විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Target Indicationයා කොහොමද සෙනග ගොඩක් මැද්දේ ඉන්න ඔයාගේ අර, ‘අරයව’ ඔයාගේ යාලුවෙකුට පෙන්වන්නේ? ඉහත මාතෘකාවේ කියලා තියන විදිහට නේද? හැබැයි ඉතින් ‘අර මල් මල් ගවුම ඇඳලා ඉන්නේ, කළු කලිසම ඇඳලා ඉන්නේ’ වගේ කිව්වොත්, යාලුවගෙන් හොඳ හරුප තමා අහගන්න වෙන්නේ. මොකද පිරිසක් මැද මල් මල් ගවුම්, කළු කලිසම් විශාල ගණනක් තියෙන්න පුළුවන්. ඒ අතරින් අර නිශ්චිත පුද්ගලයා සොයාගන්න අමාරුයි ඔහුගේ මුහුණුවර නොදන්නා කෙනෙකුට.

අපේ ජීවිතයේ බොහෝවිට අපට කරන්නට සිදුවන දෙයක් තමයි පරිසරයේ පිහිටි, ස්ථිර වස්තු හෝ චලනය වන වස්තු එහෙමත් නැත්නම් දුර සිටින පුද්ගලයන්, තවත් කෙනෙකුට පෙන්වාදීම. එමෙන්ම ඒ දේවල් පිහිටා තිබෙන්නේ ඔබ සිටින තැන සිට කොපමණ දුරකින්ද කියන එක අනුමානයෙන් සිතාගැනීම හෝ ප්‍රකාශ කිරීම. මෙහිදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සමාජ සම්මත ක්‍රම විනා, ශාස්ත්‍රීය/තාක්ෂණික පදනමක් අනුව සැකසූ ක්‍රමවේදයක් නොවෙයි. නමුත් යුද බිමේදී ‘අර ඉන්නේ යකෝ’ ක්‍රමය හරියන්නේ නැහැ. ඒ නිසා 100% ක් නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා, යුද බිමේදී යම් දෙයක් (ඉලක්කයක්) පෙන්වාදීම සඳහා. එය හඳුන්වන්නේ ‘දුර නිශ්චය කිරීම සහ ඉලක්ක පෙන්වීම’ හෙවත්, ‘Judging Distance and Target Indication’ යනුවෙන්. අද අපි කතා කරන්නේ, එය කරන්නේ කොහොමද කියන එක ගැනයි.

මේ මොනවද කියන්නේ, ඉලක්කයට ඇති දුර පෙන්වන දුර දක්න, ‘Range Finders’ චන්ද්‍රිකා තාක්ෂණය ‘Global Positioning System = GPS’ වැනි අති නවීන ක්‍රම තිබෙන නිසා, පැරණි ක්‍රම මොකටද? කියා ඔබ සිතන්නට පුළුවන්. නමුත් හොඳින් මතකතබාගන්න. ඔය යන්තර සූත්තර කොයි මොහොතේ අවුල් වෙයිද, ක්‍රියා විරහිත වෙයිද, කියලා සක්කරයාගේ පුතා වයිමාට වත් (අර අපේ අධ්‍යාපනය කන එක්කෙනා නෙවේ :D)  කියන්න බැහැ. යුදබිම මැදදී, රේන්ජ් ෆයින්ඩර් එකක හෝ ජී.පී.එස්. එකක බැටරි බැස්සොත්, ‘පොඩ්ඩක් හිටපං බැටරි දාගෙන එනකං’ කියලා සතුරාට ‘වච්චිල්’ එකක් දෙන්න බැහැනේ. 😀 😀   ඒ නිසා තමන්ගේ මොළය පාවිච්චි කර, දුර නිශ්චය කිරීමේ ක්‍රම සහ ඉලක්ක පෙන්වීමේ ක්‍රම, අදටත් ලෝකයේ සෑම හමුදාවකම පාහේ උගන්වනවා. මේවා ඉගෙන ගැනීම ඔබටත් ප්‍රයෝජනවත්. හිතන්න ඔබ වනයේ සංචාරයක ගියා කියලා. ඒ වගේ අවස්ථාවක ඇතිවියහැකි සිදුවීම් මොනවාද? මම විස්තර කරන්නේ නැහැ. ඈතින් ඉන්න අලියෙක් ඔබේ පිරිසේ ඉන්න අනික් අයට පෙන්වීමේ සිට, ඔබ අතරමං වුනොත් ඉදිරි භූමියේ ඈතින් පෙනෙන භූමි ලක්ෂණ වලට ඇති දුර නිශ්චය කරගැනීම දක්වා, සියල්ල ගැන සිතාබලන්න.

මේ ලෝකයේ තිබෙන වඩාත්ම විශ්මයජනක දේ මොකක්ද කියා, කවුරුහරි මගෙන් ඇහුවොත්, මම නම් දෙන උත්තරේ ‘මිනිස් මොළය’ කියන එකයි. මොළය පාවිච්චි කරලා නොවැ ඔය යන්තර සූත්තර ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් ඒ මොළයෙන් ඉතා හොඳින් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මොළයෙන් කල්පනා කරලා තමයි ලෝකයේ තියන අති විශිෂ්ඨතම තුවක්කුව හදන්නේ. නමුත් ඒ තුවක්කුවට බැහැනේ හිතලා වෙඩි තියන්න. ඒ තුවක්කුව පිටිපස්සේ ඉන්න හොඳ මොලයක් හා හොඳ පුහුණුවක් තියන සොල්දාදුවා තමයි ඒ තුවක්කුවේ නිසි ප්‍රයෝජනය ගන්නේ.

space 2

කොහොමද ඉතින් ඈත තියන දේ වලට ඇති දුර මැනගන්නේ?

ඒ සඳහා ක්‍රම කීපයක් තියනවා. අපි එකින් එක ගෙන බලමු. හැබැයි මෙතැනදී මම හමුදා පොතේ තියනදේ ඒ විදිහටම කියන්නේ නැහැ. නමුත් මූලික සිද්ධාන්තය වෙනස් කරන්නෙත් නැහැ. ඔබට ගැලපෙන විදිහට සුළු වෙනස්කම් පමණයි කරන්නේ. මුලින්ම කියාදිය යුතු කරුණු කීපයක් තියනවා. භූමියේ පිහිටි යම් යම් වස්තු (වස්තූන් නෙවෙයි වස්තු/හේතූන් නෙවෙයි හේතු) නිරීක්ෂණය කිරීමේදී ඒවා වෙත ඇත්තවශයෙන්ම ඇති දුර අඩුවී හෝ වැඩිවී (ඈත්වී හෝ ළංවී) පෙනීමට බලපාන යම් යම් සාධක තිබෙනවා. මේ නිසා මුලින්ම ඒ සාධක ඔබට පැහැදිලි කරදීම සුදුසුයි මා හිතනවා. පහත දැවෙන්නේ ඒ සාධක. space 2

 (1) යම් වස්තුවක් ළංවී පෙනීමට බලපාන සාධක.

  • ඉතා දැඩි ආලෝකයක් එම වස්තුව මත පතිතවී තිබීම සහ/හෝ සූර්යයා නිරීකෂකයාට පසුපසින් දීප්තිමත්ව පිහිටා තිබීම.
  • අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, විශාල එකක් වීම.
  • එකී වස්තුව නිරීක්ෂකයා සිටින ස්ථානයට වඩා උස් භූමියක පිහිටා තිබීම.

space 2

(2) යම් වස්තුවක් ඈත්වී පෙනීමට බලපාන සාධක

  • ආලෝක තත්වය දුර්වලවීම හෝ සූර්යයා නිරීක්ෂකයාගේ මුහුනට (දෙනෙතට) ආලෝකය වැටෙනසේ පිහිටීම.
  • අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, කුඩා එකක් වීම.
  • නිරීක්ෂකයා නිම්නයක් වැනි භූමියක් හරහා හෝ කෙලින් පිහිටි වීදියක ඈත කොණ වැනි ස්ථානයක පිහිටි දෙයක් නිරීක්ෂණය කිරීම.
  • නිරීක්ෂකයා බිම දිගාවී සිට අදාළ වස්තුව නිරීක්ෂණය කිරීම.

space 2

1. ඉඳුරාම දුර ප්‍රකාශ කිරීම – Direct Method

 ඇත්තටම අපි පාවිච්චි කරන සාමාන්‍ය සරළ ක්‍රමය හමුදා කටයුතු වලදීත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපේ අනුමාන කිරීමේ හැකියාව යොදාගනිමින්, කෙලින්ම හිතෙන දුර මැනගනීම. මෙතන ඉඳලා අතනට මීටර් මෙච්චරක් ඇති කියලා අපි හිතන්නේ. අන්න ඒ ක්‍රමය. නමුත් මේ ක්‍රමය හමුදාවේදී පාවිච්චි කිරීමට නම් ඒ දුර 99% ක් වත් නිශ්චිත විය යුතුයි. ඒ දුර කලින් මැනබලා තිබේනම් හෝ එහි තිබෙන යම් වස්තුවකට මෙතන සිට ඇති දුර මෙපමණකැයි කලින් දන්නේනම් පමණක් තමයි මේ ක්‍රමය භාවිත කරන්නේ සහ සාර්ථක වන්නේ. මේ ක්‍රමය බොහෝවිට යොදාගන්නේ ස්ථිරව පිහිටවා තියන කඳවුරක ආරක්ෂක බංකරයක්, ස්ථිරව පිහිටුවා තිබෙන මාර්ග බාධකයක්, එවැනි හමුදා ස්ථානයක්, (Military Installation) ආරක්ෂා කරගැනීම සඳහායි. සාමාන්‍යයෙන් අපේ ඉදිරිපිට භූමිය එතරම් බාධක වලින් තොරව තිබේනම් අංශක 180 ක කෝණයක් ඔස්සේ ඉදිරි භූමිය දැක ගන්න ලැබෙනවා. අපි මේ ආකාරයට දකින්නට ලැබෙන ඉදිරි භූමිය (අංශක 180 ක් හෝ ඊට අඩු වුනත්) ‘වෙඩි චාපය – arc of fire’ ලෙස නම් කරනවා. මේ ස්ථානයේ සන්නද්ධ ආරක්ෂක සෙබළකු යොදවන විට ඔහුට මුලින්ම ඔහුගේ වෙඩි චාපය කුමක්ද යන්න කියා දෙනවා. නැතහොත් ඒ ස්ථානයේ අදාළ විස්තර දැක්වෙන කාඩ් පතක් සවිකර තිබෙනවා. එහි පෙන්වනවා මේ ස්ථානයේ සිට භූමියේ තිබෙන වෙනස් නොවෙන වස්තු (ලොකු තනිගහක්, තනිව පිහිටි නිවසක්, ඇන්ටෙනා කුළුණක්, වැනි) වෙත ඇති දුර කොපමණද කියා. ඉතින් මේ භූමියේ සතුරක දුටුවොත් අපිට පුළුවන් අර ස්ථිර වස්තුවකට ඇති දුර අනුව සතුරා සිටින තැනට ඇති දුර ඉතා ආසන්න වශයෙන් මැනගන්න.

arc of fire

  ආසන්න ස්ථාන දෙකක සිටින සෙබළුන් වෙත, වෙඩි චාපය ලබාදීමේදී, එම වෙඩි චාප වල වම් සහ දකුණු සීමා, ඊළඟට සිටින සෙබලාගේ වෙඩි චාපයෙන් කොටසක් සමග එක මත එක වැටෙනසේ (උපරිපතනය -Overlap) සකස් කරනවා. එවිට මුළු ඉදිරි භූමියම වෙඩි වලින් ආවරණය වෙනවා. ඔබ දන්නවා ඇති රාත්‍රී කාලයේදී ක්‍රීඩා පිටියක් ආලෝකවත් කිරීමේදී එක විදුලි පහනකින් ලැබෙන ආලෝක කවය ඒ වටා පිහිටි අනෙක් විදුලි පහන් වල ආලෝක කවය සමග උපරිපතනය වන ආකාරයටයි සකසන්නේ. වෙඩි චාපයත් ඒ වගේ. හැබැයි වෙඩි තැබීමේදී හඳුනාගත යුතුයි මේ යන වෙඩි ඊළඟ මුර සෙබළාගෙන්ද නැද්ද කියා. නැත්නම් ඔහේ හිටු කියලා දෙන්නා දෙන්නාට වෙඩි තියාගන්නවා. පහුගිය ඊලාම් යුද්ධයේ මුල් අවස්ථා වලදී එහෙම වුනා. පස්සේ පුහුණු කටයුතු වැඩි දියුණුවීමත් සමගම ඒ තත්වය මග හැරුනා. දැන් අපි බලමු මේ වෙඩි චාපය තුළ පිහිටි විවිධ වස්තු අනුව ඉලක්කයට ඇති දුර ප්‍රකාශ කරන හැටි. direct method

   ඉහත රූපයේ ඔබට පෙනෙනවා වෙඩි චාපයේ එක් එක් සීමාවන් නම් කර ඇති ආකාරය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති, එහිදී වමට සහ දකුණට කාල, භාගය, තුන්කාල, ලෙස සීමා ලකුණු කර තිබෙනවා. එමෙන්ම කලින් දුර මැන සලකුණු කරගත් ස්ථිර වස්තු ද තිබෙනවා. ඒ ස්ථානයක සතුරකු සිටියොත් කෙලින්ම ඉලක්කය ප්‍රකාශ කරන්න පහසුයි. මේ රූපයේ ඇන්ටෙනා කුළුණක්, ගෙයක් සහ ගසක් තිබෙනවා. ඒවාට ඇති දුර ද සඳහන් වෙනවා. දැන් මෙන්න මෙහෙමයි ඒ එක් එක් ඉලක්කය ප්‍රකාශ කරන්නේ. මුලින්ම තමාගේ ඉදිරි අක්ෂය (Axis of Fire) කුමක්ද යන්න පැහැදිළි කළයුතුයි. ‘මා මුහුණ යොමුකර සිටින අක්ෂය මගේ ඉදිරි අක්ෂයයි’ යන වැකිය කිව යුතුයි. එහි සිට තමයි වම් සීමාවේ සිට දකුණු සීමාව දක්වා සියල්ල තීරණය වන්නේ. එවිට තමයි ඔබ පෙන්වන ඉලක්කය වෙනත් අය විසින් තේරුම් ගන්නේ.  

1. දෙසීයයි, (මීටර් කියලා කියන්නේ නැහැ) අඩක් වම, ඇන්ටෙනා කනුව, සතුරා.

2. තුන්සීයයි, කාලක් වම, තනි ගෙය, සතුරා.

3. දෙසිය පනහයි, අඩක් දකුණ, තනි ගස, සතුරා.

 හොඳයි ඉතින් සතුරා හරියටම ඔය තැන් වලටම එන්නේ නැහැනේ. වෙඩි චාපයේ අනෙක් තැන් වලත් ඉන්න පුළුවන්නේ. එතකොට මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර තමයි සතුරා ඉන්නේ කියලා. ඉතින් එතකොට අර තනි ගස අනුව දුර හිතන්න පුළුවන්, ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර කියලා කිව්වාම හරි. මේක ගස්කොලන්, කුඩා ගල් කඳු, හුඹස්, විශාල පඳුරු, වැනි දේවල් සහිත පරිසරයක් බව අමතක කරන්න එපා. ඒ අනුව ආසන්න වශයෙන් ඉලක්කය ප්‍රකාශ කිරීම අමාරු නැහැ.

  එක්තරා ආධුනික සෙබළුන් පිරිසකට මේ පුහුණුව පිලිබඳ දේශනය අවසන් කර, ප්‍රායෝගික කොටස සඳහා භූමිය වෙත ගෙනගියා. මෙහිදී කෝප්‍රල්, සැරයන්, වගේ නිළ වල අය තමයි ප්‍රායෝගික කොටස් මුලින්ම කියාදෙන්නේ. වරදිනකොට දෙක තුනක් වදිනවා. නැත්නම් පිනුම් ගස්සනවා (forward roll) එක ආධුනිකයෙක් ටිකක් බයට සහ කලබලයට පත්වෙලා හිටියේ. ඔහු තමන්ගේ උපදේශක කෝප්‍රල්ට ඇහෙන්න ඉලක්කය කිව්වා. දුර, දිශාව කිව්වා. පඳුරක් තිබුණා, ඒ පඳුරේ සතුරා ඉන්න බව කියන්න ඕනෙවුනේ. අර ආධුනික සෙබළා මහ හඬින් කිව්වා……………’සතුරේ පඳුරා’ කියලා.  😀 😀 😀

  මීට වඩා දුරට ගියොත් ටිකක් නීරස වෙනවා. ඒ නිසා ඉතිරි කොටසට ගිහින් අනෙක් ක්‍රම ඉගෙන ගනිමු.  

My Signature for Blog2013 ජනවාරි මස 04 වැනි දින 2110 පැය

Comments on: "අර ඉන්නේ…අර, ….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – පළමුවැනි කොටස – Judging Distance and Target Indication – Part One" (109)

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා විචාරක මහත්මයා!
    “සතුරේ පඳුරා” ඒක නම් නියම කතාව . 😀 සමහර විට ඇත්තම වෙන්නැති. කලබලේට ඔහොම වෙනවා.
    හැමදාම වගේ වටින ලිපියක්. දෙවනි කොටසත් ලියමු!

  2. මං හිතුවා අර ඔරලොසුවේ කටු සිස්ටම් එකට පෙන්නන එක ගැන ලියලා කියලා.. හි හි.. අර at your 4 O`clock එහෙම කියලා කියන්නේ… හි හි.. ( මටත් මතක් වෙන ඒවා…)

    මට වඩා හොඳ ඒවා කොල්ලන්ට කියන්න තියෙයි අද… හි හි

  3. මේවා ශිෂ්‍ය භටයන්ට කියා දෙනවද?
    අර ඇමරිකානු කතා වල සතුරන් සිටින තැන කියන්න ඔරලෝසුවේ කටු අනුව පැත්ත කියන ක්‍රමය මෙහෙත් පාවිච්චි කරනවද ?
    සතුරෙක් වමෙන් නම් “9 o’ clock” කියනවා වගේ.

  4. අදත් ඔන්න වැදගත් ලිපියක්.
    මම ඔබතුමාගෙ ලිපි සියල්ලම කියවල තියනව.එත් ඔන්න අද තමයි කොමන්ට් එකක් දාන්න වෙලවක් ලබුනෙ.ඔබතුම අලුතින් ලිපියක් දාලද කියල බලන්න මම උදෙටයි හවසටයි හෑමදම වගෙ මේ පැත්තෙ එනව.මොකද මම කෑමති බ්ලොග් අඩවි වලින් එකක් තමයි මෙක.තම සිංහල ටයිප් කරන්න ටිකක් අමරුයි එකයි මේ අක්ෂර දෝෂ.
    ඔබතුමාට සුබ නව වසරක් පතනව.

    • ‘පැණි බේරෙන සඳ’ අකුරු වරද්දගත්තොත් නම් ‘පිස්සු හැදෙන සඳ’ වෙනවා. ඔබ ටයිප් කරන්නේ Google Input Tool ක්‍රමයෙන් නෙවෙයිනම් වහාම එම ක්‍රමයට මාරුවෙන්න. ඒ ක්‍රමයෙන් මම ඔබේ කමෙන්ට් එක නිවැරදිව සකස්කළා. බලන්න එහි වෙනස. ඔබේ කමෙන්ට් එක ඒ ක්‍රමයෙන් ටයිප් කරන්නේ මෙහෙමයි.
      adath onna wadagath lipiyak.
      mama obathumaage lipi siyallama kiyawalaa thiyanawaa. eth onna ada thamayi koment ekak daanna welaawak labune. මේ විදිහට ටයිප් කරද්දී අකුරු වැරදි හදාගන්නත් Google Input Tool ක්‍රමයේදී උපකාර තියනවා.
      ඔබට සුබ නව වසරක්.
      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  5. අනෙක් හැම ලිපියක් වගේම තමයි. මේ ලිපියත් සුපිරි….

    //මොළයෙන් කල්පනා කරලා තමයි ලෝකයේ තියන අති විශිෂ්ඨතම තුවක්කුව හදන්නේ. නමුත් ඒ තුවක්කුවට බැහැනේ හිතලා වෙඩි තියන්න. ඒ තුවක්කුව පිටිපස්සේ ඉන්න හොඳ මොලයක් හා හොඳ පුහුණුවක් තියන සොල්දාදුවා තමයි ඒ තුවක්කුවේ නිසි ප්‍රයෝජනය ගන්නේ//

    ඔන්න ඔය කොටස මම කීපවතාවක්ම කියෙව්වා. ඇත්තටම හිතන්න ලොකු දෙයක් ඔය ඡේදයේ තියෙනවා.

    • ඔව් අපි චිත්‍රපටිවල දකිනවා නවීන ආයුධ නමුත් ඒවායෙන් වැඩ ගන්න පුළුවන් ඒ ගැන පුහුණුවක් ලබපු බුද්ධිමත් ජීවියකුට පමණයි. බලය තිබුනට වැඩක් නැහැ. බුද්ධිය අවශ්‍යයි එය නිවැරදිව පාවිච්චි කිරීමට.

  6. මටනං මේක ටිකක් අංජනං වගේ…. කමන්නෑ තව ඉස්සරහට බලමුකෝ…… ඒත් එක්කම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, මේ අවුරුද්ද පුරාවටත් වැදගත් රසබර ලිපි සෙට් එකක්ම බලාපොරොත්තු වෙනවා.

  7. මෝල් ගස් දෙකයි පියවර තුනයි කිව්වලු. 😀

    මට නිතරම ටැපලෙන දෙයක් තමයි ඔය ප්‍රමාණවල් කියන එක. අඩි පහක් හයක් වගේ පළලක් කියන්න තියෙනවනම් මුලින්ම මම එතන හිතින් නිදාගන්නවා. එතකොට මගේ උසත් එක්ක දිග කියන්න පුළුවන්. කොහොමද මගේ ටිකිරි මොලේ. සමහර වෙලාවට සයින් කොස් ටෑන් දාගෙන පොඩ්ඩක් දඟලලා උත්තරේ හොයාගන්නවා.

    • බස් එකෙන් බැහැලා ඉටි පන්දම් දෙකහමාරක දුර කියලා කියන අයත් ඉන්නවා. 😀
      යුද බිමමේදිත් අදාළ තැනටම ගිහින් බිම දිගාවෙලා දුර මැනගන්න පුළුවන්. හැබැයි ආපහු එන්න නම් ලැබෙන්නේ නැහැ 😀 😀

  8. “අර ඉන්නෙ යකෝ” ක්‍රමය නිවැරදි කරගන්න සෑහෙන කල් ගියා මටත්. හදාගන්නකම් වාසනාවට සුදු අප්පුහාමිට යකා වැහුනේ නම් නැහැ!!!!!

    • මටත් මතක් වුනා සිද්ධියක්. ඇත්ත කතාවක්. මෙහේ කාන්තා බලකාය පුහුණු කරන්න පටන්ගත් මුල් අවධියේදී කැඩෙට් නිලධාරිණියක් වෙඩි තැබීමේ පුහුණුව අතරතුර පතරොම් දෙක තුනක් වෙඩි තියලා, තුවක්කුවේ ට්‍රිගර් එකට ඇඟිල්ල තියාගෙනම ආපසු හැරිලා, ‘හරියට ගැස්සෙනවා’ කිව්වලු. නමුත් උපදේශකයෝ විදුලි වේගයෙන් බිම දිගාවුණ නිසා අනියම් මිනීමැරුමක් සිදුවුනේ නැතිලු. 😀 😀
      මටනම් හිතෙනවා සුදු අප්පුහාමි එෆ් අකුරු සහිත වචන දෙක තුනක්වත් කියන්න ඇති කියලා. 😀 😀

      • විචාරක,

        හෙට අනිද්දා ඉන්දියාවේ පොලිස් සේවයට වැඩියෙන් බඳවාගන්න කාන්තාවන් පුහුණු වෙද්දී ඔය වගේ සිද්ධි ඇතිවෙන්න අහන්න හැකිවේවි.

        ඔව් ඔව්, සුදු අප්පුහාමිලාට ඔය වචනෙ දිව අග තියෙන්නක්. සම්පූර්ණ වාක්‍ය හදන්න ඇහැකි එයාලට ඔය තනි වචනෙන්. 😀

  9. කොටි පැරදිලා පහු බහිනකොට කොඩි කණු හිටවල තිබ්බෙ, කාලතුවක්කු වලින් ගහන්න දුර ගන්න. එහෙම නේද. එවැනි වෙලාවක ඔව්වා මග හරින්නේ කොහොමද. ඔය ගැනත් ටිකක් ප්‍රායෝගික විස්තරයක් ඉදිරී ලිපිවල දාන්න කියල ඉල්ලා හිටිනව.

    අනෙක් කාරනාව මුලින්ම පලාලි වල ඉදන් පාකිස්තාන් මල්ටි වලින් පහර දෙනකොට එල්ලේ ගත්තේ කොහොමද. නිවැරදිවද නැත්නම් ඔහේ දීගෙන ගියාද.

    • කාලතුවක්කු ගැන විස්තරනම් තියනවා.
      ලියම්දෝ නොලියම්දෝ කියලා සිතුනි මට…………
      මැනලද පුතේ කාලතුවක්කු දුන්නේ මා නුඹට………..
      අන්තිමට ඕවා ඉගෙනගෙන මටම ගහයිද? 😀

  10. තවත් විස්තරාත්මක රසවත් ලිපියක්.//සතුරේ පදුරා//මැවිලා පේනවා පොර කොහොම ඉන්න ඇතිද කියල.සමහර රටවල ටැක්සි රියදුරන්,පාරවල් ගොඩක් තියෙන වටරවුම් වලදී අපි දුර තියා ටර්න් ලේෆ්ට් හෝ රයිට් කිව්වම අහනව 9 o’clock හෝ 3 o’clock ද කියල.

    • ආධුනික සෙබළකුට ඉන්න එකම හිතවතා, රසවතා, තලපතා, 😀 නෑදෑයා, උපදේශකයා, රහස් රකින්නා, මග පෙන්වන්නා, තමයි කෝප්‍රල්. මේ සෙබළු බොහෝවිට පළමු මාස තුන හතරක කාලයේදී අපවැනි නිලධාරීන්ටත් අමතකවීමෙන් (නිතර නිතර කියලා කියලා ඔලුවේ තිබෙන්නේ එය නිසා) කෝප්‍රල් කියන අවස්ථා බොහොමයි. මටනම් එවිට හිනා යනවා. සමහර අයට කේන්ති යනවා. කෝප්‍රල් කෙනෙකුට ඇහුනොත් ඒ සෙබලාට පොඩි දඬුවමකුත් දෙනවා නිලධාරියකුට අපහාස කළා කියලා.

      • මම මැඩම් කෙනෙකුට මචං කිව්වා වගේ.. 😀

        • දැන් ඉන්න තරුණියෝ එකිනෙකාට මචං කියාගන්නවා නේද? මගේ ලොකු දුව එහෙම කියනවා දැකපු මුල් දවසෙම ‘තරමක් දුරට හමුදා භාෂාවෙන්’ වැරැද්ද පෙන්වා දුන්නා. ඉන්පසු එයා ඒ වචනය අතහැරියා.

      • මගෙ කනට ඇහිලා නම් නෑ. ඒත් බ්ලොග් ලියන සමහරු නම් තම තමුන් මචං කියාගන්නා අතරෙ කොල්ලන්ටත් මචං කියනවා දැකලා තියෙනවා.. ඒගොල්ලන්ට ඒක ලොකු දෙයක්ද මන්දා.. මට නම් අප්පිරියාවක් හිතෙන්නෙ…

  11. දැන් ඔය වෙඩි චාපය එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ.. එතකොට කොහොමද ඔවුන් එහෙම කියන්නෙ.. වම් පැත්තෙ ඉන්න සෙබලා කාලක් දකුණ කිව්වම, දකුණු පැත්තෙ ඉන්න සෙබලට ඒක කාලක් වම වගේ වෙනවා නේද ? එතකොට පණිවිඩය ලබන කෙනාට ගෝචර වෙන විදිහටද කියන්නෙ ?

    • මගේ විස්තර කිරීමේ දෝෂයක් තියනවා වගේ. මුලින්ම තියන පින්තුරයෙන් මම පෙන්වන්නේ භූමියේදී සෙබළුන් යෙදවීමේදී එක්කෙනේකුකේ වෙඩි චාපය අනෙක් එක්කෙනාගේ වෙඩි චාපය සමග උපරිපතනය වන ආකාරයට යොදවන බවයි. දෙවැනි පින්තුරයට අනුව ඉලක්කය පෙන්වීමේදී මුලින්ම වෙඩි අක්ෂය (axis of fire/axis of line) කුමක්ද යන්න කියනවා. එය භූමියේ හොඳින් දන්නා තැනක්. ඒ අනුව තමයි කෝණය කියන්නේ. විස්තරය තවත් සරල කරන්නම්.

    • මගේ විස්තර කිරීමේ දෝෂයක් තියනවා වගේ. මුලින්ම තියන පින්තුරයෙන් මම පෙන්වන්නේ භූමියේදී සෙබළුන් යෙදවීමේදී එක්කෙනේකුකේ වෙඩි චාපය අනෙක් එක්කෙනාගේ වෙඩි චාපය සමග උපරිපතනය වන ආකාරයට යොදවන බවයි. දෙවැනි පින්තුරයට අනුව ඉලක්කය පෙන්වීමේදී මුලින්ම වෙඩි අක්ෂය (axis of fire/axis of line) කුමක්ද යන්න කියනවා. එය භූමියේ හොඳින් දන්නා තැනක්. ඒ අනුව තමයි කෝණය කියන්නේ. විස්තරය තවත් සරල කරන්නම්.

  12. මම මේ කල්පනා කලේ යුද්දෙදි නෙමේ එදිනෙදා ජීවිතෙත් මේවා උපයෝගී කරගන්ට පුලුවන් නේද කියලා.:-)

    කොල්ලන්ට නම් මේවා වැඩිය කියලා දෙන්ට නරකයි.:-D

    • එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයක් ගැනීම සඳහා තමයි ඉදිරිපත් කලේ.
      මේවා කොල්ලන්ට කෙල්ලන් ඉන්න තැන් පෙවීම සඳහාත්, කෙල්ලන්ට කොල්ලන් ඉන්න තැන් පෙන්වීම සඳහාත්, එකසේ වැදගත් වෙනවා. ඒ නිසා මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. 😀 😀

  13. පරණ මතකයක්..

    1. ‘වච්චිල්’ එකක් කියන්නේ මොකක්ද?

    2. මට මතක් උනා. දෙක වසරෙදි හෝ තුන වසරෙදි මම කරපු දෙයක්. එච්චර දෙයක් කොහොම හිතුනද කියන එක මටත් පුදුමයි.
    මම ක්‍රිකට් ගගහා හිටියේ තවත් මගෙ වයසෙම කට්ටියක් එක්ක. මගෙන් හොඳ පාරක් වැදුනා.. ඒක කෙලින්ම පිටියේ ඉස්සරහා හයේ සීමාවෙන් පැනලා ඈතට ගියා.. ඔහොම ටික වේලාවකින් තවත් ඒවගේම පාරක් වැදුනා.. ඒත් මෙදා බෝලෙ ගියෙ කැලේකට.. දැන් ඉතින් පණ දාගෙන හොයපන්කො බෝලෙ.. පැයක් දෙකක් හෙව්වත් ඔහේ නෑ.. දැන් ඉතින් අනික එවුන් මාව කන්ඩ හදනවා.. ගහුවේ මම නිසා උන් මට කියලා අලුත් බෝලයක් ගන්න්වන්ඩයි හදන්නෙ..
    මේ වෙලාවෙ මට අපූරු නුවණක් පහළ වුනා.. ගත්තා කෝටු කෑල්ලක්.. ඒක අරන් මම ගැහුව තැන ඉඳන් කලින් හයේ පාරෙදි බෝලය තිබුන තැනට දුර මැන්නා.. ආයෙ මුල් තැනට ඇවිත් බෝලය ගිය කැලේ පැත්තට කලින් ගත්තු දුරට මැනගෙන ගියා.. මෝඩ අදහසක්නෙ.. ඒත් දෙයියනේ මැනිච්ච තැනට අඩියක් එහායින් මෙන්න බෝලෙ..

    3. “හැබැයි වෙඩි තැබීමේදී හඳුනාගත යුතුයි මේ යන වෙඩි ඊළඟ මුර සෙබළාගෙන්ද නැද්ද කියා. නැත්නම් ඔහේ හිටු කියලා දෙන්නා දෙන්නාට වෙඩි තියාගන්නවා. ” මේක තේරුනේ නෑ..

    • 1. වච්චිල් කියන්නේ සමහර ක්‍රීඩා කරද්දී (අපි පුංචි කාලේදී ගුඩු පනිනකොට,එහෙම) තරගයෙන් කෙටි විරාමයක් ලබාගැනීම හෝ ඉල්ලීම සඳහා කියන වචනය. මෙය කුමන භාෂාවකට අයත්ද යන්න මා දන්නේ නැහැ.
      2. ඔබ කරලා තියෙන්නෙත් දුර මැනීමක්නේ. එය වැරදි නැහැ.
      3. වෙඩි තියනකොට පළපුරුද්ද නිසා කියන්න පුළුවන් මගේ වෙඩි කෝණය හරහා යන වෙනත් වෙඩි සතුරු වෙඩිද මිතුරු වෙඩිද කියලා. මෙය හිතන තරම් පහසු නැහැ. පළපුරුද්දෙන්ම ලබාගතයුතු හැකියාවක්. එහෙම වෙඩි හඳුනාගන්න බැරි වුනොත් මගේ දෙපැත්තෙන් (මට වඩා ඈතින්) ඉඳලා වෙඩි තියන මගේම පැත්තේ අයගේ වෙඩි, සතුරු වෙඩි ලෙස වරදවා වටහාගෙන, මම එයාලට වෙඩි තියනවා. එයාලා මට වෙඩි තියනවා. අපේ අරක්කු අපිටම ගහනවා.
      එකම ප්‍රතිචාරයේ පිටපත් දෙකක් ලැබී තිබුනා. එකක් ඉවත් කළා.

      • දැන් තේරුනා.. රූපය බලපුවාම පෙනුනේ ළඟ ඉඳන් වෙඩි තියෙන දෙන්නෙක්නෙ.. ඒකයි ටැපලුනේ..

        එක පාරක් කෑම්ප් ගිහින් වෙඩි තියෙනකොටත් අරුම පුදුම දෙයක් උනානෙ.. මටත් මගෙ එහා පැත්තෙ හිටපු යාළුවටත් උණ්ඩ පහ ගානෙ ලැබුනා.. ඊටපස්සෙ අපි වෙඩි තිබ්බා.. ළැඟට ගිහින් බලද්දි මගේ ඉලක්කපතට වැරදිලාවත් උණ්ඩයක් වැදිලා තිබුනෙ නෑ.. ඒත් මගේ යාලුවා මිනිහාට ලැබුණු උණ්ඩ පහෙන් හිල් 9ක් හිටින්න වෙඩි තියලා..

        • තේරුණේ දැන් තමයි………….
          හාපෝ ශිෂ්‍ය භටයෝ කාලේ අපිත් අනිකාගේ ටාගට් එකට ගහලා තුවක්කුව සුද්ද කරන යකඩ කූරෙන් පස්ස පැත්ත රත්වෙන්න ගුටි කාලා තියනවා.මගේ පරණ ලිපියක ඇති ඒ කතාව.

  14. වෙඩි පිටියක නොව එදිනෙදා ජීවිතයට වුව මේ අගනා කරුණු කෙතරම් දුරකට ආදේශ කරගත හැකි ද? හරිම වටිනවා විචාරක තුමා.මෙවන් දැනුම දෙන වෙනත් අඩවියක් සිංහල සයිබරයේ නොමැති තරම්…ස්තුතියි.

    • හමුදා පුහුණුවේ බොහෝ දේවල් තියනවා සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ කරගත හැකි දේවල්. මේවා ශිෂ්‍යභට පුහුණුව කියලා වෙන්කරන්නේ නැතුව සියල්ලන්ට පොදුවේ දෙනවානම් හොඳයි.
      ඇගයීම ගැන ස්තුතියි.

  15. ඊලග කොටසත් එක්ක අපැහැදිලි තැන් පැහැදිලිවෙයි මයේ හිතේ

  16. සුබ අලුත් අවුරුද්දක් වේවා විචාරක මහත්තය.

    නියම ලිපියක්.
    ඔය කට්ටිය කියල තියෙන ඔරලෝසු කතාවනං මාත් දැක්ක රෙඩ් ටේල්ස් කියන ෆිල්ම් එකේ.

    • ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
      ඔරලෝසු ක්‍රමය තමයි වැඩි දෙනෙක් අහලා තියෙන්නේ. ඊළඟ ලිපියෙන් ඒ ක්‍රමය වගේම තවත් ක්‍රම ගැන කියන්නම්.

  17. මේක යුධ ශිල්පය පිළිබඳ සති දෙකේ පාඨමාලාවක් වගේනෙ. රසවත්ව ලියලා තියෙනවා. අනික ෆොන්ට් එක මේ ගානට පොඩි කරපු එක හොඳයි විචාරක. කලින් පොඩ්ඩක් ලොකු වැඩියි.

    අර උඩ තිඔයෙන පින්තූරෙ… හෙහ් හෙහ් ඒක දැකලා මට කතාවක් මතක් වුනා. කියනවද නැද්ද?

    ඕන්න කිව්වා. අපේ පොඩි එකාටයි මටයි ලැප්ටොප් වලට සම්බන්ධ කරන්න ගේමිං කීබෝර්ඩ් දෙකක් තිබ්බා. ඒවටා සාමාන්‍ය කීබෝඩ් වලට වඩා ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවනෙ. මේවායෙ ගහලා තියෙනවා water proof, spill proof, shock proof කියලා. වතුර බැහැලා යන්නහිල් හෙමත් තියෙනවා කී බෝඩ් එක මැද්දෙ.

    ඉතින් පහුගිය කාලෙ ගෙයි තිබ්බ දූවිල්ලට මේවා දූලිල්ලෙන් වැහිලා තිබ්බෙ, මම චූටි පුතාගෙ keyboard එක අරගෙන බිඩේ ෂවර් එකෙන් හොඳට හේදුවා.

    පස්සෙ කොල්ලට අලුත් කීබෝඩ් එකක් අරන් දුන්නා. හෙහ් හෙහ්.

    • පාඨමාලා කියන්නේ පාට පාට මාලා 😀
      අකුරු ලොකු කරන කෝඩ් කියලා දුන්නේ ඔබතුමාම නොවැ. ඉතින් ගුරු ගෞරවය සඳහා පොල්ගෙඩි අකුරු දැම්මා.
      ඉතින් අර කී බෝඩ් එක හදපු සමාගම අමතලා හොඳ වචන වලින් සමන්වන්නනේ තිබුනේ බොරු කිව්ව්වට. 😀 😀
      අම්මපා අර කිව්වත් වගේ කවුරුහරි ඔය පින්තුරෙ බලලා මැෂිම හෝදලා අන්තිමට මට කුණුහබ්බ දෙකක් දෙසාබායිද දන්නේ නෑ 😀

      • මමත් ඔහොම මැෂින් හෝදලා තියනව.(වැඩකරපු තැන මැෂින්) නමුත් මුලින්ම ඇතුලේ තියන බැරටිය ගලවන්න ඕනි. අපි නම් කෙලින්ම ඇල්කොහොල් වලින් හෝදන්නෙ. ඕනිම බර සාර සර්කිට් බෝඩ් එකක් ගලවල . හෝදලා. හොදටම වේලෙන්න ඇරලා ගැහුවම ආපහු බබා වගේ වැඩ. අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි.

  18. මිස්ටර් ඇනෝනිමස් said:

    මමත් අර ඔරලෝසු කතාව අහන්නමයි හිටියේ. බලපු ෆිල්ම් ගානකම දැක්ක. අනිත් එක කෙනෙක් තව කෙනෙක්ට කෝණයක් (දිශාවක්) කියද්දී කියන්නේ තමන්ට සාපේක්ෂව ද අනිත් කෙනාට පෙන විදිහටද?

  19. ඉතා වැදගත් ලිපියක්.අනෙක් කොටස එන තෙක් පුල පුලා බලා සිටිමි.

  20. හොද ලිපියක්
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ඇවිත් යන්න එන්න ” The අච්චාරු පිටුව “

  21. ෂැහ්, මට මෙච්චර කාලෙකට ඕකෙ වැදගත්කම හිතිල තිබුනෙ නෑනේ. අපි ඉතිං කනා පාරවල් අතෑරල දාන එකනේ කරන්නෙ කෝක කරන්න ගියත්. බලන් ගියාම නිසි පුහුණුවකින් ලැබෙන දේවල් හැම දේටම පොදුයි. බලමු, ඉදිරි ලිපියත් කියවල.

  22. සුභ අලුත් අවුරුද්දක් විචාරක තුමා….
    දැන ඔය සටන් බිමේදි තමා ගේ අක්ශය දක්වන්න ” ‘මා මුහුණ යොමුකර සිටින අක්ෂය මගේ ඉදිරි අක්ෂයයි’ ”
    ඔය වගේ දිග වාක්‍ය කියන්ඩ පුලුවන්ද ? මේ ක්‍රමය හොදින් පුහුනු නොවුනොත් පටලවා ගත්තොත් … !!! සොරිම තමා.

    • සුබ අලුත් අවුරුද්දක් වේවා!
      පොතේ වාක්‍යයම කියන්නේ නැහැ. ‘අර තල් ගහ මගේ ඇක්සිස් එක’ වගේ වැකියක් තමයි ඇත්තටම කියවෙන්නේ. මේ ක්‍රමය හරියට පුහුණු කරනවා. වරදින්නේ නැහැ. අත්දුටුවයි සත්තයි 😀

  23. ඉතා වටිනා ලිපියක් වෙනද වගේම.

    “සතුරේ පඳුරා” කිව්වම මතක් වුනේ. මගේ මිත්‍රයෙක් දවසක් මගෙන් අහනවා “ඉරිදා සඳුද ද ” කියල. 🙂

    • ස්තුතියි ඇගයීම ගැන.
      පොලේ වෙළෙන්දෙක් දවසක් කෑ ගහනවා ‘ඇලුමිනියම් මැටිකෝප්ප’ ලාබයි කියලා. ඉතින් ඒ කෝප්පේ ඇලුමිනියම් ද මැටි ද කියන එකයි ප්‍රශ්නේ.

  24. මම එහෙම ඔය යුධ පුහුණුවට ගියා නම් මුලින්ම මැරුම් කනවා සුවර් ඇන්ඩ් ශොට්..මට ලොකුම අවුල තියෙන්නෙ ඔය දිශාවල් – ඩිරෙක්ශන් – ගැන..තුන් පාරක හැරිලා වංගු තියෙන පාරක ගියොත් එහෙම ආපහු හොයන් එනවා බොරු… අපේ අර තාරුණ්‍යයේ ලියනා රාජ් මල්ලි ඇතුළු ගෲප් එකට අපේ ඔෆිස් එකට එන්න පාර කියන්න හිහිල්ලත් වමට හැරෙන්න කියන එකට මන් කියලා තියෙන්නෙ දකුණට හැරෙන්ඩ කියලා..හොඳ වෙලාවට පේන මානෙ ඉඳන්ම මන් දැක්කා උන් ආපහු යනවා..එතකොට ආයි කතාකරලා හරි පාර පෙන්නුවෙ.. මගේ සයිකියෑස්ට්‍රික්ස් යාළුවෙක් කිව්වෙ සම්හරුන්ට ඔය ඩිරෙක්ශන් අවුල් ප්‍රශ්නෙ තියෙනවා ඔව්වට බෙහෙත් නෑ කියලයි..

    • මම ඔයාව හම්බවෙන්න ආව දවසට ඒ ආබාධයට ප්‍රතිකර්මයක් කියලා දෙන්නම්. මගේ අසනීප තත්වයෙන් සම්පූර්ණ සුවය ලැබුවම එන්නම්කෝ.

  25. සුබ අලුත් අවුරුද්දක් සර් ,
    ඔරලෝසු ක්‍රමේ මන් ෆිල්ම් බලලම අල්ලාගත්තා .jet fighting වලින්

  26. බොහොම ස්තූතියි විචාරක තුමා අපේ දැනුවත් කිරීමට දිගටම මෙවැනි ලිපි ලවීම සම්බන්ධයෙන්…. ඉස්සර ගණේමුල්ල කමාන්ඩෝ කදවුරේ පුහුණුවන සෙබලුන් වැලි කොට්ට සහ තුවක්කුව රැගෙන ජා-ඇල ගම්පහ ප්‍ර‍ධාන මාර්ගයේ දිව්වා… නමුත් දැන් එය සිදු කෙරෙන්නෙ නෑ…පුහුණු ක්‍ර‍ම විධි දැන් වෙනස් කරලද ?

    • දැන් වැලි පර්මිට් දෙන්නේ නැති නිසා වෙන්න ඇති 😀 😀 😀
      ඒ පුහුණුව නවත්තලා නැහැ. එය හැමදාම කෙරෙන්නක් නෙවේ. විශේෂ පාඨමාලා වලට අදාලවයි ඒ පුහුණුව දෙන්නේ. අනික නාගරික පරිසරය මගහැර දැන් ඒ පුහුණුව වෙනත් ප්‍රදේශවල කෙරෙනවා ඇති.

  27. අම්මෝ මාර වටිනවා… මේ අවුරුද්දේ මේ ලිපි ටික කියවලවත් හොඳ ටාගට් එකක් ගන්න ඕනේ… 😉

  28. ඔබතුමා රෝහල් ගතවෙලා කියලා දැනගන්න ලැබුණා. ඉක්මන් නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙂

  29. සෙන්නා කිව්වා ඔබට අසනීපයි කියා.
    විචාරකතුමනි, අපි හැමදෙනාම ඔබට ඉක්මන් සුව පතනවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • ස්තුතියි හෙන්රි. ඩෙංගු මදුරුවා මටත් බිරිඳටත් පෝලිමේ තියලා,…..ලා දන්නෙම නැතුව. රෝහලේ සතියක් හිටියා. අම්මෝ ඩෙංගු කියන්නේ මොකක්ද කියන අත්දැකීම හොඳට ලැබුනා. දැඩි ඇඳ විවේකයෙන් සිටිය යුතුයි කියන අවවාදයට පිටුපා තමයි මේ කමෙන්ට් වලට පිළිතුරු කොටන්නේ. දුක සැප සොයා බැලීම ගැන පින්.

  30. විචාරකට අසනීප වී ඇතිබව සෙන්නා කීවා..
    ඔබට…ඉක්මන් සුව ලැබේවා..!

    • මමත් මගේ බිරිඳත් සතියක් රෝහල්ගතව සිටියා ඩෙංගු රෝගය නිසා. ඊයේ තමයි රෝහලෙන් පිටවුනේ. තවම හොඳ සුවයක් නැහැ. ස්තුතියි දුකසැප බැලීම ගැන.

  31. ඉමල්ක ද සිල්වා said:

    විචාරක තුමා රෝගී වී රෝහල් ගත කල බව සෙන්නා අයියා ගෙන් දැන ගන්නට ලැබිණි , ඔබ තුමාට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

    • ඔබ සියලු දෙනාගේ සුබ පැතුම් හා ආශිර්වාද නිසා ඊයේ රෝහලෙන් පිටවන්නට පුළුවන් වුනා. තාමත් සම්පූර්ණ සුවය ලබී නැහැ ස්තුතියි දුකසැප සොයාබැලීම ගැන.

  32. ඔබතුමා හා තුමිය අසනීපයෙන් කියලා දැන ගන්න ලැබුණා. ඔබ දෙපලටම ඉක්මන් සුවය!

    • ඔව්, අපි දෙන්නටම ඩෙංගු රෝගය නිසා රෝහල් ගතවෙන්න සිදුවුනා. සතියක් රෝහල්ගතව සිට දෙදෙනාම ඊයේ රෝහලෙන් පිටවුනා. නමුත් දැඩි වෛද්‍ය අවවාද දුන්නා මසක් පමණ යනතුරු දැඩි විවේකය අත්‍යවශ්‍යයි කියලා. ඒ නිසා මගේ අක්කා මාව ඇගේ නිවසට (රඹුක්කන,කෑගල්ල) රැගෙන ආවා. බිරිඳ ලොකුදුව සමග නිවසේ ඉන්නවා. මේ අක්කගේ පුතාගේ පරිගණකයෙන් ලියන්නේ. විවේකය පැත්තක දාලා මේවා කරනවා දැක්කොත් අක්කා අර අහිංසක කොල්ලගේ පරිගණකයත් පොළොවේ ගහයි. තවමත් ලේ වල තිබියයුතු මට්ටමට මඳක් පහලින් මම ඉන්නේ. ටික දිනක් විවේක ගෙන ලියන්න පටන්ගන්නම්.

  33. සාමාන්‍ය ජීවිතේදි මේ වගේ දැනුම හරිම ප්‍රයොජනවත්.. මම නම් මේකෙන් ගොඩක් දේ උගෙනගත්තා.
    ඒ අස්සේ මට මතක්වෙන්නේ අපේ හාමිනේ ගෙදර දේවල් තියෙන තැන් කියන හැටි.. අර ලච්චුවෙ.. අර කියන්නේ කොයි එකේද ? මේ ගෙදර ලාච්චු විසිපහක් තිහක් තියෙනවනෙ.. අයියෝ අර හැමදාම තියෙන තැනනේ.. උඩ එකේද යට එකේද මැද එකේද ? ඔන්න ඉතින් හාමිනේම ඇවිත් වෙන කොහේ හරි තිබිලා අර බඩුව අරන්දීල යනවා. ඔන්නඔහොමයි වැඩ..

    • ඔබේ හාමිනේ අනිවාර්යයෙන් අපේ හාමිනේගේ නෑදෑක්. අපේ එක්කෙනා නොයෙක් උපකරණ ඉතා හොඳින් ආරක්ෂිතව තියනවා. හැබැයි හොයාගන්න අවුරුද්දක් විතර හොයන්න ඕනේ.

  34. මටත් කියන්න තියෙන ටික ‘හිරු’ කියලා තිබුනා ඔරලෝසුව එනකන් බලන් ඉන්නවා. ලිපි වල සැර බාල කරන්න එපා. ඕනෑම නම් බීර වලට වතුර දාලා බීලා බලන්න. මම කියපු එක තේරේවි

    • දැන්නම් මම ඉන්නේ බීර බොන්න තහනම්, වතුර ගොඩක් බොන්න කියන වෛද්‍ය උපදේශය යටතේ. මමත් මගේ බිරිඳත් දෙන්නාම ඩෙංගු රෝගය නිසා සතියක් පමණ රෝහල්ගතව සිට ඊයේ තමා රෝහලෙන් පිටවුනේ. දැන් දැඩි විවේකයෙන් ඉන්න කියන වෛද්‍ය උපදේශය පැත්තකට දාලා ඔබ සියලු දෙනාට පිළිතුරු දෙන්නයි මේ ටික ටික ලියන්නේ.

      • ඔබ අසනීප වූ කණගාටුදායක පුවත මා දැනගත්තේ මෙහි පළවූ අදහස් වලින්. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. මමත් කියන්නේ සතියකටවත් අන්තර්ජාල කටයුතු වලින් මිදෙන්න කියලයි

        • බේබද්දා නොබී ඉන්නේ නැහැනේ. මමත් අන්තර්ජාලයට ඇබ්බැහිවූ බේබද්දෙක්. බෙල්ලෙන් උඩ පන තියනවනම් එල්ලිලා ඉන්නවා. හැබැයි මේ දිනවල නම් එක පැයක්වත් ඉන්නේ නැහැ.

  35. ඇනෝපිලිස් said:

    මෙන්න පෝස්ට් කිව්වලු……… ජය වේවා…!!!!!!!!!!!

  36. ටිකක් ගැඹුරු නිසා එක සැරෙන්ම තේරුම් යන්නේ නැහැ.නමුත් හොඳ ලිපියක් අළුත් දෙයක් ඉගන ගත්තා..

  37. KUSHAN NADEERA PREMASIRI said:

    එතකොට Contact Left, Contact Right , Contact Front කියන්නේ වෙනම දෙයක්ද විචාරක තුමනි

    • ඒ ක්‍රමය ක්ෂණික ක්‍රියා සරඹ (immediate action drill) යන ගණයටයි වැටෙන්නේ. එහිදී වනයේ හෝ වීදි සටන් වලදී හදිසියෙන් තම ඉදිරියෙන් වමෙන් හෝ දකුණෙන් මතුවන සතුරාට වහාම ප්‍රතිප්‍රහාර දීම සඳහා තම කණ්ඩායමේ අවධානය යොමු කිරීමට, සතුරා ඉදිරියෙන්, සතුරා වමේ, සතුරා දකුණේ යනුවෙන් කෑගසා කියනවා. මේ ගැන විස්තර පසුව ලිපියක එනවා.

  38. මේවා සාමාන්‍ය ජීවිතයේදී භාවිත කරන විදියත් කියල දෙනවා නම් ලොකු දෙයක්. මෙහෙම දෙයක් පාවිච්චි කරන්න නම් අනික් කෙනත් මේ ක්‍රමය දැනගෙන ඉන්නම වෙනවා නේද? o.O

  39. දැන් කොහොමද අගට ? ඉක්මනින් සුව වේවි කියා පතමි . අනේ අර අහින්සකයාගේ computer එක පොලේගහයි බලාගෙන

  40. “සතුරේ පඳුරා” 🙂 🙂
    මේකෙ ඉතිරි කොටස කියවන්න වඩා දැං උවමනාවක් පහළ වුනේ අර ඔරලෝසු කතාව කියවන්න.. මොකක්ද අප්පේ ඒ….?

  41. ඔබතුමා අසනීප වුනු වග දැන ගන්න ලැබුනා. ඉක්මනින් සුවය ලැබෙන්න කියා පතනවා..

  42. ඩෙංගු හැදුනම හොදට කාල, වතුර බිබී අදට වෙලා මහන්සි නොවී ඉන්න එක තමා කරන්න තියෙන්නේ (අපේ උපදෙස් මොකාටද දුව උපදෙස් දෙනවා ඇතිනේ හොදටම 😀 ). මට නම් අමාරුම උනේ ඔලුව රිදිල්ල. ඔලුව ගලවල දන්නා තිබ්බ නම් එකත් කරනවා.

    • හරියටම හරි. ඩෙංගු වලට බටහිට වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නැහැ. මට කිව්වේ පැයකට දියර වර්ග මිලි ලීටර් 100 ක් බොමින් සම්පූර්ණ විවේකයෙන් ඉන්න කියයලයි. දුව ඇවිත් තවත් උපදෙස් ගොඩක් දුන්නා. සමහර පරීක්ෂණ ගැන විස්තර කියාදුන්නා. කොහොමටත් සම්පූර්ණයෙන් යථා තත්වයට එන්න ටික දිනක් යයි.

  43. ඔබ තුමා සුවය ලැබීම සතුටට කාරනයක් …. කීප වතාවක් මේ පැත්තෙ ඇවිත් ගියා විස්තරයක් මුකුත් බලාගන්න…. කොහොම උනත් පූර්ණ නීරෝගී සුවය පතනවා . කාලෙකට කලින් දුමී ලියලා තිබුනා ඩෙන්ගු වලට ගස් ලබු කොල ප්‍රරතිකාරය ගැන විස්තර …. ඔන්න ඔහේ බැලුවනං …

    • ස්තුතියි දුක සැප සොයාබැලීම ගැන. මම ගස්ලබු කොළ යුෂ බිව්වා. එයින් යම් සහනයක් ලැබුණා. දැන් ආයුර්වේද ප්‍රතිකාරයකුත් තියනවාලු. ඒ ගැන පසුව සොයා බලන්න ඕනේ. තවමත් පූර්ණ සුවය නැහැ. සුව වූ වහාම අලුත් ලිපි ලියන්නම්.

  44. විචාරක තුමා අම්බලන්ගොඩ පැත්තේ සිංහල දොස්තර නෝනා කෙනෙක් හොයාගත්ත බෙහෙත හුගක් දෙනෙක් අරගෙන හොදටම හොදවෙලා තියනවා මම දන්නා විදිහට මේක හරියට හරි .http://www.english.gossiplankanews.com/2012/11/ambalangoda-lady-doctors-dengue.html

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න