විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Student_Expedition_China1   පරිසර චාරිකා වල යෙදුන විශාල පිරිසක් පසුගිය දිනවල ඇතිවුන හදිසි මහා වර්ෂාපතනය නිසා තමන් නරඹන්නට ගිය ප්‍රදේශවලම කොටුවී සිට ඉතා අපහසුවෙන් බේරාගත් සිදුවීම් කීපයක් වාර්තාවී තිබුනා. සමහරු අනතුරු වලටද මුහුණදී තිබුනා. මෙහෙම වෙන්නේ ඇයි? මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය වන්දනා ගමනක් නොවන, වනාන්තර, කඳුකර ප්‍රදේශ, අභයභූමි, දුර්ග මාර්ග, ආදියෙහි ගමන් කරමින්, කඳුකර පාපැදි සංචාර (Mountain Bike), කිරි වතුරේ පහුරු පැදීම (White water Rafting), කඳු නැගීම,  (විශේෂයෙන් පයින් ගමන් කරමින්) විඳින ත්‍රාසජනක සතුට ආරක්ෂිතව ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි. රිවස්ටන් ප්‍රදේශයේදීත්, හන්තාන ප්‍රදේශයේදීත්, මෙවැනි සංචාරවල නිරතවූ පිරිස්, දැඩි අපහසුතාවට පත්ව, ආරක්ෂක හමුදාවන්හි පිහිටෙන් බේරාගත් බව, රූපවාහිනී පුවත් වල මෙන්ම, සති අන්ත පුවත්පත්වල ද දකින්නට ලැබුනා. 
(ඉහත පින්තුරය ගත්තේ මෙතනින්)

  ප්‍රථමයෙන්ම අප මතක තබාගතයුතු වැදගත් කාරණයක් තියනවා. අපේ රටේ අනාදිමත් කාලයක සිට කෙරෙන වන්දනා සහ විනෝද චාරිකා තිබෙනවා. එවැනි සාම්ප්‍රදායික චාරිකා අතරින් තරමක් හෝ අපහසු චාරිකාවක් හෙවත් ගමනක් වන්නේ, ශ්‍රීපාදස්ථානය වෙත ගමන් කිරීමයි. විනෝදය සමග ත්‍රාසය සුළුවෙන් ලබන්නේ සීගිරිය නැගීමෙදීයි.  නමුත් ත්‍රාසජනක විනෝද ගමන් Adventure Tours යනු විශේෂයෙන් සැලසුම්කර හොඳින් සංවිධානයවී යායුතු ගමන් විශේෂයක්. ඔබ දන්නවා, පැරණි කියමනක් තියනවා, ‘දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා’ කියා. එයින් අදහස් කරන්නේ හොඳ වැඩකට ගිහින් (දඹුලු විහාරය වැඳීම) නරක වැඩකුත් කරනවා (තලගොයින් මැරීම) කියන එකයි. (මෙහිදී තලගොයින් කියන්නේ තල වගා කරන ගොවියන්. මා වැරදියට ලියා තිබුණ දේ නිවැරදි කිරීමට මග පෙන්වාදුන් සමී ට සහ කැන්ඩියන් ට මගේ ප්‍රණාමය.) අපි ඒ ඇසුරෙන් මොහොතකට මෙහෙම හිතමු. අප යනවා, වයසක වැඩිහිටියන්, ළදරුවන්, හදිසි රෝග තත්වයන්ට භාජනයවීමේ අවදානමක් ඇති පුද්ගලයන්, මෙන්ම හොඳ තරුණ පිරිසක්ද ඇතුළුව යන චාරිකාවක්. මෙවැනි චාරිකාවකදී රිවස්ටන්/හන්තාන වැනි ත්‍රාසජනක චාරිකාවක යෙදෙන්නේ නම්, ආරක්ෂක පියවර රාශියක් අනුගමනය කිරීමට සිදුවෙනවා. ඒ ගැන නොසිතා අර දුර්වල පිරිසත් බලහත්කාරයෙන්ම වගේ ඇදගෙන ගියොත් ඔබ කරන්නේ ඔවුන් මරණයට පවා පත්වියහැකි බරපතල අනතුරක හෙලීමයි.

  අපි එකින් එක ගෙන සාකච්ඡා කරමු මොනවද මේ ආරක්ෂක පියවර කියා. මෙහිදී තරමක විවාදාත්මක කරුණු ගැනත් කතාකරන්න වෙනවා. ඒ නිසා මා හිතනවා ඔබත් මේ ගැන ඔබේ අදහස් විවෘතවම දක්වනු ඇතැයි කියා. අපි පටන් ගනිමු ගමන සංවිධානය කරන තැනින්. හොඳින් මතක තබාගන්න මා මෙහිදී අදහස් කරන්නේ ලංකාවේ සාම්ප්‍රදයික් පවුලක් මේ ගමන යන ආකාරයටයි ඉන්පසු සලකා බලමු තරුණ පිරිසක් යනවානම් කොහොමද කලයුත්තේ කියා.

  කවුද යන පිරිස? සැමියා (වයස 40 යි) බිරිඳ (වයස 38 යි) ඒ දෙදෙනාගෙන් කාගේ හෝ එක්කෙනෙකුගේ දෙමවුපියෝ. (තාත්තා 78 යි අම්මා 76 යි) තාත්තා හෘද සැත්කමකින් සුවය ලබා සිටින, එහෙත් බරවැඩ කල නොහැකි අයෙක්. අම්මා ආතරයිටිස් රෝගියෙක්.  දරුවෝ තුන්දෙනයි. (වයස 8, 5, 2,) මේ ගමන යන්නේ, රෝද හතරටම බලය නැති, වසර 20 ක් පමණ පරණ ඩීසල් වෑන් එකකින්. වාහනය එලවන්නේ සැමියා. ගමනේ යෙදෙන වෙනත් කිසිවෙකුටවත් වාහන පැදවීමට හැකියාවක් (බලපත්‍රයක් නැතිව හෝ) නැහැ.  ඉතින් මෙවැනි පිරිසක්, මෙවැනි වාහනයකින් රිවස්ටන් වැනි ප්‍රදේශයකට යන්නට උත්සාහ කිරීම මොන තරම් අමනොඥ වැඩක්ද? නමුත් පුදුමය වන්නේ මෙවැනි පිරිස් දුර දිග නොසිතා එවැනි ගමන් යාමයි.

මෙවැනි පිරිසක් යායුත්තේ, උපරිම වශයෙන් පාන්දරින් ගොස් රෑබෝවී  ආපසු නිවසට එන ගමනක් පමණයි. තමන්ට හදිසියකදී අධාරය සඳහා ගෙන්වාගත හැකි අය සිටීනම් තමයි ඔවුන් වඩාත් දුර ගමන් යායුත්තේ. එමෙන්ම වාහනයේ යාන්ත්‍රික තත්වය (roadworthiness) 70% ක් වත් මට්ටමක තිබිය යුතුයි.

   ත්‍රාසජනක අත්දැකීම් සහිත ගමන්යාමෙදී විශේෂයෙන් සැළකිය යුතු කරුණු මොනවාද? 

1. ගමන සංවිධානය:-

පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමු කරන්න.

  • ඒ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම කෙබඳුද?
  • ඒ ප්‍රදේශයේ දේශගුණික/කාලගුණික තත්වය කෙබඳුද?
  • ඒ ප්‍රදේශය ගැන සතුටුදායක දැනීමක් තිබෙන එක අයකුවත් ඔබේ පිරිසේ ඉන්නවාද?
  • ඔබේ පිරිසේ සියලුදෙනා එවැනි පරිසරයක ගමන් කිරීම සඳහා සුදුසු සෞඛ්‍ය තත්වයෙන් සිටිනවාද?
  • ඔබට මේ සඳහා සකසාගත් සැලැස්මක් තිබෙනවාද? නැතහොත් ඔහේ යන්නන්වාලේ යන ගමනක්ද?
  • ඔබ මෙම ගමන යාමේ පරමාර්ථය කුමක්ද?

ගමන පිටත්වීමට පෙර ඉහත කරුණු ගැන ඔබ හොඳින් තෘප්තිමත් තත්වයක සිටිය යුතුයි. අද සමහර අය කරන්නේ අද රෑ කතාවී හෙට උදේ පිටත්වීමයි. එය මෙවැනි ගමන් සඳහා කිසිසේත් සුදුසු නැහැ.

2. ගමන් කරන පිරිස:-

ඔබ යන්නේ වන්දනා ගමනක් නොවෙයිනේ. ත්‍රාසය මුසු ගමනක්. ඉතින් එහිදී ප්‍රථම ස්ථානයට එන්නේ ඔබේ ශාරීරික යෝග්‍යතාව. ඇත්තටම කියනවානම් ඔබ මානසික වශයෙන්ද යෝග්‍ය විය යුතුයි. අප නොදන්නා කායික මානසික ව්‍යාධි අප තුළ සැඟවී තිබිය හැකියි. ඒ නිසා මෙවැනි ගමනක් පිටත්වීමට පෙර සරළ වෛද්‍ය පරීක්ෂණයක් වත් කරගැනීම සුදුසුයි. (fitness test) ඔබ නිතර ශාරීරික ව්‍යායාම වල යෙදෙන්නෙක් නම් ගැටළුවක් නැහැ. එමෙන්ම මෙවැනි ගමනක් යාමට පෙර කඹයකින් එල්ලී නැගීම බැසීම, දිය පහරක් හෝ පටු ඉවුරු දෙකක් හරහා දමා ඇති කොටයකින් එගොඩවීම, තුවාල හෝ අබාධයකට ලක්වූ කෙනෙකු කරේ තබාගෙන යාම (fireman’s lift) වැනි දේ දැනසිටීම වැදගත්.

Untitled-1

පින්තුරය ගත්තේ මෙතනින්

  • මත්පැන් පානය කර ත්‍රාසජනක සංචාරවල යෙදෙන්න බැහැ. කිසිවකු හිතනවානම් එහෙම පුලුවන් කියලා, ඔහු ඉන්නේ දැඩි අවදානමක. ගමනේ ත්‍රාස ජනක කොටස අවසන් කර මත්පැන් පානයට සුදුසු ස්ථානයකට පැමිණි පසු මත්පැන් පානය කරන්න. කණ්ඩායමේ සියලුදෙනාම තදින් මත්පැන් පානය කලොත් , වගකීම, විශ්වසනීයත්වය, ආරක්ෂාව, පිළිගැනීම, තීරණ ගැනීම, යන සියල්ල ගිලිහෙනවා. කිසියම් අවාසනාවන්ත සිද්ධියකට ඔබේ පිරිස ලක්වුනොත්, පොලීසිය, මහජනතාව, වෛද්‍යවරු, ඔබව විශ්වාස කරන්නට මැලි වෙනවා.මේ නිසා ගමන සංවිධානයේදීම මත්පැන් පානය නොකරන කීප දෙනෙක්ද පිරිසට ඇතුලත් කරගැනීම අතිශයින්ම වැදගත්.
  • ප්‍රථමාධාර ගැන දැනුම ඇති එක අයකු, ත්‍රාසජනක ගමන්වල යෙදී අත්දැකීම් ඇති එක අයකු, හදිසි අවස්තාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කලබල නොවී තීරණ ගතහැකි අයකු ඔබේ කණ්ඩායමේ සිටීනම් එය ඉතා වටිනවා.
  • කණ්ඩායමට නායකයකු පත්කරගත හැකිනම් බොහොම හොඳයි. නමුත් මෙවැනි ගමන්වල යෙදෙන අය තම පෞද්ගලික නිදහස අගයන නිසා එවැනි නායකත්වයකට ගරු කරන්න කැමති නැහැ. අඩු ගණනේ දෙදෙනෙකුවත් කණ්ඩායමේ මෙහෙයවීම භාර අය වශයෙන් තබාගැනීම වැදගත්. ඔවුන් වගකීම දරන, මග පෙන්වීමේ හැකියාව ඇති, මෙවැනි කටයුතු පිලිබඳ දැනුම ඇති ය විය යුතුයි. හැබැයි ඒ දෙන්න ඔක්කොටම වඩා බීමත් වුනොත් සියල්ල එතනින් ඉවරයි.
  • ඔබේ පිරිසට තරුණයන් තරුණියන් යන දෙපාර්ශ්වයම අයිතිනම් වගකීම තවත් දැඩි වෙනවා. පෙම් යුවළක් හෝ කීපයක් සිටීනම් බොහෝවිට උත්සාහ ගන්නේ කණ්ඩායමේ සිටීමට නොව අදාළ පරිසරයට ගිය වහාම කණ්ඩායමෙන් වෙන්වීමටයි. එයට තහංචි දාන්න බැහැ. නමුත් හදිසියකදී අනික් අයගේ ආධාරය (පෙම් කරන්නට ගොස් ඇතිවන හදිසි තත්වයක් නොවේ 😀 😀 ) ලබාගත හැකි දුරකින් සිටීම වැදගත්.
  • ඇත්තටම ඔබට වැඩ බැරිනම් ගෑනු ළමයින්ට පෙනෙන්න වැඩ පෙන්නන්න යන්න එපා. ඔබ අනතුරකට පත්වුනොත් මුළු ගමනම එතනින් ඉවරයි.
  • ඔබ තරුණියක් නම්,  ගමන යාමට පෙර සිතිය යුතු කරුණු තිබෙනවා. ඔබ සාම්ප්‍රදායික සමාජ තත්වයන් (රළු පරිසරයකදී බයිසිකල් පැදීම, වැටීම, වැනි දේ නිසා කන්‍යාභාවයට හානිවීම වැනිදේ) ගැන තදින් සලකන්නේ නම් මෙවැනි ගමන් නොයන්න. මෙවැනි ගමන් සඳහා ඔබටද තරුණයන්ට සාපේක්ෂව තරඟකාරී ශාරීරික මානසික යෝග්‍යතාවක් තිබිය යුතු බව තදින් මතක තබාගන්න. අනුන්ගෙන් යැපෙන්න යන්න එපා.

3. ආරක්ෂාව:-

  • අපි හිතමු ඔබ හන්තාන නගිනවා වැනි ක්‍රියාවක යෙදෙනවා කියා. මුලින්ම ඔබේ පිරිසේ සියලු දෙනාගේ පහත දැක්වෙන විස්තර සහිත ලේඛනයක් සකස් කර ඔබේ ප්‍රදේශයේ පොලීසියටත්, ඔබ ඒ ත්‍රාසජනක ක්‍රියාවේ යෙදෙන ප්‍රදේශය අයිති පොලීසියටත් දෙන්න. නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය, ලිපිනය, හදිසි අවස්ථාවකදී දැනුම්දීමක් කළහැකි ළඟම ඥාතියකුගේ නම, ලිපිනය, දුරකථන අංකය. (යන්නේ ගෙවල් වලට හොරෙන් නම්, ඔබේ ප්‍රදේශයේ පොලීසියට නොදී, ඔබ යන ප්‍රදේශයේ පොලීසියටවත් දෙන්න) පිටත් වන වෙලාව සහ ආපසු පැමිණීමට බලාපොරොත්තුවන වෙලාවත් සඳහන් කරන්න. එමෙන්ම ගමන අවසන් කලපසු පොලීසියට කතාකර තමන් පැමිණි බව තහවුරු කරන්න.
  • ඔබේ ගමනට මාර්ග සිතියමක් අවශ්‍ය නම් කල්තබා එය සකස් කරගන්න. ගූගල් මැප් තිබෙන නිසා ටැබ්ලට් පරිගණකයක් රැගෙන යාමෙන් එවනි ප්‍රශ්න විසඳාගත හැකියි. GPS සහිත ජංගම දුරකතනයක් ඇත්නම් එයත් වැදගත්. හැබැයි මතක තබාගන්න. ඔය යන්තර සූත්තර කොයි වෙලාවේ අවුල් වෙනවද කියා කියන්න බැහැ. ඒ නිසා දළ සටහනක්වත් ඇඳ සකස්කර තබාගැනීම වඩාත් ප්‍රඥාගෝචරයි.
  • ඔබ ගමන් කරන ප්‍රදේශයේ අවට පිහිටි නගර, ගම්, මාර්ග සන්ධි ආදිය ගැන අවබෝධයක් ගමන යාමට පෙර ලබාගන්න. ඔබ යාමට අදහස් කරන ස්ථානයේ සිට එකී ගම්, නගර, මාර්ග, වෙත යාහැකි ආකාරයද, ඒවා පිහිටා ඇත්තේ ඔබ යන ස්ථානයේ සිට කුමන දිශාවෙන්, කොපමණ දුරකින්ද යන්න ගැනත්, අවබෝධයක් ලබාගන්න. ඔබට මාලිමා යන්ත්‍රයක් ගෙනයාමට හැකිනම් වඩාත් හොඳයි. හොඳින් මතක තබාගන්න, ශ්‍රීලංකාව කියන්නේ දින ගණන් අතරමංව සිටීමට සිදුවන තරම් විශාල රටක් නොවෙයි. මේ රටේ ඕනෑම කෙනෙකුට, නිශ්චිත දිශාව සොයාගැනීමට හැකිනම්, උපරිම වශයෙන්, පැය තුනකින් හතරකින්, ජනාවාසයක් අසළට පැමිණිය හැකියි.
  • ඔබේ කණ්ඩායමේ ආරක්ෂාව භාරව යටත්පිරිසෙයින් තිදෙනෙකුවත් සිටිය යුතුයි. ඉතා විශාල පිරිසක් නම් 25 දෙනෙකුට දෙදෙනෙක් තරම්වත් සිටිය යුතුයි. ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව ගැන අවබෝධයක්/ අත්දැකීමක්/ පුහුණුවක්/ තිබිය යුතු අතර කණ්ඩායමේ අනික් අය ඔවුන්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.
  • ඔබට හැකිනම් ඔබේ නම, ලිපිනය, ලේ වර්ගය, හදිසියකදී දැනුම් දියයුතු අයගේ නම, ලිපිනය, දුරකථන අංකය, ළඟම පොලීසිය, යන විස්තර කුඩා කාඩ් එකක් ලෙස පරිගණකයකින් සකස්කර, ලැමිනේට් කර, නොකැඩෙන නූලකින් කරේ එල්ලාගෙන යන්න.
  • හදිසි අවස්ථාවකදී කණ්ඩායමේ සියලුම දෙනා තරගයට වගේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථන සියල්ලම එකවර යොදාගනිමින් කතාකර බැටරි බස්සාගන්න එපා. එක දුරකතනයකින් සියල්ල කරන්න. එහි බැටරි බැසගිය පසු ඊළඟ දුරකථනය ක්‍රියාත්මක කරන්න.  
  • අපි හිතමු ඔබ ඇතුළු පිරිස අතරමංවී සිටින ප්‍රදේශයට හෙලිකොප්ටරයක් ගොඩබා ගන්නට අවශ්‍ය වුනා කියා. ඔබට ඒ සඳහා හෙලිකොප්ටර් නියමුවාට උදව් විය හැකියි. හෙලිකොප්ටරයක් තරමක අවදානමක්ද සහිතව ගොඩබෑමට නම්, අවම වශයෙන් මීටර් 60 x 60 ප්‍රමාණයේවත් සමතලා භූමියක් අවශ්‍යයි. එය, තද සුළඟට භාජනය නොවන, විදුලි කම්බි, දුරකථන කම්බි, දුරකථන/රුපවාහිනි ඇන්ටෙනා කුළුණු, උස ගස්, අසළ නැති තැනක් විය යුතුයි. න්‍යායාත්මකව මෙය හඳුන්වන්නේ ‘පතිතවීමේ සහ එසවීමේ ස්ථානය’ (Touchdown and Liftoff Area = TOLF) යනුවෙන්. මෙහිදී ඔබට හැකිනම් හෙලිකොප්ටරය ගොඩබෑමට සුදුසු ස්ථානයක් බව දැක්වෙන ජාත්‍යන්තර සංකේතය සකස් කරන්න. එය සුදු පැහැති විශාල H අකුරක්.  H අකුර තිබෙන ස්ථානය හෙළිපෑඩ් (Helipad) යනුවෙන් නම් කරනවා. ඔබ ළඟ සුදු හෝ ඊට ආසන්න වර්ණයක රෙදි ඇත්නම් ඔබ තෝරාගත් භූමියේ හරි මැද අර H අකුර සුළං හමන දිශාවට මුහුණ ලා සකස් කරන්න. ඇත්තටම නම් සුදු පැහැය තමයි අවශ්‍ය. මෙහිදී ඔබට ඔබේ පිරිසේ අය හැඳ සිටින රෙදි පවා ඉරා, කෝටුකෑලි, යකඩ ඇන මෙන් පොළොවට වදිනසේ ඒ රෙදි වලට ගසා, හෙළිපෑඩ් සලකුණ සෑදීමට පවා සිදුවිය හැකියි. හෙලිකොප්ටරය ගොඩබානවිටම එය අසළට දුවන්න එපා. සමහරවිට හෙලිකොප්ටරයේ බමන තල ඔබේ හිසේ වැදී මරණීය තුවාල සිදුවෙන්නත් පුළුවන්. පළමුව හෙලිකොප්ටරය කරදරයකින් තොරව ගොඩබෑමට නියමුවාට ඉඩදී, ගොඩබාන භූමියෙන් ඈත්වී සිටින්න. හෙලිකොප්ටරය ගොඩබා, එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විසින්, එය අසළට එන ලෙස, ඔබට සංඥා කරනතුරු, ඉවසීමෙන් සිටින්න. 

Helipad

4. ඇඳුම:-

  • ත්‍රාසජනක ගමනක යෙදීමේදී ජාතික ඇඳුමෙන් හෝ සාරි/ඔසරි/ගවුම් වලින් සැරසී යන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඩෙනිම් වැනි කලිසමක් සහ සාක්කු සහිත ටී ෂර්ට් එකකුත් සිප් ෆාස්ට්නර්ස්/වෙල්ක්‍රෝ/බොත්තම්/ වලින් වැසිය හැකි සාක්කු කීපයක් සහිත ඝන සම්/රෙක්සින්/ඩෙනිම්/ ජැකට්ටුවක් ඉතාම යෝග්‍යයි. අවස්ථාවට, දේශගුණයට, පරිසරයට, ගැලපෙන හිස්වැසුම් තෝරාගත යුතුයි. පිටේ එල්ලාගෙන යන මල්ලක් අත්‍යවශ්‍යයි. බෝට්ටු/පහුරු/යාත්‍රා ගමනක් නම් අර ජැකට්ටුව ගලවා තබා යන්න. වඩාත් සුදුසු ජලය නොඅල්ලන කොට කලිසමක් සහ සැහැල්ලු ටී ෂර්ට් එකකුයි. එකක් මතක තබාගන්න. ජීවිතාරක්ෂක කබා නොපැළඳ ජල තරණයේ යෙදීම සියදිවි නසාගනීමක්. ජීවිතාරක්ෂක කබා නොසපයන කිසිදු යාත්‍රාවකට කෙදිනකවත් එවැනි ගමනක් සඳහා ගොඩවන්නට එපා.
  • ත්‍රාසජනක ගමන්වල යෙදීමේදී පිටේ එල්ලාගෙන යන මල්ලක් ඉතා වැදගත් බවත් ඔබ දන්නවා. නමුත් ඔය මල්ලේ බුලත් විට, බීඩි, අරක්කු බාගයක්, බයිට් පැකට් එකක්, ගෙනෙහින් වැඩක් නැහැ. ඊට වඩා හොඳයි ඒ මල්ල නොගෙනියන එක. සමහරුනම් අඩු ගණනේ වේදනා නාශක ආලේප සහ ඇස්ප්‍රින් හෝ පැරසිටමෝල් වැනි පෙතිවත් අරගෙන යනවා. අපි බලමු ඇත්තටම අවශ්‍යවන දේවල් මොනවද කියා.  අමතර ඇඳුමක්, අමතර යට ඇඳුම්, මේස් දෙකක්, තුවායක්,  අවම වශයෙන් පැය 24 ක් හාමත් නොවී සිටින්නට ගැලපෙන කෑම වර්ග, (ක්‍රීම් ක්‍රැකර් බිස්කට්, රටඉඳි, ජුජුබ්ස්, ග්ලුකෝස්,චොක්ලට්) (බොන වතුර ගෙනියන්න ඕනේ කියලා කියන්න අවශ්‍ය නැහැනේ) ප්‍රථමාධාර උපකරණ, වේදනා නාශක, විෂබීජ නාශක, තුවාල වෙළුම් පටි, ක්‍රේප් බැන්ඩේජ් එකක්, තැලීම් සහ උළුක්කු ආදියේදී ගෑමට සුදුසු ආලේපන. වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ සම්පූර්ණ ප්‍රථමාධාර බෑගයක් වෙනමම සකස්කර තබා ගැනීමයි. සර්පයන් දෂ්ඨ කිරීමකදී දෙන ප්‍රථමාධාර විශේෂයෙන් දැන සිටීම වැදගත්, ඒ වගේම තමයි ගෝනුස්සන්, මකුළුවන් සහ බඹර, දෙබර, ප්‍රහාර වලදී ගතයුතු ක්‍රියාමාර්ගත් දැන සිටිය යුතුයි. එක් එක් කරුණට අදාළ සාමාජිකයන් කීප දෙනෙක් කණ්ඩායමේ ඉන්නවානම්, ( මග පෙන්වන්නා, ප්‍රථමාධාරකරුවා, පණිවිඩ හුවමාරුකරුවා, ආරක්ෂක උපදේශකයා,) ඒ කණ්ඩායම ඉතා ශක්තිමත්. නමුත් ආහාර ද්‍රව්‍ය සියලුදෙනා අත තිබිය යුතුයි. පිටේ එල්ලාගෙන යන මල්ල නිවැරදිව පටි වලින් තදවී තිබීම අත්‍යවශ්‍යයි. නැතහොත් ඔබට ගමනේදී අපහසුතාවන් දැනෙනවා. බර බඩු ගෙනයාමෙන් හැකිතරම් වළකින්න.
  • ඔබ වෘත්තීය කමරාශිල්පියකු නොවේනම්, වෙනමම ගෙනයායුතු විශාල ලෙන්ස් සහිත, ලොකු කැමරා ගෙනයන්න එපා. කැමරාව රකින්න ගොස් ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්.

backpacker 2අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි

  • ගමනට සුදුසු සපත්තු තෝරාගැනීමද වැදගත්.  බොහෝ දෙනා අද පළඳින්නේ ක්‍රීඩා සපත්තු නිසා පොදුවේ එය සුදුසුයි. නමුත් ඔබට හොඳින් පිහිනන්න බැරිනම් ජල තරණයේදී සපත්තු නැතිව යන්න.  ඔබ පාවිච්චි කරන සපත්තු වලින් ඔබේ කකුලේ ඇස්වටය ප්‍රදේශය ආවරණය වන්නේ නම් (ankle boots) කකුල උළුක්කු වීමට ඇති අවස්ථාව බොහෝ දුරට මග හැරෙන අතර සර්ප දෂ්ඨයකදී ද ආවරණයක් වෙනවා.

Hiking Shoes

අනතර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි

5. ප්‍රවාහන කටයුතු:-

  ගමන යාම සඳහා කුලී වාහන යොදාගන්නේ නම්, ඒ වාහන ගමනට සුදුසු යාන්ත්‍රික තත්වයේ තිබෙන විශ්වාසදායක වාහන විය යුතුයි. ඒ වාහන ඊට පෙර එවැනි ගමන් සඳහා පාවිච්චි කල අයගෙන්ද විමසීම සුදුසුයි. ගමය යන අතරතුර හෝ අද දිනපාන්දර සිට රාත්‍රිය වනතුරු ගමන් කර හෙට පාන්දර යළිත් පිටත්වනවානම්, රියදුරාට මත්පැන් පානය කරන්න ඉඩ දෙන්න එපා. වාහනය කුලියට ගැනීමේදී ඔබේ කොන්දේසියක් ලෙස මත්පැන් පානය නොකරන රියදුරෙකු (හැබැයි බලන්න ඒ වෙනුවට එන්නේ කුඩු ගහන එක්කෙනෙක්ද කියලා) ඉල්ලා සිටින්න. සමහර අය බලහත්කාරයෙන් රියදුරාට මත්පැන් පොවනවා. එවැනි අය කණ්ඩායමට කරන්නේ බරපතල හානියක්. ඔහු අනියම් මිනීමරුවෙක්. රියදුරාගේ වෙහෙස අනුව සාධාරණ විවේකයක් ඔහුට ලබාදිය යුතුයි. රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු වැඩියි. රියදුරා සමග කතාකරමින් යාම මෝටර් ප්‍රවාහන නීති අනුවනම් වැරදි වැඩක්. ඔහුගේ අවධානය නොබිඳෙන ලෙස කතාකිරීම නම් එතරම් වරදක් නොවෙයි. මහ හඬින් සින්දු දාගෙන, ජංගම දුරකතනයද පාවිච්චි කරමින් යන රියදුරා, නියම මග මරුවෙක්. වාහනය කුළියට ගෙන තිබෙන්නේ ඔබයි. වාහනය ගමන් කලයුත්තේ ඔබ කියන ආරක්‍ෂිත වේගය අනුවයි. රේඩියෝවේ හඬ ඔබ කැමති මට්ටමේ තිබිය යුතුයි. කොන්දොස්තරත් රථය පදවනවානම් ඔහුට ඇත්තටම ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි.

6. ගමනේ සම්පූර්ණ වාර්තාවක් තබාගන්න:-

  • ගමන යන අයගෙන් කෙනෙක් ගමන සංවිධානය කරන මොහොතේ සිට ආපසු පැමිණ ගමන අවසන් කිරීම දක්වා සම්පූර්ණ කාලය තුළ සිදුවූ සියල්ලම දිනය, වෙලාව, සිදුවීම, ගන්නා ලද පියවර, වෙනත් කිවයුතු කරුණු, යන මාතෘකා ඔස්සේ ලොග් සටහනක් තබාගන්න. මෙය විහිළුවක් නොවේ. මෙය කිසියම් බරපතල සිදුවීමකදී සාක්ෂියක් ලෙස වැදගත් වෙනවා. එමෙන්ම කවදා හෝ නැවත මෙවැනි ගමනක් සංවිධානය කිරීමේදී පසුගිය වතාවේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට විශාල ආධාරයක් වෙනවා. ගමන ගැන සංචාරක සටහනක් ලෙස ලිවීමට උපකාරයක් වෙනවා.

  මා ඔබට ඉදිරිපත් කලේ පාඨමාලාවකින් කියාදියයුතු තරමේ දීර්ඝ විස්තරයක් හැකි තරම් කෙටි කිරීමක් ලෙසයි. ඉඩ ලැබුනොත් පසුව මේ ගැන කොටස් වශයෙන් ලියන්නම්.

 මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ රිවස්ටන් ප්‍රදේශයේ සහ හන්තාන ප්‍රදේශයේ අතරමං වූ පිරිස් ගැන දැනගත් මොහොතේයි. මේ දැන් දැනගන්න ලැබුනා තිස්සමහාරාම වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් හත් දෙනෙකු මියගිය බව. ඉතා අවාසනාවන්ත තත්වයක්. හේතු කීපයක් තිබෙනවා. කණ්ඩායම් නායකයකු නැහැ. පිරිසේ බහුතරය බීමත්ව සිට ඇත්තේ. ආරක්ෂාව ගැන කිසිදු හැඟීමක් තිබී නැහැ. බෝට්ටු කාරයා සල්ලි ගැන පමණක් සිතා මුළු පිරිස 22 ක් ? ගෙනගොස් තිබෙනවා. ඔවුන් කිසිවකුටත් ජීවිතාරක්ෂක කබා තිබී නැහැ. එමෙන්ම ඉතා අවාසනාවන්ත කරුණක් තමයි අපේ රටේ ජනතාවගෙන් 25% ක් වත්, පිහිනීම කෙසේ වෙතත්, ගැඹුරු ජලයේ නොගිලී, තමන් බේරාගන්නාතුරු සිටීමට දන්නවාද කියන එක.

  ඔබ දකින්න ඇති, මෑතකදී ,කිමිදුම් කරුවන් හතර දෙනෙක්, ගොඩබිමට කි.මී. 12 ක් ඈතින් මුහුදේ අතරමං වුවත්, පැය 24 කට පසු බේරාගන්නා තුරු ජලයේ නොගිලී සිටීමට සමත්වීම පිලිබඳ රූපවාහිනී පුවත් වාර්තාව. එසේ සිටින්නට ඔවුන්ට හැකිවුනේ ඔවුන් ලබාසිටි පුහුණුව නිසයි. පිහිනුම් පන්තියකට වඩා ටියුෂන් පන්ති ලොකුයිනේ. ඉතින් මොකද කරන්නේ. දරුවකු ඒවාට යොමු කරන්නේ කීයෙන් කී දෙනාද?

මූලාශ්‍ර:- 

  • The Survival Handbook (Essential Skills for Outdoor Adventure) 2009 Edition
  • US Department of Transportation Advisory Circular 150/5390/2B (1994)

My Signature for Blog2012 දෙසැම්බර් මස 23 දින 2303 පැය

Advertisements

Comments on: "අනික් ඒවා ආරක්ෂිතව කරනවා මේක විතරක් බැහැ Survival in Adventure Tours" (98)

  1. මං නං ඇත්තටම ඔහොම ගමන් ගිහිල්ලා නෑ… හරි ආසයි යන්න… ඒත් මේ ආත්මෙට නම් හම්බුවෙන එකක් නෑ වගේ…

    හැබැයි එකක්.. පොඩි ට්‍රිප් එකක් ගියත් මං පොඩි බෙහෙත් මල්ලක් අරං යනවා.. පැනඩෝල්, සිද්ධාලේප, බැන්ඩේජ්, ප්ලාස්ටර් වගේ පුංචි දේවල්.. අලි මල්ලක් උස්සන් යනවා කියලා කට්ටිය ඒකට හිනාඋනත් ඕක ඕනෙ උනාම තමා කියව කියව හොයාගෙන එන්නේ.. හි හි…

    ///ඔබ තරුණියක් නම්, ගමන යාමට පෙර සිතිය යුතු කරුණු තිබෙනවා. ඔබ සාම්ප්‍රදායික සමාජ තත්වයන් (රළු පරිසරයකදී බයිසිකල් පැදීම, වැටීම, වැනි දේ නිසා කන්‍යාභාවයට හානිවීම වැනිදේ) ගැන තදින් සලකන්නේ නම් මෙවැනි ගමන් නොයන්න. ///

    මේ කෑල්ල නොදැම්මනං මං හරි කැමතියි… හි හි… මාත් අවුරුදු ගානක් ඇති වෙන්න බයිසිකල් පැද්දා.. ඒත් මට නම් ඔහොම කිසි දෙයක් උනේ නෑ.. ඕවා හින්දා තමයි අපේ ගෑණු ළමයින්ට තාමත් ඔය වගේ කිසිම අත්දැකීමක් විඳින්න හම්බුවෙන්නෙ නැත්තේ…. ඇත්තටම මට හරිම තරහයි ඔය වගේ හේතු පෙන්නලා ට්‍රිප් එකක්වත් යන්න දෙන්නේ නැති එක ගැන… හරිම කරුමයක්…..

    ///පිහිනුම් පන්තියකට වඩා ටියුෂන් පන්ති ලොකුයිනේ///

    අන්තිමටනේ ඕනෙම දේ කියලා තියෙන්නේ… හි හි ( මේ කියෙව්වට මටත් පීනන්න බෑ.. ආපේ මල්ලියි නංගියි ළඟපාත නැත්තම් මං නෙවෙයි වතුර පැත්ත වත් බලන්නේ.. හි හි)

    • හිරු, මම කිව්වේ මේකයි සාම්ප්‍රදායික චිතනය තියන තරුණියකට දෙපාරක් හිතන්න ඉඩ දීමක් ලෙසයි එහෙම ලිව්වේ. නමුත් ඔය කන්‍යාභාවය කියන මිත්‍යාවේ තවමත් එල්ලිලා ඉන්න අයගේ ප්‍රමාණය පි හිතනවාට වඩා විශාලයි.
      ඔබ ප්‍රථමාධාර මල්ලක් ගෙනයනවා කියලා ආඩම්බර විය යුතුයි.
      ගමේ ඇලේ දොලේ නාන කොල්ලන්ට නම් පිහිනුම් පන්ති ඕනේ නෑ. අපිත් ඉගෙන ගත්තේ එහෙම තමයි. දැන් අපේ දරුවෝ නිකම් හුළං බෝනික්කෝ වීමයි දුක.

    • //මාත් අවුරුදු ගානක් ඇති වෙන්න බයිසිකල් පැද්දා.. ඒත් මට නම් ඔහොම කිසි දෙයක් උනේ නෑ.//
      අක්ක හරි. ගොඩ දෙනෙක් කරන්නෙ බයිසිකලේ, තමන් කරන කරපු මොකක් හරි ක්‍රීඩාවක් තියනවනම් ඒක බිල්ලට දීල අනිත් ක්‍රීඩා කෞශල්‍යන් කවර් කරගන්න එක.

      //ගමේ ඇලේ දොලේ නාන කොල්ලන්ට නම් පිහිනුම් පන්ති ඕනේ නෑ. //
      අපිත් ගමේ කොල්ලො තමා 😀 හැබැයි මෙහෙ ඇලක් දොලක් මොකුත් නෑ. ගලන්ඩ වැස්ස වෙලාවටවත් කෙහෙල් කොටයක්වත් දාල යන්න බැරි වෙල් විතරයි තියෙන්නෙ. නාන්න කියල තියන තැන් වල අවුරුදු දෙක තුනකට සැරයක් කවුරු හරි අභාවප්‍රාප්ත වෙන හින්ද ගිහින් අහුවුණොත් එහෙම ගෙදරින් හම්බෙන බත් එකක් නෑ. ඒ හින්ද මාත් ඇතුළුව අපේ ගමේ කොල්ලන්ගෙන් බහුතරයකට පීනන්න බෑ. St. John ambulance එකේ ප්‍රථමාධාර පුහුණුවනම් අරන් තියනව. ඒත් දැං ඒකත් අවලංගුයි. අපිට කීවෙ අවුරුද්දකට සැරයක් පුහුණුවීමකට සහභාගී වෙන්න ඕනෙ කියල අළුත් ප්‍රථමාධාර ක්‍රම දැනගන්න ඕනෙ නිසා.

      http://blog.chanakalin.com

      • අර විශ්වවිද්‍යාල සිසුන්ට දෙන නායකත්ව පුහුණුව වෙනුවට මුළු රටේම තරුණ පරපුරට ජීඅත්වීමේ පුහුණුවක් දෙන්න කාලය හරි කියලයි මට හිතෙන්නේ.

    • හිරු කියන කතාව ඇත්ත නමුත් අද සමාජයේ මතුපිටින් නැති උනාට ගැහැණු ළමයෙක් ගොඩක් අසරණ වෙන තැනක් තමයි කන්‍යාභාවය කියන සංකල්පය මොකද ආසියාතික සමාජයේ ජීවත් වෙන අපි තාක්ෂනය,දේශපාලනය වගේ පැති වලින් බටහිර කරණය උනාට සංස්කෘතිය අතින් තාමත් අපි ගොඩක් වෙනස් ඒ නිසා අපේ සමහර පිරිමි ගැහැණු ළමයෙක් ගේ ඒ අඩුව ඇපයට අරගෙන වෙන සම්බන්දකම් පටන්ගන්නවා නමුත් මා ඔබේ මතය සමග එකඟ වෙනවා. ස්තුති –

      • හැබැයි කුෂාන්, ඔය කන්‍යාභාවය සංකල්පයෙන් අපේ ගෑණු ළමයින්ව පොඩි ආරක්ෂාවීමකුත් තියනවා. මම කියන්නේ මංගල දින රාත්‍රිය කොහොම වෙතත් විවාහ වනතුරු චරිතය රැකගැනීම වැදගත්නේ.

      • එහෙම කළා කියලා වැඩක් නෑ නේ විචාරක තුමා.. කෙල්ලෝ පරිස්සම් උනාට කොල්ලෝ පරිස්සම් වෙන්නේ නැතුව… මතකනේ අර මාරයගේ එකේ එදා ගිය සංවාදය..

        ම‌ෙග් යාලුවෙක් ඔය වගේ ලස්සනට ඉඳලා කසාද බැන්දා… දැන් මාස දෙකකට කලින් දැනගත්තේ හස්බන්ඩ්ට සමාජ රෝගයක් කියලා… අර කෙල්ලටත් බෝවෙලා… අර කෙල්ල මොන වැරැද්දක් කළාටද ඉතිං මේ දඬුවම් විඳින්නේ දැං…

        කෙල්ලෙක්ගේ ජීවිතේට ඇපයක් කරගෙන ඕක… ඉතිං හිතලා බලන්න… කොච්චර දුකක් විඳිනවද කියලා කෙල්ලෙක්…. මට උනත් කවදාවත් ට්‍රිප් එකක් වත් යන්න හම්බුවෙලා නෑ ඉස්සර… මම නම් සෙල්ලම් හරි කළා.. සමහර ගෑණු ළමයි ක්‍රීඩාවකට වත් යන්නේ නෑ… ජීවිතේ විදින්න තිබ්බ කාලෙත් විදෙව්වා… දැනුත් විඳවනවා… වැඩක් තියෙනවද එහෙම ජීවිතයක්… බැන්දට පස්සේ යන්න කියලද.. මේ ජීවත් වෙන්න කරන අරගලයත් එක්ක මොන ට්‍රිප් ද…. මොන සෙල්ලම්ද… කොල්ලෙක්ට තියෙන නිදහස ඇයි කෙල්ලෙක්ට නැති වෙන්න හේතුව…. ඔය කෙහෙල්මල් කන්‍යාභාවය තමයි.. වෙන මොකක්වත් නෙවෙයි.. අම්මපා ඔය මස් කෑල්ලත් එක්ක මට එන තරහක්….

        ඕවා පැත්තක තියලා මේවා එළිපිට කතා කරන්න පටන් ගන්න කාලේ හරි… මං නං ඕ‌ෙන් එකෙක්ට කියන්නේ කොච්චර විශ්වාස උනත් කමක් නෑ බඳින්න කලින් අඩුම ගානේ ඒඩ්ස් පරීක්ෂනේවත් කරපල්ලා කියලා… ඒවා ඉතිං මෙහෙම නං කෙරෙන වැඩ නෙවෙයි තමයි.. මොන කෙල්ලද එහෙම කියන්න හයියක් ඇතුව ඉන්නේ අපේ රටේ….

        කෙල්ලෝ පරිස්සම් උනාට වැඩක් නෑ.. කොල්ලෝ නටන්න ඕනේ හැම මඟුලම නටනවා නං ..

        • අපේ සමාජයේ තියන දුෂ්ඨ, පහත්, අදහසක් තමයි, කොල්ලෙක් කෙල්ලෝ/ගෑණු 100 ක් එක්ක බුදියගෙන ඉඳලා ගෙදර ආවත්, වතුර එකක් නාවලා ගෙට ගන්න පුළුවන්, නමුත් කෙල්ලෝ එහෙම බෑ කියලා.
          විවාහකයන්ටත් මේක අදාලයි කියලා හිතන තරමට පහත් මානසිකත්වයේ ඉන්න අයත් මට හමුවෙලා තියනවා.
          විඳින්නේ නැතුව විඳවන එකට බොහෝදුරට බලපා තියෙන්නේ අර සාම්ප්‍රදායික චින්තනයේ එල්ලිලා ඉන්න අයටම තමා.
          ඒඩ්ස් තියා තැලසීමියා පරීක්ෂණයවත් කරගන්නේ නැති ‘උගත් පෙම්වත්තු’ මට හමුවෙලා තියනවා.

      • නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේකට තමයි.

    • මට උනත් කවදාවත් ට්‍රිප් එකක් වත් යන්න හම්බුවෙලා නෑ ඉස්සර… // තමුන් සිටින විදුරු බෝතලයෙන් නිදහස් විය යුත්තේ තමුන්මයි. නමුත් ප්‍රවේශමින්. කෙල්ලන්ට තියා සමහර කොල්ලන්ටවත් ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑ.

      • අපි කලයුත්තේ කෙල්ලන්, කොල්ලන්, විවාහක පිරිමින්, ගැහැනුන්, ගෙදරට තබා බැඳ දැමීම නොවේ. අවබෝධයෙන් සහ වගකීමෙන් යුක්තව ලෝකය රස විඳින්නට අවස්ථාව ලබා දීමයි. හැබැයි, අපි සියලු දෙනාම, මම කවුද මොනවද කරන්නේ කියන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් දියහැකි තත්වයක ඉන්නවානම් තමයි, සියල්ල හොඳින් සිදුවෙන්නේ.

  2. සමීර විජයවර්ධන said:

    අනර්ඝ ලිපියක්. මේ වගෙ ලිපියක් කියවල වත් අපේ තරුණ පරපුර Trip එකක් යනකොට දැනට වඩා සූදානම් වෙලා යනව නම් ලොකු දෙයක්.

  3. හැම ට්‍රිප් එකක්ම යන්න ඉස්සෙල්ලා ආයි ආයි කියවන්න වටින ලිපියක් තමයි මේක නම් විචාරක තුමා.. ප්‍රින්ට් කරලම තියා ගන්න ඕනි. සුහද හමු වලදි එක ශොට් එකක් හරි දා ගත්තත්..මාත් ට්‍රිප් ගිහින් නම් බොන්නෙම නෑ.. ට්‍රිප් එකේම ෆන් එක ඉවරයි..අර කැමරාවෙ කතාව නම් සහතික ඇත්ත..ඒක පරිස්සම් කරන්න යන වෙලාව නිසා බලන්න තියෙන නමුත් මඟ හැරෙන කොටස් අනන්තයි…

    • මේවා බොහොමයක් අපි නොදන්නා දේවල්ම නොවෙයි වෙනි, නමුත් මොකක්දෝ කරුමෙකට මේවා දන්නවා කියලා හිතාගෙන ඉන්න අයමයි අන්තිමට වැඩේ සවුත්තු කරගන්නේ. මේ ලිපිය සාකච්ඡාවට භාජනය වෙනවානම් මම කැමතියි.

  4. පොදුවේ හැමෝටම වැදගත් කියන ලිපියක්. ඔබගේ ලිපිවල හැමදාම පාහේ කුමක් හෝ අප නොදන්නා දෙයක් අන්තර්ගතයි.
    සිරිපා ගමන කියන්නේ වැඩි වියදමක් නැතිව පොඩි කට්ටක් කාගෙන යන්න පුළුවන් ගමනක්. අවාරේ ගමනත් නරකම නෑ. ඇඟ බස්ස ගන්නත් එක්ක මේ වාරෙ යන්න හිතන් ඉන්නෙ.

    • ඇත්තටම මට වෙලාවකට හිතෙනවා අපේ පැරැන්නොත් සිරීපාදේ ගියේ ඒ ගමන ඇතුලේ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරීක්ෂනයකුත් තියාගෙනද කියලා.

  5. විශ්ව රංගනාත් said:

    ඉතාම වැදගත් මෙන්ම ප්‍රයෝගික ලිපියක්. නමුත් ලංකාවේ පොලීසි වලට මේ වගේ ට්‍රාසජනක සංචාරයක් යන්න කලින් කිවුවම ඒ ගැන සලකා බලාවිද?

    • අනිවාර්යයෙන් පොලීසිය ඒ සඳහා බැඳී සිටිනවා. ඒ වගකීම ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙම කරනවානම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

  6. මම මේක දැන් දැක්කෙ.. හෙට කියවන්න ඔණි. නිදිමතේ කියවන්න පුලුවන් එකක් නෙමේ.. කරුනු ගොන්නක් තියේ වැදගත් පේන විදියට..

    • හෙමිහිට කියවා අඩුපාඩු පෙන්වාදෙන්න.

      • එල.. කියෙව්වා.. 🙂
        මෙවැනි ගමනක් යන්න හිතන් ඉන්නවා. ඒකමයි හිමීට කියවන්න ඕනි කිව්වෙ..

        දඹුලු ගිහින් තල ගොයි මරාගෙන කියන කතාව වෙනස් විදියකටත් අහල තියනව. තල ගොයි කියනෙ තල වගා කරන ගොවියා.. දඹුලුවන්දනාවෙ යන මිනිස්සු තල වගා කරන ගොවියන්ගෙන් කුණු කොල්ලයට තල අරන් එන එකට ඔහොම කියනව කියලත් අහල තියනව

  7. ගොඩක් හොඳ ලිපියක් විචරක මැතිතුමනි ගොඩක් නොදන්නා දේවල් ගොඩක් අමාරුවෙන් හොයල අපිට මේ වගේ දැනුම බෙදන එකට ගොඩක් පින් ඔබතුමාට .මොකද අපි හැමදාම යන්නන් වාලේ රැල්ල පාගන්න යන මිනිස්සු මිසක් ගමනක් යන්න කලින් මේවා හිතල බලන මිනිස්සු නොවෙන නිසා මේ ලිපිය ගොඩක් වටිනවා .

    • ඇත්තටම මේ ලිපිය කොටස් කීපයකින් ලියන්න ඕනේ එකක්. නමුත් බොහෝ දෙනා කොටස් වශයෙන් යන ලිපි කියවීම අඩු නිසා එක ලිපියක් හැටියට ලිව්වේ.

  8. හුඟක් හොඳ ලිපියක්. ලියන්න පුදුම මහන්සියක් අරගෙන තියෙන්නේවැදගත් කරුණු ගොඩක් තියෙනවා.නිකං වැල්වටාරම් ලියනවාට වඩා මහන්සිවී වැදගත් යමක් ලිවිම හොඳ දෙයක්. තව එකක් ඔබ නිවැරදිව භාෂාව හසුරවා තියෙනවා. සමහර අය හිතන්නේ භාෂාව මරා ලියන එකඅනික් අයගේ අවධානය ගන්න කලයුතුම එකක් කියල.එකනේ “තාත්තා කොළඹ ගියේය”වැනි ලිපි ලියන්නේ. ඔබේ වෑයමට ස්තුතියි.
    සමරසේකර

  9. //ලොකු කැමරා ගෙනයන්න එපා. කැමරාව රකින්න ගොස් ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්//

    අප්පා ඔය කැමරා වැඩේ දැන් මහ කරදරයක් වෙලා , කක්කුස්සියටත් කැමරාව එල්ල ගෙන යන එක දැන් පැෂන් එකක් වෙලා

    මුහුණු පොතේ ෆෝපයිල් පික්චර් එකටනං කැමරාව එල්ල ගත්ත එකක් තියනවානං අනිවා දානවා

  10. ඉතා වැදගත් ලිපියක් විචාරක මහත්මයා.

    ‘හදිසි අවස්තාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කලබල නොවී තීරණ ගතහැකි අයකු ඔබේ කණ්ඩායමේ සිටීනම් එය ඉතා වටිනවා.’
    මේකනං ඉතාම වැදගත් දෙයක්. මොකද ඒ වගේ අවස්ථාවකදි කලබල වීමෙන් වෙන්න පුලුවං අනතුර වැඩි වෙන්න පුලුවං.

  11. අනතුරු දායක තැන්වල බෝඩ් ලෑල්ලක්වත් ගහලා තියනවානම් මැරෙන ගානවත් අඩුවෙයි…

    තලගොයි කතාව නම් මං අහලා තියන විධියට තලගොවියෝ ගැනයි කියවිලා තියෙන්නේ…
    “දඹුලුත් ගොසින් පේවී වැඳලා එන්නේ – තල ගොවියන් මරා රවටා බඩු ගන්නේ”
    http://www.divaina.com/2011/06/05/siya03.html

  12. මෙවන් ලිපියක් අන්තර්ජාලයෙන් කියෙව්වමද කොහෙද..ස්තුතියි විචාරක..
    සරසවි ගවේෂක සංගමයත් එක්ක එකතු වෙලා කඳු නගිද්දි ඔය කියලා තියන දේවල් හැම දේම අපි කරනවා..ලස්සනම වැඩේ තමයි Head Tail සැකැස්ම..ගමන පටන් ගද්දිත් ඉවර කරද්දිත් අතර මග නතර වෙලා ආපහු පටන්ගනිද්දිත් ඉන්න කස්ටිය ගණන් කරන්න අපි කවුන්ට් එකක් ගන්නවා..
    එක්කෙනක් හරි නැති වුනෝතින් ආයෙ අපි කඳු නැගලා කපෝති නිසා..ඒ ගැන අපි ගොඩක් සැලකිලිමත්.

    ගමන් මල්ල ගැන කියද්දි මතක් වුනේ ගමන් මළු තෝරගද්දි පිටට බර වැටෙන ගමන් මල්ලක් වීම සුදුසුයි..උරහිසට පමණක් බර වැටෙනකොට ඒක ගොඩ දුරක් එල්ලගෙන යන්න අමාරුයි..බඩ හරහාත් බකල් එකක් තියන බෑග් එකක් තමා ගොඩක් සුදුසු..

    අනික ඇඳුමත් අත් දිග එකක් වෙනවා නම් හොඳයි මොකද කඳු කෑලෑවල කටුඅකුල් කූඩැල්ලන් බහුල නිසා..

    • ඔබේ අත්දැකීමෙන්ම එකතු කරන ලද අදහස් ඉතා අගය කරනවා.
      Head Tail ක්‍රමය වෙනුවට Group 1, Group 2, ක්‍රමය යොදාගන්නවානම් වඩාත් හොඳයි. ඒ වගේම එම කණ්ඩායම් අතර මීටර් 100 ක වත් පරතරයක් තබා ගත යුතුයි.

  13. කේ.යු.ජී.උදාර said:

    බොහොම වටින ලිපියක් විචාරක මහත්තයෝ……….

  14. හුගක් වටින ලිපියක්
    අපේ ළමයින්ව අපි පුංචි කාලෙදි හරියට පරිස්සම් කරනවානේ. ගහකට නගින්න දෙන්නෙ නෑ. ගගක මුහුදක නාන්න දෙන්නේ නෑ. ඉතින් මේ ළමයි තරුණකාලෙට එනකොට මේ අත්දැකීම් හොයාගෙන යනවා. අපි හොදට බැලුවොත් පේන දෙයක් තමයි ත්‍රාසජනක ගමන් වලට වැඩියෙන් පෙළඹෙන්නේ තරුණ පිරිස්. අනිත් වැදගත්ම දේ තමයි මේ වගේ ගමන් යනකොට ඒ යන පිරිස් ඒ ගැන වැඩි විස්තරයක් ගෙවල් වලට කියන්නෙත් නෑ. වැඩි හරියක් ගෙවල් වලට හොරෙන් තමය් යන්නේ. ඇයි ඉතින් කිව්වොත් එහෙම ඒ ගමන යන්න දෙන්නෙත් නෑ නේ. තරමක් අවදානම් ගමනක් යනකොට අත්දැකීම් තියන පුද්ගලයන්ගේ ගුරුහරුකම් අත්‍යවශ්‍යයි. අපේ පැරැණ්නන්ට නඩේ ගුරෙක් හිටියෙත් ඒ නිසයි. ඉතින් කිසිම අත්දැකීමක් නැති පිරිසක් ත්‍රාසජනක ගමන් වල යෙදිම ඇත්තටම අවදානම් දෙයක් තමයි. අපේ හුගක් තරුණයෝ හදිස්සියකට තුවාලයකට බේතක්වත් දාගන්න දන්නවාද කියලා මට නම් සැකයි. අඩු තරමේ මේ වගේ ගමනක් යනකොට බේතක් හේතක්වත් ගෙනියන්න තරම් අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. අපි මේ දේවල් අපේ ගෙවල් වල, පාසලේ හෝ මාධ්‍යය වල කතා නොකරන හින්දා මේ වගේ ලිපිවල තියන වටිනා කම කියලා නිම කරන්න බෑ. තව තවත් මේ වගේ ලිපි ලියන්නට උත්සාහ කරන්න. ඔබට ජය!

    • ඔය ළමයි පරෙස්සම් කිරීමේ සංකල්පය මේ මෑතකදී ආව බොරු සෝබනයක්. අපි සියලු දෙනාටම උපතින්ම විෂබීජ වලට අදාළ ප්‍රතිශක්තියක් යම් තරමකට ශරීරය තුලම පිහිටලා තියනවා. සමහරු තමන්ගේ ගෙදර ටයිල් පොලොව ඩේටෝල් වතුරෙන් හෝදලා ඒ මත රෙද්දකුත් එලලයි දරුවකු බිම තියන්නේ. ඒ දරුවා තුල ඇති කරන බිය නිසා කවදාවත් එළිමහන් ක්‍රියාකාරකම් වලට යන්නේ නැහැ.
      ත්‍රාසජනක ගමන් යන බොහෝදෙනෙක් අනුන්ගෙන් ලැබෙන ආරංචි සහ ‘බීලා ජොලිකිරීම’ කියන සංකල්පය මුල්කරගෙනයි යන්නේ. නමුත් ත්‍රාසජනක ගමනක පරමාර්ථය වියයුත්තේ, තමන්ගේ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, චිත්ත ධෛර්යය වැඩි දියුණු කර ගැනීම, අභියෝග බාරගැනීම සහ උපක්‍රමශීලීව ඒවා ජයගැනීම වැනි ගුණාංග වර්ධනය කරගැනීමයි.
      ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

      • //ටයිල් පොලොව ඩේටෝල් වතුරෙන් හෝදලා ඒ මත රෙද්දකුත් එලලයි දරුවකු බිම තියන්නේ//

        ඇත්තමයි.. දරුවට ඇවිදින්න දෙන්නේ නෑ වැටෙනවා කියලා… මොනවා හරි කරන්න ගියත් අල්ලලා ඇදලා ගන්නවා තුවාල වෙනවා කියලා… ළමයි වැටෙන්න ඕනේ, එයාලට හෙම්බිරිස්සාව එහෙම හැදෙන්න ඕනේ කියන අම්මලා තාත්තලත් බැනුම් අහනවා දැං ඉන්න අයගෙන්… ඇත්තටම ඒ වගේ ලෙඩක් හැදුනම තමයි ඇඟේ ප්‍රතිශක්තිය හැදෙනවා කියන්නේ.. තුවාලයක් උනාම තමයි ළමයින්ට තේරෙන්නේ ඒක නොකර ඉන්න…

        අම්මලා ඒවා දැනගෙන හිටියත් ළමයා වැටුනොත් අම්මට ගහන, බනින ජාතියේ තාත්තලාත් ඉන්නවා මං දන්න අය.. හි හි

        • අපේ ගෙවල් පැත්තේ එක්තරා හමුදා නිලධාරි උන්නැහැ කෙනෙකුට මම කිව්වා, එතුමාගේ එක වරක් උසස් පෙළ අසමත් දියණිය, අනවශ්‍ය විදිහර මරව මරවා පන්ති යවන්න එපා. ඒ වෙනුවට එයත් එක්ක සාකච්ඡා කර, එයාගේ දක්ෂකම් හඳුනාගෙන, විධිමත් ක්‍රමයකට ඉදිරි අධ්‍යාපනය සැලසුම් කරන්න කියලා. අනේ ඒ උන්නැහැ එදා ඉඳලා මාත් එක්ක ආශ්‍රය අතහැරියා. දැන් මෙ ලිපියේ සඳහන් දේ වුනත් සමහරු කියයි අපිට ඔව්වා ඕනේ නෑ අපිට ඕනේ විදිහටයි අපි ගමන් යන්නේ කියලා.

  15. මේ වගේ ගමනක් යන්න ආසා හිතෙන විදියටමයි ලියල තියෙන්නේ.

  16. ඉතා වැදගත් කරුණු රැසක්. මා දෙසැම්බර් විසි හය ජාතික ආර්ක්ෂක දිනය අලලා මේ ගැන මගේ දැනුමත් බෙදා ගන්න අදහස් කරනව.
    අපේ රටේ බහුතරයක් දෙශීය සංචාරකයින් නිසි සූදානමක් නැති කම නිසා “නා ගන්නව”. ඒ නිසා අවධානමට පෙර සූදානම ගැන මීට වඩා අවධානය යොමුකරන්න අපේ අයව සූදාණම් කරන පුළුල් කතිකාවතකට තව ප්‍රමාද නොවී යා යුතුයි. නැතිනම් යුද්දෙදි මල ගණනට අලගු තියන්නත් බැරිවෙන එකයි.

    • මටනම් හිතාගන්න බැහැ මේ තරම් මාර්ග අනතුරු, ජල අනතුරු, සිදුවෙද්දීත් ඇස් කන් නැති අයවගේ සමහරු ක්‍රියාකරන්නේ කොහොමද කියලා. සමහර අය ප්‍රවෘත්ති අහන්නේ බලන්නේ නැහැ. සමහර ගෙවල්වල රූපවාහිනිය ගුවන්විදුලිය තිබෙන්නේ ළමයින්ගේ පාලනය යටතේ. ඒවායේ අහන්නේ බලන්නේ විනෝදාත්මක දේ පමණයි. සෑම පොලිස් ස්ථානයකින්ම, සතියකට වරක්, එක ගමක මහජනතාව රැස් කරලා, කරුණු කියාදීමේ වැඩපිලිවෙලක්වත් තිබිය යුතුයි.

  17. මම නම් ඔය වගේ පාගමන් යැවෙනවා.. ප්‍රථමාධාර මල්ල නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. අමතර ඇදුමක් ඉටි බෑග් එකක දාලා සෙලෝ ටේප් දාලා සීල් කරලා ගෙනියනවනම් හරි. පොකෙට්ටුව ජංගම දුරකථනය වගේ ඒවා දාගෙන යන්නත් නොතෙමෙන ආරක්ෂිත බෑග් තියෙන්න ඕනේ. අපි නම් සැහැල්ලු කොට කලිසමක් ටී ෂර්ට් එකක් තමයි අදින්නේ. තෙත් වනාන්තර වල ඇවිදිනවානම් සපත්තු දාන එක කරදර වැඩක්, ඒත් වියලි කලාපයේ යනවා නම් සපත්තු අනිවාර්යයි. අප සතුව හවර්සැක් (නම හරිද දන්නෙ නෑ)බෑග් තියෙනවා පා ගමන් සදහාම නිර්මානය කරන ලද ඒවා. පුද්ගලික ඇදුම් පුලුවන් තරම් අඩුවෙන් තමයි ගෙනියන්න ඔනේ. කණ්ඩායමේ පිරිසගේ ශරීර සෞඛය වගේම දරා ගැනීමේ හැකියාවත් වැදගත් වෙනවා. අපේ මතය හැටියට නම් 8දෙනෙක් වගේ තමයි උපරිම සහභාගී කරගන්නේ.
    ඒ වගේ ගමන් වලදී අපිට නාන්න හම්බවෙන තැන් ගැන අපි දන්නේ නෑනේ. කොච්චර පීනන්න පුලුවන් උනත් එක්කෙනෙක් කඔයක් අරන් කල්පනාවෙන් ඉන්නවා.
    යන මාර්ගයේ සිතියමක් තිබීම වගේම සැලසුම් කළ මාර්ගයෙන් ඉවතට නොයෑමට වග බලා ගැනීමත් ගොඩක් වැදගත්. අපි අදාල ප්‍රෙද්ශයේ පොලීසිය දැනුවත් කිරීම නම් කරන්නේ නෑ. ලංකාවේ එහෙම තත්වයක් තියෙනවාද මම දන්නෙ නෑ. ඒත් අපි යන ප්‍රෙද්ශය ගැන නිවැසියන් හොදින් දැනුවත් කරලා යන්නේ. මේ වගේ ගමන් ගිහින් බොන්න යන එක නම් මහ මෝඩ වැඩක්.
    අපි යන චාරිකාව සංවිධානය කරන කෙනා තමයි නායකයා වෙන්නේ. වයස් බේදයකින් තොරව අනිත් අය එයා කියන දේ අහනවා. සමහර තීරණ සදහා සාකච්චාවත් වැදගත් වෙනවා. අති පණ්ඩිතයන් ගෙනියන එක ටිකක් අවධානම් වැඩක්. ඒ වගේම තමයි බොරු වීරයෝ.

    කවුරුත් වැඩිය හිතන්නේ නැති දෙයක් ගැන හිතලා ලියපු පෝසටුවක් නිසා වටිනාකමින් බොහොම වැඩියි. මම මේ පළවෙනි වතාවට මේ පැත්තට ආවේ..

    • මුලින්ම ඔබව සාදරයෙන් පිළිගන්නා අතර හැකි සෑම විටම මේ පැත්තේ එන ලෙස ආරාධනය කරනවා.
      ඔබේ වටිනා අදහස් වලින් මේ ලිපියට අලුත් කරුණු එකතු කිරීම ගැන බොහොම ස්තුතියි.
      අපේ මිනිස්සුන්ට නීතිගරුකව වැඩකිරීමට උගන්වන්නේ කොහොමද කියන එක තමා මේ සියල්ලට පසුපසින් තියන මහා ගැටලුව.
      ඇගයීම ගැන ස්තුතියි.

  18. විචාරක තුමණි, කාලෙකට පසුව කොයි කාටත් වටින අගනාම උවදෙස් රැගත් හොඳම ලිපියක්. ස්තුතියි ඔබට.

  19. ගොඩක් වටින විස්තරයක් හා අවවාද ටිකක්.. ඒත් ප්‍රායෝගිකව කට්ටිය සෙට් උනාම ඕව ගැන නොහිතන එකයි ප්‍රෂ්නෙ

  20. හොඳ චාරිකාවක් ඉවර කලාට පස්සේ මේක දැක්කේ. ඒත් ඊලඟ පාර යන්ට කලින් කියවන්ට කියලා වෙන් කරලා තියාගත්තා…:-)

    ///ඔබ තරුණියක් නම්, ගමන යාමට පෙර සිතිය යුතු කරුණු තිබෙනවා. ඔබ සාම්ප්‍රදායික සමාජ තත්වයන් (රළු පරිසරයකදී බයිසිකල් පැදීම, වැටීම, වැනි දේ නිසා කන්‍යාභාවයට හානිවීම වැනිදේ) ගැන තදින් සලකන්නේ නම් මෙවැනි ගමන් නොයන්න. ///

    මේ ටිකට නම් හිනා ගියා. තරුණයන්ට දෙන්ට අවවාද මුකුත් එහෙම නැද්ද?:-D

    • බොහොම හොඳයි. ඊළඟ පාර යැද්දේ ගමන යන ඔක්කොම ය එකතු කරලා මේ ගැන සාකච්ඡා කරන්න.
      තරුණයන්ට සහ තරුණයන් වෙන්න හදන අයට තමයි කිව්වේ ගෑණු ළමයි ඉස්සරහා බොරුවට වැඩ පෙන්නන්න එපා කියලා.
      තවත් කරුණු තියනවා. පළමුවැනි එක මහත්මයෙක් වගේ හැසිරෙන්න කියන එක. නමුත් මගේ පළමුවැනි පරමාර්ථය ජීවිත බේරාගැනීම නිසා ඒ කාරණේ ලිව්වේ නැහැ.

  21. අපිත් ඔය වගේ ෆැමිලි ටුවර් එකක් ගිහිං එකසිය ගාණට ඇනගත්තා විචාරක තුමා.. 🙂
    ඔයා කියපු විදියම පවුලක්.. 🙂
    ගමන ඇණගත්තෙ අර කියුව වගේ හත් අවුරුද්දක් පරණ ලදරම් වාහනයක් නිසා.. 🙂
    යාන්ත්‍රික සිතිවිල්ල
    ඔය මං මේකෙ දාන අන්තිම ලිංක් එක ඈ.. 🙂

    • ඔය තත්වය ඔබට පමණක් සීමාවූ දෙයක් නොවේ. මගේ හමුදා සේවා කාලය තුළ මම අනන්තවත් දැකලා තිබෙනවා, නුසුදුසු වාහන, නුසුදුසු රියදුරන්, නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන්, නිසා මහමග අතරමංව සිටින සංචාරක පිරිස්.
      ලින්ක් කොපමණ දැම්මත් මගේ අමනාපයක් නැත. එය මටනම් ඔබ වෙත එන්නට ඇරයුමකි, පහසුවකි.

  22. හුඟක් වටින ලිපියක්. අපරාදේ මේ වගේ ලිපියක් කලින්ම කියවන්න තිබුනනම් කියලා හිතුනා. ඒ මොකද මමත් ඔය වගේ ට්‍රිප් එකක් ගිහින් (දවස් 2 ගමන දවස් 3ක් වුනා ) පුදුම අත්දැකීමක් ලැබුවා. අන්තිමට යන්තන් වාහනෙත් හදාගෙන වෙහෙසවෙලා රථය පදවගෙන පාන්දර එද්දි රියදුරාට නින්ද ගිහින් සෑහෙන දුරක් ගියාට පස්සේ තමයි අපිට තේරුනේ රියදුරාට නින්ද ගිහින් කියලා. එදා බේරුනු බේරිල්ලනම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
    දැන්නම් දන්නවා කොහොමද හරියට ප්ලෑන් කරගන්නේ කියලා.

    • වෙනත් රටවල තිබෙනවා සෑම දෙයකටම අදාළ උපදෙස් පොත්. පොත් සාප්පු වලින්, ජීවිතාරක්ෂක මධ්‍යස්ථාන වලින්, නගරසභා කාර්යාල වලින්, ගන්න පුළුවන්. ඒ අතින් අපි තවම පසුපසින් ඉන්නේ.

  23. සංචාර වල යෙදීමේදී බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන පැත්තක් විචාරක තුමා පෙන්වල දීල තියන්නේ. වටිනා ලිපියක්..!

    • අපේ මිනිස්සු අකමැතිම දේ තමයි අවවාද සහ උපදෙස්. නිකම් හිතලා බලන්න යම්කිසි ස්ථානයක හැසිරිය යුතු අන්දම ගැන පොල්ගෙඩි අකුරෙන් ලියලා බිත්තියේ ගහලා තියන උපදෙස් කියවන්නේ කීයෙන් කී දෙනාද කියලා. අපේ වැඩි දෙනෙක් සියල්ල දත් අය. ඒ දන්නාකම වැඩිවීම නිසා තමයි අපිට අකල් මරණ මේ තරම් අහන්න දකින්න ලැබෙන්නේ.

  24. බොහොම වටිනා කරුණු ටිකක් මහත්මයා. හැබෑවටම මටත් පුදුමයි අද අපේ තරුණ පරපුර ගැන. ඒකලා පීනන්න දන්නෙත් නෑ, හදිසි අවස්ථාවකදී වගකීමෙන් වැඩක් කරන්න, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හරි ගුස්තියක් අල්ලන්න දෙතුන් දෙනෙක් එක්ක, මේ මොකුත් බෑ. හරියට පාං බට්ටෝ වගේ එහෙමත් කෙනෙක් තමයි මේ කියන සුදුසුකම් තියෙන අය ඉන්නේ. මම හැදුනේ කඳුකර කැලෑබද පරිසරයක, ඒත් ගඟේ මුහුදේ නෙමේ ඕනෑම වතුරක පීනන්නත් ඔය සඳහන් කොරලා තියෙන අනිත් වැඩ කොරන්නත් මට වැඩි ආයාසයක් ගන්න ඕන නෑ. වෙලාවකට හිතෙනවා දැන් දෙමව්පියෝ දරුවන්ව ආරක්ෂා කොරනවා වැඩිද කියලත්. අලේ මල්ලල්ලෑ මේවා..!!

    • ඔය ඔබ කියන බට්ටන්ගේ කට නම් තියනවා හරියට අප්පල්ලේ වගේ. අප්පල්ල කියන එක ඒගොල්ලෝ දන්නවද දන්නේ නෑ. දෙමවුපියෝ දරුවෝ ආරක්ෂා කරන්නේ අර සෝබන බටහිරකරණය වීම නිසයි. තමන්ගේ මුල් තියෙන්නේ කොහෙද කියලා අමතක කරලා, සුද්දන්ටත් වඩා බටහිර වෙන්න යනවා. සරා මම පුංචි කාලේ ලිපෙන් අඟුරු කෑල්ලක් අරන් ඒක හපලා දත් මැද්දේ. සෙරෙප්පු දෙකක්වත් නැතුව ඉස්කෝලේ ගියේ. අපිව එහෙම පරිසරයට බද්ධ කරපු අපේ දෙමවුපියන්ට අදටත් බුදු බව පතන්නේ, ඒ පදනම මත සිටගෙන අද මෙතනට එන්න පුළුවන් වුන නිසයි.

      • ඒ කතාව ඇත්ත මහත්මයා. අපි හැදුන විදිහට හැදෙන්න අද අපේ දරුවන්ට ඒවගේ පරිසරයක් නැතැත් අපි එයාලට ඒවා කියා දෙන්න, නැතිනම් හුරු කරන්න හෝ අවශ්‍යයි. කේක්, බනිස් වගේ දරුවෝ හදලා තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ.

        • අපේ මුල් තිබෙන්නේ කොහෙද කියන එක හරියට තේරුම්ගත්තා නම් හරියට ඔලුව කෙලින් තියාගෙන නැගිටින්න පුළුවන් සියලු පුහු දේවල් අතහැරලා.

      • අප්පල්ලේ කියන්නේ මොකක්ද?

        • විශාල මැටි වළඳක්/මුට්ටියක්. කුඩා දරුවකු ඇතුලට දාන්න පුළුවන් තරම් විශාල කටක් තියනවා.කට හැකරයන්ට ගම්බද අය කියන්නේ ‘අප්පච්චියේ ඒ මනුස්සයාගේ කට අප්පල්ලේ වගේ’ කියලා. ඒ වගේම කියනවා ‘වැඩ බැරිවුනත් කටනම් තියනවා අප්පල්ලේ වගේ’ කියලා.

      • අපිත් ඔහොම කියනවා.. ඒත් අප්පල්ලෙ කියන්නෙ මොකක්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ..

  25. හොඳ විස්තරයක් විචාරක මහත්මයා..

    “ඔබට හැකිනම් ඔබේ නම, ලිපිනය, ලේ වර්ගය, හදිසියකදී දැනුම් දියයුතු අයගේ නම, ලිපිනය, දුරකථන අංකය, ළඟම පොලීසිය, යන විස්තර කුඩා කාඩ් එකක් ලෙස පරිගණකයකින් සකස්කර, ලැමිනේට් කර, නොකැඩෙන නූලකින් කරේ එල්ලාගෙන යන්න.” මේ කියන්නේ ඩෝග් ටැග් එක වගේ දෙයක් ගැන නේද? ඩෝග් ටැගය ගැනත් යමක් කියන්න පුළුවන් නම් හොඳයි..

    මේක දැක්කම චාරිකාවක් යන්ඩ හිතුනා.. ඒ වගේම ගිහිල්ලා අතරමංවෙලා නොමිලේම හෙලිකොප්ටරයකින් එන්ඩ ලැබුනොත් කොහොමද? 🙂

    • ඩෝග් ටැග් කියන එක කෙලින්ම යෙදුවානම් සමහරු අහන්න පුළුවන් අපි බල්ලෝ කියලා හිතුවද කියලා. තවත් සමහරු කියයි මෙයා සිවිල් සමාජයත් හමුදාකරණය කරන්න හදනවා කියලා. ඔබ දැක්කද ඊයේ පෙරේදා රූපවාහිනියේ පෙන්නුවා සුනාමියට හසුවූ විශාල පිරිසකගේ ඇටසැකිලි, ඇටසැකිලි කොටස්, ආදිය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති ආකාරය. මෙයින් සමහරක් නම් අනන්‍යතාව තහවුරු කරගත්තත් භාරකරුවන් රැගෙන ගොස් නැහැ. අපි තවම ඔය මම කියන ක්‍රමයට හුරුවෙලා මදි. අනතුරකට පසු මගේ හිස්කබල හමුවුනොත් මගේ බිරිඳ සූදානම් නැහැ එය බාරගන්න, සම්පූර්ණයෙන් තහවුරු කලත්. අපිට ඕනේ සම්පූර්ණ ශරීරයක්. ඒ නිසා මෙවැනි ටැග් එකක් දමාගෙන සිටීමෙන් අනතුරකදී හඳුනාහනීම පහසු වෙනවා.

      බලෙන් අතරමං වෙලා හෙලිකොප්ටරෙන් එන්න…………අනේ මගේ කට.

  26. වන සතුන් නොසිටින පළාතකට නම් (හන්තාන වැනි) තද පාට ඇදුම් සුදුසුයි. එවිට අතරමන් වුවහොත් හොයා ගන්න ලේසියි. අඩුම ගානේ එවැනි තද පාට රෙදි කැල්ලක් හෝ අරන් යාම සුදුසුයි. අනිත් අනිත් එක රෑට signal කිරීමට බාවිතා කරන ෆ්ලෙයා ආදිය මෙහෙ නිත්‍යනුකුලද ?
    දඩයම් කිරීම නීතිගත රටවල නම් දඩයම් කාලයට සංචාරකයන් පාට ඇදුම් ඇදීම පන බේරගන්න උදව් වෙනවා. ලංකාවේ කැලෑ වල තියන භයානකම දෙය බදින තුවක්කු. සාමාන්යෙන් භාවිතා නොවන කැලෑ අඩිපාරවල මේවා තිබෙන්න පුළුවන්.

    • මොකක්දෝ කරුමෙකට අපේ රටේ තවමත් ටිකක් තලය දිග පිහියක්, හොඳ වර්ගයේ මාලිමාවක්, ජී.පී.එස්. එකක්, ළඟ තිබුනොත් ඒ මිනිහා ත්‍රස්තවාදියකු බවට පත්වෙනවා. ‘සිග්නල් ෆ්ලෙයාර්ස්’ ළඟ තිබිලා අහු වුනොත් ත්‍රස්ත විමර්ශන පනත යටතේ 18 මාසයක් රඳවාගෙන ප්‍රශ්න කලහැකියි. ත්‍රාසජනක ගමන් කියන එකේ නියම සංකල්පය ක්‍රියාත්මක වෙන්න අපේ රටේ තව අවුරුදු කීපයක් යයි.

      • GPS නම් දැන් සැහෙන අවලංගු නීතියක් මොකද ස්මාර්ට් ෆෝන් වල ඒක තිබෙන නිසා.
        මම නම් හිතන්නේ අපේ අයට උවමනා උපකරණ වලට වඩා යොදා සිහියක් කියන එක. මේ වැහි කඩා වැටෙන කාලෙට කදු නගින්න යනවද නැත්නම්? ඩෝප් පිට ඩෝප් ඔරුකරයෙක් එක්ක පොල් පටවන්න වගේ පටවල ඔරු පදින්න යනවද?

        • ත්‍රාසජනක ගමනක රසය විඳීම සහ බීම වීදුරුවක දෙකක රසවිඳීම කියන දෙක පටලවාගන්නා අමනයන් වහන්සේලාට මොලය දෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.

  27. එන්න පරක්කු වුණෝ……

    මුලින්ම කියන්න ඕනි ඉතාම වැදගත් ලිපියක්. (අනෙක් බ්ලොග් ලිපි වලට වලට සාපේක්ෂව මිසක් ඔබතුමාගේ ලිපි වලට නෙවේ.)

    කරුණු කාරනා කෙටියෙන් ඉදිරිපත් කිරීම හැම වෙලේම සාර්ථකත් නෑ. මොකද මේ වගේ ලිපියක් වෙන තැනක නැති නිසා තව ටිකක් අපි ගැනත් හිතුවනම් හොඳා. (ඵල ඇති රුකකට ගහන ගලට සමාව භාජනයකට :D)

    * අර රූට දීලා තියෙන පිළිතුර පැහැදිලි කලොත්… “Group 1, Group 2, ක්‍රමය යොදාගන්නවානම් වඩාත් හොඳයි. ඒ වගේම එම කණ්ඩායම් අතර මීටර් 100 ක වත් පරතරයක් තබා ගත යුතුයි.”

    * ගෙන යා යුතු ආහාර පාන ගැන හැඳින්වීමක් කලොත්…

    * ප්‍රථමාධාර ගැන, විශේෂයෙන් සර්ප දෂ්ඨනයන් ගැන….

    * මන්මුලාවීමකදී හැසිරිය යුතු ආකාරය…

    හා

    * අවධානම් ස්ථාන වලදී/ අවස්තාවලදී හැසිරිය යුතු ආකාරය….
    (විශේෂයෙන් දඩයක්කාරයන් සිටින ප්‍රදේශයකදී, දරුණු සතුන් ඇති ස්ථාන වලදී, දරුණු බෑවුම් වලදී, ජල දුර්ග වලදී, මඩක එරීමේදී, වැසි කාලගුනයකදී, රාත්‍රී නවතන් පහසුකම් සෙවීමේදී..)

    • ඇත්තටම මම ඔබත් සමග 100% එකඟ වෙනවා. මට අවශ්‍ය කරලා තිබුනේ මේ පහුගිය දවස්වල සිදුවුණ දේවල් වෙත පමණක් අවධානය යොමු කරලා, ඉක්මනින් කියවා අවසන් කළහැකි කෙටි ලිපියක් ලියන්නයි. ඔබ කියන කරුණු මෙවැනි ලිපියක ඇතුලත් වියයුතුමයි. ඉදිරියේදී කොටස් වශයෙන් ඒ ගැන ලියන්නම්.
      දරුණු සතුන්….අලි ඉන්නවානම්?………..අලි මන්තර කීපයකුත් ලියන්න වෙයිද? 😀

    • මම දන්නා තරමින් අලි හැරුණු විට මිනිසුන්ව හොයාගෙන විත් කරදර කරන සත්තු ලංකාවේ නෑ. මිනිසුන්ව දඩයම් කරන සිංහයන්, ව්‍යග්‍රයන් වැනි සතුන් ලංකාවේ නැහැනේ. විෂශේයෙන් වාහනයක් ඇතුලේ සිටින අයව එලියට ඇදල ගත් අවස්ථා නැති තරම්. අලිවත් එහෙම කරපු අවස්ථා තියෙනවද කියලවත් මම නම් දන්නෑ. අනිත් එක එහෙම අලි ගැවසෙන ප්‍රදේශ වල (අභය භුමි ආදියේ ) සංචාරකයන්ට වාහන වලින් බිමට බැහීමට විරුද්දව උපදෙස් ලබා දෙන්නේ ඒ නිසා. ඔය ලොකු සත්තුන්ට වඩා තියෙන්නේ සර්පයන් වගේ සතුන්ගෙන් වන අනතුරු.

      • ඔබ හරි. මමනම් හිතන්නේ නැහැ අපේ අභයභූමි සංචාර තවමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ අහලකටවත් ඇවිත් තියනවා කියා. ඇමෑත්තයන්ට සහ උන් එක්ක යන පාත්තයන්ට 😀 එක නීතියක්. සාමාන්‍ය ජනතාවට වෙන නීතියක් විදිහටයි තියෙන්නේ. දවස් ගණන් කැලේ ඇතුලේ කූඩාරම් ගහගෙන ඉන්න ලොක්කෝ ඉන්නවා. උන්ට ගහන්න සර්පයෙක් නැති එකයි දුක. 😀

      • අලියා කියන්නෙත් තවත් එක අහිංසක සතෙක් විතරයි අකා. උන්ගේ ජීවන රටාව තුල සමහර අවස්තාවලදී දරුණු වන අවස්ථා තියෙනවා. (මද කිපෙන කාලයේදී වගේම උන්ට අසාදාරනයක් වෙනකොට.) අපේ ප්‍රදේශයේ කිහිප වතාවකදීම සිදුවුණු සිදුවීම් වලින් මේ බව තහවුරු උණා.
        නමුත් මා අසා ඇති ආකාරයට පොළඟා කියන්නේ කිසිම අණක් ගුණක් නැති සතෙක්.

        මෙතෙන්දි මං අහන්න උත්සාහ කලේ අපි සත්ත්ව රජ දහනකට අනවසරයෙන් ඇතුළු උනහම උන්ගේ හැසිරීමට මුහුණ දෙන හැටි ගැන. ඒ වගේම මන් අහලා තියෙනවා තෙත් කලාපීය වනාන්තරවල ජීවත් වන සර්පයන්ට වඩා වියලි කලාපීය සර්පයන් විෂ වැඩි බව. ඒ වගේම ගල් ගුහා වල නිදා ගන්නා විට බිත්තියට හේත්තු නොවී සිටින ලෙසට අහලා තියෙනවා. (සර්පයන්ගේ ගමන් මාර්ග මුළු වලින් සිදු වන බැවින්)

        මේ ගැන විචාරක තුමාගෙන්ම අපි උපදෙසක් ගම්මුකො වෙනම පෝස්ට් එකකින්ම. 😀

      • හොඳයි…..
        ප්‍රතිචාරයට ස්තුතියි!

      • මට හැගෙන විදියට නම් බයානකම එකා අඃ තියන කුළු හරකා. දෙවැනියට අලියා, පොළඟ වගේ උන්. වයසක අලි අහිංසක උනත් තරුණ පොරවල් විසේ නොවැ.
        තෙත් කලාපයේ නම් පලා පොළග. ලංකාවට ආවේනිකයි. පහසුවෙන් පේන්නෙත් නෑ. නයා තරම් විස නැතත් බෙහෙතක් ගන්න ඕනි.
        ගමන් යෑමේදී මම දකින තවත් වැරද්දක් නම් අනවශ්‍ය බර රැගෙන යාම. සමහර දෑ අවශ්‍ය උනත් එක පුද්ගලක් හෝ දෙදෙනෙක් ලග පමණක් තිබිම ප්‍රමාණවත්. අත්දැකීම් බහුල පුද්ගලයෙක් වීම, වගකීමක් දැරීමට හැකිවීම වැදගත්.

        • ඔබේ මේ අදහස් එකතු කිරීම ඉතාම අගය කරනවා. තැනට තිබෙන පුංචි මොලයෙන් මෙවැනි ගමනක් සංවිධානය කරන්න බැහැ අපි කාටවත් තනියම. කණ්ඩායමම ඉඳගෙන සාකච්ඡා කර සැලසුමක් හැදීම තමයි වැදගත්.

  28. ඇත්තටම වැදගත් ලිපියක්…. අපි කොච්චර trip ගියත් අඳින්න සහ කන්න ඔන දේවල් ලෑස්ති කරනවා මිසක් කවදාවත් අනිත් කාරනා ගැන සැලකිලිමත් වෙන්නෑනේ..

    • මේ දේවල් බොහොමයක් නොදන්නා දේ නොවේ. නොසිතන දේ.

      • නොසිතන දේ නිසා තමා. දැන් හන්තාන ගත්තොත් කලින් ගිය අයෙකුට අතරමන් වෙන්න තරම් පාරවල් ගොඩක් එහි නෑ. නමුත් ජිවිතේට හන්තාන තියා මෙලෝ කන්දක් නගපු නැති අය සිය ගණනක් මග පෙන්වන්න එක්කෙනෙක් පමණක් ඇතුව ගියාම එහෙම වෙනවා. විශේෂයෙන් යන පිරිසෙන් විශාල පිරිසක් ලඳ බොළඳ ගැණු ළමයි කොට. සාමාන්යෙන් හන්තාන පැය 6-7 ඇතුලත සාමාන්‍ය වේගයකින් නැගල බහින්නත් පුළුවන්. නමුත් යන පිරිස ඉතාමත් ක්‍රීඩාශීලි පිරිසක් නෙමේ නම් සුළු සුළු අබාධ (කකුල් උළුක්කු වීම වැනි) ඒවා ඇති වෙන්න පුළුවන් නෙමේ අනිවාර්යෙන් ඇති වෙන දෙයක්. ඒවාට පිළියම් කරන්න අය වගේම එහෙම වන අයට උදව් වෙන්න උස්සන් යන්න අය ඉන්න ඕන. කොහොමත් පුරුදු නැති පිරිසක් ඉතාමත් හොද කාලගුණික තත්ත්ව යටතේ ගියත් (විශ්ව විද්‍යාලයක batch එකක් වගේ ) සැහෙන කොටසක් තමන්ගේ අයගේ කරපිටින් හරි වාරුවෙන් හරි තමා එන්නේ.
        නැත්නම් ඉතින් ආමි එකේ අය්යලගේ හා මල්ලිලාගේ කර පිටින් එන්න ලැස්ති වෙලා යන්න ඕන.

        • ආමි එකේ කරපිටින් එන්න කවුරුවත් බෑ කියන්නේ නැහැ කවදාවත් 😀 අර විශ්ව විද්‍යාල සිසුන්ට දෙන පුහුණුව දේශපාලන ඇම ගිල්ලවීමක් නොවී මේ වගේ දේවල් කරවන පුහුණුවක් වෙනවනම් හොඳයි.

      • මම දන්නා තරමින් ඒ කියන්නේ මේ ගැන අහපු හැටියට දේශපාලන ඇම ගිල්විමක් තිබුනේ නෑ. නමුත් එහි දෙන ශාරීරික අභ්‍යාස බෑ කියන ඕනෑම කෙනෙක්ට නොකර ඉන්න ඉඩ දුන්නා (එහෙම නොකර හිටපු අයව මම දන්නවා).
        අපොයි ලැජ්ජා බයට හැදිච්ච ගෑනු ළමයි කාගෙවත් කරේ කරේ යන්න කැමති වෙයිද? 😛

      • ඔව් එක එහෙම වෙන්න ඇති. මොකද නායකත්ව පුහුණුව කියන එකම ආවේ jvp දෙකට කැඩීමත් අන්තරයේ බලය පෙරටුගාමීන්ට ලැබීමත් සිදු වුනු කාලෙමනේ.
        නමුත් මගේ අත්දැකීමේ හැටියට හොදට මොළ හෝදන්න ( තමන් කැමති පක්ෂය වෙනස් කරන්න) ඔහොම නලවල සති 2-3 බෑ. කියන්න බෑ මේ වැඩය කරන්නේ මට තෙල ගහපු අයට වඩා හොදින් පුහුණු වෙලා එක කරන අය නිසා.
        මේ කමෙන්ට් එක නම් පල නොකලත් කමක් නෑ.

      • විශ්ව විද්‍යාලෙට ගියාම ඉතින් එහෙ ඉන්න නායකයෝ සැට් එක වෙනම පුහුණුවක් දෙන්න පටන් ගන්නවනේ.

        • වැඩක් නෑ. එලියට ආවගමන් සමාජවාදය එතනින් ඉවරයි. එයාලා හිතන විදිහට විවි සිසුන් තුල වෙනසක් වුනානම් මෙලහකට ආණ්ඩුවක් පිහිටවලා තියෙන්න එපාය.

      • එලියට යන්න ඕනම නෑ. 2, 3,4 වගේ වසර වෙනකොට කොහොමත් වැදිච්ච තෙල බේරිලා මොලේ පැදෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ එක මෙච්චර අසාර්ථක වෙලත් අලුත් සිසුන්ව ඒවාට ඇදගන්න ලේසි වීමයි. තමන් උදව් කරන පිල චන්දයෙන් රජයවල් පිහිටුවන කණ්ඩායමක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් විප්ලව හෝ වෙනත් ක්‍රම මගින් ආණ්ඩු පිහිටුවන්නන්(එසේ බලාපොරොත්තු වන) අය සමග යාම ගැටළු සහිතයි. එසේ ගිය වගේ නෙමේ සමහරිවිට ඒවා අතහැරලා එන්න බැරි වෙන්න්නත් පුළුවන්නේ. මොකද ඒවා තමන්ගේ සාමාජිකයන්ට සලකන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට නෙමේනේ.

        • මම හිතන්නේ 10% ක් විතර තමයි දිගටම එල්ලිලා ඉන්නේ. ඒ වගේම විභාග ඇනගන්න අයවත් කොහොම හරි අල්ලගන්නවා. එයාලා කවදාවත් නැවත විභාග කරන්නෙත් නැහැ. නමුත් අරගොල්ලෝ එයාව පක්ෂ අරමුදලෙන් නඩත්තු කරනවා. හොඳට කට තිබීම සහ ශිෂ්‍ය විරෝධතා සංවිධානයට ඇති හැකියාව තමයි එකම සුදුසුකම.

  29. ජීවිතයට ඉත වැදගත් තොරතුරු කිහිපයක් මහත්මයා අපි අනෙක් හමෙදේම හරියට කරනවා නමුත් මේක හරියට කරන්න බැ
    මම ජූඩ් අශාන්

    • සංචාරයක් යන්න කලින් ඇඳුම් තෝරනවා, තොප්පි, අව්කණ්නාඩි, බෑග්, ඔක්කොම තෝරනවා. අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බීර ඔක්කොම පටවනවා. හදිසියකට මුහුණ දෙන ක්‍රමය ඔලුවේ නැහැ.

  30. ක්සැන්ඩර් | Xander said:

    ලංගම ඥාතියකුගේ නම කියන එක හැදෙන්න ඕනේ විචාරක මහත්තයෝ. වටිනා ලිපියක්. කොටස් තුනක් විදියට කියෙව්වේ. 🙂 වෙලාව මේ ටිකේ හරිම සීමිතයි.

    • හෙමින් හරි කමක් නැහැ ඔබ වැනි අකියවා දක්වන ප්‍රතිචාරය ඉතාම වැදගත්. වැරදි නිවැරදි කරන්නම්. සුබ අලුත් අවුරුද්දක් වේවා!

  31. වටිනා අදහස්‍. මගේ ලිපියට පාදක වුනේ අපි සරළව දියනෑමේ ස්ථානයක පිහිනීමට යත්දී ජීවිතාරක්ෂාවට පිළිපැදිය යුතු කරුණු. මේ ලිපියේ අන්තර්ගතය අප චාරිකාවේදී සම්පූර්ණයෙන් අනුගමයනය කරහැකි කරුණු අඩංගුයි ස්තූතියි බෙදාගත්තාට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: