විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  තවත් දීර්ඝ ලිපියක අවසාන කොටස, අද මා ඔබ වෙත රැගෙන එනවා. මේ ලිපි මාලාව අතිශයින්ම ජනප්‍රිය වූ බව, පළමුවැනි කොටස, දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ලැබුණු, ඔබේ ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි වුනා. මෙවනි ලිපි ලිවීම, සෑහෙන වෙහෙසකර කාර්යයක් වුනත්, ඔබේ රස වින්දනය, දැනුම පෝෂණය උදෙසා, ඉදිරියේදීත් මෙවැනි ලිපි ලියන්නට ඉටා ගත්තා.
  ස්නයිපර් වරුන් පිළිබඳව මෙසේ කොටස් හතරක ලිපියකින් මා දක්වන්නේ ඉතා කල්පනාකාරීව තෝරාගත් කරුණු ස්වල්පයක් බව නැවතත් අවධාරණය කරන්නේ, එක් මාතෘකාවක් පිළිබඳව දීර්ඝ ලිපි මාලාවක් කියවීමට බ්ලොග් කියවන්නන් එතරම් උනන්දු නොවන බව, මේ බ්ලොග් අඩවිය අරඹා කෙටි කලකින්ම මට අවබෝධ වුන නිසයි. කෙසේ වෙතත් මා පල කරන ඕනෑම ලිපියක් අවම වශයෙන් 1500 ක් හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් කියවීම ගැන මම සතුටු වෙනවා. හොඳයි, එහෙනම්, සැඟවුණු මරුවා අවසන් කොටස මෙසේ අරඹනවා.
 
  ස්නයිපර් තුවක්කුව, එහි ක්‍රියාකාරිත්වය, ඉලක්ක ගැනීමේදී සහ වෙඩි තැබීමේදී අනුගමනය කලයුතු තාක්ෂණික කරුණු යනාදියට තමයි ප්‍රධාන තැන ලැබෙන්නේ. නමුත් ඒ විෂයය කරුණු මෙහි දැක්වීම කල නොහැක්කේ ඒවා රහසිගත නිසා නොවෙයි. ඉතා දීර්ඝ වන නිසයි. ඕනෑම කෙනෙකුට බලාගත හැකිවන ලෙස ඒ තොරතුරු සිංහල හැර වෙනත් භාෂා වලින් අන්තර්ජාලයේ පළකර තිබෙනවා. සමහරවිට මේ තොරතුරු සිංහලෙන් අන්තර්ජාලයේ පලවන්නේ මේ බ්ලොග් අඩවියේ පමණක් විය හැකියි. වෙඩි තැබීමේ ප්රාගුන්‍යය හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි මුලින්ම කලයුත්තේ. එහිදී උගන්වන කරුණු ඉතා සැකෙවින් මෙසේයි.
වෙඩි තැබීමේ මුලධර්ම අධ්‍යයනය හා කුසලතා ප්‍රවර්ධනය
  • ශාරීරික වෙහෙස අවම මට්ටමෙන් පවත්වා ගැනීම හා පාලනය.
  • තුවක්කුවේ දුරදක්නය නිසි පරිදි සකස්කර ගැනීම සහ එයින් පෙන්වන රුපය නිසි පරිදි අවබෝධ කරගැනීම.
  • හුස්ම ගැනීම පාලනය කිරීමට ඉගෙන ගැනීම.
  • තුවක්කුවේ ට්‍රිගරය මිරිකීමේ නිවරැදි ක්‍රමවේදය ඉගෙනීම.
  • උණ්ඩය පිටවූ පසු එය ඉලක්කය වෙත ගිය/නොගිය බව නිරීක්ෂණය කිරීම.

කායික මානසික සූදානම

  • නීරෝගී කයක්, නීරෝගී මනසක්, වැඩි දියුණු කල ස්ථානෝචිත ප්‍රඥාවක්, තිබීම හා නිරන්තර අභ්‍යාසය.
  • නිරවුල්ව, වෙහෙසට පත් නොවී, විවේකීව සිටින්න.
  • ඉලක්කය ඉදිරියේ ඇත යන සංවේදීතාව වැඩි දියුණු කරගන්න.
  • ඉලක්කයේ ‘සුවඳ’ දැනෙන තරමට ඔබේ හැකියාව වර්ධනය කරගන්න.
  • ස්ථාවර රටාවකට සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. ඉලක්කය දුටු පසු ඔබේ මුව මඳක් විවර කර හුස්ම ගන්න. එවිට ඔබ හුස්ම ඉහළ පහළ හෙළන හඬක් ඇති නොවේ.
  • කිසිවක් නොසිතන්න. මනස නිරවුල් කරගන්න. ඔබ කලයුතුම දේ කුමක්ද යන්න ගැන පමණක් වගබලා ගන්න.
  • ඔබව දැඩි ලෙස පාලනය කරගන්න. සිතන්න, මේ වෙඩිල්ල තැබීමට ඔබට ලැබෙන්නේ මේ අවස්ථාව පමණයි.

  ස්නයිපර් වරයකුට තම අවියේ ඇති දුරදක්නය තමන්ගේ ඇස තරම්ම වටිනවා. මේ නිසා තම දුරදක්නය නිසි පරිදි සකසා ගැනීම මෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ පරිපුර්ණ දැනුමක්ද ඔහුට අත්‍යවශ්‍යයි.

   දුරදක්නය මගින්ම තම ඉලක්කයට ඇති දුර දැකගැනීමේ හැකියාව නවීන දුරදක්නවල තිබෙනවා. එවැනි දුරදක්නයකින් ඉලක්කයට ඇති දුර පෙන්වන්නේ මෙහෙමයි.
  රාත්‍රී දුරදක්නයක් පාවිච්චි කිරීමේදී අතිශයින් පරෙස්සම් විය යුතුයි. සතුරා අතේද රාත්‍රී දුරදක්නයක් ඇත්නම් ඔහුටද අපව නිරීක්ෂණය වන බව මතක තබාගත් යුතුයි. රාත්‍රී දුරදක්නයක් සර ආලෝකයකට නිරාවරණය වුනොත් එහි ක්‍රියාකාරිත්වය අවුල් වෙනවා.
 
  රාත්‍රී දුරදක්නයකින් පරිසරය පෙනෙන්නේ කොළ පාටින් පමණයි. නමුත් ස්නයිපර් රාජකාරී මෙන්ම සාමාන්‍ය යුද කටයුතු සඳහාද එයින් විශාල සේවයක් වෙනවා. එහි අගය මා අත්දැකීමෙන්ම දන්නවා. 1998 වසරේදී මා, කුඩා සෙබල කණ්ඩායම් දෙකක් වෙත රාත්‍රී දුරදක්න ලබාදී, ක්ෂණික රැක සිට පහරදීමක යොදවනු ලැබුවා. එහිදී, ආරක්ෂක වළල්ල හරහා ඇතුළු වීමට පැමිණි, ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මරා දමන්නට ඒ කණ්ඩායම් දෙකට හැකි වුනා. ඔවුන් ඉතා සාර්ථකව, රාත්‍රී දුරදක්න මගින්, සතුරාගේ ගමන දැක තිබුනා.
 
 
මීට අමතරව සෑම ස්නයිපර් වරයකුටම ඉගෙනගැනීමට සිදුවන, තවත් ගැඹුරු විෂයයක් තිබෙනවා. ඒ තමයි ක්ෂේත්‍ර අධ්‍යයනය. (Field Craft) එහිදී සිතියම්, පින්තුර හෝ වෙනත් ලිඛිත, මුද්‍රිත, තොරතුරු මෙන්ම, තම දෙනෙතට නිරීක්ෂණය වන භූමියද මනාව අවබෝධ කරගනිමින්, සතුරාගේ නිරීක්ෂණයට ලක් නොවන පරිදි, ඒ භූමියේම කොටසක් මෙන් වෙස්වලා ගැනීම, සැඟවීම, තැනින් තැනට ගමන් කිරීම, සතුරා පිළිබඳව හැකි සෑම දෙයක්ම නිරීක්ෂණය ,තමන්ගේ ඉදිරි ඉලක්ක තෝරා ගැනීම සහ වැදගත් තොරතුරු තම මුලස්ථානයට වාර්තා කිරීම කලයුතු වෙනවා. මෙය දීර්ඝ කාලයක් භූමියේ ප්‍රායෝගිකවම ගතකොට ප්‍රගුණ කලයුතු කලාවක්. සතුරාට නිරීක්ෂණය වීම වැලක්වීමට හෝ සතුරු ඉලක්කයක් සාර්ථකව ලබාගැනීම සඳහා මඩ වලක, කුණු කානුවක වුවද බැසීමට ස්නයිපර්ට සිදුවෙනවා. මදුරුවන්, කෘමීන්, කූඩල්ලන් කන විට දඟලන්නේ නැතිව ඉවසා සිටීම, කැලයේ සැඟවී සිටිනවිට තම ඇඟ දිගේ සර්පයකු ගියත් උගෙන් හානියක් නොවන්නේනම් නිශ්චලව සිටීම කළයුතු වෙනවා.
 
  ස්නයිපර්ට හිතෙන හිතෙන ආකාරයට වෙස්වලාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මුලින්ම ඔහු ඉතා හොඳින් තම පරිසරය අධ්‍යයනය කළ යුතුයි. ඒ අනුව ඔහුට වෙස්වලාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. කෙටි කාලයක් සඳහා පරිසරයේ ඇති කොළ අතු වැනි දේවල් තම ඇඳුමේ සවි කරගෙන වෙස්වලා ගැනීම. (කොළ අතු මැලවී යනවා. නැවත අලුත් කළ යුතුයි. ඒවා කරකර ඉන්නට යාම භයානකයි. තමන් සතුරාගේ නිරීක්ෂණයට ලක්විය හැකියි. නමුත් වඩාත් හොඳින් සැඟවීමට හැකියි)
 
  අනෙක් ක්‍රමය වන්නේ වෙස්වලා ගැනීම සඳහාම විශේෂයෙන් සැකසු ඇඳුමක්‌ ඇඳගැනීමයි. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සැකසෙන ඇඳුම් විශේෂයක් තිබෙනවා ඒවා හඳුන්වන්නේ ඝීලී ඇඳුම (Ghillie Suit) යනුවෙන්. සාමාන්‍ය හමුදා නිල ඇඳුමක් ගෙන, විශේෂ ඝන නූල් වර්ග භාවිත කරමින්, පරිසරයේ සැඟවීම පහසු කරන ආකාරයට මේ ඇඳුම සකස් කර තිබෙනවා. පින්තුරය දෙස බැලූ පමණින් එය ඔබට අවබෝධ වන නිසා වැඩි දුර විස්තර කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.   
  ඝීලී ඇඳුම් සැකසීම කලබලයෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඉදිරි කාලයේදී තමන් ගත කරන්නට යන්නේ, කෙබඳු පරිසරයකද යන්න හරිහැටි නොදැන, ඝීලී ඇඳුමක් ඇන්දොත්, එය සතුරාට තමන් හඳුනා ගැනීමට කරණ අත වැනීමක් බවට පත්වෙනවා. මේ නිසා පොදුවේ ඒ ඒ පරිසරයට අනුව යොදාගතහැකි ඝීලී ඇඳුම් සකසා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඝීලී ඇඳුම් සකස් කිරීමත් එක්තරා කලාවක්. පරිසරයේ ස්වභාවයට හැකිතරම් ආසන්න වන ආකාරයට සකසාගත් තරමට ස්නයිපර්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. හැබැයි මේ ඇඳුම ඇඳගත් විට අපහසුවකින් තොරව වෙඩි තැබීමටද හැකිවන අයුරු සැකසිය යුතුයි.
   ලෝකයේ එක් එක් ප්‍රදේශ වලට අනුව දේශගුණය, පරිසර ස්වභාවය ආදිය ගැන සිතා බලා සකස්කර ඇති ඝීලී ඇඳුම් මෙහි දැක්වෙනවා. ඔබට හොදින්ම පැහැදිලි වනවා ඇති පරිසර සාධක පිළිබඳව කොතරම් දැඩි අවධානයක් යොමු කර තිබෙනවාද කියා මේ ඇඳුම් සකස් කිරීමට.
  ස්නයිපර් වරයෙක් කොතරම් හොඳ පුහුණුවක් ලබා සිටියත්, ඔහුට තනිවම සියලු කටයුතු කරන්නට බැහැ. ඔහුට තම ආධාරය සඳහා තවත් එක් අයකුවත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි ස්නයිපර් වරු දෙදෙනාගේ හෝ තිදෙනාගේ කණ්ඩායම් ලෙස යොදවන්නේ. මෙහිදී ලැබෙන අන්‍යොන්‍ය සහාය මත තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ.
 
 
  පරිසරය අනුව ඇඳුම වෙනස් කරගැනීමේදී හිම සහිත පරිසරයකදී නම් සුදු පැහැය තමයි වැඩියෙන්ම යොදාගන්නේ. හැබැයි හිම සහිත පරිසරයක දිගු වෙලාවක් රැඳී සිටීමනම් එතරම් පහසු වැඩක් නෙවෙයි. මේ බලන්න එවැනි පරිසරයක සිටින ස්නයිපර්ගේ වෙස්වලාගැනීම.
 
  මෙසේ සහාය දක්වන්නාගේ රාජකාරිය වන්නේ ඉලක්ක සොයා ඒවා ස්නයිපර් වෙත ලබාදීම, තමන් අතේ ඇති රේන්ජ් ෆයින්ඩර් දුරදක්නයෙන් (Range Finder) ඉලක්කයට ඇති දුර මැන බලා, එය ස්නයිපර් වෙත ලබාදීම, ස්නයිපර් වෙඩි තැබූ පසු උණ්ඩය හරියටම ඉලක්කයට වැදුණේදැයි තමන් අතේ ඇති දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීම, ඉලක්කය වැරදුනේ නම් වෙඩි තැබීමේදී නිරීක්ෂනයවූ අඩුපාඩු පෙන්වාදීම, ආදියයි. මෙකී සියලු රාජකාරි වල යෙදෙන්නා හඳුන්වන්නේ ‘ස්පොටර්’ (Spotter) යනුවෙන්. හොඳින් මතක තබාගන්න සපෝටර් නෙවෙයි ස්පොටර්.
 හැබැයි ඉතින් ස්පොටර් සපෝටර් වෙන අවස්ථාත් තියනවා. මේ බලන්න ස්පොටර් අවශ්‍ය වෙලාවට ස්නයිපර්ට බොක්කෙන්ම, නෑ නෑ, කොන්දෙන්ම සපෝට් එක දෙන හැටි.
  ස්පොටර් පාවිච්චි කරණ දුරදක්නය අති විශේෂ එකක්. එම දුරදක්න අතර  ඉතා සංකීර්ණ තොරතුරු රැසක් පෙන්වන ආකාරයේ මොස්තරත් තියනවා. දිවා දුරදක්නය, රාත්‍රී දුරදක්නය, ඉලක්කයට ඇති දුර නිශ්චය කරන රේන්ජ් ෆයින්ඩරය යන සියල්ල එකට කැටිකල දුරදක්නද සපොටර් වරුන් අත තිබෙනවා. ඒවා ඉතා මිල අධිකයි. එවැනි සරල දුරදක්නයක බදු රහිතව මිල රුපියල් ලක්ෂ තුනකට මඳක් වැඩියි.
  ස්පොටර්ගේ දුර්දක්නයේ පෙන්වන තරම් සංකීර්ණ කරුණු ස්නයිපර්ගේ දුර දක්නයේ පෙන්වන්නේ නැහැ. එයට හේතුව ස්නයිපර්ට සිය දුරදක්නය තුලින් නිදහසේ අවට පරිසරය බලාගැනීමට ඉඩ තිබිය යුතු නිසයි. එය සංකීර්ණ වුනොත් ස්නයිපර්ගේ දර්ශන පථය අවුල් වෙනවා.
 ස්නයිපර් වරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ලෙස යොදවනවා. ස්කවුට් ස්නයිපර් (Scout Sniper) නමැති වර්ගයේ අය කරන්නේ හැකිතරම් සතුරු ප්‍රදේශය ඇතුලට ගොස් සතුරාගේ සියලු තොරතුරු නිරීක්ෂණය කර තම මුලස්ථානයට වාර්තාකර කාලතුවක්කු, එම්.බී.ආර.එල්. ගුවන් ප්‍රහාර, සතුරාට ලබාදෙන අතරම වැදගත් අයවලුන් තම බිල්ලට ගැනීමයි. දෙවැනි වර්ගය ප්‍රති ස්නයිපර් වරුන්. (Counter Snipers) ‘රාස්සයා කන පරාස්සයා’  😀 ඔවුන් කරන්නේ සතුරු පක්ෂයේ ස්නයිපර් වරුන් සොයා පහරදී මරා දැමීමයි. ඊශ්‍රායල් ස්නයිපර් වරයකු ප්‍රති ස්නයිපර් කෙනෙකුගේ ගොදුරක් වෙනහැටි බලන්න.

‘සේවින්ග් ප්‍රයිවෙට් රයන්’ චිත්‍රපටියේ අර සුප්‍රසිද්ධ ස්නයිපර් ෂොට් එක නොදැම්මොත් අඩුවක් නේද? ඔන්න ඒක ආයෙත් බලන්න.

ඇමරිකානු මැරීන් සෙබළුන් ඇෆ්ඝනිස්තානයේදී ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරන අයුරු පහත දැක්වෙනවා. බලන්න ඔවුන් කාන්තාර පරිසරයේ සිටින්නේ වෙස්වලාගැනීමෙන් තොරව, කාන්තාරයට සුදුසු ඇඳුමක් ඇඳ, බර නැති සපත්තු දමාගෙනයි. ස්පොටර්වත් දකින්න පුළුවන්. ලිපියෙන් කියා ඇති කරුණු සමහරක්, මෙම වීඩියෝවෙන් නිරීක්ෂණය කර, අවබෝධයක් ලබාගන්න.

ස්නයිපර් චිත්‍රපටි පිස්සුවෙන් පෙලෙන සෑහෙන පිරිසක් මෙම ලිපි මාලාව කියවන බව ඔවුන්ගේ ප්‍රතිචාර වලින් පැහැදිලි වුනා. මෙන්න එහෙනම් පිස්සුව ඩබල් කරගන්න ලෝකයේ හොඳම ස්නයිපර් චිත්‍රපටි 50 ක් සඳහා සබැඳියාවක්.

   ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරු කවුද යන ප්‍රශ්නයත් විවාදාත්මකයි. එම තේරීම් සඳහා යොදාගෙන තිබෙන නිර්ණායක ගැනත් මතබේද තිබෙනවා. දැනට මේ පිළිබඳව ඇති තොරතුරු ලබාගතහැකි සබැඳියාවන් පහත දක්වනවා.

  ස්නයිපර් වරුන් පිලිබඳව History Channel චන්ද්‍රිකා රුපවාහිනි නාලිකාව විසින් නිපදවූ වාර්තා චිත්‍රපටියක් මෙතනින් බලන්න.

  ස්නයිපර් වරුන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් කෙටි වීඩියෝ දර්ශන රාශියක් මෙතනින් බලන්න පුළුවන්.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රගුණ වෙඩිකරු සහ ස්නයිපර් භූමිකාව (Role of SL Army Marksman & Snipers)

  ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රගුණ වෙඩිකරු සහ ස්නයිපර් භූමිකාව වෙත යොමු වුනේ 1980 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ ස්නයිපර් ප්‍රහාර නිසා ලද අප්‍රසන්න අත්දැකීම් සමගයි. මේ නිසා නොපමාවම ප්‍රගුණ වෙඩි කරුවන් සහ ස්නයිපර් වරුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පුහුණු පාසල (Sri Lanka Army Marksman & Sniper Training School = MSTS) දියතලාව යුද හමුදා පුහුණු සංකීර්ණය තුල ආරම්භ කෙරුනා.

  මේ පාසල මගින් ආරම්භ කළ පුහුණුව කොතරම් උසස් තත්වයකට පත්වීද යත්, අති විශිෂ්ඨ සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිඵල ලබාගන්නට හැකි වුනා. මේ සඳහා පුරෝගාමීව කටයුතු කල උසස් හමුදා නිලධාරීන් රාශියක් සිටියත් මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ කලක් එහි සේවය කල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ, අද ජීවතුන් අතර නැති, කර්නල් දයා රාජසිංහ යි. මේ පුහුණු පාසැල අද වනවිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පුහුණුව ලබාදෙන බව ප්‍රකාශ කරන්නේ සතුටෙන් සහ ආඩම්බරයෙන්. මුල් කාලයේදී ප්‍රගුණ වෙඩිකරු පුහුණුව නිසා ජාත්‍යන්තර තලයට පත්, වායු රයිෆල් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මගේ මතකයට නැගෙනවා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සැරයන් මේජර් පුෂ්පමාලි රාමනායක සහ මාලි වික්‍රමසිංහ යි. (මාලි වික්‍රමසිංහගේ ඡායාරුපයක්වත් අන්තර්ජාලයේ සොයාගන්නට නැත)  ඔවුන් දෙදෙනා, 1994 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ,කාන්තා මීටර් 100 වායු රයිෆල් තරගයෙන්, රන් පදක්කම් දිනා අති විශිෂ්ඨ දස්කම් පෑ අතර, ඒ පසුපස සිටි මහා බලවේගය වුයේ කර්නල් රාජසිංහ යි.

 

   ප්‍රගුණ සහ සැඟවුන වෙඩි කරු පුහුණු පාසල, සංග්‍රාමික කාර්යය සඳහා විශේෂ අවධානය යොමු කරමින්, ස්නයිපර් පුහුණුව උසස් වෘත්තීය මට්ටමෙන් පුහුණු කිරීම ආරම්භ කිරීමේ ප්‍රතිඵලය වුයේ, ශ්‍රී ලංකා යුද හමුදාව තුල, ජාත්‍යන්තර මට්ටමේ ස්නයිපර් වරුන් බිහිවීමයි. මෙයින් බිහිවූ ස්නයිපර් වරුන් නොබියව, අතිදක්ෂ ලෙස යුද බිමේ සිය රාජකාරිය අකුරටම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ,.ටී.ටී.ඊ. ස්නයිපර් කරුවන් නැත්තටම නැති කරදැමීමට හැකිවුනා.

 ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල, ස්නයිපර් භූමිකාවේ අද්විතීය හා නොමැකෙන සටහනක් තැබූ එකම ස්නයිපර් වරයා වන්නේ, නීරෝ ය. ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරුන්ට කිසිසේත් දෙවැනි නොවන ස්නයිපර් වරයකු වන නීරෝ, ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නොවන්නේ, හුදු කුහකත්වය නිසා මිස, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. අපි ජීවත්වන කුහක ලෝකයේ හැටි එහෙමය.

ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු  දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.

  ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ආනමඩුව නමැති පෞරාණික ග්‍රාමයට නොදුරු මඬලාන නමැති ග්‍රාමයේදී 1969 වර්ෂයේදී උපන් රංජිත් ප්‍රේමසිරි, මහා ප්‍රාඥයකු බවට පත් නොවන්නේ, එවැනි ගම් පලාත්වල ඇති ‘අති විශිෂ්ඨ’ අධ්‍යාපන පහසුකම් වලට පින් සිදුවන්නටය. ඒ කාලයේ ගම්වල කොයි කොල්ලාත් කෙල්ලත් ලබන තරමේ අධ්‍යාපනයක් ඔහු ලබාගත්තේ  මඬලාන මහා විද්‍යාලයෙනි. මේ කාලයේ ගමේ කොල්ලන් කෙල්ලන් බොහොමයකට ‘ආමි පිස්සුව’ තදින්ම වැදුනේ ඒ ප්‍රදේශ වලින් ඒ වනවිටත් සෑහෙන පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටි බැවිනි. (ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට බැඳී සිටින බහුතරයක් වයඹ පලාතට අයත්ය) ප්‍රේමසිරි ද තම දැඩි ආශාව ඉටු කරගැනීමේ අභිලාෂයෙන් 1991 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳෙන විට, ඔහුගේ වයස යන්තම් අවුරුදු 22 කි. පුහුණුවෙන් පසු 5 වැනි ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද ඔහු, වෙඩි තැබීමේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන්නට වීමේ ප්‍රතිඵලය වුයේ, ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පාසලට ඇතුලත් වීමට වරම් ලැබීමයි.   

  ස්නයිපර් වරයකු වීමට කොතරම් සුදුසුකම් රැසක් සම්පුර්ණ කලයුතුයි දැන් ඔබ හොඳින්ම දන්නවා. එය හිතේ හයියෙන් පමණක් කළහැකි දෙයක් නොව මොලය, ඇස, කාය ශක්තිය ආදී විවිධ හැකියා රැසක එකතුවක් බවත් ඔබ දැන් දන්නවා. ඉතින් මේ ගමේ කොල්ලා, ඒ සියලු සුදුසුකම් සම්පුර්ණ කර අති විශිෂ්ට ස්නයිපර් වරයකු බවට අභිෂේක ලබා, යුද පිටියට පිවිසියේ සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නටයි. ඇත්ත වශයෙන්ම අකුරටම නොව ඊට වඩා බොහෝ ඉහළින් ඔහු එය ඉටු කළා. හරියටම සනාථ කරගෙන තිබෙන ආකාරයට, ඔහු විසින් ලබාගෙන ඇති ඉලක්ක සංඛ්‍යාව 180 ක්. මේ අනුව මෙතෙක් ලෝකයේ බිහිවූ ස්නයිපර් වරුන් අතර 5 වැනි ස්ථානය අනිවාර්යයෙන්ම ඔහුට හිමි විය යුතුමයි.

  උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ සේවය කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ස්නයිපර් වරයකුට ගොදුරු වුනා. දෙදරු පියකු වූ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි, සිය අනබිභවනීය සේවය වෙනුවෙන්, වීර වික්‍රම විභූෂණය, (WWV) රණවික්‍රම පදක්කම, (RWP) රණශුර පදක්කම, (RSP) යන වීර පදක්කම් වලින් පුදනු ලැබුවේ ඒ වනවිටත් ලබාසිටි සේවා පදක්කම් රැසකට අමතරවයි.

ස්නයිපර් වරුන්ගේ අනාගතය කෙබඳු වේද?

  දැනට පෙනෙන ආකාරයටනම් ස්නයිපර් වරුන්ගේ අනාගතය එතරම් සුබ දායක නැහැ. එයට හේතුව වන්නේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු වීමත් සමගම, තව දුරටත් සැඟවී සිටින්නට ස්නයිපර් වරයාට නොහැකිවන නිසයි. සයිලන්සරයක් සවිකළ තුවක්කුවකින් පවා පිටවන අතිශයින් සියුම් හඬ, ස්නයිපර් වරයාගේ ගුවන්විදුලි පණිවිඩ, තුවක්කුවේ හඬ පිටවූ දිශාව, සොයාගෙන ඒ තොරතුරු දෘශ්‍ය සහ හඬ (Video & Audio) ලෙස තම සගයන් අතර සහ මුලස්ථානය වෙතද ක්ෂණිකව යැවිය හැකි සංවේදක (sensors) අනාගත සොල්දාදුවාගේ වෙඩි නොවදින හිස්වැස්මේ සවිකර තිබෙනවා. එමෙන්ම ඒවා නැරඹීමේ ඇසීමේ පහසුකම්ද ඒ හිස්වැස්මේ ම තිබෙනවා. එදාට නම් ස්නයිපර් අමාරුවේ වැටෙනවා. එපමණක් නොව, සැක සහිත ප්‍රදේශවෙත එල්ල කළහැකි ලේසර් සහ අධෝරක්ත කිරණ මගින්ද ස්නයිපර් වරුන් ‘ඉව’ කිරීමේ ක්‍රම වර්ධනය වෙමින් පවතිනවා. මේ නිසා අනාගත ස්නයිපර් වරුන්ට තම රාජකාරිය ඉටු කිරීමට පෙරකී උපක්‍රම අබිභවා යන අලුත් ක්‍රම සොයාගතයුතු වෙනවා.

  අද ලිපිය දිග වැඩිදෝ කියා දැන් සිතෙනවා. ඒ වගේමයි වෙහෙස. ඒ නිසා ටික දිනක් නිහඬව ඉන්නම්. ඉවසීමෙන් මේ දිග ලිපිය කියවූ ඔබට වෙනදා වගේම ස්තුතිවන්ත වෙනවා. ඔබේ දැනුමට යමක් එකතු වුනානම් හදවතින්ම සතුටු වෙනවා.

Advertisements

Comments on: "සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය) The Sniper (Part Four – Final)" (68)

  1. මරේ මරු…………

  2. ගින්දර…. අති විශිශ්ටයි සර්…!!!

  3. ලිපි 4ම ආසාවෙන් කියෙව්වා… සුපිරියි!
    පොඩි ගැටලුවක් පැනනැගුනා. දුරදක්නයත්, තුවක්කු බටයත් තියෙන මට්ටම් දෙක අතර සැලකිය යුතු පරතරයක් තියෙනවා. (5cm පමණ) ඒත් දුරදක්නයේ හරස් දැල තුලින් හරියටම තුවක්කු බටයේ ඉලක්කය දැක්වෙන්නේ කොහොමද? ඒ සඳහා දුරදක්නය ආනත කරලා සීරුමාරු කරලා තියෙනවානම් ඉලක්කයේ දුර වෙනස් වෙන්න වෙන්න සීරුමාරුව වෙනස් කරන්න අවශ්‍යයි නේද?

    • එසේ පරතරයක් තිබීම ඈත තිබෙන ඉලක්කයක් ගැනීමේදී, දෘශ්‍ය පථය (line of sight) කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. උණ්ඩයක් (ප්‍රක්ෂිප්තයක් – projectile)ගමන කරන්නේ තිරස් රේඛාවක නෙවෙයිනේ. ගුරුත්වය නිසා එය පොලොව දෙසට වක්‍ර වෙනවා. දුර දක්නය සකසන්නේ ඉලක්කයට මඳක් ඉහළින් සිටින්නයි.

  4. ෂා, මාර විස්තර ටික. පොඩි දෝෂයක් වෙලා තියෙනවා. එක හදන්න. මාතෘකාවට දාල තියෙන්නේ හැඟුණු මැරුවා අවසාන කොටස විදියට. කරුණාකරලා එක හදාගන්න හතරවන කොටස විදියට. එක වෙනස් නොකලොත් තවත් හැඟුණු මරුවෙක් ගෙන් මැරුන් කන්න කැමතිද?

  5. අයියේ මේක නියමයි,
    ඔබ අපට මේ දැනුම ලබා දෙන්න දාන වෑයම අති විශිෂ්ඨයි.
    //ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි. //

    මේ ටික කියවද්දිනම් පපුව මොකක්දෝ උනා

  6. ස්පොටර්ගෙ දුරදක්නය දැක්කහමනම් පිස්සු හැදෙනවා..

    නීරෝගෙ රෙකොර්ඩ්ස් අන්තර්ජාතික මට්ටමට ගෙනිහින් ඔහුට ලබාදිය යුතු නිසි තැන ලබාදෙන්න පියවර ගතයුත්තේ කවුද.? මේවා මිලිටරි රෙකෝර්ඩ්ස් නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ අ‍පේ හමුදාවද.?

    පුෂ්පමාලි රාමනායක හා මාලි වික්‍රමසිංහ කියන්නේ ඒ කාලෙ අපට නිතර ඇහුන නම් දෙකක්.. දැන් ඒ වගේ තරගකරුවන් බිහිවෙන්නෙ නැද්ද.? එහෙම නැත්තම් තියෙන්නෙ අවශ්‍ය ජනමාධ්‍ය ප්‍රචාරය නොලැබීම ගැන ප්‍රශ්නයක්ද.?

    නීරෝ ගැන ලියැවුනු ටික කියවන කොට නම් ඇත්තටම ඇඩුනා, අපේ රට ගැන හිතලා..

    හැමදාමත් වගේ බොහොම ස්තූතියි.!!

    • ප්‍රතිචාරයට ස්තුතියි.

      මොනවද අනේ ඔන්න ඔහේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගන්නකො ස්පොටර් ස්කෝප් එකක්. ලක්ෂ තුනයිනේ. අඩු ගානේ අහල පහල ඉන්න අය දිහාවත් බලන්න බැරියැයි. 😀

      හමුදාවේ එකෙක්ගේ වාර්තා ගැන කටයුතු කලයුත්තේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නෙවෙයිනේ. 😀 නොකරනවාට මොකද කරන්නේ. අපේම කරුමේ තමයි.

      පුෂ්පමාලිලා වගේ අය දැනුත් ඉන්නවා. එලියට නොඑන්නේ මොකක් හරි කරුම දෝසයක් හින්දා වෙන්න ඇති.

      • අපහාස කරන්ඩ විතරක් එපා ඔය කියන රෙකෝඩ් ඔක්කොම දාලා එල පොතක් ගහලා බෙදුවා මතක නැද්ද ? හෙහ්…..

      • ස්පොටර් ස්කෝප් එකක් ගන්නනම් පුළුවන්, හැබැයි ලංකාවට අරන් එන එක තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.. Airport එකේදිම මාව අල්ලයි, පහුවෙනිදා පත්තරවල තියෙයි “අධිබලැති දුරදක්න සමග ත්‍රස්තවාදී සැකකරුවෙක් ගුවන්තොටේදී දැළේ” කියලා.. 😀

        මම සෙල්ලමට කියලා ගත්ත Airsoft rifles කීපයක් තියෙනවා, ඒ ටිකවත් ලංකාවට ගේන්න බයයි.. 🙂

  7. කලින් කමෙන්ට් නොකෙරුවත් කාලයක් තිස්සේ ඔබේ බ්ලොග් අඩවිය රසවිදින්නෙකු ලෙස කමෙන්ට් එකක් දැමීමට සිතුනේ ඔබ ස්නයිපර්වරුන්ගේ අනාගතය කෙබදු වේදැයි දැක්වූ සදහන නිසයි.
    ලංකාවේ ස්නයිපර්වරුන්ව වර්තමානයේ රට දැයේ යහපත සඳහා යොදා ගත හැකි හොදම ක්‍රමය ලෙස මා දකින්නේ මොලයක් කියා දෙයක් ශරීරය තුල සොයා ගත නොහැකි, බියගුලු, මෝඩ ඇමති බේබිලා පරලොව යැවීම සඳහා යොදා ගැනීමයි.

    • බලු කුක්කෝ මරන්න කාලතුවක්කු පාවිච්චි කරන්නේ මොකටද සනත්. බලු කුක්කන්ගේ බෙල්ල ඇඟිලි දෙකකින් මිරිකලා මරන්න පුළුවන් පුහුණු සොල්දාදුවෙකුට. 😀

      • ගාලු කොල්ලා. said:

        ඇත්තටම අය අර ගල් මුසලයව ඉවරයක් කරන්නේ නැත්තේ? මම පුද්ගලිකව සොයල බැලුවා. අපේ කොල්ලා පට්ට වැඩ කාරයෙක්. එහෙව් එකේ අරුන්ට මුන්ට දඟලන්න දෙන්නේ අය? කොළොඹ ඉන්නේ නපුන්සකයෝද? ඕක ගාල්ලේ වගේ උනානම් අරුඅ හික්කඩුවෙන් මෙහා එන්නේ වෙන්නේ නැහැ. අමුවෙන් කනවා. හමුදාවේ ඉන්න මගේ යාළුවොත් හරිම දුකෙන් ඉන්නේ. මොකද ඕනෙම කෙනෙක්ට හමුදාවේ එකෙකුට ගහන්න, කපන්න පුළුවන්. මොකද පරිප්පුව කන්න වෙන්නෙත් ගුටි කාපු එකට. මෙහෙම කොමෙන්ට් දාන එක හරි නැති උනත් හිතේ තියෙන පීඩනය දරාගන්න අමාරු නිසය් ලියන්නේ. ගාල්ලේ නාවික හමුදාවට කොටි ගහනකොට මුළු ගාල්ලේම කොල්ලෝ ගාල්ල වට කළා. නිකන් හරි කොටියෙක් පන බේරාගෙන ගොඩට අවනම් ඌව ඒ වෙලාවේ අමුවෙන් කනවා අපේ උන්. මේ වගේ දේවල් වෙනකොට හිතට අමරුය්.

  8. ගොඩක් ස්තූතියි! ලිපි පෙල නියමෙටම තියෙනවා 🙂

    Scout snipers, Counter-snipers ඇරුනම Designated marksmenලා කියලා කට්ටියකුත් ඉන්නවනේද?

    Survive the cut: Marine Scout Sniper http://www.youtube.com/watch?v=ANzHFlaFaAk

    ලංකාවේත් SF, Commando, Snipers ලගේ selection and training ගැන documentaries හදනවා නම් ගොඩක් ලොකු දෙයක්.

    උඩ තියෙන පිංතූරේ දැක්කම මතක් වුණේ, ඇයි machine gunnersලා ammo belts තුවක්කුවේ ගැට ගහන් යන්නේ? ඒවටත් මැගසීන් එනවනේ. ඔහොම අරන් යනකොට ammo belt එක load කරන්න අමාරුයි නේ? අනික මම අහලා තියෙනවා belt එකේ මඩ, වැලි වගේ ඒවා හිරවුනොත් තුවක්කුව jam වෙනවා කියලා.

    • එක එක රටවල තියන සංග්‍රාමික භූමිකාව (Theatre of War) අනුව ස්නයිපර්ලා වර්ග කිරීම වෙනස් විය හැකියි.

      අම්මෝ ලංකාවේ හමුදා ගැන තොරතුරු ලියන්න ගියොත් හමුදා රහස් එලියට දැම්මා කියලා මාව කුදලාගෙන යයි.

      ඔබ හරි. ඔය පතරොම් බෙල්ට් ලින්ක්ස් වලින් ගැලවෙනවා, ජෑම් වෙනවා, වෙන්ඩ තියන ඔක්කොම වෙනවා ඔහොම තියාගත්තම. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ.

    • මම හිතන්නේ එයා කියන්න ඇත්තේ snipersලට targets pick කරන්න ලෙසියි කියලා සෙබළුන්ගේ ammo belts දිලිසෙන නිසා.

      “ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ.”

      මෙහෙම ගෙනියන එකේ වාසිය, ලේසිය මොකක්ද? නැත්නම් නිකන්ම පුරුද්දටමද ගෙනියන්නේ? අනික machine gun එකක් දෙන්නේ ඒකට වෙනමම පුහුනුවක් ලැබුනු කෙනෙකුටද? නැත්නම් ඒක උස්සන් ( ගිහින් වෙඩිතියන්න) යන්න පුළුවන් කෙනෙකුටද? (මම දන්න විදියට අඩුම ගානේ ඕවා 10KG වත් වෙනවනේ)

      • ඔහොම තුවක්කුව වටේ ඔතාගෙන යන්නේනම් නැහැ. මට ඒ පින්තුරයේ එයාලා ඉන්න විදිහ අමතක වුනා. එහෙම ඔතාගෙන එක වෙඩිල්ලක් වත් තියන්න බැහැ. ඔය පින්තුරය මාධ්‍ය වෙනුවෙන් ගත් එකක්. පතරොම් ලින්ක්ස් වලට අමුණලා මැගසින් එකට ගහන්න වෙලා යනකොට නිකම්ම බෙල්ට් එක ෆීඩ් කරලා වෙඩි තියන අවස්ථා තියනවා.

        Company Support Weapon Course කරපු අයට තමයි මේ වගේ තුවක්කු දෙන්නේ. මේ තුවක්කුවක් දෙන්නෙක් එක්ව තමයි ක්‍රියා කරවන්නේ. 1. වෙඩි තබන්නා. 2. පතරොම් සපයන්නා.

      • ස්තූතියි පැහැදිලි කිරීමට!

        ඔය තියෙන්නේ PKM එකක් නේද? අපේ අය පාවිච්චි කරන්නේ ඒකෙත් chinese version එකද? MP5SD එක ඇරෙන්න වෙන silenced weapons අපේ හමුදාවේ නැද්ද?

        ඒ course එකේ සාමාන්‍යයෙන් මොනවගේ කරුණුද උගන්වන්නේ?

        • ඔව මේ තියෙන්නේ PKM තුවක්කුවක්. නමුත් අපේ හමුදාව මෙයට කියන්නේ GPMG = General Purpose Machine Gun කියලයි. චීන මෝස්තරය තමයි අපේ හමුදා පාවිච්චි කරන්නේ. ස්නයිපර් වරුන් සහ කමාන්ඩෝ, විශේෂ බලකාය, වැනි අංශ වල සයිලන්සරය සහිත තුවක්කු පිස්තෝල තිබෙනවා.

          ඒ පාඨමාලාවේදී උගන්වන්නේ පාබල (infantry) හමුදා කණ්ඩායමක් (company) ක්‍රියාන්විතයක යෙදීමේදී පාවිච්චි කරන බර මැෂින් තුවක්කු, මෝටාර්, ආර්.පී.ජී. වැනි ආයුධ පිළිබඳව සහ ඒවා උපක්‍රමිකව ස්ථානගත කිරීම, අධාරක වෙඩි බලය ලබා දෙනහැටි, වෙඩි සැලැස්මක් (Fire Plan) සකස්කරන ආකාරය වැනි කරුණු.

      • එතකොට මූලික පුහුණුවෙදි හෝ වෙනත් සංග්‍රාමික පුහුණුවකදි සෑම සෙබලෙකුටම, නිලදාරියෙකුටම එම අවි (mortar, GPMG, RPG) භාවිතය ගැන ඉගැන්වීමක් කෙරෙන්නේ නැද්ද?

        • මුලික පුහුණුවේදී අනිවාර්යයෙන් උගන්වනවා. නමුත් අර පාඨමාලාවේදී කරන්නේ විශේෂඥ පුහුණුව ලබාදීමයි. විශේෂයේ ඒ අවි ගැලපෙන්නේ මොන වගේ අවස්තාවකටද, තැනින් තැනට ගෙනයාම, වෙඩි තැබීමේ උපක්‍රම ආදිය.

      • ස්තූතියි!

        ඒක සුදුසුකම් අනුව කරන්න ‘වෙන’ පාඨමාලාවක්ද නැත්නම් කැමතිනම් කරන්න පුළුවන් පාඨමාලාවක්ද?

        මම Gota’s War කියන පොත කියෙව්වා, ඒක තියෙනවා අවසන් ඊලාම් සටනෙදි අපේ හමුදාව සාම්ප්‍රදායික විදියට විශාල ඒකක වශයෙන් නැතිව SIOT (special infantry operational teams) කණ්ඩායම් විදියට 8 දෙනෙකුගේ කණ්ඩායම් වලට බෙදිලා තමා මෙහෙයුම් කළේ කියලා. ඒක නිසා බර අවි ප්‍රහාර වලින් වෙන හානි ගොඩක් අඩු වුණා කියලත් තිබුණා. ඇත්තටම මෙහෙයුම් කළේ එහෙමද? SIOT ඒකක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

        • ඔබ කියවූ පොත කියවීමට මගෙනම් කිසිම අදහසක් නැති බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කල යුතුයි.

          ඒ පාඨමාලාව සඳහා පාබල හමුදා ඒකක වලින් නාම යෝජනා කැඳවනවා කාලෙන් කාලෙට. ප්‍රධාන වශයෙන් එය පවත්වන්නේ මින්නේරිය (පා.පු.ම.) පාබල පුහුණු මධ්‍යස්ථානයේදී. (ITC = Infantry Training Centre) ඒකක වලින් සුදුස්සන් තෝරා යවනවා. සාර්ථකව නිම කරන අයට ලාංඡනයක් (badge) එකක් සහ සුදුසුතා වැටුපක් ද හිමි වෙනවා.

          අවසන් ඊලාම් යුද්ධයේ සියලුම බරපතල සැලසුම් කලේ ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා කියන මහා සෙනෙවියා මුලිකවූ මණ්ඩලයක් විසින්. ඒ පරම සත්‍යය කවදාවත් වසන් කරන්න බැහැ. Eight Man Team කියන සංකල්පය ශ්‍රී ලංකා යුද හමුදාවට ගෙනාවෙත් ජෙනරල් ෆොන්සේකා. මේ ලිපියේ නීරෝ ඇතුළු පිරිස දැක්වෙන පින්තුරවල ඔවුන් ඔලුවේ කළු රෙදි කඩක් බැඳ සිටිනවා පෙනෙනවා නේද? ඒ තමයි ජෙනරල් ෆොන්සේකා දීර්ඝ කාලයක් යාපනයේදී පුහුණු කල, අට දෙනාගේ කණ්ඩායම් වලට අදාළ විශේෂ පාබල පුහුණුව ලත් අය පැළඳි විශේෂ හිස් පළඳනාව. ජෙනරල් ෆොන්සේකා යාපනයේ ආඥාපති ලෙස කටයුතු කල කාලයේදීයි ඒ විශේෂ පාඨමාලාව පටන්ගත්තේ. එහි සාර්ථකත්වය නිසයි යුද්ධය දිනුවේ. එහෙම නැතුව එක එක ……ලා නිසා නෙවෙයි.

          Eight Man Team එකේදී සැඟවී සතුරු ප්‍රදේශයට රිංගා තොරතුරු සෙවීම, වැදගත් ඉලක්ක (VP = vulnarable Points, VIP = Very Important Personnel) වලට පහරදීම, සතුරා විමතියට හා භීතියට පත්වන ක්ෂණික ප්‍රහාර clandastine attacks එල්ල කිරීම තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ.

      • මම පොතට publicity එකක් දෙන්න එහෙම කිව්වේ නම් නෑ.. 😉

        ස්තූතියි ආයෙමත් දීර්ඝ පැහැදිලි කිරීමට.

  9. ස්තූතියි විචාරක මහත්මයා, මෙතරම් මහන්සියක් අරගෙන ලියනවට.

    මටත් අර ස්පොටර් ස්කෝප් එකක් තිබුණ නම් කියල හිතුන. 😀

    ඇත්තටම ලංකාවෙ හමුදාවලට වැඩිම පිරිසක් බැඳිල තියෙන්නෙ වයඹ පළාතෙන්ද? මෙච්චරකල් මම හිතන් හිටියෙ දකුණු පළාතෙන්ය කියල.

    • ස්තුතියි ඇගයීම පිළිබඳව.

      ස්පොටර් ස්කෝප් එකක් නැතත් දුරදක්නයක් තියනවනම් හොඳයි සංචාරයක් යන අවස්තාවක අරන් යන්න.

      හමුදා තොරතුරු අනුව තමයි කිව්වේ වයඹ පළාතෙන් තමයි වැඩිම පිරිසක් ත්‍රිවිධ හමුදාවට බැඳිලා ඉන්නේ කියලා.

  10. ඉතා රසවත්. බොහොම ස්තූතියි. මාත් දන්න තරමින් කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේ වත් මෙවැනි විස්තරාත්මක ලිපි සිංහලෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. තාම රටේ පොත් කියවන අය වැඩි නිසා පොතක් අච්චු ගහන්න වටිනවා. තව තවත් ලියන්නට විවේකය හා ශක්තිය ලැබේවා!

    appreciate වෙන්නට කියන සිංහල වචනය සොයන්න උත්සාහයක් ගත්තා. බැංකුවේ අයෙක් කිව්වේ එයට ඔවුන් කියන්නේ “පරිපූර්ණ වෙනවා” යන්නලු. මට නම් ඒ තේරුම මදි. තවත් කෙනෙක් වෙතින් අහලා තියෙන්නෙ එයාගෙන් උත්තර ලැබුනාම දන්වන්නම්.

    අනික, යු එස් හමුදාවේ සේනාංකය මැරීන් නොව මරීන් විය යුතුයි. සමහර සිංහල පත්තර වල දාන්නෙ නම් මැරයන් සේවාව කියලයි!!!

    • ඔක්කොටම කලින් ස්තුතියි අරුණි, වචන සොයන්නට ගත් උත්සාහයට සහ මාව නිවැරදි කිරීම පිළිබඳව. appreciation කියන වචනයට ඇගයීම කියලා කියනකොට මටත් හිතෙනවා අඩුවක් තියනවාකියලා. මරීන් කියන වචනයත් ඔලුවේ ගබඩා කරගත්තා.

      මම ලියන දේවල් අන්තර්ජාලයේ හෝ රැඳී තිබුනොත් මට ඒ ඇති. මේ විස්තර අරගෙන ලොක්කෙක් හම්බවෙලා පොතක් ගහමුද ඇහුවොත් මගෙන් අහයි ඔයා මොන විශ්ව විද්‍යාලෙද ආරක්ෂක උපාධිය කරලා තියෙන්නේ කියලා.

      ‘මැරයන්’ ගේ සේවාව ලංකාවෙනම් තියනවා 😀

      ඇගයීම ගැන ස්තුතියි.

  11. //ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.//
    ඇඟ හිරිවැටිලා ගියා..විචාරක..! පපුව කකියන්න ගත්තා….කිවයුත්තේ ඒපමනයි විශිෂ්ඨයි..!

    • මගේ ආරක්ෂක භ්ටයකුව හිටිය සොල්දාදුවෙකුට වරක් එල්.ටී.ටී.ඊ. RPG ප්‍රහාරයක් එල්ල වුනා. ඔහුගේ සිරුර දෙකට කැඩුනා. මම වහාම ඔහුගේ සිරුරේ උඩ කොටස මගේ ඔඩොක්කුවට ගත්තා. ඔහු මාදෙස බලාගෙන හිටියා තත්පර 20 ක් විතර. ඒ වෙලාවේ ඔහුගේ හදවත එලියට ඇවිත් තිබුනේ. නමුත් අඹ ගෙඩියක හැඩය ඇති ඒ හදවත ඒ වෙලාවෙත් ගැහුනා.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  12. ඉතා විශිෂ්ඨ ලිපි පෙලක්… මන් නං මේ ලිපිය අවසන් ලිපිය වේ යැයි හිතුවේ නෑ….
    මා වරක් කියවා තිබෙනවා වඩමාරච්චි සටනට කල සහායක මෙහෙයුමක්දී පරිසරයට සහ සෙබලුන් ඇදි නිල ඇදුමේඉ වර්ණයට වෙනස් වර්ණයක නිල ඇදුමක් ( ඇමරිකන් කාන්තාර නිල ඇදුම් ) ඇදි නිලදාරියකු කොටි ස්නයිපර් කෙනෙකු විසින් බිම හෙලූ හැටි…….
    ( ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රගුණ වෙඩිකරු සහ ස්නයිපර් භූමිකාව වෙත යොමු වුනේ 1980 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ ස්නයිපර් ප්‍රහාර නිසා ලද අප්‍රසන්න අත්දැකීම් සමගයි )
    ඒ කියන්නෙ අපේ ආරක්ශක අංශ සූදානම් වන විට කොටි ඒ දේවල් කරලත් ඉවරයි….
    කොටි සංවිදානයේ ස්නයිපර් අංශය පුහුනු කලේ කවුද ? විශේෂයෙනම නීරෝ වගේ විශිෂ්ඨයකු බිම හෙලූ ස්නයිපර්ට මොක්ද උනේ….. ?

    • බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.
      RPG, Night Vision, Sniping, වැනි දේවල් අපිට කලින් කොටි පටන් ගත්තේ. පුහුණුව ලබා තිබෙන්නේ පිට රටවලදී. නීරෝට ගහපු කොටි ස්නයිපර් එක්කෝ අවසන් සටනේදී මැරෙන්න ඇති. එහෙම නැත්නම් සාමාන්‍ය වැසියකු ලෙස ආරක්‍ෂිත කලාපයට ඇවිත් අදත් කොහේ හෝ ජීවත් වෙනවා ඇති.

    • “පරිසරයට සහ සෙබලුන් ඇදි නිල ඇදුමේඉ වර්ණයට වෙනස් වර්ණයක නිල ඇදුමක් ( ඇමරිකන් කාන්තාර නිල ඇදුම් ) ඇදි නිලදාරියකු”

      එහෙම custom uniforms අඳින්න දෙනවද?

      • සාමාන්‍යයෙන් එහෙම අඳින්න ඉඩක් නැහැ. මේ නිලධාරියා ඒ ගැන නොසිතා ක්‍රියා කරන්නට ඇති. නමුත් වඩමාරච්චි මෙහෙයුමේදී හරියටම එවනී සිදුවීමක් වුනා කියන්න මගේ ළඟනම් සාක්ෂි නැහැ.

      • මාත් මේ කතාව කියවල තියෙනවා,ඉස්සර ලංකාදීප අතිරේකයේ පළවුණ ලිපි පෙළක තිබ්බේ.. මතක හැටියට රචකයා කර්නල් සුසන්ත කියලා නිලධාරියෙක්..

  13. අති විශිෂ්ටයි විචාරක මහතා. අනභිභවනීයයි. ලිපිය ලියා තිබෙන ශෛලිය, අන්තර්ගතය, එකී නොකී සියල්ලක්ම ලිපිය ආසාවෙන් කියවන්ඩ පොලබවනවා..

    අර පළවෙනි වීඩියෝ එකනම් මාව සලිත කළා.. ඒ විදිහටම අපේ නීරෝත් මිය ගියා කියලා ඇහුවම පුදුම දුකක් දැනුනෙ..

    අර කුහක කමක් ගැන කිව්වම මට හිතුනෙ අන්තර්ජාතික කුහක කමක් ගැන. බලාගන ගියාම අපේ පාහරයන්ගෙ කුහක කම නිසා තමයි ඔහුට හිමි තැන නොලැබී ගිහින් තියෙන්නෙ නේද ?

    මම මේ කල්පනා කළේ, ඔබ මේ ලිපිය පටන් ගන්නකොට මට ස්නයිපර්ලාගැන තිබුන දැනුමයි දැන් තියන දැනුමෙයි වෙනස ගැන. ඒකට බෙහෙවින්ම ස්තූතියි.

    • බොහොම ස්තුතියි සෙන්නා අදහස් දැක්වීම ගැන.

      බටහිරයෝ අපි වගේ රටවල දක්ෂයන්ට තැනක් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් සත්‍යය හංගගෙන ඉන්න බැහැ.

      ඔබේ දැනුම වර්ධනයවීම ගැන සතුටු වෙනවා.

      • ඔන්න මට ටිකක් පැටලුනා විචාරක මහතා.. ඔය කුහක කම අපේ උන්ගෙද නැත්තම් බටහිරයන්ගෙද ? මට මුලින්ම හිතුනෙ බටහිරයො අපේ එකෙක්ගෙ දක්ශකම් අගයන්ඩ අකමැති නිසා නිසි පිළිගැනීමක් දෙන්නෑ කියලා.. පස්සෙ හිතුනා අපේම කුහකයො ගමේ කොල්ලෙක්ට නිසි පිළිගැනීමක් ලැබෙනවට අකමැති හින්දා අවශ්‍යය දේවල් නොකර ඉන්නවා කියලා.. ඇත්තටම ඔය දෙකෙන් කෝකද ? නැත්තම් දෙකමද ?

        • අපේ අයට ඕනෑ කමක් නැහැ. බටහිරයෝ අපේ වාර්තා පිළිගන්න කැමති නැහැ. උන් ඇවිත් යුද්ධය අස්සේ රිංගලා (සමහර විට යුද්ධය අවුල් කරලා, කොටින්ගේ ත්‍රස්තවාදී වැඩත් වාර්තා හැටියට පිළිගෙන)වාර්තා කරගත්තොත් විතරයි උන් පිළිගන්නේ.

  14. ක්සැන්ඩර් | Xander said:

    මේ ඔබතුමාගේ කලින් ලිපියෙන් වශී වෙලා ස්නයිපර්ලා ගැන බලද්දී හම්බවුනු වීඩියෝ එකක්..

    ඔබතුමා කිව්වා වගේ අනාගතය අඳුරුයි වගේ. ඒත් හොරෙක් එන විදිය කවදාවත් හොයන්න බෑ නේ. ඒ නිසා ස්නයිපර් වරු වෙනත් ක්‍රමවේද හොයාගනිවී.

    • බොහොම ස්තුතියි ක්සැන්ඩර් ප්‍රතිචාරයට.

      මේ වීඩියෝ එකෙනුත් පෙනෙනවා නේද ස්නයිපර්ලාගේ අනාගතය සුබ නැති බව.

      මටනම් හිතෙන්නේ අනාගතයේදී ස්නයිපර්ලා වෙනුවට රොබෝ ක්‍රම දියුණු වෙයි කියලයි.

  15. මේ ලිපි මාලාවම ඉතාමත් ආශාවෙන් කියෙව්වා… තොරතුරු වලට ගොඩාක් ස්තූතියි… නීරෝ ගැන මතකයත් අලුත් වුනා… යුධ ජයග්‍ර‍හණය සමරන්න ඔහුත් සිටියා නම් කොපමණ සතුටක්දැයි සිතුනා…. ස්පොටර් ගැන දැන ගත්තෙත් අදමයි….

    මාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න

    • බොහොම ස්තුතියි.

      මාලි කිව්වම මම හිතුවේ මාලි වික්‍රමසිංහ කියලා. ඒත් මේ මාලිටත් අපේ අවධානය අත්‍යවශ්‍යයි. මමත් අත්සන් කළා. බොහොම ස්තුතියි ඒ දැනුවත් කිරීම ගැන.

  16. “රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.”

    ඔබ තුමාගෙ ලිපියෙ නියම හිට් එක තියෙන්නෙ මෙතනෙ. අපිටත් වාවන්නෙ නෑ, ඒත්……

    හිතට ආපු අමාරුව අමතකරගන්න මේක කියන්නෙ, සේවින් ප්‍රයිවට් රයන් කියන්නෙ මගෙ බෙස්ට් ඔෆ් ද බෙස්ට්ස් ලිස්ට් එකෙ තියන ෆිල්ම් එකක්. ඕක මට දැන් කට පාඩම්, අනික තමයි එනෙමි ඇට් ද ගේට්. ඔය වගෙ සිරා ෆිල්ම් බලපු ගමන් මම මොකක් හරි කසි කබල් හින්ඩි ෆිල්ම් එකක් දාගෙන පැය භාගයක් විතර බලනවා, එතකොට මට අර ෆිල්ම් එක හොඳට ඔලුවට යන්නෙ නෑ, ඊට පස්සෙ වෙඩි වගෙ තව දවසකින් දෙකකින් ආයෙත් අර සිරා එක අලුතෙන්ම වගෙ බලන්න පුලුවන්.

    • ස්තුතියි අදහස් දැක්වීමට.

      ඔය බලුකුක්කෝ චුත වෙන හැටි වැඩි කල් නොගිහින් බලන්න පුළුවන්.

      මමත් රුපවාහිනිය බලනවා අඩුයි. බොහෝවිට කරන්නේ මගේ ඩී.වී.ඩී. එකතුවෙන් (250 ක් විතර තියනවා) චිත්‍රපටියක් බලන එකයි.

  17. අන්තිමේ මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි.. ඇයි නීරෝ තඩි මැෂින් තුවක්කුවක් එල්ලගෙන ඉන්නේ? ස්නයිපර් රයිෆලයක් වෙනුවට?

    • මේ පින්තුරය අරන් තියෙන්නේ අට දෙනාගේ කණ්ඩාම් සම්බන්ධ විශේෂ පුහුණුවට අදාළ අවස්ථාවකදී. සාමාන්‍යයෙන් ස්නයිපර්ලා තමන්ගේ මුහුණ පෙනෙන පරිදි සහ ස්නයිපර් තුවක්කුව අතේ තියාගෙන පින්තුර ගන්නේ නැහැ. එහෙම කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහායි.

  18. කේ.යු.ජී.උදාර said:

    එක හුස්මට ලිපි පෙළම කියෙව්වා….. මේ වගේ දේවල් සිංහලෙන් කියවන්න සලස්වන එක හුඟක් වටිනවා. බොහොම ස්තූතියි……..
    වරක් ලෝකයේ හොඳම ස්නයිපර්වරු 10 දෙනෙකු ගැන මං කරපු ලිපියක අවසානයේ මාත් ඊට නීරෝ ගැන සටහනක් එකතු කළා මතකයි………..

  19. ඇත්තටම හොද ලිපි පෙලක්.
    එළකිරි සයිට් එකේ මේක කොපි කරලා ගෙඩි පිටින්ම දාලා තිබුණා එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?p=18983916#post18983916
    එකේ කට්ටිය බැනලා තිබ්බා ගත්ත තැන Link එක වත් නොදා දාලා තිබ්බට
    ඇත්තටම මම බොහොම කැමති මාතෘකාවක් තමයි ස්නයිපර් කියෙන්නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: