විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  සැඟවුණු මරුවා ලිපි පෙලේ තුන්වැනි කොටසයි අද ඉදිරිපත් කරන්නේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කෙරෙහි ඔබ දැක්වූ ප්‍රතිචාර මා ධෛර්යවත් කල බව ප්‍රකාශ කරන්නේ ඔබ සියළු දෙනා වෙත කෘතඥතාවද පල කරමින්. ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.  
  හොඳයි. එහෙනම් පටන් ගන්නවා අද කතාව. ස්නයිපර් වරයකු ඉගෙනගතයුතු විෂයයන් පිළිබඳව මම ඔබට පසුගිය කොටසේදී විස්තර කළා. ස්නයිපර් අවියක ක්‍රියාකාරිත්වය ඉගෙනගෙන ඉන්න එපායැ ඔක්කොටම කලින් එහෙනම් ඔබත් ලෑස්තිද පාඨමාලාව කරන්න.
   පන්තිය සීරුවෙන් සිටින්. පහසුවෙන් සිටින්. අවධානය තියාගන්නවා. වටපිට බලලා, නින්ද ගිහිල්ලා, අහුවෙන්ඩ එපා. දෙනවා ………..යන්ඩ.
  මම හිතන්නේ නැහැ ඒ ක්‍රමයට ඔබ එකඟ වෙයි කියලා. ඒ නිසා වෙනදා ක්‍රමයටම කරන්නම්.  😀
  ස්නයිපර් අවියක් කියන්නේ බරෙන් අඩු අවියක් කියා පසුගිය ලිපියේදී කිව්වා. එහෙත් හැම විටම එය ප්‍රායෝගිකව එහෙම නෙවෙයි. විවිධ අවශ්‍යතා නිසා බරෙන් වැඩි අවි ද තිබෙනවා. නමුත් මා අත්දැකීමෙන් දන්නවා ස්නයිපර් අවියක් තද පොළොවක් මත ඉහල සිට බිමට වැටුනත් හානි සිදුවන අවස්ථා තියනවා. විශේෂයෙන් ඉලක්කය ගැනීම විකෘති වෙනවා. ස්නයිපර් පුහුණුව නැති පුද්ගලයකු ඒ තුවක්කුවකින් වෙඩි තැබුවොත් එහි අභ්‍යන්තර කොටස්වල ක්‍රියාකාරිත්වයට (උදා; බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය, ට්‍රිගරයේ ක්‍රියාකාරිත්වය, වැනි දේ) හානි සිදුවෙනවා. මේ නිසා ස්නයිපර් වරයෙක් තමන් විසින් සියුම් ලෙස සීරු මාරු කර සාදාගත් තුවක්කුව වෙනත් ස්නයිපර් වරයකුටවත් දෙන්නේ නැහැ.
 
   මීට පෙර මා ඔබට විවිධ තුවක්කු කීපයක් පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වා තිබෙනවා. නමුත් ස්නයිපර් තුවක්කුවේ කෑල්ලෙන් කෑල්ල විස්තර කරන්න යන්නේ නැහැ. විශේෂතා පමණක් කියන්නම්. අනෙකුත් තුවක්කුවකට වඩා ස්නයිපර් තුවක්කුවක තිබෙන වෙනස්කම් මෙසේයි.
  1. අනෙක් තුවක්කු සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු වුනත්,(Full Automatic) ස්නයිපර් තුවක්කුවක් අනිවාර්යයෙන්ම අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) හෝ වරකට එක උණ්ඩයක් පමණක් යෙදිය හැකි (Manual Loading) ආකාරයටයි සකසා තිබෙන්නේ. එයට හේතුව ස්නයිපර් අවියකින් කිසිවිටෙකත් පොකුරු වෙඩි (Burst) තැබීමට අවශ්‍ය නොවන නිසයි.

2.  ස්නයිපර් තුවක්කුවකට අනිවාර්යයෙන්ම දුර දක්නයක් (Scope) සවිකර තිබෙනවා. දුර දක්නයක් නැතිව ස්නයිප් කරන්න බැහැ. මෙම දුරදක්න දිවා කාලයට (Day Scope) මෙන්ම රාත්‍රී කාලයටද (Night Scope) ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසා තියනවා. (දුරදක්නයටම සවිකළ GPS සහ සන්නිවේදන පහසුකම් මගින් තමන් දකින ඉලක්කය තවත් කෙනෙකු වෙත සියලු දත්ත සහිතව සම්ප්‍රේෂණය කළහැකි තත්වයට අද වැඩි දියුණු කර තිබෙනවා) මෙහි දැක්වෙන අද කාලයේ වඩාත් ජනප්‍රිය මෙන්ම දුර ඉලක්ක ගැනීමට සුදුසු ස්නයිපර් අවියක් ලෙස පිළිගැනෙන එම් 107 අවිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.

  පසුගිය ලිපියෙනුත් මා මෙම තුවක්කුවේම විස්තර දැක ගැනීමට ඔබට සබැඳියාවක් ලබාදුන්නා. එහෙත් සිංහලෙන් කියවන පාඨකයන් වෙනුවෙන් ඒ ගැන කෙටි විස්තරයක් සිංහලෙන් කිරීම සුදුසු බව හැඟුණ නිසයි මෙසේ කරන්නේ.

  •   නම : M107 .50 Caliber Long Range Sniper Rifle (LRSR)
  •  නිපදවන රට : ඇමරිකා එක්සත් ජනපදය
  •  මුලින්ම නිපදවූ වර්ෂය : 2002
  • තුවක්කුවේ කැලිබරය : අඟල් 0.50 (12.7 මිලි මීටර්)
  • යොදන පතරොම් වර්ගය : .50 Browning Machine Gun (12.7 x 99 mm)
  • තුවක්කුවේ බර (පතරොම් නැතිව, දුර දක්නය සවිකර) : රාත්තල්  28.5 (12.9 kg)
  • තුවක්කුවේ දිග : සම්පුර්ණයෙන් දිගහැරිය විට අඟල් 57 (1,448 mm) මිට හැකිලූ විට අඟල් 38 (965 mm)
  • තුවක්කු බටයේ දිග : අඟල් 29 (737 mm)
  •  මැගසිනයට වරකට දැමිය හැකි පතරොම් ගණන : 10 යි 
  •  පතරොම් 10 ක් දැමූ මැගසිනයේ බර : රාත්තල් 4යි අවුන්ස 12 යි  (1.87 kg)
  • උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය :  තත්පරයකට අඩි 2,800  (853 තත්පරයකට මීටර්)
  • උණ්ඩයක් ගමන්කරන උපරිම දුර : යාර 7,450 (6,812 මීටර්)
  • උපරිම සඵල වෙඩි දුර : යාර 2,000 (1,829 මීටර්)

මේ තුවක්කුව ගැන මීටවඩා තාක්ෂණික තොරතුරු රැසක් ඇතත් ඒ සියල්ල මෙහි ඇතුලත් නොකළේ පහත වෙනම තැනකින් එය ඔබට ඉදිරිපත් කරන නිසයි. මෙම තුවක්කුවට යොදන පතරොම ඉතා විශාල පතරොමක්. මේ බලන්න එහි ප්‍රමාණය.  ගුවන් යානා නාශක තුවක්කු වලට යොදන්නෙත් මේ පතරොම් වර්ගයමයි. ඉහත පින්තුරයේ තුවක්කුව සමග පෙන්වා ඇති පතරොම් වල තුඩ කොලපාට බවත් මේ සමග ඇති රුපයේ පෙන්වන පතරොමේ තුඩ රතුපාට බවත් පෙනෙනවාද? එසේ වීමට හේතුව මීට පෙර මම ඔබට කියාදුන්නා මතකද?

  පතරොම් තියෙන්නේ තුවක්කු වලට දමා වෙඩි තියන්නනේ. ඒත් ඉතින් යුද බිමේ ඉන්න සෙබලාට අවුරුද්දට කැවුම් බදින තාච්චුව වෙන්නේ යකඩ හිස්වැස්ම, කොකිස් අච්චුව වෙන්නේ මෝටාර් උණ්ඩයේ වලිගය කොටස. මේකත් ඒ වගේ වැඩක්. .50 වර්ගයේ හිස් කොපුවක් අහුවුනොත් කරලා බලන්න. රුපය මත ක්ලික් කර බලන්න.මාව හමුවීමට එන පළමුවැනි සියදෙනාට නොමිලේ එවැනි හිස් කොපු දෙනු ලැබේ 😀

  මේ ලිපි මාලාවේදී මා ඔබේ වැඩි අවධානයට යොමු කරන්නේ ස්නයිපර් තුවක්කු ගැන නොව ස්නයිපර් වරයකුගේ කාර්යභාරය ගැනයි. එහෙත් මා හොඳින්ම දන්නවා ඔබෙන් සමහර දෙනෙක් කියන්නට ඉඩ තිබෙනවා කෝ අර තුවක්කුව ගැන කිව්වේ නැහැනේ මේ තුවක්කුව ගැන කිව්වේ නැහැනේ කියලා. ඒ නිසා තව එක තුවක්කුවක් ගැන කියන්නම්. කතාව සමබර වෙන්නත් එක්ක ඇමරිකන් කාරයාගේ තුවක්කුවට පස්සේ රුසියන් කාරයාගේ තුවක්කුවක් ගැන කියන්නම්කො. මේ තුවක්කුව අපේ හමුදාවත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ තුවක්කුව ලෝකයේ අතිශයින් ජනප්‍රිය ස්නයිපර් අවියක්.

මෙන්න මේ තුවක්කුවේ තාක්ෂණික තොරතුරු

  • වර්ගීකරණය : ස්නයිපර් රයිෆල්
  • නිෂ්පාදනය කරන රට : සෝවියට් රුසියාව
  • මුලින්ම නිපදවීම : 1958
  • යුද කටයුතු සඳහා භාවිතය : 1963 සිට අද දක්වා
  • සැලසුම්කරු : එව්ජෙනි ඩ්රැගුනොව්
  • අවියේ බර (දුර දක්නය සවිකර පතරොම් නොදමා) : 4.30 කි.ග්රෑ. (9.48 රාත්තල්)
  • අවියේ දිග : 1,225 මි.මී. (48.2 අඟල්)
  • තුවක්කු බටයේ දිග : 610 මි.මී. (24.0 අඟල්)
  • යොදන පතරොම් වර්ගය :  7.62 x 54
  • යාන්ත්‍රණය : වායු පීඩනයෙන් ක්‍රියාකරන වර්තන බෝල්ට් එක
  • උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : 830 තත්පරයකට මීටර්  (2,723 තත්පරයකට අඩි)
  • සඵල වෙඩි දුර : මීටර් 800 යි
  • වෙඩි තැබිය හැකි උපරිම දුර : මීටර් 1200 (දුර දක්නය ආධාරයෙන්)
  • පතරොම් යෙදීම : පතරොම් 10 ක් දැමිය හැකි මැගසිනය

ඔන්න ආයෙනම් තුවක්කු විස්තර ලියන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු ගැන බලන්න පුළුවන් සබැඳියාවන්

ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු පිලිබඳ වීඩියෝවක් පහත දක්වනවා.

  ස්නයිපර් තුවක්කුවකට සවිකළ දුරදක්නයක් තිබෙන බව මා ඉහත සඳහන් කළා ඔබට මතක ඇති. අපි ඉතා කෙටියෙන් සලකා බලමු, ඒ දුර දක්නය මොන වගේද? කොහොමද ඒ දුරදක්නය පාවිච්චි කරන්නේ? යන කරුණු. සාමාන්‍ය තුවක්කුවකට වුනත් විශේෂ ආධාරකයක් මගින් දුර දක්නයක් සවි කල හැකියි. නමුත් ස්නයිපර් තුවක්කුවක් නිෂ්පාදනය කරන්නේ දුරදක්න ආධාරකය සහිතවයි. ඒ වගේම විවිධ දුරදක්න අවශ්‍යතාව අනුව සවිකිරීමට අදාළ පහසුකම්ද ස්නයිපර් අවියක බොහෝවිට සකස්කර තිබෙනවා.
  මේ දුරක්න දිවා රාත්‍රී දෙකේම පාවිච්චියට සුදුසු ආකාරයටද සකසා තිබෙනවා. එකී සැකැස්ම පිලිබඳ සරල සටහනක් මේ සමග ඉදිරිපත් කරනවා. රාත්රී දුරදක්නය තරමක් සංකීර්ණයි. ඒ නිසා ඒ ගැන විස්තර ලියන්න අදහස් කරන්නේ නැහැ.
  මීළඟට මා ඔබට අවස්ථාවක් දෙනවා ස්නයිපර් තුවක්කුවේ දුරදක්නයට ඇස තබා බලන්න. ඔබ දිවා කාලයේදී එවැනි දුර දක්නයකට ඇස තබා බැලුවොත් පෙනෙන්නේ මෙහෙමයි.
   එසේම රාත්‍රී කාලයේදී ස්නයිපර් තුවක්කු සඳහා පාවිච්චි කරන, බැටරි බලයෙන් ක්‍රියා කරන, අධෝරක්ත කිරණ (Infra Red beam) දුරදක්න තිබෙනවා. එමෙන්ම බැටරි බලයෙන් දර්ශනය ආලෝකවත් කර, පැහැදිලි කර ලබාදෙන දුරදක්නද තිබෙනවා. මේ එවැනි දුරදක්නයකින් රාත්‍රී කාලයේදී ගත ඉලක්කයක් පෙනෙන ආකාරයයි. මේ පින්තුර දෙස බැලීමෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති ස්නයිපර් වරයකු කොතරම් සතුරාට හානිදායකද යන්න.
   ස්නයිපර් වරයකු යම් පුද්ගලයකු නිවැරදිව ඉලක්කයට හසු කරගතහොත්, ඒ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ ඉතා කලාතුරකින්. ස්නයිප් කිරීම එතරම්ම මාරක වන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාමයි අද ලෝකයේ හමුදා හැකි සෑම විටම ස්නයිපර් වරුන් යුදබිමේ යොදවන්නේ. තම හමුදාවෙන් විශාල කොටසක් දැඩි වෙහෙසක් දරා යුද භූමියේ සටනට යොදවනවාට වඩා ස්නයිපර් වරුන් කීපදෙනෙක් සාර්ථකව යෙදවිය හැකිනම් ලබාගතහැකි වාසි පාබල හමුදා අණදෙන්නන් හොඳින් දන්නවා. ඒ නිසා ප්‍රහාරක සැලස්මක ස්නයිපර් වරුන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔත්තු බලන්න එන කුඩා කණ්ඩායම් මර්දනයටත් ස්නයිපර් වරු හොඳ ප්‍රත්‍යක්ෂ බෙහෙතක්.
ඇත්තටම ස්නයිපර් වරයෙක් කරන්නේ හැංගිලා ඉඳලා වෙඩි තියලා සතුරන් මැරීම විතරද?
  ඔන්න අපි හොඳ කාරණයකට ආවා. මතකනේ මම මුලින්ම කිව්වා ස්නයිපර් වරයා විශේෂඥ පුහුණු සොල්දාදුවෙක් කියලා. ඒ වගේම ඔහු විවිධ ඉරියව් වල සිට, (කැලයේ සැඟවී, ගසක අතු අතර සැඟවී, බිම තිබෙන වළකට බැස, ජලයේ සැඟවී, අට්ටාලයක සිට, කඹයක එල්ලී, ගොඩනැගිල්ලක සැඟවී, වාහනයක සැඟවී, තවත් ඉරියව් අපමණයි) නිවැරදිව ඉලක්කය ගැනීමේ විශේෂඥ පුහුණුව තිබෙනවා. එපමණක් නෙවෙයි සැඟවීම සහ වෙස්වලාගැනීම (camouflage and concealment) පිළිබඳව ඔහු සාමාන්‍ය සොල්දාදුවකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. පරිසරයේ ඇති විවිධ දේ පාවිච්චි කරමින් වෙස්වලාගැනීම, කිසිවකු නොසිතන තැනක සැඟවීම ස්නයිපර් වරයකු සතු විශේෂ ප්‍රාගුන්‍යයක්.
  ස්නයිපර් වරයා ඉලක්කක බල බලා වෙඩි තබමින් යන්නකු නොවේ. ඔහුට පැවරෙන අති විශේෂ රාජකාරි කීපයක්ම තිබෙනවා. ඔහුගේ සාර්ථක සැඟවීම සහ වෙස්වලාගැනීම නිසා ඔහුට හැකිවෙනවා ඉතා සාර්ථකව සතුරු භූමියේ ඉදිරියට රිංගා යාමට. එසේ යන අතර ඔහුට හැකි වෙනවා, සතුරු භූමියේ ස්වභාවය සහ සතුරු කඳවුරු වල පිහිටීම, සතුරාගේ ක්‍රියාකාරකම්, සතුරා ඉදිරියේදී ගනු ඇතැයි සිතෙන ආක්‍රමණශීලී පියවර, සතුරාගේ කාලතුවක්කු සහ යුද ටැංකි, එම්.බී.ආර්.එල්. අවි, ගුවන් යානා නාශක අවි ස්ථානගතකර ඇති ආකාරය, රේඩාර් මධ්‍යස්ථාන, අවි ගබඩා, පුහුණු කඳවුරු ආදී සියලු වැදගත් තොරතුරු තම අණදෙන නිලධාරියා වෙත ගුවන් විදුලි මගින් රහසිගතව දන්වන්නට. ඒ අනුව පාබල හමුදා සේනාංක ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් සතුරා වෙත නිවැරදි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට හැකිවෙනවා.
   විශාල සේනාංකයක් වෙනුවට සමහරවිට එක ස්නයිපර් වරයකු යෙදීමෙන් සතුරාගේ ඉදිරි සැලසුම් අවුල් කර දැමීමට හැකිවෙනවා. එක ස්නයිපර් වරයකු සතුරු ප්‍රදේශයට රිංගා උසස් හමුදා නිලධාරීන් කීප දෙනෙකු, ගුවන් නියමුවන්, බර අවි ක්‍රියා කරවන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, බිම බෝම්බ සවිකරන ඉංජිනේරු සෙබළුන්, කීප දෙනෙකුට ‘වග කියපු ගමන්’ සතුරා අන්දමන්දවී ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවනවා. ස්නයිපර් හෙමින්ම පසු බැස තමන්ගේ අණදෙන නිලධාරියාට දන්වනවා සතුරා අවුලට පත්වී සිටින බව. එවිට කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සතුරා එහෙම පිටින් අඩපණ වෙනවා.
 ඇෆ්ඝනිස්තානයේදී ඇමරිකානු ස්නයිපර් වරයකු ප්‍රහාර එල්ල කරන හැටි බලන්න පහල වීඩියෝවෙන්

ලෝකයේ මෙතෙක් වාර්තා වූ දුරින් වැඩිම ඉලක්කයට එල්ල කළ ස්නයිපර් ප්‍රහාරය ගැන වීඩියෝවක් පහලින් බලන්න.

  මා හිතනවා මේ විස්තර වලින් අද කොටස අවසන් කරන්නට. බොහෝ දෙනෙක් කර තිබුණු ඉල්ලීම් ඊළඟ ලිපියෙන් (අවසාන කොටස) ඉටු කරනවා.
Advertisements

Comments on: "සැඟවුණු මරුවා (තුන්වැනි කොටස) The Sniper (Part Three)" (80)

  1. අයෙත් නියම ලිපියක් අයියේ (මාමා කියන්නත් පුලුවන් වගේ, ඒත් ඉතින් හිතින් තරුන ඔබ අයියම තමයි )
    පොඩි ගැටලුවක් කොහොමද ස්නයිපර් සෙබලෙක් තමාගේ ඉලක්කය තිබෙන්නේ තම වෙඩි සීමවෙද කියල දැන ගන්නේ. ?

  2. මේ ලිපිය එනකල් තමයි බලාගෙන හිටියේ.ස්නයිපර්ස්ලා ගැන ගොඩක් දේවල් දැනගත්තා. ඒ ගැන කොච්චර ආසා හිතුනද කියනවනම් sniper elite v2 ගේම් එකත් ගෙනත් මේ දවස්වල ප්ලේ කරනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ නොදන්නා දේවල් සිංහල භාෂාවෙන් අපිට කියලා දෙනවට.

  3. බොහොම ස්තූතීයි ලිපි පෙලටම! 🙂

    හොඳම වෙඩික්කරුවන් වගේම snipersලත් ඉන්නේ USMC එකේ කියනවා නේද? මම කියවපු විදියට ඔවුන්ට වෙඩි තැබීමේ පුහුණුව ගොඩක් වැඩියෙන් දෙනවා.

    ඔබතුමාට පුළුවන් නම් LRRP units වල ඉතිහාසය ගැනත් ලිපියක් දන්න.

    • ස්තුතියි අගය කිරීම ගැන.

      හොඳම ස්නයිපර්ලා ඉන්නේ අහවල් රටේ අහවල් හමුදාවේ කියලා ස්ථිරවම කියන්න අමාරුයි. එය කාලීනව වෙනස් වෙනවා.

      LRRP ගැන ලියන්නම් කරුණු හොයාගෙන

  4. 1. “ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.” අලුත් ලිපිය ඇවිත්ද බලන්න මම හැමදාම දවසකට පස්පාරක් විතර ආවා.. ඒත් ඉතින් සද්දෙම නැතුව ගියා..

    2. මැනවින් ස්ථානගතව සිටින ස්නඉපර්වරයෙකුට එකවිටම පසුබැස ගිය හැකිද?

    3. හදිසියේ හෝ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ සෙබළුන් හා මුහුණට මුහුණලා සටන් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා සූදානමක් ස්නයිපර්වරයා සතුද? අමතර අවි ගෙනයනවා නම් ගෙනයායුතු බර හා ගමනේ වේගය අඩාල වෙනවා නේද?

    4. තම කඳවුරට ස්නයිපර් ප්‍රහාර වලින් වළකා ගැනීමට භාවිතා කරන උපක්‍රම මොනවාද?

    5. පොකුරු වෙඩි කියද්දී මතක් වුනේ. තමුන්ට ඉතා ළඟින් හමුවන සතුරු ඛන්ඩයකට ස්නයිපර් අවියෙන්ම පහරදෙන සෙබලෙකුගේ වීඩියෝවක් මම දැක්කා. කලින් ලිපියෙදි කියූ වීඩියෝව වෙන්නැති.

    6. ‘නයිට් විශන්’ කණ්ණාඩි ක්‍රියා කරන්නේ කොහොමද? කණ්ණාඩිය ඇතුල එළිය වුනාට ඉලක්කය ආලෝකමත් වෙන්නේ නෑනෙ. අධෝරක්ත කිරණ භාවිතා කරන බව නම් අසා තිබෙනවා.

    6. “මාව හමුවීමට එන පළමුවැනි සියදෙනාට නොමිලේ එවැනි හිස් කොපු දෙනු ලැබේ” මට මුලින්ම හිතාගන්න බැරිවුනා මොකක්ද කියලා. පින්තූරෙ දැක්කමයි දන්නෙ

    7. නිවැරදිව ඉලක්කයට තැබීමේ රූපවල විචාරක මහත්මයා පෙන්වලා තියෙනවානෙ ඉලක්කය ගන්නෙ හරියටම තිරස් හා සිරස් රේඛා කැපෙන තැන බව. ඒත් මම දැක්කා ඒ කැපෙන තැන නැතුව (හිතමුකො කතිරය මධ්‍යය ලක්ෂ්‍යය කරගෙන දිසාවන්ට බෙදුවා කියලා) එතැනින් වයඹ දිශාවේ තැනකට ඉලක්කය ගන්නවා. ඒකට හේතුව විදිහට කිව්වෙ සුළඟේ වේගයත් දුර ගමන් කිරීමේදී උණ්ඩයේ අපගමනයත් සළකා එසේ කරන බවයි.

    8. නගරයේ හැංගිලා ඉන්න කෙනාව නම් දුටු සැනින් හඳුනා ගත්තා.

    9. ස්නයිපර් ප්‍රහාරයට ලක්වන්නා එක පහරින් මර්ධනය කළ යුතුයි නේද? ඒ සඳහා උණ්ඩයේ බලය වගේම ඉලක්කය අල්ලන සිරුරේ ස්ථානයද වැදගත් කියලා හිතනවා. සාමාන්‍යයන් යුද්ධයකදී සතුරාගේ නාභිය ඉලක්ක කරන්න කියලානෙ කියන්නෙ. මෙතනදී ඉලක්ක කරන්නෙ හිසද? හිස ඉලක්ක කිරීම නිසා ඉලක්කය වැරදීමේ සම්භාවිතාව අඩුවන්නේ නැතිද?

    10. සාමාන්‍යයෙන් ඉලක්කයක් ලබාගැනීම සඳහා ස්නයිපර්වරයෙකු කොතරම්වෙලා ගන්නවද? මම කිව්වෙ රැඳී සිටින කාලය නෙමෙයි. යමක් ඉලක්ක කරනවා යැයි සිතීමත් ඉලක්කයෙ මරණයත් අතර කාලය.

    11. චලනය වන ඉලක්කයට පහරදීමේ හැකියාව ස්නයිපර්වරයෙකු සතුද? ඉතා ඈත වාහනයක වේගයෙන් යන සතුරෙක් ගැන හිතුවොත්.

    ලිපියට බොහෝම ස්තුතියි!

    • දීපන්කො ආයෙ සැරයක් ප්‍රශ්න පත්තරේකට උත්තර.

      1. 😀

      2. සෑම විටම බැහැ. බොහෝ විට ඔහු සතු සැඟවී ගමන් කිරීමේ හැකියාවෙන්, කල්තබා සිතෙන් මැනගන්නවා මාර්ගයක්. එය අනුගමනය කරනවා. වෙඩිල්ලක් තියපු ගමන පැනලා දුවන්නේ නැහැ. එහෙම කලොත් ඒ එයා තියන අන්තිම වෙඩිල්ල තමයි.

      3. ස්නයිපර් වරයා සතුරන් මුහුණට මුහුණ හමුවෙයයි සිතන ප්‍රදේශ, මාර්ග හැම විටම මග හරිනවා. නැත්නම් ඒ ප්‍රදේශය පසු කිරීමට නොගොස් වටයකින් යනවා. කිසි විටකත් මුහුණට මුහුණ සටනක් බලාපොරොත්තු වන්නේ නැහැ. අහුවුනොත් ඉවරයි.

      4. පරිසරයට අනුව වෙස් ගන්වා, ප්‍රබල දුරදක්න සහ ගුවන්විදුලි යන්ත්‍ර සහිත සෙබළුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම්, කඳවුරෙන් පිටත සුදුසු ස්ථානවල නිරීක්ෂණ ස්ථාන (Observation Point = OP) ලෙස යෙදවීම. අපේ ස්නයිපර් වරුන් ඒ ආකාරයටම යෙදවීම.

      5. හැබැයි තමන්ට තමන්ගේ පක්ෂයෙන්ම ආධාරක වෙඩි බලයක් නැතිව එසේ කිරීම දිවි නසා ගැනීමක්.

      6. හයේ ඒවා දෙකක් දාලානේ. පළමුවැනි හයට උත්තරේ. රාත්‍රී දුරදක්න අධෝරක්ත කිරණ වලින් ක්‍රියා කළාට එයින් පිටතට විහිදෙන ආලෝක ධාරාවක් නැහැ. පරිසරය පෙනෙන්නේ කොළ පාටට. හැබැයි සතුරා අතේ නයිට් විෂන් එකක් තිබේනම් ඔහුට අපේ නයිට් විෂන් එකේ ආලෝකය පෙනෙනවා. (බඩුම තමයි) අධෝරක්ත කිරණ නොයොදා තරමක් අඳුරේ පරිසරයේ ඇතිවන කුඩා එළියකින් ප්‍රයෝජනය ලබාගෙන බලන දුරදක්න තියනවා.
      දෙවැනි හයට උත්තරේ. තැපෑලෙන් එවන්නද? පොලීසියෙන් අල්ලගත්තට වග කියනු නොලැබේ.

      7. ඔව්‍ ඔබ කියන එක හරි. එවැනි දීර්ඝ විස්තර තියනවා. සංස්කරණයේදී කපා හැරියා.

      8. මගෙ පුතු හරි හපනා. 😀

      9. සෑම විටම හිස තමයි ඉලක්ක කරන්නේ කොයි තරම් අමාරු වුනත්. නැත්නම් පපුවට. මොකද හිසට සිදුවන තුවාලයකින් බොහෝවිට මරණය සිදුවෙනවා.
      (නැත්නම් එදා වෙච්ච දේ විතරක් අමතක වෙනවා :D)

      10. එක් එක් ස්නයිපර් වරයා අනුව, අවස්තාව අනුව, කාලගුණික තත්වය අනුව, ඉලක්කයේ චලනයවීම් අනුව, ඒ කාලය වෙනස් වෙනවා. ඉලක්කය තම ඇසෙන් ‘ලොක්’ කරගත් වහාම ට්‍රිගරය මිරිකනවා.

      11. පුළුවන්. එය ගතයුතුම ඉලක්කයක්, ආය නොලැබෙයි කියලා හිතෙන, ආයෙත් ගන්න සෑහෙන කාලයක් යයි කියලා හිතෙන ඉලක්කයක් නම් පමණයි. චලනය වන ඉලක්ක (moving targets) ගන්නේ.

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

      • පිළිතුරුවලට බොහෝම ස්තුතියි!

      • 3. ස්නයිපර්වරයා ගන්නේ දුර ඉලක්ක නිසා තම පාලන ප්‍රදේශයකම ඉඳන් ක්‍රියා කිරීමෙන් මුහුණට මුහුණලා හමුවීම් බොහෝදුරට අවම වෙන බව හිතෙනවා..

        6. නයිට් විශන් වලින් උෂ්ණත්වය වැඩි තැන් ඉස්මතු කර පෙන්වීම නේද කරන්නෙ..

        9. “නැත්නම් එදා වෙච්ච දේ විතරක් අමතක වෙනවා” තේරුනේ දැන්නෙ.. 🙂 මම හිතුවෙ හින්දි චිත්‍රපටවල විතරයි එහෙම වෙන්නෙ කියලා.. ඒවලත් ආයෙම ඒ වගේ දෙයක් වුනාම යථා තත්වයට පත් වෙනවනෙ.. කරලා බලමුද?
        අර ‘ගීත්’ චිත්‍රපටියෙත් ඔහොම එකක් තියෙනවානෙ..

        • 3. සෑම විටම පාලන ප්‍රදේශයේම ඉඳන් කරන්න බැහැ. ඒ නිසා සතුරු භූමියට යන්න වෙනවා.

          6. උෂ්ණත්වයේ තීව්‍රතාව මත දවල් වගේ පරිසරය පෙනෙනවා. හැබැයි සුදු පාටට ආසන්න ලා කොලපාටේ සිට කලුපාට දක්වා සියල්ල කොළ පාටෙන් තමයි පෙනෙන්නේ.

          9. අපේ තාත්තට වෙඩි තිබ්බේ අයියා නෙවේනේ නේද? 😀

  5. ක්සැන්ඩර් | Xander said:

    ඇමරිකානු හමුදාවේ ස්නයිපර් පුරාජේරු නම් මම පුද්ගලිකව තක්සේරු කරන්නේ නෑ. උන් හිතාන ඉන්නේ හැම මගුලේම ලොකුම තැන උන්ට කියල නේ.

    රුසියන් ඩ්‍රැගනොව් එක එල්ටීටීඊ කාරයෝ ලඟත් තිබ්බා කියන්නේ ඇත්තද?

  6. නොදන්නා දේවල් බොහෝ දෙයක් ඔබේ ලිපි පෙළ හරහා දැනගත්තා. ස්තුතියි ඔබට..

  7. //එහෙත් සිංහලෙන් කියවන පාඨකයන් වෙනුවෙන් ඒ ගැන කෙටි විස්තරයක් සිංහලෙන් කිරීම සුදුසු බව හැඟුණ නිසයි මෙසේ කරන්නේ//

    මෙන්න එළකිරි කොල්ලෝ

  8. දැන් තමයි තේරෙන්නෙ, කදිරගාමර් මහත්තයට ටිකට් එක සෙට් කෙරුවෙ ස්නයිපර් කෙනෙක් කියලා..

    ගොඩක් නොදත් දේ ඉගැන්නුවාට විචාරක මහතාට ස්තූතියි.

    ඔබ ස්නයිපර්ලා සැඟවී රහසිගතව වෙඩි තියනවා කිව්වට අර අමෙරිකන් සෙබලා බොහොම සැහැල්ලුවෙන් කතාකර කර නේ වෙඩි තිබ්බෙ. ඒක පුහුණුවක්ද ? අනිත් එක මට හිතුනෙ තමන්ගෙම කඳවුරේ ඉඳලම ඉලක්කය ගන්න බවකුයි..ඔහොම ස්නයිපර්ලනම් අර ලංකාවට ආපු වඳුරු හමුදාවෙත් ( නෑ නෑ රාවණාගෙ කාලෙ ආපු කට්ටිය නෙමේ, අර එන්ඩ කියලා වඩම්මෝපු කට්ටිය ගැන මම කිව්වෙ 🙂 ) ඉන්න ඇති නේද.

    හරීගෙ ප්‍රශ්න පත්තරේට හම්බුන පිළිතුරු ටිකත් කියවලා ගොඩක් ගැටළු නිරාකරනය කර ගත්තා.. ඒත් තාමත් නයිට් විශන් එකෙන් පේන එක හරිම අවුලක්.. අපිට පොඩි කාලෙ විද්‍යා පාඩමට ඉගැන්නුවෙ වස්තුව මතට වැටෙන ආලෝකය අපේ ඇහැට පරාවර්තනය වුනාම තමයි පේන්නෙ කියලා..

  9. හරි වැඩක් නේ, පළවෙනි කොටස කියවල ගියපු මම තුන්වෙනි කොටස කියවන්න අද ආවෙ. දෙවැනි කොටස මට මගඇරිලා. ආයිත් ගිහින් ඒක කියවන්න ඕන. 😀
    මට ඇති වුණ සමහර ප්‍රශ්න නම් ඔය හරීගෙ ප්‍රශ්න පත්තරේ උත්තරවලින් විසඳගත්ත. අර නාගරික පරිසරයෙ සැඟවුනු ස්නයිපර්ව නම් මමත් දැක්ක ගමන් අඳුරගත්ත, ඒත් මම හිතන්නෙ සෑහෙන ඈතක සිට නිරීක්‍ෂණය කරන කෙනෙක්ට එක්වරම එය ග්‍රහණය වන්නෙ නැතිවෙන්න පුළුවන්. ඔවුන්ගෙ අපේක්‍ෂාවත් එය පමණක් වන්නට ඇති.
    මේ ස්නයිපර්වරු හුඟක් වෙලාවට ඔය කඳුමුදුන් ගොඩනැගිලි වගේ උස් ස්ථානවල ඉඳල තමන්ගෙ ඉලක්කය ගන්න දර්ශන මම දැකල තියෙනව ෆිල්ම්වල. ඔවුන් වාතය මගින් ඇතිවන ප්‍රතිරෝධය වගේ බාහිර බාධක හරියට කළමනාකරගන්නෙ කොහොමද? (මම හිතන්නෙ එක් ඉලක්කයක් වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නෙ එක් අවස්ථාවක් පමණක් වෙන්න ඇති.) එමෙන්ම යුද්ධයෙන් පරිබාහිරව ප්‍රභූ ආරක්‍ෂක ක්‍රියාවලිවල දි මේ වගේ ස්නයිපර්වරු සිටිය හැකි උස් ස්ථාන ගැන සැලකිලිමත් වෙනකොට දැනට ලෝකයෙ නිපදවල තිබෙන ස්නයිපර් අවිවල ප්‍රබලතාවයනුත් ඔවුන් සැලකිල්ලට අරගෙනමද එහෙම කරන්නෙ. (හිටපු ඇමරිකානු ජනාධිපති කෙනඩිව ඝාතනය කළෙත් මේ වගේ දුර සිට වෙඩි තැබූ පුද්ගලයෙක් කියලයි මම අහල තියෙන්නෙ)
    අර උඩ ඡායාරූපෙ ඩී. එස්. සේනානායක අගමැතිතුමා අසල සිටින්නෙ සර් ජෙෆ්රි ලේටන් කියන අහංකාර සුද්දද?

    • තුවක්කුවේ දුර දක්නයේ සීරුමාරු කිරීම් වලින් වාතයේ ප්‍රතිරෝධයෙන් වන බලපෑම අවම කරගන්නවා. ඒ හැර ඉහත එම් 107 තුවක්කුවේ පින්තුරය දෙස බැලුවොත් ඔබට පැහැදිලි වෙයි, බටයේ අග කෙලවර බර වැඩි කිරීමෙන්, සුළඟින් ඇතිකරන පීඩනය අඩු කරගන්නවා.
      ප්‍රභූ ආරක්‍ෂාවේදී ස්නයිපර් වරුන්ට අවස්තාවක් ගතහැකි ස්ථාන මග හැර යන්න උත්සාහ කරන අතර, එවැනි ස්ථාන වලට අපේ භටයන් යොදවනවා.
      අර ඉන්න ‘සූකි නද්දා’ කවුදැයි නොදනිමි.

  10. මෙන්න මට මුල සිටම තිබුන ප්‍රශ්නය.. ඔය වීඩියෝවල පෙන්නනවා වගේ හැතැප්ම එක හමාරක් තරම් දුරකට නිවැරැදිව ළගාවෙන්න ස්නයිපර් බුලට්ස්වල මොකක් හරි විශේෂ වෙනස්කමක් (වෙනස්කම්) කරලා තියෙනවාද, සාමාන්‍ය රයිෆල් බුලට් එකකට වඩා.??

    අනිත් ප්‍රශ්නය තමා එක උණ්ඩයකින්ම වැඩේ ඉවරයක් කරගැනීමේ අරමුනින් ස්නයිපර් බුලට්ස්වල ප්‍රහාරක බලය වැඩිකරලා තියෙනවාද.? එහෙමනම් ඒ කොහොමද.? (මම අහන්නෙ නීත්‍යනුකූල අන්දමින් බලය වැඩිකිරීම. බුලට් එකට රසදිය බිංදුවක් එක්කිරීම වගේ නීතිවිරෝධී ක්‍රම නෙවෙයි. :D)

    පලි: මේ ප්‍රශ්න දෙක ගැන අනිත් ලිපියෙන් දිගට කතාකරන්න යනවානම් මෙතන උත්තරයක් අවශ්‍ය නෑ.. මට තව ටිකක් ඉවසාගෙන ඉන්න පුළුවන්‍‍.. 🙂

    • අමතකවුනා නෙවැ ස්තූතියි කියන්න..

    • කිසියම් ප්‍රක්ෂිප්තයක් (projectile) තුවක්කුවකින් පිටවනවිට එයට ලැබෙන සාපේක්ෂ ප්‍රවේගය (muzzel velocity) තමයි ඒ ප්‍රක්ෂිප්තය ඈතට ගමන් කිරීමට බලපාන ප්‍රධාන සාධකය. ඉලක්කය ගැනීමේදී තුවක්කුව අල්ලන්නේ ඉලක්කය පිහිටි දුර අනුව උන්නතාංශය වැඩි කරලා. ඒ වගේම තුවක්කු බටයේ දිගත් බලපානවා උණ්ඩය ගමන කරන දුර කෙරෙහි.

      නැහැ. නීති විරෝධී උන්ඩ සම්මත යුද හමුදාවක් කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. පතරොම ඇතුලේ පත්තුවන වෙඩි බෙහෙත් වල දහන ශක්තිය වැඩි දියුණු කර තිබෙනවා. ඒ නිසා උණ්ඩය පිටවීමේ වේගය වැඩි වෙනවා.

      • “නීති විරෝධී උන්ඩ” උණ්ඩයකින් වෙඩි තැබීමේ අරමුණ අදාළ තැනැත්තාව ඝාතනය කිරීම නම් නීතියක් මොකටද කියලා මට තේරෙන්නෙ නෑ..

      • @ හරී,

        යුද්ධයක් කරත් ඒකත් කරන්න ඕන නියමිත නීති රාමුවකට කොටු වෙලා.. එහෙම නැතුව දකින දකින එකාට වෙඩි තියලා (සොල්දාදුවන් හා සාමාන්‍ය ජනතාව දෙගොල්ලන්ටම) යුද්ධ කරන්නට බෑ.. යුද්ධයකදී සතුරු සෙබලුන් මරාදැම්මා කියලා සෙබලෙකුට අධිකරණයේ නඩු වැටෙන්නෙ නැත්තෙත්, ඔහුව මිනීමරුවකු විදියට හංවඩු ගැහෙන්නෙ නැත්තෙත් ඒ නිසයි.. ජිනීවා නීති-රීතිවලට යටත්ව යුද්ධ කරන සෙබලෙකුයි, තුවක්කුවක් අරන් හතරවටේට වෙඩි තියන නිකංම නිකං මිනිහෙකුයි (නැත්තං කුලියට මිනීමරන මර්සනරි කෙනෙකුයි) අතර ලොකු වෙනසක් තියෙනවා..

  11. ගොඩාක් දේවල් දැනගත්තා විචාරක. අර ඇඳුම් ඇඳන් කොහොම ඉන්නවාද (මම කීවේ හැංගිලා ඉන්න ) කියන එක හිතාගන්ටත් බෑ. ඉදිරි ලිපි පෙල එනකල් බලාගෙන ඉන්නවා.

    වෙඩි තියන වැඩේට මම හරි ආසයි. 🙂

  12. 100ට 1000ක් තැන්කූ වේවා.
    ලියන්න සෑහෙන මහන්සියක් ගත්ත නේද. තව පොටෝ එඩිට් කරන්නත්….. කමක් නෑ, කමක් නෑ,,, පාඨකයො සංතෘප්තයි නෙව.
    ජය වේවා එහෙනම්.

  13. අන්තිම සටනෙදි අපට අහිමිවුනු නීරෝව තමයි මතක් වුනේ… යුධ හමුදා ප්‍ර‍දර්ශනයේදී මම දැක්කා නීරෝ වෙඩිවදින අවස්ථාවෙ පැළද සිටි කැප් තොප්පිය…ඒකෙ හරි මැද්දට වෙන්න ලොකු සිදුරක් තිබ්බා නීරෝගෙ හිස පසාරු කරගෙන ගිය උණ්ඩය ගිය මාවත තමයි ඒ… නීරෝ මිය ගියේ LTTE ස්නයිපර් කරුවෙක් අතින්ද ?

  14. මමත් Snipers වලට ගොඩක් ආස කෙනෙක්. ඔබ sniper weapons ගෙන මේ කරන සඳහන් ලොකු උදව්වක්. Sniper rifle නැති හන්ද මම shootකරන්නෙත් air rifle එකකින්. මම ඒවා ගැන ගොඩක් විස්තර හොයා ගත්තේ Documentries වලින්. එත් සිංහල කොල්ලෙක්ගෙන් ලැබෙන මේ Support මම සැහෙන්න අගය කරනවා කොටින්ම, snipers කියන්නේ ඉගෙන ගන්න වටිනා වෙනම Science එකක් . ඔබට ගොඩක් ස්තුති

  15. මෙදා පාර තාක්ෂණික තොරතුරු හුඟක් තියෙනවා.. මෙහෙ hobby shops වල තියෙනවා රයිෆල වගේම ඔය වගේ දුර දක්නත් විකුනන්න,මගේ යාලුවෙක් ආපු වෙලාවක ලංකාවට අරන් ගියා මිනිහගේ වායු රයිෆලයට,මාත් ඕකට ඇහැ තියලා පොඩ්ඩක් සෙල්ලම් කරලා බැලුවා,එක ඇතුලේ හුඟක් සටහන් තියෙනවා එහෙට මෙහෙට කෝණ එහෙම ඇඳලා ඉරි වලින්,ඔබ තුමා කියන විදියට ඉලක්කයේ දුර එහෙම නිගමනය කරන්නේ ඒවායින් වෙන්න ඕනේ..
    එක නෙමෙයි ඔබ තුමා අර හිස් කොපු වගයක් දෙනවයි කිව්වේ… මගේ ඔලුවට එනවා නිකන් කක්කි අදහසක්…

    • සමහර උපකරණ ලංකාවට ගෙනෙන්න දෙන්නේ නැහැ. එයාලා හිතන්නේ රට පෙරලන්න තමයි ඒවා ගේන්නේ කියලා.
      අනේ ඒ කොපු නෙවෙයි. මමත් අර සොල්දාදුවගේ ජාතියේ. ස්වභාවික රසය ප්‍රිය කරන්නෙක්.

      • හම්මෝ ස්වාභාවික රසය වගේ නෙමෙයි ගෝවා මල් එහෙම පිපුනොත්…

        • අම්මෝ අහනකොටත් ඇඟ හිරිවටෙනවා.
          අපි දොස්තරවරු හමුදා කඳවුරු වලට ගෙනත් දේශන පැවැත්වුවා සොල්දාදුවන්ට, ඔය රෝග ගැන කියාදීමට. එහිදී පෙන්වූ සමහර පින්තුර දැකලා අප්පිරියාව නිසා වේලක් දෙකක් නොකා හිටිය සොල්දාදුවොත් හිටියා.

  16. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී….. දැකලවත් නැති අපිට දෙන මේ දැනුමට බොහොම පින්…… අර කොපුවක් මටත් ඕනේ…… කොපුව නැතත් හම්බවෙලා කතා කරන්න වටිනව………..

  17. මේ ලිපි තුනෙන් සෑහෙන දැනුමක් ලැබුනා.Enemy at the gate බලන්න ඕනෑ.ඔබතුමා පූර්නකාලීනව හමුදාවට යන්න කලින් ගුරුවරයෙක් බව ලිපි වලින් සහ කමෙන්ට් වලින් තේරුම් ගත්තා.විද්‍යා ගුරුවරයෙක් කියලයි මට හිතෙන්නෙ.අපි ඉස්කෝලෙ යනකාලෙ හිටපු රසායන විද්‍යා ගුරුතුමාත් ඔය වගේම හමුදාවට ගියා.ලෝරන්ස් සිල්වා කියලා සමහරවිට දන්නවත් ඇති.අර දියවෙන පත්තරේ ලියන එකා ගැන කියල තිබුන එක නම් සහතික ඇත්ත .Janes Defence Weekly එක බලාගෙන ලියනෙ එක මහ වැඩක්ද?

  18. සතියකට පස්සෙ ගෙදර ආව විතරයි, මෙන්න බොලේ 3 කොටස දාලා. හේ හේ නියමයි නියමයි. සමහර ගේම් වල තියෙන ස්නයිපර් වල බයිනෝ එකේ සතුරා ලඟ තියන අවි ආයුධ වෙනම පැත්තකින් වැටෙන්නෙ කොහොමද? අනිත් කාරනේ තමයි ස්නයිපර්ගේ සහයකයා ගැන විශේෂ සඳහනක් නැත්තෙ මොකද? එයා නේද සතුරා ඉන්න දුර, හුලඟේ වේගය දිශාව වගේ වැදගත් තොරතුරු සපයන්නේ.

    • පරිගණක ක්‍රීඩා සෑම විටම යතාර්ථය සමග සමාන වන්නේ නැත. විරුද්ධ පැත්තේ ඉන්න ස්නයිපර් ගේ අතේ තියන තුවක්කුව තමන්ගේ දුරදක්නයෙන් දැකිය හැකියි. නමුත් ඔහු අතේ තියන සියලු අවි ආයුධ පෙන්වා දෙන ක්‍රමයක් නැත.

      ස්නයිපර්ගේ සහායකයා ඊළඟ ලිපියේදී කැඳවාගෙන එනු ලැබේ.

  19. මේක අතුරු ප්‍රශ්ණයක්, ලංකාවේ .45 පාවිච්චි වෙන්නෙම නැත්ද? මම කලින් pst එකක තිබුණු comment එකක දැක්කා ලංකාවේ H&K පිස්‍තෝල commando, SF අය පාවිච්චි කරනවා කියලා (USP වෙන්න ඇති) ඒවත් 9mm virsions ද?

    • .45 කලකට ඉහත ප්‍රගුණ වෙඩිකරු පුහුණු පාසලේදී මා දැක තිබෙනවා. නමුත් රාජකාරි අවිය ලෙස නිකුත් කරන පිස්තතෝල මොන වර්ගයට අයත් වුනත් කැලිබරය මිමී 9.

  20. T56 සහ AK47 වල වෙනස්කම් මොනවාද? කල් පැවැත්ම සහ පාවිච්චිය අතින්. T56 වර්ග 3 අතරින් වඩාත් හොද කුමන වර්ගයද?

    • බැලූ බැල්මටනම් මේ රයිෆල් දෙකේම පෙනුම එක සමානයි. ඇත්ත වශයෙන්ම ක්‍රියාකාරිත්වය (යාන්ත්‍රනය) එක සමානයි. දිග පළල ඉතා සියුම් වෙනස්කම් සහිතව එක සමානයි. T 56 3.8Kg බරයි. AK 47 4.3Kg බරයි. ශක්තිය හා කල් පැවැත්ම අතින් AK 47 ඉදිරියෙන් තිබෙනවා. AK 47 වෙනුවෙන් නිපදවූ විශේෂ මැගසින් දෙකක් තියනවා රවුම් සහ හතරැස් හැඩ වලින්. (සාමාන්‍ය මැගසිනයට අමතරව) AK 47 රයිෆලයේ forsight piller නමැති කොටස උඩ පැත්තෙන් විවෘතයි. නමුත් T 56 රයිෆලයේ එය උඩ පැත්තෙනුත් ආවරණය වෙලා තියෙන්නේ. AK 47 රයිෆලයේ බයිනේත්තුවක් සහිත මෝස්තරයේ දී බටයේ කෙලවර බොහෝවිට උඩ පැත්තෙන් අංශක 45 ක කෝණයකට කපා සකස් කර තිබෙනවා. T 56 රයිෆලයේ බොහෝවිට එහෙම කපා නැහැ. AK 47 රයිෆල් බොහෝවිට ස්ථිරව තනි කඳක් සහ මිටක් සහිතයි fixed butt නමුත් T 56 රයිෆල් බොහෝවිට නැවිය හැකි collapsible/foldable මිටකින් යුක්තයි.

      • මම අහලා තියෙනවා AK-47 එකේ යුරෝපීය copies වලට වඩා චීන copy එක (T-56) හොඳයි කියලා. AK මගසීන් T56 වලට දන්න බැරිද? පළවෙනි රූපයේ තියෙන්නේ threaded barrel එකක් නේද? suppressor එකක් හයි කරන්න තියෙන?

        http://www.imfdb.org/wiki/Ak_47#Norinco_Type_56 movies වල තියෙන ආයුධ ගැන දැන ගන්න ගොඩක් හොඳ site එකක්.

        • ඒ කේ 47 යුරෝපීය නිෂ්පාදන හොඳ නැහැ. රුසියානු සහ ඊශ්‍රායල් වර්ග විතරයි හොඳ. ඒ. කේ 47 මැගසින් ටී 56 ට දාන්න පුළුවන් ඒ.කේ. 47 ට හදපු වෙනම මැගසින් වර්ග දෙකක් ගැනයි මම කියලා තියෙන්නේ.

      • ඊශ්‍රායලයේ ගහන්නේ Galil කියන එකනේ? අපේ හමුදාව AKs පාවිච්චි කළේ නැත්ද? කෙලින්ම chinese එකටද ගියේ? තව RPD, PKM, FN MAG, FN MINIMI ලංකාවේ service එකට ආවේ කොයි කාලෙ වගේද? LTTE එක ආයුධ මිලදී ගත්තේ කොයි තැන් වලින්ද? විශේෂයෙන් යුරෝපයේ නිශ්පාදිත ඒවා? නීත්‍යානුකූලව මිලදී ගත්තා නම් වෙන්න බෑනේ.

        • අපේ හමුදාව ඒ.කේ. 47 පාවිච්චි කලේ නැත. එල්.ටී.ටී.ඊ. එකේ තිබී ඒ.කේ. 47 කීපයක් අහු වුනා. අපිට මුලින්ම ටී 56 ෆික්ස් බට් මෝස්තරය ඉතා සුළු සංක්‍යාවක් ලැබුනා චීනයෙන් 1971 කැරැල්ල අවස්ථාවේදී. ඒ නිසා වෙන්න ඇති ටී 56 ටම යන්න ඇත්තේ පසු කාලයේදී. ඔබ අසා ඇති අනෙක් අවි පාවිච්චිය ඇරඹුණේ 1980 දශකයේ අග භාගයේදී.

          ලෝකය පුරා හොර අවි ජාවාරම් කරුවන් ඉන්නවා. කුඩා පතරොම් වල සිට, එම්.අයි.24 ප්‍රහාරක හෙලිකොප්ටර් දක්වා වුනත් ඔවුන්ගෙන් ගන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ. එක බඩු ගත්තේ ඒ ආකාරයටයි. සමහර රටවල් ආධාර කල බවටත් තොරතුරු තියනවා.

      • එහෙනම් wikipedia එකේ තියෙන list එක වැරදියි. හැබැයි list එකේ (http://en.wikipedia.org/wiki/Sri_Lankan_Army#Infantry_weapons) තියෙන Sa 58 කියන එක නම් මම දැකලා තියෙනවා SF එකේ පිංතූරයක, එතකොට අනෙක් ඒවා හරිද?

        “ලෝකය පුරා හොර අවි ජාවාරම් කරුවන් ඉන්නවා. කුඩා පතරොම් වල සිට, එම්.අයි.24 ප්‍රහාරක හෙලිකොප්ටර් දක්වා වුනත් ඔවුන්ගෙන් ගන්න පුළුවන්.”

        මට මතක් වුණේ Lord Of War කියන movie එක.

        • විකිපීඩියා එක විවෘත වේදිකාවක්. (Open Forum) එහි ඇතුලත් තොරතුරු විවාදාත්මකයි. කාලීනව වෙනස් කරනවා තතුදත් අය විසින්. තොරතුරක් සනාත කිරීමට මම කරන්නේ අඩවි කීපයක ඇති තොරතුරු සංසන්දනය කර වඩාත් විශ්වාසදායක තොරතුරු අනුව කරුණු තහවුරු කරගැනීමයි.

  21. අසමි දකිමි සොයමි බ්ලොග් අඩවියේ මම ආසාවෙන් බලාපොරොත්තුව හිටි… ඒවගේම දැනට පලවුනු ඒවායින් පුද්ගලිකව ආසම ලිපි පෙල තමයි ස්නයිපර් ලිපි පෙල… අවාසනාවකට හැම ලිපියකටම කමෙන්ට් කරමින් නිදහසේ රසවිඳින්න ඉස්පාසුවක් ලැබුනේ නැහැ… ලිපි වලිනුත් කමෙන්ට් වලිනුත් මිළකල නොහැකි දැනුමක් ලබාගත් බව පමණක් ස්තුති පූර්වකව සඳහන් කරන්නම්…

    අර ෆිල්ම් එකේ වගේ මම ස්නයිපර් වෙඩික්කරුවෙක් වෙලා සතුරු ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ස්කෝප් එක හිල්කරගෙන ඇහැට වදින්න වෙඩි තියන හැටි අද හීනෙනුත් පෙනෙයි 😀

  22. විස්තරයට ගොඩක් ස්තුති. ඔබ කියූ පරිදි මා දැක තියෙනවා LTTE එකෙන් අල්ලපු T56 වල බටය අගින් කපා තිබෙනවා. මා සොයාගත් පරිදි එමගින් සිදු වන්නේ ශබ්දය අඩුවීමත්, ශබ්දය පැමිණෙන දිශාව සතුරාට සොයා ගැනීමට අපහසු කිරීමත්. වැරදි නම් නිවැරදි කරන්න.

    • ශබ්දය අඩුවීමක් නම් වෙන්නේ නැහැ දිලීප, ශබ්දය එන දිසාව සොයාගැනීමට බාධාවක් වෙන්නෙත් නැහැ. තුවක්කුව හරස් අතට කරකවමින් පොකුරු වෙඩි (burst) තැබීමේදී තුවක්කුවේ බටය ඉහලට එසවීම (ගැස්සීම) අඩු වෙනවා මේ විදිහට බටය කැපුවම.

  23. Though I can’t understand many technical explanations your article is very interesting.

  24. ගොඩක් අසාවෙන් කියවපු නියම ලිපියක්…

  25. මම දැනුයි මේ සෙට් එක කියෙව්වේ.හීනෙකින්වත් නොහිතපු දේවල් ගොඩාාාාක් දැන ගත්තා.ස්තූති විචාරක තුමා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: