විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


පින්තුරය ගත්තේ මෙතනින්

  මහා සෙනගක් මැද ඉන්න ඔබේ හිතවතා/හිතවතිය ඔබ කොහොමද හරිටම, නිවැරදිවම හඳුනාගන්නේ? ‘හාපෝයි……… මූට/මේකිට,  මුගේ/මේකිගේ කොල්ලව/කෙල්ලව, (කෙල්ල නෙවෙයි ඉතින් තව වචන තියනවා මම නොලිව්වට) පේනවා, කිලෝමීටරයක් ඈත හිටියත්, හරියට ඇටිකුකුලට ගොලුබෙල්ලව පේනවා වගේ’ කියලා ඔබේ හිතවතුන්/හිතවතියන් ඔබට විහිලු කරනවා නේද? හැබෑට අපි කොහොමද අපේ පවුලේ අය, නෑ දෑ හිතවතුන්, ඒ ආකාරයට සෙනග ගොඩක් අතරින් හෝ ඈත සිට එනවිට හෝ හඳුනාගන්නේ. ඒ අපේ මනසෙහි ඔවුන්ගේ රූපය දීර්ඝ කාලයක් තැන්පත්වී තිබීම නිසායි. ඔබ දන්නවද, කිසි දිනක තම මුහුණ කැඩපතකින් හෝ යටත්පිරිසෙයින් පැහැදිළි ජලය මතුපිට හෝ දැක නැති පුද්ගලයකුට, ඔහුගේ ඡායාරූපයක් ලබාදුන්නොත්, ඔහු ඒ දෙස බැලුවත්, ඒ ඉන්නේ තමන් බව හඳුනාගන්නේ නැහැ. එයට හේතුව, ඔහුගේ සිතේ, තමන්ගේ රුපය ඇඳී නැතිවීමයි. නමුත් අපි කුඩාකාලයේ පටන් කැඩපතෙන් මුහුණ බලන නිසා, අපේ රූපය අපේ හිතේ ඇඳී තිබෙනවා. ඒ නිසා, අපි පාරේ යනවිට හෝ අපේ රූපයක් කඩයක එල්ලා තිබුනොත්, වහාම හඳුනාගන්නවා. (හපොයි, අපේ රූප නම් කඩවල එල්ලන එකක් නෑ. මැරුණම ලයිට් කණුවල මරණ දැන්වීමේ නම් තියෙයි. ඒත් ඉතිං එතකොට අඳුනගන්න අපි ජීවතුන් අතර නැහැනේ :D) 

පහත පින්තුරය ගත්තේ මෙතනින්

  යුදබිමේදී, තමගේ අවට භූමිය, හොඳින් අධ්‍යයනය කර හඳුනා නොගත්තොත්, ඔබ ඇවිදින මළමිනියකට සමානයයි කිව්වාට වරදක් නැහැ. ඔබ ඉදිරි භූමියේ සිටින සතුරා සහ ඔහුගේ ක්‍රියාකාරකම්, ඉදිකිරීම්, අවිආයුධ, මර උගුල්, ආදිය නිවැරදිව හඳුනා නොගත්තොත්, ඔබ ඉක්මනින් මරණයට පත්වීමේ අවදානම වැඩියි. මේ නිසා පාබල හමුදා සොල්දාදුවන්ට ‘භූමි උපක්‍රම – Field Craft’ යනුවෙන් විෂයයක් ඉගෙනගන්නට සිදුවෙනවා. මෙහිදී සැඟවීම සහ වෙස්වළාගැනීම, භූමියේ ගමන් කිරීම, සිතියම් කියවීම, ඉලක්ක හඳුනා ගැනීම, ඉලක්ක ප්‍රකාශ කිරීම, භූමිය නිරීක්ෂණය කොට හඳුනා ගැනීම වැනි අනු කොටස් රැසක් හදාරන්නට සිදුවෙනවා.

මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, යුදබිමේදී අපට යම් යම් දේ දර්ශනයවීමට හේතුවන සාධක මොනවාද යන්නයි. පාසල් ශිෂ්‍යභට පුහුණුව ලැබූ අයනම්, මේ විෂයය හදාරා ඇති. ඉතින් එවැනි අයට පුළුවන්, වඩාත් හොඳින් මා සමග සංවාදයේ යෙදෙමින්, මේ විෂයය නොදන්නා අයගේ දැනුම තවත් වර්ධනය කරන්නට.

Tzun Tzu

  මීට පෙර මා ලියන ලද සමහර ලිපිවල මෙන්ම, ඔබ විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අවස්ථා වලදීත්, සඳහන් කර ඇති, සාමාන්‍යයෙන් අපේ යුද හමුදාව පවත්වාගෙන යාමේ පදනම් කරුණු ලෙස, නැතහොත් පූර්වාදර්ශය ලෙස පවතින්නේ, බ්‍රිතාන්‍ය යුද හමුදාව බව. එයට හේතුව අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිටි නිසාත්, අප‍ ත්‍රිවිධ හමුදාවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදුවීමත් නිසායි. නමුත් අද අපි අපේම සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා. කෙසේ වෙතත්, න්‍යායාත්මක කරුණු වලදී, අපි තවමත් බ්‍රිතාන්‍ය හමුදා උපදේශන පොත් සහ ප්‍රකාශන (Pamphlets) පරිහරණය කරනවා. මේ ටික මා ඔබට කිව්වේ, මින් ඉදිරියට මා විස්තර කරන කරුණුද, එවැනි ප්‍රකාශනවලින් ලබාගන්නා නිසයි. නමුත් ඇමරිකානු හමුදාව, රුසියානු හමුදාව, චීන හමුදාව, වැනි හමුදාවක, මෙම න්‍යායාත්මක කරුණු, මීට වඩා තරමක් වෙනස් වන අවස්ථාද තිබෙන බව, මතකයේ තබාගන්න.

ඉතින් මොනවද යුදබිමේදී පෙනෙන දේවල්  

  හොඳ හොඳ දේවල් පෙනෙනවා. බොහොමයක් ඒවා මෙතන කියාගන්න බැරි එකයි දුක. 😀 😀 හොඳයි විහිලු පැත්තක තියලා අපි මාතෘකාවට බහිමු. න්‍යායාත්මකව සලකා බලනවිට යුද බිමේදී සෙබළකුට ඉදිරි භූමියේ ඇති පිහිටීම, විවිධ වස්තු, මිනිසුන්(සෙබළුන්) අවි ආයුධ සහ උපකරණ, වාහන, වැනි දෑ හඳුනාගැනීම කෙරෙහි බලපාන මූලික සාධක හයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සාධක හැඳින්වීමේදී සාධක පහක් හඳුන්වන වචන පටන්ගන්නේ ඉංග්‍රීසි S අකුරෙන්. ඉතිරි සාධකය හඳුන්වන නම පටන්ගන්නේ ඉංග්‍රීසි M අකුරෙන්. ඒ නිසා මේ සාධක සියල්ල නම් කිරීමට ඉංග්‍රීසියෙන් 5 SM කියා කියනවා. යුද බිමේදී අපට මේ 5 SM තමයි පිහිටවෙන්නේ.

මොනවද 5 SM


1. SHAPE – හැඩය


2. SHADOW – සෙවනැලි රූප


3. SHINE – දිලිසීම


4. SPACING – පරතරය


5. SILHOUETTE – සිලුවට් (පසුබිම් ඡායාව)


6. MOVEMENT – චලනය


දැන් බලන්න S පහකුත් M එකකුත් තියනවා නේද? හොඳයි, අපි ඊළඟ ලිපියෙන් මේවා එකින් එක ගෙන අධ්‍යයනය කරමු. ලිපිය හිතාමතාම කෙටි කලේ මේ විෂයය පළමු වරට කියවන අයගේ අවබෝධයේ පහසුව සඳහා බව කරුණාවෙන් සලකන්න.

My Signature for Blog2012 දෙසැම්බර් මස 4 දින 1835 පැය

Advertisements

Comments on: "යුදබිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (පළමුවැනි කොටස) – Military Field Craft (Why Things are Seen) Part One" (87)

  1. මගේ අම්මෝ.. අලුත්ම කතාවක්..

    යුද බිම වගේනේ පාරේ යනකොටත්.. මේවා වටිනවා…. පස්සෙන් එන අනංගයන්‌ෙග් හොම්බ තලන්න එහෙම… හි හි…

  2. මිස්ටර් ඇනෝනිමස් said:

    අකුරු ටිකක් පොඩි කරන්නකෝ විචාරක මහත්තය. ලොකු වැඩි නිසා එක ගොඩේ වගේ පෙන්නේ. මෙතනට අදාළ නැති ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
    යුධ හමුදා සෙබලෙකුටයි, ගුවන් හෝ නාවික සෙබලෙකුටයි ලැබෙන අවි පුහුණුවේ වෙනස්කම් මොනාද? හැමෝටම ලැබෙන්නේ එකම කාල සිමාවේ පුහුණුවක්ද? මම මේ අහන්නේ සාමාන්‍ය සෙබළු ගැන.

    • අකුරු පුංචි කරන්නම්. නැවත බලා අදහස් කියන්න.
      සාමාන්‍ය සෙබළු ගැන එතරම් විශාල වෙනසක් මූලික පුහුණුවේදී නැහැ. නමුත් ඒ ඒ හමුදාවට අයත් ආධාරක අවි (ඒ ඒ හමුදාවට විශේෂ වූ) මූලික පුහුණුවේදී ලබා දෙනවා නම් එවිට වෙනස්කම් ඇතිවිය හැකියි.

  3. කැඩපතින් මුහුණ බලනවා කිව්වම මතක් උනේ තරමක් පැරණි ගීතයක්.
    ලිපියේ ඉතිරි කොටස කියවන්න බලාපොරොත්තු වෙනවා.

  4. සිලුවට් යන්න පසුබිම් ඡායාව කියනවාට වඩා ඡායා දර්ශකය කිව්වොත් වැඩියෙන් සුදුසු වේවි ද? මටත් ඕක පරිවර්තනයේ දී ගැටලුවක් වී තිබිච්ච වචනයක්. පසුබිම් ගෑවුනාම ඡයාවේ අගය නැති වී යනවා යැයි හැඟිච්ච නිසයි.

    මම කැඩපතෙන් බලනවා හරි අඩුයි .. පුරුද්ද ඇත්තෙම නැහැ .. දන්නා අනිත් අය හඳුනාගන්න හැකියාව මහත් ලෙසින් තියෙද්දී මගේ පින්තූරයක් කොහෙ හරි දැක්කාම ටිකක් පරක්කුයි ඒ මම කියලා ක්ලික් වෙන්න!!

    • මටත් හරිම ප්‍රශ්නයක් වුනා අරුණි ඔය සිලුවට් කියන වචනයට 100% ක් සුදුසු සිංහල වචනයක් හෙවීම. විස්තර කිරීමේදී තමයි ඒ ගැන කරුණු පැහැදිලි කරන්න වෙන්නේ.

      කැඩපතෙන් මුහුණ බැලීම මමත් දවසකට එක වරක්වත් නොකරන අවස්ථා තිබෙනවා. මට කැඩපතෙන් නොබලා රැවුල කපන්නත්, ඔලුව පීරන්නත් පුළුවන් (මම තට්ටයෙක් නෙවේ :D)

      • 😀 😀 කොණ්ඩෙ කොට නිසා පීරන්න දෙයක් නැහැ. සාලුවෙන් පිහිදැම්මා අතින් හදා ගත්ත. පනාවකට හෝ බ්‍රෂ් එකකට හිමිකම් නොකියමි!!! හැබැයි දැන් වයසට යනකොට අර ගෑනුන්ට එන රැවුල් ගස් නම් එන්න ඉඩ තියෙනවා …. කැඩපතක් බලන්නට සිදුවේවි ද?!!!!!!!!!

        • මමත් හමුදා සේවයේ ඉන්නකොටනම් ඇඟිලි තුඩු වලට අහුවෙන්නේ නැති ගානට කොණ්ඩය කොට කළා. දැන් ඉතින් මගේ වයසක පෙම්වතිය කැමති නෑ එහෙම කරනවට. 😀 ඒකයි ටිකක් වවලා තියෙන්නේ. ඒත් කොණ්ඩය කනේ ගෑවෙනවා දැනුනොත් එවෙලේම කොන්ඩේ කපනවා.
          අර රැවුල් ගස් ප්‍රශ්නෙට පොඩි ට්වීසර් එකක් හෝ පොඩි කතුරක් අරගෙන කන්නාඩිය නැතුව අත්හදා බලන්න. මම හිතනවා ඔයාට පුළුවන් කියලා.

    • අරුණි නෝනා කමෙන්ට් කරන එකම බ්ලොග් එකද මන්දා මේක , ආ නැ සුජාතා නෝනගේ එකෙත් කරනවා දවසක් දැක්කා,

      එහෙම කියුවට වරදවා හිතන්න එපා

      වටිනා දෙයට ඉබේ ලැබෙන වටිනාකම වෙන්න ඇති

  5. cadet කරන කොට ටොකු කකා පාඩම් කළා මතකයි 😛

  6. විචාරක මහත්මයා මේ ලිපිය නං කොටස් වලට නොකඩා දැම්ම නං හොදයි කියලා හිතෙනවා…

  7. මගේ කොම තුල ඕබ ලියු අකුරු පෙනෙන්නේ එක උඩ එක වැටිලා පුස්කොල පොත් පොන්ට් එක වැනිවයැ…..

    • මම පාවිච්චි කටන්නේ Google input tool මගින් ‘ඉස්කෝල පොත’ ෆොන්ට් එක. මේ වගේ පැමිණිල්ලක් මීට පෙර ලැබී නැත. මා කණගාටුවෙනවා ඔබ පත්වී තිබෙන අපහසුතාව පිළිබඳව මෙන්ම ඒ සඳහා තාක්ෂණික උපදෙසක් දීමට තරම් දැනුමක් මා සතු නොවීම පිළිබඳව.

      මම පාවිච්චි කරන්නේ අඟල් 24 එල්.සී.ඩී. මොනිටරයක්. එහිදී නම් අකුරු මීට වඩා ලොකු කලත් ප්‍රශ්නයක් නැත. සී.ආර්.ටී. මොනිටර් වලදී වෙනස් විදිහකට පෙනෙන්නේ දැයි නොදනිමි. 16:9 සහ 4:3 අනුපාතයේ වෙනස නිසා.
      අකුරු කුඩා කළා. නැවත බලන්න.

  8. සුපිරිම ලිපියක ඇරඹුමක් පාඩම ඉගනගන්න ආසාවෙන් බලා ඉන්නවා.ත්සූන් සූ ගේ කියමනත් හරියට හිතට වැදුණා.ඒ කියමන යුද බිමට පමණක් නොවෙයි හැම තැනකටම ඇප්ලය් කරගන්න හැකියි.
    මම සමකය වටේ ලියන නලීන්

  9. මේ පෝස්ට් එකට නම් හෙන ලයික්… මරු…

  10. අපිට ඉතින් ඕනි හන්ගලා තියන දේවල්මනේ,
    මොනවාද ඔය දකින මරු මරු දේවල්

  11. මෙව්වා දිගටම ලියන්න වෙන කව්රුවත් නැනේ අපිට කියලා දෙන්න , පිළිවලට අදින එව්වා වාගේ එව්වා , ඒ වාගේ කව්රුත් කතානොකරන එව්වා ( කාටවත් බැරි එව්වා ) ඒව්වා ලියන්න .

    කොටින්ම රබර් කෑළි දෙක දාගන එළියට බහින කොට මට ඔයාව මතක් වෙනවා ලොකු අයියේ ,

    ඒ වාගේ දේවල් ලිවීමට තමයි බ්ලොගර් දෙයියෝ ඔයාව තෝරාගන තියෙන්නේ ,

    ආතල් කතාවක් දෙකක් ලියුවට කමක් නැ . ( රස නොමරා ) ඔයා ලියනකොට එව්වායේ රස හිතා මතාම කාලා දානවා ,

    ලියන්න අනිත් අයට බැරි එව්වාම , එතන තමා ඔයාගේ මෙව්වා එක තියෙන්නේ

    • පලී//

      ඒ වාගේ දේවල් ලිවීමට තමයි බ්ලොගර් දෙයියෝ ඔයාව තෝරාගන තියෙන්නේ

      බ්ලොගර් දෙයියෝ කියන තැනට

      වර්ඩ්ප්රෙස් දෙයියේ ලෙස නිවැරදි විය යතුයි

    • මගේ නාකි වයසට ලියන්න පුළුවන් උපරිම කුණුහරප තමයි ඔය ඉඳලා හිටලා ලියන්නේ. මගේ දුවලා දෙන්නා හොරෙන් මගේ බ්ලොග බලනවා කියලා මට දැනෙනවා. ඒ නිසා ටිකක් පාලනය කරගැනීම හොඳයි වගේ. බලමුකෝ බලමුකෝ.
      හමුදා දැනුම ලිපි නම් ඉදිරියටත් ලියනවා.

  12. භූමි උපක්‍රම දෙන්නම්කො කට පාඩමින්… 🙂

    දැන් ලියන්නත් කම්මැලි වගේ.. ආයෙ කමෙන්ට් එකක් දාන්න එන්නම්කො..

  13. මේ ගැන තව එක ලිපියද ලියන්නේ.!? මම ආසාවෙන් බලන් හිටියේ ලිපි 2-3ක සීරීස් එකක් ලියයි කියලයි.. 😦

  14. ඇනෝපිලිස් said:

    සුබ රැයක්

  15. ඇනෝපිලිස් said:

    නියම පාඩම් මාලාවක් වගේ … යුද බිමේ විතරක් නෙමේ පාරෙ තොටේත් ප්‍රයෝජනවත් වෙයි……. ඉතුරු ටික ඉක්මනට දාන්න

  16. මම, මගේ, මම හඳුනාගැනීම ඉතිං කාටත් තියෙන ප්‍රශ්නනේ, කැඩපතකින් මූණ බලල තිබුණත් නැතත්. ඒත් හුඟක් අයට ඒ ප්‍රශ්නවලට හරි උත්තරයක් නෑ.

    මේ මාතෘකාවත් වෙනද වගේම රසවත් වගේ, ඉතිරි ටිකත් ඉක්මනට දාන්නකෝ. අපිට නැතත් බවලතුන්ට වැදගත් වෙයිනේ, අර හිරූට වගේ පස්සෙන් එන උන්ගෙ හොම්බ තලන්න. 🙂

    • ඊළඟ කොටසේදී මේ කරුණු හැකිතරම් සරලව, හැකි තරම් අඩුවෙන් හමුදා වචන යොදා විස්තර කිරීමට උත්සාහ ගන්නවා.

      අනුන්ගේ හොම්බ නොතැලුවත්, තමන්ගේ හොම්බ නොතලාගෙන සිටීමේ කලාවත් හරි වැදගත්.

  17. හ්ම්ම්ම් බලමු මොනවද මේ 5S කියලා…

    ( හරියා මොකෝ පේන්ඩ නැත්තෙ කියලා දන්නවද ? )

  18. හොඳයි බලමුකො අපිටත් භූමි උපක්‍රම පාවිච්චි කරන්න පුලුවංද කියල.

  19. නියම මාතෘකාවක් තමයි පටන් අරන් තියෙන්නේ….ආසාවෙන් බලා ඉන්නවා ඉතුරු ටිකත් කියවන්න.

  20. මේ දවස් මට ටිකක් සුභයි.. මුල ඉඳන් පෝස්ට් කියවන්න ලැබෙනවා.. මට මතකයි අපේ සර් කියුවා හතුරාගේ බය අපේ ජය ලූ.. ඒකත් යුධ උපක්‍රමයක්ද දන්නෑ නේ??

  21. මන් අහලා තියෙනවා විමසිල්ලෙන් බලනකොට දකුණේ සිට වම පැත්තට බලන්න කියලා. මොකද අපි වම් පස සිට දකුණු පසට (ඕනෑම දෙයක්) බලන්න පුරුදු වෙලා ඉන්න නිසා යම් යම් දේවල් මග ඇරෙන්න පුළුවන් නිසා.

  22. මෙලෝ දෙයක් නොදන්න කාරණයක් පිළිබද ඔන්න දැන් අපි දැනුවත් වෙන්න යන්නෙ… මේ විෂයට අදාළ දැනුම ඉතිං ඔබෙන් පමණයි අපට ලැබෙන්නෙ… සටන් ජවනිකා සහිත වීඩියෝ ක්‍රීඩා වලත් මේ මුලධර්ම ඒ ආකාරයෙන්ම භාවිතා කර තිබෙනවද…

    • මීට පෙර මේ ගැන අහලා නැති අය නිසා තමයි ලිපිය කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවේ.
      ඔව් වීඩියෝ ක්‍රීඩා වලත් මේ කරුණු අඩු වැඩි වශයෙන් තියනවා.

  23. ඒ ලී පෙළ හොඳ වටිනා ටිකක් වෙයි .සතුරා ආඳුන ගැනීම කොහෙදිත් ඕන වෙනවා නේ..

  24. ලියාගෙන යමු සර්.. බලමුකෝ අපිටත් මොනවා පෙනෙයිද කියලා..

    • මටත් තියන බය, මම කියලා දෙන විදිහට බලලා, මෙතෙක් කල් නොදුටුව දේවල් දැකලා, මොනවයින් මොනවා කරගනියිද කියලයි. 😀

      • සර් කියන විදියට කරපු දේවල් වැරදිලා නැහැ.. මට කලින් කියන්න බැරි උනා,සර්ගේ ඉන පටි අඳින විදිය කියෙව්වට පස්සේ මාත් ඒවිදියට පුරුදු උනා,සෑහෙන පෙනුමක් එනවා ඒ විදියට බැන්දම.. වැරදුනේ නැහැ.. 😀

      • වරු තුනෙන් ප්‍රතිඵල දෙපා මුලට.. 😀 😀

  25. නියමායි………. ඊලඟ ලිපියත් ඉක්මනට දාන්න (හරියට දැම්මගමන් බලන එකා වගේ නේද 😉 )

  26. මම කැඩෙට් කරන කාලේ ඉගෙන ගත්ත කවියක් මතක් වුණා.

    යුද පිටියේ ඇඊ දේවල් නොපෙනෙන්නේ
    සිතා බැලු විට වැට හෙන්නේ
    හැඩය සෙවනැල්ල මට්ට්ටම සමගින්නේ
    මතුපිට පරතරය චලනය සයවන්නේ..

  27. හරි එහෙනම් 5SM ගැන දැනගන්න එන්නම් ඊලඟ දවසේ. හැබැයි අපි නම් ඒවා ඉගෙන ගත්තට කාගෙවත් හොම්බ තලන්න යන්නේ නෑ ඕං. අපි හරි අහිංසකයි නෙව. හික් හික් හික්…..!!

  28. කේ.යු.ජී.උදාර said:

    වටින ලිපියක්……..
    දෙවැනි කොටසත් දැන් කියවන්නයි යන්නෙ.

  29. ක්සැන්ඩර් | Xander said:

    මං ඉතින් එන්න පරක්කු වුනා නේ. පහුගිය සතිය ලංකාවේ හිටියේ. අන්තර් ජංජාලේ හොයාගන්නත් නෑ. 🙂

  30. බටහිර රටවල් සැටලයිට් තාක්ෂණයෙන් සතුරන් සිටිනා තැන් නිරීක්ෂණය කරනවා නම් එවැනි තාක්ෂණයක් නැති රටකට ඔවුන් හා හැප්පීමට ඉතා අපහසුයි නේද?

    • සැටලයිට් තාක්ෂනය මගින් එවැනි නිරීක්ෂණ කරන්න පුළුවන් ඉතා විශිෂ්ඨ අන්දමින්. අනාගතයේදී යුද්ධය සිදුවෙන්නේ සොල්දාදුවන් යුද්ධ භූමියට නොයවා මෙවැනි තාක්ෂණික උපක්‍රම මගින්. නමුත් සැටලයිට් එක නොමග යැවිය හැකි ක්‍රම තිබෙනවා. අපි හේනේ කුඹුරේ පඹයෙක් හිටෙව්වොත් කුරුල්ලෝ, වෙනත් සත්තු රැවටෙනවා. ඒ වගේ නවීන තාක්ෂණික පඹයන් (මිනිස් රූප නොවේ. වෙනත් ආකාරයේ ඉදිකිරීම්) හදන්න පුළුවන් සැටලයිට් එක නොමග යවන. ඇමරිකාව බින් ලාඩන්ව අල්ල ගත්තේ සැටලයිට් මගින් නොවේ. ඔත්තු සේවා මගින්. ප්‍රහාරයට පමණයි සැටලයිට් යොදවාගත්තේ. සැටලයිට් නැති රටකට සැටලයිට් තියන රටක් සමග හැප්පීම එතරම්ම අමාරු නැහැ. යුද බිමේදී යොදාගන්නා උපක්‍රම අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ.
      බොහොම ස්තුතියි මෙවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: