්නේ දැන්මම ඔවුන් මතවාදීව පරාජය කිරීමයි.

  25. නැවතත් සම්පූර්ණ සුවය ලබා අප අතරට පැමිණීම පිළිබද අතිශයින් සතුටු වෙමි. ඔන්න දැන් දුර මනින්න මමත් දන්නවා.. හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න..

  26. ඔබට අසනීප බව දැනගත්තා අද. ඔබ දෙපලටම සම්පුර්ණ සුවය ලැබී ඇති සිතමි. ඒ එක්කම මේ දුර මනින එක නම් අපිට හරිම වැදගත් වෙනවා ඔය කැලෑවක එහෙම රිංගල සත්තු ෆොටෝ ගන්න ගියාම එහෙම.

    • දැන්නම් සම්පූර්ණයෙන්ම වගේ සුවයි. ස්තුතියි ඔබට.

      හමුදා දැනුම සාමාන්‍ය ජීවිතයටත් යොදාගැනීම සඳහා තමයි මෙවැනි ලිපි ලියන්නේ.

  27. ඉස්සරහ ගොඩ නැගිල්ල,සුදුපාට දුම් කවුලුව,වෙලාව හතර,කාර් එක ගාව සතුරා..
    හරිද බලන්න විචාරක තුමා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: