විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


dengue_mosquito-health-careපසුගිය ජනවාරි පළමුවැනිදා මමත් මගේ බිරිඳත් කුරුණෑගල මහජන පොළ වෙත ගියේ ගිනි ගණන් වුනත් එළවලු වර්ග දෙක තුනක්වත් මිලදී ගන්නටය. පොලේ ඇවිදිද්දී අපි දෙදෙනාගේම මදුරුවන් දෂ්ඨ කළා මට හොඳටම මතකය. එයට හේතුව ඒ මහා දවාලේ මදුරුවන් දෂ්ඨ කිරීම නිසයි. කුරුණෑගල මහජන පොළ ආශ්‍රිතව ඇත්තේ කුණුවූ එළවළු ගොඩවල් බහුල, අත්හැර දමන ලද වෙල්යායකි. එහි සෑම විටම ජලය රැඳී පවතී. මදුරු ජනපද ලක්ෂ ගණනක් එහි පහසුවෙන් ජීවත්වනු නොඅනුමානය.

පින්තුරය ගත්තේ මෙතනින්

අපේ නිවාසය අවට භූමියද සම්පූර්ණයෙන්ම මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් නොවන බව අවංකව කිවයුතුය.  එක මදුරුවකු හෝ බෝවන්නට එහි ඉඩකඩ නැතුවා නොවේ. මේ නිසා ඩෙංගු මදුරුවකු මටත් බිරිඳටත් දෂ්ඨ කලේ හරියටම පොලේදීද නැතහොත් ගෙවත්තේදීද යන්න ස්ථිරවම කිව නොහැකිය. ජනවාරි 3 වැනිදා අපි දෙදෙනාටම  උණ, ඇඟපත වේදනාව, හිසරදය, ආහාර අරුචිය ඇතිවිය. වහාම කුරුණෑගල රෝහලට ගොස් ලේ පරීක්‍ෂාවක්ද කර බෙහෙත් ගතිමු. ඩෙංගු ගැන සැකයක් අප දෙදෙනාගේම රුධිර පරීක්ෂණ වාර්තාවේ නොතිබුණි.

ජනවාරි 5 වැනිදා පහන් වනවිට මගේ බිරිඳ අසාධ්‍ය තත්වයට පත්වුයෙන්, රෝහලට ඇතුළු කලෙමි. දවල් වනවිට බාහිරින් රුධිර පරීක්‍ෂාවක් කරගෙන එන ලෙස රෝහලෙන් ලද උපදෙස් අනුව කරන ලද පරීක්ෂාවෙන් ඩෙංගු බව සනාථ විය. එදින බිරිඳ රෝහලේ නවත්වා ආපසු නිවස වෙත කාරය පදවද්දී මට පැහැදිලිව වැටහුනේ මගේ ශරීර ශක්තිය පිරිහෙන බවත්, වරින්වර ඇස් නිලංකාර වන්නාක් මෙන් දැනෙන බවත්ය. ඉතා කල්පනාවෙන් කෙසේ හෝ නිවසටම වාහනය දක්කාගෙන එන්නට හැකිවිය. වහාම මිතුරෙකුට එන්නට කියා ඔහුගේ රථයෙන් ගොස් රෝහලේ නැවතුනෙමි. මටත් ඩෙංගු වැළඳී ඇති බව සනාථ විය.

ey4

පින්තුරය ගත්තේ මෙතනින්

යුද්ධය පටන්ගත්තේ එතැන්සිටය. අප දෙදෙනාගේම ළඟ ආවතේව කරුවකු සිටිය යුතු බව රෝහලෙන් දන්වන ලදී. ලොකු දුව ඈ සේවය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්අවසරයක් ගෙන මගේ බිරිඳ ළඟ නැවතුනත්, යටත්පිරිසෙයින් දින දෙකකටවත් වරක් සේවා ස්ථානයට යායුතු විය. ඒ වෙනුවට මගේ බිරිඳ අසල රැය පහන් කරන්නට ආවේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක වශයෙන්, අතිශයින් කාර්ය බහුල තත්වයක සිටින, මගේ බාල දියණියයි. ඇය දවසේ වැඩ නිමකර, සවස කොළඹින් පිටත්වී, රෑ වනවිට කුරුණෑගල රෝහල වෙත එයි. රාත්‍රිය ඇගේ මව අසළ ගතකර, පාන්දර 5 බසයෙන් යළි කොළඹ ගොස්, ඉගෙනීමේ කටයුතු (සමහරවිට සායන කටයුතු) වල යෙදෙයි. 

  මට ආවතේව කරන ලද්දේ වෙනත් රෝගීන් අසල සිටි සත්ගුණවත් පුද්ගලයන් විසිනි. කුරුණෑගල මහ රෝහලේ අංක 2 වාට්ටුව සියලු නවීන පහසුකම් වලින් සමන්විත පුංචි දිව්‍යලෝකයකි. එහි කාර්ය මණ්ඩලය දෙවිවරුන් හා දිව්‍යාංගනාවන් ගෙන් සමන්විතය. රෝගීන්ට සැළකීම අන්තිම ඉහලය.

  වස බිවු රෝගියකු මහ රෑ රෝහල වෙත ගෙන එන ලදී. ඔහු අමු කුණුහරපෙන් හෙදියන්ට සංසර්ගාරාධනා කරයි. වෛද්‍ය වරුන් මරණ බවට තර්ජනය කරයි. එහෙත් කාර්ය මණ්ඩලයේ කිසිවකුගේ මුහුණේ ඉරියව්වක්වත් වෙනස් නොවෙයි. දින දෙකක ප්‍රතිකාර වලින් අර ගොබිලා සුවවිය. ඉන්පසු ඔහු වාට්ටුවේ සිටියේ වාලධිය පශ්චාද්භාගයේ ගසාගත් සුනඛයකු මෙනි. මගේ බිරිඳට සෙවන වූ අංක 7 වාට්ටුවනම් අපායකි. කාර්ය මන්ඩලයනම් ඉතා ඉහල සේවයක් ලබාදෙයි. හැබැයි අපි දෙදෙනාටම වැටී සිටින්නට ඇඳන් ලැබුනේ දැන හැඳුණුම්කම් නිසාය.

  අපේ අසල්වැසි සියලුදෙනා අපේ පවුලම පෝෂණය කරන්නට තරම් මහාත්මා ගුණයෙන් යුක්තවිය. අප දෙදෙනාටම නොයෙක් පෝෂ්‍යදායක අහාරපාන තුන්වේලටම සපයමින්, දියණියන් දෙදෙනාටද ආහාරපාන ලබාදෙමින්, ඔවුහු කාලවේලාව බෙදාගෙන උදේ දවල් රෑ රෝහල වෙත පැමිණියහ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්‌ දිනක් රෑ බෝවී මා බලන්නට වැඩම කර, ආපසු වැඩියේ, මා දෙනෙතට කඳුළු නංවමින්, උන්වහන්සේගේම වියදමින් රැගෙන ආ ආප්ප, උන්වහන්සේගේම අතින් මට කවා, තේ ද පෙවීමෙන් අනතුරුවය.  දින 5 ක්‌ රෝහලේ ගත කිරීමෙන් අනතුරුව කරන ලද රුධිර පරීක්ෂණ දෙකකදී රුධිරයේ අයහපත් තත්වය නොකඩවා යහපත් අතට හැරෙන බව සනාථ වුයෙන් අප දෙදෙනාට රෝහලෙන් පිටවීමට හැකිවිය. නමුත් ඇඳෙන් නොබැස සිටින ලෙස දැඩි වෛද්‍ය අවවාද ලැබුණි. එහෙත් නිවසේදී වුවද අප දෙදෙනාවම එකවර බලාගැනීම අපහසු කාර්යයක් බැවින්, මා ටික දිනක් මගේ සහෝදරියකගේ නිවසේ නැවතීමටත්, බිරිඳ සහ ලොකුදුව නිවසේ නතරවීමටත් තීරණය විය. මා ආපසු නිවස වෙත පැමිණියේ ඊයේ (16) දිනදීය.

  තවමත් අපේ කුදු මහත් ප්‍රවාහන කටයුතු, (දින කීපයකට වරක් කලයුතු රුධිර පරීක්ෂාව සඳහා යාම වැනි දැන්නම් අපි දෙන්නාගේම platelets count එක 250000 මට්ටමේ ඇත) පමණක් නොව කෑමබීම පවා සැපයෙන්නේ අසල්වැසියන්ගෙනි. ප්‍රතික්ෂේප කළහොත් තරහවෙන තරමට ඔවුහු අප වෙත බැඳී සිටිති. කවදා කෙසේ මේ ණය ගෙවන්නද? “පතිරූප දේස වාසෝච” යන්න මනාව වැටහෙන්නේ දැන්ය.

  ඇබ්බැහිය කොහොම නවත්වන්නද? සහෝදරියගේ නිවසේදී ඇගේ පුතාගේ පරිගණකයෙන් ජංජාලයේ ටිකක් සැරිසැරුවෙමි. අක්කා තව පොඩ්ඩෙන් අර කොල්ලාවත් මරා, ඒ අහිංසකයාගේ පරිගණකයත් පොළොවේ ගසනවාය. හෙට අනිද්දා සිට සුපුරුදු ලෙස ලිවීම පටන්ගත යුතුය. එහෙත් මගේ පරිගණකයට මොකක්දෝ වී ඇති බව පෙනේ. ඒකටත් ඩෙංගුද දන්නේ නැහැ. 😀

කම්කරුවකු යොදවා මුළු ගෙවත්තම කාන්තාරයක් වන තරමට එළි පෙහෙළි කරවුයෙමි.

“ඇයි යකෝ අර ඉන්නේ” ලිපියේ දෙවැනි කොටස ඉක්මනින් දෙන්නම්. ඉවසීමෙන් ඉන්න.

My Signature for Blog2013 ජනවාරි මස 17 දින 1401 පැය

 

 

Advertisements

Comments on: "ඩෙංගු මාරයාගෙන් ගැලවුනෙමි" (119)

  1. කළු සහ සුදු said:

    ඔබ කියූ දේ ඔස්සේ මමත් මගේ ඩෙංගු අතීතයට ගියා…ඇත්තටම සත්කාරය කියන දේ..කොයිතරම් වටිනවද කියලා දැනෙන්නෙ අවදානමක් දැනිලා අසරණ වුන විටක…
    නමුත්…තවත් ටික කාලයක් ඔබ දෙපලම ප්‍රවේසම් විය යුතුයි…
    නිරෝගී සුව පතමි…

  2. වෛද්‍ය උපදෙස් අනුව ආහාර ගැනීම හා විවේකය පිළිබඳ තදින්ම සැලකිලිමත් වී සෑහෙන කාලයක් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය බව සැලකිල්ලට ගන්න විචාරකතුමා. ඔබ දෙදෙනාට සුවය පතමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: