විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  සැඟවුණු මරුවා පළමුවැනි කොටසෙන් මා ඔබට ස්නයිපර් හෙවත් සැඟවුණු තුවක්කුකරුවන් පිළිබඳව මූලික කරුණු විස්තර කළා. අද එහි තවදුරටත් ගැඹුරට ඔබව කැඳවාගෙන යන්නයි උත්සාහ කරන්නේ. සැඟවුණු තුවක්කුකරුවා මෙලොවට බිහිවීම පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් තියනවා. මා එය සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නම්.

ස්නයිපර්ගේ යටගියාව

   19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි.

  මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්. පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න. නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා. මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා.

  20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’  යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් – Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් – Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි.

  හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්‍රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි

මොකක්ද  සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?

  සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්.  ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.

ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?

  ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි. ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි. ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි. ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි. ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි. එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි.  දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්. එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා.

  ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්‍රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. (කොල්ලන්ට බෑ :D) මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි.

පුහුණුවේදී මොනවද උගන්වන්නේ?

  ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.

1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම.

2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)

3. උපක්‍රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම.

මේ විෂයයන් තුනට අදාලව ඉගෙනගතයුතු කරුණු සම්භාරය විස්තර කරන්නට මා උත්සාහ නොකරන්නේ එය ඔබව අනවශ්‍ය වෙහෙසකට පත් කිරීමක් සහ ලිපිය කියවීම එපා කරවන හේතුවක් වීමට හොඳටම ඉඩ ඇති නිසයි. ඔබට අවශ්‍යනම් ඒ ගැන විස්තර මෙතනින් බලන්න.

  මීළඟට මා ඔබට කියන්නට යන්නේ ස්නයිපර් තුවක්කු ගැනයි. ස්නයිපර් තුවක්කු වලට දීර්ඝ ඉතිහාසයක් තියනවා. මා කලින් සඳහන් කලාක් මෙන් පළමුවැනි ලෝක යුද්ධ සමයට යන එහි අතීතය සැකෙවින් ඔබ දන්නවා. මෙහෙදී කියන්නේ අත්‍යවශ්‍යම තොරතුරු පමණයි.

  ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. (අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ) අපි වැඩි පුර අවධානය යොමු කරන්නේ හමුදා ස්නයිපර් තුවක්කු වෙතයි.

  හමුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති, ස්නයිපර් තුවක්කුව කොතරම් සුවිශේෂීද කියා.

  මුලින්ම මා ඔබට පෙන්වන්නේ දැනට තිබෙන ස්නයිපර් තුවක්කු වලින් ජනප්‍රිය තුවක්කුවක්. මේ .50 අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් තුවක්කුවයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මේ තුවක්කුවේ විස්තර ඔබට මෙතනින් බලන්න පුළුවන්. ගැටළු තියනවානම් අහන්න.  මීළඟ කොටසේදී මා බලාපොරොත්තුවන්නේ ස්නයිපර් වරයෙක් කොහොමද ඉලක්ක ගන්නේ, ඔහු කොහොමද සැඟවෙන්නේ සහ වෙස්වලාගන්නේ, මෙන්ම ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු ගැනත්, ඒ තුවක්කු වල විශේෂත්වයන් ගැනත් කියන්නයි.

Advertisements

Comments on: "සැඟවුණු මරුවා (දෙවැනි කොටස) – The Sniper (Part Two)" (121)

  1. ක්සැන්ඩර් | Xander said:

    අද විචාරක තුමා මොකද මේ ලිපිය කෙටි කරලා?

    ප:ලි: බණ්ඩාරනායක උන්නැහේ ට මම පුද්ගලිකව කැමති නැත.

    • ලිපිය මීට වඩා දික්කලොත් අප්ප්‍රසන්න වෙයි හිතලා කෙටි කලේ. බන්ඩාරනායක අගමැතිතුමා බලන්නකෝ හමුදාව බලන්න යනහැටි.

      • බණ්ඩාරනායක උන්නැහෙත් එක්ක රාජපක්ෂ උන්නැහෙත් ඉන්නවානේ 🙂

        බණ්ඩාරනායක මහත්තයා කලිසම් කෝට් ඇඳගෙන ඉන්නවා දැක්කාම කතාවක් මතක් වුණා.

        උන්නැහේ ජාතික ඇඳුම ඇන්ද කෙනානේ. දවසක් මේ විදිහට කලිසම් කෝට් ඇඳගෙන ෆාම් එකක් [හරක් ඉන්න එකක් මට මතක විදිහට නම්] විවෘත කරන්න ගියාලු.

        එතැන හිටිය මාධ්‍යවේදියෙක් ඇහුවලු ජාතික ඇඳුම නැතුව ඇයි මේ ඉංග්‍රීසි ඇඳුම කියල උන්නැහේ කිව්වලු “හරක් වැඩවලට එන්න ඕනේ ඒ වගේ සූට්වලින් තමා” කියලා 🙂

      • හරක් නෙමේ බලු වැඩේ. මට මතක හැටියට මේකයි අවස්ථාව. (ඔය බල්ලා කැතට හිටියට ඔය සුපිරි බල්ලෙක්. ග්‍රේ හවුන්ඩ් කෙනෙක්)
        Exhibiting favourite Greyhound Treetops Bobby Mikawber at show;.

        උන්නැහේ මොලේ පාවිච්චි කරලා උත්තර දෙන කෙනෙක්.
        එක සැරයක් කැම්පස් එකකට ගියාම ළමයි හු කිව්වා (මේක ඒ කාලේ ඉදන්ම සම්ප්‍රදායක්නේ).
        උන්නැහේ තරහ ගත්තේ නෑ, කිව්වා “ඔහොම තමා, මහා නරිය ආවහම පොඩි නරි හූ තියනවා තමා කියල”

      • අකා,

        බලු කතාව තේරුනේ නෑනෙ..?

  2. ස්නයිපර්ස්ලා ගැන තියෙන ෆිල්ම් එකක් බැලුවා මේ ලගදි..
    නම ෂූටර්…
    පට්ට…
    පෝස්ට් එකත් නියමයි…
    ඉස්සරහට ලංකාවේ නීරෝලා ගැනත් ලියැවෙයි නේද???????

  3. ඔබගෙ ලිපි සියල්ලම කියවා අවසන් කලෙමි.
    හොද බ්ලොග් අඩවියක් කීවොත් නිවැරදියි.
    ජය

  4. අද නම් අහන්න තරම් ප්‍රශ්න නෑ..

    අනිත් පාර්ශ්වයේ ස්නයිපර් කරුවන්ව ගොදුරු කරගැනීමටම යෙදවූ අනයිපර්කරුවො ඉන්නවද?

    ඊළඟ ලිපිය එනතුර බලා ඉන්නම්..

    • දෙපැත්තම බලන්නේ විශේෂ ඉලක්ක වලට අමතරව විරුද්ධ පැත්තේ ඉන්න ස්නයිපර්ලවත් ගොදුරු කරගන්නයි.

      • මාත් ස්නයිපර් කෙනෙක් වුනා.. සෑහෙන කට්ටියව මැරුවා..

        හැබැයි ගේම්වල.. 🙂 මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ ස්නයිපර් ගේම් ටිකක් ප්ලේ කරා..

      • කියන්න අමතකවුනා.. මම ස්නයිපර්ලා ගැන වාර්තා චිත්‍රපටියක් බැලුවා කාලෙකට කලින්.. ඒකෙන් සෑහෙන දේ ඉගෙනගත්තා.. අනිත් පැත්තෙ ස්නයිපර්කෙනෙකුගෙ දුරදක්නෙට ඔහු ඇහැ තියන් ඉන්නකොට වෙඩි තියලා මැරීම ගැන පරීක්ෂණයකුත් පෙන්නුවා..

      • අර දාලා තියෙන පින්තූරෙ සාටක මාමාගෙ පියාණෝත් ඉන්නවනෙ..

        ඔය පින්තූරෙ මට නම් පේන්නෙ මැද තියෙන අවකාශයෙන් පැත්තට පැනලා.. (මට විතරක් පේන හැටිද මන්දා?) මෙතුවක් කල් නොකිව්වට සෑම පින්තූරෙම පෙනුනේ එහෙමයි.. ඒකෙන් ඉතින් හානියක් නෑ.. ඒත් පුලුවන් නම් මැද තියෙන අවකාශය පුළුල් කරන්න.. ඒක අපහසු නම් හා මට විතරක් පේන දෙයක් නම් නොසලකා හරින්න..

        • ඒ පින්තුරයේ ඔබ කිව්වා කෙනාට අමතරව ඒ කාලේ හමුදාපතිත් ඉන්නවා. මේජර් ජෙනරල් ඇන්ටන මුතුකුමාරු. එයා ඉන්නේ පසුපසින් කොට කලිසමක් ඇඳලා.

          මම පාවිච්චි කරන්නේ අඟල් 24 එල්.සී.ඩී. මොනිටර් එකක්. ඒ මොනිටරයේදී තියෙන්නේ 16:9 අනුපාතය නිසා අර, පැත්තෙන් පෙන්නන පින්තුරය පිටට පනින්නේ නැහැ. නමුත් 4:3 අනුපාතය තියන මොනිටර් වලදී ඒක වෙනවා. එතකොට ස්ලයිඩ් බාර් එකෙන් තල්ලු කරලා පින්තුරය බලන්න පුළුවන් නේද? මගේ බ්ලොග් ෆෝමැට් එකේ වෙනස්කම් කල නොහැකියි. ඔබට එය කරදරයක් නම කනගාටුයි.

      • @Hareendra Perera ඔබ කියන්නේ මේක ගැන වෙන්න ඕන: http://www.youtube.com/watch?v=qsIUbRPLq1Y proxy එකක් හරහා බලන්න. ඒගොල්ලෝ ඒ කරලා පෙන්නුවේ කාර්ලෝස් හැත්කොක්ගේ shot එක කරන්න පුළුවන් එකක්ද කියලා. http://en.wikipedia.org/wiki/Carlos_Hathcock

        • බොහොම ස්තුතියි සමන් ඔබේ උනන්දුව සහ මේ ලින්ක්ස් සොයාදීම ගැන. එකම ප්‍රශ්නය මේ වීඩියෝ දෙකම පැය 1.30 ක් පමණ වෙලා ධාවනය වන නිසා, බොහෝ දෙනෙකුට තම සීමිත අන්තර්ජාල පහසුකම් යටතේ බලන්නට අපහසු වීමයි. කෙටි වීඩියෝ කීපයක් මේ ලිපිමාලාවේ මීළඟ කොටස් වලදී එකතු කරන්නම්.

      • @ සමන්,

        බොහොම ස්තුතියි! ඒක තමයි..

        @ විචාරක,

        “ඔබට එය කරදරයක් නම කනගාටුයි.” මට කරදරයක් නෑ.. පින්තූරෙත් හොඳට පේනවා… මම කිව්වෙ ඒ පින්තූරෙන් කොටසක් සුදු පසුබිමෙන් පිට කොළ තීරුවෙයි පේන්නෙ.. කිසිම ප්‍රශ්නයක් නෑ.. 🙂

  5. හපොයි අපරාදේ ස්නයිපර් වරියක වීමට තිබු අසීමිත ආසාව, ඊට අවශ්‍ය සුදුසුකම් කීමෙන්, ඔබතුමා බැලූනයකට අල්පෙන්නෙත්තකින් ඇන්නා වගේ නැති කරලා දැම්මා. මට දුකේ බෑ. 🙂

    • ස්නයිපර් කෙනෙක් නොවුනත් ‘මාක්ස්වුමන් = ප්‍රගුණ වෙඩි කාරිනියක්’ වෙන්න පුළුවන්. ඊට පස්සේ ජාත්‍යන්තර තරග වලට යන්න පුළුවන් (වායු රයිෆල් වලින් වෙඩි තියන) අපේ රටේ සෑහෙන පිරිසක් ඉන්නවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ.

  6. ගියවර ලිපියෙන් පස්සේ ඩේ ඔෆ් ද ජැකොල් බාගෙන බැලුවා…. අද ස්නයිපර් ආයෙත් බාගෙන බලන්න ඕන… ඊලඟ ලිපියෙන් පස්සෙ ශූටර් බලනවා….

    මේ ලිපිය කියවද්දි මැවෙන්නෙම ස්නයිපර් ෆිල්ම් එක….

  7. මම කෙහේදෝ මන්දා දැක්කා ඉලක්ක 300ක් සම්පුර්ණ කරපු කාන්තාවක් ගැන

  8. ස්නයිපර්වරයෙකු විය හැක්කේ පරිණත පුද්ගලයෙකුට පමණක් නම් ඉහත සුදුසුකම් 3 ඉහලින්ම ඇති තරුණයෙක් ස්නයිපර් පුහුණුව සාර්ථකව නිමකලත් ඔහුව මෙහෙයුම් සඳහා සහභාගී කරගන්නේ නැද්ද?

  9. කතාව ඉතා රසවත් විචාරක මහතා. ඔබගෙන් හැර වෙන කාගෙන්ද අපිට මේ වගේ ලිපි කියවන්ඩ පුළුවන් !

    මේක මුළු ජීවිතේම කැප කරන්ඩ ඕනා ජොබ් එකක්නෙ. අවබෝධයක් තියනවද ලංකා හමුදාවෙ ස්නයිපර් කෙනෙකුට කීයක් විතර ගෙවනවද කියලා ? ලක්ශ ගානක පඩියක් ගෙව්වත් පවු/පාඩු නෑ මම හිතන්නෙ.

  10. දුම් බොන්න ඕනෑම නම් පොලවේ කුඩා වලක් හාරාගෙන එයට මුහුණ තබාගෙන එම කටයුත්ත කරන්න නම් පුළුවන්.සැඟවී රැකවල් කරන රාජකාරී වලදී එහෙම කරන අය ඉන්නවා.

    • ඒත් කොහොමද සිගරට් ගඳ පිටතට යන එක නවත්තන්නේ? බැලුවේ නැද්ද සුවඳ හමන නයිට් ගාඩ් එක

      • මමත් අහලා තියෙනවා ඔය වලේ කතාව.. ඒවගේම තුවක්කු බටය ඇතුළට සිගරට් එක දාලත් බොනවා කියන්නෙ..

      • මට හමුදාවේ හිටපු යාලුවෙක් කියලා තියෙනවා බූට්‌ එක ගලෝලා එක ඇතුලේ තියාගෙන බොනවා කියලා.. රෑට ගිනි දල්ල පේන්නේ නැහැනේ…
        එක නෙමෙයි දන්නවද යාළුවො ටිකක් එකට දුම් බොන්න යනකොට එකම ගිනි පෙට්ටියෙන් තුන් දෙනෙක් දුම් වැටිය දල්වන්නේ නැත්තේ ඇයි කියලා?
        එකත් ස්නයිපර්ලට සම්බන්ධයි,මේක හරියට නූතන ජන කතාවක් වගේ.. දෙවෙනි ලෝකේ යුද්දේ කාලේදී තුන් දෙනෙක් දවසක් රෑ එළිමහනේ එකම ගිනි කූරෙන් දුම්වැටි පත්තු කරන්න ගිහින් තුන් වැනියා මැරුම් කනවා ස්නයිපර් වෙඩි පහරකින්,මොකද උනේ..
        1) පළවෙනියා ගිනිකූර දැල්ලුවාම ස්නයිපර් දකිනවා ගිනි දැල්ල,
        2) දෙවෙනියා දුම්වැටිය දල්වනකොට ස්නයිපර්ට හොඳටම වෙලාව ඇති ඉවසීමෙන් ඉලක්කය ගන්න.
        3) තුන්වෙනියා පත්තු කරනකොට හොඳට ලෑස්ති පිට ඉන්න ස්නයිපර්ට ගේමක් නැහැ.. 😀
        මේක අදටත් දුම්පානය කරන්නන් පුරුද්දක් විදියට නොකර ඉන්නවා…

        • ගිනිදැල්ල වැහුවත්, සුළඟේ පාවී……….. ඌ වෙත යාවී……….. මා හෙලූ ගඳ……….(සමාවෙන්න මිල්ටන් මල්ලවාරච්චි) 😀

          තුන්දෙනෙක් එක ගිනිකූරෙන් සිගරට් නොදල්වීම ගැන කියලා තියන කතාව හරියටම හරි. අදටත් ඒ වැඩේ කරන්නේ නැහැ හමුදාවේ කවුරුවත්.

          හමුදාවේ සාදයකදී දුම් බොන්න අවශ්‍යනම්, එතන සිටින කාන්තා පක්ෂයෙන් අවසර ගත යුතුයි මුලින්ම. දෙවනුව එතන ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගෙන් අවසර ගතයුතුයි. (කවදාවත් එපා කියනවා මම දැකලා නැහැ. සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන්ගේ සිගරට් පැකට් එකම දෙනවා කනිෂ්ඨ නිලධාරීන්ට, අහන්නත් කලින්)

  11. ඊළඟ කොටස එනකම් බලන් ඉමි 🙂

  12. මේ වගේ වටිනා විස්තර වැඩි දෙනෙකුට කියවන්න සති අන්ත ජාතික පුවත් පතකට ලිව්වොත් නරකද ? ඔබ කැමති නම් සම්බන්ධීකරණය කරන්න මට පුලුවන්….

    • ලියන්න පුළුවන්. නමුත් මම හොඳින්ම දන්නවා ‘ඔයාට වැඩිය අපට පුළුවන්, කොහෙන්ද මේ පින්තුර අපට නොකියා ගත්තේ, (විශේෂයෙන්ම ලංකාවේ ඒවා) ඔයාට වැඩිය ස්නයිපර් දැනුම තියන අය ඉන්නවා’ ආදී වශයෙන් කතා එනවා. ඒක අපේ රටේ හැටිනේ. ඒ නිසා මෙහෙම ලියලා ලබන සතුට මට හොඳයි.

      අනේ මොහොතකටවත් හිතන්න එපා ඔබ කාරුණික යෝජනාවක් කරනකොටම මම බැහැ කිව්වා කියලා. ඔබට ඉතාම ස්තුතියි මා ගැන මෙසේ සිතීම පිළිබඳව.

    • අනේ සිරෝ.. ලන්කාදීපෙට මෙව්ව ලියන්න ටෙලිපෝන් එකෙන් යුද්ධ කරපු අයයි….. වීඩියෝ ගේම් වලින් යුද්ධ කරපු අයයි ඕන තරම් ඉන්නව බන්……

  13. ඔබ තුමා කියවලා තියන්වද මග දිගට ජනකතා කියලා පොතක්…. ,
    ඒ පොතේ තියනවා මහනුවර රාජදානි සමයේ හිටපු දක්ශ වීරයෙක් ගැන කතාවක් ….
    වරක් ඉන්ග්‍රීසීන් මහනුවරට ඇතුලු වූ අවස්ථාවක ඔහු මාර්ගයේ පටු ස්ථානයක තිබුන විශාල ගසක බෙනයක් තුල සැගවී වෙඩි තබා ඉන්ග්‍රීසි සොල්දාදුවන් විශාල ගනනක් මැරූ බව සදහන් , මේ ස්ථානයෙ පටු බව නිසාම දෙදෙනෙකුට එකවර ගමන් ගන්නට නොහැකි නිසා වෙඩික්කරු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.. නමුත් ගස් බෙනයෙන් පිටවූ වෙඩි දුම් නිසා ඔහු ඉන්න තැන හදුනා ගත් ඉන්ග්‍රරීසීන් තවත් වෙඩිල්ලකට බේත් කොටන විට වට කර ගස් බෙනය තුලට වෙඩි තබා ඔහුව මරා දැම්මාලු… ,
    තව 1818 නිදහස් සටන ආරම්භයේදී ” විල්සන් ” නැමති සුදු නිලදාරියාව ඈත සිට දුන්නෙන් විද මරා දැමීම……
    ලංකාවේ ස්නයිපර් ඉතිහාසය හුගක් පරණයි නේද ?

    • ඔයා කිව්වම මට ඔය කතාව මතක වුනා. ඒ පොත මගේ ළඟ නැහැ. ඔව් ලංකාවේ ස්නයිප් කිරීම ගැන හොඳ ඉතිහාසයක් තියනවා. හැබැයි ස්නයිප් කිරීම විතරක් නෙවෙයි රැකසිට පහර දීම (Ambush) කිරීමත් අපේ සිංහල හමුදාව තමයි මුලින්ම කලේ. කඳු උඩ ඉඳලා ගල පෙරලන ගමන් ගිනි ඊතල විදීම වැනි නියම කැලෑ සටන් අපේ වීරයන් කරලා තියනවා. ඒ වගේම තමයි 1 වැනි විජයබාහු රජතුමා සේනාංක තුනක් (3 Divisions) මාගම සිට පොළොන්නරුවට යැව්වා. එකක් නැගෙනහිර වෙරල දිගේ. දෙවෙනි එක රට මදින. තුවෙනි එක බටහිර වෙරල දිගේ ගිහින් නැගෙනහිරට හැරී පොළොන්නරුවට ආවා. වාහන, ගුවන්විදුලි පණිවිඩ, කාල ගණනය, නැතුව ඒ මහා හමුදා මෙහෙයුම කොහොම කලාද කියන එක හිතාගන්නවත් බැරි මහා දක්ෂකමක්.

      • @ wicharaka විචාරක

        මහා විජයබාහුගේ කතාව ටිකක් සංශෝධනය වෙන්න ඕනේ. විජයබාහු රජතුමා සේනා පිටත් කරන්නේ මාගම ඉදන් නෙමේ මහානාගකුල ඉදන්.

        අනික තමා රජතුමා මහානාගකුලෙන් පිටත් කරන්නේ සේනාංක දෙකයි.

        ඒ සේනාංක දෙකෙන් එක සේනාංකයක් දක්ඛිණ දේශය හරහා ගිහින් ඒක ආයි සේනාංක දෙකකට බෙදලා එක සේනාංකයක් මාතොටට පහර දෙන්න යවනවා. අනෙක් සේනාංකය ලවා අනුරාධපුරයට පහර දෙනවා.

        මහානාගකුලෙන් පිටත් කරන දෙවෙනි සේනාංකය රජතුමාගේ නායකත්වය යටතේ නැගෙනහිර වෙරළ තීරය මහියංගණය හරහා පොළොන්නරුවට පහර දෙනවා.

        • බොහොම ස්තුතියි නිවැරදි කිරීම ගැන.

          මම ළඟදීම ලියනවා ප්‍රහාරයක් සැලසුම් කිරීම හා පහරදීම ගැන (ඒක ලිව්වට පස්සේ මාව කුදලාගෙන ගිහින් හිරේ දැම්මොත් බලන්න එන්න හොඳේ :D) ඒ ලිපිය කියෙව්වම ඔබට තේරෙයි සේනාංකයක් මෙහෙයවීම කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ කාලේ මේ වැඩේ විශ්වකර්ම වැඩක් නේද?

      • ඒ සටහන කියවන්න වගේම කුදලාගෙන ගියොත් බලන්නත් එන්නම්කෝ 🙂

      • ඒ විතරක් නෙවී යුද සෝදිසි කිරීම් වලට සහභාගී වූ සෙබලුන් ගිමන් නිවන්නට පැමිනි කිතුල් කොට යොදා තිබූ අම්බලමක් යට උමං තනා වෙඩි බෙහෙත් පුරවා එහි ඇතුලත සිට ගිනි තබා පුපුරවා විශාල ගනන්ක් එක වර මැරූ වීරයෙක් ගැනැත් සදහනක් තියනවා… නමුත් මේ අයගේ නම් ගම් විස්තර නැති එක අපරාදයක්..
        තව කලක් ගියාම මේ කොලඹ ඉදන් යුද්ධ කල අයගේ පම්පෝරි පොත් විතරක් ඉතුරු වෙලා නියම යුධ වීරයන් ගැන සටහන් නැති වෙලා යයිද හිතෙනවා ,

        තව දෙයක් 2 වන රාජසිංහ රජු ගේ පණිවිඩ කරුවන් කොතරම් වේගවත් ද කිව්වොත් ගාලු වරායට ආ පෘතුගීසි හා ලන්දේසි නැව් ගැන සියලු විස්තර ( භාණ්ඩ හා මගීන් ) සින්හල පැයක් තුල රජුට දන්වන්න දක්ශ වී තිබෙනවා.

        • බොහොම ස්තුතියි මේ විස්තර වලට. මෙවැනි තොරතුරු රැසක් එකතු කරගත හැකිනම් හොඳ ලිපියක් ලියන්න පුළුවන්. සිංහල පැයක් යනු දැන් පැය වලින් කීයක්ද?

      • සිංහල ක්‍රමයට දවසකට පැය (හෝරා) 60ක් තියෙනවා.. ඒ අනුව බැලුවොත් සාමාන්‍ය පැයකට සිංහල පැය 2.5ක් තියෙනවා..

      • පැය 2 1/2 ක් නෙමේනෙ.. සිංහල පැයක් කියන්නෙ දැන් පැයවලින් විනාඩි 24ක්.. විනාඩි 24කින්ලු කියලා තියෙන්නෙ..

  14. මල්ලි ඉන්නෙ මේ දිනවල ඇමෙරිකන් යුද හමුදාවේ විශේෂ බලඇණියක. තමන් ජීවත් වෙන්න තෝරාගත්ත රට වෙනුවෙන් දිවි පුදන්න වුනත් එයා ලැහැස්ති වීම, වෙන හොඳ ආදායම් උපයන රස්සාවක් තිබිය දීත් බව දැක්ක මටත් එම තීරණය පුදුමයක් වුනා. මල්ලි ස්නයිපර් කෙනෙක් නම් නෙමෙයි ඒත් එයා කිව්ව විචාරක කියන දේවල් ටික ම, හොඳ මානසික මට්ටම ගැන. ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙද්දී ඒවා පාවිච්චියට ගත් නිසා එහි දී වැඩියෙන් ම දක්ෂ ලෙසින් ලකුණු ගන්නට සමත් වූයේ එයා. ඔහු ජීවත්වෙන ප්‍රාන්තයේ මෙවැනි තුවක්කු මිල දී ගැනීම තහනම් වූවාට පාවිච්චිය තහනම් නැහැ. ඒ නිසා එයා අපි ඉන්න පැත්තෙ ඇවිත් ස්නයිපර් තුවක්කු මිල දී ගෙන ගියා පුද්ගලික පාවිච්චියට. එයාලට ඉඩමක් තියෙනවා වනාන්නතරයක් මැද්දෙ. එහි දී දුවටත් පුතාටත් භාර්යාවටත් ඉලක්කයට වෙඩි තැබීමට පුහුණු වීම එයාලා සති අන්තයේ විනෝදාංශයක් හැටියට කරන්නක්.

    විචාරක මගේ තාත්තා කවුද කියලත් දන්නවානේ. මගේ තාත්තා ද දෙවැනි ලෝක යුද්ධයේ අවසන් භාගයේ ලංකාවේ තිබිච්ච රිසර්ව් හමුදාවක ඉඳලා තියෙනවා. අපි ළඟ තියෙනවා නිල ඇඳුමින් සැරසිච්ච කොණ්ඩෙ කළු කාලේ ගත්ත පින්තූරයක්.

    සටහනට ස්තූතියි.

    • ඉතා වටිනා විස්තරයක්. මම අගය කරනවා ඔබේ මල්ලී එක අරමුණක ඉන්න පුද්ගලයකු වීම ගැන.

      මිනිසුන් මැරීමට නෙවෙයි විනෝදය සඳහා ඉලක්කපත් (Targets) වලට වෙඩි තැබීම, මානසික ඒකාග්‍රතාවය, ක්ෂණිකව නිවැරදි තීරණ ගැනීම, වැනි ශක්තීන් වැඩි දියුණු කරගැනීමට ඉවහල් වෙනවා.

      ඔබේ පියා සොල්දාදුවකු බව ඇසීම සතුටක්. ඔහුගේ ශාන්තදාන්ත ගතිගුණ ඔහු ලෝකය දැකීමෙන් උකහාගන්නට ඇතයි සිතෙනවා. ඔහු වෙනුවෙන් විශ්රාමික දීමනාවක් බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්නේ නැද්ද?
      අර එතුමාගේ පින්තුරය පල කරන්නකෝ ඔබේ බ්ලොග් අඩවියේ.

      • බ්‍රිතාන්‍යයෙන් විශ්‍රාම වැටුප් තිබ්බෙ නැහැ. මම හිතන්නෙ ටික කාලයක් හිටියෙ ලංකාවේ ස්වේච්ඡා යුද හමුදාවක.

        තාත්තාගේ පින්තූර දානවාට කැමති නැති පවුලේ සාමාජිකයන් ඉන්නවානේ. ඉතින් ඒ අයව තරහා කරගන්නත් බෑනේ. නැත්නම් උඩු රැවුල් එක්ක ගත්තු, ඔළුවෙන් හිටගෙන ඉන්න එහෙම ගත්තු පින්තූර තියනවා!!!

  15. ඔබතුමාට පුළුවන් නම් අපේ හමුදාව පාවිච්චි කරන ආයුධ ගැන ලිපියක් දාන්න පුළුවන්ද? wikipedia එකේ නම් තියෙනවා, ඒත් ඒක හරියි කියලා නම් හිතෙන්නේ නෑ.

  16. හ්ම් මාත් බලලා තියනවා shooter ෆිල්ම් එක, කොහොම නමුත් මේ කියන විදියට ස්නයිපර් කෙනෙක් වෙන්න භාවනා කරලා හිත දියුනු කරන්නත් වෙයි වගේ 😀

    • මම අහලා තියනවා භාවනා කිරීම මගින් කන් ඇසීම සහ ඇස් පෙනීම දියුණු කරගන්නා චීන සොල්දාදුවන් පිළිබඳව.

    • විචාරක මහත්තයගේ පරණම පාඨකයෙක්
      Sahan Weerasinghe ගොඩ දවසකින් දැක්කේ.
      මලයා මොකද දකින්ඩ නොහිටියේ,
      මම මේ හිත හිතා හිටියේ කොල්ලා කෝ කියලා.

      • රාජකාරී බහුල වීම හා රැකියාස්ථානයේ අන්තර්ජාල පහසුකම් පිළිබඳ ගැටළු කීපයක් මතුවුනා,, ඒ අතරම ගෙදර තිබුනු ලංකාබෙල් සම්බන්ධතාව ඉවත් කරල SLT ADSL වලට මාරුවුනා ඒ කාල අතරතුර ජංගමයගෙන් තමයි e-mails ටිකවත් බලාගත්තෙ ලිපි කියෙව්වත් comment කරන්න විදිහක් තිබුනෙ නෑ සහෝ ඒකයි.

  17. පළවෙනි ලිපිය වගේම මේ ලිපියත් නියමයි. ඉතිරි කොටසත් ඉක්මනින්ම දැම්මනම් හොදයි. මේ ගැන තියෙන උනන්දුව වැඩි වුනා මේ ලිපි දෙක කියෙව්වම.

    “එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.”

    මේ කොටසනම් මගේ හිතට වැදුනා.සාමාන්‍ය ජීවිතයේදීත් ඒ වගේ ඉවසීම, කැපවීම තියෙනවනම් ඕනෑම දෙයක් ළගා කරගන්න පුළුවන්. ජය..!

    • හමුදා විනය නිසි පරිදි පුද්ගලයකු තුල පිහිටවාගත හැකිනම්,ඔහුට කලහැකිදේ බොහොමයි. අපේ හැම පුරවැසියකුටම, ඔවුන්ගේ වයසට, සෞඛ්‍ය තන්වයට, ගැලපෙන ආකාරයේ අනිවාර්ය හමුදා පුහුණුවක් දියහැකිනම්, මේ රටේ විනය මීට වඩා උසස්‌ තත්වයකට පත්වෙනවා.

      • අනිවාර්ය හමුදා පුහුණු ගැන මේ දිනවල ඊශ්‍රාලයේ වලි. සත්‍යලබ්ධික යුදෙව්වන් හමුදාවේ සේවයෙන් ගැලවුනා. අනිත් අය කියන්නෙ ඔවුන් ද අනිවාර්ය සේවය කළ යුතු කියායි. මාත් කැමති නැහැ අනිවාර්ය කරනවාට කිසිම දෙයක්. කැමැති අයට ඊට අවස්ථාවක් දෙනවා නම් වඩා හොඳයි. වඩා ඵලදායකයි. හමුදා සේවය අනිවාර්ය කරපු සමහර යුරෝපීය රටවල අය තමන් අකමැති ඉහළ අධ්‍යාපනයට යන්නෙ තමන් අකමැති හමුදාවේ අනිවාර්ය පුහුණුවෙන් බේරෙන්න. අන්තිමේ දී දෙකෙන් ම කිසිම වැදගැම්මක් ඇති දෙයක් කරලා නැහැ.

        • අනිවාර්ය හමුදා පුහුණුව පාසල් සමයේ ඉහල පන්ති වලට දෙනවානම් ඔය ප්‍රශ්නයෙන් බාගයක් ඉවරයි. ඉතුරු අයට වයස හා සෞඛ්‍ය තත්වය අනුවයි කලයුත්තේ.

  18. අම්මෝ COMMENT ගොඩ. කියවලාම එන්නම්කෝ

  19. අනේ මහන්සි නොබල ඊලඟ එකත් දාන්ඩ හොඳේ… අපි මග බලන් ඉන්නේ… කුදලගෙන යන්න එන්නෙ මොකෝ.. මේජර් කෙනෙකුටවත් තඩි බෑවද.???

  20. විචාරක,

    යමක් අනිවාර්ය කිරීමේ දී ඉතා සුපරීක්ෂාකාරී විය යුතුයි. මොකද එහෙම කරන හැම අවස්ථාවක දී ම පැන නැඟෙන්නේ ව්‍යතිරේකයන් බොහොමයක්. අපි කියමු පාසැල් සමයේ ඉහල පංති වලට අනිවාර්ය කිරීමෙන් පටන් ගත්තා කියල හමුදා පුහුණුවක් දෙන්නට. එතකොට අරයාගෙ මෙයාගෙ දරුවා අරයාගෙන් මෙයාගෙන් කොල කෑල්ලක් අරන් එනවා, එයාලට තුන්ඩු ලියන වෛද්‍යවරයාගෙන් කොල කෑල්ලක් අරන් එනවා, ටෙලිෆෝන් කෝල් එකක් දාලා කියනවා මේ දරුවාව හමුදා පුහුණුවෙන් අයින් කරන්න කියලා. අන්තිමේ දී කාත් කවුරුත් ලියුම් ලියන්නයි, තුන්ඩු ලියන්නයි, කෝල් දාන්නයි නැති දරුවන්ව විතරයි නීතියට අනුව හැදෙන්නෙ. අනිත් අය සුපුරුදු පරිදි තමන්ගේ ‘විනය’ පවත්වාගෙන යයි.

    ලංකාවේ වගේ අහවලාගේ අහවලා දන්න කමට වැඩ නොවෙන යුරෝපයේ ද අනිවාර්ය හමුදා පුහුණුවෙන් ගැලවෙන්න ක්‍රම සහ විධි මිනිසා සොයාගන්නා බවින් පෙනෙන්නේ අනිවාර්ය කිරීමෙන් ඵලක් නැති බව.

    ඒත් අපි එහි අගය විචාරක මේ බ්ලොග් ලියන විදියට, තවත් මාධ්‍යයන් වලින් සමාජයට දැනුවත් කළොත්, හික්මීම, විනය සහ පුහුණුව නිසා හමුදාවේ දී තම ජීවිතයට ලබාගත හැකි අගය වැඩිවන බව කියා දුන්නොත් කැමැත්තෙන් ම හමුදා පුහුණුවට බැඳෙන අය පෝලිම් ගැසේවි. ඇමෙරිකාවේ එහෙමයි. පාසැල් වල හා කැම්පස් වල තියන ROTC වල පුහුණුවට යන සියල්ලන් ම හමුදාවට එකතු වෙන්නෙ නැහැ, නමුත් ඔවුන් ඒ පුහුණුවට ඉතා කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් එකතු වෙනවා. එසේම ඔවුන් අනිත් අයට වඩා විනයානුකූල නිසාම හමුදාවෙන් ඉවත් වී ගිය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හා වෙනත් ක්ෂේත්‍ර වල අයව තම ආයතන වලට කොම්පැණි වලට බඳවා ගන්නටත් සූදානම් සමාජයක් ඉන්නවා.

  21. මං අහලා තිය්න විදිහට සිංහල පැයකට මිනිත්තු 24 යි !!! වැරැද්දක් තියනවා නං හදන්ඩ

  22. වෙනදා වගේම ලිපිය උපරිමයි.. හැබැයි වෙනදට වඩා කෙටියි වගේ..
    මට ඔබ තුමාට කලින් කියන්න බැරි උනා.. මටත් තිබ්බා ඉස්කෝලේ යන කාලේ ඉඳං හමුදාවට බැඳෙන “උණක්”,මගේ ඥාතියෙක් හිටියා ඒ දවස් වල දියතලාවේ පුහුණු පාසලේ recruits trainer,ඒ කාලේ Captain,මගේ උන ගැන දන්න නිසාම මාව අරන් ගියා A/L ඉවරුණාට පස්සේ කඳවුර සහ පුහුණුවීම් පෙන්නන්න.. දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල (නම හරිද මන්දා) එහෙම පහු කරගෙන ගියාම කඳුගැටයක් ඉවරවෙන තැන තියෙනවා නේ RPG පහුණු වෙන තැනක්? එතනට Foxhill එහෙමත් පේනවා මයේ හිතේ.. තව අත් බෝම්බ පුහුණු වෙන වතුර වලකුත් තියෙනවා 🙂

    කොහම හරි ඒ වෙනකොට යුද්දේ ඉවර වේගෙන එන කාලේ,පුහුණු වීම් ඉවර වෙලා එනකොට යුද්දේ ඉවර වෙලා වැඩක් නැතුව තියෙයි කියලා හිතුන නිසා මගේ තීරණේ වෙනස් කළා..
    දැන් හිතෙනවා එහෙම කල එක හොඳයි කියලා,නැත්තන් අපිටත් වෙන්නේ කාණු සුද්ද කරන්නයි,තක්කාලි කිරන්නයි අන්තිමේ කුඩ්ඩන්ගෙන් ගුටි කන්නයි…
    (ඔබ තුමා ඇතුළු දක්ෂ,අවංක නිලධාරීන්ට කල අපහාසයක් නොවන බව සලකනු මැනවි)

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      මම කවදාවත් ආසාව නැති කෙනෙකුව හමුදාවට බන්දන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මගගේ යාලුවෙක් එයාගේ යාලුවෙකුගේ පුතෙකුව බලෙන්ම වගේ හමුදාවට බැන්දුවා. ඉතා කෙටි කලකින් ඒ ළමයා යුද්දෙදි මැරුණා.ඒ ළමයාගේ දෙමවුපියෝ අර මගේ යාලුවට තදින්ම දොස් කිව්වා, ඔයා නිසා තමයි අපේ ළමයා මැරුනේ කියලා. යාලුකමත් එතැනින්ම ඉවර වුනා. හමුදාවට විතරක් නෙවෙයි මොන රස්සාවකට වුනත් යන්න හොඳ නැහැ ආසාව නැත්නම්.

      අත් බෝම්බ ගහන්න පුහුනුවෙන තැනට කියන්නේ Granade Bay කියලා. එක වැලි ගෝනියක් විතරක් ආවරණය ලෙස තියලා බෝම්බය ගහන්න ඕනේ. එය පුපුරන්නේ තත්පර 4 කින්. ඊට පෙර එය අහුලා ආපසු ගැසීම වැලක්වීමට බෝම්බය ගැසූ ගමන්ම තමන්ම ඒ දෙසට වෙඩි තුනක් තියලා අර වැලි ගෝනියට මුවා විය යුතුයි. මම එය කීප වතාවක් කරලා තියනවා පුහුණුවේදී.

      • අංගොඩයා පොඩි කොලුවෙක්නෙ.. 🙂 මම හිතුවා විචාරක මහත්මයාගෙ වයසේ කියලා..

      • එතන පොඩි වලකුත් කපල තියෙනවා නේ පහත් වෙන්න? මං උඩ තියෙන ෆයින් ගහකට මුවා වෙලා බලන් හිටියේ.. 😀 , Frag granade සහ Time-delay granade කියලා දෙකක් තියෙනවද,මං හිතුවේ ඕකෙන් Time-delay granade තමයි වෙලාවක් ගිහින් පුපුරන්නේ කියලා,මොක ගැහුවත් ගහන්න කලින් “Granade” කියලා කෑ ගහලා තමන්ගේ සගයන්ව දැනුවත් කරලා ගහන්න ඕනේ නේද?

        @Haree – අපිත් තාම පොඩි කොල්ලෝ හරිය…!!

      • හා හා..!! 😀
        ඔබ තුමාගේ දැනුම සහ අත්දැකීම් මේ මුළු ලෝකෙම තියෙන පස්/වැලි තරම් නම් මගේ දැනුම එක වැලි කැටයකට වත් සම නැහැ…
        එත් මං කිව්වනේ මට පුදුම උණක් තිබ්බා කියලා..

        • එහෙම කියන්න බැහැ මම නොදන්නා විෂයයන්ට අදාළ කොච්චර දේවල් ඔබ දන්නවා ඇද්ද?
          හැබැයි මගේ එක පුරුද්දක් තියනවා. මම නොදන්නා දෙයක් අහගන්න ඕනෑම තරාතිරමක සිටින, ඒ විෂයය ගැන දන්නා කෙනෙක් ලඟට ගිහින් ඉගෙනගන්න මම පසුබට වෙන්නේ නැහැ.

      • ඔබ තුමාගේ අතිශය නිහතමානී බව හැමදාම අගය කරනවා…

  23. නියමයි අයියේ,
    දිගටම ලියන්න ශක්තිය ලැබේවා

  24. දවසම බිලොග් එක බැලුවා, ඇත්තටම හරිම වටිනා තොරතුරු, ඒ වගේම මෙයට වන මහන්සිය…., ඊටත් යටින් පෙනෙන ඔබගේ ආධ්යාත්මය…., මම දන්න සමහර නිලධාරින් ගෙවන සුපිරි දිවිය…, නමුත් ඔබ නිවසේ උඩු මහල තනන්නෙත් දැන්….. , එස් එප් කියනවා වගේ දුර්වල මනසක් ඇති බොරු සෝබනයන්/දූෂිතයන් අතර ඔබ වැනි Real අය සිටිය/සිටින නිසා තමයි අපි යුද්ධය දිනුවෙ. උණුසුමි සුභ පැතුමි!!! ආ…..තවත් දෙයක් . Starlingrad battle එක ගැන යමක් කියවලා තියෙනවා. ඒත් ඔබ ඒ ගැන ලිවිවොත් නමි හොදම ලිපියක් වෙවි. ‍
    ප.ලි. ඔබ රුවන්වැල්ලේ හිටිය නමි මෙජර් කමිල් තිලකරත්න ගැනත් අහලා ඇති. ඔහුත් හොද නිලධාරියක් නොවෙද? අපි ඉස්කෝලෙ යන කාලේ ඉදන් ඔහු අපේ විරයෙක්.

    • බොහොම ස්තුතියි වෙහෙසවී බ්ලොග් එක කියවා ඇගයීමක් කිරීම පිළිබඳව.
      ස්ටාර්ලින්ග්රාඩ් යුද්ධය ඉතා දිග කතාවක්. ඉදිරියේදී ලියන්නට සටහන් කරගත්තා.
      රුවන්වැල්ල ගැන ඉදිරියේදී කියන්නම් එතකොට කමිල් සහ එයාගේ අයියා සුදත් ගැනත් කියන්නම්.

      • Jangun යනු ******** නේද? හත් දෙයියනේ!! මට දැනුයි ඒක මීටර් වුනේ, අපි හතේ හෝ අටෙ පන්තියේදී තමයි සර්ලා (රංජිත් සර් එක්ක) පූර්ණකාලීනව යුද්ධයට ගියේ. ඔබතුමාලා දෙන්නම 6 දී අපට ඉගැන්නුවා. වාසනාවක් මෙහෙම හමු වන්න ලැබීම. ජයම වෙවා !

        • මා ඉතාම කනගාටු වෙනවා ඔබ නිවැරදිවම ලියාතිබුනු මගේ නම පළකරන්නට නොහැකි වීම පිළිබඳව. කිසියම් හේතුවක් නිසි මා එහෙම කරන්නේ. ඔබත් මාත් අතර තිබෙන ඒ ගුරුගෝල සම්බන්ධයේ නාමයෙන් ඔබ ඒ රහස රැකගනු ඇතැයි විශ්වාස කරනවා. එසේ නොකලොත් ඒ කියන්නේ මගේ සම්පූර්ණ අනන්‍යතාවය හෙළි වුනොත් මට මේ බ්ලොග් ලිවීමෙන් ඉවත්වන්නට සිදුවෙනවා. තීරණය ඔබ අතේ.

  25. ඊළග ලිපිය එනතුරු බලා ඉන්නවා.

  26. සාමාන්‍යයෙන් අපිට දැනගන්න නොලැබෙන තොරතුරු ගොඩක්. එක කාලයක් මම අත්යවශ්ය සේවාවක තරමක අවදානමක් ඇති රස්සාවක් කළා. ඉතින් මට මිමි 9.0 පොඩි කට පුන්චෙක් දීලා ඕක පුහුණු කරන්න මෝදර හමුදා අනු කාණ්ඩයේ පිටියට යන්න උනා. එතැනදී කවදාවත් තුවක්කුවක් අරන් වෙඩි තියල නොතිබුන මම දීපු උණ්ඩ නවයෙන් දෙකක්ද කොහෙද මැදටත් එකක් වට ලොකුම රවුමටත් හයක් බුල්ස් අයි එකට දෙවෙනි රවුමටත් තිබ්බ. පුහුණු කල නිලධාරියා ඒ කාලේ මන් දන්නා කෙනෙක්.. ඔයාට නම් මේක පිහිටලා තියෙනවා කිවුව. ඒ උනාට අර සිද්දියෙන් පස්සේ මට ඇති උනේ මහා බරපතල වෙනසක්.. අර බර උණ්ඩය තක්. ගාල බරට වදිනකොට මට හිතුනා මනුස්සයෙක්ගේ පපුවට වදිනකොට කොහොමට ඇත්ද කියලා. මම කවදාවත් අර ආයුදය අරන් ගියේ නැහැ. එක තිබුනේ ගෙදර ලාච්චුවක දාල ලොක් කරලයි..

  27. කදිරගාමර් මහතාට වෙඩි තිබ්බෙත් sniper කෙනෙක් නේද?

  28. පොඩි ප්‍රශ්ණයක්, ඇයි STF එක M16 (M723) rifles ‍තෝර ගත්තේ? දැයට කිරුළ ප්‍රදර්ශණයකදි STF stall එකේ හිටිය නිලදාරියෙක් කිව්වා weapon එකේ stock එක ඉක්මනින් කැඩෙනවා කියලා. හැබැයි එයා කිව්ව විදියට ඒක සිංගප්පුරුවෙන් ආනායනය කළ එකක්.

    “අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ”

    STF එකේ snipersලා නැත්ද? මම හැබැයි අර stall එකේ නම් sniper rifles කීපයක් දැක්කා. හැඩේ HK PSG1 එකක් වගේ.

    • ඒගොල්ලෝ මුල ඉඳලම තෝරාගත්තේ M16 (M723) rifles තමයි. නමුත් එහි ඇමරිකානු නිෂ්පාදනය නොවන බවයි මමත් දැක තිබෙන්නේ.

      ඇත්තටම මම අදහස් කලේ සාමාන්‍ය පොලීසිය ස්නයිපර් අවි පාවිච්චි කරන්නේ නැහැ කියන එකයි. සාමාන්‍යයෙන් බොහෝ රටවල කැරලි මර්දන කණ්ඩායම් වලත් ස්නයිපර් වරු ඉන්නවා. මම අදහස් කලේ STF එක ගැන නෙවෙයි.

  29. අරෙහෙ මැරයෝ ඔයාලගේ කට්ටියට ඔලු පැලෙන්න ගහනවා. අපේ ගමේදී ඔහොම උනොත් අපිට හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබෙනවා . ඇයි Colombo දී එහෙම නැත්තේ ???????
    මම මීට කලිනුත් කිව්වා යුද්දෙන් පස්සේ හමුදාව තම තත්වය පරිස්සම් කර ගන්න හැටි ගැන අපිට කියල දෙන්න කියල. වෙන රටවල යුද්දෙන් පස්සේ අතිරේක හමුදාවට මොකද කලේ? යුද්දෙන් පස්සේ රණවිරුවන්ට ලැබෙන වරප්‍රසාද මොනවද?? මේ යුද විරුවන්ට මහාජනතාව අතරේදී විශේෂ ආරක්ෂාවක් , පහසුකම් ලබා දෙන්නේ නැද්ද? (වෙන රටවල)

    • ඒ කතාවේ අපි නොදන්නා තවත් සංකීර්ණ තොරතුරු වගයක් මට අද ලැබුනා. ඒවා අසා මගේ ඔලුවත් අවුල් වුනා. ඔබේ අදහස් මම අනුමත කරනවා. මම ළඟදීම ලිපියක් ලියන්නම් මනෝවිද්‍යාත්මක ක්‍රියාන්විත Psychologycal Operations පිළිබඳව.එතැනදී මට කියන්න පුළුවන් වෙයි මේ කතාව වගේ දේවල් වෙන්නේ ඇයි කියන එක.නොලිව්වොත් හෝ ප්‍රමාද වුනොත් මතක් කරන්න. (බැන්නත් කමක් නැහැ)

      යුද්දෙකින් පස්සේ විශේෂ ආරක්ෂාවක් අත්‍යවශ්‍යම නැහැ. අනවශ්‍ය විදිහට සමාජයට අනාවරණය නොවී හිටියානම් හරි. මැර ප්‍රහාරයන්ට රිටන් එකක් දෙන්න හමුදාව නොදන්නවා නෙවේ. ඒ ඉස්සර. දැන් වැඩිහරියක් ඉන්නේ දේශපාලන හෙන්චයියලා සහ තනතුරු ලෝභී බයගුල්ලෝ.

      විශේෂ වරප්‍රසාද කිසිම කෙනෙකුට දුන්නා කියලා මමනම් අහලවත් නැහැ. එල්.ටී.ටී.ඊ. කාරයෝ සුන්නද්දුලි කරපු ස්නයිපර්ලාත් අද නිවාඩු යන්නේ බස් එකේ තමයි.

  30. ත්‍රස්තවාදී සංවිදානයට අදාල අන්තවාදී සමාජයෙන් යුද විරුවා වෙන්කර තැබිය යුතුය් (කාලයක් යනකම්) . German නාසි අන්තවාදීන්ගෙන් සමහර මිත්‍ර හමුදා කණ්ඩායම් , නිලදාරීන් කාලයක්ම ඇත් කර සිටිය.
    ඒ සදහා සමහර සාදාරන වරප්‍රසාද දෙන්න වෙනවා (පළාත්, පාසල්, තෝරාගැනීම්,.. ). අපේ රටේ ඕව නැතුව ඇති .

  31. […] අද ඉදිරිපත් කරන්නේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කෙරෙහි ඔබ දැක්වූ ප්‍රතිචාර මා […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: