විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ලෝක සිනමාව පිලිබඳ ඇල්මක් තිබෙන සියලු දෙනා කව්බෝයි හෙවත් ගොපල්ලන් ගේ ජීවන රටාව පසුබිම් කරගනිමින් නිපදවූ චිත්‍රපට නරඹා ඇති. කාලෙන් කාලෙට යම් යම් තේමාවන් පදනම් කරගනිමින් චිත්‍රපටි නිපදවීම ලෝක ප්‍රවනතාවක්. යුද්ධය පසුබිම් කරහත් චිත්‍රපටි, (ද ලෝන්ගස්ට් ඩේ වැනි) අද්භූත හෝ මාරක කතා පසුබිම් කරගත් චිත්‍රපටි, (ඩ්රැකියුලා, හැරී පොටර් වැනි ) ත්‍රාසය පදනම් කරගත් චිත්‍රපටි, (මිෂන් ඉම්පොසිබල්, ජේම්ස් බොන්ඩ්, වැනි) ශ්රුන්ගාරය පදනම් කරගත් චිත්‍රපටි, (බයි නයිට් චිත්‍රපටි මාලාව) හාස්‍යය පදනම් කරගත් චිත්‍රපටි, (මට මේ වෙලාවේ මතක් වෙන්නේ ක්‍රේසි බෝයිස්‌ චිත්‍රපටි මාලාව) ඒ සඳහා උදාහරණ කීපයක්. මේ අතර ලෝකයේම ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපට මාලාවක් ලෙස කව්බෝයි හෙවත් ගොපළු චිත්‍රපටි හඳුන්වන්න පුළුවන්. ගොපළු චිත්‍රපට ලෝකය පුරා ජනප්‍රියව පැවතියේ 1950 දශකයේ අග භාගයේදී සහ 1960 දශකයේදී යි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ දී, කව්බෝයි චරිත සහිත චිත්‍රපටි 1930 දශකයෙදීත් නිපදවා තිබෙනවා.

පින්තුරය ගත්තේ මෙතනින්

  කාලෙන් කාලෙට එන විවිධ තේමා පදනම් කරගත් චිත්‍රපට මාලාවන් ඉක්මනින් වැළඳගන්නේ තරුණ පරපුර නොවැ. අපි තරුණ කාලේ කියා එහි වෙනසක් නැහැ. ඒ කාලේ රුපවාහිනිය ලංකාවට ඇවිත් නොතිබීමේ ‘වාසනාව’ නිසාත්, පුවත්පත්වල පළවූ සිනමා තීරු ලිපි සෑහෙන සංඛ්‍යාවක් කියවන්නට තරම් ගුරුවර වැඩිහිටියන්ගේ මග පෙන්වීම ලද නිසාත්,  ජරාව සහ හොඳ නිර්මාණය වෙන්කර හඳුනාගැනීමේ ඉවක් අප තුළ පහළ වුනා. ඒ ඉව අදටත් නොනැසී පැවතීම වාසනාවක්. ඒ ඉව අපට ලබාදුන් ගුරුවර, වැඩිහිටි, දෙමවුපිය, උත්තමයෝ උත්තමාවියෝ මතු බුදුවෙත්වා! ඉතින් මේ චුර්නිකාවෙන් පසු ප්‍රස්තුතයට බසිමු. කව්බෝයි චිත්‍රපට සඳහා පදනම වැටුනේ 18 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල (මෙතන මුලින්ම ලියා තිබුණු ‘ උතුරේ’ යනුවෙන් සඳහන්ව තිබීම වැරදි බව, ඒ ගැන දන්නා අරුණි ශපිරෝ විසින් පෙන්වාදීමෙන් පසු, නිවැරදි කරන ලදී. ඒ පිළිබඳව ඇයට මාගේ ස්තුතිය) විසු ගොපළු ජන කොට්ටාශය පිළිබඳව ඇමරිකානු සමාජය පුරා පැතිරුණු විශේෂ අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන්.

  කව්බෝයි යනු කවරකුද? ඔහුගේ ජීවන රටාව කෙබඳුද? අපි එය කෙටියෙන් විමසා බලමු. ගොපල්ලන් කියන්නේ ගවයන් පාලනය කරන අය බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් උතුරු ඇමරිකාවේ සහ කැනඩාවේ දකුණු ප්‍රදේශවල සිටින කව්බෝයි යනුවෙන් හඳුන්වන ගොපල්ලන් ගවයන්ට අමතරව අශ්වයන්, බැටළුවන්, එළුවන් ආදියත් ඇති කරනවා.

  ඒ වගේම ඔවුන් මේ සඳහා යොදාගන්නේ අක්කර සිය ගණන් දහස් ගණන් තිබෙන අති විශාල භූමි ප්‍රදේශ. ඒ බිම් විවිධ භූවිෂමතා ලක්ෂණ වලින් යුක්තයි. සත්ව පාලනය සඳහා යොදාගන්නා එවැනි බිම් පෙදෙස් හඳුන්වන්නේ රෑන්ච් (Ranch) යනුවෙන්. 

ඉහත පින්තූර දෙක ගත්තේ 1 මෙතනින් සහ 2 මෙතනින්

  කව්බෝයි චිත්‍රපටිවල බොහෝවිට සඳහන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම පෙදෙස් වල ඇති රෑන්ච් සම්බන්ධවයි. ඔබ බොහෝවිට රූපවාහිනියෙන් හෝ චිත්‍රපටි වලින් දැක ඇති මේ රෑන්ච් වල සිදුකරන ක්‍රීඩාවක්. එය හැඳින්වෙන්නේ රෝඩියෝ (Rodeo) යනුවෙන්. මෙහිදී ගවයකු හෝ හීලෑ නොකළ අශ්වයකු පිට නැගී, ඒ සතා දඟලද්දී කිසියම් නිශ්චිත කාලසීමාවක් නොවැටී සිටීම,

  දුවන වසුපැටවකු පසුපස, අශ්වයකු පිට නැගී හඹාගොස්, මද්දක් ගසා අල්ලාගැනීම. වැනි ක්‍රීඩා දකින්නට ලැබෙනවා. මේ ක්‍රීඩා කව්බෝයිලාගේ ක්‍රීඩා ලෙස සැළකෙනවා. මෙය දක්ෂතාවය මෙන්ම නිර්භීත භාවයද පෙන්වන ක්‍රීඩාවක් වුනත් පොඩ්ඩ බැරිවුනොත්, හොම්බෙන් යන අවස්ථාත් නැතුවාම නොවේ.  එහෙම වෙන අවස්ථාත් ඔබ දැක ඇති.

මේ පින්තූර තුන ගත්තේ 1 මෙතනින්, 2 මෙතනින්, 3 මෙතනින්

කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය

  කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය බටහිර සිනමාවේ මුල් අවස්ථාව තරම්ම පැරණියි. 1900 දී පමණ ඇරඹුණු ඒ සිනමාව වෙත කවුබෝයි චිත්‍රපට මුසු වන්නේ 1930 දී පමණ. එහෙත් එහි කුටප්‍රාප්තිය ලෙස සැලකෙන්නේ 1950 – 60 දශක දෙකයි. එමෙන්ම බොහොමයක් කව්බෝයි චිත්‍රපට සඳහා පසුබිම් කරගන්නා කාලසීමාව වී තිබෙන්නේ 1860 ගණන් වල සිට 1900 – 1920 පමණ වන කාලයයි. මේ සෑම කතාවකම පාහේ දකින්නට ලැබෙන මුලික ලක්ෂණය වන්නේ, කළු සුදු චරිත හෙවත්, නරකට විරුද්ධව සටන් කරන හොඳ මිනිහා, හෙවත් වීරයා සංකල්පයයි. කතානාද චිත්‍රපටි බිහිවීමට පෙර යුගයේ තිබුණු ‘නිහඬ සිනමාව Silent Films’ පැවති කාලයේත්, කව්බෝයි මෝස්තරයේ චිත්‍රපටි බිහිවුණා. නමුත්, ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් ප්‍රථම කව්බෝයි චිත්රපටිය වන්නේ 1939 දී තිරගතවූ ‘ස්ටේජ්කෝච් Stagecoach’ චිත්‍රපටියයි.  එමෙන්ම බටහිට සිනමාවේ යෝධයකු වූ ‘ජෝන් වේන් John Wayne’ නමැති ලෝකප්‍රසිද්ධ නළුවා ප්‍රේක්ෂක හදවතට ඇතුළු වුයේද මේ අවදියේදීය. 

කව්බෝයි චිත්‍රපටි වල තිබෙන විශේෂත්වය කුමක්ද?

  කව්බෝයි චිත්‍රපටි ජනප්‍රිය වීමට විශේෂ හේතුවක් වශයෙන් සළකනු ලබන්නේ එම චිත්‍රපටි වල තිබෙන තුවක්කු/රිවෝල්වර වලින් වෙඩි තබාගැනීමේ ජවනිකා සහ අශ්වයන් පිට වේගයෙන් ගමන් කිරීමේ ජවනිකාය. මේ ජවනිකා අතිශයින් තාත්වික ලෙස රූපගතකර තිබීම නිසා ප්‍රේක්ෂකයාට වඩාත් සජීවී ගුණයකින් යුක්තව චිත්‍රපටිය රසවිඳීමට හැකිවෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්

  අශ්වයන් පිට ගමන් කිරීම සඳහා ත්‍රාසජනක ක්‍රියා නළුවන් (Stunts) නොයොදා, ඒ ඒ චරිතාංග නළුවාම, හොඳ පුහුණුවකින් පසුව සිය රඟපෑම ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි. මෙහිදී නළු නිලි දෙපාර්ශ්වයම මේ සඳහා පුහුණුවීම් ලැබීමද විශේෂත්වයකි. එමෙන්ම පසුතල නිර්මාණයේදී 1930 – 40 දශක පවා නිරූපණය වන පරිදි සකස්කර ඇති පසුතල මෙන්ම ඇඳුම් සහ වේශ නිරූපණයද චිත්‍රපටියේ තාත්විකත්වය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්

කව්බෝයි යනු කෙබඳු පුද්ගලයකුද?

  කව්බෝයි කෙනෙක් කියන්නේ පරමාදර්ශී චරිතයක්. ඔහුගේ ගුණාංග විස්තර කෙරෙන අචාරධර්ම පද්ධති කීපයක් තිබෙනවා. ඒ සියල්ලේ සංකලනයක් තමයි පහතින් දක්වන්නේ.

  • ඔහු කිසිවිටකත් ප්‍රශ්න ඇතිකරගැනීමට උත්සාහ නොකරයි.
  • එහෙත් ප්‍රශ්නයක් ආ විට නොබියව එයට මුහුණ දෙයි.
  • ඔහු සෑමවිටම හරි පැත්ත ගනියි.
  • ඔහු සෑමවිටම හොඳ මිනිසුන් නරක මිනිසුන්ගෙන් බේරාගැනීමට ක්‍රියාකරයි.
  • ඔහුගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළය.
  • ඔහු හොඳ හික්මුණු ගති වලින් යුක්තය.
  • ඔහු අවංකය.
  • මිනිසුන් කුමක් සිතුවත්, දේශපාලන අර්ථකථනය කුමක් වුවත්, ඔහු සෑමවිටම සිය සිතට එකඟව ඇත්ත කතාකරයි.
  • ඇමරිකානු වනගත ප්‍රාන්තයන්හි ඔහු සමගියේ පහන් ටැඹයි.
  • ඔහු සෑමවිටම ගරු බුහුමන් ලබන පුද්ගලයෙකි. එකල සැලෝන් යනුවෙන් හැඳින්වුන අවන්හලකට ඔහු ගොඩවැදුනොත් (ඔහු බොන්නේ සාසපෙරිලා Sarsaparillaනමැති ස්වභාවික පානය පමණි) මුළු අවන්හලම නිශ්ශබ්ද වන අතර එතන සිටින ඒ ප්‍රදේශයේ ගණන්කාරයෝ ඔහුගෙන් ඈත්ව සිටිති.
  • තුවක්කු/රිවෝල්වර් හරඹයකදී, තම සතුරා, ඔහුගේ අවිය අතට ගන්නට පෙර, තම අවිය කොපුවෙන් ඇද වෙඩි තැබීමට ඔහු සමත්ය. මුෂ්ටි ප්‍රහාරයකදී වුවද ඔහු සතුරාට වඩා ඉක්මන්ය
  • ඔහු සෑමවිටම ජයග්රාහකයෙකි. ඔහු සෑමවිටම තමා තුල සිටින මිනිසා දිනවයි. සටනකින් ජය ලැබූ වහාම ඔහු නිහඬව තම අසු පිට නැගී ඉර බසින දිශාවට මුහුණලා පිටව යයි.

  කව්බෝයි කෙනෙකුගේ පෙනුම මොනවගේද? ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ඊට පස්සේ විස්තරේ තියනවා.

පින්තුරය ලබාගත්තේ මෙතනින්

  කව්බෝයි සමහරවිට සංචාරකයෙක්. තවත් සමහරවිට රහස් පරීක්ෂකයෙක්. කොහොම වුනත් ඔහු තම අශ්වයා සමග එළියට බහින්නේ, ඕනෑම දෙකට ඔට්ටුයි කියාගෙනයි. මේ පින්තූරය දෙස බැලුවිට ඔබට පැහැදිලි වෙනවා ඇති තුවක්කුව, රිවෝල්වරය, වතුර මල්ල, ඇතිරිල්ල, කඹය, ඔහුගේ ප්‍රධාන උපකරණ බව. ඔහුගේ ඇඳුම රළු පරිසරයට අනුව සකසාගත් එකක් බවත් පෙනෙනවා නේද?

කව්බෝයි චිත්‍රපට සංස්කෘතියේ කැපී පෙනෙන චරිත

  ඔබ හොඳින් දන්නවා ඇති, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා කාලීනව වෙනස් වුනත්, එහි ජනප්‍රියත්වය අඩු නොවුන බව. කවුබෝයි චිත්‍රපට බොහෝ දුරට එක හා සමාන තේමාවන් රැගත් කතා මාලාවක් වුවත්, එකම ප්‍රධාන නළුවා, ඊළඟ,ප්‍රධාන නළුවා පහල වනතුරු රඟපෑවේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය අඩු වුනෙත් නැහැ. අපි බලමු මුල් යුගයේ සිට ජබන්ප්රිය කව්බෝයි නළුවන කීප දෙනෙක්.

1. ජෝන් වේන් (ඉහත ඡේදයකත් දක්වා ඇත) ඇමරිකානු සිනමා ඉතිහාසයේ පතාක යෝධයකු වු මොහු කව්බෝයි චිත්‍රපට මෙන්ම අනෙකුත් වෘතාන්ත චිත්‍රපට වලින්ද අතිශයින් ජනප්‍රිය විය.

මේ පින්තූරය ගත්තේ මෙතනින්

2. ක්ලින්ට් ඊස්ට්වුඩ් :- කව්බෝයි චිත්‍රපට පිළිබඳව කතා කිරීමේදී කිසිදින අමතක නොවන නාමයක් තමයි ක්ලින්ට් ඊස්ට්වුඩ්. විශේෂයෙන් ඔහු සිය අතිශයින් ප්‍රත්භා සම්පන්න රංගන හැකියාව ප්‍රදර්ශනනය කළ චිත්‍රපට තුන හෙවත්, ‘ඩොලර් සීරිස්’‌ නමින් ප්‍රකට ‘For A Few Dollars More’ , ‘A Fistfull of Dollars’ , ‘The Good, The Bad, And The Ugly’ යන චිත්‍රපට තුන නරඹා නැති කව්බෝයි චිත්‍රපට රසිකයකු ඇත්නම්, ඔහු  කව්බෝයි චිත්‍රපටි නරඹා නැතැයි කිව්වාට වරදක් නැත.

මේ පින්තූරය ගත්තේ මෙතනින්

3. රොබට් ඩුවාල්:- මේ ශේෂ්ඨ නළුවාගේ විශේෂත්වය වන්නේ දුෂ්ඨ චරිත රංගනය අතින් ඔහු දැක්වූ අසමසම විශිෂ්ටතත්වයයි. ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ජනප්‍රිය වුයේද අපරාධ කල්ලි පසුබිම් කරගත් චිත්‍රපටි වල රඟපෑම නිසාය.

පින්තූරය ලබාගත්තේ මෙතනින්

4. මෝර්ගන් ෆ්‍රීමන් :- බටහිර සිනමාවේ පතාක යෝධයකු වන මෝර්ගන් ෆ්‍රීමන් චරිතාංග නළුවකු ලෙස අද කාලයේ වුවද උසුලන්නේ අනබිභවනීය ස්ථානයක්.

පින්තූරය ගත්තේ මෙතනින්

5. ලී වෑන් ක්ලීෆ්:-  කව්බෝයි චිත්‍රපට බොහොමයක චරිතාංග නළුවකු වු ලී වෑන් ක්ලීෆ් වඩාත් ජනප්‍රිය වුයේ ඩොලර් චිත්‍රපටි මාලාව නිසයි.

පින්තූරය ගත්තේ මෙතනින්

  මෙහි දැක්වුවේ කවුබෝයි චරිතාංග නළුවන අතරින් ප්‍රධාන පෙලේ පස දෙනෙකුගේ විස්තර පමණයි. තවත් 10 ක් පමණ ඉන්නවා මෙවැනි චිත්‍රපට නිසාම ප්‍රසිද්ධවූ අය. එහෙත් ලිපිය දිග වැඩි වන නිසා ඒ සියල්ල ඇතුළත් කරන්නේ නැහැ.

කව්බෝයිස්ලා විතරද ඉන්නේ කව් ගර්ල්ස්ලා නැද්ද?

ඉන්නවා ඉන්නවා. හැබැයි කව් ගර්ල්ස්ලා, කව්බෝයිස්ලාගේ ‘ලව් ගර්ල්ස්ලා’ විතරයි. ඉඳහිට පොඩි සටනකට අවතීර්ණ වන අවස්ථාත් තියනවා. කව්බෝයි චිත්‍රපටවල රඟපෑ සහ රඟ නොපෑ, එහෙත් බටහිර සිනමාවේ ගිනිසිළු ලෙස හැඳින්විය හැකි නිලියන් 100 දෙනෙකුගේ විස්තර මෙතනින් බලන්න.  කව්බෝයි චිත්‍රපටි වලට සම්බන්ධ කීප දෙනෙකුගේ පින්තුර පෙන්වන්නම්.

අමන්දා බ්ලේක් ජීන් ක්රෙන්

ගෙයිල් ඩේවිස්

මොරීන් ඕ හාරා (මේ නම තිබෙන ශ්‍රී ලාංකික සිනමා/රුපවාහිනි නිලියක් ඉන්නවා. නමුත් දැන් ඇය, ‘ඕ හාරා’ කියන කොටස පාවිච්චි කරන්නේ නැහැ. මුල් කාලයේ ඇය චිත්‍රපටවල මේ නමින් පෙනීසිටියා.)

ඇවා ගාර්ඩ්නර්

වර්ජිනියා මයෝ

බාර්බරා ස්ටෑන්වික්

මේ නිලියන් ගැන විස්තර මෙතනින් බලන්න.

ලිපිය අවසන් කිරීමට පෙර, කව්බෝයි චිත්‍රපට කීපයක දර්ශන පෙළක් ඔබට ලබාදෙන්නට හිතුවා. ඒවා පහත දක්වනවා.

‘අ ෆිස්ට්ෆුල් ඔෆ ඩොලර්ස්’ චිත්‍රපටියේ ත්‍රාසජනක රිවෝල්වර් හරඹයක්. මේ ඉන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්

‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ සදා නොනැසෙන තේමා වාදනය.

‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ ප්‍රචාරක පටිය

ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ තේමාව

ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ප්‍රචාරක පටිය


ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ජවනිකාවකදී, හොඳම වැඩ කාරයන් දෙදෙනකු වන, කලින්ට් ඊස්ට්වුඩ් සහ ලී වෑන් ක්ලිෆ් අතර රිවෝල්වර් හරඹයක් මේ. මෙය ඇතුළු කර ලිපිය යලි සැකසීමට මතක් කරදුන් Buratheno වෙත මාගේ විශේෂ ස්තුතිය.


ඇමරිකානු ගොපලු ජීවිතය නිරුපනය කරන මේ චිත්රපට ටොරන්ට් මගින් බාගත කරගෙන නැරඹීමේ පහසුව තිබෙනවා. අතීත ඇමරිකානු සමාජයේ එක පැතිකඩක් පිළිබඳව කෙරෙන විවරණයක් ලෙසද මේ චිත්‍රපට හඳුන්වන්න පුළුවන්.

2012 නොවැම්බර් මස 17 දින 01:11 පැය

Advertisements

Comments on: "ලොව හෙල්ලූ ගොපල්ලෝ – The Cowboys" (79)

  1. ෂාහ්.. මරු විස්තරයක්නෙ විචාරක මහතා කාලෙකට පස්සෙ ඇවිත් දුන්නෙ.. මම නම් කව් බෝයි ෆිල්ම් බලලා නෑ.. ඒත් කාලෙකට උඩදි ගිය කුන්ග්ෆු කතා මාලාවෙ මේ ලක්ෂණ තිබුනා වගේ මතකයි..

    මෝගන් ෆ්‍රීමන්, Invictus චිත්‍රපටියෙ නෙල්සන් මැන්ඩලාගෙ චරිතෙ අපූරුවට කළා වගෙත් මතකයි..

    • ස්තුතියි ඇගයීම ගැන. මේ ලිපිය මීට වඩා දීර්ඝව ලියන්න තිබුනත්, හැමදාම මම ලියන ලිපි, කොටස් දෙක තුනකට යාම අප්‍රසන්න වේයැයි සිතා, එක ලිපියක් බවට පත් කළා.
      මෝර්ගන් ෆ්රීමන් වැනි නළුවන් ලෝකයටම අයිති කලාකරුවන් කියලා කියන්න පුළුවන්.

  2. Another successful mission

  3. ඒ කලේ සිද්දවෙච්ච කතාවක්නේ
    නියම වී ර ක් කියලයි කියන්නේ..
    අස්වයාගේ පිටින් එය ගමන් යයි..
    අසාධාරනේ එයට පෙන්නන බෑ..

  4. මිස්ටර් ඇනෝනිමස් said:

    ‘The Good, The Bad, And The Ugly’ film එක විතරයි මම බලල තියෙන්නේ. මං හිතන්නේ ඩෙනිම එහෙමත් එන්න ඇත්තේ ඔය කව් බෝයිලාගෙන් වෙන්න ඇති නේද?

  5. මිනිත්තු 12 ක් දිග 1903 දී හදපු The Great Train Robbery අමතක කරන්න බැහැ.

    මෙහෙ අය මේවාට කියන්න western කියලා. ඇමෙරිකන් බටහිර පෙදෙසේ සිද්ධ වූ නිසයි. උතුරු පෙදෙස් වල නෙමෙයි ටෙක්සාස්, නිව් මෙක්සිකෝ සහ ඇරිසෝනා වැනි දකුණේ.

    Matt Damon රඟන All the Pretty Horses (2000) නම් වූ Cormac McCarthy අතින් ලියැවිච්ච පොතෙන් හැදිච්ච එක තමයි මගේ ප්‍රියතම ‘කව්බෝයි’ චිත්‍රපටිය.

  6. ෂා…එකහුස්මට කියවගෙන ගියා…විචාරකගේ..විචාරයක් වගේ..!

  7. බොහොම ස්තුතියි මේ තොරතුරු ලබා දීමට. බාගෙන බලන්න ඕනි ලබන මාසේ. මේ මාසෙ bandwidth limit පනින්න කිට්ටුයි දැන්. 🙂

  8. After a long time I got a break to visit you Sir, got to read a lot of posts, will read all slowly and come back, you take care Sir, i always admire your efforts.
    (Something is wrong with my Sinhala input Sir, that’s why typing in English)

  9. ක්සැන්ඩර් | Xander said:

    මම ක්ලින්ට් ඊස්ට්වුඩ් රසිකයෙක්. මේ ලිපිය දකිද්දීත් මතක්වුනේ ඩොලර් චිත්‍රපට මාලාව.

    • අපි ඉස්කෝලේ යනකාලේ නියම කව්බෝයි පිස්සෝ. බිග් මැච් එකට ඇඳලා යන්නේ කව්බෝයි වගේ.

      • අපේ ඉස්කෝලෙ ඉන්නැද්දි ද හෑ

        • ඔව් ඒ කාලේ තමයි. කව්බෝයිලාගේ කාලයේදී අදවගේ ආරක්‍ෂිත ගිණිකුරු (Safty Matches) තිබුනේ නැහැ. ඒ කාලේ ගිණිකුරු ඕනෑම රළු මතුපිටක ඇතිල්ලුවාම ගිනි ඇවිලෙනවා. කව්බෝයි චිත්‍රපටිවල ඒ වැඩේ දැකලා, අපි කලේ අලියා ගිනිපෙට්ටියේ ගිනිකුර ගහන වෙඩි බෙහෙත් පටිය කපලා, සපත්තුවේ හීල් එක වටේ අලවලා, සාක්කුවෙන් ගිනිකුරක්‌ අරන් අර වෙඩි බෙහෙත් පටියේ ගහලා දල්වන එකයි. මොකද, කව්බෝයිලා ගිණිකුරු පත්තු කරන්නේ එයාලගේ බූට්‌ එකේ හීල් එකේ ගහලයි. අපි අර වැඩේ කලාම, කෑ/බා.ම.වී. ළමයි සහ කෑ/ශා.ජෝ.බා.ම.වි ළමයි පුදුම වෙලා අපි දිහා බලනවා. කාටද ඉතින් ආඩම්බර? 😀 😀 😀

  10. විමුක්ති රාජසිංහ said:

    ඇත්තෙන්ම ඉතාම අගනා ලිපියක්. ඔබට මගෙ සුභ පැතුම් තුමණි!!!

  11. // කව්බෝයි කෙනෙක් කියන්නේ පරමාදර්ශී චරිතයක්. ඔහුගේ ගුණාංග විස්තර කෙරෙන අචාරධර්ම පද්ධති කීපයක් තිබෙනවා. ඒ සියල්ලේ සංකලනයක් තමයි පහතින් දක්වන්නේ //

    මේ කියන්නේ good cowboy/ sharpshooter කෙනෙක් ගැන නේද.?? පොදුවේ හැම කව්බෝයිම මෙහෙම නෙවෙයි නේ..

    මට නම් හැමදාමත් ultimate cowboy ක්ලින්ට් ඊස්ට්වුඩ් තමා. ජෝන් වේන් එච්චරම අල්ලලා ගියේ නෑ..

    විචාරක The Magnificent Seven චිත්‍රපටිය ගැන කියලා නෑ නේ.. Western films වල සන්ධිස්ථානයක්..

    අර වීඩියෝ list ටිකට තව එකක් අඩුයි නේද.?? The Good The Bad & The Ugly film එකේ ඊස්ට්වුඩ් හා වෑන් ක්ලීෆ් තොප්පිවලට වෙඩිතියාගන්න සීන් එක

    බොහොම ස්තූතියි මේ ලිපියට.. පරණ මතක අලුත් කලා, ආයෙමත් මේ ෆිල්ම්ස් ටික බලන්න ඕන.. 😀

    • ඇත්තම කියනවානම් මම හිතුවේ නැහැ මේ ලිපියට මෙතරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. ඒ නිසා ලිපිය හැකි තරම් කෙටි කළා. දැන්නම් හිතෙනවා කොටස් දෙකකට කඩලා සවිස්තරව ලිව්වානම් හොඳයි කියලා.

      පසුගිය දිනවල මා අසනීපයෙන් සිටීමත් ලිපිය කෙටිවීමට බලපෑවා.

      අර තොප්පියට වෙඩි තැබිල්ල ලිපියේ අගට ඇතුළු කරන්නම්.

      • මගේත් ආසම කව් බෝයි ක්ලින්ට් ඊස්ට්වුඩ් තමා.. ජෝන් වේන් ගැන අහලා තිබ්බා විතරයි නේ… ආසම නළුවෝ සෙට් එකම ඉන්නවා…

        මං ආසම කෑල්ල තමයි අර වෙඩි තියලා ඉවර වෙලා පිස්තෝලෙට කටින් පිඹලා, රවුමක් කරකවලා ‌කේස් එකට දාගන්න කෑල්ල ඔය කව් බෝයි ෆිල්ම් වල.. හි හි …

        • අපි ඉස්කෝලේ යනකාලේ ඔය පිස්තොලෙන් වෙඩි තියලා කටින් පිඹලා රවුමක් කරකවලා කොපුවේ දමා ගැනීම රඟපාලා පෙන්නනවා පන්තියේදී. අහුවුනොත් ගුටි තමා.
          මම හමුදාවට ගියාම හිතුවේ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. අයියෝ……….එහෙම දුම් එන්නේ 1910 විතර කාලේ පතරොම් වලින් වෙඩි තියපුවම. දැන් තියන පිස්තෝල වලින් වෙඩි තිබ්බම දුමක් එන්නේ නැහැ. ඉතින් අර රඟපෑමේ බලාපොරොත්තුව වතුරේ ගියා. 😀

  12. විචාරක තුමාට මතකද මීට දශක කීපයකට කලින් ජාතික රුපවාහිනියේ ගියා කව් බෝයි ටෙලිනාට්‍ය මාලාවක් ‘ BIG VALLEY ‘ කියල. ඒකෙ තේමා වාදනයත් ‘ අ ෆිව් ඩොලර්ස් මෝ ‘ චිත්‍රපටියේ තේමා වාදනයම තමයි. ඇත්තටම සදා නොනැසෙන තේමා වාදනයක්.

  13. එකකට දෙකකට වඩා කව්බෝයි චිත්‍රපට බලා නැත , ඔබගේ ලිපිය නම් අගනේය

  14. බොහොම ලස්සනයි හොඳයි.සුපිරිම ලිපියක් තමා. ආයිත් එන්නම්. ජයම වේවා …….
    එන්න සමකය වටේ රවුමක් යන්න

  15. බට ස්තුතියි මහත්මයා.මාත් ඉතාම ප්‍රියකරන සිනමා වර්ගයක්.එළිමහන් දර්ශන ඉතා වැඩියෙන් තිබීම සහ මා ඉතාම ප්‍රියකරන සතුන් වූ අශ්වයන් සිටීම නිසා මා මේ චිත්‍රපට වලට ප්‍රිය කරනවා.ඊයේ දිනයේ doctor west නම් චිත්‍රපටය නැරඹුවා.

  16. ටික දවසකට පස්සෙ..අලුත්ම මාතෘකාවකින් ගෙනල්ලා තියෙන තොරතුරු බොහොම වටිනා ඒවා කියලා නිර්ලෝභීව කියන්න කැමතියි… කවුබෝය් සංගීතයට තමයි මම නම් වඩාත්ම කැමති…

    අර ගායකයගෙ ෆොටෝවෙ මුහුණ ඇසිඩ් ප්‍ර‍හාරයකට ලක් කිරීම පිළිබද මාගේ විරෝධය…

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. Buratheno මතක් කරදුන් තවත් වීඩියෝ ක්ලිප් එකක් මේ දැන් ඇතුළුකලා මේ ලිපියට.

      අර ගායකයාගේ මුණ ඒ කාලෙත් ඇසිඩ් ගහලා වගේ තමයි. 😀 😀 😀

      • ඇත්තෙන්ම ඒ ඇසිඩ් බාත් එකට මගෙ බලවත් විරෝධය! ඕක කරන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද විචාරක?

        ෂේන් බලලා ඇති නේද විචාරක?

        ඔය වෙස්ටර්න්ස් වල ඉන්න නලුවො හරියට යොදාගත්තා මාල්බරෝ සිගරට් ප්‍රචාරණයට.
        Come to where the flavor is.
        Come to the Marlboro country.
        කියලා. සමහරු කැන්සර් හැදිලා මැරුනා ඇත්තටම.

        • ඇසිඩ් බාත් එක නැවත හදන්නම්. ඒ ගැන බොහොම විවේචන තිබෙන නිසා.
          ෂේන් ඩී.වී.ඩී. එක මම මගේ ඩී.වී.ඩී. එකතුවේ ඉතාම අගය කරන චිත්‍රපටියක්. එමෙන්ම ෂේන් නවකතාවේ සිංහල පරිවර්තනයත් මගේ ළඟ තිබෙනවා.
          ඔබ කියන එක හරියටම හරි. පැරණි TIME, LIFE, Newsweek,වැනි සඟරාවල කව්බෝයි නළුවන් සිටින සිගරට් ප්‍රචාරක දැන්වීම් පිරිලා තිබුනා.
          අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  17. එයාට කවුරුත් කිව්වෙ ‘කවුද බෝයි’ .. ගහපු දිග කමෙන්ටුව යන්න ගියා.. දෙවෙනිවර ඉතින් කෙටියෙන්..

    මම අහලා තියෙන විදිහට ඇමරිකාවෙ ඉතා විශාල තණබිම් තිබෙනවාලු. කොච්චර විශාලද කියනවා නම් එක කෙළවරකින් පැටවු දාපුවාම අනික් කෙළවරෙන් තර වෙච්ච සත්තුලු පිටවෙන්නෙ. ඉතින් සතුන්ව මේ ගමන එක්කගෙන එන්නෙ කව්බෝයිලාලු. ගෙයක් දොරක් නැතිව මේ පැමිණෙන ගමනෙදි ඇතිවන කටුකත්වයට මූණදෙන්නලු ඔවැනි රළු ඇඳුම් අඳින්නෙ.. යන යන තැන අවැසි කළමනා ගෙනියන්නත් වෙනවලු..

    ඔය අස්සයාට විකල්පයක් විදිහටලු නේද ට්‍රේල් බයික් හැදුවෙ..

    • ඇමරිකාවේ තණබිම් වගේ අර්ජෙන්ටිනාවේ ගවමස් කම්හල් ගැන අහලා තියනවද? මේ පැත්තෙන් හරක් ඇතුල් කලාම අනික පැත්තෙන් එන්නේ ටින් කරන ලද ගවමස්. දවසක් මැෂින් ඔපරේටර් කෙනෙක් හොඳටම බීලා මැෂින් එක රිවස් එකට දාලා. අනික් පැත්තෙන් එලියට ආවේ විකාර හැඩයේ හරක්ලු. ඇයි මැෂින් එක ඇතුලෙදි කෑලි කලවම් වෙනවනේ.

      මම කියවපු විස්තරයක තිබුනා දැන් කව්බෝයි රෑන්ච් සංචාරක මධ්‍යස්ථාන හැටියටත් යොදාගන්නවා කියලා.

  18. ෆිල්ම් බැලුවට මෙව්වා දන්නේ නෑනේ… ස්තූතියි විචාරක…

  19. ඔය බයිස්කෝප් බලපු අපි නිකන් හිටියේ නැහැ.රැව්ලත් වැව්වා ක්ලින්ට් වගේ.සුපිරි මතකයක් අලුත් කලා.නුවර කලන්සුරියගේ “My Inn” ෂොප් එකෙන්ද කොහෙද තොප්පියක් හම්බවෙලා කළු රෙද්දයි තොප්පියයි දාගෙන නටපු නාඩගම් මතක් කලා.තුවක්කු,පිහි සහ සටන් ක්‍රම චිත්‍රපටයකට තියෙන්නම එපැය.

    • අපේ අයියා ඒ වගේ රැවුල් වවන්න ගිහින් තාත්තාගෙන් හරුප අහගත්තා මතකයි. හැබැයි ඒ වගේ තොප්පි, බෙල්ට්, කලිසම් නම් අන්දා නේද නියමෙට.

  20. කව්ද යකෝ අපේ ගායකයට ඇසිඩ් ගහපු එකා……….??????????

  21. එක නෙමේ ඇයි මූන පෙන්නන්න ඔච්චර බය ..??

  22. ඉස්සෙල්ල කොමෙන්ට් ලිපිය බලන්න කලින් ආවේගෙට දාපුවා……
    ලිපිය නම් කවදත් වගේ හොඳයි…

  23. කව්ද බෝයි…. හි හි

    මගෙත් ආසම ෆිල්ම් වර්ගයක් තමයි කව් බෝයි කියන්නේ. ලිපි ටිකක් දිග වැඩි උනාට කමක් නෑ. එක හුස්මට කියවන්න පුඋළුවන් නිසා. අනික දවස ගානේ දාන ඒවා වගේ නෙවෙයිනේ ඔබතුමාගේ ලිපි. ඉතින් හරවත් බව වැඩියි.

    Desperado (http://www.imdb.com/title/tt0112851/) නියම ෆිල්ම් එකක්. (මන් උඩ තියෙන ඒවා බලලා නෑ. බලන්න ඕනි.) මේකේ Antonio Banderasගේ රඟපෑම් ඇති විශිෂ්ඨයි.

    ජයෙන් ජය!

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඇත්තටම දීර්ඝ ලිපියක් ලියන්න හිතලත් එක කොටසකට සීමා කල නිසයි බොහොම දේවල් අත්හරින්න සිදු වුනේ. ඩේස්පරාඩො ඉතා ලස්සන චිත්‍රපටියක්.

  24. ආකර්ශනීයය විස්තරයක් අයියා. මමත් ගොපළු චිත්‍රපට පිස්සෙක්. මගේ ප්‍රියතම ,,සදා මතකයේ රැදෙන ගොපළු සිනමා පට කිහිපයක්ම තිබෙනවා. ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ තමයි මගේ ප්‍රියතම ,,ඒ වගේම ඩිකැප්‍රියෝ ඉතාම තරුණ කාලයේ රගපාන ලැබූ ”ද ක්වික් ඇන්ඩ් ද ඩෙඩ්” චිත්‍රපටයත් මගේ සිත ගත් ගොපළු සිනමා පටය””ඒ වගේම මම ගැටවර කාලයේ කියවූ ජැක් ෂේප් ෂේන් නම් නවකතාවත් ගොපලු කොල්ල්න්ගේ ලෝකය මගේ සිතේ තදින් සටහන් කල කතාවක්.
    ඒ වගේම තව කිවයුතු දෙයක් තිබෙනවා. ඔබ stagecoach ගැන කියා තිබෙන නිසා මෙය කියන්නට සිතුවේ. එම චිත්‍රපටයේ සිනමා වීරයා ජෝන් වේන් වුනත් තිරය පිටුපස සිටි වැඩකාරයා වුනේ යැක් කැනුට් නම් අසහාය ආදේශක නළුවායි. එම චිත්‍රපටියේ වේගයෙන් දිවයන තුරග දුම්රියක තුරගයන් එකිනෙකා මතින් පැනයමින් එම දර්ශනය ඉදිරිපත් කරනු ලැබුවේ යැකීමා කැනුට් හෙවත් යැක්. සුප්‍රකට බෙන්හර් චිත්‍රපටයේ අතිශය ත්‍රාසජනක රෝම යුධ රථ තරගය අධ්‍යක්ෂණය කරනු ලැබුවේත් ඔහු විසින්මයි.

    • මුලින්ම ඔබව සාදරයෙන් පිලිගන්නවා.
      ඊළඟට ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගොපලු චිත්‍රපටි පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව. මොකද මෙවැනි තොරතුරු නිසා ලිපිය බලන අය තවත් දැනුවත් වෙනවා.
      ඉදිරියටත් ඔබේ මෙවැනි සහාය අපේක්ෂා කරනවා.
      නැවත වතාවක් ස්තුතියි.

  25. “කව් බෝයි“ කියන නම හා ඒ ගැන අහලා තිබුනට හරියටම කව් බෝයි කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලි වුනා.
    ඔෆිස් එකේ අපේ යාළුවෝ සෙට් එකේ කෙනෙක් ඉස්සරහට එද්දි නිතරම වගේ අපිත් බොරුවට අතින් අර තුවක්කුවෙන් වෙඩිල්ලක් තියලා දුම කටින් පිඹලා ආයෙත් තුවක්කුව කොපුවට දාගන්න කොටස කරනවා. …. 🙂

  26. ලිපිය ඉතා රසවත්. නම් මතක නැති උනත් මා COW BOY චිත්‍රපට නරඹා තිබෙනවා. මම හිතන්නේ තව ලිපි දෙක තුනක් වත් මේ සම්බන්දයෙන් ඔබට ලියන්නම වෙනවා. කලින් කලට යම් යම් මාතෘකා ඔස්සේ ලිපි පල කලත් යුද්දය, අපරාද සහ ආයුද ගැන ලිපි පල කිරීමෙන් මෙහි ජනප්‍රිය බව සහ එම සම්බන්දයෙන් තිබෙන්නා වූ අඩුවක් සම්පුර්ණ වෙන බව මාගේ මතයයි

  27. ෂහ්. නියම විචාරයක්නේ මේක. අදමයි ආවේ. කව්බෝයිල දැක්කට විස්තර ඔක්කොම දැනගත්තේ අදනේ. මං ගාව තිබුන කව්බෝයි මියුසික් සීඩී එකක් සෑහෙන්න කාලයක් රස වින්ද..ඒත් පොඩි එතා රසය බින්දා.. නියමයි

    • ඔබව ඉතා සාදරයෙන් පිලිගන්නවා. ඔබේ රසවින්දනය වර්ධනය කිරීමට හැකිවීම ගැන සතුටුයි. හැකි සෑමවිටම පැමිණ අදහස් දක්වන ලෙස ඉල්ලනවා.
      පැරණි කව්බෝයි චිත්‍රපට සංගීතය අන්තර්ජාලයෙන් තවමත් බාගත හැකියි.
      ඇගයීම ගැන ස්තුතියි.

  28. විචාරක මහත්මයා කවදත් වගේ මේ ලිපියත් අපූරුයි. පැරනි මතක අලුත් උනා වගේම ආයෙත් බලන්න හිතුනා කව්බෝයි චිත්‍ර පට ටිකක්. ස්තූතියි ඔබට. ජයවේවා….!

    • බොහොමයක් පැරණි දේවල්වල අගය කවදාවත් අඩුවෙන්නේ නැහැ. අද බොහෝ ක්ෂේත්‍ර වල කරන නිර්මාණ කල්පවතින්නේ නැත්තේ ඇයි කියන එක ගැටළුවක්.
      ඇගයීම ගැන ස්තුතියි.

  29. මම මෑත කාලයේ බලපු හොඳම ෆිල්ම් එකක් තමයි The Good bad and Ugly
    මේ ලිපිය කියෙව්වම ඒ ඉතුරු දෙකත් හොයාගන බලන්න ආසාවක ඇතිවුනා..

  30. ඒ කාලෙ බිග් වැලි බලනවා හීනෙන් වගේ මතකයි.. සිත්තර පත්තරෙ මොනවද චිත්‍ර කතා වගයකුත් ගියා නේද? ළඟදි බැලුවෙ ද ගුඩ් බෑඩ් ඇන්ඩ් අග්ලි. පැය තුනකටත් වඩා තිබුනත් කම්මැලි නැතිව බැලුවා… මේ ලිපිය කියෙව්වම ඉතුරු දෙකත් හොයාගන බලන්න හිතුනා..
    හැමදාම බ්ලොග් එක බැලුවත් වර්ඩ්ප්‍රෙස් වල කොමෙන්ට් දාන්න ගියාම එන හැටහුටාමාරක් දෝෂ නිසා කොමෙන්ට් දාන්නෙ අඩුවෙන්:)

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව. ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි බැලුවානම් අනිවාර්යයෙන් ඉතුරු දෙකත් බලන්න ඕනේ. එතකොට තමයි ඩොලර් සීරිස් එක සම්පූර්ණ වෙන්නේ. මම කනගාටු වෙනවා කමෙන්ට්ස් දාන්න යම් අපහසුතාවක් ඇත්නම්. එය තාක්ෂණික දෝෂයක් කියා හිතනවා.

  31. ඉමල්ක ද සිල්වා said:

    විචාරක තුමා මොකද පරක්කු , ඔබ තුමා නැති දවස් ටිකේ මං මුළු බ්ලොග් එකම කියවල ඉවර කොරා, විශිෂ්ට බ්ලොගයක් , මං නම් කව් බෝයිස් ලා ගැන දැන ගත්තේ කව්ද බෝයි කාර්ටූන් එකෙන් [අපි ඒ කාලේ චූටි ළමයි 🙂 ] , ලදී බැලුවේ කව් බෝයිස් & එලියන්ස් ෆිල්ම්[2011] එක

    • මුලින්ම ඔබට ඉතාම ස්තුතිවන්ත වෙනවා ඉවසීමෙන් යුක්තව මුළු බ්ලොග් අඩවියම කියවීම සහ ඇගයීම පිළිබඳව. කව්බෝයි චිත්‍රපට අද සමාජයේ බොහෝ දෙනෙකු රසවිඳ නැතිබව දන්නා නිසයි මේ ලිපිය ලිව්වේ. අලුත් ප්‍රවනතාවයක් තියනවා සෑම පැරණි චිත්‍රපට කතා සංකල්පයකටම හොල්මන්, අවතාර, පිට සක්වල ජීවීන් සම්බන්ධකර නිර්මාණ කිරීමට නමුත් ඒවා එතරම් කලාත්මක නිර්මාණ ලෙස පිළිගැනීමට අමාරුයි.

  32. බැලුවෙමි වැඩි දෙයක් කියන්නට තරම් දැනීමක් නැත.
    කෝරලේ වලව්ව

  33. නිර්නාමික said:

    You have missed the “Shane” the greatest cow boy movie

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: