විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1

 යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ ලිපියේ පළමුවැනි කොටසෙන්, ඔබ මූලික අවබෝධයක් ගන්නට ඇති, අප අවට පරිසරයේ තිබෙන විවිධ වස්තු, අපට දෘශ්‍යමාන වීමට බලපාන හේතු සාධක මොනවාද කියා. අද අපි ඒ මූලික කරුණු තරමක් විස්තරාත්මකව සලකා බලමු. මේ ලිපි මා විශේෂයෙන් ලියන්නේ මූලික හමුදා දැනුමක්වත් නැති අය ඉලක්ක කරගෙනයි. ඒ නිසා හැකි තරම් සරල වචන යොදාගන්නට සෑමවිටම උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් පසුගිය ලිපියෙන් මා ඔබට හඳුන්වාදුන් 5 SM සවිස්තරව දක්වන්නම් මෙතැන්සිට.

white space

  1. හැඩය – SHAPE

  අපේ අවට පරිසරයේ තිබෙන විවිධ දේ, අපි යන්තම් බහ තෝරණ වියේ සිට හඳුනාගැනීමට බලපාන, එක සාධකයක් වන්නේ, එහි හැඩයයි. පුටුවක්, මේසයක්, ගෙයක්, මිනිහෙක්, කාර් එකක්, වැනි විවිධ වස්තු මතක තබාගැනීමට, හැඩය ඉවහල් වෙනවා. ඉතින් යුද බිමේදීත් ඒ හේතුව එලෙසම බලපැවැත්වෙනවා. ඉදිරි භූමිය කල්පනාකාරීව නිරීක්ෂණය කිරීමේදී, යම් යම් වස්තු හඳුනා ගැනීමට, හැඩය නමැති සාධකය බලපාන්නේ එහෙමයි.

shape 1shape 2shape 3මෙවැනි හැඩතල ලක්‍ෂ ගණනක් වුනත් අපේ මතකයේ ඇති. ඒ මතකය යුද බිමේදී අපට මහත් රුකුලක් වෙනවා. අපි ඉන්න යුද භූමිය මහා කැලෑවක් කියා හිතන්න. ඉතින් අපි දන්නවා කැලෑවක දැකිය හැකි හැඩතල මොනවාද කියා. ඉහත රූප වල ඇති හැඩයේ යමකට ආසන්න හැඩයක් කැලෑවක දුටුවොත් අපට සැක කරන්න පුළුවන් එය සතුරාට අයත් යම් අසාමාන්‍ය වස්තුවක් බව (අර රූපයේ ඉන්න ගෑණු ළමයට නෙවෙයි වස්තුව කිව්වේ) භූමිය නිරීක්ෂණය කිරීම හොඳින් පුහුණු වූ පසුව මෙවැනි හැඩයකින් කොටසක් (උදාහරණය:- කොළ අතු වලින් වසා තිබෙන යුද ටැංකියක, ඉහලට එසවී තිබෙන ප්‍රධාන තුවක්කුවේ බටය) දුටුවත් හඳුනාගන්න පුළුවන්.

white space

2. සෙවනැල්ල – SHADOW 

  අපට කවදාවත් අපේ සෙවනැල්ලෙන් ගැලවෙන්න බැහැනේ. ඒකනේ බුදුහාමුදුරුවොත් දේශනා කලේ ‘ඡායාව අනපායිනී’ (සෙවනැල්ල පුද්ගලයා පසුපස එන්නේය) කියලා. මගේ ඥාති සහෝදරයෙක් එයාගේ දියණියට නම දාලා තියෙන්නේ ‘අනපායිනී’ කියලා (පසුපස එන්නී) ඔය සමහරු කියන්නේ මම ආත්ම සීයක් ගියත් ඔයාගේ හෙවනැල්ල වගේ එනවා කියලා.

  හාපෝයි……සමහර ඒවානම් එහෙම ආවොත් ‘අබ සරණං’ තමයි 😀 😀  

  යුද බිමේදී අපිව අමාරුවේ දාන එක බලවත් සාධකයක් තමයි අපේ සෙවනැල්ල. ඒ නිසා අපේ සෙවනැල්ල සතුරාට නොපෙනෙන විදිහට සිටීම ඉතා වැදගත්. ඒ විතරක් නෙවෙයි සතුරා යුද බිමේ සඟවා ඇති කාලතුවක්කු, යුද ටැංකි වැනි දේවල හෙවනැල්ල සමහරවිට භූමිය හොඳින් නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන්.

shadow 1shadow 2යුද බිමේදී අපි සැලකිලිමත් විය යුතුයි ඒ පරිසරයට නොගැලපෙන සෙවනැලි තිබෙනවාද කියා. අපි දන්නවා කඳු ගැටයක සෙවනැල්ල, ගසක සෙවනැල්ල, වැනි දේවල්. ඒ අස්සේ ඒ සෙවනැල්ලට හේත්තුවී අර සෙවනැල්ලේ ආකාරයට අදාළ නොවන වෙනත් සෙවනැලි ඇත්නම්, එමෙන්ම ඒවා වරින්වර පෙනී නොපෙනී යන්නේ නම්. ඒ සතුරු ඡායාවක් බව අනුමාන කලහැකියි.

nite-tree-shadows-2-big

white space

3. දිලිසීම – SHINE 

  ‘දිලිසෙන සියල්ල රන් නොවේ’ කියන කියමන ඔබ සියලුදෙනාම අසා ඇතිනේ. නමුත් යුද බිමේදි නම් කියන්න වෙන්නේ, ‘දිලිසෙන සියල්ල සැක කලයුතු වේ’ කියලයි. යුද බිමේදී අපි දකින දිලිසෙන වස්තු බොහොමයක් යුද උපකරණ, වාහන, වාහන වල පැති කන්නාඩි, දුරදක්න වල ඉදිරිපස වීදුරුව, සතුරාගේ ඇඳුමේ කොටස්, ආදිය විය හැකියි. දැන් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ ඇයි සොල්දාදුවන් යුද බිමේදී වෙස්වලාගන්නේ කියලා. දිලිසෙන දේවල් සහිතව යුද බිමේ සිටීම ‘ඒයි හතුරෝ……….මං මෙතන ඉන්නේ’ කියලා කෑ ගහලා කිව්වා හා සමානයි. 

  මතකයි නේද ‘ස්නයිපර්ලා‘ කොයි තරම් වෙස්වලාගනීමක් කරනවද කියලා.

  ලෝකයේ සෑම රටකම පාහේ රයිෆල් රෙජිමේන්තු නමින් හඳුන්වන රෙජිමේන්තුවල සාමාජිකයන් දිලිසෙන කිසිවක් තම නිල ඇඳුමේ අඳින්නේ නැහැ. අපේ රටේ තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. සිංහ රෙජිමේන්තු සාමාජිකයන්, තමන්ගේ සියළුම නිළ ලාංඡන, නිළ ඇඳුමේ බොත්තම් පවා අඳින්නේ කළු පාටෙන්. ඉතින් ඔබට පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මීට පස්සේ සිංහ රෙජිමේන්තුව.

shine

white space

4. පරතරය – SPACING

  යම් යම් දේ භූමිය මත නිර්මාණය කිරීමේදී එක සමාන පරතරයක් සහිතව එවැනි නිර්මාණ කරන්නේ මිනිසා පමණයි. ස්වභාව ධර්මය ඉතාම කලාතුරකින් තමයි එවැනි දේ නිර්මාණය කරන්නේ. හිතන්න අපිට ගස් පේලියක් හිටවන්න අවශ්‍ය වුනා කියලා. අපි කවදාවත් යක්කු දත් හිටෙව්වා වගේ 😀  එක එක පරතරයකට ඒවා හිටවන්නේ නැහැනේ. නමුත් ස්වභාවිකව පිහිටි ගස් පෙළක පරතරය අසමමිතිකයි. යුද බිමේදී එකම පරතරයක පිහිටි වස්තු කීපයක් දුටුවොත් අපි වහාම සැක කල යුතුයි ඒ සතුරාගේ ඉදි කිරීමක්, සතුරා විසින් වෙස්ගැන්වූ යුද ටැංකි හෝ කාලතුවක්කු සූදානම් කර තැබීමක්, එසේත් නැතිනම් එවැනි වෙනත් සංවිධානාත්මක ඉදිකිරීමක් ලෙස. එමෙන්ම අපිත් යුද බිමේදී අපේ යුද ටැංකි, කාලතුවක්කු, යුද අගල් වැනි දේවල් සෑමවිටම එක සමාන පරතරයකින් නොතැබීමට වග බලාගන්න ඕනේ.

spacing

white space

5.  පසුබිම තුළ/පසුබිම මත කැපී පෙනීම හෙවත් ‘සිලුවට්’ – SILHOUTTE

  සිලුවට් යන්න තනි වචනයකින් කියන්න මම දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවානම් ඉතා කාරුණිකව ඉල්ලනවා කියාදෙන ලෙස. ඔබ දන්නවා සුදුපාට බිත්තියක් ඉදිරිපිට සිටින පුද්ගලයෙක්, හරකෙක්, බල්ලෙක්, වැනි සතෙක්, නැත්නම් වාහනයක් ඉතා දුරට කැපී පෙනෙන බව. එයට හේතුව පසුබිමට වඩා වෙනස් (විරුද්ධ) ස්වභාවයෙන් සිටීමයි. ඒ වගේම ක්‍ෂිතිජය තුලින් ඉල්පී පෙනීමද සිලුවට් යන සාධකයට අයත් වෙනවා.

silhoutte picture

silhouette 1

silhouette 2

silhoutte 3

white space

6. චලනය – MOVEMENT

  අප සාකච්ඡා කරන 5SM වල අවසාන සාධකය හෙවත් M අකුරෙන් පටන්ගන්නා සාධකය මෙයයි. චලනය වන සෑම වස්තුවක්ම පාහේ අපේ නෙත්වලට බොහෝදුරට ලක්වෙනවා. ඒකනේ ප්‍රියා සූර්යසේන කියන්නේ, ‘සුදු පරෙවි රෑනසේ පියා සලා – පාසල නිමවී යොවුන් කුමරියන් – පෙළින් පෙළට එයි – ඈ තාම නෑ’ කියලා. ඒ කියන්නේ ඇගේ ගමන් විලාශයෙන් හෙවත් චලනයෙන් වෙන්න ඇති ඔහු ඇයව ඈත තියා හඳුනාගන්නේ. නමත් ‘චලනි’ ද දන්නේ නෑ.  😀  . ඔබ යුද චිත්‍රපටිවල දැක ඇති සොල්දාදුවන් කොළ අතු වලින් වෙස්වලාගෙන බඩගාමින් යුද බිමේ යන හැටි. නමුත් ඒ චලනය බොහෝවිට දුර සිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපේ චලනයන් හැකිතරම් සෙමෙන් සිදු කිරීමත්, (අවස්ථාව සහ අවශ්‍යතාව අනුව) සීමා කරගැනීමත් වැදගත් වෙනවා.

tank movement

  හොඳයි, ඔන්න අපි තවත් හමුදා දැනුම ලිපියක අවසානය දකිනවා. පැහැදිළිව මතක තබාගන්න. මා ඔබට විස්තර කරන්නේ මූළික කරුණු පමණයි. මේ කරුණු ඉතා සවිස්තරව, ගැඹුරින් සහ විවිධ තර්ක ඔස්සේ විස්තර කල හැකි නමුත්, එවිට ලිපියේ ඇති සරල බව නැති වෙනවා. මීට වඩා කොටස් වලට කැඩුවොත්, පාඨක අවධානය ගිලිහෙනවා. මෙවැනි තවත් ලිපි ඉදිරියේදී පල කෙරෙන බව සඳහන් කරමින්, ලිපිය අවසන් කරනවා.

My Signature for Blog2012 දෙසැම්බර් මස 08 දින 2358 පැය

Advertisements

Comments on: "යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (දෙවැනි කොටස) Military Field Crft (Why Things are Seen) Part Two" (73)

  1. ෂඃ කවදාවත් නොදැන සිටි විස්තර… යුද්ධ කරණ එකත් මහ පණ යන වැඩක් නේද 🙂

    කව්දෝ කියලා තිබුනත් හෙවනැල්ලත් අඳුර දුටු විට පලා යනවා කියලා.. ඒ කියන්නෙ නරක කාලෙ ආපුවම හෙවනැල්ලත් නෑ.. 🙂

    සිලුවට් කියන එකට මධුරෙනම් තියනවා ” ඡායාදර්ශකය” කියලා වචනයක්.. කොච්චර දුරට ගැලපෙනවද දන්නෑ..

    අපේ ගමේ අක්කා කෙනෙක් ඉන්නවා එයාගෙ නම “චලනි”.

  2. සෙවනැල්ල කිව්වම මතක් උනේ… ට්‍රේනින් කාලේ ඔය සම්බන්ධ කොටසෙදී එක පාරක් කිව්වා හඳ තිබුන රෑක තල් ගහේ හෙවනැල්ල දිගේ බඩගාගෙන කොටි ආපු කථාවක්… ඕක හින්දා පස්සෙන් පහු ඩියුටි වැටුනම පොල් ගස්වල හෙවනැලි වැඩි හරියක ඩියුටියක් වැටුනමත් මල වදේ… හෙවනැලි දිහා බලං ඉන්න ගිහින්…

    මේ ලිපිවල ගියාද අඳුරට දෑස් හුරු කර ගැනීම හා අඳුරේදී දැකීම ගැන පාඩම්..?

    • පුහුණු කාලය තරම් රසවත් සිදුවීම් තියන කාලයක් තවත් නැහැ. සැඟවීම සහ වෙස්වලාගනීම කරද්දී මම ඉදිරි භූමිය නිරීක්ෂණය කරන අතරේ සතුරා බඩ ගාගෙන ඇවිත් මගේ කලිසමෙන් අදිනකොට තමා දන්නේ සතුරා කොළ අතු ඇඳගෙන ළඟම සිට ඇති බව 😀 අඳුරට ඇස් හුරුකරගැනීම ඉදිරියේදී කියන්නම්.

      • ඔබතුමා සද්භාවයෙන් කියා දෙන දේවල් මේ අය අවකල් ක්‍රියාවන්ට යොදා ගන්න ඉඩ තිබෙනවා නේද ?

        • මේ හා සමාන ප්‍රශ්න කීපයකටම මම මීට පෙරත් කීප විටක් පිළිතුරු දී තිබෙනවා. යලිත් කියන්නම්. ඉතා සංවේදී සහ රහස්‍යමය සංග්‍රාමික කරුණු, ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට කියවිය හැකි පරිදි, අන්තර්ජාලයේ තිබෙනවා. සිංහල භාෂාවෙන් නැති වුනාට වෙනත් භාෂා කීපයකින්ම තිබෙනවා. ඉතින් මා හිතුවා, සරල කරුණු පමණක් සිංහල බසින් ලියන්න. මේ ලිපි දෙකේ තිබෙන කරුණු මීට වඩා ගැඹුරින් සහ ප්‍රායෝගිකව, පාසල් ශිෂ්‍යභටයන්ට උගන්වනවා.

      • ඇත්තටම මම ඔබතුමාගේ මතය සමග මුළුමනින්ම එකඟයි.. මම ඉහතින් එහෙම කිව්වේ මාරයා අඳුරට ඇස් හුරු කර ගැනීම ගැන වැඩි උනන්දුවක් ඇති කරගෙන තියෙන නිසා. 🙂

  3. හොඳ ලිපියක්… අමුතුවෙන් කියන්න දෙයක් නැති තරමට සියල්ල පැහැදිලියි. නිවැරදියි, තුමෙනි.

  4. පළමු වැනි කොටස මගහැරී තිබුන නිසා එය කියවා තමයි දෙවැනි කොටස කියව බැලුවෙ.කියවන්නාට රසයක් විදිමින් වටහා ගැනීමට හැකි අයුරින් ලිවිම ඉතාම ප්‍රශන්සනීයයි!හොද ලිපියක්.5වැනි සටහනෙ 1වැනි පින්තුරෙ අසාමාන්‍ය දේ මොකක්ක්ද?”චලනි” ද කියල දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ නේද?:):):)

    • බොහොම ස්තුතියි ලිපි දෙක අගය කිරීම ගැන. අර පින්තූරේ තියන අසාමාන්‍ය දෙ ගැන තවත් අය අදහස් දක්වන තුරු ටිකක් ඉවසාගෙන ඉන්න. අපට බොහොම සමීප අයගේ ගමන් විලාශය පවා අපේ හිතේ රැඳී තිබෙනවානම්, ඒ එන්නේ ‘චලනි’ ද කියා කියන්න පුළුවන්.

  5. ඊළඟ පාර නම් අහු වෙන්නැතුව පොල් ගෙඩියක් දෙකක් කඩා ගත්තහැකි. 😀

    • වැරදි ආදර්ශ දෙනවා කියලා උඩ පැනගෙන එන අයට කියන්නේ… කමාන්ඩෝ ෆිල්ම්ස්, යුධ තොරතුරු ගැන තියෙන ඊ බුක්ස් එහෙම තහනම් කරලා ඔය හැකර කට අරිනවා හොඳයි

      • මීට වඩා අතිශයින් සංවේදී කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් සහ වෙනත් භාෂා වලින් ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට අන්තර්ජාලයේ තියනවා. මම සමහර තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත් පසුව මට මගේ ඇස් දෙක අදහාගන්න බැරිවුනා ඇයි මේ තරම් සංවේදී තොරතුරු මේ විදිහට ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට පල කරලා තිබෙන්නේ කියලා. මම ඒ තොරතුරු කවදාවත් මෙහි පළකරන්නේ නැහැ. නමුත් එයින් පාඩුවක් වෙන්නේ සිංහලෙන් කියවන පාඨකයාට විතරයි.

    • සමහරු නම් ‘කොටු පැනීමේ’ ක්‍රීඩාව සඳහාත් මේ දැනුම යොදාගන්නවා 😀 😀 😀

  6. විචාරක තුමා අතිශය වටිනා ලිපියක් . යුද්ධයට නොවුණත් මේ කරුණු අපේ එදිනෙදා ජිවිතයටත් ආදේශකරගන්න ඇති හැකියාව ඉහළයි.

  7. කොටුවක් පනින්න, කුකුළෙක් උස්සන්න නියම තොරතුරු ටිකක්. 😀

  8. සිංහ රෙජිමේන්තු නිල ඇදුමේ දිළිසෙන කිසිවක් නැති බව මම කලින් අහලා තිබුනා…එහෙත් හේතුව හරියටම දැන ගත්තෙ අද…

  9. විශිෂ්ටයි සර් !

  10. ප්‍රයෝගිකව යොදවන්න අවස්ථාවක් ලැබුනොත් බලමු.. 🙂
    පින්තූරේ තියන අසාමාන්‍ය දේ විදිහට මට පෙනුනේ රේඛා දෙකකුයි මෝටර් රථයකට හැඩයට කිට්ටු යම් වස්තුවකුයි නේ. වම් පැත්තේ කෙලවරේ ම තියන ගහ ළඟ මොකක්ද පේනවා. කාර් එක නම් අසාමාන්‍යයි ඒ ස්ථානයේ හැටියට.
    උඩින් තියන දුම් සලකුණු දෙක, ගස් ටික, ඔක්කොම එහෙමයි.. බලන් ගියාම මුළු පින්තුරෙම අසාමාන්‍යයි නේ.. 🙂

  11. කේ.යු.ජී.උදාර said:

    මේ තොරතුරු නම් හුඟක් වටිනවා…….
    ඉස්සරහටත් මේ ජාතියේ ලිපි සෙට් එකක් දාන්න.
    බොහොම ස්තූතියි.

  12. ශා නියමයි මේවා යුද්දෙකට වගේම සාමාන්‍ය ජීවිතේටත් ප්‍රයෝජනවත්…. මෙතනදී සම්මා සතිය නිවැරදිව පිහිටුවාගැනීම තමයි වැදගත් වෙන්නනේ

  13. ශා… ගොඩක් වටින ලිපියක්..:)

  14. ඉමල්ක ද සිල්වා said:

    මෙව්වා සම්බන්දයෙන් ඔබ තුමාගේ හෝ දන්නා අයගේ අත්දැකීම් ටිකකුත් ලිව්වා නම් හොදයි වගේ 🙂

    • එවැනි අත්දැකීම් තියනවා. කාලෙන් කාලෙට මම පුංචි කතන්දර කියන වර්ගීකරණය යටතේ ඒවා ලියනවා. කරුමේ කියන්නේ එවැනි බොහොමයක් කතා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියන වර්ගයට අයත්වීමයි.

  15. බොහොම ස්තුතියි මේ දේවල් රසවත් ආකාරයට ඉදිරිපත් කිරීම ගැන.

    මේ දේවල් යුධ කටයුතු, කොටු කටයුතු වලට විතරක් නෙවෙයි විවිධ අවස්ථා වලදී උදවු වෙන්න පුළුවන් කියන එක පැහැදිලියි. (උදා, වනජීවී ඡායාරූපකරණය )

    • ඔබ හොඳින් මේ ලීපි දෙකේ සඳහන් කරුණු අවබෝධ කරගෙන තිබෙන බව පෙනෙනවා. සැබැවින්ම මේවා යුද්ධයට පමණක් සීමා කර නොගතයුතු නිසයි මෙහෙම හැමදෙනාටම දැනගන්න සැලැස්වුවේ.

  16. විචාරක මහත්මයා ඔබතුමා ලියන්නෙ නැති යුධමය කරුණු ගැන ඉන්ග්‍රීසි භාශාවෙන් පලකල වෙබ් අඩවි වල සබැදියන් වත් ලබා දෙන්න… මොකද අපිට ඕවා හොයන්ඩ එච්චර තේරුමක් නෑ…
    මන් හිතනවා ඔබතුමා සින්හලෙන් වගේම ඉන්ග්‍රරීසියෙනුත් තිස් වසරක යුද ඉතිහාසය ගැන සහ යුද හමුදාව කල කාර්ය භාරය ගැන බ්ලොග් අඩවියකට ලිපි ලීවොත් හොදයි කියලා…
    මොකද ජාත්‍යන්තර භාශාවෙන් අපේ ඉතිහාසය වාර්තා කර තැබිය යුතුයි.. ඊට බ්ලොග් ලෝකය තුල සිටින සුදුසුම කෙනා ඔබතුමා…

    • සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ, යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ වෙබ් අඩවි වල සෑහෙන තරම් කරුණු ඇතුලත්ව තිබෙනවා. පසුගිය 30 වසරක යුද්ධය පිළිබඳව.

      ඔබට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වචන යොදා සෙවීම් කරන්න. උදාහරණ:- Army Training Programmes, Commando Training, Sniper Training, How to fire a rifle, Land Mines, Ambush, මේ විදිහට සුදුසු වචන යොදන්න. වෙබ් අඩවි ලැයිස්තුවක් දෙන්න ගියොත් දහස් ගණනක් තියනවා.

      ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න ආසයි නමුත් කාලය මට තවම ඊට ඉඩ දෙන්නේ නැහැ.

  17. අපේ යාලුවන්ගේ කමෙන්ට් මෙන්ම ඊට ඔබ විසින් ලබා දෙන පිලිතුරුත් ලිපිය තරමට රසවත් නෙව. මගේ පෞද්ගලික අදහස නම් මෙවන් ලිපි දිගු වීම හෝ කොටස් ගනන වැඩිවීම ඒ හැටි අවුලක් නෙමේය කියලයි. මොකද විෂය පිලිබඳ උනන්දු අය තවත් විස්තර දැන ගැනීමට කැමති ඇති. අනේ මන්දා ඒක හරියට “අර නමටත් බෙදුවනම්” වගේ කතාවක් වගේ නේද…..? හිකිස්…..!!

  18. ක්සැන්ඩර් | Xander said:

    අපි වගේ හමුදා පිස්සන්ට කියාපු ලිපි ටික. අඩවිය පටන්ගත්තුදා ඉඳල මං නම් ආසාවෙන් එන්නේ. අර කිව්වත් වගේ මේවා යුද්ධෙට විතරක් නෙවෙයි ගොඩක් වීදිවල දේවල් කරන්න උදව් කරගන්න පුළුවන්.

    • කුමන විෂයය වුනත් දිගටම කරනකොට ඒක පිස්සුවක් නෙවෙයිද? හමුදාව කියලා වෙනසක් නැහැ. ඇත්තටම මම හිතනවා බොහෝ දෙනෙක් මේ ලිපි තමන්ගේ ජීවිතයටත් සම්බන්ධ කරගනියි කියලා.

  19. සර්,
    KDA ඇතුලට යන්න හම්බ උනා.දුක හිතුනා මට යන්න බැරි උන එකට.නමුත් ආඩම්බර ත් හිතුනා

  20. ප්‍රශ්නයක් නැති තරමටම ඉතා සරලව විස්තර කරලා. සාමාන්‍ය ජීවිතේටත් මේවා වැදගත්..

  21. *රයිෆල් රෙජිමේන්තුවල තියෙයෙන විශේශත්වය මොකද්ද?
    *අර අඳුරට දෑස් හුරුකරවා ගැනීමේ පෝස්ට් එක එන තෙක් පුල පුලා බලා සිටිමි. 🙂

    • රයිෆල් රෙජිමේන්තුවක තිබෙන විශේෂත්ව ලක්ෂණ කීපයක් තිබෙනවා. හැබැයි රටකින් රටකට මේවා වෙනස්විය හැකියි.

      1. රයිෆල් රෙජිමේන්තුවක් කිසි විටෙකත් දිලිසෙන කිසිවක් සිය නිල ඇඳුමේ අඳින්නේ නැහැ. (පදක්කම් දිලිසෙනවා. ඇත්තටමනම් ඒවා නොදිලිසෙන ලෙස සැකසිය යුතුයි)

      2. අදනම් ලෝකයේ සෑම හමුදා රෙජිමේන්තුවකටම සම්පූර්ණ ස්වයංක්‍රීය අවි (full automatic) ලබා දෙනවා. නමුත් මුල් කාලයේදී එවැනි අවි ලබාදුන්නේ රයිෆල් රෙජිමේන්තුවකට පමණයි.

      3. ඇලේ අවි (trail arm) ක්‍රමයට අවිය ගෙන යන්නේ රයිෆල් රෙජිමේන්තු පමණයි (අදනම් වෙනත් රෙජිමේන්තුත් එසේ ගෙනයනවා.)
      ඇලේ අවි

      4. රයිෆල් රෙජිමේන්තුවක ගමන් වේගය (Marching Speed) අනෙක් රෙජිමේන්තුවලට වඩා වැඩියි. ලංකාවේ අනෙක් සියලුම රෙජිමේන්තු වල වේගය විනාඩියකට අඩි 122 යි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විනාඩියකට අඩි 130 යි.

      5. වෙනත් රෙජිමේන්තු වල අණදීමේ දී, ‘සීරුවෙන් සිටින්’ කියා අණ වචනයක් කියනවා. නමුත් සීරුවෙන් සිටින් කියා අණ වචනයක් සිංහ රෙජිමේන්තුවේ නැහැ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පහසුවෙන් සිටගෙන සිටියදී ‘ඉදිරි බලන්’ යන අණ වචනය දුන්නොත්, වෙනත් රෙජිමේන්තු, ‘බලඇණිය/පෙළපාලිය/ඝනය’ යන අණ වචනය අනුව එන, සූදානම් ඉරියව්වට එනවා. ‘බලඇණිය/පෙළපාලිය/ඝනය’ යන අදාළ වචනය කිව්වොත් සීරුවෙන් සිටගන්නවා.

  22. ශා…….. නියමයි. සෑහෙන්න වැදගත් තොරතුරු ටිකක්. මේවා හමුදා දිවියට විතරක් නෙවෙයි යම් අවස්ථා වල අපිටත් ඕනේ වෙන්න පුළුවන්.
    කෝරලේ වලව්ව

  23. සිළුවට් කියන්නේ පසුබිම වර්ණවත්ව / ආලෝකමත්ව තියෙද්දී වස්තුව / වස්තූන් අඳුරුව තිබීමේ තත්වයට …

    ඉර බැහැගෙන යන වෙලාවක

    1. ඉර
    2. වස්තුව
    3. චායාරූපකරු

    ලෙස එක එල්ලේ සමාන්තරව ඉඳන් පොටෝ එකක් ගත්තොත් වස්තුව සිළුවට් වෙනවා…

    • ඇත්තටම සිලුවට් යන්නට සිංහලෙන් තනි වචනයක් හදාගත යුතුයි කියලයි මමත් හිතන්නේ. ඔබේ අදහස් දැක්වීමේ අංක 3 ඡායාරූපකරු යන්න ‘දර්ශනය දකින්නා’ කියා කිව්වානම් වඩාත් සුදුසු නැද්ද? අපි යුද්ධයේදී සෙබලාට උගන්වන්නේ පසුබිමේ ඇති ක්‍ෂිතිජ රේඛාව සමග ඇති ස්වභාවිකත්වය බිඳ දමන හැඩයයන් ගැන ඉතා දැඩිව නිරීක්ෂණය කර බලනු කියායි.

  24. cadet syl.bs eken egenagena tyanawa habai eta wada saralai

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: