විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

තවත් පුංචි කතා දෙකක්


  පසුගිය කාලය තුල ස්නයිපර් වරුන් ගැන ලියන ලද දීර්ඝ ලිපි මාලාව නිසා මා සෑහෙන වෙහෙසකට පත් වුනා. ඒ නිසා නැවතත් බරපතල මාතෘකාවකට යන්නට කලින් පුංචි කතන්දර දෙකක රසය ඔබ සමග බෙදාගන්නට හිතුනා. මේ කතන්දර සියල්ලම ඇත්ත සිදුවීම් බව මුලින්ම සඳහන් කළ යුතුයි.

 

  මේ සිද්ධිය වුනේ 1989 දී විතර. ඒ කාලයේ මේ රටේ තිබුන භීෂණකාරී වාතාවරණය ඔබ දන්නවනේ. මම එවකට සේවය කරමින් සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ භීෂණකාරී ක්‍රියා සංවිධානය කරන නායකයකු අත් අඩංගුවට ගැනීමට, වහාම ක්‍රියාකරන ලෙස, එවකට ඒ ප්‍රදේශය භාරව සිටි යුද හමුදා සම්බන්ධිකරණ නිලධාරියාගෙන් මට නියෝග ලැබුනා. මේ විප්ලවවාදියා, යුද හමුදාවෙන් පැනගිය කෝප්‍රල් වරයෙක්. ටිකක් අමාරු කාරයෙක්. පිස්තෝලයකුත් සෑම විටම අතේ තිබෙන බවටත් තොරතුරු ලැබී තිබුනා. මේ නිසා ඉතා කල්පනාකාරීව ඔහුව අත් අඩංගුවට ගැනීමට මා සැළසුම් කළා.
ඔහු ගැවසෙන බවට සැක කරන ප්‍රදේශවල පොලිස් සහ හමුදා මාර්ග බාධක රාශියක් යොදා තිබුනත් පළක් වුනේ නැහැ. මේ නිසා මා සෑහෙන වෙහෙසක් දරා විවිධ උපාය මාර්ග යොදා ඔහුව කොටු කර ගැනීමට කටයුතු කළා. මේ අතරේදී මට ඉතා විශ්වාසදායක තොරතුරක් ලැබුනා, එක්තරා දිනයක, ඔහු වෙළෙන්දෙකු ලෙස වෙස්වලාගෙන බණ්ඩාරවෙල බස් නැවතුම්පොළට එන බව. ඔහුගේ හැඩරුව හඳුනන ඔහුගේ ගම් පළාතේම සෙබළකු මගේ ඛණ්ඩයේ සිටියා. එය මට මහත් වාසියක් වුනා. දැන් මගේ සැලැස්ම මම ද වෙළෙන්දෙකු සේ වෙස්වළාගෙන, මගේ සෙබළුන් කීප දෙනෙකුටද විවිධ ආකාරයේ සාමාන්‍ය ඇඳුම් අන්දවා, (එහෙත් සන්නද්ධව) බණ්ඩාරවෙල බස්නැවතුම්පොළේ රැක සිට ඔහුව අල්ලා ගැනීමටයි.

  ඒ දිනවල මිනිසුන් පුරුදුවී සිටියේ රෑ වෙන්නට පෙර සියලු වැඩ කටයුතු නිමවා තම තමන්ගේ ගෙවල් වලට ගොස් බියෙන් ගැහෙමින් දොර ජනෙල් වසාගෙන විදුලි පහන් ද නොදල්වා සිටීමටයි.  අපි වෙහෙසුනේ ඒ තත්වය නැතිකර ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන එමටයි. ඒ සඳහා මෙවැනි ත්‍රස්තවාදීන් අල්ලාගත යුතුයි.

 

  මම කොට කලිසමක් හැඳ, එහි මගේ හමුදා හැඳුනුම්පත, මගේ පිස්තෝලයේ අමතර මැගසිනය සහ මුදල් පසුම්බිය දමාගෙන, ඊට උඩින් සරමක් ඇඳගත්තා. මුදලාලිලා අඳින ආකාරයේ අත් සහිත මේස් බැනියමක්  හැඳ,  තුවායකින් ඔලුවේ සුම්බරයක් බැඳ ගත්තා. හිස් පොහොර බෑග් කීපයක් එකට ඔතාගෙන එහි මගේ පිස්තෝලය සහ අත් බෝම්බයක් සඟවා ගත්තා. මගේ සහයට ආ සොල්දාදුවන්ගේ තවත් එක් අයකු (සැරයන්) අත පිස්තෝලයක් තිබුන අතර, ඔහු රඟපෑවේ නොන්ඩි ගසමින් යන දුබල රෝගී පුද්ගලයකුගේ චරිතයක්. බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ එදා එකම හිස් ගොඩක්. මම සැරයන්ට විශේෂ උපදෙසක් දුන්නා කිසිදු හේතුවක් නිසාවත්, මිනිස්සුන්ට වදින්නේයැයි සැකයක් ඇත්නම්, වෙඩි නොතබන ලෙසත්, සතුරා පැන ගියත් මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව ඊට වඩා ලොකු බවත්. තවත් සොල්දාදුවන් දෙදෙනෙකු ඕනෑම අවස්ථාවකට සුදානමින්, තම ඉනේ සඟවාගත්, වනයේ දී දිවි රැකුමට ගන්නා පිහියා  (Jungle Survival Knife සමහරු මෙයට රම්බෝ පිහියා කියා කිව්වත්, මා ඉංග්‍රීසියෙන් යොදා ඇත්තේ නිවැරදි යෙදුමයි) ද සමගින්, රස්තියාදු කාරයින් මෙන්, ඒ අවට රැඳී සිටියා. මගේ රඟපෑම වඩාත් සාර්ථක වනු පිණිස, මම අසළ තිබුණු කඩයකින් බුලත් විටක් ගෙන, එය හපමින් (කට පැලුනා වගේ දැවිල්ල. බැරි සිල් නොගන් අබරෝ කිව්වලු) බස්  නැවතුම්පොළේ පඩියක් මත ඉඳගෙන සිටියා. සතුරා හඳුනන සොල්දාදුවා මා අසළ බස් මගියකු ලෙස රැඳී සිටියා.

  ටික වෙලාවක් ගත වුනත් සතුරා පිලිබඳ සේයාවක් වත් දකින්නට ලැබුනේ නැහැ. ඒ අතරතුර මා දුටුවා නිවාඩු යන සොල්දාදුවන් ද එහෙ මෙහෙ යන ආකාරය. නමුත් කිසිවෙකුගේ අවධානයට මා ලක් නොවීම නිසා මට මගේ රඟපෑම ගැන ලොකු ආඩම්බරයක් ඇති වුනා. සාමාන්‍ය ඇඳුමෙන් සිටින සොල්දාදුවකු ඔබට වුනත් බොහෝවිට පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්. කොටට කැපු කොණ්ඩය පමණක් නොව, අලංකාරව පිළිවෙලකට ඇඳ, දිලිසෙන්නට ඔප දැමූ සපත්තු දමා, ලොකු ඇඳුම් බෑගයක් ද සහිතවයි ඔවුන් යන්නේ. ඒ අතරතුර මා දුටුවා මා හඳුනන, එහෙත් මගේ බල ඇණියටවත් අයිති නැති සොල්දාදුවකු බස් නැවතුම්පොළ දෙසට එන ආකාරය. ඔහුත් නිවාඩු යන බව පැහැදිලිවම පෙනුනා. දැන්නම් මෙතන හිටියා ඇති, ටිකක් ස්ථානය මාරු කලොත් හොඳයි, කියා සිතු මා නැගිට්ටේ වෙන තැනකට යන්නයි. මම නැගිටින විටම අර සොල්දාදුවා මා දෙසට ආවා. සීරුවෙන් හිටගත්තා, ‘ගුඩ් මෝනිං සර්, කොහේද යන්නේ’ කියා මුළු බස්නැවතුම්පොළටම ඇහෙන්න මගෙන් ඇහුවා. මම ඒ සොල්දාදුවා දෙස බලපු ආකාරයට ඔහුට හිතෙන්න ඇති තව මොහොතකින් මගෙන් හොඳ කනේ පාරක් වදියි කියලා. ඔහු එතනින් යන්න ගියා.

 

  දැන් ඉතින් මොකද කරන්නේ. බස් නැවතුම්පොළේ හිටිය මිනිස්සු මා දෙස බැලුවේ අඟහරු ලෝකෙන් ආව මිනිහෙක් දිහා බලන ආකාරයටයි. මම වහාම මගේ සැරයන්ට ඇහැක් ගසා එතනින් මාරුවුනා.  අර සහායක සෙබළුන් දෙදෙනාත් සමග කෙලින්ම කඳවුරට ඇවිත් තමයි නැවතුනේ. මගේ මහා ක්‍රියාන්විතය අවසන් වුනේ එහෙමයි.

  

  මේ සිද්ධිය නම් බොහොම පැරණියි. ඒ කාලයේ මම සේවය කලේ නුවරඑළිය ප්‍රදේශයේ. විශේෂයෙන් මෙතරම් දියුණු සන්නිවේදන පහසුකම් එකල තිබුනේ නැහැ. ජංගම දුරකථන කියා දෙයක් තිබුනේ නැහැ. හමුදා ගුවන්විදුලි පණිවිඩ හොඳින් ක්‍රියාත්මක වුනේ පිදුරුතලාගල මුදුනේ සවි කර තිබුණු සන්නිවේදන යන්ත්‍ර සහ මහා ඇන්ටෙනා වලට පින් සිදුවෙන්නයි. එක් දිනක් සවස 6.00 ට පමණ කඳවුරට හමුදා මුලස්ථානයෙන් ගුවන්විදුලි පණිවිඩයක් ලැබුනා, හෝර්ටන් තැන්නේ පස් වර්ග පිළිබඳ පර්යේෂණයක නියැලෙමින් සිටි, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂඥයකු අතුරුදහන් වී ඇති බවත්, ඔහුට කිසියම් අනතුරක් සිදුවී ඇති බවට සැක කරන බවත්, වහාම මේ ගැන සොයා බලන ලෙසත්.

  ඔන්න ඉතින් මට තවත් ‘මහා ක්‍රියාන්විතයක්’ සඳහා ‘ටිකට් එක ඇදුනා’. මම වහාම භට ඛණ්ඩයක් සුදානම් කරගත්තා. වාචික උපදෙස් ලබා දුන්නා කරන්නට යන ක්‍රියාන්විතය පිළිබඳව. (සුද්දා ලෝකාන්තයෙන් පහලට දෙරි ගහලානම් කරන්න දෙයක් නැහැ. ලෝකාන්තයට බහින්න බැහැනේ) කඹ, විදුලි පන්දම්, ආදී මෙකී නොකී දේවල් සුදානම් කරගන්නා අතර මට නියෝගයක් ලැබුණා නුවරඑළිය රෝහලෙන් ගිලන් රථයක්, වෛද්‍ය වරයකු සහ හෙදියකද රැගෙන යන ලෙස. රෝහලට ගියවිට කතාව අසා, අදි මදි ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තා. දැන් ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඕෆ් වෙලාය, ඇම්බියුලන්ස් (ඇඹුලස් :D) එකත් ලෙඩ වෙලාය, ආදී වශයෙන්. ‘හිතුවද මේක මගේ පුද්ගලික දෙයක් කියලා, එහෙනම් මම වාර්තා කරන්නම් යුද හමුදා රාජකාරි වලට සහාය දෙන්නේ නැහැ කියලා’ ආදී වශයෙන් මම ඉස්පිරිතාලේ දෙදරන්ඩ ගෝරනාඩු කලාම වැඩේ හරි ගියා. (අනේ ඒ කාලේ දොස්තරලා, නේස් මිසීලා, ඇඹුලස්  ඩැයිවරලා අද ඉන්න අය තරම් ‘දියුණු’ නැත. නැත්නම් මා කළ ‘අපහාසයට’ විරුද්ධව, මා අත්අඩංගුවට ගන්නා තුරු පිදුරුතලාගල කන්ද මුදුනට නැග ඉස්ටයික් කොරනවා සිකුරුය) 

  අනේ ඉතින් අන්තිමට සියල්ල ලැබුනේය. නේස් නෝනාගේ තනියට තප්පදෝරු ඇටෙන්ඩන්ට් නෝනෙක්ද ආවාය. ඔවුන්වත් රැගෙන කඳවුරට පැමිණි මම, ඔවුන්ගේ බය ඇරෙන පරිදි නැවත කතාකර, උණුවෙන් කිරිතේ කෝප්පයක්ද දී වැඩේට සුදානම් වුනෙමි. (නේස් නෝනා නම් ‘නෝනා මගෙ නර්ස් නෝනා’ වගේ ලස්සන එක්කෙනෙක් බව අදටත් මතකය.  😀 දොස්තර මහත්තයා කළුම කලුය. ඒ මදිවට බුකවාගෙනම හිටියේය 😀 :D) දැන් මේ මහා හමුදාවටම රෑ කෑම දී, අතිරේක වශයෙන් හමුදා ආහාර පැකට්, (field ration packs) වතුර, ආදී සියල්ල සුදානම් කරගෙන යුද්ධයට පිටත්වනවිට රාත්‍රී 8.00 ට ආසන්න විය.

   නුවරඑළියේ සිට රාත්‍රියේ හෝර්ටන් තැන්නට යාම ඒ කාලයේ ඉතා භයානක ක්‍රියාවකි. මීදුම නිසා පාර නොපෙනේ. සමහර තැන්වල ඇති ප්‍රපාතයකට වාහනයක් පෙරලුනොත්, පත්තරේ දාන්න වෙන්නේ, පෙරලුනා නොව, පෙරළෙමින් තිබේ කියාය. 😀 ඒ ප්‍රපාත එතරම් ගැඹුරුය. මීදුම තිබෙන තැන් වලදී, සොල්දාදුවන් දෙදෙනෙකු, වාහනයට ඉදිරියෙන් පාරේ දෙපැත්ත පෙන්වමින්, පයින් ගමන් කරයි. වාහනය යායුත්තේ ඔවුන් යන වේගයටය. එපමණක් නොව, බොහෝ තැන්වල පාරක් නැති තරමට පාර අබලන්ය. පාරේ පළල, අපේ ට්‍රක් රථයේ ටයර් වල වල පරතරයට වඩා අඩු යයි සිතෙන තැන්ද ඇත. ඒ මදිවාට කිසිම වාහනයක රෝද හතරටම යාන්ත්‍රණ ජවය (four wheel) තිබුනේ නැත. මම ගමන් කළ ජීප් රථයේ ඒ පහසුව අබලන් වෙලාය. ඉස්පිරිතාලයේ කට්ටිය ‘ඇඹුලස්’ එකේය. අපේ තඩි ටාටා ට්‍රක් එක, එය පදවන රියදුරාගේ හිතේ හයියෙන් එළවනවා මිස, මෙලෝ යකෙකුට කරන්නට බැරි භයානක වැඩකි.

  අඹේවෙල ප්‍රදේශය පසු කරද්දී මට හිතුනේ හෝර්ටන් තැන්නේ අඩි පාරවල්, සතුන් යන මාවත්, ආදිය දන්නා අයකු (tracker) සොයාගතහොත්, අපේ කාර්යය පහසු වන බවයි. සංචාරකයන්ට මග පෙන්වන (සමහර විට හොරෙන් දඩයම් එහෙම කරනවද දන්නෙත් නැහැ) එවැනි පුද්ගලයන් ඒ ප්‍රදේශයේ සිටින බව මම කලින් අසා තිබුනා. අසළ නිවෙස් හත අටක දොරවල් නොකඩා තඩිබා, මිනිසුන් අවදි කරවාගත් පසු යන්තම් ට්‍රැකර් කෙනෙක් අල්ලා ගැනීමට අපි සමත්වීමු. මම ඔහුගෙන් සුද්දාගේ කතාව ඇහුවත්, අද දවසේ තමන් හෝර්ටන් තැන්න පැත්තේ නොගිය බව ඔහු කීවේය. ඔහුව මගේ වාහනයට දමාගෙන පිටත්වීමි. කොහොමින් කොහොම හරි රාත්‍රී 10.00 පමණ වනවිට දේව කරුණාවෙන් හෝර්ටන් තැන්නට ලඟාවීමට අපට හැකිවිය. 100 – 200 අතර ගෝන්නු රංචුවක් අප පිළිගැනීමට මෙන් හෝර්ටන් තැන්නේ රැඳී සිටියා මතකය. (අද හෝර්ටන් තැන්නේ ඉන්න මොඩ් ගෝනුන් මෙන් ලඟට එන්නේ නැත. සමාජ ආශ්‍රයක් නැති, ඔරිජිනල් කුලෑටි ගෝන්නු ය) එදා රෑ හෝර්ටන් තැන්න හිමාලය මෙන් තමයි මට දැනුනේ. ඒ හීතල ඇඟේ ඇටකටු දක්වා කිඳා බසින මහා කාලකන්නි හීතලකි. ඒ කාලයේ හෝර්ටන් තැන්නේ තිබුන ‘ෆාර් ඉන් – Farr Inn’ හෝටලයට විදුලි බලය ලැබුනේ කුඩා ජනක යන්ත්රයකිනි. රාත්‍රී 8.00 ට පමණ එය නිවා දමන අතර ඉන්පසු අත්‍යවශ්‍යම තැන්වල පමණක් ආලෝකය සපයා තිබුනේ, අපි කුඩා කළ අපේ නිවෙස්වලද පාවිච්චි කළ, නොම්මර 21 ඇලඩින් ලාම්පු වලිනි. 

  හෝටලය තිබුනේ සම්පුර්ණ අඳුරේ මෙනි. අපේ භට පිරිස වහාම ට්‍රක් රථයෙන් බැස යුද්ධයට සුදානම් වුහ. ඒ අතර හෝටලයේ කොනක කුඩා එළියක්‌ දුටු මම එහි ගියෙමි. චිමිනි ලාම්පුවක් දල්වාගත් මුර කරුවකු අපේ වාහන වල හඬින් තුෂ්නිම්භූතව බලා සිටියේය.  සෙබළකු ලවා මා වෙත ගෙන්වාගත්  ඔහුගෙන් මා වහාම ඇසුවේ හෝර්ටන් තැන්නේ අතුරුදහන් වූ සුද්දාට මොකද වුනේ කියයි. ‘මාත්තියා ඒක මැනේචර් තමා යින්නවා’ කියා අතුරුදන් වූ ඔහු විනාඩි 10 කින් පමණ හෝටලයේ කළමනාකරු සමග පැමිණියේය. මම වහාම සුද්දා ගැන සුද්දාගේ බාසාවෙන්ම ඇසුවෙමි. ‘ඇයි ලෙෆ්ටිනන්ට් කොළඹින් ආව හෙලිකොප්ටර් එකකින් එයාව අරන් ගියානේ හවස 6.00 ට විතර’ ඔහු සුද්දාගේ බාසාවෙන්ම කිව්වේය.

  %^&*$#!~*  අනේ මට හිතුන දේවල්, කටට ආව දේවල්, මෙතන ලියන්නට බැරිය. (පවු අර මිසී, හොඳ වැඩේ මට ගෙම්බර් දාන්ඩ ආපු දොස්තරයට :D)

  සිදුවී තිබෙන්නේ මෙයයි. ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ සුද්දා අතුරුදන් බව හෝටල් කළමනාකරු විසින් තීරණය කර තිබෙන්නේ සවස 2.00 ට පමණය. එයට හේතුව සුද්දා එදින දවල් 12.00 ට ෆාර් ඉන් හෝටලයෙන් යන බව හෝටලයට කියා තිබීමයි. සුද්දා එදා උදේ ටිකක් ඇවිදින්නට ගියත්, 1.00 පසුවීත් ආපසු පැමිණ  නැත. හෝටලයේ කළමනාකරු සුද්දාව හෙව්වත් හමුවී නැත. කළමනාකරු අඹේවෙලට පැමිණ, එකල රජයට අයත්ව තිබුණු, (දැන් පෞද්ගලික අංශයට වැඩිපුර අයිති, එමෙන්ම හොරෙන් විසිකරන්නට සහ ඌරන්ට බොන්නට දෙන්න තරම් කිරි තිබෙන, කාටවත් බලන්නට ඉඩ නොදෙන) පිටි කිරි කම්හලෙන්, කෙලින්ම කොළඹ පිහිටි තම හෝටලයේ ප්‍රධාන කාර්යාලයට දුරකථන මගින් තත්වය වාර්තා කර ඇත.

  (ඒ කාලයේ කෙලින්ම ඇමතුම් ගැනීම (direct dialling) තිබුනේ නැත. ඇමතුමක් ගැනීමටනම්, මුලින්ම 0 කරකවා, (බොත්තම් ඔබන දුරකථන තිබුනේ නැත) දුරකථන පණිවිඩ හුවමාරු ස්ථානය telephone exchange අමතා මගේ අංකය මෙයයි, මට අහවල් ප්‍රදේශයේ අහවල් අංකයට, කතා කළයුතුයයි කිව යුතුයි. බොහෝවිට ලැබෙන්නේ පැයක් නැත්නම් දෙකක් පමණ ප්‍රමාද වනවා යන පිළිතුරයි. ඇත්තටම අද කාලයේ කුමක් හෝ දෝෂයක් නිසා එහෙම කරන්න වුනොත් මිනීමැරුම් කීයක්‌ සිදුවෙයිද? :D) 

  හෝටලයේ ප්‍රධාන කාර්යාලයෙන් කොළඹ පොලීසියට, පොලීසියෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ කාර්යාලයට, (හොඳ වෙලාවට සුද්දා අතුරුදන් වීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියා ඒ කාර්යාලය ඉදිරිපිට, රෑට හොරෙන් හොරෙන් කෑම කමින්, උපවාස කරන්න බූරුවංශලා එකල නොසිටියෝය :D) එතනින් ආරක්ෂක අමාත්‍යංශයට, එතනින් හමුදා මුලස්ථානයට, එතනින් අපේ කඳවුරට පණිවිඩය ගොස්, අපි අර අන්ධභුත නාට්‍යය රඟපාන අතරේ, හෝටලයේ පිරිසක් ට්‍රැකර් කෙනෙකු සමග හෝර්ටන් තැන්නේ ඇවිද, ගමනේදී ඇදවැටී,  කකුලක් ඇමැට්ටි වී, ඇවිද ගැනීමට නොහැකිව අතරමංව සිටි සුද්දා හමුවී ඇත. ඒ පිරිස සුද්දාවත් රැගෙන වහාම ආපසු හෝටලයට පැමිණ, යලිත් අඹේවෙලින් කොළඹට කතාකර, සුද්දා හමුවූ බව කියා ඇත. ඒ පනිවිඩය අර දීර්ඝ ජාලය දිගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ගිය පසු, රජයේ අනුග්‍රහයෙන්, එදින අවසන් ආලෝකයට මොහොතකට පෙර, (just before the last light of the day) (ඉර බැස ගියානම්, හෙලිකොප්ටර් බැස්සවීමට බැරි වන අතර, සුද්දාට ‘අපේ වීර චාරිකාව’ 😀 එහි ලඟා වනතුරු ඉන්නට සිදුවෙනවා) සුද්දාව රැගෙනගොස් ඇත. ඒ බව අපිට දැනුම්දී, අපේ මහා ක්‍රියාන්විතය නවත්වන ලෙස දැනුම් දීමට තරම්, අර ලොකු මහත්වරුන්ගේ මස්තිෂ්ක කුහරය තුල බුද්ධිය කැටිවී නොතිබුණි.

  ‘ෆාර් ඉන්’ කළමනාකරු අපට කිරිකෝපි සංග්‍රහයක් පැවැත්වීමට තරම් කාරුණික විය. ඊට වඩා ‘ලොකු සංග්‍රහයක්’ මට දෙන්නට සුදානම් වුනත්, රාජකාරියේ යෙදී සිටින නිසාත්, ආපසු ගමන යායුතු නිසාත්, එය කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි. (දුකේ බැරුවා, මොනවා කොරන්ටද, රාජකාරියනේ ලොකු :D) 

  ගුවන්විදුලි මගින් කඳවුර ඇමතු මම තත්වය වාර්තා කලෙමි. ‘එන්න අමාරුනම් එලිය වැටෙන තුරු ඉඳලා එන්න’ යයි කඳවුරෙන් උපදෙස් ලැබුණි. නමුත් අපි සියලු දෙනාට අවශ්‍ය වුනේ, ඒ දරුණු සීතලෙන් මිදී, හැකි ඉක්මණින් ආපසු ඒමටය. අළුයම 2.30 ට, මේ ‘මහා ක්‍රියාන්විතයේ’ 😀 අවසානය දැක, මගේ ඇඳේ උණුසුම් පොරෝනය යට ගුලිවීමට තරම් මම වාසනාවන්ත වුයෙමි.

Advertisements

Comments on: "තවත් පුංචි කතා දෙකක්" (72)

  1. 1 – තව පොඩ්ඩෙන් සතුරා විචාරක මාමාව කුදලගෙන තමා යන්නේ 🙂

    2 – අපරාදේ අප්පා සංග්‍රහය

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • කොහොමද සතුරා ඇවිත් මගේ ලඟින්ම ඉඳගෙන කමුද මුදලාලි බුලත් විටක් කිව්වනම්? 😀

      මොනවා කරන්නද. නිල ඇඳුමෙන් හිටිය නිසා සංග්‍රහය එපා කියන්න වුනා.

  2. නියම කතා දෙක. 🙂 කෙටි උනත් ඉස්සෙල්ල එක තමයි හොඳ. හැබෑටම අර සොල්දාදුවට මොලයක් තිබුනෙ නැද්ද තමුන්ගෙ උසස් නිලධාරියා විශේෂ රාජකාරියක යෙදිල ඉන්න බව තේරුම්ගන්න.

    • සමහර සොල්දාදුවො තමන්ගේ නිලධාරියා හෙළුවෙන් හිටියත් සැලියුට් එකක් ගහලා සර් කියනවා. 😀

      • එක අතකට අඳුනගත්ත එකත් හොඳයි. බැරිවෙලාවත් සැකකාරයම ඇවිල්ල ෂොට්එක දුන්නනං ඉවරයිනෙ.

        • මේ ටික මම නොලියන්නයි හිටියේ. කමෙන්ට් එකට උත්තරයක්‌ ලෙස ලියන්නම්. ඒ පුද්ගලයා, කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල, ගොටුවල ප්‍රදේශයේ පිහිටි, සුප්‍රසිද්ධ අහස් හතේ පාලම හෙවත් ආරුක්කු හතේ පාලම (දෙමෝදර පාලම කියන චිත්‍රපටියේ තිබෙන) අසල, මා යොදා තිබුන රැක සිට පහරදීමේ කණ්ඩායමක ප්‍රහාරයකින් මරුමුවට පත්වුනා. ඒ වෙලාවේ ඔහුගේ අතේ මිමී 9 පිස්තෝලයක් සහ අත් බෝම්බ දෙකක් තිබුනා.

      • මෙන්න වැඩ..

  3. ක්සැන්ඩර් | Xander said:

    අපොයි අර වෙස්වලාගෙන හිටි වෙලේ නම් අර සෙබලා කන්න හිතෙන්න ඇති නේද? ඇයි දෙයියනේ.. එකා සේරම ප්ලැන කාලා නේ.

    නුවරඑලිය මහා රෝහල ගැන කියද්දී මට මතක්වෙන්නේ මගේ නෝනා. එයත් ඔය ඉස්පිරිතාලේ අද නර්ස් කෙනෙක් විදියට වැඩ. 🙂

    • කෑවා නෙවෙයි ඒකා මාව වැනසුවා.

      නුවර එලිය රෝහල පෙදෙසේ ඇඟළුම් කම්හල් තියන හන්දියට අපේ සොල්දාදුවො කියන්නේ ‘වැලපෙන හන්දිය’ කියලා. ඇඟළුම් කම්හල් ඇරිලා සේවිකාවන් එනතුරු සොල්දාදුවො වැලපෙමින් ඉන්නවා ඔය හන්දියට වෙලා. 😀

  4. (//අනේ ඒ කාලේ දොස්තරලා, නේස් මිසීලා, ඇඹුලස් ඩැයිවරලා අද ඉන්න අය තරම් ‘දියුණු’ නැත. නැත්නම් මා කළ ‘අපහාසයට’ විරුද්ධව, මා අත්අඩංගුවට ගන්නා තුරු පිදුරුතලාගල කන්ද මුදුනට නැග ඉස්ටයික් කොරනවා සිකුරුය)// හෙහ්..හෙහ්..!!

    ඔබ නම් මැදිවිය ඉක්මවූවෙකියි..කීවත් මටනම් හැ‍ඟෙන්නේ නැත. ලියා ඇති ආකාරය ඒ තරම් අපූරුය.
    //තේ වලට වැඩිදෙයක්//…අය්යෝ අපරාදෙ නේද…! පස්සෙ වෙලාවක යන්න තිබ්බෙ.

    • හැබෑටම දැන් එහෙම ඉස්පිරිතාලෙකට ගිහින් එහෙම කතාකලොත් වෙන්නේ, මටම කියාගන්න වෙනවා, මම යනවා මතක නැත, යන්නට ඇතිය, නමුත් ගියාට පස්සේ මොකද වුනේ කියලා මතක නැත. කියලා 😀

      මම දැක්කා දෙන්න යන දේ. VAT 69 පපුව කඩා වැටුනා බොන්න බැරිවීම ගැන. ඒ කාලේ එව්වා රත්තරන් වටිනවා. ළඟ තැනක් වුනානම් පස්සේ යන්නත් තිබුනා.

  5. කතා දෙකම අපූරුයි විචාරක. ඉඳහිට මෙහෙම අතුරුපසත් දෙන එක හොඳ අදහසක්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  6. පලවෙනි කතාව කියෙව්වහම නන්දසේන රත්නපාල මහාචාර්ය තුමා හිඟන්නෙක් විදියට වෙස් වලාගෙන හිටියාය කියන කතාව මතක් වුනා. ගෝලයෝ, පවුලේ අය පවා අඳුරා ගත්තේ නැති වුනත් විශ්ව විද්‍යාලයේදී නිතර කෑම දීලා හිතවත් වුන බල්ලෙක් එතුමාව අඳුරා ගත්තලු.

    කොහොම වුනත් අවස්ථා දෙකේදීම දන්න කියන වචන මදි වෙන්න ඇති හිතේ කේන්තිය පිට කර ගන්න.

    බොහොම රසවත්ව ලියල තියෙනවා. වෘත්තීය ජීවිතේ කතා සාගරයක් ඔබ තුමා ළඟ ඇති.. ඉදිරියේදී ඒවා කියවන්නත් ලැබේවි කියල හිතනවා.

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. නන්දසේන රත්නපාල මහතාගේ විස්තරය මමත් කියවා තිබෙනවා. ලෝකය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඒ විස්තර ඉතාම වටිනවා.

      වෘත්තීය ජීවිතයේ කතා නම් ගොඩක් තියනවා. ඒවා සංස්කරණය කරලාවත් ලියන්න බැරි තරම් වැඩිහිටියන්ට පමණයි 😀

  7. ඒ වුනාට විචාරක මහත්මයා හමුදා විනය අනුව නිලධාරියෙක් දැකලත් නොදැක්ක වගේ ගියා කියල අර සොල්දාදුවට පස්සෙ පනිෂ්මන්ට් නැත්ද, මිනිහ ඒ බයට වෙන්න ඇති කතාකරන්න ඇත්තෙ, නිල ඇඳුමෙන් හිටියත් නැතත්.

    ෂා … අර හෝර්ටන් තැන්නෙ ට්‍රිපනම් මාරයි ඈ ….. අපිට කොහෙද එහෙම වාසනාවක්, ගියා බැලුව පරිස්සම් ඇතිව ආව. එහෙමද ත්‍රාසය භීතිය කුතුහලය රැගත් අර වගේ වීර චාරිකාවක්. 😀

    • කරුමේ කියන්නේ, ඔලුවේ තුවායක් බැඳලා, සරමයි බැනියමයි ඇඳලා, ඉන්නකොටත් ඒකා මාව අඳුනගත්ත එකනේ. 😀 ඔයා කියන දේ තමයි මිනිහට හිතෙන්න ඇත්තේ.

      අර ට්‍රිප් එක ඔන්න ඉතින් අර නේස් මිසී එක්කවත් යන්න තිබුණා නම තමයි වටින්නේ. 😀

  8. එදා සීගිරියේ බිතු සිතුවම් බලන්න ගිය අය සටහන් තබා ගිය කුරුටු ගී කියවන්න ලැබුනා වගේ මෙදා විචාරකගේ සටහන් අද අපිට විතරක් නෙමෙයි අනාගතයේ දවසක දරුවන්ටත් කියවන්න මෙහෙම සටහන් වෙනවා නේද?!!!!

  9. හමුදා ආහාර ගැන දැන ගන්න කැමතියි. (Field ration)

    • යුද හමුදාවක් ක්‍රියාන්විතයක යෙදී සිටිනවිට සෑම විටම ඔවුන්ට පිසින ලද ආහාර දෙන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. දරුණු සටන් අස්සේ ආහාර ප්‍රවාහනයට ඉඩක් නැහැ. ඒ වගේමයි මුණ කට හෝදලා, ගහක් යට ඉඳගෙන, බත් මුලක් ලෙහාගෙන කන්න ලැබෙන්නේ නැහැනේ සටනේ යෙදී සිටින අතරතුර. ඉතින් සොල්දාදුවාව බඩගින්නේ තියන්නත් බැහැනේ. (එහෙම වෙන අවස්ථාත් තියනවා) යුද බිමේදී පාවිච්චි කරන්න තියෙන්න ඕනේ, වෙඩි තියන ගමන්ම, ටක් ගාලා කටට දාගන්න පුළුවන් විදිහේ කෑම. ඒ සඳහා තමයි තමන්ගේ පිටේ තියන ඔලොගුවේ දාගෙන යන්න පුළුවන් විදිහට සලාක මලු හදලා තියෙන්නේ. මේවා පැය 24, පැය 48, පැය 72, ආදී වශයෙන් සකස් කර තිබෙනවා. අද තිබෙන සමහර සළාක පැකට්, වාතයට නිරාවරණය කල විට, උණු වතුර ස්වල්පයක් දැමුවිට, ස්වයන්ක්‍රීයව රත්වී, බත්, එළවලු, කුකුළු මස්/මාළු, සහිත රසවත් ආහාර වේලක් ලබා දෙනවා. ඒවා කලින් උයා වියලි තත්වයට පත්කළ ඒවා. ඊට අමතරව, චීස්, බිස්කට්, රටඉඳි, චොක්ලට්, ග්ලුකෝස්, වැනි දේවල්ද අඩංගු වනවා. දින ගණනක විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන කමාන්ඩෝ, විශේෂ බලකා, වැනි සෙබළුන්ට ලබාදෙන අධි පෝෂණ විශේෂ චොක්ලට් වර්ගයක් තිබෙනවා. එයින් කෑල්ලක සම්පුර්ණ ආහාර වේලක අඩංගු පෝෂණය (කැලරි ප්‍රමාණය) තියනවා.

      • එවැනි අහාර සාමාන්‍ය වැසියන්ට ලබා ගැනීමට හැකියාවක් තියෙනවද.
        ඔබගේ කතා දෙක කෙටි වුනත් බොහොම රසවත්. හෝර්ටන් තැන්නේ හා නුවර එළියෙහි කටුක සිතල මමත් කිහිප වතාවක්ම විද තිබෙනවා. මුල දවස් කිහිපයෙහි පමණයි එය සුන්දර බව දැනෙන්නේ.
        තවත් මෙවැනි රසවත් රාජකාරි අත්දැකීම් අප හා බෙදා ගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා.

        • සමහර විට අපේ රටේ සුපිරි වෙළඳසල් වල එවනි ආහාර පැකට ගන්න ඇති. වෙනත් රටවල, දුෂ්කර ප්‍රදේශවල සංචාරය කරන්නන් සඳහා, මෙවැනි ආහාර පැකට් මිලදී ගැනීමට තිබෙනවා.

          කතා දෙක ඇගයීම පිළිබඳව ස්තුතියි. ඉදිරියේදීත් තව කතා ලියන්නම්.

      • යුද බිමේ නෙමෙයි කඳවුරේ සහ නැව්වල තියෙන සංග්‍රහ ගැන දවසක ලියන්නකෝ … ඒවා මතක් වුනාම කටට කෙළත් උනනවා.

      • බොහොම ස්තූතියි දැනුවත් කළාට.

  10. අහම්බෙන් මේ ඉසව්වට ගොඩ වැදුනෙමි. පළමු ඡේදය කියවාගෙන යද්දි මෙය ලියන්නේ කවරෙක්ද යන කුහුල මා සිතෙහි ඇති විය.
    විචාරක යන හැඳින්විම කියැවීමෙන් තරමක් දුරට ඔබ කවරෙක්ද යන්න අනුමාන කෙළෙමි. එහෙත් ලිපියෙ හි බසෙහි දොස් වෙත්.කම් නැත.
    අද සරසවි මහැදුරෝ ද මෙවන් වැරැදි කරත්. බස ගැන දෙඩූයේ විචාරක සටහන කියැවීමෙන් සිතේ උපන් සොම්නස නිසාම යැ.
    ලියැවිලි දෙකම පංකාදු ය.නූතන උපමා උපමේය ඉස්තරම් ය. සැබැවින්ම ඔබ රටට වටින මිනිසෙක් ය.
    යුද රහස් සුරකින්න. අදට එපමණකි.

    විවේචනයට නොව ඔබ බසට ලැදියෙක් නිසාවෙන් සදොස් තැන් කීපයක් පමණක් පෙන්වා දෙමි

    මේවා වැරැදිය – කෙලින්ම, තුල, පනිවිඩය,කෙලින්ම, තත්වය, ලඟාවීමට,යලිත්

    • කෙළින්ම, තුළ, පණිවිඩය, තත්ත්වය, ළඟාවීම, යළිත්, යනුවෙන් යතුරු ලියනය කරන්නට මා දැනට යොදාගන්නා මෘදුකාංගය සෑම විටම ඉඩ නොදෙයි මහතාණෙනි. එසේ කිරීමට නම් වෙනත් මෘදුකාංගයක් වෙත ගොස්, එහිදී ලියා, කපා, ගෙනැවිත් මෙහි ඇලවිය යුතුය. මහා කරදරයකි. එමතුදු නොව,සඤ්ඤක යන වචනය හෝ ඒ හා සබැඳි අකුරු නිසි ලෙස යතුරු ලියනය කිරීමටද ඉඩ නොලැබීමෙන්, බ්ලොග් අවකාශය තුළ මෙවැනි නිරීක්ෂණයන්ට ලක්වූ අවස්ථා අපමණයැ. ඔබ වැන්නෝ ශික්‍ෂිත බසින් වැරැදී පෙන්වා දෙති. එහෙත් ඉවසීම නැත්තෝ උපහාසයෙන් නොනැවතී අපහාසයටද බට අවස්ථා නැත්තේම නොවේ. වන්නාටය. මම ඉවසමි. පරිගණක තාක්ෂණයේ කෙළ පැමිණියකු නොවන බැවින්, තැත් වරද න්‍යාය අනුව ලියමි. (න්‍යාය යන පදය නිසි ලෙස ලිවීමට නොහැකිවී ඇති සැටි බලනු මැනැවී)මගේ නිමැවුම් අගැයීම පිළිබඳව හදවතින්ම කුළුණු බව පළ කරමි. දුන් උපදෙස් පිළිපදිමි. මතුදු මෙහි එන ලෙස ඇරැයුම් කරමි.

  11. විචාරක තුමා … මේ රම්බෝ පිහියෙන් කරන්න පුලුවන් දේවල් ගැන පොඩ්ඩක් විස්තර කරන්න බැරිද ? (කොල්ල කන්න එහෙම නෙමෙයි ඔන්න)

    සර් ගුඩ් මෝනින් කිව්ව සෙබලට දඩුවමක් එහෙම දුන්නද ?

    අර නේස් නෝනා කිරි කෝපි බීලා කෙලින්ම ගෙදර ගියාද නැත්නම් ආරක්ෂක අංශ මගින් ගෙදරට ඇරලුවාද ? ඔන්න මට ඇතිවුන ප්‍ර‍ශ්න…

    • මේ පිහිය ගැන වෙනම කෙටි ලිපියක් ලියන්නම්.

      සෙබලාට දඬුවමක් දුන්නේ නෑ ඊටපස්සේ මම එකාව දැක්කෙත් නෑ.

      නේස් නෝනාගේ ගාඩ් එකට අර මුසල දොස්තරයයි, අර තප්පදෝරු ඇටෙන්ඩන්ට් නොනයි හිටියනේ. එහෙම නොවුනානම් ගෙදරටම ඇරලලා තමයි එන්නේ. 😀

  12. විචාරක් මහතා සර්ලොක් හෝම්ස් ගේම් වලටත් එන්ටර් වෙලා තියනවා එහෙනම්.. අපොයි අර ගොන් වහන්සෙ තව පොඩ්ඩෙන් ගම කනවා නේද ?

    අර සුද්දට ඔච්චර සැලකිලි ඌ එක්සත් ජාතින්ගෙ එකෙක් හින්දද නැත්නම් ඌ සුද්දෙක් හින්දද ? මම ඒකෙ ආසම කොටස අර පාන්දර 2.30ට පොරෝනය යට ගුලිවෙන්න ලැබුනා කියන එකට.. ඔහොම, තිබුන මහා වගකීමකින් එක පාරම නිදහස් වුනාම හිතට එන සැහැල්ලුව මාරයි.. ඒක කියන්ඩ වචන නෑ..

    • තව ඔයවගේ කරපු ‘ඔපරේෂන්’ තියනවා. පස්සේ කියන්නම්. අර ජෝකරයා වැඩේ කෑවා එදා.

      සුද්දා එක්සත් ජාතීන්ගේ නිසානේ ඔච්චර සැලකිලි. නුවරඑළියේ දී පාන්දර 2.30 ට හරිම සනීපයි. 😀 2.30 ට නිදාගත්තත් ආය 5.30 ට නැගිටිනවා. යාළුවො එනවා යමන් පී.ටී. කරන්න කියලා. ඉතින් වැව වටේ රවුමක් යන්න වෙනවා. හැබැයි ඒ වෙලාවට බොහොම ‘සුන්දර දේවල්’ හමුවෙනවා.

      • මුදියන්සේ said:

        මොනවද ඒ සුන්දර දේවල්? කැමතියි දැනගන්න

        • උදේට වැව වටේ ඇවිද යනවිට උදෑසනම රාජකාරියට යන ඇඟලුම් කම්හල් සේවිකාවන්, උදෙන්ම පාසල් යන සිසුවියන්, එහෙම හමුවෙනවා. ඒ වගේම ව්‍යායාමය සඳහා අපි වගේම ඇවිදින නෝනලාත් හමුවෙනවා. ඒ අයට ගුඩ් මෝනිං කියන්න අපේ සමහර නිලධාරීන් සැදී පැහැදී ඉන්නේ. සමහර නෝනලාගේ පෙනුම, හැසිරීම, කතාබහ, අනුව දාපු නම් තිබුනා. ටකරම, පුවක් ගහ, ඩොසරේ, චීන බුකුං, දැන් මට මතක නැහැ.

  13. මළ පනින්ට ඇති අසූහාරදාහට…

    පළවෙනි කතාව කිව්වම මතක් උනේ… කෙඩෙට් කාලේ නිවාඩුවට ගෙදර ගියාම අම්මටයි අප්පච්චිටයිත් “ඉයස් සර් ඉයස් ස්ටාෆ්” කියලා කියවෙච්චි වෙලාවලුත් තිබුනා…

    • එක සොල්දාදුවෙක් නිවාඩු ගිහින් ගෙදර ඉන්නකොට අම්මට කිව්වලු අම්මේ ඩබල් එකේ මට තේ එකක් දෙන්න කියලා. අම්මා එයාට තේරුණා විදිහට තේ කෝප්ප දෙකක් ගෙනාවලු. 😀

  14. මුදියන්සේ said:

    ඩූඩ් කිව්වා වගේ මේ අතුරුපස හරි රහයි අයියේ,

    ඔය වැඩිහිටියන්ට පමණයි එවුවා බරිද 18+ ලේබල් එකක් ගහලවත් දාන්න

    • මම දන්නා වැඩිහිටියන්ට පමණයි ඒවා 18+ නෙවෙයි 45+ විතර තමයි ලියන්න වෙන්නේ. නමුත් මේ බ්ලොග් අඩවිය වෙනුවෙන් මම මටම පනවාගෙන තියන වාරණ නියෝග නිසා ඒ කතා කවදාවත් එලියට එන එකක් නැහැ.

  15. මට නම් අර පණිවිඩය නොදුන්න නිලධාරියන්ට බනින්න හිතෙන්නේ නැත.. එසේ නිසි වෙලාවට පණිවිඩය දුන්නා නම් අද මේ බ්ලොග් එකේ එක රස කතාවක් අඩු වෙන්න තිබුනානේ.. අන්න දැන් දැන් අපේ බාසාවෙන්ම ලියනවා !!

  16. පළමුවෙනි කතාව නම් මම දකින්නෙ වෙනස් විදිහකට..

    විචාරක මහත්මයා අච්චර හොඳට වෙස්වලාගෙන සිටියදී ඒ වගේ දෙයක් සිදුවුන එක පුදුමයි.. ඇත්තටම මට මේ සිද්ධිය ගැන තියෙන්නෙ සැකයක්..

    මෙහෙම හිතමුකො අපේ රටේ ජනාධිපති ඔය වගේ හිඟන්නෙකුට වෙස්වලාගෙන පාරෙ අයිනෙ කානුවක ඉන්නවා.. අපි ටීවී වල ජනාධිපතිව කොච්චර දැකලා තිබුනත්.. අර හිඟන්නාව දැකලා අපි ළඟට ගිහින් ‘ආයුබෝවන් ජනාධිපතිතුමෙනි’ කියනවාද?.. කීයටවත් නෑනෙ.. අපි කියයි වැඩිම වුනොත් ‘අර හිඟන්නා ජනාධිපති වගේනෙ’ කියලා.. ඉතින් තමුන් හඳුනන උසස් හමුදා නිලධාරියෙකුගේ මුහුණුවර තියෙන වෙළෙඳෙකු ඉස්සරහට එන පුද්ගලයෙක් එකපාර ‘ගුඩ් මෝර්නින්ග් සර්’ කියයිද?

    අපි දැකලා පුරුදු කෙනෙක් වගේ කෙනෙක්ව දැක්කම කොහොමත් අපි එකපාරටම කතාවට යන්නේ නෑනෙ.. පොඩ්ඩක් හිනාවෙලා එහෙම බලනවනෙ.. ඉතින් එකපාර කතාකරා කියන එක පුදුමයි..

    මෙහෙයුම ලීක් වුනාවත්ද? අර අල්ලන්ඩ හිටපු සැකකාරයාගේ වුවමනාවට ඇවිත් මෙහෙයුම විනාස කළාද? කියන සැකය නම් මට තියෙනවා.. අනික මිනිහා බස් නැවතුම්පලටම ඇහෙන්න කෑගැහුවලුත්නෙ..

    ඒක පැත්තකට දාලා අපි හිතමුකො අහඹු විදිහට අඳුනාගත්තා හා අහඹු විදිහට කතාකළා කියලා… ඉතින් විචාරක මහත්මයාට කලබල නොවී වෙළන්ඳා විදිහටම ඉන්න තිබුනනෙ.. ‘ඇයි මහත්තයො මට සර් කියන්නෙ’ කියලා බුලත් කෙලපාරක් එහෙම ගහලා කතා කරන්න තිබුනනෙ.. එහෙනම් වැඩේ ගොඩ..

    ස්නයිපර් 4 කොටසේ ප්‍රශ්න පත්තරය බලාපොරොත්තු වන්න.. 🙂

    • ඒ සොල්දාදුවා කාලයක් මාලඟ වැඩකලා. මාව නිරුවතින් විතරයි වෙන්න ඇති දැකලා නැත්තේ. මගේ කෑමබීම, ඇඳුම පැළඳුම්, අනෙකුත් බොහෝ කටයුතු සඳහා ඔහු තමයි ආවතේව කරු ලෙස ක්‍රියා කලේ. ඒ නිසා මම මොන විදිහට හිටියත් අඳුන ගන්නවා. මම කල වැරදි වැඩේ මිනිහා මගේ දෙසට එමින් සිටියදී ඔහුගේ අවධානයට ලක්වන පරිදි එකවර නැගිටීමයි.

      • ඒකනෙ කියන්නෙ බලන් යනකොට ඒ සෙබලට බැනලා වැඩක් නෑ… 🙂
        විචාරක නළුවානෙ කලබල වෙලා තියෙන්නෙ..

  17. රථයක් පෙරළෙමින් තිබේ.. මරු කතාව.. හෝර්ටන්තැන්න පැත්තේ ගිය කාලයක් මතක නැහැ.. මයේ හිතේ අන්තිමට ගියේ අවුරුදු 15 කට විතර කලින් වෙන්න ඇති..
    ඔබ තුමාගේ මේ වගේ පොඩි කතා/ පරණ කතා වල නියම රසයක් තියෙනවා.. ලේඛණ ශෛලීය උපරිමයි…

    • සමහර ඒවා මතක නැහැ. යන්න ඕනේ පරණ සගයෝ ටිකක් හොයාගෙන. එතකොට කතා ගොඩක් නැවත මතක් කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි ඇගයීමක් කලාට.

  18. රංගනයෙක් තවත් ඉදිරියට යන්න පුලුවන්කමක් තියෙනවා වගේ 🙂

  19. කොහොමත් ඔයාට ගරු කරපු කොල්ලගේ අතින් වැරදුනත් එය කලේ එයාගේ නිහතමානී කමට. පස්සේ ඔබ තුමා එයට කිව්වේ නැද්ද මෙහෙම දෙයකටය් අවේ කියල? කතා දෙකම ඉතා රසවත්. ස්තුත්ය්

  20. ඇනෝපිලිස් said:

    හරිම රහයි…. ඔන්න ඔහේ ඕන බනිස් ගෙඩියක් වෙන්න කියල ඉතිරි කතා ටිකත් දාන්න….

  21. කතා දෙකම ලස්සනයි. මම මේ කල්පනා කලේ ඒ කාලේ කරලා තියන වැඩ කියලා… 🙂

  22. පොඩි ප්‍රශ්ණයක්: ලංකාවේ හමුදාවේ airborne වගේ පාඨමාලාවක් ‍තෝරගන්න CR හෝ SF ඉන්න ඕනද?

    • පාඨමාලාවේ නම මූලික පැරෂූට් පාඨමාලාව. ඒ සඳහා කාලීනව අයදුම්පත් කැඳවනවා පාබල ඒකක වලින් තමයි වැඩි දෙනෙක් තෝරාගන්නේ. ඔබ කියන රෙජිමේන්තු වලට වැඩි විශේෂත්වයක් දෙනවා නොවෙයි. ඔවුන්ට බොහෝවිට එය අනිවාර්යයෙන් කරවනවා. මූලික පාඨමාලාවේදී ශාරීරික යෝග්‍යතාවයෙන් සමත් වුනොත් පාඨමාලාව දිගටම කරගෙන යා හැකියි. පාඨමාලාව සමත් වුනොත් Airborn ලාංඡනය අඳින්න පුළුවන්.

      • ස්තූතියි! ඒ පාඨමාලාව ඉවර කළායින් පස්සේ මොකක් හරි වෙනම ඒකකයකට දානවද නැත්නම් ඉන්න ඒකකයේමද ඉන්නේ? ගුවන් සංග්‍රාමික සේනාංකයේ ඉන්නේ පැරෂුට් පාඨමාලාව කරපු අයද? ගුවන් සංග්‍රාමික සේනාංකයේ ක්‍රියාකාරීත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

        • ඒ පාඨමාලාව අවසන් කිරීමෙන් පසු විශේෂ ඒකකයකට ඇතුලත් කරන්නේ නැහැ. ඒ පාඨමාලාවේ පරමාර්ථය පාබල සොල්දාදුවකු අවශ්‍ය අවස්ථාවකදී පැරෂුට් මගින් යුද බිම වෙත යොමු කිරීමයි. ගුවන් සංක්‍රමණික සේනාංකයේ ඉන්න සියලු දෙනාම පැරෂුට් පාඨමාලාව කල අය නෙවෙයි. ඔවුන් හදිසි අවස්ථාවකදී ගුවන් මගින් තැනින් තැනට ගෙනගොස් ගුවන් තොටුපලකින් බැස යුද බිමට යාම,පැරෂුට් මගින් හෝ හෙලිකොප්ටරයේ සිට පහතට එල්ලෙන කඹ මගින් බිමට බැසීම, කරනවා. ඔවුන් කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණු සොල්දාදුවෝ.

      • ආයෙමත් ස්තූතියි විස්තර වලට! 🙂

  23. //මට මේ මෑතකදී හිතුන දෙයක් හැමදාම ශාස්ත්‍රීය නොවී සරල වෙන්නත් ඕනේ කියන එක//

    ඒ කෑල්ලට මම හරිම කැමතියි

    හාහා දැන් වීවේක ගත්තා ඇති අනිත් ලිපිය අනිත් ලිපිය

  24. තවත් ප්‍රශ්ණයක්, ස්වෙච්චා හමුදාවේ ඉඳලා නිත්‍ය හමුදාවට මාරු වෙන්න පුළුවන්ද? ඒ වගේම ස්වෙච්චා හමුදාවට බැ‍ඳෙන්න තියෙන වයස් සීමාව නිත්‍ය හමුදාවට තියෙන සීමාවමද? (18-22)

    • ස්වේච්ඡා හමුදාවේ සිට නිත්‍ය හමුදාවට මාරු වෙන්න පුලුවන්. එතැනදී වයස් සීමාව බලපාන්නේ නැහැ. නමුත් විශේෂ දක්ෂතා මත තමයි මාරුවීමක්‌ දීම සලකා බලන්නේ. සාමාන්‍යයෙන් ස්වේච්ඡා හමුදාවට බඳවාගන්නේ වයස 18 – 27 පමණ සීමාවේ.

      • විශේෂ දක්ශතා කිව්වේ academicද, physical පැත්තෙන්ද නැත්නම් overallද? ස්වේච්ඡා හමුදාවට යනකොට නිත්‍ය හමුදාවට බලන සුදුසු කම් වලට අමතරව වෙනත් සුදුසුකම් බලනවද?

        • සෑම අංශයකම දක්ෂතා බලනවා. අමතර සුදුසුකම් ලෙස සැලකෙන්නේ ඒ සොල්දාදුවා හෝ නිලධාරියා විසින් විශේෂයෙන් පෙන්වන දක්ෂතා. (වෙඩි තැබීම, ක්‍රීඩා, වැනි)

  25. කතා දෙකම රසවින්දා.
    විචාරකතුමා, මට නම් වැඩියෙන්ම හිත ගියේ මහ රෑ සුද්දා හොයන්න ගිය මෙහෙයුමට… මේ වගේ අත්දැකීම් සම්භාරයක් ඇතිනේ ඔබතුමා ළඟ. පස්සේ වෙලාවක කියවන්න බැරි වුනු අනෙක් ලිපිත් කියවන්න ඕනි.

  26. ඒ කාලේ එක අතකින් හොඳයි කියල හිතෙනවා. මොකද අද වගේ උපවාස වැඩ වර්ජන(අනවශ්‍ය එව්වා) නැහැනේ. මහත්තයෝ නොදන්නා කමට අහන්නේ තවම හමුදාවේ විතරයි නේද වැඩ වර්ජන තියන්නේ නැත්තේ ????
    කෝරලේ වලව්ව

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: