විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 

Banner 2

  ඊලාම් යුද්ධය අවසන් වී ටික කලකින් යුද හමුදාවෙන් විශ්‍රාම ගත් මට, කරන්නට දෙයක් තවත් ඉතිරිවී තිබෙන්නේද යන්න සෑමවිටම සිතේ පැනනගින අදහසක් වුනා. රාජ්‍ය අංශයේ රැකියා කීපයකට ඉල්ලුම් කලත් ඉතා කනගාටුදායක සහ හාස්‍යජනක ලෙස ඒවා ලැබෙන්නේ සුදුස්සන්ට නොව, අටේ පන්තියවත් සමත් නැති, දේශපාලුවන්ට සට්ටඹිකම් කල, හෙන්චයියන්ට බව පැහැදිළිව පෙනීගියා.

  උදාහරණයක් වශයෙන්, එක්තරා රාජ්‍ය සංස්ථාවක, ඉතා දුරබැහැර පිහිටි මහා පරිමාන කම්හල් පරිශ්‍රයක, ආරක්ෂක කළමනාකාර තනතුර සඳහා, ගැසට් මගින් අයදුම්පත් කැඳවා තිබුනා. ඒ ප්‍රදේශය 2009 පමණ වනතුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුනේ. මා ඒ ප්‍රදේශයේ සේවය කල නිසා, ඒ කම්හල් පරිශ්‍රයට, යුද හමුදාව විසින් සකස් කර තිබුන ආරක්ෂක සැලැස්ම පවා දන්නවා. ඒ කම්හල් පරිශ්‍රයේ අඟලක් නෑර මා දන්නවා. ප්‍රධාන පිවිසුම මගහැර, මුහුදෙන් සහ ගොඩබිමෙන් එතනට අතුලුවියහැකි/පිටවියහැකි ආකාරය මා දන්නවා. ඒ ආශ්‍රිත ගම් වල වෙසෙන ජනතාව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ බුද්ධි තොරතුරු මා දන්නවා. මේ තොරතුරු ඉල්ලුම් පත්‍රයේ ආවරණ ලිපියේ සඳහන් කල අතර, මෙවැනි රාජකාරි වලට යෝග්‍ය, මා හදාරා ඇති විශේෂ පාඨමාලා වල සහතිකද ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයට ගිය දවසේ කිව්වේ, සම්මුඛ පරීක්ෂණ ‘ගරු (බෝ…..රු?) ඇමතිතුමාගේ’ (උන්නැහේගේ පුද්ගලික දෙපලක්ද දන්නේ නැහැනේ) උපදෙස් පරිදි, නැවත දැනුම්දෙන තුරු  අවලංගු කල බවයි. ආපහු ගෙදර ආවාට පසුවයි, ඒ බව දන්වා එවන ලද විදුලි පුවත ලැබුනේ. ‘අපේ දුරකථන අංක, ඊ මේල් ලිපිනය, ඉල්ලුම් පත්‍රයේ ලියා තිබෙන්නේ ආච්චිට හාල් ගරන්නද’ කියා පිළිගැනීමේ නිලධාරිනියට කියා ආවෙමි. ටික දිනකට පසු මට දැනගන්නට ලැබුනේ අර ඇමැත්තයාගේ නිල නොලත් බොඩිගාඩ් කෙනෙකුට (වෘත්තීය සුදුසුකම් අතින් අපේ පයේ දූවිල්ලක්වත් වෙන්නට බැරි හෙන්චයියෙකුට) ඒ රැකියාව ලබාදී ඇති බවයි. ඇයි ඇන්නෑවේ ඔය මගුල අත යටින් කරගන්නේ නැතුව මේ අපිව රස්තියාදු කලේ? තවත් මා වැනි, සමහරවිට මටත් වඩා සුදුසුකම් ඇති, අපේක්ෂකයන් රස්තියාදු කෙරෙව්වේ? අනේ මුන්ගේ/මේ රටේ අනාගතය කොහොම වෙයිද?

  ඉන්පසු හැරුනේ පෞද්ගලික අංශයටයි. එහි තිබෙන්නේ, සාරය උරාබී, හපය විසිකරන ක්‍රමයක් බව පැහැදිළිව පෙනුනා. නිවසේ සිට කිලෝමීටර් 250 ක් පමණ ඈතින් පිහිටි, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මහාපරිමාණ ව්‍යාපාරයක රැකියාවක්, රු 50000 ක පමණ වැටුපක් සහිතව දෙන්නම් කිව්වා. නමුත් පළමුවැනි කොන්දේසිය නිවාඩු දෙන්නේ සෙනසුරාදා වරුවක් සහ ඉරිදා දිනය පමණයි. ඒ කියන්නේ මම සෙනසුරාදා වරුවෙන් ගෙදර එන්නට පිටත්වී, ඉරිදා අළුයම ගෙදර ඇවිත්, (කි.මී. 250 ක්) ඒ ගමන්ම ආපහු හැරෙන්න ඕනේ. වාහනයක් ලැබෙනවා. මම එලවන්න ඕනේ. යුද්ධය තදින් පැවති අවධියේ පවා, මම මාස දෙකකට තුනකටවත් වරක්, දින හතරක්වත් නිවාඩු ලැබුවෙමි. මේ රස්සාව යුද්ධයටත් වඩා බරපතල බව පෙනේ. අනේ මට එපා කියා නැවතුනෙමි. ඒ රැකියාව සඳහා ගිය වෙනත් හමුදා නිලධාරීන් තිදෙනෙක් මාස දෙක තුනකින් එය අතහැර ගෙදර ආවා, එය වහල් රැකියාවක් බව පවසා.

  අවසානයේදී මා තීරණය කලේ ජීවිතයේ ඉතිරි කාලය සැබැවින්ම විශ්‍රාමයෙන් ගෙවන්නටය. අද මම, මගේ විශ්‍රාම වැටුපෙන්, ඉතා අරපිරිමැස්මෙන් යුතුව ජීවිතය ගෙනයමි.

  කොම්පියුටර් පිස්සුව මට හැදුනේ 1994 දි පමණය. ඊට කලින් රූපවාහිනී/ගුවන්විදුලි කාර්මික ශිල්පය, ඡායාරූප/වීඩියෝ කැමරා ශිල්පය, විනෝදාංශයක් ලෙස කල මම, මේ අලුත් පිස්සුව නිසා, පරණ පිස්සු අතහැරියෙමි. කැමරා සෙල්ලම් නම් අදටත් ටිකක් කරමි. මම පරිගණක පිලිබඳ මූලික පුහුණුවක් ලබාගත්තේ වවුනියාවේ පිහිටි පෞද්ගලික ආයතනයකිනි. එසේ ඉගෙනීමට සිදුවූයේ යුද හමුදාවේ පරිගණක භාවිතය වර්ධනය වීම සහ විශේෂයෙන්, වැටුප් සැකසීම පරිගණක ගත කල නිසායි. යුද හමුදාව මගින් පරිගණක පුහුණුවක් ලැබීමට නම් කොළඹ යා යුතුය. නමුත් යුද්දය අතහැර දමා යන්නට වරම් නැත. ඒ නිසයි පෞද්ගලික පන්තියකට ගියේ. එතනට ගියේ සිවිල් ඇඳුමෙන් සැරසී පිස්තෝලය ඉනේ ගසාගෙන, කලිසම් සාක්කුවේ අත් බෝම්බයක් දමාගෙන, පිස්තෝලය සහ කලිසම් සාක්කුව වැසෙන සේ ජැකට් එකක් ඇඳගෙනය. (ඒ පරිගණක ආයතන ප්‍රධානියාව මහා රෑ ඔහුගේ නිවසේදී අල්ලාගෙන, ‘අනේ උන්නැහේ හොඳටම බයවුනා’. හරිම කණගාටුවක්, මම සමාවත් ඉල්ලුවා බය කලානම්, මා කවුදැයි ඒ පාඨමාලාවේ සිටින අනික් අයට නොකියන ලෙස දන්වා තමයි පටන්ගත්තේ) තවත් සොල්දාදුවන් දෙන්නෙක් ඒ ආකාරයටම සැරසී මා පුහුණු පන්තිය අවසන් කරනතුරු ඒ අසල පාරේ සැඟවී සිටිති. ඒ කාලයේ මිනීමරු එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි, ගොදුරු සොයමින්, වවුනියාව නගරයේ සැරිසරන්නට පටන්ගෙන තිබුණි.

  පරිගණක පාඩම් ඉගැන්වූ, ද්‍රවිඩ ජාතික රූමත් තරුණ නෝනාට, ඉංග්‍රීසි පුළුවන් වීම, මට මහත් සහනයක් විය. (සමහර දේ ඇය පාඨමාලාවේ සිටි අයට කියාදුන්නේ දෙමළෙනි) මා වැරදියට යතුරු පුවරුව හසුරවනවිට හෝ මේ ලෝකයේ නැති Dos Commands ටයිප් කරනවිට,  ‘no no mister, this is the correct way’  කියමින්  ඈ මගේ එක උරහිසකට උඩින් ඇගේ අත්දෙක දමා ටයිප් කරයි. ඇගේ විලවුන් සුවඳ මා මත් කරන අතර, ඉඳහිට, ඇගේ සුමුදු ළමැද, මගේ උරහිසේ නොතෙරපෙනවාද නොවේ. මේ නිසා මමද පරිගණක පන්තියට ගියේ, නාලා, පේවී, සුවඳ විලවුන්ද නාලා ය. නැත්නම් ‘හාපෝ…….ආමි කාරයන්ගේ ගඳ’ කියා ඇය හිතන්නට ඉඩ තිබුණි. (වාසනාව දොර ඇරලා බලනවා – සීන ලොවෙන් සිත පිබිදෙනවා………. 😀 😀 😀 අපේ උන්දෑ දන්නවානම්, පරිගණක පන්තියේ දොර ඇර බලා, ගෙදරින්ම හොඳ ඇඹුල් පොල්පිත්තක් කපාගෙන ඇවිත්, ඇයටත් මටත් හොඳට සලකා, මා ගෙදර ඇදගෙන යනවා නොඅනුමානය) එමෙන්ම  මා පරිගණක ගැන ඉගෙනගත්තේ, කළුසුදු පරිගණක තිර පමණක් තිබුණු, DOS Commands වලින් පරිගණක ක්‍රියාකළ, අඟල් 5  1/4 Floppy Disk පාවිච්චි කල කාලයේය. දෘඪ තැටිය ගිගාබයිට් එකයි දශම පහකි. එහෙත් ඉක්මනින්ම, පසුකාලීනව පැමිණි, Window 95 සහ මුල්ම MS Office පැකේජය අල්ලාගන්නට මට හැකිවිය. දෙයියන්ගේ පිහිටෙන්, ඒ පාඨමාලාවේ තුන්කාලක් පමණ අවසන් කර තිබියදී ,මට වෙනත් ප්‍රදේශයක රාජකාරි සඳහා යන්නට සිදුවූයෙන් පරිගණක ඉගෙනුම එතනින්ම අවසන් විය.

  මා අන්තර්ජාලය භාවිතය ඇරඹුවේ 1999 දී පමණ බවයි මගේ මතකය. ADSL යන්න ඒ කාලයේ මම අසා නොතිබුනෙමි. පරිගණකයටම සවිකළ 56 k මොඩෙම් එකෙන් ඉබ්බාගේ වේගයටත් අඩුවෙන් ‘මහා විශ්මයජනක අන්තර්ජාලය’ පීරාගෙන ගියහැටි, අද, සුන්දර මතකයක් ලෙස, තනිවම සිනහසෙමින් සමරමි.

  CrazyWordPressබ්ලොග් යන වචනය මුලින්ම දැනගත්තේ අන්තර්ජාලයේ ඉබාගාතේ යන අතරේදීය. ඒ කාලයේ මම අන්තර්ජාලය පාවිච්චි කලේ කාලීන තොරතුරු දැනගැනීම සහ බටහිර චිත්‍රපට බාගත කරගැනීමටත්, පැරණි හින්දි චිත්‍රපට ගීත බාගත කරගැනීමටත්ය. බ්ලොග් එකක් ලියන්නේ කොහොමද යන්නෙහි ‘අ’ යන්නවත් මම දැන නොසිටියෙමි. මොකක්දෝ පූර්ව කුසල කර්මයක ඵල විපාකයක් වශයෙන්, මට, බොහෝ දෑ අසාගෙන බලාගෙන සිට, සෑහෙනතරම් දුරට සාර්ථකව කිරීමේ හැකියාවක් තිබෙයි.  එක දිනක්, බ්ලොග් අඩවියක් කියවද්දී, මගේ මොලයේ විදුලි කෙටුවාක් මෙන් අදහසක් පහල වුනේ, මා සතු සාමාන්‍ය දැනුම, ලෝකයට බෙදාදීමට හැකිනම්, ජීවිතයේ පශ්චිම යාමයේ සිටින මට, එය සමාජ සත්කාරයක් ලෙස සලකා කළහැකි නොවේද? යන අදහසයි. ඊළඟට ඔලුවට ආවේ, ‘ඉතින් දෙයියනේ ඕනෙකම තිබුණට කොහොමද බ්ලොග් එකක් ලියන්නේ?’ කියන අදහසයි. මගේ හමුදා පුහුණුව තුලින් ලද ශක්තිය මට පිහිට වුනේ එතනදීයි.

Beg Borrow Steal  හමුදාවේ කියමනක් තිබෙනවා, සොල්දාදුවා, තම යුද අරමුණු ඉටුකරගන්නට, ක්‍රමෝපායයන් තුනක් පාවිච්චි කරන බව. (දැන්නම් යුද නොවන අරමුණු සඳහාත් භාවිත කරණවා වගේ පෙනෙනවා. :D) ඒ ක්‍රමෝපායයන් තමයි,

1. සිඟා කෑම/යැදීම – Beg.

2. ඉල්ලා ගැනීම(ණයට හෝ) – Borrow

3. සොරකම් කිරීම – Steal

   මම කලේ මේ තුනම ටික ටික යෙදවීමයි. 😀 😀 සමහර බ්ලොග් සයිට් වලට ගිය මම සිඟා කනවා වගේ ඉල්ලා හිටියා ‘අනේ මටත් කියාදෙන්න’ කියලා (ඒ කාලේ විචාරක කියන නම තිබුනේ නැහැ. මගේ නියම නමෙන් අදහස් දැක්වුවේ) 99% ක් මට උදවු කළා. පරිගණක දැනුම තියන මගේ මිතුරන්ගෙන් පොත් ඉල්ලාගත්තා බ්ලොග් ලිවීම ගැන තොරතුරු තිබෙන. සමහර බ්ලොග් සයිට් වල තිබෙන හැඩතල අනුකරණය කළා (අමු අමුවේ නෙවෙයි. ඒ නිසා ඒක කෙලින්ම හොරකමක් කියන්න අමාරුයි. හොරා………..  😀 ) ඒ අනුව නිකම් අත්හදා බැලීමේ බ්ලොග් එකක් ඉංග්‍රීසියෙන් හදලා අන්තර්ජාලයට මුදා හැරියා. (අපරාදේ කියන්න බෑ, බලු බල්ලෙක්වත් අදහස් දක්වලා තිබුනේ නැහැ. මගේ ඉංග්‍රීසි ඔය පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා වෙන්න ඇති.  😀 😀 ) අත්දැකීම් සහ අවබෝධය වර්ධනය වූ වහාම, ඊළඟ ප්‍රශ්නය වූ සිංහල අකුරෙන් ටයිප් කිරීම ඉගෙන ගත්තා. මුලදී මම කලේ Google Transliteration එකේ ටයිප් කර, cut & paste ක්‍රමයට ඒවා බ්ලොග් පිටුවට ගැනීමයි. Google IME/Google Input Tool ඉගෙනගත්තේ මෑත කාලයේදී. සිංහල යුනිකෝඩ් පරිවර්තන මෘදුකාංග මගින් වැඩකරන්න ගියත්, සඤ්ඤක සහ මහප්‍රාණ ප්‍රශ්න නිසා එය මගෙන් ඈත්වී ගියා. දැන් පාවිච්චි කරන ක්‍රමය (Google Input Tool) මම MS Word ලියකියවිලි සඳහාත් පාවිච්චි කරනවා.

  මම ලියන ලද මුල්ම ලිපිය බ්ලොග් ලිපියක් කියා සලකන්නට බැහැ. එය නිකම් වාක්‍ය තුනක් පමණයි. නමුත්, මට එය දැනුනේ, එදා නීල් ආම්ස්ට්‍රෝංග් හඳ මත සිට කරන ලද ප්‍රකාශය වගෙයි. 😀 මා සිතුවේ, ඉන්පසු මා ලියන ලිපි වලටද, අර මා කලින් කල අත්හදා බැලීමේ බ්ලොග් එකට වුණ දේම සිදුවෙයි කියායි.  නමුත් මා විශ්මයට පත් කරමින් ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තා. දිගටම ලිවිය යුතුයි යන අදහස සිත තුළ තහවුරු වූයේ ඉන්පසුවයි. අද මා ලියන්නේ මගේ 135 වැනි ලිපියයි. ඒ අනුව මම මසකට ලිපි 11 ක සාමාන්‍ය වේගයක් පවත්වාගෙන තිබෙනවා. මගේ වයසේ හැටියට එය ඉතා විශාල වේගයක් යයි මා හිතනවා.

  ලබන වසරේ දෙවැනි මාසයේදී මා 59 වැනි විය පසු කරනවා. මා දන්නේ නැහැ සිංහල බ්ලොග් ලියන්නන් අතර මටත් වඩා වයස්ගත අය සිටිනවාද කියා. මේ දුර මට එන්නට අත දුන්නේ මේ බ්ලොග් අඩවියට එන ඔබ සියළුදෙනායි. ඔබ සියළුදෙනා විසින් හොඳ නරක, හරි වැරදී, පෙන්වා දෙමින්, මට නිවැරැදි මගෙහි යන්නට මං සලකුණු තබා දුන්නා. ඒ මගපෙන්වීම් මට මහත් ආලෝකයක් වුනා. ඒ ගැන මගේ කෘතවේදීත්වය ඔබට පිරිනමන්නේ හද පත්ලෙන්මයි.

   මුල් කාලයේ සිට නිබඳවම මා හා බැඳුනු කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම මතකයට එන්නේ හීනලන්තයේ හරී. හරීගෙන් මා ලද ගුරුහරුකම් බොහොමයි. ඔහුගේ අදහස් දැක්වීම් සහ තාක්ෂණික උපදෙස් ඉතා වටිනවා. ලිපියකට සබැඳියක් යොදන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තේ හරීගෙන්. මම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන අතර, ජී මේල් මගින් වෙනත් බ්ලොග් වල අදහස් දක්වන නමුත්, එහි මගේ බ්ලොග් එකට සබැඳියාවක් නැහැ. මේ ප්‍රශ්නය මගහරවා ගැනීමට අවශ්‍ය html code එක (අසමි දකිමි සොයමි ලියන විචාරක) සකසා දුන්නේ හරී.  හරී මගේ දරුවකුගේ වයසේ ඉන්න නිසා, ඇත්තටම ඔහු මට මගේ පුතෙක් වගේ. (මට පුතාලා නැතිවීම දුකක්) ඊළඟට මතකයට එන්නේ සෙන්නා. මම මුල් කාලයේ ඉඳලම ආදර්ශයට ගත් බ්ලොග් අඩවියක් තමයි සෙන්නාගේ කුරුන්ද.  ඒ වගේම සෙන්නා නිතර මගේ අඩවිය වෙත පැමිණ දැක්වූ අදහස් වලින්, මට මහත් පිටුවහලක් ලැබුනා දිගටම ලියන්න. ඊයේ පෙරේදා තමයි දන්නේ සෙන්නාටත් අවුරුද්ද සපිරුණ බව. ඒ වගේම අනිවාර්යයෙන්ම සිහි කරන තවත් මිතුරෙක් තමයි හෙන්රි ජයවර්ධන. ඔහු තමයි පළමු වරට මට කියා දුන්නේ, බ්ලොග් අඩවියේ අකුරුවල ප්‍රමාණය වෙනස් කරන ආකාරය.

   මේ හැරෙන්නට නිතර මගේ බ්ලොග් අඩවියට එන ක්සැන්ඩර්, (ක්සැන්ඩර් ගේ ලිපිත් මට ආදර්ශයක් වුනා)  අරුණි, ලක්මාල්, AKM, සහන්, මෑතකදී හඳුනාගත් සරා, පොඩි දුව, හිරු, චන්දන, අදහස් දක්වන්න වෙලාවක් නැතත්, කැමතියි (like) මුද්‍රාව තබා යන්නටවත් එන ගෝල්ඩ් ෆිෂ්, වැනි අයටත් හදවතින්ම ප්‍රණාමය පුද කරනවා. මේ හැර සත් සමුදුරෙන් මම විවිධ උපදෙස් ලබාගෙන තිබෙනවා. නමුත් මගේ මතකයේ මේ මොහොතේ තිබෙන ලැයිස්තුව හරි දිගයි. රාමා, කාමරේ සිරා, මඩිස්සලේ නිශාන්, රාජ්, මාරයා, මාතලන්, අංගොඩයා, නලීන් දිල්රුක්ෂ, දීලීප, ඇනෝපිලිස්, දූපත් වැසියා, Tyrone Max, DDT, මා දන්නවා මට මග හැරුන තවත් අය ඉන්න බව. අනේ ඔබව අමතක කළා යයි හිතන්න එපා. ඔබ සියලු දෙනාටම නැවතත් ශීර්ෂප්‍රණාමය පුද කරනවා.

img0682012 දෙසැම්බර් මස 15 දින 0007 පැය

Advertisements

Comments on: "ඒ ගමන කටුකයි,මිහිරියි,විශ්මයජනකයි – The Anniversary" (129)

  1. ඔබතුමාගෙ වර්‍ෂ පූර්‍ණ පෝස්ටුවට තමයි මගේ පළවෙනි කොමෙන්ටුව දාන්නෙ. ඔබ වැන්නවුන් බ්ලොග් අවකාශයෙ ඉතාමත් විරලයි. තමා සතු දැනුම නිර්ලෝභීව ලබාදෙන, එමෙන්ම එසේ ලබා දීමේ සීමාව හොඳින් දැන ගෙන (විශේෂයෙන්ම හමුදා ක්‍ෂේත්‍රයේ නිසා) කරන අය තවත් නැති තරම්. තවත් සමහරු ඉන්නව තමන් දන්නා දේ කියල දෙන්න අකමැති අය. ඒ අයට හොඳ පහරක් ඔබේ අඩවිය. මම කියන්නෙ හමුදා ක්ෂේත්‍රය ගැනම නෙවෙයි වෙනත් ක්‍ෂේත්‍ර වල අය උනත් ඉන්නව කිසිම දෙයක් අනුන් දැනගන්නවට අකමැති අය.
    එපමණක් මදි දන්නා දේ පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් අය ඊටත් වඩා අඩුයි. ඒ අයුරින් බලන විට ඔබ විශිෂ්ඨයෙක්. ඔබටත් ඔබේ බ්ලොගයටත් දීර්ඝායුෂ පතමි෴ 🙂

    • ඔබට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා. කමෙන්ට් නොකලත් ඔබ වැනි අය රාශියක් මේ අඩවිය නරඹන බව මම දන්නවා. ඔබ මේ ලබාදෙන ශක්තිය ඉදිරි ගමනට අත්වැලක් කරගන්නම්.

  2. සුබැපතම් ඔබට

  3. මගේ පියාටත් එවකට තිබූ නීති අනුව අවුරුදු 58 දී ගුරු සේවයෙන් පෙන්ෂන් යන්න වුනා. එතකොට මා තවමත් 10 පන්තියේ.

    තාත්තා කලේ නොතාරිස්වරයෙකු වශයෙන් කටයුතු කිරීමයි. තවත් අවුරුදු විස්සක් පමණ ඔහු සුළු වශයෙන් හෝ ඒ සේවයේ යෙදුණා.

    හමුදාවෙන් විශයාම යන්නන් සෙකියුරිටි අංශයටම යන්න හිතන්නේ ඇයි? ව්‍යාපෘති කළමනාකරණය, පිරිස් කලමනාකරණය, සැපයුම්, ඉඳිකිරීම් යනාදී විවිධ ක්‍ෂේත්‍රවල කටුතු කරන්නට හැකි පරිචයක් හමුදා සේවයේ දී ලැබෙනවා නේද?

    • ඔබේ මේ ප්‍රතිචාරයම දෙවරක් ලැබී තිබුනා. එකක් ඉවත් කළා.
      ඇත්ත වශයෙන්ම ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකු පිරිස් පරිපාලනය, කළමනාකරණය, වැනි රාජකාරි සඳහා සුදුසුකම් ලබන පාඨමාලා හමුදාව තුලදීම ලැබෙනවා. නමුත් බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික අංශ උපාධිධරයන්ට ප්‍රමුඛස්ථානය දෙන නිසා හමුදා නිලධාරීන්ට ලැබෙන අවස්ථාව අඩුයි. නමුත් ප්‍රායෝගික දක්ෂතාව බැලුවොත් බොහෝවිට හමුදා නිලධාරීන් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසයි බොහෝ දෙනා ආරක්ෂක අංශ වලටම යොමුවන්නේ. වැඩි පිළිගැනීමක් එවැනි ආයතන තුල ඇත්තෙත් හමුදා පසුබිමක් ඇති අයටයි.
      මගේ පියාත් විදුහල්පති වරයෙක්. ඔහුටත් අනිවාර්ය වයස 55 යටතේ (1970 දශකයේ) විශ්‍රාම යාමට සිදුවුනා. ඔහු පසුව පිරිවෙනක ඉගැන්වීම් කටයුතුවල යෙදුනා.

  4. අංගොඩයා.. said:

    අඩේ සර්ට මාවත් මතක් වෙලා නේ.. සමාවෙන්න ඕනේ සර් කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනාට,හොදටම වැඩ තිබුනා,ඒ අතරේ නිවාඩුවට ගෙදරත් ගියා..
    හැමදාමත් වගේ ඔබ තුමාගේ වැඩ අගය කරන අතරේ බ්ලොග් අඩවියට සුභ පතනවා.. එකසිය ගණනට දහස් ගණනක් ලිපි ලියන්න ලැබෙන්න ඕනේ…

    • මට කවදාවත් ඔබ කිසිවකුවත් අමතක වන්නේ නැහැ. මේ වසරක ගමන තුල ඔබ සියලුදෙනා දැක්වූ සහයෝගය අපමණයි. බොහොම ස්තුතියි සුබ පැතුමට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: