විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  මගේ සහෝදරියක රෝහල් ගතවී දින කීපයක් ගත වුනත්, ඇය බැලීමට යාමට නොහැකි වූයේ, අධික වර්ෂාපතනය මැද වාහනයක් පදවාගෙන යාම, මටනම් අතිශයින්ම අප්‍රසන්න කාර්යයක් වන බැවිනි. කෙසේ වෙතත් අද දිනය තරමක් පැහැපත් වූ නිසා, අපේ භාර්යා තොමෝ උදේ ඇඳෙන් නැගිට්ටේ, ‘අදවත් අක්කා බලන්න යන්නේ නැද්ද?’ කියා අසාගෙනය. අපේ නෝනා, ඇගේ නෑනලාට ආදරේ වීම මා ලද මහත් භාග්‍යයකි. ඒ නිසා, එයාගේ පාර්ශ්වයේත්, මගේ පාර්ශ්වයේත්, නෑදෑකම් පැවැත්වීම නමැති මහා භාරදූර කාර්යය මම ඇයටම පවරා තිබෙන්නේ මගේ ගැලවීම පිණිසමය. ඕව්වා මහා භයානක වැඩය. පොඩ්ඩ වැරදුනොත් නවතින්නේ මහා කිරිමේල් එකක් වෙලාය. ඒ නිසා කිරිමේල් වලට නොපැටලී සිටීම ඇඟට ගුණය. ඔන්න ගන්නවානම් නෝනලා 😀 😀 😀 හරි හරි දැන් කතාවට බහිමුකෝ.

  මග දිගට, ඇගේ රිය පැදවීමේ උපදෙස් ඉතා ඉවසීමෙන් අසාගෙන, (හිත යටින් දත්මිටි කමින්) හරියටම අද දහවල් 12.00 ට මහනුවර මහ රෝහල වෙත ආවෙමු. අප්පොච්චියේ……… මහනුවර මහ රෝහල පැත්ත පළාතේ කොතනකවත් වාහනයක් නවත්තන්නට ඉඩක් නැත. ඒ ගැන උකටලීව ඉන්නා අතර මගේ සිත පස්වණක් නොව එකසිය පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියේ, නිල්පාට පසුතලයේ ඇඳි සුදුපාට P අකුරක් හදිසියේම දැකීමෙනි. වහාම එතනට වාහනය එබුවෙමි. අඳෝමැයි, එතන ඇත්තේ පර්චස් 20 කටත් අඩු භූමියකි. (පෞද්ගලික අයිතියක් යටතේ ඇති වාහන නවතුම්පොලකි) නමුත් ඒ ස්ථානයේ පාලනාධිකාරිය උත්සාහ කරන්නේ, කොහොම හරි වාහන හැකි තරමක් ගාල් කරගෙන කල දුටු කළ වල ඉහ ගැනීමටය. (මගේ වාහනය ආපසු ගන්නට ගිය වෙලාවේ තවත් වාහන හතරක් එහාට මෙහාට තල්ලු කොට යන්තම් ඉඩක් ලබාදීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය)

  මොනවා කරන්නද. යන්තම් වාහනයේ දොර අල්ලාගෙන, එය අනික් වාහනයක වැදීම වළක්වාගෙන, වාහනයෙන් එළියට බඩගෑවෙමි. ඔන්න අපේ නෝනා වගේ ‘පෝටබල් සයිස්’ අයට නම් එවැනි තැන්වලදී කරදරයක් නැතුව වාහනයෙන් බසින්නට පුළුවන. ( මගේ බඩ වාහනයෙන් එලියට ගන්න එකනේ වැඩේ. දවසක් යාළුවෙක් කිව්වා, එයා, එයාලගේ ගෙදර ගේට්ටුව දිහා බලා ඉන්නකොට දැක්කලු, බඩක් ඇතුල් වෙනවා ගේට්ටුවෙන්. ඉතින් ඒ බඩ ඇවිල්ලා ඇවිල්ලා, අන්තිමට මම ආවලු ගේට්ටුවෙන් ඇතුළට :D)

  හරි හරි තවම නෝනයි, වාහනයයි, බඩයි. නෑ නෑ ඔන්න කතාව.  ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ඇතුළට ගිය කියමුකෝ. වාට්ටුව මොකක්ද කියලා දැනගත්තේ එතන ඉඳලා රෝගියාට දුරකථන ඇමතුමක් දීලයි. අක්කා කිව්ව මං සළකුණු අනුව, බාහිර රෝගී අංශය පසු කරගෙන, අපි දෙන්නා යායුත්තේ අංක 26 වාට්ටුවටය. ඒ හරියේ නම් 26 වාට්ටුවට යන මං සළකුණක් දැක්කේ නැත. බොහෝ රෝහල් වල වාට්ටු අංක හා ඒවාට යන මාර්ගය පෙන්වන ඊතල, අපි වැනි වයසක පුද්ගලයන්ගේ පහසුව සඳහා පොල්ගෙඩි සයිස් එකෙන් ලියා ඇතත්, මෙහිදීනම් මම එවැන්නක් නොදුටිමි. පසුව අවබෝධ කරගත් කරුණක් වූයේ, සායන වලට පැමිණි රෝගීන්, බාහිර රෝගී අංශයට පැමිණි මහජනතාව, රෝගීන් බැලීමට පැමිණෙන අය, වැනි මහා ජන ගංගාවක් එතනින් ගලන බැවින්, බිත්තිවල යමක් ලියා ඇත්නම්, ඒ කිසිවක් නොපෙනෙන බවයි. 26 වාට්ටුවට යාම සඳහා මහල් තුනක් පහළට බැසිය යුතුය. නේස් මිසීලාගෙන් ඇහුවම කියන්නේ ඔහොම යන්න, මෙහෙම යන්න, අරෙහෙම යන්න කියාය. අන්තිමට හමුවූ රෝහල් සේවක මහතකු, අලුතෙන්ම පැමිණි අයකු නිසා, කිසිවක් දැන නොසිටියේය. මහල් තුන පහළට බහිද්දී, මට එක්වරම මතකයට ආවේ, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ බංකරයයි. (ඔබෙන් සෑහෙන පිරිසක් යුද ජයග්‍රහණයෙන් පසු, එහිගොස් එය නරඹා ඇතැයි සිතමි) ඒ බංකරයට ද ඇතුළු විය යුත්තේ මෙලෙස පහළට බැසීමෙනි. එමෙන්ම ඒ බංකරය අඳුරුය. මේ මහල් තුන බැස පතුළටම ගියවිට ආලෝකය බෙහෙවින් අඩු වෙයි. අන්තිමේදී 26 වාට්ටුව සොයාගැනීමට තරම් අපි වාසනාවන්ත වීමු.

  නමුත් අපි දෙදෙනාම මහත් දුකටත්, කම්පනයටත්, කළකිරීමටත් පත්වුයේ ඒ වාට්ටුව ඇතුළට ගිය පසුය. ඒ වාට්ටුවට කිසිසේත් ආලෝකය හෝ වාතාශ්‍රය නොලැබෙයි. එහි ඇති විදුලි පහන් දොළොස්මහේ පහන්ය. ඒවා පැය 24 ම ක්‍රියාත්මක කර නොතිබුනොත් වාට්ටුව ඝන අඳුරක ගිලී යනු ඇත. දිවා ආලෝකය දැක ගැනීම, එහි සිටින රෝගීන්ට, සිහිනයක් පමණි. විදුලි පංකාද අනිවාර්යයෙන් නොකඩවා ක්‍රියාත්මක කර තිබිය යුතුය. නැතහොත් ඒ රෝගීන් පාන්ගෙඩි මෙන් තැම්බී යනු ඇත.   මේ වාට්ටුව පමණක් නොව ඊට යාබද වාට්ටුවද මේ තත්වයේම බව දුටිමි. මේ වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය සිටින ස්ථානයට රෝගීන් නොපෙනේ. ඒ නිසා රෝගීන්ගේ තත්වය නිරීක්ෂණය කිරීම කෙබඳු මට්ටමකින් සිදුවේද යන්න ගැටලුවකි. මේ ගැන විමසීමට යාම කිසිසේත් පළක් ඇති දෙයක් නොවන බව  වැටහුණේ, රෝහල් කාර්ය මණ්ඩලයෙන් මෙය විමසීම විහිළුවක් වන බැවිනි. මේ රෝගීන්ගේ මානසික තත්වය කෙබඳු වේද? දිවා රාත්‍රිය ගැන අවබෝධයකින් තොරව මේ බංකරය තුළ ඔවුන් ලබන ප්‍රතිකාර, ඔවුන්ට කෙබඳු අයුරකින් බලපායිද? දීර්ඝ කාලයක් මෙහි රැඳී සිටින රෝගියකු, කෘත්‍රිම ආලෝකයේම සිටීම නිසා, ඔවුන්ගේ ඇස් පෙනීමට කෙබඳු බලපෑම් එල්ලවේද? මේ ගැන අසන දකින සොයන කෙනෙක් මේ සිරි ලංකාවේ තවම පහළ වුනේ නැද්ද? අනේ දළදා හාමුදුරුවනේ………………………

ලිව්වේ 2012 නොවැම්බර් මස 2 වැනි දින දී ය.

Advertisements

Comments on: "ප්‍රභාකරන්ගේ බංකරේ? පුඃ ඒකයැ මේකනේ බංකරේ – The Underground Ward" (93)

  1. පින්තුරේ දැක්කම හිතාගන්න පුලුවන් වාහනේ පදවපු විදිය.ඕක ඉතින් හොද බිරින්දෑවරුන් සිටින කීකරු ස්වාමිපුරුෂයන්ට අත්විදින්ට වෙනදෙයක්.43ත් බඩක්ද ෂුමොසාන්ලගේ බඩවල් දිහා බැලුවම.ලංකාවේ තත්වය බැලුවම 32 බඩ තියෙන කෙනකුටත් බහින්න අමාරුයි සමහර තැන්වලදී. කුට්ටිය අරගෙන ගොඩනැගිල්ල කොහෙහරි ඉන්න හෙන්චයියෙකුට දෙනවා හදන්න.එවුන්ට ඉතින් ආලෝක,වාතාශ්‍ර වල ප්‍රමිති වැඩක් නැහැනේ.ගොඩනැගිල්ල හැදුවට පස්සේ , මුසලයෝ හැටහුටාමාරගේ නම්ටික දාපු එකේ තමන්ගේ නම පොඩියට තිබුනම නම් විවුර්ත කරන දිනේට මලම තමා.

    • අන්න, අන්න, ඔබතුමාට තේරුණා. ඒ පින්තූරේ ඉන්න සිංහයා වගේ තමයි මම වාහනේ එලෙව්වේ 😀 😀 😀

      මේ ගොඩනැගිල්ල අලුත් එකක් නෙවෙයි. මම හිතන්නේ බඩු ගබඩාවක් වැනි දෙයකට හදපු ගොඩනැගිල්ලක් වාට්ටු සංකීර්ණයක් බවට පත් කරලා කියලයි.

      පයින් ගමන් කරන්නන්ට මේ රෝහලට ඇතුළුවීමත් මහා ප්‍රශ්නයකි. එක්කෝ පඩිපෙලක් නැගිය යුතුය. නැත්නම් වාගන සමග ගැටෙමින් කන්දකට පයින් යායුතුය.

  2. සමහර රෝහල්වල තත්වය ලංකාවෙදි ඕකයි. නමුත් මේ වගේ ලංකාවේ වැදගත් තැනක් ගන්නා ප්‍රමුඛ පෙලේ රෝහල්වලත් තත්වය මෙවැන්නක් නම් අර යකඩ මල්ල ගුල්ලෝ ගහල නම් හාල් මල්ල නොබලම විසිකරපිය කීවලු.

  3. හප්පා මහනුවර රෝහල නම් මතක කරන්නෙපා! අර නායකත්ව පුහුණු කාලේ උන හැදිලා මගේ යාලුවෙක්ව දැම්ම ඕකට. ඌව දාල තිබ්බෙත් වසංගත රෝග වාට්ටුවට. ඒ මදිවට ඌ හිටපු තැන ඉහල සිවිලිම බිමට වැටෙන්න ඔන්න මෙන්න. උගේ ගෙදරින් ඇවිත් බොහොම අමාරුවෙන් ඩිස්චාජ් කරන් ගෙදර ගෙනිහින් ඒ පැත්තේ තැනක නැවැත්තුවා! එහෙම නොවුනානම් ඌ මැරෙන්නේ බෙහෙත් ගන්න ගිය ලෙඩේට නෙමෙයි!

  4. ලංකාවේ බොහෝ රජයේ රෝහල් වල විතරක් නොවේ පෟද්ගලික රෝහල්වල තත්ත්වයත් මෙහෙම තමා විචාරක

  5. සිර ගෙවල් අයහපත් අය යහපත් කරනවාටත් වඩා යහපත් අය අයහපත් කරනවා වගේම රෝහල් වුණත් රෝගීන් තවත් රෝගී කරවන තැනක් වෙලා වගේ 😦

  6. අම්මෝ එහෙම රෝහලුත් ලංකාවෙ තියෙනවද? ඒවට යනවට වැඩිය බෝගම්බර හිරගෙදරට යන එක හොඳයි කියල හිතෙනව ඇති.

  7. සහතික ඇත්ත සමහර රෝහල් වලට ගියාම යනකොට තිබ්බ ලෙඩේට වඩා වැඩි පුඅර ලෙඩ හදන් තමයි ගෙදර එන්න වෙන්නෙ !
    40 පැන්නට පස්සෙ ඉතින් බඩ එන එක නම්…මහ වදයක් තමයි..ඇකසයිස් පාරක් වත් දානෙ නැත්ද විචාරක තුමා ?

    • කොරනවා කොරනවා ඇක්සයිස් කොරනවා. ඇවිදිනවා, අර අටමගලේ ඔබිට්‍රැක් ද බුබීට්‍රැප් ද මොකද්ද අහවල් එක පදිනවා හතිදාගෙන, කෝ ඉතින් පරම්පරාවේ එකෙක්වත් නෑනේ කෙට්ටු එවුන්. ඔය මම බලන්න ගිය අක්කව ටී වී එකේ පෙන්නන්න තිරය ඉඩ මදි වෙයි.

      ඇමැත්ත නඩේම ගෙනිහින් මේ වාට්ටුවේ නැවත්තුවානම් හොඳයි කියලා හිතෙනවා.

      • ඇමතිලා…???? පිස්සුද විචාරක තුමා…. උන් ලෙඩ වෙන් නෑ නේ…. උන්ව ඉස්පිරිතාලෙක දකින්න හම්බුවෙන්නේ ඕවා විවෘත කරන වෙලාවක විතරයි….. හි හි… ( උන් ලංකාවේ ඉස්පිරිතාල වලට යන්නේ නෑ නේ…)

        • අම්මපා ඒකත් ඇත්ත තමයි. උන් මේ රටේ නැතුව වෙන රටකදිම මැරිලා යනවනම් කොච්චර හොඳද. කොහෙද බැල්කනි වලින් දෙරි ගහලා කකුල් කඩා ගන්නවා විතරයිනේ. 😀 😀 😀

    • @ හිරු,

      නිකන් බොරු කියන්නෙපා.. ඕගොල්ලෝ ඇමතිලා කිව්වම හිතන්නෙ ඒගොල්ලෝ මනුස්සයෝ නෙමෙයි කියලා.. ඒගොල්ලෝ කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා දන්නවාද?

      දැන් බලන්න අර ළඟදී මේජර් කෙනෙක් ගහගෙන අහිංසක කොල්ලො දෙන්නෙක්ව අහුවෙච්ච සිද්ධිය… ඒ සිද්ධියෙන් පස්සෙනෙ හුඟදෙනෙක් ඒ කොල්ලො දෙන්නා කොච්චර ලෙඩින් දුකෙන්ද ජීවත් වෙන්නෙ කියලා දැනගත්තෙ.. රෑට නිදාගන්නෙත් උපකරණ හයි කොරගෙනලු.. ඒ වගේ ඇමතිලා කීදෙනෙක් පස්සෙ ලෙඩ්ඩු කියලා හඳුනාගත්තද?

      😀 😀 😀

  8. ඔබගේ සටහනේ මුලම හරියේදි දෙපාරක් විතර මාත් ඉබේටම වගේ මගේ බඩත් අල්ලලා බැලුනා. ආයේ මොකටද ඉතින් කතා හරි සතුටුයි තවත් එහෙම මහත එකෙක් ඉන්නවා කියන එක හරි ඇහුවම.

    මේකනේ මහත්තයෝ අපේ නායකයොන්ට ඔය වගේ පොඩි ප්‍රශ්න විසදන්න වෙලා නෑ පිට රට සංචාර වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වගේ දේවල් මිසක් මේ මහජන සෞඛ්‍යය වගේ දේවල් ගැන හිතන්න කොහේද වෙලාවක්. අර කිවුවත් වගේ ඔය බෝඩ් ලෑල්ලකට නමක් දාගත්තා නම් ඒ විතරක් මදෑ.

    අපිට බැරිද (මම කියන්නේ මට නෙමෙයි ) මේ බ්ලොග් ලියන ලොකු මහත්ම මහත්මීන්ට මේ වගේ අඩු පාඩු ගැන බ්ලොග් එකක් පටන් අරන් ටිකක් ප්‍රසිද්ද කරන්න. සමාජ ජාල වලින් හරි මේ වගේ දේවල් ගැන ලොකු තැන් වලට කියන්න පුළුවන් නම් වටිනවා.

    • අපොයි අපේ පරම්පරාවම මහත් එවුන්. ජාන ලක්ෂණ තමා වෙන මොනවද.

      මේ වාට්ටු සංකීර්ණය මනුෂ්‍ය වාසයකට සුදුසු තත්වයකට පත් කරන්න අවශ්‍ය බලය තියන උන්නැහේලා කීදෙනෙක් මහනුවරින් කවුන්සලේට ගිහිල්ලා තියනවද. මම හිතන්නේ නැහැ උන්නැහේලා එකෙක්වත් මේ වාට්ටුව දැකලා ඇති කියලා. ඒ නිසා උන්නැහේලා ටික මේ වාට්ටුවේ නවත්තලා තත්වය තේරුම කරදීම තමයි හොඳ.

      සමාජ ජාල කොහොම වෙතත් මහනුවර ආශ්‍රිතව කොයිතරම් ධනවත් සමාජ සේවා ආයතන තිබෙනවාද? මහානායක හිමිවරුන් දෙපොලටවත් මේවා පෙනෙනවානම් හොඳයි.

  9. නිසි සැලැස්මක් කොයිදේටත් නැතිකම තමා හේතුව…සමහර විට සුලු වෙනස් කමකින් ඕය තත්වය වෙනස් කරන්න තිබුනා.මැද මිදුලක් …ඒකත් බැරිනම් පොන්ඩ් එකක් මල් ගස් ටිකක් වවල..! දිය ඇල්ලක් හදල.

  10. කාට කියන්නද !!! කිව්වත් වැඩක් තියේයැ.

  11. රෝහලක් සැලසුම් කරනවා/ ඒකට ප්ලෑන් එකක් අඳිනවා කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම සුදුසුකම් තියෙන අය ඉන්නේ බොහොම කීපදෙනෙක් නිසාම ඒවාට අයකරන ගාස්තු හරිම ඉහලයි. තත්ත්වය ඕක නම් ඒ පරිසරය රෝගින්ට වගේම කාර්‍යමණ්ඩලයටත් හිතකර නෑ!

    • මටනම් හිතෙන්නේ අවංක අවශ්‍යතාවයක් නැති බවයි. බෝගම්බර හිරගෙදර පල්ලේකැලේට යවනවා කිව්වනේ. ඒ ප්‍රමුඛත්වය දීලා මේ රෝහල හදන එක එතරම් වැඩක නෙවෙයි. රෝහල් සැලසුම් නිකම් දෙන්න කැමති රටවලුත් ඇති ටිකක් උත්සාහ කලොත්.

  12. ඔය කිව්වමයි මතක් වුනේ රාගම රෝහලෙත් ඔහොම වාට්ටුවක් තියනවා. ඒක තනිකරම පොලව යට තියෙන්නෙ..

  13. ඔබාමාගේ සෞඛ්‍ය පනත පටන් ගත්තම මෙහෙත් ඔහොම වේවි කියලා තමයි බය.

  14. මම හිතුවා අද බංකර් හදන හැටි එහෙම නැත්නම් වියට්නාමයේ උමඟ ගැනවත් කියන්න යනවා කියලා.. හපොයි මේ වෙන බංකරයක්නෙ..

    ඉස්පිරිතාල ගැන නම් කතා කරලා වැඩක් නැත.. එකක් පහසුකම් හිඟකම.. අනික කුණු අදීන්නාගේ පටන් දොස්තර දක්වාම කට්ටිය රෝගීන්ට දමන ගෑස්..

  15. රත්නපුර රෝහලත්, කොළඹ ජාතික රෝහලත්, මහරගම රෝහලත් සමස්තයක් ලෙස අතීතයට සාපේක්ෂව දැන් තත්වය දියුණුයි. ලගදි ඔය තුනටම යන්න උනා. නුවර ඉස්පිරිතාල ගැන නම් නොදනිමි. සමහරවිට හොද වාට්ටු ඇති.වැඩිය මුදල් නැතත් පුද්ගලික ආයතන වලට යන්නේ රජයේ තැන් වල අපහසුව නිසා.

  16. “මග දිගට, ඇගේ රිය පැදවීමේ උපදෙස් ඉතා ඉවසීමෙන් අසාගෙන, (හිත යටින් දත්මිටි කමින්) ”
    මෙහෙම වුනත්,
    “අපේ නෝනා, ඇගේ නෑනලාට ආදරේ වීම මා ලද මහත් භාග්‍යයකි.”
    මේකට කැපිලා යනවා.
    මහත් භාග්‍යයක් තමයි. 🙂
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • හැබැයි එක දවසක් මම මගේ මුළු පර්ස් එකම අතට දීලා කිව්වා, ‘අනේ මේකේ තියන සල්ලි වලින් වාහනයක් හයර් කරගෙන ගෙදර එන්න’ කියලා. 😀 එතන ඉඳලා ගෙදරට එනකල් සද්ද නැතුව ආවා.

      අර භාග්‍යය අභාග්‍යය වෙන වෙලාවලුත් තියනවා. හිටපු ගමන් එක දවසේ ගෙවල් දෙක තුනකට යැවෙන චාරිකා යොදාගත්තම. 😀 😀

  17. මෙහෙම තත්වයක් ගැන මම මේ ඇහුවාමයි… රෝගියා යථා තත්වයට පත් වෙන්න ජීවත් වන වටපිටාවත් ඉතා වැදගත් නොවැ… මේ කියන විදියට මෙවැනි පරිසරයකදි රෝගී තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්… දේශපාලන බලය තියෙන උන් තවම ඔතනින් බෙහෙත් අරන් නැති හැඩයි…

    අපේ අම්මා එක්කත් ගමනක් යන්න පාරට බැස්සොත් ඔය වගේ රියදුරු උපදෙස්ම තමයි දෙන්නෙ… වෙලාවකට තරහත් යනවා… අනුමත උපරිම වේගය 40 යි.

    • දේශපාලන බලය තියන එවුන් මේ බංකරයේ ටික කාලයක් කූඩු කරලා තියන්න වටිනවා.

      දැක්කානේද මම අර දාලා තියන පින්තුරයේ ඉන්න ‘සිංහයා’ වගේ තමයි වාහනේ පදවන්නේ. 😀 😀 😀

  18. නෝනා වාහනේ එලවනවා කියලා දාලා තියන පින්තූරේ දැකලා හිනා ගියා. හැබැයි අර බඩට වඩා ඒක ලස්සනයි. 🙂

    ප්‍රභාකරන්ගේ බංකරේ දැකලා නෑ තාම.

    අලුත් වාට්ටු හදන්ට ඉඩ නැති හන්දද ඔය විදියට හදලා තියෙන්නේ. හැබෑට මේවා ලොකු උදවියට පේන්නේ නැත්තේ එයලා ඔය වගේ තැන්වලට එන්නේ නැති හින්දද?

    • බුදු අම්මේ……..!, නෝනා වාහනේ එලවනවා නෙවෙයි, නෝනාගේ උපදෙස් පරිදි මම ‘සිංහයා’ වගේ වාහනේ එලවන හැටි තමයි ඒ පින්තුරෙන් පෙන්වන්නේ. 😀 😀

      ඊළඟට ලංකාවට ආවම ගිහින් බලන්න ප්‍රභාකරන්ගේ බංකරේ.

      අලුත් වාට්ටු හැදීම කොහොම වෙතත්, මටනම් හිතෙන්නේ මහනුවර ඉස්පිරිතාලේ සම්පූර්ණයෙන්ම එතනින් ඉවත් කරලා, හොඳ පරිසරයක හැදීම නොපමාව කලයුතුයි කියලයි.

  19. වාහන එළවිල්ල ගැන කියන්න හිටියට අමතක වෙලා මට.. හි හි..

    අපේ මහත්තයගේ ගෙදර කට්ටියත් එක්ක ගමන් යන‌ෙකාට මම වාහනේට නඟින්නේ කන් දෙකේ ඇබ දෙක්ක ගහගෙන… මොකද අඩුම ගානේ වාහනේ එලවන එක්කෙනාට අමතරව නව 3 දෙනෙක්වත් ඉන්න නිසා එළවන්න.. හි හි…

    හැබැයි බයික් එකේ යනකොට නම් මාත් කෑ ගහනවා… පොඩි දෙයක් උනත් ලොකු ඩැමේජ් එකකින්නේ නවතින්නේ.. අපේ මහත්තයා කියන්නේ මාත් එක්ක බයික් එකේ කොහෙහරි ගිහින් ආවට පස්සේ උණ හැදෙන්නේ නැති වෙන්න පැනඩොල් බොන්න ඕනෙ කියලා …. හි හි…

    • නෝනා බයිසිකලේ දාගෙන යනකොට මහත්තයා හයියෙන් යන්නේ, නෝනා, මහත්තයාව බදාගන්න බව දන්නා නිසා. බදා නොගෙන ඉඳලා බලන්න එක දවසක්, කොච්චර හෙමින්ද යන්නේ කියලා. මම කියන්නේ මගේ නෝනා ගැන අත්දැකීමෙන්. (මගේ නෝනා කියන තැන මගේ නෑනා කියලා වැරදියට 😀 වැදිලා නෑ නේද? 😀 😀 😀 )

  20. බඩ ගැනනං කියලා වැඩක් නැත. ආහාර රටාව නරක හන්දා පාලනය කරන්න අමාරුයි

  21. ඇයි දෙයියනේ .. රෝහලක තියෙන්න ඕන මූලිකම කරුණුනේ හොඳ වාතාශ්‍රයක්, හිරු එළිය වගේ දේවල්. ගබඩාවක් විදියට පාවිච්චි කරන්න ඕන එකක් වාට්ටුවක් විදියට යොදාගන්න ඕකෙ රෝහල් අධ්‍යක්‍ෂට පිස්සුද? අඩුතරමෙ වාට්ටුව භාර වෛද්‍යවරයට, හෙද කාර්ය මණ්ඩලයටවත් පුළුවන්නේ ඒ වාට්ටුවෙ සේවයෙ යෙදීම ප්‍රතික්‍ෂේප කරන්න. අනික එයාල සේවා මුර ක්‍රමයට මාරුවෙනවනේ, ඒත් ඉතිං ලෙඩ්ඩු අඩුතරමෙ දවස් දෙක තුනක්වත් එක දිගට ඉන්න එපායැ.

    අර ප්‍රභාකරන්ගෙ බංකරේ බලන්නෙ මක්කද? අපේ මිනිස්සුන්ටත් පිස්සුනේ, වන්දනාවෙ යනව වගේ යනව ඕක බලන්න, විකාර. මම නම් ගියේ නෑ. (මගේ හිතේ එවුන්ද පනපිටින් අල්ලල කූඩු කරල තිබ්බත් කස්ටිය සත්තුවත්ත බලන්න යන්නැහෙ යාවි, බලන්න)

    • ඕවට සටන් කොරන්න ජොස්තරලාට නේස් මිසීලාට කාලයක් නෑ අනේ. පඩි වැඩි කරගන්න සටන් කරන අතරේ කොහෙන්ද ඔව්වට වෙලාව තියෙන්නේ. අනික ලෙඩ්ඩු නැතිවෙලා ගියොත් එහෙම එයාලගේ ජොබ් එකත් ගහලා යනවානේ. 😀 ඉතිං මේ වාට්ටුවෙන් ඇස් රෝහලටයි, මානසික රෝහලටයි ලෙඩ්ඩු දුන්නම පුරස්නේ ඉවරයි නොවැ.

      ප්‍රභාගේ බංකරේ බලන්නේ ඉතිං, ‘හුහ් කෙරුවද තෝ අපිට’ කියන සංකල්පයෙන් නොවැ. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු.

      • pubudu ( please do not publish my name) said:

        ගරු විචාරක මහතාණෙනි, ඔබ ඔය ගිය වාට්ටුවේ සිටි ලෙඩුන් ගනන කීයද? සතියට රොගීන් කීයක් අතුල් වෙනවාද? කීයක් ගෙදර යනවාද? ඔවුනට සේවය දීමට සිටි සේවකයන් ගනන කීයද? ඔවුන් දිනකට ඔවැනි අප්‍රසන්න සේවා තත්ව යටතේ පැය කීයක් වැඩ කරනවාද? යන්න සොය බැලුවාද?ඔවැනි අප්‍රසන්න වාට්ටුවල වුවද දිගට පැය 18,24, සමහර විට 36 වැඩ කරන හෙද නිලධාරීන් ඉන්න බව ඔබ දන්නවාද? සමහර දොස්තර වරු පැය 36 වැඩ කරන බව දන්නවාද? වාට්ටුව අප්‍රසන්නයැයි ඔවුනට රාජකරිය පැහර හැරිය නොහකි බව ඔබ දන්නවාද? සාමන්ය ලෙඩෙකු ඔය දුක වින්දින්නෙ දවස් 3-4ක් වුවද සේවකයන් එය සැම දිනකම අවුරුදු කීපයක් වින්දින බව දන්නවාද? ඔවුන්ගේ සේවය අගය කලයුතු නැද්ද? එවන් තත්ව යටතේ ඔබ මෙවන් පටුඅදහසක් දරන්නේ ඇය්? ඔවුන් මෙම තත්ව යටතේ තම රාජකාරි කරන්නෙ තම ජීවිතයට වඩා ලෙඩුන් ගන හිතන නිසා නේද? ඒ අනුව මෙවන් චොදනා කිරීම සුදුසු නැහැ නේද?

        • ඔබට දියයුතු පිළිතුර මා ඔබේම වෙනත් කමෙන්ටුවකට දී ඇත. තම සේවා ස්ථානයේ සේවා තත්වය වර්ධනය කර ගැනීම මට අයත් දෙයක් නොවේ. මා බලන්නේ මගේ පැත්තයි. ඔබ බලන්නේ ඔබේ පැත්තයි. වඩා වැදගත් වන්නේ සහ ප්‍රධාන වන්නේ රෝගියායි. කාර්ය මණ්ඩලය නොවෙයි. රෝහල පවත්වාගෙන යමින්, ප්‍රතිකාර/ප්‍රතිකර්ම, පහසුකම්, ලබාදියයුත්තේ සියල්ලට පළමු රෝගියාටයි. මගේ අයියා හිටපු ජ්‍යෙෂ්ඨ නර්සින්ග් ටියුටර් කෙනෙක්. ඔහුගේ බිරිඳ මාණ්ඩලික හෙදියක්. මගේ දියණිය දැනට අවසන් වසරේ වෛද්ය ශිෂ්‍යාවක්. ඔවුන් කිසිවකු හෝ අනේ අපොයි කියා අඬා වැටෙමින් ඉන්නවානම් ඔවුන් මුග්ධයෝ මිසක් තම ජීවිතය වෙනුවෙන් සටන් කරන්නන් නොවෙයි. වෛද්ය සහ හෙද ක්ෂේත්‍රයේ මා දන්නා හඳුනන ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ සේවයේ අගය කැපවීම ගැන සතුටුදායක දැනුමක් මට තිබෙනවා. නමුත් අනුකම්පාව වෙනුවෙන් යදින්න එපා කිසි දිනකවත්. සටනකින් ජයගන්න දැඩිව අධ්ශ්ඨාන කරගන්න. වැඩ වරුමකින් රෝගියකු මියගිහින් නැහැ කවදාවත්. (වැඩ වැරුම එකම විසඳුමද නොවේ) මම යුද හමුදාවේ අවුරුදු 35 ක් සේවය කළා. මමත් මම වගේම අනෙක් අයත් හිතුවානම් රටේ මහජනතාවගේ අනුකම්පාව දිනාගනිමින් යුද්ධය අමාරුයි කියා අඬමින් ඉන්න, මොකක්ද ප්‍රතිඵලය වන්නේ?

    • pubudu ( please do not publish my name) said:

      ඔබ සමග මම එකගයි. ඔවුන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කරන්න, වැඩ වර්ජනය කරන්න පුලුවන්. එයින් ප්‍රශ්නය විසදේ යැය් ඔබ සිතනවාද? මෙවන් අප්‍රසන්න තැනක වුවද වාට්ටුවක් ඇති කිරීම මගින් ඔවුන් රොහලේ ඇදන් ගන වැඩි කර ඇත. එමගින් තවත් රොගීන් 100 කට පමන මාසයකදී ප්‍රතිකාර කරනු ඇත. එය නරකද?
      රොගියෙකු දවස් 3-4 කින් නික්ම යනු ලබේ. නමුත් සේවකයකු සේවා මුර වලට අනුව වුවද අවුරුදු 4-5 මෙම වාට්ටුවේ වඩ කල යුතුය. (සමහර සේවා ම්කුරයන් පැය 12,18,24 36 ලෙස දිගු විය හැක.)
      වැඩි හානිය වන්නේ කාටද? ඔවුන් දුක් විද ගෙන වඩ කරන්නේ ඇය්? පඩියටද? ඔවුන්ගේ පඩිය කීයද? අවුරුදු 5ක උපාදියක් කර දොස්තර කෙනෙක් අද කීයක් ගන්නවාද? 40ක්? එය ඔහු කල හා කරන කැප කිරීමට සෑහෙනවාද?

      • මම බැලුවේ රෝගියාගේ පැත්තෙන් පමණයි. මට කලින්, මට වඩා දැනුම තේරුම් තියන, රෝහල් කාර්ය මණ්ඩලය මේ ගැන නොබැලුවේ ඇයි? මේ වාට්ටුවේ කිසිදු රෝගියකු දින 4 – 5 කාලයකින් ගෙදර යන්නේ නැහැ. ඔවුන් පිලිබඳ පරීක්ෂණ වාර්තා එන්නේ ඉතා ප්‍රමාද වෙලයි. මේ වාට්ටුව බාර අර විදුලි සොපානයෙවත් නොයන ලොකු දොස්තර මහතා කැමති මේ වාට්ටු රෝගීන්ගෙන් පිරී ඉතිරී යනවාටයි. අද (2012/11/08) මේ වාට්ටුවේ සමහරු බිම ඉන්නේ. මොකටද හානියකට මුහුණ දෙමින් මෙවැනි තැන්වල වැඩ කරන්නේ. එය පරිත්‍යාගයක් නොව මුග්ධ කමක්. ඔබ සියල්ලට පළමු ඔබේ ජීවිතයට ආදරය කලයුතුයි. ඔබ යුද භටයෙක් නෙවෙයිනේ. වැටුප කොපමණ ලැබුනත් සෑහීමකට පත්වන්නේ ලංකාවේ කුමන ක්ෂේත්‍රයේ කවුද? මමත් කැමතියි මගේ විශ්‍රාම වැටුප තව රුපියල් දහ පහළොස්දාහකින් වැඩි වෙනවානම්. නමුත් රැකියා විරහිත උපාධිධාරීන් රුපියල් 10000 ක දීමනාවකට කඹුරනවා.

      • pubudu ( please do not publish my name) said:

        මම මෙම තත්වය මෙලෙස උදා හරනයකින් කියන්නම්. කලුබොවිල රොහලේ Midicine සන්දහා වාට්ටු 3ක් ඇත. ඒ අනුව එක් වාට්ටුවකට දින 3කට වරක් casualty admission ඇත. එවැනි දිනකට 150-200 ඇතුලත් වේ. නමුත් ඇදන් ඇත්තේ 50.ඒ අනුව සමහර අසාධ්ය නොවන රොගීන්ට බිම නිදා ගනීම නොවැලක්විය හැක. එසේම බොහො රොගීන් දින 1-3 අතර Discharge කල යුතුය.නැතහොත් දෙවන දින casualty admission කල නොහැක.
        විවිධාකාර වාර්තා ලබීමට ගන්නා කාලය වෙනස් වෙයි. පැය FBC , UFR, LFT12ක් ඇතුලත. blood cultures දින් 3කදී. සතියකදී. thyroid function සති දෙකකදී. histilogy මාසයකදී. ඔබට ප්‍රමාද වූ report එක කුමක්දැයි කියන්නට පුලුවන් නම්, එයට ගතවන සාමන්ය කාලයත් එයට හේතුත් මට කිවහැක.
        කිසිදු සේවකයකු වාට්ටුව පිරී ඉතිරෙනවාට කැමති නැත. එය ඔවුනට වැඩ වැඩි කෙරීමකි.සාමන්යයෙන් වාට්ටුවක් පිරෙන්නෙ OPD හරහා එන casualty admission වලිනි. ඒවයින් ලොකු දොස්තර මහතාට අදායමක් ලබෙන්නේ නැත.ඒ අනුව ඔබගේ කියමන හුදෙක් කරුනු නොදන්න අයකු හන්ගීම් වලට වහල් වී කල ප්‍රකශයක් පමනී.
        හැන්ගීම් වලට වඩා ප්‍රයොගික වන්න. නව වාට්ටු ඇති කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම පහසුකම් සැපයීම ඒවායෙ සේවකයින්ට කල නොහැකි ඊට වඩා බලය ඇති දේස පලකයන්ට බාර දෙයකි. මෙහි සේවකයන් තිබෙන පහසුකම් මත හොන්ද සේවයක් දෙන බවයි මට හිතුනේ. පහසුකම් නැතයි වැඩ කිරීම නැවත්වුවහොත් , සීමා කලහොත් එදාට කෑ ගසන්නේද ඔබමයි.
        ඔව්.වැටුප ගැන කිවූ දෙයට එකග විය හැක. නමුත් කරන හා කල කැප කිරීම් වලට වටුප සැහේද? සෞඛ්ය සේවකයන් වඩ කරන හැටි ගැන අවබොද කර ගැනීමට Visitin hour වාට්ටුවට යාමෙන් නොහැක. ඔවුන් සමග දින කීපයක් ගත කරන්න. නැතහොත් සබෑවට වැඩකරන අයකුගෙන් අසා දැනගන්න.( ශරීර හොරු කොහෙත් සිටිති.

        • මහතාණෙනි, කළුබෝවිල රෝහල බොහෝ වාර ගණනක් අපකීර්තිසහගත ලෙස රෝගීන්ට සැලකු රෝහලක් බව මාධ්‍ය වාර්තා පරිශීලනය කර සොයාගනු මැනවි. අහෝ මහතාණෙනි මනුෂ්‍යයකු, රෝගියකු ලෙස රෝහලකට එන්නේ බිම ලගින්නද? එසේ ලගින්නට පැදුරක් වෙනුවට මෙට්ටයක් දීමටවත් තරම් හිඟන සෞඛ්‍ය සේවයක්ද අපට හිමි? එසේනම් ප්‍රවාහන දීමනා වැඩි කරපියවූ කියා ඉල්ලීම, තව සුදු සපත්තු සුදු ඇඳුම් ඉල්ලා කෑගසීමද සුදුසු. ඉරුණු බූට්‌ සපත්තු සහිතව, මඩේ එරීමෙන් කුණුවූ ඇඟිලි කරු සහිතව, බඩට වැදුණු වෙඩිල්ලට Field Dressing එකක් පමණක් දමාගෙන හෙලිකොප්ටරයක් පැමිණ බෙරාගන්නාතුරු තව සොල්දාදුවකුගේ තුවක්කුවට තම ලෙයින් තෙත්වූ පතරොම් පුරවාදී හෙලික්ප්ටරය එන්නට පෙර අවසන් සුසුම හෙලු එකා ගැන කියන්නේ කුමක්ද? සෞඛ්‍ය සේවකයන් සමග සෑහෙන කාලයක් වික්ටරි රෝහලේ සේවය කළ නිසා මට ඔවුන් ගැන සතටුදායක අවබෝධයක් තිබේ, හමුදාවේ ශරීර හොරුන් සේවයෙන් පහකිරීමට (වැටුප් හෝ විශ්‍රාම වැටුප් රහිතව නීති රීති ඉතා පැහැදිලිව තිබේ. අනේ එය සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් තිබුනානම්)

  22. එක ලෙඩක් හොඳ කරගන්න ඕකට යන මනුස්සයා එන්නේ ලෙඩ දහයක් හදාගෙන.

    • පුළුවන් එකා කෝටියක්‌ වියදම් කරලා හරි පෞද්ගලික රෝහලකට යයි. අපි වගේ දුප්පතුන්ට ලැබෙන දේ තමයි මේ. හැබැයි මෙතන ඉන්න දොස්තර මහත්තුරු සහ ප්‍රතිකාර නම් හොඳයි කියලා අපේ අක්කා කිව්වා.

  23. අපේ හාමිනේ නෑනාලා එක්ක ආදරේ උනොත් මම නම් ඉන්නේ පරිස්සමෙනි.. දෙගොල්ලා එකතුවෙලා ගහන සැලසුම් හොල්ලන්නවත් බැරි නිසාය..

  24. ඔබතුමාත් බ්ලොගර් වලට මාරු වෙන්නකෝ . මේ වර්ඩ් ප්‍රෙස් හරි කරදරයි .

    කඳු පළාත් වල ඉඩකඩ මදි ප්‍රශ්නෙත් ඇති . එළියෙන් බැලුවමත් පේනවා නුවර රෝහල ඉඩ මදි බව .
    ඔහොම වාට්ටු වල ටි බි වගේ ලෙඩ පැතිරෙන්නත් පුළුවන්නේ .

    බඩ වැඩි වීමට ඇවිදීම තමයි හොඳ . යෝගා හරි පිලටිස් වහේ ව්‍යායාමයක් කර බලන්න . රෑට බර ආහාර ගන්න එපා .

    මේ පැත්තේ ඇවිත් යන්න එන්න .කුචි ටනල් වලට නම් බහින්න බැරි වෙයි ලොකු බඩක් එක්ක .

    • බ්ලොගර් වලට මාරුවෙන්න කැමතියි. මොන මොන ප්‍රශ්න එයිද කියලයි බය. තාක්ෂනය දන්නා කෙනෙකුගේ උදව්වත් ටිකක් ඕනේ වෙයි.

      TB නෙවෙයි VD, VCD, DVD, CTB, IRC, Bluray, තව මොන මොනවා හැදෙයිද මන්දා. 😀 😀 😀

      තව ටික දවසක් බලලා බඩ කපලා දානවා ගඟට.

      ඔය පැත්තේ එන්නම්.

  25. ක්සැන්ඩර් | Xander said:

    මම ඉතින් නුවර මිනිහා වෙච්චි. කොහොම කටක් ඇරලා බනින්නද? වහලේ කඩාවැටුනා වුනත් ඒ අපේ ඉස්පිරිතාලේ වෙච්චි. ඔය ඉස්පිරිතාල වලට මම එනවට මගේ නෝනා කැමති නෑ. වලියට බර නිසා. දවසක් අපේ නෝනා ගැබිණි වාට්ටුවට ගිහින් ඉද්දි මමත් ඒ පස්සෙන් ගියා. “ඈ.. කවුද කවුද අර සපත්තු දාගෙන මේක අස්සේ ඇවිදින මනුස්සය.. මිස් ඔය මිනිහට යන්න කියන්න” අස්සෙන් හෙන ගෝරනාඩුවක් ඇහුනා. බලද්දී මට.. මම ඇහුවා කෝ කොහෙද මේ සපත්තු ගලවන්න ගහල තියෙන්නේ? පෙන්නන්න කවුරු හරි එතකොට මම යන්නම් කියල.

    ලොකු මිසී කෙනෙක් දුවගෙන ආවා වලියට. මමත් පසු බැස්සේ නෑ. පස්සේ අපේ නෝනා ඇවිත් මේ මගේ මහත්තයා කිව්වාම ආ.. මිස් සොරි සොරි කියාගන පල්ලම් බැස්සා. මට තව තදවුනේ එවලේ. ස්ටාෆ් එකට එක නීතියක් අනිත් එවුන්ට තව එකක්. මම කියාගෙන ගියා. මිස්ගේ මහත්තයා හරි සැරයි නේද අර මිස් අපේ නෝනාගෙන් අහනවා මම අහගන…

    • අම්මපා තමුන්නාන්සේ මගේ වර්ගයේ බව දැනගන්නට ලැබීම සතුටක්. මේ ළඟදී මම ෂේවිංග් ෆෝම් එකක් ගන්න ගිහින් මුළු කඩේටම ඇහෙන්න (ඒක සුපර් මාර්කට් එකක්) පාරිභෝගික ආඥා පනත සහ පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් තිබ්බා. අපේ නෝනා බැරිම තැන කඩෙන් එලියට ගිහින් කාරෙකට නැගලා දොර වහගත්තා. අසාධාරනේට මමත් වලිසිංහ කෙනෙක් තමයි. 😀

    • pubudu ( please do not publish my name) said:

      සපත්තු ගලවා ඇතුලුවිය යුතු වාට්ටු වර්ග ඇත. දඩි සත්කාර ඒකක, ගැබිනි වාට්ටු ද ඒව අතර වේ. ඔබ මහා මාර්ගයට පලදින සපත්තුව සමග දුහුවිලි සහ විශ බීජ වාට්ටුවට අතුලු වේ. ඉතා අසාද්ය ලෙඩෙකුට, අලුත උපන් ලදරුවෙකුට එම විශ බීජ ඇතුලු වූ විට අවසාන ප්‍රථිපලය කුමක් විය හැකිද? බොහොවිට මරනය හො දීර්ග කාලීන අභාධ ප්‍රතිඵල විය හැක. ඔබට කැගසු සේවකයා එසේ කරේ ඔබගේ ලෙඩ ගැන ඔහුට තිබූ කැක්කුම නිසයි. ( සේවකයන් රාජකාරියේදී නිල අන්දුම අන්දින විට ඒ සමග තමන්ගේ සපත්තු මාරු කිරීමක් කරනු ලබයී)

      • ක්සැන්ඩර් | Xander said:

        විචාරක මහත්තයා:

        මට අපේ නෝනා කියන්නේ වලිසිංහ කියලා තමා 🙂 අසාධාරන දකිද්දී මගෙත් ලේ උණු වෙනවා. අපේ අම්මගේ වගේ. 🙂

        පුබුදු මහත්මයා:

        ඔබේ තර්කය හරි. එහි කිසිඳු වැරැද්දක් නෑ. ඒත් කරුණු සාධාරණව කියන්න ඕනේ. මම එහෙම ගියේ එහෙම තැනක ඒ වගේ දැන්වීමක් නැති නිසා. මට වැටහීමක් නෑ මෙතනට මේ විදියට යන්න ඕනේ කියා. රෝහල් කාර්ය මණ්ඩල දැන්වීම් සවි කර දැනුවත් කිරීමක් කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ ගැන මම 100% එකඟයි.

        ඒ එක්කම මොකද නීති 2ක් ස්ටාෆ් එකට එක නීතියක්, අනිත් අයට තව එකක්? ඒවා නෑ කියනවද ඔබ? මේ මගේ ප්‍රායෝගික අත්දැකීම්..

        මගේ බිරිය ICU හෙදියක්. ඒත් කිසිම දිනක ICU එකට මම සපත්තු පිටින් යන්නේ නෑ හේතුව එතන පාවහන් ගලවා ඇතුළු වෙන්න කියා කියලා තියන නිසා. මම පාරක ටොෆි කොළයක්වත් වීසි කරන්නේ නෑ. ඒ මගේ හැටි.

  26. අනේ මන්දා අප්පා . . අපේ රටේ හරි හමන් සිස්ටම් එකකට හදන්න කෙලින් වැඩ කරන ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ කෙනෙක් නායකයා කරලා හරි හමන් උපදේෂකයෝ ටිකක් මහජන චන්දයෙන් නැතුව (උගත් / බුද්ධිමත් පිරිසකගේ තේරීමෙන් පමනක්) පත් කර ගන්න ඕන කියලයි මට නම් දැන් දැන් හිතෙන්නේ . .

    නැති නම් තව අවුරුදු සීයකට පස්සේ හරි මේවා මේ විදිහටම තියේවි

    • මිනිස්සු හිතනවා ෆොන්සේකා අවොත් හමුදා රාජ්‍යයක් බිහිවෙයි කියලා. නමුත් මේ රටේ දිනපතා සිදුවෙන වෙන අපරාධ රැල්ල, නීති නොපිලිපැදීම, වැනි දේ වලක්වා, මිනිස්සු, මිනිස්සු හැටියට ජීවත්වීම හුරු කරවන්න නම්, ටික කලකට හෝ දැඩි පාලනයක් අවශ්‍යයි.

  27. ඔය කාර් පාර්ක් එක වගේ රත්නපුරේ මහ රෝහල. එක ඇඳේ ලෙඩ්ඩු දෙතුන් දෙනෙක්. ඉතුරු උන් කාඩ් බෝර්ඩ්, ඉටි රෙදි දාගෙන බිම.
    ඊළඟ දඬුවම තමයි බඩගින්නේ තැබීම. ඔපරේෂන් වලට රෑ එළිවෙනකම් බඩගින්නේ තියලා උදේ සෙට් ඒකට සෙට් වෙන්න බැරි උනොත් දවල් දොළහ එක වෙනකම් බඩගින්නේ තියාගන්නවා. පස්සෙ අද කරන්න වෙන්නෑ කියලා ගෙනත් දානවා. සාමාන්‍ය ලෙඩෙක් නම් (අඳුරන මිසී කෙනෙක්වත් නැති අය) මෙහෙම දවස් දෙකේ තුනේ රස්තියාදු වෙනවා.

    • රත්නපුරේ මහ රෝහල මම දැන හඳුනාගත්තේ 1968 වසරේදී. මම මේ කියන තොරතුරු ඔබ දන්නවාත් ඇති. රත්නපුර මහා රෝහල කැනේඩියානු රජයෙන් ලැබුණු පරිත්‍යාගයක්. අහසේ සිට බැලුවම, රෝහලේ පැරණිම ගොඩනැගිල්ල පෙනෙන්නේ ඔටුන්නේ හැඩයටයි. හොඳින් මතක් කර බලන්න කොරිඩෝර් තියෙන්නේ වක්‍ර හැඩයකටයි. ඒ වගේම ඔය රෝහල ඉතා පිරිසිදු සහ අලංකාර රෝහලක් හැටියට තිබුනා, 1970 දශකයේ අග භාගය වනතුරු. ඉන්පසු දේශපාලුවන්ගේ ඕනෑකම අනුව කිසිදු වග විභාගයකින් තොරව ගොඩනැගිලි ඉදි කළා. ඔය රෝහලේ තිබුනා (දැන් තියනවාද දන්නේ නැහැ) වර්ණ සංඥා ක්‍රමයක්. සෑම වාට්ටුවකම, කොරිඩෝර වල තැනින් තැන සහ රෝහලේ අනෙකුත් සියලුම තැන්වල බිත්තියේ ඒවා සවි කර තිබුණා. එයින් පුළුවන් වෛද්‍ය අධිකාරි සිට සියලුම විශේෂඥ වෛද්‍ය වරුන්, මේට්‍රන්, වැනි අයට සංඥා කරන්න ඔබව අවශ්‍යයි කියලා. එහිදී කරන්නේ රෝහල ඇතුලේ තියන දුරකතනයකින් ඒ ඒ පුද්ගලයාට නියමිත අංකය ඩයල් කිරීමයි. එවිට අර වර්ණ සංඥා වලින් ඒ ඒ පුද්ගලයාට අයිති වර්ණය ෆ්ලෑෂ් වන අතර බෙල් එකකුත් වදිනවා. අදාළ පුද්ගලයාට තියෙන්නේ ළඟම තියන දුරකථනය වෙත යාමයි. එවිට දැනගන්න පුළුවන් රෝහලේ කොතනටද එයාව අවශ්‍ය කියලා. එතරම් උසස් රෝහලක් තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කාලයේ හදවත් සැත්කම් සහ මානසික රෝග සඳහා මඩකලපුව වැනි ප්‍රදේශ වලින් පවා රෝගීන් ආවා.

      • මන් රත්නපුරේ හිටියත් මේ කිසිම දෙයක් දැනන් හිටියේ නෑනේ. (Blush) (කැනේඩියන් පරිත්‍යාගය හැර). මම දන්නා තරමින් දැන් ඔය කියන වර්ණ සංඥා ක්‍රමය ඇත්තේ නෑ. වක්‍රාකාර කොරිඩෝර් නම් එහෙම්මමයි. ඔටුන්න ගැන කියා දුන්නට ස්තුතියි. දැන්නම් හිතුනු හිතුනු තැන්වල ගොඩනැගිලි හදලා. ප්‍රමිතිය ගැනත් කියලා වැඩක් නෑ.

        //..දේශපාලුවන්ගේ ඕනෑකම අනුව කිසිදු වග විභාගයකින් තොරව ගොඩනැගිලි ඉදි කළා..// මුන් රිංගන කොතනත් එකයි විචාරක මහත්තයෝ.

      • ඔබතුමා කියපු දේ තහවුරු කරගන්න රෝහලේ වෙබ් පිටුවට ගියා. එතන මෙලෝ විස්තරයක් නෑ. පින්තූර ටිකත් එහෙමයි. ඉතිහාසය පේලි දෙක තුනයි. ඔබතුමාගෙ විස්තරය තරම්වත් නෑ. රෝහලේ මාධ්‍ය ඒකකයට පඩි මදි නිසාද දන්නෑ. 😀

    • pubudu ( please do not publish my name) said:

      ශල්ය කර්ම වලට කලින් රොගීන් කුස ගින්නේ තියන්නෙ ඇයි? හොන්දින් කාපු අයකු නිර්වින්දනය කල විට ඔහුගේ කුසෙහි ඇති ආහාර ගල නාළයෙන් ස්වසන මාර්ගයට ගොස් පෙනහල්ලට යාමට හැක. අවසන් ප්‍රථිඵලය කුමක්ද?ජීවිතය නැතිවීම්….එසේ නම් ඔවුන් කුසගින්නේ තැබීම රොගියාට කරන වරදක් ද?
      සමාන්යයෙන් ශල්යගාරය රොහලේ වාට්ටු කීපයක් භාවිතා කරනු ලබයි.ඒ නිසා ඒ එක් එක් වාට්ටුවට වේලාව වෙන් කර ඇත. උදේට සැත්කම් කරන වාට්ටුවේ රොගීන්ට පෙරදින රෑට කුසගින්නෙ සිටීමට සිදුවෙයි. එසේම සමහර සැත්කම් වලට බලා පොරොත්තු වූ වේලාවට වඩා වෙලාව ගත විය හක.ඒ අතර හදිසි සැත්කම් නිසාද සමහර සූදානම් කල ඒවා කිරීමට නොහකිවිය හැක. එවිට කුමක් කරන්නද?

      • ක්සැන්ඩර් | Xander said:

        පුබුදු මහත්තයා නම් රාජ්‍ය සොඛ්‍ය අංශයේ කෙනෙක් බව පේනවා. ඔබතුමා ගේ කමෙන්ට් වලින් ගොඩක් විස්තර ගත්ත. ඒත් එකක්. බැරි දේ ගැන බෑ බෑ කියා බැරි බැරියාව හැදිලා වගේ නැතුව සොඛ්‍ය සේවයට හැකි දේ කරන්න බැරිද? ඒකටත් බැරි බැරියාවද? අපිට හැකි විදියට අපි මේ හැමදේම කරමු. අඩුමගානේ උත්සාහ කරමු. එවිට ඒ හැමදේම දිනක ලස්සනට පිලිවලට තිබෙනු ඇති.

  28. කලයුතු එකම දෙ තමයි රෝගියාට තේරෙන සරල භාෂාවෙන් පැහැදිලි කරදීම, ශල්‍ය කර්මය එදිනට කළනොහැක්කේ, මෙන්න මේ හේතුව/හේතු නිසා බව. ඒ වගේම රෝගියාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුවන බව. මම ඕනෙම ඔට්ටුවක් අල්ලනවා කිසිම රෝහලක ඔය මම කියලා තියන දෙය කරන්නේ නැහැ. ඒ රෝගියාට තොරතුරු දැනගැනීමට තියන අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරන්නේ ඇයි?

    • ඔව් ඔබ හරි. එය එසේ කලයුතුයි. නිවැරදි එයයි.නමුත් ප්‍රයොගිකද? දිනකට සැත්කම් 3-4 කරන නිදහසේ වැඩ කරන තැනක එසේ කල හැකිය.
      නමුත් මෙම පහත තත්වයේදී කල හැකිද යන්න කියන්න.
      once in three days casualty admission 150-200,
      daily routine surgery admission 10-15,
      8am -2pm- surgeries,.2pm-4 pmclinics with 100 patients….
      ඊට අමතරව හදිසි රොගීන් surgery වලට සුදානම් කිරීම්, අමාරු රොගීන් රක බලා ගනීම්….
      යමෙක් ඇසුවොත් කරුනු නොකියා ඉන්නෙ නැහැ. නමුත් සෑම අයකුටම කතා කිරීම ප්‍රායොගික නැහැ.එසේම රොගීන් සියල්ල එකම බුද්ධි මට්ටමක නැහැ. සියල්ලො ඔබ වැනි බුද්ධිමත්ව හා කරුනු විමසිල්ලෙන් බලන්නෙනැහ. සමහරුන්ට කරුනු කියන්න යාමෙන් නැති කරදර ඇතිවනු මම දැක ඇත.

      • අහෝ මහතාණෙනි සැලසුම් කරණය අතින් නම ඔබේ දෙපාර්තමේන්තුව අඳ බාල තත්වයේ තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිය. දින තුනකට වරක් රෝගීන් 500 ක් ආවත් ඔබේ කාර්ය මණ්ඩලය කැමති නැහැ වැඩ බෙදාගන්න. හෙදියක් ස්ටේතස්කොපයක් පාවිච්චි කලොත් ඔබ ඇයට විරුද්ධව අවි අමෝරා ගන්නේ අපටනම් දෙකොනින් සිනා නංවමිනි. ආරක්ෂක හමුදාවල නම පුහුණු හෙදියෝ එසේ කරති. ඔබේ තිබෙන්නේ යල් පැනගිය දෙපාර්තමේන්තු නීතිය. ඒවා වර්තමානයට ගැලපෙනසේ වෙනස් නොකලොත් ඔබ ඔය අසන දෝෂාරෝපණ තවත් වැඩිවනු මිස අඩුවනු නැත්තේමය. එක එක කාර්ය මණ්ඩලයට අයත් කාර්ය භාරය ස්ථාවර නියෝග ලෙස පනවා ක්‍රියාත්මක කලයුතුය. ඇමෑත්තයාගේ වැසිකිලිය සෝදා රැකියාව ලබාගත එකා, ඇමෑත්තයාගේ පෝස්ටර් අලවපු එකා, ඇමෑත්තයාගේ අහවල් එක ධාතු කරඬුව මෙන් වන්දනාමාන කරන එකා රජ සැප විඳින අතර සියලු වෘත්තීය සුදුසුකම් ඇති තව පිරිසක් වැදෑමහ කරගසාගෙන දුවන්නේ පරිපාලනයේ වරදින් මිස වෙනත් කිසිවක් නිසා නොවෙයි. යුද්ද කාලේ අනුරාධපුරේ වික්ටරි රෝහලේ සාමාන්‍ය හෙදියන්ගෙන් සහ දොස්තර මහතුන්ගෙන් අපි නිසි සේවය ලබාගත්තේ නිසි කළමනාකාරිත්වය නිසයි. එක තකින් මරණාසන්න රෝගියකු සහිත ට්‍රොලිය තල්ලු කරගෙන යන ගමන් අනික් අතින් ඕවර්ටයිම් ක්ලෙම් ශීට් එක දැමීමට කාර්යාලය අසල වෙහෙසෙන හෙදියන් අපි එදා දැක්කේ නැත. මහතාණෙනි. ඉර කියන්නේ ඉරට ය, හඳ කියන්නේ හඳටය යන සුභාවිතය නිවැරදිව තේරුම ගෙන භාවිත කරනතුරු අපි තවමත් ඕවර්ටයිම් ක්ලේම්ශීට් එක අස්සේමය.

        සියලුම මිනිසෙකුට තේරෙන භාෂාවක් තිබේ. යුද හමුදාවේ පුහුණුවේදී උගන්වන ඉතා වැදගත් පාඩමක් තිබේ. ‘කිසි විටකත් හමුදාවේ පාරිභාෂික වචන යොදා සාමාන්‍ය ජනතාවට කථා කොකරනු’ උදාහරණය. ‘ අම්මේ, ඔය කාලතුවක්කුවෙන් වෙඩි තිබ්බම. ඒකේ තියන බෝම්බය උඩින් ඈතට විසිවෙලා ගිහින් බිමට වැටිලා පුපුරනවා. ඉතින් සමහර විට ඒ විසිරෙන කෑලි වලින් අහල පහල ඉන්න අයටත් තුවාල වෙන්න පුලුවන්’ එහෙම නැතුව අපි කිව්වොත් අම්මේ ඔය ප්‍රොජෙක්ටයිල් එකේ සෙකන්ඩරි ෆ්රැග්මන්ට්ස් නිසා නිසා බෆර් සෝන් එකේ ඉන්න අයටත් මයිනර් ඉන්ජරීස් වෙන්න පුළුවන් කියලා ඒක අමු තිත්ත කුණුහරපයක්. සෞඛ්‍ය සේවයටත් ඕනෑකම තියනවානම් ඒ විදිහට කරන්න පුළුවන් ඕනෑකම (ටික දෙනෙකුට තියන ඔලුව ඉදිමීම හමුදාවේ වුනත් ප්‍රශ්නයක් තමයි. මෙතරම් දියුණු සන්නිවේදන පහසුකම් ඔබ කොතරම් දුරට පාවිච්චි කරන්නේදැයි බලන්න මග රෝහලක දුරකථන හුවමාරුව වෙත ඔබේ අනන්‍යතාව සඟවා ඇමතුමක්‌ ගෙන වාට්ටුවක විස්තර විමසන්න.

  29. some replies are deleted it seems. that means you are not willing to accept the opinions against you even though you have invited criticism,( ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.)
    in that case i found that, it is useless to be in a conversation with you.

  30. සමහර රෝහල් වල පොළව උඩ වාට්ටු තිබුනත් රෝගීන්ගේ අවශ්‍යතා හා ප්‍රතිකාර නිසියාකාරව ලැබෙන්නේ නැහැ.පොඩි රෝගයකට වුනත් වැඩි කාලයක් රෝහලේ රැදීමට සිදුවෙනවා.
    මේ නිසා සමහර රෝගීන් පැනල යන අවස්තාත් තියනවා.
    මෙතනින් නම් රෝගීන්ට පැනල යන්න අමාරු තැනක් වගේ 😀

  31. ඔබේ බ්ලොග් එක අති විශිෂ්ටයි , පොඩි යෝජනාවක් මගෙන් මේකේ තියෙන වෙන බ්ලොග් වලට / වෙන තැන වලට යන ලින්ක් ඔපෙන් වෙන්න ඔව්න් ටැබ් දෙන්න එපා වෙනම ටැබ් එකක ඕපන් වෙන්න සෙට් කරන්න , මක් නිසාද යත් නැවත ඔබගේ බ්ලොග් එක සොයා ගැනීමට තවත් රවුමක් ගැසිය යුතු නිසා 🙂

  32. Mr. Wicharaka, I have couple of questions about joining the army. I’d send you an email if I knew your email address. It would be great if you could email me the answers without publishing this comment 🙂 And you don’t have to hurry it, reply me when you could. I know you are under the weather. And I hope you’d get better soon!

    1. As I posted in an earlier comment I have to ware spectacles (FYI: my vision acuity is 20/40 (6/12)). And in your reply you mentioned vision should be perfect to join the army. Though I saw that on Navy and Air Force, I didn’t saw that requirement on any of the army recruit ads. (http://i.imgur.com/lPCQM.jpg) So is there any chance I could get in to the army? Or the 20/20 vision thing is very strict? (I’m not planing to join the army as a professional, engineer, doctor etc.) I’m planing to do a LASIK (laser eye surgery) And If I do that could I join ’em?

    2. Joining the volunteer force: does the 20/20 vision policy applied to the volunteer force too? And what is the age limit for joining them?

    ever since I was a kid I wanted to join the army. And it would be great If you could answer those questions 🙂 Thank You!

  33. රජයේ රෝහල් ගැන විතරක්ම නෙමේ රජයෙන් සැපයෙන හුඟාක් සේවා ගැන කතා නොකර ඉන්නයි මම කැමති.

  34. සම්පූර්ණයෙන්ම කොමෙන්ට් ටික කියවලා ඉවර කලේ අද. අර කිව්වත් වගේ රත්නපුරේ වෙලත් මමත් දැනන් උන්නේ නෑ අර තරම් විස්තර. හරිනම් ඒගැන අපි ලැජ්ජා වියයුතුයි. ඔබට බොහෝමත්ම ස්තූතියි මහත්මයා.

    • ලජ්ජා වෙන්නනම් දෙයක් නැහැ මම හිතන්නේ. අපි සෑම දෙනාම අපි ජීවත්වන ප්‍රදේශ පිලිබඳ නොදන්නා කරුණු ඇති ඕනේ තරම්. 1970 දශකයේ මගේ පියා හෘද රෝගියකු ලෙස ඔය රෝහලේ නවත්වා සිටියදී ඒ වාට්ටුව පිරෙන්නවත් රෝගීන් සිටියේ නැහැ. පහසුකම් පෞද්ගලික රෝහලක වගේ. ඔය රෝහලට කන්ද නැගගෙන ගිහින් අවසන් වන හරියේ විශාල මහෝගනී ගස් පේලියක් තිබුනා. ඒවා ඉතින් දැව වශයෙන් ප්‍රයෝජනයට ගන්න ඇති. ඔය භූමියේ ඉහල කොටසේ තියන හෙද අභ්‍යාස විද්‍යාලය ගැනනම් පොතක් ලියන්න තරම් දේවල් දන්නවා. 😀 😀 😀

  35. විචාරක මහත්තයා දැන් කොහොමද සනීපද?

    විචාරක මහතාට නිවන් සුව ලැබේවා!!!!

    වැරදුනා වැරදුනා

    ඉක්මන් සුව ඉක්මන් සුව ලැබේවා !

  36. ගොඩක් රෝහල් වල තත්වේ ඕක තමයි ..

  37. මොනදේ කිව්වත් රජයේ රෝහල් නම් ගණන් දෙයක් නැහැ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: