විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අපරාධයක් සහ දඬුවමක්


  මීට පෙර මා ඔබ වෙත ඉදිරිපත් කළ, හේතුහාමි ගේ කතාව ගැන අදහස්  දැක්වීමේදී අසභ්‍ය වචන නොලියන ලෙස මා කල කාරුණික ඉල්ලීම සියලු දෙනා විසින්ම ඒ අයුරින්ම ඉටු කර තිබුනා. ඒ ගැන ඔබ සැමට කෘතඥ වෙමින්, එම ඉල්ලීමම නැවතත් කරමින්, මේ කතාවද ඔබ වෙත ඉදිරිපත් කරනවා.

  මේ කතාව ලියන්නනම් ටිකක් ලැජ්ජයි වගේ. ඒත් ඉතින් ඔක්කොමලා වගේ කියනවානේ ‘ඔන්න ඔහේ ලියන්න අනේ’ කියලා. ඔන්න එහෙනම් ලියනවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්. මේ කතාවේ කියන යුද හමුදා ‘පාත්‍ර වර්ගයා’ අද හමුදා සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. කතාවට අදාළ නගර ශෝභිනිය හෙවත් රෑ මනමාලිය අද කොහේ ඇත්දැයි මම නොදන්නේ මා කවදාවත් ඇය දැකලාවත් නැති නිසයි. ඒ වගේම කියන්න ඕනේ මේ කතාවේ සමහර කොටස් මෙවැනි බ්ලොග් එකක ලිවීමට සුදුසු ආකාරයට, තරමක් දුරට සංස්කරණය කරන්නත් සිදුවූ බව. මෙවැනි කතා සිය ගණනක් මතකයේ තිබුනත්, ඒ සෑම කතාවක්ම මෙලෙස ලියන්නට නොහැකිවීම ගැන මා කණගාටු වෙනවා. මේ සිද්ධිය සිදුවුනේ, 1988 දී පමණ බවයි මතක.

  සොල්දාදුවා අත්දැකීමක් ලබයි

  එක්තරා හමුදා කඳවුරක බොහොම තරුණ, ක්‍රියාශීලී, නිර්භීත සොල්දාදුවකු සේවය කළා. මොහු විනෝදයට බර කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. කොයි තරුණ සොල්දාදුවාද විනෝදයට බර නොවෙන්නේ. මේ සොල්දාදුවාට දිනක්  ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් ඇති වුණා. (A Biological need) තේරුනේ නෑ? හයියෝ. . . . .  එහෙනම් ඉතින් මෙහෙම කියන්නම්කො. සොල්දාදුවාට අවශ්‍ය වුණා කාන්තා ඇසුරක් බොහොම සමීපව, සමීපව කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමාවන තරමින් සමීපව ලබන්නට. අන්න හරි. ඔය තේරෙන්නේ. ඔන්න ඉතින් ඔහු ගියා නගරයේ එවැනි සේවා සපයන්නියන් ඉන්න ස්ථානයකට. තෝරා ගත්තා ඉස්තරම් පෙනුමෙන් යුත් සේවා සපයන්නියක්.

  අපේ සොල්දාදුවා ස්වභාවික රසය ඉතාම ඉහළින් අගය කරන්නෙක්.  ඔහු කැමති නැහැ හොඳට නානවානම් වැහි කබායක් ඇඳගෙන නාන්න. ඔහු මුලින්ම තමන් තෝරාගත් සේවා සපයන්නියට කිව්වා, තමන් ඉතා නීරෝගී හමුදා සොල්දාදුවකු බවත්, ඒ නීරෝගී භාවය යුද හමුදා රෝහලෙන්ම සහතික කරන්නක් බවත්, එමෙන්ම තමන් ස්වභාවික රසය ඉහලින්ම ප්‍රිය කරන්නකු බවත්, එනිසා ඇය සහ ඔහු අතර කෘත්‍රිම දේ වලින් සෑදු බාධක දමාගැනීමට අකමැති බවත්. ඊළඟට ඔහු ඇසුවා ඇයගෙන් ඇය නීරෝගීද කියා. කිසියම් රෝගී තත්වයක් පිලිබඳ සැකයක් ඇත්නම්, මේ ඇසුර කතාබහට පමණක් සීමාකර, නියමිත සම්පූර්ණ ගාස්තුව ගෙවා,  පිටව යාමට තමන් සූදානම් බවද, සොල්දාදුවා ඇයට කිව්වා. සේවා සපයන්නිය කිව්වේ තමන් නීරෝගී බවයි. එයින් පස්වනක් ප්‍රීතියට පත් ඔහු ඇයට තම නම්‍යතාවය, උළැඟිතාවය, ශක්‍යතාවය, අර තාවය, මේ තාවය, දරා සිටීමේ හැකියාව, නොදරා සිටීමේ හැකියාව, ආදී මෙකී නොකී සියළු කරනම් මොනවට ප්‍රදර්ශනය කරමින්, ලෝකාස්වාද රතියෙහි සමවැදුණා. තමන් ලද සතුට අගය කරමින්, නියමිත ගාස්තුවටත් වඩා වැඩි මුදලක් ඇයට ගෙවා, පාවෙන දුහුළු මලක් මෙන් සැහැල්ලු සිතකින් යුක්තව, ඔහු ආපසු කඳවුරට පැමිණියා.

   අපේ සොල්දාදුවාගේ පූර්ව ජන්මයක අකුසළ කර්මයක් පලදෙන්නට පටන්ගත්තේ ඉහත කී ඇසුරෙන් දින දෙකකට පසුවයි. මුත්‍රා පිට කිරීමේදී දැඩි වේදනාවක් හා දැවිල්ලක් දැනෙන බවත්, අදාළ ඉන්ද්‍රිය පද්ධතියේ ප්‍රධාන කොටස, (Main Gun of the Battle Tank :D) ටිකක් ඉදිමී රතුවී ඇති බවත් ඔහුට නිරීක්ෂණය වුණා. ත්‍රිවිධ හමුදා සාමාජිකයකුට, ලිංගික හැසිරීමෙන් ප්‍රචාරණය වන රෝගයක් (Sexually Transmitted Diseases = STD) හෝ සමාජ රෝගයක් හෝ (Venereal Diseases = VD) සෑදීම, ඔහුට එරෙහිව විනය පියවරගෙන, චෝදනාපත්රයක් නගා, අණදෙන නිලධාරිගේ විනයශාලාව වෙත කැඳවා දඬුවම් කළහැකි වරදක්. එය හොඳින් දන්නා අපේ සොල්දාදුවා, රහසිගතව, පෞද්ගලික වෛද්‍ය වරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන, රෝගය සුව කරගත්තා. එයත් බලවත් වරදක්. කිසිදු හමුදා සාමාජිකයකුට තමන්ගේ රෝගයකට හමුදාවට නොදන්වා ප්‍රතිකාර ගත නොහැකියි.

  රෝගය සුවකරගත් වහාම, ඔහු යලිත් අර සේවා සපයන ස්ථානයට ගියා. කලින් දිනයේදී, ඔහුට අනේකවිධවූ රස පහස ලබාදුන්, ඇයවම තෝරාගත්තා, ඇයත් සමග කාමරයකට ගිය ගමන්, ඔහුගේ සිතේ කෝපය ක්‍රමයෙන් දැල්වෙන්නට පටන්ගත්තා. සුදුසු අවස්ථාව එනතුරු සොල්දාදුවා බලා සිටියා. (රැක සිට පහරදීමකට ගියවිට ඉලක්කය ලැබෙන තුරු සමහර විට දින ගණන් නොකා නොබී දහදුක් විඳින සොල්දාදුවකුට මේ සිල්ලර වැඩේ මොන කජ්ජක්ද) ඇය ක්‍රමයෙන් සිය මන මෝහනීයවූ සිරුර ඔහුගේ දෙනෙතට ඉදිරිපත් කළා. ඔහු එතරම් ඇයට ලං වුනේ නැහැ. ඔහුට අවශ්‍ය වුනේ ප්‍රමාණවත් තරම් ඇයගේ සිරුර නිරාවරණය වීමයි. ඔහුට අවශ්‍ය ප්‍රදේශය නිරාවරණය වූ වහාම ඔහු ඇගෙන් ප්‍රශ්නය ඇහුවා. ‘මතකද මම උඹෙන් ඇහුවා උඹට ලෙඩ තියනවද කියලා?’ ඔහු මතක් කළා. ‘මම කිව්වනේ උඹට ලෙඩ තියනවනම් මම මොකුත් නොකර සල්ලි දීලා යනවා කියලා. ඇයි මට බොරු කිව්වේ? ඔහු කෝපාග්නිය දල්වමින් ඇසුවා. ‘මට ඔය ඔක්කොම දේවල් මතක තියාගන්න බැහැ ඕයි. තමුසේ ආවේ . . . . .  නම් . . . . .වා, නැත්නම් යනවා’ කියා ඇය අපේ සොල්දාදුවාට ඔලොක්කුවට කිව්වා. මොකද එයාලාට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, දවස පුරා කාර්ය බහුලයි. අපේ සොල්දාදුවා වහාම ඇයට පාඩමක් ඉගැන්වුවා. තමන්ගේ සිගරට් ලයිටරය සාක්කුවෙන් ගත් ඔහු, එය දල්වා, ඇයට සෙලවෙන්නවත් නොහැකි ලෙස හිරකර අල්ලාගෙන, ඇයගේ අවශ්‍ය ප්‍රදේශය පිළිස්සුවා. ඇය මර ලතෝනි දී සිහි නැතුව වැටුනා. ඇයව රෝහල් ගතකෙරුණ අතර සොල්දාදුවා කඳවුරට පැන ආවා.

මහා නඩු විභාගය

  මේ මහා අපරාධය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. පොලීසිය සොල්දාදුවා සොයාගෙන යුද හමුදා කඳවුරට ආවම තමයි යුද හමුදා කඳවුරේ බලධාරීන් සිද්ධිය දැනගත්තේ. පොලීසිය නීත්‍යානුකූල ලෙස සෙබලාව අත්අඩංගුවට ගත්තා. පොලිස් පරීක්ෂණ සිදුවන අතරම යුද හමුදාව මගින්ද පරීක්ෂණ ආරම්භ කෙරුනා. ඒ අතර සොල්දාදුවා පොලීසියෙන් ඇප ලබාගත්තත්, හමුදා කඳවුරට රැගෙන ආ වහාම, ඔහුව කඳවුරේ කූඩුවට දැම්මා. ඉන්පසු යුද හමුදා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට චෝදනා පත්‍රයක් නගා, අණදෙන නිලධාරිගේ විනය ශාලාවට යොමු කළා.

  මේ කඳවුරේ අණදෙන නිලධාරි වරයා ටිකක් අමුතු කෙනෙක්. ඔහු පරිපාලනය, අණදීම, අතින් දක්ෂයෙක්, අතීතයේදී වතු පාලකයකු ලෙස ඉතා පෘථුල අත්දැකීම් ලැබුවෙක්. ඉතාම හොඳ විනෝදකාමියෙක්, අර සොල්දාදුවා වගේම. හැබැයි ඔහු ඔහුගේ එවැනි විනෝදකාමී කටයුතු කඳවුර තුල කළේවත්, ඒ කටයුතු හමුදා රාජකාරියට බාධාවන අයුරින් කළේවත් නැහැ. ඒ ගැන දැන සිටියේ කඳවුරේ ජ්‍යෙෂ්ට නිලධාරින් ඉතා ටික දෙනෙකු පමණයි. මේ අණදෙන නිලධාරි වරයා සිංහල ජාතිකයකු නොවෙයි. ඔහු 90% ක් පමණ භාවිත කලේ ඉංග්‍රීසි භාෂාවයි. සිංහලෙන් කතාකරනවිට ඒ කඳවුරේ නිලධාරීන් සිනා නොවී සිටින්නේ බොහොම අමාරුවෙන්. උදාහරණ වශයෙන් යම්කිසි කාර්යයක් සඳහා නිලධාරියකු යවන්න කියන අදහස ඔහු කියන්නේ ‘ඒකට නිලධාරියෙක් නිකුත් කරන්න’ කියායි. යුද හමුදාවේ ඔහුට වඩා උසස් නිලධාරියකුට ලිපියක්‌ යැවීමට අවශ්‍යවිට ඔහු ඒ නිලධාරියාගේ පදවි නාමය කියා, ‘ඌට ලිපියක් නිකුත් කරන්න’ කියයි. ‘එහෙම කියන්න හොඳ නෑ සර්’ කියා ප්‍රධාන ලිපිකරු කීප විටක් කිව්වාම, හොහ් හොහ් හොහ් ගා හිනාවෙන ඔහු, ‘කමක් නෑ අයිෂේ ඌ මෙතන නෑනේ’ කියයි. ඇයි බැරි? කියන වචන දෙක ඔහු කියන්නේ ‘අයි බරි’ කියායි. වරක් ඔහු සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් කඳවුරේ පැවැත්වූ අවුරුදු උත්සවයේදී සෙබළුන් අමතා සිංහලෙන් කතා කළා. ඔහු කතාව අවසන් කලේ මෙහෙමයි. ‘තමුන්ලා ගෙදර ගියාම කියන්න මම තමුන්ලාගේ අම්මලාවත් මතක් කළා කියලා’ (රෙජිමේන්තු සැරයන් මේජර්, කල් තබා සෙබළුන්ට කියා තිබුනා, ‘සී ඕ ට සිංහල වැරදුනොත්, තොපි එකෙක්වත් හිනා වෙන්නේ එහෙම නෑ’ කියලා)  ඔහු වසරකට සාද දෙකක් තුනක් කඳවුරේ පවත්වයි. ඒ සඳහා සමහරවිට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ඉහල නිලධාරීන්ටද ඔවුන්ගේ බිරින්දෑවරුන්ද සමග පැමිණෙන ලෙස ඇරයුම් කරයි. ඒ සාද ඉස්තරම් මට්ටමේ ඒවාය. සාද සඳහා තම බිරින්දෑ සමග සහභාගිවන ලෙස ඔහු නිලධාරීන්ට නියෝග කලත් දුර බැහැර වීම, බිරිඳ රැකියා කිරීම ආදී ප්‍රශ්න කියා ඔවුහු තනිවම සහභාගී වෙති. ඒවා නිලධාරීන්ගෙන් මුදල් ගසාකන සාද නොවේ. එමෙන්ම මේ අණදෙන නිලධාරි වරයා කිසිදු දිනක කිසිදු කාන්තාවකට අයුතු බලපෑමක් හෝ යෝජනාවක් කල බවට කිසිදු කටකතාවක්වත් සාදාගෙන නැති බව, ඔහුව නුරුස්නා නිලධාරීන්ද කියනු මම අසා තිබෙනවා. ඔහුගේ බිරිඳද ඉතා සමාජශීලී කාන්තාවක්. ඇය ද මේ සාද වලට නොවරදවාම සහභාගී වූවා. ඇය කඳවුරේ නිලධාරීන් සමග ආලිංගන නැටුම්වල යෙදුනු පසු, ඒ අසලට එන අර අණදෙන නිලධාරි වරයා, ‘අඩේ, (ඔහු බොහෝවිට අඩේ කියනු අසා ඇත්තෙමි) උම්බලා උම්බලාගේ ගෑනී ගේන්නේ නෑ, මගේ ගෑනී එක්ක තමා නටනවා’ කියන්නේ, මහා හඬින් සිනාසෙමින්. මේ සොඳුරු නිලධාරියා සිය පවුලද සමග අද කැනඩාවේ ජීවත් වෙනවා. 

 ඔන්න ඉතින් මහා නඩු විභාග දිනය හෙවත් අණදෙන නිලධාරිගේ විනය ශාලාව රැස්වන දිනය එළඹුනා. එහිදී සිදුවන්නේ මෙයයි. චුදිත සෙබලා සාමාන්‍ය නිල ඇඳුමෙන් (යුද හමුදා පිළිවෙත අනුව අංක 6 නිල ඇඳුම. මේ සමග ඇති පින්තූරයෙන් පෙන්වන්නේ අංක 6 නිල ඇඳුමයි) සැරසිය යුතුයි. එහෙත් ඔහුට ඔහුගේ තොප්පිය සහ බඳ පටිය පැලඳීමට අවසර නැහැ. ඔහුගේ නිලයට සමාන නිලයක සෙබළකු ඔහුගේ මුර සෙබලා ලෙස සම්පූර්ණ අංක 6 නිල ඇඳුමෙන් ඉන්නවා. ඒ කියන්නේ ඔහු ඉන්නේ තොප්පිය සහ බඳ පටිය සහිතවයි. චෝදනාගාරයට එන සියලු දෙනා ඉතා පිරිසිදු අභිමානවත් පෙනුමෙන් ආ යුතුයි. බූට්ස් සහ නිල ඇඳුමට අයත් දිලිසෙන කොටස් පොලිෂ් කර තිබිය යුතුයි.

  අණදෙන නිලධාරි වරයා කල්තබා පැමිණ සිය කාර්යාලයේ වාඩිවී සිටිනවා. ඔහුගේ මේසය මත තිබෙන සියලු දෑ (ලිපිගොනු, පෑන් පැන්සල්, නාම පුවරු, මල් පෝච්චි, ආදී දේ) ඉවත්කර හිස් මේසය පමණයි තබන්නේ. ඔහුගේ වම් පසින් විධායක අධිකාරි සිටිනවා චෝදනාපත්‍රය සහ සෙබලාගේ පුද්ගලික ලිපිගොනුවද සහිතව.  රෙජිමේන්තු සැරයන් මේජර් චුදිතයන් (එදිනට විනය ශාලාවට ඉදිරිපත් කිරීමට නියමිත සියලු දෙනා) ආරක්ෂක මුරයක් සමග රැගෙනවිත් විනය ශාලාව අසල රඳවා තබාගන්නවා. රෙජිමේන්තු සැරයන් මේජර් විනය ශාලාව තුලට පැමිණ අණදෙන නිලධාරීට ආචාර කර ‘තුමනි, චුදිතයන් ඔබ තුමන්ගේ විනයශාලාවට ඉදිරිපත් කිරීමට අවසර පතමි, තුමනි’ කියා අවසර ඉල්ලනවා. අණදෙන නිලධාරි වරයා ‘අවසරයි’ කිව්වාට පසු නැවත ආචාර කර ආපසු ගොස්, චුදිතයාව විනය ශාලාවට රැගෙන එනවා. ආරක්ෂක සෙබලා චුදිතයාට පසුපසින් ඒ වේගයෙන්ම ගමන් කරනවා. ඒ එන්නේ සාමාන්‍යයෙන් හමුදාවේ සරඹ වලදී ගමනේ යාම කරන වේගය (විනාඩියකට අඩි 120 යි) මෙන් දෙගුණයක වේගයෙන්. විනය ශාලාවේ අණදෙන නිලධාරි වරයාගේ මේසය ඉදිරියට පැමිණි පසු රෙ.සැ.මේ. නවතින් කියන විධානය දී අණදෙන නිලධාරිගේ මේසය තිබෙන පැත්ත අනුව දකුණට හෝ වමට, හැරෙන් කියා චුදිතයා සහ මුර සෙබලා අණදෙන නිලධාරිට කෙලින්ම මුහුණලා සිටිනසේ හරවනවා. ඉන්පසු රෙ.සැ.මේ. අණදෙන නිලධාරීට ආචාරකර කියනවා, ‘තුමනි, සෙබල අංක …………………………….තුමනි’ හිස් තැනට වැටෙන්නේ චුදිතයාගේ අංකය නිලය සහ නමයි.    

  අණදෙන නිලධාරී මුලින්ම සෙබළාගෙන් අහනවා තමන්ගේ අංකය නිලය නම හරිද කියා. වැරදියි කිව්වොත් ඔහුව ආපසු යවන අතර විධායක අධිකාරිට සහ රෙ.සැ.මේ. ට  බඩු හම්බ වෙනවා. හැබැයි සෙබලා බොරුවට කිව්වොත් වැරදියි කියා, ඔහුට බඩු දෙගුණ වෙනවා. ඊළඟට සෙබලාට ඇසෙනසේ විධායක අධිකාරි විසින් චෝදනා පත්‍රය හඬ නගා කියවනවා. එහි කියවෙන්නේ මෙහෙමයි. සෙබල අංකය,. . . . .  නිලය,. . . . නම, . . . . වරද,. . . .  වරද කල දිනය,. . . . . ස්ථානය. . . . යන දේවල් මුලින්ම කියනවා. ඉන්පසු එය මෙලෙස විස්තර කරනවා. ‘ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු වශයෙන් සක්‍රිය සේවයේ යෙදී සිටියදී 1949 අංක 17 දරන යුද හමුදා පනතේ . . . . . . ඡේදය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇත. එනම් ………………………………..(මේ හිස් තැනේදී  කියවෙන්නේ කල වැරැද්දයි) ඉන්පසු මේ චෝදනාවට සාක්ෂි මොනවාද යන්නත් කියනවා. ඒවා ලිඛිත හෝ වාචික සාක්ෂි විය හැකියි. ඉන් පසු චෝදනා පත්‍රය අණදෙන නිලධාරිගේ අතට දෙනවා.  අණදෙන නිලධාරි මුලින්ම අසන්නේ තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවැරදි කරුද කියා. නිවැරදිකරු කිව්වොත් චුදිතයාට සිදුවෙනවා කිසිදු සැකයකින් තොරව චෝදනා බොරු බව ඔප්පු කිරීමට. සාමාන්‍ය සිවිල් සමාජයේ අහිංසක මිනිසුන්ට බොරු චෝදනා දමා උසාවියට ඉදිරිපත් කරන්නාක් මෙන් බොරු චෝදනා දමා සෙබළුන් මෙලෙස පෙළන්නේ නැහැ. අණදෙන නිලධාරිගේ විනය ශාලාවට ඉදිරිපත් කරන්නේ 100% ක්ම ඔප්පු කළහැකි චෝදනා පමණයි. සාක්ෂි අනුව වරද පිළිගන්න බව චුදිතයා පිළිගත් පසු දඬුවම් නියම කරනවා. ඉන්පසු පෙර පරිදි රෙ.සැ.මේ. චුදිතයා සහ ආරක්ෂක මුරය ඉවතට රැගෙන යනවා. මේ දීර්ඝ විස්තරය කලේ ඊළඟ ජවනිකාවේ උපරිම රස වින්දනය ඔබට දීමටයි.

  ඔන්න ඉතින් දැන්  විධායක අධිකාරි චෝදනා පත්‍රය කියවගෙන යනවා. එහි අර වරද විස්තර කෙරුනේ මෙහෙමයි ‘ශ්‍රී ලංකා යුද හමුදවේ. . . . . .  එනම් . . . . . .කඳවුරු ස්ථාවර නියෝග වලට පටහැනිව ගණිකා නිවාසයකට යාම, (මේ කෑල්ල කියන කොටම අණදෙන නිලධාරි වරයාගේ කට කොනකට සිනහවක් ආවා) . . . . . . .හිදී, එහි සිටි කාන්තාවකට හිරිහැර කර, ඇයගේ රහසඟ පිළිස්සීම.  මේ ටික කියනකොට අණදෙන නිලධාරිගේ මුහුණ අමුතු වුණා ඔහු කතා කරන්නේ ඉංගිරිසියෙන් විතරනේ. එමෙන්ම ඔහුට තේරෙන්නෙත් සරල සිංහල පමණයි. ඔන්න ඉතින් රහසඟ නොකියා ‘. . . . ‘ කිව්වානම් තේරෙනවා. නමුත් ඒ වචනය කොහොමද යුද හමුදාවේ නීති ලියවිල්ලක ලියන්නේ? ඉතින් ඔහු විධායක අධිකාරිගෙන් ඇහුවා අයිසේ සෙනා, (සෙනා කියන්නේ විධායක අධිකාරිගේ නමේ අග කොටසෙන් හදාගත් මිත්‍රශීලී නමක්) What’s this Raashanga? I can’t understand, you tell me in English’ කියා කිව්වා. (සෙනා මොකක්ද මේ ‘රාශන්ගා’ කියන්නේ මට තේරෙන්නෑ. කියනවා ඉංග්‍රීසියෙන්) දැන් ඉතින් විධායක අධිකාරි ටිකක් ලජ්ජාවෙන් විස්තර කරනවා සිද්ධිය. Sir, this fellow has gone to a Brothel (සර් මේ හාදයා ගණිකා නිවාසෙකට ගිහින්) . . . . . . . . .ඔහොම කියාගෙන ගිහින්, මේ කොල්ලාට ලෙඩ හැදුන කතාවයි ඔක්කොම කියලා, අන්තිමට කිව්වා, ‘And the fellow burnt that woman’s genitals’ (මේ හාදයා ඒ ගෑනිගේ ලිංගේන්ද්‍රිය පිච්චුවා)  කියලා. අණදෙන නිලධාරි විනය ශාලාව උඩ යන්ඩ හිනා වුණා. චුදිතයා දෙස බැලූ ඔහු, ඒයි ළමයා,  කියනවා ඔයා මොකද කරා? කියා ඇසුවා.(හමුදා නිලධාරීන් බොහෝවිට සෙබළුන්ට අමතන්නේ ළමයා, ළමයි, පුතා කියලයි. මේ කතාව කියන කාලයේදීම මම තවත් නිලධාරියකු සමග වීඩියෝ පටි කුලියට දෙන තැනකට ගොස් තරමක් වැඩිහිටියන්ට සුදුසු ඉංග්‍රීසි චිත්‍රපටියක් තෝරාගෙන මගේ සහෝදර නිලධාරියාට කිව්වා මේක ළමයින්ට පෙන්නන්ඩ ගෙනියමු කියලා. වීඩියෝ පටි කඩය අයිති කාන්තාව, ඇස් උඩ තියාගෙන, මහත්තයලට පිස්සුද? ඕවා ළමයින්ට පෙන්නනවද? තමන්ගේ ළමයි ඔහොමද හදන්නේ? කියා දේශනාවක් දෙන්න පටන් ගන්නකොටම මම කිව්වා අපි ළමයි කියන්නේ කාටද කියා.)

  චුදිතයාට හිතෙන්න ඇති දැන් ඉතින් මොනවා උනත් එකයි කියා. ඔහු මුල සිට සම්පූර්ණ ඇත්ත කතාව අකුරක් නෑර කිව්වා. ඒක අහපු අණදෙන නිලධාරි වරයා සෑහෙන වෙලාවක් සිනාසුණා. ඉන්පසු ඔහු විධායක අධිකාරිට කියනවා, ‘I say Sena, this bugger is a real Soldier. I really appreciate that, look here, he acted as a gentleman and asked whether that bloody bitch was having any V.D. And that bloody women lied upon him and ended up with a punishment. Huh, huh, real bugger eh.  (මම කියන්නේ සෙනා මූ නියම සොල්දාදුවෙක්, මම මූව අගය කරනවා. බලන්න, මිනිහා මහත්තයෙක් වගේ ඇහුවා, ඒ ජරා බැල්ලිට සමාජ රෝග තියනවද කියලා, ඒ ජරා ගෑනි මූට බොරු කියලා, අන්තිමට දඬුවමකුත් ලබලා, වැඩේ ඉවර කරගත්තා. හඃ හඃ නියම එකෙක් ඈ) 

  අණදෙන නිලධාරි රෙ.සැ.මේ. ට කිව්වා ටිකකට චුදිතයාව ආපසු ගෙනයන ලෙස. විධායක අධිකාරිගේ ඇස් උඩ ගියා. ‘No no, Sir, you can’t pardon him like this. He should have punished for this. There are a number of charges against him. If you do that you are violating the Army Act. I’ll read out all charges in English for you (බෑ බෑ සර්, මේ විදිහට මිනිහව සමාව දී නිදහස් කරන්න බැහැ. ඔහුට දඬුවම් කල යුතුමයි. මිනිහට විරුද්ධව චෝදනා ගණනාවක් තියනවා. සර් මිනිහව නිදහස් කලොත් එය යුද හමුදා පනතට පටහැනි ක්‍රියාවක් වෙනවා. මිනිහට විරුද්ධව තියන චෝදනා මම සර්ට ඉංග්‍රීසියෙන් කියන්නම්) කියලා විධායක අධිකාරි සියලු චෝදනා නැවත ඉංග්‍රීසියෙන් කිව්වමයි, තත්වයේ බරපතලකම අණදෙන නිලධාරිට වැටහුනේ. 

‘Oh I see, poor bugger, can’t help, OK, get the bugger back (හා. . . දැන් මට තේරෙනවා, අහිංසකයා නමුත් කරන්න දෙයක් නැහැ. හරි, ගේන්න මිනිහව ආපහු) කිව්ව අණදෙන නිලධාරි වරයා, චුදිතයාව නැවත විනය ශාලාවට කැඳවා, ඔහුව බරපතල වැඩ ඇතිව දින 28 කට යුද හමුදා හිරගෙට යැවීමට නියෝග කළා.

 

Advertisements

Comments on: "අපරාධයක් සහ දඬුවමක්" (98)

  1. කතාව සුපිරියි!

  2. ම්… අර කලින් කියලා තියෙන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ ආරක්ෂාවක් තිබුනානම්. හැබැයි ඉතින් ආරක්ෂාවක් තිබුනානම් විචාරකගේ බ්ලොග් පෝස්ටුවක් නැතිවෙනවා. උණු හින්දා බොන්නත් බැහැ. කිරි හින්දා අහක දාන්නත් බැහැ.

  3. මෙහෙමත් වැඩ.. නිකන් ලැව් ගින්නක් වගේ කර කර ගාල ඇවිලෙන්න ඇති නේ..

  4. වැරද්දත් දඬුවමත් දෙකම සාධාරණයි.

  5. Main Gun of the Battle Tank… ඒ නම නියමෙටම ගැලපෙනවා.. 😀

    ඔය ‍සෙනා කිවුවෙ අපේ සෙනා නෙවෙයි නේද.?? 😀

  6. පිස්සු හැදිලා ආයෙත් හැදුනා…කතාවේ රසේ වැඩිවෙන්නේ ඒක ලියලා තියෙන විදිය අනුවයි….
    මම තනියම හිනාවෙද්දි ගෙදර මිනිස්සු අහනවා මට පිස්සුද කියලා …. 🙂

  7. හහ්, හහ් මට නිකන් මැවිල පෙනුන සීන් එක.
    මට නම් කියන්න තියෙන්නෙ “යන්නෙ . . . . . නම් . . . . .වා, නමුත් ආරක්ෂාකාරීව,,, නැත්නම් යනවා’ අනික් කාරණාව කොහොම කොච්චර ආරක්ෂා උනත්, අපි නොදැනුවත්වම ආරක්ෂාවේ ලිහිල් තැන් තියෙන්නේ පුළුවන්.

  8. ක්සැන්ඩර් | Xander said:

    යුධ හමුදාව තුල මේ තරම් නීති තියන හින්දා වෙන්න ඕනේ ගොඩක්ම 99% ම සෙබළු විනය ගරුක වෙන්නේ. ඒත් අනේ අර පොලිසියේ හාදයෝ… උන්ට හරියට මාච් එකේ යන්නවත් බෑ. කකුල් අදිනවා අත් අදින්නේ එක එකා හිතු හිතු වෙලාවේ.. අපේ සර් කියන්නේ ගමේ යනවා කියලා..:)

    අර පින්තුරේ නම් ඉන්නේ විචාරක තුමා නේද? තරු මකලා නම මකලා තියන බව පේනවා.. 🙂

  9. Elakiri kathawa. Very very good. Thanks for good story

  10. ඒක අම්මගෙ උසාවියක්නෙ.. ඒ කියන්නෙ උසාවි යනවා කියන්නෙ බඩුම තමයි.. දන්නැත්තෙ දඬුවම මොකක්ද කියලා විතරද ? විනිසුරුවරයට සාධාරණයි කියලා හිතුනොත් ඔහුගේ අභිමතය පරිධි නිදහස් කරන්ඩ බැරිද ?

    කතාවනම් උපරිමේට රසවින්දා. වැඩි විස්තර එක්ක ලියලා තියන හින්දා නොදන්න දේවල් බොහොමයකුත් දැනගත්තා..

    උලැඟිතාවය කියන්නෙ මොකක්ද ? ඔය ඇහුවමයි එහෙම සිංහල වචනයක් ගැන..

    • යුද හමුදා උසාවිය සෙල්ලම් තැනක් නෙවෙයි. සාක්ෂි තහවුරු නොවන්නේනම් විනිසුරු වරයාට පුළුවන් විත්තිකරු නිදහස් කරන්න.
      උළඟිතාව = agility ක්ෂණිකව ඉරියවු වෙනස් කිරීමේ හැකියාව

    • යුද හමුදාවට බදවා ගනිද්දී ඉතින් ඕවට ඒකග වෙලානේ යන්නේ. අනිත් ඒක බොරු චෝදනා, සාක්ෂි පටවන්නෙත් නෑනේ. ඉතින් විනයානුකූලව රාජකාරි කරානම් ඉවරයිනේ

  11. දවස් විසිහතකට පස්සේ ඒ එල කොල්ලගේ ජොබ් එකට කෙලවෙනවද

    • නැත නැත ආපසු රැකියාව ලැබෙනවා.

      • ඒ දවස් විසිඅට වැටුප් රහිතද? නැත්නම් දඬුවම වෙනයි, වැටුප් කතන්දරයක් අදාලම නැත්ද?

        ‘බරපතල වැඩ ඇතිව‘ කියන්නෙ දැන් මොනවද ඔය බරපතල වැඩ.

        • වැටුප් රහිතයි. හිරගෙදර තියෙන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයේ. හමුදාවේ අය ඒකට කියන්නේ ‘ගල් පල්ලිය’ කියලා. පාන්දර 5 සිට රාත්‍රී 10 දක්වා හමුදා විනයට අනුව කරන වැඩ (ඇඳුම් සේදීම මැදීම පොලිෂ් කිරීම) වලට අමතරව වැසිකිලි පිරිසිදු කිරීමේ සිට ගල් කැඩීම පස් ඇදීම වගේ වැඩත් ලැබෙනවා.

      • “පාන්දර 5 සිට රාත්‍රී 10 දක්වා හමුදා විනයට අනුව කරන වැඩ (ඇඳුම් සේදීම මැදීම පොලිෂ් කිරීම) වලට අමතරව වැසිකිලි පිරිසිදු කිරීමේ සිට ගල් කැඩීම පස් ඇදීම වගේ වැඩත් ලැබෙනවා”

        නිලධාරියෙක්ව සිරගත කළත් මේ දඬුවම්මද ලැබෙන්නේ ?

        • නිලධාරියකුව ගල් පල්ලි යවන්නේ නැහැ. ගල් පල්ලි ගිහින් ආවොත් කොහොමද එයාට ආචාර කරලා සර් කියන්නේ ඊට පහල නිලයන්. ඒ නිසා නිලධාරියකුට කරන්නේ අපකීර්ති සහගත ලෙස සේවයෙන් පහ කිරීමයි.

      • 1. අපකීර්ති සහගත ලෙස සේවයෙන් පහකරන හැම නිලධාරියගෙම විශ්‍රාම වැටුම් (අදාල සේවා කාලය සම්පූර්ණ කරල තිබුණනම්) කපාහරිනවද?
        2. ඒ වගේම එවැන්නෙක් හමුදාව තුළ සිටී බවට සාධකයක්වත් නොතිබෙන්න සියළුම ලේඛනවලින් ඔහුගෙ නම කුරුටුගානව ද? (ඇයි එහෙම ඇහැව්වෙ කියල ඔබතුමා දන්නව)
        3. ඒ වගේම ඔහුගෙ පෞද්ගලික ලිපිගොනුවෙ තිබෙන සමහර ලියකියවිලිවල කිසියම් විශේෂ සටහනක් හෝ මුද්‍රාවක් තබනවද?, වෙනත් රැකියාවකට යෑමේදී බලපාන පරිදි.

        • පිළිතුරු දීමේ පහසුව සඳහා මම ඔබේ ප්‍රශ්න 1, 2, 3, වශයෙන් නැවත නම් කළා.

          පිළිතුරු:-

          1. ඔව් සියලු වැටුප් විශ්‍රාම වැටුප් අහිමි කරනවා. මෙතෙක් කල් ගෙවන ලද වැටුප් ආපසු අයකර ගැනීමක් වෙන්නේ නැහැ.

          2. නැහැ. දේශපාලන උන්මත්තකයන් නම් එහෙම වැඩ කරනවා. අදාළ නිලධාරියාගේ පෞද්ගලික ලිපිගොනුවේ ඔහු සේවයෙන් පහ කිරීමට අදාළ සේනාධිනායකයා/නායිකාව (ජනාධිපති) ගේ නියෝගය ඇතුලත් ලිපිය ගොනු කර, බලයලත් මාණ්ඩලික නිලධාරියකුගේ සටහන තබා ලේඛන සුරක්ෂිතාගාරයේ (Archives) සුරක්ෂිතව රඳවනවා. යටත්පිරිසෙයින් වසර 5 ක් වත් තිබිය යුතුයි. ඊට හේතුව, පසුව පත්වන සේනාධිනායකයකුට පුළුවන් ඔහුට සමාවදී, අවශ්‍යනම් ඊළඟ නිලයටද, නැතහොත් ඊටත් ඉහල නිලයකටද උසස් කර, හිග වැටුප්, හෝ හමුදා සේවයේ යෙදෙන්නට වයස වැඩිනම්, විශ්‍රාම වැටුප් හෝ ලබා දෙන්නට. පෞද්ගලික ලිපිගොනුව දේශපාලන උන්මත්තකයන් විසින් පුච්චලා තිබුනත්, රාජ්‍ය ලේඛනාගාරයේ තියන ගැසට් පත්‍ර මගින් ඔහුගේ අධිකාරියට පත්වීම සනාථ කලහැකියි.

          3. නැහැ. ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවේ ඇති අධ්‍යාපන සහතික (සා.පෙළ, උ.පෙළ, උපාධි වැනි, හමුදාවේ පාඨමාලාවලින් ලබාගත් සහතික හැර) ලිඛිත ඉල්ලීමක් කර ආපසු ලබාගත හැකියි. ඒ අනුව ඔහුට වෙනත් රැකියාවකට යාමට අවස්ථාව තියනවා, තමන්ට සිදුවූ දේ නොකියා හෝ එය නුසුදුසු කමක් ලෙස නොපිලිගන්නේනම් ඇත්ත කියා හෝ.

      • “නිලධාරියකුට කරන්නේ අපකීර්ති සහගත ලෙස සේවයෙන් පහ කිරීම”

        මේ ගැනත් විස්තර ටිකක් කියමුද ??

        • නිලධාරියකුට විරුද්ධව නැගෙන චෝදනා පත්‍රයක් විභාග කරන්න බල ඇණියක අණදෙන නිලධාරියකුට (Battalion Commander) බලය නැහැ. ඔහු කරන්නේ චුදිත නිලධාරී කැඳවා චෝදනා පත්‍රය කියවා, එය බලසේනාධිපති වරයාට ඉදිරිපත් කිරීමයි. බලසේනාධිපති වරයකුටත් සීමා තියනවා. ඔහුට බැහැ ලුතිතන් කර්නල් නිලයෙන් ඉහල නිලධාරියකුගේ චෝදනාපත් විභාග කරන්න. එය කල හැක්කේ සේනාංකාධිපති වරයකුටයි. (මේජර් ජෙනරල්) කර්නල් නිලයෙන් ඉහල නිලධාරියකුගේ චෝදනාපත් විභාග කිරීමට හමුදාපති වරයා විසින් බලය පැවරු මේජර් ජෙනරල් වරයකු වියයුතුයි. අවසාන නිගමනය දෙන්නේ සේනාධිනායක (ජනාධිපති) වරයා විසින්. දඬුවම නිර්දේශ කරන ලද චෝදනා පත්‍රය සේනාධිනායක වෙත යවන්නේ යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඔස්සේයි. අවසාන නිගමනය ලැබුන පසු හමුදාවෙන් නිකුත්කර ඇති නිල ඇඳුම්, හැඳුනුම්පත, පදක්කම්, ඇතුළු සියලු බඩුබාහිරාදිය බාරදී ගෙදර යාමට සිදුවෙනවා.

      • පිළිතුරුවලට ස්තූතියි විචාරක මහත්මයා.
        අර ප්‍රශ්න තුනට ඔබ දීපු උත්තරවලින් ඔබ අදහස් කළ දේ මට ඉතාම හොඳින් වැටහුනා. ;D

      • සිරගත වී සිට නැවත සේවයට පැමිණි සෙබළෙකුට පසු අවස්ථාවක නිලධාරියෙකු ලෙස උසස් විය හැකිද?

        • ඕනෑම සෙබළකු නිලධාරියකු ලෙස උසස්වීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේදී ඔහුගේ පෞද්ගලික ලිපිගොණුව ඉතා පිරිසිදු එකක් විය යුතුයි. සාමාන්‍ය ක්‍රමයේදී පවා නිලධාරියකු හෝ සෙබළකු ඊළඟ නිලයට උසස්වීමට නම් නොකැළැල් සේවා ඉතිහාසයක් තිබිය යුතුයි.

      • ඒ වුනාට ඔයිට වැඩිය “සංග්‍රහයවල්” ලැබෙනවනේ

  12. අර අණදෙන නිලධාරිවරය නම් හරි ජොලි. මට හිනා තදකරන් කියවල කැස්සත් හැදුනා. ඔන්න අම්ම උණුවතුර එකකුත් ළඟින් ගෙනත් තියල ගියා. එතුම ගැන තවත් කතා තියෙනව නම් ලියන්න, තව ටිකක් හිනාවෙන්න.

  13. හිනාවෙලා වැඩිකමට ඇස් වල කදුළු පිරිලා පේන්නෙ නැතුව ගියා.නැවත නැවතත් මතක්කර රසවිදිය හැකි කතාවක්,රස විදිය හැකි සුපිරි ලෙසටම ලියල තියෙනවා.gude good sana !!!!!!!!

  14. ඒකත් එහෙමයි වුණේ නේද 🙂 සොල්දාදුවා ඊට පස්සේ හොඳින් ඉන්න ඇති නේද ?

  15. හෙහ් හෙහ් පව් අප්පා අර ගෑණු දරුවා 🙂

    විචාරක මාමාට – සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  16. සෙල්ලමකට ගත්තට ඒක හරිම වේදනාකාරී අත්දැකීමක් වෙන්න ඇති ඒ ගෑණු කෙනාට… දවස් 28 නෙමෙයි දවස් 280ක් හිර දඬුවම් දුන්නත් ඒ අත්දැකීම නැතිවෙන්නේ නෑනේ… ඒක මහා කුරිරු වැඩක්…

    මම අණදෙන නිළධාරියානම් දෙපාරක් දඬුවම්දෙනවා… දෙවනිපාර දෙන්නේ මෝඩයෙක් වගේ ඒ ගෑණුකෙනාගේ කටවචනේ විශ්වාසකරලා රබර් පාවිච්චි නොකරන්න තීරණය කල එකට…

    • ඒකනම් ඇත්ත. මටත් හිතෙනවා දඬුවම මදි කියලා. 1980 දශකයේ මානව හිමිකම් ගැන දැන් තරම් සැලකීමක් තිබුනේ නැහැ.

    • මම හිටියා නම් කරන්නේ ” ok සර් ” කියලා කොල්ලව බේරන එක.. හැබැයි පස්සේ වෙලාවක වැරැද්ද තේරුම් කරලා දෙනවා…

      • හමුදා නීතිය ගලේ කෙටුවා වගේනේ. හැබැයි මේ වගේ එවුන්ට අපි එවැනි සිදුවීම් වලින් පසුව කිසියම් ‘මගපෙන්වීමක්’ කරනවා එවැනි අවස්ථාවකදී ගතයුතු බුද්ධිමත් ක්‍රියාමාර්ග මොනවාද කියා.

  17. අර දරුණු කොටස් ටික ඉතාම සංවරව ලියන්න ගත්ත උත්සාහය නම් විශිෂ්ඨයි
    මම පාසලේ තූර්ය වාදක කණ්ඩයේ ඉන්න කාලෙ අපේ පුහුණුකරු වසර 35 ක් යුධ හමුදා තූර්ය වාදක කණ්ඩය නියෝජනය කල අයෙක්…ඔහුගේ බිරිදට අනවශ්‍ය විහිලුවක් කල උසස් නිලධාරියෙකුට දැඩි සේ පහර දීම හේතුවෙන් ඔහුත් දඩුවම් විදි ආකාරය අපට පවසා තිබුනා… මේ කාලසීමාවටම ඔහු නිළයන් දෙකක් පමණයි ඉහළට ගිහිල්ලා තිබුනෙ… අද ඔහු වසර 80කට කිට්ටු උනත් සුද්දා වගේ ක්ලීන් සූට්, වෙලාවට වැඩ, කාර් එකත් තනියම පදවගෙන ඔහු එනවා ලංකාවෙම අංක 1 වෙච්ච අපේ බෑන්ඩ් එක පුහුණු කරන්න තවමත්….

    පෝස්ටුව නම් මල් හතයි…

    මම සිරාගෙ කාමරේw සිරා

  18. ඉතාම රසවත් සහ අර්ථවත් ලිපි අප වෙත ගෙන ඒම ගැන ඔබතුමාට ස්තුතියි. සියලුම ලිපි මුල සිට අගට එක හුස්මට කියවල ඉවර කළා

    මට නම් හිතෙන්නේ ඔය හමුදා සෙබලා පහුගිය අත්භවයක කාන්තා චර්ම චේදනය පිළිබඳ ‌‌‍විශේෂඥ ගෝත්‍රික වෙදෙක් වත් වෙලා ඉන්න ඇති…

  19. හොය හොය හිටිය වචනයක් ලැබුණා: උළඟිතාව = agility ඉතාමත් ස්තූතියි.

    මිලිටරි උසාවියෙන් හැරෙන්නට කාන්තාව සිවිල් උසාවියට ගියා නම් එයින් ද දඬුවම් ලැබෙන්නේ නැද්ද? මෙහෙ නම් දෙකින් ම දඬුවම් ලැබෙනවා, මිලිටරියේ දඬුවම සිවිල් නඩුවෙන් දෙන දඬුවමට වඩා දෙගුණයකින් විතර බරපතල වන බව සහ සිවිල් දඬුවම ගෙවා මිලිටරියේ දඬුවම ද ගෙවන්නට වෙන බවයි අසා ඇත්තේ.

    • උලඟිතාවය මමත් ඉගෙනගත්තේ හමුදාවෙන්. හමුදා ප්‍රහාරයක් එල්ල කරන්න හෝ විශාල හමුදාවක් එක තැනක සිට යුද භූමියේ තවත් තැනකට යවන්න, එහෙම නැත්නම් මහා පරිමාණයෙන්, සැලසුම් සහගතව පසුබසින්න සිදුවුනොත්, ඒ සඳහා සකසන විශේෂ වාර්තාවක් හෙවත් සැලැස්මක් තියනවා. එයට කියන්නේ Military Appreciation කියලා මේකට මම තවම සිංහල වචනයක් හොයනවා ඒ පිලිබඳ ලිපියක් ලියන්න.

      ඒ කාන්තාව හමුදා උසාවියට පැමිණිල්ලක් කළේවත් අවෙවත් නැහැ. පොලිස් වාර්තාව සහ ඒ සෙබලා කඳවුරේ ස්ථාවර නියෝග Standing Orders වලට පටහැනිව කල ක්‍රියා නිසයි චෝදනා පත්‍රයක් නගා විභාග කලේ. අර කාන්තාව පොලීසියට කට උත්තරයක්‌ දුන්නත් එතනින් එහාට සිදුවූ දෙය මම දන්නේ නැහැ. ත්‍රිවිධ හමුදා සාමාජිකයකු ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කරන වරදක් කලොත් සිවිල් පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන නීතිය අනුව ක්‍රියා කරනවා. ඔහුට ඇප ලැබුනොත් බාර දෙන්නේ යුද හමුදා පොලීසියටයි. එහිදී අර චෝදනා වලට යුද හමුදාවෙන් නැවත දඬුවම් දෙන්න බැහැ. නමුත්, ස්ථාවර නියෝග කඩ කිරීම මත චෝදනා පත්‍රයක් නගා හමුදාවෙන් අස්කරන්න වුනත් පුළුවන්. එහෙම කලත් නැවත සිවිල් පොලීසිය ඉල්ලා සිටියොත් ඔහුව බාරදෙනවා. එක් එක් රටවල මේ ක්‍රමවේදය වෙනස්. ඔබ සිටින රටේ ක්‍රමය වෙන්නට ඇති ඔබ කියන්නේ.

      • මමත් අහල තියෙන්නෙ එකම වැරැද්දට අධිකරණ දෙකකින් දඬුවම් කරන්න බැහැ කියල. මේ සිද්ධියට සම්බන්ධව ඔබ කිව් ක්‍රියාපටිපාටිය යුද්දාධිකරණයක් වශයෙන් සලකන්න පුළුවන්ද? එය එසේ නම් මම හිතන්නෙ යුද්දාධිකරණය අධිකරණයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීරණය කරල තියන නිසා ඔය අරුණි අක්කා කියන විදියට ලංකාව තුළදි ක්‍රියාකරන්න බැරිවේවි. (හමුදා පරීක්‍ෂණයක් නොකලත් සිවිල් උසාවියෙ නඩු තීන්දුව, පොලිස් වාර්ථා වගේ ඒව අදාල සෙබලගෙ පුද්ගලික ලිපිගොනුවට ඇතුලත් කරනවද?)

        (මම වද දෙනව වැඩිද මන්ද? :))

        • දෙන්න අනේ වද……… 😀 😀 😀

          යුධ හමුදා විනය ශාලාව Charge Room සහ යුද්ධාධිකරණය Court Martial කියන්නේ දෙකක්. යුද හමුදා පනතේ දැක්වෙනවා සාමාන්‍ය වැරදි ලෙස සලකන දේවල් සහ යුද්ධාධිකරණයක් මගින් දඬුවම් දියයුතු වැරදි මොනවද කියලා. සාමාන්‍ය වැරදි වලදී චුදිතයා අණ දෙන නිලධාරිගේ විනය ශාලාවේ සිට සේනාංකාධිපතිගේ විනයශාලාව දක්වා ඉදිරිපත් කල හැකියි. හමුදා කැරලි ගැසීම, හමුදා නියෝග වලට එරෙහිව ක්‍රියා කිරීම, සතුරා ඉදිරියේ බියසුලු ලෙස යටත්වීම, තම හමුදාව සහ අවි ආයුධ සතුරාට පාවාදීම, සහ තවත් එවැනි වරදවල් සම්බන්ධයෙන් තමයි යුද්ධාධිකරණක් මගින් නඩු විසඳන්නේ.
          සියලුම ලිඛිත සාක්ෂි චෝදනාපත්‍රය සමග යුද හමුදා විනයාරක්ෂාධිපති Provost Martial වෙත යවනවා.

    • ඇමරිකාවේ ඉතින් කොහොමත් නීතිය හුගක් තදයිනේ.ෆිල්ම් වල CIA එකේ උන්දැලා එහෙම shape වෙන හැටි දකින කොට අනේ මන්දා කියලත් හිතෙනවා(දැන් ඉතින් කියන්න එපා ෆැන්ටසියක් විශ්වාස කරන මෝඩයෙක් කියලා) ඒත් මේ ලගදී release වෙච්ච Safe House (2012) චිත්‍රපටියේ නම් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ සීමාවල් ‍තාත්විකව පෙන්නලා තිබ්බා. පුලුවන් කෙනෙක් හොයාගෙන බලන්න. ඔවුන්ට පෙන්නන තරමි නිදහසක් නෑ

      • බාගෙන බලන්න උත්සාහ කරන්නම්.

      • @parallax,

        ෆැන්ටසියක් විශ්වාස කරන මෝඩයෙක්!!! ඔන්න ඔයාමයි හරි ද කියාගත්තෙ, මම එය හා එකඟ වෙනවා විතරයි. 😀

        අපරාධයක් කරන ඕනෑම අයෙකුට නීති එක සේ ක්‍රියාත්මක වී දඬුවම් ලැබෙනවා. (ඕ. ජේ. සිම්ප්සන්ස්ට හැරෙන්නට, එතැන දී හැමෝටම කළු හම නිසා ඔක්කොම අමතක වුනා, හරියට ඔබාමාගේ කළු හම දැක්කමත් හැමෝටම ඔක්කොම අමතක වුනා වගේ තමයි!!)

        නිදහස කියන්නෙ අපරාධ කරන්න නිදහස නෙමෙයිනේ. මෙහෙ නිදහස උපරිමයි. සදා දිනේවා!!!

      • මම කිව්වේ කියන්න එපා කියල අරුණි මහත්මිය,

        තව දැනුම් දීමක් තියෙනවා ශබට. අපේ ර‍ටේ අර ඔබතුමියගේ තාත්තගේ නම විකුණන සගරාවට ඔබ එකගද? ඔබ එහෙම පාවිච්චි කරන්න අවසර දීලා තියෙනවාද?

  20. ඔය වගේම ඔෆිසර් කෙනෙක් හිටියා බ්‍රි. බ……සාර්. නියම කතා කියනවා..

  21. මට මතක් උනේ රුසියානු නවකතාවක් වන ‘අපරාධය හා දඬුවම’ කතා දෙක කොච්චර නම් වෙනස්ද? එහි කතා නායකයා ගණිකාවකට පෙම් කරනවා. ඇගේ නොකිලිටි ආත්මෙට. 🙂

  22. මම “සතුරාට යටත් නොවන මා” කියන පොත කියවන් යනකොට දැක්කා විශේෂ බළකා සෙබළ සංකල්පය කියන එක US army ranger creed (http://en.wikipedia.org/wiki/Ranger_Creed) එකේ පරිවර්ථනයක් කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? විශේෂ බළකාය හදලා තියෙන්නේ rangersලට අනුරූපවද? ඔවුන් අපේ සෙබළුන්ට පුහුණු වීම් ලබා දෙනවද?

    • ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ලෝකයේ වෙනත් රටක තිබෙන විශේෂ හමුදා ඒකකයක කාබන් පිටපතක් නෙවෙයි. ශ්‍රී ලංකා යුද හමුදාව සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය හමුදා සංකල්ප. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව තිබී නිදහස ලබනවිට බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදායට අනුව පිහටවන ලද ත්‍රිවිධ හමුදාවකින් යුක්තවූ නිසයි. සමහර කාල වලදී වෙනත් රටවල හමුදා උපදේශක වරුන් ලංකාවට පැමිණ කෙටිකාලීන උපදේශන පාඨමාලා පවත්වා තිබෙනවා. නමුත් ස්ථිර විදේශීය උපදේශකයන් යොදවා විශේෂ බලකාය හෝ වෙනත් විශේෂ කණ්ඩායම් පුහුණුකර නැහැ. ඒ වෙනුවට කලේ තෝරාගත් රටවල අපේ අයට උපදේශක පාඨමාලා ලබාදී ඉන්පසු ඔවුන් යටතේ අපේ අය පුහුණු කරවීමයි. ලෝකයේ බොහෝමයක් කොමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළු පෙනුමෙන් හා පැවැත්මෙන් මෙන්ම නිල ඇඳුම් වලින්ද බොහෝදුරට එක සමානයි.


      • මම කාබන් පිටපතක් කියල අදහස් කළේ නෑ 😉 පොත කියවගෙන යනකොට සමාන කම දැක්ක නිසා මම හිතුවා මොකක් හරි හේතුවක් ඇත්ද කියලා.

      • බ්‍රිතාන්‍යන් අභාෂය ලැබුවාට වැරුද්දක් නෑනේ. කොහොමත් බටහිර හමුදාවල් අභාශය ලබලා තියෙන්නේ රෝම ශිෂ්ඨාචාරයෙන්. එතකොට ඒගොල්ලොන්ට අභාෂය තව කොහෙන් හරි ලැබිලා ඇතිනේ. කොහොමත් ඔය ඔක්කොම ආපහු ඇවිත් අපේ පැරණි ශිෂ්ඨාචාරයටම සම්බන්ධ වෙනවා

  23. අම්මෝ කමෙන්ට්ගොඩ , සර්ට ඊතලයක් එවන්ඩ පාර පොඩ්ඩක් කියනවද ,

  24. අපේ ජනරාල් තුමාත් සිංහ රෙජිමේන්තු‍වේනේ

  25. කෝප්‍රල් ගාමිණී කුලරත්නත් සිංහ රෙජිමේන්තුවේද? අපි ඔබට ලියන්න කිව්වට ලියන්න දරන්න ‍ඕනේ මහන්සියත් මම දන්නවා. ඒ වගේම ඔබ ඒක පිලිවෙලකට කරනවා. ඒක අගය කරන්න ඕනේ

  26. ලිපිය වගේම කොමෙන්ට් වලින් ලැබෙන දැනුම ඉතා වටිනවා. බොහොමත්ම ඉස්තුති…

  27. දවස් 28 බේරුනා හොඳට ගියා පව් හොඳ කොල්ලා

    කෝරලේ වලව්ව

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: